වෙළෙඳපොළ මිල පාලනය නිසා හිඳෙන කිරි

මගේ මතකයේ තදින්ම සටහන් වුණු වෙළෙඳ දැන්වීමක් තිබෙනවා. ඒ තමයි පොඩි දරුවෙක් හඳ දිහා බලාගෙන “අම්මේ මට හඳ අල්ලන්න ඕන, හඳ මගේ ළඟට ගෙනැල්ලා දෙන්න කියලා’ මොරදෙමින් අඬනවා. අම්මා “මම කොහොමද පුතේ හඳ ගෙනැල්ල දෙන්නේ?, ඒක තියෙන්නේ ගොඩක් ඈතනේ’’ කියල පුතාට තේරුම් කරන්න හැදුවත් පුතා හඳ හාමිව අල්ලන්න ඕන කියමින් යටිගිරියෙන් කෑ ගහනවා.

දරුවාගේ තාත්තා රැකියාව ඉවර වෙලා ගෙදර පැමිණෙනවත් එක්කම දරුවාගේ ඉටුකිරීමට අපහසු ඉල්ලීමට නිර්මාණාත්මක විසඳුමක් ලබා දෙනවා. බේසමකට වතුර පුරවා චන්ද්‍රයාගේ ඡායාව බේසමේ වතුර මතට ගැනීමයි තාත්තා කරන්නේ. කුඩා දරුවා මේ ක්‍රියාවෙන් ඉතාම ප්‍රීතියට පත් වෙනවා. මේ කතාව මට මතක් වුණේ මේ දිනවල ගෑස් පෝලිම සහ කිරිපිටි හිඟය පිළිබඳ මාධ්‍ය වාර්තා සහ අපගේ ප්‍රතිපත්ති සම්පාදකයන් ඒ වෙනුවෙන් ලබා ද ඇති විසඳුම් දෙස බැලීමේදීයි.

“ජීවන වියදම වැඩියි, ජීවත් වෙන්න අමාරුයි, රැකියා නැති වෙලා, තෙල් මිල වැඩි වෙලා’’ කියමින් ජනතාවගේ පීඩනය එන්න එන්න රජය මතට එල්ල වෙනවා. හරියට අර කුඩා ළමයා හඳ ඉල්ලා කෑගසන ආකාරයටයි.

රජයත් හරියට ළමයාගේ කෑගැහිල්ලෙන් කෑම ටික කවා ගන්න බැරිවුණු අසරණ අම්මා වගේයි. එයට හේතුව සමහර භාණ්ඩවල මිල රජයට තීරණය කරන්න නොහැකි වීමයි. විශේෂයෙන්ම ගෑස්, කිරිපිටි වැනි ආනනයනය කරන ඒත් අපේ රටේ නිපදවිය නොහැකි භාණ්ඩවල මිල, කරුණු කාරණා ගණනාවක් මත රඳා පවතිනවා. ඉතින් මේ දිනවල ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල මෙන්ම ගෑස් මිලත් ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම අපේ රුපියල අවප්‍රමාණය වීම නිසා අපි ආනයන සඳහා රුපියල්වලින් ගෙවිය යුතු මිල වැඩි වී තිබෙනවා. අනෙක් පැත්තෙන් ආනයන සඳහා අවශ්‍ය තරම් ඩොලර් අප සතුව නෑ. එම නිසා ජනතාවගේ ජීවන වියදම වැඩියි. එම නිසා ඔවුන් රජයට එල්ල කරන බලපෑමත් වැඩියි. ඉතින් මේ තත්ත්වය හරියට කෑගහන කුඩා ළමයා වගේ.

විද්‍යාවට අනුව කුඩා ළමයාට ඇත්තටම සඳ ස්පර්ශ කරන්න අවශ්‍ය නම් අභ්‍යවකාශ යානයක එම දරුවා සඳ මත යැවීම හැරෙන්න වෙන කරන්න දෙයක් නෑ. නමුත් ඒ වෙනුවෙන් සඳේ ඡායාව ස්පර්ශ කිරීමට සැලැස්වීමෙන් දරුවා සඳ ස්පර්ශ කළා යැයි සෑහීමකට පත් වෙනවා වගේ මෙවැනි අවස්ථාවල රජය සිදු කරන්නේ අදාළ භාණ්ඩ මත මිල පාලනයක් යෙදීමයි. එය හරියට ඇත්ත හඳ වෙනුවට ස ‍‍ෙඳ්   ඡායාව ස්පර්ශ කරන්න ඉඩ දෙනවා වගේ. දේශපාලකයන් ඒ අනුව සෑම භාණ්ඩ වර්ගයකටම කලින් කලට මිල පාලනයක් යෙදීමට දක්වන්නේ පුදුම දක්ෂකමක්. එතකොට පාරිභෝගිකයන් කෙටි කාලීනව සිතනවා “දැන් භය වෙන්න දෙයක් නෑ. බඩු මිල වැඩි වෙන්නේ නෑ". නමුත් පාරිභෝගිකයන් විදියට අපි සැවොම දන්නා දෙයක් තමයි කවදාවත් පාලන මිලට එම භාණ්ඩ මිලදී ගන්නට හැකියාව නොමැති බව.

සැබවින්ම පවතින සහ පැවති සෑම රජයක්ම මිල පාලනයක් යොදා උත්සාහ කරන්නේත් අඬන දරුවා සැනසීමට තාත්තා සිදු කළ උපක්‍රමය අනුගමනය කිරීමටයි. එම උපක්‍රමය විද්‍යාව නොතේරෙණ කුඩා දරුවෙක්ට ගැළපුණත් වෙළෙඳපොළක එවැනි උපක්‍රම අනුගමනය කිරීමෙන් සිතනවාටත් වඩා ප්‍රශ්න පැන නගිනවා. එයට මූලික හේතුව වෙළෙඳපොළ නිසි පරිදි සංසන්දනය කරන්න පුළුවන් හරියට ඈතින් තිබෙන චන්ද්‍රයාට වඩා සැබවින්ම අප එදිනෙදා අත් දකින ගුරුත්වාකර්ෂණ බලයටයි. ගුරුත්වය තිබෙන බව දන්නවා වුණත් පේන්නෙ නෑ. අප පත්තරයකින් රොකට්ටුවක් සැදුවත්, සැබැවින්ම සඳ මත පතිත වන රොකොට්ටුවක් සැදුවත් ගුරුත්වයෙන් මිදිය නොහැකියි වගේ වෙළෙඳපොළ අපට මගහරින්න අපහසුයි. පොඩි කාලයේදී විද්‍යාව නොතේරෙණ වයසේ මමත් නිතරම අහන දෙයක් තමයි රාත්‍රි කාලයට හරි වතුර මතට ගියොත් හරි අපිට ගුරුත්වයෙන් මිදෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නය. නමුත් අපි හැමෝම දන්නවා එහෙම කරන්න බැරි බව. වෙළෙඳපොළ කියන්නෙත් ඒ වගේම දෙයක්. පේන්නෙ නෑ. ඒත් තියෙනවා. ඒක නොදන්න අය තමයි පාලන මිලක් දැමීම වගේ දේවල් කරන්නේ.

ඔබට මතක නම් යහපාලන රජය බලයට පැමිණි විගස සාමාන්‍ය ආප්පයක් සඳහා රු. 10කුත් බිත්තර ආප්පයක් සඳහා මාගේ මතකය නිවැරැදි නම් රු. 15කුත් ලෙස මිල නියම කළා. ප්ලේන්ටියක් සඳහා රු.10 මිලකුත්, කිරි තේකක් සඳහා රුපියල් 25ක මිලකුත් නියම කරනු ලැබුවා. එම කාලයේදී බොහෝ ආපනශාලා ආප්ප සෑදීමෙන් වැලකුණා. සමහර ආපනශාලා ආප්පයේ ප්‍රමාණය ඉතා කුඩා වුණා සහ ගුණාත්මක භාවය ඉතාම අඩු වුණා. මිල පාලනයක් යෙදූ විට මෙවැනි ඕනෑම දෙයක් විය හැකියි.

දැන් අප දකින කිරිපිටි හිඟයට මූලික හේතුවත් එයයි. පසුගිය මාස කිහිපය තුළ ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉතා විශාල ලෙස ඉහළ ගියා. ඒ වගේම අපගේ රුපියල අවප්‍රමාණ වුණා. එම නිසා අදාළ සමාගම් සඳහා පවතින මිලට කිරිපිටි විකිණීම අපහසුයි. ඒ වගේම ඩොලර් අර්බුදයක් පවතින නිසා ආනයන සඳහා ඩොලර් වෙන්කර ගැනීමත් වෙනදා තරම් පහසු නෑ. මේ සෑම කරුණක්ම මිල සඳහා බලපානු ලබනවා. දැන් ලෝක වෙළෙඳපොළේ පවතින මිල අනුව මාගේ ගණනයේ හැටියට කිරිපිටි කිලෝවක් රු. 350කින් වත් ඉහළ යා යුතුයි.

නමුත් කිරිපිටි මිල රු. 350 කින් ඉහළ දැමීමට අවසර ලැබුණහොත් එමගින් ජීවන වියදම වැඩිවීමත් රජය අපහසුතාවට පත් වීමත් වැළැක්විය නොහැකියි. එම නිසා රජය දිගටම මිල පාලනය පවත්වා ගනිමින් සිටිනවා. ඒත් අනෙක් පැත්තෙන් කිරිපිටි සමාගම්වලට එම මිලටම කිරිපිටි විකුණුවහොත් ඔවුන්ට විකුණන සෑම කිරිපිටි පැකැට්ටුවකින්ම පාඩු ලැබීමට සිදු වෙනවා. එම අවස්ථාවේදී ඇත්තටම කිරිපිටි නොවිකුණා සිටීමෙන් සිදුවන පාඩුවට වඩා වැඩියි කිරිපිටි විකිණීමෙන් සිදුවන පාඩුව. එවිට එම සමාගම් වෙළෙඳපොළට කිරිපිටි නිකුත් කිරීම අඩු කරනු ලබනවා. අන්න එවිට තමයි කිරිපිටි හිඟයක් වෙළෙඳපොළේ ඇති වෙන්නේ. අනෙක් පැත්තෙන් කිරිපිටි හිඟවන බව දැන ගත් විගස මිනිසුන් වැඩි වැඩියෙන් කිරි පිටි මිලදී ගැනීමට උත්සුක වෙනවා. එවිට වෙළෙඳපොළේ තිබෙන කිරිපිටි ප්‍රමාණය තවත් අඩු වෙනවා.

ඒ වගේම මෙවැනි අවස්ථා කළු කඩ මුදලාලිලාට ඉතාම වටිනා අවස්ථා ලෙස සැලකිය හැකියි. එයට හේතුව ඔවුන්ට ලැබෙන කිරිපිටි තොග ගබඩා කර ගැනීමෙන් කුඩා දරුවන් සිටින දෙමව්පියන් වැනි කිරිපිටි අත්‍යවශ්‍යම පිරිස් වෙත සමාන්‍යයෙන් ඉතාමත් ඉහළ මිලකට හෙවත් කළු කඩ මිලකට කිරිපිටි විකිණීමට හැකියාව ලැබෙනවා. තවත් පිරිසක් කිරිපිටි සමග පාන් පිටි හෝ වෙනත් සෞඛ්‍යාරක්ෂිත නොවන ද්‍රව්‍ය කලවම් කරමින් කිරිපිටි ප්‍රමාණය වැඩි කර ගනිමින් ගුණාත්මක බවින් අඩු භාණ්ඩ වර්ග වෙළෙඳපොළට නිකුත් කිරීම මෙවැනි තත්ත්ව යටතේ සාමාන්‍යයයි.

සමාජයේ තිබෙන තවත් මතයක් තමයි කිරිපිටි පානය ශරීර සෞඛ්‍යයට අහිතකර නිසා එය අධෛර්යවත් කිරීමට දියර කිරි ප්‍රවර්ධනය කළ යුතු බව. බොහෝ දෙනෙක්ට තිබෙන ප්‍රශ්නය තමයි කිරිපිටි මෙතරම් සෞඛ්‍යට අහිතකර වුණත් මිනිසුන් මෙතරම් කිරි පිටි බොන්නේ කුමන හේතුවකටද යන්නයි. ශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනය කරන්න බැරිද යන ප්‍රශ්නය බොහෝ දෙනෙක් අසන ප්‍රශ්නයක්. ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන බොහෝ දෙනාට දත්ත ගැන අවබෝධයක් නෑ. මුලින්ම ශ්‍රී ලංකාවට නිෂ්පාදනය කළ හැක්කේ දියර කිරි අවශ්‍යතාවයෙන් හරි අඩක් පමණයි. ඒ වගේම දියර කිරි මිලෙන් ඉතා වැඩියි. සාමාන්‍ය වැටුපක් ලබන පුද්ගලයෙක්ට දියර කිරි භාවිතයට තම මුදලක් නෑ. දියර කිරි මිල වැඩි වීමට සහ අපේ නිෂ්පාදනය අඩු වීමට මූලිකම හේතුව තමයි අපේ කිරි ගවයන්ගේ කාර්යක්ෂමතාවය අඩුවීම. සාමාන්‍යයනේ ශ්‍රී ලංකවේ කිරි ගවයන්ගෙන් දිනකට ලබා ගත හැක්කේ කිරි ලීටර් 4.3ක් පමණයි. නමුත් ලෝකයේ කිරි ගවයන්ගෙන් දිනකට ලබා ගන්නා කිරි ප්‍රමාණයේ සාමාන්‍ය අගය කිරි ලීටර් 28ක්. ඊශ්‍රායලය වැනි තාක්ෂණය දියුණු රටවල දිනකට කිරි ගවයෙක්ගෙන් කිරි ලීටර් 40ක් ලබා ගන්නවා.

මේ තත්ත්වය තුළ ලංකාවේ දියර කිරිවල මිල ඉහළ යාම වැළැක්විය නොහැකියි. එම නිසා මිල අඩු කිරිපිටි භාවිතය හැර ජනතාවට ඔවුන්ගේ අදායමට ගැළපෙන්නට කිරි මිලදී ගන්නට හැකියාවක් නෑ. දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ කිරි හරකුන් 323,490 ක් සිටියත් ඔවුන් වසරකට ලබාදෙන්නේ කිරි ලීටර් මිලියන 374ක් පමණයි. නමුත් අපේ මුළු දියර කිරි ඉල්ලුම කිරි ලීටර් මිලියන 700ක්. කිරි හරකුන්ගේ කාර්යක්ෂමතාවයට (වැඩිපුර කිරි ලබා ගන්න) දේශගුණය, ඔවුන්ට ලබාදෙන ආහාර, ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය යාමනය, ඔවුන්ගේ ජාන සංකලනය වැනි සාධක රැසක් බලපානු ලබනවා. නිතරම දෙමුහුන් කිරි හරක් ආනයනය කළ යුතු බවට මැති ඇමැතිවරුන් පවසන්නේ ඒ හේතුව නිසයි. නමුත් ඔවුන් හරියට සඳ ඡායාවෙන් වතුර බේසමෙන් අල්ලනවා වගේ කිරි හරකුන් ගෙන්වීම ගැන කතා කරන්නේ මතුපිටින් පමණයි. සැබවින්ම සඳ ඇල්ලීමට අවශ්‍යනම් ගුරුත්වයට එරෙහිව ඉහළ අහස විදගෙන යා හැකි රොකට්ටුවක් අපි සෑදිය යුතුයි. එයට අපිට ගුරුත්වයට හෙවත් වෙළෙඳපොළ ක්‍රමයට අනුගත වීමට සිදුවීම වැළැක්විය නොහැකියි.

අපට දියර කිරි ප්‍රවර්ධනයට අවශ්‍ය නම් අප සැබවින්ම කළයුතු වන්නේ වෙළෙඳපොළ ක්‍රමයට අනුව කිරිපිටිවල මිල ඉහළ යාමට ඉඩදීමයි. එවිට කිරිපිටි වෙනුවට ඇති ආදේශක වෙනුවට ජනතාව නිරායාසයෙන් නැඹුරු වනවා ඇති. එවිට කිරිපිටි සෞඛ්‍ය ආරක්ෂිත නොමැති බව සිතන ජනතාවට ඔවුන්ගේ මතය අනුව එය භාවිතයෙන් ඉවත් වීමටත් ව්‍යාපරිකයන්ගේ පැත්තෙන් කිරිපිටිවලට වඩා මිල අඩු විකල්ප වෙළෙඳපොළට හඳුන්වා දීමටත් අවස්ථාව උදාවනු ඇති. ඒ වගේම කිරිපිටි අවශ්‍යයයි සිතන ජනතාවට එය තවදුරටහ් භාවිත කිරීමේ අවස්ථාවත් උදා වනු ඇති. නමුත් මිල පාලනය කිරීමෙන් මේ කිසිම දෙයක් සිදු නොවේ. එයින් සිදුවන්නේ කිරිපිටි වෙළෙඳපොළෙන් ඉවත් වීමත්, මිල පාලන යෙදීම නිසා කිරිපිටි වෙනුවට ඉදිරිපත් කරන ආදේශකවලටත් මිල පාලනයක් පැනවිය හැකියි යන හේතුවෙන් ආදේශක ඉදිරිපත් කරන ව්‍යාපාරිකයන් අධෛර්යමත් වීමත්, අදාළ පාලන මිලට වෙළෙඳපොළේ භාණ්ඩ නොමැති වීමෙන් රජය පිළිබඳ ඇති විශ්වාසය බිඳවැටීමත්ය. එමෙන්ම මේ සියලු කරුණු එකට කැටිවීමෙන් පවතින ඕනෑම රජයක දේශපාලන බලය බිඳවැටීමත් පමණි.

නිර්මාණාත්මක දැන්වීමකට අනුව ඈත ඇති සඳ, වතුර බේසමකින් ඡායාව සේ ළඟට ගෙන දිය හැකි වුණත් ‘වෙළෙඳපොළ’ යනු ගුරුත්වය වගේ බව අපි මතක තබා ගත යුතුයි. ගුරුත්වය සමග ගනුදෙනු කරනු විනා සහ එසේ ගුරුත්වය කියා දෙයක් නොමැති බව සිතා ගුරුත්වයෙන් මිදීමට රොකට් යැවීමක් වුවද කළ හැක්කේ කැමරාවක් ඉදිරිපිට පමණි. යථා ලෝකයේ රොකට් යැවීමට ගණනය කිරීම ගුරුත්වය සමග සැසඳිය යුතු වේ.

2021 අගෝස්තු 16 වන දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියක්