රවී රත්නසබාපති විසිනි
සමහර රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයට නිලධාරීන් පත් කිරීම සිද්ධ වෙන්නේ බොහෝමයක් දෙනෙක්ව කනස්සල්ලට පත් කරලා. ඉතිං ජනතාව නම් මැසිවිලි නඟන්නේ ආයෙත් වතාවක් දේශපාලකයන්ගේ හිතවතුන් වගේම ඥාතීන් ආයතනවල ඉහළ තනතුරුවලට පත් කිරීම පටන් අරගෙන කියලා. අන්න ඒ නිසයි රාජ්‍ය ව්‍යවසායන්වල අපේක්ෂිත පාලන ව්‍යුහය පරීක්ෂා කරලා බලන්න සුදුසු වෙන්නේ.
රස්සාවකදි තමන්ගේ නෑදෑයන්ට සහ හිතවතුන්ට විශේෂ සැලකිලි දක්වන එක ‘පවුල්වාදය’ සහ ‘හිතමිතුරන්ට කරන සංග්‍රහය’ විදිහට හඳුන්වන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාවෙන් පවුල්වාදයට දීලා තියෙන යෙදුම ‘නෙපොටිසම්’ (Nepotism). ඒ යෙදුම ඉංග්‍රීසි භාෂාවට ඇවිත් තියෙන්නේ ‘නෙපොටිස්මෝ’ කියන ඉතාලි වචනයෙන්. ඒක ඉතාලි භාෂාවට ඇවිත් තියෙන්නේ ‘නෙපෝස්’ කියන ලතින් වචනයෙන්. ලතින්වලින් නෙපෝස් කියන්නේ බෑණා කියන අදහස. මධ්‍යතන යුගයේ සහ 17 සියවස අගභාගය වෙනකම්ම සමහර කතෝලික පාප්වරු සහ බිෂෝප්වරු තමන්ටම කියලා නීත්‍යානුකූල උරුමක්කාරයෙක් නැති අවස්ථාවකදි තමන්ගේ බෑණලාව පල්ලියේ බලයට පත් කරලා තියෙනවා. හිතවත්කම් මත තනතුරු ලබා දීමේදී ලේ නෑයන්ට තනතුරු ලබා දීම අදාල වෙන්නේ නෑ. ඒකට අයිති වෙන්නේ යාළුවන්ට සහ සමීපතමයන්ට තනතුරු, වරප්‍රසාද ලබා දීමයි.
රාජ්‍ය ව්‍යවසායන් පවත්වාගෙන යාමේ අරමුණ වෙන්නේ මහජනතාවට යහපතක් කිරීම කියන කාරණය. ඒ නිසා ඒ ආයතන හරියට ක්‍රියාත්මක කරන්න හැකියාවක් තියෙන පුද්ගලයන් නිවැරදි තනතුරුවලට පත් කරන්න ඕන. ඒකෙන් අදහස් වෙන්නේ නෑ කාගේ හරි නෑදෑ කෙනෙක් හෝ හිතවතෙක් විදිහට ආයතනයකට සම්බන්ධ වෙන කාටවත් ම දක්ෂතාවක් නෑ කියලා. ඒ වුණත් දේශපාලන මැදිහත්වීමකින් තමන්ට රස්සාවක් හොයා ගන්න පෙළඹෙන බොහෝමයක් දෙනා ඒ වගේ ක්‍රමවලට රස්සාවලට එන්නේම තමන්ට කියලා රස්සාවක් තමගේම හැකියාවෙන් හොයා ගන්න අමාරු නිසයි. පහුගිය ආණ්ඩු කාලයේදී මේ වගේ පත් කිරීම් අහන්න දකින්න ලැබුණ නිසා දැන් බලයේ ඉන්න ආණ්ඩුව මේ වගේ දේවලවලින් වැලකිලා ඉන්න එක වැඳගත්.
සාමාන්‍යයෙන් වෙන්න ඕන ප්‍රධාන විධායක නිලධාරියාට පහළ මට්ටමේ ඉඳලා හැම පත්වීමක් ම කුසලතා මත පදනම් වෙලා දෙන්න ඕන කියන එකයි. එතනදි පිලිගත් තේරීම් ක්‍රියාවලියකට එහෙමත් නැත්නම් විභාග සහ සම්මුඛ පරීක්ෂණවලට යටත් වෙලා මේ කියන තේරීම කරන්න ඕන. (මණ්ඩලයට සහ ප්‍රධාන විධායක නිලධාරි තනතුරට නිලධාරීන් පත් කිරීම් ගැන දැනුවත් වීමට ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය නිකුත් කරලා තියෙන (OECD - Organisation for Economic Co-operation and Development) මාර්ගෝපදේශ ගැන විස්තර කොටස බලන්න). ඒ ඒ තනතුරට නියමිත සම්මත තේරීම් ක්‍රියාවලිය හරහා තමන්ගේ හැකියාවන් තහවුරු කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ වගේ තනතුරුවලට නෑදෑයෙක් හෝ හිතවතෙක් පත් කලත් කමක් නෑ .
ආයතනයක කාර්ය මණ්ඩලය පත් කරද්දි ඒ ඒ තනතුරුවලට සුදුසුකම් තියෙන ගැලපෙනම පුද්ගලයන්ව බඳවා ගත්තා නම් රජයක් වෙනස් වෙන හැම වෙලාවේම තනතුරුවලට අළුතින් නිලධාරීන් පත් කරන්න ඕන වෙන්නේ නෑ. ඒ නිසාම රජයේ ඒ ප්‍රතිපත්තියට නිශ්චිත බවක් ලැබෙනවා. මේ සම්බන්ධයෙන් සලකලා බලද්දි ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සහ කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) කියන ආයතන දෙකම තමන්ගේ ස්වාධීනත්වය තරමක් දුරට පවත්වා ගෙන ගිහින් තියෙනවා.
කොහොම වුණත් අපේ මේ සංවාදය ඇතුළේ අපි අධ්‍යක්ෂවරුන් පත් කිරීම ගැන විතරක් කතා කරලා වැඩක් නෑ. ඒ නිසා අපේ අවදානය ලැබෙන්න ඕනේ රාජ්‍ය ව්‍යවසාය පාලනය කියන පුළුල් ක්ෂේත්‍රය ගැන. ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වන සංවිධානය (OECD) රජයට අයිති ව්‍යවසායන් වඩාත් තරඟකාරී, කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් පවත්වාගෙන යාම පහසු කර ගන්න ගැලපෙන උපදෙස් ලබා දෙන මාර්ගෝපදේශ මාලාවක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා.
ක්‍රියාකාරී දේශපාලන වෘත්තීය සමිති සහ දේශපාලන පත්වීම් නිසා, පරමාදර්ශයක් විදිහට පෙනී ඉන්න මේ මාර්ගෝපදේශ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන එක ලේසි වැඩක් නෙවෙයි.
ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වන සහයෝගීතාවය ඉදිරිපත් කරලා තියෙන මාර්ගෝපදේශය යටතේ කොටස් හයක් තියෙනවා.
I. රජය සතු ව්‍යවසායන් සඳහා ඵලදායී නීතිමය සහ නියාමන රාමුවක් සහතික කිරීම
II. රාජ්‍ය හිමිකරුවෙකු ලෙස කටයුතු කිරීම
III. කොටස් හිමියන්ට සාධාරණ ලෙස සැලකීම
IV. පාර්ශවකරුවන් සමඟ සබඳතා
V. විනිවිදභාවය සහ අනාවරණය
VI. රජය සතු ව්‍යවසාය මණ්ඩලවල වගකීම්
මේ යටතේ එන වඩාත් ම වැදගත්ම කරුණු අපි පහත කොටසින් සාකච්ඡා කරනවා. රාජ්‍ය ව්‍යවසායයන් පාලනය කරන්න නම් රජය විසින් ම පුළුල් රාමුවක් අනුගමනය කිරීම තමා සුදුසු වෙන්නේ මොකද ඒ වගේ ක්‍රියාමාර්ගයකින් අනිවාර්‍යයෙන්ම කාර්ය සාධනය වැඩිදියුණු කරන්නත් මහජනතාවගේ විශ්වාසය පවත්වාගෙන යන්නත් පුළුවන්කමක් ලැබෙනවා.
I. රජය සතු ව්‍යවසායන් සඳහා ඵලදායී නෛතික සහ නියාමන රාමුවක් සහතික කිරීම
වෙළඳපළ අසමතුලිතතාවන් වලක්වා ගැනීමට රාජ්‍ය ව්‍යවසායන් සහ පුද්ගලික අංශයේ සමාගම් සම සමව තරඟ කරන්න නම් ඊට ගැලපෙන නෛතික හා නියාමන රාමුවක් පවත්වා ගන්න ඕන.
A. රාජ්‍ය ව්‍යවසායන්ටත් සාමාන්‍ය නීති සහ රෙගුලාසි අදාල වීම අවශ්‍යයයි. තරඟකරුවන් ඇතුළු අනෙකුත් පාර්ශ්වකරුවන්ට තමන්ගේ අයිතීන් උල්ලංඝනය වෙලා කියලා හිතෙනවා නම් කාර්යක්ෂම විදිහට ඒවාට සහන ලබා ගන්නත් සාධාරණ තීන්දුවක් ගන්නත් ඉඩ ලැබීම අවශ්‍ය වෙනවා.
B. විශේෂයෙන්ම වෙළඳපල නියාමනය සම්බන්ධයෙන් රජය සතු ව්‍යවසායන් සඳහා කොන්දේසි කෙරෙහි බලපෑම් ඇති කළ හැකි රාජ්‍ය හිමිකාර කාර්යය සහ අනෙකුත් රාජ්‍ය කාර්යයන් අතර පැහැදිලි වෙන්වීමක් තිබිය යුතුය. සරලව කියනවා නම්, රජයට අයිති ව්‍යවසායන්වලට නීති ක්‍රියාත්මක වීමේදී විශේෂ සැලකිල්ලක් නොතිබිය යුතුයි.
C. රාජ්‍ය ව්‍යවසායන් නියාමනය කරන නීති පද්ධති විධිමත් කිරීමෙන් ණය හිමියන්ට ඔවුන්ගේ හිමිකම් ඉදිරිපත් කිරීමට සහ ඔවුන්ගේ බුන්වත්වීම සම්බන්ධ ක්‍රියා පටිපාටි ආරම්භ කිරීමට ඉඩ දිය යුතුයි.
D. සාමාන්‍යයෙන් පිළිගත් සම්මතයෙන් ඔබ්බට ගිය රාජ්‍ය සේවා සම්බන්ධයෙන් රාජ්‍ය ව්‍යවසායයන් විසින් භාර ගැනීමට අවශ්‍ය ඕනෑම බැඳීමක් පැහැදිලිව මහජනතාවට හෙළිදරව් කළ යුතුය. එවැනි කටයුතුවලට අදාළ වියදම් ද හෙළි කළ යුතුයි. මෙමගින් ඇමතිවරයාට මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අරමුදල් සැපයීම වැනි අපයෝජනයන් වලක්වනු ඇත.
E. රාජ්‍ය ව්‍යවසායයන් අරමුදල් සපයා ගැනීමේදී තරඟයට මුහුණ දිය යුතුය. රාජ්‍ය ව්‍යවස්සයයන් රාජ්‍ය බැංකු, රාජ්‍ය මූල්‍ය ආයතන සහ වෙනත් රාජ්‍ය සමාගම් සමඟ ඔවුන්ගේ සබඳතා පැවැත්වීමේදී ඒවා පදනම් විය යුත්තේ හුදු වාණිජමය හේතු මත ය. මෙය රාජ්‍ය මූල්‍යවල ශේෂ පත්‍රයෙන් බැහැර විනිවිදභාවයෙන් තොර ගනුදෙනු වලක්වනු ඇත.
II. රාජ්‍යය හිමිකරුවෙකු ලෙස ක්‍රියා කිරීම
දැනුවත් සහ ක්‍රියාකාරී හිමිකරුවෙකු ලෙස රජය ක්‍රියා කළ යුතුය. කාර්ය සාධනය මැනිය හැකි හිමිකාරිත්වයේ අරමුණු පැහැදිලි කිරීමට හැකියාවක් ඇති පැහැදිලි හිමිකාරිත්ව ප්‍රතිපත්තියක් තිබිය යුතුය.
A. ව්‍යවසායයන් සම්බන්ධයෙන් රජයට ඇති අයිතියේ සමස්ත අරමුණු නිර්වචනය කරන හිමිකාරිත්ව ප්‍රතිපත්තියක් රජය විසින් නිකුත් කළ යුතුයි. ඒ තුලින් රාජ්‍ය ව්‍යවසායයන්ගේ ආයතනික පාලනයේදී රජය කරන්නේ කුමක්ද යන්න සහ එහි හිමිකාරිත්ව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පැහැදිලි කළ යුතුය.
B. රාජ්‍ය ව්‍යවසායකයන්ගේ දෛනික කළමනාකරණයට රජය සම්බන්ධ නොවිය යුතු අතර ඔවුන්ගේ නිශ්චිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ලබා දිය යුතුයි
C. රාජ්‍ය පරිපාලනය තුළ හිමිකාර අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම පැහැදිලිව හඳුනාගත යුතුය. ඉතා මැනවින්, රාජ්‍යයේ සියලුම කොටස් ආයෝජන අධීක්‍ෂණය කරන සහ පාර්ලිමේන්තුවට වගකිව යුතු එක් විශේෂිත ආයතනයක් යටතේ මධ්‍යගත විය යුතුය. ආයෝජන කළමනාකරණය කෙරෙහි නිසි අවධානයක් යොමු කිරීම සහ ස්ථාවර ප්‍රතිපත්ති අදාළ වන බව මෙමගින් සහතික කෙරේ. එවිට මණ්ඩලය අනුගමනය කල යුතු පියවර වන්නේ:
a. හොඳින් සංවිධානය වූ, විනිවිදභාවයකින් යුත් නාමයෝජනා ක්‍රමයක් මණ්ඩල සඳහා ඉදිරිපත් කිරීම සහ සියලුම රාජ්‍ය ව්‍යවසාය මණ්ඩල නාමයෝජනා සඳහා ක්‍රියාකාරීව සහභාගී වීම. අධ්‍යක්ෂ මණ්ඩල නම් කිරීම ඇමතිවරයාගේ පරමාධිකාරී බලය යටතේ පමණක් තීරණය නොවිය යුතුයි.
b. නිරන්තරයෙන් රාජ්‍ය වයවසායන්ගේ කාර්ය සාධනය අධීක්ෂණය කිරීමට සහ තක්සේරු කිරීමට ඉඩ සලසන වාර්තාකරණ පද්ධති සැකසීම.
පාර්ලිමේන්තුවට නිසි ලෙස වාර්තා කිරීමට මෙමගින් හැකියාව ලැබෙනවා.
III. කොටස් හිමියන්ට සාධාරණ ලෙස සැලකීම
රාජ්‍ය සහ රජය සතු ව්‍යවසායන් විසින් සියලුම කොටස් හිමියන්ගේ අයිතිවාසිකම් පිළිගත යුතු අතර ඔවුන්ට සාධාරණ ලෙස සැලකීම සහ ආයතනික තොරතුරු සඳහා සමාන ප්‍රවේශය සහතික කළ යුතුයි. මෙය අදාළ වන්නේ රජයට අර්ධ කොටස් හිමිකමක් ඇති තත්ත්වයකදී නැත්නම් සුළුතරයක් වන කොටස් හිමියන්ගේ අවශ්‍යතාවන් සොයා බැලීමේදීයි. සුළුතර කොටස් හිමියන් සමඟ සිදු කරන ක්‍රියාකාරී උපදේශන ප්‍රතිපත්තියක්, ගනුදෙනුවල විනිවිදභාවය සහ කොටස් හිමියන්ගේ රැස්වීම්වලදී සුළුතරයේ සහභාගිත්වය සඳහා පහසුකම් සැලසීම අවශ්‍ය වේ.
IV. පාර්ශ්වකරුවන් සමඟ ඇති සම්බන්ධතා
රාජ්‍ය හිමිකාරිත්ව ප්‍රතිපත්තිය මගින් පාර්ශවකරුවන් සම්බන්ධයෙන් රාජ්‍ය ව්‍යවසායන් වෙත පැවරී ඇති වගකීම් සම්පූර්ණයෙන් පිළිගත යුතු අතර පාර්ශ්වකරුවන් සමඟ ඔවුන්ගේ සබඳතා වාර්තා කරන ලෙස ඉල්ලා සිටිය යුතුයි.
V. විනිවිදභාවය සහ හෙළිදරව් කිරීම
රජය සතු ව්‍යවසායන් තමන්ගේ කටයුතු කරගෙන යාමේදී විනිවිදභාවය පිළිබඳ ඉහළ ප්‍රමිතීන් පිළිපැදිය යුතුය. විශේෂයෙන්ම,
A. රාජ්‍ය කොටස් හිමිකමට පවරා ඇති ආයතනය රජය සතු ව්‍යවසායන් පිළිබඳ ස්ථාවර සහ සමස්ථ වාර්තාකරණයක් වර්ධනය කළ යුතු අතර SOEs ගැන ලියැවුණු සම්පූර්ණ වාර්තාවක් සෑම වසරකදීම ප්‍රකාශයට පත් කරන්න ඕන. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්තත්, රාජ්‍ය ව්‍යවසායයන් සෑම රාජ්‍ය ව්‍යවසායයක්ම කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කිරීම අවශ්‍යයි. කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) ලියාපදිංචි කිරීමේදී සිදු කල යුතු හෙළිදරව් කිරීමේ අවශ්‍යතා සපුරාලීම මඟින් විනිවිදභාවය වැඩි දියුණු කිරීමක් සිදුවේ.
B. රාජ්‍ය ව්‍යවසායයන් ජාත්‍යන්තර ප්‍රමිතීන් මත පදනම්ව වාර්ෂික ස්වාධීන බාහිර විගණනයකට යටත් විය යුතුය. ස්වාධීන බාහිර විගණනයකින් ලබා දෙන තක්සේරුවලට නිශ්චිත රාජ්‍ය පාලන ක්‍රියා පටිපාටි ආදේශ කල හැකි නොවේ.
VI රජය සතු ව්‍යවසාය මණ්ඩලවල වගකීම්
A. රජයේ ව්‍යවසාය මණ්ඩලවලට සමාගමේ කාර්ය සාධනය සඳහා පැහැදිලි වරමක් සහ අවසාන වගකීම පැවරිලා තියෙන්න අවශ්‍යයයි. මේ මණ්ඩල ආයතනයේ අයිතිකරුවන්ට වගකීමෙන් බැඳිලා ඉන්නවා වගේම සමාගම වෙනුවෙන් සමාගමේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන්න ඕන වගේම සියලුම කොටස් හිමියන්ට සාධාරණව සලකන්නත් ඕන.
B. රජය සහ ආයතනයේ හිමිකරුවන් නියම කර ඇති අරමුණු රාමුවට අනුගත ව කලමණාකරණය සහ උපායමාර්ගික මඟ පෙන්වීමට අදාල කටයුතු සොයා බැලීම රාජ්‍ය ව්‍යවසායයන්ගේ කාර්‍යයක් වෙනවා. ප්‍රධාන විධායක නිලධාරියා පත් කිරීමට සහ ඉවත් කිරීමට ඔවුන්ට බලය තියෙන්න ඕන. ප්‍රධාන විධායක නිලධාරියා පත් කරන්නේ ඇමතිවරයෙකු විසින් නොවේ. එය මණ්ඩලය විසින් ගන්නා තීරණයක්.
C. අවශ්‍යතාවක් ඇති වුණාම (විශේෂයෙන්ම විගණනය, අවදානම් කළමනාකරණය සහ වේතනය) සම්බන්ධයෙන් කටයුතු කරද්දි, පූර්ණ මණ්ඩලයට සහාය දෙන්න කමිටු පත් කිරීමේ වගකීම තියෙන්නේ රාජ්‍ය ව්‍යවසාය මණ්ඩලවලටයි.
D. රාජ්‍ය ව්‍යවසාය මණ්ඩල තමන්ගේ කාර්ය සාධනය තක්සේරු කරන්න හැම අවුරුද්දේම ඇගයීමක් කරන්න අවශ්‍යයයි.
සාරාංශයක් විදිහට ගත්තොත් රාජ්‍ය ව්‍යවසායන්වල කාර්‍යක්ෂමතාව ගැන සමාජයේ තියෙන ආකල්පය ඒ තරම්ම සුබදායී නෑ. ඒකට බලපාන එක හේතුවක් විදිහට පවුල්වාදය, නෑදෑ හිතවතුන්ට ආයතනවල තනතුරු ලබා දීම වගේ කටයුතු විනිවිදභාවයකින් තොරව සිදු කිරීම හඳුන්වන්න පුළුවන. මේ වගේ පත් කිරීම් නිසා රාජ්‍ය ව්‍යවසායන් ගැන මහජනතාවගේ විශ්වාසය බිඳිලයි තියෙන්නේ. ඒකට විසඳුමක් විදිහට ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වන සංවිධානය (OECD) මාර්ගෝපදේශයන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ යටතේ රජය සතු ව්‍යවසායන් සඳහා ඵලදායී නීතිමය සහ නියාමන රාමුවක් සහතික කිරීම වගේ දේවල්වලට අදාලව දේශපාලනීකරණය නොවූ කාර්‍යක්ෂම රාජ්‍ය ව්‍යවසාය ක්‍රමයක් පවත්වාගෙන යන්න අවශ්‍ය මඟ පෙන්වීම කරලා තියෙනවා. ඉතිං හොර බොරු නැති, වංචා දූෂණ නැති කාර්‍යක්ෂම රාජ්‍ය ව්‍යවසායයන් පවත්වාගෙන යන එක ලංකාව වගේ රජය ආර්ථිකයට මැදිහත් වෙලා ඉන්න රටකට ඉතාමත් වැඳගත්. අපේ රටත් සංවර්ධනය වුණු රටක් කරන්න හීන දකින අපිට කරන්න ම ඕන ප්‍රතිසංස්කරණයක් විදිහට රාජ්‍ය ව්‍යවසායවල සුදුස්සාට සුදුසු තැන ලබා දෙන එක වැඳගත් වෙන්නේ අන්න ඒ නිසයි.