ජනාධිපතිතුමාගේ ‘ගම සමග පිළිසඳර’ ගැන ගම් නියම් ගම් හරහා දිවෙන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කතා වෙනවා. ගම සමග පිළිසඳර වැඩසටහනේදී නිතරම ජනාධිපතිතුමාට ජනතාව යොමු කරන ප්‍රශ්නයක් තිබෙනවා. “සර් ඉඩම් ප්‍රශ්නයට විසඳුමක් දෙන්න, අපිට වගා කරන්න ඉඩමක් දෙන්න. අපේ ඉඩම්වලට ඔප්පු දෙන්න". මේ හඬ ජනාධිපතිවරයාගේ ‘ගම සමග පිළිසඳර’ වැඩසටහන ආරම්භ කරන්න කලින් අවුරුදු ගණනාවක්ම නිතරම අපට ඇසෙන හඬක්.
ඒ වගේම සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ගම සමග පිළිසඳරට එල්ල වන ප්‍රධානතම චෝදනාව වන්නේ ඉඩම් ප්‍රශ්නය නිරාකරණයට යාම තුළින් වනාන්තර විනාශ කිරීමේ වැඩසටහනක් ඊට පසුපසින් ක්‍රියාත්මක වන බවයි. පරිසර සංවිධාන මේ පිළිබඳව නිතරම අදහස් පළ කරනවා. ජනාධිපතිතුමා මේ චෝදනාවලට පිළිතුරු දක්වමින් ප්‍රකාශ කර තිබුණේ තමා ජනතාව සමග එක්ව ඔවුන්ගේ ප්‍රශ්න හඳුනාගැනීමට දේශපාලනිකව අකමැති පිරිසක් මෙම වැඩසටහනේ වටිනාකම දියාරු කිරීමට, පරිසර විනාශය පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කිරීමට උත්සාහ කරන බවයි.
බොහෝ දෙනෙක් මේ ප්‍රශ්නය වනාන්තර ප්‍රශ්නයක් විදියට දුටුවාට ඇත්තටම මේ පිටුපස තිබෙන්නේ ආර්ථික ප්‍රශ්නයක් සහ මහජන ප්‍රතිපත්ති පිළිබඳ ගැටලුවක්. ඔබත් මොහොතකට පුදුම වේවි ඉඩම් ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද කියලා.
ඉඩම් ආර්ථික ප්‍රශ්නයක් වෙන ප්‍රධාන කොටස් දෙකක් තිබෙනවා. එකක් තමයි ඕනම ව්‍යාපාරයකට අවශ්‍ය වන භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය කියන ප්‍රධාන සාධක හතරට භූමිය යන සාධකයත් ඇතුළත් වීම. දෙවැනි කාරණය තමයි ශ්‍රී ලංකාවේ භූමිය කියලා කියන්නේ ඉතාමත්ම සීමිත සම්පතක්. සීමිත සම්පත් අසීමිත අවශ්‍යතාවන් වෙනුවෙන් භාවිත කිරීම තමයි ආර්ථික විද්‍යාවේ හරය. එනිසා සැබැවින්ම මේ ඉඩම් ප්‍රශ්නය, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සෘජුවම බලපාන ප්‍රශ්නයක්.
ප්‍රශ්නය අවබෝධ කරගන්න ප්‍රශ්නයේ මුලටම අපි යා යුතුයි. ශ්‍රී ලංකාවේ ඉඩම් ප්‍රමාණය ඉතාමත් සීමිතයි. වර්ග කිලෝමීටර් 65610 කට ආසන්න ඉතාමත් සුළු භූමි ප්‍රමාණයක් තමයි අප සතුව තිබෙන්නේ. අනෙකුත් සම්පත් වගේ ඉඩම් නැවත ප්‍රතිනිර්මාණය වෙන්නෙ නෑ. ඉඩම් නැවත ප්‍රතිනිර්මාණය කරන Port City වගේ ව්‍යාපෘති සඳහා වියදම් වන මුදල් සහ සිදුවන පාරිසරික බලපෑම් තක්සේරුව සැලකුවාට පසුව එවැනි ව්‍යාපෘති නිතරම කිරීම ලෝකෙ කිසිම රටකට පහසු දෙයක් නොවෙයි.
ඉඩම් ප්‍රමාණය වැඩි කරගන්නට බැරි වුණාට අනෙක් අන්තයෙන් ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. ඒ ජනගහනයට සරිලන පරිදි ආහාර නිෂ්පාදනය කරන්න, නිවාස හදන්න සහ සංකීර්ණ වන අවශ්‍යතාවන් සඳහා ඉඩකඩම් හොයාගන්නේ කොහොමද?. මෙතැනදි තමයි ආර්ථික විද්‍යාවේ සීමිත සම්පත්වලින් අසීමිත අවශ්‍යතාවන් සපුරන්න යනවයි කියන මූලික ආර්ථික විද්‍යා ප්‍රශ්නයට පිළිතුරක් හොයා ගන්න අවශ්‍ය. මේ ප්‍රශ්නෙන් අපිට එළියට එන්න පුළුවන් එකම ක්‍රමය වන්නේ අපේ ඉඩම්වල ඵලදායිතාවය වැඩිකිරීම පමණයි. තවත් සරල කරලා කියනවා නම් ඉඩමකින් ලබාගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමට ක්‍රමයක් සකස් කිරීමෙන් පමණයි අපිට මේ ප්‍රශ්නයෙන් එළියට එන්න පුළුවන්.
ශ්‍රී ලංකාවේ ඉඩම් ඵලදායිව පාවිච්චි කරන්නේ නැති බව රහසක් නොවේ. ඒ බව දැනගන්න, ඕනම ඉඩම් කච්චේරියකට ගිහිල්ල පත්තිරු හොයද්දි තේරෙනවා. ලංකාවේ ඉඩම්වලින් 80%ක් පමණම අයිති ශ්‍රී ලංකාවේ රජයට. එයට 30% කට ආසන්න වනාන්තර ආවරණයත් ඇතුළත්. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවට අයිති ,අපේ රටේ තිබෙන ඉඩම්වලින් 20% ක වගේ ඉතාම සුළු ප්‍රමාණයක්. ඒ වගේම අපේ ඉඩම්වලින් වැඩි ප්‍රමාණයක් භාවිත කරන්නේ කෘෂිකර්මයට. නමුත් කෘෂිකර්මය අපගේ සම්පූර්ණ නිෂ්පාදනයට එහෙම නැත්තං දළ දේශීය නිෂ්පාදනයට දායක කරන්නේ 8%ක කුඩා අගයක්. ඒ වගේම ශ්‍රම බළකායෙන් 25% කට ආසන්න ප්‍රමාණයක් කෘෂිකර්මාන්තයේ නියැළෙනවා. ඔය ඉලක්කන් ටික ප්‍රමාණවත් අපේ ඉඩම් කොච්චර අකාර්යක්ෂමද කියල තීරණය කරන්න.
මොකක්ද මේකට හේතුව? මේකට මූලික හේතුවක් තමයි ජනතාවගේ ඉඩම් අයිතිය රජය තබාගෙන සිටීම. බොහෝ දෙනෙක් හිතන්නේ රජයට ඉඩම් අයිති වීම ඉතාමත්ම සාධනීය ලක්ෂණයක්. මොකද එතකොට ඒ ඉඩම්වල අයිතිය පිටරැටියන්ට යන්නේ නැති නිසා ජාතික ධනය රට ඇතුළේ ඉතිරි කරගන්න පුළුවන් කියන මතවාදය නිසා.
එම න්‍යාය ,ප්‍රශ්නය දෙස බැලිය හැකි එක විදියක්. එය න්‍යායක් ලෙස නිවැරදි බව හිතුණත් සැබවින්ම සිදුවන්නේ එය නොවෙයි. සැබැවින්ම සිදුවන්නේ ඒ ඉඩම්වල අයිතිය ජනතාවට නොමැති නිසා ඉඩම් උපරිම ඵලදායී ලෙස පාවිච්චි කිරීමට ජනතාව යොමු නොවීමයි. සරලව කියනවා නම් තමන්ට අයිති නැති ඉඩමක් දියුණු කිරීමට හෝ ඉඩම් සංවර්ධනය කරමින් උපරිම ප්‍රතිලාභ ලැබෙන ලෙස ඉඩම් පරිභෝජනය කිරීමට ජනතාවට කිසිම අවශ්‍යතාවක් ඇති වෙන්නේ නැහැ. සිංහල ගැමි වහරේ තිබෙන ආඬි හත් දෙනාගේ කැඳහැලිය මෙයට ඉතා කදිම උදාහරණයක්. යම්කිසි කෙනකුට ඉඩමක් හෝ වෙනත් ඕනෑම දෙයක් දියුණු කිරීමට අවශ්‍යතාවක් ඇති වෙන්නේ එහි අයිතිය පැහැදිලිවම අදාළ පුද්ගලයාට ලැබුණු විටයි. ඒ අනුව දළ වශයෙන් සමස්ත භාවිතයට ගත හැකි භූමි ප්‍රමාණයෙන් 50% ක් පමණ රජයට අයිති නිසා අපේ භූමියෙන් විශාල ප්‍රමාණයක් සංවර්ධනය කිරීමට හෝ දියුණු කිරීමට කිසිම කෙනකුට අවශ්‍යතාවක් ඇති වෙන්නේ නෑ. මෙය ප්‍රශ්නයේ එක පැත්තක්.
ප්‍රශ්නයේ අනෙක් පැත්ත තමයි වගා කරන්නට ලබා දී ඇති ඉඩම් බොහොමයක් ලබා දී ඇත්තේ බලපත්‍ර ක්‍රමයටයි. ඒ කියන්නේ ඉඩමේ අයිතිය ඉඩම වගා කරන කෙනාට නැහැ. නමුත් වගා කිරීම සඳහා ඔවුන්ට හැකියාව තිබෙනවා. ඒ අනුව අපි අක්කර 4ක් අයිති ගොවි මහත්මයෙක් උදාහරණයකට ගත්තොත් ඒ ගොවි මහත්මයාට දරුවන් හතර දෙනෙක් සිටී යැයි උපකල්පනය කරමු. ගොවි මහතාගේ දරුවන්ගේ පරම්පරාවෙන් එක් දරුවෙක්ට ලැබෙන්නේ අක්කරයක වැනි භූමි ප්‍රමාණයක්. එම දරුවන්ගේ දරුවන්ට අදාළ ඉඩම මාරුවීමේදී ඔවුන්ට ලැබෙන්නේ පර්චස් කිහිපයක කුඩා ඉඩමක් පමණයි. එසේ ලැබෙන්නේත් ඉඩමේ සම්පූර්ණ අයිතිය නොවේ. වගාකිරීමට ඇති අයිතියයි. එවැනි කුඩා ඉඩම් කෘෂිකර්මයට භාවිත කිරීම කිසිසේත් කළ නොහැකියි. ඒ වගේම එම ඉඩම් බලපත්‍රලාභී ඉඩම් නිසා වගා කිරීම් හැර වෙනත් කිසිම කටයුත්තක් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. අඩුම තරමේ වී වගාවෙන් බැහැරව වෙනත් වගාවක් කිරීමටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ අදාළ රජයේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ බලපත්‍රයක් ලබාගත යුතුයි. ඒ නිසා ගොවිතැන් සඳහා ඉඩම් තිබෙන්නේ නමට පමණයි. ඒ හේතුවෙන් ඉතා කුඩා කොටස් වශයෙන් තිබෙන ඉඩම් පුරන්කුඹුරු බවට පත්වීම සාමාන්‍ය තත්වයක්. තාක්ෂණය ඉඩම්වලට යෙදවීමට මුදල් හෝ අවශ්‍යතාවක් පැනනගින්නේ නැහැ.
ඉඩම කුඩා වන තරමට හරිතාගාර තාක්ෂණය කෙසේ වෙතත් අඩුම තරමින් ට්‍රැක්ටරයක් මඟින් හෝ කුඹුරට තාක්ෂණය ගැනීමට අපහසුයි. ඒ නිසා “අපගේ කෘෂිකර්මයට අලුත් තාක්ෂණය පැමිණෙන්නේ නැහැ” යනුවෙන් නිතරම මැසිවිලි නැගුවත් පවතින තත්වයට හේතුව අපිම අනුගමනය කරන වැරදි ප්‍රතිපත්තිමයි. ඉඩම්වල අයිතිය ජනතාවට නොමැති නිසා බැංකුවකින් ඉඩම ඇපයට තබා ණයක් ලබා ගැනීම සිදු කරන්නට බැහැ. බොහෝ දෙනෙක් නිවසක් සාදා ගැනීම සඳහා තමන්ගේ ඉඩම ඇපයට තබා ණයක් ලබා ගත්තත් ගොවි මහතුන්ට ඔවුන් වගා කරන ඉඩම ඇපයට තබා එම ඉඩම සංවර්ධනය කිරීමට හෝ එම ඉඩම සඳහා තාක්ෂණය ලබා ගැනීමට කිසිම හැකියාවක් නෑ. ඒ නිසා ගොවිතැන අකාර්යක්ෂ්මයි. ඒ නිසා ලාභ අඩුයි. ඒ නිසා ගොවීන් පොලී මුදලාලිලගෙන් අරන් තියෙන ණය වැඩියි. ණයත් එක්ක සියදිවි නසා ගැනීම් සහ ගොවිතැන හැරයාම වගේ ප්‍රශ්න එක පිට එක එන නිසා තමයි ජනපති යන හැම ගමකම මිනිස්සු ඈත ඉඳන් ඉඩම් ප්‍රශ්නෙ විසඳන්න කියල කෑගහමින් ඉල්ලන්නෙ.
මේ ඉඩම් ප්‍රතිපත්තිය නිසා කෘෂිකර්මයට, තාක්ෂණය පැමිණීම නතර වීමෙන් මේ ප්‍රශ්නය නොනැවතී වනාන්තර දක්වා ප්‍රශ්නය දිගු වීම මෙහි ඇති අනෙක් ඛේදනීය තත්වයයි. තාක්ෂණය කෘෂිකර්මයට නොපැමිණීම නිසා ගොවි මහත්වරුන්ට වැඩි අස්වැන්නක් ලබාගැනීමට නම් කළ හැකි එකම දේ වන්නේ වැඩිපුර ඉඩම් ප්‍රමාණයක් වගා කිරීමයි. දැන් ඔවුන්ට තිබෙන්නේ නිසි අයිතියක් නැති කුඩා ඉඩම් කට්ටි නිසා ඔවුන් බොහෝ වෙලාවට පෙලඹෙන්නේ වනාන්තර එළි පෙහෙළි කරමින් ඉඩම් අත්පත් කරගන්න. වගාවක් සිදු කිරීමට මහා පරිමාණයෙන් සිදුවන වනාන්තර විනාශය කෙසේ වෙතත් තැනින් තැන කෘෂිකර්මය සඳහා සිදුවන වනාන්තර විනාශය විශාල වශයෙන් දැකිය හැකි බව රහසක් නොවේ. අපේ ඉඩම් ප්‍රතිපත්තිය නිසා එක් අතකින් අපගේ ගොවි මහතුන් අකාර්යක්ෂ්ම වී තිබෙනවා. අනෙක් පැත්තෙන් අපගේ වනාන්තර විනාශවීමේ තර්ජනයට මුහුණ දී තිබෙනවා. මේ ප්‍රශ්න දෙකම ආර්ථික විද්‍යාවේ එකම කාසියේ දෙපැත්ත.
මොකක්ද මේකට විසඳුම
මේකට තිබෙන මූලිකම විසඳුමක් තමයි ඩිජිටල් ක්‍රමයක් ඔස්සේ ඉඩම් සිතියම්ගත කිරීම. එහෙම නැත්තං Digital Land Registry එකක් නිර්මාණය කිරීම. සරලව කියනවා නම් GPS තාක්ෂණය යොදවල සෑම ඉඩමක්ම සහ සියලු වනාන්තර සිතියම්ගත කිරීම සහ ඉඩම්වල අයිතිය ජනතාවට ලබාදීම. අදාළ ඉඩම්වල මායිම් එකම පරිගණක තිරයක සටහන් කළ හැකි ආකාරයට ක්‍රමවේදයක් සකස් කිරීම. අපිට ටැක්සි රථයක් අවශ්‍ය වුණාම ඒ රථය කොතනද තියෙන්නෙ, කවුද ඒකෙ එන්නෙ කියල ජංගම දුරකථනයෙන් බලාගන්න පුළුවන්. අපිට අවශ්‍යතාවක් තියනව නම් මේ ක්‍රමය ඉඩම්වලට රැගෙන ඒම අපහසු වෙන්න විදියක් නැහැ. එමගින් පුද්ගලයකු තවත් පුද්ගලයකුට ඉඩමක් විකිණීමේදී ඉඩමේ අයිතිය පිළිබඳ තොරතුරු වගේම එකම දත්ත පද්ධතියට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. මේ යෝජනාව ඉදිරිපත් කළ සැනින්ම ඔබේ මතකයට පැමිණෙන ප්‍රධානම කාරණය තමයි එම්සීසී (MCC) ගිවිසුම. එම්සීසී. ගිවිසුමෙත් ඉඩම් සිතියම්ගත කිරීම යෝජනා කර තිබුණා. එහිදී විරෝධය පැමිණියේ ඉඩම් සිතියම්ගත කිරීමෙන් පිටරැටියන් අපේ ඉඩම් අත්පත් කර ගැනීමත් අපේ මැණික්, ඛනිජ සම්පත් වැනි වටිනා සම්පත් සොයා ගන්නවා යන තර්කයයි. දැන් එම්සීසීය පිළිබඳව කිසිදු බියක් නොමැති නිසා දේශීය ක්‍රමයක් හරහා හෝ ඉඩම් සිතියම්ගත කිරීම තවදුරටත් ප්‍රමාද කළ නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා.
දැනට ජයභූමි, ස්වර්ණභූමි වැනි විවිධ ඉඩම් ඔප්පු තිබුණත් අවශ්‍ය වන්නේ කාර්යක්ෂ්ම ක්‍රමවේදයක් සකස් කිරීමයි. විදේශිකයන්ට ඉඩම් මිල දී ගැනීමේ අයිතිය කෙසේ වෙතත් වඩා වැදගත් වන්නේ ලාංකික පුරවැසියන්ට නිසි පරිදි ඉඩම් මිල දී ගැනීමට හැකියාවක් ලබා දීමයි.
දැවැන්ත ව්‍යාපෘති වෙනුවෙන් ආයෝජනය කරනවා වගේම දීර්ඝකාලීනව ශ්‍රී ලංකාවේ වනාන්තර සුරකින, ජනතාවට පහසුවෙන් ඉඩම් විකිණීම සහ පවරා ගැනීම සිදු කළ හැකි ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගන්නා තුරු ජනාධිපතිතුමාට සෑම ගම සමග පිළිසඳරකදීම ඉඩම් ප්‍රශ්නය පිළිබඳව ජනතාවට නැවත නැවත පිළිතුරු දීමට සිදුවනවා වගේම වනාන්තරය එළි පෙහෙළි කිරීම ගැන පරිසර සංවිධානවලට සහ ඒ හා බැඳුණු ව්‍යාජ පුවත්වලට ප්‍රතිචාර දැක්වීමට සිදුවනු ඇත. ඉදිරියට ජනපති පුටුවට පැමිණෙන ඕනම පුද්ගලයකුටත් එම ප්‍රශ්නය එසේම පවතිනු ඇති. ශ්‍රී ලංකාවත් එතෙක් දුප්පත් රටක්වම පවතිනු ඇති.
අරුණ පුවත්පතේ ධනනාත් ප්‍රනාන්දු විසින් පල කරන ලද ලිපියකි