පසුගිය අවුරුද්දේ මුල ඉඳලාම ලංකාවට මුහුණ දෙන්න වෙලා තියෙන දරුණු ආර්ථික අර්බුදය හින්දා සමහරු රට අත් ඇරලා ගියා. එහෙම යන්න බැරි වුණ අය සහ නොයන්න තීරණය කරපු තවත් අය ලංකාවේ ඉදිරි අනාගතය ගොඩ නගන්න එක එක විදිහේ යෝජනා සහ අදහස් ඉදිරිපත් කළා. සාමාන්‍ය ජනතාව විතරක් නෙවෙයි ලංකාවේ රජය සහ ව්‍යාපාරිකයන් පවා මේ ගැන විවිධ යෝජනා සහ චෝදනා ඉදිරිපත් කළා. ඉතිං ඒ අතර තිබුණ එක යෝජනාවක් තමයි ලංකාවට දියුණු වෙන්න නම් ලංකාවේ ව්‍යාපාර දියුණු වෙන්න ඕන කියන කතාව. ඉතිං ඒ කතාව ඇහුවම කෙනෙක්ට හිතෙන්න පුළුවන් ව්‍යාපාර කරලා ගොඩයන්න පුළුවන්කමක් තියෙනවා නම් ඇයි තවත් බලන් ඉන්නේ කියලා. ඔව්, එහෙම හිතෙන එක සාධාරණයි. ඒත් ලංකාවේ ව්‍යාපාර කරන එක ලෝකයේ සමහර රටවල්වල ව්‍යාපාර පටන් අරගෙන කරගෙන යන එක තරම් ලේසි වැඩක් නෙවෙයි. මේකට හේතු ගොඩාක් තියෙනවා. ඉතිං අපි මුලින්ම බලමු ඇයි ලංකාවේ ව්‍යාපාර කරගෙන යන්න මේ තරම් අමාරු කියලා.
ලංකාව ව්‍යාපාරවලට සහ ව්‍යාපාරිකයන්ට හොඳ ද?
ලංකාව කියලා කියන්නේ ඉන්දියන් සාගරයේ ඉතාමත් උපායශීලී පිහිටීමක් සහිත රටක්. රට වටේම තියෙන මුහුද, වගා කරන්න පුළුවන් ඉඩම්, ජලය, ස්වභාවික සම්පත්, ස්වභාවික වරායයන් වගේ දේවල් ලංකාවේ ආර්ථිකයට වටිනාකමක් එකතු කරනවා. මේ විශේෂ පිහිටීම නිසා ම සමහර රටවල් ලංකාවේ ආයෝජනය කරන්න, ඒ කියන්නේ මුදල් යොදවලා ව්‍යාපාර පටන් ගන්න පවා කැමතියි. ඒත් සම්පත් තිබුණා කියලාවත් කවුරුහරි කැමති වුණා කියලාවත් රටක ව්‍යාපාර කටයුතු ඒ තරම් ලේසියෙන් පවත්වාගෙන යන්න පුලුවන්කමක් නෑ. ලංකාවේ පරිසරය ව්‍යාපාර කරන්න කොයිතරම් සුදුසු මට්ටමක තියෙනවද කියලා තේරුම් ගන්න අපිට ලෝකයේ පිලිගත් දර්ශක කීපයක් යොදා ගන්න පුළුවන්.
ගෝලීය තරඟකාරීත්ව දර්ශකයට අනුව 2023 දී රටවල් 184 අතරින් ලංකාව ඉන්නේ 136 වන ස්ථානයේ. 2020දී ව්‍යාපාර කිරීමේ පහසුව දර්ශකයට අනුව ලංකාව 99 වැනි ස්ථානයේත්, 2020දී ඉදිරිපත් කරපු ෆ්‍රේසර් ආයතනයේ ආර්ථික නිදහස පිලිබඳ තක්සේරුවලට අනුව 89 වැනි ස්ථානයේත් රැඳිලා ඉන්නවා. සරලවම කිව්වොත් මේ හැම අගයයකින්ම පේන්නේ ලංකාව ඉතාමත් දුර්වල මට්ටමක ඉන්නවා කියන එකයි. මේ කියන දර්ශකවලට ඇතුලත් වෙලා තියෙන දේපල හිමිකාරීත්වය, ව්‍යාපාර නියාමනය, දේපල ලියාපදිංචි කිරීම, ණය ගැනීම සහ බදු ගෙවීම වගේ කාරණා හැම එකක්ම සලකලා බලද්දි ලංකාවේ ව්‍යාපාරයක් පටන් ගන්නවාට වඩා වෙන රටක ව්‍යාපාරයක් කරගෙන යන එක, පටන් ගන්න එක ලේසි.
උදාහරණයක් විදිහට ගත්තොත් ව්‍යාපාර කරගෙන යාමට තියෙන පහසුව ගැන මැන බලන දර්ශකයේ ඉහළින් ම ඉන්න රටවල් වෙන සිංගප්පූරුව, ඩෙන්මාර්කය වගේ රටවල්වල නිෂ්පාදන සාධක (භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය) ලංකාවේ තියෙනවාට වඩා ව්‍යාපාරවලට හිතකර මට්ටමක තියෙනවා. සිංගප්පූරුව සංවර්ධනය වෙන්න කලින් ලීක්-වාන්-යූ හඳුනාගත්තා ඒ රටේ දියුණුවට පාවිච්චි කරන්න පුළුවන් නිෂ්පාදන සාධක මොනවාද කියලා. ඉතිං ලංකාවට වගේ ස්වභාවික සම්පත් නොතිබුණ සිංගප්පූරුව තේරුම් ගත්තා තමන්ට තියෙන භූමියෙන් සහ ශ්‍රමයෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන කියලා. අන්න ඒ විදිහටයි ලීක්-වාන්-යූ සිංගප්පූරුවට ආයෝජකයන් ගෙන්වගන්න අඩු මිලකට ශ්‍රමය සපයන්න තීරණය කළේ. ඒ වගේම පිටරටවලින් ඇවිත් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන අයට සහනදායී කොන්දේසි යටතේ පහසුවෙන් ව්‍යාපාරික ඉඩම් ලබාගෙන නිදහසේ තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්න පුළුවන් වටපිටාවක් හදන්න ලීක්-වාන්-යූට පුළුවන් වුණ නිසා තමයි අද සිංගප්පූරුව දියුණු රටක් වෙලා තියෙන්නේ.
ලංකාවේ ව්‍යාපාර කරගෙන යන්න ඇයි මේ තරම් අමාරු?
කලින් කිව්වා වගේ ව්‍යාපාරයක් / නිෂ්පාදන කටයුත්තක් කරගෙන යන්න නම් ඒකට භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය කියන සාධක ඕන වෙනවා. ලංකාවේ මේ කියන සාධකවල අඩුවක් නෑ කියලා ඔයාලට හිතෙනවා ඇති. එහෙනම් මොකක්ද ඇත්තටම අපිට තියෙන ප්‍රශ්නය?
කොයිතරම් නිෂ්පාදන සාධක තිබ්බත් ඒවා පාවිච්චි කරන්න තියෙන ඉඩකඩ සීමාවීම තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය. ලංකාවේ භූමියෙන් වැඩි කොටසක අයිතිය තියෙන්නේ රජයට. ඒ නිසා සාමාන්‍ය ජනතාව යටතේ තියෙන ඉඩකඩම් ප්‍රමාණයෙන් අඩුයි. ව්‍යාපාරයක් කරන්න ඉඩමක් හොයාගන්න එකම ව්‍යාපාරිකයෙකුට ලොකු අභියෝගයක් වෙන්නේ ඒ නිසයි. ලංකාවේ ඉඩම්වලින් 80% වගේ විශාල කොටසක් රජයට අයිති ආයතනවලට හෝ රජයට සම්බන්ධ අය යටතේ තියෙන නිසා සාමාන්‍ය කෙනෙකුට හෝ දේශීය/විදේශීය ව්‍යාපාරිකයන්ට ඉඩමක් ලබා ගන්න සීමාවන් රැසක් තියෙනවා.
ඉතිං ව්‍යාපාරයක් කරන්න හරි හමන් තැනක් නැතුව ඒ වෙනුවෙන් වියදම් කරන්න ප්‍රාග්ධනයක් හොයා ගන්න එකයි, ඒ ව්‍යාපාර වැඩවලට හැකියාවන් සහිත ශ්‍රමිකයෝ හොයා ගන්න එකත් අමාරු වැඩක් වෙනවා. විශේෂයෙන් ම ලංකාවේ අධ්‍යාපන ක්‍රමය රැකියාවන්ට ගැලපෙන අධ්‍යාපනය ක්‍රමයක්ද කියන ප්‍රශ්නයත් මෙතනදි මතු වෙනවා. ජපානය වගේ රටවල් තමන්ට අවුරුද්දකදි කොයිතරම් පරිගණක ඉංජිනේරුවෝ, වෛද්‍යවරු ඕන වෙනවාද කියලා තීරණය කළත්, ලංකාවේ ඒ වගේ ක්‍රමයක් ඇත්තේ නෑ. ඊටත් වඩා, බොහෝමයක් දෙනා හිතාගෙන ඉන්නේ රස්සාවක් හොයලා දෙන එක රජයේ වගකීමක් කියලා. ඉතිං නිදහස් වෙළඳපළ ආර්ථිකයක රජයට ඒ වගේ දේවල් කරනවාට වඩා වැඳගත් වැඩ තියෙනවා. තමන්ගේ හැකියා, දක්ෂතා, ආකල්ප සහ දැනුම අනුව තමටන්ට ගැලපෙන රස්සාවක් හොයා ගන්න එක ඒ ඒ පුද්ගලයා කරන්න ඕන දෙයක්. තමන්ට ම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න ව්‍යවසායකයෙක් වෙන කෙනෙක් නම් ඒ දේ කරන්නත් අපි කලින් කියපු නිෂ්පාදන සාධක ප්‍රමාණවත් ම සහ ප්‍රවේශ වෙන්න පුලුවන් මට්ටමකින් තියෙන එක වටිනවා.
ව්‍යවසායකත්වය කියන නිෂ්පාදන සාධකය ආර්ථිකයකට විශාල වෙනසක් කරන්න පුළුවන් සාධකයක්. මොකද ව්‍යවසායකයෙකුට පුළුවන් ව්‍යාපාරික අවස්ථාවන් හඳුනාගෙන අවදානම් දරමින්, නවෝත්පාදනය කරමින්, නව ව්‍යාපාරික කටයුතු බිහි කිරීම ඔස්සේ බොහෝ පිරිසකට රස්සා ලබා දෙන්න. ඒකෙන් රටක විරැකියාව අඩු කරන්න, ජීවන මට්ටම් ඉහල නංවන්න, නිෂ්පාදිතය ඉහල නංවන්න රුකුලක් සැපයෙනවා. ඒත් ලංකාව වගේ රටක ව්‍යවසායකයන්ට තමන්ගේ ව්‍යාපාර කටයුතු පටන් ගන්න සහ පවත්වාගෙන යන්න තරම් සුදුසු හිතකර පරිසරයක් තියෙනවද කියන කාරණය ගැටළුවක්. විශේෂයෙන්ම ව්‍යවසායකයෙකුට තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන්න සුදුසු ඉඩමක්, ගොඩනැඟිල්ලක්, රජයේ අනුමැතියක්, ණය පහසුකමක් වගේ දේවල් ලබා ගන්න අනුගමනය කරන්න තියෙන පියවර අනෙක් රටවලට වඩා අසීරු මට්ටමක තමයි තියෙන්නේ.
සිංගප්පූරුවේ සාර්ථකත්වය
උදාහරණයක් විදිහට අපි කලින් සඳහන් කලා වගේ 1965 කාලය වෙද්දි සිංගප්පූරුවේ තිබුණු සමාජ සහ ආර්ථික තත්ත්වය ඉතාමත් දුර්වල එකක්. පැල්පත් නිවාසවල ජීවත් වුණ බොහෝමයක් මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය ඉතා පහල මට්ටමකයි තිබුණේ. හැබැයි සිංගප්පූරුවේ අසහාය නායකයා විදිහට සැලකෙන ලීක්-වාන්-යූ හොඳට හිතලා බලලා තමන්ගේ රටේ වැඩක් ගන්න පුළුවන් විදිහට තියෙන නිෂ්පාදන සාධක මොනවාද කියලා තේරුම් ගත්තා. ලංකාව වගේ ස්වභාවික සම්පත් ගොඩක් සිංගප්පූරුවට නැති වුණත් තමන්ට තියෙන ශ්‍රම සම්පත සහ භූමිය ඵලදායී විදිහට වගේම උපරිම කාර්‍යක්ෂමතාවකින් පාවිච්චි කරන්න ලීක්-වාන්-යූ සැලැස්මක් ක්‍රියාත්මක කළා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි සිංගප්පූරුවේ සහනදායී බදු ප්‍රතිපත්ති, අපනයන දිරිගැන්වීම්, අඩු මිලට ශ්‍රමය සැපයීමට හැකි විශාල සේවා වියුක්තියකයන් පිරිසක් සිටීම, හිතකර කම්කරු ප්‍රතිපත්ති, පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල්වලට වරණීය පහසුකම යටතේ ප්‍රවේශ වීමට ඇති හැකියාව වගේ සාධක නිසා විදේශීය ආයෝජකයන්ට සිංගප්පූරුවේ ආයෝජනය කරලා ව්‍යාපාර පටන් ගන්න උත්තේජනයක් ලැබුණා. විදේශීය ආයෝජකයන් සිංගප්පූරුවට ගෙන්වගන්න ලීක්-වාන්-යූ තමන්ගේ රටේ නිදහස් නීති රෙගුලාසි පනවලා ආයෝජකයන්ට නිදහසේ තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න ඉඩ දුන්න නිසා අද වෙනකොට සිංගප්පූරුව ලෝකයේ ව්‍යාපාර නිදහස මනින දර්ශකවල ඉහළම රටවල් 10 ඇතුලේ රැඳිලා ඉන්නවා. 2019 දී ලෝකයෙන්ම දෙවනි ස්ථානයට එන්න සිංගප්පූරුවට පුළුවන්කම ලැබුණේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම, ඉදිකිරීම් සඳහා අනුමැතිය ලබා ගැනීම, විදුලිය සහ ණය ලබා ගැනීම, දේපල ලියාපදිංචි කිරීම, බදු ගෙවීම, දේශසීමා හරහා සිදු කරන වෙළඳාම වගේ නිර්ණායකවලින් ඉහළ කාර්‍යසාධනයක් පෙන්වපු නිසයි.
ලංකාවේ ව්‍යාපාර නිදහස වෙනුවෙන් අපි වෙනස් කරන්න ඕන මොනවාද?
නූතන ආර්ථික විද්‍යාවේ පියා කියලා සැලකෙන ඇඩම් ස්මිත් තමයි මුලින් ම නිදහස් ආර්ථිකයක් ගැන කතාව පටන් ගන්නේ. ඇඩම් ස්මිත් කියන විදිහට රජයයන් ආර්ථිකයට මැදිහත් වෙන්නේ නැතුව පෞද්ගලික අංශයට නිදහසේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න ඉඩ සලසා දෙන්න ඕන. ලංකාවේ තියෙන ව්‍යාපාර බොහෝමයක රජයේ බලපෑමක් තියෙනවා. රජය කරගෙන යන ව්‍යාපාර පාඩු ලබන තත්ත්වයක් තිබුණොත්, ඒ පාඩුව පියවන්න මුදල් යොදවන්න වෙන්නෙත් රජයේ ආදායමෙන්ම තමයි. මේ නිසා කාර්‍යක්ෂම විදිහට ලාභ ලබමින් ව්‍යාපාර කරගෙන යන්න නම් පුද්ගලික අංශය තමයි ව්‍යාපාරවලට මැදිහත් වෙන්න ඕන.
නිදහස් වෙළඳාමකදී සමතුලිතයක් තීරණය වෙන්නේ ගැනුම්කරුවන්ගේ ඉල්ලුම සහ සැපයුම්කරුවන්ගේ සැපයුම කියන සාධක දෙකම සමාන වෙන මට්ටමකදී. ඒත් රජයක් සහනාධාර දීම, උපරිම මිල නියම කිරීම, අවම මිල නියම කිරීම වගේ දේවල් කරලා ඒ වෙළඳාමට මැදිහත් වෙද්දි ගැනුම්කරුවන්ට සහ සැපයුම්කරුවන්ට නිදහස් වෙළඳාමෙන් ලැබෙන්න තිබුණ අතිරික්තය එහෙමත් නැත්නම් සුබසාධනය අහිමි වෙනවා.
ආනයන සීමා පැනවීමෙන් ලංකාවේ ව්‍යාපාර දියුණු කරන්න පුළුවන්ද?
මෑත කාලයේදී ආනයන සීමා පැනවීම කියන කාරණය ඉතාමත් සුලබව දකින්න ලැබුණා. අපිට මුහුණ දෙන්න වෙලා තියෙන ආර්ථික අර්බුදය නිසා මිනිස්සු පිටරටින් ගෙන්වන භාණ්ඩ වෙනුවෙන් වියදම් කරන ඩොලර් ප්‍රමාණය අඩු කරන අරමුණෙන් ආනයන සීමා පැනවුණා කියන එක තමයි අපි හැමෝම දන්න කාරණය. ඒ වුණත් සමහර වෙලාවල දේශීය නිෂ්පාදකයන් දිරි ගන්වන්න, එහෙමත් නැත්නම් දේශීය නිෂ්පාදකයන්ට සහනයක් වෙන්න කියලා හිතාගෙන රජය නිදහස් වෙළඳාමට මැදිහත් වෙලා විදේශීය භාණ්ඩ ආනයනයට සීමා පනවනවා. අපි මේ කතාව උදාහරණයකින් පැහැදිලි කර ගමු.
දේශීය ගොවියාට යහපතක් කරන්න හිතාගෙන පිටරටින් ගෙන්වන කහ නතර කළා කියලා හිතමු. ඒ වෙලාවේදී ලංකාවේ ප්‍රමාණවත් දේශීය කහ සැපයුමක් තිබුණේ නෑ. ඒ නිසා තිබුණ සීමිත කහ සැපයුමට අති විශාල ඉල්ලුමක් ඇති වෙලා කහවල මිල අසාමාන්‍ය විදිහට ඉහල ගියා. හුඟාක් වෙළඳසැල්වල කහ විකුණන්න තිබුණේ නෑ. ඉතිං අසාමාන්‍ය මිලක් ගෙවන්න සිද්ධ වීම නිසා ගැනුම්කරුවෝ හුඟක් අසීරුතාවකට ලක් වුණා. දේශීය නිෂ්පාදකයන් දිරිමත් වෙලා කහ සැපයුම වැඩි කිරීම කෙටි කාලීනව කරන්න පහසු දෙයකුත් නෙවෙයි.
ඉතිං දේශීය සහ විදේශීය භාණ්ඩ දෙවර්ගයටම ප්‍රවේශ වෙන්න ගැනුම්කරුවන්ට ඉඩකඩ තියෙනවා නම් ඒ දෙවර්ගයෙන් හොඳම නිෂ්පාදිතය තෝරා ගැනීමේ හැකියාව ගැනුම්කරුවාට ලැබෙනවා. ඉතිං ඒ තේරීම නිසා ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ නිෂ්පාදනය කරලා වෙළඳපළේ තරඟයට මුහුණ දෙන්න මේ සැපයුම්කරුවන්ට සිද්ධ වෙනවා. ඒකෙන් පාරිභෝගිකයන්ගේ සහ නිෂ්පාදකයන්ගේ සුබසාධනය ඉහළ යනවා.
මීට අමතරව ලංකාවේ ව්‍යාපාරයක් පටන් ගන්න ඉඩකඩම්, ගොඩනැඟිලි, රජයේ අනුමැතිය, ණය පහසුකම් ලබා ගැනීමේ දුෂ්කරතා රැසකට මුහුණ දෙන්න ව්‍යාපාරිකයන්ට සිද්ධ වෙනවා. මේ ක්‍රියාවලීන්ගේ තියෙන මන්දගාමී බව, අකාර්‍යක්ෂම බව නිසා ව්‍යාපාර ආරම්භ කිරීම, පවත්වාගෙන යාම, ගෝලීය වෙළඳපළට ඇතුළු වීම වගේ දේවල්වලදි අධෛර්‍යමත් වෙලා ව්‍යවසායකයින් / ව්‍යාපාරිකයින් වෙළඳපලෙන් ඉවත් වෙනවා.
ව්‍යාපාර කිරීමේදී දරන්නට සිදු වන පිරිවැය අවම කිරීමට පෞද්ගලික අංශයේ කටයුතු විධිමත් කිරීම, සාධාරණ ලෙස අපනයන ක්‍රියාවලිය පවත්වා ගැනීමට වෙළඳ ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම, සෘජු විදේශීය ආයෝජන රටට ආකර්ශනය කර ගැනීමට, රඳවා ගැනීමට ඇති හැකියාව වර්ධනය කර ගැනීම, ව්‍යවසායකත්ව හැකියාවන් දියුණු කිරීම සහ මූල්‍ය සේවාවන් ලබා ගැනීමට අවස්ථා සලසා දීම තුළින් ලංකාවේ ව්‍යාපාර තරඟකාරීත්වය ඇති කර ගැනීමට හැකියාව තියෙනවා. දැන් ඔබට හිතෙනවා ඇති අපි කලින් හිතපු තරම්ම ලංකාවේ ආර්ථිකය වෙනුවෙන් තරඟකාරීත්වය ඇති කිරීම ලේසි වැඩක් නෙවෙයි කියලා. ඒ වුණත් අද සංවර්ධනය වෙලා තියෙන හැම රටක්ම ඒ තත්ත්වයට එන්න දුෂ්කර කාලයක් ගත කරලා තියෙනවා. ඒ නිසා ලංකාවටත් කන්දක් නැඟලා ම තමයි පල්ලමක් බහින්න වෙන්නේ. ඉතිං ඒක මතක තියාගෙන මහන්සි වෙලා හැමෝම එකතු වෙලා වැඩ කලොත් ලංකාවේ ව්‍යාපාරයක් කර ගෙන ගොඩ යන්න බැරිකමක් නෑ. මෙන්න මේ වගේ හේතු නිසා ශ්‍රී ලංකාව ව්‍යාපාර කරගෙන යාම, ආර්ථික නිදහස වගේ දේවල්වලින් ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බව අපේ විශ්වාසයයි.
-දිල්මිණී අබේරත්න