Trade

'කළු සල්ලි' කොටස් වෙළෙඳපොළේදී සුදු වුණාද?

ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ පිළිබඳ මේ දිනවල විශාල කතාබහක් ඇතිවෙලා. කාලයක් තිස්සේ එතරම් සාර්ථකව ගනුදෙනු නොවුනු කොළඹ කොටස් වෙළෙඳපොළ එකවරම ඉතා ඉහළ ගනුදෙනු ප්‍රමාණයක් පසුගිය දින කිහිපය පුරාවටම අත්පත් කරගැනීමත් සමග මේ ගැන ධනාත්මකව වගේම සෘණාත්මකවත් සමාජයේ විවිධ කතා බහ ඇති වෙනවා.

කොටස් වෙළෙඳපොළ පිළිබඳව ධනාත්මකව හිතන පිරිස ප්‍රකාශ කර​න්නෙ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සාර්ථක බව තමයි කොටස් වෙළෙඳපොළ වර්ධනයෙන් පෙන්නුම් කරන්නෙ කියල. මේ පිළිබඳව සෘණාත්මකව බලන පිරිස් සඳහන් කරන්නේ මූල්‍ය අක්‍රමිකතාවක් සිදු වෙලා කොටස් වෙළෙඳපොළ කෘතිමව උත්තේජනය කරන ධනවත් පිරිසක් අතිවිශාල ලාභ ලබා ගන්නා අතර විශාල ‘කළු සල්ලි’ ප්‍රමාණයක් නැතහොත් අයුතු ලෙස උපයාගත් මුදල් සුදු සල්ලි කිරීම, සඳහා කොටස් වෙළෙඳපොළ පාවිච්චි කරන බවයි.

ඇත්තටම මොකක්ද කොටස් වෙළෙඳපොළේ වෙන්නේ.

කොළඹ කොටස් වෙළඳපොළ කියන්නේ ශ්‍රී ලංකාවේ පොදු සමාගම් නැත්තං ලයිස්තුගත සමාගම් (Public Listed Companies) ඔවුන්ට අවශ්‍ය‍ ප්‍රාග්ධනය සොයා ගන්න මහජනතාවට අදාළ සමාගමේ අයිතියෙන් කොටසක් විකුණනවා. සරලව කිව්වොත් සමාගමක ව්‍යාපාර පුළුල් කිරීම සඳහා අවශ්‍ය මුදල් මහජනතාවගෙන් ඉල්ලා ගෙන ඔවුන්ට සමාගමේ අයිතියෙන් කොටසක් පවරලා වසර අවසානයේ දී සමාගමේ ලැබෙන ලාභයෙන් කොටසක් ඔවුන් අතර බෙදා දෙනවා. අදාළ ආයතනය නිකුත් කරලා තියෙන සම්පූර්ණ කොටස් ප්‍රමාණයෙන් එක් එක් පුද්ගලයන් මිලදී අරගෙන ආයෝජනය කරලා තිබෙන මුදල් ප්‍රමාණයට සාපේක්ෂව තිබෙන කොටස් ප්‍රමාණයට අදාළව ඒ ආයතනයේ හිමිකාරීත්වයෙන් කොටසක් අදාළ කොටස් හිමි තැනැත්තාට අයිතියි. පුද්ගලයන්ට වගේම විවිධ ආයතනවලටත් කොටස් මිලදී ගන්න පුළුවන්.

මේ විදිහට කිසියම් ආයතනයක කොටස් මිලදී ගන්න කොටස්කරුවන් වෙත අදාල සමාගමේ උපයන ලාභ වලින්, ඔවුන්ගේ කොටස්කරුවන් අතර බෙදා දීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරන ලාභවලින් ඔවුන් මිලදී ලබාගෙන තිබෙන කොටස්වල ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයක් සෑම වසරකදීම ලැබෙනවා. ලාභාංශ කියන්නෙ ඒකට (dividends). හැබැයි හැම සමාගමක්ම ලාභාංශ ගෙවන්නෙ නැහැ. ඒක සමාගමේ තීරණයක්.

ඊට අමතරව විවිධ පුද්ගලයන් මිලදී ලබාගෙන තිබෙන කොටස් තවත් පුද්ගලයන්ට විකිණීමේ හැකියාවත් ලැබෙනවා. සරලව ගත්තොත් කොටසක් මිලදී ගත්තට පස්සේ ඒක හුවමාරු කරන්න පුළුවන් මුදල් ඒකකයක් විදියටත්, ඒ වගේම අදාළ කොටස් මිලදී ගෙන තිබෙන සමාගම උපයන ලාභ වලින් කොටසක් ලබා ගැනීමේ අවස්ථාවක් (ලාභාංශ ගෙවන සමාගමක් නම්) කියන දෙකම ලැබෙන නිසා බොහෝ ආයෝජකයන් කොටස් මිලදී ගැනීමට පෙළඹෙනවා. ඒ වගේම ඔවුන්ගේ වත්කම් සහ මුදල් සාර්ථක සමාගම්වල කොටස්වල ආයෝජනය කිරීම දිගුකාලීනව වාසිදායක බවට ලොව පුරා කොටස් වෙළෙඳපොළවල්වල දත්ත තහවුරු කර තිබෙනවා.

අන්න ඒ විදිහට ලංකාව තුළ ලියාපදිංචි කර තිබෙන පොදු සමාගම්වල (Public listed companies) විවිධ ආයතන වලින්, විවිධ පුද්ගලයන් ගෙන් ලබා ගෙන තිබෙන කොටස් නැවත වරක් විකුණන ස්ථානයට තමයි කොළඹ කොටස් වෙළඳපොළ කියලා කියන්නේ. මෙතනදී කොටස්වල මිල තීරණය වෙන්නේ සෑම කොටස් වෙළෙඳපොළකම එම තීරණය වන විදිහටම සාමාන්‍ය ආර්ථික විද්‍යාවේ කියවෙන ඉල්ලුමට හා සැපයුමට අනුවයි.

කිසියම් ආයතනයක් “වැඩිපුර ලාභ ලබා ගනීවි” කියලා අනුමාන කෙරෙනවා නම් වැඩිපුර ලාභාංශ ලබා ගන්න පුළුවන් නිසා අදාළ සමාගම්වල කොටස්වල මිල ඉහළ යනවා. ඒව වගේම කිසියම් සමාගමක් ලාභය අඩු වෙනවා කියලා හැඟවෙන තොරතුරු වෙළෙඳපොළට ලැබෙනවා නම් බොහෝ දෙනෙක් ඒ සමාගම්වල කොටස් විකුණන්න උත්සාහ කරන නිසා එම සමාගම්වල කොටස්වල මිල ඉක්මනින් පහළට වැටෙනවා. ඒ වගේම මේ කොටස් මිලදී ගැනීම සහ විකිණීම සිදුවෙන්නේ ඉලෙක්ට්‍රොනික පද්ධතියක් භාවිතයෙන්. එමගින් ඉතා ඉක්මනින් සහ පහසුවෙන් ගනුදෙනු කිරීමට සහ වෙළෙඳපොළේ තිබෙන දත්ත සහ තොරතුරු ලබා ගැනීමේ අවස්ථාව ලැබෙනවා.

fgsdtwSrfwe.png

කොළඹ කොටස් වෙළෙඳපොළ කොතරම් සාර්ථකව ක්‍රියාත්මක වෙනවද කියලා මූලික වශයෙන් බලන්නෙ සියලු කොටස් මිල දර්ශක අගය (All Share Price Index - ASPI) කියන පරිමාණය තුලින්. මේ පරිමාණයේ අගයන් ඉහළ පහළ යාම් තීරණය වෙන්නේ එක දිනයක් තුළ දී වෙළෙඳපොළේ තිබූ සියලුම කොටස් වල මිල ගණන් ඉහළ පහල යාම මත සහ කොටස් වෙළෙඳ පොළේ ලයිස්තුගත සමාගම් වල නිකුත් කර ඇති කොටස්වල වටිනාකම අනුව අදාළ සමාගමේවල තක්සේරු මුදලට (Market Capitalization) සාපේක්ෂවයි.

ඒ අනුව දළ වශයෙන් වසරකට කලින් සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 6000 ට ආසන්නව පැවති කොළඹ කොටස් වෙළෙඳපොළ 2021 පසුගිය ජනවාරි 27 වන දා සියලු කොටස් මිල දර්ශකය ඒකක 8800 ඉක්මවමින් ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ කොටස් වෙළෙඳපොළ වාර්තා කළ ඉහළම අගය වාර්තා කරමින් විශාල ප්‍රගතියක් පෙන්නුම් කරනු ලැබුවා. ඒ අනුව ලෝකයේ වේගෙන්ම වර්ධනය වන කොටස් වෙළෙඳපොළවල් අතරට ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ එකතු වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ මෙතරම් සාර්ථක ලෙස ක්‍රියාත්මක වීමට හේතු මොනවාද යන්න හැම දෙනාටම ප්‍රහේලිකාවක් වුණා. ඒ සඳහා හේතු කරණා කිහිපයක් උපකල්පනය කළ හැකියි.

1. පවතින ආර්ථික තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාත ඉතා විශාල ලෙස අඩු කරනු ලැබ තිබෙනවා. ඒ අනුව ස්ථාවර තැන්පතු ගිණුම් වල සහ ඉතිරි කිරීමේ ගිණුම්වල පොලී අනුපාත ඉතා අඩු අගයක පැවතීම නිසා එම ගිණුම්වල මුදල් ඉතිරි කිරීමෙන් පොලියෙන් ආදායමක් උපයා ගැනීම ඉතුරුම්කරුවන්ට තවදුරටත් වාසිදායක තත්ත්වයක් උදා කරන්නේ නැහැ. (ශ්‍රී ලංකාවේ බොහෝ විශ්‍රාමිකයන් ඔවුන්ගේ සේවක අර්ථ අර්ථසාධක අරමුදල් ඇතුළු විවිධ අරමුදල් ස්ථාවර තැන්පතුවල ආයෝජනය කරමින් පොලියෙන් ජීවත් වීමට නැඹුරුව සිටිනවා) ඒ නිසා බොහෝ ඉතුරුම්කරුවන් තමන්ගේ මුදල් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට තිබෙන අවස්ථාව වැඩියි.

2. ඒ වගේම පසුගිය මාස කිහිපය තුළ ඉතා විශාල මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය තුළ අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාල මුදල් ප්‍රමාණයක් සැරිසරනු ලබනවා. Covid-19 සඳහා සහන ලබා දීමට සහ රජයේ වියදම් පියවා ගැනීමට මෙලෙස මුදල් අච්චු ගසනු ලැබුවා. එම මුදල් ප්‍රමාණයෙන් යම් කොටසක් කොටස් වෙළෙඳපොළට ඒම නිසා ඉහළ යාමට හේතු විය හැකියි.

3. එමෙන්ම වාහන ආනයනය නතර කර තිබීම නිසා සහ එවැනිම සමහර ක්ෂේත්‍ර වල ආනයන සම්පූර්ණයෙන් නතර කර තිබීමෙන් ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර සම්පූර්ණයෙන් බිඳ වැටීමෙන් ඔවුන් තමන් සතුව තිබූ ප්‍රාග්ධනය කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීම කොටස් වෙළෙඳපොළ ඉතා සක්‍රීය වීමට තවත් හේතුවක්.

4. එලෙසින්ම පවතින රජය කොටස් වෙළෙඳපොළ අධීක්ෂණය කිරීම සඳහා සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ සඳහා වෙනම අමාත්‍යවරයෙක් පත් කිරීම මෙන්ම කොටස් වෙළඳපොළේ සමාගම් ලයිස්තුගත කිරීම සඳහා පිරිනමන සැපයීම කොටස් වෙළෙඳපොළ සක්‍රීයවීමට තවත් එක් හේතුවක් ලෙස දැක්විය හැකියි

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ යනු ශ්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධිමත්භාවයේ සර්ව සම්පූර්ණ දර්ශකයක් නොවන බව අපි හැමෝම මතක තබා ගත යුතුයි. ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ හැසිරෙන ආකාරය අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකයත් ඒ ආකාරයෙන්ම හැසිරේවි යැයි අනුමාන කිරීම එතරම් නුවණට හුරු නැහැ. විශේෂයෙන්ම කොටස් වෙළෙඳ පොළේ ඇති ප්‍රධානතම කාරණය වන්නේ විදේශීය ආයෝජකයන් ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ හැරයාමයි. ඒ අනුව 2020 වර්ෂයේ දී සමස්තයක් ලෙස විදේශ ආයෝජකයන් ඇමරිකානු ඩොලර් මිලියන 273 කොටස් විකිණීමෙන් කොටස් වෙළෙඳපොළන් ඉවත් වුණා. එමෙන්ම ජනවාරි මාසය තුළදී පමණක් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 25කට වඩා වැඩි මුදලක් විදේශ ආයෝජකයන් කොටස් වෙළෙඳපොළෙන් ඉවත් කරගෙගෙන තිබෙනවා. මෙලෙස කොටස් වෙළෙඳපොළෙන් විදේශ ආයෝජකයන් ඉවත් වීමට ප්‍රධානතම හේතුවක් වන්නේ ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් අනුව ක්‍රමයෙන් පහළ තත්ත්වයෙකට ඇද වැටීමයි. Fitch, Moody’s සහ S&P යන ලොව ප්‍රධාන පෙළේ ආයතන තුනම ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහල හෙළනු ලැබුවා.

සමහර විදේශ ආයෝජකයන්ට ලෝකයේ විවිධ කොටස් වෙළෙඳ පොළවල් වල ආයෝජනය කළ හැක්කේ පිළිගත් ණය ශ්‍රේණිගත කිරීම්වල ඉහළ මට්ටම්වල තිබෙන රටවල පමණි. ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහළ වැටෙද්දී නිරායාසයෙන්ම ඔවුන්ගේ මුදල් ශ්‍රී ලංකාවෙන් ඉවත් කරගැනීමට ඔවුන්ට සිදු‍වෙනවා.

මේ අතරවාරයේදී පසුගිය පෙබරවාරි 2 වන දින කොටස් වෙළඳපොළ විශාල ලෙස පහළ වැටීම බොහෝ දෙනකුගේ විමතියට හේතු වුණා. මින් පෙර සමහර අවස්ථාවල වාර්තා වී ඇති පරිදි මෙවරද වෙළෙඳ උත්තේජනය කිරීමෙන් පසුව නැවත එය කඩා වැටුණු සමහරුන්ගේ මතය වී තිබෙනවා. ශ්‍රී ලංකා සුරැකුම් කොමිෂන් සභාව සමහර ලයිස්තුගත සමාගම්වල අමතර දත්ත ඉල්ලා සිටිමින් කොළඹ කොටස් වෙළෙඳපොළ තැරැව්කරුවන් වෙත ලැබූ ලිපියක් නිසා එදින කොටස් වෙළෙඳපොළ එක්වරම පහල වැටුනු බවටද මත පළ වෙනවා.

ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ ඉලෙක්ට්‍රොනික් පද්ධතිය සකසා තිබෙන්නේ යම් හෙයකින් වෙළෙඳපොළේ S&P Sl20 දර්ශකය 5% කට වඩා පහළ වැටුණු විට ස්වයංක්‍රීය කොටස් වෙළෙඳපොළ ගනුදෙනු නතර වන ආකාරයටයි. ඉන් අනතුරුව නැවතත් කොටස් වෙළෙඳපොළ දර්ශකය තවත් 2.5 කින් පහළ වැටුණහොත් තවත් මිනිත්තු 30ක් සඳහා ඉලෙක්ට්‍රොනික පද්ධතිය ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත වනවා. ඒ අනුව පෙබරවාරි 2 වන දින ඉලෙක්ට්‍රොනික පද්ධතිය ස්වයංක්‍රීයව දෙවරක් බිඳ වැටුණා. කෙසේ වෙතත් පෙබරවාරි 3 වන දින වෙළෙඳපොළ පසුගිය දිනට සාපේක්ෂව යම්කිසි ප්‍රගතියක් ලබා ගත්තත් කලින් පැවති උපරිම තත්ත්වයට ළඟා ව තිබුණේ නැහැ.

බොහෝ දෙනෙක්ට තියෙන ගැටලුව වෙන්නෙ මෙය වෙළෙඳපොළ විකෘති තත්ත්වයට පත් කිරීමක් ද සහ මේ පසුපස යම්කිසි අයථා කටයුත්තක් සිදු වේද යන්නයි. ඒ පිළිබඳව නිගමනයකට පැමිණීමට දත්ත කිසිවක් නැහැ. කෙසේ වෙතත් ඕනෑම වෙළෙඳපොළක් සමග විචලනය වීම කිසිම වෙළෙඳපොළක් සෑම දිනකම එකම ආකාරයෙන් ගනුදෙනු සිදුවීමට අවස්ථාවක් නැහැ. කෙසේ වෙතත් සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව මනා සාර්ථක චිත්‍රයක් මවා ගැනීම සඳහා ඉදිරි මාස කිහිපය තුළදී වෙළෙඳපොළ හැසිරෙන ආකාරය අධ්‍යයනය කිරීමට සිදුවනවා.

අරුණ පුවත්පතේ ධනනාත් ප්‍රනාන්දු විසින් පල කරන ලද ලිපියකි

නැගෙනහිර පර්‍යන්තයට ආයෝජන තියන Business Model එකක් අවශ්‍ය ඇයි

මම සාමාන්‍යයෙන් මගේ දත් බුරුසුව (tooth brush) මිලදී ගන්නේ අපේ ගෙදර ළඟ තියන සිල්ලර කඩේකින්. මම පුරුදු වෙලා හිටියේ එක brand එකක්( විශේෂිත වෙළඳ නාමයක්) තියන දත් බුරුසුවක් මිලදී ගන්න. හැබැයි කඩේ මුදලාලි මට හැමදාම වෙනත් වෙළඳ නාමයක් තියෙන දත් බුරුසු ජාතියක් මිලදී ගන්න කියල කතා ගොඩාක් කියනවා නැත්තං ඒත්තූ ගන්නනවා. මුදලාලි මට ඒ දත් බුරුසු ජාතිය හරි ලස්සන විදිහට market කළා. ඒ හින්දම වෙන්නැති  මට අදටත් එදා මුදලාලි market කරපු (නිර්දේශ කරපු)  දත් බුරුසු වර්ගය අද වගේ මතක. මෙන්න මෙහෙමයි මුදලාලි Marketing වැඩේ පටං ගන්නෙ.

“සර් දැන් මාකට් එකේ අලුත් බ්‍රෑන්ඩ් එකත් තියෙනවා.ඒක තමයි කලෙකිං ආපු හොදම බ්‍රෑන්ඩ් එක. මේකෙ සර් කෙදි වල ඝනකම වැඩී, පහසුවෙන් අල්ලන්න පුළුවන්. මේකෙ සර් හැඩ්ල් එකේ නැමි 3 ක් තියනවා. ඒක නිසා පහල තියෙන යටි හක්කෙ තියන දත් වුනත් ලේසියෙන් මැද ගන්න පුළුවන්.” විදුරුමස් වලට තියන බලපෑම, බුරුසුවේ ආකෘතිය, මුඛ සෞඛ්‍ය ආරක්ෂාවට හා දත් කුහර සමඟ සටන් කරන්න මේ දත් බුරුසුව උදව් වෙන්නෙ කොහොමද කියලා පැහැදිලි කරේ හරියට දත් දොස්තර කෙනෙක් පැහැදිලි කරනව වගේ. සිල්ලර කඩේ මුදලාලි ඒ දත් බුරුසුව market කරපු  විදිහට මොහොතකට මගේ සෙළවෙන මනසට හිතුනා “මේ නම් මුදලාලි කෙනෙක් වෙන්න බැහැ පාට් ටයිම් දත් දොස්තර කෙනෙක්” කියල.

පස්සෙ ඒත් මං කල්පනා කරා මුදලාලි කොහොමද දත් බුරුසු ගැන දත් දොස්තර වගේ දන්නෙ කියල. ඒක තේරුණේ පස්සේ කාලෙකදි මට වෙළඳපොළ පර්යේෂණ (Market Research Agency)  ආයතනයක රැකියාව කරන්න ලැබුනට පස්සෙ.  එතනදී දත් බුරුසු ගැන අධ්‍යයනයක් කරන්න මට සිද්ධ වුණා. දත් බුරුසු හදන ආයතන වලින් මුදලාලිලට දෙන commision  එක මේකට මම විශ්ලේෂණය කළා . සිල්ලර කඩ මුදලාලිට එක දත් බුරුසුවකින් කොච්චර profit margin එකක් (ලාභයක්)  හම්බුවෙනවා ද කියලා එදා මම හොයාගත්තා. එදා තමයි මට තේරුණේ මුදලාලි මට මාකට් කරපු බුරුසුවට අනිත් දත් බුරුසු brand  වලට වඩා වැඩි ප්‍රමාණයක profit margin එකක් මුදලාලිට ලැබෙන බව. තවත් සරළව කියනවනං මුදලාලි මට විකුණන brand එක විකුණුවම මුදලාලිට වෙළදපොලේ තියන අනිත් බුරුසු විකුණනවට වඩා වැඩි commision එකක්  (ලාභයක්) හම්බ වෙනවා. ඉතිං නිකංම මුදලාලි ඒ brand එකේ දත් බුරුසු ටික ඒ දත් බුරුසු හදන කොම්පැනියට වඩා හොදට විකුණනවා. දත් දොස්තර කෙනෙක් පැහැදිලි කරනවට වඩා හොදට පැහැදිලි කරනවා. මේක තමයි Business Model එක.  

මෙතැනදී ව්‍යාපාර ආකෘතිය  නැත්තං  Business Model එක සැලසුම් කරලා තියෙන්නේ හොඳ දිරිගැන්වීමක් (Incentive) ලබා දීම තුලින් ගැනුම්කරුවට/පාරිභෝගිකයාට බලපෑම් කරන්න. ව්‍යාපාරයක, ව්‍යාපාර ආකෘතිය තේරුම් ගන්න එක සහ Business model එක  හරි ක්‍රමයට හදා ගන්න එක තරඟකාරී කර්මාන්තයක තියෙන ඕනම ව්‍යාපාරයක සාර්ථකත්වය තීරණය කරනවා.

නැගෙනහිර බහාලුම් පර්යන්තය (East Container Terminal) පිළිබඳ ශ්‍රී ලංකාවේ ඇති විවාදය එන්නෙ මේ වගේ කතාබහක් මැද්දෙ. මොකක්ද නැව් ව්‍යාපාර වල තියන  Business Model එක. ඒක තේරුම් ගන්නෙ නැතුව අපි මොනව කරත් වැඩක් නැහැ.

හොද Business Model එකක්  හදාගෙන  (ව්‍යාපාර ආකෘති නිර්මාණය කරගෙන) ඉස්සරහට ගිය ලොකු ඉතිහාසයක් ශ්‍රී ලංකාවට නැහැ. නැව් ව්‍යාපාර කියන්නේ ජාලකරණ ව්‍යාපාරයක්  (networking business). සරළව කියනවනං ලෝකෙත් එක්කම සම්බන්ධ ව්‍යාපාරයක්. මේ ව්‍යාපාරයේ අපනයන කරුවන්, නැව් අයිති කරුවන්, ඔවුන්ගෙ සංදාන, වරායවල්, වරාය වල පර්‍යන්ත මෙහෙයවන ආයතන වගේ ව්‍යාපාර සමූහයක් ඉන්නවා. ඒ වගේම මේක මහා සංකීර්ණ ක්‍රියා පටිපාටියක්.

Business Model එක මත, ඔවුන්ට ලැබෙන සේවාවන් මත සහ discount ( වට්ටම්- ඩිස්කවුන්ට්) මත වගේම භූ දේශපාලන (Geo politics) කාරණා මේ ව්‍යාපාරයට බලපානව. ඒ වගේම ඉතාම තරගකාරී ව්‍යාපරයක් මේක. ලාභ ප්‍රතිශත (Profit margins) අඩුයි. ඒත් business volume එක නැත්තං එහෙට මෙහෙට හුවමාරු වෙන ගණුදෙනු ප්‍රාමාණය ඉතාම වැඩියි.

Business Model එක මත සහ දිරිගැන්වීමේ ව්‍යුහය (incentive structure) මත පදනම්ව විවිධ මට්ටම්වල ව්‍යාපාර, වරායට ගේන්න පුළුවන් පාර්ශවකරුවන් හා  තීරණ ගන්න අය බොහොමයක් ඉන්නවා.  අපේ වරායේ පිහිටීම අපේ රටට ලොකු වාසියක් වුනත් ඒ පිහිටීම විතරක් අපිට අවශ්‍ය ප්‍රතිලාභ ගේන්නේ නැහැ. මේක හොදට දුවන්න පුලුවන් Business model එකක් අපි හදා ගන්න ඕන. අන්න ඒ බිස්නස් මොඩල් එකට තමයි නැව් සමාගම් සහ තවත් ආයෝජකයන් හවුල් කර ගැනීම වැදගත්. මොකද ඒගොල්ලොන්ට පුලුවන් වරායට Business ගේන්න.

කොළඹ වරාය කියන්නේ ප්‍රති නැව්ගත කිරීම් (transhipment business) සඳහා කේන්ද්‍රස්ථානයක්. කොළඹ Shippers Academy හි ප්‍රධාන විධායක නිලධාරී තුමන් වන රොහාන් මාසකෝරාළ මහතා කියන විදියට, ප්‍රති නැව්ගත ව්‍යාපාර (transhipment) කියන්නේ ඉතා සංවේදී ව්‍යාපාරයක්. ඒකට හේතුව වෙන්නේ හරි ව්‍යාපාර හවුල්කරුවන් ආකර්ෂණය කරගන්න බැරිවුනොත්, ඕනම ව්‍යාපාරයකට ඒ ව්‍යාපාරය දියුණු වෙනවත් එක්කම පහසුවෙන් ප්‍රති නැව්ගත කිරීම වෙන වරායකට මාරු කරන්න පුලුවන්.  ඔහු උදාහරණයක් විදිහට කිව්වේ, සිංගප්පූරුව ප්‍රධාන හවුල් ව්‍යාපාරයකින්  (shipping alliance / Joint venture)  එක ප්‍රධාන පෙලේ සමාගමක් ඉවත් කරාට පස්සෙ මාස කිහිපයකින් සිංගප්පූරුවට එන ප්‍රති නැව්ගත කිරීම් (transhipment business) ප්‍රාමණය එක පාරට අඩු වෙලා මැලේසියවෙ වරායට බිස්නස් ඔක්කොම යන්න ගත්තා. ආයෙත් සිංගප්පූරුව අර කලිං හිටපු සමාගමට කතා කරල නැවත වරක් හවුල් ව්‍යාපරෙට එකතුකර ගත්තා. එහෙම එකතු කර ගත්තෙ එක ප්‍රතිනැව්ගත කිරීමක් වෙනත් වරායකට යනවත් එක්ක ඒකට සම්බන්ධ වෙලා තියෙන තවත් ව්‍යාපාර ගොඩක් සහ ගණුදෙනු ගැලවිලා යනවා මොකද මේක ජාලගත (Network Business model) බිස්නස් මොඩල් එකක් නිසා.

මාසකෝරාළ මහතා කියන විදිහට, ආර්ථික විද්‍යාවේ කියවෙන බාහිර නැඹුරුවක් තියෙන ප්‍රවේශයක් (outward- oriented approach) ගන්න හරි දැනුමක් හා කැමැත්තක් නොමැති කම නිසා ශ්‍රී ලංකාවේ තියන වරායන් වලින් ගන්න පුළුවන් ප්‍රතිලාභ ලබාගන්න අද අපිට බැරි වෙලා තියෙනවා.  සරළව කියනවනං වරායවල් සැලසුම් කරන්නෙ ලෝකෙ බිස්නස් වෙන විදිය සහ අනාගතය දිහා බලල මිසක් අපිට ඕන විදියට ලෝකෙ තියන නැව් ව්‍යාපාර වලට හැඩ ගැහෙන්න කියල නෙවෙයි. ලෝකෙ තියෙන වරායන් හා පර්යන්ත වලින් 80% ම වගේ කළමනාකරණය කරන්නේ පුද්ගලික-රාජ්‍ය හවුල්කාරීත්වයන් (public private partnership). 20% විතර පාලනය කරන්නේ රජයන් විසින්. ඉන්දියවේ තිබෙන ප්‍රධාන වරායන් 13න් 11ක්ම රජය සහ පුද්ගලික අංශය එකතු වෙලා කරන්නෙ. එක වරායක් සම්පූර්ණයෙන්ම පුද්ගලික අංශය කරන්නෙ. දැන් කොළඹ වරාය ගැන කතා කළොත්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය (Sri Lanka Ports Authority) හරහා රජයට සියලුම පර්යන්ත වල කොටස් තියෙනවා. පුදගලික අංශයත් එක්ක කරන හැම පර්‍යන්තයකම කොටස් රජයට තියනවා. ඒ කියන්නෙ රජය වෙළදපොළ කළමණාකරනය කරනව වගේම වෙළදපොලේ තරග කරනවා. රජය වෙළදපොලේ නියාමකයාගේ(Regulator) කාර්යයත් ඉටු කරනවා.  ඒවගේම නියාමනය කරන ගමන් ඇවිල්ල බිස්න්සුත් කරනවා. ඒක හරියට ක්‍රිකට් මැච් එකක ප්‍රධාන විනිසුරු විදියට ඉන්න ගමන් එක පාරටම ඇවිල්ල බැට් කරනවා වගේ. ඒකෙන් වෙන්නෙ වැඩ දෙකම හරියට කර ගන්න බැරි වෙන එකයි. මේක රජයක් වරායන් පාලනය කරද්දි මතක තියා ගන්න ඕන මූලිකම කාරණයක්. ලෝකෙ සාර්ථක වරායන් මෙහෙයවන රටවල් වල වරාය කළමනාකරනය සහ නියාමනය කරන්න වෙනම ආයතනයක් පිහිටුවලා තියනව. තරග කරන ව්‍යාපාර වෙනම තියනවා. ඒක නිසා තරග කරන ව්‍යාපාර වලට පහසුවෙන් තරග කරන්නත් නියාමනය කරන ආයතනයට පහසුවෙන් නියාමනය කරන්නත් පුලුවන්. අපේ වරාය Business Model එකේ තියන එක ගැටලුවක් තමයි මේක.   

වරාය Business Model එකේ දෙවැනි කාරණය තමයි සාමාන්‍යයෙන්, භාවිතා කරන්න ඕනේ මොන වරායද, මොන පර්යන්තය ද කියන එක තීරණය කරන්නේ නැව් හිමිකරුවන්. ඒ තීරණය ගන්නේ වරාය තියෙන ස්ථානයට අමතරව වරායේ හෝ පර්යන්තයේ කාර්යක්ෂමතාවය, ව්‍යාපාර අවශ්‍යතාවය හා මොවුන්ගේ ජාලයේ ඇති පර්යන්ත සලකා බලලා. නැව් කර්මාන්තය කියන්නේ  පිරිවැය මත තරගකාරීත්වයක් (cost-competitive, volume based industry) තියෙන පරිමාව මත ලාභ පදනම් වෙන කර්මාන්තයක්.

ඒ වගේම මේ කර්මාන්තයේ දී මෙහෙයුම ආරම්භ කරන්න කලින් සැලකිය යුතු ආයෝජනයක් කරන්න ඕනේ (High investment). ආයෝජනය වැඩි වෙන තරමට අවදානම හා වගකීම වැඩි වෙනවා. නිතර වෙනස් වන ව්‍යාපාරික පරිසරයක ඇති විය හැකි සුළු බාධාවක් වුණත් සැලකිය යුතු ප්‍රමාණයක අලාභයක් ඇති කරලා කර්මාන්තයේ තරගකාරී වාසි අහිමි කරන්න හේතු වෙන්න පුළුවන්. මේක මේ ව්‍යාපාරයේ ස්වභාවය. අන්න ඒ අවදානම අඩු කරගන්න සහ ආයෝජනය බෙදා ගන්න කරන එක විදියක් තමයි හවුල්/ඒකාබද්ධ ව්‍යාපාර වලට යන එක.

ඒකාබද්ධ ව්‍යාපාර (Joint ventures) වලට පිවිසෙන එකේ වැදගත්කම ගැන කතා කරද්දි තියෙන හොඳම උදාහරණය තමයි සිංගප්පූරු වරාය.

වරායක් සහ එහි පර්යන්ත කළමනාකරණය කරද්දි නිවැරදි ව්‍යාපාර ආකෘතිය (Business Model) හඳුනාගන්න එක ඉතා වැදගත් කරුණක්. මේ ව්‍යාපාර ක්‍රියාත්මක වෙන්නේ, ඒකාබද්ධ ව්‍යාපාර තුළින්  පාර්ශවකරුවන් සමග සම්බන්ධතා ඇති කරගෙන හැකිතාක් ව්‍යාපාර ගණුදෙනු (Business volumes) ආකර්ෂණය කර ගන්න අතරතුර ඵලදායිතාව හා කාර්යක්ෂමතාව උපරිම විදියට පවත්වාගෙන යන එකෙන්. මේ වගේ ඒකාබද්ධ ව්‍යාපාරයකදී, හොද ආයෝජනයක් විතරක් නෙමෙයි, දැනුම හා හොඳ කළමනාකරණයක් තිබීමත් සැබෑ ප්‍රතිලාභ ළඟා කර දෙන්න හේතුවක් වෙනවා.

ඒ වගේ ප්‍රතිලාභ ලැබෙන ඒකාබද්ධ ව්‍යාපාර ක්‍රියාත්මක වෙනවා නම් රටේ වෙනත් අංශ වලට පවා ආර්ථික ප්‍රතිලාභ ළගා කරගන්න හැකියාව තියෙනවා. රටක් විදියට අපි මෙතනදි බලන්න ඕනේ පුළුල්  ආර්ථිකය දිහා මිසක් තනි කර්මාන්තයක් ගැන විතරක් නෙමෙයි. ඒකට හේතුව වෙන්නේ, හැම කර්මාන්තයක්ම අන්තිමට නිෂ්පාදනයේ ප්‍රධාන සාධක වන භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය හා ව්‍යවසායකත්වය හා සම්බන්ධ වෙලා තිබීමයි.

අනෙක් අතට බලද්දි , අවුරුදු ගාණක් පුරාවට හිටපු රජයන් විවිධ සහයෝගීතා ගිවිසුම් සහ ද්වී පාර්ශ්වික ගිවිසුම් වලට අත්සන් කරල(Memorandums of Corporation), මෙහෙයුම් කරුවන් සඳහා ලංසු කැඳවලා, කීප වතාවක් ඒවා අවලංගු කරලා මේ ECT ව්‍යාපෘතිය ඉතා සංකීර්ණ එකක් කරලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට ක්‍රියාවලිය වසර ගානක් ප්‍රමාද වෙලා, ඒ දීර්ඝ ප්‍රමාදයන් හින්දා අපේ කීර්තිනාමයට දැඩි පාඩුවක් ඇතිවෙලා තියෙනවා වගේම ආයෝජකයින්ගේ විශ්වාසයට (investor confidence) ඉතා ලොකු බලපෑමක් ඇති කරලා තියනවා.ඒ වගේම ප්‍රමාදය නිසා විශාල මූළ්‍ය පාඩුවකුත් වෙලා තියනවා.

මේ සටහන්කරු මහ මැතිවරණයට කලින් මේ තීරුවේ කතා කරා වගේ ඒ කාලෙ හිටපු අන්තර්වාර/අතුරු රජයට (interim government) හා ජනාධිපතිවරයාට විනිවිදභාවය, තරගකාරී ව්‍යාපාරික  ආකෘතියත් තිබීමේ වැදගත්කම පිළිබිඹු කරන්න මේක අවස්ථාවක් කරගන්න හැකියාව තිබ්බා. ඒ ලිපිය මෙතනින් කියවන්න පුලුවන්.  එම ලිපියෙන් යෝජනා කල විදියට තරඟකාරී ආකෘතියක් සමග ප්‍රධාන නැව් සන්ධානවල හවුල්කරුවන් (shipping alliances) හදුනගෙන  ECT හරහා ව්‍යාපාර තවතවත් ජාලගත කරලා මේ වෙද්දි සැලකිය යුතු ප්‍රතිලාභ අත්කර ගන්නත් හැකියාව  තිබුණා.

කඩේ මුදලාලි හා දත් බුරුසු නිශ්පාදකයා අතර තිබුන ව්‍යාපාර ආකෘතියට සමාන සම්බන්ධතා තිබෙන දේශීය ව්‍යාපාර සහ අනෙකුත් පාර්ශවකරුවන්ට වාසි ලබාගත හැකි ජයග්‍රාහි ව්‍යාපාර ආකෘතියක් නිර්මාණය කරන්න අපට හැකියාව තිබුණා. භූ දේශපාලනික කෝණයකින් බලද්දි, ලංසු තැබීමේ ක්‍රියාවලිය විනිවිද භාවයෙන් යුතු, තරගකාරී, පැහැදිලි මාර්ගෝපදේශ සහිතව සිදු වුනා නම් එය සම්මත ගෝලීය මූලධර්මයක් වන නිසාම බාහිර බලපෑම් සම්පූර්ණයෙන්ම වළක්වා ගන්න හැකියාව තිබුණා.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය(Sri Lanka Ports Authority)  ECT සඳහා පූර්ණ වශයෙන් ආයෝජනය කරන්න කැමති නං, ප්‍රශ්නය වෙන්නේ මුලින් ආයෝජනය නොකර වසර ගණනාවක් අපි නාස්ති කළේ ඇයි යන්නයි. අපි ඒ කාලය නාස්ති කළේ ඇයි, ලාභ ඉපැයීම සඳහා අපට මග හැරුනු අවස්ථාවට වගකිව යුත්තේ කවුරුන් ද කියන ප්‍රශ්න දැන් සැළකිල්ලට ගන්න වෙනවා. ඒ නිසා අවදානම් හිමිකාරීත්වය (ownership of risk) යන මූලික ව්‍යාපාර මූලධර්මය දුර දක්නා නුවණින් යුතු ව සලකා බැලිය යුතුයි. පුද්ගලික ආයෝජකයින් ඔවුන්ගේ මුදල් අවදානමක් ඇතුව  ව්‍යාපාරයක් තුළට ගෙන එන විට, කාර්යක්ෂමතාවය සහ ඵලදායිතාවය ගැන ඔවුන්ට ද වගකීමක් තිබෙනවා.ඒත්  රජය විසින් බදු ගෙවන්නන්ගේ මුදල් ආයෝජනය කරන විට එවැනි තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ.  සරළව කියනවනං සල්ලි ආයෝජනය කරන කෙනාට ඒ  සල්ලි ගැන කැක්කුමක් තියනවා. වැඩේ වැරදුනොත්  සල්ලි නැති වෙන නිසා. ඒත් රජය බදු ගෙවන මිනිස්සුන්ගෙ සල්ලි ආයොජනය කරාම ඒ කැක්කුම එන්නෙ නැහැ. මොකද ඒ සල්ලි වලට කවුරුත් වග කියන්නෙ නැති නිසා. ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් ආර්ථික විද්‍යාවේ ඇති දිරිගැන්වීම් (incentives) වල මූලික පරමාර්ථය තේරුම් ගන්නෙ නෑ වගේම සෑම අවස්ථාවකදීම හිමිකාරීත්වය කියන කෝණයෙන් බලන නිසාම ව්‍යාපාර ආකෘති වල තියෙන සහසම්බන්ධය තේරුම් ගැනීමට අපොහොසත් වෙනවා.

ඊලග ප්‍රශ්නය තමයි ශ්‍රී ලංකාවේ රුපියල පීඩනයට පත් වෙලා තියෙන එක. මෑතකදී ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුතුවට (Sri Lanka development bonds issuance) ලංසු ළැබුනෙ 25% කට විතරයි. ඒ නිසා ECT හි ආයෝජනය කිරීමට අවශ්‍ය විදේශ විනිමය සොයා ගැනීම ඉතාම අපහසුයි. අපිට කරන්න වෙන්නෙ මේක තවත් කල් දාන එක විතරයි. ඒ ආයෝජනය සදහා මුදල් අවශ්‍ය අපේ මුදල් ඒකකයකින් නෙවෙයි. ඒක ඕන ඇමරිකන් ඩොලර් වලින්. මොකද වරාය පර්‍යන්තයක් බවට පත් කරන්න අවශ්‍ය භාණ්ඩ ආනයනය කරන්න අවශ්‍යයි. එය ලෝක මට්ටමේ පවත්වාගෙන යන්න නම් සියලු උපකරණ හා යන්ත්‍ර සූත්‍ර ආනයනය කළ යුතුයි. ඒව ලංකාවෙ හදන්නෙ නැහැ. මේ අවස්ථාවේදී අපේ වටිනා විදේශ සංචිත (foreign reserves) මේ වෙනුවෙන් වියදම් කරන්න අපට හැකියාවක් නැහැ. එහෙනම් ඇයි අපි ETC තවත් ප්‍රමාද කරන්නේ? 

හැමදාම කියනවා වගේ ලංකාව, සිල්ලර කඩේ මුදලාලි ලබාදුන්නු දිරි ගැන්වීම් වලට සමාන නිවැරදි ව්‍යාපාරික ආකෘතියක් නිර්මාණය කළද, එහෙම නැත්නම් මෙය කල් දැමීමෙන් අපේ ව්‍යාපාර වලට හා ලාංකිකයන්ට වරායෙන් ලබාගන්න හැකියාව තිබුන ලාභ උපයා ගැනීමේ අවස්ථාව නැති කළා ද කියන කාරණය කාලය පමණක් ම තීරණය කරනු ඇති. ඒ තීරණය ලැබෙනකං අපිට කරන්න පුලුවන් බලං ඉන්න එක විතරයි.

The Morning පුවත්පතේ ධනනාත් ප්‍රනාන්දු විසින් පල කරන ලද ලිපියක  සිංහල පරිවර්තනයයි 



විදේශ විනිමය සුරකිනවා ද විදේශ විනිමය උපයා ගන්නවා ද?

මම පොඩි කාලේ ක්‍රිකට් සෙල්ලම් කරන විදිය මට තාම මතකයි. මම game එකේ නීති දැනගෙන හිටියෙ නැතිවුනත්, මගෙ යාළුවෙක් එක්ක මාරුවෙන් මාරුවට ball කරන්න bat කරන්න පුරුදු වෙලා හිටියා. එක දවසක්, මගේ යාලුවා ඕවර පහක තරගයකදී  මුලින් bat කරනකොට, over තුනකට පස්සෙ ලකුණු 25 කදි මම එයාව out කලා. ඊට පස්සෙ ball කරන්න තිබ්බෙ එයාට. හොදින් bat කරපු මට out නොවී ලකුණු 20ක් ගහගන්න එදා පුළුවන් වුනා. එදා මම out වුනේ නැති නිසා මම හිතුවෙ මම තමා game එක දින්නෙ කියල. මං කිව්ව “මාව out කරේ නැහැනෙ. ඒත් මං ඔයාව out කරා ඒක නිසා මං දිනුං” කියල. යාලුව කිව්ව “ඒත් මං ලකුණු 25ක් ගැහුව ඒත් ඔය ගැහුවෙ ලකුණු 20යි.” එක්ක නිසා යාලුව දිනුම් කියල ඔහු කියනවා. පස්සෙ යාලුවා මට පැහැදිලි කලා ක්‍රිකට් වල දිනුම තීරණය වෙන්නෙ ලබාගන්න කඩුලු ගාණ මත නෙමේ ලබාගත් ලකුණු අනුවයි කියලා. ඒ නිසා යාලුව දිනුම්. 

මේ දේවල් මතක් වෙද්දි මට හිතෙනවා අපේ රටේ මිනිස්සු හා රටේ ප්‍රතිපත්ති හදන අය ආර්ථිකය ගැන මූලික දනුමක් තියෙන අයද කියලයි. 

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (Department of Census and Statistic) and , දෙවන හා තෙවන කාර්තු වල ජාතික දළ දේශීය නිෂ්පාදිතයේ දත්තයි (national GDP data) මහ බැංකුව පළකරපු බාහිර අංශය පිළිබඳ වාර්තා(external sector performance report)  වලට මිනිස්සුන්ගෙන් ලැබුනු ප්‍රතිචාර දැකලා මට හිතුනා ලංකාවේ අපි අපේ ආර්ථික ගැටලුව තවමත් තේරුම් ගෙන නැද්ද කියල.  තේරුම් අරගෙන නම් අපි දැන දැනත් වැරදි දිශාවට ද යන්නෙ කියලා.

හොඳින් ක්‍රියාත්මක වෙන ආර්ථිකයක ප්‍රධාන පරමාර්ථය වෙන්නේ ජාතික ආදායම ඉහළ නැංවීමයි. මේ තුළින් දිළිඳුකම අවම කර ගන්නත්, වැඩි පිරිසකට ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාගන්නත් (Improve quality of life) පුළුල් පරාසයක භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන්නත් හැකියාව ලැබෙනවා. ඒත් එක්කම, දිගුකාලීන සමෘද්ධිය ළගා කරගන්න තිරසාර පරිබෝජනය වැදගත්. මේ අරමුණු සාක්ෂාත් කරගන්න නම් අපේ උපාය මාර්ගය විය යුත්තේ, රටේ ඉන්න හැම කෙනෙක්ටම ආර්ථිකයට සමානව සහ පහසුවෙන් සම්භන්ද වෙන්න පුළුවන් වෙන විදියට ආර්ථිකය හැඩගස්සව ගන්න එකයි.දුප්පත් මනුස්සයෙක්ට විකුණන්න පුලුවන් පහසුම දේ තමයි ඔවුන්ගේ ශ්‍රමය. 

තමන්ගේ ශ්‍රමය පමණක් වෙළඳාම් කරන්න පුළුවන්, ආර්ථිකයේ අවදානමට ලක්වෙලා ඉන්න දුප්පත් අංශ කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ගමන් ඒ අංශ ගෝලීය නිෂ්පාදන ජාලයන් (Global Value Chains) සමඟ සම්බන්ධ කරන්න උත්සාහ කළ යුතුයි. ඒ තුළින් ඔවුන්ගේ ශ්‍රමය වෙළඳාම් කරන්න අලුත් අවස්ථා ලබා ගන්න පුළුවන් වෙනවා විතරක් නෙමේ, අන්තිමේදී ඔවුන්ගේ දරිද්‍රතාවය තුරන් කරන්නත් අපට හැකියාව ලැබෙනවා.

2020 ඔක්තෝම්බර් මාසයේ මහ බැංකුව පළකරපු බාහිර අංශය පිළිබඳ වාර්තාවෙන් හෙළි වුනේ පළමු මාස ​​10 තුළ ශ්‍රී ලංකාවේ අපනයන 16%කිනුත්, ආනයන 19% කිනුත් අඩු වී ඇති බවයි. ඒකේ ප්‍රතිඵලයක් විදියට අපේ වෙළඳ හිඟය 2019 දී අනුරූප ව ඩොලර් බිලියන 6.4 සිට ඩොලර් බිලියන 4.8 දක්වා අඩු වුනා.

වෙළඳ හිඟය / අතිරික්තය (balance in trade account) අපේ ආර්ථිකයේ දිශාව පිළිබඳ ප්‍රධාන සංකේථයක් නොවන බව අප මුලින්ම වටහා ගන්න ඕන. ඇත්තටම බැලුවොත් වඩාත්ම වැදගත් දර්ශකයන් වෙන්නේ ආදායම් මට්ටම සහ දරිද්‍රතාවය(poverty), ජීවන තත්ත්වය සහ මිලදී ගැනීමේ හැකියාවයි (purchasing power of income). මේ දර්ශකයන් වෙළඳ ශේෂයන් (trade balances), රාජ්‍ය මූල්‍ය හිඟයන් සහ අතිරික්තයන් (fiscal deficits and surpluses) විතරක් නෙමෙයි, අපේ ආර්ථිකයේ තත්වය සහ ශ්‍රී ලාංකිකයන්ගේ යහපැවැත්ම ගැනත් හොඳ සංඥා සපයනවා.

ආනයන සීමා කිරීම්වල ප්‍රතිඵලයක් විදියට අපගේ ආනයන අඩු වෙලා තියෙනවා වගේම, COVID-19 හා වෙළඳ පාලන තන්ත්‍රයේ අපනයනයට ඇති නැඹුරුව අපේ අපනයන තවත් පහත වැටෙන්න හේතු වෙනවා. COVID-19 හි බලපෑම ආනයන පාලනයන්(import restrictions) ගේන්න තිබුන ප්‍රධාන හේතුවක්. ආනයන කරන බොහොමයක් දේවල් අපනයනය කළ යුතු භාණ්ඩ නිෂ්පාදනය අමුද්‍රව්‍ය විදියට පාවිච්චි කරන යෙදවුම් (Inputs for outputs). ඒ නිසා ආනයනවල හිඟකම අපනයනවලට ගෝලීය වෙළෙඳපොළ තුළ තියෙන තරගකාරිත්වය නැතිකරනවා.

විදේශ විනිමය අනුපාතය ආරක්ෂා කරන එක සහ වෙළඳ හිඟය නැතිකරන එක විතරක් උපාය මාර්ගයක් විදියට අනුගමනය කලොත් අපේ ආර්ථිකයට දිගු කාලීනව අහිතකර ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදුවෙනවා. ඒ විදියට වෙළඳ ගිණුමේ හිඟයක් හෝ අතිරික්තයක් පමණක් ඉලක්ක කර ගන්න එක, ප්‍රතිවාදී කණ්ඩායම රැස්කරගෙන තියෙන  ලකුණු ඉක්මවා යාමේ අවශ්‍යතාවය තේරුම් ගන්නෙ නැතුව කඩුල්ල ආරක්ෂා කරන්න ගිහිල්ල එදා ක්‍රිකට් ගහන්න මම උත්සාහ කලා වගේ තමයි.

වෙළඳාම සම්බන්ධයෙන් තියෙන ගැටළුවට ප්‍රධාන වශයෙන් හේතු වුනේ පසුගිය දශක කිහිපයක් තුළ නොසලකා හැරපු විශාල සාර්ව ආර්ථික (Macro economic) ගැටලුව වුන සමස්ත සැපයුමට වඩා ඉදිරියෙන් දිවෙන සමස්ත ඉල්ලුම බව අපි වටහා ගැනීම වැදගත්. 

ආනයන හා අපනයන ප්‍රධාන වශයෙන් පෞද්ගලික අංශයේ කාර්යයක්. පෞද්ගලික අංශයට සාපේක්ෂව රජය ආනයනය හා අපනයනය කරන්නේ ඉතා කුඩා ප්‍රමාණයක්. වෙන විදියකට කිව්වොත්, රජය ආනයනය හෝ අපනයනය නොකලත් (වාහන, සතොස සඳහා සෘජු ආනයන හැර), තීරුබදු සහ තීරුබදු නොවන ගාස්තු පැනවීම හරහා සිද්ධ වෙන ඔවුන්ගේ මැදිහත්වීම,  ආනයන හා අපනයන වෙළඳපොළවල ක්‍රියාකාරීත්වයට බලපෑමක් ඇතිකරනවා. එම නිසා වෙළඳාම වැඩිදියුණු කිරීම වෙළඳපල කාර්යයක් වන අතර ඒකට රජය මැදිහත්විය යුතු නැහැ. රජයේ කාර්යභාරය වෙන්නේ ගොඩක් අවස්ථාවලදී අපේ අපනයන වලට එක සමානව හැසිරෙන්න පුළුවන් තැනක් නිර්මාණය කරන එක හා තරඟකාරිත්වය ඉහළ නංවන්න සහාය වෙන එකයි. වෙළඳ ගිණුමේ (Trade account) වර්තමාන තත්වය අඛණ්ඩව විවිද රජය විසින් ක්‍රියාත්මක කරන ලද දුර්වල සාර්ව ආර්ථික ප්‍රතිපත්තිවල එක් ප්‍රධාන ප්‍රථිඵලයක්. 

මූල්‍ය කළමණාකරණ පැත්තෙන්, හැම වසරකම අපේ අයවැය හිඟය පියවා ගන්න මුදල් මුද්‍රණය කරන එක (quantitative easing), පාඩු ලබන ඵලදායි නොවන රාජ්‍ය ව්‍යවසායයන් (state-owned enterprises - රජයට අයිති ව්‍යාපාර) දිග ලැයිස්තුවක් පවත්වා ගෙන යන එක ගින්නට පිදුරු දැමීමක් විතරයි. ඒකට හේතුව වෙන්නෙ, අපි අයවැය හිඟය පියවා ගන්න සල්ලි අච්චු ගහද්දි වෙන්නෙ පවතින ආනයන වලට ඇති ඉල්ලුම වැඩි විය හැකි නිසා එය ස්වයංක්‍රීයව වෙළඳපොල විකෘති වෙන එක. ඒ වගේම අච්චු ගහන සල්ලි නිකංම ආනයන පස්සෙ ගිහිල්ල මූළ්‍ය පද්දතියම අසමතුලිත වෙනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව 2019 වර්ෂය තුන්වන කාර්තුවට අපේ ආර්ථිකය 1.5% ක වර්ධනයක් ලබාගෙන තියෙනවා කියන්නෙ හොද දෙයක්. හැබැයි අත්‍යවශ්‍ය සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණවලට විසඳුම් ලබා නොදී වෙළඳ හිඟය පමණක් ඉලක්ක කරගෙන කටයුතු කරන එක, ක්‍රියාකාරී ආර්ථිකයක ප්‍රධාන පරමාර්ථය සාක්ෂාත් කරගන්න එක ශ්‍රී ලංකාවට තවත් අපහසු කරන්න හේතුවක් වෙයි.

අනිත් අතට බලද්දි, දැනට පවතින විදේශ විනිමය අනුපාතය ආරක්ෂා කරන්න අවධානය යොමු කරනවා වෙනුවට, තරඟකාරී විනිමය අනුපාතයක් හදාගන්න අපේ අවධානය යොමු කරන එක ඉතා හොද උපාය මාර්ගයක්. ඒක කරන්න නම්, අපට ඇති ගැටලුව තේරුම් අරගෙන අපේ  පරමාර්ථය සපුරාගන්න සුදුසු උපාය මාර්ගයක් සොයා ගන්න එක වැදගත්.

මෙතනදි අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි ශ්‍රී ලාංකික ආර්ථිකය සාර්ව ආර්ථික අසමතුලිතතාවයන්ගෙන් පීඩා විඳින ආර්ථිකයක් කියල. සරළව කිව්වොත් අපේ ආර්ථිකයේ මූලික කොටස සකස් වෙලා තියෙන ක්‍රමය වැරදියි. 

ඒ වගේම ගැටළු විසඳන්නේ නැතුව ගැටළු වල ප්‍රතිඵල නිවැරදි කරන්න රජයන්ට බැරි බව අපි තේරුම් ගන්න ඕන. රටක ආර්ථික පද්ධතිය ක්‍රියාත්මක වෙන විදිය ගැන තියෙන දුර්වල අවබෝධය නිසා රටක අඩු ආර්ථික වර්ධනය, දළ දේශීය නිෂ්පාදිතයේ ඇති අඩු අපනයන, දුර්වල ජීවන තත්ත්වය, බාහිර ණය මත පීඩනය, මුදලේ පීඩනය, දුර්වල ඵලදායිතාව වගේ අහිතකර ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිදු වෙනවා.

අපේ ගැටළු වල විශාලත්වය අප වටහා නොගත්තොත්, සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණවලට විසඳුම් දෙන්න අප අසමත් වුනා වගේ මේ අවුරුද්දෙත් අපිට ඒවා කල් දාන්න සිද්ධ වෙයි.

ක්‍රිකට් ගහද්දි කඩුලු ආරක්ෂා කරනවා වගේ අපේ විදේශ විනිමය ආරක්ෂා කරන්න ගිහින්, සාර්ව ආර්ථික මූලධර්ම නිවැරදි නොකර විදේශ විනිමය උපයා ගන්න අපොහොසත් වුනොත් තත්වය තවත් නරක අතට හැරෙන්න තියෙන ඉඩ වැඩී. ඒ නිසා ඉස්සරහට ශ්‍රී ලංකාව කඩුලු ආරක්ෂා කරනවා වෙනුවට අපේ විරුද්ධවාදීන් ඉක්මවා ලකුණු රැස් කරන්න උත්සාහ කළ යුතුයි.ඒ කියන්නෙ අපේ මුල්ම ප්‍රතිවාදියා දුප්පත් කමයි. 

පරිවර්තනය - තිලෝකා යාපා

The Morning පුවත්පතේ ධනනාත් ප්‍රනාන්දු විසින් පල කරන ලද ලිපියක  සිංහල පරිවර්තනයයි