Fertiliser Ban

රසායනික පොහොර තහනම ආර්ථික විද්‍යාවෙන් කියවමු

රසායනික පොහොර ගැන සහ කාබනික පොහොර ගැන කතාව අද ඊයේ කරළියට ආ කතාවක් නොවේ. රසායනික පොහොර භාවිතය නිසා ඇතිවන වකුගඩු රෝග ගැන විශාල කතාවක් පසුගිය සමයේ සමාජයේ ඇතිවිණි. හිටපු ජනාධිපතිතුමා වරක් ග්ලයිකොපොස්ෆේට් නමැති පොහොර වර්ගය තහනම් කිරීමට කටයුතු කළේද එහි ප්‍රතිඵලයක් ලෙසිනි. 

එහෙත් ඉන් පසුව පැමිණි මැතිවරණවලදී ඉදිරිපත් කෙරෙණු ප්‍රතිපත්ති ප්‍රකාශවල රසායනික පොහොර නොමිලේ ලබාදෙන බවත් ප්‍රධාන අපේක්ෂකයන් බොහෝ දෙනාගෙන් ප්‍රකාශ විණි. එමෙන්ම කාබනික පොහොර භාවිතය සඳහා ආයෝජනය කරන බවත් කියවිණි. කෙසේ වුවද මේ වන විට රසායනික පොහොර තහනම නිසා ඇති ආර්ථික ප්‍රතිවිපාක පිළිබඳවද මේ වනවිට විවිධ සංවාද, විසංවාද ඇතිවී තිබේ. සැබවින්ම මේ රසායනික පොහොර තහනම ගැන අපි ආර්ථික විද්‍යාවෙන් දකින්නේ කෙසේද? 

ආර්ථික විද්‍යාව නිරතුරු දකිනුයේ විශාල චිත්‍රයම මිස චිත්‍රයේ කොටස් නොවේ. එමෙන්ම ආර්ථික විද්‍යාවෙන් මෙකී ප්‍රශ්නය විග්‍රහ කිරීමේදී කෘෂි විද්‍යාව, පාංශු විද්‍යාව වැනි සියලු කරුණු සැලකිල්ලට ගත යුතුය. 

මේ ප්‍රශ්නයේ එක් පැතිකඩකි ලෝක ජනගහන වර්ධනය. එසේ වර්ධනය වන ජනගහනයට ආහාර සැපයුම වැඩි කළ යුතුය. එමෙන්ම ඔවුනට නිවාස ඇතුළු අනෙකුත් අවශ්‍යතා වැඩි කළ යුතුය. එහෙත් එහිදී පැන නගින ගැටලුවකි. එනම් මේ සියලු දේ සඳහා ඇත්තේ සීමිත සම්පත් ප්‍රමාණයකි. භූමිය, ශ්‍රමය මෙන්ම මුදල් සීමිතය. එනිසා සෑම මොහොතකම අඩු භූමියකින්, අඩු මහන්සියකින් වැඩි අස්වැන්නක් ගන්නෙ කෙලෙසින්ද යන්න පිළිබඳව වසර ගණනාවක සිට කෘෂි කර්මාන්තයේ නියැළී සිටින්නෝ කල්පනා කළහ. 

18 වන ශත වර්ශයේ ජීවත්වුණු තෝමස් මල්තස් (Thomas Malthus) නම් ආර්ථික විද්‍යාඥයා An Essay on the Principle of Population යන ග්‍රන්ථයේදී අනාගතයේ ජනගහණයේ සිදුවිය හැකි සීග්‍ර වර්ධනයත් සමග ආහාර ඇතිවිය හැකි ආහාර හිඟය පිළිබඳව සාකච්චා කර ඇත. 1950 දශකයේදි සිදුවූ හරිත විප්ලවය සමග (Green Revolution) කෘෂි කර්මාන්තයේ කාර්යක්ෂමතාවය ඉහළ යනු ලැබීය. නව තාක්ෂණය, නව බීජ වර්ග, නව ප්‍රභේද, නව පොහොර සංයෝග, නව කෘමි නාශක, වල් නාශක වගේම නව වගා ක්‍රම ලෝකය සමග එකතු විය.

 නොබෙල් ත්‍යාගය ලබාගත් Norman Borlaug නමැති කෘෂි ආර්ථික විද්‍යාඥයා හරිත විප්ලවයට මූලිකත්වය ගත් විද්වතෙකි. එම හරිත විප්ලවයත් සමග ජනගහනය වැඩි වීමත් සමග පැමිණි ආහාර හිඟයට සාර්ථකව මුහුණ දීමට අපට හැකි විය. ආහාර සුරක්ෂිතභාවයේදී සලකා බලනු ලබන්නේ ආහාරවල ප්‍රමාණය පමණක් නොවේ. ආහාරවල ගුණාත්මකභාවය, ආහාරවල මිල මෙන්ම ඕනෑම අවස්ථාවක ආහාර මිලදී ගැනීමට තිබෙන හැකියාව වැනි කාරණා ගණනාවක් ආහාර සුරක්ෂිතභාවයේදී සැලකිල්ලට ගනු ලබයි. ඒ අනුව පොහොර සහ කෘෂි රසායන භාවිතය නිසා ආහාරවල ගුණාත්මක භාවයට සිදුවන හානිය මෙන්ම ශරීර සෞඛ්‍යට සිදුවන හානිය පිළිබඳව විශාල කතා බහක් ඇතිවී ඇත. එමෙන්ම කෘෂි කර්මාන්තයේදී සිදුවන විශාල පරිසර හානිය පිළිබඳවත් ඇතිවී ඇති කතාබහ අමතක කළ නොහැක. 

ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තයේ ස්වභාවය

 ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය ඉතාමත් අකාර්යක්ෂම බව අමුතුවෙන් කිව යුතු නැත. එම නිසා අප ආර්ථික විද්‍යාත්මකව මේ ප්‍රශ්නය පොහොර සහ කෘමි නාශක ප්‍රශ්නයක් ලෙස පමණක් ලඝු කිරීමෙන් ප්‍රශ්නයේ විශාල කොටසක් මග හැරී යනු ඇත. වසර ගණනාවකට පෙර ලංකාවේ ප්‍රමුඛ පෙළේ බීර සමාගමක් ඔවුන්ගේ ප්‍රජා සත්කාර ව්‍යාපෘතියක නියමු ව්‍යාපෘතියක් ලෙස උතුරු මැද පළාතේ දිවුල්වැව ප්‍රදේශයේ 3500කට ආසන්න ගොවීන් පිරිසක් සමග ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබීය. බීර නිෂ්පාදනය සඳහා කා​බෝහයිට්ට්‍රේට් වර්ගයක් ලෙස මෝල්ට් භාවිතය තරමක් මිල අධිකය. එම නිසා ආදේශකයක් ලෙස සහල් භාවිත කළ හැකිය. මේ ව්‍යාපෘතියේදී පළමුවෙන්ම සිදුකළේ ගොවි මහත්වරුන් පන්ති කාමරයකට කැඳවා ඔවුන්ට නිසි වගාක්‍රම පිළිබඳව දනුවත් කිරීමය. එහිදී භාවිත කිරීමට අවශ්‍ය වතුර ප්‍රමාණය, පොහොර ප්‍රමාණය, ප්‍රමාණවත් බීජ, පස සකස් කිරීම, වගා ක්‍රම පිළිබඳව දැනුවත් කිරීම් කරනු ලැබීය. එමෙන්ම කෘමි උවදුරු මැඩ පැවැත්වීමට සඳහා භාවිත කරන ලද සාම්ප්‍රදායික ක්‍රම පිළිබඳව තොරතුරු සහ ක්‍රමවේද ලබා දුණි. එහි ප්‍රතිඵලය වූයේ එතෙක් හෙක්ටෙයාරයකට වී බුසල් 85ක් පමණ ලබාගත් අස්වැන්න වී බුසල් 160ක් දක්වා ඉහළ යෑමයි.

 ඇතැම් ගොවීන්ගේ අස්වැන්න හෙක්ටයාරයකට වී බුසල් 200 දක්වා ඉහළ ගියේය. වසර 5ක් පමණ මෙම ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යාමෙන් අනතුරුව බීර සඳහා අය කරන බදු 70% තරම් ඉහළ වීමත් සමග ව්‍යාපෘතිය අතහැර දැමීමට අදාළ සමාගමට සිදුවී තිබේ. නමුත් ඔවුන්ගේ ව්‍යාපෘතියෙන් තහවුරු වූ මූලිකම කරුණ නම් නිසි වගා ක්‍රම අනුගමනය කිරීමෙන් අපට වැඩි අස්වැන්නක් ලබා ගත හැකි බවයි. සාර්ථක කෘෂිකර්මය පොහොර සහ කෘමිනාශක වලට පමණක් සීමා කිරීමෙන් අප ඒ හා බැඳී ඇති බීජ තාක්ෂණය, ජල කළමනාකරණය, පාංශු කළමනාකරණය වැනි වැදහත් කොටස් සියල්ල අමතක කිරීම නොකළ යුත්තක්. 

1950 වන විට ශ්‍රී ලංකාවේ හෙක්ටයාරයකින් ලැබෙන සහල් ප්‍රමාණය හෙක්ටයාරයකින් කිලෝග්‍රෑම් 1000ක් පමණ වී තිබිණි. ඉන් අනතුරුව ඇති කරනු ලැබූ මහවැලි ව්‍යාපෘතිය සමග අලුතෙන් එකතු වුණු ඉඩම් සහ ජල ව්‍යාපෘති සමග 1990 වන විට සහල් ප්‍රමාණය හෙක්ටයාරයකින් කිලෝග්‍රෑම් 2300ක් පමණ විය. 2020 වන විත එම ප්‍රමාණය හෙක්ටයාරයකින් කිලෝග්‍රෑම් 2500 පමණ ප්‍රමාණයේ ස්ථාවර වී තිබීමෙන් පෙනෙන්නේ ප්‍රශ්නය පොහොර වලින් ඈතට ගොස් ඇති බව නොවේද? සහල් නිපදවන අපේ කලාපයේ මෙන්ම අනෙකුත් කලාප වල සහල් නිෂ්පාදනය හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 7000 සහ 8000 මට්ටමේ පවතී. 

තේ වගාව සැලකිල්ලට ගතහොත් 1965 වකවානුවේ හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 949 ක් පමණ පැවතුණි. 1995 වන විට තේ අස්වැන්න හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 1493 දක්වා ඉහළ අගයක් ගැනුණි. එහෙත් 2020 වන විට එම ප්‍රමාණය හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 1200 මට්ටම දක්වා පහත වැටී තිබේ.

අපත් සමග තරග කරන කෙන්යාව හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 2087 නිෂ්පාදනය කරද්දි ඉන්දියාව හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 2141 නිෂ්පාදනය කරයි.

රබර් කාර්මාතයේත් දත්ත වල එතරම් වෙනසක් නැත. 1950 හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 400ක් පැවති රබර් ඵලදාව 1994 වන විට හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 864 දක්වා වර්ධනය විය. නමුත් දැන් ඵලදාව හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 670 දක්වා පහත වැටී ඇත. 996 වකවානුවේදී හෙක්ටයාරයකට පොල් ගෙඩි 6100ක් ලැබුණු නමුත් දැන් එය පවතින්නේ හෙක්ටයාරයකට පොල් ගෙඩි 5500 මට්ටමේය. ඒ අනුව අපට පැහැදිලි වනුයේ ප්‍රමාණාත්මකව පමණක් නොව ගූණාත්මකභාවයෙනුත් අපගේ කෘෂි කර්මාන්තය කඩා වැටීමට භාජන වන බව නොවේද? එනිසා මෙම ප්‍රශ්නය ප්‍රශ්න ගණනාවක සංයුක්ත ප්‍රශ්නයක් බව වටහා ගත යුතුය. 

කාබනික පොහොර වගාවෙන් සිදුවන ඵලදාව අඩුවීමට ගොවීන්ට වන්දි ගෙවීමෙන් පමණක් හෝ කාබනික පොහොර පිටරටින් ගෙන්වීමෙන් පමණක් කාබනික පොහොර භාවිතය දිගුකාලීනව කළ නොහැක. ඊට හේතුව ඒ සඳහා අවශ්‍ය අනෙකුත් සාධක වන ජල කළමනාකරණය, වගා ක්‍රම, කාර්යක්ෂම බීජ, තාක්ෂණික වශයෙන් දියුණු ප්‍රභේද ගැන කෘෂි පරීක්ෂණ කිරීම යන සමස්ත පද්ධතිය කෙරෙහිම අවධානය යොමු නොකිරීමයි.

 කාබනික පොහොර ආනයනයේදී වෙනත් රටවල කාබනික පොහොර වල සිටින දිලීර සහ ඇල්ගී වර්ග ශ්‍රී ලංකාවේ පාංශු සංයුතියට ඇති කරන බලපෑම ආදිය පිළිබඳ සැලකිල්ලට ගැනීම ඉතා වැදගත්ය. එමෙන්ම ගොවීන්ගේ වගා බිම්වල අයිතිය ඔවුන්ට සින්නක්කරව ඔප්පු මගින් ලබාදී නව තාක්ෂණික ක්‍රම භාවිතය සඳහා ඔවුන් දිරිමත් කිරීමකි. එමගින් ඒ සඳහා බැංකු සහ මූල්‍ය ආයතන වලින් මුදල් ලබා ගැනීම පහසු වනවා මෙන්ම විශාල පරිමාණයෙන් කෘෂි කර්මාන්තයට යොමුවීමට හැකියාව ලැබේ. 

අමුඩය ගසා නගුලෙන් කුඹුරු කෙටීමේ කාලයත්, දලු කූඩය පිටේ ගැට ගසාගෙන තේ දලු කැඩීමේ කාලයත්, රබර් කිරි පොල්කට්ටකට එකතු කිරීමෙ කාලයත්, සරම කැහ පොට ගසමින් පොල් ගස් වලට නැගීමෙන් පොල් කැඩීමේ කාලයත් අවසන් වී, පස, ජලය, කෘෂි වගා ක්‍රම, නව ප්‍රභේද පිළිබඳ පරීක්ෂණ සහ කෘෂි ආර්ථික විද්‍යාව වැනි සියලු කරුණු පිළිබඳ සමස්තයක් ලෙස කෘෂි කර්මාන්තය දකිනතුරු මේ ප්‍රශ්නයෙන් අපට ගොඩා යා නොහැකි බව තේරුම් ගැනීම ප්‍රශ්නයට ලබාදෙන විසඳුමෙන් වැඩිම කොටසයි.

2021 ජුනි 04 වන දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියක්