දවස් පහක බැංකු නිවාඩුවක් දීලා කරපු ණය ප්‍රතිව්‍යුහගතකරණය කියන්නේ මොකක්ද?

මේ දවස්වල බොහෝ ම උණුසුම් මාතෘකාවක් වුණේ දවස් පහක් එක දිගට බැංකු වහන්නේ ඇයි කියන එක. මේ නිවාඩුව ගැන නොයෙක් අය නොයෙක් දේවල් කියන්න ගත්ත නිසාම මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහත්මයා පැහැදිලි කිරීමක් කරමින් තහවුරු කළා මේ ගෙවෙන දවස් පහක නිවාඩු කාලය තුල ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමක් සිදු කෙරෙනවා වගේම ඒ නිසා බැංකුවල මුදල් තැන්පත් කරලා තියෙන කාටවත් මේ ගැන අනිසි බයක් ඇති කර ගන්න ඕන නෑ කියලා. දේශපාලන වේදිකාවල, විද්වත් කතිකාවත්වල වගේම මඟ තොටේ කඩපිලේ හැම තැනකම වගේ දවස් පහක නිවාඩුව ගැන කතා වුණා. ඒ විතරක් ම නෙවෙයි මුලින් ම ණය ප්‍රතිව්‍යුහගතකරණය කරනවා කියද්දි දේශීය ණය ගැන කතා නොවී ඉඳලා දැන් ඇයි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයක් ඕන වෙලා තියෙන්නේ කියන කාරණය ගැන හුඟක් අයට ගැටළු තියෙන බව ඒ කතාවලින් තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය නිසා සේවක අර්ථසාධක අරමුදලට, සේවක භාරකාර අරමුදලට හෝ සාමාන්‍ය ඉතුරුම් තැන්පතුවලට බලපෑමක් වෙනවද කියන ගැටළුවත් හුඟක් අයට තියෙනවා. ඒ නිසා ඒ හැම ප්‍රශ්නෙකට උත්තරයක් මේ ලිපියෙන් අපි අරගෙන එනවා. එහෙනම් අපි මුලින්ම බලමු මොකක්ද මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කියලා කියන්නේ.

 

ණය ප්‍රතිව්‍යුහගතකරණය කියන්නේ මොකක්ද?

සරලවම කියනවා නම් කෙනෙක් ණයක් ගනිද්දි ඒ ණය මුදල ආපහු ගෙවීම සම්බන්ධයෙන් යම් යම් කොන්දේසිවලට එකඟ වෙනවා. උදාහරණයක් හැටියට රුවන් කමල්ගෙන් රුපියල් 10,000ක ණයක් ගන්නවා, එතනදි කමල් කියනවා මට මේ ණය මුදල ආපහු මාස දෙකකින් 10% ක පොලියකුත් එක්ක ගෙවන්න කියලා. අපි හිතමු මේ මාස දෙකක කාලය ඉවර වුණත් රුවන්ට ණය මුදල ගෙවන්න පුළුවන්කමක් නෑ කියලා. එතනදි රුවන් ගත්ත ණය මුදල ආපහු ගෙවන්න සහනදායී කොන්දේසි ඇති කරගන්න රුවන් සහ කමල් අතර එකඟතාවක් ඇති කරගන්න පුළුවන්. මේ වගේ දේකට තමයි ණය ප්‍රතිව්‍යුහගතකරණය කියලා කියන්නේ. ඒ වගේ තීරණයකින් ණය ගත්ත රුවන්ට (ණය ගැතියා) සහ ණය දුන්න කමල්ට (ණය හිමියා) කියන දෙන්නටම වාසිදායක වෙන තීරණයකට එන්න පුළුවන්. මොකද ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම නිසා මුළු මුදලම නොගෙවා ඉන්නවා වෙනුවට ණය මුදල යම් යම් සහන ඔස්සේ ආපසු ගෙවීමට හැකියාව ලැබෙනවා. ඉතිං ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී දකින්න ලැබෙන මේ සහන මොනවාද?

මූලිකව ම ගත්තොත්,

·       ණය ගෙවන්න ලබා දීලා තියෙන කාලය දීර්ඝ කිරීම

·       ණය පොලිය අඩු කිරීම

·       ණය කපා හැරීම

කියන සහනවලට එකඟ වෙන්න පුළුවන්. ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී මේ කියන සහනවලින් එකක්, කීපයක් හෝ සියල්ලම අනුගමනය කරන්නත් පුළුවන්.

තවත් සමහර අය අහන ප්‍රශ්නයක් තමයි මේ ආර්ථික අර්බුදය විසඳගන්න ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න ම ඕනද? එහෙම නැත්නම් වෙන ක්‍රමයක් තියෙනවාද කියන එක. ඇත්තටම 2022 අප්‍රේල් මාසය වෙනකොට ලංකාව සතුව තිබුණ විදේශ සංචිත ප්‍රමාණය ඉතාමත් පහල මට්ටමකට ඇවිත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරන්න තරම්වත් සල්ලි නැති තත්ත්වයකට පත් වුණ නිසා රජයට සිද්ධ වුණා ශ්‍රී ලංකාව ණය ගෙවීම තාවකාලිකව නතර කරනවා කියන පණිවුඩය ලෝකෙටම කියන්න. මේ වගේ දෙයක් වුණාම මූඩීස්, ෆිච් රේටින්ග්ස් වගේ රටක ණය තිරසාර භාවය (ණය ගෙවීමට තියෙන හැකියාව) මනින ආයතන ශ්‍රී ලංකාව ණය ගෙවීම අතින් දුර්වල මට්ටමක තියෙනවා කියලා තමන්ගේ ශ්‍රේණිගත කිරීම්වලින් ලංකාව පහලට දානවා. එතකොට ලංකාවට ණය දෙන්න පුළුවන් කෙනෙක් / රටක් ඉන්නවා නම් ණය දෙන්න කලින් දෙපාරක් හිතනවා. මේ හේතුව නිසා ණය වෙළදපලෙන් ණය ගන්න තියෙන හැකියාව අඩුවෙනවා. කොහොමහරි කරලා ණයක් ගත්තත් අධික පොලියක් හා විශාල කොන්දේසි ගණනාවකට යටත් වෙලා තමා ගන්න වෙන්නේ.

ඇයි ලංකාව මේ තරම් ලොකු ණය උගුලක හිර වුණේ?

මේ ලිපිය කියවන ඔබ හිතනවාද ලංකාවේ ණය ප්‍රශ්නය ඇති වුණේ එකම එක හේතුවක් නිසා කියලා? එහෙම නම් මේ දැන් කියන්න යන දේ හුඟක් වැඳගත්. මොකද ලංකාවේ ආර්ථික අර්බුදය කාලයත් එක්ක හේතු ගණනාවක් නිසා ඇති වුණ ගැටළුවක් කිව්වොත් වඩා නිවැරදියි. ශ්‍රී ලංකාවේ සමහර ප්‍රතිපත්තිවල තිබුණ තාර්කික නොවෙන කාලයට නොගැලපෙන ස්වභාවය සහ ඒවායේ ප්‍රතිඵල කලින් හිතලා බලන්න අසමත් වීම වගේ දේවල් මේ යටතට ගැනෙනවා. උදාහරණයක් විදිහට ක්ෂණික ව හඳුන්වා දුන් කාබනික පොහොර ප්‍රතිපත්තිය, අනවශ්‍ය මට්ටමින් මුදල් මුද්‍රණය කිරීම, දීර්ඝ කාලීන අයවැය හිඟය සහ වෙළඳ ශේෂ හිඟය, හිතකර නොවන මට්ටමේ ණය බර, කොව්ඩ්-19 වසංගතය සහ එමඟින් සංචාරක, ඇඟළුම් සහ අනෙකුත් අංශවලට සිදු වුණ බිඳ වැටීම කියන කාරණා සියල්ලක්ම අඩු වැඩි වශයෙන් ලංකාව ආර්ථික අර්බුදයකට ඇද දාන්න හේතු වුණා. 

මේ වගේ හේතු කාලයත් එක්ක එකට වෙලා ලොකුවට පුපුරලා යන්න ගත්තේ 2022 අවුරුද්දේ මුල් මාසවලදී. අපි කාටවත් අමතක නොවෙන කාලයක් විදිහට තෙල්, ගෑස් වගේ දේවල් ගන්න පැය ගණන්, දවස් ගණන් පාරේ රස්තියාදු වෙන්න වුණේ ඒ විදිහට. මිනිස්සුන්ට අත්‍යවශ්‍ය ම දේවල් මිලට ගන්නවත්, ප්‍රමාණවත් විදිහට සපයන්නත් බැරි වුණ නිසා සීමිත භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් පිටුපස අසීමිත මුදල් ප්‍රමාණයක් ලුහු බදින්න ගත්තා. ඒ කිව්වේ උද්ධමනයක් ඇති වුණා. මේ වෙලාවේදී සාමාන්‍ය වෙළඳපළේ භාණ්ඩයක් විකිණෙන මිලට වඩා ඉතාමත් වැඩි මිලකට භාණ්ඩ අලෙවි වෙන කළු කඩ ඇති වුණා. ඒ දවස්වල පෙට්‍රල්, ඩීසල් ඒ විදිහට අලෙවි වුණා කාටත් මතක ඇති. අප්‍රේල් මාසය වෙනකොට ලංකාවට ණය ගෙවන්න බැහැ කියන පණිවුඩය කියන්න වෙන තැනට වැඩ සිද්ධ වුණා.

ලංකාවේ ආර්ථික අර්බුදය ඇති වුණේ කොවිඩ් වසංගතය නිසා ද?

කොවිඩ් වසංගතය නිසා ලංකාව ඇතුලු මුළු ලෝකයම පීඩාවට පත් වුණා. හැබැයි ඒ කාලය ඇතුලත වගේම ඊට කලිනුත් ලංකා රජය ගත්ත තාර්කික නොවන ප්‍රතිපත්තිමය තීරණ නිසා ලංකාවේ ඩොලර් සංචිත ප්‍රමාණය දවසින් දවස අඩු වෙන්න පටන් ගත්තා. ඔයාලාට මතක ඇති අපි අනවශ්‍ය විදියට බදු කපාහැරීමක් කලා , ඒවගේම පහල පොලී අනුපාත තියාගෙන ඩොලරයත් බලෙන් හිර කරගෙන හිටියා. ඒත් එක්කම අනවශ්‍ය විදියට සල්ලි අච්චු ගහන්න පටන් ගත්තා. මේ හේතු නිසාම අපේ ආනයනවලට තියන ඉල්ලුම සීඝ්‍රයෙන් වැඩි වෙලා ඩොලර් ඉල්ලුම වැඩි උනා. මේ වැඩි ඉල්ලුම සපයන්න මහ බැංකුව තමන්ගේ සංචිත වෙළදපලට නිකුත් කරන්න පටන් ගත්තා. ඔය හේතුව නිසා අපි ඩොලර් අර්බුදයකටත් ඒකෙන් හටගත්ත අසමතුලිත වෙළදපල විශම චක්‍රයකටත් ගොදුරු වුණා. 2017 /2018 කාලය වගේ වෙද්දි ඩොලර් බිලියන 7 – 8 ක් වගේ තිබුණ සංචිත ප්‍රමාණය 2022 වෙද්දි ඩොලර් බිලියන 2 ක් වගේ ඉතාමත් පහල මට්ටමකට පත් වුණා. මේ වගේ තත්ත්වයක් යටතේ තමයි 2022 අප්‍රේල් මාසයේදී ලංකාව ණය ගෙවීම අත්හිටුවනවා කියලා නිවේදනය කළේ. 

ලංකාව ප්‍රතිව්‍යුහගතකරණය කරන්නේ දේශීය ණයද විදේශීය ණයද?

ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ගැන කතා බහ ඇති වුණ මුල් ම කාලයේදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන එතරම් අවධානයක් යොමු වෙලා තිබුණේ නැති වුණත් මේ වෙනෙකොට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයටත් සිද්ධ වෙලා තියෙන බව මහ බැංකුව සඳහන් කරනවා. මේකට හේතුව තමයි ලංකාවේ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 83.67 වෙද්දි ඒකෙන් දේශීය ණය ඩොලර් බිලියන 42.1 සහ විදේශීය ණය ඩොලර් බිලියන 41.5 විදිහට ණය වර්ග දෙකම සමාන ප්‍රමාණවලින් තිබීම. සරලවම කිව්වොත් 50% දේශීය ණය 50% විදේශීය ණය විදිහට තමයි ණය සංයුතිය තියෙන්නේ.

මේ වෙනකොට අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ කල මූලික වටයේ සාකච්ඡා අවසන් වෙලා අපිට මූලික පියවරේ මුදල් ප්‍රදානයක් විදිහට ඩොලර් බිලියන 3ක මුදලක් ලැබිලා තියෙනවා. නමුූත් ඉදිරියට අපට ලබා දෙන මුදල් සම්බන්ධයෙන් අපි යම් යම් ආර්ථික ප්‍රතිසංස්කරණ කල යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරලා තියෙනවා. 

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ඉදිරිපත් වුණ යෝජනා මොනවාද?

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිතුමා සිදු කරපු දේශනයකදි එතුමා සඳහන් කරපු විදිහට අපි විසින් ණය තිරසාරභාවය පවත්වා ගන්න නම් කල යුතු වෙනස්කම් නැතිනම් අපි ළඟා කර ගත යුතු දේවල් විදිහට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරලා තියෙන්නේ,

·       2022 අවුරුද්දේදි දළ දේශීය නිෂ්පාදිතයෙන් 128% වුණ ණය ප්‍රතිශතය 2032 වනවිට 95% වඩා අඩු මට්ටමට ගෙන ඒම

·       2022 අවුරුද්දේදි දළ දේශීය නිෂ්පාදිතයෙන් 34.3% වුණ දළ මූල්‍ය අවශ්‍යතා 2027 - 2032 වනවිට 13% වඩා අඩු මට්ටමට ගෙන ඒම

·       2022 අවුරුද්දේදි දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.4.% වුණ විදේශ ණය සේවාකරණය 2027 - 2032 වනවිට 4.5% වඩා අඩු මට්ටමට ගෙන ඒම

එතුමා කැබිනට් මණ්ඩලයට කරපු දේශනයකදි සඳහන් කරලා තියෙනවා මහ බැංකුව සතුව තිබෙන භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම්කර බවට හැරවීම මඟින් දළ මූල්‍ය අවශ්‍යතා අඩු කර ගැනීමට අදහස් කරනවා කියලා. මෙවැනි ගැලපුමක් ඇති කර ගැනීම නිසා මහ බැංකුවේ කිසිදු අගයයක් නොපෙන්වන හෝ සෘණ අගයයක් පෙන්වන ප්‍රාග්ධනයේ යම් වෙනසක් ශේෂ පත්‍රය තුළින් දකින්න පුළුවන්. ඍණ අගයයක් සටහන් කරන හිම්කම් ගිණුම් ප්‍රාග්ධනීකරණය (මුදල් ආයෝජනය කිරීම) මඟින් ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්වසනීයත්වය සහ ස්වාධීනත්වයට අහිතකර බලපෑම් ඇති වීම වළක්වා ගන්නත් පුළුවන්. 

ලංකාව මුලදි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන කතා නොකළත් දැන් තීරණය වෙලා තියෙන විදිහට දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් පමණයි ලංකාවේ ණය ගැටළුව සාර්ථක ව විසඳගන්න පුළුවන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් සිදු කළ සාකච්ච්ජාවලදී බොහෝමයක් ණය හිමියන් ණය දෙවර්ගයම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දීලා තියෙනවා. කලින් සඳහන් කරපු විදිහට දළ මූල්‍ය අවශ්‍යතා 13% මට්ටමට ගෙන එන්න විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පමණක් ප්‍රමාණවත් නැති බව පෙනී ගිය නිසා මේ විදිහට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නත් අවධානය යොමු වෙලා තියෙනවා. ඒ වගේම තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට ලබා දෙන ඊළඟ වාරිකය ලබන්න අපි සුදුසුකම් ලබන්නේ මේ කියන යෝජනා ක්‍රියාත්මක කලොත් තමයි. 

ප්‍රතිව්‍යුහගතකරණය කරන විදේශීය ණය මොනවාද?

රටකට විදේශීය ණය ලබා ගනිද්දි කිසියම් රටකින් හෝ ජාත්‍යන්තර ආයතනයකින් ණය ගන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාව තවත් රටකින් ලබා ගන්නා ණය ද්වි-පාර්ශවීය ණය විදිහටත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වගේ ආයතනයකින් ලබා ගන්නා ණයක් බහු පාර්ශවීය ණයක් විදිහට හඳුන්වන්නත් පුළුවන්.

ලංකාව විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ ද්වි-පාර්ශවීය ස්වරූපයේ රටවල්වලින් ගත්ත ණය. මේ අවස්ථාවේදී බහු පාර්ශවීය ණය ලබා දුන්න ආයතනවලට ණය ප්‍රතිව්‍යුහගතකරණය අදාල වෙන්නේ නෑ.

 

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් EPF, ETFවලට බලපෑමක් තියෙනවාද?

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් බය වෙලා ඉන්නේ තමන්ගේ සල්ලි තියෙන සේවක අර්ථසාධක අරමුදලට, සේවක භාරකාර අරමුදලට හෝ බැංකු පද්ධතියේ තියෙන තමන්ගේ ඉතුරුම්වලට බලපෑමක් වෙලා තමන්ට අවාසියක් වෙයිද කියන කාරණය ගැන.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමේදී මහ බැංකු අධිපතිතුමා කිව්වේ මේ වෙනකොට ගෙවන පොලී අනුපාත ඒ ඒ තැන්පතු වෙනුවෙන් වෙනසක් නැතිව ගෙවන්න පුළුවන් වගේම සේවක අර්ථසාධක අරමුදලට හෝ සේවක භාරකාර අරමුදලට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම නිසා ගැටළුවක් ඇති වෙන්නේ නෑ කියලා.

ඉතිං එහෙනම් ඇයි මිනිස්සු මේ ගැන බය වෙලා ඉන්නේ? ඇත්තටම බැංකුත් ඇතුළුව මේ වගේ මහජන මුදල් ළඟ තියාගෙන ඉන්න ආයතන ඒ මුදල් යම් යම් ආයෝජන කටයුතු වෙනුවෙන් යොදවනවා. සාමාන්‍යයෙන් සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල තමන්ගේ අරමුදල් ආයෝජනය කරන්නේ අවදානම ඉතාමත් අඩු මට්ටමක තියෙන ආයෝජනවල. මේ වගේ අවදානම අඩුම ආයෝජන විදිහට රජයේ මුදල් අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් මහ බැංකුව නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වගේ ණය උපකරණවලට වෙනත් පාර්ශවයකින් බලපෑමක් වෙන්න තියෙන අවස්ථාව අඩුයි. නමුත් ලංකාව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම නිසා මේ කියන සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදලටත් ණය ප්‍රතිව්‍යුහගතකරණය අදාළ වෙනවා. අන්න ඒ නිසයි හුඟක් අය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන බය වෙලා ඉන්නේ. කොහොම වුණත් මහ බැංකුව මේ වෙනතෙක් සහතික කරලා තියෙන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් කලින් කියපු අරමුදල්වලට හෝ එම අරමුදල්වල හිමිකාරීත්වය තියෙන ජනතාවට අයහපත් බලපෑමක් ඇති වෙන්නේ නෑ කියලා.

මහ බැංකු අධිපතිතුමා ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී දේශීය ණය සම්බන්ධයෙන් යොදා ගත්තේ ණය ප්‍රශස්තකරණය කියන යෙදුම. ඒකෙන් අදහස් වෙන්නේ බලපෑම අවම වෙන විදිහට ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න උත්සාහ දරන බව. ඉතිං සාරාංශයක් විදිහට ගත්තොත් මේ දවස් පහක බැංකු නිවාඩුව ලබා දීලා තියෙන්නේ රජය සහ මුදල් අමාත්‍යංශයේ අනුමැතියෙන්. ඒ කාලය ඇතුලත කරන්න බලාපොරොත්තු වෙන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ගැන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම, ඒ සම්බන්ධයෙන් වාද කිරීමට, සාකච්ඡා කිරීමට කාලය ලබා දීම, මුදල් කාරක සභාවේ සාකච්ඡා සහ තීරණ ගැනීම, කැබිනට් අනුමැතිය ලබා ගැනීම වගේ දේවල් සම්පූර්ණා කර ගන්නයි. මේ නිවාඩු කාලය තුළ රාජ්‍ය භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර, කොටස් වෙළඳපළ වගේ ආයතවල ගනුදෙනු සිද්ධ වෙන්නේ නෑ. නමුත් බැංකුවලින් සිදු කෙරෙන අන්තර්ජාල බැංකු කටයුතු, ATM යන්ත්‍රවලින් සිදු කෙරෙන ගනුදෙනු හෝ සති අන්ත බැංකු කටයුතු සිදු කරන බැංකුවල ගනුදෙනුවලට බලපෑමක් නොවන බවත්, සුපුරුදු පරිදි ඒ කටයුතු කරගෙන යාමේ හැකියාව පවතින බවත්  මහ බැංකු අධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළා.

-දිල්මිණී හසින්තා අබේරත්න 

2023/07/14