උඩ පැන්නොත් බිම වැටෙන IMF

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයක ඉන්නේ කියලා ඇහුනු දවසේ ඉඳන් ඔයාලාට මට නිතරම ඇහෙන වචනයක් තමයි IMF කියන්නේ.. ඇත්තටම IMF කියන්නේ මොකක්ද? සරල සිංහලෙන් කිව්වොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.මේක රටවල් 190කින් සමන්විත එක්සත් ජාතීන්ගේ ප්‍රධාන මූල්‍ය ආයතනයක්.ඉතින් අපි දැන ගමු IMF මූලිකව ඉටුකරන කාර්‍යයන් මොනවද කියල. ගෝලීය මූල්‍ය සහයෝගීතාව ඇති කිරීම, රටවල මූල්‍ය ස්ථාවරත්වය ගොඩනැගීම, ජාත්‍යන්තර වෙළදාම සමඟ සම්බන්ධ වීම, ඉහළ රැකියාවන් උත්පාදනය කර දී තිරසාර ආර්ථික වර්ධනය කරා රටවල් ගෙනයාම සහ ලොව පුරා දිළිදුකම අවම කිරීම යන කරුණු කිහිපයක් ඔවුන් සපුරාලනවා.

රටක් හිඟන තත්ත්වයට ඇද වැටුණු පසු හිඟන තත්ත්වයෙන් ගොඩ එන්න ඔවුන්ට අත්උදව් සපයන ආයතනයක් විදිහට සරලවම IMF එක හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ IMF අවසාන විසදුමේ ගෝලීය ණය දෙන්නා ලෙස හදුන්වනත් පුලුවන්.

ඒත් ඔයාලා දන්නවා ඇති දැනටමත් ශ්‍රී ලංකාව IMF 16 වතාවක් ගිහිල්ලා තියෙනවා කියලා. ඒත් ආයෙමත් යනවා යන්න සිද්ධ වෙනවා කියන වචනය වැඩිපුරම ඔයාලට ඇහෙන්න වැටහෙන්න පටන් ගත්තේ මේ 2022-2023 වසර තුළ නේද? එතකම් ඔයාලා දන්නෙත් නෑ IMF එක කියන්නේ මොකක්ද කියලත්… ඒ නිසා සමහර අය හිතනවලු IMF එකෙන් ණය ගත්තහම එයාලා ගහන ගහන පදේට නටන්න ඕන කියලා...ඒ වගේම සමහරු කියන්නේ IMF එක මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයි කියලත්.මේ කතා හැම එකටම හේතු තියෙනවා.

ඒ කියන්නේ IMF එක අපිට නිකං ණය දෙන්නෑ.රටක් ආගාදයකට වැටිලා තියෙන්නේ නිකං නෙවෙයි කියලා ඔයාලට සහසුද්දෙන්ම දන්නවා ඇතිනේ.රටේ පාලන තන්ත්‍රයේ ගැටලු, ආර්ථික අර්බුදය,දරිද්‍රතාවය යන කරුණු තුරන් කරන්නනම් කොන්දේසි කිහිපයක් සම්පූර්ණ කරන්න්න ඕන කියලා ඔවුන් මේ මුදල දෙන්න එකඟ වෙලා තියෙන්නේ

ඇත්තටම ඔයාලා IMF ගැන හොයන්න ගත්තෙත් මේ ළඟකදි ඉඳන් නේ. ඇත්තටම ඇයි එහෙම වුණේ.. මෙච්චර කල් ශ්‍රී ලංකාව IMF ගියේ රටේ ආර්ථිකය යම්තාක් දුරට ස්ථාවර තියෙද්දියි.ඒත් මේ පාර IMF එකට යන්න සිද්ධ වුණේ රටේ ආර්ථිකය ඉතාමත් අස්ථාවර වෙලාවකයි. පණ ඇද ඇද ඉන්න මොහොතක තව ණයක් ලබා දෙන්න කවුරුත් කැමැත්තක් දක්වන්නෙත් නැහැ නේ. මොකද ඒ රටවල් දන්නව හිඟන රටකට ණය දීලා අපි හිඟන්නෝ වෙනවාට වඩා අපි පාඩුවේ ඉන්න එක හොදයි කියලා.අර කතාවකුත් තියෙන්නේ බල්ලන්ට ලෙලි පොල් දුන්නට ඇති වැඩක් නෑ කියලා.මොකද ආයෙත් ඒ ණය ලබාගන්න හැකියාවක් නෑ කියලාත් ඔවුන් දැනන් හිටියා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) සාමාන්‍යයෙන් කොටස් දෙකක් යටතේ රටවල්වලට ණය ලබා දෙනවා. ඒවා කෙටි කාලීන වැඩසටහන් හා විස්තීර්ණ ණය පහසුකම් හෙවත් දීර්ඝ කාලීන වැඩසටහන් කියලා. අපි 16 වතාවක් IMF ගියත් වැඩසටහන් සම්පූර්ණ කරලා තියෙන්නේ මේ වෙනකොට නමයක් විතරයි. ඒකෙනුත් හතක්ම කරගෙන යනකොට අතරමැදදි නවත්තලා. එහෙම බලද්දි සාර්ථකව සිදුකරලා තියෙන්නේ IMF වැඩසටහන් දෙකක් විතරයි.

මේ අතරවාරේ තමා ආයෙම IMF එකට 17 වෙනි පාරටත් යමු කියලා යෝජනාව ආවේ.කොහොම හරි ඔයාල දන්නවා IMF එකේ අනුමැතිය මේ වෙනකොට අපිට ලැබිලා තියෙන්නෙ කියලා.IMF ප්‍රධානීන් අනුමැතිය දීලා තියෙනවා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක් ලබාදෙන්න කියලා.ඒකත් දෙන්නේ වාරික 4ක් යටතේ.ඒ වගේම බලනවලු දුන්න ණයවලට මොකද කරේ කියලත්. ඉතින් මේ දෙන්න යන්නේ මහ ලොකු ගානකුත් නෙමෙයි ඩොලර් මිලියන 330 ක් වගේ.

ඉතින් හිතන්න මේ මුදලෙන් රටේ සියලුම ආර්ථික ප්‍රශ්න ටික නැති කරගන්න අපිට බැහැ ඒත් ගොඩක් කට්ටිය හිතන් ඉන්නවා කලයක් පිරෙන්න ණය තියෙන රටේ උගුරක් තරම් වතුර ටිකක් කලයටම ගිහින් අතහැරියම අපේ ඩොලර් සංචිත වැඩි වෙලා ඔක්කොම හරි යයි කියලා... වැඩේ ගොඩ කියලා... ඇත්තටම අපි ආයෙමත් මේ මුදල ලබාගැනීම ගැන සතුටු වෙන්න ඕන. ඒත් ඕනෑවට වඩා උඩ පනින්න ගියොත් වෙන්නේ මේ වැටිලා ඉන්න නරා වලෙන් තවත් අගාධයට යාමක් විතරයි.ඇයි එහෙම කියන්නේ කියලා අපි දැන් බලමු.

අපි දන්නවනේ IMF එක දෙන මේ ඩොලර් බිලියන 2.9 මාස හයක තෙල් ගෙන්නන්නවත් ප්‍රමාණවත් වෙන්නෑ කියලා. ඇත්තටම මේ කරන්නේ මොකක්ද? ණය අස්ථාවර රටක ණය නැවත ස්ථාවර කරගන්න අන්තර්ජාතික අරමුදලේ කීර්තිනාමය යොදාගෙන අනෙක් රටවල මූල්‍ය ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීමේ උපායශීලී ක්‍රමයක් ලෙස යොදාගන්න එකයි."බලන්නකෝ IMF එකත් ලංකාවට ණය දීලා ඒ කියන්නේ ලංකාව ආර්ථිකය ශක්තිමත් කරගැනීම සඳහා සියලුම ප්‍රතිසංස්කරණ සිදු කරගෙන ඉස්සරහට යයි කියලා" අනෙකුත් රටවලට විශ්වසනීයත්වයක් ලබාදෙන්න මෙය ඉතාමත් වටින අවස්ථාවක් වෙනවා.

හැබැයි මේ හැංගි හැංගි වෙස් බැන්දට හැමෝම දැනගන්න ඕන නටන්න වෙන්නේ එළිපිට කියලත්.IMF ගිය හැම සැරේකම අපේ පාලකයෝ කරලා තියෙන්නේ ඔය රඟපෑමමයි.ඉතින් අපි කවුරුත් දැනගන්න ඕන රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුනොකර ඉදිරියට යන්න බැරි වග ඒ නිසයි ඇඩ්වොකාටා අපි IMF යන්න කලින් ඉදන්ම කිව්වේ ප්‍රතිසංස්කරණ(Reform) කරන්නම ඕන කියලා.ඒ ප්‍රතිසංස්කරණ විදියට IMF එක අපට කොන්දේසි කිහිපයක් පනවලා තියෙනවා අපි බලමු ඒ මොනවාද කියලා.

ආර්ථික අර්බුදය හමුවේ ගොඩක්ම දුක් විදින්නේ රටේ දුප්පත් මිනිස්සු. ඉතින් දුප්පත් මිනිසුන් ආරක්ෂා කිරීම සඳහා සමාජ ආරක්ෂණ දැල ශක්තිමත් කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගන්න ඕන. මොකක්ද මේ සමාජ ආරක්ෂණ දැල කියන්නේ දුප්පතුන් සදහා තමාගේ ආර්ථික ශක්තිමත් කරගැනීමට හා ස්වයං රැකියා ඔස්සේ ඔවුන්ගේ හැකියාවන් පුළුල් කරගැනීමට අවශ්‍යය මංපෙත් විවරකර දෙන්න ඕන. ජනතාව සඳහා වෙන්කර ඇති ප්‍රධානතම ආරක්ෂණ වැඩසටහන ලෙස සමෘද්ධිය පෙන්වා දුන්නත් අද වෙද්දී ඒක සාර්ථක ද යන්නත් ගැටලු සහගතයි.මොකද ඒකත් දේශපාලනීකරණයට ලක් වෙලා තියෙන්නේ.අහිංසක මිනිසුන්ට රජයෙන් රුපියල් බිලියන 55 ක් වැනි ඉතා අඩු මුදලක් ඒ සඳහා වෙන් කරත්,ඒවායෙනුත් යටිමඩි ගහන අය අතරමැදියන් ලෙස ඉන්නවා ඛනිජ තෙල් සංස්ථාවේ අලාභය මාස අටකට රුපියල් බිලියන 632ක්.

ඒ වගේ පාඩු ලබන ආයතන විශාල සංඛ්‍යාවක් අපේ රටේ තියෙනවා. ඒ ගැන අපි ඔයාලාව මීට කලින් දැනුවත් කර තියෙනවා ඉතින් හිතන්න දුප්පතුන් සඳහා නිසි වැඩපිළිවෙළක් තියෙනවද ඒ සඳහා සමාජ ආරක්ෂණ දැල යටතේ පවුල් බිලියන 3.7 සඳහා cash transfer ක්‍රමයක් යටතේ මුදල් ලබා දෙන්න ඕන.IMF මූලිකම පරමාර්ථය තමා දරිද්‍රතාවය තුරන් කිරීම.

අනිත් කාරණය තමයි රජයට අයිති ව්‍යාපාර ප්‍රතිසංවිධානය කරන්න ඕන කියන එක.අපි දන්නවා මේ වෙනකොට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ Lanka Hospital,ශ්‍රී ලන්කන්,ලිට්‍රෝ,ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වැනි ආයතනවල රජය සතු කොටස් විකුණන්න අනුමැතිය දීලා කියලා.ඉතිං මේ අනූව රජයේ පාඩු ලබන ආයතන සියල්ලම ප්‍රතිසංවිධානය කරන්න ඕන.රටේ ආර්ථිකය ගොඩගන්න ඒක එක පිම්මක් ලෙස පෙන්වා දෙන්න පුලුවන්.

ඒ වගේම හුදෙකලා බවෙන් ඈත්වෙලා ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. ආනයනයන වැඩි වැඩියෙන් සිදුකළ යුතුයි.ගෝලීය වෙළෙඳපොළ සමඟ විවෘත වෙන්න ඕනේ. මේ වගේ ප්‍රතිසංස්කරණ කර ගැනීම තුළින් ශ්‍රී ලංකාවට සංවර්ධිත රාජ්‍යයක් කරා ගමන් කිරීමට පුළුවන්.ඒවගේම කුඩා හා පරිමාණ ව්‍යවසායකයින්ට ජාත්‍යන්තර වෙළෙඳපොළ විවෘත වෙන්න ඕන. එවිට නව රැකියා අවස්ථා බිහි වී රටට ඩොලර් ගලා එන මාර්ග විවර වෙනවා.සංචාරකයින්ට දාන බාධක අඩු කර සංචාරක කර්මාන්තය නගාසිටවන්න ඕන.වංචාව දූෂණයෙන් වැළකිය හැකි නීති සම්පාදනය වෙන්න ඕන.

ඒ වගේම මහ බැංකුව ස්වාධීන වෙන්න ඕන මේ සදහා පනතක් පවා සම්මත වෙලා තියෙනවා දැනටමත්.IMF දෙන ඩොලර් බිලියන 2.9 පවා යන්නේ මහා භාණ්ඩාගාරයට නෙවෙයි.මහ බැංකුවේ විදේශ සංචිතවලට සංචිත ප්‍රමාණය වැඩි වුණාම ණය ගැනීමේ හැකියාව වැඩි වෙනවා ඒ කියන්නේ credit rating එක ඉහළ යනවා. වෙළඳපලෙන් ණය ගන්න හැකියාවක් ලැබෙනවා.එතකොට අපිට ආයෝජකයන් ණය දෙන්න පෙළඹෙනවා. මේ සඳහා මූලික වශයෙන්ම සිදුකර යුත්තේ මහ බැංකුව ස්වාධීන කිරීමයි. ඒ ඔස්සේ ආර්ථික ස්ථායීතාවය ඇතිකොට ඩොලර් සංචිත වැඩිකරගන්නත් පුලුවන්.

ඒත් මේ පාර දීල තිබෙන මුදලින් අවශ්‍යනම් රජයේ වියදම් සඳහා පාවිච්චි කරන්න පුලුවන් කියල සඳහන් වෙනවා. එම මුදලින් කොටසක් ඉන්දියාව ලබා දුන් ණය ගෙවන්න භාවිතා වන බව සඳහන් වුණා

ඇත්තටම IMF කියන කොන්දේසි අපි අපේ පැත්තෙන්ම හිතලා බලලා ප්‍රතිසංස්කරණය කර ගන්න ඕනේ.ඔයාලාම හිතලා බලන්න ඒ ගැන. අපේ රට ගොඩගන්න පුළුවන් අපිටම තමයි නැතුව IMF එකට නෙමෙයි.IMF කියන්නේ අපිට මඟ පෙන්වන නාවිකයයි. අපි දැනගන්න ඕනේ අපේ ආර්ථිකයත් අතන මෙතන ගල්පරවල හප්ප ගන්නේ නැතුව හරි පාරේ පැදගෙන යන්න. ඒ සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ අනිවාර්යයෙන් කළ යුතුයි. එහෙම නැති වුණොත් ලංකාවට සිද්ධවෙන්නේ ගහපු පදයකුත් නෑ බෙරේ පලුවකුත් නැතිව දැවෙන ආර්ථිකයක් තුළ උඩ බිම බලන් ඉන්න.

දුෂාණි එදිරිසිංහ

2023.04.04