ළිං මැඩි සංකල්පය පසෙක ලා ජාත්‍යන්තරයට විවර වෙමු.

දෙදහස් පන්සියයක පමණ ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාව අද හැත්තෑපස් වන නිදහස් සැමරුම අති උත්කර්ෂවත් ලෙස සමරනවා. පෘතුගීසි, ලන්දේසි පාලන සමය අහවර වීමත් සමඟ ලංකාව වසර එකසිය තිස් තුනක් ඉංග්‍රීසීන්ගේ කිරීටයක් බවට පත්වෙලා තමයි තිබුණේ. ඉතින් මේ නිසා ශ්‍රී ලාංකික මිනිහාගේ නිදහසේ අයිතිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට පූජා කිරීමට සිද්ධ වුණු වග ඔයාලා දන්නවා. ඒ නිසා රටේ විවිධ කැරලි කෝලාහල,ජාතික ව්‍යාපාරයන් ඔස්සේ ජාතික වීරයන් අප රට බේරා ගැනීමට දිවි හිමියෙන් කටයුතු කළා. ඉතිං එහි අවසාන ප්‍රතිඵලය ලෙස වර්ෂ 1948 පෙබරවාරි 4 වන දින ශ්‍රී ලංකාව නිදහස් බිමක් ලෙස බ්‍රිතාන්‍යන් ප්‍රකාශයට පත් කරනවා.මෙන්න මේක තමයි නිදහසේ කතන්දරේ.

ඉතින් මේ ලබාගත් නිදහස ඇත්තටම අපිට ලැබුණු නිදහසක් ද?

පොඩ්ඩක් ඔයාලම හිතල බලන්න පසුගිය කාලේ හතර වටෙන් අපිට ඇසුනු දෙයක් තමයි කන්න නෑ බොන්න නෑ ඉස්පිරිතාලවල බෙහෙත් නෑ ළමයිට පාසල්වලට පොත් නෑ කියන පුවත්පත්වල සිරස් තල.ඉතිං මේ වගේ තත්ත්වයක් ඇතුලේ අපි කතා කරන නිදහස මොකක්ද?

නිදහස කියන්නේ මොකක්ද? ඇත්තටම අපි 1948 පෙබරවාරි 4 වනදා ලබාගත්තේ නිදහසක් ද? අපි හිතනවා අපි තනි ජාතියක් නිදහස් නිවහල් ස්වෛරීත්වයක් තියනවා කියලා.හැබැ‍යි අපිට නිදහස නෑ. නිදහස කියන එක ඒ දිහා බලන කෙනා බලන විදිය අනුව වෙනස් වුනත් ආර්ථික වශයෙන් ලබා ගන්න නිදහස තමයි සැබෑ නිදහස කියන්නේ. ආර්ථික වශයෙන් නිදහසක් නැත්තම් නිදහසේ අනෙක් මානයන් නිකංම අපෙන් ඈතට යනවා.

නිදහස් දිනය ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ independence day කියලා. "Independence"යන වචනය සරලම අදහස වන්නේ ස්වාධීනයි කියන එක.. නිදහස සහ ස්වාධීනයි කියන වචන දෙකේ එකිනෙකට පරස්පර තේරුම් දෙකක් තියෙනවා. "නිදහස කියන වචනෙ සරලම අදහස වන්නේ කිසිම දේකට බාධා නොකිරීම" යන්නයි. ඒ කියන්නේ අපට හිමිව ඇති ස්වාභාවික නිදහස, සිවිල් නිදහස, දේශපාලන නිදහස, ආර්ථික නිදහසට කිසිදු කෙනෙකුට බාධා නොකර ජීවත් වීමට ඇති හැකියාවයි. ඇත්තටම හිනා යනවා නේද?? අපි නිදහස් රාජ්‍යයක් කියලා පරසක්වල ගැහුවත් අපිට ඔය කියන නිදහස අද වෙනකොට ලැබිලා තියෙනවා ද කියන එකත් ප්‍රශ්නයක්.

ඉතිං හිතන්න අපේ රට ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලැබුවත් අපිට ඒ ලැබිලා තියෙන්නේ නිදහසක් නෙවෙයි.. තනි රාජ්‍යක් ලෙස නැගී ඉන්න පාරක් විතරයි කපලා දීලා තියෙන්නේ. සමාජ නිදහස,දේශපාලනික නිදහස තරමක් දුරට ලංකාව තුළ අපි භුක්ති වින්දත් එය නිසියාකාරව භුක්ති විඳින්න නම් අනිවාර්යයෙන්ම ආර්ථික නිදහසක් රටක් තුළ තිබිය යුතුයි.

