Thiloka Yapa

නැගෙනහිර පර්‍යන්තයට ආයෝජන තියන Business Model එකක් අවශ්‍ය ඇයි

මම සාමාන්‍යයෙන් මගේ දත් බුරුසුව (tooth brush) මිලදී ගන්නේ අපේ ගෙදර ළඟ තියන සිල්ලර කඩේකින්. මම පුරුදු වෙලා හිටියේ එක brand එකක්( විශේෂිත වෙළඳ නාමයක්) තියන දත් බුරුසුවක් මිලදී ගන්න. හැබැයි කඩේ මුදලාලි මට හැමදාම වෙනත් වෙළඳ නාමයක් තියෙන දත් බුරුසු ජාතියක් මිලදී ගන්න කියල කතා ගොඩාක් කියනවා නැත්තං ඒත්තූ ගන්නනවා. මුදලාලි මට ඒ දත් බුරුසු ජාතිය හරි ලස්සන විදිහට market කළා. ඒ හින්දම වෙන්නැති  මට අදටත් එදා මුදලාලි market කරපු (නිර්දේශ කරපු)  දත් බුරුසු වර්ගය අද වගේ මතක. මෙන්න මෙහෙමයි මුදලාලි Marketing වැඩේ පටං ගන්නෙ.

“සර් දැන් මාකට් එකේ අලුත් බ්‍රෑන්ඩ් එකත් තියෙනවා.ඒක තමයි කලෙකිං ආපු හොදම බ්‍රෑන්ඩ් එක. මේකෙ සර් කෙදි වල ඝනකම වැඩී, පහසුවෙන් අල්ලන්න පුළුවන්. මේකෙ සර් හැඩ්ල් එකේ නැමි 3 ක් තියනවා. ඒක නිසා පහල තියෙන යටි හක්කෙ තියන දත් වුනත් ලේසියෙන් මැද ගන්න පුළුවන්.” විදුරුමස් වලට තියන බලපෑම, බුරුසුවේ ආකෘතිය, මුඛ සෞඛ්‍ය ආරක්ෂාවට හා දත් කුහර සමඟ සටන් කරන්න මේ දත් බුරුසුව උදව් වෙන්නෙ කොහොමද කියලා පැහැදිලි කරේ හරියට දත් දොස්තර කෙනෙක් පැහැදිලි කරනව වගේ. සිල්ලර කඩේ මුදලාලි ඒ දත් බුරුසුව market කරපු  විදිහට මොහොතකට මගේ සෙළවෙන මනසට හිතුනා “මේ නම් මුදලාලි කෙනෙක් වෙන්න බැහැ පාට් ටයිම් දත් දොස්තර කෙනෙක්” කියල.

පස්සෙ ඒත් මං කල්පනා කරා මුදලාලි කොහොමද දත් බුරුසු ගැන දත් දොස්තර වගේ දන්නෙ කියල. ඒක තේරුණේ පස්සේ කාලෙකදි මට වෙළඳපොළ පර්යේෂණ (Market Research Agency)  ආයතනයක රැකියාව කරන්න ලැබුනට පස්සෙ.  එතනදී දත් බුරුසු ගැන අධ්‍යයනයක් කරන්න මට සිද්ධ වුණා. දත් බුරුසු හදන ආයතන වලින් මුදලාලිලට දෙන commision  එක මේකට මම විශ්ලේෂණය කළා . සිල්ලර කඩ මුදලාලිට එක දත් බුරුසුවකින් කොච්චර profit margin එකක් (ලාභයක්)  හම්බුවෙනවා ද කියලා එදා මම හොයාගත්තා. එදා තමයි මට තේරුණේ මුදලාලි මට මාකට් කරපු බුරුසුවට අනිත් දත් බුරුසු brand  වලට වඩා වැඩි ප්‍රමාණයක profit margin එකක් මුදලාලිට ලැබෙන බව. තවත් සරළව කියනවනං මුදලාලි මට විකුණන brand එක විකුණුවම මුදලාලිට වෙළදපොලේ තියන අනිත් බුරුසු විකුණනවට වඩා වැඩි commision එකක්  (ලාභයක්) හම්බ වෙනවා. ඉතිං නිකංම මුදලාලි ඒ brand එකේ දත් බුරුසු ටික ඒ දත් බුරුසු හදන කොම්පැනියට වඩා හොදට විකුණනවා. දත් දොස්තර කෙනෙක් පැහැදිලි කරනවට වඩා හොදට පැහැදිලි කරනවා. මේක තමයි Business Model එක.  

මෙතැනදී ව්‍යාපාර ආකෘතිය  නැත්තං  Business Model එක සැලසුම් කරලා තියෙන්නේ හොඳ දිරිගැන්වීමක් (Incentive) ලබා දීම තුලින් ගැනුම්කරුවට/පාරිභෝගිකයාට බලපෑම් කරන්න. ව්‍යාපාරයක, ව්‍යාපාර ආකෘතිය තේරුම් ගන්න එක සහ Business model එක  හරි ක්‍රමයට හදා ගන්න එක තරඟකාරී කර්මාන්තයක තියෙන ඕනම ව්‍යාපාරයක සාර්ථකත්වය තීරණය කරනවා.

නැගෙනහිර බහාලුම් පර්යන්තය (East Container Terminal) පිළිබඳ ශ්‍රී ලංකාවේ ඇති විවාදය එන්නෙ මේ වගේ කතාබහක් මැද්දෙ. මොකක්ද නැව් ව්‍යාපාර වල තියන  Business Model එක. ඒක තේරුම් ගන්නෙ නැතුව අපි මොනව කරත් වැඩක් නැහැ.

හොද Business Model එකක්  හදාගෙන  (ව්‍යාපාර ආකෘති නිර්මාණය කරගෙන) ඉස්සරහට ගිය ලොකු ඉතිහාසයක් ශ්‍රී ලංකාවට නැහැ. නැව් ව්‍යාපාර කියන්නේ ජාලකරණ ව්‍යාපාරයක්  (networking business). සරළව කියනවනං ලෝකෙත් එක්කම සම්බන්ධ ව්‍යාපාරයක්. මේ ව්‍යාපාරයේ අපනයන කරුවන්, නැව් අයිති කරුවන්, ඔවුන්ගෙ සංදාන, වරායවල්, වරාය වල පර්‍යන්ත මෙහෙයවන ආයතන වගේ ව්‍යාපාර සමූහයක් ඉන්නවා. ඒ වගේම මේක මහා සංකීර්ණ ක්‍රියා පටිපාටියක්.

Business Model එක මත, ඔවුන්ට ලැබෙන සේවාවන් මත සහ discount ( වට්ටම්- ඩිස්කවුන්ට්) මත වගේම භූ දේශපාලන (Geo politics) කාරණා මේ ව්‍යාපාරයට බලපානව. ඒ වගේම ඉතාම තරගකාරී ව්‍යාපරයක් මේක. ලාභ ප්‍රතිශත (Profit margins) අඩුයි. ඒත් business volume එක නැත්තං එහෙට මෙහෙට හුවමාරු වෙන ගණුදෙනු ප්‍රාමාණය ඉතාම වැඩියි.

Business Model එක මත සහ දිරිගැන්වීමේ ව්‍යුහය (incentive structure) මත පදනම්ව විවිධ මට්ටම්වල ව්‍යාපාර, වරායට ගේන්න පුළුවන් පාර්ශවකරුවන් හා  තීරණ ගන්න අය බොහොමයක් ඉන්නවා.  අපේ වරායේ පිහිටීම අපේ රටට ලොකු වාසියක් වුනත් ඒ පිහිටීම විතරක් අපිට අවශ්‍ය ප්‍රතිලාභ ගේන්නේ නැහැ. මේක හොදට දුවන්න පුලුවන් Business model එකක් අපි හදා ගන්න ඕන. අන්න ඒ බිස්නස් මොඩල් එකට තමයි නැව් සමාගම් සහ තවත් ආයෝජකයන් හවුල් කර ගැනීම වැදගත්. මොකද ඒගොල්ලොන්ට පුලුවන් වරායට Business ගේන්න.

කොළඹ වරාය කියන්නේ ප්‍රති නැව්ගත කිරීම් (transhipment business) සඳහා කේන්ද්‍රස්ථානයක්. කොළඹ Shippers Academy හි ප්‍රධාන විධායක නිලධාරී තුමන් වන රොහාන් මාසකෝරාළ මහතා කියන විදියට, ප්‍රති නැව්ගත ව්‍යාපාර (transhipment) කියන්නේ ඉතා සංවේදී ව්‍යාපාරයක්. ඒකට හේතුව වෙන්නේ හරි ව්‍යාපාර හවුල්කරුවන් ආකර්ෂණය කරගන්න බැරිවුනොත්, ඕනම ව්‍යාපාරයකට ඒ ව්‍යාපාරය දියුණු වෙනවත් එක්කම පහසුවෙන් ප්‍රති නැව්ගත කිරීම වෙන වරායකට මාරු කරන්න පුලුවන්.  ඔහු උදාහරණයක් විදිහට කිව්වේ, සිංගප්පූරුව ප්‍රධාන හවුල් ව්‍යාපාරයකින්  (shipping alliance / Joint venture)  එක ප්‍රධාන පෙලේ සමාගමක් ඉවත් කරාට පස්සෙ මාස කිහිපයකින් සිංගප්පූරුවට එන ප්‍රති නැව්ගත කිරීම් (transhipment business) ප්‍රාමණය එක පාරට අඩු වෙලා මැලේසියවෙ වරායට බිස්නස් ඔක්කොම යන්න ගත්තා. ආයෙත් සිංගප්පූරුව අර කලිං හිටපු සමාගමට කතා කරල නැවත වරක් හවුල් ව්‍යාපරෙට එකතුකර ගත්තා. එහෙම එකතු කර ගත්තෙ එක ප්‍රතිනැව්ගත කිරීමක් වෙනත් වරායකට යනවත් එක්ක ඒකට සම්බන්ධ වෙලා තියෙන තවත් ව්‍යාපාර ගොඩක් සහ ගණුදෙනු ගැලවිලා යනවා මොකද මේක ජාලගත (Network Business model) බිස්නස් මොඩල් එකක් නිසා.

මාසකෝරාළ මහතා කියන විදිහට, ආර්ථික විද්‍යාවේ කියවෙන බාහිර නැඹුරුවක් තියෙන ප්‍රවේශයක් (outward- oriented approach) ගන්න හරි දැනුමක් හා කැමැත්තක් නොමැති කම නිසා ශ්‍රී ලංකාවේ තියන වරායන් වලින් ගන්න පුළුවන් ප්‍රතිලාභ ලබාගන්න අද අපිට බැරි වෙලා තියෙනවා.  සරළව කියනවනං වරායවල් සැලසුම් කරන්නෙ ලෝකෙ බිස්නස් වෙන විදිය සහ අනාගතය දිහා බලල මිසක් අපිට ඕන විදියට ලෝකෙ තියන නැව් ව්‍යාපාර වලට හැඩ ගැහෙන්න කියල නෙවෙයි. ලෝකෙ තියෙන වරායන් හා පර්යන්ත වලින් 80% ම වගේ කළමනාකරණය කරන්නේ පුද්ගලික-රාජ්‍ය හවුල්කාරීත්වයන් (public private partnership). 20% විතර පාලනය කරන්නේ රජයන් විසින්. ඉන්දියවේ තිබෙන ප්‍රධාන වරායන් 13න් 11ක්ම රජය සහ පුද්ගලික අංශය එකතු වෙලා කරන්නෙ. එක වරායක් සම්පූර්ණයෙන්ම පුද්ගලික අංශය කරන්නෙ. දැන් කොළඹ වරාය ගැන කතා කළොත්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය (Sri Lanka Ports Authority) හරහා රජයට සියලුම පර්යන්ත වල කොටස් තියෙනවා. පුදගලික අංශයත් එක්ක කරන හැම පර්‍යන්තයකම කොටස් රජයට තියනවා. ඒ කියන්නෙ රජය වෙළදපොළ කළමණාකරනය කරනව වගේම වෙළදපොලේ තරග කරනවා. රජය වෙළදපොලේ නියාමකයාගේ(Regulator) කාර්යයත් ඉටු කරනවා.  ඒවගේම නියාමනය කරන ගමන් ඇවිල්ල බිස්න්සුත් කරනවා. ඒක හරියට ක්‍රිකට් මැච් එකක ප්‍රධාන විනිසුරු විදියට ඉන්න ගමන් එක පාරටම ඇවිල්ල බැට් කරනවා වගේ. ඒකෙන් වෙන්නෙ වැඩ දෙකම හරියට කර ගන්න බැරි වෙන එකයි. මේක රජයක් වරායන් පාලනය කරද්දි මතක තියා ගන්න ඕන මූලිකම කාරණයක්. ලෝකෙ සාර්ථක වරායන් මෙහෙයවන රටවල් වල වරාය කළමනාකරනය සහ නියාමනය කරන්න වෙනම ආයතනයක් පිහිටුවලා තියනව. තරග කරන ව්‍යාපාර වෙනම තියනවා. ඒක නිසා තරග කරන ව්‍යාපාර වලට පහසුවෙන් තරග කරන්නත් නියාමනය කරන ආයතනයට පහසුවෙන් නියාමනය කරන්නත් පුලුවන්. අපේ වරාය Business Model එකේ තියන එක ගැටලුවක් තමයි මේක.   

වරාය Business Model එකේ දෙවැනි කාරණය තමයි සාමාන්‍යයෙන්, භාවිතා කරන්න ඕනේ මොන වරායද, මොන පර්යන්තය ද කියන එක තීරණය කරන්නේ නැව් හිමිකරුවන්. ඒ තීරණය ගන්නේ වරාය තියෙන ස්ථානයට අමතරව වරායේ හෝ පර්යන්තයේ කාර්යක්ෂමතාවය, ව්‍යාපාර අවශ්‍යතාවය හා මොවුන්ගේ ජාලයේ ඇති පර්යන්ත සලකා බලලා. නැව් කර්මාන්තය කියන්නේ  පිරිවැය මත තරගකාරීත්වයක් (cost-competitive, volume based industry) තියෙන පරිමාව මත ලාභ පදනම් වෙන කර්මාන්තයක්.

ඒ වගේම මේ කර්මාන්තයේ දී මෙහෙයුම ආරම්භ කරන්න කලින් සැලකිය යුතු ආයෝජනයක් කරන්න ඕනේ (High investment). ආයෝජනය වැඩි වෙන තරමට අවදානම හා වගකීම වැඩි වෙනවා. නිතර වෙනස් වන ව්‍යාපාරික පරිසරයක ඇති විය හැකි සුළු බාධාවක් වුණත් සැලකිය යුතු ප්‍රමාණයක අලාභයක් ඇති කරලා කර්මාන්තයේ තරගකාරී වාසි අහිමි කරන්න හේතු වෙන්න පුළුවන්. මේක මේ ව්‍යාපාරයේ ස්වභාවය. අන්න ඒ අවදානම අඩු කරගන්න සහ ආයෝජනය බෙදා ගන්න කරන එක විදියක් තමයි හවුල්/ඒකාබද්ධ ව්‍යාපාර වලට යන එක.

ඒකාබද්ධ ව්‍යාපාර (Joint ventures) වලට පිවිසෙන එකේ වැදගත්කම ගැන කතා කරද්දි තියෙන හොඳම උදාහරණය තමයි සිංගප්පූරු වරාය.

වරායක් සහ එහි පර්යන්ත කළමනාකරණය කරද්දි නිවැරදි ව්‍යාපාර ආකෘතිය (Business Model) හඳුනාගන්න එක ඉතා වැදගත් කරුණක්. මේ ව්‍යාපාර ක්‍රියාත්මක වෙන්නේ, ඒකාබද්ධ ව්‍යාපාර තුළින්  පාර්ශවකරුවන් සමග සම්බන්ධතා ඇති කරගෙන හැකිතාක් ව්‍යාපාර ගණුදෙනු (Business volumes) ආකර්ෂණය කර ගන්න අතරතුර ඵලදායිතාව හා කාර්යක්ෂමතාව උපරිම විදියට පවත්වාගෙන යන එකෙන්. මේ වගේ ඒකාබද්ධ ව්‍යාපාරයකදී, හොද ආයෝජනයක් විතරක් නෙමෙයි, දැනුම හා හොඳ කළමනාකරණයක් තිබීමත් සැබෑ ප්‍රතිලාභ ළඟා කර දෙන්න හේතුවක් වෙනවා.

ඒ වගේ ප්‍රතිලාභ ලැබෙන ඒකාබද්ධ ව්‍යාපාර ක්‍රියාත්මක වෙනවා නම් රටේ වෙනත් අංශ වලට පවා ආර්ථික ප්‍රතිලාභ ළගා කරගන්න හැකියාව තියෙනවා. රටක් විදියට අපි මෙතනදි බලන්න ඕනේ පුළුල්  ආර්ථිකය දිහා මිසක් තනි කර්මාන්තයක් ගැන විතරක් නෙමෙයි. ඒකට හේතුව වෙන්නේ, හැම කර්මාන්තයක්ම අන්තිමට නිෂ්පාදනයේ ප්‍රධාන සාධක වන භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය හා ව්‍යවසායකත්වය හා සම්බන්ධ වෙලා තිබීමයි.

අනෙක් අතට බලද්දි , අවුරුදු ගාණක් පුරාවට හිටපු රජයන් විවිධ සහයෝගීතා ගිවිසුම් සහ ද්වී පාර්ශ්වික ගිවිසුම් වලට අත්සන් කරල(Memorandums of Corporation), මෙහෙයුම් කරුවන් සඳහා ලංසු කැඳවලා, කීප වතාවක් ඒවා අවලංගු කරලා මේ ECT ව්‍යාපෘතිය ඉතා සංකීර්ණ එකක් කරලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට ක්‍රියාවලිය වසර ගානක් ප්‍රමාද වෙලා, ඒ දීර්ඝ ප්‍රමාදයන් හින්දා අපේ කීර්තිනාමයට දැඩි පාඩුවක් ඇතිවෙලා තියෙනවා වගේම ආයෝජකයින්ගේ විශ්වාසයට (investor confidence) ඉතා ලොකු බලපෑමක් ඇති කරලා තියනවා.ඒ වගේම ප්‍රමාදය නිසා විශාල මූළ්‍ය පාඩුවකුත් වෙලා තියනවා.

මේ සටහන්කරු මහ මැතිවරණයට කලින් මේ තීරුවේ කතා කරා වගේ ඒ කාලෙ හිටපු අන්තර්වාර/අතුරු රජයට (interim government) හා ජනාධිපතිවරයාට විනිවිදභාවය, තරගකාරී ව්‍යාපාරික  ආකෘතියත් තිබීමේ වැදගත්කම පිළිබිඹු කරන්න මේක අවස්ථාවක් කරගන්න හැකියාව තිබ්බා. ඒ ලිපිය මෙතනින් කියවන්න පුලුවන්.  එම ලිපියෙන් යෝජනා කල විදියට තරඟකාරී ආකෘතියක් සමග ප්‍රධාන නැව් සන්ධානවල හවුල්කරුවන් (shipping alliances) හදුනගෙන  ECT හරහා ව්‍යාපාර තවතවත් ජාලගත කරලා මේ වෙද්දි සැලකිය යුතු ප්‍රතිලාභ අත්කර ගන්නත් හැකියාව  තිබුණා.

කඩේ මුදලාලි හා දත් බුරුසු නිශ්පාදකයා අතර තිබුන ව්‍යාපාර ආකෘතියට සමාන සම්බන්ධතා තිබෙන දේශීය ව්‍යාපාර සහ අනෙකුත් පාර්ශවකරුවන්ට වාසි ලබාගත හැකි ජයග්‍රාහි ව්‍යාපාර ආකෘතියක් නිර්මාණය කරන්න අපට හැකියාව තිබුණා. භූ දේශපාලනික කෝණයකින් බලද්දි, ලංසු තැබීමේ ක්‍රියාවලිය විනිවිද භාවයෙන් යුතු, තරගකාරී, පැහැදිලි මාර්ගෝපදේශ සහිතව සිදු වුනා නම් එය සම්මත ගෝලීය මූලධර්මයක් වන නිසාම බාහිර බලපෑම් සම්පූර්ණයෙන්ම වළක්වා ගන්න හැකියාව තිබුණා.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය(Sri Lanka Ports Authority)  ECT සඳහා පූර්ණ වශයෙන් ආයෝජනය කරන්න කැමති නං, ප්‍රශ්නය වෙන්නේ මුලින් ආයෝජනය නොකර වසර ගණනාවක් අපි නාස්ති කළේ ඇයි යන්නයි. අපි ඒ කාලය නාස්ති කළේ ඇයි, ලාභ ඉපැයීම සඳහා අපට මග හැරුනු අවස්ථාවට වගකිව යුත්තේ කවුරුන් ද කියන ප්‍රශ්න දැන් සැළකිල්ලට ගන්න වෙනවා. ඒ නිසා අවදානම් හිමිකාරීත්වය (ownership of risk) යන මූලික ව්‍යාපාර මූලධර්මය දුර දක්නා නුවණින් යුතු ව සලකා බැලිය යුතුයි. පුද්ගලික ආයෝජකයින් ඔවුන්ගේ මුදල් අවදානමක් ඇතුව  ව්‍යාපාරයක් තුළට ගෙන එන විට, කාර්යක්ෂමතාවය සහ ඵලදායිතාවය ගැන ඔවුන්ට ද වගකීමක් තිබෙනවා.ඒත්  රජය විසින් බදු ගෙවන්නන්ගේ මුදල් ආයෝජනය කරන විට එවැනි තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ.  සරළව කියනවනං සල්ලි ආයෝජනය කරන කෙනාට ඒ  සල්ලි ගැන කැක්කුමක් තියනවා. වැඩේ වැරදුනොත්  සල්ලි නැති වෙන නිසා. ඒත් රජය බදු ගෙවන මිනිස්සුන්ගෙ සල්ලි ආයොජනය කරාම ඒ කැක්කුම එන්නෙ නැහැ. මොකද ඒ සල්ලි වලට කවුරුත් වග කියන්නෙ නැති නිසා. ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් ආර්ථික විද්‍යාවේ ඇති දිරිගැන්වීම් (incentives) වල මූලික පරමාර්ථය තේරුම් ගන්නෙ නෑ වගේම සෑම අවස්ථාවකදීම හිමිකාරීත්වය කියන කෝණයෙන් බලන නිසාම ව්‍යාපාර ආකෘති වල තියෙන සහසම්බන්ධය තේරුම් ගැනීමට අපොහොසත් වෙනවා.

ඊලග ප්‍රශ්නය තමයි ශ්‍රී ලංකාවේ රුපියල පීඩනයට පත් වෙලා තියෙන එක. මෑතකදී ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුතුවට (Sri Lanka development bonds issuance) ලංසු ළැබුනෙ 25% කට විතරයි. ඒ නිසා ECT හි ආයෝජනය කිරීමට අවශ්‍ය විදේශ විනිමය සොයා ගැනීම ඉතාම අපහසුයි. අපිට කරන්න වෙන්නෙ මේක තවත් කල් දාන එක විතරයි. ඒ ආයෝජනය සදහා මුදල් අවශ්‍ය අපේ මුදල් ඒකකයකින් නෙවෙයි. ඒක ඕන ඇමරිකන් ඩොලර් වලින්. මොකද වරාය පර්‍යන්තයක් බවට පත් කරන්න අවශ්‍ය භාණ්ඩ ආනයනය කරන්න අවශ්‍යයි. එය ලෝක මට්ටමේ පවත්වාගෙන යන්න නම් සියලු උපකරණ හා යන්ත්‍ර සූත්‍ර ආනයනය කළ යුතුයි. ඒව ලංකාවෙ හදන්නෙ නැහැ. මේ අවස්ථාවේදී අපේ වටිනා විදේශ සංචිත (foreign reserves) මේ වෙනුවෙන් වියදම් කරන්න අපට හැකියාවක් නැහැ. එහෙනම් ඇයි අපි ETC තවත් ප්‍රමාද කරන්නේ? 

හැමදාම කියනවා වගේ ලංකාව, සිල්ලර කඩේ මුදලාලි ලබාදුන්නු දිරි ගැන්වීම් වලට සමාන නිවැරදි ව්‍යාපාරික ආකෘතියක් නිර්මාණය කළද, එහෙම නැත්නම් මෙය කල් දැමීමෙන් අපේ ව්‍යාපාර වලට හා ලාංකිකයන්ට වරායෙන් ලබාගන්න හැකියාව තිබුන ලාභ උපයා ගැනීමේ අවස්ථාව නැති කළා ද කියන කාරණය කාලය පමණක් ම තීරණය කරනු ඇති. ඒ තීරණය ලැබෙනකං අපිට කරන්න පුලුවන් බලං ඉන්න එක විතරයි.

The Morning පුවත්පතේ ධනනාත් ප්‍රනාන්දු විසින් පල කරන ලද ලිපියක  සිංහල පරිවර්තනයයි 



විදේශ විනිමය සුරකිනවා ද විදේශ විනිමය උපයා ගන්නවා ද?

මම පොඩි කාලේ ක්‍රිකට් සෙල්ලම් කරන විදිය මට තාම මතකයි. මම game එකේ නීති දැනගෙන හිටියෙ නැතිවුනත්, මගෙ යාළුවෙක් එක්ක මාරුවෙන් මාරුවට ball කරන්න bat කරන්න පුරුදු වෙලා හිටියා. එක දවසක්, මගේ යාලුවා ඕවර පහක තරගයකදී  මුලින් bat කරනකොට, over තුනකට පස්සෙ ලකුණු 25 කදි මම එයාව out කලා. ඊට පස්සෙ ball කරන්න තිබ්බෙ එයාට. හොදින් bat කරපු මට out නොවී ලකුණු 20ක් ගහගන්න එදා පුළුවන් වුනා. එදා මම out වුනේ නැති නිසා මම හිතුවෙ මම තමා game එක දින්නෙ කියල. මං කිව්ව “මාව out කරේ නැහැනෙ. ඒත් මං ඔයාව out කරා ඒක නිසා මං දිනුං” කියල. යාලුව කිව්ව “ඒත් මං ලකුණු 25ක් ගැහුව ඒත් ඔය ගැහුවෙ ලකුණු 20යි.” එක්ක නිසා යාලුව දිනුම් කියල ඔහු කියනවා. පස්සෙ යාලුවා මට පැහැදිලි කලා ක්‍රිකට් වල දිනුම තීරණය වෙන්නෙ ලබාගන්න කඩුලු ගාණ මත නෙමේ ලබාගත් ලකුණු අනුවයි කියලා. ඒ නිසා යාලුව දිනුම්. 

මේ දේවල් මතක් වෙද්දි මට හිතෙනවා අපේ රටේ මිනිස්සු හා රටේ ප්‍රතිපත්ති හදන අය ආර්ථිකය ගැන මූලික දනුමක් තියෙන අයද කියලයි. 

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (Department of Census and Statistic) and , දෙවන හා තෙවන කාර්තු වල ජාතික දළ දේශීය නිෂ්පාදිතයේ දත්තයි (national GDP data) මහ බැංකුව පළකරපු බාහිර අංශය පිළිබඳ වාර්තා(external sector performance report)  වලට මිනිස්සුන්ගෙන් ලැබුනු ප්‍රතිචාර දැකලා මට හිතුනා ලංකාවේ අපි අපේ ආර්ථික ගැටලුව තවමත් තේරුම් ගෙන නැද්ද කියල.  තේරුම් අරගෙන නම් අපි දැන දැනත් වැරදි දිශාවට ද යන්නෙ කියලා.

හොඳින් ක්‍රියාත්මක වෙන ආර්ථිකයක ප්‍රධාන පරමාර්ථය වෙන්නේ ජාතික ආදායම ඉහළ නැංවීමයි. මේ තුළින් දිළිඳුකම අවම කර ගන්නත්, වැඩි පිරිසකට ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාගන්නත් (Improve quality of life) පුළුල් පරාසයක භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන්නත් හැකියාව ලැබෙනවා. ඒත් එක්කම, දිගුකාලීන සමෘද්ධිය ළගා කරගන්න තිරසාර පරිබෝජනය වැදගත්. මේ අරමුණු සාක්ෂාත් කරගන්න නම් අපේ උපාය මාර්ගය විය යුත්තේ, රටේ ඉන්න හැම කෙනෙක්ටම ආර්ථිකයට සමානව සහ පහසුවෙන් සම්භන්ද වෙන්න පුළුවන් වෙන විදියට ආර්ථිකය හැඩගස්සව ගන්න එකයි.දුප්පත් මනුස්සයෙක්ට විකුණන්න පුලුවන් පහසුම දේ තමයි ඔවුන්ගේ ශ්‍රමය. 

තමන්ගේ ශ්‍රමය පමණක් වෙළඳාම් කරන්න පුළුවන්, ආර්ථිකයේ අවදානමට ලක්වෙලා ඉන්න දුප්පත් අංශ කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ගමන් ඒ අංශ ගෝලීය නිෂ්පාදන ජාලයන් (Global Value Chains) සමඟ සම්බන්ධ කරන්න උත්සාහ කළ යුතුයි. ඒ තුළින් ඔවුන්ගේ ශ්‍රමය වෙළඳාම් කරන්න අලුත් අවස්ථා ලබා ගන්න පුළුවන් වෙනවා විතරක් නෙමේ, අන්තිමේදී ඔවුන්ගේ දරිද්‍රතාවය තුරන් කරන්නත් අපට හැකියාව ලැබෙනවා.

2020 ඔක්තෝම්බර් මාසයේ මහ බැංකුව පළකරපු බාහිර අංශය පිළිබඳ වාර්තාවෙන් හෙළි වුනේ පළමු මාස ​​10 තුළ ශ්‍රී ලංකාවේ අපනයන 16%කිනුත්, ආනයන 19% කිනුත් අඩු වී ඇති බවයි. ඒකේ ප්‍රතිඵලයක් විදියට අපේ වෙළඳ හිඟය 2019 දී අනුරූප ව ඩොලර් බිලියන 6.4 සිට ඩොලර් බිලියන 4.8 දක්වා අඩු වුනා.

වෙළඳ හිඟය / අතිරික්තය (balance in trade account) අපේ ආර්ථිකයේ දිශාව පිළිබඳ ප්‍රධාන සංකේථයක් නොවන බව අප මුලින්ම වටහා ගන්න ඕන. ඇත්තටම බැලුවොත් වඩාත්ම වැදගත් දර්ශකයන් වෙන්නේ ආදායම් මට්ටම සහ දරිද්‍රතාවය(poverty), ජීවන තත්ත්වය සහ මිලදී ගැනීමේ හැකියාවයි (purchasing power of income). මේ දර්ශකයන් වෙළඳ ශේෂයන් (trade balances), රාජ්‍ය මූල්‍ය හිඟයන් සහ අතිරික්තයන් (fiscal deficits and surpluses) විතරක් නෙමෙයි, අපේ ආර්ථිකයේ තත්වය සහ ශ්‍රී ලාංකිකයන්ගේ යහපැවැත්ම ගැනත් හොඳ සංඥා සපයනවා.

ආනයන සීමා කිරීම්වල ප්‍රතිඵලයක් විදියට අපගේ ආනයන අඩු වෙලා තියෙනවා වගේම, COVID-19 හා වෙළඳ පාලන තන්ත්‍රයේ අපනයනයට ඇති නැඹුරුව අපේ අපනයන තවත් පහත වැටෙන්න හේතු වෙනවා. COVID-19 හි බලපෑම ආනයන පාලනයන්(import restrictions) ගේන්න තිබුන ප්‍රධාන හේතුවක්. ආනයන කරන බොහොමයක් දේවල් අපනයනය කළ යුතු භාණ්ඩ නිෂ්පාදනය අමුද්‍රව්‍ය විදියට පාවිච්චි කරන යෙදවුම් (Inputs for outputs). ඒ නිසා ආනයනවල හිඟකම අපනයනවලට ගෝලීය වෙළෙඳපොළ තුළ තියෙන තරගකාරිත්වය නැතිකරනවා.

විදේශ විනිමය අනුපාතය ආරක්ෂා කරන එක සහ වෙළඳ හිඟය නැතිකරන එක විතරක් උපාය මාර්ගයක් විදියට අනුගමනය කලොත් අපේ ආර්ථිකයට දිගු කාලීනව අහිතකර ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදුවෙනවා. ඒ විදියට වෙළඳ ගිණුමේ හිඟයක් හෝ අතිරික්තයක් පමණක් ඉලක්ක කර ගන්න එක, ප්‍රතිවාදී කණ්ඩායම රැස්කරගෙන තියෙන  ලකුණු ඉක්මවා යාමේ අවශ්‍යතාවය තේරුම් ගන්නෙ නැතුව කඩුල්ල ආරක්ෂා කරන්න ගිහිල්ල එදා ක්‍රිකට් ගහන්න මම උත්සාහ කලා වගේ තමයි.

වෙළඳාම සම්බන්ධයෙන් තියෙන ගැටළුවට ප්‍රධාන වශයෙන් හේතු වුනේ පසුගිය දශක කිහිපයක් තුළ නොසලකා හැරපු විශාල සාර්ව ආර්ථික (Macro economic) ගැටලුව වුන සමස්ත සැපයුමට වඩා ඉදිරියෙන් දිවෙන සමස්ත ඉල්ලුම බව අපි වටහා ගැනීම වැදගත්. 

ආනයන හා අපනයන ප්‍රධාන වශයෙන් පෞද්ගලික අංශයේ කාර්යයක්. පෞද්ගලික අංශයට සාපේක්ෂව රජය ආනයනය හා අපනයනය කරන්නේ ඉතා කුඩා ප්‍රමාණයක්. වෙන විදියකට කිව්වොත්, රජය ආනයනය හෝ අපනයනය නොකලත් (වාහන, සතොස සඳහා සෘජු ආනයන හැර), තීරුබදු සහ තීරුබදු නොවන ගාස්තු පැනවීම හරහා සිද්ධ වෙන ඔවුන්ගේ මැදිහත්වීම,  ආනයන හා අපනයන වෙළඳපොළවල ක්‍රියාකාරීත්වයට බලපෑමක් ඇතිකරනවා. එම නිසා වෙළඳාම වැඩිදියුණු කිරීම වෙළඳපල කාර්යයක් වන අතර ඒකට රජය මැදිහත්විය යුතු නැහැ. රජයේ කාර්යභාරය වෙන්නේ ගොඩක් අවස්ථාවලදී අපේ අපනයන වලට එක සමානව හැසිරෙන්න පුළුවන් තැනක් නිර්මාණය කරන එක හා තරඟකාරිත්වය ඉහළ නංවන්න සහාය වෙන එකයි. වෙළඳ ගිණුමේ (Trade account) වර්තමාන තත්වය අඛණ්ඩව විවිද රජය විසින් ක්‍රියාත්මක කරන ලද දුර්වල සාර්ව ආර්ථික ප්‍රතිපත්තිවල එක් ප්‍රධාන ප්‍රථිඵලයක්. 

මූල්‍ය කළමණාකරණ පැත්තෙන්, හැම වසරකම අපේ අයවැය හිඟය පියවා ගන්න මුදල් මුද්‍රණය කරන එක (quantitative easing), පාඩු ලබන ඵලදායි නොවන රාජ්‍ය ව්‍යවසායයන් (state-owned enterprises - රජයට අයිති ව්‍යාපාර) දිග ලැයිස්තුවක් පවත්වා ගෙන යන එක ගින්නට පිදුරු දැමීමක් විතරයි. ඒකට හේතුව වෙන්නෙ, අපි අයවැය හිඟය පියවා ගන්න සල්ලි අච්චු ගහද්දි වෙන්නෙ පවතින ආනයන වලට ඇති ඉල්ලුම වැඩි විය හැකි නිසා එය ස්වයංක්‍රීයව වෙළඳපොල විකෘති වෙන එක. ඒ වගේම අච්චු ගහන සල්ලි නිකංම ආනයන පස්සෙ ගිහිල්ල මූළ්‍ය පද්දතියම අසමතුලිත වෙනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව 2019 වර්ෂය තුන්වන කාර්තුවට අපේ ආර්ථිකය 1.5% ක වර්ධනයක් ලබාගෙන තියෙනවා කියන්නෙ හොද දෙයක්. හැබැයි අත්‍යවශ්‍ය සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණවලට විසඳුම් ලබා නොදී වෙළඳ හිඟය පමණක් ඉලක්ක කරගෙන කටයුතු කරන එක, ක්‍රියාකාරී ආර්ථිකයක ප්‍රධාන පරමාර්ථය සාක්ෂාත් කරගන්න එක ශ්‍රී ලංකාවට තවත් අපහසු කරන්න හේතුවක් වෙයි.

අනිත් අතට බලද්දි, දැනට පවතින විදේශ විනිමය අනුපාතය ආරක්ෂා කරන්න අවධානය යොමු කරනවා වෙනුවට, තරඟකාරී විනිමය අනුපාතයක් හදාගන්න අපේ අවධානය යොමු කරන එක ඉතා හොද උපාය මාර්ගයක්. ඒක කරන්න නම්, අපට ඇති ගැටලුව තේරුම් අරගෙන අපේ  පරමාර්ථය සපුරාගන්න සුදුසු උපාය මාර්ගයක් සොයා ගන්න එක වැදගත්.

මෙතනදි අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි ශ්‍රී ලාංකික ආර්ථිකය සාර්ව ආර්ථික අසමතුලිතතාවයන්ගෙන් පීඩා විඳින ආර්ථිකයක් කියල. සරළව කිව්වොත් අපේ ආර්ථිකයේ මූලික කොටස සකස් වෙලා තියෙන ක්‍රමය වැරදියි. 

ඒ වගේම ගැටළු විසඳන්නේ නැතුව ගැටළු වල ප්‍රතිඵල නිවැරදි කරන්න රජයන්ට බැරි බව අපි තේරුම් ගන්න ඕන. රටක ආර්ථික පද්ධතිය ක්‍රියාත්මක වෙන විදිය ගැන තියෙන දුර්වල අවබෝධය නිසා රටක අඩු ආර්ථික වර්ධනය, දළ දේශීය නිෂ්පාදිතයේ ඇති අඩු අපනයන, දුර්වල ජීවන තත්ත්වය, බාහිර ණය මත පීඩනය, මුදලේ පීඩනය, දුර්වල ඵලදායිතාව වගේ අහිතකර ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිදු වෙනවා.

අපේ ගැටළු වල විශාලත්වය අප වටහා නොගත්තොත්, සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණවලට විසඳුම් දෙන්න අප අසමත් වුනා වගේ මේ අවුරුද්දෙත් අපිට ඒවා කල් දාන්න සිද්ධ වෙයි.

ක්‍රිකට් ගහද්දි කඩුලු ආරක්ෂා කරනවා වගේ අපේ විදේශ විනිමය ආරක්ෂා කරන්න ගිහින්, සාර්ව ආර්ථික මූලධර්ම නිවැරදි නොකර විදේශ විනිමය උපයා ගන්න අපොහොසත් වුනොත් තත්වය තවත් නරක අතට හැරෙන්න තියෙන ඉඩ වැඩී. ඒ නිසා ඉස්සරහට ශ්‍රී ලංකාව කඩුලු ආරක්ෂා කරනවා වෙනුවට අපේ විරුද්ධවාදීන් ඉක්මවා ලකුණු රැස් කරන්න උත්සාහ කළ යුතුයි.ඒ කියන්නෙ අපේ මුල්ම ප්‍රතිවාදියා දුප්පත් කමයි. 

පරිවර්තනය - තිලෝකා යාපා

The Morning පුවත්පතේ ධනනාත් ප්‍රනාන්දු විසින් පල කරන ලද ලිපියක  සිංහල පරිවර්තනයයි 



දිගු කලක් බලා සිටි ආර්ථික පුනර්ජීවනය: මේ වසරේවත් සිදු වෙයිද?

මම පොඩි කාලේ ඉදන්ම අලුත් අවුරුදු යෝජනා කඩදාසියක ලියලා වසරේ අවසාන දවසේ බලන්න පුරුදු වෙලා හිටියා. 

මේ යෝජනා අතර තිබ්බා, ගණිතයට ලකුණු 85 ක් ගන්න එක, බයිසිකලයක් පදින්න ඉගෙන ගන්න එක සහ යාලුවො එක්ක ක්‍රිකට් සෙල්ලම් කරද්දි අර්ධ ශතක 12 ක් ලබා ගන්න එක වගේ දේවල්. මම අවුරුද්ද අන්තිමේ දී ඒවා නැවත බලුවේ ඒ අරමුණු වලින් කීයක් මම සාක්ෂාත් කරගෙන තියෙනවද කියල බලන්නයි.ඉතිං අවුරුද්ද අන්තිමේදි ලංකාවෙ ආර්ථිකය ලබා ගත් ඉලක්ක කොච්චර සාර්ථක කරගෙන තියනවද කියල බලන්න ඕන. එතකොට තමයි මට මයිකල් ජෝර්ඩන්ව මතක් වුණේ.

ප්‍රසිද්ධ බාස්කට්බෝල් ක්‍රීඩකයෙක් වුන මයිකල් ජෝර්ඩන්ගේ කියමනක් වුනේ, “සමහරු, දේවල් වෙන කවුරු හරිකරනකං බලං ඉන්නවා. සමහරු දේවල් වේවා කියල ප්‍රාර්ථනා කරනවා. සමහරු දේවල් කරල ආදර්ශයෙන් පෙන්නනවා. (Some people want it to happen, some wish it would happen, others make it happen)” කියල. මේක අහල මට තේරුම් යන්න ගත්ත මට සිහිනයක් කියල දෙයක් තිබුනට, ඒක ගැන හරි අවබෝධයක් සහ ඒ වෙනුවෙන් මම කිසිම දෙයක් කරන්නෙ නැත්නම් ඒක නිකන්ම නිකන් ප්‍රාර්ථනාවක් විතරයි කියල. 

ඉතින් මට දැන් තේරෙන්නේ මයිකල් ජෝර්ඩන් එදා කිව්ව ඒ කියමන අපේ රටේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට සහ මිනිස්සුන්ට කොච්චර අදාළ වෙනවද කියල. අපේ රටේ මිනිස්සුන්ට ආර්ථිකය ගැන තියෙන හීනය සැබෑ කරගන්න මේක ඉතා හොද පාඩමක් කියන එක තමයි මගේ මතය. කවුරු හරිකරනං බලං ඉන්නවාද? අර්ථිකය හොද වෙයි කියල ප්‍රාර්ථනා කරනවද? නැත්තං අපි ඇත්තටම ආර්ථිකය හොද කර ගන්නවද?

ඉතින් මේ විදියට අපි එකතු වෙලා ගන්න තීරණ කොච්චර දුරට සාර්ථක ද කියල දැනගන්න පුළුවන් වෙන්නෙ 2021 අන්තිමේදී තමයි. මේ විදියට බැලුවම සරළව මේ අවුරුද්දෙ ආර්ථිකව දේවල් 3ක් වෙන්න පුළුවන් 

1 අවස්ථාව: ආර්ථික ප්‍රතිසංස්කරණ අවාශ්‍යයි කියා දෙවල් වෙනකං බලං ඉදීම (Want it to happen)

2021 දී වෙන්න පුළුවන් එක සිදුවීමක් තමයි ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍යයි කියා දෙවල් වෙනකං බලං ඉදීම. අපේ රටේ දේශපාලන හා ආර්ථික නායකත්වයට, ආර්ථික නංවන්න අවශ්‍යතාවය තිබුනත් ඒකට වැරදි මෙවලම් භාවිතා කරන එක මේ ගැටලුවේම තවත් පැත්තක්. මේ හේතුව නිසා කොච්චර උවමනාව තිබුනත්, වැඩේ වෙයි කියල හිතුනත් ඔවුන්ට හැකියාව ලැබෙන්නේ නැහැ අවශ්‍ය දේ ලබා ගන්න. මේ ගැටලුව දැනැටමත් විද්වතුන් හා ආර්ථික විද්‍යාර්ථයින් හදුනාගෙන තියෙනවා. එත්, ගැටලු විනිශ්චයට විතරක්ම අපි දැනටමත් වැඩි කාලයක් වැය කරල අවසන්.

පරස්පර මතවාද දරන ආර්ථික විද්‍යාර්තයින් පවා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ලොකු ඵලදායිතා (Productivity) ගැටළුවකට මුහුණ දෙන බව පිළිගන්නවා. ඒ කියන්නෙ, විශාල සම්පත් ප්‍රමාණයක් සාපේක්ෂව අඩු නිමවුමක් ලබා ගන්න අපි යොදා ගන්නව කියලයි. අපි ලබා ගන්නෙ ඉතාම සුලු නිමවුම් ප්‍රමාණයක්. ගමේ භාෂාවෙන් කියනව නං මල්ලක් වපුරල අල්ලයි ගෙට ගන්නෙ. බලන්න අපේ කෘෂිකර්මය. අපේ ශ්‍රම බලකායෙන් 25%ක් කෘෂිකර්මය කලාට අපේ දළ දේශීය නිෂ්පාදනයට එකතු වෙන්නෙ 8%ක් විතරයි. මේ එක්කම ලංකාවේ system එකේ අවුල් නිසා ආර්ථිකය තවත් විකෘති වෙලා ගිහින් මේ ගැටලුව දැනටමත් දශක ගණනාවක  පැලපදියම් වුණු පුරුද්දක් වෙලා ඉවරයි .

මේක බරපතළ ප්‍රශ්නයක් වෙන්නේ තවත් ගැටලු ගොඩක් මේකෙන් ඇතිවෙන නිසා. ණය තිරසාර භාවය (Debt sustainabiliy) පිළිබද අභියෝග, දුර්වල අපනයන ක්‍රියාකාරිත්වය (weak exports) හා දුර්වල තරගකාරිත්වය (lack of competition) , අපේ ආර්ථිකය මුහුණ දෙන ගැටලුවල තවත් ලක්ෂණ කිහිපයක්. මේ ගැටලුවට මුල් වුන හේතු ගැන නොතකා ගැටලුවේ ලක්ෂණ විතරක් නිවැරැදි කරන්න ගියොත් අපිට 2021දිවත් ගොඩ එන්න පුළුවන් වෙන්නෙ නම් නැහැ.

අපේ රටේ පුරුද්දක් තමක් කල් පැන ගිය ප්‍රතිපත්ති, ආර්ථිකය ගොඩගන්න කියල භාවිතා කරන එක. මේකට හේතුව තමයි තියෙන ප්‍රශ්නවල බරපතලකම පිළිබද නොදැනුවත්කම. ලංකාව “ආර්ථික ප්‍රතිසංස්කරණ අවාශ්‍යයි කියා දෙවල් වෙනකං බලං ඉදීම” කියන පාර තෝර ගත්තොත්, අපේ ආර්ථික ගමනාන්තය බොහෝ දුරට මීටත් වඩා බරපතළ වෙයි.

2 අවස්ථාව: ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුවනු ඇතැයි ප්‍රාර්ථනා කිරීම.

තවත් සිදුවීමක් තමයි ආර්ථිකය ප්‍රතිසංස්කරණට ඉහලින් වෙනත් දේශපාලන අභිප්‍රායයන්ට ප්‍රමුඛතාවය දී “ආර්ථිකය පුනර්ජීවනය වේවා” කියලා ප්‍රාර්ථනා කිරීම. 

කාලයක් තිස්සේ අපෙ රටේ ආර්ථිකය දේශපාලන කැපකිරීම සහ පාවා දීම් රාශියකට මුහුණ දුන්නා. 1953 හර්තාල්, 1981 කැරලි, 1983 කළු ජුලි කෝලාහල සහ LTTEය පිහිටුවීම,මෑතකදී සිදුවූ 2018 ව්‍යවස්ථාමය කුමන්ත්‍රණය සහ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය වගේ අවස්ථාවන් වල දේශපාලන න්‍යාය පත්‍රයට සැමවිටම ප්‍රමුඛතාවය ලැබුනා.

මේ වගේ සිදුවීම් නිසා රටේ ආර්ථිකය සෑහෙන්න ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඒ ප්‍රශ්න රටේ දේශපාලන අස්ථාවරත්වයට පරිවර්තනය වෙලා ආර්ථිකය ලොකු පසුබෑමකට ලක් කරනවා. 2021 දී, ප්‍රාර්ථනා කර කර ඉන්නවට වඩා උද්ගත වන ණය තිරසාර අභියෝගයන්ට ක්‍රියාකාරී විදියට මුහුණ දීමට අපි වග බලා ගන්නඕනේ. 

ඉතුරු විදේශීය සංචිත භාවිතා කිරීමෙන් සහ අසල්වැසි රටවලින්  විදේශ මුදල් හුවමාරු කරගෙන (Currency Swap) අපට මේ වසර (2021) අපේ ණය ගෙවීම් කරගෙන යන්න පුළුවන් වුනත්, අවශ්‍ය ප්‍රතිපත්ති යොදා ගන්න බැරි වෙලා ආර්ථික වර්ධනයට සුදුසු පරිසරයක් නිර්මාණය කලේ නැති වුනොත්, අවසාන කාර්තුවේ දී සහ 2022 ආරම්භයේදී අර්ථිකයට සහ ජනතාවට පීඩනය වැඩි වෙන්න පුළුවන් . මේ මොන ප්‍රශ්න තිබ්බත් ශ්‍රී ලාංකික අපිට මේ ණය බරෙන් ගැලවෙන්න පුළුවන් වෙයි කියන ධනාත්මක හැඟීමක් සහ ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒත් මේ දේ ඇත්තටම වෙන්න නම් අපි මේක සැහැල්ලුවට නොගෙන බැරෑරුම් දෙයක් විදියට තේරුම් ගන්නම   ඕනේ. 

ඉදිරියේදී, පවතින අර්බුධයෙන් රට බේරගන්න කියල චීනය එක්ක ද්විපාර්ශ්වික සම්බන්ධතාවයක් ගොඩනැගීමේ සහ අපේ ණය ගෙවන්න උදවු කරයි කියල ප්‍රවනතාවක් තියෙනව. ඒත් චීනයෙන් එවැනි ප්‍රතිකාර ලබා ගන්න බලන් ඉන්න එකම රට අපි නෙමෙයි. Financial Times හි මෑතකදී පළ වුනු ලිපියකින් හෙළි වුනා Belt and Road Initiative (BRI)  සඳහා ප්‍රධාන අරමුදල් සපයන මූල්‍යය ආයතන දෙක වන චීන සංවර්ධන බැංකුව (China Development Bank) සහ චීනයේ අපනයන-ආනයන බැංකුව (Export-Import Bank of China) සපයනු ලබන අරමුදල් මඟින් BRI සඳහා වන අරමුදල් 2016 දී ඩොලර් බිලියන 75 සිට 2019 දී ඩොලර් බිලියන 4 දක්වා අඩු කරලා කියලා.  

BRI සඳහා මුදල් යෙදවීමේ නව උපාය මාර්ගයක් විදියට චීනය සිය රජය සතු ව්‍යාපාර හරහා අරමුදල් සපයන්න ඉන්නව කියල ප්‍රති තර්කයක් තියෙනවා. 

කොහොම වුනත්, අපි පියවර ගන්න කාලය දැන් හරි. චීනයට සමස්ත BRI ව්‍යාපෘතිය ගැන විශාල උනන්දුවක් තියෙන නිසා අපි ඒ ගැන වැඩි බලාපොරොත්තු තියා ගන්න එක අසාධාරණයි. අනිත් අතට මේකත් එක්කම භූදේශපාලනික වශයෙන් බලපෑම් ඇති වෙන්න තියෙන ඉඩ ප්‍රස්ථාව වැඩී. 

ප්‍රතිසංස්කරණ සඳහා වැරදි ලෙස ප්‍රමුඛතාවය දීම අර්බුදය උග්‍ර කරන්න බලපානව වගේම මෙච්ච්ර කාලයක් අපේ ආර්ථිකයට පසුබෑමට හේතුවක් වුනේ අපි කිසිවක් නොකිරීමයි. ගතික ලෝකයක, කිසි දෙයක් නොකිරීම සමහර විට වැරදි දේ කිරීමට උත්සාහ කරනවාට වඩා නරක දෙයක්. මේ එක්කම ගැටලු නිරාකරණයට ඇති මග ආර්ථික ප්‍රතිසංස්කරණ කල් දැමීම නෙවෙයි.  කල් දැමීමෙන් සැබෑ ආර්ථික සැබෑ සමෘද්ධිය අපෙන් තවත් ඈත් කරනවා.

3 වන අවස්ථාව: ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුවන අයුරින් කටයුතු කිරීම

තුන්වෙනි හා වඩාත්ම වාසිදායක අවස්ථාව වෙන්නේ ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති සම්පාදකයින් අතින්ම සිදු වෙන විදියට වැඩ කිරීම. නිවැරදි මෙවලම් (tools) එක්ක නිවැරදි ප්‍රමුඛතාවය ලබා දෙන විට ආර්ථිකය දියුණු කරන්න ඉතා හොද අවස්ථාවක් තියෙනවා.  හැම අර්බුදයක්ම ප්‍රතිසංස්කරණ සඳහා කවුළු විවෘත කරන නිසා අපි නිවැරදි ප්‍රතිසංස්කරණ වලට යොමු විය යුතුයි. මෙහිදී, නිවැරදි මෙවලම් භාවිතා කරන එක ආයෝජකයින්ගේ විශ්වාසය යථා තත්ත්වයට පත් කරනවා වගේම වෙළඳපල සංඥා නිසි විදියට ක්‍රියාත්මක වෙන්න උදව් කරනවා.

මුලින්ම “ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට” කෙටිමං හා විකල්ප ක්‍රමයක් නැති බව ප්‍රතිපත්ති සම්පාදකයින් තේරුම්ගන්න  ඕනේ. මිල සංඥා (price signals) මත වෙළඳපොළවල් ක්‍රියාත්මක වෙන්න ඉඩ දී මූල්‍ය කළමනාකරණය සහ ස්ථායිතාව වැඩි දියුණු කිරීමෙන් ඵලදායිතාව වැඩි දියුණු කිරීමට දැඩි ආර්ථික ප්‍රතිසංස්කරණක් සිදු විය යුතුයි කියල අපි තේරුම් ගන්න අවශ්‍යයි වගේම “ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට” කැපවීමත් අවබෝධයත් අවශ්‍ය බව අප පිළිගන්න ඕනේ.

වසර ගණනාවක් තිස්සේ මේ තියෙන අයහපත් ආර්ථික කළමනාකරණය දිහා බලද්දි, අප ළඟ තිබෙන විසඳුම් ප්‍රමාණවත් නැහැ කියල අපිට දැනටමත් වැටහෙනවා. හැම ක්‍රියාවකටම සහ තේරීමකටම පිරිවැයක් තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) හා සම්බන්ධ විසදුම අපේ රජය පසෙකට දමා තිබෙන නිසා, අපට ඇති අනෙකුත් විසඳුම් බලන්න ඕන. උදාහරණයක් වශයෙන් FDI (විදේශ සෘජු ආයෝජන) සහ ද්විපාර්ශ්වික හුවමාරුව හරහා මුදල් ලබා ගන්න එක (Currency Swap), යථාර්ථවාදීව අපේ වර්ධනය වේගවත් කළ හැකි දුර ඇගයීම වගේ වෙනත් විසදුම් දිහා අපිට බලන්න සිද්ධ වෙනවා.

2019 අගදී ලබාදුන් බදු සහන නැවත සංශෝධනය කිරීමට රජය අකමැති නිසා, අඩුම වශයෙන් පාඩු ලබන රාජ්‍යය සතු ව්‍යපාර කිහිපයක්වත් පුද්ගලික ආයෝජකයින් අතට පත් කිරීම,භාවිතයට නොගත් සම්පත් ආයෝජනයට විවෘත කර ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම වැනි දෑ කරන්න පුළුවන්. මේ අතුරින් අපි හරියටම කල යුත්තේ කුමක්ද කියලා මුලින්ම හොයාගන්න නම්, පිරිවැය-ප්‍රතිලාභ (Cost benefit analysis) විශ්ලේෂණයක් එක්ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ යෑමේ වාසි සහ අවාසිවල ඇගයීමක් කල යුතුයි.

සියල්ලටම විසදුමක් තියෙනවා වගේම, අප ඒවා ක්‍රියාවට නංවන එක වැදගත්. වැරදි මෙවලම් එක්ක, මුකුත්ම නොකර ආර්ථිකය ගොඩනංවන ප්‍රාර්ථනා  කිරීමෙන් කිසි වැඩක් වෙන්නෙ නැහැ. අපට සිදුවීමට අවශ්‍ය දේ සිදුවී තියෙනවද, අප දේවල් සිදුවීමට බලාපොරොත්තුවෙන් ඉන්න අපේක්‍ෂා කරන චින්තකයින් පිරිසක් විතරක්ද, නැත්නම් අප ධෛර්ය සම්පන්න ජාතියක්ද කියන එක කාලය යත්ම අපිට තේරුම් යයි.

පරිවර්තනය - තිලෝකා යාපා

The Morning පුවත්පතේ ධනනාත් ප්‍රනාන්දු විසින් පල කරන ලද ලිපියක  සිංහල පරිවර්තනයයි