මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිලිබඳ පනත නැත්නම් Online Safety Bill එක කියන්නේ මොකක්ද?

ඔන්න ඉතිං සාහිත්‍ය මාසය ඉවර වෙලා කියවීමේ මාසය පටන් ගත්තා. මේ මාසයේදී ඔයාලා කියවන්න ම ඕන පොතක් තමයි ජෝර්ජ් ඕවල් ලියපු 1984 කියන පොත. දැන් ඔයාලා හිතනවා ඇති Online Safety Bill එක ගැන කියනවා වෙනුවට ඇයි මේ පොතක් ගැන කියන්නේ කියලා. ඔය පොතේ තියෙන කතාවත් අපේ මේ අලුත් පනතින් ඇති වෙන්න පුූලුවන් අයහපත් ප්‍රතිඵල මොනවාද කියලා තේරුම් ගන්න වැඳගත් වෙනවා. මිනිසුන්ගේ සිතීමේ, කතා කිරීමේ, අදහස් පල කිරීමේ, නිර්මාණශීලීත්වයේ සීමා මායිම් ඇති කරන්න පාලන තන්ත්‍රයකට ඇති හැකියාව සහ ඒකේ ප්‍රතිවිපාක මොනවාද කියලා මේ පොතේ හරිම ලස්සනට කියවෙලා තියෙනවා.. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (අ) වගන්තිය අනුව සෑම පුද්ගලයෙකුට ම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පල කිරීමේ නිදහසට හිමිකමක් තියෙනවා. හරි දැන් අපි කෙලින් ම යමු  Online Safety Bill එක නැත්නම් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිලිබඳ පනත ගැන හොයලා බලන්න.

පනත කියලා කිව්වට තාම මේක පනතක් විදිහට සම්මත වෙලා නෑ. කෙටුම්පත් අවස්ථාවේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ වෙනස්කම් කරන්න පුූලුවන් මට්ටමක. සමහරු කියනවා මේ පනත නිසා අනාගතයේදී සමාජ මාධ්‍යයට වැට බැඳීමක් නැත්නම් වාරණයක් වෙන්න පුළුවන් කියලා. සමාජ මාධ්‍ය කියන කාණ්ඩයට විතරක් මේ පනත සීමා කළොත් අපිට සලකන්න පුළුවන් වෙන්නේ facebook, twitter, instagram, LinkedIn වගේ දේවල් වුණාට මේ පනතින් ආවරණය වෙන වපසරිය කොහොම වෙයිද, කොතනින් නතර වෙයිද කියලා කාටවත් තාම පැහැදිලි අදහසක් නෑ. Online කියනකොට සමාජ මාධ්‍ය විතරක් නෙමේ Online තියන සියළුම web හා අනෙකුත් මාර්ගගත සේවා Video podcast, Messaging apps, gaming and streaming platforms, trading platforms වගේ දේවල් ඇතුලත් වෙනවා.. 

මේ පනත ගේන මුල් අවස්ථාවේදීම ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ වගේ පනතක තියෙන බරපතලකම ගැන අනතුරු ඇඟෙව්වා. පසුගිය සතියේ තමයි කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණේ. එදා ඉඳන් දවස් 14 ඇතුලත මේ කෙටුම්පතට යෝජනා සහ චෝදනා ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. දැන් මේ ගෙවෙන කාලය ඇතුලේ මේ කියන  Online Safety Bill එක ගැන මහජන කථිකාවතක් ඇතිවීම වැඳගත් වෙන්නේ අන්න ඒ නිසයි. 

ඇඩ්වොකාටා ආයතනය විදියට මේ පනත අපිට ඇයි වැදගත් වෙන්නේ? 

ඒකට හේතුව තමයි මේ පනත ආර්ථිකයට සෘජු ලෙස බලපාන නිසා. ලෝක ආර්ථිකය කෘෂි කාර්මික ආර්ථිකයේ ඉදලා කර්මාන්ත හා සේවා ආර්ථික පහුකරලා දැන් ඇවිත් ඉන්නේ ඩිජිටල් ආර්ථිකයකට. ඉතින් මේ වගේ සීමාකිරීම් එක්ක අපි කොහොමද රටක් විදියට ඩිජිටල් ලෝකය ජයගන්නේ? අපිට ආපස්සට ගිහිං පැරණි ක්‍රම එක්ක වෙළඳ කටයුතු කරන්න බෑ. මොකද එහෙම කිරීමෙන් ම අපේ තරඟකාරීත්වය, තාක්ෂණික දියුණුව පසුබෑමකට ලක් වෙනවා. 

Online Safety Bill එක සහ ජාතික ආරක්ෂාව

මේ පනත ගෙන ඒමට පාදක වුණ කාරණය විදිහට දක්වන්නේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, ලංකාව තුල ඩිජිටල් අවකාශයේ සැරිසරන්නන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම කියන නිමිත්ත. මේකේදි 'තහනම් කාර්‍යය' කියලා වචනයක් ඇතුලත් කරලා තියෙනවා. මේ තහනම් කාර්‍යය කියන එක සම්බන්ධයෙන් පනතේ සඳහන් වැරදි 14 තියෙනවා වගේම ඒවා තීරණය කරන්න පංච පුද්ගල කමිටුවක් ඉන්නවා. ජනාධිපතිවරයාගේ කැමැත්ත අනුව තමයි ඒක පත් කරන්නේ. පංච පුද්ගල කමිටුවට පුළුවන් වෙබ් අවකාශයට එකතු කළ අදහසක් වැරදිද නැද්ද කියලා තීරණය කරන්න. ඉතිං රටක ඉන්න දහස් ගණනක පුද්ගලයන්ගේ අදහස් ප්‍රකාශ කිරීම තක්සේරු කරන්න පුද්ගලයන් පස් දෙනෙක්ට පුළුවන්ද ඒක කොයි තරම් සාර්ථකද කියන එක ප්‍රශ්නයක්. ඒ විතරක් නෙවෙයි කමිටුව තීරණය කරනවා නම් යම් අන්තර්ගතයක් වෙබ් අවකාශයට නොගැලපෙනවා කියලා එයාලට පුළුවන් අදාල වෙබ් අඩවියේ ඇඩ්මින්ට පැය 24 ඇතුලත ඒක අයින් කරන්න නියෝග කරන්න. ඒ ගැන ප්‍රශ්න කරන්න හෝ විමර්ශන කිරීමකට ඇඩ්මින්ට හැකියාවක් නෑ. 

පනතේ බලපෑම කාටද?

මූලිකම වශයෙන් පනත බලපාන්නේ සමාජ මාධ්‍යවලට කියලා කතා බහක් වුණාට, ඩිජිටල් අවකාශයේ e-mail, e-commerce platforms,online services,trading platforms, education, entertainment සහ මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට සපයන රාජ්‍ය සහ පුද්ගලික කියන සේවා ආදී සියල්ලකට මේ පනත අදාල වෙන්න පුලුවන්. තාම මේ පනත ක්‍රියාත්මක වෙලා නැති නිසා ඒකේ වපසරිය, ඉලක්කගත පිරිස, ඉලක්කගත ක්‍රියාකාරකම් (post, share, comment,like) සැබෑ අරමුණ කියන දේවල් දඩුවම් ආදී කිසිවක් පැහැදිලි නෑ. 

Online Safety Bill එක ගේන්න හේතු විදිහට සමාජ මාධ්‍යවල සිදු වන මිනිසුන් නොමඟ යැවීම, කලහ කිරීම්, අසැබි දර්ශන ප්‍රදර්ශනය කිරීම්, තර්ජනය කිරීම්, අධිකරණයට අපහාස කිරීම, අධිකරණයේ බලය සහ අපක්ෂපාතීත්වය පවත්වාගෙන යාමට අගතියක් වන ප්‍රකාශවලින් වැළැක්වීම  වගේ දේවල් සලකන්න පුළුවන්. ඒ වුණත් දැන් තියෙන තාක්ෂණික දියුණුව නිසා අසැබි දර්ශන වගේ දේවල් කෘතිම බුද්ධිය භාවිතයෙන් ස්වයංක්‍රීයව ම ඉවත් වෙනවා. අන්තර්ජාලය, සමාජ මාධ්‍ය වගේ දේවල්වල ප්‍රශ්න ඇති වුණා කියලා සීමා මායිම් පනවලා සියල්ලන්වම පීඩාවට පත් වෙන විදිහට, අධිකරණයට යාමට පෙර පවතින කමිටුවක් හරහා මිනිසුන්ගේ ප්‍රකාශන අයිතිය සීමා කරන එක ඒ තරම් සුදුසු නෑ.

ඩිජිටල් ආර්ථිකයට බලපාන්නේ කොහොමද?

Online Safety Bill එක ගෙන ඒම සම්බන්ධයෙන් Asian International Coalition එකෙන් යම් දැනුවත් කිරීමක් කරලා තියෙනවා. ඒ සංවිධානය ඇතුලේ Google,Meta,  Booking.com, You Tube, Whatsapp, Facebook, LinkedIn, Apple, Twitter සහ Amazon වගේ ඩිජිටල් සේවා සපයන  දැවැන්ත ආයතන රැසක් ඉන්නවා. නීති මඟින් මහජන සංවාද හා නවෝත්පාදන සීමා කළොත් ඩිජිටල් ආර්ථිකයට බලපෑමක් ඇති වෙන්න පුළුවන්.

ශ්‍රී ලංකාවට වාණිජමය වශයෙන් අන්තර්ජාල පහසුකම් හඳුන්වාදීම සිද්ධ වෙලා තියෙන්නේ 1995 වසරේ. අද වෙනකොට ලංකාවේ ජනගහනයෙන් 66% / මිලියන 13 පමණ පිරිසක් අන්තර්ජාල, ඩිජිටල් පහසුකම් භාවිත කරනවා. හැබැයි කුමන හෝ සමාජ මාධ්‍ය ජාලයක් භාවිත කරන පිරිසට අයිති වෙන්නේ මිලියන 10 වගේ පිරිසක්. අද කාලයේ හුඟක් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ස්වයං රැකියා ආදිය තමන්ගේ අලෙවි ප්‍රවර්ධන කටයුතු, වෙළඳාම්, බිල්පත් ගෙවීම් ආදිය මාර්ගගත ක්‍රමයට / ඔන්ලයින් ක්‍රමයට තමයි කරන්නේ. ඉස්සර වගේ වෙබ් අඩවි පවත්වාගෙන යාම අවශ්‍ය නෑ, තමන්ගේ Facebook, Instagram, Whatsapp ගිණුම් පාවිච්චි කරලා තමන්ගේ ව්‍යාපාර කටයුතු පහසුවෙන් කරගෙන යනවා. 

විශේෂයෙන් කොව්ඩ් වසංගත කාලයේ බොහෝමයක් ව්‍යාපාර මාර්ගගත ක්‍රමවලට හුරු වුණ නිසා මේ වගේ පනතකින් නිදහස සීමා වෙලා සමාජ මාධ්‍ය සහ අනෙකුත් වෙබ් අවකාශයේ ඉන්න ආයතන අපේ රටින් යන්න ගියොත් පරිශීලක පිරිසට තමන්ගේ ව්‍යාපාර කටයුතු පහසුවෙන් කරගෙන යන්න තිබ්බ අවකාශය නැත්තටම නැති වෙනවා. හිතලා බලන්න ඉස්සර වගේ පත්තරවල, ලීෆ්ලට් සහ බැනර්වල දාලා මේ වගේ කුඩා පරිමාණ ව්‍යාපාර කරගෙන යන්න පුළුවන්ද කියලා. 

තවත් හොඳ උදාහරණයක් තමයි ඩොලර් උපයන්න කියාපු ලංකාවේ සංචාරක ව්‍යාපාරය. ඒ වෙනුවෙන් ඩිජිටල් අවකාශයේ දායකත්වය කියලා නිම කරන්න බෑ. වෙබ් අඩවි, වීඩීයෝ, ඉන්ෆ්ලුවන්සර්ලා (සමාජ ජාලා ප්‍රවර්ධකයන්) වගේ අයගේ කාර්‍යභාරයටත් වැට කඩුළු බැදෙනවා. Trip Advisor, Booking.com වගේ වෙබ් අඩවිවලටත් මෙයින් බලපෑමක් වෙන්න පුළුවන්. විශේෂයෙන් ම අපි කවුරුත් හුරු වෙලා ඉන්නවා සේවාවක් ලබා ගන්න කලින් ඒ සේවාව කලින් ලබා ගත්ත අයගේ reviews බලන්න. මේක සංචාරක කර්මාන්තයට සම්බන්ධ සේවාවන්ට විශේෂයි. ඉතිං සමාජ මාධ්‍ය ඇතුළු අනෙකුත් වෙබ් උපකාරක සේවා මිනිසුන්ට මේ සම්බන්ධයෙන් ඉතාමත් වැඳගත් වෙනවා. මේ වෙලාවේ ලංකාවට ඕන ඩොලර් උපයන ක්‍රම. ඉතිං ඩොලර් උපයන්න තියෙන ක්‍රමවල නිදහස මේ විදිහට සීමා වෙනවා නම් නිදහස් වෙළඳපළ සංකල්පයට බාධා වෙනවා. 

පකිස්ථානයේත් මේ වගේම පනතක් ඉම්‍ රාන් ඛාන්ගේ පාලන සමයේදී ගේන්න ගිය වෙලාවේ එයාලා යෝජනා කළා ලෝක ප්‍රසිද්ධ මේ කියන සමාජ මාධ්‍ය ආයතන සියල්ලකටම පාකිස්ථානය තුල ලියාපදිංචි වෙන්න වගේම තමන්ගේ කාර්‍යයාලයක් පකිස්ථානයේ විවෘත කරන්න කියලා. මේ කියන යෝජනාවලට එකඟ වුණොත් අනිත් රටවල්වලිනුත් ඒ වගේ ඉල්ලීම්වලට යටත් වෙන්න වෙයි කියලා හිතපු මේ ආයතන, තමන් පකිස්ථානයේ සේවා සපයනවාට වඩා ඉන් පිටවෙන එක ලේසියි කියලා කල්පනා කළා. තත්ත්වය ඒ තරම් දුරදිග නොගියත්, ඒ වෙලාවේ පකිස්ථානයේ හිටපු මිලියන 70 වගේ සමාජ මාධ්‍ය පරිශීලක පිරිසක් හිටියා. ඒ තරම් විශාල පරිශීලකයන් ප්‍රමාණයක් ඉඳලත් අන්තර්ජාල සේවා සපයන දැවැන්ත තාක්ෂණික ආයතන ඒ වගේ තීරණයකට යන්න ලෑස්ති වුණා නම් ලංකාවේ මිලියන 10 ගැන කවර කතාද?

ඉදිරි පියවර‍

Online Safety Bill එක කරළියට එන්නේ තවත් සැලකිව යුතු ප්‍රශ්න ගොඩක් තියෙන පසුබිමක. මේ වෙලාවේ ලංකාවට තියෙන ලොකුම ප්‍රශ්නේ ණය බර සහ ඩොලර් හිඟය කිව්වොත් වැරදි නෑ. ඒවා විසඳගන්න නම් ආර්ථිකයේ නිදහස, තරඟකාරීත්වය ඉහළ නැංවීම, රජය ආර්ථිකයට මැදිහත් වෙලා නිදහස් ආර්ථිකයට බාධා කරන දැඩි නීති රීතී පැනවීම කියන කාරණා නැවැත්විය යුතු වෙනවා. ලංකාව දැනටත් ආර්ථික නිදහස, ව්‍යාපාර කරගෙන යාමේ පහසුව කියන අංශවලින් පෙන්වන්නේ දුර්වල කාර්‍යසාධනයක්. ඒ නිසා ලංකාවේ ආයෝජන කටයුතුවලට පෙළඹෙන පිරිස අඩු වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක මිනිසුන්ගේ ව්‍යාපාරික නිදහස සමාජ මාධ්‍ය ඔස්සේ සීමා මායිම් පැනවෙනවා නම් ඒක ආර්ථිකයට සෘණාත්මක බලපෑමක් ඇති කරන්න පුළුවන්.

මේ වෙලාවේ බොහෝමයක් පාර්ශව Online Safety Bill එකේ තියෙන තර්ජනාත්මක ස්වරූපය සැලකිල්ලට ගෙන පනත හකුලා ගන්නා ලෙසට බලපෑම් කරමින් ඉන්න බව පෙනෙන්නට තියෙනවා. ඇත්තටම මේවගේ පනත් වෙනුවට රටේ ආර්ථිකය පනගන්වන්න පුළුවන් ප්‍රතිසංස්කරණ ඇතුලත් පනත් ගෙන ඒමට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. නැත්තම් මේවාවලට ගත වෙන කාලය, ශ්‍රමය, ධනය නිරපරාදේ අපතේ යෑමක් විදියට තමා අපි දකින්නේ. ආර්ථිකයේ ව්‍යූහාත්මක වෙනස්කම් නොකර අපිට ඉදිරියට යන්න බෑ. IMF එකත් පැහැදිලිව කියලා තියනවා ඒ කාරණය. අපි ණය අරං ණය පියව පියවා හිටියයි කියලා රටක් විදිහට දියුණු වෙන්නවත් ලෝකේ ජයගන්නවත් බෑ. ඒ නිසා ආර්ථිකයේ සැබෑ වෙනසක් වෙන්න ඕන. රටේ තියෙන සැබෑ ප්‍රශ්නය තේරුම් අරන්, නිෂ්පාදනය වැඩි කරන, රටට ඩොලර් ගේන්න පුළුවන් විදිහට, ආයෝජකයන් ආකර්ශනය කරගන්න අපි රටක් විදිහට වැඩ කටයුතු කරන්න ඕන. ඒකට ආර්ථික නිදහස කියන සාධකය ඉහළින් ම තියෙන බව මතක තියාගෙන අපි ප්‍රතිසංස්කරණ කරන්න ඕන. 

-දිල්මිණී හසින්තා අබේරත්න

ටමසෙක් ක්‍රමය : “අලුත් කලාවක් හොයාගත්තා මං දියුණු වෙන්න ඕනෑ නම්”

පුංචි කාලේ මගේ රට ගැන රචනාවක් ලියද්දි, හුඟක් අය ලිව්වේ “ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටක්” කියලා. ඉතිං ඒ අවුරුදු 20 - 30ට විතර කලින්. සමහරවිට ඊටත් වඩා එහාට යන්නත් පුළුවන්. හැබැයි තාමත් ලංකාව කියන්නේ දියුණු වෙමින් පවතින රටක්. ඉතිං කවද්ද මේ දියුණුව කියන දිනුම් කණුවට අපි ලං වෙන්නේ? ලංකාවේ ආර්ථික වර්ධනය මන්දගාමී වෙන්න එහෙමත් නැත්නම් පරක්කු වෙන්න, නතර වෙන්න, අසාර්ථක වෙන්න හේතු ගොඩක් තියෙනවා. සමහරු කියනවා ලංකාව පසුගිය කාලේ ලාභ නොලබන ව්‍යාපෘතිවලට වියදම් කරලා පාඩුවක් කර ගත්තා කියලා. ඒත් තවත් සමහරු කියනවා ලංකාවේ අසාර්ථකත්වයට හේතුව බලයට ආපු හැම ආණ්ඩුවක්ම කරපු වංචාව, දූෂණය කියලා. මේ හැම දෙයක් ම අඩු වැඩි වශයෙන් ලංකාවේ ආර්ථික අර්බුදයට හේතු වෙලා තියෙනවා. 

විශාල රාජ්‍ය අංශයක් තිබීම, පමණ ඉක්මවා ගිය රජයේ වියදම්, පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර, ඒවායේ ක්‍රියාකාරීත්වය වැඩි කිරීමට සමත් සානුබලයක් නොතිබීම, විනිවිදභාවයක් නැති ගනුදෙනු, රාජ්‍ය ව්‍යවසායවල විශාල සේවක පිරිසක් සිටීම සහ කලමණාකාරීත්ව දුර්වලතා කියන හැම දෙයක් ම මේ හේතු අතර තියෙනවා. රාජ්‍ය අංශයේ තියෙන දුර්වලතාවලට ගැළපෙන විසඳුම් ඇති කරගෙන රාජ්‍ය අංශය දියුණු කර ගන්න නම් මේ වෙනකොටත් දියුණු වෙලා තියෙන රටවල් ඒ තත්ත්වයට එන්න පාවිච්චි කරපු උපක්‍රම මොනවාද කියලා හොයලා බලන එක වටිනවා. ඉතිං අපි අද හොයලා බලන්න යන්නේ රටක් විදිහට අපිටත් වැඳගත් වෙන ටමසෙක් ක්‍රමය (Temasek Model) මොකක්ද කියලා. 

 අපි නොදන්න ටමසෙක්

ටමසෙක් කියලා කියන්නේ සිංගප්පූරුවෙන් එන සංකල්පය‍ක්. 1965දී නිදහස ලබා ගත්තාට පස්සේ සිංගප්පූරු රජයට සහ ව්‍යාපාරවලට ආයෝජන සහ ප්‍රාග්ධනය අවශ්‍ය වෙලා තිබුණා. 1974 ජූනි 25 වෙනිදා ආයෝජන සහ ප්‍රාග්ධනය සපයා ගන්න සිංගප්පූරුව රාජ්‍ය ව්‍යවසාය (SOE) සහ රජයට සම්බන්ධ සමාගම් (GLC - Governement Linked Companies) වෙනුවෙන් Temasek Holdings (Private) Limited, කියන ගෝලීය ආයෝජන සමාගම පිහිටෙව්වා. 2002දී මේ ආයතනය ජාත්‍යන්තර නිරාවරණය සහිත උපායමාර්ගික ආයෝජන අරමුදලක් (Strategic Investment Fund) බවට පත් වුණා.. 2023 වෙද්දි මේ Temasek ආයතනය සතු වත්කම්වල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 287 ක් විතර වෙනවා.

මේ කවුද මොකද කරන්නේ?

Temasek ආකෘතිය කියන්නේ ස්වෛරී ධන අරමුදල්වල 'ආයෝජන සමාගම් ආකෘතියක්'. ඒකෙදි රජය කරන්නේ වත්කම් කළමනාකරණය කරන්න සුදුසු ආයෝජන සමාගමක් නිර්මාණය කරන එක. 1965 දී නිදහස ලැබුණාට පස්සේ සිංගප්පූරු රජය විදේශීය ආයෝජන ව්‍යාපෘතිවල වගේම දේශීය වශයෙන් තියෙන ආරම්භක මට්ටමේ ව්‍යාපෘතිවල සුළු කොටස් ප්‍රමාණයක් අත්පත් කර ගත්තා. ඒකට හේතුව වුණේ නගරවල සංවර්ධනය ඉහළ නැංවීමට අවශ්‍ය වීම. ටමසෙක් ඔස්සේ ආයෝජන ව්‍යාපෘතිවල කොටස් මිලදී අරගෙන නගර සංවර්ධනයට කටයුතු කිරීමෙන් කාරණා දෙකක් ඉෂ්ට වුණා. එකක් තමයි ආයෝජකයින්ට තියෙන අවදානම අඩු වෙන එක. දෙවනි එක තමයි ප්‍රාග්ධනය සපයා ගැනීමට පහසුවක් වීම.

ටමසෙක් කාර්‍යභාරය

රජය සහ ටමසෙක් ආයතනය කියන දෙකටම අවශ්‍ය වෙලා තියෙන්නේ කොටස් වෙළඳපළේ ලැයිස්තුගත සමාගම්වල තියෙන ගුණාත්මක බවට සම වෙන විදිහට යහපාලනයේ යහපත් ප්‍රමිතීන් ප්‍රවර්ධනය කිරීම සඳහා රජයට සම්බන්ධ ආයතන ප්‍රසිද්ධියේ ලැයිස්තුගත කරන්න.   මේ නිසා සිංගප්පූරුවේ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත වෙලා  තියෙන ආයතනවලින් 37%ක්ම තියෙන්නේ ටමසෙක් ආයතනය යටතේ තියෙන රජයට සම්බන්ධ ආයතන. සිංගප්පූරුවේ රජයට සම්බන්ධ ආයතන සාමාන්‍යයෙන් ලාභදායී ඒවා. ඒකට හේතු විදිහට ස්ථාවර ලාභාංශ අගයයක් තිබීම, වඩා ලාභදායී හිමිකම් මත ගෙවන ප්‍රතිලාභ අනුපාත සහ වත්කම් මත ගෙවන ප්‍රතිලාභ අනුපාත කියන හැම එකක්ම අදාළයි. Temasek ආයතනය  නිසා සිංගප්පූරුවට ලැබෙන ආදායම යොදාගෙන රජයට පුළුවන්කමක් ලැබිලා තියෙනවා රජයේ ආදායම විවිධාංගීකරණය කර ගැනීමට වගේම බදු ආදායම මත යැපෙන එක අඩු කර ගන්න. සිංගප්පූරුව ටැමසෙක් ආක්ෘතිය හදල තියෙන්නේම රජය ව්‍යාපාර වලට පැනල ඇගිලි ගැහුවොත් ඒක නැත්තටම නැති වෙන එක වැලැක්වීමට. සරළවම කිව්වොත් රජය ව්‍යාපාර වලින් ඈත්වීම තමයි මේ හරහා කරල තියෙන්නේ.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසායවල අද තත්ත්වය

ආර්ථික විද්‍යාවේ පියා විදිහට සැලකෙන ඇඩම් ස්මිත් කියලා තියෙන්නේ රජය ව්‍යාපාරවලට මැදිහත් නොවී ඉන්න ඕන කියලයි. ඒත් ලංකාවේ හුඟක් රාජ්‍ය ව්‍යවසාය තියෙනවා. ඒ කියන්නේ රජය මැදිහත් වෙලා කරන ව්‍යාපාර කටයුතු තියෙනවා. කාලයක් තිස්සේ බලයට ආ ගිය පිරිස් අපේ හිතේ මතයක් ඇති කරලත් තියෙනවා පෞද්ගලික අංශය බිල්ලෙක් කියලා. ඒ නිසා හුඟක් අය බයයි මේ පෞද්ගලීකරණය කියන වචනයට. ඒ නිසා ලොකු අවබෝධයක් නැතුවත් මිනිස්සු කැමතියි ව්‍යාපාර රජය යටතේ තියෙනවා දකින්න. හොඳයි අපි බලමු ලංකාවේ රාජ්‍ය ව්‍යවසායවල අද  තත්ත්වය මොන වගේද කියලා. මේ වෙනකොට ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය 245ක් සහ ඒ අතරින් උපාය මාර්ගිකව ගත්තොත් වැඳගත් කියලා සැලකෙන රාජ්‍ය ව්‍යවසාය 55ක් තියෙනවා කියලා රාජ්‍ය භාණ්ඩාගාරය කියනවා. මේ කියන 55 ඇතුලේ 2005 ඉඳලා 2015 දක්වා කාලයේදී පාඩුව රුපියල් බිලියන 636 වෙලා තියෙනවා. තව ටිකක් සරලව කියනවා නම් බලශක්ති අංශයෙන් මේ පාඩුවට රුපියල් මිලියන 358,564 ක්, ජල සම්පාදනයෙන් රුපියල් මිලියන 8,245, ගුවන් සේවාවලින් රුපියල් මිලියන 94,218, ප්‍රවාහන අංශයෙන් රුපියල් මිලියන 61,450 විදිහට පාඩු සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම 2009 ඉඳලා 2014 දක්වා කාලයේදී රාජ්‍ය ව්‍යවසාය ප්‍රමාණය 109 ඉඳලා 245 දක්වා දෙගුණයට වඩා වැඩි වෙලා තියෙනවා. ඒකට සමගාමීව සේවක පිරිස 140,500 ඉඳලා 261,683 දක්වා ඉහළ ගිහින් තියෙනවා. ඔන්න ඔය විදිහටයි රාජ්‍ය ව්‍යවසාය ලංකා ආර්ථිකයට බරක් වෙලා තියෙන්නේ වගේම ඒ බර එන්න එන්නම වැඩි වෙලා තියෙන්නේ. 

 

Temasek මොඩල් එක ලංකාවට හොඳද?

ලංකාවටත් බැරිද අකාර්‍යක්ෂම රාජ්‍ය සේවයෙන් ඵලදායී ව වැඩක් ගන්න මේ කියන Temasek මොඩල් එක / ආකෘතිය ක්‍රියාත්මක කරන්න? එහෙම කරනවානම් මුලින්ම කරන්න වෙන්නේ දැනට තියන රාජ්‍ය ආයතන එකම පරිපාලන නීතියක් යටතට ගන්න එක.. දැන් සමහර ඒවා තියෙන්නේ දෙපාර්තමේන්තු විදියට.. සමහර ඒවා සමාගම් ලියාපදිංචිය යටතේ ලියාපදිංචි වෙලා, සමහර ඒවා පනත් මගින් පාලනය වෙනවා.. මේ ඔක්කොම එකම කොටසක් යටතට ගන්න ඕන. ඒ විදිහට පටන් ගන්න ආයතනයේ මූල්‍ය කටයුතු, ආයෝජන කටයුතු, පරිපාලනය ගැන පළපුරුදු, දක්ෂතාවක් තියෙන අධ්‍යක්ෂක මණ්ඩලයක් ඉන්න එක වැඳගත් වගේම ඒ සමාගම පටන් ගන්න වෙලාවට ප්‍රමාණවත් තරමේ මුදලකුත් තියෙන්න ඕන.  සංවර්ධනයේ මුල් අදියරවලදී ලාභ ලබන්න තරම් කාලයක් ආයතනයට ලැබෙන්නේ නෑනේ. තාම මේ ආයතනය පටන් ගත්තා විතරයි. ඉතිං මේ අදියරේදී මණ්ඩලයට සුදුසුයි කියලා හිතෙන විදිහට රාජ්‍ය ව්‍යවසායවල තියෙන ඵලදායි නොවන වත්කම් වෙන්දේසි කරලා හරි විකුණලා හරි තමයි මුදල් උපයා ගැනීමක් කරන්න වෙන්නේ. එහෙමත් නැත්නම් පාඩු ලබන ආයතනයක් නම්, පෞද්ගලික අංශයකට විකුණලා ඒ පාඩු ලබන එක නතර කර ගන්නත් පුළුවන්.  සිංගප්පූරුවේ තියෙන Temasek ආකෘතියට අනුව ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ සිංගප්පූරුවේ දේශපාලන ප්‍රභූවරුන් අතර සමීප සම්බන්ධතාවක් තිබුණට ලංකාවේදි නම් ඒක ඒ විදිහට ම කරන්න අමාරුයි මොකද ලංකාවේ දේශපාලන ප්‍රභූවරුන් ව්‍යාපාරවලට සම්බන්ධ වෙලා තියෙන අවස්ථා සලකලා බැලුවම ඒ හුඟක් අවස්ථා දූෂණයෙන් සහ වංචාවෙන් කෙළවර වෙලා තියෙනවා. මේ නිසා මණ්ඩලය හැකිතාක් ස්වාධීනව තියෙන එක වටිනවා වගේම මණ්ඩලය වග කියන්න ඕනේ පාර්ලිමේන්තුවට මිසක් ජනාධිපතිවරයා වැනි තනි බලධාරියෙකුට නෙවෙයි.මධ්‍ය කාලයේ ඉඳලා දිගු කාලයට යද්දි, ශ්‍රී ලංකාවේ ස්ථාපනය කරන Temasek ආකෘතියේ කොටස් හිමි සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කරන්න ඕන.

Temasek ආකෘතියේ සමාගමක් ලංකාවේ පිහිටුවීමෙන් ලබන්න පුලුවන් වාසි විදිහට කාර්යක්ෂමතාව සහතික කිරීමත් රාජ්‍ය ව්‍යවසායන්වල පාඩු පියවා ගන්න බදු ගෙවන්නන්ගෙන් අරමුදල් සපයා ගැනීමත් වළක්වා ගන්න පුළුවන්වීමත් සඳහන් කරන්න පුළුවන්.  මේ මඟින් බලපෑමට ලක් වූ අංශවල ශක්තිමත් සහ සෞඛ්‍ය සම්පන්න තරඟකාරිත්වයක් ඇති කර ගන්න හැකි වෙනවා වගේම රාජ්‍ය අංශයේ ව්‍යවසාය අනිසි විදිහට භාවිතා කිරීම පිළිබඳ ගැටුම් වලක්වන්නත් හේතු වෙනවා. සංස්ථාපිතකරණය කිරීම සහ මූල්‍ය කළමනාකරණය නිවැරදි ම ආකාරයෙන් කිරීම නිසා ඉක්මණින්ම රාජ්‍ය ව්‍යවසායවලට ආදායම් ඉපයීම පහසු සහ වේගවත් කර ගන්නත් හැකියාව ලැබෙනවා. මේ විදිහට උපයන ආදායම්වලින් කොටසක් හදිසි අවස්ථාවකදී සංචිතවල තබා ප්‍රයෝජනයට ගන්නත් පුළුවන්. මේ විදිහට ඉදිරියට රජයට වෙන්න පුළුවන් වාර්ෂික අලාභ හෝ හිඟයක් පියවා ගන්න මේ ආකෘතියෙන් ලබා ගන්න ලාභ යොදා ගන්න නිසා අයවැය හිඟය පියවා ගන්නත් උපකාරයක් වෙනවා.. ලංකාව දැන් ඉන්න තත්ත්වය සලකලා බැලුවොත් ඒකෙන් පේනවා ලංකාවට ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න හොඳම කාලය මේ තමයි කියලා. ඉතිං මේ අපිට අලුත් ටමසෙක් කලාවට ඉඩක් දෙමුද? ඔයාලගේ අදහස මොකක්ද? 

- දිල්මිණී හසින්තා  අබේරත්න

IMF පළමු සමාලෝචනයෙන් ශ්‍රී ලංකාව සමත්ද? 

Originally appeared on Divaina

2022 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව නිල වශයෙන් ණය ගෙවීම් අත්හිටුවන බව ලෝකයට නිවේදනය කළා ඔබට මතක ඇති. ඉන් පසුව උදා වුණ ඉතාමත් අසීරු කාල පරිච්ජේදයට යාන්තමින් බලාපොරොත්තුවක් ඇති වුණේ 2023 මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 3ක මුදලක් ලබා දුන්නාට පස්සේ. ඇත්තටම අපට වැඳගත් වෙන්නේ IMF ආයතනය ලබා දෙන මුදල විතරක් ම නෙවෙයි. සාමාන්‍යයෙන් රටක් බංකොලොත් තත්ත්වයට පත් වුණාට පස්සේ වෙන කිසිම කෙනෙක් ඒ රටට ණය දෙන්නත් බය වෙනවා ආයේ ගෙවන්න පුළුවන්කමක් නැති නිසා. හැබැයි රටක් IMF ආයතනය එක්ක සමබන්ධ වෙලා වැඩ කරද්දි IMF ආයතනය ඒ රටට ණය දෙන්නේ කොන්දේසි මත. ඒ කියන කොන්දේසි ඉටු කරලා පෙන්වන්න ඕන ඉදිරියටත් මුදල් සහන ලබා ගන්න. අන්න ඒ වගේ වෙලාවට අනිකුත් ණය දෙන පාර්ශවයන්ට පවා අමාරුවේ වැටිලා ඉන්න රටකට උදව් කරන්න කිසියම් පෙළඹවීමක් එනවා. 

ලංකාව දැනට ඉන්නේ IMF දෙවනි වාරිකය ලබා ගන්න බලාපොරොත්තුවෙන්. හැබැයි ඒක ලංකාවට ලැබෙන්නේ IMF ආයතනය අපෙන් බලාපොරොත්තු වෙන වෙනස්කම් කලොත් විතරයි. ඉතිං දැනට මේ කියන වෙනස්කම්වලින් 35% සම්පූර්ණයෙන්මත්, 43% කෙරීගෙන යන ගමන් සහ 7% තවම කෙරිලා නෑ කියලා වෙරිටේ රිසර්ච් ආයතනයේ IMF tracker ඔස්සේ නිරූපණය කරලා තියෙනවා. කොහොම වුණත් IMF ආයතනය කියපු දේවලවලින් 71% සැප්තැම්බර් මාසය වෙද්දි කරලා තියෙන්න ඕන කියන එක තමයි කොන්දේසිය. IMF ආයතනය සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා රජය නියෝජනය කරන මුදල් අමාත්‍යංශය සහ මහ බැංකුව එක්ක ලංකාවේ ප්‍රගතිය ගැන සාකච්ඡා කරලා බලලා එයාලට සෑහීමකට පත් වෙන්න පුළුවන් නම් දෙවනි මුදල් වාරිකය ලංකාවට ලබා ගන්න පුළුවන්. 

ලංකාවට IMF දෙවනි වාරිකය ලැබෙයිද? 

ලංකාවට ලැබිය යුතු IMF දෙවනි වාරිකයේ අගය පළවෙනි වාරිකයට සමාන මුදලක්. ඒ කියන්නේ ඩොලර් බිලියන 3 වගේ මුදලක්. නමුත් අපි IMF ආයතනය කරලා පෙන්වන්න කියපු දේවල්වලින් 71% ප්‍රමාණයක ප්‍රගතිය පෙන්වන්න අපහසු වුණොත්, අපේ දෙවනි වාරික මුදල අඩු කරන්න IMF ආයතනයට පුළුවන්. මේ වෙනකොට තියෙන සීමිත කාලය ඇතුලේ ඉතිරි දේවල් සම්පූර්ණ කරගන්න පුළුවන්ද කියන එක සැක සහිතයි. හැබැයි මේ තියෙන්නේ පළවෙනි ප්‍රගති සමාලෝචන රැස්වීම නිසා අපිට යම් ප්‍රමාණයක සහනයක් හෝ සහන කාලයක් ලැබෙන්න පුළුවන් අතපසු වුණ දේවල් කරලා පෙන්වන්න. ඇත්තටම බැලුවොත් මෙතනදි වැඳගත් වෙන්නේ රටේ ආර්ථික ප්‍රගතිය IMF වගේ විදේශ ආයතනයකට පෙන්වනවාට වඩා මේ කියන වෙනස්කම්වලින් රටට ලැබෙන්න ඕන ආර්ථිකමය ස්ථාවරත්වය පවත්වා ගැනීම වගේම ජනතාවට වග කියන පාලනයක් පවත්වා ගැනීම.

ලංකාව මීට කලිනුත් IMF සහය ලබා ගෙන තියෙනවා 16 වතාවක්. හැබැයි ඒ හැම වතාවකම අපිට කරන්න කිව්ව වෙනස්කම් අපි කරලා ඉවර කරලා නෑ වගේම කාලයක් ගිහිං ආපහු පරණ පුරුදුවලටම අනුගත වෙලා තියෙනවා. එහෙම බැලුවොත් හරියට සම්පූර්ණ කරලා තියෙන්නේ IMF වැඩසටහන් 9 විතරයි.අද අපි IMF සහය ගන්නේ 17 වෙනි වතාවට. මේ වතාවේදී අපි IMF වැඩපිලිවෙළ නිවැරදිවම සම්පූර්ණ කිරීම ඉතාමත් වැඳගත් වෙනවා මොකද ලංකාව අනිත් කිසිම වතාවක බංකොලොත් රටක් විදිහට IMF එකට නොගිය නිසා. 

IMF එක කියන දේවල් අපි කරන්නම ඕනද?

ලංකාව IMF එක කියන දේවල් කරන්න ඕන තැනක තමයි මේ වෙද්දි ඉන්නේ. ඒකට හේතු වෙලා තියෙන්නේ දරන්න බරි තරමේ ණය බරක් ලංකාවට ගෙවන්න වීම. ඉතිං ඒ ණය බර එක දවසින් ඇති වුණ දෙයක් නෙවෙයි. දේශපාලනික වශයෙන් ගත්ත ජනප්‍රිය තීරණවලට පිං සිද්ධ වෙන්න වුණ දේවල්. ඒ වගේම තමයි ලංකාවේ මුල් බැස ගත් දූෂණ සහ වංචාවලට නිවැරදි විසඳුමක් නොලැබීම. මේ නිසා ලංකාව මේ මොහොතේ IMF ආයතනයේ උපදෙස්වලින් පලා ගියොත් මේ වෙනකොටත් ලංකාවේ තියෙන අයවැය හිඟය වගේ ප්‍රශ්නවලට දෙන්න උත්තර නැති වෙනවා. ඒ වගේම තමයි ලංකාව වගේ ණය බරින් මිරිකිලා ඉන්න රටවල් අනිවාර්‍යයෙන්ම තමන්ගේ නිෂ්පාදනය ඉහළ නංවන්න ඕන. ඒ කවුරුත් කියන නිසාවත් කවුරුත් අපිට ණය නොදී ඉඳියි කියලාවත් නෙවෙයි. රටක ණය බර අඩු කරගන්න නම් රටේ නිෂ්පාදනය සහ ආර්ථික වර්ධනය වැඩි වෙන්න ඕන. එහෙම නැත්නම් මොන තරම් IMF වැඩසටහන් ක්‍රියාත්මක කළත් අපි ආයෙමත් හිටපු තැනටම එනවා. 

ලංකාව හරි මඟට ගන්න IMF පාර පෙන්වයිද?

කෙනෙක් අහන්න පුළුවන් අපි ඔය කියන IMF කොන්දේසි හැම එකක්ම ඉෂ්ට කළොත් ආපහු හොඳ තත්ත්වයකට එන්න පුළුවන්ද කියලා. ඇත්තටම මේ කියන කොන්දේසි ඉටු කරලා විතරක් මදි ඒවා ආපස්සට හරවාන්නේ නැතිව දිගටම ක්‍රියාත්මක කරන්න ඕන. ඒ වගේම තමයි IMF කරන්නේ අපිට පාර පෙන්වන එක විතරයි. රටක් විදිහට අපේ ආර්ථිකය ගොඩ නඟා ගන්න අපේම සැලැස්මක් අපිට තියෙන්න ඕන. ඒ යටතට වැඳගත් දෙයක් තමයි ලංකාවේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න සුදුසු වටපිටාවක් හදන එක. IMF වැඩසටහන ඉවර කළත් අපිටම කියලා ආර්ථික සැලැස්මක් නැත්නම්, අපිට ගොඩ ඒමක් නම් නෑ.

අපේ රටේම සමහර අය IMF එකේ උදව් ඕන කියද්දි තවත් අය කිව්වා IMF යන්න ඕන නෑ කියලා. ඒත් අපිට ඒ වෙලාවේ තිබුණ අවසාන තුරුම්පුව වුණේ IMF සහනය විතරයි. මොකද වෙළඳපළ විශ්වාසය හොඳටම බිඳ වැටිලා තිබුණ නිසා, කවුරුත් ණය දෙන්න ඉදිරිපත් නොවුණ නිසා IMF යන්න අපිට සිද්ධ වුණා. දැන් අපිට තියෙන්නේ IMF සහයත් එක්ක රටේ අනාගතය ගොඩ නගන්න අපේම සැලැස්මක් එක්ක ඉස්සරහට යන්න. 

-දිල්මිණී හසින්තා අබේරත්න



ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම: සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ තිරසාර ආර්ථික වර්ධනය සඳහා මාවතක් - 01 කොටස

ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම: සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ තිරසාර ආර්ථික වර්ධනය සඳහා මාවතක් - 01 කොටස

ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම: සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ තිරසාර ආර්ථික වර්ධනය සඳහා මාවතක් - 01 කොටස

පොදු ප්‍රවාහනය නොමිලේ ලබා දීම සුදුසුද?

පොදු ප්‍රවාහනය කියලා කියද්දිම මතකයට එන්නේ මොකක්ද? ලංකාවේ අපිට නම් මගී ප්‍රවාහන බස් සහ දුම්රිය ප්‍රවාහනය තමයි. ඇත්තටම පොදු ප්‍රවාහනය වගේම පොදු භාණ්ඩ සැපයීම රජයේ කාර්‍යභාරයෙන් එකක්. ඉතිං පොදු ප්‍රවාහනය නොමිලේ ලබා දීම සුදුසුද? අද අපි හොයලා බලමු මේ කතාවේ ඇත්ත නැත්ත.

ඉස්සර කතාවක් තියෙනවනේ නිකම් දෙනවානම් දෙමළ පත්තරේ හරි ගනී කියලා. හුඟක් වෙලාවට මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා නිකම්ම ලබා දෙන එහෙමත් නැත්නම් නොමිලේ ලබා දෙන දේවල්වලට.  ඒ නිසා තමයි තමන්ගේ මහන්සියෙන් දියුණු වෙනවට වඩා සමෘද්ධි, සහනාධාර වෙනත් මුදල් ආධාර වගේ දේවල්වලට මිනිස්සු කැමති.  මේ විදිහට නොමිලේ යමක් ලැබෙන එක හොඳයි අපට වාසියි කියලා හුඟක් දෙනා කලින්ම හිතාගෙන ඉන්නවා. ඒ වුණත් ඇත්තටම නොමිලේ ලැබෙන හැම දේකින්ම වාසියක් හෝ ලාභයක් තියෙනවාද? කොහේ හරි තැනක මේ දේවල්වල සැඟවුණු පිරිවැයක් තියෙනවද, ඒ පිරිවැය දරන්නේ කවුද? මේ කියන ප්‍රශ්න හැම දෙයකට ම උත්තර අපි මේ ලිපියෙන් ඉදිරිපත් කරනවා.

නොමිලේ භාණ්ඩ සහ ආර්ථික භාණ්ඩ

ආර්ථික විද්‍යාවේදී උගන්වනවා නොමිල භාණ්ඩ කියලා කාණ්ඩයක්. ඒකට අයිති වෙන්නේ ස්වභාවිකව අපට ලැබෙන හිරු එළිය සහ වාතය වගේ දේවල්. ඒවාට අපි මිලක් ගෙවන්නෙත් නෑ, නමුත් ඒවායේ සැපයුම සීමා වෙන්නෙත් නෑ. හැබැයි මිනිස්සු මැදිහත් වෙලා සපයන භාණ්ඩ හා සේවා එහෙම නොමිලේ සපයන්න පුළුවන්කමක් නෑ. එහෙම වුණාම වෙන්නේ පාඩුවක්. කිසියම් මිලක් අය කරලා සපයන්න පුළුවන් ගිනි පෙට්ටියක්, සහල්, රථ වාහන, නීති උපදෙස් වගේ ඕනෑම දෙයක් ආර්ථික භාණ්ඩයක්.

පොදු ප්‍රවාහනය නොමිලේ ලබා දෙන්න පුළුවන්ද?

විශේෂයෙන්ම තෙල් මිල ඉහල ගිහින් තියෙන වෙලාවක මේ නොමිලේ ලබා දෙන පොදු ප්‍රවාහනයේ  කතාව ඇහුවාම හුඟක් අයට සතුටු හිතෙන්න පුළුවන්, අපිට සල්ලි ගෙවන්නේ නැතුව බස් එකේ, කෝච්චියේ යන්න පුළුවන් කියලා. තවත් කෙනෙකුට හිතෙන්න පුළුවන් පොදු ප්‍රවාහනය සම්පූර්ණයෙන් ම නොමිලේ ලබා දුන්නම පුද්ගලික වාහන, ඒ කියන්නේ අපි තනි තනිව පාවිච්චි කරන වාහන භාවිතය අඩු වෙයි, එතකොට වායු දූෂණය, වාහන තදබදය අඩු වෙයි කියලා. අපි එහෙම හිතුවට ඇත්තටම එහෙම වෙනවද? ලෝකයේ මේ සම්බන්ධයෙන් තියෙන්නේ මොන වගේ අත්දැකීමක්ද?

ලක්සම්බර්ග්, එස්තෝනියා චිලී සහ නොමිල පොදු ප්‍රවාහනය

පොදු ප්‍රවාහනය නොමිලේ ලබා දීම සම්බන්ධයෙන් මේ රටවල් තුනම වැඳගත්. ලක්සම්බර්ග් තමයි මුල් වරට නොමිල පොදු ප්‍රවාහනය ක්‍රියාත්මක කළේ. 2014 අවුරුද්දේදී එස්තෝනියාවේ අගනුවර වුණු ටැලින් නගරයටත් නොමිලේ පොදු ප්‍රවාහනයට ඉඩ කඩ ලැබුණා. පොදු ප්‍රවාහනයට මිනිස්සුන්ගේ තියෙන කැමැත්ත වැඩි කරන්න වගේම, වායු දූෂණය, වාහන තදබදය, තෙල් මිලට විසඳුමක් විදිහට තමයි මේ ක්‍රියාමාර්ගය අරන් තිබුණේ. ඒත් හිතුව තරම් ප්‍රතිඵලයක් මේකෙන් ලැබුණේ නෑ. පොදු ප්‍රවාහනය භාවිතා කරන ප්‍රමාණය සතියකට  3% වගේ සුළු ප්‍රතිශතයකින් ඉහළ ගියා විතරයි. අවුරුද්දක් ගත වුණට් පොදු ප්‍රවාහනය භාවිත කරන පිරිස 14% දක්වා විතරයි ඉහල ගියේ. 

හැබැයි චිලී රටේ තත්ත්වය මීට වෙනස්. එයාලා අධ්‍යයනයක් කළා පොදු ප්‍රවාහනය නොමිලේ ලබා දීම සාර්ථකයිද බලන්න. ඉතිං එයාලා කණ්ඩායම් දෙකක් තෝරගෙන එක කණ්ඩායමකට විතරක් නොමිලේ පොදු ප්‍රවාහනය භාවිත කරන්න පුළුවන් වෙන විදිහට කූපන් එකක් ලබා දුන්නා. මේ අධ්‍යයනයේ ප්‍රතිඵල බලාපොරොත්තු වුණ මට්ටමේ ඒවා නෙවෙයි.  මේ කූපන් නිසා පොදු ප්‍රවාහනයට යොමු වුණ පිරිස සතියක් ඇතුලත 10% ඉහල ගියා. ඒක ලක්සම්බර්ග්වලට වඩා හොඳ තත්ත්වයක්. ඒත් මේ කූපන් එයාලා පාවිච්චි කරලා තිබුණේ කාර්‍යාල වේලාවන්වලට අදාලව නම් නෙවෙයි. කාර්‍යාල වෙලාවෙන් බැහැරව වෙනත් ගමන් යන්න තමයි මේ කූපන් භාවිත වුණේ. ඒ නිසා වාහන තදබදයේ අඩුවක්වත්, වෙන වාසියක්වත් ලැබුණේ නෑ. පෞද්ගලික වාහන භාවිතයේ අඩුවක් වෙලා තිබුණෙත් නෑ. ඔයාලට හිතෙන්න පුලුවන් එක අධ්‍යයනයකින් හොයා ගත්ත දේවල් කොයි තරම් දුරට හරිද වැරදිද දන්නේ නෑ කියලා. 

මේ වගේම අධ්‍යයන දෙකක් 1996දීත් 2017දීත් කරලා තියෙනවා. ඒවායිනුත් හොයා ගෙන තියෙන්නේ පොදු ප්‍රවාහනය නොමිලේ ලබා දුන්න එක නිසා පොදු ප්‍රවාහනය පාවිච්චි කරන පිරිස වැඩි වෙලා තියෙන්නේ 0.17% ඉදලා 1.3% වගේ ඉතාමත් කුඩා ප්‍රමාණයකින් විතරයි කියලා. මේ හැම සිද්ධියකින්ම අපිට පේන්නේ පොදු ප්‍රවාහනය භාවිත කරන පිරිස වැඩි කරන්න නම්, පොදු ප්‍රවාහනය නොමිලේ ලබා දීලා විතරක් මදි කියලයි. 

ඇයි නොමිලේ දීලත් පොදු ප්‍රවාහනයට මිනිස්සු අකමැති?

පොදු ප්‍රවාහනය කියලා කියන්නේ මේ වෙනකොටත් මිනිස්සුන්ට තියෙන ලාභදායීම ප්‍රවාහන ක්‍රමය. ලංකාවේ තියෙන ආර්ථික අර්බුදය නිසා බස් ගාස්තු සෑහෙන මට්ටමකින් ඉහල ගියාට සාමාන්‍යයෙන් ඕනම රටක තියෙන ලාභදායීම ප්‍රවාහන ක්‍රමය තමයි පොදු ප්‍රවාහනය කියලා කියන්නේ. ඉතිං ඒ වගේ දෙයක් තවත් ලාභදායී කළා කියලා මිනිස්සු අමුතුවෙන් පොදු ප්‍රවාහනයට යොමු වෙයි කියලා හිතන්න අමාරුයි. මිනිස්සු ගාණ වැඩි වුණත් ත්‍රීවිල් එකක, ටැක්සියක යන්න පෙළඹෙන්නේ තමන්ගේ කාලය, වෙහෙස මහන්සිය, පහසුව, නිදහස වගේ දේවල් ගැන හිතලා. ඉතිං කෙනෙක් පොදු ප්‍රවාහනයට අකමැති වෙනවා නම් ඒකට හේතු වෙන්නේ පොදු ප්‍රවාහනයේ තියෙන අඩු ගුණාත්මක බව. 

චිලී රටේ උදාහරණය ආයෙත් සලකලා බැලුවොත්, ඒ අධ්‍යයනයෙන් හෙළිදරව් වුණ තවත් කාරණයක් වුණේ පොදු ප්‍රවාහනය යොමු වුණු පිරිස වැඩි වුණාම, ඒ වැඩි වුණ පිරිසට අයිති වුණේ කවුද කියන කාරණය. ඒ පිරිස දුප්පත් අයවත්, මහළු හෝ තරුණ අයවත් නෙවෙයි. එයාලා පොදු ප්‍රවාහනය සේවයකට ඉතාමත් පහසුවෙන් ළගා වෙන්න පුළුවන් දුරක පදිංචි වෙලා හිටපු අය. මෙට්‍රෝ සේවයක් හෝ බස් සේවයකට කිලෝමීටර් 1 වගේ දුරක ජීවත් වුණ අය ඒ සේවාව නොමිලේ ලබා දුන්නම තමන්ගේ පරිභෝජනය එහෙමත් නැත්නම් බස් රථවල ගමන් බිමන් යාම දෙගුණයකින් වැඩි කරලා තිබුණා. ඒත් කිලෝමීටර් 1 වඩා දුර හිටපු අයගෙන් එහෙම වෙනසක් පෙනිලා නෑ. 

පොදු ප්‍රවාහනයේ දියුණු වෙන්න ඕන මොනවාද?

මේ හැම කතාවක්ම කියන්නේ පොදු ප්‍රවාහනය නොමිලේ දීලා විතරක් මදි, ඒකේ ගුණාත්මක බවත් වැඩි කරන්න ඕන කියලා. චිලී උදාහරණයෙන් පේනවා මිනිස්සු තමන්ට ඒ වෙනුවෙන් දරන්න වෙන මුදලට වඩා කාලය, ළගා වීමේ පහසුව වගේ දේවල් සලකනවා කියලා. කාලය කියද්දි බස් එකක් එනකම් බලන් ඉන්න කාලය, ගමනට ගත වෙන කාලය, එක වාහනයකින් තවත් වාහනයකට මාරු වෙද්දි ඒකට ගත වෙන කාලය වගේ බොහෝමයක් දේ සලකලා බලනවා. එහෙම බලද්දි පෞද්ගලික වාහනයක යන එක ගාණ වැඩි වුණත් ලාභයි කියලා මිනිස්සු හිතන්න පෙළඹෙනවා. 

2006දී කරපු අධ්‍යයනයකින් හෙළි වෙලා තියෙනවා පෞද්ගලික වාහනයක් වෙනුවෙන් වැය වෙන වෙලාව, පොදු ප්‍රවාහනයට වැය වෙන වෙලාව වගේ 40% ගුණයක් අඩුයි කියලා. එහෙම බලද්දි මිනිස්සු තමන්ට වඩාත් පහසු ක්‍රමය තෝර ගන්නවා මිසක් නොමිලේ ලබා දෙන දේම පිලිගන්නේ නෑ.

අපි තවත් උදාහරණයක් ගමු ස්පාඤ්ඤයෙන්. 2015දි මැඩ්රිඩ් අගනුවර ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් වැඳගත් තීරණයක් ගත්තා. මැඩ්රිඩ්වල ජීවත් වෙන සියලුම තරුණ ප්‍රජාවට මාසික ප්‍රවාහන කටයුතුවලට පාවිච්චි කරන්න යූරෝ 20ක නොවෙනස් අනුපාතයක් ලබා දුන්නා. ඒකෙන් අඩු පහසුකම් සහිත පරිසරවල ජීවත් වෙන තරුණ කොටස්වල පොදු ප්‍රවාහන භාවිතය 25% කින් ඉහල ගියා. පරිභෝජනය ඒ විදිහට ඉහල ගියේ පොදු ප්‍රවාහනය ලාභ වුණ නිසා. මධ්‍යම පාංතික තරුණ කොටස්වලට මේ වාසිය නිසා තමන්ගේ වියදම්වලින් 49% ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන් වුණා. ඒ විදිහට අතේ ඉතුරු වුණ සල්ලිවලින් වෙනත් වියදම් පිරිමහ ගන්නත් එයාලට පුළුවන් වුණා. මේ උදාහරණය ගැන විවේචන එල්ල වෙලා නැත්තේ නෑ. ඒ වුණත් ස්පාඤ්ඤයේ මේ උදාහරණයෙන් පේන්නේ පොදු ප්‍රවාහනය පාවිච්චි කරන පිරිස වැඩි කර ගන්න ගත්ත ක්‍රියාමාර්ගය හරි ගියා කියලයි. 

පොදු ප්‍රවාහනය ඇත්තටම නොමිලේ ලබාදන්න පුලුවන්ද? 

නිදහස් ආර්ථිකයක මිල තීරණය කරන්නේ පාරිභෝගිකයෝ සහ නිෂ්පාදකයෝ. කාටවත් මිලක් නැතිව නිෂ්පාදන කටයුතු, පාරිභෝජන කටයුතු කරන්න බෑ. ආර්ථික විද්‍යාවේ මේකට කියන්නේ කාටවත් දවල් කෑම පිනට / නිකම් හම්බ වෙන්නේ නෑ කියලා (There is no such thing as free lunch). කාටම හරි දෙයක් නොමිලේ ලැබෙනවා කියන්නේ ඒ වෙනුවෙන් තවත් කෙනෙක් වියදම් දරලා තියෙනවා කියන එකයි. අපි හිතමු අපිට තෑග්ගක් විදිහට මෝටර් බයිසිකලයක් ලැබෙනවා කියලා. ලැබුණ කෙනාට ඒ වෙනුවෙන් වියදමක් දරන්න වුණේ නෑ තමයි. ඒත් ඒ තෑග්ග දුන්න කෙනා බයිසිකලයට මිල ගෙවලා තියෙනවා. 

ඉතිං රජය තමයි රටක පොදු භාණ්ඩ වෙනුවෙන් ඒ වියදම දරන්නේ. ඒත් රජයට ආදායම් ලැබෙන්නේ මිනිස්සු ගෙවන බදු සල්ලිවලින්. ඒ සල්ලිවලින් නොමිලේ පොදු ප්‍රවාහනය ලබා දෙනවා කියන්නේ රජයට ලොකු වියදමක් දරන්න වෙනවා කියන එක, නැත්නම් බදු ගෙවන සාමාන්‍ය ජනතාවට ඒ බර දරන්න වෙනවා කියන එක. ඒ නිසා මේ ලෝකේ කිසිම දෙයක් නොමිලේ ලැබෙන්නේ නෑ. පොදු ප්‍රවාහනයටත් ඒක පොදු කතාවක්. ඉතිං නොමිලේ ලැබෙන පොදු ප්‍රවාහනය අපිට ඔබට වාසිදායකද? ඔබම හිතලා බලන්න. 

