ක්‍රිකට්වල ආර්ථික විද්‍යාව

මේ දවස්වල ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන බොහෝ දෙනෙක් කතා වෙනවා. ක්‍රිකට් ගැන කතාව එතරම් සතුටුදායක නොවූවත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අසාර්ථක වීමට ආර්ථික විද්‍යා හේතු ගණනාවක් තිබෙන බවයි මගේ හැඟීම. ශ්‍රී ලංකාවේ ආර්ථිකයත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවත් සාර්ථක නොවෙන්නේ එකම ආකාරයේ මූලික හේතු නිසා කිහිපයක් නිසා ඒවා ආර්ථික විද්‍යාත්මකව බැලීමත් වැදගත්. ආර්ථික විද්‍යාව කියන්නෙ එදිනෙදා ජීවිතය සහ සාමාන්‍ය දැනීම.

අතීතය යහපත් නිසා වර්තමානය ආකෘතියට අනුගත නොවීම - ක්‍රිකට් සහ ආර්ථිකය

අපි ක්‍රිකට්වලින් පටන් ගමු. අපි නිතරම ක්‍රිකට් සංසන්ධනය කරන්නේ 1996ට සාපේක්ෂව. “බලන්න, ඉස්සර සනත් ගහපු ගැහිල්ල, මුරලි බෝල දාපු විදිය, අර්ජුන නායකත්වය දීපු විදිය සහ අපි ලෝක කුසලානය දිනපු විදිය" කියල තමයි අපි පටන් ගන්නෙ. අපි ආර්ථිකය ගැන කතා කරන්නෙත් ඒ වගේමයි.

“බලන්න පරාක්‍රමබාහු රජතුමා කෘෂිකර්මාන්තයට කරපු සේවය. බලන්න ඒ කාලෙ රට සහලින් ස්වයංපෝෂිත වෙලා තිබ්බ ආකාරය. අපේ රජවරු ගිහිල්ල බුරුමය පවා ආක්‍රමණය කළා. අපි පෙර අපර දෙදිග මුහුදු මාර්ගයේ කේන්ද්‍රස්තානය. අපි පිරමීඩ පසු කරන් අහස සූරන වැව්, දාගැබ් හැදුවා. කොච්චර ආර්ථික සංවර්ධනයක්ද?”, කියන මතකය ඒක්ක තමයි අපි නිතරම අද දවස සංසන්ධනය කරන්නෙ.

එහෙම බැලුවම රටේ ආර්ථිකයෙයි, ක්‍රිකට්වලයි දෙකේම අපි අතීතයේ ශ්‍රී විභූතිය ගැන සිහිකරමින් මානසික තෘප්තියක් ගන්නවා වෙනුවට අපි ඇත්තටම වර්තමානයට මුහුණ දෙන්නෙ ඇවිල්ල නෑ.

ආර්ථික විද්‍යාවේ තිබෙන මූලිකම හරය තමයි අපගේ තිබෙන සීමිත සම්පත් උපරිම ආකාරයට කළමනාකරණය කිරීම. මේ සීමිත සම්පත් කියන සංකල්පය අප ජීවත් වෙන කාලයට සාපේක්ෂයි. අපේ ජනගහනය එතරම් වැඩි නොමැති කාලවල අපිට ඕනෑ තරම් වතුර, ඉඩම්, වනාන්තර වගේ දේවල් තිබුණා. ඒත් ජනගහනය වැඩි වෙනවා එක්කකම අපිට තවදුරටත් ඒ සම්පත් ඒ විදියට භාවිතා කරන්න බෑ. ඒක තමයි යථාර්ථය. හැමෝම ගෙදර කූඹුරක් කරගෙන ඇලකින් වතුර බීලා, සුනිල දිය දහරකින් දවල්ට නාගන්න කැමති වුනත්, අතීතයට සාපේක්ෂව ඒ සම්පත් අපිට නෑ. අද ලෝකය කියන්නේ, රටවල් ලෙස දේශ සීමා වෙන්වී තිබුණත් එකම ඒකකයක් ලෙස ක්‍රියාත්මක වන තනි රටක්. ලෝකයේ දියුණුව මනින්නෙත් බොහෝ විට අපිට එකිනෙකා අතර කොතරම් ඉක්මනට සහ පහසුවෙන් සම්බන්ධ වෙන්න පුළුවන්ද යන්න මතයි.

ක්‍රිකට්වලත් ඒ වගේමයි. අපි 1996 ලෝක කුසලානය දිනන කොට තිබුණු ක්‍රිකට් සහ දැන් තිබෙන ක්‍රිකට් ආකෘතිය අහසට පොළව වගේ. අපි බැලුවොත් අපි ලෝක කුසලානය දිනන කාලෙදි එක ක්‍රීඩකයෙක් ක්‍රීඩා කරන්නෙ එක අන්තර්ජාතික කණ්ඩායමකට විතරයි. ඒ කියන්නෙ අදාළ රට නියෝජනය කරන අන්තර්ජාතික කණ්ඩායමට පමණයි. ඊට අමතරව දේශීය ක්‍රීඩා සමාජයට, පාසලට, වෙළඳ සේවා කණ්ඩායමට වගේ තවත් දේශීය කණ්ඩායම් කිහිපයකට ක්‍රීඩා කරාවි. ඒත් දැන් තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්. එකම ක්‍රීඩකයා අන්තර්ජාතික මට්ටමේ කණ්ඩායම් කිහිපයක සෙල්ලම් කරනව ප්‍රිමියර් ලීග් තරග සඳහා. ඉන්දියානු ලීග් තරගාවලිය, ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් වගේ ලෝකෙ වටේ කණ්ඩායම් ගණනාවක එකම ක්‍රීඩකය නියෝජනය කරනවා. මුල් කාලයෙ අරවින්ද ද සිල්වා තමයි එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමකට ක්‍රීඩා කළේ. පසුව මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර වගේ අයත් එංගලන්තයේ ප්‍රාන්ත කණ්ඩායම්වලට ක්‍රීඩා කළේ. එතකොට දැන් එකම ක්‍රීඩකයට තෝරා ගැනීමට කණ්ඩායම් ගණනාවක් තිබෙනවා. තරග විශාල ප්‍රමාණයකට ඔවුන් ක්‍රීඩා කළ යුතුයි. ඒ අනුව ඔවුන්ගේ කාලය සීමිත සම්පතක් වී තිබෙනවා. ඒ වගේම ක්‍රීඩකයන්ට ආදායම් උපයා ගැනීමට අවස්ථාවන් දැන් වැඩි වී තිබෙනවා. ඒ වගේම වැඩි තරග ප්‍රමාණයක් විවිධ රටවල විවිධ කණ්ඩායම් යටතේ ක්‍රීඩා කරන නිසා ආබාධවලට නැඹුරුවීමේ අවධානම වැඩි වී තිබෙනවා. ඒ වගේම රටවල් ගණනාවක ක්‍රීඩකයන්ගේ තරග රටාව සම්පූර්ණයෙන් වෙනස් වී තිබෙනවා.

වෙනත් රටවල් වල ක්‍රීඩකයන් සමග සමීපව ක්‍රීඩා කිරීමට සහ ඇසුරු කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. සරලවම කිව්වොත් ක්‍රීඩාවේ විශාල පරිවර්තනයක් සිදුවී තිබෙනවා. හරියට රජ කාලය සහ අද කාලය වගේ. රජ කාලයේ ආර්ථික තීරණ අද පවතින වාතාවරණයට නොගැළපෙන්නා වගේම අතීත තරග රටාව සහ ආකෘතිය අදට ගැළපෙන්නේත් නැහැ. එම නිසා කාලයට අනුරූප නොවන තරග රටාව සහ ක්‍රීඩාවේ ආකෘතියේ දුර්වල සැලැස්ම නිසැකවම ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයේ විශාල කොටසක්. අපේ ක්‍රීඩකයන්ගේ ගිවිසුම් පිළිබද ප්‍රශ්න, තේරීම්වල විනිවිදභාවය පිළිබද ප්‍රශ්න, නායකයන් තෝරාගැනීම සහ ක්‍රීඩකයන්ගේ විනය පිළිබද ප්‍රශ්නයේ ලක්ෂණ පමණයි. රෝගය නොවෙයි.

තරගකාරීත්වය සහ විනිවිධභාවය - ආර්ථිකය සහ ක්‍රිකට්

අපි ආර්ථික විද්‍යාත්මකව තේරුම් ගත යුතු මූලික හරය තමයි මුළු ආර්ථිකයක වගේම ක්‍රීඩාවෙත් ජයග්‍රහණය කරන්නේ තරගකාරීත්වය වැඩිම පුද්ගලයායි. තරගකාරීත්වය යන වචන අපි භාවිතා කළත් එහි අරමුණ අපට එතරම් පැහැදිලි වී ඇති බවක් පෙනෙන්නට නැහැ. තරගකාරීත්වය ඇති වන්නේ තරග කරන්න හැමෝටම සමාන පරිසරයක් ඇති විටදීයි. එහිදී නිරවද්‍ය බවට සහ විනිවිධභාවයට විශාල තැනක් ලබා දී තිබෙනවා. මීට වසර ගණනාවකට කලින් විනිසුරුවරුන්ගේ වැරදි තීරණ සහ සිතා මතා කරනු ලැබූ ද්වේශසහගත තීරණ ක්‍රීඩාවට බලපානු ලැබුවා. මුරලිගේ පන්දුව දමා ගැසීමේ චෝදනා ඊට හොදම උදාහරණයයි.

නමුත් තාක්ෂණය සමග දැන් විනිසුවරුන්ගේ තීරණ නැවත පුනරූපණය කිරීමට වැඩි අවස්ථාව ලබාදීම මගින් තරගයකදී සැබවින්ම දක්ෂ කණඩායමක ජයග්‍රහණය උදුරා ගන්න කිසිවෙකුටත් හැකියාවක් නෑ. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාවේ දැන් ජයග්‍රහණය සම්පූර්ණයෙන්ම විනිවිදභාවය මත පදනම් වූ සහ දක්ෂතාවය මත පදනම් වී හමාරයි. අනෙක් ක්‍රීඩාත් එලෙසමයි. එම නිසා ජයග්‍රහණයක් ලැබිය හැක්කේ දක්ෂතාවය පෙන්වීමෙන්ම පමණයි. එම දක්ෂතාවය හුදෙක් පන්දුවට පහරදීම, පන්දු යැවීම සහ පන්දු රැකීම යන්නෙන් ඔබ්බට ගොස් තිබෙනවා. ක්‍රීඩකයන්ව දැන් නිර්මාණය කරන්නේ සමස්ත සන්නාමයක් ලෙසයි. සරලවම ඔවුන්ට ක්‍රීඩා පිටියේ එක් චරිතයකුත්, පිටියෙන් පිට තවත් චරිතයකුත් ලෙස චරිත දෙකක් රඟපෑමට හැකියාවක් නොමැති තරමට සමාජ ජාල හරහා ක්‍රීඩකයන්ව අධීක්ෂණයට ලක් වී තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩයමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙක් ජීව බුබුළෙන් මිදී යාමෙන් එංගලන්තයේදී මුහුණ දුන්නේ එවැනි අත්දැකීමකටයි.

අපේ රටේ ආර්ථිකයේත් ඇත්තේ එම ප්‍රශ්නයමයි. අපි ආර්ථිකයේ යථා ස්වභාවය නිතරම එළියට එන්නට ඉඩ දෙන්නේ නෑ. නිතරම අපි ඉදිරිපත් කරන ආර්ථික දත්ත, ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටි, අන්තර්ජාතික ගිවිසුම, ගණුදෙණුවල විනිවිදභාවට ඉතාම අත්‍යවශ්‍යයි. ශ්‍රී ලංකාව ව්‍යාපාර පහසුවෙන් සිදුකිරීමට හැකියාව මනින රටවල් දර්ශකයේ 99 වැනි තැනටත්, ලෝකයේ විනිවිදභාවය සහ අවම දූෂිත රටවල් අතර දර්ශකයේ 94 වන ස්ථානට පත්වීමෙන් පෙනෙන්නේ අපගේ ආර්ථිකයත් නිසි පරිදි ක්‍රියාත්මක වීමට අවශ්‍ය ආයතන සහ එහි සැබෑ ප්‍රතිරූපය පිළිඹිබුවන ක්‍රමවේද සහ මූලික සංඝටක අඩංගු වී නොමැති බවයි. එමගින් නිතරම සිදුවන්නේ මවා ගන්නා පුහු ප්‍රතිරූපය නිසා නිවැරදි වෙළඳපොළ චිත්‍රය ඉදිරිපත් නොවන නිසා පිටතින් ප්‍රශ්නයක් නොමැති ලෙස පෙනුනත් සැබවින්ම ආර්ථිකය එක තැන පල් වීමයි. වසර ගණනාවක් තිස්සේ අපගේ ආර්ථික දියුණු නොවූවා සේම ක්‍රීඩාවෙනුත් අවසන් වරට ලෝක කුසලානයක් දිනා තිබෙන්නේ 2014 වසරේදියි. අවසාන එක්දින ලෝක කුසලානයක් දිනා තිබෙන්නේ 1996 වසරේදියි. ඉඳ හිට එක් තරගාලිවයක්, තරගයක් ජයග්‍රහණය කළත් දීර්ඝ කාලීන තරග සැලස්මක් දක්නට ලැබුනේ නෑ. එම නිසා පිටතින් අපගේ ක්‍රිකට් කණ්ඩායාම හොඳයි කියා අපට සිතුනත් තරගකාරීත්වය අතින් ඉදිරියට යෑමට තරම් ඔවුන් සැබවින්ම තරගකාරී නෑ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දක්ෂතා සඳහා වන දර්ශකයනුත්, ලෝකයේ අනෙක් ප්‍රිමියර් තරගාවලි සඳහා අපගේ ක්‍රීඩකයන්ට ඇති ඉල්ලුමත් සැසදූ විට අපගේ ක්‍රීඩකයන් තරගකාරීත්වය අඩු බව රහසක් නොවේ.

ක්‍රිකට් පරිපාලනය සහ රාජ්‍ය පරිපාලනය

ඒ වගේම ක්‍රිකට් පරිපාලනය සහ රාජ්‍ය පරිපාලන ව්‍යුහය සකස් වී තිබෙන්නේ එකම අකාර්යක්ෂම ආකාරයටයි. ක්‍රිකට් පරිපාලනයට ඉදිරිපත් විය හැක්කේ ඉතා සීමිත පිරිසකට පමණයි. ක්‍රීඩා සංගම් වල උපකාරයෙන් තෝරාගත් පිරිසකට පමණක් ඕනෑම අවස්ථාවක ජයග්‍රහණය කළ හැකි අයුරින් සකස් කර ඇති ආකෘතියක් නිසා නිතරම පත් වන්නේ දක්ෂයන් නොවේ. දක්ෂයන්ට පැමිණීමටත් දක්ෂතාවයට අනුව ඉදිරිපත් වීමට දිරිගැන්වීමකුත් නොමැති වන තැන දක්ෂයන් එකතු වන්නේ නෑ. එම නිසා එම අකාර්යක්ෂමතාවයන් ක්‍රීඩකයන්ව තෝරා ගැනීමේදීත් ඔවුන්ට තරග ලබාදීමේදීත් ජාතික ක්‍රිකට් සඳහා කාන්දු වීම වැලැක්විය නොහැකියි. දේශපාලන බලවතුන් සහ ඔවුන්ගේ සමීපතමයන්ට පමණක් එක්විය හැකි සංවෘත ක්‍රමයක් තිබීමෙන් දක්ෂයන් එකතු විය හැකි විවෘත ක්‍රමයකට අවස්ථාවක් නැහැ.

රාජ්‍ය පාලනයත් එලෙසමයි. ඉතාම සීමිත පිරිසකට ඉතා විශාල ධනයක් සහ බලයක් වියදම් කිරීමෙන් පමණක් සුරක්ෂිත විය හැකි ලෙස සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ක්‍රියාත්මක වී තිබෙනවා. කොතරම් පාඩු ලැබුවත් ශ්‍රීලංකන් ගුවන් සමාගම, විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි ආයතනවලට එරෙහිව අවම තරමේ විගණන වාර්තා අනුව ක්‍රියාත්මක වීමටත්, මහ බැංකු බැදුම්කර වංචාව වැනි විශාල වංචා පිළිබදව ඉදිරිපත් කර ඇති වෝහාරික සහ අනෙක් විගණන වාර්තා අනුව නීතිමය පියවරක් ගැනීමට නොහැකි වන ලෙස සමස්ත රාජ්‍ය පාලනයම පැවැති සහ පවතින රජයන් මගින් අඩපණ කර හමාරයි. එහි බලපෑම ඉතා දුර්වල පසුගාමී, සංවර්ධනය නොවන ආර්ථිකයකින් පිළිඹිබු වීම නැවැත්විය නොහැකියි. කනගාටුවට කරුණ නම් රටේ සියලුම දෙනා මෙම අසාර්ථක ක්‍රමයේ කොටස්කරුවන් සහ සිරකරුවන් වීමයි.

ඒ අනුව අපේ ආර්ථික සටනින් පරාජය වීමටත්, ක්‍රිකට් සටනින් පරාජය වීමටත් පවතින්නේ එකම පන්නයේ හේතුයි. මේ දෙකෙන්ම ගොඩ ඒමට නම් අපට කිරීමට තිබෙන්නේ එකම වර්ගයේ විසදුම් ලබාදීමයි. විසඳුම ක්‍රියාත්මක වන ආකාරය ස්ථානය අනුව වෙනස් වුණත් විසඳුම පිළිබඳ ඇති දර්ශනය එකමයි. අපේ සංවෘත යල් පැනගිය වර්තමානය සහ අනාගතය නොදකින දර්ශනය වෙනස් වුණු දවසට ක්‍රිකට් වගේම ආර්ථික තරගයත් දිනන්න අපිට පුළුවන්.

2021 ජූලි 23 වන දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියක්