පොදු ප්‍රවාහනය කියලා කියද්දිම මතකයට එන්නේ මොකක්ද? ලංකාවේ අපිට නම් මගී ප්‍රවාහන බස් සහ දුම්රිය ප්‍රවාහනය තමයි. ඇත්තටම පොදු ප්‍රවාහනය වගේම පොදු භාණ්ඩ සැපයීම රජයේ කාර්‍යභාරයෙන් එකක්. ඉතිං පොදු ප්‍රවාහනය නොමිලේ ලබා දීම සුදුසුද? අද අපි හොයලා බලමු මේ කතාවේ ඇත්ත නැත්ත.
ඉස්සර කතාවක් තියෙනවනේ නිකම් දෙනවානම් දෙමළ පත්තරේ හරි ගනී කියලා. හුඟක් වෙලාවට මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා නිකම්ම ලබා දෙන එහෙමත් නැත්නම් නොමිලේ ලබා දෙන දේවල්වලට. ඒ නිසා තමයි තමන්ගේ මහන්සියෙන් දියුණු වෙනවට වඩා සමෘද්ධි, සහනාධාර වෙනත් මුදල් ආධාර වගේ දේවල්වලට මිනිස්සු කැමති. මේ විදිහට නොමිලේ යමක් ලැබෙන එක හොඳයි අපට වාසියි කියලා හුඟක් දෙනා කලින්ම හිතාගෙන ඉන්නවා. ඒ වුණත් ඇත්තටම නොමිලේ ලැබෙන හැම දේකින්ම වාසියක් හෝ ලාභයක් තියෙනවාද? කොහේ හරි තැනක මේ දේවල්වල සැඟවුණු පිරිවැයක් තියෙනවද, ඒ පිරිවැය දරන්නේ කවුද? මේ කියන ප්‍රශ්න හැම දෙයකට ම උත්තර අපි මේ ලිපියෙන් ඉදිරිපත් කරනවා.
නොමිලේ භාණ්ඩ සහ ආර්ථික භාණ්ඩ
ආර්ථික විද්‍යාවේදී උගන්වනවා නොමිල භාණ්ඩ කියලා කාණ්ඩයක්. ඒකට අයිති වෙන්නේ ස්වභාවිකව අපට ලැබෙන හිරු එළිය සහ වාතය වගේ දේවල්. ඒවාට අපි මිලක් ගෙවන්නෙත් නෑ, නමුත් ඒවායේ සැපයුම සීමා වෙන්නෙත් නෑ. හැබැයි මිනිස්සු මැදිහත් වෙලා සපයන භාණ්ඩ හා සේවා එහෙම නොමිලේ සපයන්න පුළුවන්කමක් නෑ. එහෙම වුණාම වෙන්නේ පාඩුවක්. කිසියම් මිලක් අය කරලා සපයන්න පුළුවන් ගිනි පෙට්ටියක්, සහල්, රථ වාහන, නීති උපදෙස් වගේ ඕනෑම දෙයක් ආර්ථික භාණ්ඩයක්.
පොදු ප්‍රවාහනය නොමිලේ ලබා දෙන්න පුළුවන්ද?
විශේෂයෙන්ම තෙල් මිල ඉහල ගිහින් තියෙන වෙලාවක මේ නොමිලේ ලබා දෙන පොදු ප්‍රවාහනයේ කතාව ඇහුවාම හුඟක් අයට සතුටු හිතෙන්න පුළුවන්, අපිට සල්ලි ගෙවන්නේ නැතුව බස් එකේ, කෝච්චියේ යන්න පුළුවන් කියලා. තවත් කෙනෙකුට හිතෙන්න පුළුවන් පොදු ප්‍රවාහනය සම්පූර්ණයෙන් ම නොමිලේ ලබා දුන්නම පුද්ගලික වාහන, ඒ කියන්නේ අපි තනි තනිව පාවිච්චි කරන වාහන භාවිතය අඩු වෙයි, එතකොට වායු දූෂණය, වාහන තදබදය අඩු වෙයි කියලා. අපි එහෙම හිතුවට ඇත්තටම එහෙම වෙනවද? ලෝකයේ මේ සම්බන්ධයෙන් තියෙන්නේ මොන වගේ අත්දැකීමක්ද?
ලක්සම්බර්ග්, එස්තෝනියා චිලී සහ නොමිල පොදු ප්‍රවාහනය
පොදු ප්‍රවාහනය නොමිලේ ලබා දීම සම්බන්ධයෙන් මේ රටවල් තුනම වැඳගත්. ලක්සම්බර්ග් තමයි මුල් වරට නොමිල පොදු ප්‍රවාහනය ක්‍රියාත්මක කළේ. 2014 අවුරුද්දේදී එස්තෝනියාවේ අගනුවර වුණු ටැලින් නගරයටත් නොමිලේ පොදු ප්‍රවාහනයට ඉඩ කඩ ලැබුණා. පොදු ප්‍රවාහනයට මිනිස්සුන්ගේ තියෙන කැමැත්ත වැඩි කරන්න වගේම, වායු දූෂණය, වාහන තදබදය, තෙල් මිලට විසඳුමක් විදිහට තමයි මේ ක්‍රියාමාර්ගය අරන් තිබුණේ. ඒත් හිතුව තරම් ප්‍රතිඵලයක් මේකෙන් ලැබුණේ නෑ. පොදු ප්‍රවාහනය භාවිතා කරන ප්‍රමාණය සතියකට 3% වගේ සුළු ප්‍රතිශතයකින් ඉහළ ගියා විතරයි. අවුරුද්දක් ගත වුණට් පොදු ප්‍රවාහනය භාවිත කරන පිරිස 14% දක්වා විතරයි ඉහල ගියේ.
හැබැයි චිලී රටේ තත්ත්වය මීට වෙනස්. එයාලා අධ්‍යයනයක් කළා පොදු ප්‍රවාහනය නොමිලේ ලබා දීම සාර්ථකයිද බලන්න. ඉතිං එයාලා කණ්ඩායම් දෙකක් තෝරගෙන එක කණ්ඩායමකට විතරක් නොමිලේ පොදු ප්‍රවාහනය භාවිත කරන්න පුළුවන් වෙන විදිහට කූපන් එකක් ලබා දුන්නා. මේ අධ්‍යයනයේ ප්‍රතිඵල බලාපොරොත්තු වුණ මට්ටමේ ඒවා නෙවෙයි. මේ කූපන් නිසා පොදු ප්‍රවාහනයට යොමු වුණ පිරිස සතියක් ඇතුලත 10% ඉහල ගියා. ඒක ලක්සම්බර්ග්වලට වඩා හොඳ තත්ත්වයක්. ඒත් මේ කූපන් එයාලා පාවිච්චි කරලා තිබුණේ කාර්‍යාල වේලාවන්වලට අදාලව නම් නෙවෙයි. කාර්‍යාල වෙලාවෙන් බැහැරව වෙනත් ගමන් යන්න තමයි මේ කූපන් භාවිත වුණේ. ඒ නිසා වාහන තදබදයේ අඩුවක්වත්, වෙන වාසියක්වත් ලැබුණේ නෑ. පෞද්ගලික වාහන භාවිතයේ අඩුවක් වෙලා තිබුණෙත් නෑ. ඔයාලට හිතෙන්න පුලුවන් එක අධ්‍යයනයකින් හොයා ගත්ත දේවල් කොයි තරම් දුරට හරිද වැරදිද දන්නේ නෑ කියලා.
මේ වගේම අධ්‍යයන දෙකක් 1996දීත් 2017දීත් කරලා තියෙනවා. ඒවායිනුත් හොයා ගෙන තියෙන්නේ පොදු ප්‍රවාහනය නොමිලේ ලබා දුන්න එක නිසා පොදු ප්‍රවාහනය පාවිච්චි කරන පිරිස වැඩි වෙලා තියෙන්නේ 0.17% ඉදලා 1.3% වගේ ඉතාමත් කුඩා ප්‍රමාණයකින් විතරයි කියලා. මේ හැම සිද්ධියකින්ම අපිට පේන්නේ පොදු ප්‍රවාහනය භාවිත කරන පිරිස වැඩි කරන්න නම්, පොදු ප්‍රවාහනය නොමිලේ ලබා දීලා විතරක් මදි කියලයි.
ඇයි නොමිලේ දීලත් පොදු ප්‍රවාහනයට මිනිස්සු අකමැති?
පොදු ප්‍රවාහනය කියලා කියන්නේ මේ වෙනකොටත් මිනිස්සුන්ට තියෙන ලාභදායීම ප්‍රවාහන ක්‍රමය. ලංකාවේ තියෙන ආර්ථික අර්බුදය නිසා බස් ගාස්තු සෑහෙන මට්ටමකින් ඉහල ගියාට සාමාන්‍යයෙන් ඕනම රටක තියෙන ලාභදායීම ප්‍රවාහන ක්‍රමය තමයි පොදු ප්‍රවාහනය කියලා කියන්නේ. ඉතිං ඒ වගේ දෙයක් තවත් ලාභදායී කළා කියලා මිනිස්සු අමුතුවෙන් පොදු ප්‍රවාහනයට යොමු වෙයි කියලා හිතන්න අමාරුයි. මිනිස්සු ගාණ වැඩි වුණත් ත්‍රීවිල් එකක, ටැක්සියක යන්න පෙළඹෙන්නේ තමන්ගේ කාලය, වෙහෙස මහන්සිය, පහසුව, නිදහස වගේ දේවල් ගැන හිතලා. ඉතිං කෙනෙක් පොදු ප්‍රවාහනයට අකමැති වෙනවා නම් ඒකට හේතු වෙන්නේ පොදු ප්‍රවාහනයේ තියෙන අඩු ගුණාත්මක බව.
චිලී රටේ උදාහරණය ආයෙත් සලකලා බැලුවොත්, ඒ අධ්‍යයනයෙන් හෙළිදරව් වුණ තවත් කාරණයක් වුණේ පොදු ප්‍රවාහනය යොමු වුණු පිරිස වැඩි වුණාම, ඒ වැඩි වුණ පිරිසට අයිති වුණේ කවුද කියන කාරණය. ඒ පිරිස දුප්පත් අයවත්, මහළු හෝ තරුණ අයවත් නෙවෙයි. එයාලා පොදු ප්‍රවාහනය සේවයකට ඉතාමත් පහසුවෙන් ළගා වෙන්න පුළුවන් දුරක පදිංචි වෙලා හිටපු අය. මෙට්‍රෝ සේවයක් හෝ බස් සේවයකට කිලෝමීටර් 1 වගේ දුරක ජීවත් වුණ අය ඒ සේවාව නොමිලේ ලබා දුන්නම තමන්ගේ පරිභෝජනය එහෙමත් නැත්නම් බස් රථවල ගමන් බිමන් යාම දෙගුණයකින් වැඩි කරලා තිබුණා. ඒත් කිලෝමීටර් 1 වඩා දුර හිටපු අයගෙන් එහෙම වෙනසක් පෙනිලා නෑ.
පොදු ප්‍රවාහනයේ දියුණු වෙන්න ඕන මොනවාද?
මේ හැම කතාවක්ම කියන්නේ පොදු ප්‍රවාහනය නොමිලේ දීලා විතරක් මදි, ඒකේ ගුණාත්මක බවත් වැඩි කරන්න ඕන කියලා. චිලී උදාහරණයෙන් පේනවා මිනිස්සු තමන්ට ඒ වෙනුවෙන් දරන්න වෙන මුදලට වඩා කාලය, ළගා වීමේ පහසුව වගේ දේවල් සලකනවා කියලා. කාලය කියද්දි බස් එකක් එනකම් බලන් ඉන්න කාලය, ගමනට ගත වෙන කාලය, එක වාහනයකින් තවත් වාහනයකට මාරු වෙද්දි ඒකට ගත වෙන කාලය වගේ බොහෝමයක් දේ සලකලා බලනවා. එහෙම බලද්දි පෞද්ගලික වාහනයක යන එක ගාණ වැඩි වුණත් ලාභයි කියලා මිනිස්සු හිතන්න පෙළඹෙනවා.
2006දී කරපු අධ්‍යයනයකින් හෙළි වෙලා තියෙනවා පෞද්ගලික වාහනයක් වෙනුවෙන් වැය වෙන වෙලාව, පොදු ප්‍රවාහනයට වැය වෙන වෙලාව වගේ 40% ගුණයක් අඩුයි කියලා. එහෙම බලද්දි මිනිස්සු තමන්ට වඩාත් පහසු ක්‍රමය තෝර ගන්නවා මිසක් නොමිලේ ලබා දෙන දේම පිලිගන්නේ නෑ.
අපි තවත් උදාහරණයක් ගමු ස්පාඤ්ඤයෙන්. 2015දි මැඩ්රිඩ් අගනුවර ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් වැඳගත් තීරණයක් ගත්තා. මැඩ්රිඩ්වල ජීවත් වෙන සියලුම තරුණ ප්‍රජාවට මාසික ප්‍රවාහන කටයුතුවලට පාවිච්චි කරන්න යූරෝ 20ක නොවෙනස් අනුපාතයක් ලබා දුන්නා. ඒකෙන් අඩු පහසුකම් සහිත පරිසරවල ජීවත් වෙන තරුණ කොටස්වල පොදු ප්‍රවාහන භාවිතය 25% කින් ඉහල ගියා. පරිභෝජනය ඒ විදිහට ඉහල ගියේ පොදු ප්‍රවාහනය ලාභ වුණ නිසා. මධ්‍යම පාංතික තරුණ කොටස්වලට මේ වාසිය නිසා තමන්ගේ වියදම්වලින් 49% ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන් වුණා. ඒ විදිහට අතේ ඉතුරු වුණ සල්ලිවලින් වෙනත් වියදම් පිරිමහ ගන්නත් එයාලට පුළුවන් වුණා. මේ උදාහරණය ගැන විවේචන එල්ල වෙලා නැත්තේ නෑ. ඒ වුණත් ස්පාඤ්ඤයේ මේ උදාහරණයෙන් පේන්නේ පොදු ප්‍රවාහනය පාවිච්චි කරන පිරිස වැඩි කර ගන්න ගත්ත ක්‍රියාමාර්ගය හරි ගියා කියලයි.
පොදු ප්‍රවාහනය ඇත්තටම නොමිලේ ලබාදන්න පුලුවන්ද?
නිදහස් ආර්ථිකයක මිල තීරණය කරන්නේ පාරිභෝගිකයෝ සහ නිෂ්පාදකයෝ. කාටවත් මිලක් නැතිව නිෂ්පාදන කටයුතු, පාරිභෝජන කටයුතු කරන්න බෑ. ආර්ථික විද්‍යාවේ මේකට කියන්නේ කාටවත් දවල් කෑම පිනට / නිකම් හම්බ වෙන්නේ නෑ කියලා (There is no such thing as free lunch). කාටම හරි දෙයක් නොමිලේ ලැබෙනවා කියන්නේ ඒ වෙනුවෙන් තවත් කෙනෙක් වියදම් දරලා තියෙනවා කියන එකයි. අපි හිතමු අපිට තෑග්ගක් විදිහට මෝටර් බයිසිකලයක් ලැබෙනවා කියලා. ලැබුණ කෙනාට ඒ වෙනුවෙන් වියදමක් දරන්න වුණේ නෑ තමයි. ඒත් ඒ තෑග්ග දුන්න කෙනා බයිසිකලයට මිල ගෙවලා තියෙනවා.
ඉතිං රජය තමයි රටක පොදු භාණ්ඩ වෙනුවෙන් ඒ වියදම දරන්නේ. ඒත් රජයට ආදායම් ලැබෙන්නේ මිනිස්සු ගෙවන බදු සල්ලිවලින්. ඒ සල්ලිවලින් නොමිලේ පොදු ප්‍රවාහනය ලබා දෙනවා කියන්නේ රජයට ලොකු වියදමක් දරන්න වෙනවා කියන එක, නැත්නම් බදු ගෙවන සාමාන්‍ය ජනතාවට ඒ බර දරන්න වෙනවා කියන එක. ඒ නිසා මේ ලෝකේ කිසිම දෙයක් නොමිලේ ලැබෙන්නේ නෑ. පොදු ප්‍රවාහනයටත් ඒක පොදු කතාවක්. ඉතිං නොමිලේ ලැබෙන පොදු ප්‍රවාහනය අපිට ඔබට වාසිදායකද? ඔබම හිතලා බලන්න.
-දිල්මිණී හසින්තා අබේරත්න