සරලවම කිව්වොත්, රටක් සංවර්ධනය කරා ළඟා වෙන්න නම් රටේ ආර්ථික නිදහස විශිෂ්ට ලෙස තහවුරු වෙලා තියෙන්න ඕන. ඒ කියන්නේ නිදහස් සමාජයක අන් අය සමග වෙළදාම් කිරීමේ නිදහස මිනිසුන්ට හිමි කර දෙන්න ඕන…එතකොට නිකම්ම නිදහස් වෙළඳපොලක් නිර්මාණය වෙලා ජාත්‍යන්තර වෙළෙඳපොළට දොරටු ඇරෙනවා..අපේ රටේ එදා ඉඳන් අද වෙනකන් හිටිය පාලකයින් හිතන් ඉදලා තියෙන්නේ ලොකු ව්‍යාපෘති කරහම, අහස සිඹින ගොඩනැගිලි හැදුවාම, අශ්ව වේගයෙන් යා හැකි මංමාවත් හැදුවාම, ලොකු ලොකු අවන්හල් හෝටල් ඉදි කරහම තමයි රටක් සංවර්ධනය වෙන්නේ කියලා. ඒත් අද මොකද වෙලා තියෙන්නෙ දන්න කාලෙ ඉඳන් ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස හංවඩු ගැහෙනවා. ඒ විතරක් ද අද වන විට ආහාර උද්ධමනය, ආහාර සුරක්ෂිතතාවය, රැකියා උත්පාදනය සියලුම ක්‍රියාවන් ඇණහිටලා දුප්පත්කමේ පහළම රේඛාවේ අඩියෙම අප හිටගෙන ඉන්නවා.

1956- 1977 කාලවකවානුව වෙනකන් ශ්‍රී ලංකාවේ තිබ්බේ සංවෘත ආර්ථික ක්‍රමයක්. ඒ නිසා සිරිලක දේ සිරි සැප දේ කියලා වැසුනු ආර්ථික ප්‍රතිපත්තියක් තමයි මේ කාලෙදි තිබුණේ…ඇත්තටම වැසුණු ආර්ථිකය හරි හොඳ ක්‍රමයක් නේද? අනේ අපේ රජවරු කෑවෙත් රට වවලා කෙත්වතු සරු කරලා.ඇයි ඉතිං දැන් අපිට බැරි?ඔයාලා මේ පිස්සු කියවනවා කියලා ඔයාට හිතෙන්න පුලුවන්.

ඈත අතීතයේදිත් ඇත්තටම අදට වඩා අපි ලෝකයට විවෘත වෙලා හිටියේ ඒ කාලයට සාපේක්ෂව. අපි කතා කරන බුදු දහම පවා අපිට ආවේ ඉන්දියාවෙන්. ජාත්‍යන්තරය එක්ක සබදතා නැතුව රටකට කවදාවත් ඉදිරියට යන්න බැහැ. යුරෝපා ජාතිකයින් වන වස්කෝදගාමා,බර්තොලමියුඩස්,නාවික හෙන්රි යන යුරෝපා ජාතිකයින් දේශ ගවේෂණය කරලා තියෙන්නෙත් ඔවුන්ගේ වෙළදාම අනෙක් රටවල් සමග සිදුකරන්නයි.ඒ වගේම බුදුන්ගේ කාලේදීත් අන්තර් ජාතික වෙළදාම පැවතියා කියලා තේරුම් ගන්න අපිට පුලුවන් වෙනවා අශෝක අධිරාජ්‍යා දේවානම්පියතිස්ස රජතුමත් එක්ක සිදුකළ වෙළඳ සම්බන්ධතා පදනම් කරගෙන සංඝමිත්තා තෙරණිය සහ මිහිදු හාමුදුරුවන් ලංකාවට එනවා…ඉතිං ඔයාලට තේරුම් ගන්න පුලුවන් නේ රටක් සංවර්ධනය වෙන්නනම් අනිවාර්යෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ තරණය කරන්නම වෙනවා කියලා.

අපි නිකං හිතමු අපේ රටේ කාර් නිෂ්පාදනය රට තුළටම සීමා වෙනවා කියලා… ඒක අපි රට තුල විකුණලා අපිත් පාවිච්චි කරනවා කියලා පිටරටින් වාහන ගේන්නේ නෑ ඉතින් එතකොට මොකද වෙන්නේ අපිට අනෙක් රටවලට තියෙන කාර් නිෂ්පාදන තාක්ෂණය, ප්‍රමිතිය,ගුණාත්මක භාවය හඳුනා ගැනීමට නොහැකි වෙනවා. ලෝකයත් එක්ක අපි පස්සට යනවා. ආර්ථිකය හැකිලෙනවා.

ඒවායෙන් ආදායම් හෝ ලාභ නොලභන ව්‍යාපෘතිවල යෙදවීම නෙවෙයි සංවර්ධනය කියන්නේ. ශ්‍රී ලංකාවේ විවෘත වෙළඳපොළ වෙත මිනිසුන් විවර කිරීම මගින් දරිද්‍රතාවය තුරන් කොට ජාත්‍යන්තර ලෝකයට යා හැකි දොරගුළු විවෘත කරලා මිනිසුන්ට හිමි ආර්ථික නිදහස රට තුළ ස්ථාපිත කිරීමයි පාලකයින් කළ යුත්තේ.

නොබෙල් ත්‍යාග හිමි ආර්ථික විද්‍යාඥයකු වූ අමාත්‍ය සෙන් සංවර්ධනය පිළිබඳ කියා සිටියේ අපට මිනිසුන්ගේ සෑම දෙයක් සම්බන්ධයෙන්ම තියෙන තේරීමේ නිදහස පුලුල් කරන හැකියාවක් ඇත්නම් එය සංවර්ධනය කියලා. අපිට පුළුවන් නම් මිනිස්සුන්ගේ තේරිමේ පරසාය තව තවත් පුළුල් කරන්න ඒ තමා සෙන් කියන විදිහට සංවර්ධනය.

උදාහරණයක් කිව්වොත් අද වෙනකොට ලෝකයම විශ්ව ගම්මාන සංකල්පය පසුකරමින් විශ්ව පවුල යන සංකල්පයට පැමිණ තියෙනවා. ඒ බව සනාථ වෙන්නේ සන්නිවේදන අතත්‍ය අවකාශය තුළ ජාත්‍යන්තරය තරණය කිරීමත් සමගයි. ඉතිං ඉස්සර අපි පිටරටක ඉන්න කෙනෙක්ට පණිවිඩයක් යවන්නේ ලිපියක් හෝ ෆැක්ස් එකකින්. එතකොට ඔබේ තේරීම එකකට හෝ දෙකකට සීමා වුණා. ඒත් වර්තමානයේදී විවිධ මාධ්‍යන් ඔබට වෙළද පොලේදි තෝරා ගැනීමට හැකියාවක් තියෙනවා. ඒ කියන්න ඔබට නිදහස් මාධ්‍යයක් තෝරා ගෙන සන්නිවේදනය කිරීමට වෙළෙඳපොළ විවෘත වෙලා තියෙනවා කියලා.

ලංකාවත් 1977 දී ජාත්‍යන්තර වෙළදාමට විවෘත වෙන ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කළා. ඒත් කාලයත් සමග ශ්‍රී ලංකාවට මුහුණ දුන්නු ගැටළු පදනම් කරගෙන ලෝකයට විවෘත වෙන එක නැවතුනා. ඒ කියන්නේ 1977 දී හඳුන්වා දෙන ප්‍රතිසංස්කරණ න්‍යාය සම්පූර්ණ කරගන්න අපේ පාලකයින්ට බැරි වුණා. 1980 කාලේ ඇති වූ සිවිල් යුද්ධය, 2009 දී අවසන් වූ තිස් අවුරුදු යුද්ධය පදනම් කරගෙන ද හැමදේකටම රජය මැදිහත් වුණා.ඒ නිසා ගෝලීය වෙළදාමෙන් අපි ගොඩක් ඈත් වුණා.

ඒ වගේම ගෝලීය වෙළඳාම ගැන කතාකරද්දී අපිට සමීප දේ තමා කෝවිඩ් වසංගතය.අනෙක් රටවල් ලෝකය සමග කොහොමහරි සම්බන්ධතා පවත්වා දී ලංකාව ඇත්තටම තනි රාජ්‍යයක් ලෙස හුදෙකලාව කටයුතු කරන්න පටන් ගත්තා. ඒ නිසා අපේ භාණ්ඩ පිටරටට යවන එකත් පිටරටින් බඩු ගේන එකත් (ආනයන අපනයන) නැති වුණා. ඒ නිසා ඩොලර් එන එක නැවතුණා. ඔන්න ඕක තමයි සහසුද්දෙන්ම ලංකාවට සිද්ධ වුණේ.

ගෝලීය වෙළදාම නැතිවුනත් සමඟ අපි සංවර්ධනය වෙමින් පවතින ටැගය ගලවා සංවර්ධනය නොවන අරාජික රාජ්‍යයක් බවට පත්වුණා. ඔන්න ඕක තමා ප්‍රධානතම හේතුව,දැඩි ආර්ථික අර්බුදයකින් මිරිකෙන්නට.ඉතිං අපි හැත්තෑ පස් වසරක නිදහසක් කියලා එකක් සමරන්නේ ආර්ථිකමය නිදහස මිනිසුන්ට නැතිකරලා. ඒ නිසා අපි නිදහස් රාජ්‍යයක් වෙන්නම් අනිවාර්යෙන් ජාත්‍යන්තරයට දොරගුළු විවර කළ යුතුයි.ළිදේ ඉන්න මැඩියා වගේ අපිත් ලංකාව කියන ළිඳටම කොටු වුනොත් එයින් පිටතක් අපිට පේන්නෑ..ඒ නිසා මේ ගැනත් ඔයාලා හිතලා බලන්න.ඇත්තටම අපි ලබලා තියෙන්නේ නිදහස්ද නැත්නම් මේ තියෙන්නේ නිකං අටව ගත්ත නිදහසක් ද කියලා.සැබෑ නිදහස කියන්නේ අන්තර්ජාතික වෙළඳාමට තිබෙන නිදහස. ලෝකයත් එක්ක සම්භන්ධ වෙන්න තියන නිදහසට. අන්න ඒ නිදහස තමයි ලංකාවට ඕන

දුෂාණි එදිරිසිංහ

2023.02.04