වල් වැදුණු තෙල් ටැංකි බිමේ ජාතිය වෙනුවෙන් මල් පිපෙන දිනයක්

මම අන්තර් ජාලයේ  ලිපියක දුටුවා ඉරාකයේ රාත්‍රී පොත් සල්පිලක් ගැන. ඒ ලිපියට අනුව ඉරාකයේ එක් ගමක රාත්‍රී කාලයේ පොත් පත් කියවීමට කැමති අය වෙනුවෙන් පොත් නොමිලේ තබා තිබෙනවා. එය අධීක්ෂණය කිරීමට කිසිවෙකු තබා නෑ. දිනක් මේ අපූරු පොත් සලිපිල දකපු වෙනත් රටක විදේශිකයෙක් ඒ ගමේ මනුස්සයෙක්ගෙන් ඇහුවලු “මෙහෙම පොත් තියල ගියාම මිනිස්සු පොත් හොරකම් කරන්නේ නැද්ද?” කියල'

එතකොට ඒ මනුස්සය දීපු උත්තරේ තමයි “හොරකම් කරන මිනිස්සු පොත් කියවන්නේ නෑ. පොත් කියවන මිනිස්සු හොරකම් කරන්නේ නෑ" කියල. [ the reader does not steal and the thief does not read]

ඒ ප්‍රකාශයේ අනෙක් තේරුම තමයි පොතක් මිලදී අරගෙන ඒක කියවන්නෙ නැතුව ඉන්න මනුස්සයයි, පොතක් මිලදී ගන්නේ නතුව ඉන්න මනුස්සයයි අතර වෙනසක් නෑ කියන එක. තවත් සරලව කියනවනං දනුම කියන්නේ පොතට නෙවෙයි. දැනුම කියන්නේ පොතේ තියන අන්තර්ගතය සැබෑ ලෝකයේ කරන භාවිතාවට.

මේ දිනවල ත්‍රිකුණාමලය තෙල් ටැංකි පිළිබඳව සංවාදය සහ “ජාතික සම්පත්” පිළිබදව නවතත් කතාව කරලියට ආවම මට මේ කතා දෙක පිළිබදව සම්බන්ධයක් පෙනුණා.

අපි ජාතික සම්පත් කියල අපේ බොහෝ ශ්‍රී ලාංකිකයන් හිතාගෙන ඉන්නේ හරියට පොත් ගැන හිතං ඉන්නව වගේමයි. පොත ගෙදර තිබ්බ පමණින් දැනුම තියනවා කියල හිතං ඉන්නව වගේ ලංකාවේ තියන ඕනම දෙයක් ජාතික සම්පතක් කියල තමයි හිතං ඉන්නේ.

ඒත් ඇත්තටම කතාව ඊට වඩා වෙනස්. ජාතික සම්පතක් වෙන්නනං ඒකෙ ධනයක් උත්පාදනය කරන්න ඕන. ධනය උත්පාදනය කරනව වෙනුවට අපේ තියන ධනයත් නැති කරනවනං හරි, අපි කිසිම දෙයකින් ප්‍රයෝජනයක් ගන්නේ නැතුව සාමාන්‍ය භාෂාවෙන් කියනවනං “ඔහේ නිකං තියනවනං" ඒක කවදාවත් ජාතික සම්පතක් වෙන්න බෑ. ලංකාවේ අපි ගොඩක් හිතං ඉන්න ජාතික සම්පත් ඇත්තටම ජාතික සම්පත් වලට වඩා ජාතික අපරාධ.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි පිළිබඳව කතාවත් අන්න ඒ වගේ කතාවක්. නැගෙනහිර පර්යන්තය, පුමුඩේ ඛනිජ වැලි නිධිය, ත්‍රිකුණාමලය වරාය වගේ නිතරම කාලෙන් කාලෙට සැරයක් දේශපාලන වේදිකාවේ එන මෝසම් සුළගක් තමයි ත්‍රිකුණාමලය තෙල් ටැංකි කතාව.

අතීතයට ගියොත් ඔය තෙල් ටැංකි ටික අගලක විතර ඝණකම තියන තහඩු වලින් අප්‍රිකාව වගේ රටවල් වල මිනිසුන්ගේ ශ්‍රමයෙන් අඩියක් විතරම ඝණකම කොන්ක්‍රීට් වලලු වලින් ආරක්ෂාකරල අපිට හදල දුන්නේ බ්‍රිතාන්‍යන් 1924-1930 කාලයේදී දෙවන ලෝක යුද්ධයට භාවිතා කරන්න. එක් ටැංකියක තෙල් මෙට්‍රික් ටොන් 12,000ක් ගබඩා කරන්න පුළුවන් විදියට ටැංකි 102ක් හදන්න සැලසුම් කරල තිබුණත් 1960 දී ගුවන් යානයක් කඩා වැටීම නිසා විනාශවුණු ටැංකි අංක 91 හැරදැමීමෙන් පසුව සහ විවිධ විශ්වාස නිසා ගොඩ නැගීම මග හැරුනු ටැංකි අංක 100 හැරුනු විට තෙල් ටැංකි 100ක් පමණ පවතින බවයි සඳහන් වෙන්නේ. ඒ අනුව මේ ටැංකිවල සමස්ත ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන 1.2.ක්. එය ඉතා විශාල ප්‍රමාණයක්. චීනයේ එක්සිම් බැංකුවෙන් ඩොලර් මිලයන 72ක් ණයට අරගෙන ඩොලර් මිලියන 157ක් වියදම් කරමින් අපි හදපු මුතුරාජවෙල තෙල් ටැංකි සංකීර්ණයේ ධාරිතාව මෙට්‍රික් ටොන් 250,000කට ආසන්නයි. ඉතින් දළ වශයෙන් ත්‍රිකුණාමලයේ අක්කර 850කට භූමියක ධාරිතාව හිතා ගන්න පුළුවන් අපිට.

බ්‍රිතාන්‍යන් ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව මෙම ටැංකි ඉදිකරනු ලැබුවේ මීටර් 30ක් පමණ වන සොභාවික ගැබුරු වරායක් වන ත්‍රිකුණාමලය වරාය හරහා ශ්‍රී ලංකාව බලශක්ති සහ නාවික කේන්ද්‍රස්තානයක් මෙන්ම ආරක්ෂක කටයුතු සඳහා නැව් වලට තෙල් සැපයීමේ මධ්‍යස්තානයක් කිරීමේ අරමුණින්.

ඒ අතරේම 1960 - 1970 දශකයේදී ශ්‍රී ලංකාව ආර්ථිකය සංවෘත කිරීමත් සමගම එවකට පැවති විදේශීය බලශක්ති සමාගම් වලට ශ්‍රී ලංකාවෙන් පිටවන ලෙස නියම කිරීමත් ඒවා රජය පවරා ගැනීමත් අපේ බලශක්ති කෙන්ද්‍රස්තානය වෙන්න තිබ්බ සිහිනය බොඳවුණා. ඒ සමගම එතැන් පටන් තෙල් ටැංකි 100න් තෙල් ටැංකි 15ක් පමණක් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2002 දක්වා භාවිතා කළ බව සඳහන් වෙනවා. පැවැති යුදමය කාල වකවානුව නිසා එම තෙල් ටැංකි භාවිතයට යම් අවදානමක් තිබූ බවත් සත්‍යක්.

ඒ අතරේදී ශ්‍රී ලංකාව එපා කියූ බලශක්ති විදේශ සමාගම් දෑත් දෙකම දිගුකර වැළඳගන්නා බව සිංප්පූරුව ප්‍රකාශ කිරීමත් ඒ වෙනුවෙන් කැප වීමත් සමග අද වන විට ලෝකයේම බලශක්ති සහ නාවික කේන්ද්‍රස්තානයක් බවට සිංගප්පූරුව පත්ව තිබෙනවා. අද ශ්‍රී ලංකාව වැඩිපුර තෙල් ලබා ගන්නේත් සිංගප්පූරුවෙන්ම වන අතර කලාපයේ සහ ලෝකයේ ප්‍රධාන නාවික කේන්ද්‍රස්තානය බවට සිංගප්පූරුව පත් වුණේ එම මොහොතේ ශ්‍රී ලංකාව ලබා ගත් වැරැදි තීරණය නිසා බවයි මගේ අදහස. සිංගප්පූරුව ආයෝජකයන්ට ප්‍රකාශ කළේ ඔබ පැමිණ ඔබේ ආයෝජනය කිරීමෙන් ඔබේ ලාභය ඔබට කැමති නං අරං යන්න කියන එක විතරයි. ආයෝජකයන් ඔවුන්ගේ ලාභය නැවත රැගෙන යාම වෙනුවට එය සිංගප්පූරුවේම ආයෝජනය කිරීම නිසා සිදුවූ විපර්යාසය අපිට හරියටම දැක ගත හැක්කේ අද සිංගප්පූරුව තිබෙන තැන සහ අද ශ්‍රී ලංකාව තිබෙන තැන සංසන්ධනය කිරීමෙන්.

ඉන් අනතුරව අපට ඉරානයේ සහායෙන් තෙල් පිරිපහදුවක් නිමවා ගනීමට අමතරව ඛනිජ තෙල් සහ බලශක්ති ක්ෂේත්‍රයට විශාල යමක් කිරීමට හැකි වුණේ නෑ.

සිංගප්පූරුව ගමන් කළ මාර්ගයේම ගමන් කළ ඩුබායි රාජ්‍යත් කාන්තාරයක්ව පැවති බිම වෙළෙඳ කේන්ද්‍රස්තානයක් බවට පත් කර ගනු ලැබුවා. ඔවුන් නාවික කටයුතු වලින් පමණක් වසරකට උපයන ආදායම ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට වඩා වැඩියි.

ජාතික සම්පතක්ව තිබූ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සහ ත්‍රිකුණාමලය වරාය අප ජාතික අපරාධයක් බවට පත් කර ගත්තේ එලෙසින්. ඉන් අනතුරුව 2002 වසරේදී ශ්‍රී ලංකාව ඉන්දියානු ඔයිල් සමාගම (Lanka IOC) සමාගමට වසර 35කට බදු පදනම යටතේ මෙම තෙල් ටැංකි ලබා දීමෙන් සහ මෙම තෙල් ටැංකි ඒකාබද්ධව සංවර්ධනයට එකඟවීමෙන් [Ceylon Petroleum Storage Terminals Ltd සමාගමේ කොටස් වලින් තුනෙන් එකක් Lanka IOC සමාගම 2002 වසරේදී මිලදී ගනු ලැබුවා] අනතුරුව පැවති යුදමය තත්ත්වය යටතේ මෙම තෙල් ටැංකි සංකීර්ණය නිසි ලෙස භාවිතයට ගැනුණු බවක් පෙනුනේ නෑ. (භාවිතා කළ ටැංකි 15ට අමතරව). මේ පිළිබදව නැවත සාකච්ඡාවක් 2018 වසරේදී එවකට සිටි ඛනිජ තෙල් අමාත්‍යවරයා ඉතිරිව තිබූ තෙල් ටැංකි 85න් තවත් 15ක් Lanka IOC සමාගමට සංවර්ධනය සඳහා ලබා දීමට සැලසුම් කිරීමත් සමග දේශපාලනය නැවත කලබනු ලැබුවා. ඉන් අනතුරුව වර්තමාන ඛනිජතෙල් අමාත්‍යවරයා මේ වසරේ පෙබරවාරි මාසයේදී සියලු තෙල් ටැංකි නැවත ශ්‍රී ලංකාවට පවරා ගන්නා බව සඳහන් කළා. නැවත ඉන්දියානු විදේශ ලේඛම් මෙම තෙල් ටැංකි සංකීර්ණය අධීක්ෂණය කිරීමත් සමග සහ මෙම තෙල් ටැංකි ඉන්දියාව සමග සමග සාකච්ඡා කිරීම සමග නවත අලුත් දේශපාලන, වෘතීය සමිති සහ වැඩවර්ජන රැල්ලක කතිකාවක් ඇරබෙමින් පවතිනවා. සාකච්ඡා සහ ප්‍රකාශ කෙසේ වෙතත් සාමාන්‍ය මිනිසුන් ලෙස අපට දැකිය හැක්කේ සහ ආර්ථික විද්‍යාත්මකව අපට පෙනෙන්නේ මේ ශත වර්ශයකට ආසන්න කාලයක් තුළ කයිවාරු ගැසීම හැර තෙල් ටැංකි වලට සිදුවූ ආර්ථික ප්‍රගතියක් නොමැති බවයි. එම කාලය තුළ අගලක් ඝණකම යකඩ සහ නළ පද්ධති පොළවට මලකඩ කෑවා හැර වෙනත් සිදුවූ දෙයක් නොමති තරම්.

වසර 100කට ආසන්න කාලයක් භාවිත කර නොමැති තෙල් ටැංකි නැවත භාවිතා කළහැකි තත්ත්වයටපත් කිරීමට ඩොලර් බිලියන කිහිපයක විශාල ආයෝජනයක් අවශ්‍යයි. එය කිසි සේත්ම අපට තනිවම කළ හැක්කක් නොවේ. ඒ සඳහා තාක්ෂණය, ප්‍රාග්ධනය, අන්තර්ජාතික සම්බන්ධතා අපට තනිවම කළ හැක්කක් නොවේ. එම නිසා වසර 100ක් කැලෑ වදින්නට ඉඩ හැරි තෙල් ටැංකි තව දුරටත් එලෙසෙම තිබීම ජාතික සම්පත් සුරැකීමක් විය නොහැකියි. ආර්ථික විද්‍යාවේ එන සරලම සංකල්පයක් තමයි ඕනෑම නිෂ්පාදනයකට නිෂ්පාදන සාදක නිසි පරිදි සංකලනය වීමට ඇති අවශ්‍යතාවය. ඒ අනුව භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසාය එකිනෙකට සංකලනය විය යුතුයි. මෙම අවස්ථාවේදී එලෙස සංකලනය වූ කිසිවක් නෑ. ඛනිජ තෙල් සංස්ථාව යනු විශාල ලෙසම පාඩු ලබන රාජ්‍ය ආයතනයක්. එහි අකාර්යක්ෂමතාවය, දේශපාලනය වැනි කාරණා මුල් බැස තිබෙනවා හැරෙන්නට වේගයෙන් සංවර්ධනය වන බලශක්ති ව්‍යාපාරයක ගුණාංග කිසිසේත් ඇතුළත් වී නොමැති බව රහසක් නොවෙයි.

එලෙසෙම අප තෙල් ටැංකි වල ආයෝජනය දැකිය යුත්තේ ත්‍රිකුණාමලය වරාය සමග එකට එක්වයි. වරායක් සහිත නගර ඉතා සීග්‍ර දියුණුවක් ලබන්නේ වරාය ආශ්‍රිත ආර්ථික කටයුතු බහුල වීම නිසයි. කොළඹ නගරය ශ්‍රී ලංකාවේ අනෙක් නගර වලට වසා සීග්‍ර දියුණුවක් ලබා ඇත්තේ වරායවල පිහිටීම නිසයි.

නමුත් සොභාවික ගැබුරු පර්යන්තයක් සහිත ත්‍රිකුණාමලය වරාය දැනට වෙළෙඳ කටයුතු සඳහා මූලික වශයෙන් භාවිතා කරන්නේ සිමෙන්ති කර්මාන්ත ශාලාව සහ ප්‍රීමා සමාගම පමණයි. එය අපගේ සමස්ත නාවික ගමනාගමනයෙන් සහ වෙළඳමෙන් ඉතාම සුළු ප්‍රමාණයක්. එම නිසා ත්‍රිකුණාමල තෙල් ටැංකි විදේශ සමාගමක් සමග දියුණු කිරීම යනු අදාළ මුහුදු තීරයටම සීග්‍ර සංවර්ධනයකට දොරටුව විවෘත කිරීමකි. එමෙන්ම ත්‍රිකුණාමල වරාය මුහුණලා බෙංගාල බොක්ක ආශ්‍රිත විශාල වෙළඳපොළක් සංවර්ධනය වෙමින් පවතී, චෙන්නායි, විශාකා පට්නම්, බංග්ලාදේශය ඇතුළු ජනගහනය විශාල වෙළඳපොළවක් ගණනාවක් තිබෙන්නේ ත්‍රිකුණාමලය වරායට මුහුණලායි. ත්‍රිකුනාමලය වරාය පෙර අපර දෙදිගු මුහුදු මාර්ගයේ පිහිටා නොතිබුණත් ඒ ව්‍යාපාර කේන්ද්‍රස්තානයක් කර ගැනීමෙන් එයට විශාල නාවික බලයක් අත්පත් කර ගත හැකියි. ඒ අනුව අප ත්‍රිකුනාමළය දැකිය යුත්තේ කොළඹ තරම්ම වටිනා ආර්ථික මධ්‍යස්ථානයක් ලෙසයි.

නමුත් ත්‍රිකුණාමලය ජාතික සම්පතක් වන්නේ අප එය භාවිතා කර ධනය ඉපැයීම ආරම්භ කරන දවසටයි. තෙල් ටැංකි, සංචාරක කර්මාන්තය, පුල්මුඩේ ඛනිජ වැලි ආයෝජනය, එප්පාවල පොස්පේට් නිධිය වැනි දෑ අප දැකිය යුත්තේ ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘති ලෙසයි. ඒ සදහා පුද්ගලික අංශයට දොරටු විවර කිරීම සහ ආයෝජකයන්ට දොරටු විවර කිරීමකින් තොරව එම සම්පත් සැබැවින්ම ජාතික සම්පත් කිරීමට අපට හැකියාවක් නෑ. එම සම්පත් එලෙසම භාවිතයට නොගෙන තිබීමෙන් වන්නේ එම සම්පත් ජාතික අපරාධ බවට පත්වීම පමණයි.

එය හරියට අප පොතක් ගෙන එය කියවා දැනුම අවශෝෂණය කර එම දැනුම යෙදෙවීම වගේයි. එතෙක් අපට අප සතුව අති පොත් ගැන කයිවාරු ගැසිය හැකි වුවත් පොතේ නිසි ප්‍රයෝජනය ලබෙන්නේ එහි දැනුම යොදවන දවසටයි. ත්‍රිකුණාමල වරාය සහ ත්‍රිකුණාමලය තෙල් ටැංකි යන දෙකම දැනට ජාතික අපරාධයක් වී ඇති දේශපාලන පාපන්දුවක් පමණි. එය ජාතික සම්පතක් වන දාට ආයෝජකයන්, නාවුක සමාගම්, මූල්‍ය සමාගම්, සංචාරකයන්, විවිධ රටවල ජාතිකයන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්, ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් ත්‍රිකුණාමලයේ විශාල ලෙස දැකිය හැකි වනු ඇත. එම දිනය උදාවන තුරු “ජාතික සම්පත්” ගැන කතා වෙන සෑම දේශපාලන මෝසම් කුණාටුවකදීම අප මතක තබා ගතයුතු වැකිය වන්නේ “හොරකම් කරන මිනිස්සු පොත් කියවන්නේ නෑ. පොත් කියවන මිනිස්සු හොරකම් කරන්නේ නෑ” යන ඉරාන වැකියයි.

2021 ඔක්තෝම්බර් 08 දින අරුණ පුවත්පතේ පලවූ ලිපිය