Price Controls

හාල් ගැරීම සහ හාල්වලින් ගැරීම

හාල් ගැරීම සහ හාල්වලින් ගැරීම 

මං ඉස්කෝලේ යන කාලේ ගියපු විද්‍යා පන්තියේ පුංචි තුණ්ඩු කෑල්ලක ප්‍රශ්න ලියලා සර්ට යවන්න පුළුවන්. මේ ප්‍රශ්න කියවන්නෙ ඉස්සරහම පේලියේ හිටපු ළමයෙක්. එක දවසක් ප්‍රශ්නෙ කියවපු ගමන් මුළු පන්තියටම බකස් ගාලා හිනා ගියා. ප්‍රශ්නෙ තමයි ‘ආච්චිට හාල් ගරන්නේ කෙසේද?’

අපි පුංචි කාලේ හාල් කඩෙන් ගෙනාවාට පස්සේ, කුල්ලෙන් පොළලා වී ඇට, දහයියා අයින් කරලා, නෑඹිලියක දාලා කළු ඇට අයින් කරලා ආයෙත් පාරක් හාල් සුද්ද කරලා, ගල් කැට, වැලි කැට අයින් කරලා (ගරලා) තමයි උයන්න ගන්නේ.

පස්සේ කාලේ හාල් මෝල් දියුණු වෙනවත් එක්කම හාල් පිරිසිදු කරලා කළු ඇට අයින් කරලා ගල්කැට අයින් කරලා උසස් තත්ත්වයෙන් හාල් එකපාරම උයන්න පුළුවන් විදියට මිලදී ගැනීමේ හැකියාව ලැබුණා. අන්න ඒ නිසා දැන් ඉන්න අපේ ආච්චිලට හාල් ගරන්නේ නැතුව හෝදලා එකපාරම උයන්න පුළුවන් වුණා. අද කතාව හාල් සහ ලංකාවේ ගොවිතැන ගැන. සහල් වල පාලන මිල ඉවත් කිරීමත්, ඒ මිල වී මෝල් හිමියන් තීරණය කළා කියන චෝදනාවත් එක්ක සමාජයේ විශාල කතා බහක් ඇති වෙලා. සුපුරුදු විදියට අපේ අදහස දේශපාලන කෝණයෙන් මිදිලා ආර්ථික විද්‍යාත්මකව මේ ප්‍රශ්නය දිහා බැලීමයි.

අපි දත්ත (Data) දිහා සහ විසඳුම් (Solution) දිහා පොඩ්ඩක් බලමු.

1. ශ්‍රී ලංකාවේ අවුරුද්දකට එක පුද්ගලයෙක් හාල් 108kg පරිභෝජනය කරනවා. ලෝකය අනෙක් රටවල් වල සාමාන්‍ය මනුස්සයෙක් (Average rice consumption) හාල් පරිභෝජනය කරන්නේ අවුරුද්දට 54Kg විතරයි. සරලව කියනවා නම් ලංකාවේ මිනිස්සු සාමාන්‍ය මනුස්සයෙක්ට වඩා දෙගුණයක් බත් කනවා.

එතකොට එන ප්‍රශ්නය තමයි මෙච්චර හාල් කන රටේ අවුරුදු ගාණක් තිස්සේ ගොවියෝ දුප්පත් වුණේ කොහොමද කියලා. අන්න එතකොට අපි ඔක්කොම එකතු වෙලා බනිනවා හාල් මෝල් අයිති පුද්ගලයන්ට . අතරමැදියා සල්ලි හොයනව - ගොවියා දුප්පත් වෙනවා කියල . ඒ මතයේ ඇත්ත නැත්ත බලන්න කලින් අපි පොඩ්ඩක් ප්‍රශ්නය ගැඹුරට යන්න ඕන.

ගොවියන් නිතරම කියන්නේ හාල් මොල්වල අය අපෙන් වී මිලදී ගන්නේ ඉතාම අඩු මිලකට රජය ඒ නිසා සහතික මිලකට අපෙන් වී මිලදී ගන්න කියල. නැත්තං මෝල් හිමියන්ට වී මිලදී ගන්න අවම මිලක් තීරණය කරන්න කියලා. ගොවියන්ගෙන් මේ ඉල්ලීම් වැඩිපුරම එන්නේ ඇස්වහක් කටවහක් නැතුව ගංවතුරක්, නියඟයක් නැතුව ඉතා හොඳ අස්වැන්නක් ලැබෙන කාලෙට. ඇත්තටම මෙතනදි වෙන්නේ හොඳ සහල් අස්වැන්නක් ලැබුණු ගමන්ම වෙළෙඳපොළටලට සහල් සැපයුම වැඩි වෙන නිසා නිකම්ම මිල පල්ලෙහාට එනවා. ඒ නිසා වැඩි අස්වැන්නක් ලබා ගත්තා කියලා ගොවියන්ට වැඩි මුදලක් ලබාගන්න පුළුවන් කමක් නෑ .

ගංවතුර නියඟය ඇවිල්ලා අස්වැන්න අඩු කාලෙට වී වල මිල ඉහළ යනවා හැබැයි ඒත් එතකොට සම්පූර්ණයෙන් නිපදවන වී කිලෝ ගණන අඩුනිසා මිල වැඩි උනත් ගොවියන්ට ලැබෙන මුළු මුදල් ප්‍රමාණය ලොකු වෙනසක් වෙන්නේ නෑ. සරලවම කියනවා නම් අස්වැන්න වැඩි වුණත් ගොවියන්ට ලැබෙන්නේ එකම මුදල. අස්වැන්න අඩු වුණත් ගොවියන්ට ලැබෙන්නේ එකම මුදල. ඒක නිසා අස්වැන්න වැඩි කරගන්න වැඩි වැඩියෙන් මහන්සි වෙන්න ගොවියන්ට ධෛර්යවත් වෙන්න හේතුවක් නෑ (No incentive). ඕකට විසඳුමක් විදිහට බොහෝ වෙලාවට බලයේ පවතින ආණ්ඩු කරන්නේ අස්වැන්න වැඩි කාලෙට වී මොල් හිමියන් ගොවියන්ගෙන් වී මිලදී ගත යුතු අවම මිලක් තීරණය කරනවා. එතකොට හාල් මෝල් හිමියන් ගොවියන්ගෙන් වී මිලදී ගන්න එක අඩු කරනවා. එතකොට ගොවියට අයෙත් බඩට පහරක් වදිනවා.

එහෙම නැත්තම් සහල් මිලදී ගන්න පනවපු පාලන මිලත් ( සහතික මිලත් ) එක්කම පාරිභොගිකයගේ අවසාන සහල් කිලෝවක් විකුනන මිලට එකතු කරනවා. එහෙම කරපු ගමන් වෙළෙඳපොලේ හාල් මිල 120ට 140ට යනවා. එතකොට විපක්ෂයේ ඉන්න අයගෙන් සහ ජනතාවගෙන් විශාල විරෝධයක් එනවා.

එතකොට ආණ්ඩුව කරන්නේ සහල් විකිණීම සඳහා මිල පාලනයක් දානවා. එතකොට වී මෝල්වලින් හාල් හංගනවා. මොකද ඔවුන්ට එම මුදලට සහල් විකිණීමෙන් ඔවුන් බලාපොරොත්තු වෙන ලාභය ලබන්න බැරි නිසා. මේ අතර මැද්දට සහල් මෝල් හිමියන් සහල් ගබඩා කරගෙන ඒකාධිකාරියක් ගොඩනඟාගෙන සහල් මිල පාලනය කරනවා.

එහෙම නැත්තන් ආණ්ඩුව කරන්නේ ආණ්ඩුව සහතික වැඩි මිලකට වී /හාල්ටික මිලදී අරගෙන ගබඩා පහසුකම් අඩු නිසා මත්තල ගුවන් තොටුපොළ වගේ තැන්වල වී ගබඩා කරලා ආයෙමත් ගත්තට වඩා අඩු මිලකට තමන්ගේ දේශපාලන හිතවත්කම් මත අර සහල් මෝල් හිමියන්ටම ඒ වී ටික විකුණලා ලබන පාඩුව බදු ගෙවන ඔබගෙනුයි මගෙනුයි අය කරගන්නවා.

මගේ අවබෝධය හැටියට ඕක තමයි සහල්වල විෂම චක්‍රය. සරලවම කියනවනම් මෙතන වෙළෙඳපොළක් ක්‍රියාත්මක වෙන්නේ නෑ. වෙළෙඳපොළ ක්‍රියාත්මක නොවෙන ඕනම තැනක තියෙන්නේ ප්‍රශ්න විතරයි.

දැන් බලමු මේකට විසඳුම් මොකක්ද කියලා. ඔය විෂම චක්‍රය කෑලි එහෙට මෙහෙට කරලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. අපි වවමු රට නගමු, පුරන් කුඹුරු අස්වද්දමු වගේ වැඩ ඉතා හොඳ වැඩ. ඒත් මේ ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙයි කියල හිතන්න අමාරුයි. අපි වසර ගණනාවක් ඒව අත්හදා බැලුවත් විසඳුමක් නොලැබුණේ ඒ නිසයි.

මුලින්ම සහල් වල මිල ගණනය කිරීමේදී අපි ගණනය කරන ක්‍රමය ඉතාම වැරදියි. සාමාන්‍යයෙන් හාල් කිලෝ එකක් නිෂ්පාදනය කරන්න වතුර ලීටර් 2500 විතර ලබා දීල ඒකෙන් ලීටර් 1,400 ක් විතර ශාක පාවිච්චි කරනවා. අපි සාමාන්‍යයෙන් වතුර ලීටර්යකට සත 20 ගණන් තිබ්බාත් (වෙළෙඳපොලේ කාර්මික ජලයට අයකරන මුදලට වඩා ඉතා අඩු අගයක්) දැනට තියන හාල් කිලෝ එකට අවම තවත් රුපියල් 280 එකතු වෙන්න ඕන. එහෙම බැලුවම පේනවා අපි කන හැම හාල් කිලෝ එකක මිල කොච්චර වැඩියිද කියලා. පවතින දේශගුණික විපර්යාස එක්ක වතුරට ඉල්ලුම වැඩි වෙද්දී අපි ලොකු ප්‍රශ්නයකට මුහුණ පානවා.

ඒ වගේම අපි විශාල පොහොර සහනාධාරයක් ගොවියන්ට ලබා දෙනවා. ඒවට ගෙවන්නෙත් බදු ගෙවන ජනතාවමයි. එම මිලත් හරිනම් සහල් වලට මිලට එකතු වෙන්න අවශ්‍යයි. එහෙම එකතු වුණාම අපේ සහල් කිලෝවක නිෂ්පාදන වියදම එනව රුපියල් 280ක් කිට්ටුවට. අපි අකමැති වුණත් ඒක තමයි යතාර්ථය.

ගොඩක් අය හිතන්නේ ආණ්ඩුව මේ වැඩේ කරන්න පටන් ගත්තොත් වැඩේ ඔක්කොම හරි කියලා. ආණ්ඩුව වැඩේ කරනවා කියලා කියන්නේ තියනවටත් වඩා ප්‍රශ්නය වැඩි වෙනවා කියන එකයි. (ආණ්ඩුව කියලා අදහස් කළේ පවතින ඕනෑම රජයක්).

මේකට මගේ අදහසේ හැටියට පේන විසඳුම තමයි සහල්, කර්මාන්ත ක්ෂේත්‍රයට පාවිච්චි කරන අමුද්‍රව්‍යයක් (Industrial raw material) බවට පත් කරන්න ඕනේ. සරල කරල කියනවනම් ගොවියන්ගෙන් වී මිලදී ගන්න එකම ගැණුම්කරුවා වී හාල් මෝල් කරුවන් නොවිය යුතුයි. (රජයේ හාල් මෝල් ද ඇතුළුව) තව ටිකක් පැහැදිලිව කියනවා නම් ලෝකෙ සහල් අද පාවිච්චි කරන්නේ කන්න විතරක් නෙවෙයි. හාල් වලින් කිරි හදනවා. හාල්වලින්, වයින්, බියර්, whisky සුවඳ විලවුන්, තෙල් හදනවා.

බොහෝ අය ඉන්න අනිත් මිත්‍යාව තමයි අපි වැඩිපුර හාල් හැදුවොත් අපිට අපනයනය කරන්න පුළුවන් කියලා. අපි නොදන්න කාරණය තමයි ලංකාවේ වවන්නේ කෙටි බීජ (Short grain) සහල් . ඒත් ලෝකෙ වැඩිපුරම ඉල්ලුමක් තියෙන්නේ දිග බීජ Thai (Long grain) සහල් වලට.

සහල් වෙළෙඳපොළේ තරග කරන රටවල් ගොඩක් වවන්නේ දිග බීජ [Long grain] සහල්. අන්න ඒ නිසා ඊළඟ විසඳුම තමයි ලෝක වෙළෙඳ පොළේ වැඩි ඉල්ලුමක් තියෙන සහල් වර්ග වගා කරන්න අපේ ගොවියන් නැඹුරු කිරීම. ඒ වගේම අඩු වතුර ප්‍රමාණයක් පරිභෝජනයය කරන හාල් විශේෂ ඉදිරිපත් කරන්න ඕන. ශ්‍රී ලංකාවටම ආවේනික වෙච්ච සුවදැල්, පච්ච පෙරුමාල්, හීන්ටි, රතු නාඩු, කුරුලු තුඩ වගේ වී වර්ගවල ප්‍රතිඔක්සිකාරක (Antioxidants) වැඩිපුර තියෙන බවට ශ්‍රී ලංකාවේම ශිෂ්‍යයෝ දෙදෙනෙකු කරපු පරීක්ෂණ වාර්තාවකින් අදහස් පළකරලා තිබුණා. ඒ වගේ බීජ වර්ග මහා පරිමාණයෙන් වගා කරන්න පුළුවන්ද කියලා පරීක්ෂණ කරලා බලන්න ඕන. අනිත් එක තමයි පාරිභෝගිකයෝ විදියට අපි පරිභෝජනය කරන සහල් ප්‍රමාණය අඩු කරන්න ඕන. අපේ පරිභෝජනය අඩු කරල ඉතුරුවෙන ප්‍රමාණයෙන් තමයි කර්මාන්ත සඳහා සහල් පාවිච්චිය වැඩි කරන්න පටන් ගන්න ඕන. [Lion Beer සමාගම බියර් නිෂ්පාදනය සඳහා මිල වැඩි malt වෙනුවට සහල් භාවිතාව වසර කිහිපයකට පෙර ආරම්භ කරා] අපේ මුතුන්මිත්තෝ බත් විතරයි කෑවෙ කියල තුන් වේලටම බත් කන්න පුළුවන් ජීවන රටාවක් නෙවෙයි දැන් අපිට තියෙන්නේ. අපේ ජීවන රටාවත් එක්ක එතරම් කාබෝහඩ්ට්‍රේට ප්‍රමාණයක් අපේ ශරීරයට හිතකර නෑ.

ශ්‍රී ලංකාවේ වී වගාව කර්මාන්තවල පාවිච්චි වෙන අමුද්‍රව්‍යයක් වෙච්ච දවසට අස්වැන්න වැඩිවෙන්න වැඩිවෙන්න ගොවියට ලැබෙන මිලත් වැඩිවෙනවා. මිලදීගන්න ගැනුම්කරුවන්ව ක්ෂේත්‍ර ගණනාවකට පැතිරුණාම නිකම්ම ඒකාධිකාර බිඳවැටෙනවා.

2. ඊළඟ කතාව තමයි ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට (GDP) සරලවම කියනවනම් ලංකාව හදන ඔක්කොම බඩුවලින් කෘෂිකර්මය දායක වෙන්නේ 7%-8%ට විතරයි. ඒත් අපේ ශ්‍රමබළකාය නැත්තම් අපේ වැඩ කරන ඔක්කොම මිනිස්සුන්ගෙන් 25%ක් ඉන්නේ කෘෂිකර්මාන්තයේ. බොහෝ දෙනෙක් මේකට දෙන උත්තරේ තමයි ගොවියන්ගේ ඵලදායිතාවය වැඩි කරන්න අපි තාක්ෂණය ගේන්න ඕන. අපේ ගොවීන්ට වඩාත් කාර්යක්ෂම විදියට වගා කරන්න ඉඩ පහසුකම් සපයන්න ඕන කියන තර්කය. අර මම උඩදි කිව්ව වගේ අලුත් බීජ අත්හදා නොබලන්න, අඩුවෙන් ජලය පාවිච්චි වෙන වගා ක්‍රම ඉදිරිපත් නොකරන්න, වී වලට වඩා වැඩි ඵලදාවක්- මිලක් ලබා දෙන බෝග වගා නොකරන්න, හරිතාගාර තුළ සිදුකරන වගා ක්‍රම අත්හදා නොබලන්න, තාක්ෂණය කුඹුරුට නොඑන්න හේතුවක් තියෙනවා. එය තමයි වී වගාව සම්බන්ධව ඉඩම්වල තිබෙන ප්‍රශ්නය. මේක ඉතාම සංවේදී ප්‍රශ්නයක්. තවත් සරලව කියනවා නම් ඉතාම හොඳ දේශපාලන පාපන්දුවක්. ලංකාවේ තියෙන ඉඩම් වලින් 82% ක්ම අයිති ආණ්ඩුවට. සරලවම කියනවනම් ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණය වෙච්ච හෙක්ටයාර මිලියන 6.561 න් හෙක්ටයාර මිලියන 5.4 ක්ම අයිති ආණ්ඩුවට.

(ආණ්ඩුවට ඇති ඉඩම් ප්‍රමාණයෙන් 30% විතර වනාන්තර තිබෙන බවත් අමතක කරන්න එපා.) මේ ඉඩම්වල අයිතිය ගොවීන්ට නැහැ. ඒ නිසා ඔය කුඹුරු ඉඩම් වල වී ඇරෙන්න වෙන දෙයක් වගා කරනවා නම් ආණ්ඩුවේ කන්තෝරුවට ගිහිල්ලා වෙනම ලයිසන් එකක් ගන්න ඕනේ. ඒක අවුරුද්ද ගානේ අලුත් කරන්න ඕන. ඊට අමතරව කුඹුරු ඉඩම් වල කිසිම ඉදිකිරීම්ක් කරන්න බෑ. කුඹුරු ඉඩම් වලට බැංකුවෙන් ණයක් ගන්න පුළුවන් හැකියාව ඉතාම අඩුයි. ආයෝජනය කරන්න බැරි, තමන්ටම කියලා අයිතියක් නැති ඉඩමකට කොහොමද ඉතින් හරිතාගාර තාක්ෂණය එන්නේ. ගොවියන්ට කුඹුරුවල අයිතිය ලබා දෙනවා කිව්වාහම දේශපාලන වේදිකාවේ කියවෙන ප්‍රධානම තර්කය තමයි අම්මෝ ඔය ඉඩම් වල අයිතිය ගොවියන්ට දුන්නහම ගොවියෝ ඒ ටික විකුණල ඒකෙන් අරක්කු බොයි, ගොවියෝ විකුණන ඉඩම් ටික විදේශිකයෝ අරගෙන ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට මහා බලපෑමක් ඇතිවෙනවා, සහ ශ්‍රී ලංකාවේ ජනතාවගේ ඉඩම් වල අයිතිය පිටරට අයට හිමිවෙනවා කියන මතය. ගොඩක් Conspiracy theory විශ්වාස කරන අය තමයි ඕක කියන්නෙ. (ඒ වගේම තමයි ඔය කුඹුරු ඉඩම් ගොඩක් තියෙන්නේ ඉතා කුඩා කොටස් වශයෙන් මහා පරිමාණ වගාවක් කරන්න අමාරුයි). මගේ නම් මතය ඉඩම්වල අයිතිය ආණ්ඩුවට තියෙන තාක් කල් ඉඩම්වල අයිතිය ජනතාවට ලැබෙන්නේ නැහැ කියන එකයි. තවත් සරල කරලා කියනවා නම් මේ සටහන කියවන කාට හරි ඔය ආණ්ඩුවට අයිති 82% ප්‍රමාණයේ කිසිම දෙයක් කරන්න පුලුවන්ද? බැහැ කියන එක තමයි පිළිතුර. විදේශිකයෝ ඉඩම් අත්කර ගනී කියන මතයට අනුව ගත්තොත් විදේශිකයො ඉඩම් අත්පත් කරගනී කියලා වැඩිපුරම බය වෙන්න ඕනේ ඔස්ට්‍රේලියාව, ඇමරිකාව වගේ රටවල්. මොකද ලංකාව, ඉන්දියාව වගේ රටවල් ගණනාවක මිනිස්සු ඒ රටට ඇවිල්ලා පුරවැසි භාවයත් අරගෙන ඉඩනුත් සල්ලි දීලා ගන්නවා. එහෙම පොඩි හරි බයක් තියෙනවා නම් ශ්‍රීලාංකිකයන්ට හරි මේ ඉඩම් මිලදී ගැනීමට අවස්ථාව තියෙන්න ඕන කියන එකයි මගේ අදහස . ඉඩම් විකිණීමේදී ගහන බද්දෙන් රජයට විශාල ආදායමක් උපයා ගන්නත් පුළුවන්. හාල් ගැන කතාව ඉතාම දිගයි. කෙටි කාලීනව විසඳුම් නෑ. සහල්වලට මිල පාලනය දාලා හාල් මෝල් අයිති අයගේ ගබඩා වලට ඇවිල්ලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි මේක. එහෙම කරපු ගමන්ම ඔවුන්ගේ ධාරිතාව අඩු කිරීමෙන් වෙළෙඳපොළේ සහල් අඩු වෙලා ඉල්ලුම සහ සැපයුමට අනුව නිකන්ම සහල් මිල ඉහළ යනවා.

හාල් වගාකිරීමට තියන Incentive ප්‍රශ්නේත් ගොවියන්ට තිබෙන ඉඩම් ප්‍රශ්නේත් විසඳලා මේ ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් ලබාගන්න පුළුවන් කියන එකයි මගේ විශ්වාසය. එහෙම නැත්තම් ආච්චිට හාල් ගරන්නේ කෙසේද කියල ඇහුව වගේ හැමදාම වී මෝල් හිමියන් අපෙන් ගරනවා කියල තමයි ඉන්න වෙන්නේ.

2021 ඔක්තෝම්බර් 01 දින අරුණ පුවත්පතේ පලවූ ලිපිය

ආනයන ක්‍රෝධ නැත්තෝ වෙම්වා!

ඉදිරි දිනවලදී ඉදිරිපත් වීමට නියමිත අයවැය පිළිබඳව දැන්ම කතාබහක් ඇතිවී තිබෙනවා. අය වැය සැලැස්මේ ප්‍රධාන කරුණු 3ක් පිළිබඳව අවධානය යොමුකරන බවට මේ දක්වා මාධ්‍ය වාර්තා පලවී තිබුණා.

1. නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම සහ එම සංකල්පය ඉදිරියට ගෙන යෑම

2. දේශීය ව්‍යාපාර දියුණු කිරීමේ අරමුණින් ආනයන තහනම දිගටම ක්‍රියාත්මක කිරීම

3. ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් හෙවත් අවශ්‍ය වූ විට ශ්‍රී ලංකා මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් මිලදී ගනිමින් (මුදල් අච්චු ගසමින්) රජයට අවශ්‍ය මුදල් සැපයීම ඉන් කැපී පෙනුනා.

මුදල් අමාත්‍යවරයා ඔහුගේ පාර්ලිමේන්තු කතාවෙන් ආර්ථිකයේ තිබෙන ගැටලු සහ ප්‍රශ්නයේ ගැඹුර ඉතා මැනවින් හඳුනාගෙන තිබුණා. අප ඉදිරියේදී බලාපොරොත්තු වන්නේ එම ආර්ථික ප්‍රශ්නවලින් එළියට පැමිණීමට යෝජනා කර ඇති විසඳුම් ප්‍රමාණවත්ද සහ එම විසඳුම් වල දිශාව නිවැරැදි ද යන්නයි. එතනදි මූලික වශයෙන්ම ආනයන තහනමින් දේශීය කර්මාන්ත දියුණු කළ හැකිද යන්න පිළිබඳව වගේම ඒ පසු පස තිබෙන ආර්ථික විද්‍යාව පිළිබඳව සොයා බැලීම වැදගත්. මේ ගැන තේරුම් ගැනීමට අපි සරල උදාහරණයක් ගමු.

බොහෝ වෙලාවට අපට අමතක වෙන දෙයක් තමයි ජයග්‍රහණය කිරීම තිබෙන්නේ තමන්ගේ ක්‍රියා කලාපය තුළ මිස ප්‍රතිවාදියාගේ දෑත් මත නොවන වග. අපිට සාමාන්‍යයෙන් විභාගයක් සමත් වීමට අවශ්‍ය නම් අප මුලින්ම කළ යුතු වන්නේ අපි මහන්සි වී පාඩම් කිරීමයි. විභාගයට වාඩි වීමට බලාපොරොත්තුවෙන් සිටින අනිත් අයට විභාගයට වාඩි වීමට තහනම් කිරීමෙන් අපට විභාගය සමත් විය නොහැකි බව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවෙයි.

එම මූලධර්මයම ආර්ථිකයටත් එලෙසම බලපානු ලබනවා. අපත් සමග තරග කරන ආනයන තහනම් කිරීමෙන් අපගේ භාණ්ඩ හා සේවාවල ගුණාත්මකභාවය වැඩි කළ හැකි බව විශ්වාස කිරීම හරියටම අපත් සමග විභාගය ලිවීමට බලාපොරොත්තු වන අනෙක් අයව විභාගයට වාඩි වීම තහනම් කිරීමෙන් අපට විභාගය සමත්විය හැකි බව විශ්වාස කිරීම හා සමානයි.

නමුත් බැලූ බැල්මට අපත් සමග තරග කරන ආනයන තහනම් කිරීමෙන් අපට වාසියක් ලබා ගත හැකි බව පෙනෙන්නට මූලිකම හේතුව අපට ඇති විදේශ විනිමය ප්‍රශ්නයයි. අපට විදේශ විනිමය අර්බුදයක් ඇතිවන සෑම අවස්ථාවකම අපට ප්‍රශ්නය ලෙස පෙනෙන්නේ ආනයනයයි. එයට හේතුව ආනයන සඳහා විදේශ විනිමය වැය කිරීමට සිදුවීමයි. නමුත් සැබවින්ම ප්‍රශ්නය විදේශ විනිමය වැය වීම නොවෙයි. අප විදේශ විනිමය ප්‍රමාණවත් තරම් ඉපැයීමට අපොහොසත් වීමයි. ආනයන තහනම් කළ යුතුයි යන මතය දරන බොහෝ දෙනා නිතරම ඉදිරිපත් කරන්නේ වෙළෙඳ ශේෂය අවම කිරීමට නම් ආනයන අඩු කළ යුතු බවත් එමගින් අපගේ වෙළෙද ශේෂය අඩු කළ හැකි බවත්ය. නමුත් අපට පැහැදිලිවම පෙනෙන දෙය නම් අපගේ විභාගය සමත් වීමට වැදගත්ම සාධකය අපි විභාගයට පාඩම් කිරීම මිස අනෙක් අය විභාගයට සූදානම් වන්නේ කෙසේද යන්න නොවේ.

නමුත් ශ්‍රී ලංකාවට මේ මොහොතේ විදේශ විනිමය අර්බුදයකට මැදිවී සිටින යථාර්ථයත් අප තේරුම් ගත යුතුයි. එම යථාර්ථයෙන් බැහැරව අප කටයුතු කිරීම නුවණට හුරු නොවේ. කෙසේ වෙතත් දේශීය කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් ආනයන තහනම් කිරීම දේශීය කර්මාන්ත දියුණුවට කිසිසේත්ම උදව්වක් නොවන බව නම් ඉතාම පැහැදිලියි. එය උදව්වක් වනවාට වඩා ඇත්තටම දේශීය කර්මාන්ත තවත් වළපල්ලට යැවීමට පාර කැපීමක් බවත් අමතක නොකළ යුතුයි.

එය හරියට අපගේ දරුවෙකු විභාගයක් වංචාකර විභාගය සමත් වීමට අනුබල දීමෙන් දරුවාගේ අනාගතයට වැඩිම හානිය අපිම කරන්නාක් වගෙයි.

ශ්‍රී ලංකාවේ මෙලෙස ආනයන තහනම් කර තිබෙන භාණ්ඩ වර්ග ගණනාවක් වසර 30-40ක් ඉක්මවූ පසුත් තවමත් සැලකිය යුතු වර්ධනයක් නොලැබීම ආනයන තහනමින් දේශීය ව්‍යාපාර දියුණු නොවූ බවට උදාහරණ ඕනෑ තරම් තිබෙනවා.

අපගේ නානකාමර සහ ටයිල් වර්ග දැනට වසර 30ක පමණ කාලයක සිට ආනයන සඳහා විශාල බදු පනවා තිබුණත් තවමත් ක්ෂේත්‍රයක් ලෙස අපනයන දියුණු වී නෑ. ඒ වගේම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන සපත්තු වර්ග, බිස්කට් වර්ග, කෘෂි භාණ්ඩ වැනි බොහෝ දේ සඳහා දශක කිහිපයක් විශාල ලෙස ආනයන වලට බදු හරහා තහංචි පනවා තිබුණත් එම ක්ෂේත්‍රවලින් ශ්‍රී ලංකාව ප්‍රධාන අපනයනකරුවකු නොවන බව රහසක් නොවේ. සරලවම එම ක්ෂේත්‍ර දියුණු වී නැහැ. එහි තේරුම නම් ආනයන තහනම් කිරීමෙන් දේශීය කර්මාන්ත වර්ධනය නොවන බවයි.

ආනයන තහනම් කිරීමෙන් දේශීය කර්මාන්ත දියුණු කළ හැකියි යන මතවාදය ශ්‍රී ලංකාවේ පමණක් දක්නට ලැබෙන මතයක් නොවෙයි. එය ලෝකය පුරා දැකිය හැකි මතයක් නිසා මෙයට සහයෝගය දක්වමින් සහ ප්‍රතිවිරුද්ධව නිතරම අදහස් ඉදිරිපත් කෙරෙනවා.

ශ්‍රී ලංකාව තුළ ආනයන තහනම් කිරීමෙන් දේශීය නිෂ්පාදන දියුණු කළ හැකි බවට විශ්වාස කරන බොහෝ දෙනෙක් උදාහරණයකට ගන්නේ ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ සහ මේ කලාපයේ සමහර ආනයන කාණ්ඩ සඳහා තිබෙන ආනයන බදු ප්‍රතිශතයි. (Import Duty). නමුත් ආනයන බදු පමණක් සංසන්ධනය කිරීමෙන් මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීමට අපහසුයි. එයට හේතුව ශ්‍රී ලංකාවේ ආනයන බදු වලින් වැඩිම බදු ප්‍රමාණයක් තිබෙන්නේ CESS (සෙස් බදු) සහ Port and Aviation Levy (PAL) (ගුවන් සහ වරාය බදු) ආදී ආනයන බදු වර්ගීකරණයට පිටින් තිබෙන බදු වර්ගයි. Para Tariff යනුවෙන් හඳුන්වන්නේ මෙම බදු වර්ගයි. එම බදු වර්ග ඇතුළත්ව සැලකූ විට අපගේ ආනයන බදු කලාපයට සාපේක්ෂව ඉතා ඉහළ අගයක්. (Effective rate of protectionism) එම නිසා ආනයන බදු වැඩි කිරීමෙන් දේශීය කර්මාන්ත දියුණු කළ හැකියි යන්න විශ්වාස කිරීම එතරම්ම සාර්තක තර්කයක් නොවේ.

ආනයන තහනම් කිරීමෙන් දේශීය ව්‍යාපාර දියුණු කළ හැකි බව විශ්වාස කරන තවත් බොහෝ දෙනෙක් ගෙන එන තර්කයක් නම් ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ඉන්දියාව වැනි රටවල් සමහර භාණ්ඩ කාණ්ඩ සඳහා පනවා ඇති ඉහළ තීරු බදු ප්‍රමාණයි. එම රටවල් ඉහළ බදු පනවන්නේ නම් අප වැනි කුඩා රටවල් වලට එලෙස කළ නොහැක්කේ ඇයි දැයි නිතරම ප්‍රශ්න කෙරෙනවා.

අප තේරුම්ගත යුතු වැදගත් කරුණක් වන්නේ අප අනුගමනය කළ යුතු වන්නේ ආර්ථික විද්‍යාව විනා විවිධ රටවල්වල ආකෘතියේම කාබන් පිටපතක් නොවෙන බවයි. ලෝකයේ බොහෝ ධනවත් රටවල් වල ආර්ථික ප්‍රතිපත්ති ඔවුන් පෙන්වන තරම් සුදු නොවන බව රහසක් නොවෙයි. එම නිසා ඔවුන් කළ පමණින් අපිත් එයම කරන්නට යෑමෙන් අපි ලොකු අමාරුවක වැටෙනවා. අනෙක් කරුණ නම් එම රටවල් වල ජනගහනය සාපේක්ෂව ඉතාම වැඩියි. එම නිසා ඔවුන්ගේ දේශීය වෙළෙඳපොළ තුළ පමණක් මෙහෙයුම් කිරීමෙන් සැලකිය යුතු ලාභයක් ලබා ගත හැකියි මෙන්ම නිපදවන කවර හෝ භාණ්ඩයක විශාල ප්‍රමාණ (High quantities) නිපදවීමෙන් එක් ඒකකයක් සඳහා යන මුදල (Cost per unit) අවම කර ගත හැකිය. (Economies of scale)

නමුත් ශ්‍රී ලංකාව වැනි කුඩා දූපතකට එම ක්‍රමය නොගැළපෙන්නේ අපගේ වෙළෙඳපොළ ප්‍රමාණය ඉතාම කුඩා නිසායි. එම නිසා එම ක්‍රමවේදය අපට ගැළපෙන ක්‍රමයක් නොවෙයි.

ඒ වගේම තවත් තිබෙන මිත්‍යා මතයක් තමයි කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ආනයන සමග තරග නොකළ හැකි බවට ඇති මතයයි. එම මතය නිවැරැදි නොවන බව තේරුම් ගැනීමට ඇති එක් උදාහරණයක් නම් ඇඟලුම් ක්ෂේත්‍රයයි. ඇඟලුම් ක්ෂේත්‍රයේ දැවන්තයන් සිටියත්, ඒ සමග ගොඩනැගුණු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගණනාවක් ගෝලීය වෙළෙඳපොළේ තරග කර හැකි මට්ටමට තරග කරනු ලබනවා. එම නිසා තරග කිරීමට බලපාන්නේ දක්ෂතාවය සහ කාර්යක්ෂමතාවය මිස වෙනත් සාධක නොවේ. ශ්‍රී ලංකාවේ කුඩා නිවාස ඒකකවල සහ කුඩා පරිමාණයෙන් විශාල ලෙස ඇඟලුම් ක්ෂේත්‍රයේ ලෝක ප්‍රකට සන්නාම සඳහා නිමි ඇඳුම් නිපදවෙනු ලබනවා.

ආනයන තහනම් කිරීමෙන් දේශීය කර්මාන්ත දියුණු වන්නේ නම් ලෝකයෙන් වැසී තිබෙන උතුරු කොරියාව වැනි රටවල් සීග්‍ර දියුණුවක් ලබා ගත යුතුයි. නමුත් දත්ත දෙස බැලීමේදී යථාර්ථය ඊට වඩා හාත්පසින්ම වෙනස්. දේශීය කර්මාන්ත දියුණු කිරීමේ උපක්‍රමයක් ලෙස ආනයන තහනම් කිරීම වැරදි පූර්වාදර්ශයක්ද සපයනු ලබනවා. එමගින් ව්‍යාපාරිකයන් පවා රජය මත සහ ඔවුන් පනවනු ලබන බදු මත යැපෙන තත්ත්වයක් උදාවනවා. දැනටමත් රැකියා මත සහ දේශපාලන බලපෑම් වලට යටත් වන විශාල පිරිසක් සිටීම රජයට විශාල අපහසුවක්. මෙමගින් එම තත්ත්වය තවත් වර්ධනය වනු ලබනවා.

ඒ වගේම දේශීය කර්මාන්ත දියුණු කිරීමේ චේතනාවෙන් ආනයන සඳහා විශාල ක්‍රෝධයක් ජනතාව තුළ ඇති කිරීම ද දැකිය හැකියි. එය හරියට බුදු දහමේ එන රත්වන අඟුරු කැබල්ලක් අතින් ගෙන තමාගේ සතුරා දැවී යන ලෙස ප්‍රාර්ථනා කිරීමට සමානයි. එම ක්‍රෝධයෙන් දැවී යන්නේ අපිම බව අපට වැටහෙන්නේ නෑ. මොහොතකට අප සිතුවහොත්, අප ආනයන ගැන ඇතිකරණ ක්‍රෝධයම ලෝකයේ අනෙක් රටවල් අපගේ රටෙන් ඔවුන් ප්‍රධන ලෙස අපෙන් ආනයනය කරන (අපි අපනයනය කරන) තේ, ඇඟලුම් වැනි දේ සඳහා ඇති කිරීමට උත්සහ කළ හොත් අපගේ ආර්ථිකයට වන බලපෑම කෙබඳු විය හැකිද?

එම නිසා නිසැකවම අපගේ අරමුණ දේශීය කර්මාන්ත දියුණු කිරීම බවට විවාදයක් නැත. වැදගත් වන්නේ අප දේශීය කර්මාන්ත දියුණු කරන්නේ කෙසේද යන්නයි.

ඇපගේ මීළඟ අයවැය දේශීය කර්මාන්ත දියුණු කිරීම බව වීම සුබ ලකුණක්. නමුත් දේශීය කර්මාන්ත දියුණු කළ හැක්කේ ආනයන තහනම් කිරීමෙන් බව සිතීම අප විශාල මිරිඟුවක් පසු පස හඹා යාමක්. ආනයන පිළිබඳව ක්‍රෝධයක් ඇති කිරීමෙන් නොව අප තරගකාරීත්වයට මුහුණ දීමෙන් පමණක් අපට ඉදිරියට යා හැකි බව බුදු දහමට මෙන්ම ආර්ථික විද්‍යාවට ද සත්‍යය.

2021 සැප්තැම්බර් 24 වන දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියක්

යට ඇදුම් වලට යටින් තියන ආර්ථික විද්‍යා​ව

පසුගිය දිනවල යට ඇදුම් ගැන සමාජ මා​ධ්‍ය කතා බහ පැති ගොඩකට විහිදිලා ගියා. ගොඩක් අය අහපු මූලිකම ප්‍රශ්ණය තමයි ලෝකෙම ප්‍රධාන පෙළේ සන්නාම වන වික්ටෝරියා සීක්‍රට්(Victoria Secret), ටොමී හිල්ෆිගර් (Tommy Hilfiger), පින්ක් (PINK) වගේ ආයතන සඳ​හා යට ඇදු​ම් මහන්න ලංකාවෙ අපිට පුලුවන්නම් ඇයි අපිට අපේම යට ඇදුම් ටික මහ ගන්න බැරි කියල. 

මේ තර්ක දැකල මට පොඩි කාලෙ කතාවක් මතක් වුණා. පොඩි ලමයෙක් විදියට මං ඉස්සර තාත්තගෙ​න් නිතරම අහන ප්‍රශ්ණයක් තමයි දොස්තර මහත්තයට අසනීප වුණොත් එයාම වෙද නලාවෙන් එයාවම බලාගෙන ​ඒ දොස්තර මහත්තයම එයාට ඕන බෙහෙත් එයාම ලියා ගන්නවද නැත්තම් එයා වෙන දොස්තර කෙනෙක් ගාවට යනවද කියල. ඔය වගේ තර්ක කීපයක්ම මට තිබුණා. හැමෝගෙ​ම කොන්ඩෙ කපන බාබර් මහත්තයට ඇයි එයාගෙම කොන්ඩෙ කපා ගන්න බැරි වගේම හොඳ​ම ශල්‍ය වෛද්‍යවරයෙක්ට සැත්කමක් කර ගන්න ඕන වුනොත් ඔහුට ඔහු​ගේම සැත්කම කර ගන්න පුලුවන්ද වගේ ප්‍රශ්ණ.  මට හිතුණෙ පොඩි ළමයෙක් විදියට මට ​නොතේරුණු සාමාන්‍ය දැනී​මම වෙනත් විදියට සමාජ මාධ්‍ය ව​ල යට ඇදුම් සංවාද වලින් එලියට අවිල්ලා ආර්ථික විද්‍යා මූලධර්ම යට යනවද කියල. අපි ප්‍රශ්ණයේ මුලට යමු. 

ශ්‍රී ලංකා මහ බැංකුව ආනයන භාණ්ඩ 623ක් ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී බැංකු ණය ලබා ගැනීම නවතා ලීම සහ අදාළ භාණ්ඩ වර්ග සඳහා ආනයනයේදී 100%ක්ම වන මුදල බැංකුවේ තැන්පත් කිරීම සඳහා නව රෙගුලා​සි නිකුත් කෙරුණා. ඒ අතරින් අදාළ භාණ්ඩ කාණ්ඩවල කාන්තා සහ පිරිමි යට ඇඳුම් සටහන් වී තිබීම නිසා සමාජ මාධ්‍ය ජාලවල විශාල කතා බහක් ඇතිවුණා.

සෑම ප්‍රශ්නයක් වගේම මේ පිළිබඳ බොහෝ දෙනා දැක තිබුණේ දේශපාලන කෝණයකින් මිස ආර්ථික විද්‍යා කෝණයකින් නොවෙයි. මෙම තීරණය වැරදි බව ඒත්තු ගන්වන්න උත්සහ කරන පිරිස උත්සහ කරන්නේ අනාගතයේ ශ්‍රී ලංකාවේ ප්‍රමාණවත් තරම් යට ඇඳුම් නොමැති වන බවත් එමගින් ජනතාවට යට ඇඳුම් නොමැති රටක් උදාවීමට නියමිත බවත්ය.

එම තීරණය නිවැරදි බව ඔප්පු කිරීමට උත්සහ කරන පිරිස ප්‍රකාශ කරන්නේ පමුණුව වැනි ප්‍රදේශවල ඕනෑ තරම් යට ඇඳුම් තිබෙන බවත් එම නිසා යට ඇඳුම්වල කිසිම ප්‍රශ්නයක් නොමැති බව සහ අවශ්‍යනම් සතොස හරහා යට ඇඳුම් විකිණීමට අවස්ථාව තිබෙන බවයි.

ඒ අතර සමහර තවත් පිරිසක් එම තත්ත්වය උපයෝගී කර ගනිමින් ප්‍රකාශ කළේ යට ඇඳුම් පමණක් නොව ශ්‍රී ලංකාවේ නිපදවිය හැකි ඕනෑම දෙයක් ගෙන්වීම තහනම් කළ යුතු බවත් ලෝකයේම ප්‍රමුඛ පෙලේ අපනයන මට්ටමේ ඇඟලුම් අපට නිෂ්පාදනය කළ හැකිනම් අප රටට අවශ්‍ය ඇඟලුම් අපටම නිර්මාණය කර ගත නොහැකිද යන ප්‍රශ්නයයි. මෙම තර්ක දෙක පිළිබඳ ආර්ථික විද්‍යාත්මකව බලන්නෙ කොහොමද?

අප මුලින්ම තේරුම්ගත යුත්තේ පුද්ගලයෙක් යට ඇඳුමක් හෝ ඕනෑම ඇඳුමක් මිලදී ගැනීමේදී සලකා බලනු ලබන්නේ කුමන කරුණුද යන්නයි.

විශේෂයෙන්ම යට ඇඳුම් තෝරා ගැනීමේදී ඕනෑම කෙනෙක් සලකා බලන්නේ එම ඇඳුම තමන්ගේ ශරීරයට ගැළපෙනවාද, ප්‍රමාණය ගැළපෙනවාද, සනීපාරක්ෂාව සඳහා උපකාර වන්නෙ කෙසේද සහ එය තමන්ටම ආවේණික වූ ශරීර හැඩයට ගැළපෙනවාද යන්නයි.

ඒ වගේම යට ඇඳුම් තෝරා ගැනීමේදී සමහර වෙළෙඳනාමවලට සහ ඒවා මිලදී ගැනීමේදී දක්වන සන්නාම ළැදියාවත් (Brand Loyalty and Brand preference) ඉතාම සුවිශේෂියි. එම වෙළෙඳනාම / සන්නාම ළැදියාව බොහෝ භාණ්ඩ සහ සේවාවල දක්නට ලැබෙන්නක්.

සාමාන්‍ය භාෂාවෙන් කියනවානම් ඇඩ්වටයිසින් (වෙළෙඳ ප්‍රචාරණය) කරන අය සන්නාමයක ප්‍රතිරූපය ගොඩ නැගීමට විශාල මහන්සියක් දරනවා. යට ඇඳුම් වෙළෙඳනාමවලත් මේ තත්වය අනෙක් භාණ්ඩවල වගේම දක්නට ලැබෙනවා.

අදාළ ඇඳුම්වල මිලත් සලකා බලන තවත් කරුණක්. යට ඇඳුම් දේශීයද විදේශීයද යන්න බැලීමට පෙර අප මුලින්ම බලන්නේ ඉහත කරුණුයි.

ඕනෑම කෙනෙක් යට ඇඳුමක් මිලදී ගන්නේ තමාගේ අවශ්‍යතාවයට, සනීපාරක්ෂාවට සහ සුවපහසුව නිසා මිස නිෂ්පාදාකයාට උපකාර කිරීමේ අරමුණින් හෝ අදාළ යට ඇඳුම නිෂ්පාදනය කළ රටට උපකාර කිරීමේ අරමුණින් නොවන බව අප සැවොම අවිවාදයෙන් පිළි ගන්නවා.

එය අප රටේ පමණක් නොව ලෝකයේ අනෙක් රටවලත් එලෙසෙමයි. ලෝකයේ යට ඇඳුම් භාවිත කරන පිරිස එම යට ඇඳුම් දේශීයද විදේශීය යන්න සලකා බලනවා නම් සහ එම රටවල්වල මිනිසුනුත් ඔවුන්ගේම රටේ නිපදවන යට ඇඳුම් පමණක් නිපදවිය යුතුයි යැයි විශ්වාස කළොත් ශ්‍රී ලංකාවේ අපනයන විශාල කඩා වැටීමකට ලක්වීම නැවැත්විය නොහැකියි. එම නිසා දේශීය යටඇඳුම් පමණක් භාවිත කළ යුතුයි යන තර්කයට විද්‍යාත්මක පදනමක් නැහැ.

මීළඟට බොහෝ දෙනෙක් නගන ප්‍රශ්නය තමයි ලෝකයටම යට ඇඳුම් අපි මහනවානම් ඇයි අපිට අවශ්‍ය යට ඇඳුම් අපිටම මහන්න බැරි කියන ප්‍රශ්නය. එම ප්‍රශ්නය පැති කිහිපයකින් බැලිය හැකියි. අප මොහොතකට රෝගීන් දහස් ගණනකට සැත්කම් කරන ප්‍රසව සහ නාරි වෛද්‍යවරයෙක් සැලකිල්ලට ගමු. එම වෛද්‍යවරයා දරුවකු ප්‍රසූත කරන අවස්ථාවේදී ඇයට අනිවාර්යයෙන්ම වෙනත් ප්‍රසව සහ නාරි වෛද්‍යවරයෙක්ගේ සේවාව ලබා ගැනීමට සිදුවෙනවා. එම අවස්ථාවේදී අපිට අහන්න පුළුවන්ද “හැමෝටම ප්‍රසව හා නාරි සැත්කම් කරන්න පුළුවන්නම් ඇයි ඔබතුමියගේ සැත්කම සහ දරු ප්‍රසූතිය ඔබතුමියටම බලා ගන්න බැරිද? කියල. අන්න ඒ වගේ තර්කයක් තමයි අපි ලෝකටෙම යට ඇඳුම් මහනවනම් ඇයි අපිට අපේ ඒවා මහ ගන්න බැරි කියන තර්කය.

ශ්‍රී ලංකාව දක්ෂතාවය දක්වන්නේ ඉතාම උසස් මට්ටමේ ලෝක ප්‍රකට වෙළෙඳ සන්නාම සඳහා යට ඇඳුම් මැසීමටයි. Victoria Secret, PINK, Gap body, Calvin Klein වැනි ලෝකයේම ඉතා මිල අධික සන්නාම සඳහායි අපි යට ඇඳුම් සපයන්නේ. එවැනි මිල අධික යට ඇඳුම් මිලදී ගත හැකි අදායමක් ශ්‍රී ලංකාවේ ජනතාවට නැහැ වගේම එවැනි වෙළෙඳපොළකුත් ලංකාවේ නෑ. (ශ්‍රී ලංකාවේ එවැනි ආදායමක් ඇති අය බොහෝ වෙලාවට භාවිත කරන්නේ එවැනි සන්නම තමයි) ලංකාවේ මිනිසුන් භාවිත කරන මිල මට්ටම්වල යට ඇඳුම් මැසීමට අපේ ප්‍රධාන ඇඟලුම් කර්මාන්ත උත්සහ කළහොත් ඔවුන්ට කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් වසන්න සිදුවෙනවා. ඒ වගේම අපේ අපනයන ආදායම විශාල ලෙස අඩු වෙනවා. එයට හේතුව වැඩි මිලකට සහ වැඩි ප්‍රමාණයකින් මිලියන 7900ක ජනතාවකට ඇඳුම් නිෂ්පාදනය කිරීමට තිබෙන හැකියාව අඩු මුදලකට මිලියන 20ක් සඳහා පමණක් සීමා කර ගැනීමට ව්‍යාපාරික කිසිසේත්ම නුවණට හුරු නොවීමයි. කෙනෙක්ට අහන්න පුලුවන් වැඩි මුදලට විකුනණ යට ඇදුම් වගේම අඩු මිලට තියන යට ඇදුමුත් මහන්න බැරිද කියල. සරළම පිළිතු​ර පුලුවන්. ඒත් වැඩි මිලකට වැඩි ප්‍රමාණයක් විකුණන්න පුලුවන් කම තියෙද්දි කවුද කැමති වෙන්නෙ අඩු මුදලකට අඩු ඇදුම් ප්‍රමාණයක් මහන්න. එහෙ කරොත් ඇගලුම් ක්ශ්‍රේත්‍රයේ දැනට තියන ලොකුම ප්‍රශ්ණ වලින් එකක් තමයි ශ්‍රමය ගැන තියන ප්‍රශ්ණය. මහන්න අවශ්‍ය ශ්‍රමය හොයා ගන්න එක තව අමාරු වෙනවා. දැනට ශ්‍රමය හොයන්න ඕන වැඩි මිලට මහ ඇදුම් වලට විතරයි. දැන් අඩු මිලට මහන ඒවට ශ්‍රමය ගියාම වැඩි මිලට මහන ඒවත් මහ ගන්න බැරි වෙලා අපේ අපනයනත් අඩු වෙනවා. 

ශ්‍රී ලංකාවේ තේ ගැනත් නිතරම මේ ප්‍රශ්නය අහනවා. ලෝකෙටම සිලෝන් ටී (Ceylon Tea) හැදුවට අපිට එතරම් ගුණාත්මක බවින් යුතු තේ ලැබෙන්නේ නැහැ නේද කියල නිතරම අහන්න ලැබෙනවා. එහිදී තියෙන්නෙත් එම තර්කයමයි. ඉතා ඉහළ මට්ටමේ තේ ලංකාවේ තිබෙනවා. නමුත් එය මිලෙන් ඉතා වැඩියි. ඉහළ ආදායමක් තිබෙන අය එම තේ භාවිත කරනවා. ශ්‍රී ලංකාවේ බහුතර ජනතාවගේ ආදායමට අනුව එම වටිනාකමින් වැඩි තේ මිලදී ගන්න පුළුවන් කමක් නෑ. ඒ වගේම තේ නිෂ්පාදකයන්ට ලංකාවේ මිලියන 22කට තේ නිෂ්පාදනය කිරීමට වඩා වාසිදායක වන්නේ ඊට වඩා මිලෙන් වැඩි තේ ලෝකයට අපනයනය කිරීමයි. එහි වෙළෙඳපොළ ප්‍රමාණය විශාලයි. එවිට එම ලැබෙන අමතර මුදලින් අපිට මිලදී ගත හැකි මට්ටමේ භාණ්ඩ භාවිත කිරීමට හැකියාව තිබෙනවා.

ඒක හරියට සැත්කමක් කර ගන්න ඕන වුණාම ලෝකේ හොදම සැත්කම් කරන දොස්තර මහත්තයත් වෙන දොස්තර මහත්තයෙන් ගාවට යනව වගේ. එතන තිබෙන්නෙ වෛද්‍ය විද්‍යා විද්‍යාත්මක කරුණක් වගේම ආර්ථික විද්‍යා කරුණක්. වැඩිම වාසි දායක දේ තමයි අපි කරන්න ඕන. 

අප අපනයනය කරන ඇඟලුම්වලත් මුළු ක්‍රියාවලියම සිදු කරන්නේ ශ්‍රී ලංකාව තුළ පමණක් නොවේ. එම ඇඟලුම්ල නිර්මාණ දායකත්වය, ඒවාට අවශ්‍ය අමුද්‍රව්‍ය ආදිය ලබා ගන්නේ වෙනත් රටවල්වලින්.

ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඇඟලුම් නිෂ්පාදන ආයතන අදාළ ප්‍රධාන සන්නාම සහිත ආයතන සමග බුද්ධිමය දේපළ සඳහා ගිවිසුම් අත්සන් කර තිබෙනවා. එම නිසා ඔවුන් ලබාදෙන ඩිසයින් - Design (නිරූපණ සහ නිර්මාණාත්මක ආකෘති) නැවත ප්‍රතිනිර්මාණය කර ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටක වෙළෙඳපොළට නිකුත් කළ නොහැකියි. ඒ වගේම නිෂ්පාදන ක්‍රියාවලියම අන්තර්ජාතික මට්ටමේ ප්‍රමිතීන්ට අනුකූලව සහ දැඩි මානව සහ නීතිගරුක සහ පාරසරික හිතකාමී ප්‍රතිපත්ති අනුගමනය කරමිනුයි සිදු කරනු ලබන්නේ. අවම තරමේ වැරදියට මහන ඇඳුමක්වත් වෙළෙඳපොළට නිකුත් කරන්න හැකියාවක් නෑ.

පහත තිබෙන්නේ 2019 වසරේ කාන්තා සහ පිරිමි යට ඇඳුම් ආනයනය සහ අපනයනය කළ ප්‍රමාණයි. අප ආනයනය කර ඇත්තේ කොතරම් අඩු ප්‍රමාණයක්ද සහ අප අපනයනය කර ඇත්තේ කොතරම් වැඩි ප්‍රමාණයක්ද යන්න පහසුවෙන් දැක ගත හැකියි.

Screenshot (134).png
මුලාශ්‍රය :trademap.org ස​හ සුභාශිණී අබේසිංහගේ Twitter පිටුවෙ​න්

මුලාශ්‍රය :trademap.org ස​හ සුභාශිණී අබේසිංහගේ Twitter පිටුවෙ​න්

නමුත් එහි තේරුම දේශීය වෙළෙඳපොළට යට ඇඳුම් සැපයීමට අපේම ව්‍යාපරිකයන්ට අවස්ථාවක් නොමැති බවත් නොවෙයි. දැනට අපනයනය කරන්නේත් දේශීය ව්‍යාපාරිකයන්මයි. ඔවුන් ලෝකය සමග සාර්ථකව තර​ඟ කරමින් විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසකට රැකියා සහ ආදායම් උපයාදෙමින් සාර්ථකව ව්‍යාපාර කරනු ලබනවා. ඒ වගේම පමුණුව සහ විවිධ ප්‍රදේශවල ශ්‍රී ලාංකික වෙළෙඳපොළ සදහා නිර්මාණය කරන යට ඇඳුම් ඕනෑ තරම් තිබෙනවා.

ඒ වගේම යට ඇඳුම් යනු තම ශරීරයේ හැඩයට, සුව පහසුවට, සනීපාරක්ෂාවට සහ ඒ සමග ඇති වෙළෙඳනාම ලැදියාවට මෙන්ම මිලට අනුව පරිභෝජනය කරන භාණ්ඩයක් නිසා ඕනෑම වෙළෙඳනාමයක් ශ්‍රී ලංකාව තුළ මිලට ගත හැකි හැකියාවක් තිබීම ඉතා වැදහත්. එය වැදහත් ශ්‍රී ලාංකිකයන්ටමයි. අප ගුණාත්මකබවින් වැඩි දේවල් භාවිත කිරීමෙන් අපගේ ජීවිතයේ ගුණාත්මකභව වැඩි වෙනවා මෙන්ම අපගේ කාර්යක්ශමතාවයත් වැඩි වෙනවා. අපි මොහොතකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම උදාහරණයකට ගතහොත් අපිට අවශ්‍ය ඔවුන් ජයග්‍රහනය කරමින් ශ්‍රී ලංකාවේ කීර්තිනාමය බැබළීම විනා ඔවුන් පන්දුවට පහරදෙන පිත්ත ශ්‍රී ලංකාව තුළ නිපදවීම හෝ ඔවුන්ගේ පා ආවරණ, සපත්තු ශ්‍රී ලංකාව තුළ නිපදවීම නොවෙයි. අපේ අරමුණ තරගය ජයග්‍රහණය කිරීමයි. ඒ සඳහා අප ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීම විනා අප ඔවුන්ගේ ඇඳුම් පැලඳුම් වල ජාතිය සහ ජන්මය සෙවීම කිසිම තේරුමක් නොමැති වැඩක්.

ආර්ථික තරගයේදීත් අප කළ යුතු වන්නේ ලෝකය සමග තරග කිරීමට හැකියාව තිබෙන නිෂ්පාදන වෙතින් අපගේ ශ්‍රී ලාංකිකයන්ගේ ආදායම් වැඩි කර ජීවන මට්ටම ඉහළ නැංවීම විනා අන් අයගේ නිර්මාණ වෙනුවෙන් ඊර්ශ්‍යා කරමින් ආනයන තහනම් කරමින් තරග කිරීමට අපගේ ඇති නොහැකියාව සඟවා ගැනීම වෙනුවට, තරගය තුළින් ආනයනික භාණ්ඩ අභිභවා යමින්වලට වඩා සාර්ථක භාණ්ඩ නිපදවීමෙන් වැඩි ආදායම් සහ රැකියා නිපදවීමයි.

රජය ආනයන සඳහා බැංකු කටයුතුවලට සීමා යොදන්නේ රටේ තිබෙන ඩොලර් අර්බුදය නිසායි. අප එය තේරුම් ගත යුතුයි. අප එම ප්‍රශ්නයෙන් ගොඩ ඒමට ඩොලර් අර්බුදයෙන් පිටතට පැමිණිය යුතුයි. ආනයනවලින් එය කිරීමට උත්සාහ කිරීම ඒ සඳහා දීර්ඝ කාලීන විසඳුමක් නොවෙයි. භාණ්ඩ සහ සේවාවල ජාතියට සහ ජන්මයට වෛර කර මිනිසුන්ගෙන් වාසියට පමණක් ප්‍රයෝජනයක් ගන්නා ආර්ථික ක්‍රමයක් වෙනුවට අපට අවශ්‍ය වන්නේ භාණ්ඩ සහ සේවා භාවිත කර මිනිසුන්ට ප්‍රේම කරන ආර්ථික ක්‍රමයක් නොවෙයිද?

2021 සැප්තැම්බර් 17 වන දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියක්

මරණ තුනක් නැති මීපැණි කන ආර්ථිකයක්!

මරණ තුනක් නැති මීපැණි කන ආර්ථිකයක්!

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පනත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන පැහැදිලි කිරීමට කවියක් ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාවට ඇති ආර්ථික අර්බුදය සහ අපට තිබෙන පිළිතුරු එතුමාගේ කවියෙන්ම සොයා ගැනීමයි අප උත්සාහ කරන්නේ. එතුමා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ ගැඹුර ඉතාම මැනවින් පැහැදිලි කළා. එතුමා ඉදිරිපත් කළ කවියේ සම්පූර්ණ අර්ථය දැන ගැනීමෙන් අර්බුදයේ ගැඹුරද අපට හොඳින් අවබෝධ කර ගැනීමට හැකි වෙනවා.

මේ කවියෙන් කියවෙන්නේ වනාන්තරයේ ඇවිදින මිනිසෙක් මුහුණදුන් ඉතා භයංකාර අත්දැකීමක්. ඒ ඇවිදින මිනිසා හරියට ශ්‍රී ලංකාවේ ආර්ථිකය වගෙයි.

වනේ ගිජිඳාය දුටුවොත් වනසාය - ළිඳේ පනිදාය වැටුණොත් ඌ කාය

අතකින් කරවැලකි අතකින් දඬු බෑය - මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය

වනේ ගිජිඳාය දුටුවොත් වනසාය - ණය අර්බුදය අප පසුපසම පැමිණේ

පළමුවැනි පදයෙන් කියවෙන්නේ වනාන්තරයේ ඇවිදින මනුස්සයාට කෝපයෙන් සිටින තනි අලියෙක් මුහුණට මුහුණ හමු වෙනවා. කෝප වූ තනි අලියා මනුස්සයා පසුපස වේගයෙන් එළවාගෙන එනවා. හරියට ශ්‍රී ලංකාවට ගෙවන්නට තිබෙන ණය කන්දරාව වගෙයි. ලෝකය පුරා සිටින ආයෝජකයන්ගෙන් ඩොලර්වලින් වසර ගණනක් ණයට මුදල් ගෙන ප්‍රතිලාභ නොලැබෙන ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමෙන් අපම නිර්මාණය කරගත් ණය අර්බුදය දැන් අප පසුපස එන්නේ හරියට බඩ ගින්නේ කෝප වී සිටින හස්තියෙක් අපි පසුපස එන ආකරයටයි. අපගේ ආර්ථිකය දුර්වල නිසා නැවත වෙළෙඳ පොළෙන් ණය ලබා ගැනීමටත් අපහසුයි. සියලුම ණය ශ්‍රේණිගත කිරීම් ආයතන අපගේ ණය ගෙවීමේ ශ්‍රේණිය පහත දමා තිබෙනවා. මේ තනි අලියාගෙන් ගැලවෙන්නට තිබෙන එක ක්‍රමයක් වන්නේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමයි. ණය ගෙවීම පැහැර හැරියොත් ශ්‍රී ලංකාව අන්තර්ජාතික වශයෙන් බංකොළොත් රටක් වීමෙන් අන්තර්ජාතික ගනුදෙනු සියල්ල නැවතීමේ අවදානමක් තිබෙනවා. එසේ වුවහොත් කොවිඩ් තත්වයක් මැද බෙහෙත් වර්ග, අත්‍යවශ්‍ය භාණ්ඩ, ඛනිජ තෙල් වැනි කිසිවක් ගෙන්වා ගැනීමට නොහැකි හුදෙකලා රටක් වීමේ අවදානමක් තිබෙනවා.

විසඳුම:

මෙවැනි අවස්ථාවක අපට කළ හැකි දේ අතර එකක් වන්නේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමයි. නමුත් එය ඉතාමත්ම වේදනාකාරී ක්‍රියාපටිපාටියක්. ඒ වගේම රටේ කීර්තිනාමයටත් හානියක් සිදුවෙනවා. වසර ගණනක් නීති කටයුතු දික් ගැස්සෙන කේවල් කිරීම් ගණනාවක් සිදුකිරීමට සිදුවෙන ක්‍රියාවලියක්. නමුත් රටක් බංකොළොත් වීමෙන් ඇතිවන වේදනාවට වඩා එම වේදනාව අවමයි. ඒ සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහය ලබා ගත යුතු වෙනවා. එයට හේතුව ඕනෑම අන්තර්ජාතික ස්වෛරී බැදුම්කර ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට විශ්වාසය ඇතිකළ හැකි එකම අන්තර්ජාතික ආයතනය අන්තර්ජාතික මූල්‍ය අරමුදල වීමයි. එම ආයතනය පිහිටුවීමේ මූලික අරමුණ වී තිබෙන්නේත් එයමයි. එම විසඳුම හරියට කෝපවී වී අප පසුපස එළවන තනි අලියාගේ වේගය තරමක් අඩු කිරීමක් වගේයි. නමුත් එහි තේරුම අප සම්පූර්ණයෙන් තනි අලියාගෙන් පහර කෑමේ අවදානමෙන් මිදුණා කියන එක නොවෙයි. එහි තේරුම අලියාගේ වේගය තරමක් අඩුවීමෙන් අපට ටිකක් වේගයෙන් ඉස්සරහට දුවන්නට වැඩි කාලයක් ලැබීම පමණයි.

ළිඳේ පනිදාය වැටුණොත් ඌ කාය - ණය ගෙවීමට පොලී අනුපාත අඩුකිරීමෙන් ඇතිවූ විදේශ විනිමය අර්බුදය

දෙවැනි පදයෙන් කියවෙන්නේ තනි අලියාගෙන් බේරීමට දිවයන මනුස්සයා ළිඳකට පනී. ඒත් පනින්න සැරසුණු ඔහුට එකවරම පෙනෙන්නේ ළිඳේ වතුර නැති බවත් ළිඳ පතුලේ විශාල නාගයෙක් පෙනය පුප්පාගෙන ඉන්නා ආකරයයි. ඒ සමගම ඔහු එක වරම එයින් බේරීමට ළිඳ ඇතුළට එල්ලෙන වැල්පොටක් අත්දෙනික් අල්ලා ගෙන ළිඳට වැටීමෙන් වැළකෙයි. දැන් ඔහු සිටින්නේ වැල්පොටවල් දෙකකින් එල්ලෙමින් ළිං බිත්තියේ. ළිඳ පාමුල තනි අලියා මොරදෙමින් කේන්තියෙන් බලා සිටියි. බේරීමට ළිඳට පැන්ණොත් වතුර නැති නිසා එක්කෝ වැටී මියයයි. නැත්තම් නාගයා දෂ්ට කිරීමෙන් මිය යාමට ඉඩ තිබෙනවා.

මේ තත්ත්වය හරියට ණය අර්බුදයෙන් ගැලවීමට අප සංචිත භාවිත කරමින් දිගටම ණය ගෙවනු ලැබුවා. නමුත් දැන් සංචිත අඩුවීම නිසා අපේ සංචිත ප්‍රමාණවත් වන්නේ සති කිහිපයක ආනයන සඳහා පමණයි. එමගින් ණය ශ්‍රේණිගත කිරීම්වල තවත් පහළට ඇදවැටීමට විශාල අවදානමක් තිබෙනවා. ඒ වගේම දේශීය ණය සඳහා විශාල පොලියක් ගෙවීමට අප විශාල කාලයක් කෘත්‍රිමව පොලී අනුපාත අඩු කරගෙන සිටිනු ලැබුවා. එවිට සිදුවුණේ අපගේ ආර්ථිකයේ විශාල කොටසක් ආනයන අඩංගු වන නිසා, ආනයන තවත් වැඩි වීමෙන් අපට තිබූ විදේශ විනිමය ශීඝ්‍රයෙන් වියදම් වී යාමයි. කෘත්‍රිම ලෙස පොලී අනුපාත පහළ තබා ගැනීමට විශාල ලෙස මූල්‍ය පද්ධතියට මුදල් එකතු කරනු ලැබුවා. එම නිසා ඩොලරයට සාපේක්ෂව රුපියල විශාල ලෙස අවප්‍රමාණ වුණා. මහ බැංකුව සතුව සංචිත නොමැතිවීමෙන් සංචිත වෙළෙඳපොළට නිකුත් කිරීමෙන් විනිමය අනුපාත පාලනය ද ගිලිහී ගියා. විශාල ලෙස ආනයන ශ්‍රී ලංකාවට අවශ්‍ය නිසා ආනයනය කරන භාණ්ඩ බොහොමයක, එනම් ඛනිජ තෙල්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බෙහෙත් වර්ගවල මිල මෙන්ම සෞඛ්‍ය වියදම ද වැඩි වුණා. එය හරියට හස්තියාගෙන් බේරීමට ළිඳට පැනීමේ උපක්‍රමයෙන් ප්‍රශ්නය තවත් වැඩීවීමයි. කලින් බේරීමට තිබුණේ හස්තියාගෙන් පමණයි. නමුත් දැන් හසිතියා සහ නාගයා යන දෙදෙනාගෙන්ම බේරිය යුතුයි.

විසඳුම : පොලී අනුපාත මහ බැංකුව තරමක් දුරට ඉහළ දමනු ලැබුවා. නමුත් පවතින තත්ත්වය අනුව එය තවදුරටත් ඉහළ දමමින් මූල්‍ය පද්ධතිය තරමක් තද කිරීම හැර වෙන ක්‍රමයක් ඉතුරු වී නෑ. විශාල පොළී අනුපාත පැවතීම කිසිම ආර්ථිකයකට සුදුසු කටයුත්තක් නොවෙයි. නමුත් අලියාගෙන් ගැලවීමට සාපේක්ෂව සහ නයාගෙන් මිය යාමට සාපේක්ෂව එය අඩු වේදනාකාරීයි. පොලී අනුපාත වැඩි කිරීමේදී ආර්ථික වේගය අඩු වීම සහ ව්‍යාපාර මගින් ඔවුන්ගේ වියදම් සීමා කිරීම නිරායාසයෙන්ම සිදුවනවා. ඒත් පවතින විදේශ විනිමය අර්බුදයෙන් ගැලවීමට පවතින ක්‍රමයම රැගෙනයාම ඊටත් වඩා අපහසුයි. ඒ වගේම මෙම ප්‍රශ්නයෙන් දීර්ගකාලීනව ගොඩ ඒමට ආර්ථික ප්‍රතිසංස්කරණවල වැදගත්කම නැවත අවධාරණය කිරීමට සිදුවනවා. පාඩු ලබන රාජ්‍ය ආයතන වසා දැමීම හෝ පුද්ගලීකරණය කිරීම, නිසි පරිදි ආයෝජනය නොකරන රාජ්‍ය වත්කම් පුද්ගලික ආයෝජන සඳහා විවෘත කිරීම එවැනි ක්‍රම කිහිපයක්.

අතකින් කරවැලකි අතකින් දඬුබෑය - ඩොලරය රු.203ට ස්ථාවර කිරීමට උත්සාහ කිරීමෙන් ප්‍රශ්නය උග්‍රවීම

අලියාත් නාගයාත් අතර මරණ දෙකක සිරවී සිටින මිනිසා ඔහු අල්ලා සිටින එක වැල්පොටක් දිහා බලයි. එවිට ඔහුට පෙනෙන්නේ වැල් පොට හසුවී ඇත්තේ තවත් විෂඝෝර කරවලා සර්පයෙකුගේ වලිගයත් සමගයි. සර්පයා කේන්තියෙන් දඟලයි. අත බුරුල් කළහොත් එම සර්පයා දෂ්ට කරයි. එක අතකින් වැටීමෙන් බේරීමට එල්ලී සිටීමට අල්ලා ගත් වැල කරවලා සර්පයාගේ වලිගය වීම සමාන කළ හැක්කේ රුපියලේ අගය අවප්‍රමාණ වීම වැළැක්වීමට රුපියල 203ට ස්ථාවර කිරීමට මහ බැංකුව ගත් උත්සාහයයි. ඩොලරයේ මිල කෘත්‍රීම ලෙස ස්ථාවර කිරීමෙන් සිදුවී ඇත්තේ ඩොලර් අතේ තිබෙන පුද්ගලයන් බැංකු වෙත ඩොලර් මුදා නොහැරීමයි. වෙළෙඳ පොළේ ඩොලර් අඩුවීමෙන් එයට එල්ලවන ඉල්ලුම වැඩි වීම නිසා සහ අස්ථාවර නිසා ඩොලර් තිබෙන ව්‍යාපාරිකයන් සහ ඩොලර්වලින් මුදල් උපයන කිසිවෙක් දැන් වෙළෙඳ පොළට ඩොලර් නිකුත් කිරීමක් සිදු නොකරයි. එම නිසා මෙතෙක් කල් වැඩිවෙමින් පැවති ප්‍රේෂණ ද දැන් අඩු වෙමින් පවතී. එමගින් මූල්‍ය පද්ධතියේ තිබුණාටත් වඩා ඩොලර් හිඟ වීමෙන් තත්ත්වය තවත් උග්‍රවේ. එමගින් බෙහෙත්, අපනයන සඳහා අවශ්‍ය ආනයන, වාහනවල අමතර කොටස් ඇතුළු ආර්ථිකය පවත්වා ගැනීමට අවශ්‍ය මූලික භාණ්ඩවත් ගෙන්වා ගැනීමට හැකියාවක් නොමැති වේ. අපනයන සඳහා අවශ්‍ය ආනයන නොමැති වීමෙන් අපනයන වෙළෙඳ පොළ ද කඩා වැටිය හැකිය. දැන් අලියාගේත්, නාගයාගේත්, කරවලාගේත් මරණ තුන අතර මිනිසා දෝලනය වෙයි.

විසඳුම : ඩොලරයට ඒ අනුව එහි වෙළෙඳ පොළ අගය ලබා ගැනීමට අවස්ථාව දිය යුතුමය. වෙළෙඳ පොළේ ඩොලර් නොමැති නම් ඩොලරයක් රු.203ක් ලෙස නිවේදනයක් නිකුත් කිරීමෙන් පමණක් කිසිම තේරුමක් ඇති වන්නේ නැත. එමගින් සිදුවන්නේ ව්‍යාපාරික ප්‍රජාවගේ විශ්වාසය තවත් බිඳ වැටීමයි. ඒ අනුව ඩොලරයට වෙළෙඳ පොළ අගය ලබා ගැනීමට අවස්ථාව දුන් විට අතේ ඩොලර් සඟවාගෙන සිටින අය නිරායාසයෙන්ම වැඩි මිලක් ලැබෙන නිසා ඩොලර් මූල්‍ය පද්ධතියට මුදා හරියි. නමුත් එවිට ඩොලරයේ වටිනාකම රු. 240- 260 වැනි ඉහළ අගයකට යාම වැළැක්විය නොහැකිය. එමගින් බඩු මිල ඉහළ යාම, උද්ධමනය වැඩිවීම සිදුවීම ද වැළැක්විය නොහැක. නමුත් එමගින් සිදුවන වේදනාව අඩුය. නමුත් නැවතත් අපගේ මූල්‍ය පද්ධතියේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ කිරීම අනිවාර්ය වේ. ස්වාධීන ජාතික ණය කාර්යාලයක් පිහිටුවීම, මහ බැංකුවට අනවශ්‍ය ලෙස මූල්‍ය පද්ධතියට මුදල් නිකුත් කිරීම සහ පවතින රජයන්ට මහ බැංකුවට එලෙස බලපෑම් කිරීමට නොහැකි ලෙස ආයතනික ව්‍යූහය සැකසීම වැනි දැවැන්ත ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය වේ.

මරණ තුනක් ඇති මිනිසෙක් පැණිකෑය - කොටස් වෙළෙඳ පොළ සක්‍රීය වීම සහ ස්වයංපෝෂිත වීම පිළිබඳ මිථ්‍යා මත

එක් අතකින් කරවලා සර්පයා සහිත වැල්පොට අල්ලාගෙන සිටින මිනිසාට පහතින් පෙනෙන්නේ ළිඳ පතුලේ පෙනය පුප්පා සිටින නාගයායි. ළිඳේ ඉහළින් සිටින්නේ කේන්ති ගිය හස්තියායි. හරියටම ශ්‍රී ලංකාවේ ආර්ථිකය වගේමයි. සැබැවින්ම අපගේ ආර්ථික අර්බුදය ඊටත් වඩා ඛේදනීයයි. එක් අතකින් විදේශ ණය අර්බුදය, අනෙක් අතින් විදේශ විනිමය අර්බුදය, තවත් පසකින් විදේශ විනිමය හා සම්බන්ධ වුණු ජීවන මිල ඉහළ යාම සහ සෞඛ්‍ය අර්බුදය වැනි මරණ ගණනාවක් අතර සිරවී සිටින මිනිසා වගේමයි අපේ ආර්ථිකයත්. නමුත් එක් අතකින් කරවලා සර්පයා අල්ලා සිටියත්, අනිත් වැල්පොටෙන් එහි තිබූ මී වදයක් පොඩි වීම නිසා ඔහුගේ අත දිගේ මී වදය පොඩි වීමෙන් මීපැණි හෙමින් වැක්කෙරේ. එවිට මිනිසා මරණ තුනක් මත සිටියත් මීපැණිවල රස බලන්නාක් මෙන් සමහර අවස්ථාවල ආර්ථිකයේ ධනාත්මක පණිවිඩ ද අපට ලැබේ. පසුගිය දිනවල කොටස් වෙළෙඳ පොළ සක්‍රීය වීම, අපගේ අපනයන පසුගිය මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා යාම ඉන් ප්‍රධාන කාරණායි. නමුත් වැල්පොට දෙකේ එල්ලී සිට මීපැණි කෑමෙන් මරණ තුනෙන් මිනිසාට ගැලවිය නොහැක්කක් මෙන්ම එවැනි සිද්ධීන්වල ධනාත්මක බවින් අප ආර්ථික ප්‍රතිසංකරණ කිරීමට ඇති අවශ්‍යතාව අමතක කළ යුතු නොවේ. ඒ අතරම මීපැණි මෙන් මිහිරි ස්වයංපෝෂිත ආර්ථික ක්‍රම වැනි යල් පැන ගිය ආර්ථික සංකල්පවලට කොටුවීමෙන් අප සිටින්නේ මරණ තුනක් අතර බව අමතක නොකළ යුතුය. ඒ නිසා කෙටිකාලීනව මීපැණි රස විඳිමින් මරණ තුනක් අතර එල්ලී සිටිනවාට වඩා අප කළයුතු වන්නේ දිගු කාලීන ආර්ථික ප්‍රතිසංස්කරණ මගින් අපගේ ආර්ථිකය දිගුකාලීනව ඉදිරියට ගැනීමයි. එවිට අපට පසුව නිදහසේ මීපැණි කෑ හැක. මරණ තුන මත සිට කිසිම දෙයක් නොකර වැල් පොට දෙකේ එල්ලී කෙටිකාලීන මුදල් හුවමාරු මත යැපීමෙන් මීපැණි ගැන සිතීමෙන් (ස්වොප් පහසුකම්) සිදුවන්නේ අප සිතනවාට වඩා හස්තියාත්, නාගයාත්, කරවලාත් අප වෙත ඉක්මනින් පැමිණීමයි. අප අල්ලා සිටින වරපොටත් ක්‍රමයෙන් බුරුල් වේ. දැන්වත් අපි ආර්ථික ප්‍රතිසංස්කරණ ඉක්මන් කරමු.


2021 සැප්තැම්බර් 03 වන දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියක්

අත්‍යාවශ්‍ය භාන්ඩවල මිල වැඩිවීම හේතුපල දහමින් තේරුම් ගනිමු

මේ දිනවල වැඩියෙන්ම කතාබහට ලක්වෙන්නේ ඇයි මේ භාණ්ඩවල මිල එක පාරටම වැඩි වෙන්නෙ කියල. සුපුරුදු විදියටම ඉතිං භාණ්ඩවල මිල වැඩි වෙනවා කියන්නෙ පවතින රජය සෑහෙන්න බැනුම් අහන වැඩක්. ඒනිසා වැඩි වෙන බඩු මිලට එක එක හේතු පැහැදිලි කරනවා.

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ බඩු මිල වැඩි වෙන්නේ වෙළෙඳුන් බඩු හංගගෙන වැඩි ලාභ උපයාගන්න කරන උප්පරවැටියක් නිසා කියල. වෙළෙඳුන් විතරක් නෙවෙයි, බොහෝ වෙලාවට පවතින ආණ්ඩුව කියන්නෙත් මේක රජය අපහසුතාවට පත් කරන මහා කුමන්ත්‍රණයක්, මේකට විරුද්ධ පක්ෂයත් සම්බන්ධයි කියල.

වර්තමාන වෙළෙඳ අමාත්‍යවරයා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස එවකට පැවැති රජයේ භාණ්ඩවල මිල වැඩිවීම සහ මිල පාලනය දැඩිව විවේචනය කළා. එවකට පැවති ආණ්ඩුව ප්‍රකාශ කළෙත් බඩු මිල ඉහළ යාම එවක විපක්ෂය වෙළෙඳුන් සමග එක්වී රජය අපහසුතාවට පත් කිරීමට කරන දේශපාලන කුමන්ත්‍රණයක් බවයි. වසර කිහිපයකට පසුව ආණ්ඩුව සහ විපක්ෂය දැන් මාරු වී එම තර්කයම දෙපැත්තේ සිට බෙදා ගැනීමෙන් සහ ජනතාව කාලෙන් කාලෙට එම තර්කයම පිළිගැනීමෙන් පෙනෙන්නේ ලංකාවෙ බොහෝ දෙනෙක්ට තවමත් බදු මිල ඉහළ යාම ගැන අවබෝධය ඉතාම අඩුයි කියල. ඕනෑම ක්‍රමවේදයක් පිළිබඳව අවබෝධය අඩුවුණාම එය කුමන්ත්‍රණයක් ලෙස දැකීම සාමාන්‍ය දෙයක්. දැන් එක පාරටම භාණ්ඩ ගණනාවක මිල ඉහළ ගිහිල්ලා. හැමෝටම ප්‍රශ්නයක් මොකක්ද මේ වෙන්නේ කියල.

මීට ප්‍රතිචාරයක් විදියට රජය විශාල මිල පාලනයක් යොදවමින් පාරිභෝගික අධිකාරිය හරහා රජය නියම කරන ලද මිලකට භාණ්ඩ විකිණීමට ව්‍යාපාරිකයන්ට බල කිරීමත් නව නීති තත්ත්වයන් ක්‍රියාත්මක කරමින් අත්‍යවශ්‍ය භාණ්ඩ විකීණීම සහ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවවාන් කිරීමත් දැක ගත හැකියි. විපක්ෂයත් යෝජනා කරන්නේ අඩු මිලට රජය භාණ්ඩ පාලන මිල යටතේ ලබා දිය යුතු බවයි.

ආණ්ඩුවේ සහ විපක්ෂයේ මෙම ප්‍රකාශවලින් පෙනෙන්නේ ඔවුන් දෙපාර්ශ්වයටම මෙම ප්‍රශ්නය ගැන එතරම් අවබෝධයක් සහ මේ පිටුපස තිබෙන ආර්ථික විද්‍යාව පිළිබඳ අවබෝධයක් නොමැති බවයි. ආණ්ඩුව සහ බොහෝ දෙනා පුදුම වී බලා සිටින්නේ වැට් (VAT) බද්ද සහ තවත් බදු වර්ග මෙතරම් අඩු කරත් බඩු මිල අඩු වන්නේ නැත්තේ කුමන හේතුව නිසාද යන්නයි. බොහෝ දෙනෙක්ට නොතේරෙන කරුණ තමයි භාණ්ඩ වල මිල වැඩිවීම යනු ප්‍රතිඵලය මිස හේතුව නොවෙයි. එම නිසා ප්‍රතිඵලයට බලපෑම් කිරීමට උත්සහ කිරීමෙන් හේතුවට කිසිම වෙනසක් වෙන්නේ නෑ. ඒ නිසා එකම ප්‍රතිඵලය නැවත නැවත සිදුවීම වැළැක්විය නොහැකියි.

බුදු දහමේ මූලිකම හරය තමයි හේතුඵල දහම. සරලව කියනවනම් ප්‍රතිඵලයට බලපෑමක් ඇති කිරීමට නම් අප ප්‍රතිඵලය ඇතිවන හේතුවලට බලපෑමක් ඇති කළ යුතුයි.

දැන් අපි තේරුම් ගන්න ඕන ඇයි එහෙනම් භාණ්ඩ මිල වැඩි වෙන්නේ කියල. ඇඩ්වොකාටා ආයතනයේ බත් කරි ඉන්ඩිකේටර් දර්ශකයට අනුව ආහාර භාණ්ඩවල මිල පසුගිය වසරේ ජූලි මාසයට සාපේක්ෂව මේ වසරේ ජූලි මාසයේදී 45%කින් වැඩිවී තිබෙනවා. පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව 30%කින් ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකුව නිකුත් කර ඇති උද්ධමනය 6% ඉක්මවා වර්ධනය වෙමින් පවතිනවා.

සමහර දෙනෙක් අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ වල මිල මේ දිනවල ඉහළ යන නිසා එම භාණ්ඩවල මිල ඉහළ යාම ශ්‍රී ලංකාවේ භාණ්ඩවල මිල ඉහළ යාමට බලපාන බවයි. එහි යම් සත්‍යතාවක් තිබුණත් එය සම්පූර්ණ සත්‍ය නොවේ. මේ දිනවල මුළු ලෝකයේම විවිධ හේතු නිසා භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇති බව සත්‍යයක්. විවිධ භූ දේශපාලන ඝට්ටන, කොවිඩ් තත්ත්වය, නැව් ගාස්තු වල ඉහළයාම, බොරතෙල් මිල ඉහළ යාම ආදී විවිධ හේතු ඒ සඳහා බලපානු ලබනවා. ඒ වගේම ලෝක වෙළෙඳපොළේ භාණ්ඩවල මිල නිතරම ඉහළ පහළ යනු ලබනවා සහ එලෙස භාණ්ඩ මිල ඉහළ ගිය ප්‍රථම අවස්ථාව මෙය නොවෙයි. අවසාන අවස්ථාවද මෙය නොවේවි.

ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය භාණ්වල මිල ඉහළ යාමට ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාම බලපාන්නේ සුළු වශයෙන්. ශ්‍රී ලංකාවේ භාණ්ඩවල මිල ඉහළ යාමට තවත් හේතු ගණනාවක් බලපානු ලබනවා.

විදේශ විනිමය අර්බුදය

ඉන් ප්‍රධාන හේතුවනම් විදේශ විනිමය අර්බුදය නැතහොත් අවශ්‍ය තරමට ඩොලර් නොමැතිවීමයි. අවශ්‍ය තරමට ඩොලර් නොමැති නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරන ආනයන ව්‍යාපාරිකයන්ට බැංකුවෙන් ඩොලර් ලබා ගැනීම ඉතාම අපහසුයි. ඒ වගේම ඩොලර් ලබා ගත්තත් ඔවුන් මිලදී ගන්නේ ඉතාම ඉහළ අගයකටයි. ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවට (Standard Chartered Bank) අනුව ඩොලර් එකක් ඔවුන් ආනයනකරුවකුට බදාදා දිනට අදාළව විකුණන්නේ රුපියල් 224කටයි. එලෙස රු. 224ට ඩොලර් දැන් මිලදී ගැනීමත් පහසු නෑ. බැංකුවේ සෑහෙන රස්තියාදු වීමෙන් තමයි එලෙස ඩොලර් මිලදී ගත හැක්කේ. එම නිසා ආනනයනකරුවන්ට දැන් යන වියදම සහ කාලය වැඩියි. එමනිසා ඔවුන් ආනයනය කරන භාණ්ඩවල මිලත් ඉතා වැඩියි. අවිධිමත් වෙළෙඳපොළේ ඩොලරය රුපියල් 250ට වැඩි මිලකට අලෙවි වන බව වාර්තා වනවා. ඒ වගේම බැංකුවලින් ඉදිරියේදී ඩොලර් මිලදී ගැනීම අපහසු වන නිසා ආනයනකරුවන් ඉදිරි කාලයේදී සිදුවන අපහසුතාද සැලකිල්ලට ගෙන තමයි මිල ගණන් නියම කරන්නේ. ඒ වගේම මිල ගණන් නිතරම ඉහළ යන නිසා භාණ්ඩ අද විකුණුවාට වඩා හෙට විකිණීමෙන් වැඩි ලාභයක් ඉපැයීමට හැකියාව ලැබෙනවා. ඒ අනුව භාණ්ඩවල හිඟයක් නිතරම ඇතිවනවා වගේම සැපයුම අඩුවී ඉල්ලුම වැඩි වීමෙන් භාණ්ඩවල මිල ඉහළ යනවා. ලෝක වෙළෙඳපොළේ භාණ්ඩවල මිල ඉහළ යන මොහොතක විනිමය අර්බුදයක් ඇතිවීම තරම් භාණ්ඩ මිල ඉහළ යාමට දරුණු ලෙස බලපාන තවත් සංකලනයක් නොමැති තරම්. ශ්‍රී ලංකාවේ භාණ්ඩවල මිල ඉහළ යෑමට එය එක හේතුවක්. ඒ වගේම අපගේ විනිමය අනුපාත දිගටම පහළ වැටෙන්නේනම් ඉදිරියේදී තවත් තෙල් මිල ගෑස් මිල සහ කිරිපිටි ඇතුළු ආනයනික භාණ්ඩ ගණනාවකම මිල ඉහළ යාම වැළැක්විය නොහැකියි.

ඒ වගේම මේදිනවල දක්නට ලැබුණු ප්‍රධාන කරුණක් තමයි සීනි සහ සමහර අත්‍යවශ්‍ය භාණ්ඩ තොග ගබඩාවලින් රජය අත්අඩංගුවට ගැනීම සහ ඒවා රාජසන්තක කිරීම. මෙහිදීත් විනිමය අනුපාතවලින් එල්ලවන බලපෑම සහ වෙළෙඳුන් එසේ කිරීමට බලපාන හේතුව අවබෝධ කර ගැනීම වැදගත්.

බොහෝ ආනයනකරුවන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලට ගෙනඑන්නේ ඩොලර්වලින් ලබා ගත් ණයටයි. ඒ අනුව බොහෝ ආයතන මාස 6ක ණය යටතේ තමයි සීනි, කිරිපිටි වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගනු ලබන්නේ. ඔවුන් එම භාණ්ඩ මිලදී ගැනීමට මාස 6කට කලින් ඔවුන්ට ඩොලරයට ගෙවන රුපියල් ප්‍රමාණය තීරණය කිරීමට හැකියාවක් නෑ. කලින් එහෙම හැකියාවක් තිබුණත් දැන් මහබැංකුව පවතින විදේශ විනිමය ගැටලුව නිසා එම හැකියාව නැති කරනු ලැබුවා. (Forward Market). එම නිසා සමහර භාණ්ඩ ආනයනය කර තොග ලංකාවට පැමිණි අවස්ථාවේ ඩොලරයේ අගය පැවතුණේ රු.190ටයි. එම තොග ලංකාවේ වෙළෙඳපොළේ එම මිලට ගණනය කිරීමෙන් අනතුරුව දැන් ආනයන නෞකාව විකුණාත් අවසන්. නමුත් මාස 6 කල් පිරීමේදි දැන් ඔවුන්ට ඩොලරයට රු. 225ක් ගෙවීමට සිදුවෙනවා. එම පාඩුව මකා ගැනීමටත් ඉදිරියට භාණ්ඩ අවශ්‍යවෙයි යන චේතනාවෙන් මෙන්ම වෙළෙඳපොළ විකෘති කිරීමේ චේතනාවෙනුත් යන කරුණුවල සියලු සංකලනයක් ලෙස භාණ්ඩ ගබඩා කර තබා ගැනීම සිදු කරනු ලබනවා.

විදේශ විනිමය අර්බුදයක් ඇති වුණේ ඇයි?

මීළඟට අප සොයා බැලිය යුත්තේ විදේශ විනිමය ප්‍රශ්නයක් ඇති වුණේ කෙසේද යන්නයි. මේ තීරු ලිපියෙන් නිතරම සටහන් කරන පරිදි අධික ලෙස මුදල් මුද්‍රණය කිරීම හෙවත් මූල්‍ය පද්ධතියට වැඩිපුර මුදල් සැපයීමෙන් සිදුවන්නේ රටේ තිබෙන ඩොලර් අඩු වීමයි. උද්ධමනය ඇතිවීමට පෙර සිදුවන්නේ ඩොලර් අඩුවීම සහ විනිමය අනුපාත වැඩිවීමයි. උද්ධමනයට බලපාන්නේ එයින් එන බලපෑමයි. එයට හේතුව වැඩිපුර එකතුකරන මුදල් ආනයන පසුපස ඩොලර් ලෙස ඉවත් වීමයි. අප උදාහරණයකට මේ දිනවල කොවිඩ් තත්ත්වය නිසා රජය ලබාදෙන රු.2000ක මුදල සැලකුවහොත් එම මුදල් බොහෝ වෙලාවට ලබාදෙන්නේ මහ බැංකුවට මහා භාණ්ඩාගාරය විකුණන භාණ්ඩාගාර බිල්පත්වලින් හෙවත් සාමාන්‍ය භාෂාවේ එන මුදල් මුද්‍රණය තුළින්. එසේ කිරීමට සිදුවී තිබෙන්නේ රජය සතුව මුදල් නොමැති නිසයි. (රජයට එලෙස නිතරම මුදල් මුද්‍රණය කිරීමට සිදුවන්නේ රජයේ ආදායමට වඩා වියදම වැඩිවීම නිසයි.) දැන් රු.2000ක දීමනාවක් ලැබෙන පවුලක් මේ මුදල් වියදම් කරන්නේ කෙසේදැයි අපි බලමු. ඔවුන් ආහාර පිසීමට එල් පී ගෑස් මිලදී ගන්නවා. පරිප්පු මිලදී ගනු ලබනවා. සැමන් ටින් එකක් සහ හාල්මැස්සන් මිලදී ගනු ලබනවා. දැන් බැලූබැල්මට ඔය සියල්ලම රුපියල්වලින් මිලදී ගත්තාව වගේ පෙනුණට ඔය සියල්ලම අපි ආනයනය කළ යුතුයි. එසේ ආනයනය කිරීම කියන්නේම ඩොලර් මූල්‍ය පද්ධතියෙන් ඉවත් වීමයි. පළමු අවස්ථාවේදී කිසියම් කෙනෙකු දේශීයව නිපදවන සහල් මිලදී ගත්තෑයයි අපි උපකල්පනය කළත් එයිනුත් කොටසක් වක්‍රාකාරයෙන් ඇදී යන්නේ සහල් මෝල්වල දහනයට අවශ්‍ය ඉන්ධන සඳහා සහ වෙනත් ආනයන සඳහායි.

එහෙමනම් ආනයනද මේ ප්‍රශ්නයට හේතුව?

මෙම පැහැදිලි කිරීමෙන් පසුව බොහෝ දෙනෙක්ට හිතෙන්නේ එහෙනම් ආනයන තමයි ප්‍රශ්නය එහෙනම් අපි ආනයන තහනම් කරන්න ඕන කියන සරල පිළිතුරයි. නමුත් එම පිළිතුරත් වැරදියි. එයට හේතුව ඛනිජ තෙල්, පරිප්පු, ගෑස් වැනි දේවල් අපට රට තුළ නිෂ්පාදනය කළ නොහැකි නිසා අනිවාර්යයෙන්ම ආනයන කිරීමට සිදුවීමයි. අනෙක් පැත්තෙන් ආනයන නැවැත්වීමෙන් භාණ්ඩ අඩුවීමෙන් තවත් ඉල්ලුම වැඩිවී භාණ්ඩවල මිල ඉහළ යා හැකියි. එම නිසා ප්‍රශ්නය ආනයන නොවෙයි. ප්‍රශ්නය වන්නේ අපට ප්‍රමාණවත් තරම් ඩොලර් ඉපැයීමට අපගේ අපනය ලෝක වෙළෙඳපොළේ තරග කිරීමට නොහැකි වීමයි. අප ප්‍රමාණවත් තරම් ඩොලර් උපයනවානම් අපට විනිමය ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

මිල පාලනය සහ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්ද?

නීති දැමීමෙන් සහ මෙම භාණ්ඩවල මිල පාලනය කිරීමෙන් සහ විවිධ ලෙස බලය යෙදවීමෙන්, ආනයනකරුවන් ආනයන සම්පූර්ණයෙන් නැවැත්වුවහොත් අත්‍යවශ්‍ය භාණ්ඩ සම්පූර්ණයෙන් වෙළෙඳපොළෙන් ඉවත් වීම, කළු කඩ වෙළෙඳපොළක් ඇතිවීම, ආනයනකරුවන් බාල භාණ්ඩ ගෙන්වීම වැනි නොසිතන තවත් ප්‍රශ්න ගණනාවක් ඇතිවිය හැකියි. පෘථිවිය සූර්යා වටා ගමන් කිරීම නිසා රාත්‍රිය සහ දහවල උදාවීම සාමාන්‍ය සොභාවික ක්‍රියාවලියක්. අපට රාත්‍රිය උදාවීම තහනම් කරමින් නීතියක් දැමූ පමණින් රාත්‍රිය උදාවීම නතර වන්නේ නෑ. වෙළෙඳපොළ ක්‍රමයත් සොභාවික ක්‍රියාවලියක්. ප්‍රශ්නයේ හේතුවට ප්‍රතිකාර කිරීම වෙනුවට ප්‍රශ්නයේ ප්‍රතිඵලයට නීති දැමීමෙන් භාණ්ඩ මිල පාලනය කිරීම අපහසුයි. ඒ සඳහා වෙළෙඳපොළ ක්‍රමයට ක්‍රියාත්මක වීමට ඉඩ දිය යුතුයි.

2021 සැප්තැම්බර් 03 වන දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියක්

වෙළෙඳපොළ මිල පාලනය නිසා හිඳෙන කිරි

මගේ මතකයේ තදින්ම සටහන් වුණු වෙළෙඳ දැන්වීමක් තිබෙනවා. ඒ තමයි පොඩි දරුවෙක් හඳ දිහා බලාගෙන “අම්මේ මට හඳ අල්ලන්න ඕන, හඳ මගේ ළඟට ගෙනැල්ලා දෙන්න කියලා’ මොරදෙමින් අඬනවා. අම්මා “මම කොහොමද පුතේ හඳ ගෙනැල්ල දෙන්නේ?, ඒක තියෙන්නේ ගොඩක් ඈතනේ’’ කියල පුතාට තේරුම් කරන්න හැදුවත් පුතා හඳ හාමිව අල්ලන්න ඕන කියමින් යටිගිරියෙන් කෑ ගහනවා.

දරුවාගේ තාත්තා රැකියාව ඉවර වෙලා ගෙදර පැමිණෙනවත් එක්කම දරුවාගේ ඉටුකිරීමට අපහසු ඉල්ලීමට නිර්මාණාත්මක විසඳුමක් ලබා දෙනවා. බේසමකට වතුර පුරවා චන්ද්‍රයාගේ ඡායාව බේසමේ වතුර මතට ගැනීමයි තාත්තා කරන්නේ. කුඩා දරුවා මේ ක්‍රියාවෙන් ඉතාම ප්‍රීතියට පත් වෙනවා. මේ කතාව මට මතක් වුණේ මේ දිනවල ගෑස් පෝලිම සහ කිරිපිටි හිඟය පිළිබඳ මාධ්‍ය වාර්තා සහ අපගේ ප්‍රතිපත්ති සම්පාදකයන් ඒ වෙනුවෙන් ලබා ද ඇති විසඳුම් දෙස බැලීමේදීයි.

“ජීවන වියදම වැඩියි, ජීවත් වෙන්න අමාරුයි, රැකියා නැති වෙලා, තෙල් මිල වැඩි වෙලා’’ කියමින් ජනතාවගේ පීඩනය එන්න එන්න රජය මතට එල්ල වෙනවා. හරියට අර කුඩා ළමයා හඳ ඉල්ලා කෑගසන ආකාරයටයි.

රජයත් හරියට ළමයාගේ කෑගැහිල්ලෙන් කෑම ටික කවා ගන්න බැරිවුණු අසරණ අම්මා වගේයි. එයට හේතුව සමහර භාණ්ඩවල මිල රජයට තීරණය කරන්න නොහැකි වීමයි. විශේෂයෙන්ම ගෑස්, කිරිපිටි වැනි ආනනයනය කරන ඒත් අපේ රටේ නිපදවිය නොහැකි භාණ්ඩවල මිල, කරුණු කාරණා ගණනාවක් මත රඳා පවතිනවා. ඉතින් මේ දිනවල ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල මෙන්ම ගෑස් මිලත් ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම අපේ රුපියල අවප්‍රමාණය වීම නිසා අපි ආනයන සඳහා රුපියල්වලින් ගෙවිය යුතු මිල වැඩි වී තිබෙනවා. අනෙක් පැත්තෙන් ආනයන සඳහා අවශ්‍ය තරම් ඩොලර් අප සතුව නෑ. එම නිසා ජනතාවගේ ජීවන වියදම වැඩියි. එම නිසා ඔවුන් රජයට එල්ල කරන බලපෑමත් වැඩියි. ඉතින් මේ තත්ත්වය හරියට කෑගහන කුඩා ළමයා වගේ.

විද්‍යාවට අනුව කුඩා ළමයාට ඇත්තටම සඳ ස්පර්ශ කරන්න අවශ්‍ය නම් අභ්‍යවකාශ යානයක එම දරුවා සඳ මත යැවීම හැරෙන්න වෙන කරන්න දෙයක් නෑ. නමුත් ඒ වෙනුවෙන් සඳේ ඡායාව ස්පර්ශ කිරීමට සැලැස්වීමෙන් දරුවා සඳ ස්පර්ශ කළා යැයි සෑහීමකට පත් වෙනවා වගේ මෙවැනි අවස්ථාවල රජය සිදු කරන්නේ අදාළ භාණ්ඩ මත මිල පාලනයක් යෙදීමයි. එය හරියට ඇත්ත හඳ වෙනුවට ස ‍‍ෙඳ්   ඡායාව ස්පර්ශ කරන්න ඉඩ දෙනවා වගේ. දේශපාලකයන් ඒ අනුව සෑම භාණ්ඩ වර්ගයකටම කලින් කලට මිල පාලනයක් යෙදීමට දක්වන්නේ පුදුම දක්ෂකමක්. එතකොට පාරිභෝගිකයන් කෙටි කාලීනව සිතනවා “දැන් භය වෙන්න දෙයක් නෑ. බඩු මිල වැඩි වෙන්නේ නෑ". නමුත් පාරිභෝගිකයන් විදියට අපි සැවොම දන්නා දෙයක් තමයි කවදාවත් පාලන මිලට එම භාණ්ඩ මිලදී ගන්නට හැකියාව නොමැති බව.

සැබවින්ම පවතින සහ පැවති සෑම රජයක්ම මිල පාලනයක් යොදා උත්සාහ කරන්නේත් අඬන දරුවා සැනසීමට තාත්තා සිදු කළ උපක්‍රමය අනුගමනය කිරීමටයි. එම උපක්‍රමය විද්‍යාව නොතේරෙණ කුඩා දරුවෙක්ට ගැළපුණත් වෙළෙඳපොළක එවැනි උපක්‍රම අනුගමනය කිරීමෙන් සිතනවාටත් වඩා ප්‍රශ්න පැන නගිනවා. එයට මූලික හේතුව වෙළෙඳපොළ නිසි පරිදි සංසන්දනය කරන්න පුළුවන් හරියට ඈතින් තිබෙන චන්ද්‍රයාට වඩා සැබවින්ම අප එදිනෙදා අත් දකින ගුරුත්වාකර්ෂණ බලයටයි. ගුරුත්වය තිබෙන බව දන්නවා වුණත් පේන්නෙ නෑ. අප පත්තරයකින් රොකට්ටුවක් සැදුවත්, සැබැවින්ම සඳ මත පතිත වන රොකොට්ටුවක් සැදුවත් ගුරුත්වයෙන් මිදිය නොහැකියි වගේ වෙළෙඳපොළ අපට මගහරින්න අපහසුයි. පොඩි කාලයේදී විද්‍යාව නොතේරෙණ වයසේ මමත් නිතරම අහන දෙයක් තමයි රාත්‍රි කාලයට හරි වතුර මතට ගියොත් හරි අපිට ගුරුත්වයෙන් මිදෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නය. නමුත් අපි හැමෝම දන්නවා එහෙම කරන්න බැරි බව. වෙළෙඳපොළ කියන්නෙත් ඒ වගේම දෙයක්. පේන්නෙ නෑ. ඒත් තියෙනවා. ඒක නොදන්න අය තමයි පාලන මිලක් දැමීම වගේ දේවල් කරන්නේ.

ඔබට මතක නම් යහපාලන රජය බලයට පැමිණි විගස සාමාන්‍ය ආප්පයක් සඳහා රු. 10කුත් බිත්තර ආප්පයක් සඳහා මාගේ මතකය නිවැරැදි නම් රු. 15කුත් ලෙස මිල නියම කළා. ප්ලේන්ටියක් සඳහා රු.10 මිලකුත්, කිරි තේකක් සඳහා රුපියල් 25ක මිලකුත් නියම කරනු ලැබුවා. එම කාලයේදී බොහෝ ආපනශාලා ආප්ප සෑදීමෙන් වැලකුණා. සමහර ආපනශාලා ආප්පයේ ප්‍රමාණය ඉතා කුඩා වුණා සහ ගුණාත්මක භාවය ඉතාම අඩු වුණා. මිල පාලනයක් යෙදූ විට මෙවැනි ඕනෑම දෙයක් විය හැකියි.

දැන් අප දකින කිරිපිටි හිඟයට මූලික හේතුවත් එයයි. පසුගිය මාස කිහිපය තුළ ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉතා විශාල ලෙස ඉහළ ගියා. ඒ වගේම අපගේ රුපියල අවප්‍රමාණ වුණා. එම නිසා අදාළ සමාගම් සඳහා පවතින මිලට කිරිපිටි විකිණීම අපහසුයි. ඒ වගේම ඩොලර් අර්බුදයක් පවතින නිසා ආනයන සඳහා ඩොලර් වෙන්කර ගැනීමත් වෙනදා තරම් පහසු නෑ. මේ සෑම කරුණක්ම මිල සඳහා බලපානු ලබනවා. දැන් ලෝක වෙළෙඳපොළේ පවතින මිල අනුව මාගේ ගණනයේ හැටියට කිරිපිටි කිලෝවක් රු. 350කින් වත් ඉහළ යා යුතුයි.

නමුත් කිරිපිටි මිල රු. 350 කින් ඉහළ දැමීමට අවසර ලැබුණහොත් එමගින් ජීවන වියදම වැඩිවීමත් රජය අපහසුතාවට පත් වීමත් වැළැක්විය නොහැකියි. එම නිසා රජය දිගටම මිල පාලනය පවත්වා ගනිමින් සිටිනවා. ඒත් අනෙක් පැත්තෙන් කිරිපිටි සමාගම්වලට එම මිලටම කිරිපිටි විකුණුවහොත් ඔවුන්ට විකුණන සෑම කිරිපිටි පැකැට්ටුවකින්ම පාඩු ලැබීමට සිදු වෙනවා. එම අවස්ථාවේදී ඇත්තටම කිරිපිටි නොවිකුණා සිටීමෙන් සිදුවන පාඩුවට වඩා වැඩියි කිරිපිටි විකිණීමෙන් සිදුවන පාඩුව. එවිට එම සමාගම් වෙළෙඳපොළට කිරිපිටි නිකුත් කිරීම අඩු කරනු ලබනවා. අන්න එවිට තමයි කිරිපිටි හිඟයක් වෙළෙඳපොළේ ඇති වෙන්නේ. අනෙක් පැත්තෙන් කිරිපිටි හිඟවන බව දැන ගත් විගස මිනිසුන් වැඩි වැඩියෙන් කිරි පිටි මිලදී ගැනීමට උත්සුක වෙනවා. එවිට වෙළෙඳපොළේ තිබෙන කිරිපිටි ප්‍රමාණය තවත් අඩු වෙනවා.

ඒ වගේම මෙවැනි අවස්ථා කළු කඩ මුදලාලිලාට ඉතාම වටිනා අවස්ථා ලෙස සැලකිය හැකියි. එයට හේතුව ඔවුන්ට ලැබෙන කිරිපිටි තොග ගබඩා කර ගැනීමෙන් කුඩා දරුවන් සිටින දෙමව්පියන් වැනි කිරිපිටි අත්‍යවශ්‍යම පිරිස් වෙත සමාන්‍යයෙන් ඉතාමත් ඉහළ මිලකට හෙවත් කළු කඩ මිලකට කිරිපිටි විකිණීමට හැකියාව ලැබෙනවා. තවත් පිරිසක් කිරිපිටි සමග පාන් පිටි හෝ වෙනත් සෞඛ්‍යාරක්ෂිත නොවන ද්‍රව්‍ය කලවම් කරමින් කිරිපිටි ප්‍රමාණය වැඩි කර ගනිමින් ගුණාත්මක බවින් අඩු භාණ්ඩ වර්ග වෙළෙඳපොළට නිකුත් කිරීම මෙවැනි තත්ත්ව යටතේ සාමාන්‍යයයි.

සමාජයේ තිබෙන තවත් මතයක් තමයි කිරිපිටි පානය ශරීර සෞඛ්‍යයට අහිතකර නිසා එය අධෛර්යවත් කිරීමට දියර කිරි ප්‍රවර්ධනය කළ යුතු බව. බොහෝ දෙනෙක්ට තිබෙන ප්‍රශ්නය තමයි කිරිපිටි මෙතරම් සෞඛ්‍යට අහිතකර වුණත් මිනිසුන් මෙතරම් කිරි පිටි බොන්නේ කුමන හේතුවකටද යන්නයි. ශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනය කරන්න බැරිද යන ප්‍රශ්නය බොහෝ දෙනෙක් අසන ප්‍රශ්නයක්. ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන බොහෝ දෙනාට දත්ත ගැන අවබෝධයක් නෑ. මුලින්ම ශ්‍රී ලංකාවට නිෂ්පාදනය කළ හැක්කේ දියර කිරි අවශ්‍යතාවයෙන් හරි අඩක් පමණයි. ඒ වගේම දියර කිරි මිලෙන් ඉතා වැඩියි. සාමාන්‍ය වැටුපක් ලබන පුද්ගලයෙක්ට දියර කිරි භාවිතයට තම මුදලක් නෑ. දියර කිරි මිල වැඩි වීමට සහ අපේ නිෂ්පාදනය අඩු වීමට මූලිකම හේතුව තමයි අපේ කිරි ගවයන්ගේ කාර්යක්ෂමතාවය අඩුවීම. සාමාන්‍යයනේ ශ්‍රී ලංකවේ කිරි ගවයන්ගෙන් දිනකට ලබා ගත හැක්කේ කිරි ලීටර් 4.3ක් පමණයි. නමුත් ලෝකයේ කිරි ගවයන්ගෙන් දිනකට ලබා ගන්නා කිරි ප්‍රමාණයේ සාමාන්‍ය අගය කිරි ලීටර් 28ක්. ඊශ්‍රායලය වැනි තාක්ෂණය දියුණු රටවල දිනකට කිරි ගවයෙක්ගෙන් කිරි ලීටර් 40ක් ලබා ගන්නවා.

මේ තත්ත්වය තුළ ලංකාවේ දියර කිරිවල මිල ඉහළ යාම වැළැක්විය නොහැකියි. එම නිසා මිල අඩු කිරිපිටි භාවිතය හැර ජනතාවට ඔවුන්ගේ අදායමට ගැළපෙන්නට කිරි මිලදී ගන්නට හැකියාවක් නෑ. දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ කිරි හරකුන් 323,490 ක් සිටියත් ඔවුන් වසරකට ලබාදෙන්නේ කිරි ලීටර් මිලියන 374ක් පමණයි. නමුත් අපේ මුළු දියර කිරි ඉල්ලුම කිරි ලීටර් මිලියන 700ක්. කිරි හරකුන්ගේ කාර්යක්ෂමතාවයට (වැඩිපුර කිරි ලබා ගන්න) දේශගුණය, ඔවුන්ට ලබාදෙන ආහාර, ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය යාමනය, ඔවුන්ගේ ජාන සංකලනය වැනි සාධක රැසක් බලපානු ලබනවා. නිතරම දෙමුහුන් කිරි හරක් ආනයනය කළ යුතු බවට මැති ඇමැතිවරුන් පවසන්නේ ඒ හේතුව නිසයි. නමුත් ඔවුන් හරියට සඳ ඡායාවෙන් වතුර බේසමෙන් අල්ලනවා වගේ කිරි හරකුන් ගෙන්වීම ගැන කතා කරන්නේ මතුපිටින් පමණයි. සැබවින්ම සඳ ඇල්ලීමට අවශ්‍යනම් ගුරුත්වයට එරෙහිව ඉහළ අහස විදගෙන යා හැකි රොකට්ටුවක් අපි සෑදිය යුතුයි. එයට අපිට ගුරුත්වයට හෙවත් වෙළෙඳපොළ ක්‍රමයට අනුගත වීමට සිදුවීම වැළැක්විය නොහැකියි.

අපට දියර කිරි ප්‍රවර්ධනයට අවශ්‍ය නම් අප සැබවින්ම කළයුතු වන්නේ වෙළෙඳපොළ ක්‍රමයට අනුව කිරිපිටිවල මිල ඉහළ යාමට ඉඩදීමයි. එවිට කිරිපිටි වෙනුවට ඇති ආදේශක වෙනුවට ජනතාව නිරායාසයෙන් නැඹුරු වනවා ඇති. එවිට කිරිපිටි සෞඛ්‍ය ආරක්ෂිත නොමැති බව සිතන ජනතාවට ඔවුන්ගේ මතය අනුව එය භාවිතයෙන් ඉවත් වීමටත් ව්‍යාපරිකයන්ගේ පැත්තෙන් කිරිපිටිවලට වඩා මිල අඩු විකල්ප වෙළෙඳපොළට හඳුන්වා දීමටත් අවස්ථාව උදාවනු ඇති. ඒ වගේම කිරිපිටි අවශ්‍යයයි සිතන ජනතාවට එය තවදුරටහ් භාවිත කිරීමේ අවස්ථාවත් උදා වනු ඇති. නමුත් මිල පාලනය කිරීමෙන් මේ කිසිම දෙයක් සිදු නොවේ. එයින් සිදුවන්නේ කිරිපිටි වෙළෙඳපොළෙන් ඉවත් වීමත්, මිල පාලන යෙදීම නිසා කිරිපිටි වෙනුවට ඉදිරිපත් කරන ආදේශකවලටත් මිල පාලනයක් පැනවිය හැකියි යන හේතුවෙන් ආදේශක ඉදිරිපත් කරන ව්‍යාපාරිකයන් අධෛර්යමත් වීමත්, අදාළ පාලන මිලට වෙළෙඳපොළේ භාණ්ඩ නොමැති වීමෙන් රජය පිළිබඳ ඇති විශ්වාසය බිඳවැටීමත්ය. එමෙන්ම මේ සියලු කරුණු එකට කැටිවීමෙන් පවතින ඕනෑම රජයක දේශපාලන බලය බිඳවැටීමත් පමණි.

නිර්මාණාත්මක දැන්වීමකට අනුව ඈත ඇති සඳ, වතුර බේසමකින් ඡායාව සේ ළඟට ගෙන දිය හැකි වුණත් ‘වෙළෙඳපොළ’ යනු ගුරුත්වය වගේ බව අපි මතක තබා ගත යුතුයි. ගුරුත්වය සමග ගනුදෙනු කරනු විනා සහ එසේ ගුරුත්වය කියා දෙයක් නොමැති බව සිතා ගුරුත්වයෙන් මිදීමට රොකට් යැවීමක් වුවද කළ හැක්කේ කැමරාවක් ඉදිරිපිට පමණි. යථා ලෝකයේ රොකට් යැවීමට ගණනය කිරීම ගුරුත්වය සමග සැසඳිය යුතු වේ.

2021 අගෝස්තු 16 වන දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියක්