ජනතා කැමත්තට ඉඩ දෙමු

ජීවන් තොණ්ඩමන් මහතාගෙන් එක්තරා රූපවාහිනී සාකච්ඡාවකදී මධ්‍යව්දියෙක් ප්‍රශ්නයක් ඇසීය. එය නම්  “ඔබතුමා මොකක්ද වතුකරයේ සංවර්ධනය කියල හිතන්නේ, වතුකරයේ වැඩ කරන මිනිස්නුන්ට ගෙවල් හදල දෙන එක නෙවෙයිද සංවර්ධනය කියන්නේ?” යනුවෙනි. එවිට ඔහු ලබාදුන්නෙ ගැඹුරු පිළිතුරක්. “මම ගෙවල් 5ක් හැදුවා කියල ඇවිල්ල කියනවා, තව කෙනෙක් ගෙවල් 10ක් හැදුවා කියල කියනවා. අපි වතුකරයේ ගෙවල් හැදුවා කියන එකවත්, වතුකරයේ මිනිස්සුන්ට අපි ගෙවල් හදල දෙන එකවත් නෙවෙයි සංවර්ධනය කියන්නේ. අපි කොච්චර ගෙවල් හැදුවත් වතුකරය සංවර්ධනය වෙන්නේ නෑ. වතුකරය සංවර්ධනය වෙන්නේ වතුකරයේ මිනිස්සු ඔවුන් කැමති ගෙවල්, ඔවුන්ටම අයිතිය තියන ඉඩමක ඔවුන් කැමති විදියට හදාගත්ත දවසට විතරයි" ඒ තමයි ඔහුගෙ පිළිතුර.

ඔහුගේ පිළිතුර තුළ තිබූ මූලිකම කොටස නම් මිනිස්සුන්ට තමන් කැමති දෙයක් කිරීමට තෝරා ගැනීමට දෙන අයිතියයි. එය නිවාසවලට පමණක් නොව ජීවිතයේ සෑම දෙයකටම වැදගත්ය. රජය කල්පනා කරනුයේ රජය දෙන භාණ්ඩ ජනතාව පරිභෝජනය කළ යුතු බවයි. එයද වතුකරයේ මිනිස්සුන්ට දේශපාලකයන්ගෙ කැමැත්තට කැමති ගෙවල් හැදීම වැනි දෙයකි.

තෝරා ගැනීමේ අයිතිය එක එදිනෙදා භාවිත කරන භාණ්ඩ සහ අත්‍යවශ්‍ය භාණ්ඩවලටත් ඒ විදියටම බලපානු ලබයි. මේ දිනවල භාණ්ඩවල මිල ඉහළ යාමත් සමග භාණ්ඩ මිල අසාමන්‍ය ලෙසින් ඉහළ යන්නේ ඇයිද යන්න ගැටලුවකි. එමෙන්ම රජයටද භාණ්ඩ මිල ඉහළ යෑම දැඩි පීඩාවකි.  එනිසා ඒ වෙනුවෙන් රජය නොයෙකුත් විසදුම් අත්හදා බලයි. එහිදී බොහෝ දෙනා භාණ්ඩ මිල අඩු කිරීමට දෙන යෝජනාව නම්  “මිල පාලනයයි. එමෙන්ම භාණ්ඩ වෙනුවෙන් සහනාධාර ලබාදීමයි. සතොස හරහා  භාණ්ඩ අඩුවට විකිණීමයි. අනෙක් විකල්පය නම්  මිනිස්සුන්ගෙ පඩිය වැඩි කිරීමයි.

නමුත් මා නම් පවසන්නේ මේ ප්‍රශ්නයට විසඳුම ඇත්තේ මිනිස්සුන්ට තෝරා ගැනීමට තිබෙන හැකියාව සහ නිදහස වැඩි කිරී‍මෙන් බවයි. එමගින් බඩු මිලට එල්ල වෙන බලපෑම මෙන්ම වැඩිවන බඩු මිලට අනුව ජීවන වියදම අඩු කර ගැනීමට ජනතාවට හැකි වේ.

ඇයි බඩු මිල වැඩි වෙන්නේ?

භාණ්ඩවල මිල වැඩි වෙන්න හේතු කිහිපයකි. එකක් නම් ලෝක වෙළෙඳ පොළේ භාණ්ඩවල මිල සීග්‍රයෙන් ඉහළ යෑමය. ලෝකයේ රටවල් ක්‍රමයෙන් කොවිඩ් තත්ත්වයෙන් මිදී ලෝක ආර්ථිකය සක්‍රිය වීමත් සමග භාණ්ඩවල ඉල්ලුම ඉහළ යන නිසා භාණ්ඩවල මිල ඉතා සීග්‍රයෙන්ය ඉහළ යයි. එමෙන්ම නාවික ගමන් ගාස්තුත් ඉතා විශාල ලෙස ඉහළ ගොස් ඇත. පසුගිය නොවැම්බර් මස ඇමරිකානු ඩොලර් 42ක් ව පැවති බොරතෙල් බැරලයක මිල දැන් ඇමරිකානු ඩොලර් 83කි. ලෝකයේම භාණ්ඩවල මිල ඉහළ යාම භාණ්ඩ මිල ඉහළ යාමට එක හේතුවකි. එය මුළු ලෝකයටම බලපාන තත්ත්වයකි.

නමුත් ශ්‍රී ලංකාවට මෙම තත්ත්වය ඊට වඩා වැඩිපුර බලපානු ලබන්නේ අපේ විදේශ මුදල් වල ඇති හිඟය නිසා සහ අපේ රුපියල අවප්‍රාමාණය වීමත් සමගය. මෙම තීරු ලිපියෙන් වතාවන් ගණනාවකදීම සටහන් කළ පරිදි මුදල් මුද්‍රණය හෙවත් මූල්‍ය පද්ධතියේ මුදල් ප්‍රමාණය වැඩි කිරීම අපේ විනිමය අර්බුදයට ප්‍රධානම හේතුවයි. භාණ්ඩ මිලට සහ උද්ධමනයට එය බලපානු ලබන්නේ අපගේ රුපියල අවප්‍රමාණය වීමෙන් ආනයනික භාණ්ඩ වල මිල වැඩි වීමත් සමගයි. දැනට අප රුපියලට ලබා දී ඇත්තේ ඩොලරයට සාපේක්ෂව රු. 203ක කෘත්‍රිම අගයකි. එම මිලට මිලදී ගැනීමට වෙළෙඳ පොළේ ඩොලර් නොමැති බව රහසක් නොවේ. එනිසා භාණ්ඩවල මිලට ඩොලරයේ සත්‍ය අවප්‍රමාණය වීමත් බලපානු ලබයි. අවප්‍රමාණය වන රුපියල සහ ලෝකයේ වැඩිවන භාණ්ඩ මිල  ගහෙන් වැටුනු මිනිහාට ගොනා අනිනවා සේ පාරිභෝගිකයා ඉතා අපහසුතාවට පත්කිරීමකි.

රජයට සහනාධාර ලබා දීමෙන් හෝ සතොස හරහා භාණ්ඩ ගෙන්වීමෙන් මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්ද?

කිසිසේත්ම නොහැක. එක අතකින් රජයට සහනාධාර ලබාදීමට තරම් මුදලක් අප සතුව නැත. දැනටමත් රජයේ බදු ආදායමෙන් 86%ක්ම යන්නේ රාජ්‍ය සේවකයන්ගේ පඩි නඩි සහ විශ්‍රාම වැටුප් සඳහාය. එනිසා සහනාධාර ක්‍රම මගින් හෝ සතොස හරහා කිරීමට උත්සාහ කිරීම විසඳුමක් නොවේ. එයින් වන්නේ රජය තවත් මුදල් මුද්‍රණයට යොමුවීමෙන් ප්‍රශ්නය තවත් උග්‍රවීම පමණි.

රජය පනවා තිබූ මිල පාලනය ඉවත් කිරීමෙන් සිදුවුණේ කුමක්ද?

මුලින්ම ප්‍රශ්නය වී තිබුණේ පාලන මිලක් පනවා තිබුණත් එම මිලට කිසිදු වෙළෙඳසලක භාණ්ඩ නොතිබීමයි. එයට හේතුව ලෝකයේ භාණ්ඩවල මිල ඉහළ යන තත්ත්වයක් තුළ එම භාණ්ඩ වෙළඳ පොළට සපයන ව්‍යාපාරිකයන්ට අඩු මිලකට භාණ්ඩ වෙළෙඳ පොළට නිකුත් කිරීම ආර්ථික වශයෙන් පාඩුවක් මිස වාසියක් නොවීමයි. ඒ අනුව පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමෙන් පසුව මිල ඉහළ යනු ලැබූවත් මූලික අරමුණ වූයේ වෙළෙඳපොළට ප්‍රමාණවත් තරම් භාණ්ඩ නිකුත් වීමට සැලසීමයි. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ භාණ්ඩ වල මිල ඉහළ ගියත් වෙළෙඳ පොළේ භාණ්ඩ හිඟය ක්‍රමයෙන් පහව යා යුතුයි. ඒ අනුව මිල පාලන නීති ඉවත් කිරීම ජනප්‍රිය තීරණය නොවුණත් නිවැරදි තීරණයකි. භාණ්ඩ වෙළෙඳ පොළේ නොමැතිනම් පාලන මිලක් තිබෙන්නන් වාලේ තිබීම කිසිම ඵලක් නැති ක්‍රියාවකි. නමුත් එමගින් ඉහළ යන මිලෙන් ජනතාව අපහසුතාවට පත්වන බව සත්‍යයකි. භාණ්ඩ නොමැතිවීම, පෝළිම්වල සිටීම මෙන්ම භාණ්ඩවල මිල ඉහළ යාමෙන් යන තරුණු තුන ජනතාව අපහසුතාවට පත්කරන්නකි.

පඩි වැඩි කිරීමෙන් මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්ද?

පුද්ගලික අංශයේ පඩි වැඩිවීම සැබැවින්ම එම ආයතනවල තීරණයකි. නමුත් ඔවුන්ට පඩි වැඩි කළ හැකි වන්නේ ඔවුන්ගේ අදායමත් ඒ හා සමානව ඉහළ යන්නේ නම් පමණකි. රජයේ සේවකයන්ට පඩි වැඩිවීමක් ලබා දීමට තරම් රජයට මූල්‍ය හැකියාවක් තිබෙන බවක් නොපෙනේ. එලෙස පඩි වැඩිවීමක් ලබා දෙන්නේ නම් නැවතත් එය සිදු කළ හැකිවන්නේ මුදල් මුද්‍රණය කිරීමෙන් පමණි. එය එලෙස සිදුවුවහොත් නැවත භාණ්ඩ පරිභෝජනය යථා තත්ත්වයට පත් වීමෙන් වැඩිපුර මුදල් භාණ්ඩ පසුපස හඹායාමෙන් අධික උද්ධමනාකාරී තත්ත්වයක් ඇතිවිය හැකිය. එනිසා මේ ප්‍රශ්නයට ඇති විසඳුම අපගේ පරිභෝජනය සීමා කිරීම පමණි.

පරිභෝජනය සීමා කිරීමේදී වැදහත්ම දෙයක් වන්නේ තෝරා ගැනීමට ඇති අයිතියයි. එමගින් ජනතාවට එකම භාණ්ඩය වෙනුවට තෝරාගැනීමට විවිධ භාණ්ඩ සඳහා මිල ගණන් අඩු වෙනත් භාණ්ඩ තෝරා ගැනීමේ වැඩි අවස්ථාවන් ගණනාවක් උදාවේ.

භාණ්ඩ මිල වැඩිවීමේදී විවිධ පවුල් ඒකක ඒ සඳහා පරිභෝජනය අඩු කරන ආකාර එකිනෙකට වෙනස් විය හැකිය. උදාහරණයක් ලෙස කිරිපිටි මිල වැඩිවීමෙන් කිරිපිටි සඳහා යන වියදම ස්ථාවරව තබා ගැනීමට සමහර පවුල් ඒකක එක කිරිපිටි කෝප්පයක් වෙනුවෙන් යොදවන කිරි පිටි ප්‍රමාණය අවම කිරීමට අවස්ථාව ඇත. තවත් පවුල් ඒකකවල මව සහ පියා කිරිපිටි භාවිත කිරීම වෙනුවට දරුවන්ට පමණක් කිරිපිටි ලබා දෙමින් වැඩිහිටියන් කිරිපිටි නොමැතිව තේ කහට ට මාරු විය හැකියි. තවත් සමහර අවස්ථාවල දින හතම කිරිපිටි පරිභෝජනය වෙනුවට තෝරාගත් දිනවල පමණක් කිරිපිටි පරිභෝජනය කළ හැකියි. තවත් සමහර පවුල් ඒකක පවුලේ වෙනත් විනෝදාත්මක වියදම් කපා හැර දිගටම එම අයුරින්ම කිරිපිටි පරිභෝජනය කිරීමටත් ඉඩ තිබේ. මේ අයුරින් විවිධ පවුල් ඒකක ඔවුන්ට වඩාත් ගැළපෙන ක්‍රම අනුව අනුගත වීමයි බොහෝ වෙලාවට සිදුවන්නේ. සරළවම කියනවා නම් ඔවුන්ට ගැළපෙන වියදම් අඩු කිරීමේ ක්‍රමයක් ඔවුන් තෝරා ගනු ලබයි.

එලෙස අනුගත වීමටනම් ඔවුන්ට තෝරා ගැනීමේ අවස්ථාව තිබිය යුතුය. ඒ සඳහා එම ආදේශක භාණ්ඩවලට වෙළෙඳ පොළට පහසුවෙන් ඇතුළු වීමට අවස්ථාව සපයා දීමයි කළ යුතුය. ගෑස් මිල වැඩි වීමත් සමගම දැන් භූමිතෙල් සහ දර ලිප් භාවිතය පිළිබඳව ජනතාවගේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව එවැනි ආදේශක සැපයුම්කරුවන්ට ඉක්මනින් වෙළඳ පොළට ඇතුළුවීමට හැකියාව ලබාදීමත් එලෙස ඇතුළුවීමට ඇති බාධා ඉවත් කිරීමත් මූලික වශයෙන්ම සිදු කළ හැක.

ලෝක වෙළඳපොළේ බොරතෙල්වල මිල වැඩිවීමත් සමග ඉදිරියේදී තෙල් මිල ඇතුළු සියලුම භාණ්ඩවල මිල වැඩිවීමක් අපේක්ෂා කරයි. ඒ අනුව ඉදිරියේදී ජනතාවට තවදුරටත් තම පටි තද කර ගැනීමට සිදුවනු ඇති.

නමුත් රජය අපගේ බඩු මිල අඩු කරනු ඇතැයි අපේක්ෂා කිරීම හෝ රජය අපට තෝරාදෙන ආහාර ලබා ගැනීම මගින් රටක් කිසිදිනක ඉදිරියට යනු නැත. අප දශක ගණනාවක් අත්හදා බැලූ ක්‍රමය වූයේ රජය භාණ්ඩ අඩු මිලට ලබාදීමේ ක්‍රමයයි. එය එලෙස කළ හැකි බවට පත්වූ බොහෝ රජයන් බොරු පොරොන්දු දීමෙන් ජනතාවත් ඒ පිළිබඳව වැඩි සහ අනවශ්‍ය බලාපොරොත්තු තබා ගනු ලැබීය. නමුත් එය කිසිදා කළ හැක්කක් නොවේ. භාණ්ඩවල මිල අවම කළ හැක්කේ තෝරා ගැනීමට වැඩි අවස්ථාවක් ලබාදීමෙන් සහ තරගකාරීත්වය විවෘත වීමෙන් පමණි. වෙනත් ක්‍රමවලින් අවසනාවකට වගේ මේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය නොහැකිය. එලෙස විසඳුම් සෙවිය නොහැක්කේ අපගේ ප්‍රශ්නය එතරම්ම ගැඹුරු සහ ඛේදනීය නිසාය.

තවත් වසර ගණනාවකින් හෝ අපට අලුත් සහ සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගැන සිතිය හැක්කේ අපිට රජය දෙන දේ කෑම, රජය කියන දේ ඉගෙනීම, රජය කියන විදියට සිටීම, රජය දෙන රස්සා කිරීම, රජය ගෙනෙන පොහොර භාවිතය වැනි රජය කැමති දේ අපට බලෙන් කරවීම වෙනුවට අපිට කැමති දේ අපිට කැමති විදියට [වෙන කෙනෙක්ට හානියක් නොවන ලෙස] කිරීමට අවස්ථාව තිබීමෙනි. එමෙන්ම කිසිම රජයක් ජනතාව තරම් බුද්ධිමත් නොවන බවත් අප මතක තබා ගත යුතුය. ඔවුන් බුද්ධිමත් තීරණ ගත්තා නම් අද ලෝකයේ බොහෝ භාණ්ඩ ගෙදර දොරකොඩටම ගෙනැත් දෙන යුගයක, අපි කිරිපිටි ගෑස් වැනි සරළ භාණ්ඩ මිලදී ගැනීමට පෝළිම්වල කාලය නාස්ති නොකරනු ඇත. අපි, අප වෙනුවෙන් තීරණ ගන්නා තරමට සහ රජය අපගේ තීරණවලින් ඈත් කරන තරමට අපගේ ජීවිතය පහසු වනු ඇත. ශ්‍රී ලංකාවට මේ ඉරණම උදාවී ඇත්තේ රජයන් ගත් තීරණ නිසාම වේ. ශ්‍රී ලාංකිකයන් තමන්ට තමන් කැමති තීරණ ගැනීමට ඉඩදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටියානම් රටේ ඉරණම මීට වඩා බොහෝ වෙනස් වීමට ඉඩ තිබුණි.

2021 ඔක්තෝම්බර් 15 දින අරුණ පුවත්පතේ පලවූ ලිපිය

'එයාර් ඉන්දියා’ විකුණුව වගේම 'ශ්‍රී ලංකන්’ විකුණා දමනු !

- රොහාන් සමරජීව

දිනකට සාමාන්‍ය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 3 ක් (වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියනයකට වැඩි මුදලක්) පාඩු ලැබූ ‘එයාර් ඉන්දීයා’ සමාගම

විකුණා දැමුවේ ටාටා පුත්‍රයෝ නම් මහා සමූහ ව්‍යාපාරයට සොච්චමක් වන ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක් සහ රාජ්‍ය ගුවන් සේවය ලෙස වසර ගණනාවක් තිස්සේ එකතු වූ ඩොලර් බිලියන 8 ක් වන දැවැන්ත ණය ප්‍රමාණයෙන් සුළු කොටසක් වූ ඩොලර් බිලියන 2 ක් එකතු කළ මිලකටය.

එසේ වුව ද, ඉන්දියානු ජනතාවට මෙය හොඳ ගනුදෙනුවකි. ශ්‍රී ලංකාවේ අප ද එය අධ්‍යයනය කොට අනුකරණය කළ යුත්තකි.

ටාටා සමාගම විසින් 1932 දී ආරම්භ කළ ‘එයාර් ඉන්දියා’ සමාගම නිදහස ලැබීමෙන් වසර කිහිපයකට පසු රජයට පවරා ගනු ලැබී ය.

එය සහ වසර කිහිපයකට පෙර එය සමග ඒකාබද්ධ කළ ඉන්දියන් එයාර් ලයින්ස් සමාගමට රාජ්‍ය අනුග්‍රහය, සීමාරහිත මුල්‍ය පහසුකම් මෙන් ම, දේශීය සහ අන්තර්ජාතික යන කොටස් දෙකෙහි ම ඒකාධිකාරයන් තිබිණි.

එසේ වුව ද, සේවය ඉතා ම නරක වූ අතර එම සමාගම් ලාභ ලැබුවේ කලාතුරකිනි.

පළමුව දේශීය කොටස සහ පසුව ජාත්‍යන්තර කොටස ලෙස වෙළෙඳපොළ තරඟයට විවෘත කළ විට රජයට අයත් ගුවන් සමාගම් දෙකට අභියෝගයට මුහුණ දීමට නොහැකි වී ය.

අද වන විට එයාර් ඉන්දියා සමගම 2005 දී මෙහෙයුම් ආරම්භ කළ ඉන්දිගෝ සමාගමට වඩා කුඩා ය.

මහජනයාට ලැබුණු ලොකු ම ප්‍රතිලාභය නම් ගුවන් සමාගමට දිගට ම සහනාධාර සැපයීමට සිදු නොවීමයි. සමාගමේ ඉතිරි ණය ගෙවීමට ආණ්ඩුවට තවමත් සිදු වුව ද, අඩු තරමින් ණය බර තව දුරටත් වර්ධනය වන්නේ නැත. මෙය ලාබදායි බවට පත් කිරීමට ටාටාට හැකි වුවහොත්, රජයට බදු ආදායමක් ලැබෙනු ඇත.

සියයට 100 ක් විකිණීම :

විකිණීමේ මෙම අවස්ථාවට පැමිණීමට මෝදී ආණ්ඩුවට වසර හතරක් ගතවීය. එසේ වුව ද, මෙම ලේ ගලන තුවාලය සම්බන්ධයෙන් යමක් කිරීමට ඉන්දියාවේ විවිධ ආණ්ඩු ඇත්තට ම බොහෝ කාලයක් තිස්සේ උත්සාහ දැරූහ.

අයිතියේ කොටසක් සහ කළමනාකරණයට මැදිහත්වීමේ හැකියාව තබා ගැනීමට ආණ්ඩුවට අවශ්‍ය වීම නිසා කලින් කළ උත්සාහයන් අසාර්ථක වී ය.

මුදල් නැති කරන සහ අකාර්යක්ෂම එයාර් ලංකා සමාගමේ සියයට 40 ක් පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 70 කට විකිණීමට 1998 දී කුමාරතුංග ආණ්ඩුව කටයුතු කළේ ය. විකිණීම සමග වසර 10 ක කළමනාකරණ ගිවිසුමක් එමිරේට්ස් සමාගමට ලබා දුන්නේ ය.

එසේ වුව ද, කළමනාකරණ ගිවිසුමේ වගන්ති සහ හරය ආණ්ඩුව සිත් රිදවන ආකාරයෙන් උල්ලංඝනය කළ කුරිරු තත්ත්වය සැලකිල්ලට ගත් විට, ශ්‍රී ලංකා රජය පොරොන්දු ඉටු කරනු ඇතැයි කිසිදු නව ආයෝජකයකු/ කළමනාකරුවකු විශ්වාසය තැබීමට ඉඩක් නැත.

1990 ගණන් වැනි ඈත කාලයේ සහ ඊට පසු දශකයේ දී පවා, රජයට අයත් ගුවන් සමාගම් වටිනාකමක් ඇති දේවල් ලෙස සලකනු ලැබී ය. එසේ වුව ද, කාලයාගේ ඇවෑමෙන් තත්ත්වය වෙනස් වූ අතර ඒවා ගොඩබැසීමේ අයිතිවාසිකම් සහ ගුවන්යානාවන්ගේ සමුච්චයක් ලෙස පෙනී යන්නටත් පටන් ගත්තේ ය.

වර්තමාන ගනුදෙනුවේ දී, එහි වෙළෙඳ නාමයට හෝ රාජ්‍ය ගුවන් සේවය ලෙස ඇති පිළිගැනීමට හෝ ඇති වටිනාකමට වඩා හීත්රෝ ගුවන් තොටුපළේ එයාර් ඉන්දියාට හිමි ගොඩබෑමේ අයිතිවාසිකම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ලැබී ය.

ගුවන් සේවා ව්‍යාපාරය රජයේ අනීතික ඇඟිලි ගැසීම් වලට සහ බලකිරීම්වලට ගොදුරු වීමේ අවදානම සහිත, නියාමනයට යටත් ව්‍යාපාරයකි.

2007 දී, තමන් සමග ගිය සම්පුර්ණ කණ්ඩායමට සඳහා ව්‍යාපාරික පන්තියේ ආසන නොලැබීමෙන් කෝපයට පත්වන රාජ්‍ය නායකයකුගේ හිතුවක්කාරකමින් ආරක්ෂා වීමට එකල ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කළමනාකාරිත්වයට හැකි වුනේ නැත.

එසේ වුව ද 100 ට සීයක් අයිතිය ඇති විට, ගුවන් සේවාවට කළමනාකරුවන් ලෙස හොරුන් එබ්බවීම වැළකිය හැකිය.

එයාර්බස් සමාගම පිළිබඳව කරන ලද පරීක්ෂණවලට ස්තුතිවන්නට, ශ්‍රී ලංකන්හි කළමනාකරණයේ කළ සොරකම් දැන් ප්‍රසිද්ධ වාර්තා ලෙස පවතියි.

විකිණිය යුත්තේ කීයටද?

එමිරේට්ස් සමාගම භාණ්ඩාගාරයට ලාභාංශ ගෙවන කාලයේදී පවා, ගුවන් සේවාව පමණක් ගත් විට එය ලාභදායක නොවී ය (එමිරේට්ස් ඉවත්ව යාමෙන් පසුව මෙන් මුදල් ඉවතට ගලා යාමක් සිදු නොවුව ද). සැබෑ ලෙස ලාභ උපයන ලද්දේ ඒකාධිකාර ලෙස පැවති ගුවන් යානයනට ආහාර සැපයීමේ සේවය සහ භුමියේ හැසිරවීම් (ground handling) මගිනි.

කෘතිමව අලෙවි මිල පිම්බීම සඳහා මෙම සේවා ගුවන් සේවය සමග ගොනු කර විකිණීමට සැලකිය යුතු පීඩනයක් බලාපොරොත්තු විය හැක. නමුත් එසේ නොකලොත් හොඳය.

නිරන්තරයෙන් පාඩු ලබන ගුවන් සේවයෙන් නිදහස් වීමෙන් පසු කල යුත්තේ වෙනස්කම් කිරීමකින් තොරව සියලු ගුවන් සේවාවන්ට හැකි ඉහළ ම සේවා ලබා දීමට ය. මේ සඳහා වෙළෙඳපොළ සඳහා තරඟය සහ වෙළෙඳපොළ තුළ තරඟය යන මෙවලම් යොදා ගත යුතුය. .

ඉන්දියාවේ දී පෙන්නුම් කළ පරිදි, ගනුදෙනුවේ ණය අගය ඉදිරිපත් කරන ආකාරය මගින් ආණ්ඩුවට ගෞරවය රැක ගත හැකි ය.

ප්‍රකාශිත විකුණුම් මිල වන ඇමෙරිකානු ඩොලර් බිලියන 2.4 ට හෝ සැබෑ මුදල් ගනුදෙනුව වන ඩොලර් මිලියන 400 ට වඩා වැඩි ණය මුදලක් ඉන්දියානු රජය විසින් දරා ගන්නා ලබන හෙයින් මෝදි රජය ගුවන් සමාගම නිකම් ම දුන් බවට, නිරීක්ෂකයකු චෝදනා කළ හැකි ය.

එසේ වුව ද, සුදු අලියා ආණ්ඩුව අතේ තබා නොගැනීමෙන් කොපමණ මුදලක් ඉතිරි වන්නේ ද යන්න එමගින් සැලකිල්ලට ගන්නේ නැත. එය වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියනයකට වැඩි මුදලකි.

ශ්‍රී ලංකන් සමාගම විකිණීමෙන් භාණ්ඩාගාරයට ඉතිරි කරගත හැකි මුදල දිනකට රුපියල් මිලියන 99 ක් විය හැකි ය. එය 2018, 2019, 2020, වසරවල ගුවන් සමාගමට දිනකට සිදු වූ පාඩුවේ සාමාන්‍ය අගය යි. 2018 සහ 2019 වසර එකතු කරන ලද්දේ වසංගත අවුරුද්දේ සිදු වූ පාඩුව මත සාමාන්‍ය ප්‍රකාශයක් කළ නොහැකි බව කියන්නට ඉඩ ඇති බව සිහියට ගනිමිනි.

එයාර් ඉන්දීයාහි දිනකට ඩොලර් මිලියන 3ක් වන පාඩුව සමග සැසඳීමේ දී රුපියල් මිලියන 99 ක් (දිනකට ඩොලර් මිලියන 0.5 ක්) තරමක් අඩු සංඛ්‍යාවකි. එසේ වුව ද, ඉන්දියාවේ බොහෝ දේ ශ්‍රී ලංකාවේ මෙන් 50 ගුණයක් පමණ වන අතර දිනක පාඩුව හය ගුණයක් පමණක් බව මතක තබා ගත යුතු ය.

එසේ වුව ද, තවමත්, වසරකට රුපියල් බිලියන 36 ක් (වසරකට ඩොලර් මිලියන 180 ක්) පාඩු නොලබා සිටීම යහපත් ය. එය 2020 වසරේ විශ්‍රාම වැටුප් සඳහා ආණ්ඩුව වියදම් කළ මුදලින් හතරෙන් එකකට කිට්ටු ය. මෙබඳු කාලයක සෑම බිලියනයක් ම ප්‍රශ්නයකි.

''එසේ වුව ද එය ශ්‍රී ලංකික විය යුතු ය''

මීට වසර කිහිපයකට පෙර මා ජවිපෙ නායකයකු සමග රුපවාහිනී සාකච්ඡාවක නිරතව සිටිය දී, සියම්බලාංඩුවේ ගෘහනියක් අර්තාපල් අල සහ කිරි පිටි සඳහා ගෙවන බදු මුදල් ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගමට සහනාධාර දීමට වියදම් නොකළ යුතු බවට තර්කයක් ඉදිරිපත් කළෙමි.

එබඳු සහනාධාර වැරදි බවත්, ගුවන් සමාගමක් පවත්වාගෙන යන්නට ආණ්ඩුවට හැකියාවක් නැති බව පෙනීයන බවත්, ඔහු පිළිගත්තේ ය.

එසේ වුව ද, ඔහු ප්‍රකාශ කළේ අප එය විදේශිකයන්ට විකිණිය යුත්තේ ඇයි? හොඳ දේශීය ධනපතියකුට එය ලබාගෙන වෘත්තීය මට්ටමින් පවත්වාගෙන යා නොහැක්කේ මන්ද? යනුවෙනි.

කිසිසේත් බලපොරොත්තු නොවූ එම එකඟතාවයෙන් සලිත වු මට එම අවස්ථාවේ එයට හොඳින් ප්‍රතිචාර දැක්වීමට නොහැකි වී ය. මම දැන් එය කරමි.

මගේ පළමු ප්‍රතිචාරය විය හැකිව තිබුණේ මාක්ස්වාදී ඉදිරි දැක්මට අනුව ධනපතියකුගේ ජාතිකත්වය කිසිසේත්ම අදාළ නොවන බව යි. සුරාකනු ලබන්නා සහ ධනපතියා සතුව එක සමාන ගමන් බලපත්‍ර තිබීම, සුරාකෑමට අඩුවෙන් විරුද්ධ වීමට හේතුවක් වන්නේ නැත.

එසේ වුව ද, දශක තුනකට පෙර සිදුවූ බර්ලින් තාප්පය බිඳ වැටීමෙන් සංකේතවත් කල සමාජවාදී විකල්පයේ කඩා වැටීම හේතුවෙන් මාක්ස්වාදය දැන් තව දුරටත් වලංගු වන්නේ නැත.

දෙවන ප්‍රතිචාරය වනුයේ, මට ගමන් කිරීමට අවශ්‍ය ගමනාන්තය සඳහා සේවය සපයන ගුවන් සමාගමෙන් ලබා දෙන මිල සහ ගුණාත්මක බවේ එකතුව හැර වෙනත් යමක් ගැන පාරිභෝගිකයකු ලෙස මා සැලකිල්ල දැක්විය යුත්තේ ඇයි යන්නයි.

එක ගුවන් සේවා සමාගමක්, වෙන රටක ජනයාගේ බදු ඩොලර්වලින් සහනාධාර ලබන එකක් වන්නේ නම් පාරිභෝගිකයකු ලෙස මට එය වඩාත් හොඳ වන්නට ද ඉඩ ඇත.

එසේ වුව ද, එවිට, රජයේ සහනාධාර ලබන ගුවන් සමාගම්වල කෘතීම ලෙස අඩු මිල ගණන් සමග තම මිල ගණන් ගලපන්නට සිදුවීම නිසා කාර්යක්ෂම ගුවන් සමාගම් පවා පීඩාවට සහ විනාශයට පත් වීමට හේතුවන හෙයින් මෙය ද කොල්ලකාරී මිලකිරීමේ මාදිලියක් ලෙස තර්ක කිරීමේ හැකියාව ඇත.

පාරිභෝගිකයකු ලෙස මට එය නොවැදගත් වුවත්, ප්‍රතිපත්ති සම්පාදකයකු ලෙස මට එය වැදගත් විය හැකි ය.

මෙයට ප්‍රතිකර්මයක් විය හැක්කේ, රාජ්‍ය සහනාධාර ලබා නොදීමට, යුරෝපා සංගමය තුළ පවතින ආකාරයේ අන්‍යෝන්‍ය සම්මුතියක් රාජ්‍යයන් අතර ඇතිකර ගැනීම යි.

එසේ වුව ද, මෙය ද අදාල නොවිය යුතුය. විදේශීය හෝ දේශීය හෝ ආයෝජකයකුට මේ කුණු ගොඩ විකුණා දැමීමේ අරමුණ වන්නේ ගුවන් ගමන්වල යෙදෙන පොහොසතුන්ට සහනාධාර දීමෙන් ඉවත් වීම වන හෙයිනි.

රජය තමාව බේරාගනු නොලබන බව ආයෝජකයාගේ විශ්වාසය වූ විට, සාධාරණ ගාස්තු ලබා දෙමින් සහ විනාශකාරී තරඟ ඇතිවන අවස්ථාවල ඒවා මග හරිමින්, ඔහු වගකීම් සහගත ලෙස ව්‍යාපාරය මෙහෙයවනු ඇත.

එක ම අවදානම විය හැක්කේ, ශ්‍රී ලංකාවට ඉතා ම හුරු පුරුදු දෙයක් වන, ලාභදායක නොවන ගමනාන්තවලින් ඉවත් නොවන ලෙස රජය (හෝ රජය මගින් කාදිනල්වරයා) අයුතු බල පෑම් එල්ල කිරීම යි.

එබඳු බලපෑම් වලට නතු නොවී වඩා හොඳින් ප්‍රතිරෝධය දැක්විය හැක්කේ කාට ද? දේශීය ආයෝජකයකුට ද? නැතහොත් විදේශීය ආයෝජකයකුට ද? පිළිතුර වන්නේ දෙවැන්න යි.

පෞද්ගලිකකරණයේ දී මිල දී ගන්නාගේ ජාතිකත්වය සැලකිල්ලට නොගත යුතු නමුත්, තුලනාත්මක ලෙස බලන විට විදේශීය මිල දී ගැනීමක් වඩාත් තිරසාර විසඳුම් ලබා දෙන බව මෙයින් පෙනේ.

Leader.lk

වල් වැදුණු තෙල් ටැංකි බිමේ ජාතිය වෙනුවෙන් මල් පිපෙන දිනයක්

මම අන්තර් ජාලයේ  ලිපියක දුටුවා ඉරාකයේ රාත්‍රී පොත් සල්පිලක් ගැන. ඒ ලිපියට අනුව ඉරාකයේ එක් ගමක රාත්‍රී කාලයේ පොත් පත් කියවීමට කැමති අය වෙනුවෙන් පොත් නොමිලේ තබා තිබෙනවා. එය අධීක්ෂණය කිරීමට කිසිවෙකු තබා නෑ. දිනක් මේ අපූරු පොත් සලිපිල දකපු වෙනත් රටක විදේශිකයෙක් ඒ ගමේ මනුස්සයෙක්ගෙන් ඇහුවලු “මෙහෙම පොත් තියල ගියාම මිනිස්සු පොත් හොරකම් කරන්නේ නැද්ද?” කියල'

එතකොට ඒ මනුස්සය දීපු උත්තරේ තමයි “හොරකම් කරන මිනිස්සු පොත් කියවන්නේ නෑ. පොත් කියවන මිනිස්සු හොරකම් කරන්නේ නෑ" කියල. [ the reader does not steal and the thief does not read]

ඒ ප්‍රකාශයේ අනෙක් තේරුම තමයි පොතක් මිලදී අරගෙන ඒක කියවන්නෙ නැතුව ඉන්න මනුස්සයයි, පොතක් මිලදී ගන්නේ නතුව ඉන්න මනුස්සයයි අතර වෙනසක් නෑ කියන එක. තවත් සරලව කියනවනං දනුම කියන්නේ පොතට නෙවෙයි. දැනුම කියන්නේ පොතේ තියන අන්තර්ගතය සැබෑ ලෝකයේ කරන භාවිතාවට.

මේ දිනවල ත්‍රිකුණාමලය තෙල් ටැංකි පිළිබඳව සංවාදය සහ “ජාතික සම්පත්” පිළිබදව නවතත් කතාව කරලියට ආවම මට මේ කතා දෙක පිළිබදව සම්බන්ධයක් පෙනුණා.

අපි ජාතික සම්පත් කියල අපේ බොහෝ ශ්‍රී ලාංකිකයන් හිතාගෙන ඉන්නේ හරියට පොත් ගැන හිතං ඉන්නව වගේමයි. පොත ගෙදර තිබ්බ පමණින් දැනුම තියනවා කියල හිතං ඉන්නව වගේ ලංකාවේ තියන ඕනම දෙයක් ජාතික සම්පතක් කියල තමයි හිතං ඉන්නේ.

ඒත් ඇත්තටම කතාව ඊට වඩා වෙනස්. ජාතික සම්පතක් වෙන්නනං ඒකෙ ධනයක් උත්පාදනය කරන්න ඕන. ධනය උත්පාදනය කරනව වෙනුවට අපේ තියන ධනයත් නැති කරනවනං හරි, අපි කිසිම දෙයකින් ප්‍රයෝජනයක් ගන්නේ නැතුව සාමාන්‍ය භාෂාවෙන් කියනවනං “ඔහේ නිකං තියනවනං" ඒක කවදාවත් ජාතික සම්පතක් වෙන්න බෑ. ලංකාවේ අපි ගොඩක් හිතං ඉන්න ජාතික සම්පත් ඇත්තටම ජාතික සම්පත් වලට වඩා ජාතික අපරාධ.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි පිළිබඳව කතාවත් අන්න ඒ වගේ කතාවක්. නැගෙනහිර පර්යන්තය, පුමුඩේ ඛනිජ වැලි නිධිය, ත්‍රිකුණාමලය වරාය වගේ නිතරම කාලෙන් කාලෙට සැරයක් දේශපාලන වේදිකාවේ එන මෝසම් සුළගක් තමයි ත්‍රිකුණාමලය තෙල් ටැංකි කතාව.

අතීතයට ගියොත් ඔය තෙල් ටැංකි ටික අගලක විතර ඝණකම තියන තහඩු වලින් අප්‍රිකාව වගේ රටවල් වල මිනිසුන්ගේ ශ්‍රමයෙන් අඩියක් විතරම ඝණකම කොන්ක්‍රීට් වලලු වලින් ආරක්ෂාකරල අපිට හදල දුන්නේ බ්‍රිතාන්‍යන් 1924-1930 කාලයේදී දෙවන ලෝක යුද්ධයට භාවිතා කරන්න. එක් ටැංකියක තෙල් මෙට්‍රික් ටොන් 12,000ක් ගබඩා කරන්න පුළුවන් විදියට ටැංකි 102ක් හදන්න සැලසුම් කරල තිබුණත් 1960 දී ගුවන් යානයක් කඩා වැටීම නිසා විනාශවුණු ටැංකි අංක 91 හැරදැමීමෙන් පසුව සහ විවිධ විශ්වාස නිසා ගොඩ නැගීම මග හැරුනු ටැංකි අංක 100 හැරුනු විට තෙල් ටැංකි 100ක් පමණ පවතින බවයි සඳහන් වෙන්නේ. ඒ අනුව මේ ටැංකිවල සමස්ත ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන 1.2.ක්. එය ඉතා විශාල ප්‍රමාණයක්. චීනයේ එක්සිම් බැංකුවෙන් ඩොලර් මිලයන 72ක් ණයට අරගෙන ඩොලර් මිලියන 157ක් වියදම් කරමින් අපි හදපු මුතුරාජවෙල තෙල් ටැංකි සංකීර්ණයේ ධාරිතාව මෙට්‍රික් ටොන් 250,000කට ආසන්නයි. ඉතින් දළ වශයෙන් ත්‍රිකුණාමලයේ අක්කර 850කට භූමියක ධාරිතාව හිතා ගන්න පුළුවන් අපිට.

බ්‍රිතාන්‍යන් ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව මෙම ටැංකි ඉදිකරනු ලැබුවේ මීටර් 30ක් පමණ වන සොභාවික ගැබුරු වරායක් වන ත්‍රිකුණාමලය වරාය හරහා ශ්‍රී ලංකාව බලශක්ති සහ නාවික කේන්ද්‍රස්තානයක් මෙන්ම ආරක්ෂක කටයුතු සඳහා නැව් වලට තෙල් සැපයීමේ මධ්‍යස්තානයක් කිරීමේ අරමුණින්.

ඒ අතරේම 1960 - 1970 දශකයේදී ශ්‍රී ලංකාව ආර්ථිකය සංවෘත කිරීමත් සමගම එවකට පැවති විදේශීය බලශක්ති සමාගම් වලට ශ්‍රී ලංකාවෙන් පිටවන ලෙස නියම කිරීමත් ඒවා රජය පවරා ගැනීමත් අපේ බලශක්ති කෙන්ද්‍රස්තානය වෙන්න තිබ්බ සිහිනය බොඳවුණා. ඒ සමගම එතැන් පටන් තෙල් ටැංකි 100න් තෙල් ටැංකි 15ක් පමණක් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2002 දක්වා භාවිතා කළ බව සඳහන් වෙනවා. පැවැති යුදමය කාල වකවානුව නිසා එම තෙල් ටැංකි භාවිතයට යම් අවදානමක් තිබූ බවත් සත්‍යක්.

ඒ අතරේදී ශ්‍රී ලංකාව එපා කියූ බලශක්ති විදේශ සමාගම් දෑත් දෙකම දිගුකර වැළඳගන්නා බව සිංප්පූරුව ප්‍රකාශ කිරීමත් ඒ වෙනුවෙන් කැප වීමත් සමග අද වන විට ලෝකයේම බලශක්ති සහ නාවික කේන්ද්‍රස්තානයක් බවට සිංගප්පූරුව පත්ව තිබෙනවා. අද ශ්‍රී ලංකාව වැඩිපුර තෙල් ලබා ගන්නේත් සිංගප්පූරුවෙන්ම වන අතර කලාපයේ සහ ලෝකයේ ප්‍රධාන නාවික කේන්ද්‍රස්තානය බවට සිංගප්පූරුව පත් වුණේ එම මොහොතේ ශ්‍රී ලංකාව ලබා ගත් වැරැදි තීරණය නිසා බවයි මගේ අදහස. සිංගප්පූරුව ආයෝජකයන්ට ප්‍රකාශ කළේ ඔබ පැමිණ ඔබේ ආයෝජනය කිරීමෙන් ඔබේ ලාභය ඔබට කැමති නං අරං යන්න කියන එක විතරයි. ආයෝජකයන් ඔවුන්ගේ ලාභය නැවත රැගෙන යාම වෙනුවට එය සිංගප්පූරුවේම ආයෝජනය කිරීම නිසා සිදුවූ විපර්යාසය අපිට හරියටම දැක ගත හැක්කේ අද සිංගප්පූරුව තිබෙන තැන සහ අද ශ්‍රී ලංකාව තිබෙන තැන සංසන්ධනය කිරීමෙන්.

ඉන් අනතුරව අපට ඉරානයේ සහායෙන් තෙල් පිරිපහදුවක් නිමවා ගනීමට අමතරව ඛනිජ තෙල් සහ බලශක්ති ක්ෂේත්‍රයට විශාල යමක් කිරීමට හැකි වුණේ නෑ.

සිංගප්පූරුව ගමන් කළ මාර්ගයේම ගමන් කළ ඩුබායි රාජ්‍යත් කාන්තාරයක්ව පැවති බිම වෙළෙඳ කේන්ද්‍රස්තානයක් බවට පත් කර ගනු ලැබුවා. ඔවුන් නාවික කටයුතු වලින් පමණක් වසරකට උපයන ආදායම ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට වඩා වැඩියි.

ජාතික සම්පතක්ව තිබූ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සහ ත්‍රිකුණාමලය වරාය අප ජාතික අපරාධයක් බවට පත් කර ගත්තේ එලෙසින්. ඉන් අනතුරුව 2002 වසරේදී ශ්‍රී ලංකාව ඉන්දියානු ඔයිල් සමාගම (Lanka IOC) සමාගමට වසර 35කට බදු පදනම යටතේ මෙම තෙල් ටැංකි ලබා දීමෙන් සහ මෙම තෙල් ටැංකි ඒකාබද්ධව සංවර්ධනයට එකඟවීමෙන් [Ceylon Petroleum Storage Terminals Ltd සමාගමේ කොටස් වලින් තුනෙන් එකක් Lanka IOC සමාගම 2002 වසරේදී මිලදී ගනු ලැබුවා] අනතුරුව පැවති යුදමය තත්ත්වය යටතේ මෙම තෙල් ටැංකි සංකීර්ණය නිසි ලෙස භාවිතයට ගැනුණු බවක් පෙනුනේ නෑ. (භාවිතා කළ ටැංකි 15ට අමතරව). මේ පිළිබදව නැවත සාකච්ඡාවක් 2018 වසරේදී එවකට සිටි ඛනිජ තෙල් අමාත්‍යවරයා ඉතිරිව තිබූ තෙල් ටැංකි 85න් තවත් 15ක් Lanka IOC සමාගමට සංවර්ධනය සඳහා ලබා දීමට සැලසුම් කිරීමත් සමග දේශපාලනය නැවත කලබනු ලැබුවා. ඉන් අනතුරුව වර්තමාන ඛනිජතෙල් අමාත්‍යවරයා මේ වසරේ පෙබරවාරි මාසයේදී සියලු තෙල් ටැංකි නැවත ශ්‍රී ලංකාවට පවරා ගන්නා බව සඳහන් කළා. නැවත ඉන්දියානු විදේශ ලේඛම් මෙම තෙල් ටැංකි සංකීර්ණය අධීක්ෂණය කිරීමත් සමග සහ මෙම තෙල් ටැංකි ඉන්දියාව සමග සමග සාකච්ඡා කිරීම සමග නවත අලුත් දේශපාලන, වෘතීය සමිති සහ වැඩවර්ජන රැල්ලක කතිකාවක් ඇරබෙමින් පවතිනවා. සාකච්ඡා සහ ප්‍රකාශ කෙසේ වෙතත් සාමාන්‍ය මිනිසුන් ලෙස අපට දැකිය හැක්කේ සහ ආර්ථික විද්‍යාත්මකව අපට පෙනෙන්නේ මේ ශත වර්ශයකට ආසන්න කාලයක් තුළ කයිවාරු ගැසීම හැර තෙල් ටැංකි වලට සිදුවූ ආර්ථික ප්‍රගතියක් නොමැති බවයි. එම කාලය තුළ අගලක් ඝණකම යකඩ සහ නළ පද්ධති පොළවට මලකඩ කෑවා හැර වෙනත් සිදුවූ දෙයක් නොමති තරම්.

වසර 100කට ආසන්න කාලයක් භාවිත කර නොමැති තෙල් ටැංකි නැවත භාවිතා කළහැකි තත්ත්වයටපත් කිරීමට ඩොලර් බිලියන කිහිපයක විශාල ආයෝජනයක් අවශ්‍යයි. එය කිසි සේත්ම අපට තනිවම කළ හැක්කක් නොවේ. ඒ සඳහා තාක්ෂණය, ප්‍රාග්ධනය, අන්තර්ජාතික සම්බන්ධතා අපට තනිවම කළ හැක්කක් නොවේ. එම නිසා වසර 100ක් කැලෑ වදින්නට ඉඩ හැරි තෙල් ටැංකි තව දුරටත් එලෙසෙම තිබීම ජාතික සම්පත් සුරැකීමක් විය නොහැකියි. ආර්ථික විද්‍යාවේ එන සරලම සංකල්පයක් තමයි ඕනෑම නිෂ්පාදනයකට නිෂ්පාදන සාදක නිසි පරිදි සංකලනය වීමට ඇති අවශ්‍යතාවය. ඒ අනුව භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසාය එකිනෙකට සංකලනය විය යුතුයි. මෙම අවස්ථාවේදී එලෙස සංකලනය වූ කිසිවක් නෑ. ඛනිජ තෙල් සංස්ථාව යනු විශාල ලෙසම පාඩු ලබන රාජ්‍ය ආයතනයක්. එහි අකාර්යක්ෂමතාවය, දේශපාලනය වැනි කාරණා මුල් බැස තිබෙනවා හැරෙන්නට වේගයෙන් සංවර්ධනය වන බලශක්ති ව්‍යාපාරයක ගුණාංග කිසිසේත් ඇතුළත් වී නොමැති බව රහසක් නොවෙයි.

එලෙසෙම අප තෙල් ටැංකි වල ආයෝජනය දැකිය යුත්තේ ත්‍රිකුණාමලය වරාය සමග එකට එක්වයි. වරායක් සහිත නගර ඉතා සීග්‍ර දියුණුවක් ලබන්නේ වරාය ආශ්‍රිත ආර්ථික කටයුතු බහුල වීම නිසයි. කොළඹ නගරය ශ්‍රී ලංකාවේ අනෙක් නගර වලට වසා සීග්‍ර දියුණුවක් ලබා ඇත්තේ වරායවල පිහිටීම නිසයි.

නමුත් සොභාවික ගැබුරු පර්යන්තයක් සහිත ත්‍රිකුණාමලය වරාය දැනට වෙළෙඳ කටයුතු සඳහා මූලික වශයෙන් භාවිතා කරන්නේ සිමෙන්ති කර්මාන්ත ශාලාව සහ ප්‍රීමා සමාගම පමණයි. එය අපගේ සමස්ත නාවික ගමනාගමනයෙන් සහ වෙළඳමෙන් ඉතාම සුළු ප්‍රමාණයක්. එම නිසා ත්‍රිකුණාමල තෙල් ටැංකි විදේශ සමාගමක් සමග දියුණු කිරීම යනු අදාළ මුහුදු තීරයටම සීග්‍ර සංවර්ධනයකට දොරටුව විවෘත කිරීමකි. එමෙන්ම ත්‍රිකුණාමල වරාය මුහුණලා බෙංගාල බොක්ක ආශ්‍රිත විශාල වෙළඳපොළක් සංවර්ධනය වෙමින් පවතී, චෙන්නායි, විශාකා පට්නම්, බංග්ලාදේශය ඇතුළු ජනගහනය විශාල වෙළඳපොළවක් ගණනාවක් තිබෙන්නේ ත්‍රිකුණාමලය වරායට මුහුණලායි. ත්‍රිකුනාමලය වරාය පෙර අපර දෙදිගු මුහුදු මාර්ගයේ පිහිටා නොතිබුණත් ඒ ව්‍යාපාර කේන්ද්‍රස්තානයක් කර ගැනීමෙන් එයට විශාල නාවික බලයක් අත්පත් කර ගත හැකියි. ඒ අනුව අප ත්‍රිකුනාමළය දැකිය යුත්තේ කොළඹ තරම්ම වටිනා ආර්ථික මධ්‍යස්ථානයක් ලෙසයි.

නමුත් ත්‍රිකුණාමලය ජාතික සම්පතක් වන්නේ අප එය භාවිතා කර ධනය ඉපැයීම ආරම්භ කරන දවසටයි. තෙල් ටැංකි, සංචාරක කර්මාන්තය, පුල්මුඩේ ඛනිජ වැලි ආයෝජනය, එප්පාවල පොස්පේට් නිධිය වැනි දෑ අප දැකිය යුත්තේ ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘති ලෙසයි. ඒ සදහා පුද්ගලික අංශයට දොරටු විවර කිරීම සහ ආයෝජකයන්ට දොරටු විවර කිරීමකින් තොරව එම සම්පත් සැබැවින්ම ජාතික සම්පත් කිරීමට අපට හැකියාවක් නෑ. එම සම්පත් එලෙසම භාවිතයට නොගෙන තිබීමෙන් වන්නේ එම සම්පත් ජාතික අපරාධ බවට පත්වීම පමණයි.

එය හරියට අප පොතක් ගෙන එය කියවා දැනුම අවශෝෂණය කර එම දැනුම යෙදෙවීම වගේයි. එතෙක් අපට අප සතුව අති පොත් ගැන කයිවාරු ගැසිය හැකි වුවත් පොතේ නිසි ප්‍රයෝජනය ලබෙන්නේ එහි දැනුම යොදවන දවසටයි. ත්‍රිකුණාමල වරාය සහ ත්‍රිකුණාමලය තෙල් ටැංකි යන දෙකම දැනට ජාතික අපරාධයක් වී ඇති දේශපාලන පාපන්දුවක් පමණි. එය ජාතික සම්පතක් වන දාට ආයෝජකයන්, නාවුක සමාගම්, මූල්‍ය සමාගම්, සංචාරකයන්, විවිධ රටවල ජාතිකයන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්, ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් ත්‍රිකුණාමලයේ විශාල ලෙස දැකිය හැකි වනු ඇත. එම දිනය උදාවන තුරු “ජාතික සම්පත්” ගැන කතා වෙන සෑම දේශපාලන මෝසම් කුණාටුවකදීම අප මතක තබා ගතයුතු වැකිය වන්නේ “හොරකම් කරන මිනිස්සු පොත් කියවන්නේ නෑ. පොත් කියවන මිනිස්සු හොරකම් කරන්නේ නෑ” යන ඉරාන වැකියයි.

2021 ඔක්තෝම්බර් 08 දින අරුණ පුවත්පතේ පලවූ ලිපිය

හාල් ගැරීම සහ හාල්වලින් ගැරීම

හාල් ගැරීම සහ හාල්වලින් ගැරීම 

මං ඉස්කෝලේ යන කාලේ ගියපු විද්‍යා පන්තියේ පුංචි තුණ්ඩු කෑල්ලක ප්‍රශ්න ලියලා සර්ට යවන්න පුළුවන්. මේ ප්‍රශ්න කියවන්නෙ ඉස්සරහම පේලියේ හිටපු ළමයෙක්. එක දවසක් ප්‍රශ්නෙ කියවපු ගමන් මුළු පන්තියටම බකස් ගාලා හිනා ගියා. ප්‍රශ්නෙ තමයි ‘ආච්චිට හාල් ගරන්නේ කෙසේද?’

අපි පුංචි කාලේ හාල් කඩෙන් ගෙනාවාට පස්සේ, කුල්ලෙන් පොළලා වී ඇට, දහයියා අයින් කරලා, නෑඹිලියක දාලා කළු ඇට අයින් කරලා ආයෙත් පාරක් හාල් සුද්ද කරලා, ගල් කැට, වැලි කැට අයින් කරලා (ගරලා) තමයි උයන්න ගන්නේ.

පස්සේ කාලේ හාල් මෝල් දියුණු වෙනවත් එක්කම හාල් පිරිසිදු කරලා කළු ඇට අයින් කරලා ගල්කැට අයින් කරලා උසස් තත්ත්වයෙන් හාල් එකපාරම උයන්න පුළුවන් විදියට මිලදී ගැනීමේ හැකියාව ලැබුණා. අන්න ඒ නිසා දැන් ඉන්න අපේ ආච්චිලට හාල් ගරන්නේ නැතුව හෝදලා එකපාරම උයන්න පුළුවන් වුණා. අද කතාව හාල් සහ ලංකාවේ ගොවිතැන ගැන. සහල් වල පාලන මිල ඉවත් කිරීමත්, ඒ මිල වී මෝල් හිමියන් තීරණය කළා කියන චෝදනාවත් එක්ක සමාජයේ විශාල කතා බහක් ඇති වෙලා. සුපුරුදු විදියට අපේ අදහස දේශපාලන කෝණයෙන් මිදිලා ආර්ථික විද්‍යාත්මකව මේ ප්‍රශ්නය දිහා බැලීමයි.

අපි දත්ත (Data) දිහා සහ විසඳුම් (Solution) දිහා පොඩ්ඩක් බලමු.

1. ශ්‍රී ලංකාවේ අවුරුද්දකට එක පුද්ගලයෙක් හාල් 108kg පරිභෝජනය කරනවා. ලෝකය අනෙක් රටවල් වල සාමාන්‍ය මනුස්සයෙක් (Average rice consumption) හාල් පරිභෝජනය කරන්නේ අවුරුද්දට 54Kg විතරයි. සරලව කියනවා නම් ලංකාවේ මිනිස්සු සාමාන්‍ය මනුස්සයෙක්ට වඩා දෙගුණයක් බත් කනවා.

එතකොට එන ප්‍රශ්නය තමයි මෙච්චර හාල් කන රටේ අවුරුදු ගාණක් තිස්සේ ගොවියෝ දුප්පත් වුණේ කොහොමද කියලා. අන්න එතකොට අපි ඔක්කොම එකතු වෙලා බනිනවා හාල් මෝල් අයිති පුද්ගලයන්ට . අතරමැදියා සල්ලි හොයනව - ගොවියා දුප්පත් වෙනවා කියල . ඒ මතයේ ඇත්ත නැත්ත බලන්න කලින් අපි පොඩ්ඩක් ප්‍රශ්නය ගැඹුරට යන්න ඕන.

ගොවියන් නිතරම කියන්නේ හාල් මොල්වල අය අපෙන් වී මිලදී ගන්නේ ඉතාම අඩු මිලකට රජය ඒ නිසා සහතික මිලකට අපෙන් වී මිලදී ගන්න කියල. නැත්තං මෝල් හිමියන්ට වී මිලදී ගන්න අවම මිලක් තීරණය කරන්න කියලා. ගොවියන්ගෙන් මේ ඉල්ලීම් වැඩිපුරම එන්නේ ඇස්වහක් කටවහක් නැතුව ගංවතුරක්, නියඟයක් නැතුව ඉතා හොඳ අස්වැන්නක් ලැබෙන කාලෙට. ඇත්තටම මෙතනදි වෙන්නේ හොඳ සහල් අස්වැන්නක් ලැබුණු ගමන්ම වෙළෙඳපොළටලට සහල් සැපයුම වැඩි වෙන නිසා නිකම්ම මිල පල්ලෙහාට එනවා. ඒ නිසා වැඩි අස්වැන්නක් ලබා ගත්තා කියලා ගොවියන්ට වැඩි මුදලක් ලබාගන්න පුළුවන් කමක් නෑ .

ගංවතුර නියඟය ඇවිල්ලා අස්වැන්න අඩු කාලෙට වී වල මිල ඉහළ යනවා හැබැයි ඒත් එතකොට සම්පූර්ණයෙන් නිපදවන වී කිලෝ ගණන අඩුනිසා මිල වැඩි උනත් ගොවියන්ට ලැබෙන මුළු මුදල් ප්‍රමාණය ලොකු වෙනසක් වෙන්නේ නෑ. සරලවම කියනවා නම් අස්වැන්න වැඩි වුණත් ගොවියන්ට ලැබෙන්නේ එකම මුදල. අස්වැන්න අඩු වුණත් ගොවියන්ට ලැබෙන්නේ එකම මුදල. ඒක නිසා අස්වැන්න වැඩි කරගන්න වැඩි වැඩියෙන් මහන්සි වෙන්න ගොවියන්ට ධෛර්යවත් වෙන්න හේතුවක් නෑ (No incentive). ඕකට විසඳුමක් විදිහට බොහෝ වෙලාවට බලයේ පවතින ආණ්ඩු කරන්නේ අස්වැන්න වැඩි කාලෙට වී මොල් හිමියන් ගොවියන්ගෙන් වී මිලදී ගත යුතු අවම මිලක් තීරණය කරනවා. එතකොට හාල් මෝල් හිමියන් ගොවියන්ගෙන් වී මිලදී ගන්න එක අඩු කරනවා. එතකොට ගොවියට අයෙත් බඩට පහරක් වදිනවා.

එහෙම නැත්තම් සහල් මිලදී ගන්න පනවපු පාලන මිලත් ( සහතික මිලත් ) එක්කම පාරිභොගිකයගේ අවසාන සහල් කිලෝවක් විකුනන මිලට එකතු කරනවා. එහෙම කරපු ගමන් වෙළෙඳපොලේ හාල් මිල 120ට 140ට යනවා. එතකොට විපක්ෂයේ ඉන්න අයගෙන් සහ ජනතාවගෙන් විශාල විරෝධයක් එනවා.

එතකොට ආණ්ඩුව කරන්නේ සහල් විකිණීම සඳහා මිල පාලනයක් දානවා. එතකොට වී මෝල්වලින් හාල් හංගනවා. මොකද ඔවුන්ට එම මුදලට සහල් විකිණීමෙන් ඔවුන් බලාපොරොත්තු වෙන ලාභය ලබන්න බැරි නිසා. මේ අතර මැද්දට සහල් මෝල් හිමියන් සහල් ගබඩා කරගෙන ඒකාධිකාරියක් ගොඩනඟාගෙන සහල් මිල පාලනය කරනවා.

එහෙම නැත්තන් ආණ්ඩුව කරන්නේ ආණ්ඩුව සහතික වැඩි මිලකට වී /හාල්ටික මිලදී අරගෙන ගබඩා පහසුකම් අඩු නිසා මත්තල ගුවන් තොටුපොළ වගේ තැන්වල වී ගබඩා කරලා ආයෙමත් ගත්තට වඩා අඩු මිලකට තමන්ගේ දේශපාලන හිතවත්කම් මත අර සහල් මෝල් හිමියන්ටම ඒ වී ටික විකුණලා ලබන පාඩුව බදු ගෙවන ඔබගෙනුයි මගෙනුයි අය කරගන්නවා.

මගේ අවබෝධය හැටියට ඕක තමයි සහල්වල විෂම චක්‍රය. සරලවම කියනවනම් මෙතන වෙළෙඳපොළක් ක්‍රියාත්මක වෙන්නේ නෑ. වෙළෙඳපොළ ක්‍රියාත්මක නොවෙන ඕනම තැනක තියෙන්නේ ප්‍රශ්න විතරයි.

දැන් බලමු මේකට විසඳුම් මොකක්ද කියලා. ඔය විෂම චක්‍රය කෑලි එහෙට මෙහෙට කරලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. අපි වවමු රට නගමු, පුරන් කුඹුරු අස්වද්දමු වගේ වැඩ ඉතා හොඳ වැඩ. ඒත් මේ ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙයි කියල හිතන්න අමාරුයි. අපි වසර ගණනාවක් ඒව අත්හදා බැලුවත් විසඳුමක් නොලැබුණේ ඒ නිසයි.

මුලින්ම සහල් වල මිල ගණනය කිරීමේදී අපි ගණනය කරන ක්‍රමය ඉතාම වැරදියි. සාමාන්‍යයෙන් හාල් කිලෝ එකක් නිෂ්පාදනය කරන්න වතුර ලීටර් 2500 විතර ලබා දීල ඒකෙන් ලීටර් 1,400 ක් විතර ශාක පාවිච්චි කරනවා. අපි සාමාන්‍යයෙන් වතුර ලීටර්යකට සත 20 ගණන් තිබ්බාත් (වෙළෙඳපොලේ කාර්මික ජලයට අයකරන මුදලට වඩා ඉතා අඩු අගයක්) දැනට තියන හාල් කිලෝ එකට අවම තවත් රුපියල් 280 එකතු වෙන්න ඕන. එහෙම බැලුවම පේනවා අපි කන හැම හාල් කිලෝ එකක මිල කොච්චර වැඩියිද කියලා. පවතින දේශගුණික විපර්යාස එක්ක වතුරට ඉල්ලුම වැඩි වෙද්දී අපි ලොකු ප්‍රශ්නයකට මුහුණ පානවා.

ඒ වගේම අපි විශාල පොහොර සහනාධාරයක් ගොවියන්ට ලබා දෙනවා. ඒවට ගෙවන්නෙත් බදු ගෙවන ජනතාවමයි. එම මිලත් හරිනම් සහල් වලට මිලට එකතු වෙන්න අවශ්‍යයි. එහෙම එකතු වුණාම අපේ සහල් කිලෝවක නිෂ්පාදන වියදම එනව රුපියල් 280ක් කිට්ටුවට. අපි අකමැති වුණත් ඒක තමයි යතාර්ථය.

ගොඩක් අය හිතන්නේ ආණ්ඩුව මේ වැඩේ කරන්න පටන් ගත්තොත් වැඩේ ඔක්කොම හරි කියලා. ආණ්ඩුව වැඩේ කරනවා කියලා කියන්නේ තියනවටත් වඩා ප්‍රශ්නය වැඩි වෙනවා කියන එකයි. (ආණ්ඩුව කියලා අදහස් කළේ පවතින ඕනෑම රජයක්).

මේකට මගේ අදහසේ හැටියට පේන විසඳුම තමයි සහල්, කර්මාන්ත ක්ෂේත්‍රයට පාවිච්චි කරන අමුද්‍රව්‍යයක් (Industrial raw material) බවට පත් කරන්න ඕනේ. සරල කරල කියනවනම් ගොවියන්ගෙන් වී මිලදී ගන්න එකම ගැණුම්කරුවා වී හාල් මෝල් කරුවන් නොවිය යුතුයි. (රජයේ හාල් මෝල් ද ඇතුළුව) තව ටිකක් පැහැදිලිව කියනවා නම් ලෝකෙ සහල් අද පාවිච්චි කරන්නේ කන්න විතරක් නෙවෙයි. හාල් වලින් කිරි හදනවා. හාල්වලින්, වයින්, බියර්, whisky සුවඳ විලවුන්, තෙල් හදනවා.

බොහෝ අය ඉන්න අනිත් මිත්‍යාව තමයි අපි වැඩිපුර හාල් හැදුවොත් අපිට අපනයනය කරන්න පුළුවන් කියලා. අපි නොදන්න කාරණය තමයි ලංකාවේ වවන්නේ කෙටි බීජ (Short grain) සහල් . ඒත් ලෝකෙ වැඩිපුරම ඉල්ලුමක් තියෙන්නේ දිග බීජ Thai (Long grain) සහල් වලට.

සහල් වෙළෙඳපොළේ තරග කරන රටවල් ගොඩක් වවන්නේ දිග බීජ [Long grain] සහල්. අන්න ඒ නිසා ඊළඟ විසඳුම තමයි ලෝක වෙළෙඳ පොළේ වැඩි ඉල්ලුමක් තියෙන සහල් වර්ග වගා කරන්න අපේ ගොවියන් නැඹුරු කිරීම. ඒ වගේම අඩු වතුර ප්‍රමාණයක් පරිභෝජනයය කරන හාල් විශේෂ ඉදිරිපත් කරන්න ඕන. ශ්‍රී ලංකාවටම ආවේනික වෙච්ච සුවදැල්, පච්ච පෙරුමාල්, හීන්ටි, රතු නාඩු, කුරුලු තුඩ වගේ වී වර්ගවල ප්‍රතිඔක්සිකාරක (Antioxidants) වැඩිපුර තියෙන බවට ශ්‍රී ලංකාවේම ශිෂ්‍යයෝ දෙදෙනෙකු කරපු පරීක්ෂණ වාර්තාවකින් අදහස් පළකරලා තිබුණා. ඒ වගේ බීජ වර්ග මහා පරිමාණයෙන් වගා කරන්න පුළුවන්ද කියලා පරීක්ෂණ කරලා බලන්න ඕන. අනිත් එක තමයි පාරිභෝගිකයෝ විදියට අපි පරිභෝජනය කරන සහල් ප්‍රමාණය අඩු කරන්න ඕන. අපේ පරිභෝජනය අඩු කරල ඉතුරුවෙන ප්‍රමාණයෙන් තමයි කර්මාන්ත සඳහා සහල් පාවිච්චිය වැඩි කරන්න පටන් ගන්න ඕන. [Lion Beer සමාගම බියර් නිෂ්පාදනය සඳහා මිල වැඩි malt වෙනුවට සහල් භාවිතාව වසර කිහිපයකට පෙර ආරම්භ කරා] අපේ මුතුන්මිත්තෝ බත් විතරයි කෑවෙ කියල තුන් වේලටම බත් කන්න පුළුවන් ජීවන රටාවක් නෙවෙයි දැන් අපිට තියෙන්නේ. අපේ ජීවන රටාවත් එක්ක එතරම් කාබෝහඩ්ට්‍රේට ප්‍රමාණයක් අපේ ශරීරයට හිතකර නෑ.

ශ්‍රී ලංකාවේ වී වගාව කර්මාන්තවල පාවිච්චි වෙන අමුද්‍රව්‍යයක් වෙච්ච දවසට අස්වැන්න වැඩිවෙන්න වැඩිවෙන්න ගොවියට ලැබෙන මිලත් වැඩිවෙනවා. මිලදීගන්න ගැනුම්කරුවන්ව ක්ෂේත්‍ර ගණනාවකට පැතිරුණාම නිකම්ම ඒකාධිකාර බිඳවැටෙනවා.

2. ඊළඟ කතාව තමයි ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට (GDP) සරලවම කියනවනම් ලංකාව හදන ඔක්කොම බඩුවලින් කෘෂිකර්මය දායක වෙන්නේ 7%-8%ට විතරයි. ඒත් අපේ ශ්‍රමබළකාය නැත්තම් අපේ වැඩ කරන ඔක්කොම මිනිස්සුන්ගෙන් 25%ක් ඉන්නේ කෘෂිකර්මාන්තයේ. බොහෝ දෙනෙක් මේකට දෙන උත්තරේ තමයි ගොවියන්ගේ ඵලදායිතාවය වැඩි කරන්න අපි තාක්ෂණය ගේන්න ඕන. අපේ ගොවීන්ට වඩාත් කාර්යක්ෂම විදියට වගා කරන්න ඉඩ පහසුකම් සපයන්න ඕන කියන තර්කය. අර මම උඩදි කිව්ව වගේ අලුත් බීජ අත්හදා නොබලන්න, අඩුවෙන් ජලය පාවිච්චි වෙන වගා ක්‍රම ඉදිරිපත් නොකරන්න, වී වලට වඩා වැඩි ඵලදාවක්- මිලක් ලබා දෙන බෝග වගා නොකරන්න, හරිතාගාර තුළ සිදුකරන වගා ක්‍රම අත්හදා නොබලන්න, තාක්ෂණය කුඹුරුට නොඑන්න හේතුවක් තියෙනවා. එය තමයි වී වගාව සම්බන්ධව ඉඩම්වල තිබෙන ප්‍රශ්නය. මේක ඉතාම සංවේදී ප්‍රශ්නයක්. තවත් සරලව කියනවා නම් ඉතාම හොඳ දේශපාලන පාපන්දුවක්. ලංකාවේ තියෙන ඉඩම් වලින් 82% ක්ම අයිති ආණ්ඩුවට. සරලවම කියනවනම් ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණය වෙච්ච හෙක්ටයාර මිලියන 6.561 න් හෙක්ටයාර මිලියන 5.4 ක්ම අයිති ආණ්ඩුවට.

(ආණ්ඩුවට ඇති ඉඩම් ප්‍රමාණයෙන් 30% විතර වනාන්තර තිබෙන බවත් අමතක කරන්න එපා.) මේ ඉඩම්වල අයිතිය ගොවීන්ට නැහැ. ඒ නිසා ඔය කුඹුරු ඉඩම් වල වී ඇරෙන්න වෙන දෙයක් වගා කරනවා නම් ආණ්ඩුවේ කන්තෝරුවට ගිහිල්ලා වෙනම ලයිසන් එකක් ගන්න ඕනේ. ඒක අවුරුද්ද ගානේ අලුත් කරන්න ඕන. ඊට අමතරව කුඹුරු ඉඩම් වල කිසිම ඉදිකිරීම්ක් කරන්න බෑ. කුඹුරු ඉඩම් වලට බැංකුවෙන් ණයක් ගන්න පුළුවන් හැකියාව ඉතාම අඩුයි. ආයෝජනය කරන්න බැරි, තමන්ටම කියලා අයිතියක් නැති ඉඩමකට කොහොමද ඉතින් හරිතාගාර තාක්ෂණය එන්නේ. ගොවියන්ට කුඹුරුවල අයිතිය ලබා දෙනවා කිව්වාහම දේශපාලන වේදිකාවේ කියවෙන ප්‍රධානම තර්කය තමයි අම්මෝ ඔය ඉඩම් වල අයිතිය ගොවියන්ට දුන්නහම ගොවියෝ ඒ ටික විකුණල ඒකෙන් අරක්කු බොයි, ගොවියෝ විකුණන ඉඩම් ටික විදේශිකයෝ අරගෙන ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට මහා බලපෑමක් ඇතිවෙනවා, සහ ශ්‍රී ලංකාවේ ජනතාවගේ ඉඩම් වල අයිතිය පිටරට අයට හිමිවෙනවා කියන මතය. ගොඩක් Conspiracy theory විශ්වාස කරන අය තමයි ඕක කියන්නෙ. (ඒ වගේම තමයි ඔය කුඹුරු ඉඩම් ගොඩක් තියෙන්නේ ඉතා කුඩා කොටස් වශයෙන් මහා පරිමාණ වගාවක් කරන්න අමාරුයි). මගේ නම් මතය ඉඩම්වල අයිතිය ආණ්ඩුවට තියෙන තාක් කල් ඉඩම්වල අයිතිය ජනතාවට ලැබෙන්නේ නැහැ කියන එකයි. තවත් සරල කරලා කියනවා නම් මේ සටහන කියවන කාට හරි ඔය ආණ්ඩුවට අයිති 82% ප්‍රමාණයේ කිසිම දෙයක් කරන්න පුලුවන්ද? බැහැ කියන එක තමයි පිළිතුර. විදේශිකයෝ ඉඩම් අත්කර ගනී කියන මතයට අනුව ගත්තොත් විදේශිකයො ඉඩම් අත්පත් කරගනී කියලා වැඩිපුරම බය වෙන්න ඕනේ ඔස්ට්‍රේලියාව, ඇමරිකාව වගේ රටවල්. මොකද ලංකාව, ඉන්දියාව වගේ රටවල් ගණනාවක මිනිස්සු ඒ රටට ඇවිල්ලා පුරවැසි භාවයත් අරගෙන ඉඩනුත් සල්ලි දීලා ගන්නවා. එහෙම පොඩි හරි බයක් තියෙනවා නම් ශ්‍රීලාංකිකයන්ට හරි මේ ඉඩම් මිලදී ගැනීමට අවස්ථාව තියෙන්න ඕන කියන එකයි මගේ අදහස . ඉඩම් විකිණීමේදී ගහන බද්දෙන් රජයට විශාල ආදායමක් උපයා ගන්නත් පුළුවන්. හාල් ගැන කතාව ඉතාම දිගයි. කෙටි කාලීනව විසඳුම් නෑ. සහල්වලට මිල පාලනය දාලා හාල් මෝල් අයිති අයගේ ගබඩා වලට ඇවිල්ලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි මේක. එහෙම කරපු ගමන්ම ඔවුන්ගේ ධාරිතාව අඩු කිරීමෙන් වෙළෙඳපොළේ සහල් අඩු වෙලා ඉල්ලුම සහ සැපයුමට අනුව නිකන්ම සහල් මිල ඉහළ යනවා.

හාල් වගාකිරීමට තියන Incentive ප්‍රශ්නේත් ගොවියන්ට තිබෙන ඉඩම් ප්‍රශ්නේත් විසඳලා මේ ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් ලබාගන්න පුළුවන් කියන එකයි මගේ විශ්වාසය. එහෙම නැත්තම් ආච්චිට හාල් ගරන්නේ කෙසේද කියල ඇහුව වගේ හැමදාම වී මෝල් හිමියන් අපෙන් ගරනවා කියල තමයි ඉන්න වෙන්නේ.

2021 ඔක්තෝම්බර් 01 දින අරුණ පුවත්පතේ පලවූ ලිපිය

අර්බුදය කොයිබටද? : සාගින්න, විරැකියාව හා ණය තුරන් කිරීම

ආර්ථික අර්බුදයකට මුහුණ දිය හැක්කේ පරිපූර්ණ හා ගැඹුරු ප්‍රතිසංස්කරණවලින් පමණි. පැලැස්තර විසඳුම් තුළින් අර්බුද වලට විසඳුම් ලබාදිය නොහැක.

ඩැනියෙල් ඇල්ෆොන්සස් විසිනි 

ඉතිහාසය පුරාවට රටවල් විවිධාකාර අර්බුද වලට මුහුණපා තිබේ. එහෙත් ඉදිරි දශක ගණනාවක් පුරාවට ප්‍රතිවිපාක වලට මුහුණදීමට මඟපාදන තරම් දරුණු මට්ටමේ ව්‍යසන ඇත්තේ ස්වල්පයකි. 20 වැනි සියවසේ ශ්‍රී ලාංකාවේ ඉතිහාසය දෙස බැලීමේදී එවැනි අර්බුද දෙකක් කැපී පෙනෙයි - එනම් 1929 දී ඇතිවූ ගෝලීය මහා ආර්ථික අවපාතය නිසා  ලංකාවට මුහුණපෑමට සිදුවූ අර්බුදය හා 1970-77 කාලයේදී අත්විඳි හාල් පෝලිම් යුගයයි. අඳුරැ වලාවක් මෙන් ඉතිහාසයේ සටහන් වන මෙකී අත්දැකීම් විසින් ඉන් පසු එලඹි දශකවල රටේ ආර්ථික ප්‍රතිපත්තිය තීරණය කරන ලදී. මහා ආර්ථික  අවපාතයේ දී, ගෝලීය ණය අර්බුදයක් සමඟ වෙළඳ භාණ්ඩ වල මිල සීඝ්‍රයෙන් අඩු වීම හේතුකොට ගෙන ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය නොවූ  වතු ආර්ථිකය විනාශයට පත්විය. ඉන්පසු මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළඳපොලවල් මත යැපීම අවම කිරීම සඳහා සම්මුතියක් ඇති කර ගන්නා ලදී.

1934 දී නිදහසට පෙර  ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ ප්‍රමුඛතම විශ්ලේෂණය වූ  ලංකාවේ බැංකු කොමිෂන් වාර්තාව  නිරීක්ෂණය කල පරිදි, “ලංකාවේ ආර්ථික ව්‍යුහය හේතුවෙන් රටට මුහුණ දීමට සිදුවන අවදානම කොතරම්ද යන්න මෙම කාල පරිච්ඡේදයේ  තරම්  ප්‍රබල ලෙස දැනී තිබුනේ නැත. රටේ ධනයෙන් 90% කට වැඩි ප්‍රමාණයක්  උපයා දෙන ප්‍රධාන නිෂ්පාදන තුන වූ තේ, රබර් සහ පොල් වලින් ලද ආදායම මෙම අවපාතයේ දී බරපතල ලෙස පසුබෑමට ලක්විය. අනෙකුත් රටවල ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රබල විශ්වාසයක් බවට පත් වූ ආර්ථික ස්වයංපෝෂිතභාවය ශ්‍රී ලංකාවට ද ව්‍යාප්ත විය”. යුධ කාලීන සැලසුම්කරණයෙන් සහ රුසියාව කාර්මිකකරණය කිරීමේදී සෝවියට් රුසියාව අනුගමනය කල විධාන ආර්ථිකයේ සාර්ථකත්වයත් සමඟ පුද්ගලික සමාගම් වෙනුවට රජය මූලික කරගත් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් ජාතික ස්වාධීනත්වයක් ස්ථාපනය කිරීමට අවශ්‍ය වන බව මෙම කාලයේදී යටත්විජිත වශයෙන් සිට නිදහස ලද තුන්වන ලෝකයේ රටවල් අතර පැවති පොදු මතයක්/එකඟතාවයක් විය. 

එහෙත් මෙම උද්දාමය ඉක්මණින් අවසන් විය. ආනයන ආදේශනය අසාර්ථක වීම සහ තීරණාත්මක වැවිලි අංශයේ ව්‍යවසායන් ඇතුළුව ව්‍යවසායන් පවත්වාගෙන යාම  පිළිබඳ රජයේ අති අසාර්ථක බව  1977 විවෘත වෙළඳපොල ප්‍රතිසංස්කරණ සඳහා මග පෑදීය. රටේ ජනතාව අතර අපේක්ෂා භංගත්වය පැහැදිලිව පෙනෙන්නට තිබුණි .ආර්. ජයවර්ධන ඇමරිකානු ගැත්තෙක්  බවට සිරිමා බණ්ඩාරනායක මැතිවරණ වේදිකාවලදී චෝදනා කළේ එය හේතුවක් කොටගෙන ඡන්දදායකයින් ඔහුට සහාය දැක්වීම වැළකෙනු  ඇතැයි සිතමිනි. නමුත් ඒම  උපාය බූමරංගයක් විය. දශක දෙකකට හෝ තුනකට පෙර ආසියාවේ දෙවන ධනවත්ම රටේ වැසියන් වූ  නමුත් දැන් සහල් සඳහා පෝලිම්වල රැඳී සිටීමට සිදුවී සිටි  ඡන්දදායකයින් සිය බඩගින්න ගැන  සිතා ඡන්දය ප්‍රකාශ කළහ. මෙසේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවගේ තර්කය සරල විය, ඒනම්  ජේ.ආර් ඇමරිකානු  ගැත්තෙක් නම්  ඔහුට ඔවුන්ගෙන් සහනයක් ලබා ගැනීමට හැකි වනු ඇත යන්නයි. 

2004 දී වසර විසිපහක් පුරාවට අනුගමනය කළ විවෘත ආර්ථික ආකෘතිය හදිසි හා අනපේක්ෂිත ලෙස නතර වුවද ආර්ථික වශයෙන් ගත් කළ අප තවමත් 1977 විවෘත ආර්ථික විප්ලවයේ දරුවන් වෙමු . මෙම වසර එම යුගයේ අවසානය හෝ අවම වශයෙන් නව පරිච්ඡේදයක් සනිටුහන් කරයි.  

මක්නිසාද යත් මේ වන විට ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බැවිනි. එය කුණාටු හතරක අර්බුදයක් ලෙස හඳුනාගත හැකි අතර, එහි එකතුව මුළු දිවයිනම අඳුරු ගිගුරුම් සහිත ජලගැල්මක ගිලීමට තර්ජනය කරන දරුණු කුණාටුවකි. ඒ්වා නම්:

  1. කොරෝනා වයිරසය: කොරෝනා වයිරසය නිසා ගෝලීය හා දේශීය ඒකාබද්ධ භාණ්ඩ සැපයුමට හා ඉල්ලුමේ  ඇතිවන බලපෑම්.

  2. මුලින්ම කල වරද කුමක්​ද: ඵලදායිතාවයෙන් අඩු ඉදිකිරීම් සහ ආනයන පරිභෝජනය සඳහා වැඩි පොලී අනුපාත යටතේ ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළවලින් අසීමාන්තික ලෙස විදේශ මුදල් වලින්ණය ගැනීම. මෙසේ ලබාගන්නා ලද ණය අඩු  කල් පිරීමේ කාලයකින් යුතු වීම ආර්ථිකයට අහිතකර ලෙස බලපායි.  

  3. වර්ධනය අඩාල වීමට හේතුවූ   අර්බුද: : ගංවතුර, නියඟ, ව්‍යවස්ථාමය කුමන්ත්‍රණය සහ පාස්කු බෝම්බ ප්‍රහාර හේතුවෙන් ඇති වූ ආර්ථික මන්දගාමිත්වය.

  4.  ඇණහිට ඇති ප්‍රතිසංස්කරණ: නව දේශීය ආදායම් පනත හැරුණු විට 2004 සිට කිසිදු බරපතල ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමට අපොහොසත් වීම නිසා  සැබෑ වර්ධනය පහත වැටීමක් පෙන්නුම් කරයි

එහි ප්‍රතිඵලයක් වශයෙන්, අප නිදහසින් පසු ශ්‍රී ලංකාවේ පළමු ස්වෛරී ණය ගෙවීම් පැහැර හැරීම අබිමුව සිටින බව කිව හැකිය.  වසංගතයට පෙර, රටේ ආර්ථික දිශානතිය දරුණු වුවද, එම ව්‍යසනයෙන් වැළකී හැකිවේය යන බලාපොරොත්තුවක් තිබුණි. එම බලාපොරොත්තුව දැන් වේගයෙන් හීන වෙමින් පවතී. මෙම අර්බුදයේ මූලාරම්භය පවතින්නේ මෙම සහස්‍රයේ මුල් වසරවල ය. 2004 දී  ප්‍රතිසංස්කරණ සඳහා වූ සියවස් කාලක පමණ වූ ද්විපාර්ශ්වික සම්මුතිය ඇණ හිටියේය. බොහෝ අවස්ථාවන්හිදී - තීරුබදු සහ පුද්ගලීකකරණය වැනි - ප්‍රතිසංස්කරණ ආපසු හැරවිණි.  90 දශකයේ අගභාගයේ සහ 2000 දශකයේ මුල් භාගයේ සිදු වූ ප්‍රතිසංස්කරණ වල කාල පමාව නිසා එකී ප්‍රතිසංස්කරණ වල ප්‍රතිඵල වසර කිහිපයක්ම ඵල දැරුවේය. 2005 න් පසු ඉහළ පොලී අනුපාතවලට ගන්නා ලද  ඩොලර් ණය,  රටේ ආර්ථික වර්ධනය ඉහළ දැමීමට යොදාගත් ප්‍රධාන ක්‍රමවේදය විය. 

2007 න් පසු ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළවලින් ලබාගත් වාණිජ ණය ගැනීම සීඝ්‍රයෙන් ඉහළ ගියේය. මෙය 2009 යුද්ධය අවසන් වූ විගසම ඉදිකිරීම් හා පරිභෝජන ක්ෂේත්‍රවල සැලකිය යුතු වර්ධනයක් ඇති කලේය. ව්‍යාපෘති ණය යොදාගනිමින් හිස් ගුවන් තොටුපලවල් සහ වැඩකට නැති කුලුනු ඉදිකරන ලදී. රාජ්‍ය අංශයේ සේවක ප්‍රමාණය පෙර නොවූ විරූ ලෙස ඉහල යාම හේතුවෙන් වේගයෙන් ඉහළ යන අයවැය හිඟය පියවීම සඳහා ස්වෛරී බැඳුම්කර නිකුත් කරන ලදී.

පසුගිය වසර කිහිපය තුළ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  වැඩසටහනක සහය ඇතිව, ශ්‍රී ලංකාවේ ණය බර සහ ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළවල් මත යැපීම අවම කිරීමට රජය දැඩි උත්සාහයක් ගත්තේය. ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට ප්‍රාථමික ගිණුමේ ඉහළ අතිරික්තයක් (non-trivial primary surplus) 2017 දී ඇති කරගත් අතර ව්‍යවස්ථා කුමන්ත්‍රණය සහ පාස්කු බෝම්බ ප්‍රහාරය මධ්‍යයයේ වුවද 2018 සහ 2019 නොවැම්බර් දක්වා එම සාර්ථකත්වය නැවතත් ළඟා කරගැනීමට සමත් විය . නමුත් මෙය පමණක් ප්‍රමාණවත් නොවීය.

යථාර්ථය නම්, රාජ්‍ය ණය ප්‍රමාණය පහත නොයන බව අතර වටිනාකම වැදගත් කාරණය වන්නේ රාජ්‍ය ණය ආපසු ගෙවීමේ ධාරිතාවේ ප්‍රමාණයට සාපේක්ෂව රාජ්‍ය ණය අඩු කිරීමයි. එහි සරලම ස්වරූපයෙන්, එය මෙම සමීකරණයේ වටිනාකම අඩු කිරීම ගැන ය:

මෙය ආකාර දෙකකින් සිදු කළ හැක. මෙම සමීකරණයේ “ රාජ්‍ය ණය” වන ලවයේ අගය අඩු කිරීමෙන් හෝ හරය වන “ වාර්ෂික දළ දේශීය නිෂ්පාදනයේ” අගය වැඩි කිරීමෙන් රාජ්‍ය ණය ආපසු ගෙවීමේ ධාරිතාවේ ප්‍රමාණයට සාපේක්ෂව රාජ්‍ය ණය අඩු කල හැකිය. පසුගිය වසර කිහිපයේදී ශ්‍රී ලංකාව නිවැරදි ලෙස ලවයේ අගය අඩු කරන “ රාජ්‍ය මූල්‍ය ඒ්කාබද්ධකරණ” ප්‍රවේශය අනුගමනය කළේය.  එහෙත් සන්ධාන දේශපාලනයේ ගතිකයන් හා කාල පමාව විසින් වඩා වැදගත් හරය එනම් ආර්ථික වර්ධනයේ ප්‍රගතියට බාධා ඇති කළේය. නව රජය විසින් සැලකිය යුතු ලෙස මූල්‍ය ප්‍රතිපත්තිය ලිහිල් කරමින් රාජ්‍ය මූල්‍ය ඒ​කාබද්ධකරණ ගමන් මඟ ආපස්සට හැරවීය. එය රජයේ ආදායම විශාල ලෙස අඩු කළ පුළුල් පරාසයක බදු කප්පාදුවක් ක්‍රියාත්මක කළේය. අපේ සමීකරණයේ භාෂාවෙන් කියන්නේ නම් ඒම බදු කපා හැරීම් මඟින් ලවයේ අගය ඉහල දැමීය. මෙම උපායමාර්ගය ක්‍රියාත්මක කිරීම සාධාරණීකරණය කරනු ලැබුවේ වැඩිවන රාජ්‍ය ණයට වඩා වේගයෙන් වර්ධනය වන දදේනි  හේතුවෙන් රාජ්‍ය ණයෙහි සාපේක්ෂ අගය අඩු වනු ඇති බවයි. එම සැලැස්ම පැහැදිලිවම අසාර්ථක විය. අද දවස වන විට රාජ්‍ය ණය දදේනියෙන් 95% මට්ටමට ළඟා වී තිබේ.  භාණ්ඩාගාර ඇපකර වැනි වගකීම් ද සලකා බැලූ විට මෙම අගය 95% ටත් බොහෝ වැඩි අගයක් විය හැක. 

එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ ප්‍රථම වතාවට ණය ගෙවීම පැහැර හැරීමේ අවදානමක සිටින බව ආයෝජකයන් සහ මූල්‍ය වෙළඳපොළවල් සිතන බව පෙනේ. ස්වෛරී බැඳුම්කර සඳහා වන පොළිය ඉලක්කම් දෙකක අගයක් විය.නැගී එන වෙළඳපොළවල් අතරින් සිය රාජ්‍ය ණය සඳහා මීට වඩා වැඩි ණය අවදානම් වාරික ඇත්තේ ආජන්ටිනාව, සැම්බියාව හා ලෙබනන් රාජ්‍යයට පමණි. ණය ගෙවීම පැහැර හැරීමක් සිදුවුවහොත් එය දැනටමත් ජලගැලීම්, කුමන්ත්‍රණ, පාස්කු බෝම්බ ප්‍රහාර හා කෝවිඩ් වලින් විනාශ වී ඇති ආර්ථිකයට තවත් පහරක් වනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළවලින් රට ඉවත් කෙරෙනු ඇත. අයවැය හිඟය සඳහා මුදල් සෙවීමට නොහැකි වනු ඇත.  රාජ්‍ය වියදම අඩු කළහොත් මිස උද්ධමනය ඉහල යනු ඇත. මේවා සියල්ල එක්ව ගත් කළ මේ හේතුන් විසින් අපව ආජන්ටිනා, ලෙබනන් හෝ ග්‍රීක මාදිලියේ ණය ගෙවීම පැහැරහැරීමේ හා දේශපාලනික අස්ථාවරත්වයේ විෂම චක්‍රයකට ගෙන යනු ඇත. පෙර නොවි විරූ අර්බුදයකට මුහුණ දිය හැක්කේ පූර්ණ හා ගැඹුරු ප්‍රතිසංස්කරණ වලින් පමණි. පැලැස්තර හා වට්ටෝරු විසඳුම්    තුළින් එය සිදු කළ නොහැකිය. ඉතාලිය පෙන්වා දුන් පරිදි ණය සමීකරණයේ ලවයට පමණක් අවධානය යොමු කිරීමෙන් විසඳුමක් ලැබෙන්නේ නැත. දශක ගණනාවක්  ප්‍රාථමික ගිණුමේ  අතිරික්තයන් ගැන මිස ව්‍යුහාත්මක වෙනසවීම් ගැන අවධානය යොමු නොකිරීම නිසා ඇති වන්නේ එක තැන පල් වන ආර්ථිකයකි. ඊට වඩා අපට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවට අගනා මෙහෙවරක් සිදු කළ 1977 මාදිලියේ ප්‍රතිසංස්කරණවල දෙවන වටයකි.  එවැනි ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ගැන සිතීමට බොහෝ මාර්ග තිබේ. කෙසේ වෙතත්, මෙවර උත්ප්‍රේරකය ස්වෛරී ණය ගෙවීම පැහැර හැරීමක් විය හැකි බැවින්, ප්‍රතිසංස්කරණ වල​දී රාජ්‍ය ණය දළ දේශිය නිෂ්පාධනයට අනුපාතය සැලකීමේ​දී (රාජ්‍ය ණය (Debt - ලව​ය) / දළ දේශිය නිෂ්පාධනය (GDP- හර​ය)  “ලවයට හෙවත් රාජ්‍ය ණය​ට කෙරෙන පහරදීමක්” හෝ “හරයට හෙව​ත් දළ දේශීය නිෂ්පාධනයට පහරදීමක්” ලෙස ලේබල් කිරීම පහසුය.

ලවයට පහර දීම: රාජ්‍ය ණය අඩු කිරීම

රාජ්‍ය ණය අඩු කිරීම - ‘ලවයට පහර දීම’ - ආකාර තුනකින් කළ හැකිය. පළමුව, බදු වැඩි කිරීම. දෙවනුව, වියදම් අඩු කිරීම. තෙවනුව, වත්කම් විකිණීම. බොහෝ විට ශ්‍රී ලංකාවට මේ තුනම කිරීමට සිදුවනු ඇත.

බදු වැඩි කිරීම: දේපළ බදු සහ බදු මඟහරින ආකාර 

ශ්‍රී ලංකාවේ  ලෝකයේ අවම දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව බදු අනුපාතයක් පවතින බව හා ප්‍රතීපාය​න බදු ක්‍රමයක් හෙවත් වැඩිපුර බදු ගෙවන්නන් තවත් බදු බරින්ම මිරිකන (regressive tax system) ක්‍රමයක් ඇති බව හොඳින් දන්නා කරුණකි. මේ වසරේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව බදු අනුපාතය ලෝකයේ අඩුම අනුපාතය ඇති රටවල් 15 අතරට පැමිණිය හැකිය. කෙසේ වෙතත්, ආර්ථික සංකෝචනය මධ්‍යයේ පරිභෝජනය සහ ආයෝජනය අඩු කරන බදු ඉහළ නැංවීම වර්ධනයට බාධක ඇති කල හැකිය. එක් විසඳුමක් වනුයේ බදු ඉතිරිකිරීම්, විශේෂයෙන් ඵලදායී නොවන ඉතිරිකිරීම් ය. එවැනි ඉතිරිකිරීම් සඳහා ලොකුම උදාහරණය ඉඩම් අයිතියයි. බස්නාහිර පළාත් දේපල බද්දකින් සැලකිය යුතු ආදායමක් උපයා ගත හැකි අතර භාවිතයට නොගන්නා දේපළ කාර්යක්ෂමව භාවිතා කිරීම දිරිමත් කළ හැකිය. පසුගිය දශකය තුළ කොළඹ දේපළ දේපළ මිල 300% කින් ඉහළ ගිය අතර, මෙම ලාභයෙන් වැඩි ප්‍රමාණයක් පොදු යටිතල පහසුකම් වියදම්වල සෘජු ප්‍රතිඵලයකි. අපේ බදු ක්‍රමයේද බොහෝ අඩුපාඩු  තිබේ. සිගරට් සඳහා වන සුරාබදු බදු සම්බන්ධයෙන් සලකා බලන්න. ඇස්තමේන්තු වලට අනුව සිගරට් මිල සඳහා සූත්‍රයක් හඳුන්වා දීමෙන් ඉදිරි දශකය තුළ රුපියල් බිලියන දෙසියයකට අධික ආදායම් අහිමි වීම වළක්වා ගත හැක. ඒ හා සමානව, බීඩි සඳහා වන බදු  පැනවීමේදී සුරාබදු බදුකරණයේ ආර්ථික වාසි සලකා බලනවාට වඩා දේශපාලන සාධක සලකා බැලීමට යොමුවී ඇති බව පෙනේ. 

වියදම් අඩු කිරීම: රාජ්‍ය සේවයේ අතිරික්තය 

ශ්‍රීලංකාවසතුව විශාල රාජ්‍යඅංශයක්තිබේ. ආදායම, ඵලදායිතාවසහඅවසානයේආරක්ෂකදෘෂ්ටිකෝණයකින් බැලූ කල හමුදාවේවිශාලත්වයද අභියෝගයකි. රජයේවැටුප්වියදමෙන් 40% ක්පමණවැයවන්නේහමුදාවසඳහාය. පුද්ගලයන් 280,000 කටආසන්නහමුදාව (බ්‍රිතාන්‍යහමුදාවේදළවශයෙන් 100,000 ටසාපේක්ෂව), අපගේවඩාත්මහැකියාවක් ඇති මිනිසුන්ඵලදායීරැකියාසොයා යාම වළකයි. මෙමපුද්ගලයන්ගෙන්වැඩිපිරිසක් හමුදාසංචිතවලටමාරුකිරීමසහආධුනිකත්වයෝජනාක්‍රමයක්හරහාඅපනයනකර්මාන්තයටසහනාධාර පදනමක් යටතේශ්‍රමයලබාදීමට ඔවුන් යෙදවීමරාජ්‍යමූල්‍ය සැලකියයුතුප්‍රමාණයකින්වැඩිදියුණුකරමින් ආර්ථික වර්ධනයට හේතු වනු ඇත. රැකියාවර්ධනයපිළිබඳසමානඅදහසක් රාජ්‍යඅංශයේද දක්නට තිබේ.

Graph - පිම්බී ඇති රාජ්‍ය සේවය - රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන් පිළිබද සංගණනය , රාජ්‍ය අංශය, අර්ධ රාජ්‍ය අංශය 

Graph - පිම්බී ඇති රාජ්‍ය සේවය - රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන් පිළිබද සංගණනය , රාජ්‍ය අංශය, අර්ධ රාජ්‍ය අංශය 

වත්කම් විකිණීම: ව්‍යවසාය​න් විකිණීම 

ව්‍යාපා​ර කළමනාකරණය කිරීමේදී රජය අසාර්ථකය. රජය සතු ව්‍යවසායන් අයථා කළමනාකරණය, නාස්තිය  සහ දූෂණය සිදුවන ආයතන ලෙස ප්‍රකටය. මෙම ආයතන වල සෘජු පිරිවැය අති විශාලය. නමුත් වක්‍ර පිරිවැය ඊටත් වඩා වැඩිය. වරාය අධිකාරියේ පර්යන්තවල තරඟකාරීත්වය තිබියදීත්, SAGT ( දකුණු ආසියානු ගේට්වේ පර්යන්තය)  සහ චයිනා මර්චන්ට් හෝල්ඩින්ග්ස් කොළඹ ලෝකයේ විශිෂ්ට වරායක් බවට පත්කිරීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත. ගුවන්තොටුපල සහ ගුවන් සේවා ඒ හා සමානව තරඟකාරීත්වයට සහ පෞද්ගලික ව්‍යවසායයන්ට විවෘතව තිබුනේ නම් කෙසේ දැයි සිතා බලමු; ශ්‍රී ලංකාව ගුවන් හා ගුවන් මුහුදු කේන්ද්‍රස්ථානයක් මෙන්ම නෞකා මධ්‍යස්ථානයක් බවට ද පත්විය හැකිය. අපේ ආර්ථිකය පුරා තවත් උදාහරණ ගණනාවක් තිබේ. ආර්ථික සංවර්ධනයේ මෙම අවස්ථාවෙහිදී, ව්‍යවසායන් පවත්වාගෙන යාමට රජයට එතරම් හේතුවක් නොමැත. ඇත්ත වශයෙන්ම, ඉඩම් විකිණීමකින් තොරව ව්‍යවසායන් විකිණීමෙන් රජයට තමන් සතු වත්කම්වල වටිනාකම වැඩි කළ හැකිය. නිදසුනක් වශයෙන්, රජය සතු හෝටල්, බහාලුම් පර්යන්ත සහ ගුවන් පර්යන්ත ඒවා ක්‍රියාත්මක වන ඉඩම විකිණීමෙන් තොරව පුද්ගලීකරණය කළ හැකිය. වෙනත් වචන වලින් කිවහොත්, ව්‍යවසායන්  ඒවායේ ඉඩම් අත්පත් කර ගැනීමකින් තොරව පෞද්ගලීකරණය කිරීම වේ. පුද්ගලීකරණයෙන් ලැබෙන මුදල් ණය පියවීම සඳහා යොදා ගත හැකි බැවින් එවැනි ගනුදෙනු බදු ගෙවන්නාට වඩා  යහපත් වනු ඇත. මීට අමතරව, ඉඩම් සඳහා කල්බදු වටිනාකම් ඉහළ යනු ඇති අතර ඉඩම් වටිනාකම ද වේගයෙන් ඉහළ යනු ඇත.

ඵලදායිතා දෘෂ්ටි කෝණයකින් සැලකු කල, පුද්ගලීකරණය සඳහා ප්‍රධාන ඉලක්ක වනුයේ ශ්‍රී ලංකන් ගුවන් සේවය, රත්මලාන ගුවන්තොටුපළ, ජය බහාලුම් පර්යන්තය සහ යුනිටි බහාලුම් පර්යන්තය විය හැකිය. මෙය සිදු කිරීමේ එක් සරල ක්‍රමයක් වනුයේ තරඟකාරී කර්මාන්තවල ක්‍රියාත්මක වන සියළුම රාජ්‍යය සතු ව්‍යවසායයන් නියමිත කාල රාමුවක් තුළ විකිණීම සඳහා පැහැදිලි වරමක් ඇති පරිපාලක සමාගමක් තුළ තැබීමයි, ඒවා එසේ විකිණිමට අසමත් වුවහොත් ස්වයංක්‍රීයව කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත ගත වීම විකල්පයක් ලෙස යොදාගත හැකිය. 

හරයට පහර දීම: ඵලදායිතා වර්ධනය

දශක කිහිපයක අවකාශය තුළ තුන්වන ලෝකයේ සිට පළමු ලෝකයට  යාමට ඇත්තේ  උත්සාහ කළ හා අත්හදා බැලූ එක් මාර්ගයක් පමණි: ඒ අපනයන නිෂ්පාදනය කිරීමයි. 1980 දශකය වන විට ඇඟලුම් අපනයන කර්මාන්තය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව මෙම ක්‍රියාවලියේ පළමු පියවර සාර්ථකව නිම කළ අතර එය ශ්‍රී ලංකාවේ එකම නිෂ්පාදන අපනයනය ලෙස තවමත් පවතී. 1983 දී ශ්‍රී ලංකාව වටිනාකම් දාමය තුළ ඉහළට යමින් අර්ධ සන්නායක නිෂ්පාදනය වෙත එළඹීමට සූදානම්  වූ අතර එය ගිනිකොණදිග ආසියානු සහ නැගෙනහිර ආසියානු ආකාරයේ වර්ධනයකට මඟ පෑදීමට හේතු වීමට තිබිණි. නමුත් කළු ජූලියත් සමඟ අතර මෝටරෝලා සහ හැරිස් කෝපරේෂන් විසින් කටුනායක හි ඉදිකරන අර්ධ සන්නායක කම්හල පීනෑං වෙත ගෙන යන ලදී. ඒ හා සමානව, එකල ආරම්භ වීමට ආසන්නව තිබූ ජපන් ආයෝජන රැල්ල අපට මග හැරුණි.

එතැන් සිට ශ්‍රී ලංකාව ප්‍රධාන නිෂ්පාදිත අපනයන සංවර්ධනයක් අත්පත් කරගෙන නැත. ශ්‍රී ලංකාවට ඇති අභියෝගය වන්නේ නව ඉහළ ඵලදායිතාවක් ඇති අපනයන කර්මාන්තයන් ඇති කිරීමයි. මෙය රජයේ උත්සාහය අවශ්‍ය සංකීර්ණ කාර්යයකි. නමුත් ශ්‍රී ලංකාව මීට පෙර එය කර තිබේ. 1977 විප්ලවයේ අත්හදා බැලූ උපායමාර්ගය පහත පරිදි වේ. පළමුව, ආයෝජනයට බලපාන සුපුරුදු බාධක කළමනාකරණය කළ හැකි ආයෝජන කලාප නිර්මාණය කිරීම. නිදහස් වෙළඳ කලාපවල ප්‍රතිභාව එයයි. දෙවනුව, ශ්‍රී ලංකාවේ අපනයන තරඟකාරී කිරීම: තීරුබදු අඩු කිරීම (ආනයන සඳහා බද්දක් යනු අපනයන සඳහා බද්දක් වේ) සහ නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කිරීම. තෙවනුව, කාර්යක්ෂම සාධක ප්‍රතිපාදනය සක්‍රීය කිරීම: කෘෂිකාර්මික නිෂ්පාදනයට ඇති නියාමන බාධක ඉවත් කිරීම සහ කම්කරු නීති යාවත්කාලීන කිරීම. සිව්වනුව, සංවර්ධනය වන  රාජ්‍යයේ බලය අවම කිරීම, සුහුරු අපනයන සහනාධාර සැලසුම් කිරීම සහ වඩාත්ම වැදගත් ලෙස ඉඩම් ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කිරීම අත්‍යවශ්‍ය වේ. 

ආයෝජන ක්ෂේම භූමි

 ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අපනයනවල ගාමක බලය වන්නේ නිදහස් වෙළඳ කලාපයි. ඇඟලුම් කර්මාන්තය ආරම්භ වූයේ මෙහිදීය. දිවයිනේ ඝන ටයර් අපනයන කර්මාන්තයේ සාර්ථකත්වයට හේතු වූයේ ද කලාප වන අතර අනෙකුත් සියලුම නිෂ්පාදිත අපනයනවල මූලික ස්ථානය ලෙස ඒවා පවතී. මෙයට හේතුව ආයෝජකයෙකුට කර්මාන්ත ශාලාවක් විවෘත කිරීම කලාප නිසා වඩාත් පහසු වීමයි. ඉඩම්, විදුලිය සහ ජලය තිබේ; නියාමන අවසරයන් දැනටමත් ලබා ගෙන ඇත; රේගු නිලධාරීන් සහ වෙනත් රජයේ ආයතන අත ළඟය. කාලයාගේ ඇවෑමෙන් පුහුණු ශ්‍රමිකයන් සහ සහායක සැපයුම්කරුවන්ගේ ආර්ථික පද්ධතියක් ද වර්ධනය වේ. ධාරිතාවය අවසන් වීමට ආසන්නව තිබියදීත්, 2002 සහ 2017 අතර කිසිදු නව නිදහස් වෙළඳ කලාපයක් ගොඩනැගීමට ශ්‍රී ලංකාව අපොහොසත් විය. එබැවින් ආයෝජකයින්ට ඉඩම් සඳහා ප්‍රවේශය මූලික බාධකයක් බවට ආයෝජකයින් චෝදනා කිරීම පුදුමයක් නොවේ.

Graph - කලාපවල භාවිතයට ගෙන ඇති ඉඩ ප්‍රතිශතය, නිදහස් වෙළඳ කලාපවල ඉඩම් භාවිත ප්‍රතිශතය ආයෝජන ප්‍රවර්ධන කලාපය ඉඩම් භාවිතය

Graph - කලාපවල භාවිතයට ගෙන ඇති ඉඩ ප්‍රතිශතය, නිදහස් වෙළඳ කලාපවල ඉඩම් භාවිත ප්‍රතිශතය ආයෝජන ප්‍රවර්ධන කලාපය ඉඩම් භාවිතය

ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ කලාප සියල්ලම පාහේ කළමනාකරණය කරනු ලබන්නේ ආයෝජන මණ්ඩලය විසිනි. එක් ව්‍යතිරේකයක් වන්නේ ඩීඑෆ්සීසී බැංකුව විසින් පවත්වාගෙන යනු ලබන ලින්ඩන් කාර්මික කලාපයයි. ආයෝජන මණ්ඩලය  පවත්වා ගෙන යන ආකෘතිය හොඳින් ක්‍රියාත්මක වූ අතර 1980 දශකයේ දී තරඟකාරී විය. අද ලෝකය ඉදිරියට ගොස් ඇත. ඇඟලුම් වලින් බැහැර වී  අංශවල නව ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර කලාපීය ක්‍රියාකරුවන්ට ඉඩ දිය යුතුය. නිදසුනක් වශයෙන්, ශ්‍රී ලංකාවේ පහසුකම් ඇති කිරීම සඳහා චීන නිදහස් වෙළඳ කලාප ක්‍රියාකරුවෙකු, ජපාන නිදහස් වෙළඳ කලාප ක්‍රියාකරුවෙකු සහ සිංගප්පූරු ක්‍රියාකරුවෙකු ගේ සහාය ලබා ගත යුතුය. මෙම කලාප ක්‍රියාකරුවන් පසුව ඔවුන්ගේ රටවල සහ කලාපවල නිෂ්පාදකයින් සමඟ ඇති සබඳතා උද්‍යාමය (leverage)  කරනු ඇත. ඔවුන් 1980 දශකයේ අග භාගයේ සිට අනුප්‍රාප්තික රජයන් විසින් සිදු කිරීමට අසමත් වූ දෙය සිදු කරනු ඇති. 

කලාප කළමනාකරණය තුළ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ශක්තීන් ද මුදා හැරිය හැකිය. මාස් සහ බ්‍රැන්ඩික්ස් සමාගම් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සාර්ථක පේෂකර්මාන්ත උද්‍යාන පවත්වාගෙන යයි. ඔවුන්ට ශ්‍රී ලංකාවේ කලාපයක් සාර්ථකව පවත්වාගෙන යාමට නොහැකි වීමට හේතුවක් නැත. අසමත් වන්නේ මධ්‍යම රජය පමණක්ම නොවේ. මා දන්නා පරිදි, පළාත් සභා පාලනයක් පිහිටුවා වසර කිහිපයක් ඇතුළත වයඹ පළාත් සභාව කළ දේ වෙනත් කිසිදු පළාතක් විසින් සිදු කර නොමැත: පිළිවෙලින් හෙරලියාවල සහ දංගස්පිටිය යන ප්‍රදේශවල පළාත් සභාව විසින් පවත්වාගෙන යන කාර්මික කලාප එකක් නොව දෙකක්ම පිහිටුවන ලදී. උතුරු පළාත එහි බලය බෙදා හැරීමේ උද්යෝගයත්, කන්කසන්තුරේ වරාය සහ පාලාලි ගුවන්තොටුපළ වෙත ප්‍රවේශයත් සමඟ විශේෂයෙන් ලැජ්ජාවට  පත් විය යුුතුය. 

ඉලෙක්ට්‍රොනික් නිදහස් වෙළඳ කලාපයක් නිර්මාණය කිරීම සඳහා නියමු ව්‍යාපෘතියකට රත්මලාන අවට භාවිතා නොකරන ලද රජයේ ඉඩම් යෙදවිය හැකිය. වරාය, දුම්රිය හා ගුවන්තොටුපල, විශ්ව විද්‍යාල සහ කාර්මික පාසල් සහ පුහුණු ශ්‍රමිකයින් ආසන්නයේ සිටීම නිසා ශ්‍රී ලංකාවේ ඊට  වඩා හොඳ ස්ථානයක් නොමැත.

අපනයන තරඟකාරිත්වය

ආදාන පිරිවැය ඉහළ මට්ටමක පවතී නම් කිසිවෙකු ශ්‍රී ලංකාවේ කර්මාන්තශාලා ඉදිකරන්නේ නැත. ගෝලීය සැපයුම් දාමයන් සහිත මෙම යුගයේදී, එක් රටක් නිෂ්පාදනයේ අවසාන වටිනාකමෙන් 20% සිට 30% ට වැඩි ප්‍රමාණයක් එකතු කරන්නේ කලාතුරකිනි. එබැවින්, තරඟකාරී රටවලට සමාන මිලකට සංරචක සහ අමුද්‍රව්‍ය ආනයනය කිරීමට හැකිවීම අත්‍යවශ්‍ය වේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම තීරුබදු අනුපාතයන් පවතින රටකි. ඊටත් වඩා නරක තත්ත්වයක් වන්නේ  ඒවා ඉතා සංකීර්ණ වීම වන  අතර එමඟින් අභිමතය සඳහා ප්‍රමාණවත් ඉඩක් නිර්මාණය කරන අතර ඒ හරහා ප්‍රමාදයන් හා දූෂණ සිදු වීමයි. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ වෙළඳ හා නිෂ්පාදන කේන්ද්‍රස්ථානය බවට පත්වීමට නම් එහි තීරුබදු සඳහා මිණුම් දණ්ඩක් ලෙස  ඩුබායි සහ සිංගප්පූරුවට භාවිතා කළ  යුතුය. මෙය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. 1994 දී එයට සරල ත්‍රි-තීරු ගාස්තු ව්‍යුහයක් තිබිණි. ශ්‍රී ලංකාවේ සඵල තීරුබදු අනුපාතය අහස උසට නැඟුණේ  2004 න් පසුව මූලික වශයෙන් CESS සහ PAL බදුවල බර එක මත එක එකතුවන  ප්‍රපතන (cascading)  බලපෑම හේතුවෙන් ය. ඒවා අහෝසි කිරීම ඉතා හොඳ ආරම්භයක් වනු ඇත.

ඒ හා සමානව, 1977-2004 කාලය තුළ ශ්‍රී ලංකාවේ සැබෑ සඵල විනිමය අනුපාතය බොහෝ දුරට නියතව තබා ගන්නා ලදී.  දුර්වල මුදල් ඒකකයක් දේශීය වශයෙන් විදේශීය භාණ්ඩ මිල අධික කරවන අතර ශ්‍රී ලාංකික භාණ්ඩ ගෝලීය වෙළෙඳපොළවල ලාභදායී කරයි. මෙය අපනයනවල තරඟකාරිත්වය සහතික කිරීමට උපකාරී වූ අතර ස්වයංක්‍රීය, අනභිමත ආනයන ආදේශන දිරිගැන්වීමක් ලෙස ක්‍රියා කළේය. කෙසේ වෙතත්, 2004 සිට සැබෑ සඵල විනිමය අනුපාතය ඉහළට ගමන් කිරීම නිසා  අපනයන අධෛර්යමත් කිරීම සහ ආනයන දිරිගැන්වීම ආරම්භ විය. 2017 වන විට ශ්‍රී ලංකාවේ සැබෑ සඵල විනිමය අනුපාතය 2004 ට වඩා 31% වැඩි විය.

අවසාන වශයෙන්, ශ්‍රී ලංකාවේ තරඟකාරිත්වය අඩාල වෙමින්වෙමින් පවතින්නේ එහි සියලුම තරඟකරුවන් නිදහස් වෙළඳ ගිවිසුම් (FTA) අත්සන් කරන බැවිනි. ඉන්දියාව, චීනය සහ ආසියාන් රටවල් සමඟ ගැඹුරු භාණ්ඩ හා සේවා වෙළඳ ඒකාබද්ධතාවයක් වෙත ගමන් කිරීම ශ්‍රී ලංකාව වේගවත් කළ යුතුය. වැදගත්ම දෙය නම්, අප CPP11 සහ RCEP යන ප්‍රධාන වෙළඳ ගිවිසුම් දෙකෙහි කොටස්කරුවන් විය යුතුය. නව රේගු පනතක වැදගත්කම, ජාතික අපනයන ක්‍රමෝපාය ක්‍රියාත්මක කිරීම හෝ දේශසීමා වෙළඳාමට පහසුකම් සැලසීම සඳහා වෙනත් ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡා කිරීමේ අවස්ථාව ලිපියේ ඉඩ ප්‍රමාණයේ  හා කාලවේලාවේ සීමාවන් නිසා මේ අවස්ථාවේ සිදු කළ නොහැක. ඒවා ද අත්‍යවශ්‍ය යැයි කීම සෑහේ.

කාර්යක්ෂම සාධක ප්‍රතිපාදනය

ඉඩම්, ශ්‍රමය, ප්‍රාග්ධනය; ජාතීන්ගේ ධනය තීරණය කරන්නේ මෙම සාධක සංවර්ධනය කිරීම හා ප්‍රතිපාදනයෙනි. ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙන් කිරීම සාපේක්ෂව කාර්යක්ෂම වේ. අද අපගේ අභියෝගය වන්නේ ඉඩම් හා ශ්‍රමය කාර්යක්ෂමව ප්‍රතිපාදනය කිරීම සහතික කිරීමයි.

ඉඩම් 

නැගෙනහිර ආසියාවේ සාර්ථක ඉඩම් ප්‍රතිසංස්කරණය ඔවුන්ගේ ආර්ථික සමෘද්ධිය සඳහා බලපෑ ප්‍රධාන කරුණ ලෙස බොහෝ දෙනෙක් උපුටා දක්වති. ස්ටඩ්වෙල්ගේ How Asia Works(ආසියාව ක්‍රියා කරන ආකාරය) සමහර විට මේ පිළිබඳව වඩාත්ම ඒත්තු ගැන්වෙන සහ කියවිය හැකි විස්තරය විය හැකිය. මෙම විශ්ලේෂණයේ ප්‍රශංසා කිරීමට බොහෝ දේ ඇත. දැනටමත් ගොවිතැන් කරන පවුල් සඳහා සින්නක්කර ඉඩම් ලබා දීමෙන් කෘෂිකාර්මික ඵලදායිතාව ඉහළ යනු ඇත. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද මෙය සත්‍යයකි. ඉක්මණින් ක්‍රියාත්මක කළ හැකි එක් තීරණාත්මක ඉඩම් ප්‍රතිසංස්කරණයක් වනුයේ දැනට සිටින තේ වතු කම්කරුවන් කුඩා ඉඩම් හිමිකරුවන් බවට පත් කිරීමයි. නියෝජක -නියෝජිත ගැටළුව විසඳන බැවින් මෙය ඵලදායිතාව වැඩි දියුණු කරනු ඇත. ඊට අමතරව, සින්නක්කර අයිතිවාසිකම් සමඟ, ඉඩම නැවත වගා කිරීමට හා වැඩිදියුණු කිරීමට ඔවුන්ට සෑම දිරිගැන්වීමක්ම තිබේ. ණය ලබා ගැනීම ගැටලුවක් නොවනු ඇත; ඉඩම ඇපකරයක් ලෙස ක්‍රියා කරනු ඇත.

Daniel-Alphonsus-3-Graybox- (1).jpg

ප්‍රාදේශීය වැවිලි සමාගම් සම්බන්ධයෙන් ගත් කල, කර්මාන්තශාලා සහ ඒවායේ ඉතිරි කල්බදු කාල සීමාවේ වටිනාකමට සමාන ඉඩම් ඔවුන්ට සින්නක්කර අයිතියට පැවරිය හැකිය. ඉන්පසුව ඔවුන්ට  නව කුඩා ඉඩම් හිමිකරුවන්ට ව්‍යාප්ති සේවා සහ බහිර් වගාකරු (Out grower model)  ආකෘතියක් ලබා දිය හැකිය. ඒ හා සමානව, විශේෂයෙන් තෙත් කලාපයේ කුඹුුරු  පනත අඛණ්ඩව පවත්වාගෙන යාමට යහපත් හේතුවක් නොමැත. ඇත්ත වශයෙන්ම, කුඹුුරු  පනත මගින් සීමා කරන ලද තෙත් කලාපයේ සමහර ඉඩම් කිසි විටෙකත් කුඹුුරු  නොවීය. කුළුබඩු වැනි ඉහළ වටිනාකමකින් යුත් අපනයන භෝග සඳහා ඉඩම් වඩාත් ඵලදායී ලෙස භාවිතා කිරීමට මෙම නීතිය ප්‍රධාන බාධකයකි.

 ශ්‍රී ලංකාව ෆීනික්ස් පක්ෂියෙක් මෙන් අලු ගසා දමා නැගිටිනු ඇත. එසේ නොමැති නම් කුසගින්නේ, විරැකියාවේ යක්ෂයන් හා ණය එකතුකරන්නන් පසුපසින් පැමිණෙනු  ඇත.  

ඉඩම් පිළිබඳ කතාවෙන් පසු අපට ශ්‍රමයට ගැන කතා කළ හැක. ශ්‍රී ලංකාවේ කම්කරු නීති මගින් ඉහළ ආරක්ෂිත පුද්ගලයින් සුළු පිරිසක් සහ සම්පූර්ණයෙන්ම අනාරක්ෂිත අවිධිමත් කම්කරුවන්ගේ අති විශාල පිරිසකගෙන් සමන්විත කුල පද්ධතියක් නිර්මාණය කර තිබේ. ඇත්ත වශයෙන්ම, කම්කරු නීතිය වඩාත් නම්‍යශීලී කිරීමට අපොහොසත් වීම ශ්‍රී ලාංකිකයන් දශලක්ෂයකට අධික සංඛ්‍යාවක් ගල්ෆ් කලාපයේ අන්තරායකර තත්වයන් යටතේ  සේවය  කිරීමට වැදගත් හේතුවකි. කිහිප දෙනෙකුට විශාල ආරක්ෂාවක් ලබා දෙනවාට වඩා බොහෝ දෙනෙකුට යම් ආරක්ෂාවක් තිබීම හොඳය. විශේෂයෙන්ම කම්කරු නීතිය රටේ ආර්ථික වර්ධනයට විශාල බාධාවකි.

වඩා නම්‍යශීලී කම්කරු නීතිවල අවාසි ඵලදායි ලෙස කළමනාකරණය කළ හැක්කේ ඩෙන්මාර්කයේ නම්‍යශීලි ආකෘතිය වැනි ඉලක්කගත සමාජ ආරක්ෂණ ජාලයක් හරහා වන අතර එමඟින් ශ්‍රම වෙළඳපොලේ ඉහළ නම්‍යශීලී බව ශක්තිමත්  විරැකියා රක්ෂණයක්  වැනි සහනශීලී සමාජ ආරක්ෂණ දැල් සමඟ ඒකාබද්ධ කරයි. 

සංවර්ධන රාජ්‍යය 

අවසාන වශයෙන්, සංවර්ධනයට බාධා කරනවාට වඩා පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකාව සිය රාජ්‍යය ප්‍රතිව්‍යුහගත කළ යුතුය. පළමුවැන්න යථාර්ථය පිළිගැනීමේ ප්‍රශ්නයකි. රටක ඉතිහාසයේ විශාලතම ප්‍රදානය (මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් මඟින් ලබා දීමට තැත් කළ ) ප්‍රතික්ෂේප කරන අතරම, ණය හිමියන්ගෙන් ණය ගෙවීම  සඳහා  ප්‍රමාද සහන ආයාචනා  කරන විට රටකට ඇති විශ්වසනීයත්වය කුමක්ද?

දෙවනුව, දුම්රිය හා විදුලි රැහැන් වැනි ස්වාභාවික ඒකාධිකාරී අංශවල රජය සතු ව්‍යවසායන් නිර්දේශපාලනීකරණය කර කාර්යක්ෂම වීමට  බල කළ යුතුය. නව නීතියක් සම්මත කිරීමෙන් නිර්දේශපාලනීකරණය සැලකිය යුතු ලෙස සාක්ෂාත් කරගත හැකිය. සියළුම රාජ්‍ය ව්‍යවසායයන්හි අධ්‍යක්ෂවරුන් පත් කිරීම පැහැදිලි ‘හැකියාව හා උචිත බවේ’ නිර්ණායක සහිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කවුන්සිලය විසින් පත් කරන ලද නාමයෝජනා මණ්ඩලයේ අනුමැතියට යටත් විය යුතු බව නීතියට නියම කළ හැකිය. ඒ හා සමාන යාන්ත්‍රණයක් දැනටමත් බැංකු සඳහා ක්‍රියාත්මක වේ.

තවද, තරඟකාරිත්වය හඳුන්වා දීම, ළබැඳියාවන් අතර  ගැටුම් නිරාකරණය කිරීම සහ විනිවිදභාවය ඉහළ නැංවීම මගින් කාර්යක්ෂමතාව වැඩි දියුණු කළ හැකිය. ශ්‍රී ලංකාවේ තරඟකාරීත්වය පිළිබඳ නීතිය මගින් රජය සතු ව්‍යවසායයන් ආවරණය නොවේ: මෙය රාජ්‍ය අංශයේ ඒකාධිකාරයන්ට පුරවැසියන්ගේ වියදමින් කුලියක් (Rent) එකක් හෙවත් කාර්යක්ෂමතාවය වැඩි නොකරමින් වෙළදපොළට බලපෑම් කරමින් භුක්ති විඳීමට ඉඩ සලසයි. එය අවසන් විය යුතුය. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය වරාය පර්යන්තවල හිමිකරු, ක්‍රියාකරු සහ නියාමකයා වීම විකාරයකි. දූෂණය හා වැරදි කළමනාකරණය බෝ කිරීම සඳහා නිර්මාණය කර ඇති එවැනි ළබැඳියාවන් අතර  ගැටුම්වලින් රාජ්‍ය අංශය පිරී ඇත.

මේවා ප්‍රධාන වෙනස්කම් වන නමුත් තොරතුරු ද වැදගත් වේ. ඒවා බදු ගෙවන්නා සතු බැවින්, කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ලැයිස්තුගත කර ඇති සමාගම්වලට වඩා රාජ්‍ය හිමිකාර ව්‍යාපාරවලට වැඩි අනාවරණ අවශ්‍යතා තිබිය යුතුය. එහෙත් ආරම්භයක් වනුයේ රජය සතු ව්‍යවසායයන් විසින් කොළඹ කොටස් වෙළඳපොළේ සියළුම හෙළිදරව් කිරීමේ අවශ්‍යතා අනුගමනය කිරීම අවශ්‍ය වීමයි. මෙය නීතියෙන් හෝ රජය සතු ව්‍යවසායයන්ට කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ඔවුන්ගේ ණය  ලැයිස්තුගත කිරීමට නියම කිරීමෙන් හෝ සිදු කළ හැක. නැතහොත් ඒ දෙකම සිදු කළ හැක. 

රජය  සතු ව්‍යවසායයන් බවට පත් කළ යුතු රජය සතු දෙපාර්තමේන්තු ද තිබේ. දුම්රිය වඩාත් වැදගත් උදාහරණයයි. දුම්රිය  රජය සතු ව්‍යවසායයක් නම් එයට මුදල් ණයට ගැනීමට හැකි අතර  එවිට එයට දුම්රිය ස්ථාන අවට දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් සංවර්ධනය කිරීම තුළින් විද්‍යුතන කිරීම හා ද්විත්ව රේල් පීලි තැනීම   සඳහා මුදල් යෙදවිය හැකිය.

ඉදිරියට යාමට මාර්ගය 

ශ්‍රී ලංකාවේ සැබෑ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශන අයවැය නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් ය. අයවැය බොහෝ විට පොරොන්දු සහ සන්දර්ශනවලට වඩා වැඩි දෙයක් නොවේ. තථ්‍ය ආදායම හා වියදම් පිළිබඳව හෝ ඊටත් වඩා ආර්ථික කළමනාකරනය පිළිබඳව හෝ  ඒවා එතරම් යථාර්ථයට ළඟා වන්නේ නැත. එනිසා මෙම අර්බුදයේ උපරිමය හා ඒ අනුව අවස්ථාව අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙල වනු ඇත. මේ වසර අගදී හෝ 2021 මුල් භාගයේදී ශ්‍රී ලංකාව සිය 17 වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ සටහනට අවතීර්ණ වනු ඇති බවට විශ්වාසයක් තිබේ. ශ්‍රී ලංකාව නිදහසින් පසු ඉතිහාසයේ වැඩි කාලයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පදයට නටා ඇති බව පැහැදිලිව දැක ගත හැකිය. ආර්ථිකය වර්ධනය කිරීමට සහ අපගේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අප අපොහොසත් වී ඇත. මූලික  ප්‍රතිසංස්කරණ නියම කිරීමටද  ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  කපුරාලලා  අපොහොසත් වී ඇති අතර ආර්ථිකය සැබවින්ම ප්‍රතිව්‍යුහගත කරනවාට වෙනුවට පැලැස්තර  විසඳුම් යොදාගනිමින් ආර්ථික ප්‍රශ්න වලින් මිදී යාමට  ජාත්‍යන්තර මූල්‍ය අරමුල ශ්‍රී ලංකාවට ඉඩ දී තිබේ.

කෝවිඩ්සමඟ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද අධික ලෙස සංකීරණ ක්‍රියාපටිපාටිවලට යො​මු වී ඇත; විකෘති ලෙස වුවත් මේ තතත්වය එහි කේවල් කිරීමේ හැකියාව වැඩි දියුණු කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම වැඩසටහන මූල්‍ය ඒකාබද්ධ කිරීම සහ අපනයනය මත පදනම් වූ ඵලදායිතා වර්ධනය යන දෙකම ඒකාබද්ධ කරන හැරවුම් ලක්ෂ්‍යයක් විය හැකිය. එය තනි අරමුණක් සහිත සුවිශේෂී වැඩසටහනක් විය යුතුය: එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ පවත්වන අවසන් වැඩසටහන විය යුතුය. 1977 දී මෙන්, ශ්‍රී ලංකාව ෆීනික්ස් පක්ෂියෙක් මෙන් අලු ගසා දමා නැගිටිනු ඇත. එසේ නොමැති නම් කුසගින්නේ, විරැකියාවේ යක්ෂයන් හා ණය එකතුකරන්නන් පසුපසින් පැමිණෙනු ඇත.

ඩැනියෙල් ඇල්ෆොන්සස් ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ හිටපු උපදේශකයෙකි. ඔහු ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයේ සහ වෙරිටේ රිසර්ච් හි සේවය කර ඇත.  ඩැනියෙල් ඔක්ස්ෆර්ඩ් හි බැලියෝල් විද්‍යාලයේ දර්ශනය, දේශපාලනය සහ ආර්ථික විද්‍යාව හැදෑරු  අතර  ෆුල්බ්‍රයිට් විද්‍යාර්ථියෙකු ලෙස  හාවඩ් කෙනඩි පාසලේ රාජ්‍ය ප්‍රතිපත්ති හදාරා ඇත.


ආනයන ක්‍රෝධ නැත්තෝ වෙම්වා!

ඉදිරි දිනවලදී ඉදිරිපත් වීමට නියමිත අයවැය පිළිබඳව දැන්ම කතාබහක් ඇතිවී තිබෙනවා. අය වැය සැලැස්මේ ප්‍රධාන කරුණු 3ක් පිළිබඳව අවධානය යොමුකරන බවට මේ දක්වා මාධ්‍ය වාර්තා පලවී තිබුණා.

1. නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම සහ එම සංකල්පය ඉදිරියට ගෙන යෑම

2. දේශීය ව්‍යාපාර දියුණු කිරීමේ අරමුණින් ආනයන තහනම දිගටම ක්‍රියාත්මක කිරීම

3. ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් හෙවත් අවශ්‍ය වූ විට ශ්‍රී ලංකා මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් මිලදී ගනිමින් (මුදල් අච්චු ගසමින්) රජයට අවශ්‍ය මුදල් සැපයීම ඉන් කැපී පෙනුනා.

මුදල් අමාත්‍යවරයා ඔහුගේ පාර්ලිමේන්තු කතාවෙන් ආර්ථිකයේ තිබෙන ගැටලු සහ ප්‍රශ්නයේ ගැඹුර ඉතා මැනවින් හඳුනාගෙන තිබුණා. අප ඉදිරියේදී බලාපොරොත්තු වන්නේ එම ආර්ථික ප්‍රශ්නවලින් එළියට පැමිණීමට යෝජනා කර ඇති විසඳුම් ප්‍රමාණවත්ද සහ එම විසඳුම් වල දිශාව නිවැරැදි ද යන්නයි. එතනදි මූලික වශයෙන්ම ආනයන තහනමින් දේශීය කර්මාන්ත දියුණු කළ හැකිද යන්න පිළිබඳව වගේම ඒ පසු පස තිබෙන ආර්ථික විද්‍යාව පිළිබඳව සොයා බැලීම වැදගත්. මේ ගැන තේරුම් ගැනීමට අපි සරල උදාහරණයක් ගමු.

බොහෝ වෙලාවට අපට අමතක වෙන දෙයක් තමයි ජයග්‍රහණය කිරීම තිබෙන්නේ තමන්ගේ ක්‍රියා කලාපය තුළ මිස ප්‍රතිවාදියාගේ දෑත් මත නොවන වග. අපිට සාමාන්‍යයෙන් විභාගයක් සමත් වීමට අවශ්‍ය නම් අප මුලින්ම කළ යුතු වන්නේ අපි මහන්සි වී පාඩම් කිරීමයි. විභාගයට වාඩි වීමට බලාපොරොත්තුවෙන් සිටින අනිත් අයට විභාගයට වාඩි වීමට තහනම් කිරීමෙන් අපට විභාගය සමත් විය නොහැකි බව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවෙයි.

එම මූලධර්මයම ආර්ථිකයටත් එලෙසම බලපානු ලබනවා. අපත් සමග තරග කරන ආනයන තහනම් කිරීමෙන් අපගේ භාණ්ඩ හා සේවාවල ගුණාත්මකභාවය වැඩි කළ හැකි බව විශ්වාස කිරීම හරියටම අපත් සමග විභාගය ලිවීමට බලාපොරොත්තු වන අනෙක් අයව විභාගයට වාඩි වීම තහනම් කිරීමෙන් අපට විභාගය සමත්විය හැකි බව විශ්වාස කිරීම හා සමානයි.

නමුත් බැලූ බැල්මට අපත් සමග තරග කරන ආනයන තහනම් කිරීමෙන් අපට වාසියක් ලබා ගත හැකි බව පෙනෙන්නට මූලිකම හේතුව අපට ඇති විදේශ විනිමය ප්‍රශ්නයයි. අපට විදේශ විනිමය අර්බුදයක් ඇතිවන සෑම අවස්ථාවකම අපට ප්‍රශ්නය ලෙස පෙනෙන්නේ ආනයනයයි. එයට හේතුව ආනයන සඳහා විදේශ විනිමය වැය කිරීමට සිදුවීමයි. නමුත් සැබවින්ම ප්‍රශ්නය විදේශ විනිමය වැය වීම නොවෙයි. අප විදේශ විනිමය ප්‍රමාණවත් තරම් ඉපැයීමට අපොහොසත් වීමයි. ආනයන තහනම් කළ යුතුයි යන මතය දරන බොහෝ දෙනා නිතරම ඉදිරිපත් කරන්නේ වෙළෙඳ ශේෂය අවම කිරීමට නම් ආනයන අඩු කළ යුතු බවත් එමගින් අපගේ වෙළෙද ශේෂය අඩු කළ හැකි බවත්ය. නමුත් අපට පැහැදිලිවම පෙනෙන දෙය නම් අපගේ විභාගය සමත් වීමට වැදගත්ම සාධකය අපි විභාගයට පාඩම් කිරීම මිස අනෙක් අය විභාගයට සූදානම් වන්නේ කෙසේද යන්න නොවේ.

නමුත් ශ්‍රී ලංකාවට මේ මොහොතේ විදේශ විනිමය අර්බුදයකට මැදිවී සිටින යථාර්ථයත් අප තේරුම් ගත යුතුයි. එම යථාර්ථයෙන් බැහැරව අප කටයුතු කිරීම නුවණට හුරු නොවේ. කෙසේ වෙතත් දේශීය කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් ආනයන තහනම් කිරීම දේශීය කර්මාන්ත දියුණුවට කිසිසේත්ම උදව්වක් නොවන බව නම් ඉතාම පැහැදිලියි. එය උදව්වක් වනවාට වඩා ඇත්තටම දේශීය කර්මාන්ත තවත් වළපල්ලට යැවීමට පාර කැපීමක් බවත් අමතක නොකළ යුතුයි.

එය හරියට අපගේ දරුවෙකු විභාගයක් වංචාකර විභාගය සමත් වීමට අනුබල දීමෙන් දරුවාගේ අනාගතයට වැඩිම හානිය අපිම කරන්නාක් වගෙයි.

ශ්‍රී ලංකාවේ මෙලෙස ආනයන තහනම් කර තිබෙන භාණ්ඩ වර්ග ගණනාවක් වසර 30-40ක් ඉක්මවූ පසුත් තවමත් සැලකිය යුතු වර්ධනයක් නොලැබීම ආනයන තහනමින් දේශීය ව්‍යාපාර දියුණු නොවූ බවට උදාහරණ ඕනෑ තරම් තිබෙනවා.

අපගේ නානකාමර සහ ටයිල් වර්ග දැනට වසර 30ක පමණ කාලයක සිට ආනයන සඳහා විශාල බදු පනවා තිබුණත් තවමත් ක්ෂේත්‍රයක් ලෙස අපනයන දියුණු වී නෑ. ඒ වගේම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන සපත්තු වර්ග, බිස්කට් වර්ග, කෘෂි භාණ්ඩ වැනි බොහෝ දේ සඳහා දශක කිහිපයක් විශාල ලෙස ආනයන වලට බදු හරහා තහංචි පනවා තිබුණත් එම ක්ෂේත්‍රවලින් ශ්‍රී ලංකාව ප්‍රධාන අපනයනකරුවකු නොවන බව රහසක් නොවේ. සරලවම එම ක්ෂේත්‍ර දියුණු වී නැහැ. එහි තේරුම නම් ආනයන තහනම් කිරීමෙන් දේශීය කර්මාන්ත වර්ධනය නොවන බවයි.

ආනයන තහනම් කිරීමෙන් දේශීය කර්මාන්ත දියුණු කළ හැකියි යන මතවාදය ශ්‍රී ලංකාවේ පමණක් දක්නට ලැබෙන මතයක් නොවෙයි. එය ලෝකය පුරා දැකිය හැකි මතයක් නිසා මෙයට සහයෝගය දක්වමින් සහ ප්‍රතිවිරුද්ධව නිතරම අදහස් ඉදිරිපත් කෙරෙනවා.

ශ්‍රී ලංකාව තුළ ආනයන තහනම් කිරීමෙන් දේශීය නිෂ්පාදන දියුණු කළ හැකි බවට විශ්වාස කරන බොහෝ දෙනෙක් උදාහරණයකට ගන්නේ ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ සහ මේ කලාපයේ සමහර ආනයන කාණ්ඩ සඳහා තිබෙන ආනයන බදු ප්‍රතිශතයි. (Import Duty). නමුත් ආනයන බදු පමණක් සංසන්ධනය කිරීමෙන් මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීමට අපහසුයි. එයට හේතුව ශ්‍රී ලංකාවේ ආනයන බදු වලින් වැඩිම බදු ප්‍රමාණයක් තිබෙන්නේ CESS (සෙස් බදු) සහ Port and Aviation Levy (PAL) (ගුවන් සහ වරාය බදු) ආදී ආනයන බදු වර්ගීකරණයට පිටින් තිබෙන බදු වර්ගයි. Para Tariff යනුවෙන් හඳුන්වන්නේ මෙම බදු වර්ගයි. එම බදු වර්ග ඇතුළත්ව සැලකූ විට අපගේ ආනයන බදු කලාපයට සාපේක්ෂව ඉතා ඉහළ අගයක්. (Effective rate of protectionism) එම නිසා ආනයන බදු වැඩි කිරීමෙන් දේශීය කර්මාන්ත දියුණු කළ හැකියි යන්න විශ්වාස කිරීම එතරම්ම සාර්තක තර්කයක් නොවේ.

ආනයන තහනම් කිරීමෙන් දේශීය ව්‍යාපාර දියුණු කළ හැකි බව විශ්වාස කරන තවත් බොහෝ දෙනෙක් ගෙන එන තර්කයක් නම් ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ඉන්දියාව වැනි රටවල් සමහර භාණ්ඩ කාණ්ඩ සඳහා පනවා ඇති ඉහළ තීරු බදු ප්‍රමාණයි. එම රටවල් ඉහළ බදු පනවන්නේ නම් අප වැනි කුඩා රටවල් වලට එලෙස කළ නොහැක්කේ ඇයි දැයි නිතරම ප්‍රශ්න කෙරෙනවා.

අප තේරුම්ගත යුතු වැදගත් කරුණක් වන්නේ අප අනුගමනය කළ යුතු වන්නේ ආර්ථික විද්‍යාව විනා විවිධ රටවල්වල ආකෘතියේම කාබන් පිටපතක් නොවෙන බවයි. ලෝකයේ බොහෝ ධනවත් රටවල් වල ආර්ථික ප්‍රතිපත්ති ඔවුන් පෙන්වන තරම් සුදු නොවන බව රහසක් නොවෙයි. එම නිසා ඔවුන් කළ පමණින් අපිත් එයම කරන්නට යෑමෙන් අපි ලොකු අමාරුවක වැටෙනවා. අනෙක් කරුණ නම් එම රටවල් වල ජනගහනය සාපේක්ෂව ඉතාම වැඩියි. එම නිසා ඔවුන්ගේ දේශීය වෙළෙඳපොළ තුළ පමණක් මෙහෙයුම් කිරීමෙන් සැලකිය යුතු ලාභයක් ලබා ගත හැකියි මෙන්ම නිපදවන කවර හෝ භාණ්ඩයක විශාල ප්‍රමාණ (High quantities) නිපදවීමෙන් එක් ඒකකයක් සඳහා යන මුදල (Cost per unit) අවම කර ගත හැකිය. (Economies of scale)

නමුත් ශ්‍රී ලංකාව වැනි කුඩා දූපතකට එම ක්‍රමය නොගැළපෙන්නේ අපගේ වෙළෙඳපොළ ප්‍රමාණය ඉතාම කුඩා නිසායි. එම නිසා එම ක්‍රමවේදය අපට ගැළපෙන ක්‍රමයක් නොවෙයි.

ඒ වගේම තවත් තිබෙන මිත්‍යා මතයක් තමයි කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ආනයන සමග තරග නොකළ හැකි බවට ඇති මතයයි. එම මතය නිවැරැදි නොවන බව තේරුම් ගැනීමට ඇති එක් උදාහරණයක් නම් ඇඟලුම් ක්ෂේත්‍රයයි. ඇඟලුම් ක්ෂේත්‍රයේ දැවන්තයන් සිටියත්, ඒ සමග ගොඩනැගුණු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගණනාවක් ගෝලීය වෙළෙඳපොළේ තරග කර හැකි මට්ටමට තරග කරනු ලබනවා. එම නිසා තරග කිරීමට බලපාන්නේ දක්ෂතාවය සහ කාර්යක්ෂමතාවය මිස වෙනත් සාධක නොවේ. ශ්‍රී ලංකාවේ කුඩා නිවාස ඒකකවල සහ කුඩා පරිමාණයෙන් විශාල ලෙස ඇඟලුම් ක්ෂේත්‍රයේ ලෝක ප්‍රකට සන්නාම සඳහා නිමි ඇඳුම් නිපදවෙනු ලබනවා.

ආනයන තහනම් කිරීමෙන් දේශීය කර්මාන්ත දියුණු වන්නේ නම් ලෝකයෙන් වැසී තිබෙන උතුරු කොරියාව වැනි රටවල් සීග්‍ර දියුණුවක් ලබා ගත යුතුයි. නමුත් දත්ත දෙස බැලීමේදී යථාර්ථය ඊට වඩා හාත්පසින්ම වෙනස්. දේශීය කර්මාන්ත දියුණු කිරීමේ උපක්‍රමයක් ලෙස ආනයන තහනම් කිරීම වැරදි පූර්වාදර්ශයක්ද සපයනු ලබනවා. එමගින් ව්‍යාපාරිකයන් පවා රජය මත සහ ඔවුන් පනවනු ලබන බදු මත යැපෙන තත්ත්වයක් උදාවනවා. දැනටමත් රැකියා මත සහ දේශපාලන බලපෑම් වලට යටත් වන විශාල පිරිසක් සිටීම රජයට විශාල අපහසුවක්. මෙමගින් එම තත්ත්වය තවත් වර්ධනය වනු ලබනවා.

ඒ වගේම දේශීය කර්මාන්ත දියුණු කිරීමේ චේතනාවෙන් ආනයන සඳහා විශාල ක්‍රෝධයක් ජනතාව තුළ ඇති කිරීම ද දැකිය හැකියි. එය හරියට බුදු දහමේ එන රත්වන අඟුරු කැබල්ලක් අතින් ගෙන තමාගේ සතුරා දැවී යන ලෙස ප්‍රාර්ථනා කිරීමට සමානයි. එම ක්‍රෝධයෙන් දැවී යන්නේ අපිම බව අපට වැටහෙන්නේ නෑ. මොහොතකට අප සිතුවහොත්, අප ආනයන ගැන ඇතිකරණ ක්‍රෝධයම ලෝකයේ අනෙක් රටවල් අපගේ රටෙන් ඔවුන් ප්‍රධන ලෙස අපෙන් ආනයනය කරන (අපි අපනයනය කරන) තේ, ඇඟලුම් වැනි දේ සඳහා ඇති කිරීමට උත්සහ කළ හොත් අපගේ ආර්ථිකයට වන බලපෑම කෙබඳු විය හැකිද?

එම නිසා නිසැකවම අපගේ අරමුණ දේශීය කර්මාන්ත දියුණු කිරීම බවට විවාදයක් නැත. වැදගත් වන්නේ අප දේශීය කර්මාන්ත දියුණු කරන්නේ කෙසේද යන්නයි.

ඇපගේ මීළඟ අයවැය දේශීය කර්මාන්ත දියුණු කිරීම බව වීම සුබ ලකුණක්. නමුත් දේශීය කර්මාන්ත දියුණු කළ හැක්කේ ආනයන තහනම් කිරීමෙන් බව සිතීම අප විශාල මිරිඟුවක් පසු පස හඹා යාමක්. ආනයන පිළිබඳව ක්‍රෝධයක් ඇති කිරීමෙන් නොව අප තරගකාරීත්වයට මුහුණ දීමෙන් පමණක් අපට ඉදිරියට යා හැකි බව බුදු දහමට මෙන්ම ආර්ථික විද්‍යාවට ද සත්‍යය.

2021 සැප්තැම්බර් 24 වන දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියක්

යට ඇදුම් වලට යටින් තියන ආර්ථික විද්‍යා​ව

පසුගිය දිනවල යට ඇදුම් ගැන සමාජ මා​ධ්‍ය කතා බහ පැති ගොඩකට විහිදිලා ගියා. ගොඩක් අය අහපු මූලිකම ප්‍රශ්ණය තමයි ලෝකෙම ප්‍රධාන පෙළේ සන්නාම වන වික්ටෝරියා සීක්‍රට්(Victoria Secret), ටොමී හිල්ෆිගර් (Tommy Hilfiger), පින්ක් (PINK) වගේ ආයතන සඳ​හා යට ඇදු​ම් මහන්න ලංකාවෙ අපිට පුලුවන්නම් ඇයි අපිට අපේම යට ඇදුම් ටික මහ ගන්න බැරි කියල. 

මේ තර්ක දැකල මට පොඩි කාලෙ කතාවක් මතක් වුණා. පොඩි ලමයෙක් විදියට මං ඉස්සර තාත්තගෙ​න් නිතරම අහන ප්‍රශ්ණයක් තමයි දොස්තර මහත්තයට අසනීප වුණොත් එයාම වෙද නලාවෙන් එයාවම බලාගෙන ​ඒ දොස්තර මහත්තයම එයාට ඕන බෙහෙත් එයාම ලියා ගන්නවද නැත්තම් එයා වෙන දොස්තර කෙනෙක් ගාවට යනවද කියල. ඔය වගේ තර්ක කීපයක්ම මට තිබුණා. හැමෝගෙ​ම කොන්ඩෙ කපන බාබර් මහත්තයට ඇයි එයාගෙම කොන්ඩෙ කපා ගන්න බැරි වගේම හොඳ​ම ශල්‍ය වෛද්‍යවරයෙක්ට සැත්කමක් කර ගන්න ඕන වුනොත් ඔහුට ඔහු​ගේම සැත්කම කර ගන්න පුලුවන්ද වගේ ප්‍රශ්ණ.  මට හිතුණෙ පොඩි ළමයෙක් විදියට මට ​නොතේරුණු සාමාන්‍ය දැනී​මම වෙනත් විදියට සමාජ මාධ්‍ය ව​ල යට ඇදුම් සංවාද වලින් එලියට අවිල්ලා ආර්ථික විද්‍යා මූලධර්ම යට යනවද කියල. අපි ප්‍රශ්ණයේ මුලට යමු. 

ශ්‍රී ලංකා මහ බැංකුව ආනයන භාණ්ඩ 623ක් ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී බැංකු ණය ලබා ගැනීම නවතා ලීම සහ අදාළ භාණ්ඩ වර්ග සඳහා ආනයනයේදී 100%ක්ම වන මුදල බැංකුවේ තැන්පත් කිරීම සඳහා නව රෙගුලා​සි නිකුත් කෙරුණා. ඒ අතරින් අදාළ භාණ්ඩ කාණ්ඩවල කාන්තා සහ පිරිමි යට ඇඳුම් සටහන් වී තිබීම නිසා සමාජ මාධ්‍ය ජාලවල විශාල කතා බහක් ඇතිවුණා.

සෑම ප්‍රශ්නයක් වගේම මේ පිළිබඳ බොහෝ දෙනා දැක තිබුණේ දේශපාලන කෝණයකින් මිස ආර්ථික විද්‍යා කෝණයකින් නොවෙයි. මෙම තීරණය වැරදි බව ඒත්තු ගන්වන්න උත්සහ කරන පිරිස උත්සහ කරන්නේ අනාගතයේ ශ්‍රී ලංකාවේ ප්‍රමාණවත් තරම් යට ඇඳුම් නොමැති වන බවත් එමගින් ජනතාවට යට ඇඳුම් නොමැති රටක් උදාවීමට නියමිත බවත්ය.

එම තීරණය නිවැරදි බව ඔප්පු කිරීමට උත්සහ කරන පිරිස ප්‍රකාශ කරන්නේ පමුණුව වැනි ප්‍රදේශවල ඕනෑ තරම් යට ඇඳුම් තිබෙන බවත් එම නිසා යට ඇඳුම්වල කිසිම ප්‍රශ්නයක් නොමැති බව සහ අවශ්‍යනම් සතොස හරහා යට ඇඳුම් විකිණීමට අවස්ථාව තිබෙන බවයි.

ඒ අතර සමහර තවත් පිරිසක් එම තත්ත්වය උපයෝගී කර ගනිමින් ප්‍රකාශ කළේ යට ඇඳුම් පමණක් නොව ශ්‍රී ලංකාවේ නිපදවිය හැකි ඕනෑම දෙයක් ගෙන්වීම තහනම් කළ යුතු බවත් ලෝකයේම ප්‍රමුඛ පෙලේ අපනයන මට්ටමේ ඇඟලුම් අපට නිෂ්පාදනය කළ හැකිනම් අප රටට අවශ්‍ය ඇඟලුම් අපටම නිර්මාණය කර ගත නොහැකිද යන ප්‍රශ්නයයි. මෙම තර්ක දෙක පිළිබඳ ආර්ථික විද්‍යාත්මකව බලන්නෙ කොහොමද?

අප මුලින්ම තේරුම්ගත යුත්තේ පුද්ගලයෙක් යට ඇඳුමක් හෝ ඕනෑම ඇඳුමක් මිලදී ගැනීමේදී සලකා බලනු ලබන්නේ කුමන කරුණුද යන්නයි.

විශේෂයෙන්ම යට ඇඳුම් තෝරා ගැනීමේදී ඕනෑම කෙනෙක් සලකා බලන්නේ එම ඇඳුම තමන්ගේ ශරීරයට ගැළපෙනවාද, ප්‍රමාණය ගැළපෙනවාද, සනීපාරක්ෂාව සඳහා උපකාර වන්නෙ කෙසේද සහ එය තමන්ටම ආවේණික වූ ශරීර හැඩයට ගැළපෙනවාද යන්නයි.

ඒ වගේම යට ඇඳුම් තෝරා ගැනීමේදී සමහර වෙළෙඳනාමවලට සහ ඒවා මිලදී ගැනීමේදී දක්වන සන්නාම ළැදියාවත් (Brand Loyalty and Brand preference) ඉතාම සුවිශේෂියි. එම වෙළෙඳනාම / සන්නාම ළැදියාව බොහෝ භාණ්ඩ සහ සේවාවල දක්නට ලැබෙන්නක්.

සාමාන්‍ය භාෂාවෙන් කියනවානම් ඇඩ්වටයිසින් (වෙළෙඳ ප්‍රචාරණය) කරන අය සන්නාමයක ප්‍රතිරූපය ගොඩ නැගීමට විශාල මහන්සියක් දරනවා. යට ඇඳුම් වෙළෙඳනාමවලත් මේ තත්වය අනෙක් භාණ්ඩවල වගේම දක්නට ලැබෙනවා.

අදාළ ඇඳුම්වල මිලත් සලකා බලන තවත් කරුණක්. යට ඇඳුම් දේශීයද විදේශීයද යන්න බැලීමට පෙර අප මුලින්ම බලන්නේ ඉහත කරුණුයි.

ඕනෑම කෙනෙක් යට ඇඳුමක් මිලදී ගන්නේ තමාගේ අවශ්‍යතාවයට, සනීපාරක්ෂාවට සහ සුවපහසුව නිසා මිස නිෂ්පාදාකයාට උපකාර කිරීමේ අරමුණින් හෝ අදාළ යට ඇඳුම නිෂ්පාදනය කළ රටට උපකාර කිරීමේ අරමුණින් නොවන බව අප සැවොම අවිවාදයෙන් පිළි ගන්නවා.

එය අප රටේ පමණක් නොව ලෝකයේ අනෙක් රටවලත් එලෙසෙමයි. ලෝකයේ යට ඇඳුම් භාවිත කරන පිරිස එම යට ඇඳුම් දේශීයද විදේශීය යන්න සලකා බලනවා නම් සහ එම රටවල්වල මිනිසුනුත් ඔවුන්ගේම රටේ නිපදවන යට ඇඳුම් පමණක් නිපදවිය යුතුයි යැයි විශ්වාස කළොත් ශ්‍රී ලංකාවේ අපනයන විශාල කඩා වැටීමකට ලක්වීම නැවැත්විය නොහැකියි. එම නිසා දේශීය යටඇඳුම් පමණක් භාවිත කළ යුතුයි යන තර්කයට විද්‍යාත්මක පදනමක් නැහැ.

මීළඟට බොහෝ දෙනෙක් නගන ප්‍රශ්නය තමයි ලෝකයටම යට ඇඳුම් අපි මහනවානම් ඇයි අපිට අවශ්‍ය යට ඇඳුම් අපිටම මහන්න බැරි කියන ප්‍රශ්නය. එම ප්‍රශ්නය පැති කිහිපයකින් බැලිය හැකියි. අප මොහොතකට රෝගීන් දහස් ගණනකට සැත්කම් කරන ප්‍රසව සහ නාරි වෛද්‍යවරයෙක් සැලකිල්ලට ගමු. එම වෛද්‍යවරයා දරුවකු ප්‍රසූත කරන අවස්ථාවේදී ඇයට අනිවාර්යයෙන්ම වෙනත් ප්‍රසව සහ නාරි වෛද්‍යවරයෙක්ගේ සේවාව ලබා ගැනීමට සිදුවෙනවා. එම අවස්ථාවේදී අපිට අහන්න පුළුවන්ද “හැමෝටම ප්‍රසව හා නාරි සැත්කම් කරන්න පුළුවන්නම් ඇයි ඔබතුමියගේ සැත්කම සහ දරු ප්‍රසූතිය ඔබතුමියටම බලා ගන්න බැරිද? කියල. අන්න ඒ වගේ තර්කයක් තමයි අපි ලෝකටෙම යට ඇඳුම් මහනවනම් ඇයි අපිට අපේ ඒවා මහ ගන්න බැරි කියන තර්කය.

ශ්‍රී ලංකාව දක්ෂතාවය දක්වන්නේ ඉතාම උසස් මට්ටමේ ලෝක ප්‍රකට වෙළෙඳ සන්නාම සඳහා යට ඇඳුම් මැසීමටයි. Victoria Secret, PINK, Gap body, Calvin Klein වැනි ලෝකයේම ඉතා මිල අධික සන්නාම සඳහායි අපි යට ඇඳුම් සපයන්නේ. එවැනි මිල අධික යට ඇඳුම් මිලදී ගත හැකි අදායමක් ශ්‍රී ලංකාවේ ජනතාවට නැහැ වගේම එවැනි වෙළෙඳපොළකුත් ලංකාවේ නෑ. (ශ්‍රී ලංකාවේ එවැනි ආදායමක් ඇති අය බොහෝ වෙලාවට භාවිත කරන්නේ එවැනි සන්නම තමයි) ලංකාවේ මිනිසුන් භාවිත කරන මිල මට්ටම්වල යට ඇඳුම් මැසීමට අපේ ප්‍රධාන ඇඟලුම් කර්මාන්ත උත්සහ කළහොත් ඔවුන්ට කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් වසන්න සිදුවෙනවා. ඒ වගේම අපේ අපනයන ආදායම විශාල ලෙස අඩු වෙනවා. එයට හේතුව වැඩි මිලකට සහ වැඩි ප්‍රමාණයකින් මිලියන 7900ක ජනතාවකට ඇඳුම් නිෂ්පාදනය කිරීමට තිබෙන හැකියාව අඩු මුදලකට මිලියන 20ක් සඳහා පමණක් සීමා කර ගැනීමට ව්‍යාපාරික කිසිසේත්ම නුවණට හුරු නොවීමයි. කෙනෙක්ට අහන්න පුලුවන් වැඩි මුදලට විකුනණ යට ඇදුම් වගේම අඩු මිලට තියන යට ඇදුමුත් මහන්න බැරිද කියල. සරළම පිළිතු​ර පුලුවන්. ඒත් වැඩි මිලකට වැඩි ප්‍රමාණයක් විකුණන්න පුලුවන් කම තියෙද්දි කවුද කැමති වෙන්නෙ අඩු මුදලකට අඩු ඇදුම් ප්‍රමාණයක් මහන්න. එහෙ කරොත් ඇගලුම් ක්ශ්‍රේත්‍රයේ දැනට තියන ලොකුම ප්‍රශ්ණ වලින් එකක් තමයි ශ්‍රමය ගැන තියන ප්‍රශ්ණය. මහන්න අවශ්‍ය ශ්‍රමය හොයා ගන්න එක තව අමාරු වෙනවා. දැනට ශ්‍රමය හොයන්න ඕන වැඩි මිලට මහ ඇදුම් වලට විතරයි. දැන් අඩු මිලට මහන ඒවට ශ්‍රමය ගියාම වැඩි මිලට මහන ඒවත් මහ ගන්න බැරි වෙලා අපේ අපනයනත් අඩු වෙනවා. 

ශ්‍රී ලංකාවේ තේ ගැනත් නිතරම මේ ප්‍රශ්නය අහනවා. ලෝකෙටම සිලෝන් ටී (Ceylon Tea) හැදුවට අපිට එතරම් ගුණාත්මක බවින් යුතු තේ ලැබෙන්නේ නැහැ නේද කියල නිතරම අහන්න ලැබෙනවා. එහිදී තියෙන්නෙත් එම තර්කයමයි. ඉතා ඉහළ මට්ටමේ තේ ලංකාවේ තිබෙනවා. නමුත් එය මිලෙන් ඉතා වැඩියි. ඉහළ ආදායමක් තිබෙන අය එම තේ භාවිත කරනවා. ශ්‍රී ලංකාවේ බහුතර ජනතාවගේ ආදායමට අනුව එම වටිනාකමින් වැඩි තේ මිලදී ගන්න පුළුවන් කමක් නෑ. ඒ වගේම තේ නිෂ්පාදකයන්ට ලංකාවේ මිලියන 22කට තේ නිෂ්පාදනය කිරීමට වඩා වාසිදායක වන්නේ ඊට වඩා මිලෙන් වැඩි තේ ලෝකයට අපනයනය කිරීමයි. එහි වෙළෙඳපොළ ප්‍රමාණය විශාලයි. එවිට එම ලැබෙන අමතර මුදලින් අපිට මිලදී ගත හැකි මට්ටමේ භාණ්ඩ භාවිත කිරීමට හැකියාව තිබෙනවා.

ඒක හරියට සැත්කමක් කර ගන්න ඕන වුණාම ලෝකේ හොදම සැත්කම් කරන දොස්තර මහත්තයත් වෙන දොස්තර මහත්තයෙන් ගාවට යනව වගේ. එතන තිබෙන්නෙ වෛද්‍ය විද්‍යා විද්‍යාත්මක කරුණක් වගේම ආර්ථික විද්‍යා කරුණක්. වැඩිම වාසි දායක දේ තමයි අපි කරන්න ඕන. 

අප අපනයනය කරන ඇඟලුම්වලත් මුළු ක්‍රියාවලියම සිදු කරන්නේ ශ්‍රී ලංකාව තුළ පමණක් නොවේ. එම ඇඟලුම්ල නිර්මාණ දායකත්වය, ඒවාට අවශ්‍ය අමුද්‍රව්‍ය ආදිය ලබා ගන්නේ වෙනත් රටවල්වලින්.

ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඇඟලුම් නිෂ්පාදන ආයතන අදාළ ප්‍රධාන සන්නාම සහිත ආයතන සමග බුද්ධිමය දේපළ සඳහා ගිවිසුම් අත්සන් කර තිබෙනවා. එම නිසා ඔවුන් ලබාදෙන ඩිසයින් - Design (නිරූපණ සහ නිර්මාණාත්මක ආකෘති) නැවත ප්‍රතිනිර්මාණය කර ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටක වෙළෙඳපොළට නිකුත් කළ නොහැකියි. ඒ වගේම නිෂ්පාදන ක්‍රියාවලියම අන්තර්ජාතික මට්ටමේ ප්‍රමිතීන්ට අනුකූලව සහ දැඩි මානව සහ නීතිගරුක සහ පාරසරික හිතකාමී ප්‍රතිපත්ති අනුගමනය කරමිනුයි සිදු කරනු ලබන්නේ. අවම තරමේ වැරදියට මහන ඇඳුමක්වත් වෙළෙඳපොළට නිකුත් කරන්න හැකියාවක් නෑ.

පහත තිබෙන්නේ 2019 වසරේ කාන්තා සහ පිරිමි යට ඇඳුම් ආනයනය සහ අපනයනය කළ ප්‍රමාණයි. අප ආනයනය කර ඇත්තේ කොතරම් අඩු ප්‍රමාණයක්ද සහ අප අපනයනය කර ඇත්තේ කොතරම් වැඩි ප්‍රමාණයක්ද යන්න පහසුවෙන් දැක ගත හැකියි.

Screenshot (134).png
මුලාශ්‍රය :trademap.org ස​හ සුභාශිණී අබේසිංහගේ Twitter පිටුවෙ​න්

මුලාශ්‍රය :trademap.org ස​හ සුභාශිණී අබේසිංහගේ Twitter පිටුවෙ​න්

නමුත් එහි තේරුම දේශීය වෙළෙඳපොළට යට ඇඳුම් සැපයීමට අපේම ව්‍යාපරිකයන්ට අවස්ථාවක් නොමැති බවත් නොවෙයි. දැනට අපනයනය කරන්නේත් දේශීය ව්‍යාපාරිකයන්මයි. ඔවුන් ලෝකය සමග සාර්ථකව තර​ඟ කරමින් විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසකට රැකියා සහ ආදායම් උපයාදෙමින් සාර්ථකව ව්‍යාපාර කරනු ලබනවා. ඒ වගේම පමුණුව සහ විවිධ ප්‍රදේශවල ශ්‍රී ලාංකික වෙළෙඳපොළ සදහා නිර්මාණය කරන යට ඇඳුම් ඕනෑ තරම් තිබෙනවා.

ඒ වගේම යට ඇඳුම් යනු තම ශරීරයේ හැඩයට, සුව පහසුවට, සනීපාරක්ෂාවට සහ ඒ සමග ඇති වෙළෙඳනාම ලැදියාවට මෙන්ම මිලට අනුව පරිභෝජනය කරන භාණ්ඩයක් නිසා ඕනෑම වෙළෙඳනාමයක් ශ්‍රී ලංකාව තුළ මිලට ගත හැකි හැකියාවක් තිබීම ඉතා වැදහත්. එය වැදහත් ශ්‍රී ලාංකිකයන්ටමයි. අප ගුණාත්මකබවින් වැඩි දේවල් භාවිත කිරීමෙන් අපගේ ජීවිතයේ ගුණාත්මකභව වැඩි වෙනවා මෙන්ම අපගේ කාර්යක්ශමතාවයත් වැඩි වෙනවා. අපි මොහොතකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම උදාහරණයකට ගතහොත් අපිට අවශ්‍ය ඔවුන් ජයග්‍රහනය කරමින් ශ්‍රී ලංකාවේ කීර්තිනාමය බැබළීම විනා ඔවුන් පන්දුවට පහරදෙන පිත්ත ශ්‍රී ලංකාව තුළ නිපදවීම හෝ ඔවුන්ගේ පා ආවරණ, සපත්තු ශ්‍රී ලංකාව තුළ නිපදවීම නොවෙයි. අපේ අරමුණ තරගය ජයග්‍රහණය කිරීමයි. ඒ සඳහා අප ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීම විනා අප ඔවුන්ගේ ඇඳුම් පැලඳුම් වල ජාතිය සහ ජන්මය සෙවීම කිසිම තේරුමක් නොමැති වැඩක්.

ආර්ථික තරගයේදීත් අප කළ යුතු වන්නේ ලෝකය සමග තරග කිරීමට හැකියාව තිබෙන නිෂ්පාදන වෙතින් අපගේ ශ්‍රී ලාංකිකයන්ගේ ආදායම් වැඩි කර ජීවන මට්ටම ඉහළ නැංවීම විනා අන් අයගේ නිර්මාණ වෙනුවෙන් ඊර්ශ්‍යා කරමින් ආනයන තහනම් කරමින් තරග කිරීමට අපගේ ඇති නොහැකියාව සඟවා ගැනීම වෙනුවට, තරගය තුළින් ආනයනික භාණ්ඩ අභිභවා යමින්වලට වඩා සාර්ථක භාණ්ඩ නිපදවීමෙන් වැඩි ආදායම් සහ රැකියා නිපදවීමයි.

රජය ආනයන සඳහා බැංකු කටයුතුවලට සීමා යොදන්නේ රටේ තිබෙන ඩොලර් අර්බුදය නිසායි. අප එය තේරුම් ගත යුතුයි. අප එම ප්‍රශ්නයෙන් ගොඩ ඒමට ඩොලර් අර්බුදයෙන් පිටතට පැමිණිය යුතුයි. ආනයනවලින් එය කිරීමට උත්සාහ කිරීම ඒ සඳහා දීර්ඝ කාලීන විසඳුමක් නොවෙයි. භාණ්ඩ සහ සේවාවල ජාතියට සහ ජන්මයට වෛර කර මිනිසුන්ගෙන් වාසියට පමණක් ප්‍රයෝජනයක් ගන්නා ආර්ථික ක්‍රමයක් වෙනුවට අපට අවශ්‍ය වන්නේ භාණ්ඩ සහ සේවා භාවිත කර මිනිසුන්ට ප්‍රේම කරන ආර්ථික ක්‍රමයක් නොවෙයිද?

2021 සැප්තැම්බර් 17 වන දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියක්

මරණ තුනක් නැති මීපැණි කන ආර්ථිකයක්!

මරණ තුනක් නැති මීපැණි කන ආර්ථිකයක්!

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පනත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන පැහැදිලි කිරීමට කවියක් ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාවට ඇති ආර්ථික අර්බුදය සහ අපට තිබෙන පිළිතුරු එතුමාගේ කවියෙන්ම සොයා ගැනීමයි අප උත්සාහ කරන්නේ. එතුමා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ ගැඹුර ඉතාම මැනවින් පැහැදිලි කළා. එතුමා ඉදිරිපත් කළ කවියේ සම්පූර්ණ අර්ථය දැන ගැනීමෙන් අර්බුදයේ ගැඹුරද අපට හොඳින් අවබෝධ කර ගැනීමට හැකි වෙනවා.

මේ කවියෙන් කියවෙන්නේ වනාන්තරයේ ඇවිදින මිනිසෙක් මුහුණදුන් ඉතා භයංකාර අත්දැකීමක්. ඒ ඇවිදින මිනිසා හරියට ශ්‍රී ලංකාවේ ආර්ථිකය වගෙයි.

වනේ ගිජිඳාය දුටුවොත් වනසාය - ළිඳේ පනිදාය වැටුණොත් ඌ කාය

අතකින් කරවැලකි අතකින් දඬු බෑය - මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය

වනේ ගිජිඳාය දුටුවොත් වනසාය - ණය අර්බුදය අප පසුපසම පැමිණේ

පළමුවැනි පදයෙන් කියවෙන්නේ වනාන්තරයේ ඇවිදින මනුස්සයාට කෝපයෙන් සිටින තනි අලියෙක් මුහුණට මුහුණ හමු වෙනවා. කෝප වූ තනි අලියා මනුස්සයා පසුපස වේගයෙන් එළවාගෙන එනවා. හරියට ශ්‍රී ලංකාවට ගෙවන්නට තිබෙන ණය කන්දරාව වගෙයි. ලෝකය පුරා සිටින ආයෝජකයන්ගෙන් ඩොලර්වලින් වසර ගණනක් ණයට මුදල් ගෙන ප්‍රතිලාභ නොලැබෙන ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමෙන් අපම නිර්මාණය කරගත් ණය අර්බුදය දැන් අප පසුපස එන්නේ හරියට බඩ ගින්නේ කෝප වී සිටින හස්තියෙක් අපි පසුපස එන ආකරයටයි. අපගේ ආර්ථිකය දුර්වල නිසා නැවත වෙළෙඳ පොළෙන් ණය ලබා ගැනීමටත් අපහසුයි. සියලුම ණය ශ්‍රේණිගත කිරීම් ආයතන අපගේ ණය ගෙවීමේ ශ්‍රේණිය පහත දමා තිබෙනවා. මේ තනි අලියාගෙන් ගැලවෙන්නට තිබෙන එක ක්‍රමයක් වන්නේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමයි. ණය ගෙවීම පැහැර හැරියොත් ශ්‍රී ලංකාව අන්තර්ජාතික වශයෙන් බංකොළොත් රටක් වීමෙන් අන්තර්ජාතික ගනුදෙනු සියල්ල නැවතීමේ අවදානමක් තිබෙනවා. එසේ වුවහොත් කොවිඩ් තත්වයක් මැද බෙහෙත් වර්ග, අත්‍යවශ්‍ය භාණ්ඩ, ඛනිජ තෙල් වැනි කිසිවක් ගෙන්වා ගැනීමට නොහැකි හුදෙකලා රටක් වීමේ අවදානමක් තිබෙනවා.

විසඳුම:

මෙවැනි අවස්ථාවක අපට කළ හැකි දේ අතර එකක් වන්නේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමයි. නමුත් එය ඉතාමත්ම වේදනාකාරී ක්‍රියාපටිපාටියක්. ඒ වගේම රටේ කීර්තිනාමයටත් හානියක් සිදුවෙනවා. වසර ගණනක් නීති කටයුතු දික් ගැස්සෙන කේවල් කිරීම් ගණනාවක් සිදුකිරීමට සිදුවෙන ක්‍රියාවලියක්. නමුත් රටක් බංකොළොත් වීමෙන් ඇතිවන වේදනාවට වඩා එම වේදනාව අවමයි. ඒ සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහය ලබා ගත යුතු වෙනවා. එයට හේතුව ඕනෑම අන්තර්ජාතික ස්වෛරී බැදුම්කර ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට විශ්වාසය ඇතිකළ හැකි එකම අන්තර්ජාතික ආයතනය අන්තර්ජාතික මූල්‍ය අරමුදල වීමයි. එම ආයතනය පිහිටුවීමේ මූලික අරමුණ වී තිබෙන්නේත් එයමයි. එම විසඳුම හරියට කෝපවී වී අප පසුපස එළවන තනි අලියාගේ වේගය තරමක් අඩු කිරීමක් වගේයි. නමුත් එහි තේරුම අප සම්පූර්ණයෙන් තනි අලියාගෙන් පහර කෑමේ අවදානමෙන් මිදුණා කියන එක නොවෙයි. එහි තේරුම අලියාගේ වේගය තරමක් අඩුවීමෙන් අපට ටිකක් වේගයෙන් ඉස්සරහට දුවන්නට වැඩි කාලයක් ලැබීම පමණයි.

ළිඳේ පනිදාය වැටුණොත් ඌ කාය - ණය ගෙවීමට පොලී අනුපාත අඩුකිරීමෙන් ඇතිවූ විදේශ විනිමය අර්බුදය

දෙවැනි පදයෙන් කියවෙන්නේ තනි අලියාගෙන් බේරීමට දිවයන මනුස්සයා ළිඳකට පනී. ඒත් පනින්න සැරසුණු ඔහුට එකවරම පෙනෙන්නේ ළිඳේ වතුර නැති බවත් ළිඳ පතුලේ විශාල නාගයෙක් පෙනය පුප්පාගෙන ඉන්නා ආකරයයි. ඒ සමගම ඔහු එක වරම එයින් බේරීමට ළිඳ ඇතුළට එල්ලෙන වැල්පොටක් අත්දෙනික් අල්ලා ගෙන ළිඳට වැටීමෙන් වැළකෙයි. දැන් ඔහු සිටින්නේ වැල්පොටවල් දෙකකින් එල්ලෙමින් ළිං බිත්තියේ. ළිඳ පාමුල තනි අලියා මොරදෙමින් කේන්තියෙන් බලා සිටියි. බේරීමට ළිඳට පැන්ණොත් වතුර නැති නිසා එක්කෝ වැටී මියයයි. නැත්තම් නාගයා දෂ්ට කිරීමෙන් මිය යාමට ඉඩ තිබෙනවා.

මේ තත්ත්වය හරියට ණය අර්බුදයෙන් ගැලවීමට අප සංචිත භාවිත කරමින් දිගටම ණය ගෙවනු ලැබුවා. නමුත් දැන් සංචිත අඩුවීම නිසා අපේ සංචිත ප්‍රමාණවත් වන්නේ සති කිහිපයක ආනයන සඳහා පමණයි. එමගින් ණය ශ්‍රේණිගත කිරීම්වල තවත් පහළට ඇදවැටීමට විශාල අවදානමක් තිබෙනවා. ඒ වගේම දේශීය ණය සඳහා විශාල පොලියක් ගෙවීමට අප විශාල කාලයක් කෘත්‍රිමව පොලී අනුපාත අඩු කරගෙන සිටිනු ලැබුවා. එවිට සිදුවුණේ අපගේ ආර්ථිකයේ විශාල කොටසක් ආනයන අඩංගු වන නිසා, ආනයන තවත් වැඩි වීමෙන් අපට තිබූ විදේශ විනිමය ශීඝ්‍රයෙන් වියදම් වී යාමයි. කෘත්‍රිම ලෙස පොලී අනුපාත පහළ තබා ගැනීමට විශාල ලෙස මූල්‍ය පද්ධතියට මුදල් එකතු කරනු ලැබුවා. එම නිසා ඩොලරයට සාපේක්ෂව රුපියල විශාල ලෙස අවප්‍රමාණ වුණා. මහ බැංකුව සතුව සංචිත නොමැතිවීමෙන් සංචිත වෙළෙඳපොළට නිකුත් කිරීමෙන් විනිමය අනුපාත පාලනය ද ගිලිහී ගියා. විශාල ලෙස ආනයන ශ්‍රී ලංකාවට අවශ්‍ය නිසා ආනයනය කරන භාණ්ඩ බොහොමයක, එනම් ඛනිජ තෙල්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බෙහෙත් වර්ගවල මිල මෙන්ම සෞඛ්‍ය වියදම ද වැඩි වුණා. එය හරියට හස්තියාගෙන් බේරීමට ළිඳට පැනීමේ උපක්‍රමයෙන් ප්‍රශ්නය තවත් වැඩීවීමයි. කලින් බේරීමට තිබුණේ හස්තියාගෙන් පමණයි. නමුත් දැන් හසිතියා සහ නාගයා යන දෙදෙනාගෙන්ම බේරිය යුතුයි.

විසඳුම : පොලී අනුපාත මහ බැංකුව තරමක් දුරට ඉහළ දමනු ලැබුවා. නමුත් පවතින තත්ත්වය අනුව එය තවදුරටත් ඉහළ දමමින් මූල්‍ය පද්ධතිය තරමක් තද කිරීම හැර වෙන ක්‍රමයක් ඉතුරු වී නෑ. විශාල පොළී අනුපාත පැවතීම කිසිම ආර්ථිකයකට සුදුසු කටයුත්තක් නොවෙයි. නමුත් අලියාගෙන් ගැලවීමට සාපේක්ෂව සහ නයාගෙන් මිය යාමට සාපේක්ෂව එය අඩු වේදනාකාරීයි. පොලී අනුපාත වැඩි කිරීමේදී ආර්ථික වේගය අඩු වීම සහ ව්‍යාපාර මගින් ඔවුන්ගේ වියදම් සීමා කිරීම නිරායාසයෙන්ම සිදුවනවා. ඒත් පවතින විදේශ විනිමය අර්බුදයෙන් ගැලවීමට පවතින ක්‍රමයම රැගෙනයාම ඊටත් වඩා අපහසුයි. ඒ වගේම මෙම ප්‍රශ්නයෙන් දීර්ගකාලීනව ගොඩ ඒමට ආර්ථික ප්‍රතිසංස්කරණවල වැදගත්කම නැවත අවධාරණය කිරීමට සිදුවනවා. පාඩු ලබන රාජ්‍ය ආයතන වසා දැමීම හෝ පුද්ගලීකරණය කිරීම, නිසි පරිදි ආයෝජනය නොකරන රාජ්‍ය වත්කම් පුද්ගලික ආයෝජන සඳහා විවෘත කිරීම එවැනි ක්‍රම කිහිපයක්.

අතකින් කරවැලකි අතකින් දඬුබෑය - ඩොලරය රු.203ට ස්ථාවර කිරීමට උත්සාහ කිරීමෙන් ප්‍රශ්නය උග්‍රවීම

අලියාත් නාගයාත් අතර මරණ දෙකක සිරවී සිටින මිනිසා ඔහු අල්ලා සිටින එක වැල්පොටක් දිහා බලයි. එවිට ඔහුට පෙනෙන්නේ වැල් පොට හසුවී ඇත්තේ තවත් විෂඝෝර කරවලා සර්පයෙකුගේ වලිගයත් සමගයි. සර්පයා කේන්තියෙන් දඟලයි. අත බුරුල් කළහොත් එම සර්පයා දෂ්ට කරයි. එක අතකින් වැටීමෙන් බේරීමට එල්ලී සිටීමට අල්ලා ගත් වැල කරවලා සර්පයාගේ වලිගය වීම සමාන කළ හැක්කේ රුපියලේ අගය අවප්‍රමාණ වීම වැළැක්වීමට රුපියල 203ට ස්ථාවර කිරීමට මහ බැංකුව ගත් උත්සාහයයි. ඩොලරයේ මිල කෘත්‍රීම ලෙස ස්ථාවර කිරීමෙන් සිදුවී ඇත්තේ ඩොලර් අතේ තිබෙන පුද්ගලයන් බැංකු වෙත ඩොලර් මුදා නොහැරීමයි. වෙළෙඳ පොළේ ඩොලර් අඩුවීමෙන් එයට එල්ලවන ඉල්ලුම වැඩි වීම නිසා සහ අස්ථාවර නිසා ඩොලර් තිබෙන ව්‍යාපාරිකයන් සහ ඩොලර්වලින් මුදල් උපයන කිසිවෙක් දැන් වෙළෙඳ පොළට ඩොලර් නිකුත් කිරීමක් සිදු නොකරයි. එම නිසා මෙතෙක් කල් වැඩිවෙමින් පැවති ප්‍රේෂණ ද දැන් අඩු වෙමින් පවතී. එමගින් මූල්‍ය පද්ධතියේ තිබුණාටත් වඩා ඩොලර් හිඟ වීමෙන් තත්ත්වය තවත් උග්‍රවේ. එමගින් බෙහෙත්, අපනයන සඳහා අවශ්‍ය ආනයන, වාහනවල අමතර කොටස් ඇතුළු ආර්ථිකය පවත්වා ගැනීමට අවශ්‍ය මූලික භාණ්ඩවත් ගෙන්වා ගැනීමට හැකියාවක් නොමැති වේ. අපනයන සඳහා අවශ්‍ය ආනයන නොමැති වීමෙන් අපනයන වෙළෙඳ පොළ ද කඩා වැටිය හැකිය. දැන් අලියාගේත්, නාගයාගේත්, කරවලාගේත් මරණ තුන අතර මිනිසා දෝලනය වෙයි.

විසඳුම : ඩොලරයට ඒ අනුව එහි වෙළෙඳ පොළ අගය ලබා ගැනීමට අවස්ථාව දිය යුතුමය. වෙළෙඳ පොළේ ඩොලර් නොමැති නම් ඩොලරයක් රු.203ක් ලෙස නිවේදනයක් නිකුත් කිරීමෙන් පමණක් කිසිම තේරුමක් ඇති වන්නේ නැත. එමගින් සිදුවන්නේ ව්‍යාපාරික ප්‍රජාවගේ විශ්වාසය තවත් බිඳ වැටීමයි. ඒ අනුව ඩොලරයට වෙළෙඳ පොළ අගය ලබා ගැනීමට අවස්ථාව දුන් විට අතේ ඩොලර් සඟවාගෙන සිටින අය නිරායාසයෙන්ම වැඩි මිලක් ලැබෙන නිසා ඩොලර් මූල්‍ය පද්ධතියට මුදා හරියි. නමුත් එවිට ඩොලරයේ වටිනාකම රු. 240- 260 වැනි ඉහළ අගයකට යාම වැළැක්විය නොහැකිය. එමගින් බඩු මිල ඉහළ යාම, උද්ධමනය වැඩිවීම සිදුවීම ද වැළැක්විය නොහැක. නමුත් එමගින් සිදුවන වේදනාව අඩුය. නමුත් නැවතත් අපගේ මූල්‍ය පද්ධතියේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ කිරීම අනිවාර්ය වේ. ස්වාධීන ජාතික ණය කාර්යාලයක් පිහිටුවීම, මහ බැංකුවට අනවශ්‍ය ලෙස මූල්‍ය පද්ධතියට මුදල් නිකුත් කිරීම සහ පවතින රජයන්ට මහ බැංකුවට එලෙස බලපෑම් කිරීමට නොහැකි ලෙස ආයතනික ව්‍යූහය සැකසීම වැනි දැවැන්ත ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය වේ.

මරණ තුනක් ඇති මිනිසෙක් පැණිකෑය - කොටස් වෙළෙඳ පොළ සක්‍රීය වීම සහ ස්වයංපෝෂිත වීම පිළිබඳ මිථ්‍යා මත

එක් අතකින් කරවලා සර්පයා සහිත වැල්පොට අල්ලාගෙන සිටින මිනිසාට පහතින් පෙනෙන්නේ ළිඳ පතුලේ පෙනය පුප්පා සිටින නාගයායි. ළිඳේ ඉහළින් සිටින්නේ කේන්ති ගිය හස්තියායි. හරියටම ශ්‍රී ලංකාවේ ආර්ථිකය වගේමයි. සැබැවින්ම අපගේ ආර්ථික අර්බුදය ඊටත් වඩා ඛේදනීයයි. එක් අතකින් විදේශ ණය අර්බුදය, අනෙක් අතින් විදේශ විනිමය අර්බුදය, තවත් පසකින් විදේශ විනිමය හා සම්බන්ධ වුණු ජීවන මිල ඉහළ යාම සහ සෞඛ්‍ය අර්බුදය වැනි මරණ ගණනාවක් අතර සිරවී සිටින මිනිසා වගේමයි අපේ ආර්ථිකයත්. නමුත් එක් අතකින් කරවලා සර්පයා අල්ලා සිටියත්, අනිත් වැල්පොටෙන් එහි තිබූ මී වදයක් පොඩි වීම නිසා ඔහුගේ අත දිගේ මී වදය පොඩි වීමෙන් මීපැණි හෙමින් වැක්කෙරේ. එවිට මිනිසා මරණ තුනක් මත සිටියත් මීපැණිවල රස බලන්නාක් මෙන් සමහර අවස්ථාවල ආර්ථිකයේ ධනාත්මක පණිවිඩ ද අපට ලැබේ. පසුගිය දිනවල කොටස් වෙළෙඳ පොළ සක්‍රීය වීම, අපගේ අපනයන පසුගිය මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා යාම ඉන් ප්‍රධාන කාරණායි. නමුත් වැල්පොට දෙකේ එල්ලී සිට මීපැණි කෑමෙන් මරණ තුනෙන් මිනිසාට ගැලවිය නොහැක්කක් මෙන්ම එවැනි සිද්ධීන්වල ධනාත්මක බවින් අප ආර්ථික ප්‍රතිසංකරණ කිරීමට ඇති අවශ්‍යතාව අමතක කළ යුතු නොවේ. ඒ අතරම මීපැණි මෙන් මිහිරි ස්වයංපෝෂිත ආර්ථික ක්‍රම වැනි යල් පැන ගිය ආර්ථික සංකල්පවලට කොටුවීමෙන් අප සිටින්නේ මරණ තුනක් අතර බව අමතක නොකළ යුතුය. ඒ නිසා කෙටිකාලීනව මීපැණි රස විඳිමින් මරණ තුනක් අතර එල්ලී සිටිනවාට වඩා අප කළයුතු වන්නේ දිගු කාලීන ආර්ථික ප්‍රතිසංස්කරණ මගින් අපගේ ආර්ථිකය දිගුකාලීනව ඉදිරියට ගැනීමයි. එවිට අපට පසුව නිදහසේ මීපැණි කෑ හැක. මරණ තුන මත සිට කිසිම දෙයක් නොකර වැල් පොට දෙකේ එල්ලී කෙටිකාලීන මුදල් හුවමාරු මත යැපීමෙන් මීපැණි ගැන සිතීමෙන් (ස්වොප් පහසුකම්) සිදුවන්නේ අප සිතනවාට වඩා හස්තියාත්, නාගයාත්, කරවලාත් අප වෙත ඉක්මනින් පැමිණීමයි. අප අල්ලා සිටින වරපොටත් ක්‍රමයෙන් බුරුල් වේ. දැන්වත් අපි ආර්ථික ප්‍රතිසංස්කරණ ඉක්මන් කරමු.


2021 සැප්තැම්බර් 03 වන දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියක්

අත්‍යාවශ්‍ය භාන්ඩවල මිල වැඩිවීම හේතුපල දහමින් තේරුම් ගනිමු

මේ දිනවල වැඩියෙන්ම කතාබහට ලක්වෙන්නේ ඇයි මේ භාණ්ඩවල මිල එක පාරටම වැඩි වෙන්නෙ කියල. සුපුරුදු විදියටම ඉතිං භාණ්ඩවල මිල වැඩි වෙනවා කියන්නෙ පවතින රජය සෑහෙන්න බැනුම් අහන වැඩක්. ඒනිසා වැඩි වෙන බඩු මිලට එක එක හේතු පැහැදිලි කරනවා.

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ බඩු මිල වැඩි වෙන්නේ වෙළෙඳුන් බඩු හංගගෙන වැඩි ලාභ උපයාගන්න කරන උප්පරවැටියක් නිසා කියල. වෙළෙඳුන් විතරක් නෙවෙයි, බොහෝ වෙලාවට පවතින ආණ්ඩුව කියන්නෙත් මේක රජය අපහසුතාවට පත් කරන මහා කුමන්ත්‍රණයක්, මේකට විරුද්ධ පක්ෂයත් සම්බන්ධයි කියල.

වර්තමාන වෙළෙඳ අමාත්‍යවරයා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස එවකට පැවැති රජයේ භාණ්ඩවල මිල වැඩිවීම සහ මිල පාලනය දැඩිව විවේචනය කළා. එවකට පැවති ආණ්ඩුව ප්‍රකාශ කළෙත් බඩු මිල ඉහළ යාම එවක විපක්ෂය වෙළෙඳුන් සමග එක්වී රජය අපහසුතාවට පත් කිරීමට කරන දේශපාලන කුමන්ත්‍රණයක් බවයි. වසර කිහිපයකට පසුව ආණ්ඩුව සහ විපක්ෂය දැන් මාරු වී එම තර්කයම දෙපැත්තේ සිට බෙදා ගැනීමෙන් සහ ජනතාව කාලෙන් කාලෙට එම තර්කයම පිළිගැනීමෙන් පෙනෙන්නේ ලංකාවෙ බොහෝ දෙනෙක්ට තවමත් බදු මිල ඉහළ යාම ගැන අවබෝධය ඉතාම අඩුයි කියල. ඕනෑම ක්‍රමවේදයක් පිළිබඳව අවබෝධය අඩුවුණාම එය කුමන්ත්‍රණයක් ලෙස දැකීම සාමාන්‍ය දෙයක්. දැන් එක පාරටම භාණ්ඩ ගණනාවක මිල ඉහළ ගිහිල්ලා. හැමෝටම ප්‍රශ්නයක් මොකක්ද මේ වෙන්නේ කියල.

මීට ප්‍රතිචාරයක් විදියට රජය විශාල මිල පාලනයක් යොදවමින් පාරිභෝගික අධිකාරිය හරහා රජය නියම කරන ලද මිලකට භාණ්ඩ විකිණීමට ව්‍යාපාරිකයන්ට බල කිරීමත් නව නීති තත්ත්වයන් ක්‍රියාත්මක කරමින් අත්‍යවශ්‍ය භාණ්ඩ විකීණීම සහ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවවාන් කිරීමත් දැක ගත හැකියි. විපක්ෂයත් යෝජනා කරන්නේ අඩු මිලට රජය භාණ්ඩ පාලන මිල යටතේ ලබා දිය යුතු බවයි.

ආණ්ඩුවේ සහ විපක්ෂයේ මෙම ප්‍රකාශවලින් පෙනෙන්නේ ඔවුන් දෙපාර්ශ්වයටම මෙම ප්‍රශ්නය ගැන එතරම් අවබෝධයක් සහ මේ පිටුපස තිබෙන ආර්ථික විද්‍යාව පිළිබඳ අවබෝධයක් නොමැති බවයි. ආණ්ඩුව සහ බොහෝ දෙනා පුදුම වී බලා සිටින්නේ වැට් (VAT) බද්ද සහ තවත් බදු වර්ග මෙතරම් අඩු කරත් බඩු මිල අඩු වන්නේ නැත්තේ කුමන හේතුව නිසාද යන්නයි. බොහෝ දෙනෙක්ට නොතේරෙන කරුණ තමයි භාණ්ඩ වල මිල වැඩිවීම යනු ප්‍රතිඵලය මිස හේතුව නොවෙයි. එම නිසා ප්‍රතිඵලයට බලපෑම් කිරීමට උත්සහ කිරීමෙන් හේතුවට කිසිම වෙනසක් වෙන්නේ නෑ. ඒ නිසා එකම ප්‍රතිඵලය නැවත නැවත සිදුවීම වැළැක්විය නොහැකියි.

බුදු දහමේ මූලිකම හරය තමයි හේතුඵල දහම. සරලව කියනවනම් ප්‍රතිඵලයට බලපෑමක් ඇති කිරීමට නම් අප ප්‍රතිඵලය ඇතිවන හේතුවලට බලපෑමක් ඇති කළ යුතුයි.

දැන් අපි තේරුම් ගන්න ඕන ඇයි එහෙනම් භාණ්ඩ මිල වැඩි වෙන්නේ කියල. ඇඩ්වොකාටා ආයතනයේ බත් කරි ඉන්ඩිකේටර් දර්ශකයට අනුව ආහාර භාණ්ඩවල මිල පසුගිය වසරේ ජූලි මාසයට සාපේක්ෂව මේ වසරේ ජූලි මාසයේදී 45%කින් වැඩිවී තිබෙනවා. පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව 30%කින් ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකුව නිකුත් කර ඇති උද්ධමනය 6% ඉක්මවා වර්ධනය වෙමින් පවතිනවා.

සමහර දෙනෙක් අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ වල මිල මේ දිනවල ඉහළ යන නිසා එම භාණ්ඩවල මිල ඉහළ යාම ශ්‍රී ලංකාවේ භාණ්ඩවල මිල ඉහළ යාමට බලපාන බවයි. එහි යම් සත්‍යතාවක් තිබුණත් එය සම්පූර්ණ සත්‍ය නොවේ. මේ දිනවල මුළු ලෝකයේම විවිධ හේතු නිසා භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇති බව සත්‍යයක්. විවිධ භූ දේශපාලන ඝට්ටන, කොවිඩ් තත්ත්වය, නැව් ගාස්තු වල ඉහළයාම, බොරතෙල් මිල ඉහළ යාම ආදී විවිධ හේතු ඒ සඳහා බලපානු ලබනවා. ඒ වගේම ලෝක වෙළෙඳපොළේ භාණ්ඩවල මිල නිතරම ඉහළ පහළ යනු ලබනවා සහ එලෙස භාණ්ඩ මිල ඉහළ ගිය ප්‍රථම අවස්ථාව මෙය නොවෙයි. අවසාන අවස්ථාවද මෙය නොවේවි.

ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය භාණ්වල මිල ඉහළ යාමට ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාම බලපාන්නේ සුළු වශයෙන්. ශ්‍රී ලංකාවේ භාණ්ඩවල මිල ඉහළ යාමට තවත් හේතු ගණනාවක් බලපානු ලබනවා.

විදේශ විනිමය අර්බුදය

ඉන් ප්‍රධාන හේතුවනම් විදේශ විනිමය අර්බුදය නැතහොත් අවශ්‍ය තරමට ඩොලර් නොමැතිවීමයි. අවශ්‍ය තරමට ඩොලර් නොමැති නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරන ආනයන ව්‍යාපාරිකයන්ට බැංකුවෙන් ඩොලර් ලබා ගැනීම ඉතාම අපහසුයි. ඒ වගේම ඩොලර් ලබා ගත්තත් ඔවුන් මිලදී ගන්නේ ඉතාම ඉහළ අගයකටයි. ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවට (Standard Chartered Bank) අනුව ඩොලර් එකක් ඔවුන් ආනයනකරුවකුට බදාදා දිනට අදාළව විකුණන්නේ රුපියල් 224කටයි. එලෙස රු. 224ට ඩොලර් දැන් මිලදී ගැනීමත් පහසු නෑ. බැංකුවේ සෑහෙන රස්තියාදු වීමෙන් තමයි එලෙස ඩොලර් මිලදී ගත හැක්කේ. එම නිසා ආනනයනකරුවන්ට දැන් යන වියදම සහ කාලය වැඩියි. එමනිසා ඔවුන් ආනයනය කරන භාණ්ඩවල මිලත් ඉතා වැඩියි. අවිධිමත් වෙළෙඳපොළේ ඩොලරය රුපියල් 250ට වැඩි මිලකට අලෙවි වන බව වාර්තා වනවා. ඒ වගේම බැංකුවලින් ඉදිරියේදී ඩොලර් මිලදී ගැනීම අපහසු වන නිසා ආනයනකරුවන් ඉදිරි කාලයේදී සිදුවන අපහසුතාද සැලකිල්ලට ගෙන තමයි මිල ගණන් නියම කරන්නේ. ඒ වගේම මිල ගණන් නිතරම ඉහළ යන නිසා භාණ්ඩ අද විකුණුවාට වඩා හෙට විකිණීමෙන් වැඩි ලාභයක් ඉපැයීමට හැකියාව ලැබෙනවා. ඒ අනුව භාණ්ඩවල හිඟයක් නිතරම ඇතිවනවා වගේම සැපයුම අඩුවී ඉල්ලුම වැඩි වීමෙන් භාණ්ඩවල මිල ඉහළ යනවා. ලෝක වෙළෙඳපොළේ භාණ්ඩවල මිල ඉහළ යන මොහොතක විනිමය අර්බුදයක් ඇතිවීම තරම් භාණ්ඩ මිල ඉහළ යාමට දරුණු ලෙස බලපාන තවත් සංකලනයක් නොමැති තරම්. ශ්‍රී ලංකාවේ භාණ්ඩවල මිල ඉහළ යෑමට එය එක හේතුවක්. ඒ වගේම අපගේ විනිමය අනුපාත දිගටම පහළ වැටෙන්නේනම් ඉදිරියේදී තවත් තෙල් මිල ගෑස් මිල සහ කිරිපිටි ඇතුළු ආනයනික භාණ්ඩ ගණනාවකම මිල ඉහළ යාම වැළැක්විය නොහැකියි.

ඒ වගේම මේදිනවල දක්නට ලැබුණු ප්‍රධාන කරුණක් තමයි සීනි සහ සමහර අත්‍යවශ්‍ය භාණ්ඩ තොග ගබඩාවලින් රජය අත්අඩංගුවට ගැනීම සහ ඒවා රාජසන්තක කිරීම. මෙහිදීත් විනිමය අනුපාතවලින් එල්ලවන බලපෑම සහ වෙළෙඳුන් එසේ කිරීමට බලපාන හේතුව අවබෝධ කර ගැනීම වැදගත්.

බොහෝ ආනයනකරුවන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලට ගෙනඑන්නේ ඩොලර්වලින් ලබා ගත් ණයටයි. ඒ අනුව බොහෝ ආයතන මාස 6ක ණය යටතේ තමයි සීනි, කිරිපිටි වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගනු ලබන්නේ. ඔවුන් එම භාණ්ඩ මිලදී ගැනීමට මාස 6කට කලින් ඔවුන්ට ඩොලරයට ගෙවන රුපියල් ප්‍රමාණය තීරණය කිරීමට හැකියාවක් නෑ. කලින් එහෙම හැකියාවක් තිබුණත් දැන් මහබැංකුව පවතින විදේශ විනිමය ගැටලුව නිසා එම හැකියාව නැති කරනු ලැබුවා. (Forward Market). එම නිසා සමහර භාණ්ඩ ආනයනය කර තොග ලංකාවට පැමිණි අවස්ථාවේ ඩොලරයේ අගය පැවතුණේ රු.190ටයි. එම තොග ලංකාවේ වෙළෙඳපොළේ එම මිලට ගණනය කිරීමෙන් අනතුරුව දැන් ආනයන නෞකාව විකුණාත් අවසන්. නමුත් මාස 6 කල් පිරීමේදි දැන් ඔවුන්ට ඩොලරයට රු. 225ක් ගෙවීමට සිදුවෙනවා. එම පාඩුව මකා ගැනීමටත් ඉදිරියට භාණ්ඩ අවශ්‍යවෙයි යන චේතනාවෙන් මෙන්ම වෙළෙඳපොළ විකෘති කිරීමේ චේතනාවෙනුත් යන කරුණුවල සියලු සංකලනයක් ලෙස භාණ්ඩ ගබඩා කර තබා ගැනීම සිදු කරනු ලබනවා.

විදේශ විනිමය අර්බුදයක් ඇති වුණේ ඇයි?

මීළඟට අප සොයා බැලිය යුත්තේ විදේශ විනිමය ප්‍රශ්නයක් ඇති වුණේ කෙසේද යන්නයි. මේ තීරු ලිපියෙන් නිතරම සටහන් කරන පරිදි අධික ලෙස මුදල් මුද්‍රණය කිරීම හෙවත් මූල්‍ය පද්ධතියට වැඩිපුර මුදල් සැපයීමෙන් සිදුවන්නේ රටේ තිබෙන ඩොලර් අඩු වීමයි. උද්ධමනය ඇතිවීමට පෙර සිදුවන්නේ ඩොලර් අඩුවීම සහ විනිමය අනුපාත වැඩිවීමයි. උද්ධමනයට බලපාන්නේ එයින් එන බලපෑමයි. එයට හේතුව වැඩිපුර එකතුකරන මුදල් ආනයන පසුපස ඩොලර් ලෙස ඉවත් වීමයි. අප උදාහරණයකට මේ දිනවල කොවිඩ් තත්ත්වය නිසා රජය ලබාදෙන රු.2000ක මුදල සැලකුවහොත් එම මුදල් බොහෝ වෙලාවට ලබාදෙන්නේ මහ බැංකුවට මහා භාණ්ඩාගාරය විකුණන භාණ්ඩාගාර බිල්පත්වලින් හෙවත් සාමාන්‍ය භාෂාවේ එන මුදල් මුද්‍රණය තුළින්. එසේ කිරීමට සිදුවී තිබෙන්නේ රජය සතුව මුදල් නොමැති නිසයි. (රජයට එලෙස නිතරම මුදල් මුද්‍රණය කිරීමට සිදුවන්නේ රජයේ ආදායමට වඩා වියදම වැඩිවීම නිසයි.) දැන් රු.2000ක දීමනාවක් ලැබෙන පවුලක් මේ මුදල් වියදම් කරන්නේ කෙසේදැයි අපි බලමු. ඔවුන් ආහාර පිසීමට එල් පී ගෑස් මිලදී ගන්නවා. පරිප්පු මිලදී ගනු ලබනවා. සැමන් ටින් එකක් සහ හාල්මැස්සන් මිලදී ගනු ලබනවා. දැන් බැලූබැල්මට ඔය සියල්ලම රුපියල්වලින් මිලදී ගත්තාව වගේ පෙනුණට ඔය සියල්ලම අපි ආනයනය කළ යුතුයි. එසේ ආනයනය කිරීම කියන්නේම ඩොලර් මූල්‍ය පද්ධතියෙන් ඉවත් වීමයි. පළමු අවස්ථාවේදී කිසියම් කෙනෙකු දේශීයව නිපදවන සහල් මිලදී ගත්තෑයයි අපි උපකල්පනය කළත් එයිනුත් කොටසක් වක්‍රාකාරයෙන් ඇදී යන්නේ සහල් මෝල්වල දහනයට අවශ්‍ය ඉන්ධන සඳහා සහ වෙනත් ආනයන සඳහායි.

එහෙමනම් ආනයනද මේ ප්‍රශ්නයට හේතුව?

මෙම පැහැදිලි කිරීමෙන් පසුව බොහෝ දෙනෙක්ට හිතෙන්නේ එහෙනම් ආනයන තමයි ප්‍රශ්නය එහෙනම් අපි ආනයන තහනම් කරන්න ඕන කියන සරල පිළිතුරයි. නමුත් එම පිළිතුරත් වැරදියි. එයට හේතුව ඛනිජ තෙල්, පරිප්පු, ගෑස් වැනි දේවල් අපට රට තුළ නිෂ්පාදනය කළ නොහැකි නිසා අනිවාර්යයෙන්ම ආනයන කිරීමට සිදුවීමයි. අනෙක් පැත්තෙන් ආනයන නැවැත්වීමෙන් භාණ්ඩ අඩුවීමෙන් තවත් ඉල්ලුම වැඩිවී භාණ්ඩවල මිල ඉහළ යා හැකියි. එම නිසා ප්‍රශ්නය ආනයන නොවෙයි. ප්‍රශ්නය වන්නේ අපට ප්‍රමාණවත් තරම් ඩොලර් ඉපැයීමට අපගේ අපනය ලෝක වෙළෙඳපොළේ තරග කිරීමට නොහැකි වීමයි. අප ප්‍රමාණවත් තරම් ඩොලර් උපයනවානම් අපට විනිමය ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

මිල පාලනය සහ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්ද?

නීති දැමීමෙන් සහ මෙම භාණ්ඩවල මිල පාලනය කිරීමෙන් සහ විවිධ ලෙස බලය යෙදවීමෙන්, ආනයනකරුවන් ආනයන සම්පූර්ණයෙන් නැවැත්වුවහොත් අත්‍යවශ්‍ය භාණ්ඩ සම්පූර්ණයෙන් වෙළෙඳපොළෙන් ඉවත් වීම, කළු කඩ වෙළෙඳපොළක් ඇතිවීම, ආනයනකරුවන් බාල භාණ්ඩ ගෙන්වීම වැනි නොසිතන තවත් ප්‍රශ්න ගණනාවක් ඇතිවිය හැකියි. පෘථිවිය සූර්යා වටා ගමන් කිරීම නිසා රාත්‍රිය සහ දහවල උදාවීම සාමාන්‍ය සොභාවික ක්‍රියාවලියක්. අපට රාත්‍රිය උදාවීම තහනම් කරමින් නීතියක් දැමූ පමණින් රාත්‍රිය උදාවීම නතර වන්නේ නෑ. වෙළෙඳපොළ ක්‍රමයත් සොභාවික ක්‍රියාවලියක්. ප්‍රශ්නයේ හේතුවට ප්‍රතිකාර කිරීම වෙනුවට ප්‍රශ්නයේ ප්‍රතිඵලයට නීති දැමීමෙන් භාණ්ඩ මිල පාලනය කිරීම අපහසුයි. ඒ සඳහා වෙළෙඳපොළ ක්‍රමයට ක්‍රියාත්මක වීමට ඉඩ දිය යුතුයි.

2021 සැප්තැම්බර් 03 වන දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියක්

මැණිකේ මගේ හිතෙත්" අර්ථික විද්‍යාව

‘මැණිකේ මගේ හිතේ" ගීතයේ ආර්ථික විද්‍යාව ගුවන් විදුලිය සහ රූපවාහිණිය ජනප්‍රිය වුණු කාලේ ගායකයෙක්ට තමන්ගෙම ගීතයක් ප්‍රචාරය වෙනවා කියන්නෙ ඉහේ මලක් පිපුණා වගේ තමයි. ප්‍රචාරය කිරීම සැලකුවෙ ගෞරවයක් විදියට. ජනප්‍රියභාවයෙන් ලබා දෙන ගෞරවයට අමතරව කතෘභාගය කියල මුදලකුත් ගෙව්වා ගායකයට, සංගීතවේදියාට සහ පද රචකයට. කාලය වෙනස් වුණා. පස්සේ ගීතයට කතෘභාගය ගෙවීම කෙසේ වෙතත් ගීතය ජනප්‍රිය කරල දෙන්න අදාල නාලිකාව සල්ලි ගත්තා. ගීත ජංගම දුරකතනව වල “රිගිං ටෝන්" වලට ලබා දීලා අදාල ගීතවල අයිතිකරුවන් මුදල් උපයා ගත්තා. හැබැයි ඔය හැම තැනකම එක දෙයක් පොදුයි. ඒ තමයි අදාළ ගායකයට, පද රචකයට සහ තනු නිර්මාණයට ලංකාව කියන දූපත ඇතුළට සීමා වීම. 

ඒ යුගයත් අවසන් වෙලා දැන් ඇවිත් තියෙන්නෙ අලුත් යුගයකට. ඒතමයි සංගීතය ලෝකයත් එක්ක ගණුදෙනු කරන යුගය. ඒ වගේම ඒ තමයි යූ ටියුබ් යුගය. යූ ටුබ් හරහා ගීතය ජනප්‍රියවෙනවනම් එම නැරඹුම් වාර ගානට අනුව මුදල් ලැබෙනවා.  යුගය මොකක් වුණත් මේ හැම යුගයකම ගීතය පිටිපස්සේ ආර්ථික විද්‍යාවක් තිබ්බා. යොහානි ද සිල්වාගේ “මැණිකේ මගේ හිතේ" ගීතය ලොව පුරා ජනප්‍රියවීමත් එක්ක නැවතත් ගීතය පිටිපස්සෙ තියෙන ආර්ථික විද්‍යාව අවබෝධකර ගැනීම වටිනව. ඒ වගේම ශ්‍රී ලංකාවට විශාල ආර්ථික දියුණුවක් ළගා කර ගනීමට අවශ්‍ය මූලික කරුණු යොහානිගේ ගීතය ජනප්‍රිය වීමෙන් පෙන්නුම් කරනවා. 

සරළවම කියනවනම් 

1.විශාල වෙලදපොළක් ස්පර්ශ කිරීමේ වැදගත්කම සහ එලෙසෙ කිරීමෙන් ආදායම් උපාය ගත හැකි ධාරිතාව

2. ලෝකය සහ විශාල වෙළදපොලවල් සමග තරග කිරීමේ වැදගත්කම 

3. කාලයට අනුරුප වන මාධ්‍ය භාවිතාව සහ ලෝකය සමග විවෘත වීම 

4. ශ්‍රී ලාංකික අනන්‍යතාවයට අන්තර්ජාතික ලෙස තරග කිරීමේ ඇති හැකියාව

යන කරුණුයි.

බොහෝ දෙනෙක් ගීතය පිටිපස්සෙ ආර්ථික විද්‍යාව තියනව කියල කිව්වම හිතන්නේ වැරදි දෙයක්.  “බලන්න දැන් පොඩි සිංදුවක් කියන්නත් සල්ලි ගන්නවා. වෙළඳදැන්වීම් වලින් මේ අය සල්ලි හම්බ කරනවා. අපේ කාලෙ එහෙම නෙවෙයි. සංගීතය මුදලට විකිණිලා. ශාස්ත්‍රීය ගීත වගේ නිවුණු බවක් නෑ. සිංදුව මැද්දෙ රැප් කියල කෑ ගහනවා” වගේ අදහස් සහ වාණිජකරණයට එරෙහි අදහස් තමයි වැඩිපුරම තියෙන්නෙ. සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක්. ඉතින් එම සංගීතය ලෝකයත් එක්ක පරිණාමනය වීමේදී ඇතිවුණු විවිධ සංගීත රටා තියනයවා. එක එක මිනිස්සුන්ට ඒ සංගීතය තමන්ගේ හදවතට දැනෙන ප්‍රමාණය අනුව ඒ සංගීතය වැළඳ ගන්නවා.

 යොහානි සහ සතීශන්ගේ සංගීතයත් ඒ විදියට ලෝකයේ බොහෝ දෙනෙක්ගේ හදවතට අතුලු වෙලා. ආපසු හැරිල බැලුවොත් ඇත්තටම වුණේ අනිත් හැමදෙයක් වගේම ගීතය සහ සංගීතයත් වෙළදපොළ ක්‍රමයට ඇතුළත් වීමෙන් එම නව යුගයට අනුගත වුණු ගායකයන්ට වැඩිම වාසියක් ලැබීමයි. 

ඒත් සංගීත ක්ශේත්‍රයත් හරියට ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථිකය වගේ තමයි. ලෝකයට අනුගත වෙන්න ප්‍රමාදයි. ශ්‍රී ලංකාවේ සීමාව ඔබ්බවා යන ක්‍රමයක් හිතන්නෙ නෑ. අහබු ලෙස එක තැනක දෙකක ලෝකයට සම්භන්ධ වුනා ඇරෙන්නෙ වැරදි මූලික සංකල්ප මත තමයි නිතරම දුවන්නෙ. 

යොහානිගේ ගීතයේ සාර්ථකත්වය තමයි ඉන්දියානු වෙළදපොළ ආක්‍රමණය කිරීම. මූල්‍යමය අතින් වැඩි මුදලක් උපයාගැනීමට හැකියාව ලැබෙන්නේත් විශාල පිරිසකට මෙම ගීතය රැගෙන ගියොත් පමණයි. ඒ අනුව ඉන්දියානු වෙළදපොළට ගැළපෙන ලෙස එම ගීතයේ දෙමළ සංකලනය නිර්මාණය කිරීම වැනි දේවල් දැක ගත හැකි වුණා. 

එහි ආර්ථික විද්‍යාත්මක තේරුම තමයි විශාල වෙළදපොළට ගැළපෙන ලෙස නිර්මාණ කටයුතු කිරීම සහ විශාල වෙළදපොළක් තුළ තරඟකාරී කිරීම තමයි වැඩි ආදායමක් සහ මුදලක් උපයා ගැනීමට තිබෙන එකම මාර්ගය. ඒ සදහා විශාල වෙළදපොළවල් සමග තරග කිරීම හැරෙන්න වෙන විකල්පයක් නෑ. තරග කරනවා කිව්වම බොහෝ දෙනෙක් හිතන්නෙ “අපි කොහොමද ලෝකය එක්ක තරග කරන්නෙ, අපි කොච්චර පොඩිද? “ වගේ දේවල්. නමුත් යොහානි සහ සතීශන් එය එසේ නොවන බව ඔප්පු කළා. ඔවුන්ගේ සංගීතය විශාල ප්‍රසංගාත්මක වෙළඳපොළක් ඇති ඉන්දියාවේ ප්‍රධාන පෙළේ නලුවකු වන අමිතාබ් බච්චන් ගේ හදවත සොරා ගැනීමත් එක්ක ලෝකයේම අවධානය දිනා ගත්තා. විශාල වෙළඳපොළක් සමග ගණුදෙනු කිරීමේ වටිනාකම සහ වාසිය වන්නේත් එහි එක කුඩා කොටසක් අල්ලා ගැනීමෙන් මුලු වෙළඳපොළම ඉක්මනින් අතික්‍රමණය කිරීමට හැකි වීමයි. 

යොහානිගේ ගීතය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ගළප ගන්නේ කොහොමද?   

ශ්‍රී ලංකාවේ ආර්ථිකයත් එක තැන පල් වීමට මූලික හේතුවක් තමයි ලෝකය සමග විවෘත නොවීම. ඉන්දියාව මුවදොරේ සිටියත් අපට තවම ඉන්දියාණු වෙළදපොළ ආක්‍රමණය කිරීමට නොහැකි වී තිබෙන්නේ ඒ නිසයි. 

වෙළදපොළ විවෘතවීම කිව්වම බොහෝ දෙනෙක් හිතන්නේ ලෝකයේ තියන ඕනම දෙයකට ලංකාවට එන්න දෙනවා, ඇවිල්ල අපේ දේවල් ඔක්කොම අරං ගිහිල්ල අපිට මුකුත් නැති වෙලා අපිව නැත්තටම නති වෙලා යනව වගේ අදහසක්. ඒක නිසා විවිධ බදු වර්ග දාල, වෙනත් රටවල් වල මිනිස්සුන්ට අපේ රටේ ව්‍යාපාර කරන එක නවත්වල, අපේ ව්‍යාපාර අපිම රැක ගන්න ඕන, අපේ දේම ගන්න ඕන, අනෙක් රටවල් වල දේවල් ගන්න හොද නෑ වගේ විවිධ මත තියනවා. ඒත් එය එසේ නොවන බව මැණිකේ මගේ හිතේ ගීතය තවත් වරක් තහවුරු කළා. 

 ඒ වගේම එම ගීතය සිංහල ගීතයක් වීමත් තනුව විශ්වීය වීමත් නිසා අපට අපේම දෙයක් ලෝකයට රැගෙන යාමට සහ ලෝකය සමග තරඟ කිරීමට හැකි බවත් නැවත ඔප්පු වුණා.

ඒ අර්ථයෙන් ගත්තොත් සංගීත වෙළදපොළ කියන්නෙ අපිට තහංචි දාල නවත්වන්න පුලුවන් දෙයක් නොවෙයි. තාක්ෂණය අතින් ගීතය නිෂ්පාදනයේදී විශාල පරතරයක් තිබුණත්,  ඩිජිටල් මාධ්‍ය හරහා ලෝකයේ ඕනෑම රටක ගීතයක් ඕනෑම  ඕනෑම වෙලාවක දැන් යූ ටියුබ් ඇතුලු විවිධ ඩිජිටල් මාධ්‍ය හරහා නැරැඹිය හැකියි. සරළව කියනවනම් තරග කිරීමට දැන් තිබෙනේ සමාන වටපිටාවක්. දක්ෂයාට එළියට එන්න ලේසියි. 

එම නිසා තරඟයෙන් ඉවත් වෙලා සැගවී සිටීමට උත්සහ කිරීමම තේරුමක් නොමැති කර්තව්‍යයක්. අපගේ ආර්ථිකයයේදිත් අප ඉන්දියානු වෙළඳපොළ සමග සම්බන්ධ කළයුතු වන්නේ ඒ නිසා. එය එතරම් ජනප්‍රිය මතයක් නොවුණත් අප යොහානිගේ ගීතය ජයග්‍රහණයක් ලෙස දකිනවානම් අපේ ආර්ථිකයත් ඉන්දියාණු වෙළදපොළ ජයගැනීමට හැකි ලෙස තරගකාරී කිරීමෙන් අප කළ යුතු වන්නේත් එම උපක්‍රමයි. එය උපක්‍රමයකට වඩා සැබවින්ම එය යථාර්ථයයි. අප යථාර්තයට මුහුණ දිය යුතුයි. 

වෙළදාම අතින් ගත් කල අපි තවමත් වැඩිපුරම අපනයන කරන්නේ යුරෝපා සංගමයට සහ ඇමරිකා එක්සත් ජනපදයටයි. වියදම අතින් සහ කාලය අතින් යන දෙකෙන්ම අපට සැබවින්ම වඩාත් පහසුවෙන් ගණුදෙණු කළ හැකි වන්නේ ඉන්දියාව සමගයි. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙනුත් ඉන්දියානු සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙනවා. ඒ වගේම චීන ජාතික සංචාරකයන්. අප ආසියානු කලාපයේ තිබෙන වෙළදපොළවල් අන්තර්ජාතික වෙළදාම මගින් අතික්‍රමණය කිරීම අපට ශ්‍රී ලංකාවට ඩොලර් උපයාගැනීමට සහ සංවර්ධනයට ඇති හොදම සහ පහසුම මාර්ගයයි. 

මෙය සංගීතයට පමණක් පොදු දෙයක් නොවෙයි. ක්‍රිකට් ක්‍රීඩාවේත් තත්ත්වය ඒ හා සමානයි. වනිදු හසරංග සහ චමීර දුශ්මන්ත ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට කැදවා තිබෙන බව සදහන් වෙනවා. ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය කියන්නේ විස්සයි විස්ස තරගවල තරගකාරීබවේ කූටප්‍රාප්තියයි. එම හැකියා මට්ටමට තරග කළ හැකි මට්ටමේ ඕනෑම අයෙක්ට සහ එම තරගකාරී වෙළඳපොළ ස්පර්ශ කළ හැකි ඕනෑම අයෙක්ට විශාල ආදායමක් උපයා ගැනීමට හැකියාව තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවෙන් මීට කලින් ලසිත් මාලිංගත්, පුහුණු කරුවෙකු ලෙස මහේල ජයවර්ධනත් දැන් වනිදු හසරංග සහ දුශ්මන්ත චමීරත් නැවත ඔප්පු කරමින් සිටින්නේ මේ යථාර්ථයයි. ශ්‍රී ලංකාවත් ආර්ථිකයක් ලෙස ඉදිරියට යාමට අපට අපේ අත ළගම ඇති වටිනාම වෙළදපොළ ඉන්දියානු වෙළදපොළයි. අප සැවොම ඉතා ගෞරවයෙන් කතා කරන බුදු දහම, තාක්ෂණය අපට පැමිණියේත් ඉන්දියාවෙන් නම්, ඔවුන්ගේ වෙළඳපොළ ප්‍රමාණයෙක් විශාලයි නම් ඔවුන්ගේ වෙළදපොල අපේ ආදායම් උපයා ගැනීමේ දොරටුවයි. යොහානි තරුණ වයසේදීම අපට ඉගැන්වූ ලොකුම පාඩම එයයි. 

2021 අගෝස්තු 27 වන දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියක්

තටුවේ එල්ලි රට පනින ඔවුන් හා බෝට්ටුවෙන් ඉතාලි යන අපි

මා විදේශ රටක සංචාරය කළ අවස්ථාවක මට ඇෆ්ගනිස්තාන මිතුරකු හමුවුණා. ඒ වසර 5කට තරම් ඉහතදී. ඇෆ්ගනිස්තානය කොතරම් සුන්දර රටක්ද කියා ඔහු මට පැහැදිලි කළා. සංචාරයෙන් පසුව මාගේ මිතුරා කියූ දේ තහවුරු කර ගැනීමට මා “The kite runner” චිත්‍රපටය නැරඹුවා. මගේ මිතුරා තවමත් ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරයේ ජීවත් වනවා. මේ දිනවල ඇෆ්ගනිස්තානයේ ඇති වී ඇති තත්ත්වය ගැන මාධ්‍ය මගින් දුටු මම‍, වහාම මාගේ මිතුරාගේ සහ ඔහුගේ පවුලේ සුවදුක් විමසමින් විද්‍යුත් ලිපියක් යැවුවා. මගේ ලිපියට ඔහු වචන තුනකින් පමණක් පිළිතුරු එවා තිබුණා. “මට සියල්ල නැතිවුණා” (I lost everything) යනුවෙන් පමණක් ඔහුගේ පණිවිඩයේ සටහන් වී තිබුණා.

එයින් මම තරමක් කම්පනයට පත් වුණා වගේම රටක පාලන ක්‍රමවේදය මාරු වීමෙන් මිනිසකුට තමන් සතු සියල්ල නැති වන්නේ කොහොමද කියල මම මොහොතකට හිතුවා. කාබුල් ගුවන් තොටුපොළෙන් මිනිසුන් ගුවන් යානාවක තටුවල එල්ලී පොරකමින් පිටත් වන අයුරු දුටු විට එය එසේ විය හැකි බවත් ඕනෑම පාලන තන්ත්‍රයක් ලබා ගන්නා තීරණ නිසා අපගේ ජීවිත කාලය පුරා මහන්සියෙන් හරි හම්බ කරගත් සෑම දෙයක්ම එක මොහොතකින් විනාශ විය හැකි බවත් මට මාගේ ඇෆ්ගනිස්තාන මිතුරාගේ පණිවිඩයත් සමග තරමක් තදින් දැනුණා. ඕනෑම රටක ආර්ථිකය සහ දේශපාලනය, සමාජීය ක්‍රමය සමග තදින් ගැට ගැසී පවතින්නක්. එය වෙන් කිරීම ඉතාම අපහසුයි. ඇෆ්ගන් වැසියන් සමහරක් පොරකමින් ජීවිතය පරදුවට තබමින් ඔවුන්ගේම රටින් පිටවීම පිටුපස ආගමික මෙන්ම විශාල ආර්ථික විද්‍යාත්මක කතාවකුත් තිබෙන බව අපි අමතක නොකළ යුතුයි.

එම නිසා ශ්‍රී ලංකාවටත් ඇෆ්ගනිස්තානයෙන් ආර්ථිකය අතින් ඉගෙනීමට විශාල පාඩම් ගණනාවක්ම තිබෙනවා. ශ්‍රී ලංකාව මෙන්ම ඇෆ්ගනිස්තානයත් ස්වභාවික සම්පත් සැලකියයුතු තරම් ඇති රටක්. පතල් කර්මාන්තය මෙන්ම විශිෂ්ට ශිෂ්ටාචාරයක් ඔවුන්ට හිමියි. මගේ මිතුරාත් නිතරම ඇෆ්ගනිස්තානයේ අලංකාරය ගැන කතා කළේ මම ශ්‍රී ලංකාවේ සුන්දරත්වය කතා කළ විදිහටමයි.

නමුත් ආර්ථික සහ ආගමික සාධක මත ගොඩ නැගුණු ක්‍රමවේදය හැරුණු විට දශක ගණනාවක්ම ඔවුන්ගේ ආයතනික පද්ධතිය, සංවර්ධනයේ මූලික අඩිතාලම, නැත්තන් මිනිසුන්ට නිදහසේ ජීවත් වීමට සහ දියුණු වීමට ගැළපෙන ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට ඔවුන් අපොහොසත් වුණා. (building institutions) එහි ප්‍රතිඵලය මුළු ලෝකයම රූප රාමු මගින් තවමත් දකිමින් සිටිනවා.

බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාව “පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා!” කියමින් ගීත ගායනා කළාට, අපේ රටේ සංවර්ධනය මන්දගාමී වීම නිසා ශ්‍රී ලංකාවත් වෙනත් කෝණයකින් දශක ගණනාවක් තිස්සේ ආර්ථික වශයෙන් ගමන් කරන්නේ ඇෆ්ගනිස්තානය ගමන් කරන මාර්ගයේමයි. ශ්‍රී ලාංකිකයන් නීති විරෝධී ලෙස ඉතාලිය, ඔස්ට්‍රේලියාව වැනි රටවලට බෝට්ටු මගින් සහ ව්‍යාජ වීසා බලපත්‍ර හරහා යාමත්, ප්‍රධාන නගරවල හතු පිපෙන්නාක් මෙන් තිබෙන විදේශ අධ්‍යාපනය සඳහා ශ්‍රී ලාංකිකයන් පිටරට යවන කාර්යාලත් ගුවන් යානයක තටුවෙන් එල්ලී පිටරට යාමේ තවත් එක් පැතිකඩක් පමණයි.

දේශපාලන පාට පසෙකින් තැබූ විට පසුගිය දශක පහක කාලය ශ්‍රී ලංකාවේ එතරම් සාමකාමී වටපිටාවක් නොතිබූ බව අකැමැත්තෙන් වුණත් අප පිළිගත යුතුයි. 1981-1983 කලබලය, 1987-1989 කැරැල්ල, ඒ සමගම එක දිගට වසර 30ක් පැවැති ත්‍රස්තවාදී යුද්ධය, ඉන් පසුව නැවත ඇතිවුණු පාස්කු ප්‍රහාරය සහ ඒ අතර වාරයේදී දිගන, මහනුවර ප්‍රදේශ වල සහ දිවයිනේ විවිධ පළාත්වලින් ඇතිවූ විවිධ මතවාද සහ ආගමික කණ්ඩායම් මුල් කරගත් ගැටුම්වලින් පසුගිය දශක 5ම සම්පූර්ණයෙන් අඳුරු වී අවසන්. ඒ අර්ථයෙන් බැලූ විට විශාල චිත්‍රය තුළ ශ්‍රී ලංකාව තුළ ගැටුම් නොතිබූ දීර්ඝ කාලයක් නොතිබූ තරම්. එම තත්ත්වය ඇෆ්ගනිස්තානය තුළ තරම් දරුණු නොවූවත් අපගේ තත්ත්වයත් සාමකාමී නොවන බව රහසක් නොවේ. එයට මූලිකම හේතුව ඇෆ්ගනිස්තානයේ මෙන්ම ශ්‍රී ලංකාවේත් ඕනෑම කෙනෙකුට නිදහසේ ජීවත් වීමට ඉඩ සලසන සහ මහන්සි වී වැඩ කිරීමට ඉඩ සලසන පරිසරය සහ ආයතිනක පද්ධතිය සකස් නොවීමයි.

මාගේ ඇෆ්ගනිස්තාන මිතුරා “මට සියල්ලම නැති වුණා" යනුවෙන් ප්‍රකාශ කළේ ඔවුන්ගේ රට තුළ පුද්ගල නිදහසට ඉඩක් නොතිබෙන නිසයි. පුද්ගලික නිදහස කියන්නේ මාධ්‍ය නිදහස, උද්ඝෝෂණ කිරීමට තියන නිදහස, කැමැති ආගමක් ඇදහීමට තිබෙන නිදහස වගේ මතුපිටින් පෙනන දේවල්වලින් ඔබ්බට ගිය ඉතාම ගැඹුරු දෙයක්. පුද්ගලික නිදහසේ මූලිකම අත්තිවාරම තමයි පුද්ගලයෙක්ට සාධාරණ ලෙස මුදල් ඉපැයීමට අවස්ථාව තිබීම සහ ඔහු උපයා ගත් දේපළ රජය මගින් හෝ වෙනත් ඕනෑම පාර්ශ්වයක් මගින් පැහැර නොගැනීමට තිබෙන අයිතියයි. එම අයිතිය පුද්ගලයෙක්ට ලැබෙන්නේ බාධාවකින් තොරව ඔහුට සිතන්නට ඉඩ තිබෙන, දත්ත,තොරතුරු සහ පවතින ක්‍රමයට අභියෝග කිරීමට ඉඩ දෙන පරිසරයක් තුළයි.

අප සරලව සිතුවහොත් සියවස් ගණනාවකට පෙර දෙවියන් සිටින්නේ උඩ නිසා කිසිවෙකුටත් උඩින් යා නොහැකි බව සමාජ සම්මතය වී තිබුණා. එම සම්මතය පැවැතුණේ රයිට් සහෝදරයන් ගුවන් යානය සාදන තුරුම පැවැතියත් එයට ඔවුන් දෙදෙනා අභියෝග කළ නිසා අද මුළු ලෝකයේම කොතරම් වෙනසක් වී ඇත් දැයි අපටම සිතා ගත හැකියි. ව්‍යාපාර වශයෙනුත් ජීවිතයේ ගුණාත්මක බවිනුත් ගුවන් යානය විශාල සේවය කර තිබෙන බව රහසක් නොවෙයි. වැදගත් වන්නේ වරදින්නට හෝ හරියන්නට සිතන්නට ඉඩ දීමයි. ගුවන් යානා සම්බන්ධව විශාල ආර්ථිකයක් බිහිවුණේ එම සිතීමේ නිදහස නිසයි. එම නිසා ඕනෑම ආර්ථිකය ඉදිරියට යාමට සිතීමේ නිදහස අනිවාර්යයෙන්ම පැවැතිය යුත්තක්. ඇෆ්ගන් වැසියන් දැනුවත්ව හෝ නොදැනුවත්ව රටින් පලා යන්නේ ඔවුන්ගේ සිතීමේ සහ ජීවිතයේ නිදහසට සිදුවන වෙනස පිළිබඳව ඔවුන්ට දැනෙන හැඟීම අනුවයි.

ශ්‍රී ලංකාවේත් ආර්ථික නිදහස සහ ජනතාවට ආදායම් උපයා ගැනීමට, උපයාගන්න දේපොළ සහ ධනය ආරක්ෂා කර ගැනීමට, පහසුවෙන් ජීවත් වීමට අවශ්‍ය වටපිටාව තවම සකස් වී නෑ.

ශ්‍රී ලංකාවේ කවුරුත් අපගේ දේපොළ පැහැර නොගන්නා බවට පෙනුණත් ඉතා විශාල ලෙස එලෙස දේපොළ සහ සාමාන්‍ය මිනිසුන්ගේ ධනය පැහැර ගැනීම් සිදුවන්නේ අපට නොදැනීමයි. ශ්‍රී ලංකාවේ සම්පත්වලින් වැඩිම ප්‍රමාණයක් පාලනය කරන්නේ දේශපාලනික වශයෙන් සබඳකම් ඇති සීමිත පිරිසක් පමණක් වීම නිසා නිසා ශ්‍රී ලංකාව තවම ඇෆ්ගනිස්තානයක් නොවුණත් රටවල් දෙකම සිටින්නේ එකම ගමන් මාර්ගයක සංධිස්ථාන දෙකක පමණයි. ඇෆ්ගනිස්තානයේ දේපොළ පැහැර ගැනීම් තුවක්කු බටයකින් සිදුවන අතර ශ්‍රී ලංකාවේ බොහෝ විට එය සිදුවන්නේ වායු සමනය කළ කාමරවල සහ රජයේ නිලධාරීන්ගේ කාර්යාලවලයි.

ඒවගේම ලංකාවේ ඕනෑම දෙයක් කර ගැනීමට එම ස්ථානයේ දන්නා හඳුනන කෙනෙක් සිටිය යුතුයි. බොහෝ විට එය දේශපාලන සම්බන්ධයක් විය යුතුයි. රැකියා ලබා ගැනීමට, ව්‍යාපාර කිරීමට, පාසලකට දරුවෙකු ඇතුළත් කිරීමට, රියැදුරු බලපත්‍රය ලබා ගැනීමට, නිවසක් සෑදීමට හෝ ඕනෑම ඉදිකිරීමක සැලසුම අනුමත කර ගැනීමට, බැංකුවකින් ණයක් ලබා ගැනීමට, අවසානයේ මරණ සහතිකය සහ අදාහනය සඳහා කනත්ත වෙන්කිරීම දක්වා යමක් පහසුවෙන් කර ගැනීමට දේශපාලන බලයක් හෝ දන්නා හඳුනන කෙනෙක් හෝ සන්තෝසමක් දීම අනිවාර්යයි. සාමාන්‍ය කටවහරේ කියන්නේ දෙවියන්ට පූජාවට්ටිය පූජා කිරීමටත් කපු මහතා දැන ඇදින ගත යුතු බවයි. ඇෆ්ගනිස්තානයේ තරම් ලංකාවේ ප්‍රචණ්ඩත්වයක් නොතිබුණත් පුද්ගලයකුගේ නිදහසට එයින් සිදු කරන බලපෑම එක හා සමානයි.

මෙහි අනිත් කොටස ආනයන සීමා මගින් ජනතාවට ඔවුන්ගේ සිහින හඹා යාමට යොදා ඇති බාධවනුයි. “අපිට මෙතරම් වාහන අවශ්‍යද?” වැනි ප්‍රශ්නයක් ඇසීම පහසු වුණත් කුඩා කාලයේ සිටන් වාහනයක් ගැනීමට සිහින දකින තරුණයෙක්ට එම සිහින සැබෑ කර ගැනීමට රජය මගින් අවස්ථාව අහිමි කිරීම හෝ ඒ සඳහා අසාධාරණ බද්දක් ගැනීම වැනි හේතු බොහෝ තරුණයන්ට නොදැනුවත්වම ඔවුන්ට ශ්‍රී ලංකාව එපා කිරීමට එක හේතුවක්.

රටවල්වල පාලන ක්‍රම මිනිසුන්ගේ ධනය සූරාකන තවත් ප්‍රබලම ක්‍රමයක් වන්නේ ඔවුන්ගේ මහ බැංකු හරහා මුදල් පද්ධතිය මගින් ජනතාවගේ සල්ලි සූරා කෑමයි. අනවශ්‍ය ලෙස මුදල් අච්චු ගැසීමෙන් ජනතාව උපයන මුදල්වල වටිනාකම අඩු කිරීම ගැන ජනතාවටත් එතරම්ම අවබෝධයක් නෑ. කිසියම් පුද්ගලයකුගේ වාර්ෂික ආදායම රු. 100,000ක් නම් ඊළඟ වසරේ ඔහුගේ ආදායම වෙනස් නොවන්නේ නම් එහෙත් උද්ධමනය 7%ක අගයක පවතින්නේ නම් එහි තේරුම අදාළ පුද්ගලයාගේ ආදායම් දැන් රුපියල් 93,000 දක්වා පහත වැටී ඇති බවයි. පැවැති සෑම පාලන ක්‍රමයක්ම නිසි මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය නොකිරීමෙන් එලෙස අප සැමගේ මුදල් විශාල ලෙස සූරා කනු ලැබුවා.

මාගේ මිතුරාගේ වචන වලින්ම “අපිට ඇති සියලුම නැති කිරීමට" රටක මූල්‍ය පද්ධතියට පුළුවන්. ඇෆ්ගනිස්තානයේ මෙන් ප්‍රචණ්ඩකාරී ලෙස නොවුණත් නිතරම ජනතාව ජීවත් වීමට අපහසු බව පවසන්නේත් වෙනත් රටවල්වලට යාමට ඔවුන් විශාල කැමැත්තක් දක්වන්නේත් එකම හේතුව නිසායි. වෙළෙඳපොළ ක්‍රමයක වැදගත්ම සාධකයනම් බලපෑම එල්ල වන්නේ කවර ක්‍රමයකින් වුවත් ප්‍රතිඵල එකම වීමයි. එලෙස තම රටවල් වලින් පලා යන බොහෝ දෙනා, ස්ථාවර මුදල් ඒකක තිබෙන, සමාජයේ සෑම ජන කොටසකටම පිළිගැනීමක් තිබෙන රටවල් සඳහා නීත්‍යනුකූල ක්‍රමයෙන් හෝ හොර පාරෙන් යන්නට උත්සහ කරන්නේ එකම හේතු මාලාව නිසාමයි.

රටක අධිකරණ පද්ධතිය ස්වාධීන වීමත් ජනතාව මත පාලන ක්‍රමය පිළිබඳ විශ්වාසයක් ඇතිවීමට විශාල බලපෑමක් එල්ල කරනු ලබනවා. රටේ අධිකරණ පද්ධතියේ ඇති විශාල අඩුපාඩු සහ තමාට අසාධාරණයක් වූ විට තමාට සාධාරණයක් ඉටු වේවිදැයි යන විශ්වාසය පලුදු වීමත් මිනිසුන් ගුවන් යානයක තටුවේ හෝ එල්ලී යාමට උත්සාහ කිරීමේ තවත් එක පැති කඩක්.

අප ඇෆ්ගනිස්තානයෙන් ඉගෙන ගත යුතු අනෙක් විශාල පාඩමනම් අපේ රටේ සැමට ජීවත් විය හැකි, ආර්ථික වශයෙන් දියුණු විය හැකි සමාජ වටපිටාවක් සාදා ගැනීම ලෝකයේ වෙනත් සුපිරි බලවත් රටවලට අප වෙනුවෙන් සිදු කර දිය නොහැකි බවයි. වසර විස්සක් ඇමරිකා එක්සත් ජනපදය විවිධ දේශපාලන ආර්ථික හේතු සහිතව එය උත්සහ කළත් එය සාර්ථක නොවන බව යළිත් පසක් වුණා. එම නිසා ඇමරිකාවේ හෝ චීනයේ උදව් මත අපගේ ආර්ථිකය සහ රට ගොඩ එනු ඇතැයි විශ්වාස කිරීම දූරදර්ශී නොවන බවත් අපට ඇෆ්ගනිස්තානයෙන් ඉගෙන ගැනීමට පුළුවන්.

පසුගිය දිනවල සමාජ මාධ්‍යවල විශාල ලෙස හුවමාරු වුණු පින්තුරයක් තිබුණා. ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රයක් සහිතව සිය දියණිය පළකළ පින්තූරය මත ඇයගේ මව සටහන් කළ වාක්‍යයි. “අපිට අපේ දුවට ජීවත් වෙන්න පුළුවන් රටක් අවුරුදු ගාණක් මහන්සි වුණත් අපිට හදා ගන්න බැරි වුණා. අපේ දුවව වෙන රටකට යවන එක තමයි අපිට දුවට දෙමව්පියන් විදියට දෙන්න පුළුවන් හොඳම තෑග්ග" කියල එහි සටහන් කර තිබුණා. මට ආයෙමත් මගේ ඇෆ්ගනිස්තාන යාළුවාගේ පිළිතුර මතක් වුණා. “මට සියල්ල නැතිවුණා” (I lost everything).

2021 අගෝස්තු 20 වන දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියක්

වෙළෙඳපොළ මිල පාලනය නිසා හිඳෙන කිරි

මගේ මතකයේ තදින්ම සටහන් වුණු වෙළෙඳ දැන්වීමක් තිබෙනවා. ඒ තමයි පොඩි දරුවෙක් හඳ දිහා බලාගෙන “අම්මේ මට හඳ අල්ලන්න ඕන, හඳ මගේ ළඟට ගෙනැල්ලා දෙන්න කියලා’ මොරදෙමින් අඬනවා. අම්මා “මම කොහොමද පුතේ හඳ ගෙනැල්ල දෙන්නේ?, ඒක තියෙන්නේ ගොඩක් ඈතනේ’’ කියල පුතාට තේරුම් කරන්න හැදුවත් පුතා හඳ හාමිව අල්ලන්න ඕන කියමින් යටිගිරියෙන් කෑ ගහනවා.

දරුවාගේ තාත්තා රැකියාව ඉවර වෙලා ගෙදර පැමිණෙනවත් එක්කම දරුවාගේ ඉටුකිරීමට අපහසු ඉල්ලීමට නිර්මාණාත්මක විසඳුමක් ලබා දෙනවා. බේසමකට වතුර පුරවා චන්ද්‍රයාගේ ඡායාව බේසමේ වතුර මතට ගැනීමයි තාත්තා කරන්නේ. කුඩා දරුවා මේ ක්‍රියාවෙන් ඉතාම ප්‍රීතියට පත් වෙනවා. මේ කතාව මට මතක් වුණේ මේ දිනවල ගෑස් පෝලිම සහ කිරිපිටි හිඟය පිළිබඳ මාධ්‍ය වාර්තා සහ අපගේ ප්‍රතිපත්ති සම්පාදකයන් ඒ වෙනුවෙන් ලබා ද ඇති විසඳුම් දෙස බැලීමේදීයි.

“ජීවන වියදම වැඩියි, ජීවත් වෙන්න අමාරුයි, රැකියා නැති වෙලා, තෙල් මිල වැඩි වෙලා’’ කියමින් ජනතාවගේ පීඩනය එන්න එන්න රජය මතට එල්ල වෙනවා. හරියට අර කුඩා ළමයා හඳ ඉල්ලා කෑගසන ආකාරයටයි.

රජයත් හරියට ළමයාගේ කෑගැහිල්ලෙන් කෑම ටික කවා ගන්න බැරිවුණු අසරණ අම්මා වගේයි. එයට හේතුව සමහර භාණ්ඩවල මිල රජයට තීරණය කරන්න නොහැකි වීමයි. විශේෂයෙන්ම ගෑස්, කිරිපිටි වැනි ආනනයනය කරන ඒත් අපේ රටේ නිපදවිය නොහැකි භාණ්ඩවල මිල, කරුණු කාරණා ගණනාවක් මත රඳා පවතිනවා. ඉතින් මේ දිනවල ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල මෙන්ම ගෑස් මිලත් ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම අපේ රුපියල අවප්‍රමාණය වීම නිසා අපි ආනයන සඳහා රුපියල්වලින් ගෙවිය යුතු මිල වැඩි වී තිබෙනවා. අනෙක් පැත්තෙන් ආනයන සඳහා අවශ්‍ය තරම් ඩොලර් අප සතුව නෑ. එම නිසා ජනතාවගේ ජීවන වියදම වැඩියි. එම නිසා ඔවුන් රජයට එල්ල කරන බලපෑමත් වැඩියි. ඉතින් මේ තත්ත්වය හරියට කෑගහන කුඩා ළමයා වගේ.

විද්‍යාවට අනුව කුඩා ළමයාට ඇත්තටම සඳ ස්පර්ශ කරන්න අවශ්‍ය නම් අභ්‍යවකාශ යානයක එම දරුවා සඳ මත යැවීම හැරෙන්න වෙන කරන්න දෙයක් නෑ. නමුත් ඒ වෙනුවෙන් සඳේ ඡායාව ස්පර්ශ කිරීමට සැලැස්වීමෙන් දරුවා සඳ ස්පර්ශ කළා යැයි සෑහීමකට පත් වෙනවා වගේ මෙවැනි අවස්ථාවල රජය සිදු කරන්නේ අදාළ භාණ්ඩ මත මිල පාලනයක් යෙදීමයි. එය හරියට ඇත්ත හඳ වෙනුවට ස ‍‍ෙඳ්   ඡායාව ස්පර්ශ කරන්න ඉඩ දෙනවා වගේ. දේශපාලකයන් ඒ අනුව සෑම භාණ්ඩ වර්ගයකටම කලින් කලට මිල පාලනයක් යෙදීමට දක්වන්නේ පුදුම දක්ෂකමක්. එතකොට පාරිභෝගිකයන් කෙටි කාලීනව සිතනවා “දැන් භය වෙන්න දෙයක් නෑ. බඩු මිල වැඩි වෙන්නේ නෑ". නමුත් පාරිභෝගිකයන් විදියට අපි සැවොම දන්නා දෙයක් තමයි කවදාවත් පාලන මිලට එම භාණ්ඩ මිලදී ගන්නට හැකියාව නොමැති බව.

සැබවින්ම පවතින සහ පැවති සෑම රජයක්ම මිල පාලනයක් යොදා උත්සාහ කරන්නේත් අඬන දරුවා සැනසීමට තාත්තා සිදු කළ උපක්‍රමය අනුගමනය කිරීමටයි. එම උපක්‍රමය විද්‍යාව නොතේරෙණ කුඩා දරුවෙක්ට ගැළපුණත් වෙළෙඳපොළක එවැනි උපක්‍රම අනුගමනය කිරීමෙන් සිතනවාටත් වඩා ප්‍රශ්න පැන නගිනවා. එයට මූලික හේතුව වෙළෙඳපොළ නිසි පරිදි සංසන්දනය කරන්න පුළුවන් හරියට ඈතින් තිබෙන චන්ද්‍රයාට වඩා සැබවින්ම අප එදිනෙදා අත් දකින ගුරුත්වාකර්ෂණ බලයටයි. ගුරුත්වය තිබෙන බව දන්නවා වුණත් පේන්නෙ නෑ. අප පත්තරයකින් රොකට්ටුවක් සැදුවත්, සැබැවින්ම සඳ මත පතිත වන රොකොට්ටුවක් සැදුවත් ගුරුත්වයෙන් මිදිය නොහැකියි වගේ වෙළෙඳපොළ අපට මගහරින්න අපහසුයි. පොඩි කාලයේදී විද්‍යාව නොතේරෙණ වයසේ මමත් නිතරම අහන දෙයක් තමයි රාත්‍රි කාලයට හරි වතුර මතට ගියොත් හරි අපිට ගුරුත්වයෙන් මිදෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නය. නමුත් අපි හැමෝම දන්නවා එහෙම කරන්න බැරි බව. වෙළෙඳපොළ කියන්නෙත් ඒ වගේම දෙයක්. පේන්නෙ නෑ. ඒත් තියෙනවා. ඒක නොදන්න අය තමයි පාලන මිලක් දැමීම වගේ දේවල් කරන්නේ.

ඔබට මතක නම් යහපාලන රජය බලයට පැමිණි විගස සාමාන්‍ය ආප්පයක් සඳහා රු. 10කුත් බිත්තර ආප්පයක් සඳහා මාගේ මතකය නිවැරැදි නම් රු. 15කුත් ලෙස මිල නියම කළා. ප්ලේන්ටියක් සඳහා රු.10 මිලකුත්, කිරි තේකක් සඳහා රුපියල් 25ක මිලකුත් නියම කරනු ලැබුවා. එම කාලයේදී බොහෝ ආපනශාලා ආප්ප සෑදීමෙන් වැලකුණා. සමහර ආපනශාලා ආප්පයේ ප්‍රමාණය ඉතා කුඩා වුණා සහ ගුණාත්මක භාවය ඉතාම අඩු වුණා. මිල පාලනයක් යෙදූ විට මෙවැනි ඕනෑම දෙයක් විය හැකියි.

දැන් අප දකින කිරිපිටි හිඟයට මූලික හේතුවත් එයයි. පසුගිය මාස කිහිපය තුළ ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉතා විශාල ලෙස ඉහළ ගියා. ඒ වගේම අපගේ රුපියල අවප්‍රමාණ වුණා. එම නිසා අදාළ සමාගම් සඳහා පවතින මිලට කිරිපිටි විකිණීම අපහසුයි. ඒ වගේම ඩොලර් අර්බුදයක් පවතින නිසා ආනයන සඳහා ඩොලර් වෙන්කර ගැනීමත් වෙනදා තරම් පහසු නෑ. මේ සෑම කරුණක්ම මිල සඳහා බලපානු ලබනවා. දැන් ලෝක වෙළෙඳපොළේ පවතින මිල අනුව මාගේ ගණනයේ හැටියට කිරිපිටි කිලෝවක් රු. 350කින් වත් ඉහළ යා යුතුයි.

නමුත් කිරිපිටි මිල රු. 350 කින් ඉහළ දැමීමට අවසර ලැබුණහොත් එමගින් ජීවන වියදම වැඩිවීමත් රජය අපහසුතාවට පත් වීමත් වැළැක්විය නොහැකියි. එම නිසා රජය දිගටම මිල පාලනය පවත්වා ගනිමින් සිටිනවා. ඒත් අනෙක් පැත්තෙන් කිරිපිටි සමාගම්වලට එම මිලටම කිරිපිටි විකුණුවහොත් ඔවුන්ට විකුණන සෑම කිරිපිටි පැකැට්ටුවකින්ම පාඩු ලැබීමට සිදු වෙනවා. එම අවස්ථාවේදී ඇත්තටම කිරිපිටි නොවිකුණා සිටීමෙන් සිදුවන පාඩුවට වඩා වැඩියි කිරිපිටි විකිණීමෙන් සිදුවන පාඩුව. එවිට එම සමාගම් වෙළෙඳපොළට කිරිපිටි නිකුත් කිරීම අඩු කරනු ලබනවා. අන්න එවිට තමයි කිරිපිටි හිඟයක් වෙළෙඳපොළේ ඇති වෙන්නේ. අනෙක් පැත්තෙන් කිරිපිටි හිඟවන බව දැන ගත් විගස මිනිසුන් වැඩි වැඩියෙන් කිරි පිටි මිලදී ගැනීමට උත්සුක වෙනවා. එවිට වෙළෙඳපොළේ තිබෙන කිරිපිටි ප්‍රමාණය තවත් අඩු වෙනවා.

ඒ වගේම මෙවැනි අවස්ථා කළු කඩ මුදලාලිලාට ඉතාම වටිනා අවස්ථා ලෙස සැලකිය හැකියි. එයට හේතුව ඔවුන්ට ලැබෙන කිරිපිටි තොග ගබඩා කර ගැනීමෙන් කුඩා දරුවන් සිටින දෙමව්පියන් වැනි කිරිපිටි අත්‍යවශ්‍යම පිරිස් වෙත සමාන්‍යයෙන් ඉතාමත් ඉහළ මිලකට හෙවත් කළු කඩ මිලකට කිරිපිටි විකිණීමට හැකියාව ලැබෙනවා. තවත් පිරිසක් කිරිපිටි සමග පාන් පිටි හෝ වෙනත් සෞඛ්‍යාරක්ෂිත නොවන ද්‍රව්‍ය කලවම් කරමින් කිරිපිටි ප්‍රමාණය වැඩි කර ගනිමින් ගුණාත්මක බවින් අඩු භාණ්ඩ වර්ග වෙළෙඳපොළට නිකුත් කිරීම මෙවැනි තත්ත්ව යටතේ සාමාන්‍යයයි.

සමාජයේ තිබෙන තවත් මතයක් තමයි කිරිපිටි පානය ශරීර සෞඛ්‍යයට අහිතකර නිසා එය අධෛර්යවත් කිරීමට දියර කිරි ප්‍රවර්ධනය කළ යුතු බව. බොහෝ දෙනෙක්ට තිබෙන ප්‍රශ්නය තමයි කිරිපිටි මෙතරම් සෞඛ්‍යට අහිතකර වුණත් මිනිසුන් මෙතරම් කිරි පිටි බොන්නේ කුමන හේතුවකටද යන්නයි. ශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනය කරන්න බැරිද යන ප්‍රශ්නය බොහෝ දෙනෙක් අසන ප්‍රශ්නයක්. ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන බොහෝ දෙනාට දත්ත ගැන අවබෝධයක් නෑ. මුලින්ම ශ්‍රී ලංකාවට නිෂ්පාදනය කළ හැක්කේ දියර කිරි අවශ්‍යතාවයෙන් හරි අඩක් පමණයි. ඒ වගේම දියර කිරි මිලෙන් ඉතා වැඩියි. සාමාන්‍ය වැටුපක් ලබන පුද්ගලයෙක්ට දියර කිරි භාවිතයට තම මුදලක් නෑ. දියර කිරි මිල වැඩි වීමට සහ අපේ නිෂ්පාදනය අඩු වීමට මූලිකම හේතුව තමයි අපේ කිරි ගවයන්ගේ කාර්යක්ෂමතාවය අඩුවීම. සාමාන්‍යයනේ ශ්‍රී ලංකවේ කිරි ගවයන්ගෙන් දිනකට ලබා ගත හැක්කේ කිරි ලීටර් 4.3ක් පමණයි. නමුත් ලෝකයේ කිරි ගවයන්ගෙන් දිනකට ලබා ගන්නා කිරි ප්‍රමාණයේ සාමාන්‍ය අගය කිරි ලීටර් 28ක්. ඊශ්‍රායලය වැනි තාක්ෂණය දියුණු රටවල දිනකට කිරි ගවයෙක්ගෙන් කිරි ලීටර් 40ක් ලබා ගන්නවා.

මේ තත්ත්වය තුළ ලංකාවේ දියර කිරිවල මිල ඉහළ යාම වැළැක්විය නොහැකියි. එම නිසා මිල අඩු කිරිපිටි භාවිතය හැර ජනතාවට ඔවුන්ගේ අදායමට ගැළපෙන්නට කිරි මිලදී ගන්නට හැකියාවක් නෑ. දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ කිරි හරකුන් 323,490 ක් සිටියත් ඔවුන් වසරකට ලබාදෙන්නේ කිරි ලීටර් මිලියන 374ක් පමණයි. නමුත් අපේ මුළු දියර කිරි ඉල්ලුම කිරි ලීටර් මිලියන 700ක්. කිරි හරකුන්ගේ කාර්යක්ෂමතාවයට (වැඩිපුර කිරි ලබා ගන්න) දේශගුණය, ඔවුන්ට ලබාදෙන ආහාර, ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය යාමනය, ඔවුන්ගේ ජාන සංකලනය වැනි සාධක රැසක් බලපානු ලබනවා. නිතරම දෙමුහුන් කිරි හරක් ආනයනය කළ යුතු බවට මැති ඇමැතිවරුන් පවසන්නේ ඒ හේතුව නිසයි. නමුත් ඔවුන් හරියට සඳ ඡායාවෙන් වතුර බේසමෙන් අල්ලනවා වගේ කිරි හරකුන් ගෙන්වීම ගැන කතා කරන්නේ මතුපිටින් පමණයි. සැබවින්ම සඳ ඇල්ලීමට අවශ්‍යනම් ගුරුත්වයට එරෙහිව ඉහළ අහස විදගෙන යා හැකි රොකට්ටුවක් අපි සෑදිය යුතුයි. එයට අපිට ගුරුත්වයට හෙවත් වෙළෙඳපොළ ක්‍රමයට අනුගත වීමට සිදුවීම වැළැක්විය නොහැකියි.

අපට දියර කිරි ප්‍රවර්ධනයට අවශ්‍ය නම් අප සැබවින්ම කළයුතු වන්නේ වෙළෙඳපොළ ක්‍රමයට අනුව කිරිපිටිවල මිල ඉහළ යාමට ඉඩදීමයි. එවිට කිරිපිටි වෙනුවට ඇති ආදේශක වෙනුවට ජනතාව නිරායාසයෙන් නැඹුරු වනවා ඇති. එවිට කිරිපිටි සෞඛ්‍ය ආරක්ෂිත නොමැති බව සිතන ජනතාවට ඔවුන්ගේ මතය අනුව එය භාවිතයෙන් ඉවත් වීමටත් ව්‍යාපරිකයන්ගේ පැත්තෙන් කිරිපිටිවලට වඩා මිල අඩු විකල්ප වෙළෙඳපොළට හඳුන්වා දීමටත් අවස්ථාව උදාවනු ඇති. ඒ වගේම කිරිපිටි අවශ්‍යයයි සිතන ජනතාවට එය තවදුරටහ් භාවිත කිරීමේ අවස්ථාවත් උදා වනු ඇති. නමුත් මිල පාලනය කිරීමෙන් මේ කිසිම දෙයක් සිදු නොවේ. එයින් සිදුවන්නේ කිරිපිටි වෙළෙඳපොළෙන් ඉවත් වීමත්, මිල පාලන යෙදීම නිසා කිරිපිටි වෙනුවට ඉදිරිපත් කරන ආදේශකවලටත් මිල පාලනයක් පැනවිය හැකියි යන හේතුවෙන් ආදේශක ඉදිරිපත් කරන ව්‍යාපාරිකයන් අධෛර්යමත් වීමත්, අදාළ පාලන මිලට වෙළෙඳපොළේ භාණ්ඩ නොමැති වීමෙන් රජය පිළිබඳ ඇති විශ්වාසය බිඳවැටීමත්ය. එමෙන්ම මේ සියලු කරුණු එකට කැටිවීමෙන් පවතින ඕනෑම රජයක දේශපාලන බලය බිඳවැටීමත් පමණි.

නිර්මාණාත්මක දැන්වීමකට අනුව ඈත ඇති සඳ, වතුර බේසමකින් ඡායාව සේ ළඟට ගෙන දිය හැකි වුණත් ‘වෙළෙඳපොළ’ යනු ගුරුත්වය වගේ බව අපි මතක තබා ගත යුතුයි. ගුරුත්වය සමග ගනුදෙනු කරනු විනා සහ එසේ ගුරුත්වය කියා දෙයක් නොමැති බව සිතා ගුරුත්වයෙන් මිදීමට රොකට් යැවීමක් වුවද කළ හැක්කේ කැමරාවක් ඉදිරිපිට පමණි. යථා ලෝකයේ රොකට් යැවීමට ගණනය කිරීම ගුරුත්වය සමග සැසඳිය යුතු වේ.

2021 අගෝස්තු 16 වන දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියක්

“එක රටක් - බලපත්‍ර ගොඩක්” ආර්ථික විද්‍යාත්මකව

හැමෝගෙම අවධානය යොමු වෙලා තියෙන්නේ රසායනික පොහොර තහනම ඉවත් කරාද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන්. රජය ප්‍රකාශ කළේ ප්‍රතිපත්තියේ කිසිම වෙනසක් සිදු කර නැති බවත් ලබා ගත් තීරණය ඉදිරියටම පවත්වාගෙන යන බවයි. ඒ අතරම කාබනික පොහොර සහ සමහර රසායනික සංඝටක ආනයනය කිරීමට බලපත්‍ර නිකුත් කිරීමට සූදානම් වන බවත් කියවෙනවා. මීට පෙරත් සීනි ආනයනය, පාම් ඔයිල් ඇතුළු සමහර අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනයට තෝරාගත් පිරිසකට පමණක් බලපත්‍ර නිකුත් කිරීමට සූදානම් වන බව සඳහන් වුණා.

බොහෝ දෙනා මේ බලපත්‍ර නිකුත් කිරීම පසුපස ඇති ආර්ථික විද්‍යාව දන්නේ නැහැ. බැලූ බැල්මටම “බලපත්‍රයක් නිකුත් කරල කවුරු ඕව ගෙනාවත් මොකද වෙන්නේ කියන අදහස තමයි” හැමෝටම එන්නේ. ඔවුන් නිතරම සිතන්නේ රජය මගින් බලපත්‍රයක් නිකුත් කිරීමෙන් ප්‍රශ්න සියල්ල විසදෙන බව. ඒ වගේම සමහර මතයක් තිබෙනවා ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් සැපයීමට බලපත්‍රයක් නිකුත් කිරීමෙන් පාරිභෝගිකයට වාසියක් ලැබෙනවා සහ වෙළඳපොළ නිසි නියාමනයක් සිදු වෙනවා කියල.

ඒත් ඇත්තටම වෙන්නේ සෑම බලපත්‍රයකින්ම සිදුවන්නේ විශාල වංචාවන්. එය ආර්ථික විද්‍යාවේ සමාජවාදී ආර්ථිකයක වේවා විවෘත ආර්ථිකයක වේවා, දේශීය ආර්ථිකයක වේවා ඕනෑම සමාජ ක්‍රමයක බලපත්‍ර කිකුත් කිරීමෙන් ප්‍රශ්න ඇතිවීම මිසක් ප්‍රශ්න විසදීමක් සිදු වෙන්නේ නෑ. බලපත්‍ර නිකුත් කිරීමෙන් සිදුවන්නේ රජයේ නිලධාරීන්ට සහ ඒ සම්බන්ධ බොහෝ පිරිසකට (දේශපාලකයන් ඇතුළු) අල්ලස් සහ කප්පප්ම් ලබා ගැනීමට හැකිවීම.පාරිභෝගිකයාට විශාල මිලක් ගෙවීමට සිදුවීම.

ගුණාත්මකබවෙන් පිරිහුණු භාණ්ඩ සහ සේවා වෙළඳපොළට පැමිණීම.

බලපත්‍ර ලබා ගැනීමට දීගු පෝලිම් ඇතිවීමෙන් ජනතාව අපහසුතාවයට පත් වීම

වගේ සිතා ගැනීමටත් අපහසු තරමේ ප්‍රශ්න ගණනාවක් ඇතිවීමයි. ආනයන සඳහා බලපත්‍ර නිකුත් කරන්නේ තරගකාරී ක්‍රමවලට නොවෙයි. එම නිසා අනිවාර්යයෙන්ම අදාළ බලපත්‍රය හිමිවන්නේ අදාළ දේශපාලකයන් දැන හදුනන සහ දෙපාර්ශවයටම වාසි ලබාදිය හැකි පුද්ගලයෙක්ට පමණයි.

අපි තේරුම් ගැනීම පහසුව සඳහා ජනතාව නිතරම භාවිත කරන එක්තරා ආකරයක බලපත්‍රයක් වන රියදුරු බලපත්‍රය සහ වාහන ලියාපදිංචිය නිදසුනකට ගමු.

ජනාධිපතිතුමා රියැදුරු බලපත්‍ර නිකුත් කරන වේරහැර මධ්‍යස්ථානයට හදිස්සි නිරීක්ෂණ චාරිකාවකට එක්වී එහි නිසි ක්‍රමවේදයක් නොමැති නිසා ඒ පිළිබද විශාල විවේචනයක් යොමු කරමින් එම ස්ථානය නිසි පරිගණක ක්‍රමයක් තුළින් ජනතාවට පහසුවෙන් සේවයක් සපයන ස්ථානයක් බවට පත් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා. මාගේ මතකය නිවරැදි නම් ඒ 2019 දෙසැම්බර් 26 වැනිදායි.

නමුත් එලෙස කාර්යක්ෂමතාවයේ කිසිදු වෙනසක් සිදුවූ බවක් පෙනෙන්නට නෑ. විදේශ ගමන් බලපත්‍ර ලබා ගන්නා ස්ථානය, ජාතික හැඳුනුම්පත් ලබා ගන්නා ස්ථානය වැනි සාමන්‍ය පුරවැසියන්ගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය ඕනෑම සාමාන්‍ය බලපත්‍රයක් ලබා ගන්නා සථානවල තත්ත්වයත් කිසිම වෙනසක් නෑ.

ඔය බලපත්‍ර ලබා ගන්නා සෑම ස්ථායකටම ඔබ සැරිසැරුවොත් ඔබට පහසුවෙන් බලපත්‍රය නීත්‍යනුකුලව ලබාදෙන බවට පවරන තැරැව්කරුවන් විශාල ප්‍රමාණයක් හමු වෙනවා. (සාමාන්‍ය භාෂාවෙන් ඔවුන්ට කියන්නේ “කාක්කන්" යනුවෙන්) ඔවුන්ට යම් මුදලක් ලබා දීමෙන් පහසුවෙනුත්, ඉතා ඉක්මනිනුත් ඔබට අවශ්‍ය බලපත්‍රය ලබා ගන්න පුළුවන්. ඒ අතර සමහර වංචා කරුවන්ද සිටිනවා. එය ඇත්තටම එසේ වෙන්නේ කොහොමද? පිටස්තර පුද්ගලයන් නීත්‍යනුකූල රියදුරු බලපත්‍ර, හැඳුනුපත් ඇතුළු ඕනෑම බලපත්‍ර වර්ගයක් නීත්‍යනුකූල ලෙස නිකුත් කරන්නේ කොහොමද? සාමාන්‍ය මහජනතාවගේ බලපත්‍රයක් එලෙස ලබා ගත හැකිනම් ආනයන සඳහා බලපත්‍ර නිකුත් කිරීමෙන් කිහිපදෙනෙක්ට පමණක් ආනයන අවස්ථාව ලබාදෙන බලපත්‍ර සදහා තත්ත්වය කෙබදු විය හැකිද යන්න දැන් ඔබට වටහා ගන්න පුළුවන්.

ඇත්තටම පිටස්තර පුද්ගලයන් නීත්‍යනුකූල ලෙස බලපත්‍ර නිකුත් කරන්නේ අදාළ බලපත්‍ර නිකුත් කරන නීත්‍යනුකූල නිලධාරීන් සමග එකතු වීමෙනුයි. සාමාන්‍ය ක්‍රමවේදය හරහා බලපත්‍ර නිකුත් කිරීමෙන් ඔවුන්ට කිසිම මූල්‍යමය වාසියක් නොලැබෙන නිසා අදාළ ක්‍රමවේදය කාර්යක්ෂම කිරීමෙන් ඔවුන්ට කිසිම වාසියක් ලැබෙන්නේ නෑ. එම නිසා ඔවුන්ට වාසිය ලැබෙන්නේ ක්‍රමවේදය තවත් අකාර්යක්ෂම වන තරමටයි. එවිට වැඩි පුද්ගලයන් ප්‍රමාණයක් පිටස්තර තැරැව්කරුවන් හරහා ඕනෑම වර්ගයේ බලපත්‍රයක් ලබා ගැනීමට පැමිණීමෙන් ඔවුන්ට වැඩි අල්ලස් මුදලක් ලබා ගැනීමට හැකි වෙනවා. ජනාධිපතිතුමා නියෝග කලත් තත්ත්වය වෙනස් නොවන්නේ වෙළඳපොළ ක්‍රියාත්මක වන ආකාරය අනුවයි. එය වෙළඳපොළ ක්‍රමයේ ප්‍රශ්නයක් නොවේ. එය වෙළඳපොළ ක්‍රම නිසි පරිදි ක්‍රියාත්මක නොවන නිසා ඇතිවන තත්ත්වයයි.

සාමාන්‍ය බලපත්‍ර ලබාදෙන ස්ථානවල තැරැව්කරුවන් සිටිනවා සේම ආනයන බලපත්‍ර සඳහා අවස්ථා ලැබෙන්නේත් ඉහළ පෙළේ දේශපාලන තැරැව්කරුවන්ට පමණයි.

මේ ආකාරයටම ඕනෑම බලපත්‍රයක් නිකුත් කිරීමට අභිමතය පලකළ යුතුවන ඕනෑම අවස්ථාවක වංචාවක් සිදුවන අවස්ථාව ඉතාම වැඩියි. ඔබ සාමාන්‍ය නිවසක්, කඩ කාමරයක් ඉදිකිරීමේදී අදාළ නිවාස සැලසුම අනුමත කරගත යුතුයි. එලෙස නිවාස සැලසුම් අනුමත කර ගන්නා ලද බොහෝ දෙනාගෙන් අනුමත කර ගැනීම පිළිබදව ඔබ විමසුවොත් ඔවුන් බොහෝ දෙනෙක්ට අදාළ නිලධාරීන්ට යම් මුදලක් ගෙවීමට හෝ අදාළ සැලැස්ම ඔවුන් ලවා ඇද ගැනීමට සිදුවූ බව පවසන බව රහසක් නොවේ.

එය එසේ වන්නේ ඔවුන්ට අභිමතය පල කිරීමට අවස්ථාක් ලබාදුන් විට ඔවුන් නිසා එම කාර්ය සිදුවන බවට ඇතිවන මානසික හැඟීම සහ එම ක්‍රියාවලිය තවදුරටත් ඉදිරියට යනවාද නැද්ද යන්න පිළිබදව ඔවුන්ට තීරණය කිරීමට ලැබෙන බලය නිසා ඒ සඳහා අමතරක් මුදලක් අය කර ගැනීමට ලැබෙන අවස්ථාවයි.

සීනි ආනයනයට, පාම් ඔයිල් ආනයනය, සමහර වෛද්‍ය උපකරණ ආනයනය, මත්පැන් අලෙවිසල් සදහා බලපත්‍ර නිකුත් කිරීම වැනි ඕනෑම බලපත්‍රයක් පිටුපස වෙළඳපොළ නියාමනයකට වඩා තිබෙන්නෙ කිහිපදෙනෙක් මුදල් එකතු කරගැනීමේ අවස්ථාවයි. ශ්‍රී ලංකා රේගුව, ආදායම් බදු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය සභාවල තාක්ෂණික නිලධාරීන්, රියදුරු බලපත්‍ර සඳහා පරීක්ෂා කරන තාක්ෂණික නිලධාරීන් ඇතුළ තනතුරු සඳහා රජයෙන් ලබාදෙන මූලික පඩිය සාමාන්‍ය පඩියක් වුවත් එම තනතුරු සදහා ඉතා විශාල ඉල්ලුමක් තිබීමට හේතුව දැන් ඔබට වැටෙහෙනවා ඇති.

එම හැම නිලධාරියෙකුටම යම් අභිමත බලයක් තිබීම එයට හේතුවයි. ඒ වගේම ගුරුවරුන් වැඩ වර්ජන කළත් ඉහත ක්ෂේත්‍රවල වැඩ වර්ජන කිසිදා සිදු නොවන්නේ වැඩ වර්ජන කිරීමෙන් ඔවුන්ට එදිනෙදා ලැබෙන අමතර මුදලත් නොලැබී යාමයි. ඔවුන් බොහෝ වෙලාවට වැඩ වර්ජන කරන්නේ නව තාක්ෂණය හඳුන්වා දීමට විරුද්දව සහ නිසි ක්‍රමවේද හඳුන්වා දීමට විරුද්ධවයි. වරක් රේගු නිලධාරීන් රේගුවේ CCTV කැමරා පද්ධතියක් සවිකිරීම සහ අවම ලිපිලේඛන යටතේ රේගු කටයුතු මෙහෙයවීමට එරෙහි වීම මේ සඳහා කදිම උදාහරණයක්.

එම නිසා ආර්ථික විද්‍යාත්මකව බලපත්‍ර නිකුත් කිරීමෙන් ඕනෑම අල්ලසක් ලබාදී එම අල්ලසේ ප්‍රමාණයට වඩා වැඩි ලාභයක් ඉපැයිය හැකි ගුණාත්මක බවින් අඩු ඕනෑම භාණ්ඩයක් වෙළඳපොළට ගෙන ඒමට අවස්ථාව තිබෙනවා. ඕනෑ තරම් භාවිතයට නුසුදුසු ටින් මාළු වර්ග, ආහාර වර්ග වෙළඳපෝලට පැමි‌ණ‌‌ෙන්නේ මේ ක්‍රමය හරහායි. රජයේ කීර්ති නාමයට විශාල කැලලක් වූ සීනි බදු පිළිබද ප්‍රශ්නයත් බලපත්‍ර නිකුත් කිරීමේම කොටසක්. ඒවගේම බලපත්‍ර හිමිවන්නේ කිහිපදෙනෙක්ට නිසා අදාළ පිරිසට තම හිතුමතය අනුව භාණ්ඩ වල ඉහළ මිලක් නියම කිරීමට හැකියාව ලැබෙනවා.

බලපත්‍ර මගින් දේශපාලකයන්ට සමීප අකාර්යක්ෂම සහ තරගකාරී නොවන ව්‍යාපරික පැලැන්තියක් බිහිවීම පමණයි සිදුවන්නේ. අපට ජාත්‍යන්තර මට්ටමෙන් තරගකළ හැකි ව්‍යාපාරිකයන් බිහිවීමක් සිදු වන්නේ නෑ.

මීට කලින් මෙම තීරු ලිපියේම ඉදිරිපත් කළ පරිදි පුද්ගලික බස් රථ සදහා නිකුත් කරන බලපත්‍රය බස් රථයට වඩා වටිනාකමින් වැඩියි. එම නිසා කිසිදිනක අපගේ පොදු ප්‍රවාහන සේවයෙන් කොටසක් පුද්ගලික අංශයෙන් මෙහෙයවූවත් දියුණු වෙන්නේ නෑ. අනෙක් අතින් ඒ සමග තරග කරන දුම්රිය සේවය තනිකරම රාජ්‍ය ඒකාධිකාරයක්.

ඉතින් මේ සඳහා විසඳුම කුමක්ද?

බලපත්‍ර නොමැති වෙළඳපොළ තරගකාරීත්වය ඇතිකිරීම තමයි මේ සඳහා ඇති හොඳම විසදුම. එවිට වෙළඳපොළ ක්‍රමය තුළින්ම මිල නිසි පරිදි නියාමනය වීම සාමාන්‍ය දෙයක්. අපගේ දුරකතන සම්බන්ධතා ලබා ගැනීම ඊට කදිමම නිදසුනක්. කිසිවෙකුට දුරකතන සිම් පතක් හෝ කාඩ් පතක් හෝ සම්භන්ධතාවයක් ලබ ගැනීමට කිසිම අපහසුවක් නෑ. ඕනෑතරම් සැපයුම් කරුවන් සිටිනවා මෙන්ම මිලත් ඉතාම පහසුදායකයි. වෙළඳපොළ තරගය ඉතාම තරගකාරීයි.

බලපත්‍ර නිකුත් කිරීම අවම කළ යුතුයි යන්නේ තේරුම රියැදුරු බලපත්‍ර, හැඳුනුම්පත් ලබාදීම වැනි දේවල් සිදු නොකළ යුතු බව හෝ ඒවා නිකුත් කිරීම නොකළ යුතු බව නොවෙයි. එහිදී ඇතිවන අභිමත බලය අවම කිරීමයි අප කළයුතු වන්නේ. ඒ සඳහා තාක්ෂණය භාවිත කිරීම, තරගකාරී ලෙස පෞද්ගලික අංශයටත් සමහර සේවා සැපයීමට අවස්ථාව දීම වැනි ආර්ථික වශයෙන් පහසු ක්‍රම රාශියක් භාවිත කිරීමට හැකියාව තිබෙනවා. නමුත් ආනයන නවත්වා ඒ සදහා බලපත්‍ර නිකුත් කිරිමෙන් සිදුවන්නේ තව තවත් ප්‍රශ්නය උග්‍ර වීම සහ ශ්‍රී ලංකාව ආර්ථික පරිහානියේ කෙළවරටම ළඟා වීම පමණයි. ශ්‍රී ලංකාව තරගකාරී රටක් වනවා වෙනුවට ලයිසන් ලබාදෙන රටක් වීමෙන් සිදුවන්නේ ජනතාව දුපත්වීම සහ දේශපාලනයට සම්බන්ධ සුළු පිරිසක් අසීමාන්තිකව පෝත් වීම පමණයි.

2021 අගෝස්තු 06 වන දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියක්

ලංකාවේ උද්ඝෝෂණ ගැන ආර්ථික විද්‍යාව කියන කතාව

ලංකාවෙ මේ දිනවල විශාල උද්ගෝෂණ රැල්ලක් යනවා. ගුරුවරුන් තමයි පෙරමුණ අරං තියෙන්නෙ. ඔවුන්ගේ වැටුප් විෂමතාවයන් මුල් කරගෙන සහ කොතලාවල විශ්ව විද්‍යාල පනත මුල් කරගෙන මේ වර්ජනය ක්‍රියාත්මක වෙනවා. 

 ඔබට මතකනම් 2014 ආසන්න කාලයේදීත් සරසවි ගුරුවරුන් අධ්‍යාපනයට දළ දේශීය නිශ්පාදනයෙන් 6%ක් වෙන් කරන ලෙස යෝජනා කරමින් විශාල වැඩ වර්ජන රැල්ලක් දියත් කළා. එමගින් එවකට පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දැඩි අපහසුතාවයකට පත්වුණා.  ඒ වගේම පසුගිය රජය සමයේදීත් රජය මගින් සෞඛ්‍ය සහ අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක් බවට පත් කළ යුතුයි කියල කතිකාවක් ගොඩ නැගුණා. 

 උද්ඝෝෂණ සහ ඉල්ලීම් කරන අය සහ ඒවට මුහුණ දෙන අය යන දෙගොල්ලොම නිතරම මේ ප්‍රශ්නය බලන්නේ ඉතාම කෙටි සහ පටු කෝණයකින්. 

 උද්ඝෝෂණ කරන පිරිස මොහොතකටවත් හිතන්නෙ නෑ “කොහොමද මෙච්චර පඩි වැඩි කරල මේව ගෙවන්න ආණ්ඩුවට සල්ලි?” කියල. දැනටමත් රජය උපයන හැම රුපියලකින්ම ශත 86ක් යන්නෙ රජයේ සේවකයන්ට පඩි ගෙවන්න සහ විශ්‍රාම වැටුප් සඳහා. ඉතින් පඩි වැඩි කරාට ආණ්ඩුවට ආදායම වැඩි වෙන්නේ නෑ. ඉතින් ඒ වැඩි වෙන පඩි ගෙවන්නෙ කොහොමද කියල කිසිම අවබෝධයක් නැතුව බොහෝ අය උද්ඝෝෂණවල නිරත වනවා

 ඒ වගේම රජය කරන්නෙත් ඒකෙම අනිත් පැත්ත. ඔවුන් ප්‍රමාණය ඉක්මවා තව තවත් දේශපාලන පත්වීම් ලබා දෙනවා. ඒ අයට ගෙවන්නේ සාමාන්‍ය පඩියක්. ඉතින් ඒ අයට අවුරුදු කිහිපයක් ගත වුණාම පඩි වැඩි කරල උද්ඝෝෂණ කරනවා ඇරෙන්නෙ වෙන කරන්න දෙයක් නෑ. ඒ වගේම රජය උද්ඝෝෂකයන්ට පඩි වැඩි වීම් දෙන්න බැහැ කියන අතරතුර ඇත්තටම වියදම් අඩු කරන්න අවශ්‍ය බව භාවිතාවෙන් පෙන්වන්නේ නැහැ. 

 මන්ත්‍රීවරුන්ට වාහන ආනයන, නගර අලංකරණය සහ ප්‍රහාරක ගුවන් යාන මිලදී ගැනීම වගේ දේවල් නිතරම මාධ්‍ය මගින් දකින්න්ට ලැබෙනවා. සමස්ත රජයේ වියදමට සාපේක්ෂව එවනි වියදම් ඉතා කුඩා වියදමක් වුනත් එමගින් ජනතාවට යන පණිවිඩය ඉතාම වැරදියි. අපේ පටි තද කරගෙන නායකයන් සුර සැප විදිනවා යන මතවාදය එමගින් ඉතා පහසුවෙන් සමාජගත වනවා. ජනතාව නිතරම එවිට අසන ප්‍රශ්නය තමයි ඇයි විතරක් දුක් විදින්නේ යන ප්‍රශ්නය. 

අපි සරලවම ආයනතයක පඩි කප්පදුවක් කරනවානම් එහි ප්‍රධානියාගේ පඩිය සේවකයන්ට වඩා වැඩි ප්‍රතිශතයකින් අඩු විය යුතුමයි. ප්‍රධානියාගේ පඩි අඩු කිරීම මෙන් දහස් ගුණයක් සියලුම සේවකයන්ගේ පසි ඊට වඩා අඩු ප්‍රතිශතයකින් අඩු කිරීමන් ඉතිරි වුණත් ප්‍රධානියා කැප කිරීමක් ඓදිකිරිම්මට සූදානම් බව නොපෙනුනොත් ඒ සදහා සේවක සහය ලබා ගැනීම ඉතාම අපහසුයි. රටක් පාලනයත් එලෙසමයි

 පසුගිය රජයටත් මේ අභියෝගය ඔස්සේ පරාජය වුණා.

 ඔවුන් යහපාලන මතවාදය සහ හොරුන් ඇල්ලීම මුලික තේමාවෙන් පැමිණියත් රජය ආරම්භයේදීම බැදුම්කර වංචාව පිළිබද කතාවත් සමග හොරුන් ඇල්ලීම සහ යහපාලනය පිලිබද ජනතාව තුල ඇති විශ්වාසය පලුදු වීම අවසාන වුණේ සම්පූර්ණ ආර්තිකයම පස්ස්කු ප්‍රහාරයෙන් කම්පනය කරවමින්. පවතින ක්‍රමය තුලත් කිරීමට අවශ්‍යදේ නොකිරීම සහ ඒ පිළිබදව ක්‍රියාවෙන් ඔප්පු නොකිරීමෙන් ජනතා විශ්වාසය පලුදු වීමත් සමග රජයට ඕනෑ තරම් සල්ලි තිබෙනවා යන වැරදි මතයත් ජනතා අප්‍රසාදය මතු වනවිට සෑම වෘතීය කණ්ඩායමක්ම තමන්ගේ අවශ්‍යතා ඉදිරියට ගෙන ඒමත් දැකිය හැකියි. මේ වැඩ වර්ජන රැල්ල ඉදිරියට ගෙන යාමට එමගින් වර්ජකයන්ට විශාල සහනයක් ලැබෙනවා. 

 එවැනි වාතාවරණයක් යටතේ අපේ ආදායම් වියදම් ගලපා ගන්න රජයකට ඉතාම අපහසුයි. එපමනක් නොවෙයි, එවැනි තත්ව සමනය කිරීමට රජය ගන්නා තීරණ වලින් අපේ මුලු ආර්තිකයම නොහිතන අගාදයකට යන්න පුලුවන්. 

මේ දිනවල බොහෝ දෙනා අපේ ණය ගෙවීමේ හැකියාව ගැන සහ ඒ සදහා සංචිත ප්‍රමාණවත් තරම් තිබේදැයි විශාල සාකච්චවක් ඇතිව තිබෙනවා. ණය ගෙවීම ජයග්‍රහණයක් ලෙස එක් පාර්ශවයක් දකින අතර අනෙක් පාර්ශවය දකින්නේ ණය ගෙවීමට තවත් සංචිත කොතරම් ප්‍රමාණවත්ද යන්නයි. 

 නමුත් ණය ගෙවීමට දුෂ්කරතා ඇති වීම සහ සංචිත ප්‍රමාණය අඩු වීම විශාල ප්‍රශ්නයක රෝග ලක්ෂණ බව තේරුම් ගැනීමට බොහෝ දෙනෙක්ට හැකියාවක් ලැබී නැහැ. එම නිසා ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රතිපත්ති සම්පාදකයන් මේ ප්‍රශ්නය දකින්නේ ණය ගෙවීම් පිළිබද ප්‍රශ්නයක් ලෙස හෝ අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් (IMF) විසදුම් ලබා දිය හැකි ප්‍රශ්ණයක් ලෙසට පමණයි. 

 නැමුත් සැබෑම ප්‍රශ්ණය අපේ ආර්තිකය කාලයට ගැලපෙන ලෙස නවීකරනය නොවීමත් ඉතාමත් යල් පැනගිය සහ අසත්‍ය ආර්තික මතවාද මත අපේ ආර්තිකය මෙහෙයවීමයි. ආර්ථිකයක් සකස් වන්නේ නිතරම එහි ජනතාවට මහන්සි වී වැඩ කිරීමටයි. මහන්සි වී වැඩ කරන තරමට එම රටේ තිබෙන සම්පත් උපරිම ලෙස භාවිත වනවා වගේම ජනතාවට තව තවත් මහන්සි වී වැඩ කිරීමට උද්දීපනයක් ඇති කරනවා. ක්‍රියාකාරී ආර්තික නිතරම මහන්සි වී වැඩ කරන පුද්ගලයාට වැඩි ආදායමක් උපයා ගත හැකි ලෙස සකස් වී තිබෙනවා. දුර්වල ආර්තික බොහෝ විට මහන්සි වී වැඩ කරන පුද්ගලයන්ට අඩු ආදායමකුත්, මහන්සි වී වැඩ නොකරන පිරිසට වැඩි ආදායමකුත් ඉපැයිය ලෙස සකස් වී තිබෙනවා. 

 එවිට ජනතාව වැඩි වැඩියෙන් මහන්සි වී කාර්යක්ෂම ලෙස වැඩ කිරීම වඩා වාසිදායක වන අතර අඩුවෙන් මහන්සි වී වැඩ කිරීමයි. එවැනි තත්වයක් තුල ආර්තිකය සක්‍රීය වන්නේ නෑ. එහිම අනෙක් පැතිකඩ නම් මහන්සි වී වැඩ නොකරනන්න්ට පහසුවෙන් මුදල් ඉපයීමට තිබෙන හැකියාවයි. දේශපාලන බලපෑම් මත, වෙළදපොළ විකෘති කිරීම් මත සහ තරගකාරීත්වය මග හැරීම මත මහන්සියෙන් තොරව මුදල් ඉපැයීමේ ක්‍රම ශ්‍රී ලංකාව තුල ඕන තරම් තිබෙනවා. එහි වැඩිම බලපෑම වන්නේ මහන්සි වී මුදල් උපයන මිනිසුන්ටයි. එහිදී ඔවුන් අදයිර්යමත් වීම සහ ඔවුන් සමහරෙක් වර්ජන වෙත යොමු වීම ආදිය ආර්තිකයක නොවැලැක්විය හැකියි. 

 එසේම එවැනි අවස්ථාවල විශාල වශයෙන් සාර්තක වෙළදපොලවල් සදහා පුද්ගලයන් සංක්‍රමණය වීම සිදු වෙනවා. විශාල ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලාංකාවෙන් පිටත ජීවත් වීමට සහ ඕස්ට්‍රේලියාව, කැනඩාව වැනි රටවල් වලට සංක්‍රමණය වීමට උත්සහ කරන්නේ මහන්සියට නිසි ආදායමක් උපයා ගත නොහැකි මිනිසුන්. සමාජයේ නිතරම ඇහෙන “අපේ මිනිස්සු පිටරට ගියාම හොදට වැඩ කරනවා, මෙහේ කිසි වැඩක් කරන්නේ නැහැ” කියන ප්‍රකාශයෙන් අපි තේරුම් ගත යුත්තේ අපේ සමාජ ක්‍රමය සහ ආර්තිකය සෑදී ඇත්තේ මහන්සි වී වැඩ කරන මිනිසුන්ව දිරිමත් කරන්නට හෝ මුලු සමාජයම දිරිමත් කරන්නට නොවෙයි. වැඩ නොකර මුදල් ඉපැයීම පහසු දායක වනවිට මුලින්ම එයින් අපහසුතාවයට පත්වන්නේ වැඩ කිරීමට කැමති මිනිසුන් බව අපි මුලින්ම මතක තබා ගත යුතුයි.  

‍ඒ වගේම ආනයන තහනමින් භාණ්ඩ මිල ඉහළ යාම සමග පැමිණි ජීවන වියදම උද්ඝෝෂණ ඉදිරියට ගෙනායාමට විශාල පිටුවහලක්. වතාවන් ගණනාවක් මේ තීරු ලිපියෙන් පෙන්වා දී ඇති පරිදි ආනයන යනු නරක දෙයක් නොවෙයි. ඒ වගේම ආනයන සහ අපනයන විරුද්ධ පද නොවන අතර එකම කාසියේ දෙපැත්තයි. පහත ප්‍රස්තාරයෙන් එය ඉතා පහසුවෙන් දැකිය හැකියි. අප වසර ගණනාවක සිට අපේ ආනයන විශාල ලෙස අඩු කර තිබෙනවා. ඒ ආනයන අඩු කරන සෑම අවස්තාවකදීම අපේ අපනයනත් අඩු වුණා. (දළ දේශීය නිෂ්පාධනයට සප්පෙක්ෂව) 

 මෙහි ප්‍රස්තාරයෙන් පෙනෙන්නේ එලෙස සටහන් වූ එක අවස්ථාවක්. 

Screen Shot 2021-07-31 at 8.41.16 AM.png

ප්‍රස්තාරය අයිතිය : එශිනි ඒකනායක

 එම ප්‍රස්තාරය ආනයන පිළිබද වැරදි සහ යල් පැන ගිය මතය වගේම එම වැරදි මතය නිසා අනවශ්‍ය ප්‍රශ්න වලට මුහුණ දිමටත් ලබා දුන් හොද උදාහරණයක්. 

වැඩ වර්ජන, උද්ඝෝෂණ අපේ ආර්ථික දුර්වලතා නිසාම ඇතිවන බවත් වැරදි ආර්තික උපක්‍රම උද්ගෝශන සහ වැඩ වර්ජන කිරීමට බලා සිටින වෘතීය සමිති නායකයන්ට මහත් පිටුවහලක් බවත් අමතක නොකළ යුතුයි 

2021 ජූලි 30 වන දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියක්

ක්‍රිකට්වල ආර්ථික විද්‍යාව

මේ දවස්වල ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන බොහෝ දෙනෙක් කතා වෙනවා. ක්‍රිකට් ගැන කතාව එතරම් සතුටුදායක නොවූවත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අසාර්ථක වීමට ආර්ථික විද්‍යා හේතු ගණනාවක් තිබෙන බවයි මගේ හැඟීම. ශ්‍රී ලංකාවේ ආර්ථිකයත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවත් සාර්ථක නොවෙන්නේ එකම ආකාරයේ මූලික හේතු නිසා කිහිපයක් නිසා ඒවා ආර්ථික විද්‍යාත්මකව බැලීමත් වැදගත්. ආර්ථික විද්‍යාව කියන්නෙ එදිනෙදා ජීවිතය සහ සාමාන්‍ය දැනීම.

අතීතය යහපත් නිසා වර්තමානය ආකෘතියට අනුගත නොවීම - ක්‍රිකට් සහ ආර්ථිකය

අපි ක්‍රිකට්වලින් පටන් ගමු. අපි නිතරම ක්‍රිකට් සංසන්ධනය කරන්නේ 1996ට සාපේක්ෂව. “බලන්න, ඉස්සර සනත් ගහපු ගැහිල්ල, මුරලි බෝල දාපු විදිය, අර්ජුන නායකත්වය දීපු විදිය සහ අපි ලෝක කුසලානය දිනපු විදිය" කියල තමයි අපි පටන් ගන්නෙ. අපි ආර්ථිකය ගැන කතා කරන්නෙත් ඒ වගේමයි.

“බලන්න පරාක්‍රමබාහු රජතුමා කෘෂිකර්මාන්තයට කරපු සේවය. බලන්න ඒ කාලෙ රට සහලින් ස්වයංපෝෂිත වෙලා තිබ්බ ආකාරය. අපේ රජවරු ගිහිල්ල බුරුමය පවා ආක්‍රමණය කළා. අපි පෙර අපර දෙදිග මුහුදු මාර්ගයේ කේන්ද්‍රස්තානය. අපි පිරමීඩ පසු කරන් අහස සූරන වැව්, දාගැබ් හැදුවා. කොච්චර ආර්ථික සංවර්ධනයක්ද?”, කියන මතකය ඒක්ක තමයි අපි නිතරම අද දවස සංසන්ධනය කරන්නෙ.

එහෙම බැලුවම රටේ ආර්ථිකයෙයි, ක්‍රිකට්වලයි දෙකේම අපි අතීතයේ ශ්‍රී විභූතිය ගැන සිහිකරමින් මානසික තෘප්තියක් ගන්නවා වෙනුවට අපි ඇත්තටම වර්තමානයට මුහුණ දෙන්නෙ ඇවිල්ල නෑ.

ආර්ථික විද්‍යාවේ තිබෙන මූලිකම හරය තමයි අපගේ තිබෙන සීමිත සම්පත් උපරිම ආකාරයට කළමනාකරණය කිරීම. මේ සීමිත සම්පත් කියන සංකල්පය අප ජීවත් වෙන කාලයට සාපේක්ෂයි. අපේ ජනගහනය එතරම් වැඩි නොමැති කාලවල අපිට ඕනෑ තරම් වතුර, ඉඩම්, වනාන්තර වගේ දේවල් තිබුණා. ඒත් ජනගහනය වැඩි වෙනවා එක්කකම අපිට තවදුරටත් ඒ සම්පත් ඒ විදියට භාවිතා කරන්න බෑ. ඒක තමයි යථාර්ථය. හැමෝම ගෙදර කූඹුරක් කරගෙන ඇලකින් වතුර බීලා, සුනිල දිය දහරකින් දවල්ට නාගන්න කැමති වුනත්, අතීතයට සාපේක්ෂව ඒ සම්පත් අපිට නෑ. අද ලෝකය කියන්නේ, රටවල් ලෙස දේශ සීමා වෙන්වී තිබුණත් එකම ඒකකයක් ලෙස ක්‍රියාත්මක වන තනි රටක්. ලෝකයේ දියුණුව මනින්නෙත් බොහෝ විට අපිට එකිනෙකා අතර කොතරම් ඉක්මනට සහ පහසුවෙන් සම්බන්ධ වෙන්න පුළුවන්ද යන්න මතයි.

ක්‍රිකට්වලත් ඒ වගේමයි. අපි 1996 ලෝක කුසලානය දිනන කොට තිබුණු ක්‍රිකට් සහ දැන් තිබෙන ක්‍රිකට් ආකෘතිය අහසට පොළව වගේ. අපි බැලුවොත් අපි ලෝක කුසලානය දිනන කාලෙදි එක ක්‍රීඩකයෙක් ක්‍රීඩා කරන්නෙ එක අන්තර්ජාතික කණ්ඩායමකට විතරයි. ඒ කියන්නෙ අදාළ රට නියෝජනය කරන අන්තර්ජාතික කණ්ඩායමට පමණයි. ඊට අමතරව දේශීය ක්‍රීඩා සමාජයට, පාසලට, වෙළඳ සේවා කණ්ඩායමට වගේ තවත් දේශීය කණ්ඩායම් කිහිපයකට ක්‍රීඩා කරාවි. ඒත් දැන් තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්. එකම ක්‍රීඩකයා අන්තර්ජාතික මට්ටමේ කණ්ඩායම් කිහිපයක සෙල්ලම් කරනව ප්‍රිමියර් ලීග් තරග සඳහා. ඉන්දියානු ලීග් තරගාවලිය, ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් වගේ ලෝකෙ වටේ කණ්ඩායම් ගණනාවක එකම ක්‍රීඩකය නියෝජනය කරනවා. මුල් කාලයෙ අරවින්ද ද සිල්වා තමයි එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමකට ක්‍රීඩා කළේ. පසුව මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර වගේ අයත් එංගලන්තයේ ප්‍රාන්ත කණ්ඩායම්වලට ක්‍රීඩා කළේ. එතකොට දැන් එකම ක්‍රීඩකයට තෝරා ගැනීමට කණ්ඩායම් ගණනාවක් තිබෙනවා. තරග විශාල ප්‍රමාණයකට ඔවුන් ක්‍රීඩා කළ යුතුයි. ඒ අනුව ඔවුන්ගේ කාලය සීමිත සම්පතක් වී තිබෙනවා. ඒ වගේම ක්‍රීඩකයන්ට ආදායම් උපයා ගැනීමට අවස්ථාවන් දැන් වැඩි වී තිබෙනවා. ඒ වගේම වැඩි තරග ප්‍රමාණයක් විවිධ රටවල විවිධ කණ්ඩායම් යටතේ ක්‍රීඩා කරන නිසා ආබාධවලට නැඹුරුවීමේ අවධානම වැඩි වී තිබෙනවා. ඒ වගේම රටවල් ගණනාවක ක්‍රීඩකයන්ගේ තරග රටාව සම්පූර්ණයෙන් වෙනස් වී තිබෙනවා.

වෙනත් රටවල් වල ක්‍රීඩකයන් සමග සමීපව ක්‍රීඩා කිරීමට සහ ඇසුරු කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. සරලවම කිව්වොත් ක්‍රීඩාවේ විශාල පරිවර්තනයක් සිදුවී තිබෙනවා. හරියට රජ කාලය සහ අද කාලය වගේ. රජ කාලයේ ආර්ථික තීරණ අද පවතින වාතාවරණයට නොගැළපෙන්නා වගේම අතීත තරග රටාව සහ ආකෘතිය අදට ගැළපෙන්නේත් නැහැ. එම නිසා කාලයට අනුරූප නොවන තරග රටාව සහ ක්‍රීඩාවේ ආකෘතියේ දුර්වල සැලැස්ම නිසැකවම ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයේ විශාල කොටසක්. අපේ ක්‍රීඩකයන්ගේ ගිවිසුම් පිළිබද ප්‍රශ්න, තේරීම්වල විනිවිදභාවය පිළිබද ප්‍රශ්න, නායකයන් තෝරාගැනීම සහ ක්‍රීඩකයන්ගේ විනය පිළිබද ප්‍රශ්නයේ ලක්ෂණ පමණයි. රෝගය නොවෙයි.

තරගකාරීත්වය සහ විනිවිධභාවය - ආර්ථිකය සහ ක්‍රිකට්

අපි ආර්ථික විද්‍යාත්මකව තේරුම් ගත යුතු මූලික හරය තමයි මුළු ආර්ථිකයක වගේම ක්‍රීඩාවෙත් ජයග්‍රහණය කරන්නේ තරගකාරීත්වය වැඩිම පුද්ගලයායි. තරගකාරීත්වය යන වචන අපි භාවිතා කළත් එහි අරමුණ අපට එතරම් පැහැදිලි වී ඇති බවක් පෙනෙන්නට නැහැ. තරගකාරීත්වය ඇති වන්නේ තරග කරන්න හැමෝටම සමාන පරිසරයක් ඇති විටදීයි. එහිදී නිරවද්‍ය බවට සහ විනිවිධභාවයට විශාල තැනක් ලබා දී තිබෙනවා. මීට වසර ගණනාවකට කලින් විනිසුරුවරුන්ගේ වැරදි තීරණ සහ සිතා මතා කරනු ලැබූ ද්වේශසහගත තීරණ ක්‍රීඩාවට බලපානු ලැබුවා. මුරලිගේ පන්දුව දමා ගැසීමේ චෝදනා ඊට හොදම උදාහරණයයි.

නමුත් තාක්ෂණය සමග දැන් විනිසුවරුන්ගේ තීරණ නැවත පුනරූපණය කිරීමට වැඩි අවස්ථාව ලබාදීම මගින් තරගයකදී සැබවින්ම දක්ෂ කණඩායමක ජයග්‍රහණය උදුරා ගන්න කිසිවෙකුටත් හැකියාවක් නෑ. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාවේ දැන් ජයග්‍රහණය සම්පූර්ණයෙන්ම විනිවිදභාවය මත පදනම් වූ සහ දක්ෂතාවය මත පදනම් වී හමාරයි. අනෙක් ක්‍රීඩාත් එලෙසමයි. එම නිසා ජයග්‍රහණයක් ලැබිය හැක්කේ දක්ෂතාවය පෙන්වීමෙන්ම පමණයි. එම දක්ෂතාවය හුදෙක් පන්දුවට පහරදීම, පන්දු යැවීම සහ පන්දු රැකීම යන්නෙන් ඔබ්බට ගොස් තිබෙනවා. ක්‍රීඩකයන්ව දැන් නිර්මාණය කරන්නේ සමස්ත සන්නාමයක් ලෙසයි. සරලවම ඔවුන්ට ක්‍රීඩා පිටියේ එක් චරිතයකුත්, පිටියෙන් පිට තවත් චරිතයකුත් ලෙස චරිත දෙකක් රඟපෑමට හැකියාවක් නොමැති තරමට සමාජ ජාල හරහා ක්‍රීඩකයන්ව අධීක්ෂණයට ලක් වී තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩයමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙක් ජීව බුබුළෙන් මිදී යාමෙන් එංගලන්තයේදී මුහුණ දුන්නේ එවැනි අත්දැකීමකටයි.

අපේ රටේ ආර්ථිකයේත් ඇත්තේ එම ප්‍රශ්නයමයි. අපි ආර්ථිකයේ යථා ස්වභාවය නිතරම එළියට එන්නට ඉඩ දෙන්නේ නෑ. නිතරම අපි ඉදිරිපත් කරන ආර්ථික දත්ත, ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටි, අන්තර්ජාතික ගිවිසුම, ගණුදෙණුවල විනිවිදභාවට ඉතාම අත්‍යවශ්‍යයි. ශ්‍රී ලංකාව ව්‍යාපාර පහසුවෙන් සිදුකිරීමට හැකියාව මනින රටවල් දර්ශකයේ 99 වැනි තැනටත්, ලෝකයේ විනිවිදභාවය සහ අවම දූෂිත රටවල් අතර දර්ශකයේ 94 වන ස්ථානට පත්වීමෙන් පෙනෙන්නේ අපගේ ආර්ථිකයත් නිසි පරිදි ක්‍රියාත්මක වීමට අවශ්‍ය ආයතන සහ එහි සැබෑ ප්‍රතිරූපය පිළිඹිබුවන ක්‍රමවේද සහ මූලික සංඝටක අඩංගු වී නොමැති බවයි. එමගින් නිතරම සිදුවන්නේ මවා ගන්නා පුහු ප්‍රතිරූපය නිසා නිවැරදි වෙළඳපොළ චිත්‍රය ඉදිරිපත් නොවන නිසා පිටතින් ප්‍රශ්නයක් නොමැති ලෙස පෙනුනත් සැබවින්ම ආර්ථිකය එක තැන පල් වීමයි. වසර ගණනාවක් තිස්සේ අපගේ ආර්ථික දියුණු නොවූවා සේම ක්‍රීඩාවෙනුත් අවසන් වරට ලෝක කුසලානයක් දිනා තිබෙන්නේ 2014 වසරේදියි. අවසාන එක්දින ලෝක කුසලානයක් දිනා තිබෙන්නේ 1996 වසරේදියි. ඉඳ හිට එක් තරගාලිවයක්, තරගයක් ජයග්‍රහණය කළත් දීර්ඝ කාලීන තරග සැලස්මක් දක්නට ලැබුනේ නෑ. එම නිසා පිටතින් අපගේ ක්‍රිකට් කණ්ඩායාම හොඳයි කියා අපට සිතුනත් තරගකාරීත්වය අතින් ඉදිරියට යෑමට තරම් ඔවුන් සැබවින්ම තරගකාරී නෑ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දක්ෂතා සඳහා වන දර්ශකයනුත්, ලෝකයේ අනෙක් ප්‍රිමියර් තරගාවලි සඳහා අපගේ ක්‍රීඩකයන්ට ඇති ඉල්ලුමත් සැසදූ විට අපගේ ක්‍රීඩකයන් තරගකාරීත්වය අඩු බව රහසක් නොවේ.

ක්‍රිකට් පරිපාලනය සහ රාජ්‍ය පරිපාලනය

ඒ වගේම ක්‍රිකට් පරිපාලනය සහ රාජ්‍ය පරිපාලන ව්‍යුහය සකස් වී තිබෙන්නේ එකම අකාර්යක්ෂම ආකාරයටයි. ක්‍රිකට් පරිපාලනයට ඉදිරිපත් විය හැක්කේ ඉතා සීමිත පිරිසකට පමණයි. ක්‍රීඩා සංගම් වල උපකාරයෙන් තෝරාගත් පිරිසකට පමණක් ඕනෑම අවස්ථාවක ජයග්‍රහණය කළ හැකි අයුරින් සකස් කර ඇති ආකෘතියක් නිසා නිතරම පත් වන්නේ දක්ෂයන් නොවේ. දක්ෂයන්ට පැමිණීමටත් දක්ෂතාවයට අනුව ඉදිරිපත් වීමට දිරිගැන්වීමකුත් නොමැති වන තැන දක්ෂයන් එකතු වන්නේ නෑ. එම නිසා එම අකාර්යක්ෂමතාවයන් ක්‍රීඩකයන්ව තෝරා ගැනීමේදීත් ඔවුන්ට තරග ලබාදීමේදීත් ජාතික ක්‍රිකට් සඳහා කාන්දු වීම වැලැක්විය නොහැකියි. දේශපාලන බලවතුන් සහ ඔවුන්ගේ සමීපතමයන්ට පමණක් එක්විය හැකි සංවෘත ක්‍රමයක් තිබීමෙන් දක්ෂයන් එකතු විය හැකි විවෘත ක්‍රමයකට අවස්ථාවක් නැහැ.

රාජ්‍ය පාලනයත් එලෙසමයි. ඉතාම සීමිත පිරිසකට ඉතා විශාල ධනයක් සහ බලයක් වියදම් කිරීමෙන් පමණක් සුරක්ෂිත විය හැකි ලෙස සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ක්‍රියාත්මක වී තිබෙනවා. කොතරම් පාඩු ලැබුවත් ශ්‍රීලංකන් ගුවන් සමාගම, විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි ආයතනවලට එරෙහිව අවම තරමේ විගණන වාර්තා අනුව ක්‍රියාත්මක වීමටත්, මහ බැංකු බැදුම්කර වංචාව වැනි විශාල වංචා පිළිබදව ඉදිරිපත් කර ඇති වෝහාරික සහ අනෙක් විගණන වාර්තා අනුව නීතිමය පියවරක් ගැනීමට නොහැකි වන ලෙස සමස්ත රාජ්‍ය පාලනයම පැවැති සහ පවතින රජයන් මගින් අඩපණ කර හමාරයි. එහි බලපෑම ඉතා දුර්වල පසුගාමී, සංවර්ධනය නොවන ආර්ථිකයකින් පිළිඹිබු වීම නැවැත්විය නොහැකියි. කනගාටුවට කරුණ නම් රටේ සියලුම දෙනා මෙම අසාර්ථක ක්‍රමයේ කොටස්කරුවන් සහ සිරකරුවන් වීමයි.

ඒ අනුව අපේ ආර්ථික සටනින් පරාජය වීමටත්, ක්‍රිකට් සටනින් පරාජය වීමටත් පවතින්නේ එකම පන්නයේ හේතුයි. මේ දෙකෙන්ම ගොඩ ඒමට නම් අපට කිරීමට තිබෙන්නේ එකම වර්ගයේ විසදුම් ලබාදීමයි. විසඳුම ක්‍රියාත්මක වන ආකාරය ස්ථානය අනුව වෙනස් වුණත් විසඳුම පිළිබඳ ඇති දර්ශනය එකමයි. අපේ සංවෘත යල් පැනගිය වර්තමානය සහ අනාගතය නොදකින දර්ශනය වෙනස් වුණු දවසට ක්‍රිකට් වගේම ආර්ථික තරගයත් දිනන්න අපිට පුළුවන්.

2021 ජූලි 23 වන දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියක්

ආනයන තරගකාරී කිරීම අපනයන තරගකාරී කිරීමේම කොටසක්

යුරෝපා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කර ගැනීමත් සමගම ශ්‍රී ලංකාවට මෙතෙක් ලැබෙන GSP Plus පිළිබඳව විවිධ අදහස් පළවීමට පටන්ගෙන තිබෙනවා.

එක් මතයක් වන්නේ GSP Plusවලින් ශ්‍රී ලංකාවේ ඇගලුම් සහ මත්ස්‍ය අපනයනවලට විශාල බලපෑමක් එල්ල වන නිසා එමගින් ශ්‍රී ලංකාවේ දැනට පවතින විනිමය අර්බුදය තවත් ඉහළ යා හැකි බව සහ අපනයන තවත් අඩු විය හැකි බවයි. එමගින් අපේ ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව රු.300ක් විය හැකි බවත් පැව‍සෙනව.

ඊට ප්‍රතිවිරුද්ධ අදහසක් දරන පිරිස් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව මැදි සහ ඉහළ ආදායම් ලබන රටක් වීමත් සමග අපට GSP Plus අනිවාර්යයෙන්ම අහිමි වන නිසා එය ලැබුණත් නොලැබුණත් එතරම් බලපෑමක් ඇති නොවනු ඇති බවයි. තවත් මතයක් වන්නේ GSP Plus 2017 වසරේදී නැවත ලැබීමෙන් පසුව යුරෝපා සංගමයට අපගේ අපනයන එතරම්  වැඩි නොවී ඇති නිසාත් මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමත් සමග අප බ්‍රිතාන්‍යට අපනයනට GSP Plus තිබීමෙන් එතරම් ප්‍රයෝජනයක් නොමැති බවයි.  මෙවැනි අදහස් පිළිබඳව ආර්ථික විද්‍යාත්මක දත්ත මත සරලවඑ තේරුම් ගැනීම වැදගත්.

මොකක්ද මේ GSP Plus කියන්නේ

යුරෝපා සංගමයේ The Generalised Scheme of Preferences (GSP) යන වෙළඳ ගිවිසුම GSP ලෙසින් හැඳින්වේ. එය සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට යුරෝපයට අඩු තීරුබදු යටතේ හෝ තීරු බදු නොමැතිව අපනයනය කිරීමට අවස්ථාව සලසන වෙළඳ ගිවිසුමක්. එමගින් දිළිදු රටවල් වලට යුරෝපයට තරගකාරී ලෙස අපනයනය කර ඔවුන්ගේ දුප්පත්කම නැති කර ගැනීමට වැඩි අවස්ථාවක් ලැබේ.

GSP Plus කියන්නේ මෙම ක්‍රමය යටතේම ඇති GSP සහනය ලබාගන්න රටවල්වලට තවත් අපනයන කාණ්ඩ 7200 ක් (HS Codes) පමණ සඳහා කිසිදු තීරු බදු අයකිරීමකින් තොරව යුරෝපා සංගමයට අයිති රටවල්වලට අපනයනය කළ හැකි තීරුබදු සහන ක්‍රමයයි. (තීරු බද්දක් යනු එක රටක සිට තවත් රටකට භාණ්ඩ ආනයනය කිරීමේදී රේගුව මගින් අයකරන බද්දයි. එම තීරුබදු විවිධ භාණ්ඩ සඳහා වෙනස් වනවා. තීරු බදු නිසා අදාළ භාණ්ඩයේ මිල බදු එකතු වීමෙන් නිරායාසයෙන්ම ඉහළ යනු ලබනවා. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ වාහන ආනයනය තහනම් නොමැති කාලයේදී ඒ සඳහා 150% සිට ඉහළට තීරුබදු අය කළා. එහි අර්ථය නම් ජපානයේ සමාගමක් තාක්ෂණය භාවිත කර, සේවකයන්ට පඩි ගෙවා, විශාල යන්ත්‍රෝපකරණ භාවිත කර විශාල මහන්සියක් දරා උපයාගන්නවාට වඩා දෙගුණයකට ආසන්න මුදලක් ශ්‍රී ලංකාවේ රජය කිසිම සේවයක් නොකර පාරිභෝගිකයාගෙන් තීරු බදු ලෙස අය කර ගැනීමයි. ශ්‍රී ලංකාවේ වාහන ඉතා මිල අධික එම හේතුව නිසයි. මෙය තිරුබදු නිසා භාණ්ඩවල මිලට සිදුවන වෙනසට උදාහරණයක් පමණයි) GSP Plus ලබා ගැනීමට අදාළ රටවල් මානව හිමිකම් පිළිබඳ අන්තර්ජාතික සමුළු සහ තවත් අන්තර්ජාතික සම්මුතීන්, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමවේද සඳහා එකඟතාවය පළ කළ යුතුයි.

2005 වසරේදී GSP Plus ක්‍රමය පටන් ගත්දා සිටම ශ්‍රී ලංකාව එහි සාමාජිකයෙක්. ඉන් අනතුරුව 2010 වර්ෂයේදී අපට GSP Plus සහනය අහිමි වේ. නැවත අපට එම සහනය ලැබුණේ 2017 වසරේදී.

අපනයන දත්ත දෙස බැලීමේදී (ප්‍රස්තාරයට අනුව) 2005 වසරෙන් පසුව යුරෝපා සංගමයට අපගේ අපනයන සීග්‍ර ලෙස වර්ධනය විණි. එමෙන්ම 2008 වසරෙන් පසුව යුද්ධය නිමාවීමත් සමගම අපගේ මුළු අපනයන ප්‍රමාණයත් සීග්‍රයෙන් වර්ධනය විය. එම දත්ත දෙස බැලීමේදී පෙනී යන්නේ GSP Plus සහනය 2010 වසරේදී අපට අහිමිවීමෙන් පසුවත් යුරෝපා සංගමයට අපගේ අපනයනවල යම් වැඩිවීමක් සිදුවූ බවයි. කෙසේ වෙතත් GSP Plus සහනය 2005 දී ලැබීමට පෙර සහ පසු දත්ත සැලකූ විට අපට පෙනෙන්නේ යුරෝපා සංගමයට අපනයන 28% සිට 38% දක්වා වැඩි වී ඇති බවයි. 2017 දී නැවත අපට GSP Plus සහනය ලැබුණු පසුව අපගේ අපනයන යුරෝපා සංගමය වෙත ඇමරිකානු ඩොලර් මිලියන 250කින් පමණ වැඩි වී ඇති බව තමයි දත්ත අනුව පෙනෙන්නේ.

GSP Plus ගැන ආර්ථික විද්‍යාත්මකව බලන්නේ කොහොමද?

මේ ප්‍රශ්නය දිහා ආර්ථික විද්‍යාත්මක බලද්දී මතුපිටින් අපගේ අපනයන දත්ත මත පමණක් බැලීම ප්‍රමාණවත් නෑ. අප මතුපිටින් ගැඹුරට යද්දී අපට පෙනෙන දෙය නම් අපගේ අපනයන වර්ධනයන්ගේ ඉතා පසුගාමී බව. අපගේ ආර්ථික වර්ධනය වන වේගය සමග සැසදීමේදී අපගේ අපනයනවල වර්ධනයක් නෑ. ශ්‍රී ලංකාවේ අපනයන දියුණු නොවීම මුළු රටටම විශාල ගැටලුවක්.

එනිසා මේ දෙස බැලිය යුත්තේ GSP Plus තිබීමෙන් අපගේ අපනයනවලට බලපෑමක් සිදුවේද, නොවේදැයි සිතනවාට වඩා දැනටමත් අපගේ අපනයන කඩා වැටෙන්නේ ඇයිද යන්න පිළිබඳවයි. ප්‍රශ්නය එම කෝණයෙන් බැලීමේදි වැටහෙන මූලිකදේ නම් අපනයනයට බාධාවන් ඇත්තේ රටෙන් පිට නොව රට ඇතුළත බව. ශ්‍රී ලංකා රේගුවෙන් පටන් ගත් විට අපනයනකරුවන්ට තිබෙන නීතිමය සහ නීතිමය නොවන බාධා ඉතා විශාලයි. ඒ සියල්ල විදේශීය බලපෑම් නොවේ. සරල ගමේ භාෂාවෙන් කියනවා නම් අපිට ඉස්සරහට යන්න නොදෙන්නේ පිට මිනිස්සු නොව අපේම මිනිසුන්.

මෙරට අන්තර්ජාතික වෙළඳාම සඳහා බාධාවන් රට තුළින්ම නැගෙද්දි කොතරම් වෙළෙඳ ගිවිසුම් හෝ තීරු බදු සහන ලැබුණද අපනයන දියුණු කළ නොහැකිය. එමෙන්ම අපනයන වෙළෙඳපොළ සහ ජාත්‍යන්තර වෙළඳාම යනු නිරන්තරයෙන් වෙනස් වෙන ඉතාම තරගකාරී වෙළෙඳපොළක්. ලෝකයේ අද ඇත්තේ ඉතා සංකීර්ණ අන්තර් ජාතික වෙළඳාමක්. තරගකාරී ලෙස අපනයනය කිරීමට නම් තරගකාරී ලෙස ආනයනය කිරීමත් අවශ්‍යයි.

ඇඟලුම් කර්මාන්තය එයට කදිම නිදසුනක්. ඩොලර් බිලියන 5ක පමණ අපනයන කිරීමට ඔවුන්ට ආනයනය කිරීමට සිදුවන ප්‍රමාණය ඩොලර් බිලියන 2.5-3.00 අතර ප්‍රමාණයක්. එම තත්ත්වයෙන් සහ එම මිලට ආනයනය කිරීමට හැකියව නොලැබුණොත් බොහෝ විට මුලින්ම කඩා වැටෙන්නේ ඔවුන්ගේ අපනයන.

අපත් සමග තරග කරන රටවල් ශක්තිමත් වීම

අතීතයේ මෙන් අපගේ අපනයන අඩු වන්නේ ඇයිදැයි අප රට සමග පමණක් සසදා බලන්නටත් පුළුවන් කමක් නෑ. අපේ කලාපයේ ඇති අනෙක් රටවල් අපට වඩා තරගකාරී දැයි සොයා බැලිය යුතුයි. එසේ බලද්දි දකුණු ආසියාතික කලාපයෙන් පාකිස්ථානයට GSP Plus සහන ලැබී ඇත. එමෙන්ම ආසියානු කලාපයේ අපි වැනි ශ්‍රමය සමග තරග කළ හැකි පිලිපීනය, ආර්මේනියාව සහ මොන්ගෝලියාව වැනි රටවලටද GSP Plus සහනය ලැබී ඇති බව පෙනේ. අපට වඩා ඔවුන්ගේ අපනයන තරගකාරී වීමද එක සම්භාවිතාවක්.

එමෙන්ම කාලයක් තිස්සේ එකම භාණ්ඩ වර්ග යුරෝපය පරිභෝජනය කරන්නේ නෑ. 2005 සිට 2021 දක්වා වසර 16ක් තුළ මිනිසුන් භාවිත කරන භාණ්ඩ සෑහෙන ප්‍රමාණයකින් වෙනස් වනවා. ඒ අනුව අප තවමත් අපනයන කරන්නේ යුරෝපා සංගමයට ගැළපෙන අපනයනද යන්න නැවත සිතා බැලිය යුතුයි. එතැනදි අපත් සමග කරට කර තරග කරන බංගලාදේශය GSP Plus ලබා ගැනීමට විශාල උත්සාහයක් දරන බවත් අමතක නොකළ යුතුයි. ඔවුන්ට GSP Plus හිමිවීමෙන් දනටමත් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන කර්මාන්තශාල බංගලාදේශයට යොමු වීමට වැඩි අවස්ථාවක් තිබෙනවා. ඇතැම් ශ්‍රී ලාංකික ආයතනවල කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් සහ සේවකයන් බංගලාදේශයේ ව්‍යාපාර කටයුතුවල නිරත වනවා. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාව අමතක කර බංගලදේශය ගැන වැඩිපුර සිතීමට තිබෙන ඉඩද වැඩිය.

අපි මතක තබා ගත යුතු වැදගත්ම දේ නම් යුරෝපා සංගමයේ GSP Plus අහිමිවීමෙන් වෙනත් රටවල් ඔවුන්ව අනුගමනය කිරීමෙන් මෙරට කීර්තිනාමයට විශාල හානියක් සිදුවිය හැකි බව. එමෙන්ම වත්මන් ලෝකයේ වෙළඳපොළ දත්ත සහ තොරතුරු මත තීරණය වන නිසා එක කීර්තිනාමය පලුදු වීමෙන් වෙනත් වෙළඳපොළවල්වලටත් එය බලපෑම් ඇති කළ හැකි බව.

විසඳුම් මොනවාද?

අප අපනයන ප්‍රශ්නය අල්ලා ගත යුත්තේ අපේ තරගකාරීත්වය නොමැතිවීම පැත්තෙන්. අපි මිලෙන් සහ ගුණාත්මක බවෙන් තරග නොකරන තාක් අපනයනවලින් ඉදිරියට ගමන් කළ නොහැකියි.

එහිදී නවීන ලෝකයේ සැපයුම් ජාලා ක්‍රියාත්මක වන ආකාරය අනුව අපනයනය සඳහා ආනයන අවශ්‍ය බව තේරුම් ගැනීමත් වැදගත්. ආනයන නොමැතිව අපනයන කිරීමට උත්සාහ කිරීම ආනයන සහ අපනයන යන දෙඅංශයම කඩා වැටීමේ අවදානමක්. එම නිසා ආනයන තරගකාරී කිරීම අපනයන තරගකාරී කිරීමේම කොටසක්.

ලෝකයේ දැන් තිබෙන ක්‍රමය නම් ඕනෑම සරළ භාණ්ඩයක් වුවත් නිපදවන්නේ කොටස් හා උපාංග විශාල ප්‍රමාණයකින් (Parts and components). එනිසා සරල භාණ්ඩයක් වුවද නිෂ්පාදනයට රටවල් 20ක් 30ක දායක වනවා. විවිධ රටව භාණ්ඩයේ විවිධ කොටස් ආනයනය සහ අපනයනය කරමින් තමයි භාණ්ඩ නිපදවන්නේ. ඔබේ නිවසේ ඇති ඕනෑම සරල භාණ්ඩයක් පිලිබඳව සිතුවහොත් ලෝකයේ රටවල් කීයක් එම භාණ්ඩයට නිෂ්පාදනයට දායක් වී ඇත්දයි ඔබටම අවබෝධ කර ගත හැකියි. එමනිසා මේ ප්‍රශ්නයට විසඳුම නම් ශ්‍රී ලංකාව ලෝකය සමග තිබෙන සැපයුම් ජාලවලට සම්බන්ධ වී එහි කොටසක් අත්පත් කර ගැනීමයි.

GSP Plus දෙස අප බැලිය යුත්තේ එමගින් අපනයන තවත් අඩු වෙනවද තියෙන මට්ටමේම ති‍බෙනවාද යන සරල ආකාරයට වඩා වසර ගණනාවක් ඉදන් අපේ අඩුවන අපනයන අප වැඩි කර ගත හැක්කේ කෙසේද යන ආකාරයෙනුයි.

2021 ජූලි 16 වන දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියක්

උපක්‍රම තියාගෙන අපි පස්සට යනවා : ලෝකය ඇවිත් තියෙන්නෙ අලුත් යුගයකට – ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු

හසරිඳු රාජපක්ෂ විසිනි

ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය තවදුරටත් සීමා කළහොත් රටේ ආර්ථිකය සංකෝචනය විය හැකි බවත්, එමගින් දරුණු ආර්ථික පසුබෑමකට රට ලක්විය හැකි බවත් ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.

රටේ ආර්ථික තත්වය සම්බන්ධයෙන් MediaLK සමග අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මේ වන විට රට මුහුණ දෙමින් සිටින ආර්ථික තත්ත්වයෙන් ගොඩඒමට නම් ආර්ථික ප්‍රතිසංස්කරණ වෙත ඉතා කඩිනමින් යා යුතු බවයි.

‘ආනයන සීමා කරන්න හැකි සීමාවක් තියෙනවා’

‘මේ වන විට භාණ්ඩ ආනයනය සීමා කරලා තියෙන්නේ. නමුත් අපිට ආනයන සීමා කරන්න පුළුවන් ප්‍රමාණයක් තිබෙනවා. එයට සීමාවක් තිබෙනවා. ආනයනය මත රැඳෙන විශාල පිරිසක් ලංකාවේ ඉන්නවා.  ඒ වගේම අපි ආනයනය කරන භාණ්ඩවලින් පාරිභෝගික භාණ්ඩ තිබෙන්නේ බොහොම අඩු ප්‍රමාණයක්. ඉතිරි භාණ්ඩ අතරමැදි භාණ්ඩ සහ අමුද්‍රව්‍ය. ඒ වගේම අපි ආනයනය කරන දේවල්වල අපනයනය සඳහා අවශ්‍ය වන කොටස් බොහොමයක් තිබෙනවා. උදාහරණයක් ලෙස ඇඟළුම් ක්ෂේත්‍රය ගැන කියනවා නම් මෙහි නිෂ්පාදන ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක් වැනි ප්‍රමාණයක් අපනයනය කරනවා. එයට අවශ්‍ය රෙදි, නූල් වැනි අමුද්‍රව්‍ය, උපකරණ ආනයනය සඳහා එයින් සියයට දෙකක් පමණ ප්‍රමාණයක් සඳහා වැයවෙනවා. ඒ මොකද මේ කිසිවක් ලංකාවේ හදන්නේ නැති නිසා.

තේ කර්මාන්තය ගත්තත් ඒ විදිහමයි. ලංකාවෙන් තේ අපනයනය කළාට තේ පැකට් කරන පොලිතින් වගේ බොහොමයක් ආනයනය කරන්න වෙනවා. මේ නිසා ආනයනය දිගටම නවත්වාගෙන තියාගන්න අමාරුයි.

මොකද මේ විදිහට ගියොත් අපේ මුළු ආර්ථිකයම සංකෝචනය වෙන්න පුළුවන්. මේ වන විට රටේ තිබෙන ඩොලර් ප්‍රමාණය අඩු නිසා බැංකුවලින් ණයවර ලිපි (Letter of Credit) විවෘත කරන්න දෙන්නේ නැහැ. මේ තත්ත්වය තුළ මහා පරිමාණ ආයතනවලට බාධාවකින් තොරව කටයුතු කරගෙන යන්න පුළුවන් වෙයි. නමුත් පොඩි ආයතනවලට මේ තත්ත්වය දරාගන්න අමාරුයි. ඒ කියන්නේ මේ තත්ත්වය නිසා පොඩි-පොඩි ව්‍යාපාරවලට පහර වදිනවා. ඒවා හකුළාගන්න වෙනවා. එහෙම නැත්නම් වහලා දාන්න වෙනවා. එය ඉදිරියේදී ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

හැමදෙයක්ම ලංකාවෙ හදන්න පුළුවන් ද?

තවත් අවධානය යොමු කළ යුතු කාරණයක් තිබෙනවා. ඒ තමයි මේ වන විට එක භාණ්ඩයක් සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කරන ලෝකයේ කිසිම රටක් නැති තරම්. ඕනෑම කුඩා භාණ්ඩයක් වුණත් ලෝකයේ රටවල් 20ක පමණ එකතුවෙන් තමයි හැදෙන්නේ. උදාහරණයකින් කියනවා නම් ලංකාවේ ඇඟළුම් ක්ෂේත්‍රය ගත්තොත් එහි කපු ලබාගන්නේ එක රටකින්, නූල් හදන්නේ තවත් රටකින්, රෙදි හදන්නේ තව රටක, වර්ණක හදන්නේ තවත් රටක, මැෂින්, උපකරණ හදන්නේ වෙනත් රටක. මේ වගේ පොඩි නිෂ්පාදනයක් ගත්තත් එය රටවල් 20ක, 30ක වගේ පැතිරිලා තිබෙනවා.

වාහනයක් නිෂ්පාදනය කරන ආකාරය සැලකුවත් එහෙමම තමයි. බෙන්ස් කාර් එක ගත්තොත් එහි සීට්වලට ඇතුළත් කරන සංවේදක උපකරණ හදන්නේ ලංකාවේ. ඒ පොඩි උපකරණය විතරයි ලංකාවේ හදන්නේ. බෙන්ස් කාර් එක අපිට හදන්න බැහැ. එහෙම කළොත් අපිට ලොකු වියදමක් යනවා. මේ දාමය අපි තේරුම් අරගෙන නැති වීම ප්‍රධානම ප්‍රශ්නයක්. හැමදෙයක්ම ලංකාවේ හදන්න පුළුවන් කියන සංකල්පයේ අපි ඉන්නවා. ඒ යුගය දැන් ඉවර වෙලා තියෙන්නේ. අපි එය තේරුම්ගත යුතුයි. අපි දැන් අලුත් යුගයකට ඇවිත් ඉන්නේ. මේ නිසා ලංකාව හැටියට අපිත් මේ මහා පරිමාණ නිෂ්පාදනවල කොටස්වලට එකතු විය යුතුව තිනෙවා.

ඩොලර් අර්බුදය හිතන තරම් සරල නෑ

අපේ රටේ තිබෙන ඩොලර් අර්බුදය අද ඊයේ ඇතිවුණු දෙයක් නෙමෙයි. අවුරුදු ගණනාවක් පුරා තිබුණු ප්‍රශ්නයක්. එයට හේතු කිහිපයක් තිබෙනවා. එකක් තමයි අපේ රට තුළ ව්‍යාපාර කරන්න පුළුවන් පසුබිමක් අවුරුදු ගණනාවක් තිස්සේ හැදුණෙ නැහැ. ලෝක බැංකුව කරන සොයාබැලීමට අනුව ව්‍යාපාර කරන්න පුළුවන් හැකියාව තිබෙන රටවල් අතර අපි හැමදාම හිටියේ පහළ මට්ටමේ. නමුත් අපේ කලාපයේ සිටින ඉන්දියාව, වියට්නාමය, මැලේසියාව, සිංගප්පූරුව වගේ මේ රටවල් සියල්ල අපිට වඩා ඉදිරියට ගිහින් තිබෙනවා. ආයෝජකයෙක් මේ කලාපය තෝරා ගනිද්දි ලංකාව තෝරාගත්තා කියලා විශේෂ වාසියක් ඔවුන්ට නැහැ. ඉතින් අපේ කලාපය තුළ ව්‍යාපාර කරන්න අපේ රට තුළ අපහසු නම්, ඒ සඳහා පහසුකම් නැත්නම් කවුරුත් මෙහෙ ව්‍යාපාර කරන්න එන්නෙ නැහැ. මේ ප්‍රශ්නය අවුරුදු ගාණක් තිස්සේ තිබුණු දෙයක්. ඒ නිසාම වෙන්න ඇති මේ ගැන හොයලා බලන්න ජනාධිපතිතුමා කමිටුවක් පවා පත්කරලා තියෙන්නේ.
ඩොලර් අර්බුදයට තවත් විශාලම හේතුවක් තමයි අපිට ගෙවන්න තිබෙන විශාල ණය කන්දරාව සහ පොලිය. ඒ නිසා ආනයනයට ඩොලර් වියදම් කරනවා වෙනුවට ණය සහ පොලිය ගෙවීමට අපිට ඩොලර් වියදම් කරන්න වෙනවා. මේ වන විට අපිට ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක පමණ ණය ප්‍රමාණයක් ගෙවන්න තිබෙනවා. දැනට තිබෙන දත්තවලට අනුව අපි ලබාගෙන තිබෙන ණයවල පොලිය පමණක් ගෙවන්න අපේ රට ලබන ආදායමෙන් සියයට 50ක් පමණ වැයවෙනවා. මේ තත්ත්වය තුළ ණය, ණය වාරික සහ පොලිය ගෙවන්න අපේ රාජ්‍ය ආදායම මදි වෙනවා. ඒ වගේම රාජ්‍ය ආදායම අඩුවෙලා වියදම වැඩි වෙලා තිබෙනවා. රජය උපයන සෑම රුපියලකින්ම සත 86ක් වැය වෙන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන්න.

මේ තිබෙන තත්ත්වයෙන් නිදහස් වෙන්න තිබෙන එක ක්‍රමයක් තමයි, තවත් ණයක් අරගෙන අපිට තිබෙන ණය සහ පොලිය ගෙවලා ඉදිරියට යන එක. නමුත් ඒක කරන්න අමාරු තත්ත්වයක තිබෙන්නේ. ඒ මොකද ග්‍රේණිගත කිරීම් අනුව අපි පහළ මට්ටමක ඉන්නේ. එවැනි රටකට ණය දෙනවා නම් ඒ දෙන අය විශාල පොලියකට තමයි ණය දෙන්නේ. ඒ නිසා අපිට නැවත ණය අරගෙන මේ ප්‍රශ්නය විසඳන තැනට යන්න බැහැ. මේ නිසාම වෙන්න ඇති දැන් රජය විසින් පෞද්ගලික ආයතනවලට විදෙස් ණය ලබාගන්න අවස්ථාව දීලා තියෙන්නේ.

මුදල් අච්චු ගැසීම විසඳුමක් ද?

දැන් රජය වැඩි වශයෙන් මුදල් අච්චු ගහනවා. රජයට වියදම වැඩිවෙලා අදායම අඩුවෙලා තියෙන නිසා මේ වියදම පියවන්න තව-තවත් ණය ගැනීමට යොමුවෙනවා. ඒ කියන්නේ භාණ්ඩාගාර බිල්පත් නිතුත් කිරීම හෝ විනිමය සුරැකුම්පත් නිකුත් කරන විට මහ බැංකුවම ඒවා මිලදීගෙන බැංකුවලට යම් මුදල් ප්‍රමාණයක් නිදහස් කරනවා. එය මූල්‍ය පද්ධතියට එකතු වෙන්නේ කිහිපගුණයකින් වැඩි වෙලා. මුදල් අච්චු ගහනවා කියලා කියන්නේ මේ සිද්ධිදාමයට. පසුගිය මාස 18ක කාලයේදී ඒ ආකාරයට මුදල් ට්‍රිලියන 02ක වගේ මුදලක් මේ පද්ධතියට එකතු වුණා.

මේ තත්ත්වය අපිට දරන්න අපහසුයි. මෙහෙම වුණේ රජයේ බදු ආදායම අඩු වුණු නිසයි. මේ ආකාරයට වැඩිපුර මුදල් පද්ධතියට එකතු කිරීම තුළ වක්‍රකාරයෙන් සිදුවෙන්නේ ආනයනය වැඩි වීමයි. මොකද අපි කොපමණ ආනයනය සීමා කළත් මුදල් අච්චු ගැසීම හරහා සිදුවෙන්නේ ජනතාවගේ පරිභෝජනය වැඩි කිරීමයි. උදාහරණයක් විදිහට වාහන ආනයනය තහනම් කරලා තිබුණත්, මිනිස්සු අතේ සල්ලි තියෙනවා නම්, ණය ගන්න පුළුවන් නම් ඔවුන් කරන්නේ වාහනය ගෙන්වනවා වෙනුවට වෙනත් කටයුත්තක් කරන එක. ඇතැම් විට ගොඩනැගිල්ලක් හදන එක හෝ වෙනත් කටයුත්තක් වෙන්න පුළුවන්. එතකොට වාහන ආනයනය කරන ප්‍රමාණය තහනම් වුණාට නිවාස හදන ප්‍රමාණය වැඩි වෙනවා.

ඒ කියන්නේ යකඩ වගේ දේවල් අපිට ආනයනය කරන්න වෙනවා. ඒවා සීමා කරන්න අමාරුයි. අපි එක දෙයක් ආනයනය සීමා කරන විට ඒ හා සාපේක්ෂව වෙනත් දෙයක ආනයනය වැඩිවෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා මුදල් අච්චු ගැසීම කරන්න හොඳ දෙයක් නෙමෙයි. අපිට කරන්න තියෙන්නේ පරිභෝජනය අඩු කරලා ආනයනය අඩු කරන එක විතරයි. ඒ වගේම අපි අවධානය යොමු කළ යුතු තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි ඕනෑම දෙයකට ඕනෑවට වඩා තහංචි දැම්මොත් කළු කඩ මාෆියාව ඇතිවෙනවා. ‍

චීනය උදව් කරන්නේ ඇයි?

ඒ වගේම මේ තත්ත්වයෙන් ගොඩ එන්න තියෙන විසඳුම් ගැන කතා කරද්දි කට්ටියක් හිතනවා චීනය සමග එකතු වෙලා අපිට මේ ප්‍රශ්නය විසඳාගන්න පුළුවන් කියලා. චීනය අපිට බොහෝ උදව් කරලා තියෙනවා. නමුත් කිසිම අපේක්ෂාවක් නැතිව කිසිම රටක් වෙනත් රටකට උදව් කරන්නේ නැහැ. අපේ රට කාටහරි උදව් කළත් උදව් කරන්නේ එහෙම බලාපොරොත්තුවක් තියාගෙනයි. ඒ නිසා මෙවැනි ප්‍රශ්න ඇතිවුණාම අපිට කරන්න තියෙන හොඳම දේ තමයි අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ගිහින් අපිට සහන කාලයක් ඉල්ලා ගැනීම. අපිට උදව් කරන්න අන්තර්ජාතික මූල්‍ය අරමුදලට මැජික් බලයක් නැහැ. අපි මේ අරමුදලේ ආරම්භක සාමාජිකයෙක්. මේ තත්ත්වය ප්‍රයෝජනයට ගත යුතුයි.

මොකද අපිට ආයෝජකයෝ එන්නෙත් නැත්තේ, අපිට කවුරුත් මුදල් දෙන්නෙත් නැත්තේ එක හේතුවක් නිසයි. ඒ තමයි අපි මුදල් පරිපාලනය හරියට කරලා නැහැ. අපි ණය ගෙවීම් සම්බන්ධයෙන්, අදායම්-වියදම් ගෙවීම සම්බන්ධයෙන් හරියට කටයුතු කරලා නැහැ. මේ තත්ත්වය තුළ අපි කාගෙන් හරි ණය ඉල්ලුවොත් කවුරුත් අපිව විශ්වාස කරන්නේ නැහැ. ඒකයි අපිට ණය ගන්න බැරි. මේ තත්ත්වය තුළ අපිට ආරක්ෂකයෙක් හොයාගන්න වෙනවා. ඒ නිසයි අපේ අධීක්ෂකයා විදහට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය ලබාගන්නේ. එහෙම කළාම අපි ගැන ආයෝජකයන්ට විශ්වාසය ඇතිවෙනවා. මේ නිසා අපි කළ යුතු හොඳම දේ එයයි. හැබැයි එය ඉතාම ඉක්මනින් කළ යුතුයි. එතැනදී අඩු පොලියට ණයත් ගන්න පුළුවන් වෙයි. ඒ තත්ත්වය තුළ රුපියල ස්ථාවර කරගන්නත් අපිට හැකියාව ලැබෙනවා. ඒ නිසා අපි ආර්ථික ප්‍රතිසංස්කරණවලට යායුතු වෙනවා.’

2021 ජූලි 09 වන දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියක්

ආර්ථිකය දෙස ධනාත්මක ලෙස බලන්න බැරි ඇයි?

අද බොහෝ දෙනෙන් අහන දෙයක් තමයි ඇයි ආර්තිකය ගැන සෘණාත්මක දේවල්  විතරක් කතාකරන්නෙ ආර්ථිකය ගැන ධනාත්මකව බලන්න බැරිද? කියන එක. 

අප සැමට අවශ්‍ය උත්තර මිස ප්‍රශ්න නොවේ. අපි අද ලංකාවෙ තියෙන ආර්තික ප්‍රශ්ණ වලට විසදුම් කතා කරමු. එතනදි තේරුම් ගත යුතු දේ නම්  නිවැරදි දේ කිරීමට උත්සාහ කිරීම තරම්ම, වැරදි දේවල් නොකර සිටීම වැදගත් බව. 

මං පොඩි කාලේ අපේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් ඇහුවා “ඇයි හාමුදුරුවනේ බුදු දහම මෙච්චර සෘණාත්මක. නිතරම කියන්නෙ ලෝකය දුකයි, අනිත්‍යයි, අනාත්මයි කියල. චතුරාර්ය සත්‍ය පටන් ගන්නෙත් දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැතිකිරීමේ මාර්ගය කියල. නිතරම කියන්නෙ සිහිය පවත්වාගෙන මරණානුස්සතිය වගේ භාවනා වඩන්න, මරණය , හුස්ම ගැනීම ගැන සිහි කරන්න කියල. ධර්මයේ ධණාත්මක මුකුත්ම නැද්ද?” කියල. එතකොට ලොකු හාමුදුරුවො දීපු උත්තරය තමයි “ප්‍රශ්ණයක් තියන බව තේරුම් ගැනීම සහ ඒ ප්‍රශ්ණය විශ්ලේශණය කිරීම සෘණාත්මක දෙයක් නොවෙයි ධනාත්මක දෙයක්. මිරිගුවක ඉන්නවට වඩා සත්‍ය ඇති සැටියෙන් දැකීම සහ යතාර්තවාදී වීම ප්‍රශ්ණයට පිළිතුර සොයා ගැනීමේ මූලික පියවරයි. දුකක් තිබෙන බව තේරුම් නොගෙන දුක නැති කරන්නෙ කොහොමද?. දුක පිළිබදව තේරුම් ගැනීම කොතරම් ධනාත්මකද? කියල මගෙන් පෙරලා ඇහුවා. 

ලංකාවෙ ආර්තිකයත් ඔය වගෙයි. බොහෝ අයට ප්‍රශ්ණයක් තියෙන බව නොතේරීම නිසා ප්‍රශ්නය විසදන්න අමාරුයි. 

ඒ වගේම ආර්තික ප්‍රශ්නය ඉතාම සංකීර්ණයයි. මේක හරියට අවුරුදු ගාණක් තමංගේ ශරීර සෞඛ්‍ය ගැන හිතන්නෙ නැතුව, වැරදි සෞක්‍ය පුරුදු වලට ඇබ්බැහි වී අසාධ්‍ය රෝගියෙක්ට එක දවසින් එක බෙහෙතක් දී සම්පූර්ණ සුවය දෙනව කියනව වගේ විසදුම් මේ ආර්තික ප්‍රශ්න වලට නෑ. සෑම විසදුමක්ම කාලයත් එක්ක අනුරූප වෙන්න ඕන.   

කෙටිකාලීන විසදුම් 

ලංකාවේ ආර්තිකයත් දැන් හෙමින් ගමන් කරමින් ඉන්නෙ අසීරු අඩියකට. හරියට හොදටම සීනි වැඩි වෙලා සිහිමුර්ජාවුණ දියවැඩියා රෝගියෙක් වගේ. දැන් මේ රෝගියට මුලින්ම ව්‍යායාම කරන්න, හොද කෑම කන්න කියල කියන්න කලින් සැර බෙහෙතක් දීල සිහිය ගන්න ඕන. ඉක්මනට රුධිරයේ තියෙන සීනි ප්‍රමාණය පහළට ගන්න සැර බෙහෙතක් හෝ ඉන්සියුලින් වගේ ඉන්ජෙක්ෂන් එකක් දෙන්න ඕන.  ඒකට තමයි අපේ දැන් තියෙන තත්ත්වය අනුව මුලින්ම අන්තර්ජාතික මුල්‍ය අරමුදලට යන්න වෙන්නෙ. බොහෝ දෙනෙක්ට නොතේරෙන දෙයක් තමයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල කියන්නෙ  1950 අපිම සාමාජිකත්වය ගත්ත ලෝකයේ බොහෝ රටවල් සාමාජිකත්වය අරගෙන තියෙන සංවිධානයක් බව. ශ්‍රී ලංකාව මහ බැංකුව පිහිටවපු දවසට පහුවෙනිදම අපි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සාමජිකත්වය ගත්තා. අපේ මුදල් ඇමැතිතුමා සහ මහ බැංකු අධිපතිතුමා තමයි ඔය සංවිධානයේ ලංකාව නියොජනය කරන්නෙ. අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අපිව මේ ප්‍රශ්ණයෙන් ගොඩ ගන්න මැජික් ක්‍රමයක් නෑ. ඔවුන් සමග වැඩසටහනකට ගියාම වෙන මූලිකම දේ තමයි දැනට අපිට ණය දෙන්න අදි මදි කරන, අපේ රටේ මූල්‍ය ස්තාවරබව ප්‍රශ්ණ කරන ආයෝජකයන් භය නැතුව ඔවුන්ගේ මුදල් රටට රැගෙන ඒම සහ අපිට ණය ලබාදීමට ඉදිරිපත් වීම. මොකද අන්තර්ජාතික අරමුදල යම් කිසි වගවීමක් අපේ ආර්තිකයේ ප්‍රතිසංස්කරණ පිලිබදව ගන්න නිසා. එහෙම වෙද්දි මේ තියන ඩොලර් අර්බුදයෙන් පොඩි හුස්මක් ගන්න අපිට පුලුවන්. ඒක ඉතා කෙටි කාලීන හුස්මක් බව අපි මතක තබාගත යතුයි. දියවැඩියා රෝගියට සිහිය ආපු ගමන් ආයෙත් අයිස්ක්‍රීම් කන්න පුලුවන් වෙන තරමෙ සහනයක් නෙවෙයි ඒක. එමගින් අපේ අපනයක ක්ශේත්‍ර සහ ආනයන වෙළදාම නැවත යතා තත්වයට ගේන්න පුලුවන්. ආර්තිකයට පොඩි පිම්මක් ගන්න පුලුවන්. එතනදි  අන්තර්ජාතික මූල්‍ය අරමුදලට යා යුත්තේ නැවත එම ආයතනයට නොයන ආකාරයට අපේ ආර්ථිකය හදන සැලස්මකුත් එක්කයි.  

ඒ වගේම කෙටිකාලීනව අපි මුලින්ම අපේ මූලිකම ආනයනය වන ඛණිජ තෙල් මිල ලෝක වෙළදපොලත් එක්ක සමපාත වෙන මිල ක්‍රමයක් හදුනවා දෙන්න ඕන.  30%ක් වන ලංකාවේ ඇති හැකි අය ඛණිජ තෙල් වලින් 70%ක් භාවිතා කරනවා. ලෝක වෙළදපොලේ මිල එක්ක වෙනස් වන ක්‍රමයකින් අපේ වැඩිම ආනයන භාණ්ඩය සහ වැඩිපුරම ඩොලර් වියදම් වෙන ඛණිජ තෙල් වලට වෙන බලපෑම අඩු කරන්න පුලුවන්.  

 මේ දෙකම ටිකක් තිත්ත බෙහෙත් බොනවා හා සමානයි. නමුත් සිහිය නැතිවෙලා අසාධ්‍ය මට්ටමේ ඉන්න ලෙඩෙක්ට විටමින් සී දිල සිහිය ගන්න අමාරු බව අපි තේරුම් ගන්න ඕන. 

ඒ වගේම රජයේ වියදම් සීම කරන්නම වෙනවා. අලුතෙන් රජයට සේවකයන් බදවා ගැනීම නවත්තන්න වෙනවා. දැටමත් අපි එකතු කරන හැම බදු රුපියලකින් ශත 86ක් යන්නෙ රජයේ සේවකයන්ට පඩි ගෙවන්න. ඉතිං තවත් සේවකයන් බදවගෙන පඩි ගෙවන්න සල්ලි කොහෙන්ද? බොහෝ අයට හිතන දෙයක් තමයි  රජයේ සේවකයන් බදවා ගැනීමෙන් රට සංවර්ධනය කරන්න පුලුවන් කියන එක. ඒත් එය මිත්‍යාවක් බව නිදහසෙ පසු අවුරුදු 70ම   එක ලෙස පෙන්වල තියෙනවා.  

මධ්‍යකාලීන විසදුම් 

තිත්ත බෙහෙත් වර්ග තුනක් එක ළග බිව්වම පොඩ්ඩක් අපිට ඔලුව උස්සන්න පුලුවන් වෙනවා. නමුත් අපේ සමාජයේ ඉන්න දුප්පත්ම පිරිසට වෙන පීඩනය අවම කරන්න අපි ඉක්මනටම ක්‍රමයක් හදන්න ඕන. දැනට ඒකට තියෙන ක්‍රමය නම් සමෘද්ධිය. ඒත් සමෘද්ධිය සැබෑවට හිමිවිය යුතු අයයි, හිමිනොවිය යුතු අයත් ඒක ලබාගන්නව.  ඒවගේම සමෘධිය ලැබෙන්න ඕන විශාල පිරිසකට ඒක ලැබෙන්නෙ නෑ. ඒ නිසා සමෘද්ධි ලැයිස්තුව  සුද්ද කරන්න ඩිජිටල් ක්‍රමයක් හදුන්වා දිය යුතුයි.  ඒ වගේම සමෘධිය ස්ථර කීපයකට තිබීම වැදගත්. දුප්පත්ම අයට වැඩි මුදලකුත්, ඊට වඩා තමක් දුප්පත්කම අඩු අයට සදහා ඊට අඩු මුදලකුත් ඉලෙක්ට්‍රොනික ක්‍රමයක් හරහා යන ආකාරයට හදන්න ඕන.  යම් විදියකින් තෙල් මිල වැඩි වීම, කිරිපිටි ඉල වැඩි වීම, ගෑස් මිල වැඩිවීම, විදුලි මිල වැඩි වීම වගේ අවස්තාවලදි දුප්පත් කම වැඩිම පිරිසට මිල වැඩිවීමට අනුරූප සහනාධාරයක් මුදල් වශයෙන් සෘජුව ලබාදීමට හැකියාවක් ලැබෙනවා. එමෙන්ම මිල අඩු වෙද්දි එම සහනාධාරය නැවත අඩු කිරීමට හැකියාවක් ලබා දෙනවා. සරළව කියනවනම් හැම මාසෙකටම එකම සමෘධි මිලක් වෙනුවට ජීවන වියදමත් එක්ක ඉහළ පහළ යන සමෘධි ක්‍රමයක් සැදිය යුතුය. එවිට සමාජයේ දුප්පත් පිරිසට එයින් ගොඩ එන්න අවස්ථාව හිමිවෙනව.

ඉන්පසු මධ්‍යකාලීනව කිසිම තේරුමක් නැති විශාල පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූගගත කිරීම අනිවාර්යයි. අර්බුදයෙන් ගොඩ ඒමට නම් බොහෝ ඒවා පෞද්ගලීකරණය කරන්න වීම නවත්වන්න අපහසුයි. ඒ සදහා දේශීය ආයෝජකයන්ට සහ දේශීය සහ විදේශීය ව්‍යාපාර සංකලන වලට අවස්තාව ලබා දිය හැකියි. බොහෝ දෙනෙක් නොදන්න දෙයක් නම් මේ ආයතන වල විශාල පාඩු ගෙවන්නේ සාමාන්‍ය දුප්පත්ම ජනතාව බව. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම පළමු මාස 4ට පමණක් බිලියන 24ක් පාඩු ලැබුවා. මාස 4ට ලැබූ පාඩුව අපි සමෘද්ධියට මුලු අවුරුද්දටම වෙන් කරන මුදලින් අඩකට සමානයි. මේ දක්වා එම ආයතයන ලබා ඇති මුලු පාඩුව බිලියන 372ක්. එය මේ වසරේ සමෘධියට වෙන් කර ඇති මුදල වගේ 7 ගුණයක්. තවත් සරල කරනවා නම්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු නොලැබුවේ නම්, ඒ මුදලින් පමණක් මේ වසරරේ සමෘධිය 7 ගුණයක් වැඩි කිරීමේ හැකියාව තිබුණ.

එතරම් පාඩු ලබන ආයතන තබා ගෙන මේ ආර්තික අර්බුදයෙන් ගොඩ එන එක පහසු නෑ. ශ්‍රී ලංකන් කියන්නෙ මේ වගේ පාඩු ලබන එක ආයතනයක් පමණයි. මෙවැනි රජයට අයිති ආයතන 527කට ආසන්න සංඛ්‍යාවක් තිබෙනවා. ඉතින් ඒවයින් සැලකිය යුතු වෙනසක් නොකර මේ ප්‍රශ්නයෙන් ගොඩ ඒම දවල් දකින සිහිනයක්. මේ සමහර තීන්දු තිත්ත බෙහෙත් වගේ ජනප්‍රිය නොවන තීන්දු වීමට ඉඩ තිබෙන බව රහසක් නොවෙයි. ඒ බවත් අපි විවෘතව පිළිගැනීමට නිහතමානී විය යුතුයි. 

මීළග මධ්‍යකාලීන විසදුම සදහා දැනටමත් ජනාධිපතිතුමා කමිටුවක් පත් කරනු ලැබූවා. ඒතමයි අනවශ්‍ය නීති රීති සහ බාධාවන් ඉවත් කිරීමේ කමිටුව. ඒ හරහා ව්‍යාපාර කිරීමට තිබෙන අනවශ්‍ය නීති ඉවත් කිරීම අනිවාර්යයි. එතකොට ව්‍යාපාර වල පිබිදීමක් නිරායාසයෙන් ඇති වෙනවා. 

දිගු කාලීන විසදුම් 

දිගු කාලීනව අපි මුලින්ම අපේ ඉඩම් ප්‍රශ්නය විසදිය යුතුමයි. දැනට ලංකාවෙ ඉඩම් වලින් 80%ක් අයිති රජයට. ඒ නිසා අපේ තියන මූලික ප්‍රශ්නය තමයි ඉඩම් නිසි පරදි ඵලදායීව භාවිතා නොකිරීම. එය අපේ ගොවිතැන, කෘෂිකර්මය වගේම අපේ වනාන්න්තර සදහාත් මේ ඉඩම් අයිතිය බලපානවා. අපේ කෘෂිකර්මාන්තයට තාක්ෂණය සේන්දු වීමට නම් ඉඩම් වල සින්නක්කර අයිතිය සහ ඔප්පු ජනතාවට ලැබීම සිදුවියම යුත්තක්.  එහිදී බැංකු හරහා මුදල් මූල්‍ය පද්ධතියට මුදල් එකතු වීමෙන් ආර්තිකයේ විශාල පිම්මක් ඇති කළ හැකියි. ඉඩම්වල අයිතිය ජනතාව ලැබුණු විට ඒ හරහා ණය ලබා ගැනීමෙන් විවිධ ව්‍යාපෘති ආරම්භ කිරීම, කෘෂිකර්මාන්තයට ඉඩම් අවශ්‍ය තාක්ෂණය ගෙන ඒමට කරන ඉදිකිරීම් වශයෙන් විශාල තාක්ෂණික සහ ආර්තික විප්ලවයකට පාර කැපිය හැකියි. 

එමෙන්ම මෙරට උසාවි වල විශාල ලෙස එකතුවී තියෙන නඩු හබ බොහොමයක් ඉඩම් නඩු. ඒ අනුව උසාවි වල නඩු එකතු වීමෙන් අධිකරණ ක්‍රියාවලියම සම්පූර්ණයෙන්ම අකාර්යක්ෂම වෙලා තිබෙනවා. අධිකරණ කාර්යක්ෂම කිරීමෙන් අපේ ව්‍යාපාර කාර්යක්ෂම කිරීමට අවස්තාව ලැබෙනවා. ඒ වගේම දැනටමත් ක්‍රියාත්මක වෙන අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම ඉක්මනින් කල යුතුමයි. අධිකරණ ක්ශේත්‍රය කාර්යක්ෂම කිරීම ව්‍යාපාර සංවර්ධනයට විශාල ලෙස බලපානු ලබනවා. 

මීලගට අප දීර්ගකාලීනව අපේ මූල්‍ය පද්ධතිය ආරක්ෂා කිරීම අනිවාර්යයෙන්ම සිදු විය යුත්තක්. අපේ මහ බැංකුවට මුදල් සැපයුම අඩු වැඩි කරන්න පුලුවන් ප්‍රමාණය ගැන නිසි නීති ගෙන ඒම, අපට ස්වාධීනව ණය කළමණාකරණය කළ හැකි ආයතයක් පිහිටවීම සහ මුදල් විෂය භාර වෙනම ඇමතිවරෙක් සිටීම (ජනාධිපති හෝ අගමැති නොවන) වැනි සමස්ත මූල්‍ය පද්ධතියම ආරක්ශාවන දිගු කාලීන විසදුම් අවශ්‍යමයි. මහ බැංකුව අනුගමනය කරන මූල්‍ය ප්‍රතිපත්තිය ස්තාවර කරන, අපට තිබෙන සංචිත මත පමණක් මුදල් සැපයුම වැඩි කල හැකි ක්‍රමයක් සකස් නොකර මේ ප්‍රශ්ණයෙන් ගොඩ එන්න අපහසුයි. 

එම දිගු කාලීන විසදුම් හරියට දිය වැඩියා රෝගියා තරමක් සුවය ලැබූ පසු නැවත ව්‍යායාම සඳහා යොමු වීම වගේයි. 

මේ ඉදිරිපත් කර තිබෙන්නේ විසදුම් වලින් කිහිපයක් පමණයි. අපි නිවැරදි තීරණ නොබියව, නිසි කලට ගතහොත් අපිට මේ අර්බුදයෙන් ගොඩ ඒමට පුලුවන්. එම නිසා අප කළ යුත්තේ නොබියව තීරණ ගනිමින් ඉදිරියට යාමයි. ප්‍රශ්නය ඇති සැටියෙන් දැකීමෙන්ම ප්‍රශ්ණයෙන් 50%ක් විසදෙන බව අපි මතක තබා ගමු. ඒ වගේම දුක අවබෝධ කර ගැනීම දුක නැති කිරීමේ පළමු පියවර අපි සිහියේ තබා ගමු. 

2021 ජූලි 09 වන දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියක්

මූල්‍ය අර්බුදයේ ගිලෙන තෙල් සංස්ථාව ඈවර කරමුද?

සංජීව ජයවීර විසිනි

‘‘ෆේස් ද නේෂන්’’ යනුවෙන් මෑතක දී පැවැත් වූ රූපවාහිනී සාකච්ඡාවක දී වඩාත් පෞද්ගලික අංශයේ අත්දැකීම් ඇති ආර්ථික විද්‍යාඥ පිරිසක් අදහස් පළ කළහ. ඔවුන් කථිකා කළේ මෑතක දී පෙට්‍ර්ල්, ටීසල් ඇතුළු ඉන්ධන මිල වැඩි වීම ගැනයි. ඒ සඳහා සහභාගි වූයේ මුර්තාසා ජැෆර්ජි (ඇඩ්වොකාට ආයතනයේ සභාපති) නිශාන් ද මැල් (වෙරීටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ) ආචාර්ය අනිලා ඩයස් බණ්ඩාරනායක (ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහකාර අධිපති) ශිරාන් ප්‍රනාන්දු (වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික විශේෂඥ) යන අයයි.

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් මුහුණ පා ඇති අන්තරායකාරී තත්ත්වය අවබෝධ කර ගන්නට කිසිදු වෑයමක් නොදැරූ එම සාකච්ඡාව අහන්නට අපූරු කතිකාවක් විය. ඉන්ධන මිල වැඩි කිරීම තරමක් පමාවී සිදු වුව ද එය නොවැළැක්විය හැකි වූවකැයි සැවොම පිළිගෙන තෘප්ත වූවෝය. එහිදී මතු වූ ප්‍රධාන කාරණා කිහිපයක් මෙසේය.

මුර්තාසා ජැෆර්ජි මෙසේ කීවේය.

රජයේ මැදිහත් වීම නිසා වෙළෙඳපොළ බලවේගවලට අනුව මෙහෙයුම් සිදු වෙන්න ඉඩක් නැහැ. සෑම දෙයක්ම හොඳය යන මායාව නිර්මාණය කරමින් ඒ නිසා දැනට තිබෙන ගැටලු තවත් දිගින් දිගටම පවතිනවා. රජය විදේශ විනිමය ගැටලුව විසඳන්නට උත්සාහ කරනුයේ ද්‍රව්‍යශීලතා අර්බුද කළමනාකරණය අරමුණ කරගත් මෙවලම් භාවිතයෙනි. අප අවුරුද්දකට ඉන්ධන ආනයනය උදෙසා ඇමරිකානු ඩොලර් බිලියන 3.5ක් වැය කරනවා. (බැරලයකට ඩොලර් 70 සාමාන්‍ය මිල පවතින විට) වැඩියෙන්ම මුදල් වැය කරන ආනයනය එයයි. සංශෝධනය කළ මිලෙන් අවාසනාවකට මෙන් තවමත් ඩීසල් සඳහා යන වියදම පියවෙන්නේ නෑ. රජය මිල වැඩි කිරීම් කළ යුතුව තිබුණේ අදියර වශයෙන්. නවදිල්ලියේ පැට්‍ර්ටල් ලීටරයක මිල රු. 250ක් බව ඔහු කීවේය.

ලෝක බැංකුව විසින් කරන ලද අධ්‍යනයකට අනුව ඉන්ධන සහනාධාරයෙන් ප්‍රයෝජන ලබන්නේ සියයට 30ක් වූ වඩා ධනවත් අයයි. ඔවුහු මුළු සහනාධාරවලින් සියයට 70ක් බුක්ති විඳිමින් සිටිති. ජනගහනයෙන් වඩාත් දුප්පත් කොටස ඉන්ධන උදෙසා දරන ඉහළ වියදම් ලිහිල් කළ යුතු බවට යෝජනා කළ ඔහු සියල්ලටම පොදුවේ සිල්ලර මිලෙන් දෙන සහනයන් වෙනුවට ඔවුන්ට සමෘද්ධි සහනාධාරය වැනි මූල්‍ය සහනයක් දිය යුතු බව කියයි. ඔහු කියන්නේ ඉන්ධන මිල සමග දේශපාලන හරඹ නොකර ලෙසයි. ඒ නිසා ආර්ථිකයේ මහා හැදැසක් නිර්මාණය වේ. 2019දී රජය තනි පුද්ගලයකු උදෙසා හඳුන්වා දුන් බදු සහන සීමාව අවුරුද්දකට රුපියල්  මිලියන තුනක් වීම ගැන විමතිය පළ කරන ඔහු, එය රටේ ඒකපුද්ගල ආදායම මෙන් සියයට 400ක් බවද කියයි. මෙය සිංගප්පූරුවට ඕස්ට්‍රේලියාව වැනි රටවලට වඩා හාත්පසින් වෙනස් තත්ත්වයකි. ශ්‍රී ලංකාවට වඩා බෙහෙවින් වැඩි ඒක පුද්ගල ආදායමක් ඇති එම රටවල බදු සහන සීමාව සාමාන්‍යයෙන් ඒක පුද්ගල ආදායමෙන් සියයට 20කි.

ආචාර්ය අනිලා ඩයස් බණ්ඩාරනායක මෙසේ කීවාය.

වඩාත් යහපත් අනාගතයක් උදෙසා ඇතැම් අසීරු වැඩකටයුතුවලට නම්මවා ගනු සඳහා නායකත්වය දැඩි තීරණ ගත යුතුය. දැනට රටේ ආර්ථිකයේ කළමනාකරණය භාරව ඉන්නා උදවිය ගැඹුරේ එරී සිටිති.‘‘ෆේස් ද නේෂන්’’ යනුවෙන් මෑතක දී පැවැත් වූ රූපවාහිනී සාකච්ඡාවක දී වඩාත් පෞද්ගලික අංශයේ අත්දැකීම් ඇති ආර්ථික විද්‍යාඥ පිරිසක් අදහස් පළ කළහ. ඔවුන් කථිකා කළේ මෑතක දී පෙට්‍ර්ල්, ටීසල් ඇතුළු ඉන්ධන මිල වැඩි වීම ගැනයි. ඒ සඳහා සහභාගි වූයේ මුර්තාසා ජැෆර්ජි (ඇඩ්වොකාට ආයතනයේ සභාපති) නිශාන් ද මැල් (වෙරීටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ) ආචාර්ය අනිලා ඩයස් බණ්ඩාරනායක (ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහකාර අධිපති) ශිරාන් ප්‍රනාන්දු (වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික විශේෂඥ) යන අයයි.

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් මුහුණ පා ඇති අන්තරායකාරී තත්ත්වය අවබෝධ කර ගන්නට කිසිදු වෑයමක් නොදැරූ එම සාකච්ඡාව අහන්නට අපූරු කතිකාවක් විය. ඉන්ධන මිල වැඩි කිරීම තරමක් පමාවී සිදු වුව ද එය නොවැළැක්විය හැකි වූවකැයි සැවොම පිළිගෙන තෘප්ත වූවෝය. එහිදී මතු වූ ප්‍රධාන කාරණා කිහිපයක් මෙසේය.

මුර්තාසා ජැෆර්ජි මෙසේ කීවේය.

රජයේ මැදිහත් වීම නිසා වෙළෙඳපොළ බලවේගවලට අනුව මෙහෙයුම් සිදු වෙන්න ඉඩක් නැහැ. සෑම දෙයක්ම හොඳය යන මායාව නිර්මාණය කරමින් ඒ නිසා දැනට තිබෙන ගැටලු තවත් දිගින් දිගටම පවතිනවා. රජය විදේශ විනිමය ගැටලුව විසඳන්නට උත්සාහ කරනුයේ ද්‍රව්‍යශීලතා අර්බුද කළමනාකරණය අරමුණ කරගත් මෙවලම් භාවිතයෙනි. අප අවුරුද්දකට ඉන්ධන ආනයනය උදෙසා ඇමරිකානු ඩොලර් බිලියන 3.5ක් වැය කරනවා. (බැරලයකට ඩොලර් 70 සාමාන්‍ය මිල පවතින විට) වැඩියෙන්ම මුදල් වැය කරන ආනයනය එයයි. සංශෝධනය කළ මිලෙන් අවාසනාවකට මෙන් තවමත් ඩීසල් සඳහා යන වියදම පියවෙන්නේ නෑ. රජය මිල වැඩි කිරීම් කළ යුතුව තිබුණේ අදියර වශයෙන්. නවදිල්ලියේ පැට්‍ර්ටල් ලීටරයක මිල රු. 250ක් බව ඔහු කීවේය.

ලෝක බැංකුව විසින් කරන ලද අධ්‍යනයකට අනුව ඉන්ධන සහනාධාරයෙන් ප්‍රයෝජන ලබන්නේ සියයට 30ක් වූ වඩා ධනවත් අයයි. ඔවුහු මුළු සහනාධාරවලින් සියයට 70ක් බුක්ති විඳිමින් සිටිති. ජනගහනයෙන් වඩාත් දුප්පත් කොටස ඉන්ධන උදෙසා දරන ඉහළ වියදම් ලිහිල් කළ යුතු බවට යෝජනා කළ ඔහු සියල්ලටම පොදුවේ සිල්ලර මිලෙන් දෙන සහනයන් වෙනුවට ඔවුන්ට සමෘද්ධි සහනාධාරය වැනි මූල්‍ය සහනයක් දිය යුතු බව කියයි. ඔහු කියන්නේ ඉන්ධන මිල සමග දේශපාලන හරඹ නොකර ලෙසයි. ඒ නිසා ආර්ථිකයේ මහා හැදැසක් නිර්මාණය වේ. 2019දී රජය තනි පුද්ගලයකු උදෙසා හඳුන්වා දුන් බදු සහන සීමාව අවුරුද්දකට රුපියල්  මිලියන තුනක් වීම ගැන විමතිය පළ කරන ඔහු, එය රටේ ඒකපුද්ගල ආදායම මෙන් සියයට 400ක් බවද කියයි. මෙය සිංගප්පූරුවට ඕස්ට්‍රේලියාව වැනි රටවලට වඩා හාත්පසින් වෙනස් තත්ත්වයකි. ශ්‍රී ලංකාවට වඩා බෙහෙවින් වැඩි ඒක පුද්ගල ආදායමක් ඇති එම රටවල බදු සහන සීමාව සාමාන්‍යයෙන් ඒක පුද්ගල ආදායමෙන් සියයට 20කි.

ආචාර්ය අනිලා ඩයස් බණ්ඩාරනායක මෙසේ කීවාය.

වඩාත් යහපත් අනාගතයක් උදෙසා ඇතැම් අසීරු වැඩකටයුතුවලට නම්මවා ගනු සඳහා නායකත්වය දැඩි තීරණ ගත යුතුය. දැනට රටේ ආර්ථිකයේ කළමනාකරණය භාරව ඉන්නා උදවිය ගැඹුරේ එරී සිටිති.

Screenshot (46).png

2015 පෙර පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කමිටුවකට ඇය සහභාගි වූ කාලයේ බොහෝ මන්ත්‍රීවරුන් ඒවාට සහභාගි නොවූ බවත්, පැමිණි මන්ත්‍රීවරු විෂය ගැන අවබෝධයක් නොතිබූ බවත් ඇය කියා සිටියාය. පෞද්ගලික අංශ දැඩි ලෙස විවේචනය කළ ඇය, ඔවුන් කතාව වැඩියෙන් කරන වැඩ නොකරන පිරිසක් ලෙස හඳුන්වා දුන්නේය. එහෙත් අවාසනාවකට මෙන් ඇය, ඇය ද කලක් කටයුතු කළ ‘‘මන්දෝත්සාහී, කාර්යක්ෂම භාවයෙන් තොර රාජ්‍ය අංශය ගැන යමක් කීම ප්‍රතික්ෂේප කළාය.

නිශාන් ද මැල් මෙසේ පැවසීය.

වර්තමාන රජය බලයට පත් වූ විට අතිරික්ත බදු අඩු කරනු ලැබුවා. එවිට රජයේ ආදායම බොහෝ සෙයින් පහත වැටුණු අතර, එය රු. බිලියන 600ක පමණ ගණනකි. මෙම පියවර ගනු ලැබුවේ ආර්ථික වර්ධනය පිණිස වූ උත්තේජන ක්‍රියාවක් ලෙසයි.

මෙම පියවර මගින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබුණේ ද යන්න ගැන තීරණය කිරීමට මෙතෙක් විමර්ශනයක් සිදු කර නැත. අපේ රටේ සැබෑ ආර්ථික දත්ත ​ෙනාතිබීම ගැන ඔහු කනගාටු වූයේය. මේ නිසා රජය විසින් ගනු ලැබූ විවිධ පියවර පසු විපරම් කොට විග්‍රහ කර ගැනීමේ අවස්ථාව වැළකී ගිය බවත්, එමගින් අනාගත සැලසුම් යටපත් වන බවත් ඔහු කියා සිටියේය. බැඳුම්කර මගඩියට සම්බන්ධ ඇතැම් දත්තවලට ප්‍රවේශ වීම වැළකීම උදෙසා මහ බැංකුව අධිකරණයේ නඩුවක් ගොනු කළ බව ඔහු උදාහරණයක් සේ දැක්වීය. මොවුන් නීතිපති දෙපාර්තමේන්තුවට විරුද්ධව පෙනී සිටීමට අධික මිලක් ගෙවා පෞද්ගලික නීතිඥ සහාය ලබාගත් බව ඔහු කියා සිටියේය. අයවැය හිඟය පියවා ගැනීමට රජය දේශීය මූලාශ්‍රවලින් ණය ලබාගෙන ණය දෙන පොලී අනුපාතය උද්ධමන අනුපාතයට පහළ මටටමක පවත්වා ගනී. රජය කිසිදු වියදමක් නොදරා ණය මුදල් ලබා ගනී. අපේ ආර්ථිකය පවතින්නේ දරුණු අඩියකයි.

ඉන්ධන මිල සූත්‍රයක අවශ්‍යතාව

රජය ආර්ථිකය කෙසේ කළමනා කළ යුතු ද යන්න ගැන දැනුමක් සහ අවබෝධයක් ඇති සමහරු දශක කිහිපයක පටන් රජය, ඉන්ධන, විදුලිබලය, ගෑස් සහ තවත් පාරිභෝගික භාණ්ඩ හා සේවා කිහිපයක් සැපයීමේ දී, පිරිවැය සහ ලාභය එකතු කොට මිල සූත්‍රයක් පවත්වා ගත යුතුය යන මතය දැරුවෝය. 2018දී යහපාලන රජය මිල සූත්‍රයක් හඳුන්වා දුන්නේය. ඔවුන් විහිලුවටත්, විවේචනයටත් ඒ නිසා ලක් විය. මැතිවරණය හමුවේ එම ක්‍රමය භාවිත කිරීම හදිසියේම හකුලා ගැනිණි. 2003 තරම් අතීතයක දී සකස් කළ ලේඛනයකට අනුව ඉන්ධන මිල සූත්‍රය පහත ආකාරයෙන් සැකසිය යුතු බව මෙහි යෝජනා වී තිබිණි.

(CIF) පිරිවැය, රක්ෂණ සහ පිරිවහන මිල (නැව් කුලී රහිත මිල (FOB) + පිරිවහන වියදම + රක්ෂණ +  වාෂ්පීකරණ වී අපතේ යන) සියලු වියදම්වලට සහන වියදම් එකතු කිරීම (වරාය + ජැටියේ ගාස්තු  + රේගු සහ තීරු බදු + මූල්‍ය අය කිරීම් +  ගබඩා සහ පර්යත්ත වියදම් +  වෙළෙඳපොළ සහ බෙදාහැරීමේ ගාස්තු) තොග මිල තීරණය වනුයේ ඒ අනුවය.

සිල්ලට මිල තීරණය වනුයේ තොග මිලට පහත දෑ එක් කිරීමෙනි. (සියයට 5ක ලාභ තීරුව +  තොග මිලට සිල්ලට වෙළෙඳාමෙන් සහ බෙදාහරින්නන්ගේ ලාභ තීරුව වන සියයට 2.5 එකතු කිරීම + VAT බදු)

එහිදී ඉන්ධන මිල සිංගප්පූරුවේ සාමාන්‍ය Platts නැව් කුලී රහිත (FOB) මිල සහ හුවමාරු අනුපාතිකය අනුව මාසිකව සසඳා බලා තීරණය කළ යුතුය.

එය ක්‍රියාත්මක කළ හැකිව තිබුණු සරළ මිල සූත්‍රයකි. ලෝක වෙළෙඳ පොළේ තෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවා යන අවස්ථා ඇතුවාට සැක නැත. එවිට සිල්ලර මිල ඊටත් වැඩිවේ. කෙසේ වුවද කිසිම සේවාවක් හෝ භාණ්ඩයක් ඊට යන වියදමට අඩුවෙන් (කෙටි කාලයකට හැරෙන්නට) සැපයිය නොහැකි බව සැවොම දනිති. අවාසනාවකට දශක කිහිපයක් තිස්සේ මෙරට ආණ්ඩු කරන උදවිය මෙකී තාර්කික බව මගහැර සිටියහ. එය නිසි වේලාවේ දී නිවැරැදි දැඩි තීන්දුවක් ගැනීමට නොහැකි වීම පිළිබඳ ගැටලුවකි. ප්‍රබල ආර්ථික කළමනාකරණයක් පවත්වා ගැනීමේ අවශ්‍යතාව අභිබවා කෙටි කාලීන දේශපාලන ජනප්‍රියත්වය බලවත් වී තිබේ. නිදහස ලැබූ දා පටන්ම පෙර දැක්මක් ඇති නායකත්වයක් අපට ලැබී නැති බව පෙනී යයි. කෙසේ වුවද මහජනතාව ද මෙම වරදට ඒ හා සමානව වග කිව යුතුය. ජනතාවගේ හැටියට තමයි ආණ්ඩු ලැබෙන්නේ’’ යන කියමන මෙහිදී හරියටම ගැළපේ.

මීට අමතරව ඉන්ධන මිල ඉහළ යන අවස්ථාවල දී කාර් හිමියන් Car – Pooliy වැනි වියදම බෙදා හදා ගැනීමේ ප්‍රායෝගික ක්‍රමවලට වැඩියෙන් අනුගත වේ. මේ මගින් මූල්‍යමය වාසි හැරුණු විට වාහන තදබදය අඩු වීම සහ වායු දූෂණය අඩු වීම යන වාසි සැලසේ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) අත්විඳි පාඩු.

දැනට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අවසන් වශයෙන් වාර්ෂික වාර්තා ඇත්තේ 2018 දෙසැ. 31 අවසන් වන වර්ෂය සඳහා වීම ගැන මගේ කනස්සල්ල මුලින්ම පළ කළ යුතුය. රාජ්‍ය ආයතනවල සමස්තයක් වශයෙන් පවතින ආකාරයක්ෂමතාව ඒ මගින්ම පිළිබිඹු වේ. එය බෙහෙවින් හෙළා දැකිය යුතු කාර්ය චර්යාවකි. කොළඹ කොටස් වෙළෙඳපොළේ ලේඛන ගත බොහෝ සමාගම් ඔවුන්ගේ වාර්ෂික වාර්තා, මූල්‍ය වසර අවසාන වී දින 90ක් යන්නට මත්තෙන් නිකුත් කරති. ඛනිජ තෙල් සංස්ථාවේ 2018 මූල්‍ය ප්‍රකාශන පරීක්ෂා කිරීමේ දී පහත සඳහන් තතු හෙළිදරව් වේ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) රුපියල් බිලියන 105ක පාඩුවක් අත්කරගෙන ඇත. ඉන් රු. බිලියන 82.7ක් විදේශ විනිමය අනුපාත වෙනස් වීම නිසාය. තවත් රු. බි. 12.9ක් පොලී වියදම් නිසාය. අවාසනාවකට දළ ලාභ මට්ටමේ දී (ආදායම්වලින් ඍණ වියදම් අඩු කළ විට) ද ඇත්තේ රුපියල් බිලියන 3ක පාඩුවකි. 2018 දෙසැ. 31 දිනට ශේෂ පත්‍රයෙන් ඛනිජ තෙල් සංස්ථාව (CPC) රුපියල් බිලියන 325.6කි. සමුච්චිත පාඩුවක් විඳින බව පෙනේ. ණය ගැනුම් රු.බි. 296කි. එසේ වුවද රු. බි. 110.6ක බැංකු තැන්පතු භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජන සහ බැංකු ශේෂයක්ද පවතී. අනෙකුත් වගකීම් රු.බි. 313කි. රු.බි. 245.5ක අානයන උදෙසා ගෙවිය යුතු මිල ඊට අයත්ය.

විගණකාධිපති වාර්තාවට අනුව ඛනිජ තෙල් සංස්ථාව ඇත්තේ බංකොළොත් භාවයේය. එහි මෙසේ කියයි. ‘‘රජයෙන් මූල්‍ය සහයෝගයක් නොමැතිව සංස්ථාව ඉදිරි කටයුතු පවත්වාගත හැකිවේද යන්න පිළිබඳ සැකයක් පවතී.’’

ඛනිජ තෙල් සංස්ථාවේ ක්‍රියාකාරිත්වයේ අට වසරක ඉතිහාසය සහ තවත් වැදගත් තොරතුරු මා (2) වැනි වගුවේ ඇතුළත් කර තිබේ. 2019 හා 2021 සහ 2018 වර්ෂවල දළ මට්ටමෙන් පවා සංස්ථාව විඳ ඇත්තේ පාඩුවකි. එම වසර අටෙන් පහකම බදු ගෙවීමට පෙරාතුවම එම පාඩුව දිස්වේ. 2011 සහ 2012 වර්ෂවල බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක කලාපයේ සාමාන්‍ය මිල වූයේ ඇ.ඩො. 112කි. ඒ අනුව ඉන්ධන මිල වෙනස් නොකිරීමේ ප්‍රතිඵල එහිදී පෙනී යයි. අනෙක් අතට 2013දී බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඇ.ඩො 109 වූ විට සංස්ථාව රු. බිලියන 26ක දළ ලාභයක් පෙන්නුම් කරන්නේ වියදමට සාපේක්ෂව ඉන්ධන මිල සංශෝධනය කළ පසුබිමකය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ දුර්වල කළමනාකාරිත්වය.

අපේ ආර්ථිකය තුළ මූඛ්‍ය කාර්ය භාරයක් ඛනිජ තෙල් සංස්ථාව ඉටු කරන බැවින්, එහි අධ්‍යක්ෂ මණ්ඩලයටත්, ප්‍රධාන කළමනාකරණ තනතුරුවලටත් දක්ෂතා සනාථ කරනු ලැබූ නිපුණ අත්දැකීම් සහිත අය පත් කිරීම අත්‍යවශ්‍යය. සංස්ථාවේ වාර්ෂික වාර්තා පිරික්සූ විට එහි විධායක සභාපති ධුරය මෙරිගෝ රාමුවක මෙන් මාරු වන අයුරු පෙනී යයි. 2017දී වරින් වර පත් කළ සභාපතිවරු තිදෙනෙකි. 2018දී සභාපතිවරු දෙදෙනෙකි. ඛනිජ තෙල් සංස්ථාව වැනි දැවැන්ත ආයතනයක එක දිගට එක් ප්‍රධානියකු නොමැතිව පාලනය කිරීම උගහටය. දක්ෂතාවයෙන් යුතු අය සභාපති ධුරයට පත් කිරීම සැලකිල්ලෙන් කළ යුතු වූවකි. 2017දී ඛනිජ තෙල් අමාත්‍යවරයා තම සොයුරා සභාපති ධුරයට පත් කළේය. එය සැබෑ ඥාති සංග්‍රහයකි. ඊට අමතරව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු සභාපති තනතුරට පත් කර තිබිණි. ඔහු ඊට අදාළ නිපුණතාවක් හෝ අත්දැකීමක් කිසිසේත් ප්‍රදර්ශනය නොකළ අයෙකි. 2007 සහ 2008 වර්ෂවල අපකීර්තියට පත් හෙජින් ගනුදෙනුව සිදු වූයේ තවත් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු සභාපති ධුරය දරන අවධියේය. අප කවදා මේවායින් පාඩම් උගෙන ගනිමුද? 2018දී සභාපති ධුරය ඉසුලුවේ ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ අයෙකි. විවිධ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ට දිය යුතු ගෞරවය දෙමින් මා කියා සිටින්නේ, මා රැකියා කරන කාලයේ එවැනි වාණිජ ව්‍යාපාරයකට අවැසි සියුම් නුවණ භාවිත කොට එවැනි තනතුරක් දැරීමට විශේෂඥ දැනුමැති සුදුස්සන් මා දැක ඇත්තේ පෞද්ගලික අංශයේ බවයි. ලෝක වෙළෙඳ පොළේ පහත වැටුණු තෙල් මිලේ වාසිය අපේ අනාගත සැපයුම් ආරක්ෂා කරගනු වස් ඉවහල් කර නොගන්නේ මන්ද යන ප්‍රශ්නය 2018 වසරේ සභාපතිවරයාගෙන් සහ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් විමසිය යුතුය.

Screenshot (47).png

ඛනිජ තෙල් සංස්ථාවේ විගණකාධිපති වාර්තාව

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ 2017 සහ 2018 විගණකාධිපති වාර්තාව සහ ඊට සම්බන්ධ අතිරේක ආයතනවලට අදාළ විගණාධිපති වාර්තා පිළිවෙළින් පිටු 29කින් සහ පිටු 18කින් සමන්විත වේ. එය දුර්වල ගිණුම් වාර්තා තබාගත් බවට බරපතළ ලෙස කරන චෝදනාවලින් පිරුණකි. අභ්‍යන්තර පාලනය අතින් පවතින නොසැලකිල්ල, ශ්‍රී ලංකාවේ පිළිගත් ගිණුම් ප්‍රමිතීන්ට අනුකූල නොවීම, විගණන සඳහා සාක්ෂි මදිවීම, නීතියට, පාලන නීතිවලට හා නියාමනයන්ට අනුගත නොවීම,

දුර්වල කළමනාකරණ තීරණ, මෙහෙයුම් අකාර්යක්ෂමතාව ගනුදෙනු අඛණ්ඩව නොතිබීම යන කාරණා විගණන වාර්තාවේ බොහෝය.

ඒවායින් කිහිපයක් ලිපිය කෙටි කිරීම උදෙසා පහත දක්වමි. (අවශ්‍ය අයෙක් වෙතොත් ඛනිජ තෙල් සංස්ථාවේ වෙබ් අඩවියෙන් එම විගණන වාර්තා දැකගත හැකිය)

ඛනිජ තෙල් සංස්ථාවේ සහ වෙනත් පාර්ශ්ව අතර ගෙවිය යුතු / ලැබිය යුතු ගිණුම් වාර්තාවල වෙනස්කම් පහත සඳහන් පරිදි පිළිබිඹු වේ.

● සංස්ථාව සහ අනුබද්ධ සමාගමක් වූ සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල් ලිමිටඩ් අතර 2017 දෙසැ. 31ට ශේෂය රු. මිලියන 670.93කි. එය 2018 දෙසැ. 31 දිනට රු. බිලියන 2.47 දක්වා වැඩිවී ඇත.

● සංස්ථාව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර ශේෂය රු. මිලියන 436.78කි. ආදායම් බදු ආර්ථික සේවා ගාස්තු සහ එකතු කළ අගය මත ගෙවිය යුතු බදු ආදිය නොගෙවීම නිසා මෙම ශේෂය පෙන්නුම් කෙරේ.

● 2018 දෙසැ. 31ට විදුලි බල මණ්ඩලය සහ සංස්ථාව අතර ශේෂයේ වෙනස රු. මිලියන 778.3කි.

● ශ්‍රී ලංකා රේගුවට ගෙවිය යුතු මුදල රු. බිලියන 2.7කි.

ඉන්වන්ට්‍රි අයිතම සඳහා දැරූ රු. මි. 142.92 මුදලකට අදාල වියදම් සඳහා විගණන සාක්ෂි නොමැත.

2007 සහ 2009 වසරවල ගනුදෙනුවලට අදාළව මහජන බැංකුවට ගෙවිය යුතු රු. බි. 4.59 මුදලක් සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශයෙන් ඉවත් කොට ඇත. ඊට අමතරව ඛනිජ තෙල් සංස්ථාවෙන් ඇ. ඩො. මිලියන 8.65ක් ඉල්ලා කොමර්ෂල් බැංකුව වාණිජ මහාධිකරණ​යේ නඩු පවරා ඇත. හෙජින් ගනුදෙනුව නිසා 2007-2009 ඇස්තමේන්තුගත පාඩුව රු. බිලියන 14කි.

සංස්ථාවට අයත් බෙදාහරින පිරවුම් හල් සහ භාණ්ඩාගාරයට අයත් පිරවුම් හල් වලින් එකතු කරගත යුතු මාසික උපයෝගී ගාස්තු 2014 ජනවාරි 01 පටන් එකතු කිරීම ක්‍රියාත්මක වී නොමැති නිසා පාඩුව රු. බි. 1.5කි.

සේවකයන්ගේ උපයන විට ගෙවීම් වේතනවලින් අඩු කරගත යුතු වුවද එසේ කර නැත. ඒ හරහා සංස්ථාව දැරිය යුතු මුදල 2017 දී රු. මි. 53.57කි. 2018 දී රු. මි 259.9කි.

2017 දී අමාත්‍යාංශයෙන් මහා භාණ්ඩාගාරයෙන් සහ රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ අනුමැතියෙන් තොරව මෝටර් රථ හතක් මිලදී ගැනීම උදෙසා රු. මිලියන 307.8ක් වැයකර ඇත.

2016 මැයි මාසයේ Hyrax Oil SDN BHD  සමාගම සමග ලිහිසි ද්‍රව්‍ය මිශ්‍ර කිරීමේ කම්හලක් උදෙසා ගිවිසුමට එළඹ ඇත. පිළිගත් ක්‍රමවේදයක් අනුව එය සිදුවී නැත. එම ව්‍යාපෘතිය උදෙසා ශක්‍යතා අධ්‍යනයක් ද කර නැති බව විගණකාධිපති වාර්තාවේ දැක්වේ.

බොහෝ රටවල මෙවැනි විගණන වාර්තා ඇති ආයතනවල සිටිනා වගකිවයුතු නිලධාරීන්ට විරුද්ධව ක්‍රියා කිරීම සිදුවේ. බොහෝ රාජය ව්‍යවසාය ආයතනවල විගණකාධිපති වාර්තාව මේ හා සමාන හෝ මීට අන්ත බව මම විශ්වාස කරමි.

ඉන්ධන මිල දේශපාලනීකරණයේ බලපෑම

ඉන්ධන මිල වැඩි කිරීම සාධාරණීකරණය කරමින් කතා කළ අමාත්‍යවරයා කියා සිටියේ ඛනිජ තෙල් සංස්ථාව මහජන බැංකුවට සහ ලංකා බැංකුව රු. බිලියන 600 පමණ ණයවී ඇති බවය. තවත් ණය ගතහොත් මුළු බැංකු පද්ධතියම අස්ථාවර වන බව හෙතෙම කියා සිටියේය.

ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහනය උදෙසා වූ වියදම් ඉහළගොස් ඇතැම් ජනයා දැඩි අසීරුවට පත් වෙන බවට කිසිදු සැකයක් නැත. එය ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ දුප්පතාට දැනෙන්නකි.

පිරිවැය මිලට අඩුවෙන් භූමිතෙල් අලෙවි කිරීම නිසා සංස්ථාවට රු. බිලියන 14.7ක් අහිමිවී ඇති බව 2018 විගණන වාර්තාවෙන් අනාවරණය වේ. බොහෝ විට සහනාධාර භූමිතෙල් අවභාවිත කොට ඩීසල් වෙනුවට ප්‍රවාහන කටයුතු සඳහා ලබාගෙන ඇත. ජැෆර්ජි කී අයුරු දුප්පතාට මූල්‍ය සහනාධාරයක් දීමෙන් මෙවැනි පොදුවේ දෙන සහනාධාර අවභාවිත වීම වළකා ගත හැකිය.

1996 ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව සම්බන්ධව කරන ලද විග්‍රහයක් මම කියවා ඇත්තෙමි.

‘‘ශ්‍රී ලංකාවේ ආරක්ෂක ජාල රටා බොහොමයක් අතිශය වියදම්කාරීය. ඒවා දුර්වල ලෙස ඉලක්ක ගත කර ඇත. ඔවුන් සම්පත් ප්‍රතිව්‍යාප්තිය කර ඇති මුත් බොහෝ සම්පත් ලැබී ඇත්තේ දරිද්‍ර රේඛාවෙන් ඉහළ ඉන්නා ජනතාවටය. ඉතා දිළිදු ජනයාට ලැබී ඇත්තේ අඩු කොටසකි’’.

වසර 25ක් ගෙවුණු කල පවා එම කියමන අදටත් වලංගුය. ප්‍රධාන පක්ෂ දෙකේම අය කර ඇත්තේ තෙල්මිල දේශපාලනීකරණය කිරීමය. ඔවුන් කළ යුත්තේ බර කරත්තයෙන් යෑම, ත්‍රිරෝද රථවලින් යාම, බයිසිකල්වලින් යාම, වැනි විගඩම් ක්‍රියා නවතා ජනතාව දැනුවත් කිරීමය. නිසි අනුමැතියක් නොමැතිව 2017 දී වාහන සඳහා රු. මි. 307ක් වැය කළ ඛනිජ තෙල් සංස්ථාවේ වගකිව යුත්තන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගත යුතුය.

නිගමනය

මගේ මතය ලංකා ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කළ යුතු තත්ත්වයට පත්ව තිබේය යන්නය. සියයට 51ක බහුතර කොටස් රජය සන්තකයේ තබාගෙන ආණ්ඩුව මැදිහත් නොවී ප්‍රවීණ වෘත්තිකයන්ගේ ස්වාධීන කණ්ඩායමකට එහි කළමනාකරණය භාරදිය යුතුය. එය රජයේ පාඩු ලබන ලංවීම, ජල සම්පත් මණ්ඩලය, ලිට්රෝ ගෑස් වැනි අනෙක් ආයතනවලට ද අදාලය.

එවිට ජවිපෙ ඇතුළු අනෙකුත් වාමාංශික පක්ෂවලින් නැගෙන උද්ඝෝෂණ කෙබඳු වේදැයි මට සිතාගත හැකිය. කාර්ය මණ්ඩලයට වසරකට ගෙවූ රු. බිලියන 6 බිලියන 12.7 දක්වා වැඩිවූ තත්ත්වය තුළ වෘත්තීය සමිතිවල විරෝධය තේරුම් ගත හැකිය. එක් සේවකයකුට සංස්ථාව මසකට දරන වියදම දළ වශයෙන් රුපියල් 180,000කි.

රජය පාඩු ලබන සියලු රාජ්‍ය ආයතන සාර්ථකත්වය කරා මෙහෙයවිය යුතුය. එම ව්‍යුහගත වෙනස්කම් කළ යුතුව තිබුණේ කලකට පෙරය. එය කවදාවත් නොකරනවාට වඩා පමාවී කිරීම වඩා හොඳය.

2021 ජූලි 8 වන දින ලංකාදීපා පුවත්පතේ පළ වූ ලිපියක්

රුපියල බාල්දුවීමේ ආර්ථික විද්‍යාව

රුපියලට සාපේක්ෂව ඩොලරයේ මිල වැඩි වීම බොහෝ දෙනාට තේරුම් ගැනීම අසීරුය. මේ සම්බන්ධ විවිධ මත පළවේ. මේ ගැන බොහෝදෙනා තේරුම් කරන්නෙ ගැඹුරු විදිහටය. මෙය විවිධ අය විවිධ විදියට දැකීමට හේතුවකි. එනම් බොහෝදෙනා විස්තර කරනුයේ එක් කොටසක් පමණි. හරියට අර තරුණයන් කිහිප දෙනෙක්ට කළුවරේ අලියව අල්ලල අලිය මොන වගේද කියල කියන්න කිව්වා සේය. කකුල අහුවුණ තරුණයාට අලියා වංගෙඩියක් විය. කන අසවූ තරුණයාට අලියා කුකුළෙක් විය. මේ නිගමනයන් හැම දෙයම කොටස් වශයෙන් ගත්විට එය සම්පූර්ණයෙන් වැරදි නොවන නමුදු නිවැරැදි ද නැත. එහෙත් අලියා මොන වගේදැයි දැන ගැනීමට නම් මුළු අලියාම එක පාර බැලිය යුතුය.

ඩොලර් එක වැඩි වෙන්නෙ ඇයි? එහිදී අලියගෙ කකුල අල්ල ගත්තා මෙන් එක පිරිසක් මේක අල්ල ගන්නෙ ආනයන අපනයන ගෙනි. ශ්‍රී ලංකාවට ඩොලර් නැති බව රහසක් නෙවේ. වසර ගණනාවක සිට අපට ඩොලර් ලැබෙන්නෙ අඩුවෙනි. මෙය ආනයන අපනයනයන් ගැන විග්‍රහ කරන්නන් පවසන්නේ ‘අපි ඩොලර් බිලියන 20ක් ආනයනය කර, අපනයනය කරන්නෙ ඩොලර් බිලියන 10ක් ලෙසිනි. එනිසා ඉතුරු දහය පිරවීමට අපි ඩොලර්වලින් සල්ලි සෙවිය යුතු බවත්, එහිදී ඩොලරයේ මිල ඉහළ යන බවයි. බැලූ බැල්මට එම තර්කයේ වරදක් නැත. එනිසා ආනයන තහනම් කළ යුතු බව පවසයි. අපනයන විවිධාංගීකරණය කර, අගය එකතු කළ අපනයනයන්ගෙ අවශ්‍යතාව පෙන්වාදේ. ඩොලර්වල මිල වැඩි වීමට බොහෝ ජනප්‍රිය මතය එයයි. නමුත් ඔවුන්ට ලෝකයේ නවීන ආර්ථිකය හැඩ ගැසී ඇති ආකාරය ගැන නිරවුල් අවබෝධයක් නැත. අපේ අපනයන රඳාපවතින්නෙ ආනයන මතය. අපේ ආනයන වලින් 80%ක්ම ප්‍රග්ධන භාණ්ඩ සහ අතර මැදි භාණ්ඩය. එසේ නම් ඩොලර් ඉතුරු කිරීමට ආනයන තහනම් කළ විට අපනයනයද කඩා වැටේ. ඒ ගැටලුවේ එක් පැත්තකි. එමෙන්ම තවත් පිරිසක් පවසනුයේ අප ණය ගැනීම නිසා ඒවා ගෙවීමට ඩොලර් අවැසි බැවින්, ඩෝලර් මිල ඉහළ යන බවයි. තව පිරිසක් ඇමැතිවරු වාහන ගේනව, වියදම් කරන නිසා අපට ඩොලර් හිඟ බව පවසති. මේ සෑම කතාවකම ඇතැම් කොටස්වල සත්‍යතාවක් ඇත. එය අලියගෙ අල්ල ගත්තා සේ පවසන විස්තර වැනිය. එසේ නම් මුළු ප්‍රශ්නයම දිහා බැලිය යුත්තේ කෙසේද?

මේ වන විට රජය සහ විපක්ෂය විශාල මූල්‍ය ප්‍රශ්නයක් ඇති බව පිළිගෙන තිබේ. එය ඉතාම සාධනීය තත්ත්වයකි. ඊට හේතුව ප්‍රශ්නයක් ඇති බව පිළිගැනීම විසඳුමක් සොයා ගැනීමේ පළවෙනි පියවරයි. මෙම ගැටලුවේ බොහෝ දෙනෙක් නොදකින මානයක් නම් ‘මූල්‍ය ප්‍රතිපත්තිය“ [Monetary Policy] නැත්තම් මහ බැංකුව රටේ භාවිතයට සපයන මුදල් ප්‍රමාණයයි. සල්ලි අච්චු ගසනවා යනු ඔය මුදල් ප්‍රමාණය වැඩි කිරීමටය.

මෑත කාලයේදී ශ්‍රී ලංකා බහ බැංකුව යම් මුදල් ප්‍රමාණයක් අච්චු ගසන බවත් සඳහන්ය. (ආර්ථික විද්‍යාවෙන් පවසනවා නම් මහ බැංකුව සතුව තිබෙන භාණ්ඩාගර බිල්පත්වල එකතුව තමයි මුද්‍රණය කරන මුදල් ප්‍රමාණය ලෙස සැලකෙන්නේ) දත්ත අධ්‍යයනයේදී පෙනෙන දෙය නම්, සෑම විටම මහ බැංකුව මුදල් අච්චු ගසන විට (රජයේ භාණ්ඩාගාර බිල්පත් ශ්‍රී ලංකා මහ බැංකුව මිලදී ගන්නා විට) ඩොලර් හිඟයක් ඇති වන බවය. මෙය බොහෝදෙනා තේරුම් ගෙන නැත.

සල්ලි අච්චු ගසද්දි බොහෝ දෙනා පවසනුයේ එයින් උද්ධමනය නැත්තම් අපි එදිනෙදා ගන්නා භාණ්ඩවල මිල වැඩිවෙන බවයි. එම ප්‍රශ්නයට පිළිතුරු දෙන මහ බැංකුව සහ ඇතැම් ආර්ථික විද්‍යාර්ථයන් ප්‍රකාශ කරනුයේ ‘ආර්ථික අවපාතයකදී, එනම් මිනිස්සුන්ට රැකියා අඩුවී, පරිභෝජනය සීමා කර ඇති සමයකදී සල්ලි අච්චු ගැහුවට ප්‍රශ්නයක් නැති බවත්, ඇමරිකාව ජපානය වැනි රටවල් ද නිරන්තරයෙන් සල්ලි අච්චු ගසන බවත්ය. එසේ කිරීමෙන් ආර්ථිකයට නව පණක් ඇවිත් සක්‍රීය වෙන වන බවත්ය.

එම තර්කන ගෙන එන්නන්ට අමතක වෙන දෙයනම් ඇමරිකාව සහ ජපානය වැනි රටවල් භාවිත වන්නේ ස්ථාවර මෙන්ම මුළු ලෝකයේම ඉල්ලුමක් තියෙන මුදල් ඒකකවලට බවයි. ඒ නිසා ඔවුන්ට එසේ කළ හැකිවුවද අපිට එසේ කිරීම දුෂ්කරය. අප එසේ කළ විටම ඩොලර් අඩුවී එය විනිමය ප්‍රශ්නයක් දක්වා දුරදිග යනු ඇත. (Balance of payment crisis - BOP crisis)

2019 වර්ෂයේ මුල් වකවානුවේදිත් මේ ප්‍රශ්නය මෙලෙසම පැන නැගුණි. රජය සතුව තිබූ බිලියන 68ක්ව පැවති භාණ්ඩාගාර බැඳුම්කර බිලියන 180 දක්වා වැඩි කරනු ලැබීය. එනම් රුපියල් බිලියන 112ක පමණ මුදලක් ක්‍රමාණුකූලව මුද්‍රණය කළේය. නමුත් නැවත මූල්‍ය පද්ධතියේ තිබූ මුදල් අවශෝෂණය කිරීමත් සමග තත්ත්වය වසර අග වන විට තරමක් සමනයකට පත්විණි.

දැන් තත්ත්වය 2019 මුල් භාගයට වඩා වෙනස්ය. 2019 මුල්භාගයේ බහ බැංකුව සතුව තිබූ රු. බිලියන 112 වටිනා භාණ්ඩාගාර බිල්පත් සමග සැසඳීමේදී මේ වනවිට බිලියන 919 ක් පමණ ප්‍රමාණයක් මහ බැංකුව සතුව භාණ්ඩාගාර බිල්පත් ඇත. එනම් 2019 අනවශ්‍ය ලෙස මුදල් මුද්‍රණය කරන ලද කාලයට සාපේක්ෂවත් තවත් බිලියන 800 කට ආසන්න මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර තිබේ. ඒ අනුව 2019 මුල් වකුවානුවේ ඇති වූ ආකාරයේම ඩොලර් අර්බුදයක් දැන් ඇතිවී තිබීම නොවැළැක්විය හැකිය.

රුපියල් මුද්‍රණය කළ විට ඩොලර් අඩු වෙන්නෙ කෙලෙසද? එයට හේතුව නම් රුපියල මුද්‍රණය කිරීමේදී අපේ පර්භෝජනය වැඩිවේ. අපේ පරිභෝජනයේ වැඩි කොටසක් තිබෙනුයේ ආනයනවලින් සමන්විත වියදම්වලිනි. උදාහරණයක් ලෙස අපි නිවසක් සාදනව නම් යකඩ සිමෙන්ති ඇතුළු බොහෝ දේ ආනයනය කිරීමට සිදුවීම නැවැත්විය නොහැකිය. ඒ නිසා මෙය පාලනය කළ හැක්කේ අපගේ පාරිභෝජනය අඩු වීමෙන් සහ වෙළෙඳපොළ ක්‍රමය මත පදනම් වී ස්වභාවික මිල තීරණය වීමකට ඉඩ දීමෙන් පමණි.

සල්ලි අච්චු ගැසීමෙන් සිදුවන සිද්ධාත්නය බොහෝදෙනාට අවබෝධ කරගත නොහැක්කේ අපේ රුපියල සහ පිටරට මුදල් ඒකකයි අතර ඇති සම්බන්ධතාව අවබෝධ කර ගැනීම අසීරු බැවිනි. මෙය අවබෝධ කර ගැනීමට නම් මුදල් බිහිවීමේ ඉතිහාසයට යා යුතුය. අතීතයේ මුදල් තිබුණේ රත්තරන් රිදී වැනි කාසිවලිනි. නෝට්ටු නොතිබිණි. එසමයේ අලුතින් සල්ලි අච්චු ගසනවා නැති නම් කාසි හදනවා යනු වැඩි වැඩියෙන් රත්තරන් රිදී වැනි වටිනා ලෝහ තවත් භාවිතයට ගැනීමය. සරලව පවසනවා නම් සෑම කාසියකම වටිනාකමට ගැළපෙන රන් හෝ රිදී හෝ වටිනා ලෝහයක් ඒ කාසිය ඇතුළෙම ගැබ් වී ඇත. එනිසා කෙතරම් කාසි හැදුවද ගැටලුවක් නොවිණි. ඊට හේතුව නම් කාසියත් සමගම යම් කිසි නිෂ්පාදනයක් සහ ක්ෂය නොවන වටිනාකමක් එකී කාසි‍යේ ගැබ්ව තිබීමයි. වර්තමානයේ භාවිත කරන නෝට්ටු කිසිදු වටිනාකමක් නැති කොළ කැබැල්ලකි. එයට වටිනාකමක් ලැබෙනූයේ අදාළ රජයෙන් දෙන නීතිමය වටිනාකම පමණි. මේ නෝට්ටුවට යම්කිසි වටිනාකමක් ලබාගන්න කරන එක දෙයක් නම්, මේ නෝට්ටුව සාමාන්‍යයෙන් මිල ඉහළ පහල නොවන රත්තරන් හෝ ඇමරිකානු ඩොලර්, ස්ටර්ලිං පවුම් වැනි ස්ථාවර මුදල් ඒකකයක් හෝ ඒකක කිහිපයක් සමග ඇමිණීමයි. එය හඳුන්වනුයේ Peg කරනවා යනුවෙනි. ඇතැම් රටවල ඔවුන්ගේ රටේ මුදල් ඒකකය මෙවැනි ස්ථාවර මුදල් ඒකකත් සමග සෘජුවම, තදින්ම අමුණා ඇත. එනම් එකී රටවල මූල්‍ය පද්ධතියේ ඇති සම්පූර්ණ භෞතික මුදල් ප්‍රමාණය (Money base) ඔවුන්ගේ රටේ තිබෙන රත්‍රන්, ඩොලර්, ස්ටර්ලිං පවුම්, වැනි ස්ථාවර මුදල් ප්‍රමාණයට සමාන හෝ අඩුය. අලුතින් මුදල් අච්චු ගැසිය හැක්කේ ස්ථාවර මුදල් ඒකක වල වටිනාකමට පමණි. හිතුමතයට මුදල් අච්චු ගැසිය නොහැක. මුදල් අච්චු ගහනවා නම්, ඒ අච්චු ගහන මුදල් ප්‍රමාණයට සමාන ප්‍රමාණයකින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් තමන්ගෙ සංචිත වැඩි කළ යුතුය. එය විනිමය පාලක ස්වභාවයක් ලෙසින් හඳුන්වයි. (Currency Board). Currency Board යනු නීතිමය රාමුවක් මිස මිනිසුන් සිටින සභාවක් නොවේ. මිනිස්සු සිටිනුයේ දෛනික කටයුතුවලට පමණි.

ඒ වගේ රටවල් වලට මහ බැංකුවක් අවශ්‍ය නැත. නීතියෙන්ම මුදල් අච්චු ගැසිය හැක්කේ ‍රට සතුව තිබෙන සංචිත ප්‍රමාණයට පමණි. හොංකොං වැනි රාජ්‍යයන් අනුගමනය කරනුයේ Currency Board ක්‍රමයයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අනුව දැනට රටවල් 48 ක් පමණ Currency Board භාවිත කරයි. ඇතැම් රටවල් කෙළින්ම තම රටේ මුදල් ඒකකයක් නොමැතිව ස්ථාවර මුදල් ඒකකයක්ම භාවිත කරයි. Dollarization යනු එයටයි. පැනමාව වැනි රටවල් භාවිත කරනුයේ කරන්නේ ඇමරිකානු ඩොලරයයි. (පැනමානු බැල්බෝලාව[Balboa] තිබුණ ද මූලිකව භාවිත වන්නේ ඇමරිකානු ඩොලර්ය. මෙවැනි ක්‍රමයක් පාවිච්චි කරන්න දැඩි මූල්‍ය විනයක් අවැසිය. ඊට හේතුව යම් ගැටලුවක් ඇති වුවහොත් මැද්දට පැන මුදල් සැපයීමට කිසිවෙක් නොමැතිවීමයි. එලෙස සැපයීමට ද නොහැක. උදාහරණයක් ලෙස ආණ්ඩුවේ වියදම ආදායමට වඩා වැඩි වූ විට මහ බැංකුවෙන් මුදල් ඉල්ලිය නොහැක. වැඩිපුරම මහ බැංකුව මුදල් අච්චු ගසනූයේ රජයේ වියදමටය. රජයේ වියදම වැඩිවන විට ඉබේම ඩොලර් අඩුවේ. මාර්ගවල ඉන්ධන සහ නොයෙක් ව්‍යාපෘති වල වැඩිපුරම ඇත්තේ ආනයනය. රජය වැඩිපුරම මුදල් විය‍දම් කරන්නෙ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, මහා මාර්ග වැනි දේටය. ඒ සෑම දේම ආනයනය. (රාජ්‍ය සේවක වැටුප් සහ අනෙක් සුබසාධන වියදම් හැරුණු විට).

මෙරටද Currency Board එකක් හෝ ඒ සමාන ආකෘතියක් ඉදිරිපත් කළ හැකි නම් මේ ප්‍රශ්නය අපිට යම් තාක් දුරකට සමනය කරගත හැකිය. එය කළ නොහැක්කේ ආණ්ඩුවේ ආදායමට වඩා වියදම වැඩි බැවින් මුදල් අඩුවෙන සෑම මොහොතකම මහ බැංකුවෙන් මුදල් ඉල්ලීම නිසාය. බොහෝ අය රුපියල අවප්‍රමාණ වීම, ඩොලර් නොමැතිවීමට හේතුව විදිහට ආනයනය දැක්කට සත්‍ය ලෙසම රුපියල අවප්‍රමාණ වන්නේ වැඩිපුර මුදල් අච්චු ගහන නිසාය. වැඩිපුර මුදල් අච්චු ගහන්න වෙන්නේ ආණ්ඩුවේ ආදායමට වඩා වියදම වැඩි නිසාය. ලංකාවෙ රුපියල් ට්‍රිලියන 1 ක් (බිලියන 1000) පමණ අය වැය පරතරයක් තියෙනව සෑම වර්ෂයකම. එනිසා ඩොලර් අඩුවෙන්න මුල්ම හේතුව මුදල් අච්චු ගැසීම සහ රජයේ වියදම වැඩිවීමයි. එමෙන්ම අලියා සම්පූර්ණයෙන් දකින්නෙ නැතුව කොටස් වලින් අල්ලා නිගමනය දෙනා මෙන්ම මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන් නොදැක විසඳුම් යෝජනා කිරීම ප්‍රශ්නය තවත් වැඩිවීමක් බවත් මතක තබාගත යුතුය.

2021 ජූලි 02 වන දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියක්