පොහොසතුන් දුප්පත් කරන, දුප්පතුන් තවත් දුප්පත් කරන ඉහළ නගින ජීවන වියදම

ලංකාවේ ආර්ථිකය ගැන දැන් බලද්දී මට මහාචාර්ය රොහාන් සමරජීව ඇඩ්වොකාටා ආයතනය ගිය අවුරුද්දේ නොවැම්බර් වල පවත්වපු “ආර්ථිකයට ජාතික සම්මුතියක්” සම්මන්ත්‍රණයේදී කියපු පොඩි ප්‍රකාශයක් මතක් වෙනවා. මහාචාර්යතුමා ප්‍රකාශ කලේ අපේ මේ ආර්ථික අර්බුදය සුළි කුණාටුවක් කියලා හිතුවොත් අපි තාමත් ඉන්නේ ඒ කුණාටුවේ පටන් ගැන්මේ. දැන් ඉතින් අපි ඉන්නේ මේ අවුරුද්දේ 7 වෙනි මාසේ, ඒ වගේම අපේ ආර්ථික අර්බුදය උත්සන්න වෙමින් තියෙන කාලෙක. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ ජූනි මාසයට නිකුත් කරපු දත්ත වලට අනුව ලංකාවේ උද්ධමනය(inflation) 54.6% වෙද්දී ආහාර උද්ධමනය 80.1% ක් වෙනවා. මේ අවුරුද්ද පටන් ගන්නකොට ජනවාරි මාසයේදී, ලංකාවේ උද්ධමනය 14.2%ක් වෙද්දී ආහාර උද්ධමනය වුනේ 25% ක් විතරයි. ඒ කියන්නේ මේ මාස පහ ඇතුලත ලංකාවේ උද්ධමනය 40.4% කින් හා ආහාර උද්ධමනය 55% කින් ඉහළ ගිහින් තියෙනවා.(දැන් ඉතින් මේක කියවන ආර්ථික විද්‍යාව නොදන්නා අය බලනවා ඇති මේ උද්ධමනය කියන්නේ මොකක්ද කියලා. උද්ධමනය කියන්නේ යම් කාල සීමාවක් තුළ භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යෑම. උද්ධමනය වැඩි වෙනවා කියන්නේ මිනිස්සුන්ට බඩු මිලදී ගන්න පුළුවන් හැකියාව අඩුවෙනවා කියන එකයි.) මෙහෙම බලනකොට මේ අවුරුද්දේ ජුනි මාසය වෙද්දී අපේ රටේ පුද්ගලලෙයුකුට ආහාර මිලදී ගන්න තියෙන ආර්ථිකමය හැකියාව 55%කින් පහළ වැටිලා තියෙනවා. 

තෝරාගත් භාණ්ඩ කිහිපයක මිල 2021 හා 2022 අතර වෙනස් වී ඇති ආකාරය පහත වගුව තුලින් ඔබට බලා ගන්න පුළුවන්. (facebook එකේ articel එක කිය වන අය comment section එකට යොමු වෙන්න)..

මේ දරුණු ලෙස ඉහළ යන ජිවන වියදමට බලපාන හේතු කිහිපයක් තියෙනවා. සල්ලි අච්චු ගැසීම ප්‍රධානම ලෙස බලපානවා වගේම, මීට අමතරව කොවිඩ් වසංගත තත්ත්වය නිසා ඇති වූ අහිතකර බලපෑම, රුසියානු-යුක්ක්‍රෙන් යුද්ධය, විදේශ විනිමය හිඟකම වැනි කාරණා ගණනාවක් මේකට බලපානවා. මේ කාරණා ගැන ඔයගොල්ලෝ කවුරුත් දන්නවා ඇති. වෙච්ච දේ වුනා කියලා හිතාගෙන මේකෙන් ගොඩ එන්න විදියක් හිතන්න ඕනේ නිසා, මේ ඉහළ යන ජීවන වියදම පාලනය කරගන්නේ කොහොමද, ඒ සඳහා තියෙන විසදුම් මොනවද කියන එක ගැන ඔයගොල්ලොන්ට අදහසක් දෙන්න මම උත්සහ කරනවා. 

අපි කවුරුත් දන්න විදියට, ජිවන වියදම ඉහළ යන්න බලපාන ප්‍රධාන එක හේතුවක් වුනේ  මුදල් අච්චු ගැසීමයි. 2022 අවුරුද්දේ මුල් මාස හතරේ මහ බැංකුව විසින් රු.බිලි.588 මුද්‍රණය කරලා තියෙනවා. මුදල් අච්චු ගහන්නේ රටේ අදායමට වඩා වියදම වැඩි වෙනකොටයි. ඉතින් loans ගන්න බැරි වෙනකොට, ණයට මුදල් ගන්න බැරි වෙනකොට වියදම් පියවන්න මුදල් ඕනේ නිසා සල්ලි අච්චු ගහනවා. ඉතින් මේක නවත්ත ගන්න නම් අනිවාර්යෙන්ම රජයේ වියදම් කපා හරින්න ඕනේ. සල්ලි අච්චු ගහලා රාජ්‍ය සේවකයින්ගේ පඩි ලබා දීම, රාජ්‍ය අංශය නඩත්තු කිරීම නවතන්න ඕනේ. මෙහෙම පඩි ගෙවන්න රජයට මුදල් අච්චු ගහන්න ඕනේ වෙන්නේ නැහැ රාජ්‍ය ආයතන ලාභ ලබනවානම්.   

2021 ලංකාවේ වැඩිම පාඩු ලබන රාජ්‍ය සතු ව්‍යාපාර 5 වුනු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව,ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම,ලංකා ගමනා ගමන මණ්ඩලය ,ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ලැබූ මුළු පාඩුව රු.බිලි. 281 ක්. ඉතින් මෙහෙම පාඩු ලබද්දී මේවා නඩත්තු කරන්න මුදල් අච්චු ගහන්න වෙනවා කියන එක අරුමයක් නෙවෙයි. අපි මේ කාලය තුළ රජයේ වියදම් පුළුවන් තරමින් අඩු කරන්න ඕනේ. රජයේ අනවශ්‍ය වියදම් කපා දාන්න ඕනේ. ඒ වගේම රාජ්‍ය ආයතන වල කාර්යක්ෂමතාවය ඉහළ නංවන්න ඕනේ. මේ අංශයට සිදු කෙරෙන දේශපාලනික පත්කිරීම් නැවැත්විය යුතු වෙනවා වගේම, ආයතනයේ පවතින අවශ්‍යතාවන්ට අනුව පමණක් සේවකයින් බඳවා ගන්න ඕනේ. ඒ සදහා අවශ්‍ය ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ පවා අපිට කරන්න වෙනවා.

එතකොට මේ පාඩු ලබන රාජ්‍ය ආයතන වෙනුවෙන් වැය කරන මුදල් ප්‍රමාණය අඩු කරගත්තොත් මේ ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්වෙලා ඉන්න දුප්පත් ජනතාවට අවශ්‍ය සමාජ ආරක්ෂණ පද්ධතියක්  ස්ථාපිත කරගන්න පුළුවන්. ලංකාවේ ආර්ථිකය ගැන මත පල කරන ආර්ථික විශ්ලේෂකයින්ගේ අදහස් වලට අනුව මේ ආර්ථික අර්බුදය හේතුවෙන් රටේ පොහොසත් අයත් දුප්පත් වෙනවා, ඒ වගේම දුප්පත් මිනිස්සු තවත් දුප්පත් වෙනවා. 

ඔයගොල්ලොන්ට පේනවා ඇති මේ සෑම සිදුවීමක්ම එකකට  එකක් සම්බන්දයි, හරියට නිකන් දම්වැලක් වගෙයි. ජිවන වියදම අඩු කරන්න බැහැ , උද්ධමනය අඩු කරන්නේ නැතුව. උද්ධමනය අඩු කරන්න රාජ්‍ය වියදම අඩු කරන්න ඕනේ. මේක කරන්න පුළුවන් ආර්ථික ප්‍රතිසංස්කරණ වලින් විතරයි.  

අපි පුන පුනා කියන දෙයක් තමයි මේ වගේ අර්බුද එන්නේ, අර්බුද 5ක package එකක් විදියට. ඒ කියන්නේ ඩොලර් නැති වීමේ අර්බුදය, ණය අර්බුදය, මුල්‍ය පද්ධතියේ අර්බුදය (මේක හටගන්නේ රාජ්‍ය සතු ව්‍යාපාර ණය ලබා ගැනීමේදී ඇප වෙලා තියෙන්නේ රජය), දේශපාලන අර්බුදය හා මානුෂිය අර්බුදය. මේ අර්බුද පහම වර්තමානය වෙනකොට ශ්‍රී ලංකාව අත් විඳිමින් තියෙනවා.රජය අවශ්‍ය ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ සිදු නොකෙරුවොත්, මේ අර්බුද තවත් එන්න එන්නම දරුණු වෙනවා.

මේ ප්‍රතිපත්තිමය වෙනස් කිරීම් සිදු කිරීමට අපි දැනටමත් ප්‍රමාද වැඩී. නමුත් දැන්වත් අපි මේ වෙනස්කම් සිදු කරන්න ඕනේ. දැන් තියෙන තත්ත්වය අනුව බඩු ලබා ගන්න පෝලිම් වල ඉන්න ඕනේ, නමුත් මේ වෙනස්කම් සිදු නොකලොත් අපිට කන්න අවශ්‍ය බඩුවත්, බෙහෙත්වත් තියෙන එකක් නැහැ. 

මේ ගෙවෙන්නේ තීරණාත්මක කාලයක්. ඉතින් අපි මේ අර්බුදයෙන් සදාකාලිකවම ගොඩ එන්න අවශ්‍ය දේ කල යුතුයි. ඒ තමයි දුප්පත් මිනිසුන්ට අවශ්‍ය සමාජ ආරක්‍ෂණ ජාලා ගොඩ නැගීම, ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගන්න පාඩු ලබන රජය සතු ව්‍යාපාර පුද්ගලිකරණය කිරීම්. ඒ වගේම අපේ මුල්‍ය වෙළෙදපොළ තුළ නැවතත් මින්නිසුන්ගේ විශ්වාසය ඇති කිරීම සඳහා මහ බැංකුව ස්වාධින ආයතනයක් කිරීමට අවශ්‍ය ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ කිරීම. 

අපිවත් අපෙන් පස්සේ බිහිවෙන අනාගත දරුවන් මේ ප්‍රශ්නයට නැවතත් මුහුණ නොදෙන ආකාරයට අවශ්‍ය වෙනස්කම් ආර්ථිකයට සිදු කරන්න ඕනේ. 

2022.07.05

තත්සරණි සිරිවර්ධන