ලංකාව කියන්නේ ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ඉහළ සංස්කෘතියකින් පරිපූර්ණ වංචාව දූෂණයෙන් තොර ධර්මිෂ්ඨ රටක්. ඇත්තටම හිනා යනවා නේද? බුදුනුත් තෙවරක් වැඩි, හතර පෝයටම සිල්ගන්න… ගුණවත් නැණවත් පිරිසක් තමයි ලංකාවේ ජීවත් වෙන්නේ… හැම හොද වැඩක් ම පටන් ගන්නෙත් බුදුන්ට මල් තියලනෙ, නිකන් හරියට ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වගේ. ඇයි දන්නවද එහෙම කිව්වේ… අල්ලස සහ දූෂණය අතින් රටවල් අතර ප්රමුඛ රටක් බවට සිරිලංකාව පත්වෙලා හමාරයිලු…
ඉතිං අපි බලමු අල්ලස හා දූෂණය කියන්නේ මොකක්ද කියලා... අල්ලස කියන්නේ පගාවනේ…සාමාන්‍යයෙන් අපි දන්නේ ජරාව කනවා කියල… අද ජරාව නොකන මනුස්සයෙක් මේ ලෝකේ නැතිම තරම්… ලාභ ප්‍රයෝජන තකා අනෙකාගේ රීරි මාංශ උරා බීමට තරම් පෙලඹෙන සත්ව කොට්ඨාසයක් බවට මිනිසුන් පත්වෙලා. ඒ ඔස්සේ තමයි දූෂණය පිළිබඳවත් කතාව එන්නෙත්…සරලවම කිව්වොත් දූෂණය කියන්නේ පැවරී ඇති බලතල පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා අයථා ලෙස යොදාගන්න එකනේ... මෙම තත්ත්වය ලංකාවේ විතරක් නෙවෙයි, ආසියාවේ ඉහළ තැන සිට පහළ තැන දක්වාම හොර රහසේ සිදුවන දෙයක්.
රාජ්‍ය අංශයේ ඉහළ නිලධාරීන් සහ ලංකාවේ දේශපාලඥයින්,පොලිසිය වැනි අය රාශියක් අල්ලස සහ දූෂණය රජකරවන අයවලුන් බවට පත්වෙලා.මහ බැංකු වංචා,සුදු ළූණු වංචා,සීනි වංචා එකී නොකී වංචා. ඒත් ඉතිං මේ අය වේදිකාවල රඟන්නේ හරියට උපාසක බළල්ලු සිල් ගන්නවා වගේ. අර නිකං කියමනකුත් තියෙන්නේ කකුළු අම්මා පැටවුන්ට කෙළින් යන්න කියනවා වගේ කියලා…
අපි පොඩ්ඩක් බලමු ලංකාව ලෝකයේ දූෂණය අතින් කීවෙනි තැනක ඉන්නවද කියලා…"ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් එක කියන්නේ නම් 2021 වසරේ ලංකාව ලෝකයේ රටවල් 180ක් අතරින් 102 කියලයි. ඒ කියන්නේ දූෂණ ප්‍රමිතිය (Corruption Rank)102 යි.දූෂණ දර්ශකය(Corruption Index) 37යි.වසර 10ක් පුරාවට ලංකාවේ සිදු වුණු දූෂණ ශ්‍රේණිගත කිරීම පහත ප්‍රස්තාරයෙන් ඔයාලට දැකගන්න පුලුවන්.
(මූලාශ්‍රය:ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්)
අල්ලස සහ දූෂණය රටක සංවර්ධනය අඩාල කරවන ආර්ථිකය සීඝ්රයෙන් පහළට ඇද දමන ක්‍රියාවක්… දූෂණය වංචාව අද ලංකාවේ සුළු පරිමාණයෙන් හා මහා පරිමාණයෙන් සිදුවෙනවා. ඒත් රාජ්‍ය පාලකයින් ඇහැ කන වහන් ඔහේ බලන් සිටීම කණගාටුවට කාරණයක්… ඒත් කියන්නෙනම් මේක තනි සිංහල බෞද්ධ රටක් කියල.
රටක් සංවර්ධනය වෙන්න ඕනේ..අධිවේගී මාර්ග, පාලම්, ගොඩනැගිලි හැදෙන්න ඕන. ඒත්,තමුන්ගේ ලාභ ප්‍රයෝජන තකා අහිංසක ජනතාවගේ මුදල් යටිමඩි ගැසීම එතරම් හොඳ දෙයක් නොවන බවත් දැනගන්නම ඕන… එහි ඵල විපාක අප අද වන විට ඇස් පනා පිටම විදවමින් සිටිනවා..
ඩොලර් නොමැතිව පත්ව ඇති ආර්ථික අර්බුදය ගෙවා නිම කරගත නොහැකි තරමට ණය කඳු ගොඩගැහිලා…ලෝක බැංකුව කියන විදියට මේ වෙනකොට(2022) දරිද්‍රතාවය 11.7% දක්වා ඉහළ ගිහින්.ඒ නිසා අද ශ්‍රී ලංකාව දුප්පත්කමේ රේඛාවෙන්(poverty Line)පහළ මට්ටමකට ඇද වැටිලා තියෙනවා.අම්මලාට දරුවෙක්ට කිරිවීදුරුවක් දී ගන්න බැහැ…පාසල් දරුවෝ දවල් කෑමට කුරුම්බා මද කනවා.එදා වේල හොයා ගන්න බැරි මිනිසුන් හොරකම් වලට පෙලඹිලා… දරුවන් පාසල්වල නොකා නොබී සිහිසුන්ව ඇද වැටෙනවා...වැඩිහිටියෙක්ට බෙහෙත් පෙත්තක් මිලට ගන්න බැරි වෙලා… අනෙකාගේ දුක තේරුම් නොගෙන තම බඩ කට පුරෝගන්න ගිහින් අද ලංකාවම නරකාදියක් බවට පත්වෙලා.
දූෂණය ඇත්තටම මනුෂ්‍යත්වයට එරෙහි සාපරාධී වරදක්..... ඇත්තටම සුද්දා අපිට දීලා ගියේ ණය නැති රටක්නේ.ඒත් ඉතිං අපේ රටේ පාලකයින් වසර පහෙන් පහට මේ රට තුළ විශාල ණය බරක් ඇති කරලා... එම ණය බර ඇති වීමට ප්‍රධානතම හේතුව තමයි මේ දක්වා රට සංවර්ධනය කරනවා කියමින් ගත් විදේශීය ණය වලින් විශාල ප්‍රමාණයක් රට පාලනය කරපු අය හොරා කෑම.
හැබැයි ඒ හොරා කෑම වෙන්නේ තරඟකාරී වෙළදපොළක් නැති වෙන තැන. සාර්ථක වෙළදපොළක් ඇතුළේ හොරකම් කරන කෙනාගේ භාණ්ඩයේ මිල වැඩි වෙනවා. කල් පවතින්න බෑ. අපේ ගොඩක් අය හොරකම් කරන්නේ වෙළදපොළ වහලා සහ විකෘති කරල. කොහොම හරි අන්තිමේදී සිදුවුණේ ඉතිං වංචාව හා දූෂණය රජ කරගෙන රට ආර්ථික අර්බුදයෙන් මිරිකී තව තවත් අගාධයටම ගෙන ගොස් අතහැරීමක්.
මේ නිසා රටේ උද්ධමනය 70% වැඩිවෙලා.විදේශ ආධාර,ආයෝජන නවත්තලා.ආදායම් බෙදී යාමේ විෂමතාවක් ඇතිවෙලා.ඇත්තම කිව්වොත්, දූෂණය වන පරිමාණය මත තමයි රටක් සංවර්ධිත ද සංවර්ධනය වෙමින් පවතින ද ඌන සංවර්ධිත ද කියලා කැටගරි වෙන්නෙ. ඉතිං හිතන්නකෝ දශක ගනනාවක් තිස්සෙ ලංකාව ඇයි සංවර්ධනය වෙමින් පවතින්නෙ කියලා...ඔයලාට ජීවන වියදමට සරිලන වැටුපක් ලැබෙනවද?ජොබට සරිලන පඩියක් තියෙනවද? දැන් පේනවානේ රටකට වෙච්ච දෙයක්.තවත් ඇස් කන් වහන් බලන් ඉන්නකෝ… එතකොට අනාගත පරපුරට ලස්සන රටක් ඉතුරු වෙයි.අල්ලස හා දූෂණය ලංකාවෙන් අතුගා දාන්න රජයන් පියවර ගත්තත් ඒවා හරියට කරනවද නැද්ද යන්න සැකයක් තියෙනවා.මොකද නැත්නම් මේ වගේ ආර්ථික අර්බුදයකට අද පත්වෙන්නෑනෙ.
නිදහස් ආර්ථික සමාජය සංවර්ධනය උදෙසා අල්ලස සහ දූෂණය පුලුවන් තරමින් අඩුකරමින් යහපත් දේශයක් ගොඩනැගීමට කටයුතු කළ යුතු වෙනවා.. ඒ සඳහා අදාළ නීතිරීති තද කරමින් ඒවාට ගරු කරන පිරිස් නිර්මාණය කිරීමට රජය පියවර ගැනීම ඉතාමත් වැදගත්.ඒ වගේම අසාධාරණයට එරෙහිව හඬ නැගීමට මිනිසුන් විදියට අපටත් ශක්තිමත් කොදු නාරටියක් අවශ්‍යය වෙනවා.එමගින් ආර්ථිකය අතින් ස්ථාවර සංවර්ධිත රාජ්‍යක් ගොඩනගා ගැනීමට පුලුවන්.
දුෂාණි එදිරිසිංහ
2022.10.14