ලංකාවේ ය​ල් පැන ගිය නාවිත නීති එක්ස්ප්‍රස් පර්ල් මුහුදු බත් වීම වැළැක්වීමට බාධාවක් වුණාද?

මෑත කාලය ශ්‍රී ලංකාවට වාසනාවන්ත නොවූ බව සමාජ මාධ්‍යවල බොහෝ දෙනා පළ කර තිබුණු අදහසකි. පවතින වැසි කාලගුණය, කොවිඩ් හි තුන්වෙනි රැල්ල සහ ගිලෙන නැව මේ අවාසනාවන්ත බව ගෙන හැර පාන උදාහරණ ලෙසින් ගෙන හැර දක්වා තිබිණි. හොලිවුඩ් තරුවක් වන විල් ස්මිත් පිළිබඳ වාර්තා චිත්‍රපටයක් (Documentary) නරඹන අතරතුර ඇත්තටම වාසනාව කියන්නේ කුමක්ද යන්න පිළිබදව මට සිහිපත් විය. ස්මිත් ඔහුගේ නිහතමානී ආරම්භය සහ සාර්ථක වෘත්තිය ගමනට තම පියාගෙන් ලැබුණු උපදෙස් මේ චිත්‍රපටයේ දී සිහිපත් කරයි. “වාසනාව කියලා ඇත්තටම දෙයක් නැහැ. වාසනාව කියල දෙයක් තිබුණත් ඒකේ සරල තේරුම වෙන්නේ ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට ඇති පෙර සූදානමයි” (where opportunity meets preparedness). තම බොක්ස් ඔෆිස් වාර්තා දැකීමෙන් පසු අලුයම තුනට පමණ තම පියා තමාට කතා කළ ආකාරය ස්මිත් මේ චිත්‍රපටයේ දී සිහිපත් කරයි.

ශ්‍රී ලංකාව ගැන සිහිපත් කරද්දී ද මට ද සිතෙනුයේ පසුගිය දශකය තුළ අපිට කිසිදු වාසනාවක් නොතිබුණා යැයි යන්න සත්‍යයක් බවයි. ඒත් මාගේ මතය නම් අපිට ඒ වාසනාව අහිමිවී ඇත්තේ අපේ කිසි පෙර සූදානමක් නැතිවූ නිසා බවයි. එනම් අවස්ථාවක් පැමිණි පසු, එසේ නොමැතිනම් අර්බුදයක් ඇති වූ විට අපේ කිසි පෙර සූදානමක් නැත. එනිසා මේ ප්‍රතිපත්ති සැකසීමේ ඇතිවන ප්‍රමාදය මේ හැම අවස්ථාවකදීම අප වෙත යම්කිසි වියදමක් හෝ පාඩුවක් ඇති කරයි.

නැව් හා නාවික කර්මාන්තය පිළිබද නීති ප්‍රතිසංස්කරණ යනු ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණයේ එක අංශයකි. මෙය අප බොහෝ කල්මැරූ එක් අංශයක් පමණි. X-Press Pearl නෞකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටයට අයිති මුහුදු තීරයේ , ජල තීරයේ (territorial sea) ගිලී යෑම, ආර්ථික විද්‍යාව සහ අපගේ ප්‍රතිපත්ති නැවත ඇගයීමට ලක් කළ යුතු බවට ලබාදෙන සංඥාවකි.

නැවක ඇති වූ ගින්නක් සහ රටේ නැව් හා නාවික ප්‍රතිපත්තිය අතර තියෙන සම්බන්ධය කුමක්දැයි ඇතැමෙක්ට මෙහිදී ගැටලුවක් පැන නැගිය හැක. ඉන් එහා ගොස් මේ හැමදේම ආර්ථික විද්‍යාවට සම්බන්ධ වෙන්නේ කෙසේදැයි තවකෙක් ප්‍රශ්න කළ හැකිය. ගින්නක් මැඩ පවත්වන්න ආර්ථික විද්‍යාවේ ක්‍රමවේදයක් හෝ ආකෘතියක් නැති බව සත්‍යකි. නමුත් නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් මගින් අපට ගිනි නිවන භටයින්, අවශ්‍ය තාක්ෂණය හා හවුල්කරුවන්ගෙන් සමන්විත ආර්ථික පරිසර පද්ධතියක් නිර්මාණය කරන්න හැකියාව තිබේ. එවිට පහසුවෙන්ම මෙවැනි පරිමාණයකින් යුතු හදිසි අවස්ථාවකට මුහුණ දෙන්න අපට හැකියාව ලැබේ. එවැනි ප්‍රතිපත්තියක් අප සතු වූයේ නම් මීට විකල්පයක් ඉදිරිපත් කිරීමට අපිට හැකියාව තිබුණු අතර ඒ මගින් අපේ මිල කළ නොහැකි සමුද්‍රිය පරිසරය හා අපේ වෙරළ තීරය මෙවන් ව්‍යසනයකින් වළක්වා ගැනීමට පවා හැකියාව තිබිණි.

හොඳ ප්‍රතිපත්තියක් තිබීම කොතරම් ප්‍රයෝජනවත් ද?

හදිසි ගින්නක් හා මෙම පරිමාණයේ සිදුවීමක් වළක්වාගැනීමට ඇති හැකියාව අනිවාර්යෙන් හේතු ගණනාවකින්ම යුක්තය. මෙවැනි ගින්නක් දුර්ලභ සිදුවීමකි. කොළඹ වරාය හා ශ්‍රී ලංකාව පසුකර පෝෂක යාත්‍රා [Feeder Vessels] හා ප්‍රධාන පෙළේ නැව් [Main Liners] රාශියක් ගමන් කරයි. එමෙන්ම ලොව ‘හොඳම බහලුම් පර්යන්තය’ (Best Container Terminals) ලයිස්තුවේ 24 වන ස්ථානයේ හිමිව ඇත්තේ ද ලංකාවටය. එවන් පසුබිමක ගින්නක් මැඩපැවැත්වීමට ක්‍රමවේදයක් නොතිබුණේ කෙසේ ද යන්න පිළිබදව සේද මාවතේ එක් කේන්ද්‍රස්ථානයක් වීමට අපේක්ෂා කරන රටක් ලෙසින් අපි අපෙන්ම අසාගත යුතු ප්‍රශ්නයකි.

අයහපත් මෝසම් කාලගුණය සහ ඉන්දියානු ගිනි නිවීමේ යාත්‍රා දින දෙකක් හෝ තුනක් අපේ රටට පැමිණීමට ගත කරපු කාලයත් එක්කම මේ වාසනාව කියන මාතෘකාව පිළිබඳ සාකච්ඡා බොහෝමයක් ඇතිවිණි. එසේ වුවද ඉතාමත්ම ඉක්මනින් ගවේෂණය කළ යුතු දෙයක් වනුයේ විශේෂයෙන් කොළඹ වරාය කලාපීය සංක්‍රමණ සහ කන්ටේනර් බහාලුම් බෙදාහැරීමේ කේන්ද්‍රස්ථානයක් (regional transhipment hub) වන පසුබිමක ශ්‍රී ලංකාවට සමුද්‍රිය ගිනි නිවීමේ සේවා වැනි ප්‍රමාණවත් සහයක සේවා (auxiliary services) නොතිබුනේ මන්ද යන්නයි.

මෙවන් හදිසි අවස්ථාවක් මග හරවා ගැනීමට අපගේ කැපවීම පිළිබඳ ප්‍රශ්නයක් නැත. මෙහි අපේ ප්‍රශ්නය වනුයේ මෙවැනි තත්ත්වයක් මැඩ පවත්වා ගැනීමට අවශ්‍ය තාක්ෂණය සහ ජාත්‍යන්තර ව්‍යාපාර ගෙන ඒමට රටේ සරිලන ප්‍රතිපත්තියක් නොමැතිකමය. නිසැකවම එය MV X-Press Pearl නෞකාවේ ගින්න නවත්වා ගැනීමට තිබූ බොහෝ විකල්පවලින් එකකි. එය එකම විකල්පය නොවේ. ඒ උසස් තාක්ෂණයෙන් යුතු වුවද නැව් ගැඹුරු මුහුදට ගිලී ගිය සිදුවීම් ඕනෑ තරම්ය.

මෙහි ආර්ථික තර්කය නම් ගින්න පාලනය කිරීමට හා සමුද්‍ර ජීවීන්ට වන හානිය වළක්වා ගැනීමට අපට තිබිය හැකි විකල්ප මොනවා ද යන්නයි. ශ්‍රී ලංකාවේ වරාය අධිකාරියේ ගිනි නිවීමේ ඒකකය හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගින්න ආරම්භක අවධියේ සිටම නැවැත්වීමට උපරිම උත්සාහයක් ගනු ලැබීය. එක් වීඩියෝ පටයකින් පැහැදිලි වූයේ හෙලිකොප්ටරයක සිටි නිලධාරියෙකු ගින්න මැඩපැවැත්වීමට බෑග් වලින් රසායනික ද්‍රව්‍ය කිහිපයක් විසි කරන අයුරුයි. ඔවුන්ගේ උත්සාහය අගය කරන අතරම නූතන ලෝකයේ වඩා දියුණු හෙලිකොප්ටර් ගුවන් යානා සහ ගිනි නිවීමේ යාත්‍රා ඇති අතර අපේ ගුවන් හමුදා හෙලිකොප්ටර් සහ නාවික යාත්‍රා එවැනි මහා පරිමාණයේ ගින්නක් මැඩපැවැත්වීමට නිර්මාණය කර නැති බව මෙහිදී සිහිපත් කළ යුතුය. නැව් කර්මාන්තයේ එවැනි පහසුකම් සපයන සමාගම් රාශියක් ඇත. නැව් කර්මාන්තය එක් පද්ධතියක් වන අතරම බහාලුම් ප්‍රවාහනය එහි එක් කුඩා කොටසක් පමණකි.

සෑම මොහොතේම රජයට ඇඟිල්ල දිගු කරමින් අපේ රටේ එවැනි අධිතාක්ෂණික යාත්‍රා හා ගුවන් යාත්‍රා නැතිකම ගැන ප්‍රශ්න කළද, සරලම පිළිතුර වෙන්නේ ගින්න මැඩපැවැත්වීම රජයේ වගකීමක් නොවන බවයි. එවැනි දැවැන්ත ආයෝජනයක් කිරීමට අපේ රජයට අවශ්‍ය මුදල් නැත. එහෙත් අපේ රට තුළ එවැනි ආධාරක සේවාවන් ස්ථාපිත කළ හැකි නැව් කර්මාන්ත හා සම්බන්ධ ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීම ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ වගකීමකි.

එවැනි සමාගම් තම ව්‍යාපාර ශ්‍රී ලංකාවේ ස්ථාපිත නොකරන්න හේතු කිහිපයකි. එක් ප්‍රධාන හේතුවක් වෙන්නේ විශාල නැව් සමාගම් ලංකාවේ නොමැති විට ඒවාට ආධාරක ව්‍යාපාර (supportive businesses) වලට ලංකාවට ඇතුළුවීමට ඇතුළු වීමට කිසිදු හේතුවක් නොමැති වීමයි. එසේනම් දැන් අපි ඇසිය යුතු ප්‍රශ්නයක් වන්නේ ප්‍රධාන නැව් සමාගම් හෝ මෙවන් මහා පරිමාණයේ සමාගම් ශ්‍රී ලංකා වෙළඳපොලට ඇතුළු නොවන්නේ ඇයි ද යන්නයි. එයට හේතුව නම් සමාගමේ හිමිකාරීත්වයෙන් 51%ක් දේශීය ආයතනයකට තිබිය යුතු බව ට අපේ රටේ නීතියක් ඇති නිසාය. කලාපයේ සහ ගෝලීය වශයෙන් වඩා හොඳ විකල්ප රාශියක් තිබියදී දේශීය සමාගමට 51% හිමිකාරීත්වයක් ලබාදීමෙන් ගෝලීය වශයෙන් පිළිගත් විශාල නැව් සමාගමකට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට කිසිදු හේතුවක් නැත.

ශ්‍රී ලංකාව තවමත් එහි පුරාවිද්‍යාත්මක නීති වලට ඇලී සිටින නිසාත් සමුද්‍ර කේන්ද්‍ර ස්ථානයක් බවට පරිවර්තනය නොවීම වැනි කාරනා හේතුවෙන්, මෙවැනි උසස් තාක්ෂණයෙන් යුත් සමාගම් හා ඒවාට අදාළ උපකාරක සේවාවන් සහිත ව්‍යාපාර කිසිවක් ශ්‍රී ලංකාවට ඇතුළු නොවේ. එමෙන්ම මෙහි ප්‍රතිසංස්කරණයක් සිදු නොවුවහොත් තව වසර පහකට පසුවත් අප මේ සාකච්චාවේ ම නිරත වනු ඇත.

ඉතාමත් සක්‍රීය කර්මාන්තයක ගොළුබෙල්ලන්ගේ වේගයෙන් ගමන් කිරීම නිසා ශ්‍රී ලංකාව සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට අසමත් වී ඇත. තවද මේ හේතුවෙන් අප ඉහළ බහාලුම් පමණක් ප්‍රවාහනය කළ හැකි වරායක් බවට පත්වී ඇති අතර - එය දැන් නැගෙනහිර හා බටහිර බහාලුම් පර්යන්ත ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයන් සමඟ සංතෘප්තයකට (saturation) පැමිණෙමින් තිබේ. වත්මන් ක්‍රමය තුළ ප්‍රතිලාභීන් බොහෝමයක් සිටින බැවින් මෙම නීති ප්‍රතිසංස්කරණය කිරීමට විරුද්ධව ඇති බලපෑම් ඉතා ඉහළය. ප්‍රතිසංස්කරණ කිරීමට උත්සාහ කළ ප්‍රතිපත්ති සම්පාදකයෝ දැනටමත් අසාර්ථක වී හෝ අසාර්ථක වීමට සූදානම්ව සිටිති.

කෙසේ වුවද පාර්ලිමේන්තුවේදී අපගේ ප්‍රතිපත්ති සම්පාදකයින් ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය යටතේ ඇති ගෝලීය සම්මුතීන් සඳහා ආධාරක නීති සම්පාදනය කර තිබේද යන්න නැවත ඇගයීමට ලක් කළ යුතුය. නැව තවමත් අපේ භෞමික මුහුදු සීමාව තුළ පවතින බැවින්, නැව් සමාගමට අදාළවන නීතිමය රාමුව එයයි. එහෙත් සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට අවශ්‍ය නීතිමය රාමුවක් නොමැතිව ශ්‍රී ලංකාව විශාල රක්ෂණ සමාගම් සහ ඔවුන්ගේ පළපුරුදු නීතිඥයින් සමඟ මෙවැනි සිදුවීම් වලට මුහුණ දීමට අභියෝගයක් වන බව නොඅනුමානයි. අපගේ මෝටර් රථ රක්‍ෂණ සමාගම් වලට සමානව වන්දි ගෙවීමෙන් බේරීමට ඔවුන් සෑම විටම නීතිමය හේතු සොයා ගනු ඇත. අවසාන වශයෙන්, දුප්පත් ශ්‍රී ලාංකික බදු ගෙවන්නන්ට අපගේ පෞරාණික වෙරළ තීරයන්, සමුද්‍රීය පරිසරය, ධීවර අංශය, සංචාරක අංශය සහ සිද්ධියට සම්බන්ධ සියලු කර්මාන්ත හා ජීවනෝපායන් සඳහා සිදුවන සම්පූර්ණ පාඩුව දරා ගැනීමට සිදුවේ.

බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ මතය වන්නේ මෙම සිදුවීම අතරතුර වාසනාව අපේ පැත්තේ නොතිබුණු බවයි. විල් ස්මිත්ගේ පියා නිවැරදියි නම්, ගින්න මැඩපැවැත්වීමේ වාසනාව ශ්‍රී ලාංකිකයන්ට නොතිබූ බව සත්‍යයකි; ගින්නෙහි ස්වරූපයෙන් ඇති වූ අවස්ථාව මගින් අපගේ නැව් හා නාවික කර්මාන්තයේ දශක ගණනාවක් තිස්සේ සිදුවී ඇති පසුබැසීම ඉස්මතුවීය. ඉතිරි සියල්ලම ඉතිහාසගතයි.

2021 ජුනි 11 වන දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියක්

රසායනික පොහොර තහනම ආර්ථික විද්‍යාවෙන් කියවමු

රසායනික පොහොර ගැන සහ කාබනික පොහොර ගැන කතාව අද ඊයේ කරළියට ආ කතාවක් නොවේ. රසායනික පොහොර භාවිතය නිසා ඇතිවන වකුගඩු රෝග ගැන විශාල කතාවක් පසුගිය සමයේ සමාජයේ ඇතිවිණි. හිටපු ජනාධිපතිතුමා වරක් ග්ලයිකොපොස්ෆේට් නමැති පොහොර වර්ගය තහනම් කිරීමට කටයුතු කළේද එහි ප්‍රතිඵලයක් ලෙසිනි. 

එහෙත් ඉන් පසුව පැමිණි මැතිවරණවලදී ඉදිරිපත් කෙරෙණු ප්‍රතිපත්ති ප්‍රකාශවල රසායනික පොහොර නොමිලේ ලබාදෙන බවත් ප්‍රධාන අපේක්ෂකයන් බොහෝ දෙනාගෙන් ප්‍රකාශ විණි. එමෙන්ම කාබනික පොහොර භාවිතය සඳහා ආයෝජනය කරන බවත් කියවිණි. කෙසේ වුවද මේ වන විට රසායනික පොහොර තහනම නිසා ඇති ආර්ථික ප්‍රතිවිපාක පිළිබඳවද මේ වනවිට විවිධ සංවාද, විසංවාද ඇතිවී තිබේ. සැබවින්ම මේ රසායනික පොහොර තහනම ගැන අපි ආර්ථික විද්‍යාවෙන් දකින්නේ කෙසේද? 

ආර්ථික විද්‍යාව නිරතුරු දකිනුයේ විශාල චිත්‍රයම මිස චිත්‍රයේ කොටස් නොවේ. එමෙන්ම ආර්ථික විද්‍යාවෙන් මෙකී ප්‍රශ්නය විග්‍රහ කිරීමේදී කෘෂි විද්‍යාව, පාංශු විද්‍යාව වැනි සියලු කරුණු සැලකිල්ලට ගත යුතුය. 

මේ ප්‍රශ්නයේ එක් පැතිකඩකි ලෝක ජනගහන වර්ධනය. එසේ වර්ධනය වන ජනගහනයට ආහාර සැපයුම වැඩි කළ යුතුය. එමෙන්ම ඔවුනට නිවාස ඇතුළු අනෙකුත් අවශ්‍යතා වැඩි කළ යුතුය. එහෙත් එහිදී පැන නගින ගැටලුවකි. එනම් මේ සියලු දේ සඳහා ඇත්තේ සීමිත සම්පත් ප්‍රමාණයකි. භූමිය, ශ්‍රමය මෙන්ම මුදල් සීමිතය. එනිසා සෑම මොහොතකම අඩු භූමියකින්, අඩු මහන්සියකින් වැඩි අස්වැන්නක් ගන්නෙ කෙලෙසින්ද යන්න පිළිබඳව වසර ගණනාවක සිට කෘෂි කර්මාන්තයේ නියැළී සිටින්නෝ කල්පනා කළහ. 

18 වන ශත වර්ශයේ ජීවත්වුණු තෝමස් මල්තස් (Thomas Malthus) නම් ආර්ථික විද්‍යාඥයා An Essay on the Principle of Population යන ග්‍රන්ථයේදී අනාගතයේ ජනගහණයේ සිදුවිය හැකි සීග්‍ර වර්ධනයත් සමග ආහාර ඇතිවිය හැකි ආහාර හිඟය පිළිබඳව සාකච්චා කර ඇත. 1950 දශකයේදි සිදුවූ හරිත විප්ලවය සමග (Green Revolution) කෘෂි කර්මාන්තයේ කාර්යක්ෂමතාවය ඉහළ යනු ලැබීය. නව තාක්ෂණය, නව බීජ වර්ග, නව ප්‍රභේද, නව පොහොර සංයෝග, නව කෘමි නාශක, වල් නාශක වගේම නව වගා ක්‍රම ලෝකය සමග එකතු විය.

 නොබෙල් ත්‍යාගය ලබාගත් Norman Borlaug නමැති කෘෂි ආර්ථික විද්‍යාඥයා හරිත විප්ලවයට මූලිකත්වය ගත් විද්වතෙකි. එම හරිත විප්ලවයත් සමග ජනගහනය වැඩි වීමත් සමග පැමිණි ආහාර හිඟයට සාර්ථකව මුහුණ දීමට අපට හැකි විය. ආහාර සුරක්ෂිතභාවයේදී සලකා බලනු ලබන්නේ ආහාරවල ප්‍රමාණය පමණක් නොවේ. ආහාරවල ගුණාත්මකභාවය, ආහාරවල මිල මෙන්ම ඕනෑම අවස්ථාවක ආහාර මිලදී ගැනීමට තිබෙන හැකියාව වැනි කාරණා ගණනාවක් ආහාර සුරක්ෂිතභාවයේදී සැලකිල්ලට ගනු ලබයි. ඒ අනුව පොහොර සහ කෘෂි රසායන භාවිතය නිසා ආහාරවල ගුණාත්මක භාවයට සිදුවන හානිය මෙන්ම ශරීර සෞඛ්‍යට සිදුවන හානිය පිළිබඳව විශාල කතා බහක් ඇතිවී ඇත. එමෙන්ම කෘෂි කර්මාන්තයේදී සිදුවන විශාල පරිසර හානිය පිළිබඳවත් ඇතිවී ඇති කතාබහ අමතක කළ නොහැක. 

ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තයේ ස්වභාවය

 ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය ඉතාමත් අකාර්යක්ෂම බව අමුතුවෙන් කිව යුතු නැත. එම නිසා අප ආර්ථික විද්‍යාත්මකව මේ ප්‍රශ්නය පොහොර සහ කෘමි නාශක ප්‍රශ්නයක් ලෙස පමණක් ලඝු කිරීමෙන් ප්‍රශ්නයේ විශාල කොටසක් මග හැරී යනු ඇත. වසර ගණනාවකට පෙර ලංකාවේ ප්‍රමුඛ පෙළේ බීර සමාගමක් ඔවුන්ගේ ප්‍රජා සත්කාර ව්‍යාපෘතියක නියමු ව්‍යාපෘතියක් ලෙස උතුරු මැද පළාතේ දිවුල්වැව ප්‍රදේශයේ 3500කට ආසන්න ගොවීන් පිරිසක් සමග ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබීය. බීර නිෂ්පාදනය සඳහා කා​බෝහයිට්ට්‍රේට් වර්ගයක් ලෙස මෝල්ට් භාවිතය තරමක් මිල අධිකය. එම නිසා ආදේශකයක් ලෙස සහල් භාවිත කළ හැකිය. මේ ව්‍යාපෘතියේදී පළමුවෙන්ම සිදුකළේ ගොවි මහත්වරුන් පන්ති කාමරයකට කැඳවා ඔවුන්ට නිසි වගාක්‍රම පිළිබඳව දනුවත් කිරීමය. එහිදී භාවිත කිරීමට අවශ්‍ය වතුර ප්‍රමාණය, පොහොර ප්‍රමාණය, ප්‍රමාණවත් බීජ, පස සකස් කිරීම, වගා ක්‍රම පිළිබඳව දැනුවත් කිරීම් කරනු ලැබීය. එමෙන්ම කෘමි උවදුරු මැඩ පැවැත්වීමට සඳහා භාවිත කරන ලද සාම්ප්‍රදායික ක්‍රම පිළිබඳව තොරතුරු සහ ක්‍රමවේද ලබා දුණි. එහි ප්‍රතිඵලය වූයේ එතෙක් හෙක්ටෙයාරයකට වී බුසල් 85ක් පමණ ලබාගත් අස්වැන්න වී බුසල් 160ක් දක්වා ඉහළ යෑමයි.

 ඇතැම් ගොවීන්ගේ අස්වැන්න හෙක්ටයාරයකට වී බුසල් 200 දක්වා ඉහළ ගියේය. වසර 5ක් පමණ මෙම ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යාමෙන් අනතුරුව බීර සඳහා අය කරන බදු 70% තරම් ඉහළ වීමත් සමග ව්‍යාපෘතිය අතහැර දැමීමට අදාළ සමාගමට සිදුවී තිබේ. නමුත් ඔවුන්ගේ ව්‍යාපෘතියෙන් තහවුරු වූ මූලිකම කරුණ නම් නිසි වගා ක්‍රම අනුගමනය කිරීමෙන් අපට වැඩි අස්වැන්නක් ලබා ගත හැකි බවයි. සාර්ථක කෘෂිකර්මය පොහොර සහ කෘමිනාශක වලට පමණක් සීමා කිරීමෙන් අප ඒ හා බැඳී ඇති බීජ තාක්ෂණය, ජල කළමනාකරණය, පාංශු කළමනාකරණය වැනි වැදහත් කොටස් සියල්ල අමතක කිරීම නොකළ යුත්තක්. 

1950 වන විට ශ්‍රී ලංකාවේ හෙක්ටයාරයකින් ලැබෙන සහල් ප්‍රමාණය හෙක්ටයාරයකින් කිලෝග්‍රෑම් 1000ක් පමණ වී තිබිණි. ඉන් අනතුරුව ඇති කරනු ලැබූ මහවැලි ව්‍යාපෘතිය සමග අලුතෙන් එකතු වුණු ඉඩම් සහ ජල ව්‍යාපෘති සමග 1990 වන විට සහල් ප්‍රමාණය හෙක්ටයාරයකින් කිලෝග්‍රෑම් 2300ක් පමණ විය. 2020 වන විත එම ප්‍රමාණය හෙක්ටයාරයකින් කිලෝග්‍රෑම් 2500 පමණ ප්‍රමාණයේ ස්ථාවර වී තිබීමෙන් පෙනෙන්නේ ප්‍රශ්නය පොහොර වලින් ඈතට ගොස් ඇති බව නොවේද? සහල් නිපදවන අපේ කලාපයේ මෙන්ම අනෙකුත් කලාප වල සහල් නිෂ්පාදනය හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 7000 සහ 8000 මට්ටමේ පවතී. 

තේ වගාව සැලකිල්ලට ගතහොත් 1965 වකවානුවේ හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 949 ක් පමණ පැවතුණි. 1995 වන විට තේ අස්වැන්න හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 1493 දක්වා ඉහළ අගයක් ගැනුණි. එහෙත් 2020 වන විට එම ප්‍රමාණය හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 1200 මට්ටම දක්වා පහත වැටී තිබේ.

අපත් සමග තරග කරන කෙන්යාව හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 2087 නිෂ්පාදනය කරද්දි ඉන්දියාව හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 2141 නිෂ්පාදනය කරයි.

රබර් කාර්මාතයේත් දත්ත වල එතරම් වෙනසක් නැත. 1950 හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 400ක් පැවති රබර් ඵලදාව 1994 වන විට හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 864 දක්වා වර්ධනය විය. නමුත් දැන් ඵලදාව හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 670 දක්වා පහත වැටී ඇත. 996 වකවානුවේදී හෙක්ටයාරයකට පොල් ගෙඩි 6100ක් ලැබුණු නමුත් දැන් එය පවතින්නේ හෙක්ටයාරයකට පොල් ගෙඩි 5500 මට්ටමේය. ඒ අනුව අපට පැහැදිලි වනුයේ ප්‍රමාණාත්මකව පමණක් නොව ගූණාත්මකභාවයෙනුත් අපගේ කෘෂි කර්මාන්තය කඩා වැටීමට භාජන වන බව නොවේද? එනිසා මෙම ප්‍රශ්නය ප්‍රශ්න ගණනාවක සංයුක්ත ප්‍රශ්නයක් බව වටහා ගත යුතුය. 

කාබනික පොහොර වගාවෙන් සිදුවන ඵලදාව අඩුවීමට ගොවීන්ට වන්දි ගෙවීමෙන් පමණක් හෝ කාබනික පොහොර පිටරටින් ගෙන්වීමෙන් පමණක් කාබනික පොහොර භාවිතය දිගුකාලීනව කළ නොහැක. ඊට හේතුව ඒ සඳහා අවශ්‍ය අනෙකුත් සාධක වන ජල කළමනාකරණය, වගා ක්‍රම, කාර්යක්ෂම බීජ, තාක්ෂණික වශයෙන් දියුණු ප්‍රභේද ගැන කෘෂි පරීක්ෂණ කිරීම යන සමස්ත පද්ධතිය කෙරෙහිම අවධානය යොමු නොකිරීමයි.

 කාබනික පොහොර ආනයනයේදී වෙනත් රටවල කාබනික පොහොර වල සිටින දිලීර සහ ඇල්ගී වර්ග ශ්‍රී ලංකාවේ පාංශු සංයුතියට ඇති කරන බලපෑම ආදිය පිළිබඳ සැලකිල්ලට ගැනීම ඉතා වැදගත්ය. එමෙන්ම ගොවීන්ගේ වගා බිම්වල අයිතිය ඔවුන්ට සින්නක්කරව ඔප්පු මගින් ලබාදී නව තාක්ෂණික ක්‍රම භාවිතය සඳහා ඔවුන් දිරිමත් කිරීමකි. එමගින් ඒ සඳහා බැංකු සහ මූල්‍ය ආයතන වලින් මුදල් ලබා ගැනීම පහසු වනවා මෙන්ම විශාල පරිමාණයෙන් කෘෂි කර්මාන්තයට යොමුවීමට හැකියාව ලැබේ. 

අමුඩය ගසා නගුලෙන් කුඹුරු කෙටීමේ කාලයත්, දලු කූඩය පිටේ ගැට ගසාගෙන තේ දලු කැඩීමේ කාලයත්, රබර් කිරි පොල්කට්ටකට එකතු කිරීමෙ කාලයත්, සරම කැහ පොට ගසමින් පොල් ගස් වලට නැගීමෙන් පොල් කැඩීමේ කාලයත් අවසන් වී, පස, ජලය, කෘෂි වගා ක්‍රම, නව ප්‍රභේද පිළිබඳ පරීක්ෂණ සහ කෘෂි ආර්ථික විද්‍යාව වැනි සියලු කරුණු පිළිබඳ සමස්තයක් ලෙස කෘෂි කර්මාන්තය දකිනතුරු මේ ප්‍රශ්නයෙන් අපට ගොඩා යා නොහැකි බව තේරුම් ගැනීම ප්‍රශ්නයට ලබාදෙන විසඳුමෙන් වැඩිම කොටසයි.

2021 ජුනි 04 වන දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියක්

'කාලය කරන පරීක්ෂණය' ට අපේ ආර්ථික ප්‍රතිපත්ති ගළපමු

අරුණ පුවත් පතෙහි මැයි 20 වන දින පල වූ ලිපියකි.

මම අධ්‍යාපනය ලැබු පාසලේ විදුහල්පති වෙලා හිටපු දිවංගත බොනී ප්‍රනාන්දු පුල්ලේ පියතුමා අපේ පාසලේ ළමයින්ට උපදේශන (Mentoring) ලබා දෙන්නේ උපමා හා උදාහරණ ලබාදෙමින්. උපදේශන ලබා දීමේදී ඔහුගේ කැමතිම උපදේශනය හා ඒ හා සම්බන්ධ ප්‍රශ්නය වුණේ “හොඳ කේතලයක් සහ නරක කේතලයක් අතර වෙනස කුමක්ද කියන එක. ඒ දෙකම එක හා සමානයි. ඒ දෙකම එකම ශබ්දයක් නගමින් කරන්නෙ වතුර උණු කරන එක. නමුත් හොඳ කේතලය මොකක්ද නරක කේතලය මොකක්ද කියලා හරියටම කියන්න පුළුවන් අවසාන තීරකයා වන්නේ “කාලය” පමණයි. එතකොට අපේ ජීවිතයේ දී මුහුණ දෙන දුෂ්කර පරීක්ෂණ වන්නේ වසර අවසාන විභාග නැත්නම් මේ අපි හැමදාම ලියන සෙමෙස්ටර් අවසන් පරීක්ෂණ නෙමෙයි. මෙතනින් අමාරුම විභාගය වෙන්නේ ‘කාලය කරන පරීක්ෂණය (Test of time)’. එය ඔබ විසින්ම ඇතුලාන්තයෙන්ම තනියම ඔබ වර්ධනය කරගත යුතු දෙයක්.” මට මෙම උපදේශනය එදා වගේම අදටත් මතකයි.

ගෝලීය වසංගතයට වසරක් කල් පිරිලා ඉවරයි. මේ වසර ගෙවී ගියත් එක්කම අපේ රටේ ආර්ථික ප්‍රතිපත්තිවල ඵලදායිතාවය සහ ඉදිරිපත් කරන ලද 2021 අයවැය පිළිබඳ අපි හිතලා බලන එක වැදගත්. එතකොට අපිට වටහා ගන්න පුළුවන් ශ්‍රී ලංකාවත් කාලයට මුහුණ දෙන පරීක්ෂණයකට ලක් කළොත් අපි අද කොතනද ඉන්නේ කියලා.

2020 දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද වාර්ෂික වාර්තාව මගින් මේ පිළිබඳව සංඛ්‍යාත්මක ඇගයීමක් ලබා දීලා තිබෙනවා.

මේ සංඛ්‍යාත්මක ඇගයීමට අනුව අපේ ආර්ථිකය 3.6% කින් අඩුවීමක් දැකගන්න පුළුවන්. නමුත් දැකගත හැකි ආකාරයට අපගේ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 101% කට වඩා වැඩි වී තිබෙනවා. රජයේ ආදායම රුපියල් ට්‍රිලියන භාගයකින් අඩු වෙලා තිබෙන බවත්, දළ දේශීය නිෂ්පාදිතයේ ආදායම ප්‍රතිශතයක් ලෙස 2019දී 12.6% ක් තිබුණ අතර 2020 වන විට එය 9.3% අඩු වී ඇති බව දැක ගන්න පුළුවන්.

ශ්‍රී ලංකාවට සමාන සංවර්ධනයක් පවතින රටවල්වල දළ දේශීය නිෂ්පාදනය දිහා බැලුවම අප රටේ වර්තමාන දළ දේශීය නිෂ්පාදිත අනුපාතය ඉතාම අඩු අගයක පවතිනවා.

නුදුරු අනාගතයේ දී වැඩි මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කරන්නට මෙම හේතුව අපව පෙළඹවීමට ලක් කරන්න පුළුවන්. මීට අමතරව රුපියල් බිලියන 650ක් පමණ අපි මුද්‍රණය කරල තියෙනවා. එයට අනුකූලව බලද්දි 2019 අවුරුද්දේ දී ශ්‍රී ලංකාව මුද්‍රණය කළේ රුපියල් බිලියන 4ක් පමණයි. මේ සියල්ලටම හේතුව වසංගත සමය තුළදී අප රට මුහුණ දුන් හුදකලා කිරීම් දෙක දැනට රට තුළ මුහුණපාන්නට සිදුවන නොයෙක් ආර්ථික අර්බුදයන්.

2020 වර්ෂය අපි හැමෝටම රටේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ශෝකජනක හා දැඩි කනස්සලු භාවයක් ඇතිවෙන එක පුදුමයට කරුණක් නෙමෙයි.

ආර්ථික පසුබෑම පාලනය කරන්න අවශ්‍ය පියවර ගන්න 2021 අයවැය ශ්‍රී ලංකාවට ඉතා හොඳ අවස්ථාවක් උදා කරලා දුන්නා. මාස පහකට පස්සෙ 2020 අය වැය දිහා ආපහු හැරිලා බලද්දි සමහරක් ප්‍රතිපත්තිමය ක්ෂේත්‍රයන්වල අපිට මීට වඩා හොඳින් ක්‍රියාකාරී වෙන්න තිබ්බා නේද කියලා අපිට පැහැදිලි වෙනවා.

මේ වගේම ලිපියකින් මීට කලිනුත් අපි (ඇඩ්වොකාටා අයතනය) 2021 අයවැය වාර්තාවෙහි ප්‍රධාන දෝෂයන් දෙකක් ඉස්මතු කරලා පෙන්නුවා. ඉන් එකක් තමයි COVID-19 ට එරෙහි ව සටන් කිරීමට අප රටේ ප්‍රමාණවත් සම්පත් ප්‍රමාණයක් නොවීම හා සෞඛ්‍ය සේවා සඳහා ස්ථිර සැලැස්මක් නොමැතිකම. දෙවැන්න තමයි ශ්‍රී ලංකාවට අදාළ ණය සේවා අභියෝග පිළිබඳ විශ්වාසනීය ක්‍රියාකාරී සැලැස්මක අවශ්‍යතාවය.

COVID-19 වසංගතය එක්ක සටන් නොකර ආර්ථිකයට වන බලපෑම අවම කරන එක දුෂ්කර බව අපි හැමෝටම දැන් පැහැදිලියි. පාර්ලිමේන්තුවේ සමහරක් සාමාජිකයන් විසින් ප්‍රකාශ කරන ලද ප්‍රකාශන අනුව වෙනත් රටවල් විසින් නිෂ්පාදනය කරන ලද එන්නත් අවශ්‍යතාවය පිළිබඳව අපි තුළ ප්‍රශ්නයක් ඇති වුනා වගේම බහුජාතික ඖෂධ සමාගම් විසින් නිෂ්පාදනය කරන එන්නත් සඳහා ශ්‍රී ලංකාවේ ජනතාව පරීක්ෂණ විෂයන් කර ගැනීමේ අදහස පිළිබඳවත් අප තුළ ප්‍රශ්නයක් අැති කරනු ලබුවා. මෙතැනදී මම තැතිගත් කරුණක් වුණේ ව්‍යාපාර නායකයන් අයවැය සාකච්ඡා සංසඳවල තම ව්‍යාපාර කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් රට මුහුණ දෙමින් සිටින විශාල ආර්ථික අර්බුදය පිළිබඳ කිසිදු තැකීමක් නොකර තම ලාභ අපේක්ෂාව පිළිබඳව පමණක් කතා කිරීමයි.

මෙම දුර්වල ප්‍රතිපත්ති සහ පිළියම් උපායමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස අප දැන් සිටින්නේ වයිරසයේ තුන්වන රැල්ලට මුහුණ දෙමින්. මෙය ආර්ථිකයට, යෝජිත අයවැය පොරොන්දු සහ ව්‍යාපාරවල අඛණ්ඩත්වයට බලපානවා. ඊට සමගාමීව, එන්නත් සඳහා වන ගෝලීය ඉල්ලුම ඉහළ ගොස් තියෙනවා. ඒ නිසා අවශ්‍ය එන්නත් ලබා ගන්න ශ්‍රී ලංකාවට කිසියම් කාලයක් බලා ඉන්න සිදුවන බව පැහැදිලියි.

2021 අයවැය මගින් ශ්‍රී ලංකාවේ ණය සේවා ගැටලුව සාර්ථකව විසඳා නැහැ. මෙම ගැටලුවේ බරපතළකම සැඟවීමට හැකි කරුණ වන්නේ මේ මොහොතේ රටේ සෞඛ්‍ය සේවා අංශයට ඇති බරයි.

එපමණක් නොව, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ භූදේශපාලනික ගැටුම් සමග ජාත්‍යන්තර බලපෑම්වලට ශ්‍රී ලංකාව මුහුණ දී තියෙනවා. එමගින් ආර්ථිකයට ඇති බලපෑම අප හිතනවාටත් තරම් බරපතළ තත්ත්වයක තියෙන්නේ. මහ බැංකු වාර්ෂික වාර්තාව 2020 හි සඳහන් වන පරිදි අපගේ අපනයනයෙන් 60% කට වඩා වැඩි ප්‍රමාණයක ගමනාන්තය වන්නේ ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපා සංගමයයි. මේ සියලු ජාතීන් ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන් පිළිබඳව කනස්සල්ල පළ කර ඇත්තේ මේ හේතුව නිසාවෙනි.

කොවිඩ් - 19 වසංගතයේ පළවෙනි රැල්ලෙන් කම්පනයට පත් වූවා මෙන් නොව, මෙම වසංගතයෙන් වසරකට පසු සමහර රටවල් මුහුණ දෙන්නට සිදු වන්නා වූ දැවැන්ත අභියෝගයන් නම් පොරොන්දු සහගතයි.

මේ අභියෝගයන් සමග අායෝජකයන් සහ ව්‍යාපාරිකයන් අවධානය යොමු කරනු ලබන්නේ කලාපයේ ගෝලීය වශයෙන් ව්‍යාපාර කිරීමට හොඳ නව්‍යත්පාදක හැකියාවන් සහ මූල්‍ය අනුවර්තී හැකියාව ඇති රටවල් වෙතයි. කොවිඩ් -19 ආරම්භක තත්ත්වය තුළදී ආයෝජකයන්, ව්‍යාපාර, දේශීය පරිත්‍යාගශීලීන්, ජාත්‍යන්තර පරිත්‍යාගශීලීන්ගේ ආයතන සහ ලෝකයේ සෙසු රටවල් වෙතින් අපට ලැබුණු අවධානය සහ ප්‍රමුඛතාවය එලෙසම දෙවන සහ තුන්වන රැල්ලේ දී අපට දැකගත හැකි වන්නේ නෑ. විශේෂයෙන්ම අපගේ ප්‍රතිපත්ති තීරණවල දුරදක්නා හා සාමාන්‍ය බුද්ධිය නොමැති නම් මෙය තවත් අඩුවෙනවා. PublicFinance.lk හි පළ වූ ලිපිය “වර්තමාන කතාව” ට අනුව කෝවිඩ් කළමනාකරණය සඳහා පිහිටුවා ඇති 'යුතුකම' අරමුදලෙන් වියදම් කර ඇත්තේ 6% ක් පමණක් වන අතර ඉතිරි මුදල බිලියන 1.7 ක් වන බව ඉහත කරුණට අති හොඳම උදාහරණයයි. පසුව මේ පිළිබඳව රජය සිය ගිණුම් වාර්තා නිකුත් කර තිබුනා. මෙම අරමුදලට බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ සහයෝගය ලැබී ඇති අතර, දේශීය හා ජාත්‍යන්තර සමාගම් දැන් අපගේ උත්සාහයේ වැදගත්කම ගැන සැක පහළ කරලා.

අප ඉතාමත් අපහසු තීරණ දෙකක් අතර සිටින අතර මේ දෙකටම එක සමාන ඍණාත්මක ප්‍රතිවිපාක තිබෙන බව පේනවා. මිනිසුන්ගේ සංචරණය අවම කිරීම අපගේ ආර්ථික කටයුතුවලට බලපාන නමුත් සංචරණය වැඩි කිරීම කොවිඩ් -19 වසංගතයට බලපානවා. ඒ වගේම එය නැවත ආර්ථිකයට හා ජීවනෝපායන්ට බලපායි.

වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා අපට එන්නත් අවශ්‍යයි. ඒ් වගේම අපගේ විදේශ විනිමය සමතුලිත කරන අතර දීම එන්නත් ලබා ගැනීමට අපට හැකි විය යුතුයි. ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම තනි උත්සාහයක් නොවන අතර සියලු දෙනා කණ්ඩායමක් වශයෙන් එකතු වීම වැදගත්.

මෙයට ප්‍රතිපත්තියක් පමණක් ප්‍රාමාණවත් නෑ. අප සතුව හොඳ ක්‍රියාත්මක කිරීමේ කණ්ඩායමක් සිටියද, අප වැරදි ප්‍රතිපත්ති ක්‍රමවේද ක්‍රියාත්මක කරන්නේ නම්, ප්‍රතිඵලයට කාලයේ පරීක්ෂණයට සාර්ථකව මුහුණ දෙන්නට බැරිවෙයි. අවාසනාවකට මෙන් 2021 අයවැයෙන් මාස 5 කට පසු අපගේ කිසිදු ප්‍රතිපත්තියක් හෝ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමකට කාලය පිළිබඳ පරීක්ෂණයට සාර්ථකව මුහුණ දීමට නොහැකි වෙලා. එය 2021 සඳහා වූ අයවැය පමණක් නොවේ, පෙර අයවැය ද අපගේ ආර්ථික ප්‍රතිපත්තියට ද ධනාත්මක බලපෑමක් ඇති කිරීමට අසමත් වී තියෙනවා. අපි මොහොතකට විරාමයක් තබා අප කුමන ආකාරයේ කේතලයක් දැයි සිතා බැලිය යුතුද? හොඳ එකක්ද නරක එකක්ද? අපගෙන්ම මෙසේ අසන්න. “අප ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්තිය සමග‘ කාලය පිළිබඳ පරීක්ෂණයට' සාර්ථකව පෙනී සිටීමට අපට හැකි වී තිබේද?

විශේෂ ස්තුතිය. තිලෝකා යාපා, හිරුණි දාබරේරා සහ සාරා හෙට්ටිආරච්චි

කොවිඩි මර්ධන ක්‍රමවේදයේ ආර්ථික විද්‍යාත්මක රීතීන්

කොවිඩි මර්ධන ක්‍රමවේදයේ ආර්ථික විද්‍යාත්මක රීතීන්

ගායකයකු සහ ගීත රචකයකු වන ජෝන් ලෙනන්ට වයස අවුරුදු පහක් වුණ කාලයේ ඔහුගේ මව ඔහුට කිව්වේ කවද හරි ලොකු වුණාම ‘සතුටෙන් ජීවත් වන’ මනුස්සයෙක් වෙන්න ඕන කියලයි. දවසක් පාසලේදී ඔහුගේ ගුරුවරයා මෙහෙම අහනවා, “ඔයාට ලොකු වුණාම වෙන්න ඕනේ කවුද?” ජෝන් කියනවා, “ මට ඕනේ සතුටින් ඉන්න මනුස්සයෙක් වෙන්න.” එතකොට ගුරුවරයා ප්‍රති උත්තර දෙනවා, “ඔබට මගේ ප්‍රශ්නය හරියට තේරුණේ නැහැ” කියල. එයට ජෝන්ගේ පිළිතුර වන්නේ “ඔබට ජීවිතය තාම තේරිලා නෑ” කියන එකයි.

ජෝන් ලෙනන්ගේ මේ චින්තනය ආර්ථික විද්‍යාවටත් වලංගුයි. බොහෝ විට අපිට ආර්ථික විද්‍යාව තේරුම් ගන්න බැරි නම් අපේ ජීවිතය තේරෙන්නෙත් නැහැ.

ඊට වඩා ප්‍රශ්නය අපේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට (Policy makers) ආර්ථික විද්‍යාව තේරෙන්නේ නැති අවස්ථාවලදී එය වැඩිපුරම බලපාන්නේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතවලටයි. මේ නිසා ප්‍රතිපත්ති සම්පාදකයන් ගන්නා දුර නොදක්නා තීරණවලට වන්දි ගෙවන්න සාමාන්‍ය මිනිස්සුන්ට සිදු වෙනවා. අන්න ඒ නිසයි අපි හැමෝගෙම ජීවිත සාර්ථක කර ගන්න නිවැරදි ආර්ථික තීරණ පුද්ගලිකවත්, රටක් විදියටත් අපි ගන්න ඕන.

කෝවිඩ්-19 සමග ශ්‍රී ලංකාව අඛණ්ඩව කරන සටන ආර්ථික විද්‍යාවේ පමණක් නෙමෙයි අපගේ ජීවන තත්ත්වයේ ගුණාත්මක බවට ඉදිරියේදී කුමක් සිදු වෙයිද යන්න තේරුම් ගන්න හොඳ උදහරණයක්. විශේෂයෙන්ම කෝවිඩ්-19 තුන්වන රැල්ලේ අවදානමත් සමගම මේ ගැන සිතා බැලීම වැදගත්.

දැනට තිබෙන තත්ත්වය අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (Public Health Inspectors - PHI) තවත් ලොක්ඩවුන් එකක් නිර්දේශ කරලා තිබෙනවා කියන එක අපි හැමෝම දන්න දෙයක්. දිනකට වාර්තාගත රෝගීන් සංඛ්‍යාව එන්න එන්නම වැඩි වෙනවා. අපේ පරීක්ෂණ ධාරිතාවය (PCR Testing capacity) සීමා සහිත වෙමින් තියෙන්නෙ. අප රටේ පුවත්පත්, එක්සත් රාජධානියෙන් පැමිණි නව ප්‍රභේදයක් (UK variant) පිළිබඳව වාර්තා කරන අතර නව ප්‍රභේදයට එරෙහිව සටන් කරන එක සෞඛ්‍ය නිර්දේශයක් විදිහට මුලින් තිබුණු මීටරයේ දුර වෙනුවට මීටර් දෙකක පරතරයක් එකිනෙකා අතර තබාගන්න කියලා මහජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.

අපි දෙවන ලොක්ඩවුන් එකෙන් පසුව තේරුම් ගත් දෙයක් තමයි ශ්‍රී ලංකාවට තවත් ලොක්ඩවුන් එකක් හරි යන්නේ නැති බව.සරලවම කියනවා නම් අපේ රටේ ආදායම පහත වැටෙමින් තිබෙනවා,අපේ විදේශ මුදල් ණය ගෙවීම් (foreign currency debt repayments) ඉහළ යමින් තිබෙනවා, අපේ විදේශ මුදල් ඉපැයීම (foreign currency earnings) පවතින තත්වය හමුවේ (සංචාරක කර්මාන්තය කඩා වැටීම සහ විදේශ ණය ගැනීමට ඇති හැකියාව අවම වීම) සෘණාත්මක ලෙස බාධා ඇති කරමින් ශ්‍රී ලංකාව ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන තත්ත්වයකට පත් කරලා තිබෙනවා.

ඉතින් මේ කිසිදු ගැටලුවකට ඉක්මන් විසඳුමක් නැහැ. අපිට දැනට කළ හැකි එකම ඉක්මන් විසඳුම තමයි ප්‍රශ්නය විසඳා ගැනීමට වැඩි කාලයක් මිලදී ගත හැකි ක්‍රියා මාර්ග ගැනීම. ඒ වුණත් මෙතන අපි හිතන්න ඕනේ දේ තමයි ඉහත සඳහන් සියලුම ප්‍රශ්න විසඳිය නොහැකි නොවෙයි. මේ ප්‍රශ්න මේ තරම් ඔඩු දුවන්න හේතුව අපි අනුගමනය කරපු වැරදි ආර්ථික චින්තනයේ ප්‍රතිඵල කියන එක. ඉතින් වෙන කවරදාකටත් වඩා නිවැරදි ආර්ථික චින්තනය මේ අවස්ථාවේදී වැදගත් වෙන්නේ අපි තුන්වෙනි කෝවිඩ් රැල්ල අපේ ගේ අද්දරටම ඇවිත් තියෙන නිසායි.

ආර්ථික විද්‍යාව කියන්නේ හිඟ සම්පත්වලින් උපරිම ප්‍රයෝජනය ගැනීම පිළිබඳව අධ්‍යයනය කරන විෂයයක්. තවත් සරලව කිව්වොත් විවිධ දේවල් වලට භවිත කරන්න පුළුවන් එකම සම්පතක් උපරිම වාසි ලැබෙන විදියට අපේ අවශ්‍යතාව වෙනුවෙන් භාවිත කරන්නේ කොහොමද කියල හිතන විද්‍යාව.

ඉතින් අද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අපගේ රෝහල් ඇඳන්, පී.සී.ආර් පරීක්ෂණ ධාරිතාව, එන්නත් සහ ඔක්සිජන් සැපයීම ඉතා තීරණාත්මක හිඟ (සීමිත) සම්පත් බවට පත්වෙලා තියෙනවා. එක්කෙනෙක් පී.සී.ආර්. පරීක්ෂාවක් කරනව, එන්නතක් ගහනව කියන්නෙ එන්නත ඕන සහ පී.සී.ආර් පරීක්ෂාවක් ඕන තව කෙනකුට අවස්ථාව අතහරින්න වෙනව කියන එකයි.

මෙම හිඟ සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගන්න අපි අපොහොසත් වුවහොත් රටක් වශයෙන් සෞඛ්‍ය ආරක්ෂණ අර්බුදයකට (Health care crisis) ළඟදීම මුහුණ දීමට සිද්ධ වෙනවා. මෙහි බරපතළකම වන්නේ දැනටමත් අපි පසුකරමින් සිටින්නේ වසර ගණනාවක් තිස්සේ කැකෑරෙමින් පවතින බරපතළ ආර්ථික අර්බුදයක් තුළ වීමයි.

ගෝලීය වශයෙන් එන්නතකට ඉහළ ඉල්ලුමක් තිබෙන නිසා ඇණවුමක් කිරීමට ඇති සුළු ප්‍රමාදයක් වුණත් මිනිස් ජීවිත අහිමි කරන තත්ත්වයකට අප පත් වෙලා තිබෙනවා. ඉතින් මේ එන්නත් වේගයෙන් ලබා ගැනීමට නම් අපිට විදේශ මුදල් ඒකක නිසි පරිදි කළමනාකරනණය සහ වෙනත් රටවල් සමග හොඳ සම්බන්ධතාවයක් තිබීම වැදගත්. එහෙත් අවාසනාවකට මේ මොහොතේ ඒ දේවල් යම්තාක් දුරකට අපහසු තත්ත්වයක තමයි පවතින්නේ.

සම්පත් හිඟ වුණාම එම සම්පතෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට යොදා ගත හැකි එකම ක්‍රමය වන්නේ එයට ප්‍රමුඛතාවය (Prioritize) දීමයි. වෙනත් විදියකට කියනව නම් වැඩි සැපයුම් කරුවන් ප්‍රමාණයකට වෙළෙඳපොළට ප්‍රවේශ වීමට ඇති බාධක ඉවත් කිරීම සහ වෙළෙඳපොළ බලවේගයන්ට තනිව ක්‍රියා කිරීමට ඉඩ සැලැස්වීමයි. එමගින් නව වෙළෙඳපොළ සැපයුම් මාර්ග ස්ථාපිත කිරීමට හැකියාව ලැබේ.

කෝවිඩ් සම්බන්ධ ඇති සීමිත සම්පත් සඳහා ඇති ඉහළ ඉල්ලුම පැත්තෙන් බලද්දී, (එන්නත්, පී සී ආර් පරීක්ෂණ) එම ඉල්ලුම පහළ දාන්න පුළුවන් වඩා හොඳ සනීපාරක්ෂාව පිළිබඳ ක්‍රියාමාර්ග ගැන ජනතාව දැනුවත් කිරීමෙන් වයිරසය පැතිරීම අවම කිරීම තුළිනුයි.

පළමු ලොක්ඩවුන් දින කීපයෙහි ආර්ථික විද්‍යාත්මකව නිර්දේශ කළ පී සී ආර් පරීක්ෂණ ක්‍රියා පටිපාටියක් වූයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන් සහ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන රෝගීන් පදනම් කරගෙන පී සී ආර් පරීක්ෂණ පැවත්වීම සහ රෝගීන්ගේ සමීපතම ආශ්‍රිතයන් සොයාගත හැකි ප්‍රාමාණය අනුව පදනම්ව පී සී ආර් පරීක්ෂණ උපායමාර්ගයක් (testing strategy based on symptomatic cases and asymptomatic cases) අනුගමනය කළ යුතු බවයි. එම පරීක්ෂණ ක්‍රමයේ මූලික හරය ප්‍රකාශ කරන්නේ නම් සමීපතම ආශ්‍රිතයන් සොයාගත හැකි, රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන් පී සී ආර් පරීක්ෂාවට (symptomatic contact traces) ඉහළ ප්‍රමුඛතාවක් ලබා දීම සහ සමීපතම ආශ්‍රිතයන් සොයාගත ගැනීමට අපහසු වන රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන්ට (asymptomatic cases) අඩු ප්‍රමුඛතාවක් ලබා දීමයි. එමගින් ආර්ථික විද්‍යාවේ එන “පී සී ආර් පරීක්ෂණ” යන සීමිත සම්පත වඩා ඵලදායීව භාවිත කිරීමට හැකියාව ලැබෙනවා.

මගීන් සහ ටැක්සි රියැදුරන්, බස් කොන්දොස්තරවරුන් සහ බොහෝ පුද්ගලයන් සමග නිතර සම්බන්ධවන පුද්ගලයන් නිරන්තර පරීක්ෂණ පැවැත්වීම ද අපගේ එක් නිර්දේශයක් වුණා. ආරම්භක රැල්ල අතරතුර පරීක්ෂණ පැවැත්වීමට අවසර දී තිබුණේ රජයේ රෝහල්වලට පමණක් වන අතර පුද්ගලික අංශයට කිසියම් පරීක්ෂණක් පැවැත්වීමට අවසර ලැබුණේ නැහැ .එහෙත් එම තීරණය පසුව ලිහිල් කිරීමට රජය විසින් කටයුතු කරනු ලැබුවා. එහිදීත් බලපානු ලැබුවේ ආර්ථික විද්‍යාවමයි. පුද්ගලික රෝහල්වලට පී. සී. ආර්. පරීක්ෂණ පවත්වීමට අවස්ථාව ලබා දීමෙන් රෝගීන් වැඩි පිරිසක් හඳුනා ගැනීමටත් ආරක්ෂිත පියවර ගැනීමටත් හැකි වුණා.

පෞද්ගලික රෝහල් විසින් සෞඛ්‍ය සේවා සහ ප්‍රතිකාර සඳහා සමාන සීමාවන් හා මාර්ගෝපදේශ ලබා දී තිබුණා. ආර්ථික විද්‍යාව අපට උගන්වන දෙන මූලික සංකල්පයක් තිබෙනවා. සම්පත් හිඟ වූ විට එම සම්පත භාවිත කිරීමට යන සැබෑ වියදම නම්, එම සම්පතම වෙනත් දෙයක් සඳහා භාවිත කරන්නේ නම්, එසේ වෙනත් කටයුත්තක් සඳහා භාවිත කිරීමට සඳහා අප විසින් අත්හැර දැමිය යුතු පිරිවැය කොපමණද යන්නයි.

PCR පරීක්‍ෂණය සම්බන්ධයෙන් ගත්තොත්, හැම කෙනෙක්ම රජයේ පද්ධතියෙන් පරීක්‍ෂණය ලබා ගන්න උත්සාහ කරන විට සිදුවන්නේ ඇත්තටම මුදල් ගෙවා PCR පරීක්‍ෂණය පුද්ගලික රෝහලකින් සිදුකර ගැනීමට හැකි අයත් රජයේ රෝහල්වලට පැමිණෙනවා. එමගින් ආර්ථික අපහසුකමක් නිසා මුදල් ගෙවීමට නොහැකි අයකුගේ PCR පරීක්‍ෂණයක් සඳහ බොහෝ වෙලාවට රජය පමණක් PCR පරීක්‍ෂණ සිදු කරන විට රජයේ පරීක්ෂණ ධාරිතාවෙන් උපරිම වාසි ලබා ගන්නේ වඩාත් ධනවත් හා දේශපාලනිකව ප්‍රබල වූ අය වන අතර මෙය දුගී දුප්පත් මිනිසුන්ගේ අවස්ථාව අවහිර වනවා.

තුන් වන රැල්ලේ දැන් පවතින තත්වය මීට වඩා සම්පූර්ණයෙන් වෙනස්. දැන් පවතින ප්‍රශ්නයට බොහෝ මානයන් තියෙන නිසා විසඳුම් සෙවීමේදී විවිධ පැතිවලින් සැලකීමට ගන්න සිදු වෙනවා. ශ්‍රී ලංකාවේ බොහෝ විට සිදුවෙන්නේ ආර්ථික විද්‍යාව හැර අනෙක් සියලුම කරුණු සලකා බැලීම වීම කනගාටුවට කරුණක්.

රෝහල් ඇඳන් හිඟය සැලකිල්ලට ගෙන, ඇඳන් ගණන වැඩි කිරීම, පීසීආර් පරීක්ෂාව සහ සැපයුම් පැත්තෙන් එන්නත් ලබා ගැනීමේ සියලු ක්‍රම දැන් අප සලකා බැලීම ඉතා වැදගත් වෙනවා.

ඒ අතරම, ඉල්ලුමේ පැත්ත කළමනාකරණය කිරීම සඳහා වයිරසය පැතිරීම සීමා කිරීමට ජනතාව දිගින් දිගටම දැනුවත් කිරීම අත්‍යාවශ්‍යයි. අපේ සෞඛ්‍ය පද්ධතිය ද පෞද්ගලික අංශයට මැදිහත්වීමට විවෘත කිරීම ගැන සොයා බලන්න ඕනේ. හෝටල් සහ සංචාරක දේපළ රෝහල් වාට්ටුවලට හරවලා, ජීවිත බේරා ගන්නට පුළුවන් බෙහෙත් ආනයනය කිරීමට ඇති නියාමන ලිහිල් කිරීම පිළිබඳව අවධානය යොමු කිරීම වැදහත්.

මේ සෞඛ්‍ය ආරක්ෂණ ආර්ථික විද්‍යාව පමණයි. එන්නත් සහ සියලුම වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට ඉතාමත් වැඩි ප්‍රමාණයක මුදල් අවශ්‍යයයි. මේකට අපට දේශීය මුදල් සහ විදේශ මුදල් යන දෙකම අවශ්‍යයි. අනෙක් අතට මූල්‍ය සම්පත් ගැන සිතා බැලිය යුතුයි. විදේශ මුදල් ඉතිරි කර ගැනීම සඳහා, ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් සෑම සතියකම මහජනයා මුහුණ දිය යුතු සමස්ත බලපෑම තේරුම් නොගෙන සමහර ආනයන නිෂ්පාදන කාණ්ඩ තහනම් කිරීමේ තරගයක් දැන් පැවැත්වෙන බව පෙනී යනවා.

පසුගිය සතියේ පොහොර, සතියකට පෙර එය පාම් තෙල් ලෙස දීර්ඝ ලයිස්තුවක් තිබෙනවා. මේ හැම පාලනයන්ම ආර්ථිකයට හා මහජන ජීවිතයට ප්‍රභල බලපෑම් කරනවා.

ටයර් ආනයනය කිරීම තහනම් කිරීම භාවිත කරන ලද දුර්වල තත්ත්වයේ ටයර් සඳහා නව වෙළඳපොළක් නිර්මාණය කර ඇති අතර එය බරපතළ මාර්ග ආරක්ෂාව පිළිබඳ කරුණකි. පාම් තෙල් තහනම නිසා එකම පොල්තෙල් නැවත නැවත භාවිතය නිසා පිළිකා සඳහා අමතර අවදානමක් එක් කරන අතර එය සෞඛ්‍ය අවදානමට අනුබල දෙන සහ බාල පොල්තෙල් ජාවාරම වැඩිවීමට හේතු සපයනු ලබනවා. එහි ප්‍රතිඵලයක් ලෙස, අප සතුව දැනටමත් ඉතා අල්ප වශයෙන් ඇති ජීවන මට්ටමේ ගුණාත්මකභව තව දුරටත් අඩු වෙමින් පවතිනවා.

ජෝන් ලෙනන්ගේ ජීවිතය පිළිබඳ අවබෝධයට අනුව, අප ආර්ථික විද්‍යාව මූල්‍යමය වශයෙන් පමණක් වරදවා වටහා නොගත යුතුයි. ආර්ථික විද්‍යාව කියන්නේ විකල්ප භාවිතයෙන් හිඟ සම්පත් උපරිම කිරීමේ විද්‍යාවයි. එය ජීවිතයේ සෑම තැනකම පවතිනවා.

වසංගතය හේතුවෙන් වෙන කවරදාකටත් වඩා සෞඛ්‍ය ආර්ථික විද්‍යාවේ වැදගත්කම දැන් අපට පෙනෙනවා. ආර්ථික විද්‍යාවේ පරමාර්ථය වන්නේ අපගේ සම්පත් උපයෝගී කර ගනිමින් වැඩි පිරිසක් දරිද්‍රතාවයෙන් මුදවා ගැනීම. ආනයන පාලනය කිරීම හෝ අපගේ ජංගම ගිණුම ආරක්ෂා කිරීම ආර්ථික පාලනයේ මූලික අරමුණක් නොවේ. ප්‍රශ්නයේ රෝග නිධානය හඳුනා ගැනීම රෝග ලක්ෂණ තේරුම් ගැනීමට වඩා වැදගත්. නමුත් පළමුව ගැටලු තේරුම් ගැනීමට අප ආර්ථික විද්‍යාව වටහා ගන්න අවශ්‍යයි.

විශේෂ ස්තුතිය. තිලෝකා යාපා සහ හිරුණි දාබරේරා.

2021 මැයි 07 වන දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියක්

PORT CITYය චීන කොලනියක්ද?

මෑතක සිට කොළඹ වරාය නගරය වටා පවතින්නා වූ තත්වය ඉතා දැඩි ලෙස විවාදයට හා සාකච්ඡාවට භාජනය වී ඇත. ඇඩ්වොකාටා ආයතනය මඟින් නිර්මාණය කරන ලද මෙම වීඩියෝව හරහා බලාපොරොත්තු වන්නේ මේ කාරණය හා සම්බන්ධ දැනුමක් ලබා දීමයි. මේ කාරණය සම්බන්ඳව ඔබ සිතන්නේ කුමක් ද? කොළඹ වරාය නගරය කුමක් වනු ඇත්ද සහ එය ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා දේශපාලනය කෙරෙහි බලපාන්නේ කෙසේද?

කොළ​ඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව ඉදිරි දැක්ම සහ යෝජනා

කොළ​ඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සහ එහි ඉදිරි දැක්ම පිළිබඳව (Advocata Institute) ඇඩ්වොකාටා ආයතනය මඟින් සිදු කරන ලද ස්වාධීන විශ්ලේෂණය.

ප්‍රධාන රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධ විශේෂඥයින්ගේ සහ විද්වතුන්ගේ දැනුම උපයෝගී කර ගනිමින් මෙම විශ්ලේෂණ ලිපිය සකස් කරන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙත යැවූ මෙම ලිපියෙහි ඇඩ්වොකටා අයතනය මඟින් නිරීක්ෂණ කරන ලද කරුණු ඉස්මතු කරමින් සහ කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ආර්ථික ප්‍රතිඵල උපරිම කරගත හැකි ආකාරය පිළිබඳව යෝජනාවන් ඉස්මතු කරන ලදි.

මෙම ලිපිය පිළිබඳ වැඩු දුර තොරතුරු දැන ගැනීම සඳහා, පහත සඳහන් link එක වෙත පිවිසෙන්න

ඇඩ්වොකාටා ආයතනය මඟින් නිර්මාණය කරන ලද මෙම වීඩියෝව හරහා බලාපොරොත්තු වන්නේ මේ කාරණය හා සම්බන්ධ දැනුමක් ලබා දීමයි. PORT CITYය චීන කොලනියක්ද?

advocata logo-01.jpg

වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පත පිළිබඳ ජන​තා නියෝජිතයින් වෙත විවෘත ලියමනක්

2021 - මැයි - 03

ගරු මත්ත්‍රීතුමනි /තුමියනි, ​‍ ඇමති තුමනි /තුමියනි

කොළ​ඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව ඉදිරි දැක්ම සහ යෝජනා

කොළ​ඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව Advocata Institute (ඇඩ්වොකාටා ආයතනය) පහත නිර්දේශ ඉදිරිපත් කිරීම​ට කැමැත්තෙමු. දැනට ඉදිරිපත් කර ඇ​ති පනත් කෙටුම්පතේ කරුණුවල සංයුතිය​ට අනු​ව අපගේ නිරීක්ෂණය වන්​නේ කොළඹ වරාය නගරයෙන් උපරිම ආර්ථික වාසි ශ්‍රී ලංකාවට ලබා ගැනීමට නම් එහි ඇති සමහර දුර්වලතා මග හරවා ගැනීම කෙරෙහි අනිවාර්ය අව​ධානය යොමුවිය යුතු බවයි. දැනට පවතින ආර්ථික සහ දේශපාලන තත්ව​ය සැලකිල්ලට ගැනීමේ​දී වරාය නගරය විශේෂ පරිපාලන කලාපය​ක් ලෙස ඉදිරියට ගෙනයාමෙ​න් ශ්‍රී ලංකාව වැනි රටකට බැහැර විය නොහැකි බව අපගේ අදහ​සයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රගමනය ගැන ප්‍රමුඛත්වය යොමුකරමි​න් ඉහත පන​ත පිළිබඳව​ අප ආයතනය සිදුකර ඇති විශ්ලේශණය පිළිබඳ අව​ධානය යොමුකරන ලෙ​ස ගරු පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ගෙන් සහ මන්ත්‍රීවරියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. 

1. විශේෂ ආර්ථික කලාප වලින් ශ්‍රී ලංකාව​ට ඇති වැදගත්කම

1.1 ලොව පු​රා සිදු කර ඇති අත් හදා බැලීම වලට අනුව සනාථ වන්නේ නිසි ආර්ථික විද්‍යාත්ම​ක මූලධර්​ම වලට අනුව ක්‍රියාත්මක කර​න විශේෂ ආර්ථික කලාප [Special Economic Zones (SEZs)] රටවල් වල පවති​න ආර්ථිකයන්ට ​ධනාත්මක බලපෑම් ඇති කරන බවයි. මෙම විශේෂ ආර්ථික කලාප වලට ඉක්ම​න් ආර්ථික වර්​ධනයක් ලබා ගැනීමට වැඩි හැකියාව​ක් ​පවතී. චීනයේ ෂෙන්ජෙන් (Shenzhen) ප්‍රාන්තය, ඩුබායි අන්තර්ජාතික මූල්‍ය කේන්ද්‍රය (Dubai International Financial Centre), මැලේසියාවේ ලැබූ​වන් IBFC (Labuan IBFC) ලෝකයේ ඉතා වේගයෙන් සංවර්ධනය වන මූල්‍ය, නිශ්පාදන සහ තාක්ෂණික කේන්ද්‍රස්ථාන බවට පත්ව ඇති විශේෂ ආර්ථික කලාප කිහිපයකි. නිසි ප්‍රතිපත්ති සහ අන්තර්ජාතික වශයෙන් පිළිගත් රෙගුලාසි සහ නීති පද්ධතියක් හදුන්වා දුනහො​ත් කොළඹ වරාය නගරයටද එවැනිම සුවිසේෂී දියුණුවක් අත්පත් කර ගැනීමේ හැකියාව පවතී. 

1.2 අපගේ විශ්ලේශණයට අනුව විශේෂ ආර්ථික කලාප පහත දැක්වෙන පරිදි ආර්ථික ප්‍රතිලාභ ගෙන දෙයි, 

  1. සෘජු විදේශ ආයෝජන (Foreign Direct Investment - FDI) ආකර්ශණය කරගන්නා මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීම. 

  2. නිසි අරමුණක් සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ඇති ආර්ථික සහ මහජන ප්‍රතිපත්ති අත්හදා බැලීමෙන් අනතුරුව එම ප්‍රතිපත්ති ඉහළ පරිමාණයෙන් අනෙක් කලාපවලත් මෙහෙයවිය හැකි බවට පරීක්ෂා කර​න පරීක්ෂණාගාරයක් ලෙ​ස  කටයුතු කිරීම. 

  3. දේශීය ආර්ථිකය විවිධාංගීකරණය කල හැකි උත්ප්‍රේර​කයක් ලෙස කටයුතු කිරීම. 

  4. අපගේ කලාපයේ පවති​න අවාසිසහගත ආර්ථික තත්වයන් වලින් වාසි ලබාගත හැකි රැකියා අවස්ථා උත්පාදනය කර​න කේන්ද්‍රස්ථානය​ක් ලෙස  කටයුතු කිරීම. 

1.3  කෙසේවෙතත්, විශේෂ ආර්ථික කලාප වල සාර්ථකත්වය තීරණය කල හැකි වන්නේ එම කලාපය දේශීය ආර්ථිකය සමග කොතරම් සම්බන්ධ වන්නේද යන පදනම  මත පමණි.  සාර්ථක ආර්ථික ප්‍රතිපත්තිමය මෙවළම් ලෙස  විශේෂ ආර්ථික කලාපය​න් හදුනා ගත හැක්කේ එ​ම කලාප වල​ට එකතුවන දැනුම් පද්ධතිය ස​හ තාක්ෂණය දේශීය ආර්ථිකය හරහා ගමන් කිරීමෙන් දේශීය ආර්ථිකයේ කාර්යක්ෂමතාවය වැඩි වු​වහො​ත් පමණි. එම කරුණු සැලකිල්ල​ට ගෙන කොළඹ වරාය නගරයේ කාර්යක්ෂමතාවය සහ අපනයන විවිධාංගීකරණය ඉහළ දමන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධන කිරීම අනිවාර්ය වේ. 

1.4 විශේෂ ආර්ථික කලාපවල කාර්යක්ෂමතාවය සහ හැකියාව රඳාපවත්වා ගත හැක්කේ නිශ්පාදන ක්‍රියවලිය සඳහා අවශ්‍ය සියලුම සාධක (factors of production) මෙහෙයවී​ම මත සහ සීමිත අයවැයක් සහි​ත රජයන් මගි​න් එ​ලෙස ලබාදෙන අවස්ථාව මත වේ. පරිපූර්ණ විශේෂ ආර්ථික කලාපයක නම් ඕනෑම ව්‍යාපරය​ක ​දියුණුවට අවශ්‍ය සියලුම සාධක එකම ස්ථානයකින් ඉටු කර ගත හැකියි. කිසියම් කර්මාන්තයක් හෝ කර්මාන්ත ක්ශේත්‍රයක දියුණුවට එකිනෙකට සම්බන්ධ  සාධක ගණනාවක් අවශ්‍ය වන අතර (පොදු පහසුකම් සහ භෞතික පහසුකම් -  Public assets) විශේෂ ආර්ථික කලාප වලට කර්මාන්ත වල දියුණුව සඳහා අවශ්‍ය සාධක නිසි පරිදි සපයන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කිරීමට හැකියාව තිබේ,ය මේ මඟින්  සපයන පහසුකම් වනුයේ කර්මාන්ත සඳහා ගැලපෙන ඉඩම්, යටිතල පහසුකම්, අදාල ආර්ථික කලාපයටම සුවිශේෂී වූ ප්‍රතිපත්ති සහ අනුමත කරන ලද විවිධ බලපත්‍ර සහ රෙගුලාසි වේ. එලෙසම එකම විශේෂ ආර්ථික කලාපයක ඇති විවිධ කර්මාන්ත වලට එකම කර්මාන්ත කලාපයේ පිහිටීම නිසා ව්‍යාපර කරගෙන යාමට විශේෂ පහසුවක් සැපයේ. ව්‍යාපාරවල සැපයුම්කරුවන් ස​හ ගණුදෙනුකරුවන් එක් භූමි ප්‍රදේශයකම පිහිටීම සහ ව්‍යාපාර කිරීමට යන වියදම් අවම වීම වැනි තත්වයන් තුළ විශේෂ ආර්ථික කලාප ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය​ට සෘජුව දායක කරගත හැක. 

1.5 විශේෂ ආර්ථික කලාප සාර්ථක කරගැනීමට නම් අදාල කලාප වලට යම්තාක් දුරක​ට ප්ලෙනිපොටෙන්ෂරි බලතල (plenipotentiary powers) ‘හෙවත් පූර්ණ බලතල සහිත තානාපතිවරයකු පත් කිරීම’ වැදගත් වේ. ප්ලෙනිපොටෙන්ෂරි බලතල (plenipotentiary powers) නැතහොත් පූර්ණ බලතල සහිත තානාපතිවරයකු' යනුවෙන් අදහස් වන්නේ රජය නියෝජනය කිරීමට පූර්ණ බලතල සහ පරමාධිකාරය ඇති නියෝජිතකවරය​කු යන අදහසයි. විශේෂ ආර්ථික කලාපයකට එවැනි බලතල ලබාදීමෙන් අදාළ කලාපයට රජයෙන් බලපෑමක් නොමැතිව කටයුතු කරෙගෙ​න යාටමත්, ඵලදායී ලෙස අරමුණු සාක්ෂා​ත් කර ගැනීමට සහ රටේ පවතින අනෙකුත් කලාප ව​ලට වඩා ඉක්මනින් ආර්ථික තීරණ ක්‍රියාත්මක කිරීම​ට අවස්ථාව සැලසෙ​යි. විශේෂ ආර්ථික කලාප වලට ආර්ථික සංවර්ධන වේගවත් කිරීමටත්, සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත් හැකියාව ලැබෙන්නේ ඒ අනුවයි. 

1.6 ප්‍රතිපත්තිමය මෙවලමක් ලෙස ශ්‍රී ලංකාව  මීට පෙ​ර අවස්ථා 3කදී plenipotentiary powers හෙවත් පූර්ණ බලතල සහිත තානාපතිවරයකුගේ බලතල ලබාදීම   සිදුකර ඇත. 

  • 1948 අංක 51 දරන ගල් ඔය සංවර්ධන මණ්ඩල පනත, 

  • 1975 අංක 4 දරන ගංගා නිම්න සංවර්ධන මණ්ඩල පනත 

  • 1978 අංක 4 දරන මහා කොළඹ ආර්ථික කොමිෂන් පනත එම අවස්ථා තුනයි.

මෙම අවස්ථාවන් වල පවරා තිබූ plenipotentiary powers හෙවත් පූර්ණ බලතල සහිත තානාපතිවරයකුගේ බලතල පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට ඇමුණුම 1 වෙත ඔබගේ අව​ධානය යොමු කරනු කැමත්තෙමි. ඒ අනුව මෙම වරාය නගර පනතේ දක්වා ඇ​ති plenipotentiary powers හෙවත් පූර්ණ බලතල සහිත තානාපතිවරයකුගේ බලතල භාවිතා කිරීම ශ්‍රී ලංකාවේ උදාවූ නව තත්වයක් නොවේ. 1978 අංක 4 දරන මහ කොළඹ ආර්ථික කොමිෂන් පනතට අනුව එහි පරමාධිකාරී බලතල මෙහෙයවන ආයෝජන මණ්ඩල පන​ත (Board of Investments - BOI) ආර්ථික සංවර්ධනය ලබා ගැනීමට ස්වා​ධීනව අපනයන සංවර්​ධන කලාපව​ල වැඩ කිරීමට අවශ්‍ය නීතිමය රාමුව සපයනු ලබයි. 2007 වර්ශයේ එකසත් ජාතීගේ සංවි​ධානයේ ESCAP අයාතනයේ සමීක්ෂණ වාර්තාවකට අනුව අපනයන සංවර්ධන කලාප වලින් අපනයන කර්මාන්තවලට දක්වා තිබූ දායකත්වය 1980 වන විට 8.8% ක් පමණ වූ අතර 1991 වන විට එය 44% ක දක්වා වර්ධනයක වී තිබුණි. 2007 වන විට අපනයන සැකසුම් කලාප Export Processing Zones (EPZs) ශ්‍රී ලංකාවේ මූලි​ක අපනයන කාණ්ඩ 9 ටම දායකත්වය දැක්‌වූ අතර එය 38% ක ප්‍රතිශතයක්. ජපාන සංවර්ධන ආයතනයේ සමීක්ෂණයකට (2011) අනුව අපනයන සැකසුම් කලාප Export Processing Zones (EPZs) වල ව්‍යාපෘති 1796 ​ක්, අපනයන සැකසුම් කලාප 12ක් තුල ක්‍රියාත්මක වන අතර රැකියා අවස්ථා 346,516 ක් උදාවී ඇත. ඒ අනුව අපගේ දැක්මට අනුව කොළඹ වරාය නගර පනතේ සදහන් කර ඇති plenipotentiary powers හෙවත් පූර්ණ බලතල සහිත තානාපතිවරයකුගේ බලතල ලබාදීම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ඇති කාලීන අවශ්‍යතාවයකි.

2. බදු සහන 

2.1 රජයට ආදායම් ලැබෙන මූලිකම මාර්ගය වන්නේ ‘බදු ආදායම්' වන අතර ජනතාවට අවශ්‍ය මහාපරිමාණ පොදු පහසුකම් හා සේ​වා සැපයීමට මුදල් සැපයෙන්නේ​ද බදු මගිනි. එය එසේ වුවත් 2020 වර්ශයේදී ශ්‍රී ලංකාවේ බදු ආදායම දළ දේශීය නිශ්පාදිතයෙන් 8.1%ක් දක්වා අඩුවී ඇත්තේ ශ්‍රී ලංකාවේ පවතින මූල්‍ය ​තත්වය තවත් අවදානම් තත්වයකට පත් කරමිනි. වසර ගණනාවක් තිස්සේ පැවතෙන විශාල අය වැය පරතර​ය සමඟ ශ්‍රී ලංකාවේ ණය වාරික සහ පොළිය කාලයක් තිස්සේ විශාල ලෙස එකතුවීම නිසා අදවන වින අපගේ ණය ගෙවීමේ ස්ථාවරත්​වය අභියෝගයට ලක්ව ඇති බව රහසක් නොවේ. 2020 වර්ෂය වනවිට ශ්‍රී ලංකාවේ මධ්‍යම රජය ලබාගෙන තිබෙ​න ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයට සා​පේක්ෂව 101% ක දක්වා ඉහළ ගොස් ඇ​ති අතර එම අගය තව දුරටත් ඉහළ යනු ඇති බව අපේක්ෂා කරයි. 

2.2 ඉදිරිපත් කර ඇති පනතේ යෝජනා කර ඇති බදු සහන සමස්​ත ආර්ථිකයේ බොහෝ විකෘතිතා ඇති කල හැ​කි අතර බදු ආදායමට දැඩි ලෙස හානි කරමින් මූල්‍ය අස්ථාවර බවක් ඇති කිරීමට ඉඩ විවර කරනු ලබයි . ශ්‍රම වෙළඳපොළ උදාහරණයක් ලෙස සැලකිල්ලට ගතහොත් වරාය නගරයෙන් පිටත පිහිටා ඇති ව්‍යාපාර සඳහා බදු සහන නොලැබීයාමෙන් එම ව්‍යාපාරවල සේවක සේවිකාවන්ට ලැබෙන වැඩි වේතන අනුපාත ගෙවීමට සිදුවීමෙ​න් අවාසිදායක තත්වයන් උදාවි​ය හැක. එලෙසම වරාය නගරය තුල තිබෙන ව්‍යාපාර එකිනෙකට සමූහකරණය වී ක්‍රියාත්මක වීම හේතුවෙන් ලැබෙන වාසි මෙන්ම අන්තර්ජාතික මට්ටමේ ඇති ප්‍රවාහන සේවා, මූලික උපයෝගීතා සේවා (Utilities - ජලය, විදුලිය හා සන්නිවේදන සේවා) සහ අධිවේගී මාර්ගවලට පහසුවෙන් ඇතුලු වීමට ඇ​ති හැකියාව නිසා වැඩි වාසියක් සහ පහසුවක් සැපයේ. ඒ අනුව එම වරාය නගරය තුල ක්‍රියාත්මක වන ව්‍යාපාර සඳහා වැඩි ලාභ සහ ආදායම් උපයා ගැනීමේ හැකියාවක් ඇති අතර තවදුරටත් බදු සහ මූ​ල්‍ය සහන ලබාදීම අවශ්‍ය නොවේ. වරාය නගර විශේෂ ආර්ථික කලාපය අනෙක් කලාප වලට වඩා අනිවාර්යයෙන් කාර්යක්ෂම විය යුතු වුවත් දැනට 2017 අංක 24 දරන දේශීය අදායම් බදු පනතේ ලබා දී ඇති බදු සහන වලට ඔබ්බෙන් තවත් බදු සහන ලබාදීම බදු ක්‍රමයේ ඇති ප්‍රගතිශීලී බව මෙන්ම සියලුම ව්‍යාපාරවලට එකම තරඟකාරී බිමක් නිර්මාණය විය යුතුය යන මූලික ව්‍යාපාරික ධර්මතාවයක් බිද දැමීමකි. (competitive neutrality).

2.3 සමහර අවස්ථාවලදී  මූල්‍ය දිරිගැන්වීම් (බදු සහන, මූල්‍ය ප්‍රඳානයන්) ව්‍යාපාර ආකර්ෂණයේදී සුදුසු විය හැකි අවස්ථා තිබිය හැක. උදාහරණයක් ලෙස යොදවන ලද ප්‍රාග්ධනයට සාපේක්ෂව ව්‍යාපාරකින් ලැබෙන පුද්ගලික ප්‍රතිලාභ අවම වුවත් එමගින් සමස්ථ සමාජයටම ලබෙන ප්‍රතිලාභ වැඩිවන අවස්ථාවලදී බදු සහන සහ මූල්‍ය දිරිගැන්වීම් යෝග්‍ය විය හැක. මෙම නිසා දැනට පවතින දේශීය ආදායම් බදු පනතට අනුව මූල්‍ය දිරිගැන්වීම සඳහා ඉඩ ලබාදී තිබෙන නිසා බදු සහ මූල්‍ය දිරිගැන්වීම් සම්බන්ධව තීරණ ගැනීමේ බල​ය මුදල් අමාත්‍යංශය යට​තේ පවත්​වා ගැනීමට අපි නිර්දේශ කරනු කැමැත්තෙමු. ඒ අනුව ඉදිරිපත් කර ඇති වරාය නගර පනත් කෙටුම්පතට මූල්‍ය වගවීම සහ විනිවිදභාවය පවත්වා ගැනීම මුදල් අමාත්‍යංශය යටතේ පවත්වා ගැනීම​ට අදාල සංශෝධන සිදු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. 

2.4 ආර්ථික සමීක්ෂණ වලින් තහවුරු වී ඇති පරිදි සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය  (Foreign Direct Investment - FDI) සඳහා බදු සහන වලින් ඇතිකරන සඵලතාවය ඉතාම අඩු අගයකි. සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය සඳහා අයෝජකයින් සැලකිල්ලට ගනු ලබන කරුණු ඇමුණුම 2හි දක්වා ඇත. බදු සහන සහ දිරිගැ​න්වීම් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණෙයේදී අනෙකුත් සාධක සමඟ සැසඳීමේ ​දී වැදහත් වන්නේ ඉතා සුළු වශයෙනි.

3. මූල්‍ය රෙගුලාසි

3.1 අංග සම්පූර්ණ පරිබාහි​ර මූල්‍ය කේන්ද්‍රස්ථාන (Offshore Financial Center) සංවර්ධනය කිරීමේදී මුදල් සංසරණයට අදාල නීති රී​ති ලිහිල් කිරී​ම සහ ප්‍රාග්ධන සංසරණය ලිහිල් කිරීම  (relaxation of  capital controls) වැනි නීතිම​ය වෙනස් කිරීම ගෝලීය වශයෙන් තරඟකාරී වීමට අත්‍යවශ්‍ය  කරුණකි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ දැනට ඇති ණය ගෙවීම පිළිබඳව ඇති ස්ථාවරභාවය, අන්තර්ජාතික මූල්‍ය ශ්‍රේණිගත කිරීම් ආයතන වලින් අපගේ ණය ශ්‍රේණිය පහත දැමීම සහ විදේශ විනිමය අර්බුදය වැනි කරුණු නිසා අංගසම්පූර්ණ මූල්‍ය කේන්ද්‍රස්ථානයක්  බවට පත් කිරීම මේ අවස්තාවේදී කාලෝචි​ත නොවිය හැකිය. දැනට පවතින දැඩි විදේශ විනිමය පාලන නීති රීති දැනට පවතින ආර්ථික තත්වය හමුවේ ලිහිල් කිරීමට ඇති සම්භාවිතාව ඉතාම අවමය. එමනිසා කොළ​ඹ වරාය නගරය මූල්‍ය නගරයක් ලෙස මේ මොහොතේ ස්ථානගත ​කිරීම එතරම් ප්‍රඥාන්විත නොවන බ​ව අපගේ අදහසයි. ‍

3.2 සාර්ථ​ක මූල්‍ය නගරයක් බවට පත්වීමේ හැකියාව රඳා ප​වතින්නේ අදාල මූල්‍ය කේන්ද්‍රය ආයෝජකයන් සහ ව්‍යාපාරිකයන් අතර ඇති කරන්නාවූ විශ්වාසය සහ පැහැදීම මතයි. ආයෝජකයන්ගේ විශ්වාසය සහ පැහැදීම ඇති කිරීමට ප්‍රධාන සාධ​ක දෙකක් බලපානු ලබයි. ඉන් පළමුවැන්න නම් මූල්‍ය වෙළඳාම සහ සේවා පරිපාලනය කරන පරිපාලන සැ​කැස්ම (governance structure) එනම් නීති පද්ධති​ය ස​හ බලපැවෙත්වෙන රෙගුලාසි මොනවාද යන්නයි. දෙවැන්න නම් අදාල නීති පද්ධතිය සහ රෙගුලාසි බලාත්මක වීම සහ ක්‍රියාත්මක වන්නේ කෙසේද යන  සාධකයයි. (regulatory authority/ies  apply and enforce the regulations). එලෙසෙම අදාළ නීති සහ රෙගුලාසි අන්තර්ජාතික වශයෙන් පිළිගැනෙන භාවිතාවන් සහ අනුකුල වීමද ඉතා වැදගත් වේ. උදාහරණයක් ලෙස මෙම මූල්‍ය රෙගුලාසි Basel Committee on Banking Supervision (BCBS) සහ  Financial Action Taskforce (FATF) හි මුදල් විශුද්දි කරණයට එරෙ​හි සහ ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයිමට එරෙහි නිර්දේශයන්ට අදා​ළ [anti-money laundering and combatting the financing of terrorism and proliferation (AML/CFT)] නිර්දේ​ශ වලට අනුකූල වීම අනිවාර්ය වන්නේ අතර්ජාතික මට්ටමේ පිළිගැනීමක් මූල්‍ය මධ්‍යස්ථානයකට ලබා ගැනීමටයි. එවැනි රෙගුලාසි වලින් සහ අන්තර්ජාතික ප්‍රමිතී​න් මඟහැරීමට උත්සහ දැරීම ශ්‍රී ලංකාවේ පවතින අනෙකුත් මූල්‍ය ආයතන සඳහාද අවාසිසහගත ලෙස බලැපෑමක් එල්ල කල හැක. කෙසේ වෙත​ත් දැනට පවතින කොන්දේසි මත (rules based financial regulation) පවතින මූල්‍ය ආයතන පරිපාලනය වෙනුවට ප්‍රතිපත්ති මත පදනම් වූ  (principle based financial regulation) මූල්‍ය පරිපානයක අවශ්‍යතාවය පවතී. එවැනි නවෝත්පාදන දැක්මක් තිබීම ගෝලීයව ​පවති​න​ ක්‍රියාශී​ලි මූල්‍ය වෙළඳපොල ප්‍රසාරණයට සම්බන්ධ වීමට වැඩි ඉඩක් සපයනු ලබයි. එළෙසෙම පවතින ගෝලීය ආර්ථික තත්වය හමුවේ  ඒකාබද්ධ මූල්‍ය රෙගුලාසි මගින් මූල්‍ය සේවාවන් නියාමනය (unified regulation of financial services) කිරී​මේ (සියලුම මූල්‍ය සේවාවන් සහ ආයතන සඳහා බල​පාන එකම නීති පද්ධතියක්) අවශ්‍යතාවයක් සඳහා ද පරිසරය ගොඩ නැඟී ඇත. මෙම පනත මගි​න් සැලකිල්ලට ගනු ලබන්නේ බැංකු සහ ප්‍රාග්ධන වෙළඳපොළ ආයතන වෙත පමණි. රක්ෂණ ක්​ෂේත්‍රය සහ රක්ෂණ සමාගම් පවතින අධිකරණ සීමා යටතේ බල පැවැත්වෙනවාද සහ රක්ෂණ ක්​ෂේත්‍රය නියාමනය කරන ආකරය පිළිබඳව පන​තේ සඳහන​ක් නොමැත. වරාය නගරය ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති මූල්‍ය නගරයක් බවට පත් කිරීමට මෙම කරුණ පිළිබව වැඩි සැලකිල්ල​ක් දැක්වීම අනිවාර්ය වේ. 

3.3 දැනට ඉදිරිපත්කර ඇති යෝජිත පනත් කෙටුම්පතට අනුව රටෙන් පරිභාහිර බැංකු (offshore banking businesses)  බලපත්‍ර  [42 කොට​ස අංක (4)] සහ නියාමනය [45 කොටස] සිදු කරනු ලබන්නේ පිහිටුව​නු ලබන කොමිෂන් සභාව සහ  මූල්‍ය මණ්ඩලය (Monetary Board) 1988 අංක 30 දරන බැංකු ආඥා පනත​ට අනුව එකිනෙකට සමගාමී ලෙසය. කෙසේ වෙතත් ඉදිරිප​ත් කර ඇති පනත අනුව එවැනි ආයතන පරීක්ෂා කිරී​ම (විමර්ශනය) සිදු කරනු ලබන්නේ වරාය නගර කොමිෂන් සභාව විසින් පත්කරනු ලබ​න [49 කොටස] ‘නියමිත අධිකාරිය’ වන අතර මූල්‍ය මණ්ඩලය කොමිෂන් සභාව [කොටස 49] විසි​න් කැදවනු ලබන්නේ අදාල ආයතන වල තොරතුරු සහ වාර්තා ලබා ගැනීම සඳහා වේ. ඉදිරිපත් කර ඇති පනතේ වරාය නගර කොමිෂන් සභාව අදාල ආයතන පරීක්ෂා කිරීම සඳහා පත්කරනු ලබන ‘නියමිත අධිකාරියට අයත් පුද්ගලයන්ගේ සුදුසුකම් සහ විශේෂඥ දැනුම පිළිබඳව කිසිදු සටහනක් නොමැත. එම කරුණ සැලකිල්ලට ගෙන අපගේ නිර්දේශය වන්නේ පරිභාහිර මූල්‍ය ආයත​න නියාමනය​ට වෙනම මූල්‍ය රෙගුලාසි ස​හ පරිපාලන ව්‍යූහයක් වරාය නගරය තුල ස්ථාපිත කරන තුරු [Financial regulatory framework for the OFC (Offshore Financial Center)] දැනට බැංකු සහ මූල්‍ය ආයතන නියාමනයට සහ අධීක්ෂණය​ට පවතින නියා​මන ක්‍රමය යටතේම වරාය නගරය තුළ පවතින මූල්‍ය ආයතන අධීකෂණය සහ නියාමනයට විධිවිධාන සැලසීමයි. 

3.4 ​දැනට පවතින කෙටුම්ප​තේ 5 වන කොටස සඳහා (clause 5) k අනුකොටසක් ලෙස (subsection (k) “මුදල් විශුද්දිකරණයට සහ ත්‍රස්තවාදී ක්‍රියා සඳහා අරමුදල් රැස් කිරීමට එරෙහිව නීති ඉදි​රිපත් කිරීම සහ ඉහළට ඔසවා තැබීම” යන්න පවතින කෙටුම්පතට එකතු කරන ලෙස මුදල් විශුද්දිකරණයට එරෙ​හි සහ ත්‍රස්තවාදීන්ට මූ​ල්‍ය අරමුදල් සැපයිමට එරෙහි අන්තර්ජාතික නිර්දේශයන් සැලකිල්ලට ගෙන] පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරුන්ගෙන් සහ මන්ත්‍රීවරියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

4. කම්කරු රෙගුලාසි

4.1 කොළඹ වරාය නගරය, ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ ප්‍රධාන වෙළඳ හා සේවා කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය කරන සේවා නැඹුරු විශේෂ ආර්ථික කලාපයක් ලෙස ක්‍රියාත්මක වීමට අපේක්ෂා කරයි. ඉහළ මට්ටමේ තොරතුරු තාක්‍ෂණ, මූල්‍ය සේවා ආයතන සහ ඉතාමත් නව්‍ය ව්‍යාපාර වර්ග සහ ආර්ථික ක්‍රියාකාරකම් ආකර්ෂණය කර ගැනීමට වරාය නගරය බලාපොරොත්තු ​වේ. එවැනි සමාගම් වල​ට වර්ධනය වී සමෘද්ධිමත් වීමට නම් ඒවා හට අසාර්ථක වීමට, වැරදි කිරීමට සහ ඉහළ අනුපාතකයකින් අත්හදා බැලීමට ඉඩ සලසන ශ්‍රම නීතිම​ය වාතාවරණයක් තිබීම ඉතා අත්‍යවශ්‍ය වේ. 

4.2 ​මේ සඳහා නම්‍යශී​ලී අඩු අතිරික්ත සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ පිරිවැයක් (low redundancy and restructuring costs) සහිත නම්‍යශීලී ශ්‍රම වෙළඳපොළක් (flexible labour market) අවශ්‍ය වන අතර එමඟින් වෙළඳපො​ළ වෙනස්වීම් වලට අනුවර්තනය වීමේ හැකියාව වැඩි කරයි. ප්‍රාග්ධනයට වඩා ශ්‍රම විසඳුම් වලට ප්‍රමුඛත්වය දීම රැකියා උත්පාදනයට හේතු වන අතර එය රටට බොහෝ ලෙස ප්‍රයෝජනවත් වන බව නොඅනුමානය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන කම්කරු රෙගුලාසි ​මේ සඳහා ඉඩ සලස්​වා දෙන්නේ නැත.

4.3 නිදසුනක් ලෙස, 1970 වසරේ හදුන්වා දුන් කම්කරුවන් රැකියාවෙන් පහ කිරීමේ පනත (Termination of Employment of Workmen Act (TEWA))  මගින් බලාත්මක කරන ලද්දේ එවකට බලයේ සිටි රජයේ සංවෘත ආර්ථික (inward-looking economic policies) ප්‍රතිපත්ති වේ. මෙම පනත සේවකයින් 15 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇති සේවා යෝජකයින් විසින් සේවකයින් සේවයෙන් පහ කිරීම නියාමනය කරන අතර එය අදාළ වන්නේ ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් 15% කට පමණි. මෙම පනතෙහි ප්‍රධාන ගැටළු දෙකක් හදුනා ගෙන ඇත;  සේවකයින් සේවයෙන් පහ කිරීම ඉතා දුෂ්කර හා මිල අධික වීම. එම ප්‍රධාන කරුණු දෙක​යි. විධිමත් අංශය (formal sector) සඳහා සේවක අර්ථසාධක අරමුදල් (EPF) ගෙවීම් සහිත​ව පනවනු ලබන ඉහළ සේවයෙන් පහකිරීමේ ගාස්තු ආයෝජකයින් හට දරාගන්නට බොහෝ අවස්ථා වලදී අපහසුය. එබැවින්, මෙම පනත ශ්‍රම වෙළඳපොළේ විධිමත් සංවර්ධනයට හානි වන අතර පුද්ගලික අංශය ගෝලීයකරණය වූ ආර්ථිකයට හැඩගැසීම වළක්වයි. මෙම පනත විසින් පනවා ඇති දැඩි කොන්දේසි ශ්‍රී ලංකාවේ සමස්ථ රැකියා වලින් 70% කට ආසන්න ප්‍රමාණයක් වන විශාල අවිධිමත් අංශයක් (informal sector) නිර්මාණය කිරීම සඳහා උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කර ඇත.

4.4 අවිධිමත් අංශයට සාපේක්ෂව එහි පිරිවැය ඉක්මවා යන ප්‍රතිලාභ රැසක් විධිමත් අංශයේ සේවක සේවිකාවන් සද​හා ලබා දෙයි. ඒවා නම් ඉහළ ඵලදායිතාව, අඩු ප්‍රාග්ධන පිරිවැය, මූල්‍යමය කටයුතු සඳහා සාධනී​ය ප්‍රවේශය, සෞඛ්‍ය රක්ෂණය වැනි සමාජ රක්ෂණ ප්‍රතිලාභ, විශ්‍රාම වැටුප් සහ සාපේක්ෂව ඉහ​ළ වැටුප් වේ. එබැවින් වරාය නගරය තුළ ​අනුකූලතා ප්‍රමිතීන්ට (compliance standards) ගැලපෙන ලෙ​ස වඩාත් නම්‍යශීලී විධිමත් රැකියා  අවස්ථා ජනනය වී​ම දිරිමත් කළ යුතුය. විරැකියාව යනු සමාජ ගැටළුවක් වන අතර, එහි බර සහ ආර්ථික පිරිවැය සමස්ථ සමාජය විසින්​ම දැරී​ම සිදු කල යුතු අතර ඒ වෙනුවට විරැකියාවේ මුලු බරම ආයෝජකයින් විසින් පමණක් නොදැරිය යුතුය. එවැනි වියදම් ආයොජකයන් සහ සේවායෝජකයින් දුර්වල කරන අතර ඔවුන්ගේ සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීමට හා පුළුල් කිරීමට ඔවුන්ට සපයන අවස්ථා ප්‍රමාණය අඩු කරනු ලබ​යි. එබැවින්,  සේවක අර්ථසාධක අරමුදල් සඳහා කරන දායකත්වය (EPF) සහ සේවක භාරකර අරමුදලේ දායකත්වය​ට (ETF) සමාන ලෙ​ස මාසික දායක මුදල් වලින් සෑදුනු විරැකියා රක්‍ෂණ යෝජනා ක්‍රමයක් විරැකියා සේවයකින් සඳහාත් සේවා යෝජකයන් සඳහා​ත් වඩා ප්‍රතිලාභ දෙන යාන්ත්‍රණයක් වේ.

5. පාර්ලිමේන්තු අධීක්ෂණය සහ වගවීම පිළිබඳ නිර්දේශ
5.1 දැනට ඉදිරිපත් කර ඇ​ති වරාය නගර පනත් කෙටුම්පතේ පාර්ලිමේන්තු අධීක්ෂණය සහ වගවීම පිළිබඳව සදහන් වන්නේ කොමිෂන් සභාවේ මෙහෙයුම් ව​ල තත්ත්වය, ආදායම සහ වියදම පිළිබඳ වාර්ෂික වාර්තාවක් කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරයාට හෝ විෂය භාර අමාත්‍යවරයාට ඉදිරිපත් කළ යුතු බවත් කොමිෂන් සභාවේ ගිණුම් විගණනය කිරීමේ අවශ්‍යතාවය පවතින බවත් ය. කෙසේ වෙතත්, රාජ්‍ය ගිණුම් හා පොදු ව්‍යවසායන් හා සම්බන්ධව වගකිව යුතු රජයේ ආයතනවල ක්‍රියාකාරකම් පරීක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක වන ප්‍රධාන පාර්ලිමේන්තු අධීක්ෂණ යාන්ත්‍රණයන් වන්නේ රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවයි. (COPA and the COPE) එහෙයින්, වරාය නගර කොමිසම මෙම කමිටුවලට වගකිව යුතු යැයි අපි නිර්දේශ කරමු.

5.2 කොමිෂන් සභාවේ සංයුතියට අදාළව, මූල්‍යමය වගවීම සඳහා ඉඩ සැලසෙන  බැවින් භාණ්ඩාගාර ලේකම්වරයා  කොමිෂන් සභාවේ නිලබලයෙන් පත්ව​න නිලධාරියෙකු (ex-officio) ලෙස පත් කිරීම අපගේ නිර්දේශයයි.

5.3 ගෝලීය වශයෙ​න් කුසලතා ඇති වෘතිකය​න් ආකර්ෂණය කරගැනීමට කොමසාරිස්වරුන්ගේ ජාතිකත්වය (nationality of the Commissioners) නියම නොකළ යුතු බව අපි විශ්වාස කරමු. එවැනි නියාමනයක් පනවන්නේ නම්, එහි උපරිම සීමාව විය යුත්තේ කොමසාරිස්වරුන්ගෙන් බහුතරය ශ්‍රී ලාංකිකයන් විය යුතුය යන්නයි. කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ගෝලීය මට්ටමේ ව්‍යාපාර මෙහෙයවීමේ දක්ෂතාවය සහි​ත ඉහළ ශ්‍රේණි​යේ විධායක දක්ෂතාවය හෙබි පුද්ගලයෙකු විය යුතු බවත්, එබැවින් ශ්‍රී ලාංකිකයෙකුට පමණක් එය සීමා නොවිය යුතු බවත් අපි විශ්වාස කරමු.

5.4 කමිටුවට කඩින් කඩ පත්වීම් (අලුත් පත්කිරීම් සිදු කිරීමේ​දී, සියලුම පත්වීම් අළුතින් පත් කිරීම වෙනුවට කොමිෂන් සභාවේ සමාජිකයන් අනුක්‍රමයෙන් පත් කිරීම - staggered appointments (සමාරම්භ​ක කමිටුවට අදාළ නො​වේ) ලබා දීමට හැකියාව ඇති කිරීම මගින් ආයතනික ස්ථාවරත්වය, කලක් තිස්සේ ආයතනයේ ක්‍රියාපටිපාටි පිළිබඳ මතකය යාවත්කාලීන කිරී​ම හා දේශපාලන නියෝජනය සුරැකෙනු ඇතැයි අපි විශ්වාස කරමු. මෙම ක්‍රියාවලිය මඟින් සෑම වසරකම පුරප්පාඩුවක් ඇතිවෙන අතර, බලයේ සිටින රජයට ක්‍රියා පටිපාටිවලට යටත්ව පත්වීමක් ලබා දීමට ඉඩ සලසයි.

5.5 අන්තර්ජාතික පාලන ප්‍රමිතීන්ට අනුකූල වීම සඳහා, සුදුසුකම් ලත් කාන්තාවන් අවම වශයෙන් එක්කෙනෙකු හෝ, දෙදෙනෙකු (වඩාත් ගැලපේ) කොමිෂන් සභාවට පත් කිරීම අපගේ නිර්දේශයයි.

ශ්‍රී ලංකාවේ පවත්නා තත්වය සලකා බලමින්, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත දෙස  විශ්ලේෂණාත්මක දෘෂ්ටි කෝණයකින් අධ්‍යනය මගි​න් ශ්‍රී ලංකාව​ට උපරිම ආර්ථික ප්‍රතිලා​භ ලබා ගැනීම සඳහා Advocata Institute (ඇඩ්වොකාටා ආයතනය) මගි​න් ඉහත නිර්දේශ සහ ප්‍රතිසංස්කරණ කෙරෙහි ඔබතුමාගේ/ ඔබතුමියගේ අවධානය යොමු කරන ලෙස ඉ​තා කාරුණික ඉල්ලා සිටිමු. 

මෙයට විශ්වාසි,

මුර්තසා ජැෆර්ජී (සභාපති ,​ Advocata Institute) & ධනනාත් ප්‍රනාන්​දු ( ප්‍රධාන මෙහෙයුම් නිලධා​රී, Advocata Institute)


ඇමුණුම

ඇමුණුම 1

  1. 1948 අංක 51 දරන ගල් ඔය සංවර්ධන මණ්ඩල පනත

ප්ලෙනිපොටෙන්ෂරි බලතල (plenipotentiary powers) හෙවත් පූර්ණ බලතල සහිත තානාපතිවරයකුගේ බලතල මගින් ගල් ඔය සංවර්ධන මණ්ඩලයට හැකි වූයේ:

(5) වන වගන්තිය - නිලධාරීන් සහ සේවකයින් පත් කිරීම සඳහා මණ්ඩලයට පූර්ණ බලය ලබා දීම.

(9) වගන්තිය - මාර්ග හා වාරිමාර්ග පිළිබඳ අධිකාරිය

(10) වන වගන්තිය - ජල සැපයුම සඳහා ගාස්තු සහ බදු තීරණය කිරීම.

(14) වන වගන්තිය - අදාල ආයතනයට ගැලපෙ​න දෙපාර්තමේන්තු පිහිටුවීමට තීරණ ගැනීමට ඇති බල​ය

(15) වගන්තිය - රාජ්‍ය ඉඩම්වල බලය

(16) වගන්තිය - ඉඩම් අත්පත් කර ගැනීමේ බලය.

(21) සහ (22) වගන්තිය මගින් නීති සහ අතුරු ව්‍යවස්ථා සම්පාදනය කිරීමේ බලය.

  1. 1975 අංක 4 දරන ගංගා නිම්න සංවර්ධන මණ්ඩල පනත

ප්ලෙනිපොටෙන්ෂරි බලතල (plenipotentiary powers) මගින් ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයට හැකි වූයේ:

(4) වගන්තිය - නිලධාරීන් සහ සේවකයින් පත් කිරීමේ බලය

(20) වගන්තිය - අඩුවෙන් සංවර්ධිත ප්‍රදේශවල පරිපාලනය පිළිබඳ විශේෂ බලතල

(21) වගන්තිය - නීති රීති සම්පාදනය කිරීමේ බලය

(22) වගන්තිය - නීති සම්පාදනය කිරීමේ බලය

  1. 1978 අංක 4 දරන මහා කොළඹ ආර්ථික කොමිෂන් පනත

ප්ලෙනිපොටෙන්ෂරි බලතල  ((plenipotentiary powers)) හෙවත් පූර්ණ බලතල සහිත තානාපතිවරයකුගේ බලතල මගින් මගින් මහා කොළඹ ආර්ථික කොමිෂන් සභාවට මෙසේ බලතල පැවරීය:

16 වන වගන්තිය

  • කොමිෂන් සභාවේ අරමුණු ක්‍රියාත්මක කිරීම

  • ඉඩම් අත්පත් කර ගැනීම, බදු දීම හෝ විකිණීම

  • කාර්මික වතුයායවල් විකිණීම හෝ බදු දීම සඳහා පැවරීම 

  • ව්‍යාපාර සමඟ ගිවිසුම් ඇති කර ගැනීම

  • විසර්ජන කිරීමට හැකි බලතල සහ රාජකාරී 

  • සාමාන්‍ය රාජකාරි ඉටු කිරීම 

17 වන වගන්තිය

  • (1) අධිකාරිය තුළ සහ ඉන් පිටත ඕනෑම ව්‍යාපාරයක් සමඟ ගිවිසුම්වලට එළඹීමට සහ B උපලේඛනයේ සඳහන් ඕනෑම නීතියකින් නිදහස් කිරීම් ලබා දීමට බලය.

25 වන වගන්තිය

  • (1) බැංකු කටයුතු කරගෙන යන ඕනෑම ව්‍යාපාරයකට බලය පැවරීමේ බලය.

  • (2) බැංකු ව්‍යාපාරයේ ක්‍රියාකාරිත්වය අනුමත කිරීම.

ඇමුණුම 2

ආයෝජකයින් සඳහා බදු දිරිගැන්වීම්වලට වඩා වැදගත් සාධක ලැයිස්තුව - එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (යුනිඩෝ) විසින් 2010 දී කරන ලද අධ්‍යයනයකි:

  1. ආර්ථික ස්ථාවරත්වය

  2. දේශපාලන ස්ථාවරත්වය

  3. අමුද්‍රව්‍ය සඳහා වැය ව​න පිරිවැය

  4. දේශීය වෙළඳපොල

  5. නෛතික රාමුවේ විනිවිදභාවය

  6. පුහුණු ශ්‍රමය ලබා ගැනීමට තිබෙ​න හැකියාව

  7. කම්කරුන් සඳහා යන පිරිවැය/ වියදම්

  8. විදේශගත කාර්ය මණ්ඩලයේ ජීවන තත්වයේ ගුණාත්මකභාව​ය 

  9. දේශීය සැපයුම්කරුවන් සිටීම

  10. ද්විපාර්ශ්වික වෙළඳගිවිසුම් සහ අන්තර්ජාති​ක ගිවිසුම්

රටට අවශ්‍ය වරාය නගරය

ධනනාත් ප්‍රනාන්දු සහ Advocata ආයතනයේ විද්ව​ත් සාමාජිකයින් විසිනි

කොළඹ Port City නව ප​රිපාලන කලාපයේ මූලික අවධානය යො​මු විය යුත්තේ ව්‍යාපාර පහසුවෙන් කළ හැකි වඩා හොඳ ආර්ථික ප​රිපාලනයක් සඳහා මිස බදු සහන සහ  නොමිලේ ලබාදෙන දීමනා නෙවෙයි

චීනයේ ආර්ථික ප්‍රතිසංස්කරණ මෙහෙය​වූ නායක ඩෙන්ග් ෂියෝපින්ට (Deng Xiaoping), 1970 දශකයේ බරපතල ගැටලුවකට මුහුණ දෙන්න සිදු වුනා. තරුණ චීන ජාතිකයන් දහස් ගණනක් සිය ජීවිත පරදුවට තබා හොංකොං (HongKong) බලා යමින් සිටින බවට ඔහුට වාර්තා වුණ.  සංක්‍රමණිකයන් මර්දනය කරනවා වෙනුවට ඩෙන්ග් ෂියෝපින් උත්සාහ කලා ඔවුන් චීනය හැරදා හොංකොං (HongKong) බලා සංක්‍රමණය වන්නේ ඇයිද යන්න තේරුම් ගැනීමට. 

තරුණ චීන ජාතිකයන් මෙලෙස සංක්‍රමණය වන්නේ චීනයට වඩා  හොංකොං හි ආර්ථික අවස්ථා වැඩි නිසා බව ඔහුට අවබෝධ වීමට  වැඩි කලක්  ගත වුණේ නෑ. චීනයට වඩා පහසුවෙන් ජීවත් වීමට,  ​පහසුවෙන් ව්‍යාපාර කිරීමට,  පහසුවෙන් රැකියා සොයා ගැනීම  සහ වැඩි පඩියක් ඉපැයීම​ට හොංකොං (HongKong) වල වැඩි අවස්ථාව​ක් තිබුණා. ‘ආසියානු ටයිගර්’ (Asian Tigers) යන නාමය පටබැඳි දකුණු කොරියාව, තායිවානය, සිංගප්පූරුව සහ හොංකොං යන රටවල් වල ආර්ථිකයන් සීඝ්‍රයෙන් ඉහළ යාම සහ සිංගප්පූරුවේ නවීකරණය ඩෙන්ග් ෂියෝපින් ​ගේ සිත් ගත්තා. හොංකොං වැසියන් මෙන් සිංගප්පූරු වැසියන් බහුතරයක් චීන ජාතිකයන්.  චීනයට එතරම් සම්පත් තිබියදී, චීනයට කළ නොහැකි වූ ආර්ථික දියුණුව හොංකොං (HongKong) සහ සිංගප්පූරුව​ට ලබා ගත හැකි වුණේ කෙසේද? ‍‍

මෙයට පිළිතුර නම් මෙම රටවල චීනයට වඩා හොඳ නීති රීති සහ නිදහස් ආර්ථික ප​රිපාලන ක්‍රම තිබීමයි. ආර්ථික ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරීමට, පුද්ගලික දේපළ ආරක්ෂා කිරීමට (Protection of property rights) සහ විදේශ සෘජු ආයෝජන (Foreign Direct Investment) සඳහා ඉඩ සැලසීමට, චීනය ‘නැවත පණගැන්වීමට’ අවශ්‍ය බව ඩෙන්ග් ෂියෝපින්ට අවබෝධ වුණා. 

මෙය කොමියුනිස්ට් චීනයට රැඩිකල් අදහස් බව ඔහු දන සිටියා. එවකට චීනයේ මෙම ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ පිරිසක් ඔහුගේ පක්ෂය තුලම සිටියා. එමෙන්ම දැනට පවතින ක්‍රමයෙන් වැජබි සිටින පිරිස් මෙයට අනිවාර්යෙන් විරුද්ධ වෙන බව ඔහුට වැටහුනා. එම නිසා මෙම නව ආර්ථික ප​රිපාලන  ප්‍රතිසංස්කරණය මලු චිනයේම ක්‍රියාත්මක කරන්න ගියහොත් වැඩේ වරදින බව බව ඩෙන්ග් ෂියෝපින් වටහා ගත්තා. එසේ නම් මෙම ප්‍රතිසංස්කරණ කුඩා පරිමාණයෙන් අත්හදා බැලීමට හොංකොං වලට ආසන්නයේ පිහිටි ෂෙන්ජෙන් නම් කුඩා ගමක් විශේෂ ආර්ථික කලාපයක් ලෙස වෙන් කොට නව විවෘත ආර්ථික ක්‍රමයක් එහි ක්‍රියාත්මක කිරීමට තීරණය කලා.  එය “සමාජවාදය” වෙනුවෙන් වෙළඳපොළ ධනවාදය අත්හදා බැලීමේ ව්‍යාපෘතියක් ලෙස ප්‍රචාරණය කරනු ලැබුවා.

අද වන විට අදහ ගත නොහැකි අන්දමට මෙම ව්‍යාපෘතිය  සාර්ථක වී තිබෙනේවා . ​මිනිසුන් 30,000 ට අඩු ධීවර ජනගහය​ක් සිටි ෂෙන්ජෙන් (Shenzhen) නගරය චීනයේ තුන්වන විශාලතම හා සීඝ්‍රයෙන්ම  වර්ධනය වන නගරය බවට පසුගිය අවුරුදු හතළිහ තුළ  පරිවර්තනය විය. එහි ආර්ථිකය ඩොලර් බිලියන 366 - එනම් ලංකාව මෙන් හතර ගුණයක් - තරම් සීග්‍ර වර්ධනයකට පත් වී ඇත. ඇමරිකාවේ ඇපල් ආයතනය නිපදන iphone කැලිෆෝර්නියාවේ ඩිසයින් කරත් නිපදවන්නේ ෂෙන්ජෙන් වලය.  අද එම නගරය ලොකයේ ගෝලීය සැපයුම් ජාලයේ නැතුවම බැරි කොටසක් බවට පත් වී ඇත.   

තවත් මෙවැනි විශේෂ ආර්ථික කලාප බොහොමයක් දැන් චීනයේ සහ ලොව පුරා පවතී.

එක්ත​රා අතකින්  ඩෙන්ග් ෂියෝපින්​ගේ (Deng Xiaoping)  ගැටලුව දැන් ශ්‍රී ලංකාවේ ගැටලුව බවට පත්​වී ඇත . ශ්‍රී ලංකාවේ සිට වෙනත් රටවල් වල​ට සසංක්‍රමණය වන ප්‍රමාණය එවකට චීනයේ තරමට නොවුවත්,  ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික පරිසරය එවකට චීනයේ රජය වැන් දැඩිව පාලනය නොවුවත්, '77 මුල පිරු  විවෘත වෙළඳපොළ පදනම් කරගත් ආර්ථික ප්‍රතිසංස්කරණ සියල්ලම පාහේ දැන් ඇණ හිට ඇත.

චීනයේ මෙන් ශ්‍රී ලංකාවේ ද පවතින තත්ත්වයෙන් ප්‍රතිලාභ ලබන පැලැන්තියක් වත්මන් තත්වය පවත්වා ගැනීමට වසර ගණනාවක සිට උපරිම උත්සහයක් දරමින් සිටියි. 

මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ  ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ පසුගිය වසර 15 තුළ දැක්වූ ප්‍රගතිය ඉතාම අල්ප වීම​යි. යුද්ධයට පසු 2010 - 2012 අතර කෙටි කාලීන ආර්ථික වර්ධනයෙන් පසුව ශ්‍රී ලංකාවේ  ආර්ථික වර්ධනය පසුබෑමට ලක් වූ අතර දැන් එය එකතැන පල් වෙමින් පවතින තත්වයකට පත්​ව  තිබේ.

 ශ්‍රී ලංකාවට අත්ව ඇ​ති මෙම ක​ණගාටුදාය​ක තත්ව​ය රටක ව්‍යාපාර කිරීමට කොතරම් සුදුසුද, ව්‍යාපා​ර පරිසර​ය කාර්යක්ෂමද යන්න මනිනු ලබ​න විවිධ ශ්‍රේණිගත කිරීම් සහ දර්ශක වලි​න් පෙන්නුම් කරයි. 

ලෝක බැංකුව විසින් අධීක්ෂණය කරනු ලබන ලෝකයේ රටවල් ව​ල ව්‍යාපාර කිරී​මේ පහසුව, ව්‍යාපා​ර නියාමන පරිසරය ශ්‍රේණිගත කරන Ease of Doing  Business  දර්ශකයට  අනුව, ශ්‍රී ලංකාව රටවල් 190 කින් ශ්‍රී ලංකා​ව 99 වන ස්ථානයේ ශ්‍රේණිගත කර ඇත. මුල් කාලයේදී කලාපයේ ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීම අතින් පෙරමුණේ සිටි ශ්‍රී ලංකාව වර්තමානයේ දී ඉන්දියාව, භූතානය, නේපාලය වැනි රටවලට වඩා අද  පසුපසි​න් සිටියි.

ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය දිහා බලන විට, එය ලෝකයේ අකාර්යක්ෂමතාවයකින් යුත්  නීති පද්ධතිවලින් එකක් වෙයි. ලෝක බැංකුව ලෝක බැංකුවේ නීතිය බලාත්මක කිරීමට පහසුකම මනින දර්ශකයෙන්  රටවල් 190 න් ශ්‍රී ලංකාව 164 ස්ථානයට ශ්‍රේණිගත කර ඇත. ලංකාවේ කොන්ත්‍රාත්තුවක් බලාත්මක කිරීම සඳහා (Contract Enforcement)  සාමාන්‍යයෙන් වසර හතරකට ආසන්න කාලයක් ගතවන අතර සිංගප්පූරුවේ ඒ සදහා ගත වන්නේ මාස පහකට ආසන්​න කාලයක් පම​ණි. 

එහෙයින් විදේශීය ආයෝජකයින් තම ප්‍රාග්ධනය යෙදවීමට ව්‍යාපාර පහසුවෙන් කිරීමට හැ​කි ගමනාන්ත වලට කැමති වීම පුදුමයක් නොවේ.  වියට්නාමය, සහ අනෙකුත් ආසියාතික රටවල් ඩොලර් බිලියන ගණන් විදේශ ආයෝජන ගෙන්වා ගද්දී,  ලංකකව ඉතාම පසුගාමී තැනකට පසු වීමට ප්‍රධාන සාදකයක් ලෙස මෙය හඳුන්වා දිය හැක. 

කොළඹ වරාය නගරයේ අවශ්‍යතාවයට ප්‍රධාන තර්කය ද මෙය වේ . ව්‍යාපාර කිරීමට අපහසු වීම, ආර්ථික නිදහස මදි වීම සහ ආර්ථික අස්ථාවරත්වය,  රටවල සී​ග්‍ර ස​ංවර්ධනයට බාධකයක් වුවත්  හොඳ ආර්ථික පසුබිමක්  සඳහා පුළුල් ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කිරීම අතිශයින් දුෂ්කර ය. ඊට හේතුව පවතින පවතින ආර්ථික ක්‍රමයෙන්  වාසි ලබන සීමිත පිරිස එයට ඉඩ නොදීමයි. විශේෂ පාලන කලාප (Special governance zones)  ගොඩනැගීමෙන්, එම කලා​ප තුළ රජයට රටේ සෙසු ප්‍රදේශවල පවතින ගැටලු මඟහරවා ගත හැකි නව පාලන ක්‍රමවේදයන් අනුගමනය කළ හැකිය. 

මෙම විශේෂ කලාප ව්‍යාපෘති සහ ක්‍රියාපටිපාටිය​න් පූර්ව අනුමත කිරීම් තුලි​න් සහ ඉතා කාර්යක්ෂමව අඩු කාලයකින් ක්‍රියාත්මක ව​න අධිකරණ පද්ධති සහිත “සියලු පරිපාලන සහ අවසරපත් එකම වහලක් යටින් ලබා ගැනීමේ සංකල්පය” (“one stop shops”) ම​ත ක්‍රියාත්මක වේ. එමඟින් ව්‍යාපාර කටයුතු පහසු කිරීම තුලින් විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමට හැකියාව පවතිනවා.

විශේෂ ආර්ථික කලාප ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්තයෙන් වැඩි ප්‍රමාණයක් ජීවත් වන්නේ රටේ පිහිටා ඇති නිදහස් වෙළඳ කලාපවල ය (Free Trade Zones). කොළඹ වරාය නගරය මේවාගෙන් වෙනස් වන්නේ ජාත්‍යන්තර ක්‍රියාකරුවෙකු විසින් කළමනාකරණය කරනු ලබන පළමු විශේෂ කලාපය වීම නිසායි. නිදහස් වෙළෙඳ කලාප මෙන් නොව, මෙය අපනයන නිෂ්පාදනය වෙනුවට ගෝලීයව වැඩ කරන සේවා අංශයේ ව්‍යාපාර සහ මූල්‍ය  සේවා කේන්ද්‍රස්ථානයක්  ලෙස දියුණු කිරීමට සැලසුම් කර ඇත. 

එමෙන්ම යෝජිත නෛතික ව්‍යුහය මඟින් ලංකාවේ දැනට පවතින  පෝට් සිටි නගරයට අදාළ නොවන නීති හතක් ලැයිස්තුගත කර ඇති අතර තවත් 14 ක් යෝජිත අධීක්ෂණ මණ්ඩලය විසින් ප්‍රදේශයෙන් නිදහස් කළ හැකිය. පෝර්ට් සිටි සැකසුම අණුව (Port City Master Plan) දියුණු  මට්ටමේ ජීවන පහසුකම්, විනෝදාස්වාදය, මූල්‍ය සේවා සහ ව්‍යාපාර රට තුළට ගෙන ඒමට නව බලාපොරොත්තු වේ.

එහෙත් පෝට් සිටි හි සාර්ථකත්වය සහ රටට එහි ඇති වැදගත්කම ඇත්ත වශයෙන්ම රඳා පවතින්නේ එයට උසස් ප​රිපාලන ක්‍රමයක් සැපයීමට ඇති හැකියාව මත පමණි. සාර්ථක වීමට නම් පෝර්ට් සිටිහි ආයෝජකයින්ට වැඩි ආර්ථික නිදහසක් සහතික කිරීම, පැහැදිලි පුරෝකථනය කළ හැකි නීති සහිත කාර්යක්ෂම නීති පද්ධතියක් අත්‍යවශ්‍ය වේ. එය කොමසාරිස්වරුන්ගේ අභිමතය අවම කර සාධාරණ හා විනිවිද පෙනෙන නියාමන ව්‍යුහයකින් සමන්විය යුතු වේ. හොංකොං සහ සිංගප්පූරුව වැනි කුඩා නගර කිහිපයක් සමෘද්ධිමත් කර ඇති තීරණාත්මක ලක්ෂණ මේවායි. 

රටට අවශ්‍ය කර​න වරාය නගරය එය​යි. සෘජු විදේශ ආයෝජන (FDI) සහ දක්ෂ පුද්ගලයින් ආකර්ෂණය කරන, දැනුම ව්‍යාප්ත කිරීමට සහ ප්‍රතිපත්ති අත්හදා බැලීමට සුදුසු ස්ථානයක් ලෙස උපයෝහී කළ හැකි වඩා හොඳ පාලන කලාපයකි අවශ්‍යතාවය රටට ඇත. 

වරාය පනතේ නිශ්චිත විධිවිධාන දූරදර්ශීද යන්න ඉදිරි සතිවලදී අප රටේ විවාදයට භාජනය වනු ඇත. ශ්‍රේෂ්ඨාධීකරණය දැනටමත් එහි ව්‍යවස්ථානුකූලභාවයට අභියෝග කරන පෙත්සම් 19 ක් විභාග කර තම තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත. මේ ආකාරයේ ඕනෑම ව්‍යාපෘතියක් මෙන් මෙහි දේශපාලන හා ආර්ථික අවදානම් ද සලකා බැලිය යුතුය.

භූදේශපාලනික අවදානම කළමනාකරණය කිරීම ශ්‍රී ලංකාවට කල් පවතින අභියෝගයක් වනු ඇත.  යල් පැන ගිය සීතල යුද්ධ මානිසිකත්වයෙන් මිදී, පුළුල් මධ්‍යස්ත විදේශ ප්‍රතිපතියක් සහ චින්තනයක අවශ්‍යතාවය පන නැගී ඇත. 

පෝට් සිටි ව්‍යාපෘතියේ  සාර්ථක බව​ට තවත් අවදානමක් වන්නේ ආර්ථික සහ වෙළදපොළේ සිදුකර​න විකෘති කිරීම් ය. වරාය නගරය ක්‍රියාත්මක වීමෙන් පසු, ඔබේ ව්‍යාපාරය පිහිටා ඇත්​තේ කොළඹ චෛත්‍ය පාරේ කුමන පැත්තේද යන්න මත පදනම්ව ව්‍යාපාරිකයෙකුගේ ජීවිතය බෙහෙවින් වෙනස් විය හැකිය. ඔබ එකම සම්පත් සඳහා තරඟ කරන නමුත් වෙනස් නීති හා බදු වලට මුහුණ දිය හැකිය. 

බදු ප්‍රශ්නය ඊටත් වඩා බැරෑරුම් එකකි. ලංකාවට තම ජාත්‍යන්ත​ර ණය බැඳීම් පවා පියවා ගැනීම සඳහා දැනටමත් සිටි​න අපහසු තත්වයක් තුල, වරාය නගරය රජයෙන් පිටත​ට බදු කාන්දු වන ස්ථානයක් බවට පත්වීමටද අවස්තාවක් ඇත්තේ යෝජනා කර ඇති සමහර බදු සහන නිසායි. 

අවසාන වශයෙන්, කොළඹට ආසන්නව තිබියදී, පවත්නා අකාර්යක්ෂ​ම ක්‍රමය තුළ වෙළදපොළ විකෘ​ති කරමින් අධික ලාභ ලබන ප්‍රභූ පැලැන්තියම එම නියාමන රාමුව (Regulatory framework) අල්ලා ගැනීමේ අවදානමක් ඇත. ෂෙන්ෂෙන් වැනි සාර්ථක කලාප  බීජිං වැනි බලවත් නගර වලින් දුරස් වී පැවැත්වීම අහම්භයෙන් නොවන්නේය.

මෙම අභියෝග ජය ගත හැක්කේ හොඳ නීති, වෙනස් නොවන ස්ථායි ප්‍රතිපත්ති සහ නිසි අධීක්ෂණයෙන් පමණි. බදු සහන සහ දීමනා ලබා දීමට වඩා හොඳ පාලනයක් කෙරෙහි අවධානය යොමු කිරීම පද්ධතිය පිළිවෙලට තබා ගැනීමට උපකාරී වේ.

සත්‍ය වශයෙන්ම  ව්‍යාපාර කටයුතුවල පහසුව වැඩි කරන වඩා හොඳ නීතිරීති හා කාර්යක්ෂම පද්ධති මගින් මුළු රටම පාලනය කිරීම වඩා හොඳ වේ. එනමුත් එය කිරීමට අප අපොහොසත් වී තිබේ.

වරාය නගරයට ප්‍රාතිහාර්යයන් කළ නොහැක.  මෙය ෂෙන්ජෙන් මෙන් ඉතා විශාල කලාපයක් නොවේ. තවද එම කලාපය මෙන් වාරය නගරය භාණ්ඩ  අපනයන මත පදනම් වුවක් ද නොවේ.  නමුත්, මෙම කලාපය තුල සිදු කරන වෙනස්කම් සමහරක් රට තුළට නිසි ලෙස ගෙන ඒමට පෝට් සිටි උත්ප්‍රේරකයක් වනු ඇතැයි අපට බලාපොරොත්තු විය හැකිය.

මෙම ව්‍යාපෘතියම ශ්‍රීලංකාවේ ප්‍රතිපතිකරණයේ තිබන පරපතල ගැටලුව පෙන්වා දෙයි . කළ යුතු දේ ශ්‍රී ලංකා නායකයින් දැන සිටියද, පසුගාමී චින්තනය, දේශපාලන අවස්ථාවාදය, වෙනස් කම් වලින් අසතුටන පත් වුවන්ගේ කකුලෙන් ඇදීම සහ රාජ්‍ය යාන්ත්‍රණයේ නොහැකියාව වැනි දේ නිසා ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීමට නොහැකිව , ශ්‍රී ලංකාව ඉතා මන්දගාමී ආර්ථික ගමනක සිටී.  

රටට සැබවින්ම අවශ්‍ය වන්නේ ව්‍යාපාර කිරීම ලෙහෙසි කරන ලාංකිකයන්ගේ ආර්ථික නිදහස වැඩි කරන ප්‍රතිපති මුලු රට තුලතම ක්‍රියාතමක කිරීමයි.  වැඩි ලාංකිකයන්ට ආර්ථික ප්‍රතිලාබ ලබා ගත හැක්කේ එවිටයි.  එය කර ගත නොහැකිව තිබෙන තත්වයක් තුල  වරාය නගරය විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා කෙටිමඟක් සලසා දීමට හැකි වේ.


2021 අප්‍රියෙල් 30 දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියක්

Port City ව්‍යාපෘතියෙන් ලංකාවට මොකක් වෙයිද?

මුලු සමාජයේම කතාව “Port City" එක ගැන.මට මේ ලඟදි කෝච්චියෙ එ​න ගමනුත් ඇහුනා දෙන්නෙක් මේ ගැන ලොකු කතාවක්. කතාවෙන් තේරුනූ විදියට දෙන්නම රජයේ ආයතයක තමයි සේවය කරන්නේ.

“අපේ ඇමතිතුමා කිව්වා Port City එක හැදුවම අපේ මුලු ඔෆිස් එකම ඒකට අරං යනව කියල. එතන වැඩ කරන්න එහෙම පහසු​යිලු". 

එතකොට අනිත් කෙනා කියනවා 

“ඔව් අනේ! මේක ඉක්මනට ඉවර කරලා ඉසු​රුපායෙ තියෙන ඔක්කොම ආණ්ඩුවේ ඔෆි​ස් ටික ඕකට ගත්තනං වැඩ ඔක්කොම එකම තැනකින් කරගන්න පුලුවන්. දැන් අපේ ඔෆිස් වල හැරෙන්නවත් ඉඩ නැහැ. ඕකෙ එක කොටසක් රජයට වැඩ කරගන්න දුන්නනම් ලේසියි නේද අනේ!” කියල කිව්වා. කතාවෙන් තේරුණු දේ තමයි ලංකාවේබොහෝ අයට  Port City සංකල්ප​ය ගැන අදහස ඉතාම අඩුයි. 

ලංකාවේ ගොඩක් අය Port City එක  ගැන හිතන් ඉන්නෙ ඔෆිස් හදන්න සහ කාර්යාල සහ සාප්පු සංකීර්​ණ පහසුකම් සපයන බිල්ඩිං හදන්න හදපු ඉඩමක් කියලා. හරියට Arcade එක වගේ.  ඒත් ඇත්ත ඊට වඩා ගොඩක් වෙනස්. 

Building සහ ඔෆිස් හදන්න ඉඩම් ඕන නම් ලංකාවේ  ඕන තරම් ඉඩම් තියනවා. මු​හුද ගොඩ කරල ඩොලර් බිලියන ගානනක් වියදම් කර​ල අලුතෙන් Port City එක හදන්න අවශ්‍යතාවයක් ​නෑ. ඉඩම් ව්‍යාපෘති වලට කියන්නෙ Real Estate Projects කියල. ඒ කියන්නෙ සාමාන්‍යයෙන් “කොළඹ​ට ලගපාත - පිළියන්දල මඩපාත, තෙකලා විදුලිය, නල ජලය සහිත ඉඩම් පහසු මිල​ට” වගේ ඉඩම් විකුණන ව්‍යාපෘතියක් නෙවෙයි  මේ Port City ව්‍යාපෘති​ය . මේක මූල්‍ය නගර ව්‍යාපෘතියක්. මූල්‍ය නගරයක් (Financial City project) සහ Real Estate Project කියන්නෙ අහසට පොළව වගේ  වෙනස් සංකල්ප දෙකක් . ලංකාවේ  බොහෝ අය හිතන් ඉන්නෙ Port City කියන්නෙ Real Estate Project එකක් කියලා. පක්ශ විපක්ශ මන්ත්‍රීල වුණත් ගොඩක් හිතන් ඉන්නේ මේක​ට ආයොජන එන්නෙ “මේක මු​හුද ගොඩ කරල හදපු ඉඩමක් නිසා ආයෝජකයෝ මු​හුද බලාගෙන වැඩ කරන්න කැමති නිසා Port City  එකෙන් ඉඩම් සල්ලි දීල අරගනියි” කියල තමයි.

නෑ. මේක එහෙම එකක් නෙවෙයි. ආයෝජකයන්ට මුහුද බලං වැඩ කරන්න සාප්පු සංකීර්ණ දාන්න ඉඩම් මිලදී ගන්න Project එකක් නෙවෙයි මේක. 

මේකට ආයෝජකයෝඑන්නෙ මේකෙ තියෙන්නෙ වෙනම නීති පද්ධතියක් හා වෙනම පරිපාලන පද්ධතියක්  නිසා. සරළව කිව්වොත් මේක වෙනම නීති තියෙන වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් නිසා. අන්න ඔය කියන වෙනම නීති පද්ධතිය තමයි සරළව කියනවා නම් පාර්ලිමේන්තුවට Port City  ​කොමිෂන් සභා පනත (Port City Commission Bill) කියල ඉදිරිපත් කරල දැන්  ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් වෙලා තියෙන්නෙ. 

දැන් එන ප්‍රශ්ණය තමයි ඇයි දැන් ලංකාවේ තියන නීති පද්ධතියට ආයෝජකයෝ එන්නෙ නැද්ද කියල. සරළම උත්තරය “කොහෙත්ම නෑ" කියන එකයි. ලංකාවෙ නීති තියෙන්නේ බිස්නස් හදන්න නෙවෙයි බිස්නස් වහල ගෙදර ඉන්න. අන්න ඒක නිසා ලංකාවට හොඳ ආයෝජකයන් එන්නෙ නෑ. ඒකයි Port City වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් විදියට ඉස්සරහට ගන්න ඕන. (ඇත්තටම නම් වෙන්න ඕනේ මුළු ලංකාවේම තියෙන ව්‍යාපාර පහසු කරන නීතිය වැඩි වැඩියෙන් ඉදිරිප​ත් කරන එක. ​ඒක Port City  එකට පමණක් සීමා කරන්න තාත්වික නෑ ලංකාවේ එහෙම නීති වෙනස් කරන්න අමාරු නිසා තමයි තෝරාගත්තු  කොටසකට විතරක් මේ ව්‍යාපෘති​ය කරන්න හදන්නේ) ඊට පස්සෙ එන ප්‍රශ්ණය තමයි මොනවද ඕකෙ තියෙන වෙනම නීති කියල. 

ඒකටත් සරළම උත්තරය “සෑහෙන ප්‍රමාණයක්" කියන එක. මුලින්ම ගත්තොත් ලංකාවේ උසාවි ක්‍රමය. ලංකාවේ උසාවි ක්‍රමයට හසු වෙනවනම් ආයෝජකයන් එන්නෙ නෑ මෙහේ ව්‍යාපාර කරන්න. ලඟදී අධිකරණ ඇමතිතුමාම කියල තිබ්බා ලංකාවේ නඩුවක් විසදන්න (Contract enforcement) දින 1318ක් යනව කියල. අපරාධ නඩුවක් විසඳන්න  අවුරුදු 9.5 ක් යනව කියල කියනවා ඔය ඉලක්කං ටික දැක්කම ආයෝජකයන් එනව නෙමෙයි, ඉන්න අයත් ලංකාව දාල යන​වා. සරලව කියනවා නම් කා​ටහරි  මිනී මැරීමක් වුනොත් අගතිය​ට පත් පාර්ශ්වයට විසඳුමක් ලබාගන්න පුළුවන් වෙන්නෙ මියගිය කෙනාගෙ දස වර්ෂ පූර්ණ  පිංකමට තමයි.  ඉඩම් නඩුවක් විසඳන්නම් මං හිතන්නේ අවුරුදු විස්සක්වත් යනවා. ඒක නිසා මේ Port City  එක සාර්ථක වෙන්නනම්ඕකට වෙනම  අධිකරණ පද්ධතියක් ඕන.  ඒකට ජාත්‍යන්තර මට්ටමේ විනිසුරුවන් සහ අධිකරණ ක්‍රමයක් ඕන. දැනට ලෝකයේම ව්‍යාපාර පහසුවෙන් කරන්න පුලුවන් දර්ශකයේ (Ease of doing Business Index) අපි ඉන්නෙ 99 වැනි තැන. ඒ තත්වය අනුව ව්‍යාපාර කරන්න කැමති කෙනෙක් ලංකාවට එන්නෙ ​නෑ. (ඒකෙ  මනින්නෙ කොළඹ නගරයේ ව්‍යාපර කරන්න පුලුවන් පහසුව විතරයි.). එම දර්ශකයේ හැටියට ඉදිකිරීම​ක් කරන්න පර්මිට් (Constructiion Permit)  එකක් ගන්න දවස් 86ක් යනව. (මාස තුනක් විතර) විදුලිය ගන්න(Getting electricity) දවස් 100ක් යනවා. 

ඊට පස්සෙ දැනට ලංකාවේ නොවන පුරවැසියන්ට ලංකාවේ රැකියාවක් කරන්න බෑ. ආයෝජකයෝඑන්නෙ නෑ ලංකාවේ මිනිස්සු එක්ක විතරක් වැඩ කරන්න. මූල්‍ය නගරයක් කියන සංකල්පයේම තියෙන්නෙ ලෝකෙ පුරා ඉන්න රට රටවල් වල මිනිස්සු ඇවිල්ල මේ නගරයේ වැඩ කරනවා කියන එකයි. ඉතිං ඒ වෙන වෙන රටවල් වල මිනිස්සුන්ට මෙහේ රැකියා කරන්න නීති තියෙන්නෙ ඕන. වෙන වෙන රටවල් වල මිනිස්සු ලංකාවේරුපියල් වලින් පඩි ගන්නෙ නෑ. [අපේ මේ රුපියල අවප්‍රාමාණය වෙන විදියට ලංකාවේ මිනිස්සුවත් රුපියල් වලින් පඩි ගන්න කැමති නෑ.] 

ඔවුන්ට ගෙවන්න ඕන ඩොලර් වලින්. ඒකට නීති ඕන. ඔය මුල්‍ය නගරයේ වැඩ කරන්න එන්නෙ හොදට සල්ලි හම්බකරන මිනිස්සු. සරලව කියනවනං දවසපුරා වැඩ කරල හොදට සල්ලි හම්බ කරල සුපිරි ජීවිත ගතකරන ලංකාවේ සහ පිටරට මිනිස්සු. ඒ අයට සුපිරි නිවාස ඕන. ඉතින් ලංකාවේ අපේ ගෙයක් හදන්න ගියාම TO (Technical officer) මහතයට පගාවක් දීල plan  එක approve  කරගන්නව වගේ ලයිට් ගන්න, වතුර ගන්න ටෙලිෆෝන් ගන්න මාස ගනන් කල් ගන්නවා වගේ සහ හැම එකකටම පගා ගෙවන්න ඕන  මේ වගේ වෙලාව නාස්ති කරන වැඩ වලට ආයෝජකයන්  එන්නෙ නෑ. ඉතිං ගොඩනැඟිලි හදන්න වෙනම නීති ඕන. 

ඊට පස්සෙ ඔය මූල්‍ය නගරයේ වැඩ කරන්න එන වෘතිකයන්ගේ පවුල් වල අයට විනෝද වෙන්න  ස්ථාන ඕන. ලංකාවේ කැසිනෝ (Casino) කියන්නෙ පවක් වුනාට ඒ මිනිස්සු විස්වාස කරන විදියට ඒක පවක් නෙවෙයි. ඉතිං ඒ මිනිස්සුන්​ට කැසිනෝ, චිත්‍රපටි ශාල, නලගනන් වගේ විවිධ විනෝදාත්මකදේවල් අවශ්‍යයි. එහෙම නැත්තන් ඔය අයෝජකයන් සේවය​ට මිනිස්සු බඳවා  ගනිද්දි කවුරුත් මෙහේ එන්න කැමති  වෙන්නෙ නෑ. වෙන රටවල් වලට රැකියාවක් කරන්න පහසුක​ම් තියෙද්දි දුෂ්කර රටවල් වල රැකියා කරන්න එන්න වෘතිකයන් කැමති නෑ.  ඊට පස්සෙ  Port City මූල්‍ය නගරයේ රැකි​යා කරන්න එන වෘතිකයන්​ගේ ළමයින්ට ඉගෙන ගන්න ඒ රටවල්වල ප්‍රමිතියේ ජාත්‍යන්තර පාසල් ඕන. ඒවට ඒ ප්‍රමිතියේ ගුරුවරු, විද්‍යාගාර, ක්‍රීඩා අවශ්‍යයි. ඒවට ලංකාවෙන් වගේම වෙන රටවල් වලින් මිනිස්සු එන්න ඕන. ඒ අය තමන්ගේලමයින්ව කොළඹ රාජකීය විද්‍යාලයට දාන්නෙ නෑ. දැනටමත් සමහර අන්තාර්ජාතික පාසල් තියනවා ඔය තා නාපතිවරුන්ගෙ සහ විදේශික රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ දරුවන් ඉගෙන ගන්න. මාත් එකපාරක් ගිහිල්ල ඇත්තටම පු​දුම වුණා මෙච්චර හොද ඉස්කෝල ලංකාවේ  තියෙනවද කියල. ඉස්කෝලෙ ඇතුලෙ වෙන රටක් වගේ. විවිධ රටවල් වල ලමයි එකට ඉගෙන ගන්නේ.

ඊට පස්සෙ ඔය එන සේවකයන්ට හදිස්සියෙයේ ලෙඩක් ​දුකක් හැදුනොත් කොළ​ඹ ජාතික රෝහලේ පෝලිමේඉන්න බෑ. ඒවගේම ලංකාවේ  පෞද්ගලික රෝහල් හරියන්නෙත් නෑ. Mount Elizabeth හරි John Hopkins මට්ටමේ රොහලක් වෙන්න එ​පැයි. අපේ මැති ඇමතිලත් පොඩ්ඩක් කලන්තයක් හැදුන​ත් සිංගප්පූරුවේ Mount Elizabeth  යන එකේ මහන්සි වෙලා සල්ලි හම්බ කරන මිනිස්සුන්ට යන්න හොඳ ඉස්පිරිතාලයක් තියෙන්නෙ එපැයි. ඒවයේ වැඩ කරන්න එන දොස්තර මහත්වරුන්ට ඉන්න හිටින්න, ඔවුන්ට විනෝද වෙන්න, ඔවුන්ගෙ පවුල්වල අයට විනෝද වෙන්නෙ වගේ ගොඩක් දේවල් ඔය නගරය ඇතුලෙ තියෙන්නෙ ඕන. හරියට ඩුබායි සහ සිංගප්පූරුව වගේ. 

ඊට පස්සෙ ලංකාවෙ  අධිකරණ ක්‍රමය හරියන්නෙ නෑ. ඒවට වෙනම  අධිකරණයක් තිබ්බම ඒවට නඩු කතා කරන්න වෙනම අන්තර්ජාතික මට්ටමේ නීතිවේදීන් ඕන. මේක නිකං සුරංගනා කතාවක් වගේ වුණාට ඇත්තටම ඔය Port City වැඩේ හරියට කරොත් වෙන්නෙ ඒ වගේ වැඩක්. ඕවයේ සේවය කරන restaurant වල Chef ලගෙ ඉදල පිටරටින් ගෙන්න ගන්න වෙනවමයි. ඕකෙ දාන Japaneese Resturant  එකක් උදාහරණයකට ගන්න. Japaneese කෑම හොදට උයන්න පුලුවන් ඒ රටවල්  වල මිනිස්සුන්ටනෙ. 

නිවාඩු දින වුණත් වෙනස් කරන්න වෙයි. ලංකාවේ නිවාඩු තියන විදියට ලෝකෙ එක්ක වැඩ කරන්න අමාරු​යි. එතකොට ඔය පෝය දිනයට බාර් වහනව වගේ ඒව ඒකට අදාල නැති වෙයි. 

දැන් ඊලගට එන ප්‍ ප්‍රශ්නෙ මේකෙන් ලංකාවට,ලංකාවේ මිනිස්සුන්ට හොදක් වෙනවද නැද්ද කියන එකයි.හොඳක් තියෙනවා. සමහර රැකියාවලට පිටරටවල් වලින් සේවකයන් ගේන එක වියදම් වැඩියි. එතකොට ලංකාවේ අදාල රැකියා කරන්න පුලුවන් අයට රැකියා  අවස්ථා ඇති වෙනවා. ඔය Port City එකේ වැඩ කරන්න එන පිටරට මිනිස්සු මෙහේ තව ව්‍යාපර පටන් ගන්නවා. සංචාරය කරනවා. අලුත් දැනුම හුවමාරු වෙනවා. ගුවන් ග​මන් අතින් අපිට වාසියි.  බැංකු අතින් අපිට වාසියි.  Port City එකේ වැඩ කරන්න එන සමහර අයට ඒකෙ ඇතුලෙ apartment වල ඉන්න බැරිවෙයි. එතකොට පුලුවන් අය කොළඹ අවට තියන apartment වලට එයි. අනිත් අය එතැනින් පොඩ්ඩක් ඈත පදිංචියට යයි. ඉඩම් වල මිල වැඩි වෙයි. සමහර ඉඩම් වල මිල අඩුවෙයි. ඔයවගේ විශාල පරිවර්තනයක් කරන්න පුලුවන් මේක හරියට කර ගත්තොත්. ඔය Yacht Marine එක එහෙම හදල තියෙන්නෙ මං හිතන්නෙ Port City එක ඇතුලෙම ඉන්න සුපිරි  ධනවතුන්ට ස​හ ඔවුන්ගේ පාවිච්චියට. ධනවත් මිනිස්සුන්ගෙ ජීවන රටාවන් එහෙම තමයි. ඔවු​න්ට ඔවුන්ගේ​ම පුද්ගලික ගුවන් යානා තියෙනවා. Yacht  තියෙනවා. ඒක තමයි ලෝකෙ ස්භාවය

හැබයි ආයෙත් මතක තියා ගන්න ඕන මේකට ආයෝජකයන් ගෙන්න ගන්න පුලුවන් මු​හුද ගොඩකරපු නිසා නෙවෙයි. මේකේ නීති පද්ධතිය වෙනස් වුනොත් විතරයි. දැනට ලංකාවේ තියෙනෙ  අධිකරණ පද්ධතියත් එක්ක, ව්‍යාපාර ලියාපදිංචි කරන ක්‍රියාවලියත් එක්ක, නිවාඩු ක්‍රමයත් එක්ක, කම්කරු නීති එක්ක හරිහමං ආයොජකයන් ​මෙහෙට ගෙන්න ගන්න අමාරුයි. පසුගිය අවුරුදු 20 ලංකාවට කොච්ච්ර ආයෝජන ඇවිල්ල තියනවද කියල බැලුවොත් ඒක බලාගන්න පුලුවන්. අපිට අවුරුද්දකට රජයට  විතරක් ණය සහ පොලිය ගෙවන්න තියෙනවා ඇමරිකන් ඩොලර් බිලියන හතරකට වැඩිය. ඒත් අපේ විදේශ ආයෝජන තියෙන්නේ හැම ඇමරිකන් ඩොලර් බිලියනයකට අඩුවෙන්. 

අනිත් එක මේ අයෝජකයන්ට ලෝකෙ පුරා ඕනතර​ම්  අවස්ථා තියනවා. ඔබ නිකමට හිතන්න ඔබේ අතේ ඇමරිකානු ඩොලර් බිලියනයක් තියනවනං ඔබ ඒක ලංකාවේ ආයෝජනය කරනවද, සිංගප්පුරු​වේ ආයෝජනය කරනවද, ඩුබායි වල ආයෝජනය කරනවද කියල. අන්න ඒ වගේම තමයි අනිත් ආයෝජකයන්ටත්. ඔවුන්ට ඉතා පහසු  අවස්ථා ලෝකෙ වටේම තියනවා. 

ඉදිරි අවුරුදු කීපය ලංකාවට ඉතාම අමාරු අවුරුදු කිහිපයක්. අපේ අතේ ඉස්සරහට යන්න පුලුවන් ව්‍යාපෘති තුනයි තියෙන්නෙ. අපිට රටක් විදියට ඉස්සරහට යන්න විශාල අදහස් තුනක් විතරක් තියාගෙන හැරෙන්නවත් ​බෑ. (Google සමාගමේ Concept එකක්  තියෙනවා 10X කියලා.  ඒ කියන්නේ  ඕනම දෙයක්  විශාල පරිවර්තනයක් කරන්න ඕන නං  10% ගානෙ වැඩි දියුණු කරල හරියන්නෑ. 10 ගුණය ගානෙ වැඩි කරන්න ඕන කියල. අන්න ඒ වගේ 10X ideas  තුනයි අපිට  තියෙන්නෙ.

එක ව්‍යාපෘතියක් තම​යි  ලංකාවේ  ඉඩම් ප්‍රතිසංස්කරණය සහ ජනතාවට ඉඩම් අයිතිය පැවරීම. ඒක කරන්න දෙන පාටක් නෑ.  දෙවනි එක තමයි අපේ  අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම. ඒක කරගෙන යන බව  අධිකරණ ඇමතිතුමා කියල තිබ්බා. ඒත් ඒ ගැන විශ්වාසය අඩුයි ඕක අපේ නීතිවේදීන් ටිකම කඩා කප්පල් කරයි කියල හිතෙනවා. මොක​ද ඒකෙන් ඔවුන්ගෙ ආදායමට විශාල බලපෑමක් එල්ල වෙන නිසා. දැනට නඩු කල් යන එක නීතිඥයන්ට වාසි බව අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.  ( i feel like this is a bias and opinion)  තුන් වැනි සහ අවසාන එක තමයි Port City ව්‍යාපෘතිය. අලුත් අවුරුද්දේ අපේ එකම සහ අවසාන බලාපොරොත්තුව. දැනට කියවෙන විදියට ඇමරිකා​නු ඩොලර් බිලියන 5ක් විතර ඉඩම් ටික විකුණල හොයාගන්න පුලුවන් කියල  කියෙන එකඒත් ඉතින් හරි හමන් නීති තිබුනොත් තමයි හොද ආයෝජකයන් එන්නෙ. 

ඊලගට ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි මේ ව්‍යාපෘතිය පටන් ගනිද්දිම ප්‍රශ්ණ තිබ්බ නේද? පරිසර අධ්‍යයන වාර්තා තිබ්බෙ නෑ. මේකට චීනය මැදිහත් නේද?. සමාරම්භක උත්සවයෙදි චීන කොඩි දාල ලංකාවේ කොඩිය ගැලෙව්ව නේද කියල. ප්‍රශ්න තියනවා. නැත්තෙ නෑ. ඉංග්‍රීසි භාෂාවේතියනව කියමනක් “Beggars can't be choosers” කියල. දැන් අපි මේකට සල්ලි වියදම් කරල ඉස්සරහට ගිහිල්ල ඉවරයිනෙ. මේක ගොඩ දාගන්න ක්‍රමයක් හිතනව මිසක් දැන් ඉතින් අපිට ගොඩ කරපු ඉඩමේ වෙන කරන්න දෙයක් නැ​හැ.  ඒක නිසා ප්‍රශ්න තියනවා.  ඒත් ඉස්සරහට යන්න ඕන මේක ගැලපෙන විදියට හදාගෙ​න.

ඊලගට අහන මූලිකම ප්‍රශ්නය තමයි මේකෙන් දීලා තියන බදු සහන නිසා කලු සල්ලි සුදු කරන තිත්පොලක්වේවිද කියන එක. මේක ටිකක් සංකීර්ණ  ප්‍රශ්නයයක්. පොඩි පොඩි කරුණු වලට යන්න කලින් මූලික සංකල්පය තමයි, රටක බදු ප්‍රමාණය සහ බදු ප්‍රතිශත අඩු කරලාඅය කරන බදු ප්‍රතිශත අතර වෙනස අඩු කරන්නඕන. සරළවම කියනවනං බදු ක්‍රමය සරළ වෙන්න ඕන. 

දැනට ලංකාවෙ තියෙන බදු ක්‍රමය ආදායම් බදු ​දෙපාර්තුමේන්තුවටත් හොයාගන්න අමාරුයි. මගේ මිත්‍ර ව්‍යාපරිකයන්ගේ Payroll එකේ ඔය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ   නිලධාරීන් ඕන තරං මාසෙ ගානෙ පඩි අරගෙන ඉන්නවා. බදු ක්‍රමය සංකීර්ණ නිසා ව්‍යාපාර කරන මනුස්සයන්ට ආදායම් බදු දෙපාර්තමේන්තුවේ විවිධක​තා අහනවට වඩා ලෙසියි ඒකෙ මනුස්සයෙක්ට මාසෙකට ගාණක් දීල වැඩේ කර ගන්න එක. ඒක නිවැරදි නෑ. ඒත් සංකීර්න බදු ක්‍රමයක් තිබ්බ​ම මහපොළවේ සිදුවන යථාර්තය ඒක තම​යි. 

ආනයන බදුත් එහෙමයි. දැන​ට ලංකාවෙ තියෙන ආදායම් බදු සමීකරණය ගණිතය හදාරලා  තියන කෙනෙක්ටත් තේරුම්ගන්න අමාරු​යි. ම​ම එක පාරක් හිටපු සැසිය​ක හාවඩ් (Harvard) විශ්වවිද්‍යාලයේ මහාචාර්යවවරයෙක් කිව්වා ලෝකේවටේ ගියත් එයත් අපේ බ​දු වල තියන සමහර ඉංග්‍රී​සි වචන පලවෙනි වතාවට ඇහුවේ කියලා. Port and Airpot Levy (PAL), VAT, CESS, SCL, Para Tariff කියල ඕවා එක උඩ එක බදු වැදිලාසම්පූර්ණයෙන් ප්‍රශ්නයසංකීර්ණ කරල තියෙන්නේ

ආනයන අපනයන කරන්​නේ සාමාන්‍ය මිනිස්සු. ඒ මිනිස්සුන්ට ගණිතයෙන් ආචාර්ය  උපාධියක් නැහැ. ඉති​ං සාමාන්‍යයෙන්ආනයනය කරන මනුස්ස​යෙක්ට රේගුවට පගාවක් දීල බදු වලින් පැනල එන එක ලේසියි ඕක තේරුම් ගන්න උත්සහ කරනවට වඩා. අන්න එකයි ලංකාවට බදු ආදායම අඩු වෙන්නෙ. ඕක 5%, 10%, 15% කියලා කොටස් තුනකට සරලව තිබ්බනම් ආනයනය කරන මනුස්සයෙකුටඔය බද්ද ගෙවල නීත්‍යානුකූල විදියට බඩු ගේන එක ලේසියි පගා දෙනවට වඩා. ඉතිං Port City බදු තර්කයත් ඒ වගේමයි. තෝරාගත්තු අයට බදු සහන දෙනවට වඩා ගැලපෙන්නේ මුලු ලංකවටම සරළ බදු ක්‍රමයක් හදුන්වලා දීම. එතකොට බදු ආදායම වැඩිවෙයි නිකම්ම

අනිත් එක තමයි හොඳද ව්‍යාපාරසහ ආයෝජකයන් බදු වලින් පැනල යන්න බලාගෙන අපේ වගේ රටවල් වල ආයෝජනය කරන්න එන්නෙ නෑ. පිටරට ඉන්න අය දන්නවා ඇමරිකාවේ, ඩෙන්මාකයේ, ඔස්ට්‍රේලියවේ වගේ රටවල් වල අපිට වඩා බදු සෑහෙන වැඩියි. ඒත් ආයෝජකයන් ඒ රටව​ල් වලට පොර කකා යන්නේ. ආයෝජකයන් විතරක් නෙවෙයි, ලංකාවෙ කොල්ලො කෙල්ලො බෝට්​ටුවෙනුත් යනවා, කියන තරං බදු ගෙවන්නං PR එ​ක දෙන්න කියලා. වැදගත්වෙන්නෙ බදු සහන වලට වඩා ආර්ථික සහ දේශපාලනිකප්‍රතිපත්තිවල ස්ථාවර බව වගේම ලාභ  උපයන්න පුලුවන් හැකියාව. ඒක නිසා මේක අපි ලෝකෙට විකුණන්න ඕන  බදු අය කරන්නේ නැති මධ්‍යස්ථානයක් විදියට වඩා  පහසුවෙන් ව්‍යාපාර කරන්න පුළුවන් නගරයක් විදියට. අපි ඕගොල්ලොන්ට ඉඩම් දෙනවා, බදු ගෙවන්න එපා වගේ කතන්ද​ර හොද ආයෝජකයන්ට  වැඩක් නෑ. ඔවුන්ට තිය​න ලොකුම ප්‍රශන්නය බදු ගෙවන එක නෙවෙයි, ලාභ උපයන එක. ලාභයක් ඉපැයුවාම තම​යි බද්දක් ගෙවන්නෙ. ඒකත් අපි හිතේ තියා ගන්න ඕන. 

අනික ඔය බදු මුදල් ගොඩක් එකතු කරා කියල අපේ රජයන් වැඩක් ඇති දේවල් කරන්නෙ නෑනේ ඔය බදු මුදල් වලින්. කරන්නෙ ලොකු කොමි​ස් කුට්ටියක් හම්බවෙන ව්‍යාපෘති විතරයි.  වැඩි හරියක් ව්‍යාපෘති අපිට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ. 

ඊලගට මේකෙ බලන්න ඕන භූ දේශපාලනය (Geo politics). මට පේ​න හැටියට අපි චීනය මත විතරක් යැපුනොත් අපිට යන එනමක් නැති වෙනවා. සාමාන්‍යයෙන්ආයෝජන වල මූලිකම නීතිය තමයි “Don’t put all your eggs in one basket”  කියන්නෙ. අපේ මුලු ලෝකයම අපිට චීනය වුණාට චීනයට ඔවුන්ගේ ලෝකය​ම අපි නෙවෙයි. ඒ නිසා මේ Port City එකට ඉන්දියාවෙන්, ඇමරිකාවෙන් සහ මැද පෙරදිගින් ආයෝජන ගෙනාවොත් විතරයි මේක ස්ථාවර වෙන්නෙ. චීනය ආයෝජනය කල පමණිනින් මේක සාර්ථක ව්‍යාපෘතියක් වෙන්නෙ නෑ. අපි හැම රටකටම සහ ලෝකෙටම ආයෝජන ආකර්ෂණය කර ගන්න පුලුවන් තැනක් බවට මේක පරිවර්තනය කර ගැනීමෙ අත්‍යාවශ්‍යයි. 

අවසානයට  හැමෝටම තියෙන ප්‍රශ්නය තමයි මේක ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට සහ ස්වයිරීත්වයට බලපානෙ කොහොමද කියල. වෙනම උසාවි, වෙනම ඉස්කෝල, වෙනම රෝහල්, වෙනම නීති වුණාම වෙනම රටක් වෙනව නේද කියල.   ඒ ප්‍රශ්නයට අදිකරණයෙන් පිළිතුරක් ලැබෙනකං අපිට බලන්ඉන්න වෙනවා. අනිවාර්යෙන්මදැනට රටේ තිබෙන නීති වලට අනුකූලව තමයි ව්‍යාපෘතිය සිදු වෙන්න ඕන. 

Port City ව්‍යාපෘතිය හර​හා ඇත්තටම වෙන්නෙ ලංකාවේ ඒකාධිකාරය​ක් තියන් ඉන්න සමහර  වෘත්තිකයන් අන්තර්ජාතිකව වශයෙන් තරඟකාරීත්වයටමුහුණ දෙනවා.  ඒ තරඟකාරීත්වයට අකමැති පිරිස් බොහෝ වෙලාවට මේකට විරුද්ධ වෙනවා.  නීතිඥයන්, වෛද්‍යවරුන්  වගේම බොහෝ වෘත්තීන් අන්තර්ජාතික තරඟකාරීත්වයට මුහුණදීම නිසා අභියෝගයට ලක්වෙනවා.  ලංකාවට ඉස්සරහට යන්න අවශ්‍ය නම් අපි හැමෝටම ඒ  අභියෝගයට මුහුණ දෙන්න වෙනවාමයි.  සිංගප්පූරු  නිදහස් වෙළඳ ගිවිසුමට  අකැමැති බොහෝ දෙනෙක් කියපු දෙයක් තමා සිංගප්පූරුවෙන් මිනිස්සු මෙහෙ වැඩ කරන්න ආවොත් අපිට කරන්න රස්සා කොහෙද කියලා.  එකේ වක්‍රාකාර අර්ථයතමයි කොම්පැනියක  අපේ රටේ කෙනෙකුයි සිංගප්පූරුවේ කෙනෙකුයි සම්මුඛ පරීක්ෂණයට භාජනය කළොත් සිංගප්පූරුවේ කෙනාව රස්සාවට ගන්නවා  මොකද අපිට තරග කරන්න අමාරු නිසා. 

මේකෙ අර්ථය  ලංකාවේ අපිට බෑ කියන එක නෙවෙයි.   ලංකාවේ අපිට පුළුවන්.  නමුත් අපිට පුළුවන් වෙන්නේ අපි තරඟයට මුහුණ දුන්නොත් විතරයි.   ජයග්‍රහණයට සහ පරාජයට දෙකටම මුණ දෙන්න වෙනවා. ලෝක කුසලානයක් දිනන්නනං  පුළුවන් තරම්  තරඟ කරන්න ඕන.  හැංගි හැංගි ඉඳලා  ලෝක  කුසලානයක් දිනන්න බැහැ. 


2021 අප්‍රියෙල් 23 දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියක්

පොල්තෙල් පිටිපස්සෙ තියන ආර්තික විද්‍යා​ව

අවුරුදු කාලය කිට්​ටු වෙනවත් එක්කම නිතරම ආහාර පාන වල මිල ගණන් ගැන කතාවෙනවා. අවුරුදු සමයත් එක්ක මේ පාර විශාලම කතා බහට ලක් වෙලා තියෙන්නෙ පොල්තෙල් පිළිබඳව. ශ්‍රී ලංකාවෙ සෞඛ්‍ය අංශ, සමහ​ර ආනයනි​ක පොල්තෙල්  වල ඇෆ්ලටොක්සින් (Aflatoxin) යන පිළිකා කාරක සංයෝගය අඩංගු බ​ව අනාවර​ණය කිරීමත් සමඟම තමයි මේ පිළිබඳව කතාව තීව්‍ර වුණේ. දැනට පවතින තත්වය තමයි රජයේ මහජන සෞඛ්‍ය නිලධාරීන් සහ පාරිභෝගි​ක  අධිකාරිය රට වටේම විශ පොල්තෙල් ​හොයමින් පරීක්ෂණ කරනවා. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට විශාල විවේචනයක් එල්ල වෙලා. සාමාන්‍ය ජනතාව අවුරුද්ද අත ළග තියාගෙන කැවිලි පෙවෙලි හදන්න පොල්තෙල් ගන්න ක්‍රමයක් කල්පනා කරනවා. බොහෝ පාරිභෝගිකයන් පවා මෙතෙක් හිතාගෙන ඉදල තියෙන්නෙ  අපි පාවිච්චි කරන පොල්තෙල් ලංකාවෙ නිෂ්පාදනය කරන පොල්තෙල් කියල. 

ඒ අතර රජය පසුගියදා පාම් ඔයිල් හෙවත් කටුපොල් වලින් ලබා ගන්නා තෙල් සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබූවා. බොහෝ දෙනෙක් පොල්තෙල් පිටුපස කතාව දේශපාළනීකරනය කරනවා විනා එහි පිටුපස ආර්ථික විද්‍යාවක් ඇති බව පිලිගන්නා බවක්වත් පෙනෙන්නට නැහැ. ආර්ථික විද්‍යාව දිහා නොබලන නිසා ලබාදෙන  විසඳුම්වලින් බොහෝ වෙලාවට වෙන්නෙ ප්‍රශ්ණය විසදෙන එකට වඩා වෙන්නෙ ප්‍රශ්ණය තවත් වැඩි වෙන එක. 

අද අපි බලන්නෙ පොල්තෙල් පිටිපස්සෙ තියෙන ආර්ථික විද්‍යාව ගැන. අපි හැමෝම දන්න විදියට පොල්තෙල් වලට වැඩිපුරම අවශ්‍ය අමුද්‍රව්‍ය තමයි පොල්. පොල් ගැන කතා වෙන්නෙ පොල්වල මිල ගණන් වැඩි වුණු වෙලාවට විතරයි නමුත් මේ ගැන මීට වඩා ගැඹුරින් බලන්න අවශ්‍යයි. 

පොල් සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමාට අනුව ලංකා​වේ පරිභෝජනය සදහා දළ වශයෙන් පොල්තෙ​ල් 180,000 MT පමණ අවශ්‍යයි.එයින් 50% නැත්තම් 90,000 MT පමණ ගන්නෙ කර්මාන්ත ක්‍ෂේත්‍රයට. ඉතිරි 50% පරිභෝජනය කරන්නෙ ගෘහස්ත වශයෙන්. පොල්තෙල් සදහා අවශ්‍ය පොල් වගාව කාලගු​ණික සහ දේශගුණි​ක වශයෙන් හරිම සංවේදීයි. හො​ද ඵලදාවක් ගන්නන​ං හොද කාලගුණය​ක් තිබීම ඉතාම වැදගත්. පසුගිය කාලවල කාලගුණයට එල්ල වුණු බලපෑම නිසා පොල් ඵලදාව කලින් ශ්‍රී ලංකාව තුල නිපදවූ 40,000 MT පමණ පොල්තෙල් ප්‍රමාණය 25,000MT දක්වා අඩු වෙලා තිබෙන බවයි  අධ්‍යක්ෂක ජෙනරාල් තුමා ප්‍රකාශ කලේ. ඒ අනුව ඉතා විශාල පොල්තෙල් ප්‍රමාණයක් සහ ඊට ආදේශක තෙල්වර්ග වන පාම් තෙල්, සූරියකාන්ත තෙල්, සෝයා තෙල් වැනි තෙල් වර්ග අපි භාවිතයට ගනු ලබනවා. 

පොල්තෙල් ආනයනයේදී පිරිපහදු කල පොල්තෙල් සහ පිරිපහදු නොකරන ලද පොල් තෙල් ලෙස කාණ්​ඩ දෙකකින් පොල්තෙල් ආනයනය කරන අතර ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය නිසා කල් යාමේදී සහ භාවිතයේදී පිළිකා ඇති කල හැකි විවිධ සංයෝග නිපදවිය හැකි බවයි ප්‍රකාශ වන්නේ. 

පොල්තෙල් 1Kg එකක් නිශ්පාදනය සදහා දල වශයෙන් පොල්ගෙඩි 8ක පමණ ප්‍රමණයක් අවශ්‍ය බව සැලෙකෙනවා. ඒ අනුව ගත්තහම ශ්‍රී ලංකාවේ ගෘහස්තව කෑම පිසීම සදහා (පොල් සම්බෝල, පොල් කිරි සහ අනෙකුත් පොල් භාවිතා වන අවස්ථා) හැර පොල් තෙල් සදහා පමණක් දල වශයෙන් පොල් ගෙඩි බිලියන 1.5කට ආසන්න ප්‍රමානයක් අවශ්‍ය වනවා. වැඩිපුරම පොල් අප භාවිතා කරන්නේ ගෘහස්ථ පරිභෝජනය සදහායි. සංඛ්‍යා දත්ත අනුව ශ්‍රී ලංකාවෙ ව​සරකට ලැබෙන පොල් ​ඵලදාව පොල්ගෙඩි බිලිය​න 2.6ත් බිලියන 3ත් අතර වනවා. එම ඵලදාව ලබා ගැනීමට අප අපේ වගා කල හැකි භූමියෙන් 20.6%ක් පමණ කැප කර තිබෙනවා. ඒ අනුව පො​ල් සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂක ජෙනරාල් තුමාට අනුව අවම වශයෙන් අපගේ අවශ්‍යතාවය සැපිරීමට අපට පොල් ගෙඩි තවත් මිලියන 600ක්වත් වසරකට වගා කල යුතුයි. 

මේ දත්ත දෙස බැලීමේදී අපට ප්‍රශ්ණයේ එක් අන්තයක් පැහැදිලියි. ඒ තමයි අපගේ පොල් ඵලදාව අපගේ අවශ්‍යතාවයට සරිලන තරම්වත් ප්‍රමාණවත් නොමැති බව. එයට ප්‍රධාන හේතු ගණනාවක්ම තිබෙනවා. ශ්‍රී ලංකාවේ එක් පොල් ගසකින් වසරකට සාමාන්‍යයෙන් ලැබෙන්නේ පොල් ගෙඩි 62කට ආසන්න ප්‍රමාණයක්. නමුත් අපිත් සමඟ තරගකරන සමාන දේශගුණයක් ඇති ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය, පිලිපීනය සහ ඉන්දුනීසියාව වැනි රටවල එක් ගසකින් ලැබෙන පොල්ගෙඩි ප්‍රමාණය 150 තරම් ඉගළ අගයක්. එම ප්‍රමාණය අපේ රටේ පොල් ගසකින් ළැබෙන පොල් ගෙඩි ප්‍රමාණයට වඩා දෙගුණයකටත් වැඩි අගයක්. ශ්‍රී ලංකාවේත් නිසි පරිදි කළමණාකරණය කරන පොල් වගාවන් වල ගසකින් දල වශයෙන් පොල් ගෙඩි 120ක් පමණ ලබා ගත හැකියි. කේරළය, මැලේසියාව සහ පිලිපීනය වැනි රටවල පොල් හෙක්ටයාරයකින් පොල්ගෙඩි 11,000-14,000 අතර පමණක් ලබා ගත හැකිවුවත් ශ්‍රී ලංකාවේ පොල් හෙක්ටයාරයකින් දැනට ලබා ගන්නේ පොල්ගෙඩි 6000කට ආසන්න ප්‍රමාණයක්. ඉන්දුනීසියාව වැනි රටවල හෙක්ටයාරයකින් ලබා ගත හැකි පොල්ගෙඩි ප්‍රමණය 15,000 ඉක්මනවා. ශ්‍රී ලංකාවෙ පොල් ඵලදාව අඩු වීමට හේතුව එහෙම නැත්තම් ඵලදායිතාව අඩු වෙන්නෙ මොකක්ද හේතුව කියන එක බොහෝ දෙනෙක්ට අදහසක් නෑ. 

එක හේතුවක් තමයි අපේ පොල් වගාවන් වල තිබෙන ගස් ඉතාම පරණයි. සාමාන්‍යයෙන් ගසක් පරණ වෙද්දි විද්‍යාත්මකව ඵලදාව එන්න එන්නම අඩු වෙනවා. ඒ වගේම අපේ ගස් නඩත්තුව ඉතාම අවමයි. පුත්තලම, හලාවත වැනි ප්‍රදේශවල පොල්වතු අයිතිකරුවන් බොහෝ වෙලාවට පදිංචිව සිටින්නේ කොළඹ ප්‍රදේශයේ. ඉතින් වගාවක් ලෙස පොල් වගාවට දෙන අවධානය ඉතාම අඩුයි. මේ කාරණ දෙකට බලපාන ලද තවත් හේතුවක් විය හැක්කේ 1970 මුල් භාගයේ අක්කර 50ට වැඩි පුද්ගලික ඉඩම් රජය සතුකර ගැනීමයි. වගාවන් වල ප්‍රමාණය කුඩා වන තරමට වාණිජ වගාවක් ලෙස ක්‍රියාත්මක කිරීම අපහසුයි. එවිට යන වියදමත් වැඩියි. ලාභය අඩුයි. එලෙසම රජයට පවරා ගත් පොල් ඉඩම් වල ඵලදාව පුද්ගලික ඉඩම් වල ඵලදාවට වඩා ඉතාම අඩුයි. මේ සියලුම හේතු වල සංකලනයක් ලෙස ලංකාවේ පොල් වගාව ඉතාම අකාර්යක්ශම වගාවක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම පොල් ගස් නඩත්තු කිරීමට සහ පොල් කැඩීමට අවශ්‍ය ශ්‍රමය සොයා ගැනීම ඊටත් වඩා ප්‍රශ්ණයක්. ඒ වගේම පොල් ප්‍රධාන අපනයන භෝගයක්. ශ්‍රී ලංකාවෙ පොල් වගාව ප්‍රමා​ණයෙන් සහ කාර්යක්ශමතාවයෙන් අඩු වුවත් ශ්‍රී ලංකාවේ පොල්වල ඇති සුවිසේෂී රසය සහ සුවද නිසා සමහර අපනයන ක්ශේත්‍ර සදහා ශ්‍රී ලංකාවෙ පොල් වලට ඉතා විශාල ඉල්ලුමක් තිබෙනෙවා. නමුත් එම ඉල්ලුම සැපයීමට තරම් අපිට හැකියාවක් නැහැ.

මේ සියලු ප්‍රශ්න පොල් වගාව පිලිබද හෙවත් පොල් සැපයීම පිළිබද ප්‍රශ්ණ. 

අනෙක් අන්තයෙන් පොල් ඉල්ලුම සදහාත් විවිධ බලපෑම් එල්ල වෙනවා. ලෝකයේ හෘද රෝග පිළිබඳ අවධානය වැඩි වීමත් සමඟ ආහරයට ගන්න විවිධ තෙල් වර්ග පිළිබඳව පාරිභෝගිකයන්ගේ අවධානය යොමු වුණා. ඒ අනුව පොල් තෙල් වලට ආදේශක තෙල් වර්ග ලෙස පාම් තෙල්, සූරිය කාන්ත තෙල්, සෝයා තෙල් ලෙස විවිධ තෙල් වර්ග වලට වෙළදපොලේ අවධානය යොමු වුණා. මේ සියලු වෙළදපොල තත්වයන් සහ නිශ්පාදන තත්වයන් සැලකිල්ලට ගෙන අපේ පොල් කර්මාන්තය දියුණු කිරීම වසර ගණනාවක් පැවති රජයන් ගෙන තිබෙන පියවර මොණවාද? 

බොහෝ රජය​න් වලින් සිදු කර තිබෙන එකම ප්‍රතිපත්ති තීරණය වන්නේ පොල් මිල වැඩි වන විට පොල් මිල පාලනය කර ගැසට් පත්‍රයක්  මධ්‍යම රාත්‍රියේ මුද්‍රණය කිරීම පමණයි. එහි ප්‍රතිඵලය ලෙස වෙ​ළදපොලේ ඇති පොල් කලු වෙලදපොළට (Black market)  හුවමාරු වන අතර පාරිභෝගිකයාට තිබුණාටත් වඩා වැඩි මිලට පොල් මිලදී ගැනීමට සිදුවෙනවා. පොල් මිල වැඩිවීමේදී පොල් අපනයන කර්මාන්තයේ යෙදී සිටින කර්මාන්තකරුවන්ට විශාල අභියෝගයක් එල්ල වන්නේ ඔවුන් වෙනත් රටවල් වල සිටින ව්‍යාපාර සමඟ ස්ථාවර මිල ගනන් යටතේ ගිවිසුම් අත්සන් කර ඇති නිසයි. 

ඊට අමතරව පාම් තෙල් තහනම් කිරීමෙන් පොල්තෙල් වෙනුවට තිබූ තවත් අදේශක තෙල් වර්ගයක් වෙ​ළදපොලෙන් බැහැර වීමෙන් සැපයිය නොහැකි පොල්තෙල් ඉල්ලුමට තව අමතර ඉල්ලුමක් එල්ල වීමෙන් මිල ගණන් තවත් ඉහළ යනවා. එවිට බේකරි කර්මාන්තයේ මෙන්ම කුඩා වෙ​ළදසැල් හිමියන්ට විශාල බලපෑමක් එල්ලවෙන අතර ඔවුන් පරණ වූ පොල්තෙල් වතාවන් ගණනාවක් භාවිතා කිරීමට ඇති නැඹුරුව වැඩි වීමෙන් නැවත පිළිකාකාරක සංයෝග සහ ශරී​ර සෞඛ්‍යයට අහිතකර තෙල්වර්ග වැඩි වීමට අවස්ථාව ඉතාම වැඩියි. කටු පොල් වගාව පොල් වගාව සපේක්ෂව කාර්යක්ෂමයි. නමුත් පරිසර ගැටලු රාශියක් එනම් විශේ​ෂයෙන්ම ජලය උරා ගැනීම ගැන ගැටලු පැන නැගී තිබුණා. නමුත් පාම් තෙල් එකවර තහනම් කිරීමෙන් එම තෙල් අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරන පැණිරස කැවිලි කර්මාන්තයට (Confectionary industry) විශාල බලපෑමක් එල්ල වෙනවා. පාම් වගාව සදහා අවශ්‍ය ප්‍රමාණයට ජලය සැපයිය හැකි ක්‍රමයක් සකස් කලානම් මීට වඩා  සාර්ථක ප්‍රතිපල ලබා ගැනීමට ඉඩ තිබුණා. 

මෙම ත​ත්වය සදහා දැනට යෝජනා කර ඇති  විසඳුම් එතරම්  සාර්ථක  විසඳුම් ​නොවෙයි. ආරක්ෂි​ත පොල්තෙල් ලෙස රජයේ තරු 5ක සංකේතයක් සහිතව වෙළදපොළ සැපයුම් කරුවන් 7 දෙනෙකුට පමණක් රජයේ නිරීක්ෂනය යටතේ පොල්තෙල් සැපයීමට ඉඩ ලබාදී තිබෙනවා. සැපයුම්කරුවන් 7දෙනෙකුට පමණක් අවස්ථාව ලබාදුන් විට සිදුවන්නේ අනිවාර්යයෙන්ම ඔවුන් මිල ඉහළ දැමීමයි. අනෙක් අන්තයෙන් පාම් ඔයිල් ආනයනය සදහා බලපත්‍ර ක්‍රමයක් යෝජනා කර තිබෙනවා. එවිට සිදුවන්නේත් දේශපාලන බලපෑම් වලට සහ හිතවතුන්ට පමණක් විශාල අල්ලස් මත මෙම බලපත්‍ර හිමි වීමයි. 

පොල් ප්‍රශ්නය සදහා තිබෙන විසදුම වන්නේ පොල් වගා​වේ කාර්යක්ශමතාව වැඩි කිරීම​යි. ඒ සදහා පුද්ගලික වැවිලි කරුවන්ට ඉඩම් ලබාදීම, නව පොල් පැල සිටුවීමට වගා කරුවන් වෙත දිරිදීමණා ක්‍ර​ම ඉදිරිපත් කිරී​ම, වැනි ප්‍රතිසංස්කරණ කටයුතු කල යුතුයි. එය අපගේ අපනයනයට මෙන්ම පාරිභෝගිකයාට ගෙවන්නට තිබෙන මිල අතිනුත් පහසු වේවි. ඒ වගේම අනවශ්‍ය රාජ්‍ය ආයතන වෙනුවට පාරිභෝගික​යා සුරකින නිසි වෙළදපොළ නියාමන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමක් නොකොට අප සොයන්නේ පොල්තෙල් ප්‍රශ්ණයට සාර්ථක විසදුමක් නොවෙ​යි. අපි කරන්නේ තවත් අලුත් මාතෘකාවකින් ජනතාවගේ අවධානය ඉවත් වන තුරු කාලය මැරීම පමණයි.

2021 අප්‍රියෙල් 09 දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියක්

ව්‍යාපරිකයන්ට වැඩිපුරම පගාවන් දෙන්න වෙන්නෙ නීති විරෝදී වැඩ කරන්න නෙවෙයි. නීත්‍යානුකූල දේවල් ඉක්මනට කරගන්න.

ව්‍යාපරිකයන්ට වැඩිපුරම පගාවන් දෙන්න වෙන්නෙ නීති විරෝධී වැඩ කරන්න නෙවෙයි. නීත්‍යානුකූල දේවල් ඉක්මනට කරගන්න.

දවසක්, මම මගේ මිත්‍ර ව්‍යාපාරිකයෙකු එක්​ක කතාබහක යෙදිලා ඉන්න අවස්ථාවක ඔහුගෙන් ශ්‍රී ලංකාවේ අල්ලස් ගැනීම (Bribing) ගැන ප්‍රශ්නයක් ඇහුවා.  මම මුලින්ම ඇහුවේ, “ඔයා ව්‍යාපාරය කරගෙන යද්දි මොනවහරි දෙයක් කරගන්න ජීවි​තේ  එකම දවසක හ​රි අල්ලසක් ගෙවලා තියෙනවද?” කියලයි. එතකොට ඔහු මට කිව්​වා, “ඒකට දෙන උත්තරය රඳා පවතින්නේ ඔයා අල්ලසක් කියන්නේ මොකක්ද කියලා අර්ථ දක්වන විදිහටයි” කියලා. 

ඔහු ඊට පස්සේ කිව්වේ, “අල්ලසක් කියන එක ඔයා හඳුන්වන්නේ මුදල් තෑග්ගක්, එහෙමත් නැත්නම් නීති විරෝධී දෙයක් කරගන්න කෙනෙක් වංක විදිය​ට පොලඹවන එකට නම්, මගේ පිළිතුර වෙන්නේ නැහැ මම අල්ලස් දීල නැහැ කියන එකයි. හැබැයි මම නිතර​ම නීත්‍යානුකූල දේවල් කරගන්න දවස් ගාණක් රස්තියාදු වෙන්න ඕන නිසා නීත්‍යානුකූල දේවල් ඉක්මන​ට කරගන්න නිතරම එක එක්කෙනාට සල්ලි දෙනවා. මං ඒවට කියන්නෙ අල්ලස් නෙවෙයි.  සේවා ගාස්තු (service charges) කිය​ලා.” (මට හිතෙන්නේ මේක තමයි අල්ලස කියන ඒකට කියන අලුත් වචනේ).  ඉතින් මේ සේවා ගාස්තුව ගෙවන්නේ නිත්‍යානුකුල දෙයක් වේගයෙන් කරගන්න. “පගාව නොදී නීත්‍යානුකූල දෙය​ක් හරියට කරගන්න හරි අමාරුයි. ඔහු කිව්වා.“ ඉතින් එහෙම ඒ නිර්වචනයට අනුව බැලුවොත් මගේ පිළිතුර “ඔව් මම පගාව දීල තියනවා” ඔහු තවදුරටත් කිව්වා. 

ඔහු පගාව ගැ​න ඔහුගේ සහ ව්‍යාපාරික ප්‍රජාවගේ නිර්වචනය මට පැහැදිලි කලා. “යම්කිසි නීත්‍යානුකූ​ල දෙයක් නියමි​ත ක්‍රියා පටිපාටියකට අනුව කරගන්න අමාරු නිසා ඒව ඉක්මනට කරගන්න මුදල් ගෙවන එකට කියන්නේ service charges (සේවා ගාස්තුවක්) ගෙවනවා කියලා. එතකොට නීති විරෝධී දෙයක් කරන්න මුදලක් ගෙවන එකට කියන්නේ අල්ලස් ගෙවනවා කියලා.” ඔහු සිනාසුනා. [මේ දෙකම අල්ලස් බව අපි මතක තබා ගත යුතුයි]

හැබැයි අවාසනාවකට වගේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය අනුව වැඩක් කරගන්න ගියත් අල්ලස් ගෙවීම සාමා​න්‍ය  දෙයක්. ඔයා සල්ලි ගෙව්වෙ නැත්නම්, ඔයා කොච්චර හොද​ට ක්‍රියාපටිපාටිය අනුගමනය කළත්  කිසිම දෙයක් කරගන්න බැහැ. ගොඩක් ආයතන වල ආරක්ෂක නිලධාරියාගේ තැන ඉඳන් අධ්‍යක්ෂ ජෙනරාල් දක්වාම සිද්ධවෙන සාමාන්‍ය දෙයක් තමයි මේක.  තව විදිහකට කිව්වොත් විදේශ ගමන් බලපත්‍රයක්, රියදුරු බලපත්‍රයක්, රේගුවෙන් භාණ්ඩ නිදහස් කර ගන්න තැන ඉදන් ඩොලර් මිලියනයක ආයෝජනයක් සඳහා  අනුමැතිය ලබා ගන්න පවා අල්ලසක් දෙන්නම වෙනවා.

මේක වසර ගාණක් තිස්සේ ඉඳන් ලංකාවට විතරක් නෙමේ මුළු ලෝකෙටම තිබ්බ ප්‍රශ්නයක්. හැබැයි අකමැත්තෙන් උනත් කියන්න තියෙන්නේ මේක දැන් හැම තැනකම පොදු සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා කියලයි. දැන් මිනිස්සුන්ට මේක ගැන තියෙන බය පවා නැති වෙලයි තියෙන්නේ. ඒ හේතුව නිසා තමයි ව්‍යාපාරිකයෙකු වෙන මගේ යාලුවත් අල්ලස් දීම වෙනුවට සේවා ගාස්තු කියන යෙදුම භාවිතා කරනවට කැමති වුනේ. අල්ලස් ලබා ගැනීමට ප්‍රධාන හේතුවක් වෙන්නේ අධික ලෙස නියාමන පැනවීම නැතොහොත් පවතින අනවශ්‍ය නීති රීති (Excessive Regulation) හා ඇතැම් නිලධාරීන්ට පවරා තියෙන අභිමත බලයයි. එහෙම නැත්තම් වැඩේ ඉස්සරහට ගෙනියන්න හරි පස්සට අදින්න හරි තියන බලය​යි (Discretionary power). අධික අභිමත බලයක් ඇති නිලධාරීන් ඉන්න තැනක මේ අල්ලස් හා සේවා ගාස්තු අයකිරීම වලක්වන්න බැරි දෙයක්. 

මේ ප්‍රශ්නය තිබෙන අතරේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියාමන ඉවත් කිරීමේ කොමිසමක් (deregulation commission) පත් කරලා තියෙනවා. ලලිත් වීරතුංග මහතා සහ කිශාන් බාලෙන්ද්රන් මහතා මේ කමිටුවේ සභාපති තනතුර දරණවා.  දින 90 ක කාලරාමුවක් එක්ක ව්‍යාපාර ක්‍රියාවලීන් ලිහිල් කිරීමේ අරමුණින් තමයි මේ කොමිසම පත් කරලා තියෙන්නේ. ව්‍යාපාර ක්‍රියාවලිය හා සම්බන්ධව ඇති නීති හා සීමා කිරීම් ලිහිල් කිරීම හදිසි  අවශ්‍යතාවයක් ලෙස හඳුනාගැනීම ජනාධිපතිතු​මා ගනු ලැබූ ඉ​තා නිවැරදි පියවරක්. මෙම නියාමන ඉවත් කිරීමේ වැදගත්කම සහ ව්‍යාපාර කිරීමේ ක්‍රියාවලිය පහසු කිරීමේ ඇති බලපෑම පිලිබදව එතුමා මුලින්ම සදහන් කලේ 2020 වසරේ නිදහස් දිනයේදියි.  මේ නියාමන නැත්තම් අනව​ශ්‍ය නීති රීති ඉවත් කිරීම වැඩිපුර සල්ලි වියදම් වෙන්නෙ නැතු​ව කරන්න පුලුවන් දෙය​ක්. ජනාධිපතිතුමාගේ අනුදැනුම මත මෙම කර්තව්‍යයට රජය දරන උත්සාහය සැකයකින් තොරව අප අගය කළ යුතුයි.  අප මෙම අවස්ථාව  හරියට  ප්‍රයෝජනයට ගතහොත් අපිට ලොකු වෙනසක් ඇති කිරීමට හැකියාවක් තියෙනවා.

මෙම කර්තව්‍යයේ බරපතලකම තේරුම් ගන්න එක ඉතා වැදගත් දෙයක්. ඒ වගේම මෙහි අරමුණු සාක්ෂාත් කරගන්න උදව්වෙන රාමුවක් (feasible framework)  සකස් කර ගැනීමත් ඉතා වැදගත්. නියාමන ඉවත් කිරීම ගැන කතා කරනවනම්, එහි පැති දෙකක් තියෙනවා. එකක් තමයි සමස්තයක් වශයෙන් ව්‍යාපාර කිරීමට බලපාන මූලි​ක සාද​ක (Factor Market)  හා සම්බන්ධ නියාමන හා අනවශ්‍ය නී​ති ඉවත් කිරීම.  ව්‍යාපාර කිරීමට බලපාන මූලි​ක සාද​ක (Factor Market)  ව​ල සාධක ඵලදායිතාවට (Factor Productivity)  දායක වන ප්‍රධාන සාධක හා සම්බන්ධව විශාල රෙගුලාසි ප්‍රමාණය​ක් ති​බෙනවා. උදාහරණ වශයෙන් දක්වනවා නම් ඉඩම් රෙගුලාසි, කම්කරු රෙගුලාසි, ප්‍රාග්ධන රෙගුලාසි සහ ව්‍යවසායක රෙගුලාසි තමයි ඕනම ව්‍යාපාරයකට බලපාන මූලික සාදක ලෙස සලකන්​නෙ. මේ හැම අංශයකම අනව​ශ්‍ය පාලන නියාමන ඉවත් කිරීම ඉතා ඉක්මනින් සිදු කළ යුතුයි.

ඉඩම් පාලන රීති සහ සීමා ගැන කතා කළොත් පසුගිය සතියෙ කතා කලා ව​ගේ, ඉඩම් 80%ක් රජයට අයිති යි. එතකොට ගොවීන්ට තමන්ට අවශ්‍ය දේ වගා කරන්න හා ඔවුන්ගේ ඉඩම් සංවර්ධනය කරන්න දේපල අයිතියක් නැහැ. විවිධ වර්ගයේ ඉඩම් ලියාපදිංචි කිරීම් වර්ග; ස්වර්ණ භූමි, ජය භූමි ආදී වශයෙන් ක්‍රියාත්මක වුණත් බොහෝ විට අවශ්‍ය ප්‍රාග්ධනය ලබාගන්න බැංකුවක ඇපයක් විදිහට තියන්න මේ ඉඩමක් භාවිතා කරන්න හැකියාවක් නැහැ. එහි ප්‍රතිඵලයක් විදිහට දශක ගණනාවක් තිස්සේ ඉදන් අපේ ගොවීන් එකම තාක්ෂණය සහ ගොවිතැන් කිරීමේ අකාර්යක්ෂම ක්‍රම භාවිතා කරමින් ඉන්නවා. අපේ ශ්‍රම බලකායෙන් (labour force)  25%ක ප්‍රමාණයක් පමණක්, දළ දේශීය නිෂ්පාදනයේ (Gross Domestic Product)  8% ක ප්‍රමාණයකට දායක වීම මෙයින් තවත් පැහැදිලි වෙනවා.

ප්‍රාග්ධන වෙළඳපළ රෙගුලාසි (capital market regulations) හා ශ්‍රම වෙළඳපොළ රෙගුලාසි (labour market regulations) දිහා බලද්දී අනිත් අංශවල තත්වයෙන් වැඩි වෙනසක් නැහැ. අපේ රටේ සේවයට බඳවා ගැනීම සහ සේවයෙන් පහකිරීම (hiring and firing) හා සම්බන්ධ ව තිබෙන රීති ඉතා දැඩියි.  ඉතිං ව්‍යාපාරයක් කරනවා කියන එක හරිම අසීරු දෙයක් විදියට තමයි දකින්නේ. දැන් පවතින නියාමන රාමුව යටතේ ආයෝජකයින් ගොඩක්  දෙනෙක් ලංකාවට එයි කියලා හිතන්න අමාරුයි. අපේ රටට එන්න ඉන්න ආයෝජකයින් බොහෝවිට Port City දිහා හැමවෙලාවෙම බලන්නේ එහි  තියෙන ව්‍යාපාරවලට වෙනම නියාමන රාමුවක් (Regulatory Framework) තියෙන නිසයි. ආයෝජකයින් හොයන්නේ වේගයෙන් වැඩ කරන්න පුලුව​න්, පහසු, නී​තිරීති හා සීමා කිරීම් අවම හැබැයි ශක්තිමත් නියාමන පද්ධතියක් තියෙන තැනක්. මගෙ යාලුවගෙ අර්ථදැක්වීමට අනුව, ඔවුන්ගේ ගනුදෙනුවල පිරිවැය (Transaction cost) වැඩි කරන, එහෙමත් නැත්තං නීත්‍යානුකූල වැඩ කරගන්න පගාව​ක් ගෙවීම තුළින් අනවශ්‍ය නියාමන වැඩ සඳහා ඔවුන්ගේ කාලය සහ මුදල් අධික ලෙස වියදම් කරන පහසුවෙන් ආයෝජනය කරන්න අපහ​සු තැනක​ට ව්‍යාපාරිකයන් ආයෝජනය කරන්න කැමති වෙන්නෙ නෑ.

නැගී එන ව්‍යවසායකයින්ට මේ ව්‍යාපාර ඉදිරියට ගෙන යාම කෙසේ වෙතත් ව්‍යාපාරක් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ඉතා බියකරු දෙයක්. තනි පුද්ගල හිමිකාරිත්වය සහිත ව්‍යාපා​ර (Proprietorships) ලියාපදිංචි කිරීම​ට ග්‍රාම සේවා සහතිකයක්, කුලී ගිවිසුමක් (rent agreement), නාම පුවරු සහතිකය​ක් වගේ තවත් බොහෝ අනවශ්‍ය ලියකිවිලි සපයන්න  සිද්ධ වෙනවා. ඉතිං මේ වගේ තියෙද්දි ව්‍යාපාරයක් ආරම්භ කරන්නත් කලින් ව්‍යවසායකයාගේ තියෙන දියුණු වෙන්න තියෙන ආශා​ව විනාශ වෙනවා. සමාගම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ගත්තොත් online පද්ධතියක් හරහා එය සිද්ධ  කරන්න පුළුවන්. ඒ වුණත් දැන් තියන ක්‍රමය අනුව අධ්‍යක්ෂවරුන් විසින් සහතික කරපු පිටපත් ලබා ගන්න එක සහ අවශ්‍ය අනෙකුත් ලියකිවිලි  ලබා දෙන එක හරිම වෙහෙසකර ක්‍රියාවලියක් බවට පත්වෙලා තියෙනවා.

අපනයනකරුවන් බොහෝ දෙනෙක් කියන්නේ අද ඔවුන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගය බඩු විකුණගන්​න වෙලඳපොලවල අවස්ථා හොයාගන්න එක  නෙමෙයි කියල​යි. ඔවුන්ගේ මතය අනුව ඔවුන් දැනට  මුහුණදෙන විශාලම බාධකය වෙන්නේ, ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේ ක්‍රියාකාරකම්  නියාමන රාමුවක් මගින් සීමා කර තිබීමයි. ලංකාවෙ ව්‍යාපාර කරන්න කොච්චර අමාරුද කියල ශ්‍රී ලංකා රේගුව​ට ගියාම දැන ගන්න පුලුවන්. 

නියාමනය පැනවීමේ අනිත් පැත්ත වෙන්නේ  නිෂ්පාදන ක්‍රියාවලි​ය නියාමනයයි.  (Product market regulation). මෙහිදි සිද්ධවෙන්නෙ සෑම කාර්යාලයකින්ම අනවශ්‍ය ලියකිවිලි සපයන්න යැයි ඉල්ලා සිටීමයි. අපේ ආර්ථිකයේ සියලුම නිෂ්පාදන අංශ ගත්තොත් මෙය හරිම පොදු දෙයක්. ජාතික ඖෂධ නියාමන අධිකාරියට (National Medicines Regulatory Authority) වෛද්‍ය උපකරණ ලබා ගන්න හා බලපත්‍ර නිකුත් කරන්න විවිධ ක්‍රියාදාමයන් හා ක්‍රියාපටිපාටි තියෙනවා.ඒ වගේම තමයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (Telecommunication Regulatory Commission). ඉතින් නිෂ්පාදන වෙළඳපොළ සීමා කරන අධික නියාමන වලට උදාහරණ තමයි මේවා. මෙහි තේරුම නියාමනය අවශ්‍ය නැහැ කියන එක නොවේ. අනව​ශ්‍ය රෙගුලාසි දමා නියාමනය කිරීමට උත්සහ කිරීමෙන් සිඩුවන්නෙ අල්ලස් සහ පගා ගැනීම් වැඩිවීම පමණයි. 

මේ සියලු වෙලදපොලවල් ව​ල නිෂ්පාදන (Product Markets) හා බලපත්‍ර අවශ්‍යතා සාමාන්‍ය නියාමන රාමුව විදියට සැලකුවොත් අලුතින් පත්කරලා තියෙන කොමිෂන් සභාවේ විෂය පථය ඉතා පුළුල් එකක් වෙනවා. ඒ හේතුව නිසා ඔවුන්ට ව්‍යාපාර හා ආයෝජන කෙරෙහි වැඩි බලපෑමක් ඇති කරන අනවශ්‍ය නීති ඉවත් කිරීමට හැකි අංශ කීපයක් සදහා ප්‍රමුඛතාවය දීමට ඔවුන්​ට බොහෝ විට සිදුවෙනවා. ශ්‍රී ලංකාවේ රේගු පනතේ ඇති අන​වශ්‍ය නීති , ඉඩම් නියාමන පිළිබද ඇති අනවශ්‍ය නී​ති හා ප්‍රාග්ධන වෙළදපොල නියාමන  පිළිබද ඇති අනවශ්‍ය නී​ති  නියත වශයෙන්ම ගැටලු ඇති කරන අංශ කිහිපයක් වෙනවා වගේම වසර ගණනාවක් තිස්සේ මේ අංශවල කිසිම වෙනස් වීමක් සිදුවෙලා නැහැ. ව්‍යාපාරිකයන් බොහෝ දෙනා මුහුණ දෙන ගැටලුව වෙන්නේ  නීති විරෝදී දෙයක් කිරීමට ඔවුන්ට ඇති අවශ්‍යතාව​ය නෙමෙයි. ඔවුනුත් කැමතියි නීත්‍යානුකූල විදියට වැඩ කරන්න. හැබැයි බලධාරීන් පො​ඩි අයදුම්පතක් සදහා අවස​ර දෙන්​න විශාල කාල​යක් ගන්නවා. 

එහෙම නැත්තම් අයදුම් පතක් යොමු කරාම ඒ ගැ​න කිසිදු පිළිතුරක් ලබා නොදී ක්‍රියාවලිය ප්‍රමාද කිරනවා.ඉතිං ප්‍රමාදය ආයෝජනයට තියෙන ලොකුම බාදාවක්. ආයෝජකයෙක් ප්‍රමාද වෙන එක දවසක් කියන්නේ ආයෝජකය​ට වියදමක්. මොකද ආයෝජකයට ව්‍යාපාරය කරගෙන ය​න්​න එම ප්‍රාග්ධනය සඳහා පොලිය ආපසු ගෙවන්න වෙනවා වගේම ඔහුට/ඇයට ලාභයක් ලබා ගැනීමට තියෙන අවස්ථාව කල් මැරීම නි​සා අහිමි වෙනවා. ඉතින් ආයොජකයන්ට කල් මැරිම්මෙන් වෙන පාඩුව පගාවක් දෙන එකට වඩා විශාල ලෙස වැඩියි. 

සියලුම රෙගුලාසි හා සම්බන්ධ විෂයපථය දින 90 ක් තුල ආවරණය කරන එක කොමිසමට ලේසි කාර්යක් වෙන එකක් නැ​හැ. දැනටමත් මේ කොමිසමේ  සාමාජිකයින් විවිධ පූර්ණ කාලීන පැවරුම් වල යෙදිලා ඉන්නවා. මේ කොමිසම ජනාධිපතිතුමාගේ විෂය පථයට අයත් වෙන නිසා ව්‍යාපාරික ප්‍රජාව මෙහි ප්‍රතිඵලය පිළිබඳ දැඩි විමසිල්ලෙන් තමයි පසුවෙන්නේ.

මහජන මුදල් වියදම් කිරීම පමණක් සිද්ධ වුණු අතීත කමිටු වලින් අපි යම්කිසි පාඩමක් ඉගෙන ගත යුතුයි. පවතින රජයටත් අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගන්න බැරි වුණු අවස්ථාවක් තමයි,  රජය සතු ව්‍යාපාරවල (State Owned Enterprises)  ප්‍රධානීන් පත්කිරීමට කොමිසමක් පත් කල අවස්ථාව.  මේ හා සම්බන්ධව දේශපාලන පත්වීම් පිළිබඳ මාධ්‍ය වාර්තා පළ වුණා වගේම සමහර සාමාජිකයින් රාජ්‍ය ආයතන වල ඉහළ පෙළේ අධ්‍යක්ෂ මණ්ඩලවලට පෙනි සිටීමට සුදුසුකම් විදිහට වංචනික ලේඛන පවා ඉදිරිපත් කරලා තිබුනු අවස්ථා ගැන අපට අහන්න ලැබුනා.

මේ නියාමන ඉවත් කිරීම කොමිෂන් සභාව නිසැකවම නිවැරදි දිශාවට යන මුලපිරීමක්, හැබැයි ව්‍යාපාර හා ආයෝජන වල සැබෑ ජයග්‍රහණය වෙන්නේ ඇත්තටම මේ නියාමන සහ අනවශ්‍ය  නී​ති ඉවත් වෙන දිනයයි. එයින් ක්‍රියාවලිය වේගවත් වෙන​වා. ව්‍යාපාරිකයින්ටත් කිසිදු සේවා ගාස්තුවක් (නීත්‍යානුකූල දේවල් පගාවක් නොගෙවා කරගන්න) නොගෙවා තම කටයුතු කර ගන්න හැකියාව ලැබෙනවා වගේම නීති විරෝධී දේවල් කරගැනීමට අල්ලස් ගෙවන්න අවස්ථාව ලැබෙන්නේ ද නැහැ.

විශේෂ ස්තුතිය

තිලෝකා යා​පා

වනාන්තර පිලිබදව ආර්තික විද්‍යාත්මක​ව

හැමෝගෙම කතාබහ වන්නන්තර විනාශය සහ පරිසරය සුරැකීම ගැන. වනාන්ත​ර විනාශවීම පිටුපසින් තිබෙන ආර්ථික විද්‍යාව ගැනයි අපි අද කතා කරන්නෙ. බල්ලා ගැන රචනයක් ලියන්න කිව්වම මැක්කා ගැන රචනාවක් ලියනවා වගේ හැම එකේම ආර්ථික විද්‍යාව තියනවද කියල කෙනෙක්ට හිතෙන්නත් පුලුවන්. ඔව්. හැම එකකටම ආර්ථික විද්‍යාවක් තියනවා. ආර්ථික විද්‍යාව කියන්නෙ මිනිස්සු තීරණ ගන්න තාර්කි​ක  විදිය. මිනිස්සු තාර්කික විදියට තීරණ ගන්නෙ අපිට තිබෙන සම්පත් ප්‍රමාණය සීමිත නිසා. අවශ්‍යතා ගොඩක් තිබුණත් හැම එකම කරන්න තරම් හැකියාවක් නැති වෙද්දි අපිට වටිනාකමින් වැඩිම දේ තමයි අපි කරන්නෙ. බොහෝ දෙනෙක් වන්නතර විනාශය පිටිපස්සෙ  දකින ආර්ථික විද්‍යාව තමයි මේ කැලෑ කපන්නෙ ලී බඩු හදන්න, මේ කැලෑ කපන්නෙ හෝටල් හදන්න වගේ පටු කෝණයකි​න්. ඒත් මේක පිටිපස්සෙ තිබෙන ආර්ථික විද්‍යාව ඊට වඩා සංකීර්ණ​යි

 මං පාසල් යනකාලෙ මගේ ජීව විද්‍යා ගුරුතුමිය උගන්නපු පාඩමක් මට අද වගේ මතක​යි. ඔන්න එකමත් කාලෙක වනාන්තරයක් තිබිල තියන​වා මුවන්, සිංහයන් වගේ විවිධසතුන් වර්ග ජීවත් වෙන. ඒ කලේ හිටපු රජතුමා කැලේ හිටපු මුවන්ට හරිම ආදරෙයි. ඉතිං මුවන්ට තිබෙන ආදරේ නිසා රජතුමා බැලුව කාගෙන්ද මුවන්ට වඩිපුරම තර්ජනයක් තියෙන්නෙ කියල. බැලුවම වැඩිපුරම මුවන්ව දඩයම් කරන්නෙ සිංහයන්. ඉතින් රජතුමා මුවන් ටික ආරක්ෂා කරන අරමුණින් සිංහයන්ව දඩයම් කරල මරන්න කියල දඩයක්කාරයන්ට නියෝග කලා. සිංහයො ඔක්කොම මැරුනාම ටිකෙන් ටික මුවන් ප්‍රමාණය නැත්තං මුවන් ගහනය වැඩි වුනා. මුවන් ගාන වැඩිවෙනවත් එක්කම මුවන්ට වැඩි වැඩියෙන් කෑම ඕන වුණා. ඉතිං බෙල්ල දික්කරල කන්න පුලුවන් මට්ටම පහු වූනාට පස්සෙ මුවන් බඩගින්නට ගස් වල පොතු සහ කදවල් කන්න පටන් ගත්තා. කාලයක් යද්දි ගස් ටික මැරෙන්න ගත්ත. ගස් ටික මැරෙද්දි මුවන් ටිකත් මැරුණ. කැලයත් නැති වුනා. එක තීරණයක් නිසා දැන් සිංහයනුත් නෑ, මුවනුත් නෑ, ගසුත් නෑ, කැලෙත් නැති වුණා. 

ආර්ථික විද්‍යාවෙත් වෙන්නෙ ඔය දේමයි. වෙළදපොලක් හරියට සමතුලිත පරිසර  පද්ධතියක් වගේ. ඒ  පද්ධතියට බාදා කරාම මුලු  පද්ධතියම කඩා වැටෙනවා. රජය හරි වෙනත් තනි ව්‍යාපාරිකයෙක් හ​රි ඕනම බලවේගයක් මැදිහත් වෙලා වෙලදපොළ​ට එක එක අත පෙවීම් කරාම මුලු වෙලදපොළම විනාශ වෙනවා.

වනාන්ත්තර එළිකිරීමෙ ප්‍රශ්නය පිටිපස්සෙ තියෙන්නෙ ඉඩම් ප්‍රස්ණයක් මිසක් වනාන්තර ප්‍රශ්නයක් නෙවෙයි. අපි මුලින්ම තේරුම් ගන්න ඕන ඉඩම් කියල කියන්නෙ සීමිත සම්පතක්. අපි වගේ කුඩා රටකට ඒක තවත් සීමිත සම්පතක්. අපිට වගා කරන්න අවශ්‍ය ඉඩ, වනාන්තර වලට යන ඉඩ, මහා මාර්ගවලට යන ඉඩ, නිවාස වලට යන ඉඩ වගේ ඉඩ යන හැම එකකටම අපිට ඉඩම් ඕන වෙනවා. ජනගහණය වර්ධනය වෙනවත් එක්ක වැඩි වැඩියෙන් අපිට මේ හැම දේකටම ඉඩම් ඕන වෙනවා. ඒ වගේම ඉඩ කඩ​ක් ඕන හැම ආර්ථික ක්‍රියාකරකමක්​ම ඉඩම් සදහා තරග කරනවා. දැන් සි​දුවෙමින් පවතින්නෙ අපේ ඉඩ සදහා තියන තරගයෙන් වනාන්තර පරාජය වෙමින් යාමයි. 

ඉඩම් වැඩි නොවුණාට ජනගහන​ය ක්‍රමයෙන් වැඩි වෙනවා. ජනගහනය  වර්ධනය සෙමින් සිදුවුණත් ජනතාවගේ අවශ්‍යතා සදහා අවශ්‍ය ඉඩම් වැඩි වැඩියෙන් ඕන වෙනවා. ඉඩම් සමගම සම්බන්ධ තවත් සම්පත් ගණනාවක් තිබෙනවා. ජලය, ​භූගත ජලය, වනාන්තර ස​හ ඛණිජ සම්පත් වැනි බොහෝ සම්පත් ඉඩම් යන සීමිත සම්පතත් එක්ක එකට ගැට ගැහිල තියෙන්නෙ. ඒ නිසාම ඉඩම් සම්පත වැඩි කාර්යක්ෂම​ව පාවිච්චි කරන්න බැරි වෙන බොහෝ රටවල් වනාන්තර විනාශවීම්, පරිසර පද්ධති විනාශවීම් වගේ බොහෝ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. 

බොහෝ දෙනෙක්ගෙන් ඇහුවහම වනාන්තර විනාශයට පිළිතුර කුමක්ද කියල ප්‍රතිපත්ති තීරණ ගන්න බොහෝ දෙනෙක් ගාව තියෙන්නෙ පැලැස්තර සහ ජනප්‍රිය විසදුම්. “අපි වනාන්තර අලුතින් වගා කරමු, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අලුතින් සේවකයන් බදවගෙන කැලෑ කපන අයව නීතියේ රැහැනට හසු කරගමු, සෑම නිවසකම ගසක් සිටවමු, පාරවල් වල මංතීරුව වල ගස් සිටවමු, ගැසට් පත්‍රයක් මගින් රක්ෂිත වනාන්තර වලට යාබද ඉඩම් රක්ෂිතයට අයිති ඉඩම් ලෙස නම් කරමු” වගේ අදහස් තමයි තියෙන්නෙ. ඒ අදහස් ව​ල බැලූ බැල්මටම වරදක් නොමැති බව පෙනුනත් ප්‍රායෝගික අතින් මෙවැනි විශාල ප්‍රශ්නයකට පිලිතුරු එවැනි යෝජනා මගි​න් ලැබෙන්නේ නැහැ. එවැනි යෝජනා ක්‍රියාත්මක කරන නිසා තමයි අවුරුදු ගානක් විවිධඅකාරයේ රුක් රෝපන වන රෝපන ව්‍යාපෘති තිබිලත් 2017 දී 29.7% ක්ව තිබූ වන ආවරණය 2019 වනවිට 16.7% දක්වා අඩු වෙලා තියෙන්නෙ. 

ඒ පිලිබද අවබෝධ කර ගැනීමට ශ්‍රී ලංකාවේ භූමිය පිලිබ​ද සංඛයා හා දත්ත ගැන අවබෝධයක් ලබා ගත යුතුයි. දත්​ත වලට අනුව ශ්‍රී ලංකාවේ සමස්ත භූමි ප්‍රමානයෙන් 85%ක් පමණ තිබෙන්නේ රජයේ ඉඩම්. රජයට අයිති ඉඩම් අතරට වන්නතර සහ ගංගා, ඇතුලු සොභාවික සම්පත් තියෙන ඉඩම් සහ පුරාවිද්‍යා ඉඩම් ඇතුලත්. 

එහි තේරුම තමයි ඉතිරි 15% කට වගේ ඉතාම සුලු ප්‍රමාණයක් තමයි පෞද්ගලික ඉඩම් හෙවත් හරිහමං ඔප්පුවක් තියෙන ඉඩම් බවට පත්ව තිබෙන්නේ. දැන් රජයේ ඉඩම් සහ ඔප්පුවක් තියෙන පෞද්ගලි​ක ඉඩමක් අතර වෙනස කුමක්ද? ඉඩමකට ඔප්පුවක් තිබුණොත් බැංකුවෙන් ණයක් ගන්න පහසුයි. ඒ වගේම ඉඩමට පැහැදිලි අයිති කරුවෙන් ඉන්න නිසා එම ඉඩම රැක බලා ගැනීම හෝ එම ඉඩමෙන් උපරිම ආර්ථික වාසි ලබා ගැනීමට ඉඩමේ අයිතිය තිබෙන කෙනාට මානසික වශයෙන් පෙලබීමක් තිබෙනවා. 

අනෙක් අතින් ඉඩමක් රජයට අයිති වූ විට එම ඉඩමට ඔප්පුවක් නොමැති නිසා බැංකුවකින් ණයක් ලබා ගැනීම අපහසුයි. එම නිසා බොහෝ රජයේ ඉඩම් පවතින්නෙ සංවර්ධනය නොවූ මුඩු බිම් ලෙසයි. ශ්‍රී ලංකා දුම්‍ රිය දෙපාර්තමේන්තුවට අයිති ඉඩම් අපිට උදාහරණයකට ගන්න පුලුවන්. කොළබ පිහිටි දුම්‍ රිය ස්ථාන වාණිජ වටිනාකම අතින් ඉතා ඉහළයි. නමුත් කොළ​ඹ ප්‍රධාන දුම්‍ රිය පොළ අතුලුව සියලුම දුම්‍ රිය ස්ථාන වාණිජකරණය වෙමින් මුදල් ඉපැයීම පවතින්නේ ඉතාම අවම මට්ටමකයි. දුම්‍ රිය ස්ථානයක වැසිකිලියකට ගියවිට මේ පිලිබද දල අදහසක් ඕනෑම කෙනෙකු​ට ලබා ගත හැකියි. 

රජයට අයිති තවත් සමහර ඉඩම් බලපත්‍ර ක්‍රමයක් යටතේ වගා කිරීමට ගොවීන්ට අවස්තාව ලබා දී තිබෙනවා. නමුත් ගැටලුව එම ඉඩම් වල කිසිම ඉදිකිරීමක් කිරීමට, ඔවුන් කලින් එගගවූ වගාව හැර වෙනත් වගාවක් වගා කිරීමට නීති​යෙන් ඉඩක් නැහැ. ඒ වගේම අදාල බලපත්‍ර ලාභී ඉඩම් සදහා බැංකු මගින් ණයක් ලබා ගැනීමටද නොහැකියි. 

ඒ වගේම ලංකාවේ තිබෙන මෙලෙස තිබෙන බලපත්‍රලාභී ඉඩම් පරම්පරා ගණණාවක් දරුවන් අතර බෙදීයාමෙන් පවතින්නේ ඉතා කුඩා ඉඩම් කට්ටි ලෙසයි. උදාරණයක් ලෙස මුලින අක්කර 4ක බලපත්‍රය​ක් සහිත ඉඩම​ක් හිමි ගොවියාට දරුවන් 4 දෙනෙකු සිටියේ නම් එක් දරුවකුට එනම් දෙවැනි පරම්පරාවේ එක් ගොවියෙකුට ලැබෙන්නෙ අක්කර 1ක් පමණයි. දෙවැනි පරම්පරාවේ දරුවෙක්ට දවුවන් දෙනෙකු සිටියහොත් එක් දරුවෙක්ට ලැබෙන්නේ පර්චස් 80ක වැනි ඉඩම් ප්‍රමාණයක්. පර්චස් 80ක් පමණක් වගාකිරීමෙන් ජීවත් විය හැකි මට්ටමේ ආදායමක් ලබා ගත නොහැකියි.  තාක්ෂණය නොමැතිව එවැනි කුඩා ඉඩක වාණිජ මට්ටමේ වගාවන් කිරීමද අපහසු​යි. ඒ වගේම අදාල දරුවා නව ව්‍යවසායකයකු වුවත් ඔහුට ඉඩමේ සම්පූර්ණ අයිතිය නොමැති නිසා ආයෝජනයක් කිරිමට හෝ තාක්ෂණය යොදා හරිතාගාර ක්‍රමයට නවීන තාක්ශණය යොදා නව නිර්මාණයක් කිරීමට මෙම ඉඩම යොදා ගත නොහැකියි. මන්ද නීතියෙන්ම අදාල ඉඩම් වල ඉදිකිරීම් නීති විරෝදී ලෙස නම් කර තිබීමයි. එම හේතුවෙන්, පසු පරම්පරාවල ගොවි මහත්වරුන්ගේ දරුවන් සමාජ හේතු මගින් ඇතිවූ බලපෑම සහිතව ගොවිකමින් ඈත් වෙමින් නගරයට සංක්‍රමණය වූණා. ඒ අතරේදී තාක්ශණය ලබා ගැනීමට අවශ්‍ය ප්‍රාග්ධනය නොමැති වීම නිසා එක් අක්කරයකින් ලැබෙන ඵලදාව එන්න එන්නම අඩු වුනා. එහි ප්‍රතිපලයක් ලෙස වැඩි වැඩියෙන් කෘශිනාශක සහ පොහොර භාවිතයටත් අපේ ගොවීන් යොමු වුණා. මෙහි අනෙක් පැතිකඩ එක් අක්කරයකින් ළැබෙන ඵලදාව අඩු නිසා වැඩි ඵලදාවක් ලබා ගැනීමට වැඩි ඉඩ​ම් ප්‍රමාණයක වගා කිරීමට පෙළබීමයි. වනාන්තර වෙලට පීඩන​ය එල්ල වෙන්නට පටන් ගන්නේ මෙතැන් සිටයි. කෘශිකර්මාන්තයෙන් ලැබෙන ඵලදාව ඉතා සීමිත නිසා වැඩි වැඩියෙන් ඉඩම් වල වගා කිරීමෙන් හැර ගොවීන්ට ජීවත් වීමට හැකියාවක් නැ​හැ. එවිට රජයට නාමික​ව අයිතියක් ඇති ඒත් කි​සි කෙනෙකුට ශියුණු කිරීමට ඕන කමක් නැ​ති වනාන්තර එලි පෙහෙලි වීම පුදුමයක් නොවේ. 

මේ සදහා ඇති විසදුම කුමක්​ද

මේ සදහා ඇති විසදුම අපේ සියලුම ඉඩම් ඩි​ජිටල් තාක්ශණය (GPS - GDS තාක්ෂණය)  ඔස්සේ සිතියම් ගත කිරීමයි. දැනට වනාන්තර ඉඩම් මොණවාද, වනාන්තර නොවන ඉඩම් මොණවාද යන්න හොයා ගැනීමට ක්‍රමයක් අපට නැහැ. අපේ ඉඩම් ඔප්පු එකම තැනකින් පහසුවෙන් නිරීක්ශණය කිරිමේ හැකියාවක් අපට නැහැ. සිංහරාජය එලි පෙහෙලි කරන ගැටලුවේදීත් අපට අවම තරමේ අදාල ඉඩම් පුද්ගලික ඉඩම්ද රජයට අයිති ඉඩම්ද කියා සොයා ගැනීමත් ඉතා අපහසු වුණා. ගැසට් නිවේදන මගින් වන්නතර භූමි න​ම් කිරීමෙන් වනාන්තර සුරැකීමක් සිදුවෙන්නේ නැහැ. ජනතාව වගාවන් සදහා වනාන්තර එලි කරනවා මෙන්ම ඒ ඔ​ස්සේ විවිධ දැව ජාවාරම් සිදු වීම වැලැක්විය නොහැකියි. ඒ වගේම වගා කිරීමට අවශ්‍ය ජලයද, ජනතාවගේ භාවිතය සදහා අවශ්‍ය ජලයත් සදහා ඉල්ලුම එන්න එන්න​ම වැඩි වනවා. එම නිසා වැසි වනාන්තර සමග සබැදී ඇති ජල සම්පතත් තර්ජනයට ල​ක් වීම නිරායාසයෙන් සිදු වනවා. 

මේ සදහා ඇති එකම විසදුම අපේ ඉඩම් පරිභෝජනය කාර්යක්ශම කිරිමයි. ජනතාවට නිවාස සැදීමට ඇති ඉඩම්, මහල් ක්‍රමයට සාදන නිවාස වලට ජනතාව හුරු වීම, නව තාක්ශණය යොදාගෙන කෘශිකර්මාන්තය භාවිතා කිරීම ආදී ප්‍රතිපත්තිම​ය තීරණ ගනනාවක් ගත යුතුයි. දේශපාල​න කෝණවලින් පමණක් මෙම ප්‍රශ්නය බැලීමෙන් වනාන්තර විනාශය අවම කිරීම නිරර්තක උත්සයයක්. වනාන්තර ප්‍ර‍ශ්​ණය වනාන්තර ප්‍රෂ්ණය​ක් ලෙස නො​ව ඉඩම් ප්‍රශ්ණයක් ලෙස දකින තු​රු සිදුවන්නේ ප්‍රශ්නය මග හැරීම මිස ප්‍රශ්නයට විසදුම් ලැබීම නොවේ. 

අරුණ පුවත්පතේ 2021 මාර්තු 26 වැනිදා පළවූ ලිපියකි

සීනි බද්ද සහ මධ්‍යම රාත්‍රී ගැසෙට් එක

ශ්‍රී ලංකාවේ වත්මන් පරිපාලනය, සීනි කිලෝවක බදු රුපියල් රු 50 සිට ශත 25 ට අඩු කල බවට වාර්තා වුණා.  ඒ සමග​ම ආණ්ඩුව සමග ඉතා සමීපව ඇසුරු කරන බලවත් වෙළෙන්දෙකු හට අසාමාන්‍ය ලෙස විශාල සීනි ප්‍රමාණයක් ආනයනය කරන්න ඉඩ හද​ලා ඒවා රේගුවෙන් නිෂ්කාශිත (බදු ගෙවීමෙන් අනතුරුව භාණ්ඩ මුදවා ගත් මිල) මිලට වඩා ඉහළින් විකුණලා, විශාල ලෙස ලාභ අරන් දීලා කියලා බොහෝ දෙනා චෝදනා කරනවා.  මුදල් අමාත්‍යංශ නිලදාරියෙක් ප්‍රකාශ කළේ එක් රැයකින් සිදුවන බදු වෙනස්කම් නිසා වෙළදුන් කිහිපදෙනෙක් අසීමිත ලාභ ලබා ගැනීම සෑම රජයක් සමයේම සිදුවූ බවයි. එළෙසම භාණ්ඩ මිල අඩු කිරීමේ මූලික අපේක්ෂාවෙන් බදු අඩු කල විටකදී එය “බදු වංචා​වක්” ලෙස අර්ත දැක්වීම නිවැරදි නොවන බවද ඔහු තවදුරත් පැවසුවා. 

විපක්ෂය මේ පිළිබ​ද චෝදනා කරමින් ප්‍රකාශ ක​ලේ නිෂ්කාශිත මිලට වඩා වැඩියෙන් සමහර තොග සතොසට ගෙනත් දාල කියලා. ඉහත කී ක්‍රියාවලියේ ප්‍රතිපලයක් ලෙස භාණ්ඩාගාරය රුපියල් බිලියන 15.6 ක බදු ප්‍රමාණයක් අහිමි කරගෙන ඇති බවත් විපක්ෂය ප්‍රකාශ කරනවා. මේ පිළුබද සංවාදය අලුත් වුණේ සීනි වලින් පැනවූ බදු අහිමි වීම පිළිබද​ව පාරිලිමේන්තුවේ COPA කමිටුවේ සාකච්ක්චාවට ගැනුනු වාර්තාවත් සමගයි. 

මේ චෝදනා ඇත්ත ද?

භාණ්ඩාගාර ලේකම් එස් ආර් ආටිගල, කොළඹ මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ හදිසි බදු වෙනස්වීම් වත්මන් පරිපාලනයට පමණක් සීමා නොවෙන දෙයක් වන අත​ර සහ එය මීට පෙර සිදුවූ දෙයක් බවයි. මිල පහත හෙළීම සඳහා හිතාමතාම බදු අඩු කළ විට එය 'බදු අලාභයක්' සිදුවී ඇතැයි කියා හැදින්වීම වැරදි බවයි එතුමාගේ අදහස වු​ණේ. 

අපි 2016 වසරේ දී සිදුවූ දේ පිළිබදව තවත් විස්තරාත්මක ලෙස බලමු. 

“මීට පෙර ගැසට් පත්‍රයක් හරහා එක් ​රැයකින් විශාල බදු වෙනස්කම් සිදු කරලා තියෙනවා. 2016 වසරේ ජූලි මාසයේදීත් රු. 30ට පැවති සීනි බද්ද ශත 25 දක්වා එක් රැයකින් අඩු කරා. ඒට මාස දෙකකට පස්සෙ නැවත සීනි බද්ද රු.15 දක්වා වැඩි කලා. ඒත් මෙතනදි එළෙස නැවත බදු අඩු කිරීමක් සිදු කර නැහැ. තවමත් බද්ද ශත 25​යි" ආටිගල මහ​තා පැවසුවා. 

2016 වසරේදී අදාල එම මාස දෙකේදී ශ්‍රී ලංකාවට සීනි මෙට්‍රික් ටොන් 145,000 ක් ආනයනය කර ඇති බවත් සෑම මසකම ශ්‍රී ලංකාවේ සීනි ටොන් 55,000 ත් 60,000 ත් අතර ප්‍රමාණයක් පරිභෝජනය කර ඇති බවත් ආටිගල මහතා ප්‍රකාශ ක​ළා. ශ්‍රී ලංකාවේ දුබුරු සීනි නිපදවන්නෙ ශ්‍රී ලංකාවෙ රජයට අයිති ව්‍යාපාරයක් මගින්. ඔවුන් නිපදවන දුබුරු සීනි ලෝකවෙළදපොළේ දුබුරු සීනි වලට වඩා මිලෙන් ඉතා වැඩියි. එයට හේතුව ඔවුන් දුබුරු සීනි නිපදවීම ඉතාම අකාර්යක්ෂමයි. එම නිසා දු​ඹුරු සීනි ආනයනයට ඉතා ඉහළ බද්දක් පනවා තිබුණේ රජය මගින් නිපදවන නිපදවන සීනි නිශ්පාදන ආරක්ෂා කිරීමටයි. නමුත් දැන් එම බද්ද​ද කපා හැර තිබෙන​වා. 

සීනි අර්බුදයේදී ප්‍රශ්නයට විසදුම් සෙවීම වෙනුවට අපට දකින්නට ලැබෙන්නේ එකිනෙකා වෙත ඇගිලි දික්කර ගැනීමයි. 

අතීතයේ පවා මෙවැනි වංචාවන් පිළිබද වාර්තාවන බොහෝ අවස්තාවලදී සිදුවන්නේ කලින් පැවති රජයන් සමයේදී සිදුවූ වංචා සහ දැන් පවතින රජයේ වංචා පිලිබද සංසන්දනයක් විනා ප්‍රශ්ණයට පිලිතුරු සැපයීම නොවේ. එක වැරැද්දක් වෙනුවෙන් වැරදි දෙකක් කිරීමෙන් පළමු වැරැද්ද නිවැරදි නොවන බව බොහෝ අයට නොවැටහීම ගණගාටුවට කරුණකි. 

මද්‍යම රාත්‍රියේ ගැසට් පත්‍ර නිකුත් කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාද​ය

ශ්‍රී ලංකාවේ මධ්‍යම රාත්‍රියේ ගැසට් පත්‍ර නිකුත් කිරීම ගැන බැලුවොත්, කලින් පවත්ව​න පූර්ව විවාදයකින් තොරව බදු වෙනස් කිරී​ම ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සමච්චලයට ලක් කරන බව පෙනී යනවා. අපි ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය සමග සැසදුවොත්,රාජකීය පරමාධිපත්‍යය (විවාදයකින් තොරව පාලකයා විසින් බදු අය කිරීම) ආරම්භ කල බ්‍රිතාන්‍යයද අයිතිවාසිකම් පිලිබඳ පනත මගින් මෙය ඉවත් කර ඇති බව පෙනී යනවා.

මහා බ්‍රිතාන්‍යයේ බදු අය කල හැක්කේ සාමූහික තීරණ ගැනීමෙන් පමණක් බව මැග්නකාටා ​ප්‍රඥප්තිය ඉදිරිපත් කිරීමෙන් තහවුරු ක​ල අතර පළ​මුවැනි එඩ්වර්ඩ් රජතුමා විසින් එය තව දුරට​ත් ශක්තිමත් කරණු ලැබුවා.

එම ප්‍රඥප්තිය මගින් රජතුමා “ .for no need will we take such manner of aid, mises (taxes) or prises (assessments) from our realm henceforth except with the common assent of all the realm and the common profit of the same realm, saving the ancient aids and prises due and accustomed.” ලෙ​ස එගතාව පල කර තිබෙනවා. එනම් බදු අයකල හැක්කේ සාමූහික තීරණයකින් පමනක් බවත් දැනුම් දීමකින් තොරව හිතුම​නාපයට බදු අය කිරීම නොකරන බවටත් එකග වී තිබෙනවා. 

බ්‍රිතාන්‍ය එලෙස අවසන් කල කටුක බදු ක්‍රමය ශ්‍රී ලංකා​වේ පර්ලිමෙන්තුවෙන්ම සෑම මද්‍යමරාත්‍රියකදීම බදු පනවමින් සහ ඉවත් කරමින් නිකුත් කරන ගැසට් පත්‍ර අනුමත කිරීමෙන් නැවත බ්‍රිතාන්‍ය යටත් විජිත සමයට පෙර පැවති තත්වයට අපිව ගෙන යනු ලබනවා. 

මේ ගැස​ට් පිලිබද ප්‍රශ්ණ කිරීමේදී ආටිගල මහතා ප්‍රකාශ කලේ 2020 දී සීනි ආනයනය කරන්නෙ​ත් 2016දී සීනි ආනයනය කල වෙ​ළදුන්ම බවයි.

ඔහු ප්‍රකාශ කලේ “2020 ඔක්තෝබර් 13 වන දින සීනි බද්ද ශත 25 දක්වා අඩු කරන විට ගොඩබෑමේ සීනි පිරිවැය (පිරිවැය-රක්ෂණ-නැව් භාණ්ඩ) රුපියල් 72 ක්" ව ති​බූ බව​යි. පනවනු ලැබූ රු. 50​ක බද්ද සමඟ පිරිවැය පමණ​ක් රුපියල් 122 ක් පමණ වුණු බවත් ඒ වන විට සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 135 ත් 140 ත් අතර ප්‍රමාණයට සිල්ලරට වෙළදාම් වුණු බවත් ඔහු ප්‍රකාශ ක​ළා. 

“දෙසැම්බර් මාසය වන විට බදු වලට පෙර (CIF Value) කිලෝවක් රුපියල් 85 ක් දක්වා ඉහළ ගි​යා. නමුත් සීනි කිලෝවක මිල රුපියල් 135 සිට 114 දක්වා පහත වැටුනා. ආටිගල මහතා ප්‍රකාශ කළා. 

එය එලෙ​ස සිදු වුනේ කොහොමද? අපි බද්ද ශත 25 දක්වා අඩු කළාට දිනකින් දෙකකි​න් මි​ල පහළ වැටෙන්නේ නැහැ. අනෙක් ​භාන්ඩවලටත් එය එසේමයි. එයට හේතුව වෙළඳපොළේ ඔලිගොපොලිස්ටික් ස්වභාවයයි. (Oligopoly - වෙළදපොල කතිපෙයාදිකාරයක් හෙවත් වෙළදුන් ඉතා කිහිපදෙනෙක් වෙළදපොළ පාලනය කිරීම) 

බදු පහළ දැමූ විට මිල පහල වැටෙන්නෙ සෙමින් වුණ​ත් බදු ඉහළ නැංවුවහොත් වෙළඳුන් ද එක රැයකින් මිල ඉහළ දමනු ලබනවා. 

එක්  වාර්තාකරුවෙකු මෙම මාද්‍ය හමුවේ​දී පවසා සිටියේ එ​ක්  ආනයනකරුවෙකු පමණක් මෙම කාල සීමාව තුළ මුළු මුලු සීනි ප්‍රමාණයෙ​න් 39% ක් ආනයනය කර ඇති අත​ර ඉතිරි පස්දෙනා​ම 45% ක් ආනයනය කර ඇති  නිසා වර්තමාන මතභේදය හටගත් බවයි.

විශ්ලේෂකයින් පවසන්නේ ඔලිගොපොලීස් (Oligopoly - වෙළදපොල කතිපෙයාදිකාරයක් හෙවත් වෙළදුන් ඉතා කිහිපදෙනෙක් වෙළදපොළ පාලනය කිරීම) ගොඩනැගීම, නිරන්තරයෙන් සහ හදිස්සියේ සිදුවන බදු ප්‍රතිපත්තිව​ල ප්‍රතිපලයක් විය හැකි බවයි. නිතර බදු ඉහළ පහළ දැමීමෙන් කුඩා ආනයනකරුවන් වෙළදපොලෙන් ඉවත්ව යන්නෙ ඔවුන්ට එම බදු ඉහලපහල යෑම දරා ගැනීමට නොහැකි නිසයි. බදු කම්පනයෙන් කුඩා නිදහස් ව්‍යවසායන් විනාශ කර ඇති අතර ඉතිරි වන්නේ විශාල ක්‍රීඩකයන් කිහිප දෙනෙකු පමණයි. “සීනි මත පනවාතිබූ බද්ද රු.30 සිට ශත 25 දක්වා අඩු කර නැවත එම බද්ද රු. 15 දක්වා වැඩිකලවිට වෙළදපොලේ සිටියේ ආනයන කරුවන් 5 දෙනෙක් පමණයි. නමුත් ඊට කලින් ආනයනකරුවන් 60 දෙනෙක් පමණ වෙළදපොළේ සිටියා. 

ආටිගල මහතා පවසා සිටියේ බදු අඩු කිරීමෙන් පසුව නැවත බදු වැඩි කිරීමක් සිදු කලා නම් වංචාවක් සිදුවූ බවට චෝදනා එල්ල කල හැකි බවයි. නමුත් එලස බදු වැඩිවීමක් සිදු නොකළ නිසා එලෙස චෝදනා කිරීම සාදාරණ නොවන බව එතුමා පැවසුවා. 

බදු වෙනස් කිරීම් පිළිබඳ කලින් තොරතුරු ලැබෙන හෝ බදු වෙනස් කිරීමට දේශපාලඥයන්ට බලපෑම් කළ හැකි වෙළදුන්ට විශාල බදු ලාභ උපයා ගැනීමට හෝ පාඩු වළක්වා ගැනීමට පුළුවන්. Bonded warehouse ඇති පුද්ගලයින් ද (හෙවත් භාණ්ඩ ආනයනය කර නිදහස් නොකර ගබඩා කල තබගත හැකි ගබඩා වලට බදු ගෙවීම සිදුකල යුතුවන්නේ භාණ්ඩ ගබඩාවෙන් ඉවතට ගන්නා දිනයට වලංගු බදු ප්‍රමානයයි.) කෙසේ හෝ ව්‍යාපර කරගෙන යන්වා. නමු​ත් මෙය දැඩි ලෙස බලපාන්නේ කුඩා ආනයනකරුවන්ට සහ මද්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරිකයන්ට​යි.

අනවශ්‍ය ලෙ​ස වෙළදපොළ මැදිහත්වීම

ඒ අනුව මෙලෙස සිදුවන අනවශ්‍ය වෙළදපොළ මැදිහත්වීම නිසා බදු අඩුකිරීමට ආසන්න දිනකදී ගබඩා වලින් සීනි තොග නිදහස් කරගත් ව්‍යාපාරිකයන් විශාල පාඩු ලබන අතර බදු අඩු කිරීමෙන් පසුව තොග නිදහස් කරගත් ව්‍යාපාරිකයන් විශාල ලාභ ලබනවා. 

වාර්තාකරුකු ආටිගල මහතාගෙන් ප්‍රශ්ණ කර සිටියේ එකවර විශාල ප්‍රාමණයකින් ආනයන බදු වෙනස් කිරීමකින් තොරව සාමාන්‍යයෙන් 5%, 10%, 15% ලෙස ක්‍රමාණුකූලව අඩු වැඩි කිරීමෙන් වෙළදපොළ අක්‍රමකිතා වලට ඇති ඉඩ ඇහිරෙනවා නේද යන්​නයි. 

එහිදී එ​තුමා ප්‍රකාශ කලේ වෙළදපොල හොදින් ක්‍රි​යාත්මක වන මනංකල්පිත ලෝකයක එසේ කල හැකි වුවත් එකාදිකාර තිබෙන වෙලදපොලවල් වල බටහිර රටවල් වල ක්‍රමයට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කල නොහැකි බවයි. “අපි මේ කතා කරන්නෙ කෘ​ෂිකාර්මික භාණ්ඩ ගැන. අපේ දේශීය ගොවියා සහ දේශීය පාරිභෝගිකයා කියන දෙන්නම අපි රකින්න ඕන. පිටරටවල් වල වගේ තිරිගුපිටි මුහුදෙ ගිල්ල මිල තියාගන්න අපිට බැහැ" එතුමා ප්‍රකාශ කළා. 

කෙසේවෙතත් 2016 වර්ශයේ සීනිවල මිල වැඩිකර තිබෙන්නෙ ක්‍රම ක්‍රමයෙන්. ශත 25ට තිබූ බද්ද මුලින්ම රු. 2ක දක්වාත්, නැවත නොවැම්බර් මාසයේදී එය රු. 11දක්වාත් නැවත දෙසැම්බර් මාසයේදී රු.13 දක්වාත් මිල ඉහළ දමා තිබෙනවා. 



“එය ආදායම් අලාභයක් නොවේ. මෙය බදු ප්‍රතිපත්තියේ කොටසක්. ආදායම් පාඩුවක් වැනි දෙයක් නැහැ" ආටිගල මහතා ප්‍රකාශ කළා. ඒ අනුව බී ලූණු වලට පනවා තිබූ බද්දත් රු. 40 සිට ශත 25 දක්වා අඩු කර ඇතිබවත්, පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය කමිටුව පාඩුව ගණනය කර ඇත්තේ රු.50 සිට ශත 25 දක්වා වෙනස වන රු.49.75ක මුදල එදා පටන් ආනයනයන කර ඇති සියලුම සීනි ප්‍රමාණයෙන් ගුණ කිරීමෙන් බවයි. එම ගණනය කිරිමට අනුව අද වෙනකන් ආනයනය කරපු සීනි වලට ගාන්ං හැදුවොත් තව​ත් පාඩු එකතු විය යුතුයි. නමුත් එසේ විය නොහැකියි.” ආටිගල මහතා පැවසුවා. 

බදු අඩු කිරීම රජයේ බදු ප්‍රතිපත්තියේ කොටසක් වන අතර අවසානයේදී මිල පහත වැටී ඇති නි​සා බදු ‘අලාභයක්’ ලෙස ගුණාංගීකරනය කිරීම නිවැරදි නොවන බව ආටිගල පැවසුවා.

Link to the English article: https://economynext.com/sri-lanka-sugar-scam-saga-questionable-tax-changes-not-new-no-revenue-loss-finance-ministry-79743/



ඇයි ලංකාව සංවර්ධනය වෙන්නෙ නැත්තෙ

හැමෝම අහනව ඇයි ලංකාව සංවර්ධනය වෙන්නෙ නැත්තෙ කියල. අපි හැමෝම කාලෙන් කාලෙට එක එක හේතු දෙනවා. ණය වැඩියි කියනවා, නියගය ආව කියනවා, ගෝලීය ආර්ථික අර්බුද ආව කියනවා, සොභාවික විපත් වැඩි වුණා වගේම විදේශ කුමන්ත්‍රණ නිසා අපිට දියුණු වෙන්න්න බැහැ වගේ කතන්දර ගොඩක් අපි නිතරම කියනවා. ඒ ඔක්කොම හේතුවල බලැපෑම​ක් අපිට නැතුවම නෙවෙයි. ඒත් මූලික ප්‍රශ්නය තම​යි සංවර්ධනය වෙන්​න අපි යන්න ඕන මොන මාර්ගයෙද  කියන එකට අපිට තියන අවබෝධය ඉතාම අඩුයි. ප්‍රශ්ණය තියෙන්නෙ සංවර්ධනය කියන්නෙ මොනවගේ දෙයක්ද කියල අපිට හිතා ගන්න පුළුව​න් වුණාට සංවර්ධනයට යන පාර අපිට මවාගන්න අමාරුයි. සංවර්ධනය කිව්වම, ​ලොකු ගොඩනැගිලි, මිනිස්සුන්ගෙ අතේ සල්ලි තියනව, ජීවත් වීම ඉතා සු​ව පහසුයි වගේ දේවල් ඔලුවට ආවට එතනට යන්න මොකක්ද කරන්න ඕන කියන එක ටිකක් පැටලිලි සහිතයි. බොහෝ දෙනෙක් සංවර්ධනය දකින්නෙ මේක එක රැයකි​න් වෙන දෙයක් කියල. ඒක නිසා පත්වෙන  ජනාධිපතිවරු වගේම ඇමතිවරු රට එකපාර​ම සංවර්ධනය කරයි ​හෝ අපි චන්දෙදීපු ගමන් අපේ රට එකපාර​ම සංවර්ධනය වෙයි වගේ කියල අපිම හිතා ගන්නවා. 

රට පාලනය කරන බොහෝ දෙනා වගේම ලංකාවෙ පුරවැසියන් ගොඩක් දෙනෙක් හිතන්නෙ අපි එක පාරටම ලංකාවෙ තියෙන පොස්ෆේට් නිදිය වගේ එකකින් පොහොර කර්මාන්ත ශාලාවක් දාපු ගමන් ලංකාව නිකම්ම සංවර්ධනය වෙනවා කියල. මාධ්‍ය වල “ශ්‍රී ලංකාවෙන් රත්‍රන් ආකරයක් හමුවුණා, අපේ නැගෙනහිර වෙරළ තීරයෙන් බොරතෙල් හමු වෙයි” වගේ ප්‍රවෘති දැකපු ගමන් අපිට සංවර්ධනය වෙන්න පුලුවන් වගේ අදහස් අපිට එන්නෙ සංවර්ධනයට අවශය මූලික සංකල්ප ගැන අපේ අවබෝදය ඉතාම අඩු නිසයි. මෑතදී අපි හොයාගත්තු දේශී​ය කෝවිඩ් ඖෂද අපනයනය කරල අපිට මේ ණය ප්‍රශ්ණයෙන් ගොඩ එන්න පුලුවන් වගේ දේවල් අපිට හිතුනෙ මෙන්න මේ නිසා. ඇත්තටම කෝවිඩ් මර්දනය සදහා දේශීය  ඖෂදයක් හොයාගෙ​න අපි ඒක අපනයනය කරත් අපිට සංවර්ධනය වෙන්න ඕන මූලික අත්තිවාර​ම නැති බව අපිට වැටෙහෙන්නෙ නැහැ. 

රටකට කොච්චර සොභාවික සම්පත් තිබුණත් ඒ රටට සංවර්ධනය වෙන්න ඕන මූලික සංකල්ප සහ අත්තිවාරම තිබීම අනිවාර්යයයි.  සංවර්ධනය ගැන අවබෝද​ය නැති වුණාම අපිට සොභාවික​වම හිතෙන දේ තමයි කවුරුහරි කරන කුමත්‍රණයක් නිසා තමයි අපිට දියුණු වෙන්න බැරි කියන එක. එහි තේරුම ලෝකයේ අනිත් සියලුම රටවල් හරිම හිත හොදින් හැමෝටම උදව් කරනවා කියන එක​ත් නොවෙයි. නමුත් අනිත් අයගේ බලපෑම් වලට වඩා ප්‍රශ්ණය තිබෙන්නේ අපිට අපේ අඩුපාඩු තේරුම්ගැනීමට නොහැකිවී​ම සහ සංවර්ධනයට යන පාර අපිටම හොයා ගන්න අපහසු වීමයි. මේ සදහා හොදම උදාහරණයක් තමයි වෙනිසුවෙලාව. ඔවුන් මුලු ලෝකයට​ම බොරතෙල් සැපයීමේ ධාරිතාවයෙ​න් පස් වෙනියට සිටින රටයි. නමුත් ඔවුන්ගේ  ආර්ථික තත්වය ඉතාම පසුගාමීයි. ලෝකයේ මේ විදියට සම්පත් තිබෙන බොහෝ රටවල් ඉතාම දිලිදු භාවයෙන් කාලය ගත කරන්නේ සංවර්ධනයට යන පාර කුමක්ද කියා හරි හැටි නොදන්නා නිසයි

මොකක්ද මේ සංවර්ධනයට යන පාර

සංවර්ධනය කියල කියන්නෙ එක පාරටම සිදුවෙන දෙයක් නෙවෙයි. ඒක හරියට හරියට Gym එකට ගිහින් ව්‍යායාම කරනව වගේ. ශරීරයේ සැලකිය යුතු වෙනසක් වෙන්න එක දිගට දිනකට මිනිත්තු 90 බැගුන් වගේ ව්‍යායාම කරන්න ඕන. සතියක ව්‍යායාම එක දවසක කරා කියල හරි Gym එකේ තියෙන හැම ව්‍යායාම උපකරණයකම ව්‍යායාම කලා කියල අපේ fitness නැත්තම් ශාරීරික යෝග්‍යතාවය හැදෙන්නෙ නෑ. රටකට ඕනතරම් සොභාවික සම්පත් තියෙනව වගේ gym එකේ ඉතා හොද උපකරන තිබුන කියල අපේ ශරීර යෝග්‍යතාවය වර්දනය වෙන්නෙ නෑ.  ශරීර යෝග්‍යතාවය කියන්නෙ ක්‍රියාපටිපාටියක් මිසක් එකපාර වෙන විප්ලවයක් නෙවෙයි. ඉංග්‍රීසියෙන් කියන්නෙ “Development is an evolution not a revolution” කියල අන්න ඒ නිසයි. ​ඒ කියන්නෙ සංවර්ධනය කියන්නෙ විප්ලවයකින් වෙන දෙයක් නෙවෙයි, ක්‍රමාණුකූලව සිදුවෙන පරිණාමික ක්‍රියාවක් කියන එකයි. සංවර්ධනය කියන පරිනාමය සිදුවෙන්​න ඕන මූලික කාරණාවක් තියනවා. ඒ තමයි රටක් ඇතුලෙ නිශ්චිත ආයතන පද්ධතියක් තියෙන්නෙ ඕන. 

ඉංග්‍රීසියෙන් ඕකට Institutions ​කියල කියනවා. බොහෝ දෙනෙක් ආයතන පද්ධතියක් කිව්වම හිතාගෙන ඉන්නෙ ආයතන කියන්නෙ රජයේ ආයතන වගේ ගොඩනැගිලි සහ ඒවයේ ඉල්ල නිලදාරී​න් කියල. තව සමහරු හිතන් ඉන්නෙ ආයතන කියන්නෙ ක්‍රියාපටිපාටි කියල. ඒත් ඇත්තටම ආයතන කියන්නෙ ඔය එකක්වත් නෙවෙයි. ​ආයතන නැත්තං Institutions කියල කියන්නෙ සමාජය මෙහෙයවන ක්‍රමය කියන එකයි. 

උදාහරණයකට ගත්තොත් අපේ “මැතවරණය” සමාජය මෙහෙයවෙන ක්‍රමයක්. අපේ වැඩකරගන්න නායකත්වය ලබාගන්න පිරිස පත් කරණ සමාජ ක්‍රමයක්. ඒක හැමෝම පිලිගන්න ක්‍රමයක් සහ හැමෝම ගරුකරන සහ සහභාගී වෙන ක්‍රමයක්. මෙතන මැතිවරණ කොමිසම හරි, මැතිවරණ කොමිසන් සභාව හරි, මැතිවරණ කොමසාරිස් හෝ, මැතිවරණ කොමිසට අදාල ගොඩනැගිලි හෝ වියදම් නෙවෙයි Institutions  කියන්​නෙ. අදාල ක්‍රමවේදය. හැබැයි මේ ක්‍රමවේදය නිකං කාර්යලයකින් වැඩක් කරගන්න ගියාම පලමු පියවර විදියට ඉල්ලුම්පත්‍රයක් ගන්න, දෙවැනි පියවර විදියට ඒක පුවන්න වගේ ක්‍රියාපටිපාටි නොවෙයි. ඒට වඩා පුලුල් සමාජ​යේ තිබෙන අවශ්‍යතාවයන්ට පිළිතු​රු සපයන සමාජ ක්‍රම. අන්න ඒ සමාජ ක්‍රමය ශක්තිමත් කිරීමෙන් විතර​යි රටක් සංවර්ධනය වෙන්නෙ. ඒ සමාජ ක්‍රමය ශක්තිමත් වෙන්නෙ නැතුව අපිට කොච්ච​ර සොභාවික සම්පත් තිබුනත් වෙන්නෙ ඒව හිස් කලයක​ට වතුර පුරවනව වගේ සම්පූර්ණයෙන් අපතේ යාමයි.  

ශ්‍රී ලංකාවට කොතරම් සොභාවික සම්පත් තිබුණත් අපි දියුණු වෙන්නෙ නැත්තෙ මෙන්න මේ ආයතන පද්දති නැත්තං රටේ තිබිය යුතු සමාජ ක්‍රම තිබුණෙ නැති නිසා. ඒ නිසා පත්වෙන ඕනම රජයක් මේ සමාජ ක්‍රම ශක්තිමත් නොකර සංවර්ධනය කිරීමට යාමෙන් වෙන්නෙ එම රජයම අපහසුතාවයට පත්වෙන එක. අන්න ඒ මැත්වරණ ක්‍රමය වගේ රාජ්‍ය ආයතන මෙහෙයවෙන සමාජ පද්දති, පුද්ගලික අංශය මෙහෙයවෙන සමාජ  පද්ධති,  මාධ්‍ය මෙහෙයවෙන සමාජ පද්ධති සහ රටේ මූල්‍ය පද්ධතිය මෙහෙයවෙන  පද්ධති ස්තාපිත කල යුතුයි. එසේ නොකොලොත් ලංකාව සංවර්ධනය වෙන සිහිනය කවදාවත් සැබෑ වෙන සිහිනය වෙන්නෙ නෑ.

පැවති රජයන් ගනණාවක්ම මේ සමාජ ආයතන  පද්ධතිය නැත්ත​ං සමාජක්‍රම හදාගන්න බැරිවුණු වරදේ අවසනාවන්ත ගොදුරු බවට පත්වුණා. ඒ වගේම රජයන් වලට මේ ආයතන පද්ධති නිර්මාණ​ය කිරීමේ අවශ්‍යතාවයක් තිබෙන බවකුත් පෙනෙන්නට නැහැ. අපි නිදසු​නකට පසුගිය රජය ගත්තත් ශ්‍රී ලංකාවෙ මූල්‍ය  පද්ධති​ය මෙහෙයවන මහ බැංකුවේ මෙහෙයුම් වල ස්වාධීන බව රැක ගැනීම​ට අපොහොසත්වීම, රටේ ආරක්ෂා​ව සම්බන්ද මූලික ආයතන කාර්යක්ශමව වැඩ කල හැකි ක්‍රමය සැකසීමට නොහැකි වීම වගේ කරුණු වල ගොදුරු බවට පත්වුණා. මේ ආයතන ගොඩ නොනැගීමේ වරදේ බලපෑ​ම් රජයන් වෙත එන්නෙ නොහිතන වෙලාවල් ව​ල. ඒක හරියට හෙල්මටයක් පලදින්නෙ නැතුව මෝටර් සයිකලයක් පදවවන වගේ. කොච්චර හොදට යතුරු පැදිය පදින්න ලෑස්තිවෙලා ගියත් අනතුරක් වුණු ගමන් ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙනවා. බොහෝ දෙනෙක් සිතන්නේ අවංක නිලදාරීන් පත් කිරීමෙන් ප්‍රශ්ණය විසදන්න පුලුවන් බව වුනත් බොහෝ දෙනෙක්ට නොතේරෙනෙ දෙයනම් අවංක මිනිසුන් වංක වනේ නිශ්චිත ආයතන පද්ධති නොමැති වීමෙන් යන්න​යි.

පවතින රජයටත් දැන් එල්ල වෙමින් පවතින්නේ සහ මුහුණ දෙමින් පවතින්​නේ එ​ම ප්‍රශ්නයමයි. ජනාධිපතිතුමා බලයට පත්වුනූ විට එතුමාගේ මූලික තේමාව වුනූ System Change කියන සංකල්පය නැත්තං පවතින ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස්කරනවා කියන තේමාව ඉදිරියට යාමට එතුමාට ඇති බාධාව මේ සමාජ ක්‍රම හෙවත් වැඩක් වෙන ආයතන පද්ධති සමාජයේ සකස් වී නොතිබීමයි. එවැනි සමාජ ක්‍රමවේද ශක්තිමත් කිරීම වෙනුවට විවිද තැන් වලින් සමාජ ප්‍රශ්න විසදන්නට උත්සහ කිරීමෙන් සිදුවෙන්නේ එවැ​නි වෙනස්කම් වල​ට එල්ල වන බලපෑමට සටන් කිරීමට යෑමෙන් සංවර්ධනය කල හැකි සහ කල යුතු බොහෝ දේ ඉතා ඉක්මනින් අතපසුවෙමින් කාලය ගත වීම​යි. සමාජ ක්‍රමවේද නිසි පරිදි සකස් නොවීම නිසා එදිනෙ​දා ගැටලු එක්ක පොරබදිනවා විනා දීර්ග කාලීන සංවර්ධන උපායමාර්ග ගැන සිතීම පවා ඉතා අපහසුයි. පවතින රජයත් මේ සටන් කරමින් සිටින්නේ නිසි ආයතන සහ සමාජ ක්‍රම්වේද ශක්තිමත් කිරීමට වෙහෙස නොදැරී​මේ සහ කලින් පැවති රජයනුත් එවැනි ශක්තිමත් අත්තිවාරමක් නොදැමීමේ ප්‍රතිපල වෙතටයි. 

ජිම් කොලින්ස් නැමති කතුවරයා ලියා ඇති Good to Great: Why Some Companies Make the Leap... and Others Don't” කෘතියේ පෙන්වාදී ඇති පරිදි ආයතනයක් දිගු කලක් පැවතීමට සැකස්ම නිර්මාණය හරියට මුලින්ම ඔරලෝසුවක් හදනවා වගේ වැඩක්. ඔරලොසුව හැදුවට පසුව ඕනම කෙකෙක්ට එහි වෙලාව බලන්න පුලුවන්. නමුත් නොනැවතී වෙලාව ගමන් කරන ඔරලෝසුව හැදී​ම තමයි ඉතාම අපහසු. ඔරලෝසුව නිපදවූ පසුව නිපදවූ නිර්මාණකරුවා නොමැතිව වුවත්  වෙලාව කිය​වා ගැනීම අපහසු නැහැ. සමාජ ක්‍රමය හෙවත් ආයතන ව්‍යුහය හැදීම හරියට ඔරලෝසුවක් හදනවා වගේ. අන්න ඒ ඔරලෝසුව හදා ගැනීම තමයි සංවර්ධනයට යන මාර්ගය. එවිට ඊට පසුව එන ඕනෑම කෙනෙක්ට වෙලාව කියවා ගැනීම අපහසු වෙන්නෙ නෑ. 

මේ දිනවල විශාල කතාබහට ලක්වෙන මහ බැංකු වංචාකරුවන් අතඩංගුවට ගැනීම, වනාන්තර එළිකිරීම, සහ කොළඹ වරායේ බටහිර ​පර්යන්තය කියන කරුනු සියල්ලම පිළිබද​ව අපේ ලිපි තීරුවෙ​න් කලින් සාකච්චා කලේ මේ සංකල්පයට අදාලවයි. ස්වාධීනව නීති ක්‍රියාත්මක කරන යාත්‍රණයක් ඇති කිරී​ම, ඉඩම් වල සී​මා ලකුණු කිරීමට අවශ්‍ය ඩිජිටල් සිතියම් ක්‍රමය, සහ ආයෝජකයන්ගේ අවශ්‍යතා නිරූපනය වන ආකාරය​ට සිදුකෙරෙන විවෘත ටෙන්ඩර් පටිපාටි ක්‍රම ඇති වීම හරිය​ට ඔරලෝසු තැනීම වගේ. 

නිසි සමාජ ක්‍රමවේද සකස් කිරීම හෙවත් සමාජ ආයතන හැදීම කියන්න් ලේසි වැඩක් නෙවෙයි. සංවර්ධනයකට යන්න​නම් ඒ ක්‍රමවේද අපි සක​ස් කරගත යුතුමයි. එහෙම නැතුව අපිට සොභාවික සම්පත් තිබුණු පමණින් හෝ අලුත් සොයා ගැනීමක් සොයා ගත් පමණිනින් ලංකාව සංවර්ධනය වෙන්නේ නැති බව කණගාටුවෙන් වුණත් කියන්න ඕන. එතකොට සිදුවෙන්නෙ අපේ තියන සොභාවික සම්පත් ටිකත් නැතිවෙන එක සහ රට සංවර්ධනය කිරීමට මෙහෙයවන්න පුලුවන් මිනිස්සු ටික එවැනි සමාජ ක්‍රමයක් තියන රටවල් වලට හෙමින් සංක්‍රමණය වෙ​න එක. අවුරුදු 30ක යුද්දයක් ඉවර කරල තව අවුරුදු 10කට වඩා කාලය ගත වුණ​ත්, පෙර අපර දෙදිග නාවික මාර්ගයේ වටිනම කෙන්ද්රස්තානයක ශ්‍රී ලංකාව පිහි​ටා තිබුණ​ත්, කාලය​ක් ලෝකයේ 8 වැනි පුදුමය ලෙස සැලකුනු සීගිරිය අපේ රටේ පිහි​ටා තිබුණත්, ලෝකය දිනපු ආතර් සී ක්ලාර්ක් වගේ මහත්වරු මේ ර​ටේ පදිංචියට ආවත්, සිංහරාජය වගේ ලෝ​ක උරුම ඇතුලු බොහෝ වටිනා සොභාවික සම්පත් තිබුනත් අපි තාම දියුණු වෙලා නැත්තෙ ඒකයි. අපේ දියුණුව බටහිර ක්‍රමයට බැලුවත්, ​පෙරදිග ක්‍රමයට බැලුවත් අපි තාම පිටිපස්සෙන් ඉන්නෙ ඒකයි. හැමදාම බලය​ට එන රජයන් ඔරලෝසුව හැදීම වෙනුවට එක එක්කෙනාගෙන් වෙලාව අහමින් කාලය ගත කරනවා. එතකොට අපිට නොදනිම වෙලාව ගත වෙනවා. ලෝකය ඉස්සරහට යනවා. ඒත් අපි ඉන්නෙ එකම තැන.

ධනනාත් ප්‍රනාන්දු

අරුණ පුවත්පතේ 2021 මාර්තු 19 වැනිදා පළවූ ලිපියකි

නැහෙනහිර පර්‍යන්තයෙන් බටහිර පර්‍යන්තයට

වරාය අයෝජනයත් හරියට ප්‍රවේසමෙන් වාහනයක් පදවනවා වගේ වැඩක්. වරායක මෙහෙයුම වෙන්නෙ කොහොමද සහ නාවික කටයුතු පිළිබද මූලික කරුණු සැලකිල්ලට නොගෙන වරායවල් සහ වරය පර්‍යන්ත වල ආයෝජනය කරන්න යෑම හරියට මාර්ඝ නීති සහ වාහනයක් පදවන විදිය නොදැන පාරේ වාහහනයක් පදවන්න උත්සහ කරනවා හා සමානයි.  

නැගෙනහිර පර්‍යන්තය පිළිබදව විශාල කථාබහකට පසුව දැන් බටහිර පර්‍යන්තය ගැන ආයෙත් කතාබහක් ඇති වෙලා. වරාය සංවර්ධනය ගැන සමාජයේ විශාල කථා බහක් තිබුණත් බොහෝ දෙනා දක්වන අදහස් වලින් පෙනී යන්නේ වරායක ආයෝජනය පිලිබදව බොහෝ දෙනා විශාල මිථ්‍යා මත ගණනාවක ඉන්න බව තමයි.

පසුගිය දිනක රජය ප්‍රකාශ කරනු ලැබුවේ නැගෙනහිර පර්‍යන්තයේ ආයෝජනය සදහා බැංකු වලින් ණය ලබා ගැනීමට උත්සහ කරන බවත් එසේ ණය ලබා ගැනීම අපහසු වුවහොත් දේශප්‍රේමී ජනතාවට කොළඹ කොටස් වෙළෙඳපොළ හරහා වරායට මුදල් ආයෝජනය කල හැකි බවයි. ඒ වගේම ඉන්දියාවේ අදානි සමාගම සදහා බටහිර පර්‍යන්තය ආයෝජනයට 85%ක අයිතියක් සහ වරාය අදිකාරියට 15%ක කොටස් අයිතියක් ඇතිව වසර 35ක කාලයකට ආයෝජනයට අවස්ථාව ලබා දීමට අදාල කැබිනට් පත්‍රිකාව අනුමත වුණු බවත් සදහන් වුණා.

බටහිර පර්‍යයන්තය ආයෝජනයට ඉන්දියානු අදානි සමාගම සමග යෝජනා කරඇති ගිවිසුම දැනට චීන සමාගමක් මෙහෙයවන කොළඹ CICT පර්‍යන්තයේ ගිවිසුම් කොන්දේසි වලට සමාන   කිරීමෙන් ඉන්දියාව සහ චීනය සමග ලංකාව පවත්වන විදේශ සබදතා සහ භූ දේශපාලන (geo poltics) තත්වය සමබර කිරීමට හැකියාවක් ලැබෙන බව මේ පිලිබද අදහස් දක්වන සමහර විද්වතුන් මත පල කර තිබුණා. 

අද ලිපියෙන් අපි අධ්‍යනය කිරීමට බලාපොරොත්තු වෙනේ වරාය මෙහෙයවීම සහ ආයෝජනය පසුපස ඇති ආර්ථික විද්‍යාව සහ ශ්‍රී ලංකාවට වරාය ආයෝජනයෙන් ලබා ගත හැකි උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට කුමක් කල යුතුද යන්න පිළිබදවයි. 

බොහෝ ශ්‍රී ලාංකිකයන් සිතා සිටින්නේ වරායක සංවර්ධනයට වාසිදායක  පිහිටීම (Strategic location) හෙවත් ක්‍රමෝපායික වශයෙන් වැදගත්, ඉන්දියානු සාගරෙයේ කෙන්න්ද්‍රස්ථානයක පිහිටීම පමණක් ප්‍රමාණවත් බවත් එම නිසා පෞද්ගලික අංශය සම්පූර්ණයෙන් ඉවත් කර රජය පමණක් කොළඹ වරාය වැනි කේන්ද්‍රස්ථාන වල පිහිටා ඇති වරායන් වල ආයෝජනය කල යුතු බවයි. 

ඕනෑම වරායක පිහිටීම වරායක දියුණුවට ඉතාම වැදගත් සාධකයක් වුවත් ලෝකයේ තාක්ෂණය දියිණු වීමත් සමග පිහිටීම පමණක් වැදහත් වීමෙන් වරායන් දියුණු කිරීමට නොහැකි බවට ඕනෑතරම් උදාහරණ තිබෙනවා. ජිබූටි ජනරජයේ (Djibouti) ජිබූටි වරාය (Port of Djibouti) කොළඹ වරාය මෙන්ම ඉතාම ක්‍රමෝපායික වශයෙන් වැදගත් කේන්ද්‍රස්ථානක පිහිටා තිබුණත් සංවර්ධනය  අතින් සිටින්නේ ඉතාම පසුගාමී තත්වයකයි. එම වරාය චීනය විසින් දියත්කර තිබෙන එකමාවතක් එක තීරයක් (Belt and Road) ව්‍යාපෘතියට අයත් තීරණාත්මක සංදියක පිහිටා තිබීමත්  සුවිශේෂී‍යි. ඒ වගේම ඕමානයේ (Oman) සලාලා වරාය (Port of Salalah) සහ මැලේසියාවේ (Malaysia)  පී.ටී.පී වරය (PTP port) ක්‍රමෝපායික වශයෙන් වැදගත් ස්ථාන වල පිහිටා නොතිබුණත් ඉතාමත්ම දියුණුවක් ලබා තිබෙන වරායන්. දැන් ඔබට එන ප්‍රධානම ප්‍රශ්ණය තමයි පිහිටීම පමනක් ප්‍රමාණවත් නැතිනම් පිහිටීමට අමතරව බලපාන ප්‍රධාන  සාධක මොණවාද යන්නයි. 

නැවක් කුමණ වරායක කුමන පර්‍යන්තයකට සේන්දු විය යුතුද යන්න තීරණය කරනු ලබන්නේ අදාල නැව සමාගම (Shipping line) විසින්. එහිදී පිහිටීම වැදහත්  සාධකයක් වුවත් එය එකම  සාධකය නොවෙයි. නැව් සමාගම් වලට වැදගත් වන තවත් මූලික කාරණයක් නම් ඔවුන් පැමිණෙන වරායේ කාර්‍යක්ශමතාවය සහ ජාලකරණ (Network) හැකියාවයි. ඒ කියන්නෙ ලෝකයේ වෙනත් නැව් සමාගම්, පර්‍යන්ත, රක්ෂණ ආයතන අතුලු නාවික ක්‍රෙශ්ත්‍රයේ කටයුතු කරන අනෙකුත් සියලුම සැපයුම් ආයතන සමග ඇති සම්භන්දතායි. නාවික කේන්ද්‍රස්ථානයක් වීම යනු නාවික ක්ශේත්‍රයට අදාල මේ සියලුම සේවාවන් එකම ස්ථානයකින් ලබාදීම සහ අනෙක් නාවික මධ්‍යස්ථාන සමග  සම්බන්ධ වීමට  පහසුකම්  සහිත ව්‍යාපාරික  මොඩලයක් සකසා ගැනීමයි

කොළඹ වරායේ සුවිසේශී පිහිටීම නිසා නැව් සමාගමක් කොළඹ වරායට සේන්දු වුවත් කාර්‍යක්ෂමතාවය අඩු වී ඔවුන්ට වැඩි වෙලාවක් කොළඹ වරායේ නැංගුරම් යොදා නැව නවත්වා සිටීමට හෝ සේවකයන්ගේ වැඩ වර්ජන වලට මුහුණදීමට සිදුවන්නේ නම් ඔවුන්ට නැව මෙහෙයවීමට යන වියදම (Operational Cost) ඉතාම ඉහල යනවා. කන්ටේනර් පෙටිටි (Conatiners) එහා මෙහා ප්‍රවාහනයට සහ මෙහෙයවීමට යන කාලය වැඩිනම් සහ වැඩි වෙලාවක් රැදී සිටීමට සිදු වේනම් ඔවුන්ට ලාභ ඉපැයීමට තිබෙන අවස්ථා අඩුයි. ඒ වගේම අදාල පර්‍යන්තයේ නැව සංක්‍රමණයට අදාල තවත් සේවාවන් ගණනාවක් තිබෙනවා. එම සේවාවන් වල ප්‍රමාදයණුත් නැව් සමාගමේ ලාභයට බලපානු ලබනවා. 

වරායක පර්‍යන්තයක කාර්‍යක්ශමතාවය මනිනු ලබන්නේ පැයකට මෙහෙයවන කන්ටේනර් පෙට්ටි සංක්‍යාව අනුවයි. ඒ අනුව දැනට කොළබ වරායේ කාර්‍යක්ෂමතාවය වැඩිම පර්‍යන්තය වී තිබෙන්නේ චීන සමාගමට අයිති CICT පර්‍යන්තය සහ ජෝන් කීල්ස් සමාගමට අයිති SAGT පර්‍යන්තයයි. වරාය අදිකාරියෙන් මෙහයවන පර්‍යන්ත වල සේවය කරන සේවක සංක්‍යාව සහ පෞද්ගලික අංශයේ පර්‍යන්ත වල සේවය කරන සේවක සංක්‍යාව සංසන්දයන කිරීමෙන් රජයේ මෙහෙයවන පර්‍යන්තවල සහ පෞද්ගලික අංශය මෙහෙයවන පර්‍යන්ත වල කාර්‍යක්ශමතාවය ගැන අවබෝදයක් ගැනීමට පුලුවන්. මීලගට එන ගැටලුව පුද්ගලික අයෝජකයන්ට වරායක් කාර්‍යක්ශම කිරීමට හැකිනම් රජයට එසේ කල නොහැකේ ඇයිද යන්නයි. බොහෝ දෙනෙක් සිතන්නේ අවංක නිලධාරීන් පත් කිරීමෙන් තත්වය වෙනස් කල හැකි බවයි. ඒත් ආයෝජනයක් සම්බන්ද යථාර්තය තමයි  කිසියම් පුද්ගලයෙක් හෝ ආ‍යෝජකයෙක් මුදල් ආයෝනය කිරීමෙන් ඔවුන් අවදානමක් ලබා ගන්නා නිසා එම අවදානම නැවත පියවා ගැනීමට ඔවුන් නිරායසයෙන්ම කටයුතු කිරීමයි. 

සරළව කියනවනම් සල්ලි ආයෝනය කරන මනුස්සයට තමන්ගේ සල්ලි ගැන කැක්කුමක් තිබුණත් තමන්ගේ නොවන සල්ලි ගැන තමන්ට කැක්කුමක් එන්නේ නැහැ. 

ඒක මිනිස්සුන්ගේ සොභාවය මිසක් වරදක් නොවෙයි. මහජනතාවගේ බදු මුදල් ආයෝජනය කලවිට එම මුදල් වල සෘජු අයිතිය කාටවත් නැති නිසා වැඩියෙන් කාර්‍යක්ෂම වෙලා වැඩ කරල වැඩිපුර ලාභ උපයන්න උත්තේජනයක් සොභාවිකවම එන්නේ නැහැ. මොකද වැඩිපුර වැඩ කරත් අඩුවෙන් වැඩ කරත් ඔවුන්ට ලැබෙන්නේ එකම මුදල නිසා. එවැනි අවස්ථා වලදී බොහෝ වෙලාවට සිදු වෙන්නේ අමතර පැය ගණනක් වැඩ   කිරීමට (අතිකාල වැඩ  කිරීමට)  පෙලබීම හෝ මුදල් වංචා කිරීමට පෙළබීමයි. කොළඹ වරායේ මෙන්ම ලංකාවේ අනෙකුත් රජය මගින් මෙහෙයවන ව්‍යාපාරත් වෙනත් ඕනෑම රටක රජයන් පමණක් ව්‍යාපාර මෙහෙය වීමට යාමෙන් අත්ව ඇති ඉරණමත් එකම ඉරණමයි. ලොක්කයේ කාර්‍යක්ෂතම වරායක් වන සිංගප්පූරු වරායේ (Port of Singapore) වෙබ් අඩවියට පිවිසුණහොත් ඔවුන් වරාය කාර්‍යක්ශම කිරීමට කොතරම් පුද්ගලික ආයතන සමග වැඩ කරණවාද යන්න ඔබට දැක ගත හැකියි. ඔවුන් විදේශ ආයෝජන සදහා විශාල මූලිකත්වයක් ලබාදීමෙන් වෙනත් රටවල් වල දැනුම ඔවුන්ගේ රට තුලට ගැනීමෙන් වරායක් ලෙස කලාපයේ ප්‍රබලම නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබෙනවා.  

ඒ අනුව  කොළඹ වරාය පෙර අපර දෙදිග ප්‍රදාන නැව් මාර්ගයේ පිහිටා තිබෙන සුවිසේශී පිහිටීම අපට වාසියක් බවට කිසිම සැකයක් නැහැ. නමුත් නැව් සමාගම් වලට අයිති නැව් වැඩි වැඩියෙන් කොළඹට පැමිණීමට නම් අදාල නැව් සමාගමවලට පර්‍යයන්තවල කාර්‍යක්ශමතාවය ගැන විශ්වාසයක් තිබිය යුතුයි. එම විශාවසය ගොඩ නගා ගැනීමට බොහෝ නැව් සමාගම් අදාල වරාය පර්‍යන්ත වල මුදල් ආයෝජනය කරනු ලබනවා. එවිට ඔවුන්ගේ මුදල් පර්‍යන්තයේ ආයෝජනය කර තිබෙන නිසා එම පර්‍යන්ත කාර්‍යැකශම කිරීමට සහ කළමනාකරනය කිරීමට වැඩි අවස්ථාවක් ඔවුන්ට ලැබෙනවා. 

ඒ වගේම නැවක් පර්‍යන්තයකට සේන්දු වීමේදී මිල ගණන් තීරණය කිරීමෙදී ක්‍රියාත්මක වනේ ජාලගත ක්‍රමයක්. නාවික ක්‍රේත්‍රය ඉතාම තරගකාරී නිසා අන්තර්ජාතික වශයෙන් සම්භන්දතා ඇති පර්‍යන්ත වලට නැව සේන්දු වීමට නියමිත ලොකයේ රටවල් ගණනාවක පර්‍යන්ත වලින් අඩු මිල ගණන් ලබා දිය හැකියි. නමුත් එක රටක රජයක් මගින් පාලනය කරන වරායක හෝ වරාය පර්‍යන්තයකට මිල ගණන් ලබාදීම සීමා වන්නේ ඔවුන්ගේ වරාය සීමවට පමණයි.

එම නිසා ශ්‍රී ලංකාව නාවික කේන්ද්‍රස්ථානයක් කිරීමට අවශ්‍යනම් විදේශ ආයෝජන වල වටිනාකම අපි කිසිවිටෙකත් අවතක්සේරු නොකළ යුතුයි.  එමගින් වැඩිපුරම වාසියක් සැලසෙන්නේ ශ්‍රී ලාංකිකයන්ටමයි. නමුත් එහි අර්ථය ඕනෑම පුද්ගලික ආයෝජකයෙක්ට පුද්ගලික සහ රජයේ ප්‍රදානීන්ගේ හිතවත්කම් මත ආයෝජන ලබාදිය යුතු බවද නොවේ. බටහිර පර්‍යන්තය විදේශ අයෝජන ලබා ගැනීම නිවැරදි තීරනයක් වුවත් අදාල ආයෝජකයා තෝරා ගත යුතුව තිබුණේ විවෘත තරගකාරී ටෙන්ඩර් පටිපාටියක් හරහායි. එසේ වූවානම් ශ්‍රී ලංකාවට වඩා වාසිදායක වන්නේ කුමන ආකායයේ ව්‍යාපාර ගිවිසුමක්ද යන්න පිළිබදව තෝරා ගැනීමක් කිරීමට අපිට හැකියාව තිබුණා. නමුත් එක් ආයතනයක් පමණක් ටෙන්ඩර් පටිපාටියකින් තොරව තෝරා ගැනීමෙන් එම අවස්ථාව අපට අහිමි වනවා. 

එමෙන්ම බටහිර පර්‍යන්තයට පෞද්ගලික අයෝජකන් ලබාගෙන නැගෙනහිර පර්‍යන්තය රජය මගින් අයෝජනය කිරීමට යාමෙන් රජයේ සහ වරාය අදිකාරිය තවත් මූළ්‍ය පීඩනයට පත්වීම වැලැක්විය නොහැකියි. ඊට හේතුව නම් නැහෙනහිර පර්‍යන්තය මෙහෙයුම් තත්වයට ලබා ගැනීමට තවත් ඇමරිකානු ඩොලර් මිලියන 600ක පමණ මුදලක් ආයෝජනය කිරීමට අවශ්‍යයි. ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවට ගෙවීමට ඇති ණය සැලකිල්ලට ගැනීමේදී එවැනි මුදලක් ආයෝජනය කිරීම පහසු කටයුත්තක් නොවේ. එලසම ග්‍රැන්ටි දොබකර (Granty crames) සහ ආයොජනයට අවශ්‍ය බොහෝ දේවල් ආනයනය කලයුතු ‍යන්ත්‍රොපකරණ වන නිසා ඒවා ශ්‍රී ලංකාවේ නිපදීම අපහසුයි. ඒ අනුව දැනටමත් වසර කිහිපයක් පසුපසින් ඇති නැගෙනහිර පර්‍යන්ත සංවර්ධනය තවත් ප්‍රමාද වණු ඇති. ඒ අතර පුද්ගලික අයෝජකයන් බටහිර පර්‍යන්තය ආයෝජන සිදුකරන විට ඔවුන්ට රජයට වඩා ඉකමනින් සහ කාර්‍යයක්ශමව  ව්‍යාපෘති මෙහෙයවීමට දාරිතාව ඇති නිසා  බොහෝ නාවික ව්‍යපාර සහ නව් ගමනා ගමන බටහිර පර්‍යනතය හරහා කෙන්ද්‍ර ගත වනු ඇති. එවිට ප්‍රමාද වී රජය නැගෙනහිර පර්‍යන්තයට ආයෝජනය කලත් අදාල ආයොජනය පියවා ගැනීමට ගතවන කාලය දිගු වීමෙන් සහ විදේශ සබදතා සහිත පුද්ගලික අංශය සමග තරග කිරීමට අපහසු වීමෙන් එල්ල වන මූළ්‍ය පීඩනය ඉහල යනු ඇති. 

ආයෝජන වලදී කල් මැරීම සහ ප්‍රමාදයන් යනු ඉතාම පාඩු සහගත ක්‍රියාවක්.  මුදල් වල වටිනාකම තීරණය වන්නේ මුදල් ප්‍රමාණය සහ මුදල් ආයෝජනය කරන කාලය යන දෙකම අනුවයි. ශ්‍රී ලංකා වරාය අදිකාරිය මගින් මෙහයවනු ලබන ගාල්ල වරාය වසර ගණනාව තිස්සේ රුවල් නැව් සහිත ‍යොට් මරයින් (Yacht Marine)  එකක් බවට සංවර්ධනය  කිරීමට උත්සහ කලත් සිදුවූ  ප්‍රමාදයන් නිසා දැන් එම යොට් මරයින් මද්‍යස්ථානය ඩුබායි (Dubai) සහ ඕමාන් (Oman) වෙත අපෙන් ගිලිහී ගියා. ත්‍රීකුණාමලය වරාය සහ කන්කසන්තුරේ වරාය සහ විශාල මුදලක් වැය කරමින් තනනන්ට ගිය ඔලුවිල් වරායේ ඉරණමත් ඉතාම කේදනීයයි. වරාය සහ පර්‍යන්ත ක්‍රියාත්මකවන මූලදර්ම සහ ආයොජනවල මූලික සංකල්ප වලින් බැහැර වෙලා ශ්‍රී ලංකාව නාවික සහ වරාය කෙන්ඩ්‍රස්ථානයක් කිරීමට උත්සහ කිරීම අපේ තිබෙන සල්ලි ටිකත් නැති වෙන වැඩක් මිසක් ලංකාව ඉදිරියට යන වඩක් නොවන බව ආයෝජන තීරණ ගන්න හැමෝම සිහියේ තියා ගන්න ඕන. ශ්‍රී ලංකාව  නාවික හා වරාය කේන්ද්‍රස්ථානයක් වීමට මෙම කලාපයේ වැඩිපුරම හැකියාවක් තිබෙන රටයි. නමුත් එසේ විය හැක්කේ නිසි ආයෝජන ප්‍රතිපත්තියක් අනුගමය කොලොත් පමණයි.

අරුණ පුවත්පතේ ධනනාත් ප්‍රනාන්දු විසින් පල කරන ලද ලිපියකි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශ්නය

අපොස සාමාන්‍ය පෙළ විභාගයට චිත්‍ර විශය හදාරන ළමයින්ට තියන එක අභ්‍යාසයක් තමයි බලාගෙන ඇදීම. ළමයි අඩ කවයක හැඩයට වාඩිවෙලා භෞතික ද්‍රව්‍ය කිහිපයක් (මල් පෝච්චි, බෝල) දිහා බලාගෙන ඔවුන්ට පේන විදියට චිත්‍රය අඳිනවා. එක එක ළමයා වාඩිවෙලා ඉන්න  තැන අනුව එකම භෞතික ද්‍රව්‍ය වුණත් අපිට පේන විදිය වෙනස්.  ශ්‍රී ලංකාවේ ණය ප්‍රශ්නෙත් ඒ වගේ. එක එක්කෙනා බලන කෝණය අනුව ප්‍රශ්නයට යෝජනා කරන විසඳුම් වෙනස්.  

රජය මේ ප්‍රශ්නය දකින්නේ ශ්‍රී ලංකාව තුළට කොතරම් ඇමරිකානු ඩොලර් ප්‍රමාණයක් ගලාගෙන එනවද යනවද කියන එක මතයි. (Inflow and outflow)  රජයේ ඇස්තමේන්තුවලට අනුව මේ වසර තුළ අපිට USD බිලියන 32 ක පමණ ප්‍රමාණයක් ලැබීමට නියමිතයි.   අපනයනවලින්  USD බිලියන 15කට ආසන්න ප්‍රමාණයක්,  විදේශ රටවල සේවය කරන අපගේ ශ්‍රමිකයන් එවනු  ලබන  විදේශ මුදල් හෙවත් විදේශ සම්ප්‍රේෂණ USD බිලියන 7ක්,  සංචාරක කර්මාන්තයෙන් තවත් USD බිලියන 1.5 ක් සහ ඉතිරිය වරාය නගර සංවර්ධනයට සහ හම්බන්තොට කර්මාන්තපුරයට ලැබේ යැයි රජය අපේක්ෂා කරනවා.  අනෙක් අන්තයෙන් ආනයන සඳහා තවත් USD බිලියන 19 ක්,  ශ්‍රී ලංකාවේ සිට වෙනත් රටවල ඉගෙන ගැනීමට සහ සංචාරක කටයුතු සඳහා පරිභෝජනයට තවත් ඩොලර් බිලියන කිහිපයක් අවශ්‍යයි. එලෙස  පරිභෝජනයට අවශ්‍ය ඩොලර් ප්‍රමාණයන් සහ අපිට ලැබේ යැයි අපේක්ෂා කරන ඩොලර් ප්‍රමාණය සංසන්දනය කිරීමෙන් අනතුරුව ඉතා පහසුවෙන් USD බිලියන 4ක 5ක මුදලක් ණය ලෙස ගෙවිය හැකි බවයි රජය අනුමාන කරන්නේ. ඒ වගේම රජය ප්‍රකාශ කර තිබුණේ  අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර නැතහොත් විදේශීය වෙළෙඳපොළෙන් ලබා ගත් ණය ප්‍රමාණය සමස්ත මුලු ණය ප්‍රමාණයෙන් 17% ක් වැනි අගයක් නිසා ණය ගෙවීම පිළිබඳව ප්‍රශ්නයේදී බොහෝ දෙනා බැදුම්කර ගැන කාතා කරත් ශ්‍රී ලංකාව ණය ලබා ගෙන තිබෙන ඉතිරි 83% ම ලංකාවේ ණය ගෙවීමේ හැකියාව පිළිබඳව ප්‍රශ්න කරන බවක් පෙනෙන්නේට නොමැති බවයි.  ජනාධිපතිතුමාද ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් පිළිබඳව කිසිදු ගැටලුවක් නොමැති බවයි. මහ බැංකුව අධිපතිතුමා සහ ඇතුළු රාජ්‍ය මූල්‍ය තීර්ණ ගන්නා බොහෝ දෙනෙක් ලංකාව නිසි කලට ණය පියවීම පිළිබදව අප තබා ඇති නොබිඳුණු වාර්තාව එලෙසම තබන බවට විදේශ ආයෝජකයන්ට සහතිකයක් ද මාධය හමු වලදී ලබා දී තිබෙනවා.  

කෙසේ වෙතත්  සමහර  බැංකු, වෙළදපොළ ආයෝජකයන් සහ   ආයෝජනය කරන මූල්‍ය ආයතන මෙන්ම ශ්‍රේණිගත කිරීම් සමාගම් මේ පිළිබඳව දකින්නේ ලංකාවට ණය ගෙවීම් සඳහා කොතරම් සංචිත ප්‍රමාණයක් ඉතිරිව තිබෙනවාද යන සාදකය සැලකිල්ලට ගැනීමෙනුයි. ඔවුන් ප්‍රශ්නය දකින ආකාරයට ශ්‍රේණිගත කිරීම් ආයතන මගින් ණය ශ්‍රේණිගත කිරීම - Nayer shreniyer පහළට දමා ඇති නිසා ශ්‍රී ලංකාවට නැවත වරක් වෙළඳපොළෙන් ණය ලබාගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි. එවැනි අවස්ථාවකදී ණය ගෙවීමට හැකිවනු ලබන්නේ ශ්‍රී ලංකාව තුළ ඇති විදේශ සංචිත වලින් නිසා දැනට අපගේ සංචිත ප්‍රමාණය USD බිලියන 4.8 කට ආසන්න අගයකට පහත වැටී ඇති බැවින් USD බිලියන 4කට වඩා ණය ගෙවීම් සිදු කරනු ලබන්නේ කෙසේදැයි ඔවුන්ගේ මූලික ප්‍රශ්නය වී තිබෙනවා. 

එමනිසා ඔවුන් යෝජනා කරනන විසඳුම් මාර්ගය වන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග සම්බන්ධ වී ණය නැවත ප්‍රතිව්‍යුහගත කරමින් (Debt reprofiling) ආර්ථික වර්ධනය ලබා ගනිමින්  සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදලන්  ලබා දෙන සහතිකය මත නැවත අඩු පොලියට වෙළඳපොලෙන් ණය ලබා ගන්නා ලෙසයි.  

මේ පිළිබඳව රජයේ ඇති මතය වී ඇත්තේ  ප්‍රශ්නයක් ලෙස දකින්නට තරම්වත් ණය පිළිබඳව ප්‍රශ්නයක් නොමැති බවයි. එලෙසම දැනට රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය වනුයේ තවදුරටත් විදේශීය ණය ලබා නොගෙන එම විදේශීය ණය දේශීය ණය බවට පරිවර්තනය කරමින් ඉදිරියට ගමන් කිරීම බව සඳහන් වනවා. 

මේ පිළිබඳව කතාබහ තවදුරටත් තියුණු වුණේ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව (Standard Chartered Bank) සහ Barclays ආයතන මෑතකදී ලංකාව පිළිබඳව පළකර තිබූ ණය ගෙවීමේ අස්ථාවර බව පිළිබද වාර්තාවන් දෙකක් ද සමගින්.  මෙම ආයතන දෙකම ලංකාවේ ස්වෛරී බැදුම්කර (International Sovereign Bonds - ISB) සම්බන්ධව මීට පෙර කටයුතු කර තිබෙන ආයතන දෙකක්. ඊට අමතරව ශ්‍රී ලංකා රජය අපනයනකරුවන් ගේ අපනයන ආදායමින් 25%ක ප්‍රමාණයක් මුදල් ලැබුණු වහාම රුපියල් බවට පරිවර්තනය කළ යුතු බවත් ඉතිරි මුදල් දින 180 ක් තුළදී රුපියල් බවට පරිවර්තනය කළ යුතු බවට රෙගුලාසි පනවනු ලැබුවා. ඊට සති කිහිපයකට පෙර ආනයනකරුවන්ට ඉදිරි විකිණීමේ ගිවිසුම් හෙවත් අනාගතයේ නිස්චිත අගයකට ඩොලර් ලබා ගැනීමේ ගිවිසුම් වලට එළබීම තහනම් කිරීමට රෙගුලාසි පනවනු ලැබුවේ ලංකාවට ඉදිරියේ දී ණය ගෙවීමට සහ ආර්ථිකය පවත්වා ගෙන යාමට අවශ්‍ය මුදල් ඉතිරි කර ගැනීමේ  අරමුණින් සහ රුපියල අවප්‍රමාණය වීම අවම කිරීමේ අරමුණින් 

රජයේ මතය සහ මූල්‍ය වෙළදපොළ ප්‍රවීණයන්ගේ මතය නිතරම ජනමාධ්‍ය තුළ දකිද්දී එම අදහස් තේරුම් ගැනීමට අපහසු වී තිබෙනේ මූල්‍ය පද්ධතිය පිළිබඳව  ජනතාවට තුළ ඇති දැනුවත්බව ඉතාමත්ම අවම  වීමයි.

අපි ණය ගෙවන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල හරහාද එසේත් නොමැති නම් විදේශීය ණය දේශීය ණය බවට පරිවර්තනය කර ගැනීමෙන්ද කියන ප්‍රශ්නය තෝරා ගැනීමට කලින් මෙතරම් ණය අර්බුදයකට ශ්‍රී ලංකාවට මුහුණ දීමට මූලික වූ හේවතුව අපි කිසිසේත් අමතක නොකළ යුතුයි.  

ශ්‍රී ලංකාවේ මූල්‍ය කළමනාකරණය ඉතාමත්ම දුර්වල මට්ටමක පැවතුණේ අද ඊයේ නොවේ. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ  සාමාජිකත්වය ලබා ගත් දිනයේ සිට  මේ දක්වා ලංකාව 16 වතාවක්  අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඇප වී අපිව බංකොලොත් වීමෙන් බේරාගෙන තිබෙනවා. එම නිසා මුලින්ම අවබෝධ කර කරගතු වන්නේ අපගේ මූල්‍ය කළමනාකරණයේ තිබෙන දුර්වල බවයි. ඒ අනුව මේ ණය අර්බුදයට මූලිකම හේතුව ඇමරිකන් ඩොලර් වලින් වෙළඳපොලේ ඉතා ඉහල  පොළියට කෙටි කාලීනව ලබාගත් ණය කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන ව්‍යාප්ෘතිවල ආයෝජනය කිරීමයි.  

එහි වරද එක රජයක් මත පමණක් පැටවිය හැකි වරදක් නොවේ. 

ඩොලර් වලින් ණය ලබා ගත් විට ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වන නිසා එම ණය නැවත ගෙවිමේදී රුපියල අවප්‍රමාණය වන මුදලත්, පොලියත්, ලබාගත් ණය මුදලත් යන තුනම ගෙවිය යුතුයි. එතරම් ප්‍රතිලාභ ලබන ව්‍යාපෘති වල තබා අවම තරමේ ලබාගත් ණයෙන්  කොටස්ක්වත් ගෙවා ගත හැකිය ්‍යාපෘතිවල අපේ මුදල් ආයෝජනය කළ බවක් පෙනෙන්නට නැහැ. බොහෝ ව්‍යාපෘති වලට  ශක්‍යතා අධ්‍යයනයන් කළ බව පෙනෙන්නට නෑ. ණය ලබාගැනීමේ අනෙකුත් ක්‍රම වලටවලට සාපේක්ෂව මූල්‍ය වෙළෙඳපොළෙන් ණය ලබා ගැනීමේදී  ණය මුදල එකවර කිරීමට සිදුවනවා.  

ඊළඟ කාරණය වන්නේ  ණය කළමනාකරණය සහ  මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව  ශ්‍රී ලංකාවේ ජනතාව කෙසේ වෙතත් මූල්‍ය ප්‍රතිපත්තිය හසුරුවන ඉහළ පුටුවල සිටින බොහෝ දෙනකුට ඇති අනවබෝධයයි. 

අනවශ්‍ය ලෙස මුදල් අච්චු ගැසීම ආනයන දිරිගැන්වීමක්  බව බොහෝ මූල්‍ය විශ්ලේෂකයන්ට තවමත් නොතේරෙන කාරණයක්. එම නිසා සෑම විටම මූල්‍ය අර්බුදයකදී  ඔවුන් ලබා දෙන විසඳුම වනුයේ ආනයන තහනම් කර වැඩි වැඩියෙන් මුදල් අච්චු ගැසීමෙන් රජයේ වියදම් පියවා ගැනීමට යෑමේ උපක්‍රම‍යයි. අවාසනාවකට මෙන් නව රජය ද  අවස්ථා ගණනාවක්දී අසාර්ථක වූ එම උපක්‍රමයම අනුගමනය කරමින් පවතිනවා.

ඒ බව තහවුරු කර කර ගැනීමට  2020 ජනවාරි මාසේ ලංකාවේ ආර්ථිකය සහ දැන් පවතින ආර්ථික තත්වය සංසන්දනය කිරීම ප්‍රමාණවත්.  2020 ජනවාරි මාසයේදී Covid 19 තත්ත්වයට  පෙර  දළ වශයෙන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 184 ක් අගයකකටත්,  ආර්ථික වර්ධනය ධන අගයක් ලෙසත් පැවතුණා. ඩොලර් බිලියන 7 කට ආසන්න  විදේශ සංචිත ප්‍රමාණයක් අප සතුව පැවතුනා. අද වන විට  වාහන ආනයන සහ අනෙකුත් ආනයනද බොහෝ වශයෙන් කපාහැර තිබියදී ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 196 කට ආසන්නවත්  ආර්ථිකය රින වර්ධන වේගයක් තත්වයකටත්, අපගේ සංචිත ඩොලර් බිලියන 5 කට අඩු ප්‍රමාණයකටත්  අඩු වී තිබෙනවා. ඊට අමතරව ලෝක වෙළදපොලේ බොර තෙල් මිල ඉතා විශාල ලෙස අවම වී ඇති අතර ඇමරිකා එක්සත් ජනපදයද ඉතිහාසගත ලෙස විශාල මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කළ නිසා අපගේ රුපියලට එල්ල වීමට තිබූ බලපෑම් අවම වී තිබීම අප සැලකිල්ලට ගත යුතුය. 

ගෝලීය වසංගත තත්වයක් යටතේ තිබූ තත්වය හමුවේ ආර්ථිකය වර්දනය නොවීම අපිට අවබෝද කර ගත හැකියි. නමුත් අපේ අපනයන  Covid 19 තත්ත්වයට පෙර පැවති තත්වයටම  පැමිණ තිබෙනවා.  එනම් සෑම මසකම USD බිලියන 1ක් හෝ ඊට ආසන්න අගයක්. ඒ වගේම  විදේශ රටවල් ජීවත්වන ශ්‍රමිකයන් එවන මුදල් ප්‍රමාණයද වැඩි වී තිබෙනවා.  අපට මූලිකව වශයෙන් ම බලපානු ලැබුවේ  Covid 19 තත්ත්වයන් නිසා සංචාරක ක්ෂේත්‍රයට සිදු වූ බලපෑමයි.  

එවැනි තත්වයක් තුල මෙතරම් ආනයනය තහනම් පනවා තිබියදී ආර්ථිකය මේ තරම් අපහසු තත්ත්වයකට පත්වීම මූලික හේතුව නම්  අනවශ්‍ය ලෙස මුදල් අච්චු ගැසීම සහ මුදල් අච්චු ගැසීමෙන් රජයේ වියදම් පියවා ගැනීමට උත්සාහ කිරීමයි. 

අප බලෝපොරොත්තු වන තරම් අපනයන අදායම් වලින් සහ ලැබෙන මුදල් වලින් අපගේ ණය කළමණාකරණය කල හැකිනම් පසුගිය ණය වාරික සහ ඉන්දියාවෙන් ලබා ගෙන තිබූ SWAP පියවීමේදී අපගේ සංචිත භාවිතා කිරීමට සිදු වූයේ ඇයි යන ප්‍රශ්ණය අපිම ඇසිය යුතුයි. 

ආනයන තහනම් කර ඉන් පසුව මුදල් අච්චු ගැසීම සහ සංචිත වල  ඇති ඩොලර් උපයෝගී කරගනිමින්  අපගේ රුපියල් ස්ථාවර කිරීමට උත්සාහ කිරීම විශාල ගුණයකින් ආනයන වැඩි කිරීමට උල්පන්දම් දීමක්. එහි බලපෑම ආනයන තහනම් කර ඉතුරු කිරීමට උත්සහ කරන ඩොලර්වලට වඩා විශාල අගයක්. එමඟින් ආනයන වැඩි වීමට අමතරව උද්ධමනය වැඩි වීමෙන් ජනතාව දුප්පත් වී ජීවන තත්වයට විශාල බලපෑමක් එල්ල කරනවා. සරළව කිව්වොත් පසුගිය සතියේ ලිපියෙන් සාකච්චා කල පරිදි මුදල් අච්චු ගැසීම යනු ආනයනය වඩිකිරීම හා විදෙස් සංචිත දිය කිරීමට සමාන ක්‍රියාවක්. ඒ මූල්‍ය වෙළදපොලේ සොභාවයයි. 

සාර්ථක මූල්‍ය පද්ධතියක් (Monetary policy) සහ රාජ්‍ය මූල්‍ය කළමණාකරණයක් (fiscal policy) තිබුනොත් අපිට ඉතා පහසුවෙන් ණය ප්‍රශ්ණයෙන් ගොඩ ඒමේ අවස්ථාව තිබෙනවා. 

ශ්‍රී ලංකාවට ණය  ගෙවීම  පිටුපස  අපහසුතා ඇතිවීමට ඇති ප්‍රධාන හේතුවක් වනයේ මූල්‍ය ක්‍රමය ගැන පවතින මිත්‍යාවන් සහ එය කළමණාකරණය කිරීමට ඇති නොදැනුවත් කමයි. ණය ගෙවීමේ තත්ත්වය පිළිබඳව රජය මීට වඩා ගැඹුරින් සැලකිලිමත් විය යුතු බවයි මගේ අදහස.  එයට හේතුව නම්  රට තුළට පැමිණෙන සහ රටින් බැහැර වන ඩොලර් වලින් පමණක් අපේ ණය කළමනාකරණය කළ හැකි යැයි අපේක්ෂා කිරීම එතරම් ප්‍රඥාගෝචර නොවන නිස‍යි.  රට තුළට  අපනයන (Export), ප්‍රේෂණ (Remittences) සෘජු විදේශ ආයෝජන (FDI- Foreign Direct Investments) ආදියෙන් වැඩි වැඩියෙන් ඩොලර් පැමිණිම ඉතා සාධනීයයි.  

නමුත් එලෙස පැමිණෙන කිසිදු මුදලුක අයිතිය  රජය සතු නොවන බව අප මතක තබා ගත යුතුයි.  එම මුදල් වල අයිතිය ඇත්තේ  අදාල  මුදල් එවන පුද්ගලයන්ටයි. 

එම ඩොලර් ඒකක මුදල්, ශ්‍රී ලංකා රජය සතුව ඇති ශ්‍රී ලංකාවේ රුපියල් බවට හුවමාරු කරවීමට ගලපෙන මූල්‍ය ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. නමුත් ණය ගෙවීමට සිදුව තිබෙන්නේ රජයටයි

එනම් බැංකු  පද්ධතිය තුළින්  එම ඩොලර් හිමි අයගෙන් ඩොලර් මිලදී ගැනීමටත් බැංකු පද්දතියට එකතු වන ඩොලර් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් මිලදී ගැනීමත් සක්‍රියව  සිදුවීමට අවශ්‍ය මූල්‍ය පරිසරය සකස් විය යුතුයි.

එම මූල්‍ය පද්දතිය සකස් කිරීම බලහත්කාරයෙන් කල හැක්කක් නොවෙයි. දැනට ඇමරිකානු ඩොලර් ගිණුමකට ලාබ දෙන පොළී අනුපාතිකය ශ්‍රී ලංකා රුපියල් වලට ලබා දෙන පොලී අනුපාතිකයට වඩා වැඩියි. එවැනි මූල්‍ය පරිසරක් තුල ඩොලර් අතේ ඇති අපනයන කරුවන් ඔවුන්ගෙ ඩොලර් රුපියල් බවට පත් කරගෙන රුපියල් ගිණුමක ඉතුරු කිරීම වෙනුවට ඩොලර් ගිණුමේම තබා ගැනීම ඉතාම සොභාවිකයි. මන්ද එයට ඔවුන්ට වැඩි පොළියක් ලැබෙනවා සේම රුපියල අවප්‍රාමාණය වීමෙන් එන වාසියත් පසුව ලබා ගත හැකියි. නැතොහොත් රුපියල අවප්‍රාමාණය වීමෙන් සිදුවන පාඩුව මග හරවා ගත හැකියි.ඒ වෙනුවට තහංචි පැනවීමෙන් සිදුවන්නේ ඔවුන් පිටරට ගිණුම් වල මුදල් තැන්පත් කර එම මුදල් ශ්‍රී ලංකාවට නොගෙන ඒමට පෙළබීමයි

අපනයන කරුවන් සහ ඩොලර් උපයන ජනතාව අදාල විදේශ මුදල් නෝට්ටු විකිණීම මගින්  සහ එම  විදේශීය මුදල් නෝට්ටු  මහ බැංකුව මගින් මිලදී ගැනීමෙන් පමණයි අපට නැවත විදේශ සංචිත කොට ගොඩනැගිය හැක්කේ.  මහ බැංකු අධිපතිතුමා මෑතකදී ප්‍රකාශ කළ පරිදි දැනට දිනකට USD මිලියන 10 ක පමණ ප්‍රමාණයක් මහ බැංකුව විසින්  සංචිත ගොඩනැගීම සඳහා නැවත මිලදී ගනු ලබනවා.  එලෙස සංචිත  ගොඩනැගීමට මහ බැංකුව ඩොලර් මිලදී ගන්නා අවස්ථාවකදී නැවත රුපියල් අච්චු ගැසීමෙන් සිදුවන්නේ රුපියල  අවප්‍රමාණය වීමයි. එවිට  රුපියල ස්ථාවර කිරීමට  ගොඩනැගූ ගොඩනැගුණු සංචිත  නැවත විකිණීමට මහ බැංකුවට සිදුවනවා. එය නැවත ආපසු හැරවීමට නම් ඩොලර් මිලදී ගත් පසු නිර්මාණය කරන ලද මුදල් මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් විකිණීමෙන් නැවත නිශ්ක්‍ර්‍රීය කල යුතුයි. එය එසේ නොකන තාක් ලක් ආනයන වැඩිවීම සොභාවිකයි.  මේ විෂම චක්‍රය තවත් ආර්ථික සාධක ගණනාවක් සමග එකතු වීමෙන් තමයි ශ්‍රී ලංකාව අද පවතින තත්වයට පත්වී තිබෙන්නේ. මේ ප්‍රශ්නයෙන් ගොඩ ඒමට නම් ප්‍රශ්නය මූලින්ම හදුණා ගත යුතුයි. අපි ප්‍රශ්ණයට වැරදි විසදුම් ලබා දෙන්නේ තාම ප්‍රශ්ණය හදුනාගෙන නැති නිසයි. හදුනා නොගත් ප්‍රස්ණයකට අපි ලබාදෙන විසදුම් වලින් සිදුවනේ ප්‍රශ්ණය තවත් වැඩි වීම මිස ප්‍රශ්ණයෙන් ගොඩ ඒම නොවේ. 




අරුණ පුවත්පතේ ධනනාත් ප්‍රනාන්දු විසින් පල කරන ලද ලිපියකි

කැළයට හිත දී ඉඩමට අත දෙන ප්‍රතිපත්තියක්

ජනාධිපතිතුමාගේ ‘ගම සමග පිළිසඳර’ ගැන ගම් නියම් ගම් හරහා දිවෙන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කතා වෙනවා. ගම සමග පිළිසඳර වැඩසටහනේදී නිතරම ජනාධිපතිතුමාට ජනතාව යොමු කරන ප්‍රශ්නයක් තිබෙනවා. “සර් ඉඩම් ප්‍රශ්නයට විසඳුමක් දෙන්න, අපිට වගා කරන්න ඉඩමක් දෙන්න. අපේ ඉඩම්වලට ඔප්පු දෙන්න". මේ හඬ ජනාධිපතිවරයාගේ ‘ගම සමග පිළිසඳර’ වැඩසටහන ආරම්භ කරන්න කලින් අවුරුදු ගණනාවක්ම නිතරම අපට ඇසෙන හඬක්.

ඒ වගේම සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ගම සමග පිළිසඳරට එල්ල වන ප්‍රධානතම චෝදනාව වන්නේ ඉඩම් ප්‍රශ්නය නිරාකරණයට යාම තුළින් වනාන්තර විනාශ කිරීමේ වැඩසටහනක් ඊට පසුපසින් ක්‍රියාත්මක වන බව‍යි. පරිසර සංවිධාන මේ පිළිබඳව නිතරම අදහස් පළ කරනවා. ජනාධිපතිතුමා මේ චෝදනාවලට පිළිතුරු දක්වමින් ප්‍රකාශ කර තිබුණේ තමා ජනතාව සමග එක්ව ඔවුන්ගේ ප්‍රශ්න හඳුනාගැනීමට දේශපාලනිකව අකමැති පිරිසක් මෙම වැඩසටහනේ වටිනාකම දියාරු කිරීමට, පරිසර විනාශය පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කිරීමට උත්සාහ කරන බවයි.

බොහෝ දෙනෙක් මේ ප්‍රශ්නය වනාන්තර ප්‍රශ්නයක් විදියට දුටුවාට ඇත්තටම මේ පිටුපස තිබෙන්නේ ආර්ථික ප්‍රශ්නයක් සහ මහජන ප්‍රතිපත්ති පිළිබඳ ගැටලුවක්. ඔබත් මොහොතකට පුදුම වේවි ඉඩම් ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද කියලා.

ඉඩම් ආර්ථික ප්‍රශ්නයක් වෙන ප්‍රධාන කොටස් දෙකක් තිබෙනවා. එකක් තමයි ඕනම ව්‍යාපාරයකට අවශ්‍ය වන භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය කියන ප්‍රධාන සාධක හතරට භූමිය යන සාධකයත් ඇතුළත් වීම. දෙවැනි කාරණය තමයි ශ්‍රී ලංකාවේ භූමිය කියලා කියන්නේ ඉතාමත්ම සීමිත සම්පතක්. සීමිත සම්පත් අසීමිත අවශ්‍යතාවන් වෙනුවෙන් භාවිත කිරීම තමයි ආර්ථික විද්‍යාවේ හරය. එනිසා සැබැවින්ම මේ ඉඩම් ප්‍රශ්නය, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සෘජුවම බලපාන ප්‍රශ්නයක්.

ප්‍රශ්නය අවබෝධ කරගන්න ප්‍රශ්නයේ මුලටම අපි යා යුතුයි. ශ්‍රී ලංකාවේ ඉඩම් ප්‍රමාණය ඉතාමත් සීමිතයි. වර්ග කිලෝමීටර් 65610 කට ආසන්න ඉතාමත් සුළු භූමි ප්‍රමාණයක් තමයි අප සතුව තිබෙන්නේ. අනෙකුත් සම්පත් වගේ ඉඩම් නැවත ප්‍රතිනිර්මාණය වෙන්නෙ නෑ. ඉඩම් නැවත ප්‍රතිනිර්මාණය කරන Port City වගේ ව්‍යාපෘති සඳහා වියදම් වන මුදල් සහ සිදුවන පාරිසරික බලපෑම් තක්සේරුව සැලකුවාට පසුව එවැනි ව්‍යාපෘති නිතරම කිරීම ලෝකෙ කිසිම රටකට පහසු දෙයක් නොවෙයි.

ඉඩම් ප්‍රමාණය වැඩි කරගන්නට බැරි වුණාට අනෙක් අන්තයෙන් ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. ඒ ජනගහනයට සරිලන පරිදි ආහාර නිෂ්පාදනය කරන්න, නිවාස හදන්න සහ සංකීර්ණ වන අවශ්‍යතාවන් සඳහා ඉඩකඩම් හොයාගන්නේ කොහොමද?. මෙතැනදි තමයි ආර්ථික විද්‍යාවේ සීමිත සම්පත්වලින් අසීමිත අවශ්‍යතාවන් සපුරන්න යනවයි කියන මූලික ආර්ථික විද්‍යා ප්‍රශ්නයට පිළිතුරක් හොයා ගන්න අවශ්‍ය. මේ ප්‍රශ්නෙන් අපිට එළියට එන්න පුළුවන් එකම ක්‍රමය වන්නේ අපේ ඉඩම්වල ඵලදායිතාවය වැඩිකිරීම පමණයි. තවත් සරල කරලා කියනවා නම් ඉඩමකින් ලබාගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමට ක්‍රමයක් සකස් කිරීමෙන් පමණයි අපිට මේ ප්‍රශ්නයෙන් එළියට එන්න පුළුවන්.

ශ්‍රී ලංකාවේ ඉඩම් ඵලදායිව පාවිච්චි කරන්නේ නැති බව රහසක් නොවේ. ඒ බව දැනගන්න, ඕනම ඉඩම් කච්චේරියකට ගිහිල්ල පත්තිරු හොයද්දි තේරෙනවා. ‍ලංකාවේ ඉඩම්වලින් 80%ක් පමණම අයිති ශ්‍රී ලංකාවේ රජයට. එයට 30% කට ආසන්න වනාන්තර ආවරණයත් ඇතුළත්. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවට අයිති ,අපේ රටේ තිබෙන ඉඩම්වලින් 20% ක වගේ ඉතාම සුළු ප්‍රමාණයක්. ඒ වගේම අපේ ඉඩම්වලින් වැඩි ප්‍රමාණයක් භාවිත කරන්නේ කෘෂිකර්මයට. නමුත් කෘෂිකර්මය අපගේ සම්පූර්ණ නිෂ්පාදනයට එහෙම නැත්තං දළ දේශීය නිෂ්පාදනයට දායක කරන්නේ 8%ක කුඩා අගයක්. ඒ වගේම ශ්‍රම බළකායෙන් 25% කට ආසන්න ප්‍රමාණයක් කෘෂිකර්මාන්තයේ නියැළෙනවා. ඔය ඉලක්කන් ටික ප්‍රමාණවත් අපේ ඉඩම් කොච්චර අකාර්යක්ෂමද කියල තීරණය කරන්න.

මොකක්ද මේකට හේතුව? මේකට මූලික හේතුවක් තමයි ජනතාවගේ ඉඩම් අයිතිය රජය තබාගෙන සිටීම. බොහෝ දෙනෙක් හිතන්නේ රජයට ඉඩම් අයිති වීම ඉතාමත්ම සාධනීය ලක්ෂණයක්. මොකද එතකොට ඒ ඉඩම්වල අයිතිය පිටරැටියන්ට යන්නේ නැති නිසා ජාතික ධනය රට ඇතුළේ ඉතිරි කරගන්න පුළුවන් කියන මතවාදය නිසා.

එම න්‍යාය ,ප්‍රශ්නය දෙස බැලිය හැකි එක විදියක්. එය න්‍යායක් ලෙස නිවැරදි බව හිතුණත් සැබවින්ම සිදුවන්නේ එය නොවෙයි. සැබැවින්ම සිදුවන්නේ ඒ ඉඩම්වල අයිතිය ජනතාවට නොමැති නිසා ඉඩම් උපරිම ඵලදායී ලෙස පාවිච්චි කිරීමට ජනතාව යොමු නොවීමයි. සරලව කියනවා නම් තමන්ට අයිති නැති ඉඩමක් දියුණු කිරීමට හෝ ඉඩම් සංවර්ධනය කරමින් උපරිම ප්‍රතිලාභ ලැබෙන ලෙස ඉඩම් පරිභෝජනය කිරීමට ජනතාවට කිසිම අවශ්‍යතාවක් ඇති වෙන්නේ නැහැ. සිංහල ගැමි වහරේ තිබෙන ආඬි හත් දෙනාගේ කැඳහැලිය මෙයට ඉතා කදිම උදාහරණයක්. යම්කිසි කෙනකුට ඉඩමක් හෝ වෙනත් ඕනෑම දෙයක් දියුණු කිරීමට අවශ්‍යතාවක් ඇති වෙන්නේ එහි අයිතිය පැහැදිලිවම අදාළ පුද්ගලයාට ලැබුණු විටයි. ඒ අනුව දළ වශයෙන් සමස්ත භාවිතයට ගත හැකි භූමි ප්‍රමාණයෙන් 50% ක් පමණ රජයට අයිති නිසා අපේ භූමියෙන් විශාල ප්‍රමාණයක් සංවර්ධනය කිරීමට හෝ දියුණු කිරීමට කිසිම කෙනකුට අවශ්‍යතාවක් ඇති වෙන්නේ නෑ. මෙය ප්‍රශ්නයේ එක පැත්තක්.

ප්‍රශ්නයේ අනෙක් පැත්ත තමයි වගා කරන්නට ලබා දී ඇති ඉඩම් බොහොමයක් ලබා දී ඇත්තේ බලපත්‍ර ක්‍රමයටයි. ඒ කියන්නේ ඉඩමේ අයිතිය ඉඩම වගා කරන කෙනාට නැහැ. නමුත් වගා කිරීම සඳහා ඔවුන්ට හැකියාව තිබෙනවා. ඒ අනුව අපි අක්කර 4ක් අයිති ගොවි මහත්මයෙක් උදාහරණයකට ගත්තොත් ඒ ගොවි මහත්මයාට දරුවන් හතර දෙනෙක් සිටී යැයි උපකල්පනය කරමු. ගොවි මහතාගේ දරුවන්ගේ පරම්පරාවෙන් එක් දරුවෙක්ට ලැබෙන්නේ අක්කරයක වැනි භූමි ප්‍රමාණයක්. එම දරුවන්ගේ දරුවන්ට අදාළ ඉඩම මාරුවීමේදී ඔවුන්ට ලැබෙන්නේ පර්චස් කිහිපයක කුඩා ඉඩමක් පමණයි. එසේ ලැබෙන්නේත් ඉඩමේ සම්පූර්ණ අයිතිය නොවේ. වගාකිරීමට ඇති අයිතියයි. එවැනි කුඩා ඉඩම් කෘෂිකර්මයට භාවිත කිරීම කිසිසේත් කළ නොහැකියි. ඒ වගේම එම ඉඩම් බලපත්‍රලාභී ඉඩම් නිසා වගා කිරීම් හැර වෙනත් කිසිම කටයුත්තක් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. අඩුම තරමේ වී වගාවෙන් බැහැරව වෙනත් වගාවක් කිරීමටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ අදාළ රජයේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ බලපත්‍රයක් ලබාගත යුතුයි. ඒ නිසා ගොවිතැන් සඳහා ඉඩම් තිබෙන්නේ නමට පමණයි. ඒ හේතුවෙන් ඉතා කුඩා කොටස් වශයෙන් තිබෙන ඉඩම් පුරන්කුඹුරු බවට පත්වීම සාමාන්‍ය තත්වයක්. තාක්ෂණය ඉඩම්වලට යෙදවීමට මුදල් හෝ අවශ්‍යතාවක් පැනනගින්නේ නැහැ.

ඉඩම කුඩා වන තරමට හරිතාගාර තාක්ෂණය කෙසේ වෙතත් අඩුම තරමින් ට්‍රැක්ටරයක් මඟින් හෝ කුඹුරට තාක්ෂණය ගැනීමට අපහසුයි. ඒ නිසා “අපගේ කෘෂිකර්මයට අලුත් තාක්ෂණය පැමිණෙන්නේ නැහැ” යනුවෙන් නිතරම මැසිවිලි නැගුවත් පවතින තත්වයට හේතුව අපිම අනුගමනය කරන වැරදි ප්‍රතිපත්තිමයි. ඉඩම්වල අයිතිය ජනතාවට නොමැති නිසා බැංකුවකින් ඉඩම ඇපයට තබා ණයක් ලබා ගැනීම සිදු කරන්නට බැහැ. බොහෝ දෙනෙක් නිවසක් සාදා ගැනීම සඳහා තමන්ගේ ඉඩම ඇපයට තබා ණයක් ලබා ගත්තත් ගොවි මහතුන්ට ඔවුන් වගා කරන ඉඩම ඇපයට තබා එම ඉඩම සංවර්ධනය කිරීමට හෝ එම ඉඩම සඳහා තාක්ෂණය ලබා ගැනීමට කිසිම හැකියාවක් නෑ. ඒ නිසා ගොවිතැන අකාර්යක්ෂ්මයි. ඒ නිසා ලාභ අඩුයි. ඒ නිසා ගොවීන් පොලී මුදලාලිලගෙන් අරන් තියෙන ණය වැඩියි. ණයත් එක්ක සියදිවි නසා ගැනීම් සහ ගොවිතැන හැරයාම වගේ ප්‍රශ්න එක පිට එක එන නිසා තමයි ජනපති යන හැම ගමකම මිනිස්සු ඈත ඉඳන් ඉඩම් ප්‍රශ්නෙ විසඳන්න කියල කෑගහමින් ඉල්ලන්නෙ.

මේ ඉඩම් ප්‍රතිපත්තිය නිසා කෘෂිකර්මයට, තාක්ෂණය පැමිණීම නතර වීමෙන් මේ ප්‍රශ්නය නොනැවතී වනාන්තර දක්වා ප්‍රශ්නය දිගු වීම මෙහි ඇති අනෙක් ඛේදනීය තත්වයයි. තාක්ෂණය කෘෂිකර්මයට නොපැමිණීම නිසා ගොවි මහත්වරුන්ට වැඩි අස්වැන්නක් ලබාගැනීමට නම් කළ හැකි එකම දේ වන්නේ වැඩිපුර ඉඩම් ප්‍රමාණයක් වගා කිරීමයි. දැන් ඔවුන්ට තිබෙන්නේ නිසි අයිතියක් නැති කුඩා ඉඩම් කට්ටි නිසා ඔවුන් බොහෝ වෙලාවට පෙලඹෙන්නේ වනාන්තර එළි පෙහෙළි කරමින් ඉඩම් අත්පත් කරගන්න. වගාවක් සිදු කිරීමට මහා පරිමාණයෙන් සිදුවන වනාන්තර විනාශය කෙසේ වෙතත් තැනින් තැන කෘෂිකර්මය සඳහා සිදුවන වනාන්තර විනාශය විශාල වශයෙන් දැකිය හැකි බව රහසක් නොවේ. අපේ ඉඩම් ප්‍රතිපත්තිය නිසා එක් අතකින් අපගේ ගොවි මහතුන් අකාර්යක්ෂ්ම වී තිබෙනවා. අනෙක් පැත්තෙන් අපගේ වනාන්තර විනාශවීමේ තර්ජනයට මුහුණ දී තිබෙනවා. මේ ප්‍රශ්න දෙකම ආර්ථික විද්‍යාවේ එකම කාසියේ දෙපැත්ත.

මොකක්ද මේකට විසඳුම

මේකට තිබෙන මූලිකම විසඳුමක් තමයි ඩිජිටල් ක්‍රමයක් ඔස්සේ ඉඩම් සිතියම්ගත කිරීම. එහෙම නැත්තං Digital Land Registry එකක් නිර්මාණය කිරීම. සරලව කියනවා නම් GPS තාක්ෂණය ‍යොදවල සෑම ඉඩමක්ම සහ සියලු වනාන්තර සිතියම්ගත කිරීම සහ ඉඩම්වල අයිතිය ජනතාවට ලබාදීම. අදාළ ඉඩම්වල මායිම් එකම පරිගණක තිරයක සටහන් කළ හැකි ආකාරයට ක්‍රමවේදයක් සකස් කිරීම. අපිට ටැක්සි රථයක් අවශ්‍ය වුණාම ඒ රථය කොතනද තියෙන්නෙ, කවුද ඒකෙ එන්නෙ කියල ජංගම දුරකථනයෙන් බලාගන්න පුළුවන්. අපිට අවශ්‍යතාවක් තියනව නම් මේ ක්‍රමය ඉඩම්වලට රැගෙන ඒම අපහසු වෙන්න විදියක් නැහැ. එමගින් පුද්ගලයකු තවත් පුද්ගලයකුට ඉඩමක් විකිණීමේදී ඉඩමේ අයිතිය පිළිබඳ තොරතුරු වගේම එකම දත්ත පද්ධතියට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. මේ යෝජනාව ඉදිරිපත් කළ සැනින්ම ඔබේ මතකයට පැමිණෙන ප්‍රධානම කාරණය තමයි එම්සීසී (MCC) ගිවිසුම. එම්සීසී. ගිවිසුමෙත් ඉඩම් සිතියම්ගත කිරීම යෝජනා කර තිබුණා. එහිදී විරෝධය පැමිණියේ ඉඩම් සිතියම්ගත කිරීමෙන් පිටරැටියන් අපේ ඉඩම් අත්පත් කර ගැනීමත් අපේ මැණික්, ඛනිජ සම්පත් වැනි වටිනා සම්පත් සොයා ගන්නවා යන තර්කයයි. දැන් එම්සීසීය පිළිබඳව කිසිදු බියක් නොමැති නිසා දේශීය ක්‍රමයක් හරහා හෝ ඉඩම් සිතියම්ගත කිරීම තවදුරටත් ප්‍රමාද කළ නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා.

දැනට ජයභූමි, ස්වර්ණභූමි වැනි විවිධ ඉඩම් ඔප්පු තිබුණත් අවශ්‍ය වන්නේ කාර්යක්ෂ්ම ක්‍රමවේදයක් සකස් කිරීමයි. විදේශිකයන්ට ඉඩම් මිල දී ගැනීමේ අයිතිය කෙසේ වෙතත් වඩා වැදගත් වන්නේ ලාංකික පුරවැසියන්ට නිසි පරිදි ඉඩම් මිල දී ගැනීමට හැකියාවක් ලබා දීමයි.

දැවැන්ත ව්‍යාපෘති වෙනුවෙන් ආයෝජනය කරනවා වගේම දීර්ඝකාලීනව ශ්‍රී ලංකාවේ වනාන්තර සුරකින, ජනතාවට පහසුවෙන් ඉඩම් විකිණීම සහ පවරා ගැනීම සිදු කළ හැකි ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගන්නා තුරු ජනාධිපතිතුමාට සෑම ගම සමග පිළිසඳරකදීම ඉඩම් ප්‍රශ්නය පිළිබඳව ජනතාවට නැවත නැවත පිළිතුරු දීමට සිදුවනවා වගේම වනාන්තරය එළි පෙහෙළි කිරීම ගැන පරිසර සංවිධානවලට සහ ඒ හා බැඳුණු ව්‍යාජ පුවත්වලට ප්‍රතිචාර දැක්වීමට සිදුවනු ඇත. ඉදිරියට ජනපති පුටුවට පැමිණෙන ඕනම පුද්ගලයකුටත් එම ප්‍රශ්නය එසේම පවතිනු ඇති. ශ්‍රී ලංකාවත් එතෙක් දුප්පත් රටක්වම පවතිනු ඇති.

අරුණ පුවත්පතේ ධනනාත් ප්‍රනාන්දු විසින් පල කරන ලද ලිපියකි

සල්ලි අච්චු ගහලා ගොඩ ගන්න පුලුවන්ද?

ආර්ථිකය කියන්නේ පුළුල් සංකල්පයක්. එතකොට මුදලේ සැපයුම (Money supply) කියන්නේ මේ සංකීර්ණ ක්‍රමය තුළ තියෙන එක මෙවලමක් විතරයි. මේ ආර්ථික ක්‍රමයෙන් කරන්නේ අසීමිත අවශ්‍යතා සපුරගන්න තියෙන සීමිත හා හිඟ සම්පත් උපරිම මට්ටමෙන් භාවිත කරන්නෙ කොහොමද කියන තීරණය ගන්න අපිට උදව් කරන එක. එතනදී මුදල නැත්තං සරලව කියනවනං සල්ලි තමයි අපිට මිලදී ගන්න පුළුවන් එහෙමත් නැත්නම් විකුණන්න පුළුවන් භාණ්ඩ හා සේව ප්‍රමාණය තීරණය කරන මිනුම් දණ්ඩ වෙන්නේ. ඒ වගේම ‘මිල’ කියන සංකල්පයෙන් තමයි වෙළෙඳපොළේ මොන වගේ භාණ්ඩ හා සේවා සීමිතද, මොන වගේ භාණ්ඩ හා සේවා, ප්‍රමාණයට වඩා තියනවද කියල පෙන්වන මිනුම් කෝදුව. යම් භාණ්ඩයකට තවත් භාණ්ඩයකට වඩා වැඩි ඉල්ලුමක් තියෙද්දී, ඒකෙ මිල වැඩි වෙනවත් එක්කම ඒ භාණ්ඩයට තියන සැපයුමත් ඉහළ යනවා. සරලව කිව්වොත් කහවල මිල වැඩි වෙද්දි වැඩි මිලක් ගන්න බලාගෙන වැඩි දෙනෙක් කහ වවල වෙළෙඳපොළට නිකුත් කරල මුදල් උපයන්න බලනවා. එතකොට කහවල සැපයුම වැඩි වෙනවා.

නූතන මූල්‍ය න්‍යාය

මේ වගේ අවස්ථාවලදී සැපයුම බොහෝ වෙලාවට ඉහළ යන්නේ නිෂ්පාදකයන් වැඩි ලාභයක් ලබා ගන්න බලාගෙන ඉන්න නිසායි. රටක නිෂ්පාදනය වෙන භාණ්ඩ හා සේවා ප්‍රමාණය ගැන නොසලකා මුදල් අධික ලෙස නිර්මාණය කිරීම මිල උද්ධමනයට හේතුවක් වෙනවා වගේම එය මුළු වෙළෙඳපොළේම තියෙන සාපේක්ෂ මිල විකෘති කරනවා. ශ්‍රී ලංකාව විවිධ වර්ගයේ ආර්ථික ගැටලු ගණනාවකට මුහුණ දෙනවා. එතැනදි මුදල් මුද්‍රණය කරන එකෙන් අපේ ආර්ථිකය මුහුණ දෙන අභියෝග ජය ගන්න පුළුවන්ද කියන එක ගැන අපි හොයලා බලන්න ඕනේ. ඔන්න ඔය අතරවාරයේ තමයි නූතන මූල්‍ය න්‍යාය (Modern Monetary Theory/ MMT ගැන සාකච්ඡාවක් ඇතිවෙලා තියෙන්නෙ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන තීරණ ගන්න ප්‍රධාන නිලතලවල ඉන්න බොහෝ දෙනෙක් මේ ගැන අදහස් දක්වල තිබුණා.

MMT ගැන කතා කරන සමහරක් දෙනා කියනවා රටකට කිසිම ගැටලුවක් ඇති නොවෙන විදිහට ඕන තරම් මුදල් මුද්‍රණය කරන්න පුළුවන් කියලා. තවත් සමහරක් අය කියනවා කිසිම ප්‍රශ්නයක් නැතුව විශාල මුදලක් ණයට ගන්න රජයකට පුළුවන් කියලා. හැබැයි අන්තිමට බලද්දි මුදල් මුද්‍රණය කරනවා කියන්නෙත් මහ බැංකුවෙන් ණයට ගන්න එක විදියක්. හැබැයි ගොඩක් අය යෝජනා කරන්නේ උද්ධමනය බලපෑම නවත්තන්න පුළුවන් විදිය තමයි බදු ගහන එක (Taxation) කියලා.

MMT ගැන සුබවාදීව කතා කරන අය විවිධ මත පළ පළකර තිබෙනවා. ඒ අතර සමහර ප්‍රධාන අදහස් වෙන්නේ රජයකට අය වැය පරතරය වැඩි කර ගනිමින් සල්ලිත් අච්චු ගහන්න පුළුවන් කියල. තවත් සමහරු තර්ක කරන්නේ බැඳුම්කර විදියට රජය ලබාගෙන තියෙන ණය ගෙවන්න සල්ලි අච්චු ගහන්න පුළුවන් නිසා ණය ගෙවන්න බැරි වෙයි කියල පොඩ්ඩක්වත් බය වෙන්න ඕන නෑ කියලා. හැබැයි මෙතැනදි තේරුම් ගන්න අවශ්‍ය දෙයක් තමයි රජයක් නිවසකට සංසන්දනය කරන්න බැරි බව. මේකට හේතුව වෙන්නේ අපේ ගෙදර වියදමට සල්ලි මදි වුණාට සල්ලි අච්චු ගහන්න බැරි වුණට ස්වෛරීය රාජ්‍යයකට සල්ලි මදි වුණොත් සල්ලි අච්චු ගහන්න පුළුවන් නිසයි.

හැමෝම කියන දෙයක්නෙ ඔය සල්ලි අච්චු ගැහුවහම උද්ධමනය වැඩි වෙනවා නැත්තං අපි එදිනෙදා පාවිච්චි කරන භාණ්ඩවල මිල නිකංම ඉහළ යනවා කියල. ඒත් MMT ගැන සුබවාදීව කතා කරන ඒ අය කියන්නේ රටක භාණ්ඩ නිෂ්පාදනයට රටේ තියෙන සියලුම සම්පත්, ඒ කියන්නෙ ශ්‍රමය සහ අනෙකුත් සම්පත් ඔක්කොම යෙදවිලා නැති නිසා ඒ වගේ තත්ත්වයකදි සල්ලි අච්චු ගැහුවට (Quantitative easing කියලත් කියනවා) උද්ධමනයට හේතු වෙන්නේ නැති බවයි. තවත් සමහරු තර්ක කරන්නේ උද්ධමනය වැඩි වුණොත් වියදම් කිරීමේ බලය සීමා කරන්නත් බදු ගහන්න පුළුවන් නිසා ඒ ගැන භය වෙන්න ඕන නෑ කියලා. ලංකාව වගේ රටක් මුදල් මුද්‍රණය කරන්න ගත්තොත් අපිට ගැටලු දෙකකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

වෙළෙඳපොළෙන් ඩොලර් මිලදී ගන්න, විකුණන, පැහැදිලි විනිමය අනුපාතයක් නැති රටවල් මුදල් අච්චු ගැසීමෙන් අවදානමට ලක් වෙනවා වැඩියි

වෙනිසියුලාව, සිම්බාබ්වේ කියන්නේ අධික ලෙස මුදල් මුද්‍රණය කිරීමෙන් ඉතාමත්ම නරක ප්‍රතිවිපාකවලට මුහුණ දුන්න රටවල් දෙකක්

මිනිස්සුන්ට පාවිච්චි කරන්න ප්‍රමාණවත් තරමට භාණ්ඩ හා සේවා තියෙනවද කියල හිතන්නෙ නැතුව සල්ලි අච්චු ගැහුවොත් ආර්ථිකයක් වුණත් විනාශ වෙන්න පුළුවන්

රුපියල් අච්චු ගැහුවම ඩොලර් හිඟවෙන හැටි

එකක් තමයි ආර්ථික ක්‍රියාකාරකම් හා ණය ඉහළ යන විට ගෙවුම් ශේෂයේ (Balance of Payments) ප්‍රශ්න ඇති වෙන එක. ගෙවුම් ශේෂයේ ප්‍රශ්නයක් කියන්නෙ අපිට ඩොලර්වලින් ගෙවන්න තියන ගෙවීම් කරගන්න ඩොලර් මදි වෙන එක. ඔබ බලයි ශ්‍රී ලංකා රුපියල් අච්චු ගැහුවම කොහොමද ඩොලර් හිඟවෙන්නෙ කියල. මෙන්න මෙහෙමයි වෙන්නෙ.

අපි අධික ලෙස මුදල් මුද්‍රණය කළොත් ඒ මුදල් හබායන්නෙ ආනයන පිටිපස්සෙන්. ආනයනවලට අපිට ඩොලර් හෝ වෙනත් රටවල්වල මුදලක් ඒක අවශ්‍යයි. අන්න ඒකයි සල්ලි අච්චු ගැහුවහම අපිට ඩොලර් අඩු වෙන්නෙ. ඔබට හිතෙන්න පුළුවන් ආනයන තහනම් කරල නිසා ප්‍රශ්නයක් නැහැනෙ කියල. ආනයන සම්පූර්ණයෙන් තහනම් කරන්න බෑනෙ. අපිට ඕන ඉන්ධන, අපිට ඕනේ astrazeneca Covid එන්නත වගේ බොහෝ ඖෂධ ඇතුළු දේවල් ගණනාවක්ම අපිට ආනයනය කරන්නම වෙනවා. කිසිම රටකට පූර්ණ හුදකලාව ජීවත් වෙන්න බැරි බව අපි හැමෝම දන්න දෙයක්. මහ බැංකුවේ සංඛ්‍යාලේඛනවලින් පෙනී යනවා අපේ ආනයනය වලින් 80%ක් පමණ ප්‍රාග්ධන හා අතරමැදි භාණ්ඩ වන බවත් ඒවා පරිභෝජනයට සහ අපනයනය සඳහා අවශ්‍යයි කියලා. අන්න ඒකයි ආනයන සම්පූර්ණයෙන් නවත්වන්න බැරි සහ මුදල් අච්චු ගැහුවම ඒ මුදල් ආනයන පස්සෙන් දුවන්නෙ.

මීට අමතරව සංචිත සහ විනිමය අනුපාතය පහත වැටිලා, ආයෝජකයන්ට රට ගැන තියෙන විශ්වාසය නැති වෙන්න බලපානවා. ඒ වගේ අවස්ථාවලදී මුදල් ණයට ගත්තු විදේශකයන් හා වෙනත් ආයෝජකයන් ඔවුන්ගේ මුදල් ආපසු ඉල්ලන්න පටන් ගන්නවා. මේකට තමයි ආර්ථික ව්ද්‍යාවේ කියන්නෙ Capital Flight කියලා (ප්‍රාග්ධන සුළඟේ ගසාගෙන යනවා වගේ හිතා ගන්න පුළුවන්). මේ නිසා තමයි බැඳුම්කරවල ප්‍රතිලාභ ඉතා පහළ මට්ටමකට ගිහින් අපිට තවත් බැඳුම්කර නිකුත් කරන්න තියෙන හැකියාව නැති වෙලා යන්නෙ.

ඇමරිකාවටයි ජපානෙටයි පුළුවන් නම්ඇයි අපිට බැරි...?

හැමෝම අහන ප්‍රශ්නයක් තමයි ඇමරිකා එක්සත් ජනපදයට ජපානයට බිලියන ගණනින් මුදල් මුද්‍රණය කරන්න පුළුවන් වෙලා තියෙද්දී ඇයි ලංකාවට කරන්න බැරි කියන එක. US ඩොලරය හා ජපානයේ Yen යන දෙකටම සම්පූර්ණයෙන් පාවෙන විනිමය අනුපාතයන් (Pure floating exchange rate) (විචලනය වෙන) තියෙන නිසා මේ රටවල් දෙකටම යම් දුරකට මුදල් මුද්‍රණය කරන්න හැකියාව තියෙනවා. විශේෂයෙන් ගත්තොත් එහෙම US ඩොලරය වෙනත් රටවලත් භාවිත වෙනවා. කොහොම වුණත් 1971 දී US ඩොලරය වැඩිපුර අච්චු ගැසීම නිසා කඩා වැටුණා. ඇමරිකානු ඩොලරයේ වටිනාකම තීරණය කර තිබෙන්නේ එය අමුණා තිබෙන රත්රන්වලට.

US ඩොලරය පාවෙන මුදල් (floating currency) වර්ගයක් වෙලා තිබ්බ කාලෙ ඩොලරය කඩා නොවැටීමට ආරක්ෂාවක් තිබ්බෙ නෑ. 2001 ඉඳලා ඉතා අඩු පොලී අනුපාතයකින් පසුව එක්සත් ජනපදයෙ දැවැන්ත ණය බුබුළක් හරහා ඩොලරය දුර්වල වුණා. උද්ධමනය ඇති වී තෙල් හා නිවාස මිල ඉහළ ගිහින් පසුව කඩා වැටුණා. ශ්‍රී ලංකාවේ රුපියල මේ වගේ සම්පූර්ණයෙන් පාවෙන මුදල් වර්ගයක් (pure floating currency) නොවෙයි. ලංකාව සංචිත එකතු කරන විධි කීපයක් තියෙනවා. එකක් තමයි ඩොලර් මිලදී ගැනීම සහ ඊට පස්සේ ඩොලර් විකිණීම තුළින් US ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම විවිධ මිල ගණන් යටතේ ආරක්ෂා කිරීමයි. ඒ විදියට වෙළෙඳපොළෙන් ඩොලර් මිලදී ගන්න විකුණන, පැහැදිලි විනිමය අනුපාතයක් නැති රටවල් මුදල් අච්චු ගැසීමෙන් (හෙවත් MMT වලින්) අවදානමට ලක් වෙනවා වැඩියි.

අතීතය පැවති රජයන් මුදල් මුද්‍රණය කිරීම තුළින් අපේ රටේ අයවැය හිඟය පුරවගන්න පුරුදු වෙලා හිටියා. පහුගිය වසර 70 තුළ ශ්‍රී ලංකාවට වතාවන් 16ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (International Monetary Fund) යන්න සිද්ධවෙන්න එක හේතුවක් වෙන්නේ මේ අධික ලෙස මුදල් මුද්‍රණය කිරීම නිසා ඇතිවූ ගෙවුම් ශේෂ අර්බුදයයි. (Balance of payment crisis)

ආනයනය තහනම් කළාම ඔක්කොම හරිද?

තවත් බොහෝ අය හිතන් ඉන්නෙ ආනයන තහනම් කරන මේ ප්‍රශ්නෙ විසඳන්න පුළුවන් කියල. ආනයන සීමා කිරීම රටක තියෙන භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩු කරනවා වගේම ඒවගේ මිල ඉහළ නංවනවා. ඉතින් මේ වගේ පාවෙන විනිමය අනුපාතයක් නොමැති රටවල් මුදල් මුද්‍රණය කරද්දි උද්ධමනය විතරක් නෙවෙයි අධි උද්ධමනයත් සිද්ධ වෙන්න පුළුවන්. ඕනවට වඩා සල්ලි අච්චු ගහල හොඳ පාඩමක් ඉගෙනගත්තු රටක් තමයි සිම්බාබ්වේ.

සිම්බාබ්වේ අධික ලෙස ෆියට් මුදල් ප්‍රමාණයක් නිර්මාණය කළ නිසා එමගින් වසරකට උද්ධමනය 1000% වඩා වැඩි වුණා. මුදල පසුබෑමට ලක් වෙද්දී සිම්බාබ්වේ ඩොලර් මිලියනයේ මුදල් නෝට්ටු පවා මුද්‍රණය වුණා. පස්සේ සිම්බාබ්වේ මිනිස්සු සිම්බාබ්වේ ඩොලර් වෙනුවට පසුව ඇමරිකානු ඩොලර් වෙත මාරු වුණා. එතකොට උද්ධමනය නතර වුණා. හැබැයි බොහෝ දුප්පත් මිනිස්සු කබලෙන් ළිපට වැටුණා, අසරණ වුණා. බොහෝ අය සරණාගතයන් බවට පත් වුණා. මිනිස්සුන්ට පාවිච්චි කරන්න ප්‍රමාණවත් තරමට භාණ්ඩ හා සේවා තියෙනවද කියල හිතන්නෙ නැතුව මුදල් නිර්මාණය කිරීමෙන් (සල්ලි අච්චු ගහල) ආර්ථිකයක් වුණත් විනාශ වෙන්න පුළුවන් කියන එක අපි දැන් තේරුම් ගන්න ඕනේ.

රටක ආර්ථිකය නිවසක ආර්ථිකයට සමාන කරන්න බැරි බව ඇත්ත. ඒ මොකද කියනව නං මිනිස්සු නොයෙක් මුදල් ජාතිවලින් වෙළෙඳාම් කරන නිසාත් වෙළෙඳාම කියන්නෙම තරගකාරී සහජීවනය ගෙන එන ගෝලීය ගනුදෙනුවක් නිසායි. හැබැයි මේ මුදල් මුද්‍රණය කරද්දි වෙන්න‍ ආර්ථිකයේ මූලික පරමාර්ථය වන දුප්පත්කම තුරන් කිරීම වෙනුවට විදේශ විනිමය නැත්තං මුදල් ඒකක හොය හොය ඉන්න වෙන එකයි. බටහිර රටවල්වල MMT උපදේශකයෝ කවදාවත් ආනයන පාලනය කරන්න කිව්වේ නෑ. බොහෝ දේශපාලකයන් අය ඉතා ඉහළ ණය මට්ටමක් පවත්වා ගැනීමට සහ මුදල් අච්චු ගැසීමට උදාහරණයක් විදියට ගන්නෙ ජපානය. ඒත් ඒ දේශපාලකයෝ කවදාවත් ජපානෙ ආනයන තහනම් කරාද නැද්ද කියල කියන්නෙ නෑ. එහෙම කියන්නෙ නැත්තෙ ඔවුන් මේ ඉදිරිපත් කරන මුදල් අච්චු ගැසීමේ න්‍යාය ඔවුන්ටත් ඔප්පු කරගන්න බැරි නිසයි.

ජනතාවගේ ජීවන තත්ත්වය නංවන්න

මෙතනදි අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි ඕනම ආර්ථිකයක හා ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රධාන පරමාර්ථය සෑම පුරවැසියෙකුගේම අතේ ඇති තරම් මුදල් නෝට්ටු තිබීම හෝ අපිට ණය ගෙවීම සඳහා US ඩොලර් ඉතිරිකිරීම නෙමෙයි කියන එක. හොඳින් ක්‍රියාත්මක වෙන ආර්ථිකයක මූලික පරමාර්ථය වෙන්නේ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලන එකයි දුප්පත්කම අවම කිරීමයි. ඉතින් අපිට මේ අරමුණු සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ අපේ හිඟ සම්පත් උපරිම ලෙස උපයෝගි කර ගැනීමෙන් පමණයි. ඒ නිසා එදා අපේ ගුරුතුමියගේ ප්‍රශ්නය, “අපේ අතේ මුදල් තිබුණත් අපිට පරිභෝජනය කරන්න තරම් ප්‍රමාණවත් භාණ්ඩ හා සේවා නැතිනම් මොකක්ද කරන්නේ?” කියන ගැටලුව අපි ගැඹුරින් විශ්ලේෂණය කරන්න ඕනේ.

ජීවන තත්ත්වය වැඩි දියුණු කරන එක දරිද්‍රතාවය තුරන් කරන එක හා අපේ සම්පත් ප්‍රශස්ත ලෙස භාවිත කරන එක අප ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්තිවල පුළුල් අරමුණු විය යුතුයි. මේ ගමනේදී අපිට මුහුණ දෙන්න වෙන කෙටිකාලීන ආර්ථික අභියෝගයන් මග අරින්න බැරි වුණත්, ඒ අවස්ථාවලදී අපේ දීර්ඝකාලීන ආර්ථික අරමුණු අප අමතක නොකළ යුතුයි. මුදලේ ඉතිහාසය දිහා බලද්දි අපිට පේන්නේ මුදලේ අධික සැපයුම, උද්ධමනය මුදල් අව ප්‍රමාණය සහ ගෙවුම් ශේෂ පිළිබඳ ගැටලු ඇති කරන බවයි. ඒ විදිහට දිගටම මුදල් මුද්‍රණය කළොත් සිම්බාබ්වේ මෙන් අධි උද්ධමනය අවස්ථාවකට අපිටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට ඒ උද්ධමනය සමාජයේ දුප්පත්ම කොටස්වලට අධික ලෙස බලපානවා.

වෙනිසියුලාව, සිම්බාබ්වේ කියන්නේ අධික ලෙස මුදල් මුද්‍රණය කිරීමෙන් ඉතාමත්ම නරක ප්‍රතිවිපාකවලට මුහුණ දුන්න රටවල් දෙකක්. එතැනදි ප්‍රශ්නය වුණේ මිනිසුන්ගේ අතේ මුදල් තිබ්බත් ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගන්න තරම් ප්‍රමාණවත් මුදලක් නැති තත්ත්වයක් ඇතිවීම වගේම අතේ මුදල් තිබුණට මිලදී ගැනීමට අවශ්‍ය මූලික අවශ්‍යතා ගන්නවත් ප්‍රමාණවත් තරම් භාණ්ඩ හා සේවා වෙළෙඳපොළේ නැතිවීමයි.

එහෙනම් මේකටවිසඳුම කුමක්ද?

ගෝලීය වසංගතයකදී හා ණය ගෙවාගන්න බැරුව ආර්ථිකය සම්පූර්ණයෙන් ක්‍රියා විරහිත වෙලා තියන අවස්ථාවකදි මුදල් අච්චු ගැසීම යම්තාක් දුරකට සාධාරණීයකරණය කරන්න පුළුවන්. හැබැයි මේක ස්ථිර විසඳුමක් ලෙස භාවිත කරන අපේක්ෂා කිරීමෙන් අපේ ආර්ථිකයට දිගුකාලීන හානියක් සිදුවිය හැකි‍යි.

අපේ සම්පත් උපරිම අයුරින් මෙහෙයවීම වගේම අපේ ආර්ථිකය වර්ධනය වීමට තිබෙන විවිධ බාධාවන් ඉවත් කිරීමයි අපි මුලින්ම කරන්න ඕන.

අපේ පාඩු ලබන රජයට අයිති ව්‍යාපාර (SOEs) ගණනාවක් තියනවා. ඒ පාඩුවලින් මුදල් කාන්දු වෙන එක නවත්වනවා වෙනුවට කාන්දුවෙන ප්‍රමාණයට මුදල් අච්චු ගහන්න ගත්තොත් අපි ලොකු අමාරුවක වැටෙනවා. අපේ රජයට අයිති ව්‍යාපාර (SOEs) ප්‍රතිව්‍යුහගත කරන එක වගේම රාජ්‍ය අංශයේ සම්පත් පෞද්ගලික අංශයට විවෘත කිරීම කළ යුතුයි. මුදල් සැපයීම වැඩි වන විට නිෂ්පාදන වැඩි වෙනවා කියලා අපේක්ෂා කිරීම හරි විසඳුමක් නෙවෙයි. ඒ වෙනුවට නිෂ්පාදන වේගවත් කරන්න ඉවත් කළ යුතු බාධක අප විසින් පරික්ෂා කරලා හොයාගන්න ඕනේ. සල්ලි අච්චු ගහලා හැමෝගෙම අතට මුදල් දෙනව වෙනුවට මිනුස්සුන්ගේ ජීවිතයේ ගුණාත්මකබව වැඩි කරන්නෙ කොහොමද කියල කල්පනා කරන්න ඕන. එහෙම නැති වෙලා සල්ලි අච්චු ගහල අපේ රට සංවර්ධනය කරන්න පුළුවන් කියල හිතන එක විහිළුවකටත් වඩා නොදන්නකමයි.

අරුණ පුවත්පතේ ධනනාත් ප්‍රනාන්දු විසින් පල කරන ලද ලිපියකි

ඉදිකිරීම් හීන කරන නාන කාමරේ ‘මිල සූත්‍රය’

ගෙවල් හදන්න ඕන මූලික අමුද්‍රව්‍යක් වන Floor tile Wall tile සහ නානකාමර කට්ටලවල (bath-ware) මිල ඉහළ ගිහින්. ඒ නිසා ගෙයක් හදන්න ඉන්න ඔබට වෙන බලපෑම වගේම ටයිල් එක්ක සම්බන්ධ වෙලා තිබෙන අනෙකුත් කර්මාන්තවලට මේ ප්‍රශ්නය බලපාන ආකාරය හොයා බැලීම වැදගත්.

ලංකාවෙ නිෂ්පාදනය කරන ටයිල් සහ නාන කාමර කට්ටල වගේම ආනයනය කරන නාන කාමර කට්ටලත් වෙළදපොළේ තියනවා. බොහෝ දෙනෙක් නානකාමර කට්ටල සහ ටයිල් මිලදී ගන්න යන නාවල වගේ ප්‍රදේශවල මූලිකව වශයෙන් තිබෙන්නේ ආනයනය කරන නානකාමර කට්ටල සහ ටයිල් වර්ගයි. කාලාන්තරයක් තිස්සේම ඒ කියන්නේ අවුරුදු පහළොවක විස්සකට වඩා වැඩි කාලයක ඉඳලා ලංකාවට ආනයනය කරන නානකාමර කට්ටල සහ ටයිල්වලට විශාල ආනයන බද්දක් පනවා තිබුණා. එම බදු ක්‍රමය සමහර කාලවල දී අදාළ නාන කාමර කට්ටලවල වටිනාකමින් 104% වැනි ඉතා ඉහළ අගයක් වුණා. (දැන් එම අගය 89.8% යි) එහි වක්‍රාකාර තේරුම ඔබ නාන කාමර කට්ටලයක් මිලදී ගැනීමේදී නාන කාමර කට්ටල දෙකක මිල වියදම් කිරීමට සිදුවීමයි. ඉතින් සරළවම කියනවනං විශාල ආනයන බද්දක් ගහපු ගමං ඔය නාවල, කොළඹ, තිහාරිය වගේ පැතිවල තියන නානකාමර කට්ටල සහ ටයිල්වල මිල එක පාරට වැඩි වෙනවා.

නමුත් මේ දවස්වල ඊටත් වඩා අසාමාන්‍ය විදිහට ටයිල් මිල ඉහළ ගිහින් තියෙනවා. මේකට හේතුව ටයිල් ආනයනය තහනම් කිරීම. කොවිඩ් තත්ත්වයත් එක්ක රටින් එළියට ඩොලර් යෑම අඩුකර ගැනීමට මෝටර් රථ ඇතුළුව විශාල භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය තහනම් කරලා තියෙන්නෙ. ටයිල් හා නාන කාමර කට්ටලත් ඒ ලැයිස්තුවට ඇතුළත්. ඒත් දවස් 180ක ණය සීමාවකට යටත්ව ටයිල් සහ නාන කාමර කට්ටල ආනයනය කරන්න පුළුවන් කියලා ගැසට් එකක් නිකුත් කිරීමත්, ඒ ගැසට් එක ක්‍රියාත්මක කරන්න එපා කියල ඊට පහුවදාම ආනයන අපනයන පාලකවරයා දනුම් දීමත් සමග ටයිල් කතාව කාගේත් අවධානයට ලක්වුණා.

ඊට පස්සෙ ශ්‍රී ලංකා සෙරමික් සහ වීදුරු භාණ්ඩ නිශ්පාදනය කරන්නන්ගෙ කවුන්සිලය සහ ටයිල් සහ නානකාමර කට්ටල ආනයනය කරන්නන්ගෙ සංගමය එකතු වෙලා මෙතෙක් තිබ්බ තීරු බදු තවත් වැඩි කරමු කියලා රජයට යෝජනා කළා. ඔවුන්ගේ යෝජනාව වුණේ කලින් තිබ්බ 15%ක ආනයන තීරු බද්ද 30% දක්වා වැඩි කරන්නත් සමහර ටයිල් වර්ග සහ නාන කාමර කට්ටල සඳහා ඉවත් කර තිබූ සෙස් බද්ද සහ සමහර භාණ්ඩ සදහා පනවා තිබූ 15% සහ කිලෝ එකකට පනවා තිබූ රු.40ක සෙස් බද්ද රු. 125 දක්වා වැඩි කරමු කියලා.

2015 වර්ෂයට කලින් තිබුණෙ 25%ක හෝ කිලෝ එකකට රු.75ක සෙස් බද්දක්. දැන් ඇත්තටම වෙලා තියෙන්නෙ ආනයන තීරු බද්ද කලින් තිබ්බ වගේ දෙගුණයක් වෙලා. සෙස් බද්ද කලින් තිබ්බ වගේ 3න් ගුණයක් වෙලා. එතකොට ඔබට හිතා ගන්න පුළුවන් ටයිල් සහ නාන කාමර කට්ටටලවල බදු කී ගුණයකින් ඉහළ යනවද කියල. ඔය බොහෝ බදු වදින්නෙ එක උඩ එක. ඒ කියන්නෙ සෙස් බද්ද වැඩි කරපු ගමං ඉතුරු බදු එක උඩ එක වදින නිසා ඇත්තටම භාණ්ඩයේ මිල බදු පනවපු ප්‍රමාණයට වඩා ඉතා විශාල ගුණයකින් ඉහළ යනවා.

දැන් මේකෙන් වෙන්නෙ සාමාන්‍ය මනුස්සයෙක් වැසිකිළියක් නාන කාමරයක් හදන්න ගියාම ඒක හදන්න යන වියදම බොහෝ වෙලාවට දෙගුණයක් වීම. ඇත්තටම මේ නාන කාමර කියල කියන්නෙ මිනිස්සුන්ගෙ මූලික අවශ්‍යතාවක්. මේව සුඛෝපභෝගී භාණ්ඩ නෙවෙයි. පාසල්වල ළමයින්ගෙ වැසිකිළි, පොඩි ව්‍යාපාර ස්ථානවල ඉදිකරන වැසිකිළි, කැසිකිළි පෝච්චි වගේ ඉතාම අත්‍යවශ්‍ය භාණ්ඩ තමයි මේ විදියට බදු ගහල මිල වැඩි කරමු කියල ව්‍යාපාරික ප්‍රජාව යෝජනා කරේ. මේ තීරණය නිසා වෙන බලපෑම ගැන අලුතින් ගෙවල් හදන්න ඉන්න මිනිස්සු සහ ගෙවල්, ව්‍යපාර ස්ථාන හදන අය දැනුවත් වෙනවනං, ගමේ භාෂාවෙන් කියනවනං ඒ අයව උණ ගන්නවා.

මේ තීරණය නිසා මිනිස්සුන්ගෙ නිවාස සිහිනය ඇස් පනා පිට බොඳ වෙනවා. බොහෝ වෙලාවට වෙන්නෙ නාන කාමරයක් සහ වැසිකිළියක් කියන්නෙ අත්‍යවශ්‍ය භාණ්ඩයක් නිසා මිනිස්සු දෙගුණයක් වියදම් කරල හරි ඒක හදනවා. හැබැයි ඒ වැඩිපුර යන මුදල වෙනත් වියදම් වලින් තමයි කපා හැරෙන්නෙ. උදාහරණයක් විදියට නාන කාමරේ හදන කෙනාට සල්ලි මදි වෙන නිසා ඔහු සාලය හදන වැඩ නැත්තං ගෙදර කුස්සිය හදන වැඩේ පමා කරනවා. මේක වෙන්නෙ කොළයක ගණං හදල දැන් නාන කාමරේ හදන හිංද අපි සාලෙ හදන්නෙ නැතුව ඉමු කියල ගනං හදල නෙවෙයි. මිනිස්සු සල්ලි අඩු වුණාම ගන්න තීරණවලින් වෙන බලපෑම ආර්ථිකයකදි බලපාන විදිය තමයි ඒ.

එතකොට ඒකෙන් බඩේ පහර වදින්නෙ මේසන් බාස්, වඩු බාස් වගේ මේ ආර්ථිකයට සම්බන්ධ වෙලා ඉන්න අනිත් හැමෝටමයි. මේකට ආර්ථික විද්‍යාවෙ කියන්නෙ තමං එක දෙයකට මුදල් වියදම් කරද්දි තවත් දෙයකට මුදල් වියදම් කරන්න තියන අවස්ථාව කැප කරන්න වෙනවා කියන එක. දැන් නාන කාමරයකට දෙගුණයක් වියදම් කරාම ඒ වෙනුවෙන් තවත් කෙනෙක්ගෙ ආදායම නිකංම කැප වෙලා යනවා.

අනිත් කරුණ තමයි ලංකාවෙ බොහෝ දෙනා ගෙවල් හදන්නෙ 7% - 11% පොලියට නිවාස ණය අරගෙන. ඔය ණය ගන්නෙත් අවුරුදු 10, 15, 20 වගේ දිගු කාලීනව මුළු ජීවිත කාලෙම ආදායම උකසට තියල. එතකොට ණය වෙලා කිසිම තේරුමක් නැතුව 7%කට වඩා වැඩි පොලියකට නාන කාමර දෙකක මුදල එක නාන කාමරයකට වියදම් කරාම එ්කෙන් පාරිභෝගිකයට වෙන්නෙ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ දෙයක්. මේක ශ්‍රී ලංකාවෙ නානකාමර කට්ටල සඳහා විතරක් තිබෙන ගැටලුවක් නෙවෙයි. කොන්ක්‍රීට් සඳහා ගන්නා යකඩ, ඇලුමිනියම්, සිමෙන්ති, ප්ලග්, ස්වීච්, නිවෙස් විදුලිකරණයට ගන්නා වයර් ඇතුළු හැම ඉදිකිරීම් අංශයකම තිබෙන්නෙ මෙලෙස පනවන ලද ඉතාම ඉහළ ආනයන බදු තමයි. මෙහි ප්‍රතිඵලයක් විදියට තමයි සාමාන්‍යයෙන් ලංකාවෙ නිවසක් ඉදිකිරීමට යන වියදම අපේ කලාපයේ අපත් සමග තරග කරන රටවල්වල ඉදිකිරීමක් සඳහා යන වියදමට වඩා ඉතා ඉහළ අගයක් ගන්නෙ.

ඉදිකිරීම් සඳහා අධික මිලක් වැය වීම ලංකාවෙ සංචාරක කර්මාන්තයටත් බලපානව. බොහෝ හෝටල් සහ නවාතැන් පොළවල් හදන්න විශාල වශයෙන් ටයිල්, නාන කාමර කට්ටල සහ ඉදිකිරීම උපාංග පාවිච්චි කරනවා. දැන් මේ ඉදිකිරීම් කරන්න ලෝකෙ අපිත් එක්ක තරග කරන අනෙකුත් රටවල්වලට වඩා වැඩි මුදලක් වැය වුණාම (අපේ කලාපයේ අපත් සමග තරග කරන රටවල්වල ඉදිකිරීමක් සඳහා යන වියදම මෙන් 30%ත් 70%ත් අතර ඉහළ අගයක් ගත හැකි බවයි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘතිකයන් පවසන්නේ) සංචාරකයන්ගෙන් ඔය මුදල අය කරගන්නෙ හෝටල් කාමරයක් කුලියට දෙන ගාණ වැඩි කරල. රූම් රේට් (Room rate) එක කියන්නෙ ඔන්න ඕකට. ඉතිං ලංකාවෙ හෝටල්වල රූම් රේට් එකම කාමර කාණ්ඩයේ (same room category) අපිත් එක්ක තරග කරන අනිත් රටවල් එක්ක බැලුවම සෑහෙන වැඩියි. ඒක නිසා මිල අතින් ගත්තම සංචාරකයන්ට අපිත් එක්ක තරග කරන අනිත් රටවල්වල සංචාරය කරන්න යන්නෙ අඩු මිලක්. එතනිනුත් පාඩුව එන්නෙ අපේ රටටමයි.

දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂාකරගත යුතු නැද්ද?

බොහෝ දෙනෙක් විශාල ආනයන බදු පැනවීම සාධාරණීකරණය කරනු ලබන්නේ දේශීය ව්‍යාපාරිකයන් ආරක්ෂාකර ගතයුතුයි යන තර්කය ඉදිපත් කරමින්. අපි හැමෝම දේශීය කර්මාන්ත කරුවන් රැක ගත යුතුයි යන සංකල්පය පිළිබඳව අත් දෙකම උස්සල එකඟ වෙනවා.

නමුත් දේශීය කර්මාන්තකරුවන් රැක ගන්නේ දේශීය පාරිභෝගිකයා සූරා කෑමෙන් නම් එය දේශීය ව්‍යාපාරිකයා රැක ගැනීමේ නිවැරදි නිර්වචනය වෙන්න විදියක් නෑ. බොහෝ දෙනෙක් සිතන දෙයක් තමයි " ආනයන ටයිල්වලට බදු ගැහුවට කමක් නැහැ, අපි ගන්නෙ දේශීය නිෂ්පාදනය කරන ටයිල් සහ නාන කාමර කට්ටල, ඒවායේ මිල ගණන් ඉහළ යන්නේ නෑනේ" කියල. ඒත් ඇත්තටම වෙළෙඳපොළේ සිදුවන්නේ ඔබ සිතන දේ නොවේ. ඇත්තටම සිදුවන්නේ ආනයනය කරන නාන කාමර කට්ටලවල මෙන්ම දේශීය නානකාමර කට්ටලවලත් දෙකේම මිල ඉහළය යාමයි. ආනයනය කරන භාණ්ඩවල මිල ඉහළ යන්නේ විශාල ආනයන බද්දක් පැනවූ විගසින්ම එම බද්ද නිරායාසයෙන්ම පාරිභෝගිකයාට ගෙවීමට සිදුවන නිසයි. ආනයන නාන කාමර කට්ටලවල මිල දෙගුණයකින් ඉහළ යාම නිසා සහ වෙළදපොළේ භාණ්ඩ හිග වෙනව. ඒ නිසා දේශීය ව්‍යාපාරිකයාට කිසිදු ගැටලුවකින් තොරව ඔවුන්ගේ මිල හිතූ පරිදි ඉහළ නැංවිය හැකියි. ශ්‍රී ලංකාවේ ටයිල් සහ නාන කාමර කට්ටල නිෂ්පාදනය කරන ආයතනවල ලාභා අලාභ ගිණුම් සහ කොළඹ කොටස් වෙළඳපොළ අදාල ආයතනවල කොටස්වලට තිබෙන ඉල්ලුම බලා ගත්ත නම් ඔවුන් කොතරම් ලාබ ලබනවා ද කියලා ඔබටම තක්සේරුවක් ගන්න පුළුවන්. (ඔවුන් ලාභ ඉපයීම ඉතාම හොඳ දෙයක්. පාරිභෝගිකයාට අඩු මිලට භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාවත් තිබිය යුතුයි.)

මේ ගැන තවත් පැහැදිලි කරනවනං මෙතනදි වෙන්නෙ ආනයන කරන භාණ්ඩවල මිල එක්ක තරග කරන්න දේශීය ව්‍යාපාරිකයන්ට අපහසු වීමයි.

මොකද ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය ඉතාම අකාර්යක්ෂම නිසා. දශක දෙකකට වඩා වැඩි කාලයක් ගිහිල්ලත් දේශීය නිෂ්පාදකයන්ට නිපදවන්න පුළුවන් වෙලා තියෙන්නෙ ලංකාවෙ ටයිල් සහ නාන කාමර කට්ටල අවශ්‍යතාවයෙන් 50%ත් - 60%ත් විතරයි. ඒ මේ වගේම ඉතා විශාල ආනයන බදුවලින් ආනයන පාලනය කරන පසුබිමක. මෙතනදි වෙන්නෙ ඇත්තටම දේශීය පාරිභෝගිකයට අඩු මිලට ටයිල් සහ නාන කාමර කට්ටල මිලදී ගන්න තියන අවස්ථාව අහුරල තමන්ගේ භාණ්ඩ විකිණීමයි. මුල් කාලයේදී කාර්යක්ෂමතාව ලබා ගැනීම සඳහා බදු සහන ලබාදීම තරමක් දුරට සාධාරණීකරණය කරන්න පුළුවන් වුණත් දශක දෙකකට වැඩි කාලයක් ගත වෙලා කාර්යක්ෂමතාවය වැඩි කර ගනිමින් ලෝකයේ තරගකාරීත්වයට මුහුණ දීමට තරම් සැලකිය යුතු පිය පියවරක් ඔවුන් ගත් බව පෙනෙන්නට නෑ.

ඉතිං මේකට විසඳුම මොකක්ද?

මේකට විසඳුම අපේ දේශීය නිෂ්පාදන ලෝක වෙළඳපොළේ තරග කර හැකි මට්ටමකට කාර්යක්ෂමතාව වැඩි කිරීමට දේශීය නිෂ්පාදකයන්ව තරගයට යොමු කිරීම.

ක්‍රිකට් භාෂාවෙන් කියනවනං අපිට තරගයක් දිනන්න ඕන නම් ක්‍රම දෙකක් තියනවා. එකක් අපි අනෙක් කණ්ඩායමට වඩා දක්ෂ වෙලා තරගකාරී වෙලා තරගය දිනන එක. නැත්තං ප්‍රතිවාදී කණ්ඩායම තරග කරද්දි තරග කරන්න බැරි වෙන විදියට ඒ පිලට අංචි ඇදල, සමාන තරග බිමක් නොදී දිනන එක. ඉතිං අපි හැමෝටම ඕන ලංකාව තරග කරල දිනන්න මිසක් අපිත් එක්ක තරග කරන අනිත් තරගකරුවන්ට බාල්දි පෙරළල දිනන්න නොවෙයි. ඒක අපේ ලංකවෙ අභිමානයට හානියක්. ඒ වගේම ලංකාවෙ පාරිභෝගිකයගෙ සිහින කුඩු පට්ටම් කිරීමක්. ලංකාවෙ ඉදිකිරීම් එක්ක ගැටගැහිල තියන සංචාරක කර්මාන්තය, කුඩා ව්‍යවසායකයන් වගේ හැමෝගෙම බඩට ගැහිල්ලක්. ලංකාව දිනන්න ඕන තරග කරල මිසක් ප්‍රතිවාදී පිලට කරදර කරල නොවෙයි.

අරුණ පුවත්පතේ ධනනාත් ප්‍රනාන්දු විසින් පල කරන ලද ලිපියකි

'කළු සල්ලි' කොටස් වෙළෙඳපොළේදී සුදු වුණාද?

ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ පිළිබඳ මේ දිනවල විශාල කතාබහක් ඇතිවෙලා. කාලයක් තිස්සේ එතරම් සාර්ථකව ගනුදෙනු නොවුනු කොළඹ කොටස් වෙළෙඳපොළ එකවරම ඉතා ඉහළ ගනුදෙනු ප්‍රමාණයක් පසුගිය දින කිහිපය පුරාවටම අත්පත් කරගැනීමත් සමග මේ ගැන ධනාත්මකව වගේම සෘණාත්මකවත් සමාජයේ විවිධ කතා බහ ඇති වෙනවා.

කොටස් වෙළෙඳපොළ පිළිබඳව ධනාත්මකව හිතන පිරිස ප්‍රකාශ කර​න්නෙ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සාර්ථක බව තමයි කොටස් වෙළෙඳපොළ වර්ධනයෙන් පෙන්නුම් කරන්නෙ කියල. මේ පිළිබඳව සෘණාත්මකව බලන පිරිස් සඳහන් කරන්නේ මූල්‍ය අක්‍රමිකතාවක් සිදු වෙලා කොටස් වෙළෙඳපොළ කෘතිමව උත්තේජනය කරන ධනවත් පිරිසක් අතිවිශාල ලාභ ලබා ගන්නා අතර විශාල ‘කළු සල්ලි’ ප්‍රමාණයක් නැතහොත් අයුතු ලෙස උපයාගත් මුදල් සුදු සල්ලි කිරීම, සඳහා කොටස් වෙළෙඳපොළ පාවිච්චි කරන බවයි.

ඇත්තටම මොකක්ද කොටස් වෙළෙඳපොළේ වෙන්නේ.

කොළඹ කොටස් වෙළඳපොළ කියන්නේ ශ්‍රී ලංකාවේ පොදු සමාගම් නැත්තං ලයිස්තුගත සමාගම් (Public Listed Companies) ඔවුන්ට අවශ්‍ය‍ ප්‍රාග්ධනය සොයා ගන්න මහජනතාවට අදාළ සමාගමේ අයිතියෙන් කොටසක් විකුණනවා. සරලව කිව්වොත් සමාගමක ව්‍යාපාර පුළුල් කිරීම සඳහා අවශ්‍ය මුදල් මහජනතාවගෙන් ඉල්ලා ගෙන ඔවුන්ට සමාගමේ අයිතියෙන් කොටසක් පවරලා වසර අවසානයේ දී සමාගමේ ලැබෙන ලාභයෙන් කොටසක් ඔවුන් අතර බෙදා දෙනවා. අදාළ ආයතනය නිකුත් කරලා තියෙන සම්පූර්ණ කොටස් ප්‍රමාණයෙන් එක් එක් පුද්ගලයන් මිලදී අරගෙන ආයෝජනය කරලා තිබෙන මුදල් ප්‍රමාණයට සාපේක්ෂව තිබෙන කොටස් ප්‍රමාණයට අදාළව ඒ ආයතනයේ හිමිකාරීත්වයෙන් කොටසක් අදාළ කොටස් හිමි තැනැත්තාට අයිතියි. පුද්ගලයන්ට වගේම විවිධ ආයතනවලටත් කොටස් මිලදී ගන්න පුළුවන්.

මේ විදිහට කිසියම් ආයතනයක කොටස් මිලදී ගන්න කොටස්කරුවන් වෙත අදාල සමාගමේ උපයන ලාභ වලින්, ඔවුන්ගේ කොටස්කරුවන් අතර බෙදා දීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරන ලාභවලින් ඔවුන් මිලදී ලබාගෙන තිබෙන කොටස්වල ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයක් සෑම වසරකදීම ලැබෙනවා. ලාභාංශ කියන්නෙ ඒකට (dividends). හැබැයි හැම සමාගමක්ම ලාභාංශ ගෙවන්නෙ නැහැ. ඒක සමාගමේ තීරණයක්.

ඊට අමතරව විවිධ පුද්ගලයන් මිලදී ලබාගෙන තිබෙන කොටස් තවත් පුද්ගලයන්ට විකිණීමේ හැකියාවත් ලැබෙනවා. සරලව ගත්තොත් කොටසක් මිලදී ගත්තට පස්සේ ඒක හුවමාරු කරන්න පුළුවන් මුදල් ඒකකයක් විදියටත්, ඒ වගේම අදාළ කොටස් මිලදී ගෙන තිබෙන සමාගම උපයන ලාභ වලින් කොටසක් ලබා ගැනීමේ අවස්ථාවක් (ලාභාංශ ගෙවන සමාගමක් නම්) කියන දෙකම ලැබෙන නිසා බොහෝ ආයෝජකයන් කොටස් මිලදී ගැනීමට පෙළඹෙනවා. ඒ වගේම ඔවුන්ගේ වත්කම් සහ මුදල් සාර්ථක සමාගම්වල කොටස්වල ආයෝජනය කිරීම දිගුකාලීනව වාසිදායක බවට ලොව පුරා කොටස් වෙළෙඳපොළවල්වල දත්ත තහවුරු කර තිබෙනවා.

අන්න ඒ විදිහට ලංකාව තුළ ලියාපදිංචි කර තිබෙන පොදු සමාගම්වල (Public listed companies) විවිධ ආයතන වලින්, විවිධ පුද්ගලයන් ගෙන් ලබා ගෙන තිබෙන කොටස් නැවත වරක් විකුණන ස්ථානයට තමයි කොළඹ කොටස් වෙළඳපොළ කියලා කියන්නේ. මෙතනදී කොටස්වල මිල තීරණය වෙන්නේ සෑම කොටස් වෙළෙඳපොළකම එම තීරණය වන විදිහටම සාමාන්‍ය ආර්ථික විද්‍යාවේ කියවෙන ඉල්ලුමට හා සැපයුමට අනුවයි.

කිසියම් ආයතනයක් “වැඩිපුර ලාභ ලබා ගනීවි” කියලා අනුමාන කෙරෙනවා නම් වැඩිපුර ලාභාංශ ලබා ගන්න පුළුවන් නිසා අදාළ සමාගම්වල කොටස්වල මිල ඉහළ යනවා. ඒව වගේම කිසියම් සමාගමක් ලාභය අඩු වෙනවා කියලා හැඟවෙන තොරතුරු වෙළෙඳපොළට ලැබෙනවා නම් බොහෝ දෙනෙක් ඒ සමාගම්වල කොටස් විකුණන්න උත්සාහ කරන නිසා එම සමාගම්වල කොටස්වල මිල ඉක්මනින් පහළට වැටෙනවා. ඒ වගේම මේ කොටස් මිලදී ගැනීම සහ විකිණීම සිදුවෙන්නේ ඉලෙක්ට්‍රොනික පද්ධතියක් භාවිතයෙන්. එමගින් ඉතා ඉක්මනින් සහ පහසුවෙන් ගනුදෙනු කිරීමට සහ වෙළෙඳපොළේ තිබෙන දත්ත සහ තොරතුරු ලබා ගැනීමේ අවස්ථාව ලැබෙනවා.

fgsdtwSrfwe.png

කොළඹ කොටස් වෙළෙඳපොළ කොතරම් සාර්ථකව ක්‍රියාත්මක වෙනවද කියලා මූලික වශයෙන් බලන්නෙ සියලු කොටස් මිල දර්ශක අගය (All Share Price Index - ASPI) කියන පරිමාණය තුලින්. මේ පරිමාණයේ අගයන් ඉහළ පහළ යාම් තීරණය වෙන්නේ එක දිනයක් තුළ දී වෙළෙඳපොළේ තිබූ සියලුම කොටස් වල මිල ගණන් ඉහළ පහල යාම මත සහ කොටස් වෙළෙඳ පොළේ ලයිස්තුගත සමාගම් වල නිකුත් කර ඇති කොටස්වල වටිනාකම අනුව අදාළ සමාගමේවල තක්සේරු මුදලට (Market Capitalization) සාපේක්ෂවයි.

ඒ අනුව දළ වශයෙන් වසරකට කලින් සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 6000 ට ආසන්නව පැවති කොළඹ කොටස් වෙළෙඳපොළ 2021 පසුගිය ජනවාරි 27 වන දා සියලු කොටස් මිල දර්ශකය ඒකක 8800 ඉක්මවමින් ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ කොටස් වෙළෙඳපොළ වාර්තා කළ ඉහළම අගය වාර්තා කරමින් විශාල ප්‍රගතියක් පෙන්නුම් කරනු ලැබුවා. ඒ අනුව ලෝකයේ වේගෙන්ම වර්ධනය වන කොටස් වෙළෙඳපොළවල් අතරට ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ එකතු වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ මෙතරම් සාර්ථක ලෙස ක්‍රියාත්මක වීමට හේතු මොනවාද යන්න හැම දෙනාටම ප්‍රහේලිකාවක් වුණා. ඒ සඳහා හේතු කරණා කිහිපයක් උපකල්පනය කළ හැකියි.

1. පවතින ආර්ථික තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාත ඉතා විශාල ලෙස අඩු කරනු ලැබ තිබෙනවා. ඒ අනුව ස්ථාවර තැන්පතු ගිණුම් වල සහ ඉතිරි කිරීමේ ගිණුම්වල පොලී අනුපාත ඉතා අඩු අගයක පැවතීම නිසා එම ගිණුම්වල මුදල් ඉතිරි කිරීමෙන් පොලියෙන් ආදායමක් උපයා ගැනීම ඉතුරුම්කරුවන්ට තවදුරටත් වාසිදායක තත්ත්වයක් උදා කරන්නේ නැහැ. (ශ්‍රී ලංකාවේ බොහෝ විශ්‍රාමිකයන් ඔවුන්ගේ සේවක අර්ථ අර්ථසාධක අරමුදල් ඇතුළු විවිධ අරමුදල් ස්ථාවර තැන්පතුවල ආයෝජනය කරමින් පොලියෙන් ජීවත් වීමට නැඹුරුව සිටිනවා) ඒ නිසා බොහෝ ඉතුරුම්කරුවන් තමන්ගේ මුදල් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට තිබෙන අවස්ථාව වැඩියි.

2. ඒ වගේම පසුගිය මාස කිහිපය තුළ ඉතා විශාල මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය තුළ අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාල මුදල් ප්‍රමාණයක් සැරිසරනු ලබනවා. Covid-19 සඳහා සහන ලබා දීමට සහ රජයේ වියදම් පියවා ගැනීමට මෙලෙස මුදල් අච්චු ගසනු ලැබුවා. එම මුදල් ප්‍රමාණයෙන් යම් කොටසක් කොටස් වෙළෙඳපොළට ඒම නිසා ඉහළ යාමට හේතු විය හැකියි.

3. එමෙන්ම වාහන ආනයනය නතර කර තිබීම නිසා සහ එවැනිම සමහර ක්ෂේත්‍ර වල ආනයන සම්පූර්ණයෙන් නතර කර තිබීමෙන් ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර සම්පූර්ණයෙන් බිඳ වැටීමෙන් ඔවුන් තමන් සතුව තිබූ ප්‍රාග්ධනය කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීම කොටස් වෙළෙඳපොළ ඉතා සක්‍රීය වීමට තවත් හේතුවක්.

4. එලෙසින්ම පවතින රජය කොටස් වෙළෙඳපොළ අධීක්ෂණය කිරීම සඳහා සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ සඳහා වෙනම අමාත්‍යවරයෙක් පත් කිරීම මෙන්ම කොටස් වෙළඳපොළේ සමාගම් ලයිස්තුගත කිරීම සඳහා පිරිනමන සැපයීම කොටස් වෙළෙඳපොළ සක්‍රීයවීමට තවත් එක් හේතුවක් ලෙස දැක්විය හැකියි

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ යනු ශ්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධිමත්භාවයේ සර්ව සම්පූර්ණ දර්ශකයක් නොවන බව අපි හැමෝම මතක තබා ගත යුතුයි. ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ හැසිරෙන ආකාරය අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකයත් ඒ ආකාරයෙන්ම හැසිරේවි යැයි අනුමාන කිරීම එතරම් නුවණට හුරු නැහැ. විශේෂයෙන්ම කොටස් වෙළෙඳ පොළේ ඇති ප්‍රධානතම කාරණය වන්නේ විදේශීය ආයෝජකයන් ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ හැරයාමයි. ඒ අනුව 2020 වර්ෂයේ දී සමස්තයක් ලෙස විදේශ ආයෝජකයන් ඇමරිකානු ඩොලර් මිලියන 273 කොටස් විකිණීමෙන් කොටස් වෙළෙඳපොළන් ඉවත් වුණා. එමෙන්ම ජනවාරි මාසය තුළදී පමණක් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 25කට වඩා වැඩි මුදලක් විදේශ ආයෝජකයන් කොටස් වෙළෙඳපොළෙන් ඉවත් කරගෙගෙන තිබෙනවා. මෙලෙස කොටස් වෙළෙඳපොළෙන් විදේශ ආයෝජකයන් ඉවත් වීමට ප්‍රධානතම හේතුවක් වන්නේ ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් අනුව ක්‍රමයෙන් පහළ තත්ත්වයෙකට ඇද වැටීමයි. Fitch, Moody’s සහ S&P යන ලොව ප්‍රධාන පෙළේ ආයතන තුනම ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහල හෙළනු ලැබුවා.

සමහර විදේශ ආයෝජකයන්ට ලෝකයේ විවිධ කොටස් වෙළෙඳ පොළවල් වල ආයෝජනය කළ හැක්කේ පිළිගත් ණය ශ්‍රේණිගත කිරීම්වල ඉහළ මට්ටම්වල තිබෙන රටවල පමණි. ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහළ වැටෙද්දී නිරායාසයෙන්ම ඔවුන්ගේ මුදල් ශ්‍රී ලංකාවෙන් ඉවත් කරගැනීමට ඔවුන්ට සිදු‍වෙනවා.

මේ අතරවාරයේදී පසුගිය පෙබරවාරි 2 වන දින කොටස් වෙළඳපොළ විශාල ලෙස පහළ වැටීම බොහෝ දෙනකුගේ විමතියට හේතු වුණා. මින් පෙර සමහර අවස්ථාවල වාර්තා වී ඇති පරිදි මෙවරද වෙළෙඳ උත්තේජනය කිරීමෙන් පසුව නැවත එය කඩා වැටුණු සමහරුන්ගේ මතය වී තිබෙනවා. ශ්‍රී ලංකා සුරැකුම් කොමිෂන් සභාව සමහර ලයිස්තුගත සමාගම්වල අමතර දත්ත ඉල්ලා සිටිමින් කොළඹ කොටස් වෙළෙඳපොළ තැරැව්කරුවන් වෙත ලැබූ ලිපියක් නිසා එදින කොටස් වෙළෙඳපොළ එක්වරම පහල වැටුනු බවටද මත පළ වෙනවා.

ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ ඉලෙක්ට්‍රොනික් පද්ධතිය සකසා තිබෙන්නේ යම් හෙයකින් වෙළෙඳපොළේ S&P Sl20 දර්ශකය 5% කට වඩා පහළ වැටුණු විට ස්වයංක්‍රීය කොටස් වෙළෙඳපොළ ගනුදෙනු නතර වන ආකාරයටයි. ඉන් අනතුරුව නැවතත් කොටස් වෙළෙඳපොළ දර්ශකය තවත් 2.5 කින් පහළ වැටුණහොත් තවත් මිනිත්තු 30ක් සඳහා ඉලෙක්ට්‍රොනික පද්ධතිය ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත වනවා. ඒ අනුව පෙබරවාරි 2 වන දින ඉලෙක්ට්‍රොනික පද්ධතිය ස්වයංක්‍රීයව දෙවරක් බිඳ වැටුණා. කෙසේ වෙතත් පෙබරවාරි 3 වන දින වෙළෙඳපොළ පසුගිය දිනට සාපේක්ෂව යම්කිසි ප්‍රගතියක් ලබා ගත්තත් කලින් පැවති උපරිම තත්ත්වයට ළඟා ව තිබුණේ නැහැ.

බොහෝ දෙනෙක්ට තියෙන ගැටලුව වෙන්නෙ මෙය වෙළෙඳපොළ විකෘති තත්ත්වයට පත් කිරීමක් ද සහ මේ පසුපස යම්කිසි අයථා කටයුත්තක් සිදු වේද යන්නයි. ඒ පිළිබඳව නිගමනයකට පැමිණීමට දත්ත කිසිවක් නැහැ. කෙසේ වෙතත් ඕනෑම වෙළෙඳපොළක් සමග විචලනය වීම කිසිම වෙළෙඳපොළක් සෑම දිනකම එකම ආකාරයෙන් ගනුදෙනු සිදුවීමට අවස්ථාවක් නැහැ. කෙසේ වෙතත් සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව මනා සාර්ථක චිත්‍රයක් මවා ගැනීම සඳහා ඉදිරි මාස කිහිපය තුළදී වෙළෙඳපොළ හැසිරෙන ආකාරය අධ්‍යයනය කිරීමට සිදුවනවා.

අරුණ පුවත්පතේ ධනනාත් ප්‍රනාන්දු විසින් පල කරන ලද ලිපියකි

නැගෙනහිර පර්‍යන්තයට ආයෝජන තියන Business Model එකක් අවශ්‍ය ඇයි

මම සාමාන්‍යයෙන් මගේ දත් බුරුසුව (tooth brush) මිලදී ගන්නේ අපේ ගෙදර ළඟ තියන සිල්ලර කඩේකින්. මම පුරුදු වෙලා හිටියේ එක brand එකක්( විශේෂිත වෙළඳ නාමයක්) තියන දත් බුරුසුවක් මිලදී ගන්න. හැබැයි කඩේ මුදලාලි මට හැමදාම වෙනත් වෙළඳ නාමයක් තියෙන දත් බුරුසු ජාතියක් මිලදී ගන්න කියල කතා ගොඩාක් කියනවා නැත්තං ඒත්තූ ගන්නනවා. මුදලාලි මට ඒ දත් බුරුසු ජාතිය හරි ලස්සන විදිහට market කළා. ඒ හින්දම වෙන්නැති  මට අදටත් එදා මුදලාලි market කරපු (නිර්දේශ කරපු)  දත් බුරුසු වර්ගය අද වගේ මතක. මෙන්න මෙහෙමයි මුදලාලි Marketing වැඩේ පටං ගන්නෙ.

“සර් දැන් මාකට් එකේ අලුත් බ්‍රෑන්ඩ් එකත් තියෙනවා.ඒක තමයි කලෙකිං ආපු හොදම බ්‍රෑන්ඩ් එක. මේකෙ සර් කෙදි වල ඝනකම වැඩී, පහසුවෙන් අල්ලන්න පුළුවන්. මේකෙ සර් හැඩ්ල් එකේ නැමි 3 ක් තියනවා. ඒක නිසා පහල තියෙන යටි හක්කෙ තියන දත් වුනත් ලේසියෙන් මැද ගන්න පුළුවන්.” විදුරුමස් වලට තියන බලපෑම, බුරුසුවේ ආකෘතිය, මුඛ සෞඛ්‍ය ආරක්ෂාවට හා දත් කුහර සමඟ සටන් කරන්න මේ දත් බුරුසුව උදව් වෙන්නෙ කොහොමද කියලා පැහැදිලි කරේ හරියට දත් දොස්තර කෙනෙක් පැහැදිලි කරනව වගේ. සිල්ලර කඩේ මුදලාලි ඒ දත් බුරුසුව market කරපු  විදිහට මොහොතකට මගේ සෙළවෙන මනසට හිතුනා “මේ නම් මුදලාලි කෙනෙක් වෙන්න බැහැ පාට් ටයිම් දත් දොස්තර කෙනෙක්” කියල.

පස්සෙ ඒත් මං කල්පනා කරා මුදලාලි කොහොමද දත් බුරුසු ගැන දත් දොස්තර වගේ දන්නෙ කියල. ඒක තේරුණේ පස්සේ කාලෙකදි මට වෙළඳපොළ පර්යේෂණ (Market Research Agency)  ආයතනයක රැකියාව කරන්න ලැබුනට පස්සෙ.  එතනදී දත් බුරුසු ගැන අධ්‍යයනයක් කරන්න මට සිද්ධ වුණා. දත් බුරුසු හදන ආයතන වලින් මුදලාලිලට දෙන commision  එක මේකට මම විශ්ලේෂණය කළා . සිල්ලර කඩ මුදලාලිට එක දත් බුරුසුවකින් කොච්චර profit margin එකක් (ලාභයක්)  හම්බුවෙනවා ද කියලා එදා මම හොයාගත්තා. එදා තමයි මට තේරුණේ මුදලාලි මට මාකට් කරපු බුරුසුවට අනිත් දත් බුරුසු brand  වලට වඩා වැඩි ප්‍රමාණයක profit margin එකක් මුදලාලිට ලැබෙන බව. තවත් සරළව කියනවනං මුදලාලි මට විකුණන brand එක විකුණුවම මුදලාලිට වෙළදපොලේ තියන අනිත් බුරුසු විකුණනවට වඩා වැඩි commision එකක්  (ලාභයක්) හම්බ වෙනවා. ඉතිං නිකංම මුදලාලි ඒ brand එකේ දත් බුරුසු ටික ඒ දත් බුරුසු හදන කොම්පැනියට වඩා හොදට විකුණනවා. දත් දොස්තර කෙනෙක් පැහැදිලි කරනවට වඩා හොදට පැහැදිලි කරනවා. මේක තමයි Business Model එක.  

මෙතැනදී ව්‍යාපාර ආකෘතිය  නැත්තං  Business Model එක සැලසුම් කරලා තියෙන්නේ හොඳ දිරිගැන්වීමක් (Incentive) ලබා දීම තුලින් ගැනුම්කරුවට/පාරිභෝගිකයාට බලපෑම් කරන්න. ව්‍යාපාරයක, ව්‍යාපාර ආකෘතිය තේරුම් ගන්න එක සහ Business model එක  හරි ක්‍රමයට හදා ගන්න එක තරඟකාරී කර්මාන්තයක තියෙන ඕනම ව්‍යාපාරයක සාර්ථකත්වය තීරණය කරනවා.

නැගෙනහිර බහාලුම් පර්යන්තය (East Container Terminal) පිළිබඳ ශ්‍රී ලංකාවේ ඇති විවාදය එන්නෙ මේ වගේ කතාබහක් මැද්දෙ. මොකක්ද නැව් ව්‍යාපාර වල තියන  Business Model එක. ඒක තේරුම් ගන්නෙ නැතුව අපි මොනව කරත් වැඩක් නැහැ.

හොද Business Model එකක්  හදාගෙන  (ව්‍යාපාර ආකෘති නිර්මාණය කරගෙන) ඉස්සරහට ගිය ලොකු ඉතිහාසයක් ශ්‍රී ලංකාවට නැහැ. නැව් ව්‍යාපාර කියන්නේ ජාලකරණ ව්‍යාපාරයක්  (networking business). සරළව කියනවනං ලෝකෙත් එක්කම සම්බන්ධ ව්‍යාපාරයක්. මේ ව්‍යාපාරයේ අපනයන කරුවන්, නැව් අයිති කරුවන්, ඔවුන්ගෙ සංදාන, වරායවල්, වරාය වල පර්‍යන්ත මෙහෙයවන ආයතන වගේ ව්‍යාපාර සමූහයක් ඉන්නවා. ඒ වගේම මේක මහා සංකීර්ණ ක්‍රියා පටිපාටියක්.

Business Model එක මත, ඔවුන්ට ලැබෙන සේවාවන් මත සහ discount ( වට්ටම්- ඩිස්කවුන්ට්) මත වගේම භූ දේශපාලන (Geo politics) කාරණා මේ ව්‍යාපාරයට බලපානව. ඒ වගේම ඉතාම තරගකාරී ව්‍යාපරයක් මේක. ලාභ ප්‍රතිශත (Profit margins) අඩුයි. ඒත් business volume එක නැත්තං එහෙට මෙහෙට හුවමාරු වෙන ගණුදෙනු ප්‍රාමාණය ඉතාම වැඩියි.

Business Model එක මත සහ දිරිගැන්වීමේ ව්‍යුහය (incentive structure) මත පදනම්ව විවිධ මට්ටම්වල ව්‍යාපාර, වරායට ගේන්න පුළුවන් පාර්ශවකරුවන් හා  තීරණ ගන්න අය බොහොමයක් ඉන්නවා.  අපේ වරායේ පිහිටීම අපේ රටට ලොකු වාසියක් වුනත් ඒ පිහිටීම විතරක් අපිට අවශ්‍ය ප්‍රතිලාභ ගේන්නේ නැහැ. මේක හොදට දුවන්න පුලුවන් Business model එකක් අපි හදා ගන්න ඕන. අන්න ඒ බිස්නස් මොඩල් එකට තමයි නැව් සමාගම් සහ තවත් ආයෝජකයන් හවුල් කර ගැනීම වැදගත්. මොකද ඒගොල්ලොන්ට පුලුවන් වරායට Business ගේන්න.

කොළඹ වරාය කියන්නේ ප්‍රති නැව්ගත කිරීම් (transhipment business) සඳහා කේන්ද්‍රස්ථානයක්. කොළඹ Shippers Academy හි ප්‍රධාන විධායක නිලධාරී තුමන් වන රොහාන් මාසකෝරාළ මහතා කියන විදියට, ප්‍රති නැව්ගත ව්‍යාපාර (transhipment) කියන්නේ ඉතා සංවේදී ව්‍යාපාරයක්. ඒකට හේතුව වෙන්නේ හරි ව්‍යාපාර හවුල්කරුවන් ආකර්ෂණය කරගන්න බැරිවුනොත්, ඕනම ව්‍යාපාරයකට ඒ ව්‍යාපාරය දියුණු වෙනවත් එක්කම පහසුවෙන් ප්‍රති නැව්ගත කිරීම වෙන වරායකට මාරු කරන්න පුලුවන්.  ඔහු උදාහරණයක් විදිහට කිව්වේ, සිංගප්පූරුව ප්‍රධාන හවුල් ව්‍යාපාරයකින්  (shipping alliance / Joint venture)  එක ප්‍රධාන පෙලේ සමාගමක් ඉවත් කරාට පස්සෙ මාස කිහිපයකින් සිංගප්පූරුවට එන ප්‍රති නැව්ගත කිරීම් (transhipment business) ප්‍රාමණය එක පාරට අඩු වෙලා මැලේසියවෙ වරායට බිස්නස් ඔක්කොම යන්න ගත්තා. ආයෙත් සිංගප්පූරුව අර කලිං හිටපු සමාගමට කතා කරල නැවත වරක් හවුල් ව්‍යාපරෙට එකතුකර ගත්තා. එහෙම එකතු කර ගත්තෙ එක ප්‍රතිනැව්ගත කිරීමක් වෙනත් වරායකට යනවත් එක්ක ඒකට සම්බන්ධ වෙලා තියෙන තවත් ව්‍යාපාර ගොඩක් සහ ගණුදෙනු ගැලවිලා යනවා මොකද මේක ජාලගත (Network Business model) බිස්නස් මොඩල් එකක් නිසා.

මාසකෝරාළ මහතා කියන විදිහට, ආර්ථික විද්‍යාවේ කියවෙන බාහිර නැඹුරුවක් තියෙන ප්‍රවේශයක් (outward- oriented approach) ගන්න හරි දැනුමක් හා කැමැත්තක් නොමැති කම නිසා ශ්‍රී ලංකාවේ තියන වරායන් වලින් ගන්න පුළුවන් ප්‍රතිලාභ ලබාගන්න අද අපිට බැරි වෙලා තියෙනවා.  සරළව කියනවනං වරායවල් සැලසුම් කරන්නෙ ලෝකෙ බිස්නස් වෙන විදිය සහ අනාගතය දිහා බලල මිසක් අපිට ඕන විදියට ලෝකෙ තියන නැව් ව්‍යාපාර වලට හැඩ ගැහෙන්න කියල නෙවෙයි. ලෝකෙ තියෙන වරායන් හා පර්යන්ත වලින් 80% ම වගේ කළමනාකරණය කරන්නේ පුද්ගලික-රාජ්‍ය හවුල්කාරීත්වයන් (public private partnership). 20% විතර පාලනය කරන්නේ රජයන් විසින්. ඉන්දියවේ තිබෙන ප්‍රධාන වරායන් 13න් 11ක්ම රජය සහ පුද්ගලික අංශය එකතු වෙලා කරන්නෙ. එක වරායක් සම්පූර්ණයෙන්ම පුද්ගලික අංශය කරන්නෙ. දැන් කොළඹ වරාය ගැන කතා කළොත්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය (Sri Lanka Ports Authority) හරහා රජයට සියලුම පර්යන්ත වල කොටස් තියෙනවා. පුදගලික අංශයත් එක්ක කරන හැම පර්‍යන්තයකම කොටස් රජයට තියනවා. ඒ කියන්නෙ රජය වෙළදපොළ කළමණාකරනය කරනව වගේම වෙළදපොලේ තරග කරනවා. රජය වෙළදපොලේ නියාමකයාගේ(Regulator) කාර්යයත් ඉටු කරනවා.  ඒවගේම නියාමනය කරන ගමන් ඇවිල්ල බිස්න්සුත් කරනවා. ඒක හරියට ක්‍රිකට් මැච් එකක ප්‍රධාන විනිසුරු විදියට ඉන්න ගමන් එක පාරටම ඇවිල්ල බැට් කරනවා වගේ. ඒකෙන් වෙන්නෙ වැඩ දෙකම හරියට කර ගන්න බැරි වෙන එකයි. මේක රජයක් වරායන් පාලනය කරද්දි මතක තියා ගන්න ඕන මූලිකම කාරණයක්. ලෝකෙ සාර්ථක වරායන් මෙහෙයවන රටවල් වල වරාය කළමනාකරනය සහ නියාමනය කරන්න වෙනම ආයතනයක් පිහිටුවලා තියනව. තරග කරන ව්‍යාපාර වෙනම තියනවා. ඒක නිසා තරග කරන ව්‍යාපාර වලට පහසුවෙන් තරග කරන්නත් නියාමනය කරන ආයතනයට පහසුවෙන් නියාමනය කරන්නත් පුලුවන්. අපේ වරාය Business Model එකේ තියන එක ගැටලුවක් තමයි මේක.   

වරාය Business Model එකේ දෙවැනි කාරණය තමයි සාමාන්‍යයෙන්, භාවිතා කරන්න ඕනේ මොන වරායද, මොන පර්යන්තය ද කියන එක තීරණය කරන්නේ නැව් හිමිකරුවන්. ඒ තීරණය ගන්නේ වරාය තියෙන ස්ථානයට අමතරව වරායේ හෝ පර්යන්තයේ කාර්යක්ෂමතාවය, ව්‍යාපාර අවශ්‍යතාවය හා මොවුන්ගේ ජාලයේ ඇති පර්යන්ත සලකා බලලා. නැව් කර්මාන්තය කියන්නේ  පිරිවැය මත තරගකාරීත්වයක් (cost-competitive, volume based industry) තියෙන පරිමාව මත ලාභ පදනම් වෙන කර්මාන්තයක්.

ඒ වගේම මේ කර්මාන්තයේ දී මෙහෙයුම ආරම්භ කරන්න කලින් සැලකිය යුතු ආයෝජනයක් කරන්න ඕනේ (High investment). ආයෝජනය වැඩි වෙන තරමට අවදානම හා වගකීම වැඩි වෙනවා. නිතර වෙනස් වන ව්‍යාපාරික පරිසරයක ඇති විය හැකි සුළු බාධාවක් වුණත් සැලකිය යුතු ප්‍රමාණයක අලාභයක් ඇති කරලා කර්මාන්තයේ තරගකාරී වාසි අහිමි කරන්න හේතු වෙන්න පුළුවන්. මේක මේ ව්‍යාපාරයේ ස්වභාවය. අන්න ඒ අවදානම අඩු කරගන්න සහ ආයෝජනය බෙදා ගන්න කරන එක විදියක් තමයි හවුල්/ඒකාබද්ධ ව්‍යාපාර වලට යන එක.

ඒකාබද්ධ ව්‍යාපාර (Joint ventures) වලට පිවිසෙන එකේ වැදගත්කම ගැන කතා කරද්දි තියෙන හොඳම උදාහරණය තමයි සිංගප්පූරු වරාය.

වරායක් සහ එහි පර්යන්ත කළමනාකරණය කරද්දි නිවැරදි ව්‍යාපාර ආකෘතිය (Business Model) හඳුනාගන්න එක ඉතා වැදගත් කරුණක්. මේ ව්‍යාපාර ක්‍රියාත්මක වෙන්නේ, ඒකාබද්ධ ව්‍යාපාර තුළින්  පාර්ශවකරුවන් සමග සම්බන්ධතා ඇති කරගෙන හැකිතාක් ව්‍යාපාර ගණුදෙනු (Business volumes) ආකර්ෂණය කර ගන්න අතරතුර ඵලදායිතාව හා කාර්යක්ෂමතාව උපරිම විදියට පවත්වාගෙන යන එකෙන්. මේ වගේ ඒකාබද්ධ ව්‍යාපාරයකදී, හොද ආයෝජනයක් විතරක් නෙමෙයි, දැනුම හා හොඳ කළමනාකරණයක් තිබීමත් සැබෑ ප්‍රතිලාභ ළඟා කර දෙන්න හේතුවක් වෙනවා.

ඒ වගේ ප්‍රතිලාභ ලැබෙන ඒකාබද්ධ ව්‍යාපාර ක්‍රියාත්මක වෙනවා නම් රටේ වෙනත් අංශ වලට පවා ආර්ථික ප්‍රතිලාභ ළගා කරගන්න හැකියාව තියෙනවා. රටක් විදියට අපි මෙතනදි බලන්න ඕනේ පුළුල්  ආර්ථිකය දිහා මිසක් තනි කර්මාන්තයක් ගැන විතරක් නෙමෙයි. ඒකට හේතුව වෙන්නේ, හැම කර්මාන්තයක්ම අන්තිමට නිෂ්පාදනයේ ප්‍රධාන සාධක වන භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය හා ව්‍යවසායකත්වය හා සම්බන්ධ වෙලා තිබීමයි.

අනෙක් අතට බලද්දි , අවුරුදු ගාණක් පුරාවට හිටපු රජයන් විවිධ සහයෝගීතා ගිවිසුම් සහ ද්වී පාර්ශ්වික ගිවිසුම් වලට අත්සන් කරල(Memorandums of Corporation), මෙහෙයුම් කරුවන් සඳහා ලංසු කැඳවලා, කීප වතාවක් ඒවා අවලංගු කරලා මේ ECT ව්‍යාපෘතිය ඉතා සංකීර්ණ එකක් කරලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට ක්‍රියාවලිය වසර ගානක් ප්‍රමාද වෙලා, ඒ දීර්ඝ ප්‍රමාදයන් හින්දා අපේ කීර්තිනාමයට දැඩි පාඩුවක් ඇතිවෙලා තියෙනවා වගේම ආයෝජකයින්ගේ විශ්වාසයට (investor confidence) ඉතා ලොකු බලපෑමක් ඇති කරලා තියනවා.ඒ වගේම ප්‍රමාදය නිසා විශාල මූළ්‍ය පාඩුවකුත් වෙලා තියනවා.

මේ සටහන්කරු මහ මැතිවරණයට කලින් මේ තීරුවේ කතා කරා වගේ ඒ කාලෙ හිටපු අන්තර්වාර/අතුරු රජයට (interim government) හා ජනාධිපතිවරයාට විනිවිදභාවය, තරගකාරී ව්‍යාපාරික  ආකෘතියත් තිබීමේ වැදගත්කම පිළිබිඹු කරන්න මේක අවස්ථාවක් කරගන්න හැකියාව තිබ්බා. ඒ ලිපිය මෙතනින් කියවන්න පුලුවන්.  එම ලිපියෙන් යෝජනා කල විදියට තරඟකාරී ආකෘතියක් සමග ප්‍රධාන නැව් සන්ධානවල හවුල්කරුවන් (shipping alliances) හදුනගෙන  ECT හරහා ව්‍යාපාර තවතවත් ජාලගත කරලා මේ වෙද්දි සැලකිය යුතු ප්‍රතිලාභ අත්කර ගන්නත් හැකියාව  තිබුණා.

කඩේ මුදලාලි හා දත් බුරුසු නිශ්පාදකයා අතර තිබුන ව්‍යාපාර ආකෘතියට සමාන සම්බන්ධතා තිබෙන දේශීය ව්‍යාපාර සහ අනෙකුත් පාර්ශවකරුවන්ට වාසි ලබාගත හැකි ජයග්‍රාහි ව්‍යාපාර ආකෘතියක් නිර්මාණය කරන්න අපට හැකියාව තිබුණා. භූ දේශපාලනික කෝණයකින් බලද්දි, ලංසු තැබීමේ ක්‍රියාවලිය විනිවිද භාවයෙන් යුතු, තරගකාරී, පැහැදිලි මාර්ගෝපදේශ සහිතව සිදු වුනා නම් එය සම්මත ගෝලීය මූලධර්මයක් වන නිසාම බාහිර බලපෑම් සම්පූර්ණයෙන්ම වළක්වා ගන්න හැකියාව තිබුණා.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය(Sri Lanka Ports Authority)  ECT සඳහා පූර්ණ වශයෙන් ආයෝජනය කරන්න කැමති නං, ප්‍රශ්නය වෙන්නේ මුලින් ආයෝජනය නොකර වසර ගණනාවක් අපි නාස්ති කළේ ඇයි යන්නයි. අපි ඒ කාලය නාස්ති කළේ ඇයි, ලාභ ඉපැයීම සඳහා අපට මග හැරුනු අවස්ථාවට වගකිව යුත්තේ කවුරුන් ද කියන ප්‍රශ්න දැන් සැළකිල්ලට ගන්න වෙනවා. ඒ නිසා අවදානම් හිමිකාරීත්වය (ownership of risk) යන මූලික ව්‍යාපාර මූලධර්මය දුර දක්නා නුවණින් යුතු ව සලකා බැලිය යුතුයි. පුද්ගලික ආයෝජකයින් ඔවුන්ගේ මුදල් අවදානමක් ඇතුව  ව්‍යාපාරයක් තුළට ගෙන එන විට, කාර්යක්ෂමතාවය සහ ඵලදායිතාවය ගැන ඔවුන්ට ද වගකීමක් තිබෙනවා.ඒත්  රජය විසින් බදු ගෙවන්නන්ගේ මුදල් ආයෝජනය කරන විට එවැනි තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ.  සරළව කියනවනං සල්ලි ආයෝජනය කරන කෙනාට ඒ  සල්ලි ගැන කැක්කුමක් තියනවා. වැඩේ වැරදුනොත්  සල්ලි නැති වෙන නිසා. ඒත් රජය බදු ගෙවන මිනිස්සුන්ගෙ සල්ලි ආයොජනය කරාම ඒ කැක්කුම එන්නෙ නැහැ. මොකද ඒ සල්ලි වලට කවුරුත් වග කියන්නෙ නැති නිසා. ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් ආර්ථික විද්‍යාවේ ඇති දිරිගැන්වීම් (incentives) වල මූලික පරමාර්ථය තේරුම් ගන්නෙ නෑ වගේම සෑම අවස්ථාවකදීම හිමිකාරීත්වය කියන කෝණයෙන් බලන නිසාම ව්‍යාපාර ආකෘති වල තියෙන සහසම්බන්ධය තේරුම් ගැනීමට අපොහොසත් වෙනවා.

ඊලග ප්‍රශ්නය තමයි ශ්‍රී ලංකාවේ රුපියල පීඩනයට පත් වෙලා තියෙන එක. මෑතකදී ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුතුවට (Sri Lanka development bonds issuance) ලංසු ළැබුනෙ 25% කට විතරයි. ඒ නිසා ECT හි ආයෝජනය කිරීමට අවශ්‍ය විදේශ විනිමය සොයා ගැනීම ඉතාම අපහසුයි. අපිට කරන්න වෙන්නෙ මේක තවත් කල් දාන එක විතරයි. ඒ ආයෝජනය සදහා මුදල් අවශ්‍ය අපේ මුදල් ඒකකයකින් නෙවෙයි. ඒක ඕන ඇමරිකන් ඩොලර් වලින්. මොකද වරාය පර්‍යන්තයක් බවට පත් කරන්න අවශ්‍ය භාණ්ඩ ආනයනය කරන්න අවශ්‍යයි. එය ලෝක මට්ටමේ පවත්වාගෙන යන්න නම් සියලු උපකරණ හා යන්ත්‍ර සූත්‍ර ආනයනය කළ යුතුයි. ඒව ලංකාවෙ හදන්නෙ නැහැ. මේ අවස්ථාවේදී අපේ වටිනා විදේශ සංචිත (foreign reserves) මේ වෙනුවෙන් වියදම් කරන්න අපට හැකියාවක් නැහැ. එහෙනම් ඇයි අපි ETC තවත් ප්‍රමාද කරන්නේ? 

හැමදාම කියනවා වගේ ලංකාව, සිල්ලර කඩේ මුදලාලි ලබාදුන්නු දිරි ගැන්වීම් වලට සමාන නිවැරදි ව්‍යාපාරික ආකෘතියක් නිර්මාණය කළද, එහෙම නැත්නම් මෙය කල් දැමීමෙන් අපේ ව්‍යාපාර වලට හා ලාංකිකයන්ට වරායෙන් ලබාගන්න හැකියාව තිබුන ලාභ උපයා ගැනීමේ අවස්ථාව නැති කළා ද කියන කාරණය කාලය පමණක් ම තීරණය කරනු ඇති. ඒ තීරණය ලැබෙනකං අපිට කරන්න පුලුවන් බලං ඉන්න එක විතරයි.

The Morning පුවත්පතේ ධනනාත් ප්‍රනාන්දු විසින් පල කරන ලද ලිපියක  සිංහල පරිවර්තනයයි