ආනයන තරගකාරී කිරීම අපනයන තරගකාරී කිරීමේම කොටසක්

යුරෝපා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කර ගැනීමත් සමගම ශ්‍රී ලංකාවට මෙතෙක් ලැබෙන GSP Plus පිළිබඳව විවිධ අදහස් පළවීමට පටන්ගෙන තිබෙනවා.

එක් මතයක් වන්නේ GSP Plusවලින් ශ්‍රී ලංකාවේ ඇගලුම් සහ මත්ස්‍ය අපනයනවලට විශාල බලපෑමක් එල්ල වන නිසා එමගින් ශ්‍රී ලංකාවේ දැනට පවතින විනිමය අර්බුදය තවත් ඉහළ යා හැකි බව සහ අපනයන තවත් අඩු විය හැකි බවයි. එමගින් අපේ ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව රු.300ක් විය හැකි බවත් පැව‍සෙනව.

ඊට ප්‍රතිවිරුද්ධ අදහසක් දරන පිරිස් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව මැදි සහ ඉහළ ආදායම් ලබන රටක් වීමත් සමග අපට GSP Plus අනිවාර්යයෙන්ම අහිමි වන නිසා එය ලැබුණත් නොලැබුණත් එතරම් බලපෑමක් ඇති නොවනු ඇති බවයි. තවත් මතයක් වන්නේ GSP Plus 2017 වසරේදී නැවත ලැබීමෙන් පසුව යුරෝපා සංගමයට අපගේ අපනයන එතරම්  වැඩි නොවී ඇති නිසාත් මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමත් සමග අප බ්‍රිතාන්‍යට අපනයනට GSP Plus තිබීමෙන් එතරම් ප්‍රයෝජනයක් නොමැති බවයි.  මෙවැනි අදහස් පිළිබඳව ආර්ථික විද්‍යාත්මක දත්ත මත සරලවඑ තේරුම් ගැනීම වැදගත්.

මොකක්ද මේ GSP Plus කියන්නේ

යුරෝපා සංගමයේ The Generalised Scheme of Preferences (GSP) යන වෙළඳ ගිවිසුම GSP ලෙසින් හැඳින්වේ. එය සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට යුරෝපයට අඩු තීරුබදු යටතේ හෝ තීරු බදු නොමැතිව අපනයනය කිරීමට අවස්ථාව සලසන වෙළඳ ගිවිසුමක්. එමගින් දිළිදු රටවල් වලට යුරෝපයට තරගකාරී ලෙස අපනයනය කර ඔවුන්ගේ දුප්පත්කම නැති කර ගැනීමට වැඩි අවස්ථාවක් ලැබේ.

GSP Plus කියන්නේ මෙම ක්‍රමය යටතේම ඇති GSP සහනය ලබාගන්න රටවල්වලට තවත් අපනයන කාණ්ඩ 7200 ක් (HS Codes) පමණ සඳහා කිසිදු තීරු බදු අයකිරීමකින් තොරව යුරෝපා සංගමයට අයිති රටවල්වලට අපනයනය කළ හැකි තීරුබදු සහන ක්‍රමයයි. (තීරු බද්දක් යනු එක රටක සිට තවත් රටකට භාණ්ඩ ආනයනය කිරීමේදී රේගුව මගින් අයකරන බද්දයි. එම තීරුබදු විවිධ භාණ්ඩ සඳහා වෙනස් වනවා. තීරු බදු නිසා අදාළ භාණ්ඩයේ මිල බදු එකතු වීමෙන් නිරායාසයෙන්ම ඉහළ යනු ලබනවා. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ වාහන ආනයනය තහනම් නොමැති කාලයේදී ඒ සඳහා 150% සිට ඉහළට තීරුබදු අය කළා. එහි අර්ථය නම් ජපානයේ සමාගමක් තාක්ෂණය භාවිත කර, සේවකයන්ට පඩි ගෙවා, විශාල යන්ත්‍රෝපකරණ භාවිත කර විශාල මහන්සියක් දරා උපයාගන්නවාට වඩා දෙගුණයකට ආසන්න මුදලක් ශ්‍රී ලංකාවේ රජය කිසිම සේවයක් නොකර පාරිභෝගිකයාගෙන් තීරු බදු ලෙස අය කර ගැනීමයි. ශ්‍රී ලංකාවේ වාහන ඉතා මිල අධික එම හේතුව නිසයි. මෙය තිරුබදු නිසා භාණ්ඩවල මිලට සිදුවන වෙනසට උදාහරණයක් පමණයි) GSP Plus ලබා ගැනීමට අදාළ රටවල් මානව හිමිකම් පිළිබඳ අන්තර්ජාතික සමුළු සහ තවත් අන්තර්ජාතික සම්මුතීන්, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමවේද සඳහා එකඟතාවය පළ කළ යුතුයි.

2005 වසරේදී GSP Plus ක්‍රමය පටන් ගත්දා සිටම ශ්‍රී ලංකාව එහි සාමාජිකයෙක්. ඉන් අනතුරුව 2010 වර්ෂයේදී අපට GSP Plus සහනය අහිමි වේ. නැවත අපට එම සහනය ලැබුණේ 2017 වසරේදී.

අපනයන දත්ත දෙස බැලීමේදී (ප්‍රස්තාරයට අනුව) 2005 වසරෙන් පසුව යුරෝපා සංගමයට අපගේ අපනයන සීග්‍ර ලෙස වර්ධනය විණි. එමෙන්ම 2008 වසරෙන් පසුව යුද්ධය නිමාවීමත් සමගම අපගේ මුළු අපනයන ප්‍රමාණයත් සීග්‍රයෙන් වර්ධනය විය. එම දත්ත දෙස බැලීමේදී පෙනී යන්නේ GSP Plus සහනය 2010 වසරේදී අපට අහිමිවීමෙන් පසුවත් යුරෝපා සංගමයට අපගේ අපනයනවල යම් වැඩිවීමක් සිදුවූ බවයි. කෙසේ වෙතත් GSP Plus සහනය 2005 දී ලැබීමට පෙර සහ පසු දත්ත සැලකූ විට අපට පෙනෙන්නේ යුරෝපා සංගමයට අපනයන 28% සිට 38% දක්වා වැඩි වී ඇති බවයි. 2017 දී නැවත අපට GSP Plus සහනය ලැබුණු පසුව අපගේ අපනයන යුරෝපා සංගමය වෙත ඇමරිකානු ඩොලර් මිලියන 250කින් පමණ වැඩි වී ඇති බව තමයි දත්ත අනුව පෙනෙන්නේ.

GSP Plus ගැන ආර්ථික විද්‍යාත්මකව බලන්නේ කොහොමද?

මේ ප්‍රශ්නය දිහා ආර්ථික විද්‍යාත්මක බලද්දී මතුපිටින් අපගේ අපනයන දත්ත මත පමණක් බැලීම ප්‍රමාණවත් නෑ. අප මතුපිටින් ගැඹුරට යද්දී අපට පෙනෙන දෙය නම් අපගේ අපනයන වර්ධනයන්ගේ ඉතා පසුගාමී බව. අපගේ ආර්ථික වර්ධනය වන වේගය සමග සැසදීමේදී අපගේ අපනයනවල වර්ධනයක් නෑ. ශ්‍රී ලංකාවේ අපනයන දියුණු නොවීම මුළු රටටම විශාල ගැටලුවක්.

එනිසා මේ දෙස බැලිය යුත්තේ GSP Plus තිබීමෙන් අපගේ අපනයනවලට බලපෑමක් සිදුවේද, නොවේදැයි සිතනවාට වඩා දැනටමත් අපගේ අපනයන කඩා වැටෙන්නේ ඇයිද යන්න පිළිබඳවයි. ප්‍රශ්නය එම කෝණයෙන් බැලීමේදි වැටහෙන මූලිකදේ නම් අපනයනයට බාධාවන් ඇත්තේ රටෙන් පිට නොව රට ඇතුළත බව. ශ්‍රී ලංකා රේගුවෙන් පටන් ගත් විට අපනයනකරුවන්ට තිබෙන නීතිමය සහ නීතිමය නොවන බාධා ඉතා විශාලයි. ඒ සියල්ල විදේශීය බලපෑම් නොවේ. සරල ගමේ භාෂාවෙන් කියනවා නම් අපිට ඉස්සරහට යන්න නොදෙන්නේ පිට මිනිස්සු නොව අපේම මිනිසුන්.

මෙරට අන්තර්ජාතික වෙළඳාම සඳහා බාධාවන් රට තුළින්ම නැගෙද්දි කොතරම් වෙළෙඳ ගිවිසුම් හෝ තීරු බදු සහන ලැබුණද අපනයන දියුණු කළ නොහැකිය. එමෙන්ම අපනයන වෙළෙඳපොළ සහ ජාත්‍යන්තර වෙළඳාම යනු නිරන්තරයෙන් වෙනස් වෙන ඉතාම තරගකාරී වෙළෙඳපොළක්. ලෝකයේ අද ඇත්තේ ඉතා සංකීර්ණ අන්තර් ජාතික වෙළඳාමක්. තරගකාරී ලෙස අපනයනය කිරීමට නම් තරගකාරී ලෙස ආනයනය කිරීමත් අවශ්‍යයි.

ඇඟලුම් කර්මාන්තය එයට කදිම නිදසුනක්. ඩොලර් බිලියන 5ක පමණ අපනයන කිරීමට ඔවුන්ට ආනයනය කිරීමට සිදුවන ප්‍රමාණය ඩොලර් බිලියන 2.5-3.00 අතර ප්‍රමාණයක්. එම තත්ත්වයෙන් සහ එම මිලට ආනයනය කිරීමට හැකියව නොලැබුණොත් බොහෝ විට මුලින්ම කඩා වැටෙන්නේ ඔවුන්ගේ අපනයන.

අපත් සමග තරග කරන රටවල් ශක්තිමත් වීම

අතීතයේ මෙන් අපගේ අපනයන අඩු වන්නේ ඇයිදැයි අප රට සමග පමණක් සසදා බලන්නටත් පුළුවන් කමක් නෑ. අපේ කලාපයේ ඇති අනෙක් රටවල් අපට වඩා තරගකාරී දැයි සොයා බැලිය යුතුයි. එසේ බලද්දි දකුණු ආසියාතික කලාපයෙන් පාකිස්ථානයට GSP Plus සහන ලැබී ඇත. එමෙන්ම ආසියානු කලාපයේ අපි වැනි ශ්‍රමය සමග තරග කළ හැකි පිලිපීනය, ආර්මේනියාව සහ මොන්ගෝලියාව වැනි රටවලටද GSP Plus සහනය ලැබී ඇති බව පෙනේ. අපට වඩා ඔවුන්ගේ අපනයන තරගකාරී වීමද එක සම්භාවිතාවක්.

එමෙන්ම කාලයක් තිස්සේ එකම භාණ්ඩ වර්ග යුරෝපය පරිභෝජනය කරන්නේ නෑ. 2005 සිට 2021 දක්වා වසර 16ක් තුළ මිනිසුන් භාවිත කරන භාණ්ඩ සෑහෙන ප්‍රමාණයකින් වෙනස් වනවා. ඒ අනුව අප තවමත් අපනයන කරන්නේ යුරෝපා සංගමයට ගැළපෙන අපනයනද යන්න නැවත සිතා බැලිය යුතුයි. එතැනදි අපත් සමග කරට කර තරග කරන බංගලාදේශය GSP Plus ලබා ගැනීමට විශාල උත්සාහයක් දරන බවත් අමතක නොකළ යුතුයි. ඔවුන්ට GSP Plus හිමිවීමෙන් දනටමත් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන කර්මාන්තශාල බංගලාදේශයට යොමු වීමට වැඩි අවස්ථාවක් තිබෙනවා. ඇතැම් ශ්‍රී ලාංකික ආයතනවල කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් සහ සේවකයන් බංගලාදේශයේ ව්‍යාපාර කටයුතුවල නිරත වනවා. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාව අමතක කර බංගලදේශය ගැන වැඩිපුර සිතීමට තිබෙන ඉඩද වැඩිය.

අපි මතක තබා ගත යුතු වැදගත්ම දේ නම් යුරෝපා සංගමයේ GSP Plus අහිමිවීමෙන් වෙනත් රටවල් ඔවුන්ව අනුගමනය කිරීමෙන් මෙරට කීර්තිනාමයට විශාල හානියක් සිදුවිය හැකි බව. එමෙන්ම වත්මන් ලෝකයේ වෙළඳපොළ දත්ත සහ තොරතුරු මත තීරණය වන නිසා එක කීර්තිනාමය පලුදු වීමෙන් වෙනත් වෙළඳපොළවල්වලටත් එය බලපෑම් ඇති කළ හැකි බව.

විසඳුම් මොනවාද?

අප අපනයන ප්‍රශ්නය අල්ලා ගත යුත්තේ අපේ තරගකාරීත්වය නොමැතිවීම පැත්තෙන්. අපි මිලෙන් සහ ගුණාත්මක බවෙන් තරග නොකරන තාක් අපනයනවලින් ඉදිරියට ගමන් කළ නොහැකියි.

එහිදී නවීන ලෝකයේ සැපයුම් ජාලා ක්‍රියාත්මක වන ආකාරය අනුව අපනයනය සඳහා ආනයන අවශ්‍ය බව තේරුම් ගැනීමත් වැදගත්. ආනයන නොමැතිව අපනයන කිරීමට උත්සාහ කිරීම ආනයන සහ අපනයන යන දෙඅංශයම කඩා වැටීමේ අවදානමක්. එම නිසා ආනයන තරගකාරී කිරීම අපනයන තරගකාරී කිරීමේම කොටසක්.

ලෝකයේ දැන් තිබෙන ක්‍රමය නම් ඕනෑම සරළ භාණ්ඩයක් වුවත් නිපදවන්නේ කොටස් හා උපාංග විශාල ප්‍රමාණයකින් (Parts and components). එනිසා සරල භාණ්ඩයක් වුවද නිෂ්පාදනයට රටවල් 20ක් 30ක දායක වනවා. විවිධ රටව භාණ්ඩයේ විවිධ කොටස් ආනයනය සහ අපනයනය කරමින් තමයි භාණ්ඩ නිපදවන්නේ. ඔබේ නිවසේ ඇති ඕනෑම සරල භාණ්ඩයක් පිලිබඳව සිතුවහොත් ලෝකයේ රටවල් කීයක් එම භාණ්ඩයට නිෂ්පාදනයට දායක් වී ඇත්දයි ඔබටම අවබෝධ කර ගත හැකියි. එමනිසා මේ ප්‍රශ්නයට විසඳුම නම් ශ්‍රී ලංකාව ලෝකය සමග තිබෙන සැපයුම් ජාලවලට සම්බන්ධ වී එහි කොටසක් අත්පත් කර ගැනීමයි.

GSP Plus දෙස අප බැලිය යුත්තේ එමගින් අපනයන තවත් අඩු වෙනවද තියෙන මට්ටමේම ති‍බෙනවාද යන සරල ආකාරයට වඩා වසර ගණනාවක් ඉදන් අපේ අඩුවන අපනයන අප වැඩි කර ගත හැක්කේ කෙසේද යන ආකාරයෙනුයි.

2021 ජූලි 16 වන දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියක්