අවුරුදු කාලය කිට්ටු වෙනවත් එක්කම නිතරම ආහාර පාන වල මිල ගණන් ගැන කතාවෙනවා. අවුරුදු සමයත් එක්ක මේ පාර විශාලම කතා බහට ලක් වෙලා තියෙන්නෙ පොල්තෙල් පිළිබඳව. ශ්‍රී ලංකාවෙ සෞඛ්‍ය අංශ, සමහර ආනයනික පොල්තෙල් වල ඇෆ්ලටොක්සින් (Aflatoxin) යන පිළිකා කාරක සංයෝගය අඩංගු බව අනාවරණය කිරීමත් සමඟම තමයි මේ පිළිබඳව කතාව තීව්‍ර වුණේ. දැනට පවතින තත්වය තමයි රජයේ මහජන සෞඛ්‍ය නිලධාරීන් සහ පාරිභෝගික අධිකාරිය රට වටේම විශ පොල්තෙල් හොයමින් පරීක්ෂණ කරනවා. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට විශාල විවේචනයක් එල්ල වෙලා. සාමාන්‍ය ජනතාව අවුරුද්ද අත ළග තියාගෙන කැවිලි පෙවෙලි හදන්න පොල්තෙල් ගන්න ක්‍රමයක් කල්පනා කරනවා. බොහෝ පාරිභෝගිකයන් පවා මෙතෙක් හිතාගෙන ඉදල තියෙන්නෙ අපි පාවිච්චි කරන පොල්තෙල් ලංකාවෙ නිෂ්පාදනය කරන පොල්තෙල් කියල.
ඒ අතර රජය පසුගියදා පාම් ඔයිල් හෙවත් කටුපොල් වලින් ලබා ගන්නා තෙල් සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබූවා. බොහෝ දෙනෙක් පොල්තෙල් පිටුපස කතාව දේශපාළනීකරනය කරනවා විනා එහි පිටුපස ආර්ථික විද්‍යාවක් ඇති බව පිලිගන්නා බවක්වත් පෙනෙන්නට නැහැ. ආර්ථික විද්‍යාව දිහා නොබලන නිසා ලබාදෙන විසඳුම්වලින් බොහෝ වෙලාවට වෙන්නෙ ප්‍රශ්ණය විසදෙන එකට වඩා වෙන්නෙ ප්‍රශ්ණය තවත් වැඩි වෙන එක.
අද අපි බලන්නෙ පොල්තෙල් පිටිපස්සෙ තියෙන ආර්ථික විද්‍යාව ගැන. අපි හැමෝම දන්න විදියට පොල්තෙල් වලට වැඩිපුරම අවශ්‍ය අමුද්‍රව්‍ය තමයි පොල්. පොල් ගැන කතා වෙන්නෙ පොල්වල මිල ගණන් වැඩි වුණු වෙලාවට විතරයි නමුත් මේ ගැන මීට වඩා ගැඹුරින් බලන්න අවශ්‍යයි.
පොල් සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමාට අනුව ලංකාවේ පරිභෝජනය සදහා දළ වශයෙන් පොල්තෙල් 180,000 MT පමණ අවශ්‍යයි.එයින් 50% නැත්තම් 90,000 MT පමණ ගන්නෙ කර්මාන්ත ක්‍ෂේත්‍රයට. ඉතිරි 50% පරිභෝජනය කරන්නෙ ගෘහස්ත වශයෙන්. පොල්තෙල් සදහා අවශ්‍ය පොල් වගාව කාලගුණික සහ දේශගුණික වශයෙන් හරිම සංවේදීයි. හොද ඵලදාවක් ගන්නනං හොද කාලගුණයක් තිබීම ඉතාම වැදගත්. පසුගිය කාලවල කාලගුණයට එල්ල වුණු බලපෑම නිසා පොල් ඵලදාව කලින් ශ්‍රී ලංකාව තුල නිපදවූ 40,000 MT පමණ පොල්තෙල් ප්‍රමාණය 25,000MT දක්වා අඩු වෙලා තිබෙන බවයි අධ්‍යක්ෂක ජෙනරාල් තුමා ප්‍රකාශ කලේ. ඒ අනුව ඉතා විශාල පොල්තෙල් ප්‍රමාණයක් සහ ඊට ආදේශක තෙල්වර්ග වන පාම් තෙල්, සූරියකාන්ත තෙල්, සෝයා තෙල් වැනි තෙල් වර්ග අපි භාවිතයට ගනු ලබනවා.
පොල්තෙල් ආනයනයේදී පිරිපහදු කල පොල්තෙල් සහ පිරිපහදු නොකරන ලද පොල් තෙල් ලෙස කාණ්ඩ දෙකකින් පොල්තෙල් ආනයනය කරන අතර ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය නිසා කල් යාමේදී සහ භාවිතයේදී පිළිකා ඇති කල හැකි විවිධ සංයෝග නිපදවිය හැකි බවයි ප්‍රකාශ වන්නේ.
පොල්තෙල් 1Kg එකක් නිශ්පාදනය සදහා දල වශයෙන් පොල්ගෙඩි 8ක පමණ ප්‍රමණයක් අවශ්‍ය බව සැලෙකෙනවා. ඒ අනුව ගත්තහම ශ්‍රී ලංකාවේ ගෘහස්තව කෑම පිසීම සදහා (පොල් සම්බෝල, පොල් කිරි සහ අනෙකුත් පොල් භාවිතා වන අවස්ථා) හැර පොල් තෙල් සදහා පමණක් දල වශයෙන් පොල් ගෙඩි බිලියන 1.5කට ආසන්න ප්‍රමානයක් අවශ්‍ය වනවා. වැඩිපුරම පොල් අප භාවිතා කරන්නේ ගෘහස්ථ පරිභෝජනය සදහායි. සංඛ්‍යා දත්ත අනුව ශ්‍රී ලංකාවෙ වසරකට ලැබෙන පොල් ඵලදාව පොල්ගෙඩි බිලියන 2.6ත් බිලියන 3ත් අතර වනවා. එම ඵලදාව ලබා ගැනීමට අප අපේ වගා කල හැකි භූමියෙන් 20.6%ක් පමණ කැප කර තිබෙනවා. ඒ අනුව පොල් සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂක ජෙනරාල් තුමාට අනුව අවම වශයෙන් අපගේ අවශ්‍යතාවය සැපිරීමට අපට පොල් ගෙඩි තවත් මිලියන 600ක්වත් වසරකට වගා කල යුතුයි.
මේ දත්ත දෙස බැලීමේදී අපට ප්‍රශ්ණයේ එක් අන්තයක් පැහැදිලියි. ඒ තමයි අපගේ පොල් ඵලදාව අපගේ අවශ්‍යතාවයට සරිලන තරම්වත් ප්‍රමාණවත් නොමැති බව. එයට ප්‍රධාන හේතු ගණනාවක්ම තිබෙනවා. ශ්‍රී ලංකාවේ එක් පොල් ගසකින් වසරකට සාමාන්‍යයෙන් ලැබෙන්නේ පොල් ගෙඩි 62කට ආසන්න ප්‍රමාණයක්. නමුත් අපිත් සමඟ තරගකරන සමාන දේශගුණයක් ඇති ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය, පිලිපීනය සහ ඉන්දුනීසියාව වැනි රටවල එක් ගසකින් ලැබෙන පොල්ගෙඩි ප්‍රමාණය 150 තරම් ඉගළ අගයක්. එම ප්‍රමාණය අපේ රටේ පොල් ගසකින් ළැබෙන පොල් ගෙඩි ප්‍රමාණයට වඩා දෙගුණයකටත් වැඩි අගයක්. ශ්‍රී ලංකාවේත් නිසි පරිදි කළමණාකරණය කරන පොල් වගාවන් වල ගසකින් දල වශයෙන් පොල් ගෙඩි 120ක් පමණ ලබා ගත හැකියි. කේරළය, මැලේසියාව සහ පිලිපීනය වැනි රටවල පොල් හෙක්ටයාරයකින් පොල්ගෙඩි 11,000-14,000 අතර පමණක් ලබා ගත හැකිවුවත් ශ්‍රී ලංකාවේ පොල් හෙක්ටයාරයකින් දැනට ලබා ගන්නේ පොල්ගෙඩි 6000කට ආසන්න ප්‍රමාණයක්. ඉන්දුනීසියාව වැනි රටවල හෙක්ටයාරයකින් ලබා ගත හැකි පොල්ගෙඩි ප්‍රමණය 15,000 ඉක්මනවා. ශ්‍රී ලංකාවෙ පොල් ඵලදාව අඩු වීමට හේතුව එහෙම නැත්තම් ඵලදායිතාව අඩු වෙන්නෙ මොකක්ද හේතුව කියන එක බොහෝ දෙනෙක්ට අදහසක් නෑ.
එක හේතුවක් තමයි අපේ පොල් වගාවන් වල තිබෙන ගස් ඉතාම පරණයි. සාමාන්‍යයෙන් ගසක් පරණ වෙද්දි විද්‍යාත්මකව ඵලදාව එන්න එන්නම අඩු වෙනවා. ඒ වගේම අපේ ගස් නඩත්තුව ඉතාම අවමයි. පුත්තලම, හලාවත වැනි ප්‍රදේශවල පොල්වතු අයිතිකරුවන් බොහෝ වෙලාවට පදිංචිව සිටින්නේ කොළඹ ප්‍රදේශයේ. ඉතින් වගාවක් ලෙස පොල් වගාවට දෙන අවධානය ඉතාම අඩුයි. මේ කාරණ දෙකට බලපාන ලද තවත් හේතුවක් විය හැක්කේ 1970 මුල් භාගයේ අක්කර 50ට වැඩි පුද්ගලික ඉඩම් රජය සතුකර ගැනීමයි. වගාවන් වල ප්‍රමාණය කුඩා වන තරමට වාණිජ වගාවක් ලෙස ක්‍රියාත්මක කිරීම අපහසුයි. එවිට යන වියදමත් වැඩියි. ලාභය අඩුයි. එලෙසම රජයට පවරා ගත් පොල් ඉඩම් වල ඵලදාව පුද්ගලික ඉඩම් වල ඵලදාවට වඩා ඉතාම අඩුයි. මේ සියලුම හේතු වල සංකලනයක් ලෙස ලංකාවේ පොල් වගාව ඉතාම අකාර්යක්ශම වගාවක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම පොල් ගස් නඩත්තු කිරීමට සහ පොල් කැඩීමට අවශ්‍ය ශ්‍රමය සොයා ගැනීම ඊටත් වඩා ප්‍රශ්ණයක්. ඒ වගේම පොල් ප්‍රධාන අපනයන භෝගයක්. ශ්‍රී ලංකාවෙ පොල් වගාව ප්‍රමාණයෙන් සහ කාර්යක්ශමතාවයෙන් අඩු වුවත් ශ්‍රී ලංකාවේ පොල්වල ඇති සුවිසේෂී රසය සහ සුවද නිසා සමහර අපනයන ක්ශේත්‍ර සදහා ශ්‍රී ලංකාවෙ පොල් වලට ඉතා විශාල ඉල්ලුමක් තිබෙනෙවා. නමුත් එම ඉල්ලුම සැපයීමට තරම් අපිට හැකියාවක් නැහැ.
මේ සියලු ප්‍රශ්න පොල් වගාව පිලිබද හෙවත් පොල් සැපයීම පිළිබද ප්‍රශ්ණ.
අනෙක් අන්තයෙන් පොල් ඉල්ලුම සදහාත් විවිධ බලපෑම් එල්ල වෙනවා. ලෝකයේ හෘද රෝග පිළිබඳ අවධානය වැඩි වීමත් සමඟ ආහරයට ගන්න විවිධ තෙල් වර්ග පිළිබඳව පාරිභෝගිකයන්ගේ අවධානය යොමු වුණා. ඒ අනුව පොල් තෙල් වලට ආදේශක තෙල් වර්ග ලෙස පාම් තෙල්, සූරිය කාන්ත තෙල්, සෝයා තෙල් ලෙස විවිධ තෙල් වර්ග වලට වෙළදපොලේ අවධානය යොමු වුණා. මේ සියලු වෙළදපොල තත්වයන් සහ නිශ්පාදන තත්වයන් සැලකිල්ලට ගෙන අපේ පොල් කර්මාන්තය දියුණු කිරීම වසර ගණනාවක් පැවති රජයන් ගෙන තිබෙන පියවර මොණවාද?
බොහෝ රජයන් වලින් සිදු කර තිබෙන එකම ප්‍රතිපත්ති තීරණය වන්නේ පොල් මිල වැඩි වන විට පොල් මිල පාලනය කර ගැසට් පත්‍රයක් මධ්‍යම රාත්‍රියේ මුද්‍රණය කිරීම පමණයි. එහි ප්‍රතිඵලය ලෙස වෙළදපොලේ ඇති පොල් කලු වෙලදපොළට (Black market) හුවමාරු වන අතර පාරිභෝගිකයාට තිබුණාටත් වඩා වැඩි මිලට පොල් මිලදී ගැනීමට සිදුවෙනවා. පොල් මිල වැඩිවීමේදී පොල් අපනයන කර්මාන්තයේ යෙදී සිටින කර්මාන්තකරුවන්ට විශාල අභියෝගයක් එල්ල වන්නේ ඔවුන් වෙනත් රටවල් වල සිටින ව්‍යාපාර සමඟ ස්ථාවර මිල ගනන් යටතේ ගිවිසුම් අත්සන් කර ඇති නිසයි.
ඊට අමතරව පාම් තෙල් තහනම් කිරීමෙන් පොල්තෙල් වෙනුවට තිබූ තවත් අදේශක තෙල් වර්ගයක් වෙළදපොලෙන් බැහැර වීමෙන් සැපයිය නොහැකි පොල්තෙල් ඉල්ලුමට තව අමතර ඉල්ලුමක් එල්ල වීමෙන් මිල ගණන් තවත් ඉහළ යනවා. එවිට බේකරි කර්මාන්තයේ මෙන්ම කුඩා වෙළදසැල් හිමියන්ට විශාල බලපෑමක් එල්ලවෙන අතර ඔවුන් පරණ වූ පොල්තෙල් වතාවන් ගණනාවක් භාවිතා කිරීමට ඇති නැඹුරුව වැඩි වීමෙන් නැවත පිළිකාකාරක සංයෝග සහ ශරීර සෞඛ්‍යයට අහිතකර තෙල්වර්ග වැඩි වීමට අවස්ථාව ඉතාම වැඩියි. කටු පොල් වගාව පොල් වගාව සපේක්ෂව කාර්යක්ෂමයි. නමුත් පරිසර ගැටලු රාශියක් එනම් විශේෂයෙන්ම ජලය උරා ගැනීම ගැන ගැටලු පැන නැගී තිබුණා. නමුත් පාම් තෙල් එකවර තහනම් කිරීමෙන් එම තෙල් අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරන පැණිරස කැවිලි කර්මාන්තයට (Confectionary industry) විශාල බලපෑමක් එල්ල වෙනවා. පාම් වගාව සදහා අවශ්‍ය ප්‍රමාණයට ජලය සැපයිය හැකි ක්‍රමයක් සකස් කලානම් මීට වඩා සාර්ථක ප්‍රතිපල ලබා ගැනීමට ඉඩ තිබුණා.
මෙම තත්වය සදහා දැනට යෝජනා කර ඇති විසඳුම් එතරම් සාර්ථක විසඳුම් නොවෙයි. ආරක්ෂිත පොල්තෙල් ලෙස රජයේ තරු 5ක සංකේතයක් සහිතව වෙළදපොළ සැපයුම් කරුවන් 7 දෙනෙකුට පමණක් රජයේ නිරීක්ෂනය යටතේ පොල්තෙල් සැපයීමට ඉඩ ලබාදී තිබෙනවා. සැපයුම්කරුවන් 7දෙනෙකුට පමණක් අවස්ථාව ලබාදුන් විට සිදුවන්නේ අනිවාර්යයෙන්ම ඔවුන් මිල ඉහළ දැමීමයි. අනෙක් අන්තයෙන් පාම් ඔයිල් ආනයනය සදහා බලපත්‍ර ක්‍රමයක් යෝජනා කර තිබෙනවා. එවිට සිදුවන්නේත් දේශපාලන බලපෑම් වලට සහ හිතවතුන්ට පමණක් විශාල අල්ලස් මත මෙම බලපත්‍ර හිමි වීමයි.
පොල් ප්‍රශ්නය සදහා තිබෙන විසදුම වන්නේ පොල් වගාවේ කාර්යක්ශමතාව වැඩි කිරීමයි. ඒ සදහා පුද්ගලික වැවිලි කරුවන්ට ඉඩම් ලබාදීම, නව පොල් පැල සිටුවීමට වගා කරුවන් වෙත දිරිදීමණා ක්‍රම ඉදිරිපත් කිරීම, වැනි ප්‍රතිසංස්කරණ කටයුතු කල යුතුයි. එය අපගේ අපනයනයට මෙන්ම පාරිභෝගිකයාට ගෙවන්නට තිබෙන මිල අතිනුත් පහසු වේවි. ඒ වගේම අනවශ්‍ය රාජ්‍ය ආයතන වෙනුවට පාරිභෝගිකයා සුරකින නිසි වෙළදපොළ නියාමන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමක් නොකොට අප සොයන්නේ පොල්තෙල් ප්‍රශ්ණයට සාර්ථක විසදුමක් නොවෙයි. අපි කරන්නේ තවත් අලුත් මාතෘකාවකින් ජනතාවගේ අවධානය ඉවත් වන තුරු කාලය මැරීම පමණයි.
2021 අප්‍රියෙල් 09 දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියක්