ශ්‍රී ලංකා

IPL හා මතීශ අපිට උගන්වන ආර්ථික පාඩම

IPL උන්මාදයෙන් ක්‍රිකට් ලෝකයම ආක්‍රමනය කරද්දී 16 වන අවසන් මහා සටනට අහමාබාද් හී නරේන්ද්‍ර මෝදි ක්‍රිඩාංගනය ඉතා උණුසුම් අන්දමින් සූදානම්ය, ලංකාවේ අපිටත් මේ අවසන් මහා තරගය වඩා ලගින්න දැනෙන්න පටන් අරං තියෙන්නේ අපේ රටේ  ක්‍රිකට් කෝඩුකාරයෙක් වෙච්ච මතීශ පතිරණ හා මහේශ් තීක්ශණ මේ අවසන් මහා තරගයට ක්‍රිඩාකිරීමයි, එත් අපි මේ කතා කරන්න යන්නේ ක්‍රිකට් ගැනවත් IPL ඉතිහාසය ගැනවත් මතීශ ගැනවත් නෙමෙයි . අපි මේ කතා කරන්නේ IPL හා මතීශ අපිට කියලා දෙන ආර්ථික පාඩම ගැන.

ඔබ පුදුම වෙන්න පුළුවන් මේ මැච් අස්සේ මොන ආර්ථිකයක්ද කියලා .නෑ මේ මැච්ම තමා ආර්ථිකය. බලන්න
IPL ව්‍යුහය දිහා ක්‍රීඩකයින් මිලදී ගන්න ඕනේ වෙන්දේසියකින් ඒ තුළ තරඟයක් තියනවා, කණ්ඩායම් අතර  තරඟය උනුසුම් වෙන්න උනුසුම් වෙන්න ක්‍රීඩකයින්ටත් හොදයි. ඒ වගේම ක්‍රීඩකයිනුත් නිකං ඉදලා බෑ තමන්ගේ වටිනාකම ඉහල දාගන්න හොදට perform කරන්න වෙනවා නැත්තං වෙන්දේසියෙන් විතරක් නෙමේ තරගාවලියෙන්ම පැත්තකට විසිවෙන එක තමා වෙන්නේ . ඒ වගේම මේ කණ්ඩායම්වල අයිතිය ලබාගැනීමටත් හොද තරගයක් තියනවා, ඒ වගේම කණ්ඩායම් ගොඩක් ක්‍රිඩාකරනවා කියන්නේ හොද තරගකාරී බවක් ඇතිවෙනවා කියන එකයි ,විදේශිය ක්‍රීඩකයින්ට හා දේශීය ක්‍රීඩකයින්ට තමන්නේ දක්ෂතාවය අනුව මේ තරඟාවලිය ඇතුලේ තැනක් හිමිවෙනවා . හොදම උදාහරණය මතීශ, ලංකාවේ ජාතික කණ්ඩායමේ තැනක් නැති මතීශ Chennai Super Kings කණ්ඩායමේ මෙවර නිත්‍ය හා ප්‍රධාන වේගපන්දු යවන්නා වෙලා තියනවා .මතීශ වගේ නැගී එන ක්‍රීඩකයෙක්ට හොද අවස්ථාවක් මෙම තරඟාවලිය තුළින් ලැබිලා තිබිම හා එම අවස්ථාවෙන් මතීශ උපරිම ප්‍රයෝජන ගැනීම අපිට දකින්න පුළුවන්. මේ සියල්ලටම හේතුවන්නේ හොඳ තරගකාරී වෙළදපලක් මේ තරඟාවලිය ඇතුළත ක්‍රියාත්මක වීමයි.
ඒවගේම මේකේ දැවැන්ත චිත්‍රය දිහා බැලුවොත් අතිවිශාල ප්‍රාග්ධනයක් මේ තරඟාවලිය ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. එය ඉන්දියාවේ ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය අතිශය වැදගත්. මේ තරඟාවලියෙන් සෘජු වගේම වක්‍ර රැකියා දහස් ගනනක් බිහිවෙලා තියනවා . IPL කියන්නේ දැන් ඉන්දියාවේ ආර්ථිකයට නැතුවම බැරි අංගයක් වෙලා ඉවරයි .
මෙම තරඟාවලියේ සාර්ථකත්වයේ රහස තමා ඔවුන් වෙළඳපල ක්‍රියාකාරීත්වය ඉඩ දීම ඒ වගේම එයට අනුගත වෙමින් වෙළදපල අවකාශය පුළුල් වීමට ඉඩ සලසා ඒ මගින් වඩා හොද හා විහිදුනු ආර්ථික ජාලයක් නිර්මාණය කරගැනීමයි.
තරගාවලියක් වශයෙන් අඛන්ඩව පවත්වපු IPL වෙළඳපල අවකාශයන් හොදින් තමන්ගේ වාසියට යොදාගන්නවා. ඔයාලට මතක ඇති 2008 මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය සමග ඇතිවෙච්ච ආරක්ශාව පිළබද ගැටළුව හා 2009 ඉදියානු මහමැතිවරණයත් IPL calendar එකත් එක්ක clash වීම වගේම මැතිවරණයටයි මැච් වලටයි දෙකට ආරක්ශාව දෙන්න බැරි නිසා සම්පූර්ණ තරගාවලියම දකුණු අප්‍රිකාවට ගෙන ගියා. ඔවුන් එහිත් ඉතා සාර්ථක තරගාවලයික් පවත්වනු ලැබුවා. ඒ වගේම කොවිඩ් වසංගත තත්ත්වය නිසා 2020 තරඟාවලිය පැත්වුණේ UAE වල එයත් ඉතා සාර්ථක තරඟාවලියක් ලෙස IPL ඉතිහාසයට එක් වුනා. මේ සේරම කරන්න පුළුවන් උනේ ගොලීය වෙළදපලක් ක්‍රියාත්මක වෙච්ච නිසා එහෙම ගෝලීය සම්බන්දතාවයන් තිබ්බේ නැත්තං කවදාවත් IPL එක ඉන්දියාවෙන් පිටට ගෙනියන්න බැරිවෙනවා . මේ ගෝලිය සම්බන්ධතාවය නිසාම මේ තරඟාවලිය ජාත්‍යාන්තර ගෝලීය තරඟාවලියක් බවට පරිවර්තනය වෙලා තියනවා කියනව එක පෙනෙන කාරණයක්. ඒවගේම ජාත්‍යන්තර අත්දැකීම් සහිත ක්‍රීඩයින්ට මේ තරඟාවලියට ඇතුලත් වීමට හැකිවෙලා තියෙන්නෙත් මේ ගෝලීය ජාලය නිසාමයි. එමගින් ආධුනික ක්‍රීඩකයින්ට වැඩි අත්දැකීම් ප්‍රමානයක් ලැබෙනවා වගේම ඉන්දියාවේ ක්‍රිකට් එක ඉතා වේගයෙන් වර්ධනය වෙන්න එය අනිවාර්යය හේතුවක් විදියට බලපාලා තියනවා.

අපි මතීශ දිහාවට හැරුනොත් ඔහු ඉතා සුවිශේෂී ඔහුටම ආවේනික ඉරියව්වකින් පන්දු යවන ක්‍රීඩකයෙක්, තවමත් ඔහුට ලංකාවේ ජාතික කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් නොලැබීම කනගාටුවකට කරුණක්. නමුත් ඒ දොර වැහෙන කොට මතීශට ඉතා වටිනා විශාල ජාත්‍යන්තර මට්ටමේ දොරක් විවර වෙනවා IPL හරහා ,මේ කිරිකෝඩු ක්‍රීඩකයාට මෙය ඉතා විශාල අවස්ථාවක් හිතන්න එහෙම අවස්ථාවක් ඔහුට උදා නොවුනානම් තවමත් ඔහු අතිරේක ක්‍රීඩකයෙක් විදියට බංකුවක් උඩ ඉදගෙන මැච් දිහා බලං ඉන්න තිබ්බා නමුත් මෙම වෙළඳපල ක්‍රියාකාරීත්වය නිසා ඔහුගේ දක්ශතාවය ජාත්‍යන්තරකරනයට ලක්වෙලා ඉවරයි . ඔහුගේ දක්ශතාවයට තැනක් වගේම ලෝක මට්ටමේ ඉන්න හොදම ක්‍රීඩකයින් එක්ක උරෙන් උරගැටිලා ලබා ගන්න මිල කල නොහැකි අත්දැකීම් සමුදායක් ඔහුට මේ අවස්ථාවෙන් උදා වෙලා තියනවා. සමහර විට ඒක ජාතික කන්ඩායමේ ක්‍රීඩකයෙක්ටත් නොලැබෙන අවස්ථාවක් .
ඒ වගේම තමා අවස්ථාව ලැබුනා කියලා මතීශ නිකං හිටියේ නෑ ඔහු ඔහුගේ උපරිමය ප්‍රදර්ශණය කරමින් සිටිනවා. ඔහු ඔහුගේ වටිනාකම අතිවිශාල අන්දමට වැඩි කරගෙන තිබෙනවා. ශ්‍රීලංකා තේරීම් කමිටුවට පවා ඔහුව තොරාගන්න කියලා කියලා දැඩි පීඩනයක් ඔහුගේ හැකියාව තුලින් එල්ල කරමින් ඉන්නවා , මේ තමා සැබෑවටම ක්‍රියාත්මක වෙළඳපලක ස්වභාවය තරගකාරීත්වය තුලින් වඩා හොද නිශ්පාදනයක් හෝ සේවාවක් ඉදිරියට පැමිණීම තමා හොදින් ක්‍රියාත්මක වෙළඳපලක් තුලින් වෙන්නේ.
හැබැයි ඉතින් කෙනෙක්ට කියන්න පුළුවන් කෝ ඔකේ නිදහස, එහෙම හිතෙන හිතන ඒවා කරන්න බෑ නිදහස් වෙළදපලක් කියලා කිව්වට නීති තියනවා BCCI එක නීති දාලා තියනවා ICC එක බලං ඉන්නවා. ඔව් අනිවාර්යයෙන්ම වෙළඳපලක් කියන්නේ නිතී නැතුව ඔහේ දුවන පොඩිලමයින් සෙල්ලමට කරන සෙල්ලං පොළක් නෙමෙයි , හොදින් ක්‍රියාත්මක වන වෙළඳපලක් ඇතුලේ නීති තියනවා පාරිබෝගිකයව ආරක්ශාකරන, වෙළඳපල තරගකාරීත්වය ආරක්ශාකරන , නිශ්පාදකයව , විවසායකයව ආරක්ශාකරන නීති අනිවාර්යයෙන් ඒක ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ හැබැයි රජය ඇවිත් ඒ වෙළඳපල ඇතුලේ කජු විකුනන්නයි හාල් තුන පහ විකුනන්නයි යනවා කියන එක නෙමේයි.
හිතන්නකෝ BCCI එකයි ICC එකයි රජය කියලා එයාලා හොදම ක්‍රීඩිකයෝ අරං මිනිස්සුන්ගෙන් බදු ගහලා ඒ සල්ලිවලින් ටීම් එකක් හදලා IPL එකට දාලා නෑ තරග කරලා දිනන්න, එයාලා කරන්නේ නීති හදලා පිච් එක හදලා අවශ්‍ය යටිතල පහසුකම් හා වේදිකාව හදලා තරගකාරීත්වය වර්ධනය කරන ක්‍රියාවලිය හදලා පැත්තකට වෙලා ඒ දිහා විනිසුරු හා පාලන කෝනයෙන් විමසිල්ලෙන් බලං ඉන්න එක. ඕක ඇතුලේ වෙන වෙන අක්‍රමිකතා , තරගපාවාදීම් වගේම විනය පිළබදව එයාලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා දඩ ගහනවා, තහනම් කරනවා ,දඩුවම් දෙනවා හැබැයි ක්‍රීඩකායෝ තෝරන්න යන්නෙ නෑ  එයාලගේ පෝස්ටර් ගහපු කොල්ලොන්ව ටීම් එකට ගන්න කියන්නේ නෑ, ඥාති පුතාලට තැනක් දෙන්න කියන්න යන්නෑ, නැතත් ඒ වගේ සෙට් එකක් එකතු කරලා ටීම් එකක් හදලා කප් එක ගන්න බලන්නෑ . 

ඉතින් රජයක් කරන්න ඔනේ වෙළඳපල තරගය නිර්මාණය කරන එක හා එය පවත්වාගෙන යන එක. රජයක ප්‍රමුඛ කාර්ය භාර්ය වෙන්න ඔනේ  පාරිබෝගිකයත් නිශ්පාදකයත් වෙළඳපලත් ආරක්ශාකරගෙන ලෝකයත් එක්ක සම්බන්දිත විවෘත ස්වාදීන විනවිදබාවයෙන් යුක්ත වූ ක්‍රමවේදයක් හා නීති රාමුවක් හදන එක ඒ වගේම එම නීති හා ක්‍රමවේද යාවත්කාලීන පහසු හා සරල විය යුතුයි. එමගින් වෙළඳපල කාර්යක්ශමතාවය හා ඵලදායිතාවය වැඩි කරගන්න පුළුවන්. එහෙම වැඩි කරගත්තොක් විතරයි අපිට පුළුවන් වෙන්නේ මේ දුප්පත්භාවයෙන් මිදිලා සංවර්ධිත දියුනු රටක් සමාජක්‍රමයක් හදාගන්න.
ඉතින් මෙවර IPL කුසලානය කවුරු දින්නත් ඔවුන් කියලා දෙන පාඩම හරියට අවබෝද කරගෙන ඉදිරියෙදි රටක් වශයෙන් දිනන්න අපි සූදානම් වෙන්න ඔනේ. එයට අවශ්‍ය පිටිය සැකසීම ආර්ථික ප්‍රතිසංස්කරන හරහා  රජය අනිවාර්යයෙන් කලයුතුමයි. ඒ වගේම අපේ හෙල්මල්, පෑඩ් සහ ගාඩ් සෙට් එක වෙන සමාජ ආරක්ශන දැළ වඩා විශ්වසනීය විනිවිදබාවයෙන් යුතුව සාදාගන්න ඔනේ ඉදිරියෙදි එන අදිවේගී වේග පන්දු වලට මූණ දෙන්න නැත්තං ඉතා වේදනාකාරි අත්දැකීම් වලට මූණ දෙන්න සිද්ද වේවි. මේ ආර්ථික තරගය දිනන්න නම් ලංකාවේ වෙළදපල Boundary එකට එහා තියන ගෝලීය වෙළදපල් වලට දැවැන්ත හයේ පහරවල් ගහන්නම ඔනේ, එහෙම ගහන්න අපේ ක්‍රීඩකයින්ගේ ශක්තිය වැඩි කරන්න නම් ඔවුන්ට තියන නීති හා රෙගුලාසී බාදක ඉවත් කරලා සරලව පහසුවෙන් ව්‍යාපාරකිරීමට හැකි මානසිකත්වයක් ගොඩනගන්න ඔනේ. වැදගත්ම කාරනය තමා රජය විනිසුරුකමයි තරග සංවිධායක කමයි අමතක කරලා පිච් එක මැද්දට පැනලා තරගයේ වීරයා වෙන්න ඔනේ කියලා  කප් එක උස්සන් දුවන්න හදන්නේ නැතුව මේ ආර්ථික තරගේ දිනවන්න හොදම ක්‍රීඩකයින් වෙච්ච පෞද්ගලික අංශයට මේ ආර්ථික මැච් එක ගොඩදාගන්න උදව් කරන්න එක .අන්න එතකොට අපිට නිකම්ම මැච් එක විතරක් නෙමේ සමස්ථ තරගාවලියම ජයගන්න පුළුවන් .

ජනත් පෙරේරා 
28/5/2023

ටුටුන්කාමන්ගේ සාපය හා තෙල් සංස්ථාව

ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව ගැන මේ දවස්වල කතා නොකරන කෙනෙක් නැහැ . පාර්ලිමෙන්තුවෙන් ඉදං හන්දියේ ඥානක්කගේ කඩේට වෙනකං තෙල් සංස්ථාව ගැන තමයි කතාව. සමහරු සේවකයින්ට බයිනවා, සමහරු හොද කියනවා. තව අය ඇමතිට බයිනවා සමහරු හොද කියනවා . කොහොමහරි දෙපැත්තට දෝලනය වෙච්ච කතන්දරයක් තමා තිබ්බේ.

මේ විදියට තෙල් සංස්ථාව ගැන කථාකරන්න පටන්ගත්තේ ඇයි කියලා ඔයාලට මතක් කලොත්. ලංකාවේ කැබිනට් එක අලුත් සමාගම් 3න කට ලංකාවේ ඛණිජ තෙල් බෙදාහැරීම සම්බන්දයෙන් අවසර දීලා තිබ්බා. ඒකත් එක්ක මේ ගැන ලොකු කතා බහක් ඇති වුනා. ස්ට්‍රයික් එකකුත් පටන් අරං ඒ සේවකයොන්ටත් අනිවාර්යය නිවාඩු යන්න උනා කියලා ඔයගොල්ලෝන්ට මතක ඇති. ඔය අලකලංචි අස්සේ තෙල් බෙදා හැරීමටත් බාදා වෙලා ආපහු පෝලිම් ඇති වෙන්න පටන් ගත්තා මේක කියවන ඔයත් ඔය පෝලිමක හිටිය කෙනෙක් වෙන්න ඇති නේද.

මේ ලිපිය ඒක ගැන කියන්න ලියන එකක් නෙමෙයි මේක තෙල් සංස්ථාව කොපමණ ලාබයක් ලබනවද පාඩු සිද්ද කරගන්නවද කොච්චර ණයද කියන දේ ගැන පොඩි සොයා බැලීමක්. ඉතින් අපි විකුනං කන්න හදන්න යනෝ කියලා පෙර නිගමන වලට එන්නේ නැතුව ලිපිය අවසානය තෙක්ම කියවන්න. ඉස්සෙල්ලාම අපි ගමු තෙල් සංස්ථාවේ ලාබ පාඩු ගැන විස්තරේ පහත ප්‍රස්ථාරෙන් ඔයාලට පේනවා කොච්චර ලාබයක් හා පාඩුවක් වෙලාද කියලා.

මේ 2015 සිට 2022 අගෝස්තු මාසේ වෙනකම් විතරක් සිදුවෙච්ච ලාබ හා පාඩු. බලන්න පසුගිය අවුරුදු 7ක කාලය ඇතුලත සංස්ථාව ලබලා තියන මුළු ලාබය එකතු කෙලොත් රුපියල් බිලියන 61 වෙනවා ඒ කාලයට තුළ පාඩුව රුපියල් බිලියන 849ක් වෙනවා ඒ කියන්නේ 14 ගුණයකට ආසන්න පාඩුවක්. ඉතින් එක රාජ්‍ය ආයතනයක් මේ වගේ පාඩුවක් ලබනවනං සමස්ථ පාඩු ලබන රාජ්‍ය ආයතන සියල්ලම එකතු කාරම කොච්චර පාඩුවක් ලබනවා ඇතිද ? අපි බංකොලොත් වෙලා ඉතුරු වෙලා ඉන්න එකත් ඇති.හැබැයි ඉතින් මේ පාඩුව ලබන්න විවිධ කාරණා හේතුවෙනවා අකාර්යක්ශම පරිපාලනය , දේශපාලන මැදිහත්වීම්, රජයේ අනෙකුත් පාඩු ලබන රාජ්‍ය ආයතන වලට ණයට තෙල් සැපයීම, රුපියල බාල්දුවීම, ලොක ඛණිජ තෙල්මිල උච්චාවචනය.

තව සමහරු කියනවා අපිට ලාභෙට තෙල් දීල තමයිනේ අපේ තෙල් සංස්ථාව පාඩු වුනේ කියල. ඔබ දන්නවද ලංකාවේ තෙල් වලින් 70%ක් පාවිච්චි කරන්නේ සමාජයේ ඉන්න 30% වෙච්ච පොහොසත්ම පිරිස කියල. ඒ කියන්නේ ඔය කියන තෙල් ලාබෙට දීමෙන් වැඩිපුරම වාසිය ලබාගත්තේ ලංකාවේ ඉන්න ඇති හැකි 30% පමණ පිරිස කියලනේ. හැබැයි වැඩිපුරම ඒකේ පාඩුවට ගෙවන්න ඕන ලංකාවේ ඉන්න දුප්පත්ම මිනිස්සු. මේක සාධාරණද? දැන් එහෙම ලාබෙට තෙල් දුන්නයි කියලත් තෙල් මිල අඩු වුනාද? නෑ නේද?

ලෝක තෙල් මිල කියන කාරනය අත ඇරියත් අනිකුත් සියළුම සාදක වලට ඇගිල්ල දික්වෙන්නේ අපේම පැත්තටමයි. රටක් විදියට අපි ගත්තු වැරදි තීන්දු තීරණ නිසා අපි විහින්ම බංකොලොත් වෙලා ජාත්‍යන්තර හිගන්නෙක් බවට පත්වෙලා තියනවා කියන එක පැහැදිලිව පේන්න තියනවා. ලංකාවේ දුප්පත් මිනිස්සුන්ගේ අධ්‍යාපනයටයි සෞඛ්‍යයටයි අවුරුද්දට වියදම් කරන ප්‍රමාණයට වඩා වැඩි මුදලක් එක ආයතනයක මාස 8කට පාඩු ලබන එක සාධරණීකරනය කරන්න පුලුවන් මොන සමාජ සාධාරණ තර්කනය මතද?

අපි කියනවා නේද ලාබ ලබනවා කියලා බලන්න මේ ප්‍රස්ථාරේ දිහා

මේ සංස්ථාව සතු වත්කම් ගණන සංස්ථාව මේ කාලයේදී උපරිම ලාබ ලබපු වර්ශය 2016 ලාබය බිලියන 54යි එම වසරේදීම සංස්ථාව සතු වත්කම් ප්‍රමාණය බිලියන 210 යි. අපි බිලියන 54ක් හොයාගන්න බිලියන 210ක් වත්කම් ප්‍රමාණයකින්. මොනතරම් භයානක විහිලුවක්ද වත්කමට සාපේක්ශ ලාබය 0.25ක් වගේ ප්‍රමාණයක්.

මේක හන්දියේ ඥානක්කගේ කඩේ උනානනං මෙලහකට කඩේ විතරක් නෙමෙ ඥානක්කවත් කොහොට හරි උගස් තියන්න වෙලා . හැබැයි මේකේ වන්දිය ගෙවන්න ඔනේ හැමදාම සල්ලි දිලා තෙල් ගහගත්තු අපිම තමා. අපි තෙලුත් සල්ලි දීලා ගහගෙන සංස්ථාවේ පාඩු පියවන්න බදුත් ගෙවනවා. මේ දවස් වල වෘතිකයින්ට හිසරදයක් වෙලා තියන උපයන විට බද්ද අරං බලන්න රජය ඒකෙන් ලබන ආදායම රු බිලයන 100 විතර තමා ඇස්තමෙන්තු කරලා තියෙන්නේ හැබැයි සංස්ථාව ඊට 6 ය ගුණයකට වඩා පාඩුයි.

මීටත් බරපතල කාරනය තමා මේ පාඩු අපේ බැංකු පද්දතියට දරන්න වෙන එක. මේ දවස් වල අපි දේශීය ණය ප්‍රතිව්‍යුහකරනය ගැන කතාකරනවා ඉතින් හිතන්න මෙහෙම පාඩු ලබන රාජ්‍ය ආයතන නඩත්තුවට ණය දෙන අප‌ෙ බැංකු පද්දතියට අත්වෙන ඉරනම. එතනත් තියෙන්නේ අපේ සල්ලි, ආපහු පාරක් මේ පාඩු අපේ සල්ලි වලින්ම තමා ගෙවෙන්නේ.

මේකනං ටුටුන්කාමන්ගේ සාපෙට වඩා බරපතලයි කියලා අපිට හිතෙන්නේ.

මේ විදයට රටේ බැංකු පද්දතියත් අරාජික කරලා සුරකින රාජ්‍ය ආරක්ශාව මොකක්ද කියලා අපේ කුඩා මොලේටනං වැටහෙන්නැ. මේකෙන් ආපහු පාරක් තැලෙන්නේ පොඩි මිනිස්සුමයි. වෙලාවකට හිතෙන්නේ මේවා රාජ්‍ය සම්පත්ද රාජ්‍ය කොඩිවිනිද කියලා ඒතරමටම රාජ්‍යයට හා මිනිසුන්ගේ ආර්ථිකයට හානිකර බලපෑමක් මේවා තුළින් වෙනවා. ඒක පිටට පෙන්නේ නැති උනාට අපි ලක්වෙලා තියන උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ පෙන්න පටන් අරං තියනවා ඒක එක අතකින් හොද දෙයක් දැන් මිනිස්සුන්ට තේරෙනවා තමන්ගේ බදු සල්ලි වලට වෙනදේ වත්.

අපි කන පාන් පෙත්තේ රුපියල් 30ක් දීලා බොන ප්ලේන්ටියේ ඉදං ගන්න බදු වලින් නඩත්තු වෙන මේ ආයතන අපිට හරි හමං සේවයක් කරනවද ? කියන ප්‍රශ්ණය අද ගොඩක් දෙනෙක්ට තියනවා.කාලෙන් කාලෙට චන්දෙන් චන්දෙට පත්වෙන ආණ්ඩු ඇමතිලා සභාපතිලට ඔනෙ ඔන විදියට ඔළුගෙඩි ගාන වැඩි කරලා මේ රාජ්‍ය ආයතන බොයිලර් කුකුලු ගොවිපලවල් කරලා ඉවරයි.ඒවායේ අකාර්යක්ශමතාවට ප්‍රධාන හේතුව ඒකයි .

මෙහෙම කියනවට රාජ්‍ය සේවකයෝ අපි ඒක්ක අමනාප වෙන ඒකකක් නෑ ඇත්තටම කාර්යක්ශම වැඩට දක්ශ අවංක රාජ්‍ය සේවකයට මේ පද්දතිය ඇතුලේ කිසිම තැනක් නම් නෑ. ඇමතිට හිතවත් සභාපතිට හිතවත් නැත්තං වෘතියසමිතියට හිතවත් කෙනාට තමා ගොඩක් දුරට මේ ආයතන වල තැන තියෙන්නේ. ඉතින් ආයතනයක් විදියට දිනෙන් දින අගාදයට යන එක අහන්න දෙයක් නෙමෙයි නේද. ඔය ආයතන පාලනය කරන පාලකයින්ට ආයතනය පිළිබද කිසිම හැගීමක් නැත්තේ ඒක ඒයාලගේ නෙමෙයි නිසා. හිතන්නකෝ අපි අපේ බිස්නස් ඒකක් ඔය විදියට හොරාකාලා හොරාකන්න දිලා බංක‌ොල‌ොත් වෙනකං කටබලියන් බලං ඉදීද ? නෑනේ හැබැයි මේ ආයතන පරවේනිගත අම්බලන් වගේ ඔහේ තියනවා කාටවත් කිසිම ගානක් නෑ මොකද මේවා නඩත්තු කරන්නේ ඒයාලගේ සල්ලි වලින් නෙමෙයි අපේ බදු සල්ලි වලින් නිසා.

මේවා කිව්වම ගොඩක් දෙනෙක් අපිට කියන්නේ ඔන්න විකුනං කන්න හදනවා කියලා . ඇත්තටම රජය ඔය ව්‍යාපාර කරද්දි තමයි විකුණං කෑම නියමෙටම වෙන්නේ. නිකං නෙවෙයි අපේ සාක්කුවෙන් බදුත් ඇදල අරං විකුණං කනවා. අපි මේවා පෙන්නා දෙන්නේ විකුනං කන්න නෙමේ නැත්තං මේවා ඇමතිගෙ මුහුදු මංකොල්ලකාර යාළුවොන්ට අරං දෙන්නත් නෙමේ අපි කියන්නේ මෙම ආයතන හැකි ඉක්මනට ප්‍රතිව්‍යුහගතකරණය කරලා මේවල පරිපාලන දුරුවලතා නැති කරලා බොයිලර් කුකුල් තියරිය නැති කරලා KPI අනුව සේවක කලමනාකරනය කරලා මේ ආයතන රටේ ආර්ථිකයට ශක්තියක් දෙන ගැම්මක් දෙන ආයතන බවට පත්කරන්න ඔන කියන එකයි. පෞද්ගලීකරනය කියන්නේ ඒක එක පුංචි කොටසක් විතරයි.

දැන් අපිට බලශක්ති වෙළදපල දෙස පුළුල් දැක්මකින් බලන්න ඔනකාලේ ඇවිත් ලොකයේ ඊගාව ආර්ථික ඇන්ජිම ඒහා වැටේ තියාගෙන අපිට හිගාකන්න වෙලා තියන ඒකනම් එ‌ෙතිහාසික ඛේදවාචකයක්. අපි අපේ බලශක්ති ශේත්‍රය යාවත්කාලීන කරන්න ඔනේ, ඉතින් ඒක රජයකට තනියෙන් නම් කොහොමත් කරන්න බෑ. හිතන්නකෝ තෙල් සංස්ථාව පටන් අරං අවුරුදු 60කට වැඩි තාම තෙල් නැවක් ගෙන්න ගන්න කොච්චර ගේමක් ගහන්න ඔනෙද කියලා. ඉතින් අපිට පුළුල් වැඩපිලිවලක් ඔනේ ප‌ෞද්ගලික අංශයට විවෘත වෙච්ච ඒසමග සම්බන්ද නිදහස් වෙළදපල ක්‍රියාවලියකින් විතරයි ඒ අභියෝගය ජයගන්න පුළුවන්. ඉතින් මේ එන සමාගම් 3නට අපිට චරිත සහතික නම් දෙන්න බෑ දෙන්නෙත් නෑ මොකද ඒ ක්‍රියාවලියේ විනිවිදභාවය පිළිබද අපි දන්නේ නැති නිසා.

නමුත් අපි පෙන්වා දෙන්නේ විනිවිදබාවයෙන් යුතු ස්වාදීන විද්‍යානුකූල වෙළඳපල ක්‍රමවේදයක් මගින් ලංකාවේ බලශක්ති වෙළඳපල විවෘතකල යුතුයි කියලයි. එයට නව නීති සම්පාදනය වෙන්න ඔනේ ඛනිජ තෙල් පමණක් නෙමේ සුනිත්‍ය බලශක්තිය හා පරමානුක බලශක්තිය ගැන පවා අපි අවදානයක් දෙන්න ඔනේ නැතුව තෙල් නැවක් ගේන්න ලොකේ වගේ අනේ කියක් හරි දෙන්නකෝ, කියක් හරි දීලා යන්නකෝ ගගා හිගා කකා දුවන එක නෙමෙයි.ඔය බොහෝ දෙනා කියන ඉන්දියාවේ සහ චීනයේත් පුද්ගලික අංශයට වගේම විදේශ සමාගම් වලටත් බලශක්ති ක්ශේත්‍රය සඳහා ඇතුලත් වෙන්න ඉඩ දීල තියෙන්නේ. ඒ රටවල් වලත් සම්පූර්ණ ඛණිජ තෙල් ව්‍යාපාරය කරන්නේ රජය පමණක් නෙවෙයි.

රටක් දියනු වෙන්න නම් ඒ රටේ ප‌ෞද්ගලික් අංශය නිදහස් වෙන්න ඔනේ වගේම රාජ්‍ය අංශය කාර්යක්ශම වෙන්න ඔනේමයි. රාජ්‍ය අංශය කාර්යක්ශම කරන්න නම් නව තාක්ශනය හා පරිපාලන ක්‍රමවේද හදුන්වලා දිලා බොයිලර් කුකුල් තියරියෙන් අයින් වෙලා KPI පදනම්ව කුඩා එහෙත් දියණු කාර්යක්ශම රාජ්‍ය සේවා පද්දතියක් හදාගන්න ඔනේ. අන්න එතකොට තමා ඇත්තටම අපිට ටුටුන්කාමන්ගේ ඈත්වෙන්න පුළුවන් වෙලා ජාතික සම්පත් පහලවෙන්නේ.

ජනත් පෙරේරා
18/4/2023

සකල ප්‍රශ්න වලට විසඳුම රාජ්‍ය අයිතිය නොවේ

Originally appeared on Facebook

By Rohan Samarajiva

අලුත් ම කතාව නම් මෙබඳු දුෂ්කර අවස්ථාවල ජනතාවට ආහාර සැපයිය හැකි එක ම ක්‍රමය එය වන නිසා රජයට අයත් සිල්ලර වෙළෙඳ ආයතන තිබීම අත්‍යවශ්‍ය බව යි. ඊට පෙර කීවේ, චීනයේ සිර වී සිටි සිසුන් මුදාගැනීමේ එක ම ක්‍රමය එය වන නිසා මහජන මුදල් ගිලදමන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම අවශ්‍ය බව යි. ඉතා ම දැනුම් තේරුම් ඇති උදවිය පවා හැම ප්‍රශ්නයට විසඳුම ඍජු රාජ්‍ය මැදිහත්වීම සහ රාජ්‍ය අයිතිය ඇති සමාගම් යැයි පිළිගැනීමට පෙළඹෙති.

ඇඳිරි නීති අවස්ථාවේ ආහාර සැපයුමේ ඒකාධිකාරය සතොස හා ලක් සතොස ආයතනවලට ලබාදීම හේතු ගණනාවක් නිසා වැරදි ය. පළමුවැනි කරුණ නම් කොතරම් කැපවීමෙන් හා කාර්යක්ෂම ලෙස ක්‍රියා කළ ද, දශ ලක්ෂ 5.4ක් කුටුම්භවලට සැපයුම් ලබාදීමට ඔවුන්ට හැකියාවක් නොවීම යි. සාමාන්‍ය තත්ත්වයේ දී සැපයුම්කරුවන් රාශියක් විසින් භාණ්ඩ සැපයු වෙළෙඳපොළට සැපයීම් කිරීමට මුළු වෙළෙඳපොළෙන් කුඩා කොටසක් පමණක් හිමිව සිටි සැපයුම්කරුවකුට හදිසි නීතිය තිබු පමණින් හැකියාව ලැබෙතැයි බලාපොරොත්තු වීම යථාර්ථවාදී නොවේ. එයට අවශ්‍ය සැපයුම් දාමය හෝ ධාරිතාව ක්ෂණයකින් සකසා ගැනීමට සතොසට හැකිවන්නේ නැත.

දෙවැනි කරුණ වන්නේ, ආණ්ඩුවේ ක්‍රියාකාරීන් විසින් තීරණය කරනු ලබන සම්මත බඩු මල්ල ලෙස වුවද, භාණ්ඩ මිල දී ගැනීම සඳහා ජනතාව අත මුදල් තිබිය යුතු වීම යි. පෞද්ගලික සිල්ලර වෙළෙඳුන්ට තම ව්‍යාපාර වසා තැබීමට සිදු වුවහොත් ඔවුනට සේවය කරන සේවකයන්ට මෙන් ම ඔවුන්ට සැපයුම් කරන ආයතනවල සේවකයන්ට ද රැකියා අහිමි වන අතර ඒ නිසා ම ඔවුන් අත මුදල් නැති වෙයි. දශ ලක්ෂ 5.4ක් වූ කුටුම්භ වෙත තම සම්මත බඩු මල්ල සැපයීමට යම් හෙයකින් සතොස සමත් වුව ද , එය මිල දී ගැනීමට ගැනුම්කරුවන් අත මුදල් නොමැති වුවහොත් සියල්ල නිෂ්ඵල බවට පත්වෙයි. කෙනකු අතේ මුදල් නැත්නම් ඔහුට හෝ ඇයට පරිභෝජනය කළ නොහැකි වෙයි.

තෙවැනි කරුණ නම් ආණ්ඩුව තීරණය කරන දේ පරිභෝජනයට මහජනයා පොළඹවා ගත හැකිය යන අදහස ම වැරදි එකක් වීම යි. 1970-77 කාලයේ දී බොහෝ දේ සිදුවුයේ ඒ ආකාරයෙනි. නමුත් මේ අද කාලය යි. ඒ අඳුරු අතීතය අභිබවා අප ඉදිරියට ගොස් ඇතැයි බලාපොරොත්තු විය යුතු ය.

සතොස වලිප්පුවට පහසු විකල්පයක් වන්නේ යම් අධීක්ෂණයක් යටතේ ක්‍රියාත්මක වීමට විශාල සුපිරි වෙළෙඳ ජාලවලට ඉඩ ලබාදීම යි. සැපයුම් ජාලය පවත්වාගෙන යාමේ සහ විද්‍යුත් වෙළෙඳාමේද හැකියාව (කීල්ස් වෙබ් අඩ්විය බිඳවැටී තිබුණ ද) ඔවුන් සතු ය. ඇඳිරි නීතිය ට පෙර සහ අතරතුර පාරිභෝගික ඉල්ලුම උච්චවු අවස්ථාවල ඔවුහු විශාල සේවයක් කළහ. හුරු පුරුදු වෙළෙඳ ආයතනවලින් මිල දී ගැනීමට ඉඩ දුන් විට විවේචනය කරන පන්ති ද නිහඬ වනු ඇත. එම ආයතන ඇත්තේ කිහිපයක් නිසා, ඇඳිරි නීති අවස්ථාවේ අනවසර ගමන් පාලනය අතින් හෝ මේවා නියාමනය කරගැනීම පහසු ය. 1989 දී ජවිපෙ එය රට පුරාම කළේ ය. 90,000 ක පොලිස් බලකායකට අද එය කළ නොහැක්කේ ඇයි ?

හොඳම තත්ත්වය නම් ආණ්ඩුව පහසු විකල්පවලට සීමා නොවීම යි. කුඩා මට්ටමේ සිල්ලර වෙළෙඳුන් කෙසේ හෝ පවත්වා ගෙන යා යුතු ය. පාරිභෝගිකයාට කිට්ටු ඔවුහු විශාල සේවයක් කරති. සෑම කුඩා කඩයක් ම ජීවනෝපාය රාශියකට ආධාර වෙයි. එසේ වුව ද ඒවා නියාමනය කිරීම අපහසුය. දන්න අඳුනන ළඟ පාත ගැනුම්කරුවන්ට ඇඳිරි නීතිය තිබියදීත් බඩු විකිණීමට ඔවුන් පෙළඹෙනු ඇත.

නියාමනයක් කුමටද?

එකිනෙකා අතර පවත්වා ගත යුතු දුරස්ථ භාවය තබාගන්නේ නැති ව පහසුවෙන් ජනයා එහා මෙහා යන තත්ත්වයක් ඇති වුවහොත්, රටට හා ජනතාවට විශාල ආර්ථික හානියක් ඇතිකරන ඇඳිරි නීතිය පවත්වාගෙන යාම අර්ථ ශුන්‍යවෙයි. පහුගිය දවස් වල සමහරු බෙහෙත් වට්ටෝරු පෙන්වා නෑ මිතුරන් ආශ්‍රය කරන්නට ආ ගිය බව පෙනෙන්නට තිබිණි. රජයේ ඔසුසල් හැර සියලු ම ඖෂධ අලෙවිසල් වසාදැමීම තරම් දරුණු තීරණයකින් තොරව මෙය පාලනය කළ හැකිව තිබිණි. කරුණු සොයා බලා නිකුත් කරන හදිසි නීති බලපත්‍ර මෙයට සරල විසඳුමක් නොවන්නේද? නමුත් අසාධාරණ ලෙස මේවා නිකුත්කිරීමට විරුද්ධ ආරක්ෂාවක් ලෙස දුන්නේ කාටද කිනම් හේතුවකට යන්න අන්තර්ජාලයේ පල කල යුතුය.

නියාමනයට තවත් හේතුවක් විය හැක්කේ මිල පාලනයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයයි. ටින් මාළු සහ පරිප්පු සඳහා නියම කළ යථාර්ථවාදී නොවන මිල ගණන් වල ස්වභාවික ප්‍රතිඵලය වන්නේ සලාක ක්‍රම, සැපයුම අඩුවීම හෝ නැතිවීම සහ කළු කඩ ඇතිවීමයි. සලාක පවත්වා ගැනීම සහ පාඩුවට විකිණීම යන දෙක ම රජයට අයත් සිල්ලර වෙළෙඳ ආයතනවලට පහසුවෙන් කළ හැකි ය. රජයට අයත් ආයතන පවත්වාගැනීමට හේතුව එය ම බව කෙනෙකුට කිව හැකි ය. තම වියදම පියවා නොගත්තොත් බංකොලොත් වන පෞද්ගලික ආයතනවලට මෙන් නොව එපා කියන තෙක් පාඩු පිට විකිණීමට රජයට අයත් සිල්ලර වෙළෙඳසල්වලට හැකියාව ඇත. ඔවුන්ගේ පාඩු භාණ්ඩාගාරය, එනම් අප, විසින් දරනු ඇත.

රාජ්‍ය අයිතියට කළ නොහැකි එක දෙයක් නම් කළු කඩ නැතිකිරීමයි. 1970-77 කාලයේ පෙන්නුම් කළ පරිදි , දුර්ලභ භාණ්ඩ සඟවාගැනීමත් ඒවා වැඩිමිලට විකිණීම හෝ බලවතුන්ට අනුග්‍රහ ලෙස ලබාදීමත් සිදුවිය හැකි ය (සතොසේ සේවය කල මර්වින් සිල්වා දේශපාලනයට ප්‍රවේශවුනේ මේ ක්‍රමයෙන් බව තතු දන්නෝ කියති). පරිප්පු සහ ටින් මාළු කළුකඩ ජාවාරම දැනටමත් ආරම්භ වී තිබිය හැකි ය.

තරඟකාරී වෙළෙඳපොලක දී මිල පාලනය අවශ්‍ය නැත. ඇඳිරි නීතිය තුළ ලබාදෙන කාල සීමාවල දී හෝ බඩු බෙදාහැරීමේ දී සැපයුම්කරුවන් වැඩි ප්‍රමාණයකට ඉඩ ලබාදෙමින් ක්‍රියාත්මක කළ හැකි අසම්පූර්ණ හෝ තරඟකාරීත්වයක් පවත්වාගෙන යා හැකි ය.

රාජ්‍ය අයිතිය යෝජනා කිරීමේ ඇත්ත හේතුව

ආණ්ඩුවේ දැන් සිටින ප්‍රධාන තීරණ ගන්නා උදවිය අතරින් වැඩි දෙනෙකු හැදුණු වැඩුණු කාලය වන්නේ 1960 සහ1970 ගණන් ය. අඛණ්ඩව අළුත් දේ ඉගෙනීම පුරුද්දක් කර නොගත් උදවිය ඇද වැටෙන්නේ තමන් හැදුණු වැඩුණු කාලයේ උකහාගත් අදහස් වෙතට යි. කීර්තිමත් ආර්ථික විද්‍යාඥ ජෝන් මේනාඩ් කේන්ස්ට වඩා හොඳින් මේ ව්‍යාධිය මට විස්තර කල නොහැක.

“ ආර්ථික විද්‍යාඥයන්ගේ සහ දේශපාලන දාර්ශනිකයන්ගේ අදහස් , එවා නිවැරදි වන විට හා ඒවා වැරදි වන විට යන අවස්ථා දෙකේ දීම, අප පොදුවේ තේරුම් ගන්නවාට වඩා බොහෝ බලවත් ය. සත්‍ය වශයෙන්ම ලෝකය පාලනය කරන වෙනත් දේ නැති තරම්ය. කිසිදු බුද්ධිමය බලපෑමකට තමන් හසු වී නැතැයි විශ්වාසකරන ප්‍රයෝගික මිනිස්සු, සාමාන්‍යයෙන් කිසියම් අක්‍රිය ආර්ථික විද්‍යාඥයකුගේ වහල්ලු වෙති. සුළගේ එන හඬවලට සවන් දෙන, බලයේ සිටින පිස්සු මිනිසුන් තම උමතුව පෙරාගන්නේ වසර ගණනකට පෙර ලියැවුණු ඇතැම් ශාස්ත්‍රීය ලියැවිලිවලිනි. අදහස්වල බලපෑම ව්‍යප්තවීම හා සසඳන විට පාර්ශවකරුවන්ගේ බලය විශාල ලෙස අතිශයෝක්තියට නඟා ඇති බව මගේ විශ්වාසයයි.

වයස අවුරුදු විසිපහ හෝ තිහ ඉක්මවූ පසු නව න්‍යායන්ගේ බලපෑමට ලක් වූ වැඩි පිරිසක් නැත. එබැවින් වත්මන් සිදුවීම් සඳහා රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයන් මෙන් ම උද්ඝෝෂකයින් පවා යොදාගන්නා අදහස් අලුත් ඒවා නොවේ. ඉක්මනින් හෝ කල් පසු වී, හොඳට හෝ නරකට බල පාන්නේ අදහස් ය.”

ප. ලි.

ආණ්ඩුවේ බලධාරීන්ගේ රාජ්‍ය කේන්ද්‍රීය සැලසුම් අසාර්ථක වන බව පෙනී පෙනී බකන් නිලා නොසිට තම දිවි පෙවෙත රැකගැනීමටත්, එමගින් ජනතාවගේ සාගින්න නිවීමටත්, සුළු ව්‍යාපාරිකයෝ උත්සුක වූහ. මධ්‍යම ආණ්ඩුවේ සහ වැඩ බලන පොලිස්පතිගේ නියෝග පසෙකින් තබා තමන්ගේ ප්‍රදේශ වල කඩ ඇරීමටත් බට්ටෝ වීල් යනාදිය මගින් වෙළෙඳාම කරන්නටත් ජනතාවට සමීප නිලධාරීහු ඉඩ දුන්හ. දඹුල්ලේ එළවලු අලෙවි කරගන්නට බැරි වීමෙන් විදහා දැක්වෙන සැපයුම් දාම වල ගැඹුරු ප්‍රශ්න ඉක්මණින් නොවිසඳුව හොත් මෙම තාවකාලික පැලැස්තර ගැලවෙන්නට ඉඩ ඇත. එසේ නොවේවා යයි අපි පතමු.