ඉදිකිරීම් හීන කරන නාන කාමරේ ‘මිල සූත්‍රය’

ගෙවල් හදන්න ඕන මූලික අමුද්‍රව්‍යක් වන Floor tile Wall tile සහ නානකාමර කට්ටලවල (bath-ware) මිල ඉහළ ගිහින්. ඒ නිසා ගෙයක් හදන්න ඉන්න ඔබට වෙන බලපෑම වගේම ටයිල් එක්ක සම්බන්ධ වෙලා තිබෙන අනෙකුත් කර්මාන්තවලට මේ ප්‍රශ්නය බලපාන ආකාරය හොයා බැලීම වැදගත්.

ලංකාවෙ නිෂ්පාදනය කරන ටයිල් සහ නාන කාමර කට්ටල වගේම ආනයනය කරන නාන කාමර කට්ටලත් වෙළදපොළේ තියනවා. බොහෝ දෙනෙක් නානකාමර කට්ටල සහ ටයිල් මිලදී ගන්න යන නාවල වගේ ප්‍රදේශවල මූලිකව වශයෙන් තිබෙන්නේ ආනයනය කරන නානකාමර කට්ටල සහ ටයිල් වර්ගයි. කාලාන්තරයක් තිස්සේම ඒ කියන්නේ අවුරුදු පහළොවක විස්සකට වඩා වැඩි කාලයක ඉඳලා ලංකාවට ආනයනය කරන නානකාමර කට්ටල සහ ටයිල්වලට විශාල ආනයන බද්දක් පනවා තිබුණා. එම බදු ක්‍රමය සමහර කාලවල දී අදාළ නාන කාමර කට්ටලවල වටිනාකමින් 104% වැනි ඉතා ඉහළ අගයක් වුණා. (දැන් එම අගය 89.8% යි) එහි වක්‍රාකාර තේරුම ඔබ නාන කාමර කට්ටලයක් මිලදී ගැනීමේදී නාන කාමර කට්ටල දෙකක මිල වියදම් කිරීමට සිදුවීමයි. ඉතින් සරළවම කියනවනං විශාල ආනයන බද්දක් ගහපු ගමං ඔය නාවල, කොළඹ, තිහාරිය වගේ පැතිවල තියන නානකාමර කට්ටල සහ ටයිල්වල මිල එක පාරට වැඩි වෙනවා.

නමුත් මේ දවස්වල ඊටත් වඩා අසාමාන්‍ය විදිහට ටයිල් මිල ඉහළ ගිහින් තියෙනවා. මේකට හේතුව ටයිල් ආනයනය තහනම් කිරීම. කොවිඩ් තත්ත්වයත් එක්ක රටින් එළියට ඩොලර් යෑම අඩුකර ගැනීමට මෝටර් රථ ඇතුළුව විශාල භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය තහනම් කරලා තියෙන්නෙ. ටයිල් හා නාන කාමර කට්ටලත් ඒ ලැයිස්තුවට ඇතුළත්. ඒත් දවස් 180ක ණය සීමාවකට යටත්ව ටයිල් සහ නාන කාමර කට්ටල ආනයනය කරන්න පුළුවන් කියලා ගැසට් එකක් නිකුත් කිරීමත්, ඒ ගැසට් එක ක්‍රියාත්මක කරන්න එපා කියල ඊට පහුවදාම ආනයන අපනයන පාලකවරයා දනුම් දීමත් සමග ටයිල් කතාව කාගේත් අවධානයට ලක්වුණා.

ඊට පස්සෙ ශ්‍රී ලංකා සෙරමික් සහ වීදුරු භාණ්ඩ නිශ්පාදනය කරන්නන්ගෙ කවුන්සිලය සහ ටයිල් සහ නානකාමර කට්ටල ආනයනය කරන්නන්ගෙ සංගමය එකතු වෙලා මෙතෙක් තිබ්බ තීරු බදු තවත් වැඩි කරමු කියලා රජයට යෝජනා කළා. ඔවුන්ගේ යෝජනාව වුණේ කලින් තිබ්බ 15%ක ආනයන තීරු බද්ද 30% දක්වා වැඩි කරන්නත් සමහර ටයිල් වර්ග සහ නාන කාමර කට්ටල සඳහා ඉවත් කර තිබූ සෙස් බද්ද සහ සමහර භාණ්ඩ සදහා පනවා තිබූ 15% සහ කිලෝ එකකට පනවා තිබූ රු.40ක සෙස් බද්ද රු. 125 දක්වා වැඩි කරමු කියලා.

2015 වර්ෂයට කලින් තිබුණෙ 25%ක හෝ කිලෝ එකකට රු.75ක සෙස් බද්දක්. දැන් ඇත්තටම වෙලා තියෙන්නෙ ආනයන තීරු බද්ද කලින් තිබ්බ වගේ දෙගුණයක් වෙලා. සෙස් බද්ද කලින් තිබ්බ වගේ 3න් ගුණයක් වෙලා. එතකොට ඔබට හිතා ගන්න පුළුවන් ටයිල් සහ නාන කාමර කට්ටටලවල බදු කී ගුණයකින් ඉහළ යනවද කියල. ඔය බොහෝ බදු වදින්නෙ එක උඩ එක. ඒ කියන්නෙ සෙස් බද්ද වැඩි කරපු ගමං ඉතුරු බදු එක උඩ එක වදින නිසා ඇත්තටම භාණ්ඩයේ මිල බදු පනවපු ප්‍රමාණයට වඩා ඉතා විශාල ගුණයකින් ඉහළ යනවා.

දැන් මේකෙන් වෙන්නෙ සාමාන්‍ය මනුස්සයෙක් වැසිකිළියක් නාන කාමරයක් හදන්න ගියාම ඒක හදන්න යන වියදම බොහෝ වෙලාවට දෙගුණයක් වීම. ඇත්තටම මේ නාන කාමර කියල කියන්නෙ මිනිස්සුන්ගෙ මූලික අවශ්‍යතාවක්. මේව සුඛෝපභෝගී භාණ්ඩ නෙවෙයි. පාසල්වල ළමයින්ගෙ වැසිකිළි, පොඩි ව්‍යාපාර ස්ථානවල ඉදිකරන වැසිකිළි, කැසිකිළි පෝච්චි වගේ ඉතාම අත්‍යවශ්‍ය භාණ්ඩ තමයි මේ විදියට බදු ගහල මිල වැඩි කරමු කියල ව්‍යාපාරික ප්‍රජාව යෝජනා කරේ. මේ තීරණය නිසා වෙන බලපෑම ගැන අලුතින් ගෙවල් හදන්න ඉන්න මිනිස්සු සහ ගෙවල්, ව්‍යපාර ස්ථාන හදන අය දැනුවත් වෙනවනං, ගමේ භාෂාවෙන් කියනවනං ඒ අයව උණ ගන්නවා.

මේ තීරණය නිසා මිනිස්සුන්ගෙ නිවාස සිහිනය ඇස් පනා පිට බොඳ වෙනවා. බොහෝ වෙලාවට වෙන්නෙ නාන කාමරයක් සහ වැසිකිළියක් කියන්නෙ අත්‍යවශ්‍ය භාණ්ඩයක් නිසා මිනිස්සු දෙගුණයක් වියදම් කරල හරි ඒක හදනවා. හැබැයි ඒ වැඩිපුර යන මුදල වෙනත් වියදම් වලින් තමයි කපා හැරෙන්නෙ. උදාහරණයක් විදියට නාන කාමරේ හදන කෙනාට සල්ලි මදි වෙන නිසා ඔහු සාලය හදන වැඩ නැත්තං ගෙදර කුස්සිය හදන වැඩේ පමා කරනවා. මේක වෙන්නෙ කොළයක ගණං හදල දැන් නාන කාමරේ හදන හිංද අපි සාලෙ හදන්නෙ නැතුව ඉමු කියල ගනං හදල නෙවෙයි. මිනිස්සු සල්ලි අඩු වුණාම ගන්න තීරණවලින් වෙන බලපෑම ආර්ථිකයකදි බලපාන විදිය තමයි ඒ.

එතකොට ඒකෙන් බඩේ පහර වදින්නෙ මේසන් බාස්, වඩු බාස් වගේ මේ ආර්ථිකයට සම්බන්ධ වෙලා ඉන්න අනිත් හැමෝටමයි. මේකට ආර්ථික විද්‍යාවෙ කියන්නෙ තමං එක දෙයකට මුදල් වියදම් කරද්දි තවත් දෙයකට මුදල් වියදම් කරන්න තියන අවස්ථාව කැප කරන්න වෙනවා කියන එක. දැන් නාන කාමරයකට දෙගුණයක් වියදම් කරාම ඒ වෙනුවෙන් තවත් කෙනෙක්ගෙ ආදායම නිකංම කැප වෙලා යනවා.

අනිත් කරුණ තමයි ලංකාවෙ බොහෝ දෙනා ගෙවල් හදන්නෙ 7% - 11% පොලියට නිවාස ණය අරගෙන. ඔය ණය ගන්නෙත් අවුරුදු 10, 15, 20 වගේ දිගු කාලීනව මුළු ජීවිත කාලෙම ආදායම උකසට තියල. එතකොට ණය වෙලා කිසිම තේරුමක් නැතුව 7%කට වඩා වැඩි පොලියකට නාන කාමර දෙකක මුදල එක නාන කාමරයකට වියදම් කරාම එ්කෙන් පාරිභෝගිකයට වෙන්නෙ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ දෙයක්. මේක ශ්‍රී ලංකාවෙ නානකාමර කට්ටල සඳහා විතරක් තිබෙන ගැටලුවක් නෙවෙයි. කොන්ක්‍රීට් සඳහා ගන්නා යකඩ, ඇලුමිනියම්, සිමෙන්ති, ප්ලග්, ස්වීච්, නිවෙස් විදුලිකරණයට ගන්නා වයර් ඇතුළු හැම ඉදිකිරීම් අංශයකම තිබෙන්නෙ මෙලෙස පනවන ලද ඉතාම ඉහළ ආනයන බදු තමයි. මෙහි ප්‍රතිඵලයක් විදියට තමයි සාමාන්‍යයෙන් ලංකාවෙ නිවසක් ඉදිකිරීමට යන වියදම අපේ කලාපයේ අපත් සමග තරග කරන රටවල්වල ඉදිකිරීමක් සඳහා යන වියදමට වඩා ඉතා ඉහළ අගයක් ගන්නෙ.

ඉදිකිරීම් සඳහා අධික මිලක් වැය වීම ලංකාවෙ සංචාරක කර්මාන්තයටත් බලපානව. බොහෝ හෝටල් සහ නවාතැන් පොළවල් හදන්න විශාල වශයෙන් ටයිල්, නාන කාමර කට්ටල සහ ඉදිකිරීම උපාංග පාවිච්චි කරනවා. දැන් මේ ඉදිකිරීම් කරන්න ලෝකෙ අපිත් එක්ක තරග කරන අනෙකුත් රටවල්වලට වඩා වැඩි මුදලක් වැය වුණාම (අපේ කලාපයේ අපත් සමග තරග කරන රටවල්වල ඉදිකිරීමක් සඳහා යන වියදම මෙන් 30%ත් 70%ත් අතර ඉහළ අගයක් ගත හැකි බවයි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘතිකයන් පවසන්නේ) සංචාරකයන්ගෙන් ඔය මුදල අය කරගන්නෙ හෝටල් කාමරයක් කුලියට දෙන ගාණ වැඩි කරල. රූම් රේට් (Room rate) එක කියන්නෙ ඔන්න ඕකට. ඉතිං ලංකාවෙ හෝටල්වල රූම් රේට් එකම කාමර කාණ්ඩයේ (same room category) අපිත් එක්ක තරග කරන අනිත් රටවල් එක්ක බැලුවම සෑහෙන වැඩියි. ඒක නිසා මිල අතින් ගත්තම සංචාරකයන්ට අපිත් එක්ක තරග කරන අනිත් රටවල්වල සංචාරය කරන්න යන්නෙ අඩු මිලක්. එතනිනුත් පාඩුව එන්නෙ අපේ රටටමයි.

දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂාකරගත යුතු නැද්ද?

බොහෝ දෙනෙක් විශාල ආනයන බදු පැනවීම සාධාරණීකරණය කරනු ලබන්නේ දේශීය ව්‍යාපාරිකයන් ආරක්ෂාකර ගතයුතුයි යන තර්කය ඉදිපත් කරමින්. අපි හැමෝම දේශීය කර්මාන්ත කරුවන් රැක ගත යුතුයි යන සංකල්පය පිළිබඳව අත් දෙකම උස්සල එකඟ වෙනවා.

නමුත් දේශීය කර්මාන්තකරුවන් රැක ගන්නේ දේශීය පාරිභෝගිකයා සූරා කෑමෙන් නම් එය දේශීය ව්‍යාපාරිකයා රැක ගැනීමේ නිවැරදි නිර්වචනය වෙන්න විදියක් නෑ. බොහෝ දෙනෙක් සිතන දෙයක් තමයි " ආනයන ටයිල්වලට බදු ගැහුවට කමක් නැහැ, අපි ගන්නෙ දේශීය නිෂ්පාදනය කරන ටයිල් සහ නාන කාමර කට්ටල, ඒවායේ මිල ගණන් ඉහළ යන්නේ නෑනේ" කියල. ඒත් ඇත්තටම වෙළෙඳපොළේ සිදුවන්නේ ඔබ සිතන දේ නොවේ. ඇත්තටම සිදුවන්නේ ආනයනය කරන නාන කාමර කට්ටලවල මෙන්ම දේශීය නානකාමර කට්ටලවලත් දෙකේම මිල ඉහළය යාමයි. ආනයනය කරන භාණ්ඩවල මිල ඉහළ යන්නේ විශාල ආනයන බද්දක් පැනවූ විගසින්ම එම බද්ද නිරායාසයෙන්ම පාරිභෝගිකයාට ගෙවීමට සිදුවන නිසයි. ආනයන නාන කාමර කට්ටලවල මිල දෙගුණයකින් ඉහළ යාම නිසා සහ වෙළදපොළේ භාණ්ඩ හිග වෙනව. ඒ නිසා දේශීය ව්‍යාපාරිකයාට කිසිදු ගැටලුවකින් තොරව ඔවුන්ගේ මිල හිතූ පරිදි ඉහළ නැංවිය හැකියි. ශ්‍රී ලංකාවේ ටයිල් සහ නාන කාමර කට්ටල නිෂ්පාදනය කරන ආයතනවල ලාභා අලාභ ගිණුම් සහ කොළඹ කොටස් වෙළඳපොළ අදාල ආයතනවල කොටස්වලට තිබෙන ඉල්ලුම බලා ගත්ත නම් ඔවුන් කොතරම් ලාබ ලබනවා ද කියලා ඔබටම තක්සේරුවක් ගන්න පුළුවන්. (ඔවුන් ලාභ ඉපයීම ඉතාම හොඳ දෙයක්. පාරිභෝගිකයාට අඩු මිලට භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාවත් තිබිය යුතුයි.)

මේ ගැන තවත් පැහැදිලි කරනවනං මෙතනදි වෙන්නෙ ආනයන කරන භාණ්ඩවල මිල එක්ක තරග කරන්න දේශීය ව්‍යාපාරිකයන්ට අපහසු වීමයි.

මොකද ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය ඉතාම අකාර්යක්ෂම නිසා. දශක දෙකකට වඩා වැඩි කාලයක් ගිහිල්ලත් දේශීය නිෂ්පාදකයන්ට නිපදවන්න පුළුවන් වෙලා තියෙන්නෙ ලංකාවෙ ටයිල් සහ නාන කාමර කට්ටල අවශ්‍යතාවයෙන් 50%ත් - 60%ත් විතරයි. ඒ මේ වගේම ඉතා විශාල ආනයන බදුවලින් ආනයන පාලනය කරන පසුබිමක. මෙතනදි වෙන්නෙ ඇත්තටම දේශීය පාරිභෝගිකයට අඩු මිලට ටයිල් සහ නාන කාමර කට්ටල මිලදී ගන්න තියන අවස්ථාව අහුරල තමන්ගේ භාණ්ඩ විකිණීමයි. මුල් කාලයේදී කාර්යක්ෂමතාව ලබා ගැනීම සඳහා බදු සහන ලබාදීම තරමක් දුරට සාධාරණීකරණය කරන්න පුළුවන් වුණත් දශක දෙකකට වැඩි කාලයක් ගත වෙලා කාර්යක්ෂමතාවය වැඩි කර ගනිමින් ලෝකයේ තරගකාරීත්වයට මුහුණ දීමට තරම් සැලකිය යුතු පිය පියවරක් ඔවුන් ගත් බව පෙනෙන්නට නෑ.

ඉතිං මේකට විසඳුම මොකක්ද?

මේකට විසඳුම අපේ දේශීය නිෂ්පාදන ලෝක වෙළඳපොළේ තරග කර හැකි මට්ටමකට කාර්යක්ෂමතාව වැඩි කිරීමට දේශීය නිෂ්පාදකයන්ව තරගයට යොමු කිරීම.

ක්‍රිකට් භාෂාවෙන් කියනවනං අපිට තරගයක් දිනන්න ඕන නම් ක්‍රම දෙකක් තියනවා. එකක් අපි අනෙක් කණ්ඩායමට වඩා දක්ෂ වෙලා තරගකාරී වෙලා තරගය දිනන එක. නැත්තං ප්‍රතිවාදී කණ්ඩායම තරග කරද්දි තරග කරන්න බැරි වෙන විදියට ඒ පිලට අංචි ඇදල, සමාන තරග බිමක් නොදී දිනන එක. ඉතිං අපි හැමෝටම ඕන ලංකාව තරග කරල දිනන්න මිසක් අපිත් එක්ක තරග කරන අනිත් තරගකරුවන්ට බාල්දි පෙරළල දිනන්න නොවෙයි. ඒක අපේ ලංකවෙ අභිමානයට හානියක්. ඒ වගේම ලංකාවෙ පාරිභෝගිකයගෙ සිහින කුඩු පට්ටම් කිරීමක්. ලංකාවෙ ඉදිකිරීම් එක්ක ගැටගැහිල තියන සංචාරක කර්මාන්තය, කුඩා ව්‍යවසායකයන් වගේ හැමෝගෙම බඩට ගැහිල්ලක්. ලංකාව දිනන්න ඕන තරග කරල මිසක් ප්‍රතිවාදී පිලට කරදර කරල නොවෙයි.

අරුණ පුවත්පතේ ධනනාත් ප්‍රනාන්දු විසින් පල කරන ලද ලිපියකි