අත්‍යාවශ්‍ය භාන්ඩවල මිල වැඩිවීම හේතුපල දහමින් තේරුම් ගනිමු

මේ දිනවල වැඩියෙන්ම කතාබහට ලක්වෙන්නේ ඇයි මේ භාණ්ඩවල මිල එක පාරටම වැඩි වෙන්නෙ කියල. සුපුරුදු විදියටම ඉතිං භාණ්ඩවල මිල වැඩි වෙනවා කියන්නෙ පවතින රජය සෑහෙන්න බැනුම් අහන වැඩක්. ඒනිසා වැඩි වෙන බඩු මිලට එක එක හේතු පැහැදිලි කරනවා.

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ බඩු මිල වැඩි වෙන්නේ වෙළෙඳුන් බඩු හංගගෙන වැඩි ලාභ උපයාගන්න කරන උප්පරවැටියක් නිසා කියල. වෙළෙඳුන් විතරක් නෙවෙයි, බොහෝ වෙලාවට පවතින ආණ්ඩුව කියන්නෙත් මේක රජය අපහසුතාවට පත් කරන මහා කුමන්ත්‍රණයක්, මේකට විරුද්ධ පක්ෂයත් සම්බන්ධයි කියල.

වර්තමාන වෙළෙඳ අමාත්‍යවරයා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස එවකට පැවැති රජයේ භාණ්ඩවල මිල වැඩිවීම සහ මිල පාලනය දැඩිව විවේචනය කළා. එවකට පැවති ආණ්ඩුව ප්‍රකාශ කළෙත් බඩු මිල ඉහළ යාම එවක විපක්ෂය වෙළෙඳුන් සමග එක්වී රජය අපහසුතාවට පත් කිරීමට කරන දේශපාලන කුමන්ත්‍රණයක් බවයි. වසර කිහිපයකට පසුව ආණ්ඩුව සහ විපක්ෂය දැන් මාරු වී එම තර්කයම දෙපැත්තේ සිට බෙදා ගැනීමෙන් සහ ජනතාව කාලෙන් කාලෙට එම තර්කයම පිළිගැනීමෙන් පෙනෙන්නේ ලංකාවෙ බොහෝ දෙනෙක්ට තවමත් බදු මිල ඉහළ යාම ගැන අවබෝධය ඉතාම අඩුයි කියල. ඕනෑම ක්‍රමවේදයක් පිළිබඳව අවබෝධය අඩුවුණාම එය කුමන්ත්‍රණයක් ලෙස දැකීම සාමාන්‍ය දෙයක්. දැන් එක පාරටම භාණ්ඩ ගණනාවක මිල ඉහළ ගිහිල්ලා. හැමෝටම ප්‍රශ්නයක් මොකක්ද මේ වෙන්නේ කියල.

මීට ප්‍රතිචාරයක් විදියට රජය විශාල මිල පාලනයක් යොදවමින් පාරිභෝගික අධිකාරිය හරහා රජය නියම කරන ලද මිලකට භාණ්ඩ විකිණීමට ව්‍යාපාරිකයන්ට බල කිරීමත් නව නීති තත්ත්වයන් ක්‍රියාත්මක කරමින් අත්‍යවශ්‍ය භාණ්ඩ විකීණීම සහ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවවාන් කිරීමත් දැක ගත හැකියි. විපක්ෂයත් යෝජනා කරන්නේ අඩු මිලට රජය භාණ්ඩ පාලන මිල යටතේ ලබා දිය යුතු බවයි.

ආණ්ඩුවේ සහ විපක්ෂයේ මෙම ප්‍රකාශවලින් පෙනෙන්නේ ඔවුන් දෙපාර්ශ්වයටම මෙම ප්‍රශ්නය ගැන එතරම් අවබෝධයක් සහ මේ පිටුපස තිබෙන ආර්ථික විද්‍යාව පිළිබඳ අවබෝධයක් නොමැති බවයි. ආණ්ඩුව සහ බොහෝ දෙනා පුදුම වී බලා සිටින්නේ වැට් (VAT) බද්ද සහ තවත් බදු වර්ග මෙතරම් අඩු කරත් බඩු මිල අඩු වන්නේ නැත්තේ කුමන හේතුව නිසාද යන්නයි. බොහෝ දෙනෙක්ට නොතේරෙන කරුණ තමයි භාණ්ඩ වල මිල වැඩිවීම යනු ප්‍රතිඵලය මිස හේතුව නොවෙයි. එම නිසා ප්‍රතිඵලයට බලපෑම් කිරීමට උත්සහ කිරීමෙන් හේතුවට කිසිම වෙනසක් වෙන්නේ නෑ. ඒ නිසා එකම ප්‍රතිඵලය නැවත නැවත සිදුවීම වැළැක්විය නොහැකියි.

බුදු දහමේ මූලිකම හරය තමයි හේතුඵල දහම. සරලව කියනවනම් ප්‍රතිඵලයට බලපෑමක් ඇති කිරීමට නම් අප ප්‍රතිඵලය ඇතිවන හේතුවලට බලපෑමක් ඇති කළ යුතුයි.

දැන් අපි තේරුම් ගන්න ඕන ඇයි එහෙනම් භාණ්ඩ මිල වැඩි වෙන්නේ කියල. ඇඩ්වොකාටා ආයතනයේ බත් කරි ඉන්ඩිකේටර් දර්ශකයට අනුව ආහාර භාණ්ඩවල මිල පසුගිය වසරේ ජූලි මාසයට සාපේක්ෂව මේ වසරේ ජූලි මාසයේදී 45%කින් වැඩිවී තිබෙනවා. පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව 30%කින් ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකුව නිකුත් කර ඇති උද්ධමනය 6% ඉක්මවා වර්ධනය වෙමින් පවතිනවා.

සමහර දෙනෙක් අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ වල මිල මේ දිනවල ඉහළ යන නිසා එම භාණ්ඩවල මිල ඉහළ යාම ශ්‍රී ලංකාවේ භාණ්ඩවල මිල ඉහළ යාමට බලපාන බවයි. එහි යම් සත්‍යතාවක් තිබුණත් එය සම්පූර්ණ සත්‍ය නොවේ. මේ දිනවල මුළු ලෝකයේම විවිධ හේතු නිසා භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇති බව සත්‍යයක්. විවිධ භූ දේශපාලන ඝට්ටන, කොවිඩ් තත්ත්වය, නැව් ගාස්තු වල ඉහළයාම, බොරතෙල් මිල ඉහළ යාම ආදී විවිධ හේතු ඒ සඳහා බලපානු ලබනවා. ඒ වගේම ලෝක වෙළෙඳපොළේ භාණ්ඩවල මිල නිතරම ඉහළ පහළ යනු ලබනවා සහ එලෙස භාණ්ඩ මිල ඉහළ ගිය ප්‍රථම අවස්ථාව මෙය නොවෙයි. අවසාන අවස්ථාවද මෙය නොවේවි.

ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය භාණ්වල මිල ඉහළ යාමට ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාම බලපාන්නේ සුළු වශයෙන්. ශ්‍රී ලංකාවේ භාණ්ඩවල මිල ඉහළ යාමට තවත් හේතු ගණනාවක් බලපානු ලබනවා.

විදේශ විනිමය අර්බුදය

ඉන් ප්‍රධාන හේතුවනම් විදේශ විනිමය අර්බුදය නැතහොත් අවශ්‍ය තරමට ඩොලර් නොමැතිවීමයි. අවශ්‍ය තරමට ඩොලර් නොමැති නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරන ආනයන ව්‍යාපාරිකයන්ට බැංකුවෙන් ඩොලර් ලබා ගැනීම ඉතාම අපහසුයි. ඒ වගේම ඩොලර් ලබා ගත්තත් ඔවුන් මිලදී ගන්නේ ඉතාම ඉහළ අගයකටයි. ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවට (Standard Chartered Bank) අනුව ඩොලර් එකක් ඔවුන් ආනයනකරුවකුට බදාදා දිනට අදාළව විකුණන්නේ රුපියල් 224කටයි. එලෙස රු. 224ට ඩොලර් දැන් මිලදී ගැනීමත් පහසු නෑ. බැංකුවේ සෑහෙන රස්තියාදු වීමෙන් තමයි එලෙස ඩොලර් මිලදී ගත හැක්කේ. එම නිසා ආනනයනකරුවන්ට දැන් යන වියදම සහ කාලය වැඩියි. එමනිසා ඔවුන් ආනයනය කරන භාණ්ඩවල මිලත් ඉතා වැඩියි. අවිධිමත් වෙළෙඳපොළේ ඩොලරය රුපියල් 250ට වැඩි මිලකට අලෙවි වන බව වාර්තා වනවා. ඒ වගේම බැංකුවලින් ඉදිරියේදී ඩොලර් මිලදී ගැනීම අපහසු වන නිසා ආනයනකරුවන් ඉදිරි කාලයේදී සිදුවන අපහසුතාද සැලකිල්ලට ගෙන තමයි මිල ගණන් නියම කරන්නේ. ඒ වගේම මිල ගණන් නිතරම ඉහළ යන නිසා භාණ්ඩ අද විකුණුවාට වඩා හෙට විකිණීමෙන් වැඩි ලාභයක් ඉපැයීමට හැකියාව ලැබෙනවා. ඒ අනුව භාණ්ඩවල හිඟයක් නිතරම ඇතිවනවා වගේම සැපයුම අඩුවී ඉල්ලුම වැඩි වීමෙන් භාණ්ඩවල මිල ඉහළ යනවා. ලෝක වෙළෙඳපොළේ භාණ්ඩවල මිල ඉහළ යන මොහොතක විනිමය අර්බුදයක් ඇතිවීම තරම් භාණ්ඩ මිල ඉහළ යාමට දරුණු ලෙස බලපාන තවත් සංකලනයක් නොමැති තරම්. ශ්‍රී ලංකාවේ භාණ්ඩවල මිල ඉහළ යෑමට එය එක හේතුවක්. ඒ වගේම අපගේ විනිමය අනුපාත දිගටම පහළ වැටෙන්නේනම් ඉදිරියේදී තවත් තෙල් මිල ගෑස් මිල සහ කිරිපිටි ඇතුළු ආනයනික භාණ්ඩ ගණනාවකම මිල ඉහළ යාම වැළැක්විය නොහැකියි.

ඒ වගේම මේදිනවල දක්නට ලැබුණු ප්‍රධාන කරුණක් තමයි සීනි සහ සමහර අත්‍යවශ්‍ය භාණ්ඩ තොග ගබඩාවලින් රජය අත්අඩංගුවට ගැනීම සහ ඒවා රාජසන්තක කිරීම. මෙහිදීත් විනිමය අනුපාතවලින් එල්ලවන බලපෑම සහ වෙළෙඳුන් එසේ කිරීමට බලපාන හේතුව අවබෝධ කර ගැනීම වැදගත්.

බොහෝ ආනයනකරුවන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලට ගෙනඑන්නේ ඩොලර්වලින් ලබා ගත් ණයටයි. ඒ අනුව බොහෝ ආයතන මාස 6ක ණය යටතේ තමයි සීනි, කිරිපිටි වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගනු ලබන්නේ. ඔවුන් එම භාණ්ඩ මිලදී ගැනීමට මාස 6කට කලින් ඔවුන්ට ඩොලරයට ගෙවන රුපියල් ප්‍රමාණය තීරණය කිරීමට හැකියාවක් නෑ. කලින් එහෙම හැකියාවක් තිබුණත් දැන් මහබැංකුව පවතින විදේශ විනිමය ගැටලුව නිසා එම හැකියාව නැති කරනු ලැබුවා. (Forward Market). එම නිසා සමහර භාණ්ඩ ආනයනය කර තොග ලංකාවට පැමිණි අවස්ථාවේ ඩොලරයේ අගය පැවතුණේ රු.190ටයි. එම තොග ලංකාවේ වෙළෙඳපොළේ එම මිලට ගණනය කිරීමෙන් අනතුරුව දැන් ආනයන නෞකාව විකුණාත් අවසන්. නමුත් මාස 6 කල් පිරීමේදි දැන් ඔවුන්ට ඩොලරයට රු. 225ක් ගෙවීමට සිදුවෙනවා. එම පාඩුව මකා ගැනීමටත් ඉදිරියට භාණ්ඩ අවශ්‍යවෙයි යන චේතනාවෙන් මෙන්ම වෙළෙඳපොළ විකෘති කිරීමේ චේතනාවෙනුත් යන කරුණුවල සියලු සංකලනයක් ලෙස භාණ්ඩ ගබඩා කර තබා ගැනීම සිදු කරනු ලබනවා.

විදේශ විනිමය අර්බුදයක් ඇති වුණේ ඇයි?

මීළඟට අප සොයා බැලිය යුත්තේ විදේශ විනිමය ප්‍රශ්නයක් ඇති වුණේ කෙසේද යන්නයි. මේ තීරු ලිපියෙන් නිතරම සටහන් කරන පරිදි අධික ලෙස මුදල් මුද්‍රණය කිරීම හෙවත් මූල්‍ය පද්ධතියට වැඩිපුර මුදල් සැපයීමෙන් සිදුවන්නේ රටේ තිබෙන ඩොලර් අඩු වීමයි. උද්ධමනය ඇතිවීමට පෙර සිදුවන්නේ ඩොලර් අඩුවීම සහ විනිමය අනුපාත වැඩිවීමයි. උද්ධමනයට බලපාන්නේ එයින් එන බලපෑමයි. එයට හේතුව වැඩිපුර එකතුකරන මුදල් ආනයන පසුපස ඩොලර් ලෙස ඉවත් වීමයි. අප උදාහරණයකට මේ දිනවල කොවිඩ් තත්ත්වය නිසා රජය ලබාදෙන රු.2000ක මුදල සැලකුවහොත් එම මුදල් බොහෝ වෙලාවට ලබාදෙන්නේ මහ බැංකුවට මහා භාණ්ඩාගාරය විකුණන භාණ්ඩාගාර බිල්පත්වලින් හෙවත් සාමාන්‍ය භාෂාවේ එන මුදල් මුද්‍රණය තුළින්. එසේ කිරීමට සිදුවී තිබෙන්නේ රජය සතුව මුදල් නොමැති නිසයි. (රජයට එලෙස නිතරම මුදල් මුද්‍රණය කිරීමට සිදුවන්නේ රජයේ ආදායමට වඩා වියදම වැඩිවීම නිසයි.) දැන් රු.2000ක දීමනාවක් ලැබෙන පවුලක් මේ මුදල් වියදම් කරන්නේ කෙසේදැයි අපි බලමු. ඔවුන් ආහාර පිසීමට එල් පී ගෑස් මිලදී ගන්නවා. පරිප්පු මිලදී ගනු ලබනවා. සැමන් ටින් එකක් සහ හාල්මැස්සන් මිලදී ගනු ලබනවා. දැන් බැලූබැල්මට ඔය සියල්ලම රුපියල්වලින් මිලදී ගත්තාව වගේ පෙනුණට ඔය සියල්ලම අපි ආනයනය කළ යුතුයි. එසේ ආනයනය කිරීම කියන්නේම ඩොලර් මූල්‍ය පද්ධතියෙන් ඉවත් වීමයි. පළමු අවස්ථාවේදී කිසියම් කෙනෙකු දේශීයව නිපදවන සහල් මිලදී ගත්තෑයයි අපි උපකල්පනය කළත් එයිනුත් කොටසක් වක්‍රාකාරයෙන් ඇදී යන්නේ සහල් මෝල්වල දහනයට අවශ්‍ය ඉන්ධන සඳහා සහ වෙනත් ආනයන සඳහායි.

එහෙමනම් ආනයනද මේ ප්‍රශ්නයට හේතුව?

මෙම පැහැදිලි කිරීමෙන් පසුව බොහෝ දෙනෙක්ට හිතෙන්නේ එහෙනම් ආනයන තමයි ප්‍රශ්නය එහෙනම් අපි ආනයන තහනම් කරන්න ඕන කියන සරල පිළිතුරයි. නමුත් එම පිළිතුරත් වැරදියි. එයට හේතුව ඛනිජ තෙල්, පරිප්පු, ගෑස් වැනි දේවල් අපට රට තුළ නිෂ්පාදනය කළ නොහැකි නිසා අනිවාර්යයෙන්ම ආනයන කිරීමට සිදුවීමයි. අනෙක් පැත්තෙන් ආනයන නැවැත්වීමෙන් භාණ්ඩ අඩුවීමෙන් තවත් ඉල්ලුම වැඩිවී භාණ්ඩවල මිල ඉහළ යා හැකියි. එම නිසා ප්‍රශ්නය ආනයන නොවෙයි. ප්‍රශ්නය වන්නේ අපට ප්‍රමාණවත් තරම් ඩොලර් ඉපැයීමට අපගේ අපනය ලෝක වෙළෙඳපොළේ තරග කිරීමට නොහැකි වීමයි. අප ප්‍රමාණවත් තරම් ඩොලර් උපයනවානම් අපට විනිමය ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

මිල පාලනය සහ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්ද?

නීති දැමීමෙන් සහ මෙම භාණ්ඩවල මිල පාලනය කිරීමෙන් සහ විවිධ ලෙස බලය යෙදවීමෙන්, ආනයනකරුවන් ආනයන සම්පූර්ණයෙන් නැවැත්වුවහොත් අත්‍යවශ්‍ය භාණ්ඩ සම්පූර්ණයෙන් වෙළෙඳපොළෙන් ඉවත් වීම, කළු කඩ වෙළෙඳපොළක් ඇතිවීම, ආනයනකරුවන් බාල භාණ්ඩ ගෙන්වීම වැනි නොසිතන තවත් ප්‍රශ්න ගණනාවක් ඇතිවිය හැකියි. පෘථිවිය සූර්යා වටා ගමන් කිරීම නිසා රාත්‍රිය සහ දහවල උදාවීම සාමාන්‍ය සොභාවික ක්‍රියාවලියක්. අපට රාත්‍රිය උදාවීම තහනම් කරමින් නීතියක් දැමූ පමණින් රාත්‍රිය උදාවීම නතර වන්නේ නෑ. වෙළෙඳපොළ ක්‍රමයත් සොභාවික ක්‍රියාවලියක්. ප්‍රශ්නයේ හේතුවට ප්‍රතිකාර කිරීම වෙනුවට ප්‍රශ්නයේ ප්‍රතිඵලයට නීති දැමීමෙන් භාණ්ඩ මිල පාලනය කිරීම අපහසුයි. ඒ සඳහා වෙළෙඳපොළ ක්‍රමයට ක්‍රියාත්මක වීමට ඉඩ දිය යුතුයි.

2021 සැප්තැම්බර් 03 වන දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියක්