ආනයන ක්‍රෝධ නැත්තෝ වෙම්වා!

ඉදිරි දිනවලදී ඉදිරිපත් වීමට නියමිත අයවැය පිළිබඳව දැන්ම කතාබහක් ඇතිවී තිබෙනවා. අය වැය සැලැස්මේ ප්‍රධාන කරුණු 3ක් පිළිබඳව අවධානය යොමුකරන බවට මේ දක්වා මාධ්‍ය වාර්තා පලවී තිබුණා.

1. නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම සහ එම සංකල්පය ඉදිරියට ගෙන යෑම

2. දේශීය ව්‍යාපාර දියුණු කිරීමේ අරමුණින් ආනයන තහනම දිගටම ක්‍රියාත්මක කිරීම

3. ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් හෙවත් අවශ්‍ය වූ විට ශ්‍රී ලංකා මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් මිලදී ගනිමින් (මුදල් අච්චු ගසමින්) රජයට අවශ්‍ය මුදල් සැපයීම ඉන් කැපී පෙනුනා.

මුදල් අමාත්‍යවරයා ඔහුගේ පාර්ලිමේන්තු කතාවෙන් ආර්ථිකයේ තිබෙන ගැටලු සහ ප්‍රශ්නයේ ගැඹුර ඉතා මැනවින් හඳුනාගෙන තිබුණා. අප ඉදිරියේදී බලාපොරොත්තු වන්නේ එම ආර්ථික ප්‍රශ්නවලින් එළියට පැමිණීමට යෝජනා කර ඇති විසඳුම් ප්‍රමාණවත්ද සහ එම විසඳුම් වල දිශාව නිවැරැදි ද යන්නයි. එතනදි මූලික වශයෙන්ම ආනයන තහනමින් දේශීය කර්මාන්ත දියුණු කළ හැකිද යන්න පිළිබඳව වගේම ඒ පසු පස තිබෙන ආර්ථික විද්‍යාව පිළිබඳව සොයා බැලීම වැදගත්. මේ ගැන තේරුම් ගැනීමට අපි සරල උදාහරණයක් ගමු.

බොහෝ වෙලාවට අපට අමතක වෙන දෙයක් තමයි ජයග්‍රහණය කිරීම තිබෙන්නේ තමන්ගේ ක්‍රියා කලාපය තුළ මිස ප්‍රතිවාදියාගේ දෑත් මත නොවන වග. අපිට සාමාන්‍යයෙන් විභාගයක් සමත් වීමට අවශ්‍ය නම් අප මුලින්ම කළ යුතු වන්නේ අපි මහන්සි වී පාඩම් කිරීමයි. විභාගයට වාඩි වීමට බලාපොරොත්තුවෙන් සිටින අනිත් අයට විභාගයට වාඩි වීමට තහනම් කිරීමෙන් අපට විභාගය සමත් විය නොහැකි බව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවෙයි.

එම මූලධර්මයම ආර්ථිකයටත් එලෙසම බලපානු ලබනවා. අපත් සමග තරග කරන ආනයන තහනම් කිරීමෙන් අපගේ භාණ්ඩ හා සේවාවල ගුණාත්මකභාවය වැඩි කළ හැකි බව විශ්වාස කිරීම හරියටම අපත් සමග විභාගය ලිවීමට බලාපොරොත්තු වන අනෙක් අයව විභාගයට වාඩි වීම තහනම් කිරීමෙන් අපට විභාගය සමත්විය හැකි බව විශ්වාස කිරීම හා සමානයි.

නමුත් බැලූ බැල්මට අපත් සමග තරග කරන ආනයන තහනම් කිරීමෙන් අපට වාසියක් ලබා ගත හැකි බව පෙනෙන්නට මූලිකම හේතුව අපට ඇති විදේශ විනිමය ප්‍රශ්නයයි. අපට විදේශ විනිමය අර්බුදයක් ඇතිවන සෑම අවස්ථාවකම අපට ප්‍රශ්නය ලෙස පෙනෙන්නේ ආනයනයයි. එයට හේතුව ආනයන සඳහා විදේශ විනිමය වැය කිරීමට සිදුවීමයි. නමුත් සැබවින්ම ප්‍රශ්නය විදේශ විනිමය වැය වීම නොවෙයි. අප විදේශ විනිමය ප්‍රමාණවත් තරම් ඉපැයීමට අපොහොසත් වීමයි. ආනයන තහනම් කළ යුතුයි යන මතය දරන බොහෝ දෙනා නිතරම ඉදිරිපත් කරන්නේ වෙළෙඳ ශේෂය අවම කිරීමට නම් ආනයන අඩු කළ යුතු බවත් එමගින් අපගේ වෙළෙද ශේෂය අඩු කළ හැකි බවත්ය. නමුත් අපට පැහැදිලිවම පෙනෙන දෙය නම් අපගේ විභාගය සමත් වීමට වැදගත්ම සාධකය අපි විභාගයට පාඩම් කිරීම මිස අනෙක් අය විභාගයට සූදානම් වන්නේ කෙසේද යන්න නොවේ.

නමුත් ශ්‍රී ලංකාවට මේ මොහොතේ විදේශ විනිමය අර්බුදයකට මැදිවී සිටින යථාර්ථයත් අප තේරුම් ගත යුතුයි. එම යථාර්ථයෙන් බැහැරව අප කටයුතු කිරීම නුවණට හුරු නොවේ. කෙසේ වෙතත් දේශීය කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් ආනයන තහනම් කිරීම දේශීය කර්මාන්ත දියුණුවට කිසිසේත්ම උදව්වක් නොවන බව නම් ඉතාම පැහැදිලියි. එය උදව්වක් වනවාට වඩා ඇත්තටම දේශීය කර්මාන්ත තවත් වළපල්ලට යැවීමට පාර කැපීමක් බවත් අමතක නොකළ යුතුයි.

එය හරියට අපගේ දරුවෙකු විභාගයක් වංචාකර විභාගය සමත් වීමට අනුබල දීමෙන් දරුවාගේ අනාගතයට වැඩිම හානිය අපිම කරන්නාක් වගෙයි.

ශ්‍රී ලංකාවේ මෙලෙස ආනයන තහනම් කර තිබෙන භාණ්ඩ වර්ග ගණනාවක් වසර 30-40ක් ඉක්මවූ පසුත් තවමත් සැලකිය යුතු වර්ධනයක් නොලැබීම ආනයන තහනමින් දේශීය ව්‍යාපාර දියුණු නොවූ බවට උදාහරණ ඕනෑ තරම් තිබෙනවා.

අපගේ නානකාමර සහ ටයිල් වර්ග දැනට වසර 30ක පමණ කාලයක සිට ආනයන සඳහා විශාල බදු පනවා තිබුණත් තවමත් ක්ෂේත්‍රයක් ලෙස අපනයන දියුණු වී නෑ. ඒ වගේම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන සපත්තු වර්ග, බිස්කට් වර්ග, කෘෂි භාණ්ඩ වැනි බොහෝ දේ සඳහා දශක කිහිපයක් විශාල ලෙස ආනයන වලට බදු හරහා තහංචි පනවා තිබුණත් එම ක්ෂේත්‍රවලින් ශ්‍රී ලංකාව ප්‍රධාන අපනයනකරුවකු නොවන බව රහසක් නොවේ. සරලවම එම ක්ෂේත්‍ර දියුණු වී නැහැ. එහි තේරුම නම් ආනයන තහනම් කිරීමෙන් දේශීය කර්මාන්ත වර්ධනය නොවන බවයි.

ආනයන තහනම් කිරීමෙන් දේශීය කර්මාන්ත දියුණු කළ හැකියි යන මතවාදය ශ්‍රී ලංකාවේ පමණක් දක්නට ලැබෙන මතයක් නොවෙයි. එය ලෝකය පුරා දැකිය හැකි මතයක් නිසා මෙයට සහයෝගය දක්වමින් සහ ප්‍රතිවිරුද්ධව නිතරම අදහස් ඉදිරිපත් කෙරෙනවා.

ශ්‍රී ලංකාව තුළ ආනයන තහනම් කිරීමෙන් දේශීය නිෂ්පාදන දියුණු කළ හැකි බවට විශ්වාස කරන බොහෝ දෙනෙක් උදාහරණයකට ගන්නේ ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ සහ මේ කලාපයේ සමහර ආනයන කාණ්ඩ සඳහා තිබෙන ආනයන බදු ප්‍රතිශතයි. (Import Duty). නමුත් ආනයන බදු පමණක් සංසන්ධනය කිරීමෙන් මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීමට අපහසුයි. එයට හේතුව ශ්‍රී ලංකාවේ ආනයන බදු වලින් වැඩිම බදු ප්‍රමාණයක් තිබෙන්නේ CESS (සෙස් බදු) සහ Port and Aviation Levy (PAL) (ගුවන් සහ වරාය බදු) ආදී ආනයන බදු වර්ගීකරණයට පිටින් තිබෙන බදු වර්ගයි. Para Tariff යනුවෙන් හඳුන්වන්නේ මෙම බදු වර්ගයි. එම බදු වර්ග ඇතුළත්ව සැලකූ විට අපගේ ආනයන බදු කලාපයට සාපේක්ෂව ඉතා ඉහළ අගයක්. (Effective rate of protectionism) එම නිසා ආනයන බදු වැඩි කිරීමෙන් දේශීය කර්මාන්ත දියුණු කළ හැකියි යන්න විශ්වාස කිරීම එතරම්ම සාර්තක තර්කයක් නොවේ.

ආනයන තහනම් කිරීමෙන් දේශීය ව්‍යාපාර දියුණු කළ හැකි බව විශ්වාස කරන තවත් බොහෝ දෙනෙක් ගෙන එන තර්කයක් නම් ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ඉන්දියාව වැනි රටවල් සමහර භාණ්ඩ කාණ්ඩ සඳහා පනවා ඇති ඉහළ තීරු බදු ප්‍රමාණයි. එම රටවල් ඉහළ බදු පනවන්නේ නම් අප වැනි කුඩා රටවල් වලට එලෙස කළ නොහැක්කේ ඇයි දැයි නිතරම ප්‍රශ්න කෙරෙනවා.

අප තේරුම්ගත යුතු වැදගත් කරුණක් වන්නේ අප අනුගමනය කළ යුතු වන්නේ ආර්ථික විද්‍යාව විනා විවිධ රටවල්වල ආකෘතියේම කාබන් පිටපතක් නොවෙන බවයි. ලෝකයේ බොහෝ ධනවත් රටවල් වල ආර්ථික ප්‍රතිපත්ති ඔවුන් පෙන්වන තරම් සුදු නොවන බව රහසක් නොවෙයි. එම නිසා ඔවුන් කළ පමණින් අපිත් එයම කරන්නට යෑමෙන් අපි ලොකු අමාරුවක වැටෙනවා. අනෙක් කරුණ නම් එම රටවල් වල ජනගහනය සාපේක්ෂව ඉතාම වැඩියි. එම නිසා ඔවුන්ගේ දේශීය වෙළෙඳපොළ තුළ පමණක් මෙහෙයුම් කිරීමෙන් සැලකිය යුතු ලාභයක් ලබා ගත හැකියි මෙන්ම නිපදවන කවර හෝ භාණ්ඩයක විශාල ප්‍රමාණ (High quantities) නිපදවීමෙන් එක් ඒකකයක් සඳහා යන මුදල (Cost per unit) අවම කර ගත හැකිය. (Economies of scale)

නමුත් ශ්‍රී ලංකාව වැනි කුඩා දූපතකට එම ක්‍රමය නොගැළපෙන්නේ අපගේ වෙළෙඳපොළ ප්‍රමාණය ඉතාම කුඩා නිසායි. එම නිසා එම ක්‍රමවේදය අපට ගැළපෙන ක්‍රමයක් නොවෙයි.

ඒ වගේම තවත් තිබෙන මිත්‍යා මතයක් තමයි කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ආනයන සමග තරග නොකළ හැකි බවට ඇති මතයයි. එම මතය නිවැරැදි නොවන බව තේරුම් ගැනීමට ඇති එක් උදාහරණයක් නම් ඇඟලුම් ක්ෂේත්‍රයයි. ඇඟලුම් ක්ෂේත්‍රයේ දැවන්තයන් සිටියත්, ඒ සමග ගොඩනැගුණු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගණනාවක් ගෝලීය වෙළෙඳපොළේ තරග කර හැකි මට්ටමට තරග කරනු ලබනවා. එම නිසා තරග කිරීමට බලපාන්නේ දක්ෂතාවය සහ කාර්යක්ෂමතාවය මිස වෙනත් සාධක නොවේ. ශ්‍රී ලංකාවේ කුඩා නිවාස ඒකකවල සහ කුඩා පරිමාණයෙන් විශාල ලෙස ඇඟලුම් ක්ෂේත්‍රයේ ලෝක ප්‍රකට සන්නාම සඳහා නිමි ඇඳුම් නිපදවෙනු ලබනවා.

ආනයන තහනම් කිරීමෙන් දේශීය කර්මාන්ත දියුණු වන්නේ නම් ලෝකයෙන් වැසී තිබෙන උතුරු කොරියාව වැනි රටවල් සීග්‍ර දියුණුවක් ලබා ගත යුතුයි. නමුත් දත්ත දෙස බැලීමේදී යථාර්ථය ඊට වඩා හාත්පසින්ම වෙනස්. දේශීය කර්මාන්ත දියුණු කිරීමේ උපක්‍රමයක් ලෙස ආනයන තහනම් කිරීම වැරදි පූර්වාදර්ශයක්ද සපයනු ලබනවා. එමගින් ව්‍යාපාරිකයන් පවා රජය මත සහ ඔවුන් පනවනු ලබන බදු මත යැපෙන තත්ත්වයක් උදාවනවා. දැනටමත් රැකියා මත සහ දේශපාලන බලපෑම් වලට යටත් වන විශාල පිරිසක් සිටීම රජයට විශාල අපහසුවක්. මෙමගින් එම තත්ත්වය තවත් වර්ධනය වනු ලබනවා.

ඒ වගේම දේශීය කර්මාන්ත දියුණු කිරීමේ චේතනාවෙන් ආනයන සඳහා විශාල ක්‍රෝධයක් ජනතාව තුළ ඇති කිරීම ද දැකිය හැකියි. එය හරියට බුදු දහමේ එන රත්වන අඟුරු කැබල්ලක් අතින් ගෙන තමාගේ සතුරා දැවී යන ලෙස ප්‍රාර්ථනා කිරීමට සමානයි. එම ක්‍රෝධයෙන් දැවී යන්නේ අපිම බව අපට වැටහෙන්නේ නෑ. මොහොතකට අප සිතුවහොත්, අප ආනයන ගැන ඇතිකරණ ක්‍රෝධයම ලෝකයේ අනෙක් රටවල් අපගේ රටෙන් ඔවුන් ප්‍රධන ලෙස අපෙන් ආනයනය කරන (අපි අපනයනය කරන) තේ, ඇඟලුම් වැනි දේ සඳහා ඇති කිරීමට උත්සහ කළ හොත් අපගේ ආර්ථිකයට වන බලපෑම කෙබඳු විය හැකිද?

එම නිසා නිසැකවම අපගේ අරමුණ දේශීය කර්මාන්ත දියුණු කිරීම බවට විවාදයක් නැත. වැදගත් වන්නේ අප දේශීය කර්මාන්ත දියුණු කරන්නේ කෙසේද යන්නයි.

ඇපගේ මීළඟ අයවැය දේශීය කර්මාන්ත දියුණු කිරීම බව වීම සුබ ලකුණක්. නමුත් දේශීය කර්මාන්ත දියුණු කළ හැක්කේ ආනයන තහනම් කිරීමෙන් බව සිතීම අප විශාල මිරිඟුවක් පසු පස හඹා යාමක්. ආනයන පිළිබඳව ක්‍රෝධයක් ඇති කිරීමෙන් නොව අප තරගකාරීත්වයට මුහුණ දීමෙන් පමණක් අපට ඉදිරියට යා හැකි බව බුදු දහමට මෙන්ම ආර්ථික විද්‍යාවට ද සත්‍යය.

2021 සැප්තැම්බර් 24 වන දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියක්