හැමෝම අහනව ඇයි ලංකාව සංවර්ධනය වෙන්නෙ නැත්තෙ කියල. අපි හැමෝම කාලෙන් කාලෙට එක එක හේතු දෙනවා. ණය වැඩියි කියනවා, නියගය ආව කියනවා, ගෝලීය ආර්ථික අර්බුද ආව කියනවා, සොභාවික විපත් වැඩි වුණා වගේම විදේශ කුමන්ත්‍රණ නිසා අපිට දියුණු වෙන්න්න බැහැ වගේ කතන්දර ගොඩක් අපි නිතරම කියනවා. ඒ ඔක්කොම හේතුවල බලැපෑමක් අපිට නැතුවම නෙවෙයි. ඒත් මූලික ප්‍රශ්නය තමයි සංවර්ධනය වෙන්න අපි යන්න ඕන මොන මාර්ගයෙද කියන එකට අපිට තියන අවබෝධය ඉතාම අඩුයි. ප්‍රශ්ණය තියෙන්නෙ සංවර්ධනය කියන්නෙ මොනවගේ දෙයක්ද කියල අපිට හිතා ගන්න පුළුවන් වුණාට සංවර්ධනයට යන පාර අපිට මවාගන්න අමාරුයි. සංවර්ධනය කිව්වම, ලොකු ගොඩනැගිලි, මිනිස්සුන්ගෙ අතේ සල්ලි තියනව, ජීවත් වීම ඉතා සුව පහසුයි වගේ දේවල් ඔලුවට ආවට එතනට යන්න මොකක්ද කරන්න ඕන කියන එක ටිකක් පැටලිලි සහිතයි. බොහෝ දෙනෙක් සංවර්ධනය දකින්නෙ මේක එක රැයකින් වෙන දෙයක් කියල. ඒක නිසා පත්වෙන ජනාධිපතිවරු වගේම ඇමතිවරු රට එකපාරම සංවර්ධනය කරයි හෝ අපි චන්දෙදීපු ගමන් අපේ රට එකපාරම සංවර්ධනය වෙයි වගේ කියල අපිම හිතා ගන්නවා.
රට පාලනය කරන බොහෝ දෙනා වගේම ලංකාවෙ පුරවැසියන් ගොඩක් දෙනෙක් හිතන්නෙ අපි එක පාරටම ලංකාවෙ තියෙන පොස්ෆේට් නිදිය වගේ එකකින් පොහොර කර්මාන්ත ශාලාවක් දාපු ගමන් ලංකාව නිකම්ම සංවර්ධනය වෙනවා කියල. මාධ්‍ය වල “ශ්‍රී ලංකාවෙන් රත්‍රන් ආකරයක් හමුවුණා, අපේ නැගෙනහිර වෙරළ තීරයෙන් බොරතෙල් හමු වෙයි” වගේ ප්‍රවෘති දැකපු ගමන් අපිට සංවර්ධනය වෙන්න පුලුවන් වගේ අදහස් අපිට එන්නෙ සංවර්ධනයට අවශය මූලික සංකල්ප ගැන අපේ අවබෝදය ඉතාම අඩු නිසයි. මෑතදී අපි හොයාගත්තු දේශීය කෝවිඩ් ඖෂද අපනයනය කරල අපිට මේ ණය ප්‍රශ්ණයෙන් ගොඩ එන්න පුලුවන් වගේ දේවල් අපිට හිතුනෙ මෙන්න මේ නිසා. ඇත්තටම කෝවිඩ් මර්දනය සදහා දේශීය ඖෂදයක් හොයාගෙන අපි ඒක අපනයනය කරත් අපිට සංවර්ධනය වෙන්න ඕන මූලික අත්තිවාරම නැති බව අපිට වැටෙහෙන්නෙ නැහැ.
රටකට කොච්චර සොභාවික සම්පත් තිබුණත් ඒ රටට සංවර්ධනය වෙන්න ඕන මූලික සංකල්ප සහ අත්තිවාරම තිබීම අනිවාර්යයයි. සංවර්ධනය ගැන අවබෝදය නැති වුණාම අපිට සොභාවිකවම හිතෙන දේ තමයි කවුරුහරි කරන කුමත්‍රණයක් නිසා තමයි අපිට දියුණු වෙන්න බැරි කියන එක. එහි තේරුම ලෝකයේ අනිත් සියලුම රටවල් හරිම හිත හොදින් හැමෝටම උදව් කරනවා කියන එකත් නොවෙයි. නමුත් අනිත් අයගේ බලපෑම් වලට වඩා ප්‍රශ්ණය තිබෙන්නේ අපිට අපේ අඩුපාඩු තේරුම්ගැනීමට නොහැකිවීම සහ සංවර්ධනයට යන පාර අපිටම හොයා ගන්න අපහසු වීමයි. මේ සදහා හොදම උදාහරණයක් තමයි වෙනිසුවෙලාව. ඔවුන් මුලු ලෝකයටම බොරතෙල් සැපයීමේ ධාරිතාවයෙන් පස් වෙනියට සිටින රටයි. නමුත් ඔවුන්ගේ ආර්ථික තත්වය ඉතාම පසුගාමීයි. ලෝකයේ මේ විදියට සම්පත් තිබෙන බොහෝ රටවල් ඉතාම දිලිදු භාවයෙන් කාලය ගත කරන්නේ සංවර්ධනයට යන පාර කුමක්ද කියා හරි හැටි නොදන්නා නිසයි
මොකක්ද මේ සංවර්ධනයට යන පාර
සංවර්ධනය කියල කියන්නෙ එක පාරටම සිදුවෙන දෙයක් නෙවෙයි. ඒක හරියට හරියට Gym එකට ගිහින් ව්‍යායාම කරනව වගේ. ශරීරයේ සැලකිය යුතු වෙනසක් වෙන්න එක දිගට දිනකට මිනිත්තු 90 බැගුන් වගේ ව්‍යායාම කරන්න ඕන. සතියක ව්‍යායාම එක දවසක කරා කියල හරි Gym එකේ තියෙන හැම ව්‍යායාම උපකරණයකම ව්‍යායාම කලා කියල අපේ fitness නැත්තම් ශාරීරික යෝග්‍යතාවය හැදෙන්නෙ නෑ. රටකට ඕනතරම් සොභාවික සම්පත් තියෙනව වගේ gym එකේ ඉතා හොද උපකරන තිබුන කියල අපේ ශරීර යෝග්‍යතාවය වර්දනය වෙන්නෙ නෑ. ශරීර යෝග්‍යතාවය කියන්නෙ ක්‍රියාපටිපාටියක් මිසක් එකපාර වෙන විප්ලවයක් නෙවෙයි. ඉංග්‍රීසියෙන් කියන්නෙ “Development is an evolution not a revolution” කියල අන්න ඒ නිසයි. ඒ කියන්නෙ සංවර්ධනය කියන්නෙ විප්ලවයකින් වෙන දෙයක් නෙවෙයි, ක්‍රමාණුකූලව සිදුවෙන පරිණාමික ක්‍රියාවක් කියන එකයි. සංවර්ධනය කියන පරිනාමය සිදුවෙන්න ඕන මූලික කාරණාවක් තියනවා. ඒ තමයි රටක් ඇතුලෙ නිශ්චිත ආයතන පද්ධතියක් තියෙන්නෙ ඕන.
ඉංග්‍රීසියෙන් ඕකට Institutions කියල කියනවා. බොහෝ දෙනෙක් ආයතන පද්ධතියක් කිව්වම හිතාගෙන ඉන්නෙ ආයතන කියන්නෙ රජයේ ආයතන වගේ ගොඩනැගිලි සහ ඒවයේ ඉල්ල නිලදාරීන් කියල. තව සමහරු හිතන් ඉන්නෙ ආයතන කියන්නෙ ක්‍රියාපටිපාටි කියල. ඒත් ඇත්තටම ආයතන කියන්නෙ ඔය එකක්වත් නෙවෙයි. ආයතන නැත්තං Institutions කියල කියන්නෙ සමාජය මෙහෙයවන ක්‍රමය කියන එකයි.
උදාහරණයකට ගත්තොත් අපේ “මැතවරණය” සමාජය මෙහෙයවෙන ක්‍රමයක්. අපේ වැඩකරගන්න නායකත්වය ලබාගන්න පිරිස පත් කරණ සමාජ ක්‍රමයක්. ඒක හැමෝම පිලිගන්න ක්‍රමයක් සහ හැමෝම ගරුකරන සහ සහභාගී වෙන ක්‍රමයක්. මෙතන මැතිවරණ කොමිසම හරි, මැතිවරණ කොමිසන් සභාව හරි, මැතිවරණ කොමසාරිස් හෝ, මැතිවරණ කොමිසට අදාල ගොඩනැගිලි හෝ වියදම් නෙවෙයි Institutions කියන්නෙ. අදාල ක්‍රමවේදය. හැබැයි මේ ක්‍රමවේදය නිකං කාර්යලයකින් වැඩක් කරගන්න ගියාම පලමු පියවර විදියට ඉල්ලුම්පත්‍රයක් ගන්න, දෙවැනි පියවර විදියට ඒක පුවන්න වගේ ක්‍රියාපටිපාටි නොවෙයි. ඒට වඩා පුලුල් සමාජයේ තිබෙන අවශ්‍යතාවයන්ට පිළිතුරු සපයන සමාජ ක්‍රම. අන්න ඒ සමාජ ක්‍රමය ශක්තිමත් කිරීමෙන් විතරයි රටක් සංවර්ධනය වෙන්නෙ. ඒ සමාජ ක්‍රමය ශක්තිමත් වෙන්නෙ නැතුව අපිට කොච්චර සොභාවික සම්පත් තිබුනත් වෙන්නෙ ඒව හිස් කලයකට වතුර පුරවනව වගේ සම්පූර්ණයෙන් අපතේ යාමයි.
ශ්‍රී ලංකාවට කොතරම් සොභාවික සම්පත් තිබුණත් අපි දියුණු වෙන්නෙ නැත්තෙ මෙන්න මේ ආයතන පද්දති නැත්තං රටේ තිබිය යුතු සමාජ ක්‍රම තිබුණෙ නැති නිසා. ඒ නිසා පත්වෙන ඕනම රජයක් මේ සමාජ ක්‍රම ශක්තිමත් නොකර සංවර්ධනය කිරීමට යාමෙන් වෙන්නෙ එම රජයම අපහසුතාවයට පත්වෙන එක. අන්න ඒ මැත්වරණ ක්‍රමය වගේ රාජ්‍ය ආයතන මෙහෙයවෙන සමාජ පද්දති, පුද්ගලික අංශය මෙහෙයවෙන සමාජ පද්ධති, මාධ්‍ය මෙහෙයවෙන සමාජ පද්ධති සහ රටේ මූල්‍ය පද්ධතිය මෙහෙයවෙන පද්ධති ස්තාපිත කල යුතුයි. එසේ නොකොලොත් ලංකාව සංවර්ධනය වෙන සිහිනය කවදාවත් සැබෑ වෙන සිහිනය වෙන්නෙ නෑ.
පැවති රජයන් ගනණාවක්ම මේ සමාජ ආයතන පද්ධතිය නැත්තං සමාජක්‍රම හදාගන්න බැරිවුණු වරදේ අවසනාවන්ත ගොදුරු බවට පත්වුණා. ඒ වගේම රජයන් වලට මේ ආයතන පද්ධති නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් තිබෙන බවකුත් පෙනෙන්නට නැහැ. අපි නිදසුනකට පසුගිය රජය ගත්තත් ශ්‍රී ලංකාවෙ මූල්‍ය පද්ධතිය මෙහෙයවන මහ බැංකුවේ මෙහෙයුම් වල ස්වාධීන බව රැක ගැනීමට අපොහොසත්වීම, රටේ ආරක්ෂාව සම්බන්ද මූලික ආයතන කාර්යක්ශමව වැඩ කල හැකි ක්‍රමය සැකසීමට නොහැකි වීම වගේ කරුණු වල ගොදුරු බවට පත්වුණා. මේ ආයතන ගොඩ නොනැගීමේ වරදේ බලපෑම් රජයන් වෙත එන්නෙ නොහිතන වෙලාවල් වල. ඒක හරියට හෙල්මටයක් පලදින්නෙ නැතුව මෝටර් සයිකලයක් පදවවන වගේ. කොච්චර හොදට යතුරු පැදිය පදින්න ලෑස්තිවෙලා ගියත් අනතුරක් වුණු ගමන් ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙනවා. බොහෝ දෙනෙක් සිතන්නේ අවංක නිලදාරීන් පත් කිරීමෙන් ප්‍රශ්ණය විසදන්න පුලුවන් බව වුනත් බොහෝ දෙනෙක්ට නොතේරෙනෙ දෙයනම් අවංක මිනිසුන් වංක වනේ නිශ්චිත ආයතන පද්ධති නොමැති වීමෙන් යන්නයි.
පවතින රජයටත් දැන් එල්ල වෙමින් පවතින්නේ සහ මුහුණ දෙමින් පවතින්නේ එම ප්‍රශ්නයමයි. ජනාධිපතිතුමා බලයට පත්වුනූ විට එතුමාගේ මූලික තේමාව වුනූ System Change කියන සංකල්පය නැත්තං පවතින ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස්කරනවා කියන තේමාව ඉදිරියට යාමට එතුමාට ඇති බාධාව මේ සමාජ ක්‍රම හෙවත් වැඩක් වෙන ආයතන පද්ධති සමාජයේ සකස් වී නොතිබීමයි. එවැනි සමාජ ක්‍රමවේද ශක්තිමත් කිරීම වෙනුවට විවිද තැන් වලින් සමාජ ප්‍රශ්න විසදන්නට උත්සහ කිරීමෙන් සිදුවෙන්නේ එවැනි වෙනස්කම් වලට එල්ල වන බලපෑමට සටන් කිරීමට යෑමෙන් සංවර්ධනය කල හැකි සහ කල යුතු බොහෝ දේ ඉතා ඉක්මනින් අතපසුවෙමින් කාලය ගත වීමයි. සමාජ ක්‍රමවේද නිසි පරිදි සකස් නොවීම නිසා එදිනෙදා ගැටලු එක්ක පොරබදිනවා විනා දීර්ග කාලීන සංවර්ධන උපායමාර්ග ගැන සිතීම පවා ඉතා අපහසුයි. පවතින රජයත් මේ සටන් කරමින් සිටින්නේ නිසි ආයතන සහ සමාජ ක්‍රම්වේද ශක්තිමත් කිරීමට වෙහෙස නොදැරීමේ සහ කලින් පැවති රජයනුත් එවැනි ශක්තිමත් අත්තිවාරමක් නොදැමීමේ ප්‍රතිපල වෙතටයි.
ජිම් කොලින්ස් නැමති කතුවරයා ලියා ඇති Good to Great: Why Some Companies Make the Leap... and Others Don't” කෘතියේ පෙන්වාදී ඇති පරිදි ආයතනයක් දිගු කලක් පැවතීමට සැකස්ම නිර්මාණය හරියට මුලින්ම ඔරලෝසුවක් හදනවා වගේ වැඩක්. ඔරලොසුව හැදුවට පසුව ඕනම කෙකෙක්ට එහි වෙලාව බලන්න පුලුවන්. නමුත් නොනැවතී වෙලාව ගමන් කරන ඔරලෝසුව හැදීම තමයි ඉතාම අපහසු. ඔරලෝසුව නිපදවූ පසුව නිපදවූ නිර්මාණකරුවා නොමැතිව වුවත් වෙලාව කියවා ගැනීම අපහසු නැහැ. සමාජ ක්‍රමය හෙවත් ආයතන ව්‍යුහය හැදීම හරියට ඔරලෝසුවක් හදනවා වගේ. අන්න ඒ ඔරලෝසුව හදා ගැනීම තමයි සංවර්ධනයට යන මාර්ගය. එවිට ඊට පසුව එන ඕනෑම කෙනෙක්ට වෙලාව කියවා ගැනීම අපහසු වෙන්නෙ නෑ.
මේ දිනවල විශාල කතාබහට ලක්වෙන මහ බැංකු වංචාකරුවන් අතඩංගුවට ගැනීම, වනාන්තර එළිකිරීම, සහ කොළඹ වරායේ බටහිර පර්යන්තය කියන කරුනු සියල්ලම පිළිබදව අපේ ලිපි තීරුවෙන් කලින් සාකච්චා කලේ මේ සංකල්පයට අදාලවයි. ස්වාධීනව නීති ක්‍රියාත්මක කරන යාත්‍රණයක් ඇති කිරීම, ඉඩම් වල සීමා ලකුණු කිරීමට අවශ්‍ය ඩිජිටල් සිතියම් ක්‍රමය, සහ ආයෝජකයන්ගේ අවශ්‍යතා නිරූපනය වන ආකාරයට සිදුකෙරෙන විවෘත ටෙන්ඩර් පටිපාටි ක්‍රම ඇති වීම හරියට ඔරලෝසු තැනීම වගේ.
නිසි සමාජ ක්‍රමවේද සකස් කිරීම හෙවත් සමාජ ආයතන හැදීම කියන්න් ලේසි වැඩක් නෙවෙයි. සංවර්ධනයකට යන්නනම් ඒ ක්‍රමවේද අපි සකස් කරගත යුතුමයි. එහෙම නැතුව අපිට සොභාවික සම්පත් තිබුණු පමණින් හෝ අලුත් සොයා ගැනීමක් සොයා ගත් පමණිනින් ලංකාව සංවර්ධනය වෙන්නේ නැති බව කණගාටුවෙන් වුණත් කියන්න ඕන. එතකොට සිදුවෙන්නෙ අපේ තියන සොභාවික සම්පත් ටිකත් නැතිවෙන එක සහ රට සංවර්ධනය කිරීමට මෙහෙයවන්න පුලුවන් මිනිස්සු ටික එවැනි සමාජ ක්‍රමයක් තියන රටවල් වලට හෙමින් සංක්‍රමණය වෙන එක. අවුරුදු 30ක යුද්දයක් ඉවර කරල තව අවුරුදු 10කට වඩා කාලය ගත වුණත්, පෙර අපර දෙදිග නාවික මාර්ගයේ වටිනම කෙන්ද්රස්තානයක ශ්‍රී ලංකාව පිහිටා තිබුණත්, කාලයක් ලෝකයේ 8 වැනි පුදුමය ලෙස සැලකුනු සීගිරිය අපේ රටේ පිහිටා තිබුණත්, ලෝකය දිනපු ආතර් සී ක්ලාර්ක් වගේ මහත්වරු මේ රටේ පදිංචියට ආවත්, සිංහරාජය වගේ ලෝක උරුම ඇතුලු බොහෝ වටිනා සොභාවික සම්පත් තිබුනත් අපි තාම දියුණු වෙලා නැත්තෙ ඒකයි. අපේ දියුණුව බටහිර ක්‍රමයට බැලුවත්, පෙරදිග ක්‍රමයට බැලුවත් අපි තාම පිටිපස්සෙන් ඉන්නෙ ඒකයි. හැමදාම බලයට එන රජයන් ඔරලෝසුව හැදීම වෙනුවට එක එක්කෙනාගෙන් වෙලාව අහමින් කාලය ගත කරනවා. එතකොට අපිට නොදනිම වෙලාව ගත වෙනවා. ලෝකය ඉස්සරහට යනවා. ඒත් අපි ඉන්නෙ එකම තැන.
ධනනාත් ප්‍රනාන්දු
අරුණ පුවත්පතේ 2021 මාර්තු 19 වැනිදා පළවූ ලිපියකි