-දිල්මිණී හසින්තා අබේරත්න  




පවුල්වාදය, හිතවත්කම්වලට තනතුරු ලබා දීම සහ රජය සතු ව්‍යවසායන් පාලනය කිරීම

රවී රත්නසබාපති විසිනි

සමහර රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයට නිලධාරීන් පත් කිරීම සිද්ධ වෙන්නේ බොහෝමයක් දෙනෙක්ව කනස්සල්ලට පත් කරලා. ඉතිං ජනතාව නම් මැසිවිලි නඟන්නේ ආයෙත් වතාවක් දේශපාලකයන්ගේ හිතවතුන් වගේම ඥාතීන් ආයතනවල ඉහළ තනතුරුවලට පත් කිරීම පටන් අරගෙන කියලා. අන්න ඒ නිසයි රාජ්‍ය ව්‍යවසායන්වල අපේක්ෂිත පාලන ව්‍යුහය පරීක්ෂා කරලා බලන්න සුදුසු වෙන්නේ. 

 රස්සාවකදි තමන්ගේ නෑදෑයන්ට සහ හිතවතුන්ට විශේෂ සැලකිලි දක්වන එක ‘පවුල්වාදය’ සහ ‘හිතමිතුරන්ට කරන සංග්‍රහය’ විදිහට හඳුන්වන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාවෙන් පවුල්වාදයට දීලා තියෙන යෙදුම ‘නෙපොටිසම්’ (Nepotism). ඒ යෙදුම ඉංග්‍රීසි භාෂාවට ඇවිත් තියෙන්නේ ‘නෙපොටිස්මෝ’ කියන ඉතාලි වචනයෙන්. ඒක ඉතාලි භාෂාවට ඇවිත් තියෙන්නේ ‘නෙපෝස්’ කියන ලතින් වචනයෙන්. ලතින්වලින් නෙපෝස් කියන්නේ බෑණා කියන අදහස. මධ්‍යතන යුගයේ සහ 17 සියවස අගභාගය වෙනකම්ම සමහර කතෝලික පාප්වරු සහ බිෂෝප්වරු තමන්ටම කියලා නීත්‍යානුකූල උරුමක්කාරයෙක් නැති අවස්ථාවකදි තමන්ගේ බෑණලාව පල්ලියේ බලයට පත් කරලා තියෙනවා. හිතවත්කම් මත තනතුරු ලබා දීමේදී ලේ නෑයන්ට තනතුරු ලබා දීම අදාල වෙන්නේ නෑ. ඒකට අයිති වෙන්නේ යාළුවන්ට සහ සමීපතමයන්ට තනතුරු, වරප්‍රසාද ලබා දීමයි.


රාජ්‍ය ව්‍යවසායන් පවත්වාගෙන යාමේ අරමුණ වෙන්නේ මහජනතාවට යහපතක් කිරීම  කියන කාරණය. ඒ නිසා ඒ ආයතන හරියට ක්‍රියාත්මක කරන්න හැකියාවක් තියෙන පුද්ගලයන් නිවැරදි තනතුරුවලට පත් කරන්න ඕන. ඒකෙන් අදහස් වෙන්නේ නෑ කාගේ හරි නෑදෑ කෙනෙක් හෝ හිතවතෙක් විදිහට ආයතනයකට සම්බන්ධ වෙන කාටවත් ම දක්ෂතාවක් නෑ කියලා. ඒ වුණත් දේශපාලන මැදිහත්වීමකින් තමන්ට රස්සාවක් හොයා ගන්න පෙළඹෙන බොහෝමයක් දෙනා ඒ වගේ ක්‍රමවලට රස්සාවලට එන්නේම තමන්ට කියලා රස්සාවක් තමගේම හැකියාවෙන් හොයා ගන්න අමාරු නිසයි. පහුගිය ආණ්ඩු කාලයේදී මේ වගේ පත් කිරීම් අහන්න දකින්න ලැබුණ නිසා දැන් බලයේ ඉන්න ආණ්ඩුව මේ වගේ දේවලවලින් වැලකිලා ඉන්න එක වැඳගත්.

සාමාන්‍යයෙන් වෙන්න ඕන ප්‍රධාන විධායක නිලධාරියාට පහළ මට්ටමේ ඉඳලා හැම පත්වීමක් ම කුසලතා මත පදනම් වෙලා දෙන්න ඕන කියන එකයි. එතනදි පිලිගත් තේරීම් ක්‍රියාවලියකට එහෙමත් නැත්නම් විභාග සහ සම්මුඛ පරීක්ෂණවලට යටත් වෙලා මේ කියන තේරීම කරන්න ඕන. (මණ්ඩලයට සහ ප්‍රධාන විධායක නිලධාරි තනතුරට නිලධාරීන් පත් කිරීම් ගැන දැනුවත් වීමට ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය නිකුත් කරලා තියෙන (OECD - Organisation for Economic Co-operation and Development) මාර්ගෝපදේශ ගැන විස්තර කොටස බලන්න). ඒ ඒ තනතුරට නියමිත සම්මත තේරීම් ක්‍රියාවලිය හරහා තමන්ගේ හැකියාවන් තහවුරු කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ වගේ තනතුරුවලට නෑදෑයෙක් හෝ හිතවතෙක් පත් කලත් කමක් නෑ . 

ආයතනයක කාර්ය මණ්ඩලය පත් කරද්දි ඒ ඒ තනතුරුවලට සුදුසුකම් තියෙන ගැලපෙනම පුද්ගලයන්ව බඳවා ගත්තා නම් රජයක් වෙනස් වෙන හැම වෙලාවේම තනතුරුවලට අළුතින් නිලධාරීන් පත් කරන්න ඕන වෙන්නේ නෑ. ඒ නිසාම රජයේ ඒ ප්‍රතිපත්තියට නිශ්චිත බවක් ලැබෙනවා. මේ සම්බන්ධයෙන් සලකලා බලද්දි ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සහ කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) කියන ආයතන දෙකම තමන්ගේ ස්වාධීනත්වය තරමක් දුරට පවත්වා ගෙන ගිහින් තියෙනවා.

කොහොම වුණත් අපේ මේ සංවාදය ඇතුළේ අපි අධ්‍යක්ෂවරුන් පත් කිරීම ගැන විතරක් කතා කරලා වැඩක් නෑ. ඒ නිසා අපේ අවදානය ලැබෙන්න ඕනේ රාජ්‍ය ව්‍යවසාය පාලනය කියන පුළුල් ක්ෂේත්‍රය ගැන. ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වන සංවිධානය (OECD) රජයට අයිති ව්‍යවසායන් වඩාත් තරඟකාරී, කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් පවත්වාගෙන යාම පහසු කර ගන්න ගැලපෙන උපදෙස් ලබා දෙන මාර්ගෝපදේශ මාලාවක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. 

ක්‍රියාකාරී දේශපාලන වෘත්තීය සමිති සහ දේශපාලන පත්වීම් නිසා, පරමාදර්ශයක් විදිහට පෙනී ඉන්න මේ මාර්ගෝපදේශ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන එක ලේසි වැඩක් නෙවෙයි. 

ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වන සහයෝගීතාවය ඉදිරිපත් කරලා තියෙන මාර්ගෝපදේශය යටතේ කොටස් හයක් තියෙනවා.

I. රජය සතු ව්‍යවසායන් සඳහා ඵලදායී නීතිමය සහ නියාමන රාමුවක් සහතික කිරීම 

II. රාජ්‍ය හිමිකරුවෙකු ලෙස කටයුතු කිරීම 

III. කොටස් හිමියන්ට සාධාරණ ලෙස සැලකීම 

IV. පාර්ශවකරුවන් සමඟ සබඳතා 

V. විනිවිදභාවය සහ අනාවරණය 

VI. රජය සතු ව්‍යවසාය මණ්ඩලවල වගකීම් 

මේ යටතේ එන වඩාත් ම වැදගත්ම කරුණු අපි පහත කොටසින් සාකච්ඡා කරනවා. රාජ්‍ය ව්‍යවසායයන් පාලනය කරන්න නම් රජය විසින් ම පුළුල් රාමුවක් අනුගමනය කිරීම තමා සුදුසු වෙන්නේ මොකද ඒ වගේ ක්‍රියාමාර්ගයකින් අනිවාර්‍යයෙන්ම කාර්ය සාධනය වැඩිදියුණු කරන්නත් මහජනතාවගේ විශ්වාසය පවත්වාගෙන යන්නත් පුළුවන්කමක් ලැබෙනවා.

I. රජය සතු ව්‍යවසායන් සඳහා ඵලදායී නෛතික සහ නියාමන රාමුවක් සහතික කිරීම

වෙළඳපළ අසමතුලිතතාවන් වලක්වා ගැනීමට රාජ්‍ය ව්‍යවසායන් සහ පුද්ගලික අංශයේ සමාගම් සම සමව තරඟ කරන්න නම් ඊට ගැලපෙන  නෛතික හා නියාමන රාමුවක් පවත්වා ගන්න ඕන. 

A. රාජ්‍ය ව්‍යවසායන්ටත් සාමාන්‍ය නීති සහ රෙගුලාසි අදාල වීම අවශ්‍යයයි. තරඟකරුවන් ඇතුළු අනෙකුත් පාර්ශ්වකරුවන්ට තමන්ගේ අයිතීන් උල්ලංඝනය වෙලා කියලා හිතෙනවා නම් කාර්යක්ෂම විදිහට ඒවාට සහන ලබා ගන්නත් සාධාරණ තීන්දුවක් ගන්නත් ඉඩ ලැබීම අවශ්‍ය වෙනවා.

B. විශේෂයෙන්ම වෙළඳපල නියාමනය සම්බන්ධයෙන් රජය සතු ව්‍යවසායන් සඳහා කොන්දේසි කෙරෙහි බලපෑම් ඇති කළ හැකි රාජ්‍ය හිමිකාර කාර්යය සහ අනෙකුත් රාජ්‍ය කාර්යයන් අතර පැහැදිලි වෙන්වීමක් තිබිය යුතුය. සරලව කියනවා නම්, රජයට අයිති ව්‍යවසායන්වලට නීති ක්‍රියාත්මක වීමේදී විශේෂ සැලකිල්ලක් නොතිබිය යුතුයි.

C. රාජ්‍ය ව්‍යවසායන් නියාමනය කරන නීති පද්ධති විධිමත් කිරීමෙන් ණය හිමියන්ට ඔවුන්ගේ හිමිකම් ඉදිරිපත් කිරීමට සහ ඔවුන්ගේ බුන්වත්වීම සම්බන්ධ ක්‍රියා පටිපාටි ආරම්භ කිරීමට ඉඩ දිය යුතුයි. 

D. සාමාන්‍යයෙන් පිළිගත් සම්මතයෙන් ඔබ්බට ගිය රාජ්‍ය සේවා සම්බන්ධයෙන් රාජ්‍ය ව්‍යවසායයන් විසින් භාර ගැනීමට අවශ්‍ය ඕනෑම බැඳීමක් පැහැදිලිව මහජනතාවට හෙළිදරව් කළ යුතුය. එවැනි කටයුතුවලට අදාළ වියදම් ද හෙළි කළ යුතුයි. මෙමගින් ඇමතිවරයාට මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අරමුදල් සැපයීම වැනි අපයෝජනයන් වලක්වනු ඇත.

E. රාජ්‍ය ව්‍යවසායයන් අරමුදල් සපයා ගැනීමේදී තරඟයට මුහුණ දිය යුතුය. රාජ්‍ය ව්‍යවස්සයයන් රාජ්‍ය බැංකු, රාජ්‍ය මූල්‍ය ආයතන සහ වෙනත් රාජ්‍ය සමාගම් සමඟ ඔවුන්ගේ සබඳතා පැවැත්වීමේදී ඒවා පදනම් විය යුත්තේ හුදු වාණිජමය හේතු මත ය. මෙය රාජ්‍ය මූල්‍යවල ශේෂ පත්‍රයෙන් බැහැර විනිවිදභාවයෙන් තොර ගනුදෙනු වලක්වනු ඇත.  

II. රාජ්‍යය හිමිකරුවෙකු ලෙස ක්‍රියා කිරීම 

දැනුවත් සහ ක්‍රියාකාරී හිමිකරුවෙකු ලෙස රජය ක්‍රියා කළ යුතුය. කාර්ය සාධනය මැනිය හැකි හිමිකාරිත්වයේ අරමුණු පැහැදිලි කිරීමට හැකියාවක් ඇති පැහැදිලි හිමිකාරිත්ව ප්‍රතිපත්තියක් තිබිය යුතුය.

A. ව්‍යවසායයන් සම්බන්ධයෙන් රජයට ඇති අයිතියේ සමස්ත අරමුණු නිර්වචනය කරන හිමිකාරිත්ව ප්‍රතිපත්තියක් රජය විසින් නිකුත් කළ යුතුයි. ඒ තුලින් රාජ්‍ය ව්‍යවසායයන්ගේ ආයතනික පාලනයේදී රජය කරන්නේ කුමක්ද යන්න සහ එහි හිමිකාරිත්ව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පැහැදිලි කළ යුතුය.

B. රාජ්‍ය ව්‍යවසායකයන්ගේ දෛනික කළමනාකරණයට රජය සම්බන්ධ නොවිය යුතු අතර ඔවුන්ගේ නිශ්චිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ලබා දිය යුතුයි 

C. රාජ්‍ය පරිපාලනය තුළ හිමිකාර අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම පැහැදිලිව හඳුනාගත යුතුය. ඉතා මැනවින්, රාජ්‍යයේ සියලුම කොටස් ආයෝජන අධීක්‍ෂණය කරන සහ පාර්ලිමේන්තුවට වගකිව යුතු එක් විශේෂිත ආයතනයක් යටතේ මධ්‍යගත විය යුතුය. ආයෝජන කළමනාකරණය කෙරෙහි නිසි අවධානයක් යොමු කිරීම සහ ස්ථාවර ප්‍රතිපත්ති අදාළ වන බව මෙමගින් සහතික කෙරේ. එවිට මණ්ඩලය අනුගමනය කල යුතු පියවර වන්නේ:

a. හොඳින් සංවිධානය වූ, විනිවිදභාවයකින් යුත් නාමයෝජනා ක්‍රමයක් මණ්ඩල සඳහා ඉදිරිපත් කිරීම සහ සියලුම රාජ්‍ය ව්‍යවසාය මණ්ඩල නාමයෝජනා සඳහා ක්‍රියාකාරීව සහභාගී වීම. අධ්‍යක්ෂ මණ්ඩල නම් කිරීම ඇමතිවරයාගේ පරමාධිකාරී බලය යටතේ පමණක් තීරණය නොවිය යුතුයි.

b.  නිරන්තරයෙන් රාජ්‍ය වය‍වසායන්ගේ කාර්ය සාධනය අධීක්ෂණය කිරීමට සහ තක්සේරු කිරීමට ඉඩ සලසන වාර්තාකරණ පද්ධති සැකසීම. 

පාර්ලිමේන්තුවට නිසි ලෙස වාර්තා කිරීමට මෙමගින් හැකියාව ලැබෙනවා.

III. කොටස් හිමියන්ට සාධාරණ ලෙස සැලකීම

රාජ්‍ය සහ රජය සතු ව්‍යවසායන් විසින් සියලුම කොටස් හිමියන්ගේ අයිතිවාසිකම් පිළිගත යුතු අතර ඔවුන්ට සාධාරණ ලෙස සැලකීම සහ ආයතනික තොරතුරු සඳහා සමාන ප්‍රවේශය සහතික කළ යුතුයි. මෙය අදාළ වන්නේ රජයට අර්ධ කොටස් හිමිකමක් ඇති තත්ත්වයකදී නැත්නම් සුළුතරයක් වන කොටස් හිමියන්ගේ අවශ්‍යතාවන් සොයා බැලීමේදීයි. සුළුතර කොටස් හිමියන් සමඟ සිදු කරන ක්‍රියාකාරී උපදේශන ප්‍රතිපත්තියක්, ගනුදෙනුවල විනිවිදභාවය සහ කොටස් හිමියන්ගේ රැස්වීම්වලදී සුළුතරයේ සහභාගිත්වය සඳහා පහසුකම් සැලසීම අවශ්‍ය වේ.

IV. පාර්ශ්වකරුවන් සමඟ ඇති සම්බන්ධතා

රාජ්‍ය හිමිකාරිත්ව ප්‍රතිපත්තිය මගින් පාර්ශවකරුවන් සම්බන්ධයෙන් රාජ්‍ය ව්‍යවසායන් වෙත පැවරී ඇති වගකීම් සම්පූර්ණයෙන් පිළිගත යුතු අතර පාර්ශ්වකරුවන් සමඟ ඔවුන්ගේ සබඳතා වාර්තා කරන ලෙස ඉල්ලා සිටිය යුතුයි.

V. විනිවිදභාවය සහ හෙළිදරව් කිරීම

 රජය සතු ව්‍යවසායන් තමන්ගේ කටයුතු කරගෙන යාමේදී විනිවිදභාවය පිළිබඳ ඉහළ ප්‍රමිතීන් පිළිපැදිය යුතුය. විශේෂයෙන්ම,

A. රාජ්‍ය කොටස් හිමිකමට පවරා ඇති ආයතනය රජය සතු ව්‍යවසායන් පිළිබඳ ස්ථාවර සහ සමස්ථ වාර්තාකරණයක් වර්ධනය කළ යුතු අතර SOEs ගැන ලියැවුණු සම්පූර්ණ වාර්තාවක් සෑම වසරකදීම ප්‍රකාශයට පත් කරන්න ඕන. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්තත්, රාජ්‍ය ව්‍යවසායයන් සෑම රාජ්‍ය ව්‍යවසායයක්ම කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කිරීම අවශ්‍යයි. කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) ලියාපදිංචි කිරීමේදී සිදු කල යුතු හෙළිදරව් කිරීමේ අවශ්‍යතා සපුරාලීම මඟින් විනිවිදභාවය වැඩි දියුණු කිරීමක් සිදුවේ.
B. රාජ්‍ය ව්‍යවසායයන් ජාත්‍යන්තර ප්‍රමිතීන් මත පදනම්ව වාර්ෂික ස්වාධීන බාහිර විගණනයකට යටත් විය යුතුය. ස්වාධීන බාහිර විගණනයකින් ලබා දෙන තක්සේරුවලට නිශ්චිත රාජ්‍ය පාලන ක්‍රියා පටිපාටි ආදේශ කල හැකි නොවේ.

VI රජය සතු ව්‍යවසාය මණ්ඩලවල වගකීම්

A. රජයේ ව්‍යවසාය මණ්ඩලවලට සමාගමේ කාර්ය සාධනය සඳහා පැහැදිලි වරමක් සහ අවසාන වගකීම පැවරිලා තියෙන්න අවශ්‍යයයි. මේ මණ්ඩල ආයතනයේ අයිතිකරුවන්ට වගකීමෙන් බැඳිලා ඉන්නවා වගේම සමාගම වෙනුවෙන් සමාගමේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන්න ඕන වගේම සියලුම කොටස් හිමියන්ට සාධාරණව සලකන්නත් ඕන.

B. රජය සහ ආයතනයේ හිමිකරුවන් නියම කර ඇති අරමුණු රාමුවට අනුගත ව කලමණාකරණය සහ උපායමාර්ගික මඟ පෙන්වීමට අදාල කටයුතු සොයා බැලීම රාජ්‍ය ව්‍යවසායයන්ගේ කාර්‍යයක් වෙනවා.  ප්‍රධාන විධායක නිලධාරියා පත් කිරීමට සහ ඉවත් කිරීමට ඔවුන්ට බලය තියෙන්න ඕන. ප්‍රධාන විධායක නිලධාරියා පත් කරන්නේ ඇමතිවරයෙකු විසින් නොවේ. එය මණ්ඩලය විසින් ගන්නා තීරණයක්. 

C. අවශ්‍යතාවක් ඇති වුණාම (විශේෂයෙන්ම විගණනය, අවදානම් කළමනාකරණය සහ වේතනය) සම්බන්ධයෙන් කටයුතු කරද්දි, පූර්ණ මණ්ඩලයට සහාය දෙන්න කමිටු පත් කිරීමේ වගකීම තියෙන්නේ රාජ්‍ය ව්‍යවසාය මණ්ඩලවලටයි.

D. රාජ්‍ය ව්‍යවසාය මණ්ඩල තමන්ගේ කාර්ය සාධනය තක්සේරු කරන්න හැම අවුරුද්දේම ඇගයීමක් කරන්න අවශ්‍යයයි.

සාරාංශයක් විදිහට ගත්තොත් රාජ්‍ය ව්‍යවසායන්වල කාර්‍යක්ෂමතාව ගැන සමාජයේ තියෙන ආකල්පය ඒ තරම්ම සුබදායී නෑ. ඒකට බලපාන එක හේතුවක් විදිහට පවුල්වාදය, නෑදෑ හිතවතුන්ට ආයතනවල තනතුරු ලබා දීම වගේ කටයුතු විනිවිදභාවයකින් තොරව සිදු කිරීම හඳුන්වන්න පුළුවන. මේ වගේ පත් කිරීම් නිසා රාජ්‍ය ව්‍යවසායන් ගැන මහජනතාවගේ විශ්වාසය බිඳිලයි තියෙන්නේ. ඒකට විසඳුමක් විදිහට ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වන සංවිධානය (OECD) මාර්ගෝපදේශයන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ යටතේ රජය සතු ව්‍යවසායන් සඳහා ඵලදායී නීතිමය සහ නියාමන රාමුවක් සහතික කිරීම වගේ දේවල්වලට අදාලව දේශපාලනීකරණය නොවූ කාර්‍යක්ෂම රාජ්‍ය ව්‍යවසාය ක්‍රමයක් පවත්වාගෙන යන්න අවශ්‍ය මඟ පෙන්වීම කරලා තියෙනවා. ඉතිං හොර බොරු නැති, වංචා දූෂණ නැති කාර්‍යක්ෂම රාජ්‍ය ව්‍යවසායයන් පවත්වාගෙන යන එක ලංකාව වගේ රජය ආර්ථිකයට මැදිහත් වෙලා ඉන්න රටකට ඉතාමත් වැඳගත්. අපේ රටත් සංවර්ධනය වුණු රටක් කරන්න හීන දකින අපිට කරන්න ම ඕන ප්‍රතිසංස්කරණයක් විදිහට රාජ්‍ය ව්‍යවසායවල සුදුස්සාට සුදුසු තැන ලබා දෙන එක වැඳගත් වෙන්නේ අන්න ඒ නිසයි.


ලංකාවේ ව්‍යාපාරවලින් ගොඩයන්න පුළුවන්ද?

පසුගිය අවුරුද්දේ මුල ඉඳලාම ලංකාවට මුහුණ දෙන්න වෙලා තියෙන දරුණු ආර්ථික අර්බුදය හින්දා සමහරු රට අත් ඇරලා ගියා. එහෙම යන්න බැරි වුණ අය සහ නොයන්න තීරණය කරපු තවත් අය ලංකාවේ ඉදිරි අනාගතය ගොඩ නගන්න එක එක විදිහේ යෝජනා සහ අදහස් ඉදිරිපත් කළා. සාමාන්‍ය ජනතාව විතරක් නෙවෙයි ලංකාවේ රජය සහ ව්‍යාපාරිකයන් පවා මේ ගැන විවිධ යෝජනා සහ චෝදනා ඉදිරිපත් කළා. ඉතිං ඒ අතර තිබුණ එක යෝජනාවක් තමයි ලංකාවට දියුණු වෙන්න නම් ලංකාවේ ව්‍යාපාර දියුණු වෙන්න ඕන කියන කතාව. ඉතිං ඒ කතාව ඇහුවම කෙනෙක්ට හිතෙන්න පුළුවන් ව්‍යාපාර කරලා ගොඩයන්න පුළුවන්කමක් තියෙනවා නම් ඇයි තවත් බලන් ඉන්නේ කියලා. ඔව්, එහෙම හිතෙන එක සාධාරණයි. ඒත් ලංකාවේ ව්‍යාපාර කරන එක ලෝකයේ සමහර රටවල්වල ව්‍යාපාර පටන් අරගෙන කරගෙන යන එක තරම් ලේසි වැඩක් නෙවෙයි. මේකට හේතු ගොඩාක් තියෙනවා. ඉතිං අපි මුලින්ම බලමු ඇයි ලංකාවේ ව්‍යාපාර කරගෙන යන්න මේ තරම් අමාරු කියලා.

ලංකාව ව්‍යාපාරවලට සහ ව්‍යාපාරිකයන්ට හොඳ ද?

ලංකාව කියලා කියන්නේ ඉන්දියන් සාගරයේ ඉතාමත් උපායශීලී පිහිටීමක් සහිත රටක්. රට වටේම තියෙන මුහුද, වගා කරන්න පුළුවන් ඉඩම්, ජලය, ස්වභාවික සම්පත්, ස්වභාවික වරායයන් වගේ දේවල් ලංකාවේ ආර්ථිකයට වටිනාකමක් එකතු කරනවා. මේ විශේෂ පිහිටීම නිසා ම සමහර රටවල් ලංකාවේ ආයෝජනය කරන්න, ඒ කියන්නේ මුදල් යොදවලා ව්‍යාපාර පටන් ගන්න පවා කැමතියි. ඒත් සම්පත් තිබුණා කියලාවත් කවුරුහරි කැමති වුණා කියලාවත් රටක ව්‍යාපාර කටයුතු ඒ තරම් ලේසියෙන් පවත්වාගෙන යන්න පුලුවන්කමක් නෑ. ලංකාවේ පරිසරය ව්‍යාපාර කරන්න කොයිතරම් සුදුසු මට්ටමක තියෙනවද කියලා තේරුම් ගන්න අපිට ලෝකයේ පිලිගත් දර්ශක කීපයක් යොදා ගන්න පුළුවන්. 

ගෝලීය තරඟකාරීත්ව දර්ශකයට අනුව 2023 දී රටවල් 184 අතරින් ලංකාව ඉන්නේ 136 වන ස්ථානයේ. 2020දී  ව්‍යාපාර කිරීමේ පහසුව දර්ශකයට අනුව ලංකාව 99 වැනි ස්ථානයේත්, 2020දී ඉදිරිපත් කරපු ෆ්‍රේසර් ආයතනයේ ආර්ථික නිදහස පිලිබඳ තක්සේරුවලට අනුව 89 වැනි ස්ථානයේත් රැඳිලා ඉන්නවා. සරලවම කිව්වොත් මේ හැම අගයයකින්ම පේන්නේ ලංකාව ඉතාමත් දුර්වල මට්ටමක ඉන්නවා කියන එකයි. මේ කියන දර්ශකවලට ඇතුලත් වෙලා තියෙන දේපල හිමිකාරීත්වය, ව්‍යාපාර නියාමනය, දේපල ලියාපදිංචි කිරීම, ණය ගැනීම සහ බදු ගෙවීම වගේ කාරණා හැම එකක්ම සලකලා බලද්දි ලංකාවේ ව්‍යාපාරයක් පටන් ගන්නවාට වඩා වෙන රටක ව්‍යාපාරයක් කරගෙන යන එක, පටන් ගන්න එක ලේසි. 

උදාහරණයක් විදිහට ගත්තොත් ව්‍යාපාර කරගෙන යාමට තියෙන පහසුව ගැන මැන බලන දර්ශකයේ ඉහළින් ම ඉන්න රටවල් වෙන සිංගප්පූරුව, ඩෙන්මාර්කය වගේ රටවල්වල නිෂ්පාදන සාධක (භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය) ලංකාවේ තියෙනවාට වඩා ව්‍යාපාරවලට හිතකර මට්ටමක තියෙනවා. සිංගප්පූරුව සංවර්ධනය වෙන්න කලින් ලීක්-වාන්-යූ හඳුනාගත්තා ඒ රටේ දියුණුවට පාවිච්චි කරන්න පුළුවන් නිෂ්පාදන සාධක මොනවාද කියලා. ඉතිං ලංකාවට වගේ ස්වභාවික සම්පත් නොතිබුණ සිංගප්පූරුව තේරුම් ගත්තා තමන්ට තියෙන භූමියෙන් සහ ශ්‍රමයෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන කියලා. අන්න ඒ විදිහටයි ලීක්-වාන්-යූ සිංගප්පූරුවට ආයෝජකයන් ගෙන්වගන්න අඩු මිලකට ශ්‍රමය සපයන්න තීරණය කළේ. ඒ වගේම පිටරටවලින් ඇවිත් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන අයට සහනදායී කොන්දේසි යටතේ පහසුවෙන් ව්‍යාපාරික ඉඩම් ලබාගෙන නිදහසේ තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්න පුළුවන් වටපිටාවක් හදන්න ලීක්-වාන්-යූට පුළුවන් වුණ නිසා තමයි අද සිංගප්පූරුව දියුණු රටක් වෙලා තියෙන්නේ.

ලංකාවේ ව්‍යාපාර කරගෙන යන්න ඇයි මේ තරම් අමාරු?

කලින් කිව්වා වගේ ව්‍යාපාරයක් / නිෂ්පාදන කටයුත්තක් කරගෙන යන්න නම් ඒකට භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය කියන සාධක ඕන වෙනවා. ලංකාවේ මේ කියන සාධකවල අඩුවක් නෑ කියලා ඔයාලට හිතෙනවා ඇති. එහෙනම් මොකක්ද ඇත්තටම අපිට තියෙන ප්‍රශ්නය?

කොයිතරම් නිෂ්පාදන සාධක තිබ්බත් ඒවා පාවිච්චි කරන්න තියෙන ඉඩකඩ සීමාවීම තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය. ලංකාවේ භූමියෙන් වැඩි කොටසක අයිතිය තියෙන්නේ රජයට. ඒ නිසා සාමාන්‍ය ජනතාව යටතේ තියෙන ඉඩකඩම් ප්‍රමාණයෙන් අඩුයි. ව්‍යාපාරයක් කරන්න ඉඩමක් හොයාගන්න එකම ව්‍යාපාරිකයෙකුට ලොකු අභියෝගයක් වෙන්නේ ඒ නිසයි. ලංකාවේ ඉඩම්වලින් 80% වගේ විශාල කොටසක් රජයට අයිති ආයතනවලට හෝ රජයට සම්බන්ධ අය යටතේ තියෙන නිසා සාමාන්‍ය කෙනෙකුට හෝ දේශීය/විදේශීය ව්‍යාපාරිකයන්ට ඉඩමක් ලබා ගන්න සීමාවන් රැසක් තියෙනවා. 

ඉතිං ව්‍යාපාරයක් කරන්න හරි හමන් තැනක් නැතුව ඒ වෙනුවෙන් වියදම් කරන්න ප්‍රාග්ධනයක් හොයා ගන්න එකයි, ඒ ව්‍යාපාර වැඩවලට හැකියාවන් සහිත ශ්‍රමිකයෝ හොයා ගන්න එකත් අමාරු වැඩක් වෙනවා. විශේෂයෙන් ම ලංකාවේ අධ්‍යාපන ක්‍රමය රැකියාවන්ට ගැලපෙන අධ්‍යාපනය ක්‍රමයක්ද කියන ප්‍රශ්නයත් මෙතනදි මතු වෙනවා. ජපානය වගේ රටවල් තමන්ට අවුරුද්දකදි කොයිතරම් පරිගණක ඉංජිනේරුවෝ, වෛද්‍යවරු ඕන වෙනවාද කියලා තීරණය කළත්, ලංකාවේ ඒ වගේ ක්‍රමයක් ඇත්තේ නෑ. ඊටත් වඩා, බොහෝමයක් දෙනා හිතාගෙන ඉන්නේ රස්සාවක් හොයලා දෙන එක රජයේ වගකීමක් කියලා. ඉතිං නිදහස් වෙළඳපළ ආර්ථිකයක රජයට ඒ වගේ දේවල් කරනවාට වඩා වැඳගත් වැඩ තියෙනවා. තමන්ගේ හැකියා, දක්ෂතා, ආකල්ප සහ දැනුම අනුව තමටන්ට ගැලපෙන රස්සාවක් හොයා ගන්න එක ඒ ඒ පුද්ගලයා කරන්න ඕන දෙයක්. තමන්ට ම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න ව්‍යවසායකයෙක් වෙන කෙනෙක් නම් ඒ දේ කරන්නත් අපි කලින් කියපු නිෂ්පාදන සාධක ප්‍රමාණවත් ම සහ ප්‍රවේශ වෙන්න පුලුවන් මට්ටමකින් තියෙන එක වටිනවා. 

ව්‍යවසායකත්වය කියන නිෂ්පාදන සාධකය ආර්ථිකයකට විශාල වෙනසක් කරන්න පුළුවන් සාධකයක්. මොකද ව්‍යවසායකයෙකුට පුළුවන් ව්‍යාපාරික අවස්ථාවන් හඳුනාගෙන අවදානම් දරමින්, නවෝත්පාදනය කරමින්, නව ව්‍යාපාරික කටයුතු බිහි කිරීම ඔස්සේ බොහෝ පිරිසකට රස්සා ලබා දෙන්න. ඒකෙන් රටක විරැකියාව අඩු කරන්න, ජීවන මට්ටම් ඉහල නංවන්න, නිෂ්පාදිතය ඉහල නංවන්න රුකුලක් සැපයෙනවා. ඒත් ලංකාව වගේ රටක ව්‍යවසායකයන්ට තමන්ගේ ව්‍යාපාර කටයුතු පටන් ගන්න සහ පවත්වාගෙන යන්න තරම් සුදුසු හිතකර පරිසරයක් තියෙනවද කියන කාරණය ගැටළුවක්. විශේෂයෙන්ම ව්‍යවසායකයෙකුට තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන්න සුදුසු ඉඩමක්, ගොඩනැඟිල්ලක්, රජයේ අනුමැතියක්, ණය පහසුකමක් වගේ දේවල් ලබා ගන්න අනුගමනය කරන්න තියෙන පියවර අනෙක් රටවලට වඩා අසීරු මට්ටමක තමයි තියෙන්නේ. 

සිංගප්පූරුවේ සාර්ථකත්වය 

උදාහරණයක් විදිහට අපි කලින් සඳහන් කලා වගේ 1965 කාලය වෙද්දි සිංගප්පූරුවේ තිබුණු සමාජ සහ ආර්ථික තත්ත්වය ඉතාමත් දුර්වල එකක්. පැල්පත් නිවාසවල ජීවත් වුණ බොහෝමයක් මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය ඉතා පහල මට්ටමකයි තිබුණේ. හැබැයි සිංගප්පූරුවේ අසහාය නායකයා විදිහට සැලකෙන ලීක්-වාන්-යූ හොඳට හිතලා බලලා තමන්ගේ රටේ වැඩක් ගන්න පුළුවන් විදිහට තියෙන නිෂ්පාදන සාධක මොනවාද කියලා තේරුම් ගත්තා. ලංකාව වගේ ස්වභාවික සම්පත් ගොඩක් සිංගප්පූරුවට නැති වුණත් තමන්ට තියෙන ශ්‍රම සම්පත සහ භූමිය ඵලදායී විදිහට වගේම උපරිම කාර්‍යක්ෂමතාවකින් පාවිච්චි කරන්න ලීක්-වාන්-යූ සැලැස්මක් ක්‍රියාත්මක කළා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි සිංගප්පූරුවේ සහනදායී බදු ප්‍රතිපත්ති, අපනයන දිරිගැන්වීම්, අඩු මිලට ශ්‍රමය සැපයීමට හැකි විශාල සේවා වියුක්තියකයන් පිරිසක් සිටීම, හිතකර කම්කරු ප්‍රතිපත්ති, පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල්වලට වරණීය පහසුකම යටතේ ප්‍රවේශ වීමට ඇති හැකියාව වගේ සාධක නිසා විදේශීය ආයෝජකයන්ට සිංගප්පූරුවේ ආයෝජනය කරලා ව්‍යාපාර පටන් ගන්න උත්තේජනයක් ලැබුණා. විදේශීය ආයෝජකයන් සිංගප්පූරුවට ගෙන්වගන්න ලීක්-වාන්-යූ තමන්ගේ රටේ නිදහස් නීති රෙගුලාසි පනවලා ආයෝජකයන්ට නිදහසේ තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න ඉඩ දුන්න නිසා අද වෙනකොට සිංගප්පූරුව ලෝකයේ ව්‍යාපාර නිදහස මනින දර්ශකවල ඉහළම රටවල්  10 ඇතුලේ රැඳිලා ඉන්නවා. 2019 දී ලෝකයෙන්ම දෙවනි ස්ථානයට එන්න සිංගප්පූරුවට පුළුවන්කම ලැබුණේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම, ඉදිකිරීම් සඳහා අනුමැතිය ලබා ගැනීම, විදුලිය සහ ණය ලබා ගැනීම, දේපල ලියාපදිංචි කිරීම, බදු ගෙවීම, දේශසීමා හරහා සිදු කරන වෙළඳාම වගේ නිර්ණායකවලින්  ඉහළ කාර්‍යසාධනයක් පෙන්වපු නිසයි.

ලංකාවේ ව්‍යාපාර නිදහස වෙනුවෙන් අපි වෙනස් කරන්න ඕන මොනවාද?

නූතන ආර්ථික විද්‍යාවේ පියා කියලා සැලකෙන ඇඩම් ස්මිත් තමයි මුලින් ම නිදහස් ආර්ථිකයක් ගැන කතාව පටන් ගන්නේ. ඇඩම් ස්මිත් කියන විදිහට රජයයන් ආර්ථිකයට මැදිහත් වෙන්නේ නැතුව පෞද්ගලික අංශයට නිදහසේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න ඉඩ සලසා දෙන්න ඕන. ලංකාවේ තියෙන ව්‍යාපාර බොහෝමයක රජයේ බලපෑමක් තියෙනවා. රජය කරගෙන යන ව්‍යාපාර පාඩු ලබන තත්ත්වයක් තිබුණොත්, ඒ පාඩුව පියවන්න මුදල් යොදවන්න වෙන්නෙත් රජයේ ආදායමෙන්ම තමයි. මේ නිසා කාර්‍යක්ෂම විදිහට ලාභ ලබමින් ව්‍යාපාර කරගෙන යන්න නම් පුද්ගලික අංශය තමයි ව්‍යාපාරවලට මැදිහත් වෙන්න ඕන.

නිදහස් වෙළඳාමකදී සමතුලිතයක් තීරණය වෙන්නේ ගැනුම්කරුවන්ගේ ඉල්ලුම සහ සැපයුම්කරුවන්ගේ සැපයුම කියන සාධක දෙකම සමාන වෙන මට්ටමකදී. ඒත් රජයක් සහනාධාර දීම, උපරිම මිල නියම කිරීම, අවම මිල නියම කිරීම වගේ දේවල් කරලා ඒ වෙළඳාමට මැදිහත් වෙද්දි ගැනුම්කරුවන්ට සහ සැපයුම්කරුවන්ට නිදහස් වෙළඳාමෙන් ලැබෙන්න තිබුණ අතිරික්තය එහෙමත් නැත්නම් සුබසාධනය අහිමි වෙනවා.

ආනයන සීමා පැනවීමෙන් ලංකාවේ ව්‍යාපාර දියුණු කරන්න පුළුවන්ද?

මෑත කාලයේදී ආනයන සීමා පැනවීම කියන කාරණය ඉතාමත් සුලබව දකින්න ලැබුණා. අපිට මුහුණ දෙන්න වෙලා තියෙන ආර්ථික අර්බුදය නිසා මිනිස්සු පිටරටින් ගෙන්වන භාණ්ඩ වෙනුවෙන් වියදම් කරන ඩොලර් ප්‍රමාණය අඩු කරන අරමුණෙන් ආනයන සීමා පැනවුණා කියන එක තමයි අපි හැමෝම දන්න කාරණය. ඒ වුණත් සමහර වෙලාවල දේශීය නිෂ්පාදකයන් දිරි ගන්වන්න, එහෙමත් නැත්නම් දේශීය නිෂ්පාදකයන්ට සහනයක් වෙන්න කියලා හිතාගෙන රජය නිදහස් වෙළඳාමට මැදිහත් වෙලා විදේශීය භාණ්ඩ ආනයනයට සීමා පනවනවා. අපි මේ කතාව උදාහරණයකින් පැහැදිලි කර ගමු.

දේශීය ගොවියාට යහපතක් කරන්න හිතාගෙන පිටරටින් ගෙන්වන කහ නතර කළා කියලා හිතමු. ඒ වෙලාවේදී ලංකාවේ ප්‍රමාණවත් දේශීය කහ සැපයුමක් තිබුණේ නෑ. ඒ නිසා තිබුණ සීමිත කහ සැපයුමට අති විශාල ඉල්ලුමක් ඇති වෙලා කහවල මිල අසාමාන්‍ය විදිහට ඉහල ගියා. හුඟාක් වෙළඳසැල්වල කහ විකුණන්න තිබුණේ නෑ. ඉතිං අසාමාන්‍ය මිලක් ගෙවන්න සිද්ධ වීම නිසා ගැනුම්කරුවෝ හුඟක් අසීරුතාවකට ලක් වුණා. දේශීය නිෂ්පාදකයන් දිරිමත් වෙලා කහ සැපයුම වැඩි කිරීම කෙටි කාලීනව කරන්න පහසු දෙයකුත් නෙවෙයි.

ඉතිං දේශීය සහ විදේශීය භාණ්ඩ දෙවර්ගයටම ප්‍රවේශ වෙන්න ගැනුම්කරුවන්ට ඉඩකඩ තියෙනවා නම් ඒ දෙවර්ගයෙන් හොඳම නිෂ්පාදිතය තෝරා ගැනීමේ හැකියාව ගැනුම්කරුවාට ලැබෙනවා. ඉතිං ඒ තේරීම නිසා ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ නිෂ්පාදනය කරලා වෙළඳපළේ තරඟයට මුහුණ දෙන්න මේ සැපයුම්කරුවන්ට සිද්ධ වෙනවා. ඒකෙන් පාරිභෝගිකයන්ගේ සහ නිෂ්පාදකයන්ගේ සුබසාධනය ඉහළ යනවා. 

මීට අමතරව ලංකාවේ ව්‍යාපාරයක් පටන් ගන්න ඉඩකඩම්, ගොඩනැඟිලි, රජයේ අනුමැතිය, ණය පහසුකම් ලබා ගැනීමේ දුෂ්කරතා රැසකට මුහුණ දෙන්න ව්‍යාපාරිකයන්ට සිද්ධ වෙනවා. මේ ක්‍රියාවලීන්ගේ තියෙන මන්දගාමී බව, අකාර්‍යක්ෂම බව නිසා ව්‍යාපාර ආරම්භ කිරීම, පවත්වාගෙන යාම, ගෝලීය වෙළඳපළට ඇතුළු වීම වගේ දේවල්වලදි අධෛර්‍යමත් වෙලා ව්‍යවසායකයින් / ව්‍යාපාරිකයින් වෙළඳපලෙන් ඉවත් වෙනවා. 

ව්‍යාපාර කිරීමේදී දරන්නට සිදු වන පිරිවැය අවම කිරීමට පෞද්ගලික අංශයේ කටයුතු විධිමත් කිරීම, සාධාරණ ලෙස අපනයන ක්‍රියාවලිය පවත්වා ගැනීමට වෙළඳ ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම, සෘජු විදේශීය ආයෝජන රටට ආකර්ශනය කර ගැනීමට, රඳවා ගැනීමට ඇති හැකියාව වර්ධනය කර ගැනීම, ව්‍යවසායකත්ව හැකියාවන් දියුණු කිරීම සහ මූල්‍ය සේවාවන් ලබා ගැනීමට අවස්ථා සලසා දීම තුළින් ලංකාවේ ව්‍යාපාර තරඟකාරීත්වය ඇති කර ගැනීමට හැකියාව තියෙනවා. දැන් ඔබට හිතෙනවා ඇති අපි කලින් හිතපු තරම්ම ලංකාවේ ආර්ථිකය වෙනුවෙන් තරඟකාරීත්වය ඇති කිරීම ලේසි වැඩක් නෙවෙයි කියලා. ඒ වුණත් අද සංවර්ධනය වෙලා තියෙන හැම රටක්ම ඒ තත්ත්වයට එන්න දුෂ්කර කාලයක් ගත කරලා තියෙනවා. ඒ නිසා ලංකාවටත් කන්දක් නැඟලා ම තමයි පල්ලමක් බහින්න වෙන්නේ. ඉතිං ඒක මතක තියාගෙන මහන්සි වෙලා හැමෝම එකතු වෙලා වැඩ කලොත් ලංකාවේ ව්‍යාපාරයක් කර ගෙන ගොඩ යන්න බැරිකමක් නෑ. මෙන්න මේ වගේ හේතු නිසා ශ්‍රී ලංකාව ව්‍යාපාර කරගෙන යාම, ආර්ථික නිදහස වගේ දේවල්වලින් ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බව අපේ විශ්වාසයයි.

-දිල්මිණී අබේරත්න 





2019-2023 කාලයේදී තරඟකාරීත්වය‍ අතින් ලෝකයේ ඉහළින් ම සිටින රටවල් 20

මූලාශය- https://www.visualcapitalist.com/cp/competitive-countries-rankings/ By Julie R. Peasley

තරඟකාරීත්වය‍ මනින්නේ කොහොමද?

කලමණාකරණ සංවර්ධනය පිලිබඳ ජාත්‍යන්තර ආයතනයේ ශ්‍රේණිගත කිරීම්වලින් කර්මාන්ත මට්ටමින් රටවල්වලට ධනය උත්පාදනය කිරීමත් පවත්වාගෙන යාමටත් ඇති හැකියාව සොයා බලනවා. කොහොම වුණත් කර්මාන්ත ක්‍රියාත්මක වෙන්නේ ජාතික තලයක හින්දාම ඒවාට දේශීයව සහ විදේශීයව තරඟ කිරීමට තියෙන හැකියාව වර්ධනය වෙන්නත් දුර්වල වෙන්නත් පුළුවන්. ආර්ථික ක්‍රියාකාරීත්වය, රජයේ කාර්‍යක්ෂමතාව, ව්‍යාපාර කාර්‍යක්ෂමතාව සහ යටිතල පහසුකම් කියන සාධක 4 ඔස්සේ තරගකාරීත්වය අනුව රටවල් ශ්‍රේණිගත කිරීම මඟින් ලබාදෙන වාර්ෂික තක්සේරුව ඉතාමත් ප්‍රයෝජනවත්.

2019 ඉඳලා 2023 දක්වා කාලයේදී ලෝකයේ වැඩිම තරඟකාරීත්වයක් වාර්තා කරපු රටවල් 20 අතරට සිංගප්පූරුව, හොංකොං, ඇමරිකා එක්සත් ජනපදය, ස්විස්ටර්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නෙදර්ලන්තය, අයර්ලන්තය, ඩෙන්මාර්ක්, ස්වීඩන්, කටාර්, නෝර්වේ, ලක්සම්බර්ග්, කැනඩාව, චීනය, ෆින්ලන්තය, තායිවානය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව සහ අයිස්ලන්තය කියන රටවල් අයිති වෙනවා.

  • මේ රටවල් අතරින් 2020 වසරේදී ඩොලර් 20,000ට වඩා අඩු ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයක් වාර්තා කරපු එකම රට වුණේ චීනය විතරයි.

  • දේශීය ආර්ථිකය සහ ආරර්ථික ක්‍රියාකාරීත්වය කියන උප අංශවලින් පෙන්වපු දියුණුව නිසා අයර්ලන්තය 2023 වෙද්දි වඩාත් ඉහළ තලයකට ළගා වුණා.

  • ලෝකයේ ඉහළ ම තරඟකාරී රටවල් 20 අතරට ඇතුලත් වීමට බෙල්ජියම 2022දී සිටි මට්ටමේ ඉඳලා රටවල් 8 පහු කරගෙන ඉදිරියට ආවා.

  • මුල්ම වතාවට ඉහළ ම තරඟකාරී රටවල් 20 අතරට ඇතුලත් වීමට සවුදි අරාබිය 2022දී හිටපු තැන ඉඳලා ස්ථාන 7 සහ චෙක් ජනරජය ස්ථාන 8 පහුකරගෙන ඉදිරියට ආවා.

ලෝකයේ තියෙන තරඟකාරීම රටවල් ගැන දන්නවාද?

හොඳින් හදපු නැවකට නිදහසේ යාත්‍රා කරන්න යහපත් කාලගුණයක් තියෙන එක වැඳගත් වෙනවා වගේම ව්‍යාපාරවලට තමන්ගේ වැඩ කටයුතු පටන් අරන් සාර්ථ්ක ව ඉස්සරහට යන්න නම් ඒකට ගැලපෙන විදිහේ පරිසරයක් තියෙන්නත් ඕන.

වඩාත්ම තරඟකාරී රටවල් මොනවාද කියලා හඳුනා ගන්නත් ඒවායේ තරඟකාරී බව අනුව පෙළ ගස්වන්නත් පුලුවන් විදිහට සකස් කරලා තියෙන මේ ශ්‍රේණිගත කිරීම්වලින් ව්‍යාපාරවල දියුණුවට වැඩිම දායකත්වයක් දෙන හොඳම පරිසරය තියෙන්නේ කුමන ආර්ථිකයකද කියන කාරණය සොයා බලනවා. මේ විදිහට කාලයත් එක්ක ඒ ඒ රටවල්වල පෙළ ගැස්ම / ශ්‍රේණිගත කිරීම වෙනස් වෙන්නේ කොහොමද කියලා සොයා බැලීමමෙන් එක් එක් රටවල් අනෙක් රටවලට සාපේක්ෂව දියුණු වන ආකාරය ගැන බොහෝ දේ කියන්න පුළුවන්.

ඉහත රූප සටහනෙන් පෙන්වන ආකාරයට කලමණාකරණ සංවර්ධනය පිලිබඳ ජාත්‍යන්තර ආයතනයේ ශ්‍රේණිගත කිරීම් යොදාගෙන ජුලී පීස්ලි 2019 ඉඳන් 2023 දක්වා ලෝකයේ වැඩිම තරඟකාරීත්වයක් පෙන්වපු රටවල් මොනවාද කියලා අපට ඉදිරිපත් කරනවා.

ව්‍යාපාර තරඟකාරීත්වය මනින්නේ කොහොමද?

කලමණාකරණ සංවර්ධනය පිලිබඳ ජාත්‍යන්තර ආයතනය ප්‍රධාන නිර්ණායක 4 යටතේ එන උප නිර්ණායක රැසක් යොදාගෙන මේ මිනුම් කිරීම සිදු කරනවා.

  • ආර්ථික කාර්‍යසාධනය: දේශීය ආර්ථිකය, ජාත්‍යන්තර වෙළඳාම (වෙනත් රටවල් සමඟ කරන වෙළඳාම) , ජාත්‍යන්තර ආයෝජන (විදේශ රටවලින් සිදු කරන මුදල්/වෙනත් ආයෝජන) , සේවා නියුක්තිය, මිල ගණන්

  • රජයේ කාර්යක්ෂමතාව: රාජ්‍ය මූල්‍ය, බදු ප්‍රතිපත්තිය, ආයතනික රාමුව, ව්‍යාපාර නීති සම්පාදනය, සමාජ රාමුව

  • ව්‍යාපාර කාර්යක්ෂමතාව: ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව, ශ්‍රම වෙළඳපොළ, මුදල් යෙදවීම, කළමනාකරණ භාවිතයන්, ආකල්ප සහ වටිනාකම්

  • යටිතල පහසුකම්: මූලික යටිතල පහසුකම්, තාක්ෂණික යටිතල පහසුකම්, විද්‍යාත්මක යටිතල පහසුකම්, සෞඛ්‍ය සහ පරිසරය, අධ්‍යාපනය

මේ කියන ප්‍රමිතිකරණ දත්ත ගණනය කරන්න පාවිච්චි කරලා තියෙන්නේ ආයතනවලින් ලබා ගත්, විශ්වාසනීය සහ ක්‍රමානුකූල මට්ටමේ දත්ත, හවුල්කාර ආයතනවල සමීක්ෂණ සහ පරිපූරක දත්තවල එකතුවෙන්.

ව්‍යාපාර සඳහා හොඳම සහ නරකම රටවල් මොනවාද?

2022 වසරේදී මුල්ම වතාවට ලෝකයේ වඩාත් ම තරඟකාරී එහෙමත් නැත්නම් ව්‍යාපාර හිතකාමී රට විදිහට නම් කෙරුණු ඩෙන්මාර්කය 2023 වසරේදීත් ඒ ස්ථානයේ ම රැඳී සිටියා. මේ ස්කැන්ඩිනේවියානු රට 2018 වසරේ ඉඳන් දිගටම වැඩිම කාර්ය සාධනයක් පෙන්වන රටවල් 10 අතරේ සිටියත් ඉහලම තලයට ළඟා වුණේ පසුගිය අවුරුදු 4 ඇතුලේදීයි. භූගෝලීය වශයෙන් තමන්ගේ සමීප රටවල් එක්ක සංසන්දනය කරලා බලද්දි ආර්ථිකමය වශයෙන් සාමාන්‍ය මට්ටමේ කාර්‍යසාධනයක් පෙන්වන ඩෙන්මාර්කය, ආර්ථිකක්‍රියාකාරිත්වය, ව්‍යාපාරකාර්යක්ෂමතාව, රජයේකාර්යක්ෂමතාවසහයටිතලපහසුකම්කියන අංශවලින් ඉහළ ප්‍රගතියක් පෙන්වනවා.

2019 වසරේ සිටි තැනින් ස්ථාන පහක් ඉදිරියට ආව අයර්ලන්තය මේ ලැයිස්තුවේ දෙවන ස්ථානයේ සිටිනවා. රටේ ශක්තිමත් ආර්ථික ක්‍රියාකාරිත්වය හින්දා පසුගිය වසර කිහිපය පුරාවට ඉහලම ව්‍යාපාර තරඟකාරීත්වයක් තියෙන රටවල් 15 අතර හිටිය අයර්ලන්තයට ඉන් ඉහලට එන්න පුළුවන්කම ලැබුණා. තුන්වන ස්ථානයට පත්වෙලා ඉන්නේ 2018 වසරේ ඉඳලා ඉහළම තරඟකාරීත්වයක් තියෙන රටවල් 5 අතර රැඳී ඉන්න 2021 වසරේදී අංක එකේ තරඟකාරී ව්‍යාපාරික පරිසරයක් සහිත රට වුණ ස්විට්සර්ලන්තයයි. ප්‍රධාන දර්ශක කීපයකින්ම ඉතා හොඳින් ලකුණු ලබා ගන්නට ස්විට්සර්ලන්තයට හැකි වුණත්, ව්‍යාපාර සංවර්ධනයේ සහ මූලික මහජන පිරිනැමීම සම්බන්ධයෙන් ඇති දුර්වලතා නිසා ලකුණු යම් ප්‍රමාණයක් අහිමි වෙලා තියෙනවා.

2019 සහ 2020 වසරවල වඩාත්ම තරඟකාරී රට විදිහටත් ශ්‍රේණිගත කෙරුණු සිංගප්පූරුව 2023 වසරේදී සිව්වන ස්ථානයට පත් වුණා. ඩෙන්මාර්කය සහ ස්විට්සර්ලන්තයට සාපේක්ෂව බලද්දි, ආසියානු මූල්‍ය බර ආර්ථික ක්‍රියාකාරිත්වයට සහයවෙලා තිබුණත් රජයේ කාර්යක්ෂමතාව කියන කාරණයේදී අසාර්ථක වෙලා තියෙනවා.

ලැයිස්තුවේ පහළින් ම ඉන්න වෙනිසියුලාව, ආර්ජන්ටිනාව සහ මොංගෝලියාව 2023 දී ව්‍යාපාරික තරඟකාරිත්වය සම්බන්ධයෙන් සැලකිය යුතු අභියෝගවලට මුහුණ දෙමින් තමයි ඉන්නේ. මෙම රටවල් දුර්වල ආර්ථික ක්‍රියාකාරිත්වය, අඩු ව්‍යාපාර සහ රජයේ කාර්යක්ෂමතාව සහ ප්‍රමාණවත් නොවන යටිතලපහසුකම් කියන ව්‍යාපාර වර්ධනයට හා සංවර්ධනයට බාධා කරන සාධකවලට මුහුණ දෙනවා. සාර්ව ආර්ථිකයේ වැඳගත් සිද්ධි මත පවා මේ රටවල්වල අනාගතය රැඳිලා තියෙනවා කිව්වොත් හරි, මොකද රුසියාවට පනවපු සම්බාධකවලින් පීඩාවට පත් වුණ රටක් තමයි මොංගෝලියාව.

වඩාත්ම තරඟකාරී රටවල්වල ශ්‍රේණිගත කිරීම් වෙනස් කිරීම

මේ පෙළ ගැස්වීම ඇතුලේ සමහර රටවල් වඩාත්ම තරඟකාරී රටවල ශ්‍රේණිගත කිරීම්වල දිගින් දිගටම එකම ස්ථානයේ රැදී සිටියත් සමහර රටවල්වල කැපී පෙනෙන උස්පහත්වීම් දැකගන්න ලැබෙනවා.

චීනය සහ ජර්මනිය කියන රටවල් දෙකම 2022 වන තෙක්ම කාලයක් පුරාවට ඉහළම ශ්‍රේණිගත කිරීම්වල ඉන්න රටවල් 20 ඇතුලේ හිටියත්, 2023 ශ්‍රේණිගත කිරීම්වලදී මේ රටවල් දෙකම ඒ සීමාවෙන් පිටතට තල්ලු වෙලා තියෙනවා.

ඇමරිකා එක්සත් ජනපදය තවමත් පළමු 10 අතරේ හිටියත් පසුගිය අවුරුදු පහ ඇතුලේ අනෙකුත් ආර්ථිකයන්ට සාපේක්ෂව ස්ථාන හයකින් පහත වැටීලා තියෙනවා. රටේ ආර්ථික ශක්තිය ගැන දොස් පවරන්න බැරි තත්ත්වයක් තිබුණත් ව්‍යාපාරික භූ දර්ශනයේ සහ රජයේ කාර්යක්ෂමතා ප්‍රමිතික නිසා ශ්‍රේණිගත කිරීම්වලින් පහත වැටිලා තියෙනවා.

කලමණාකරණ සංවර්ධනය පිලිබඳ ජාත්‍යන්තර ආයතනයේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඒ ඒ රටවල්වල ශ්‍රේණිගත කිරීම්වල වාර්ෂික වෙනස්වීම් විශාලතම ඉහල නැඟීමේ ඉඳලා විශාලතම පහත වැටීම දක්වා පෙළ ගස්වලා තියෙනවා. ඒ අනුව,2019 ඉඳලා චෙක් ජනරජය සහ බෙල්ජියම කියන රටවල් ඔවුන්ගේ ව්‍යාපාරික පරිසරය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් විශාල ප්‍රගතියක් ලබා ගෙන තියෙනවා. පසුගිය අවුරුදු පහක කාලය ඇතුලේදී චෙක් ජනරජය ස්ථාන 15 සහ බෙල්ජියම ස්ථාන 14කින් ඉදිරියට ඇවිත් තියෙනවා.

මෑත වසරවලදී සිදු කළ ව්‍යාපාරික ගැති ප්‍රතිසංස්කරණ මාලාව නිසා සෞදි අරාබියත් මේ වෙනෙකොට ස්ථාවර ජයග්‍රහණ ලබා ගනිමින් ඉන්නවා. චෙක් ජනරජය සහ සෞදි අරාබිය 2023 වසරේදී මුල්වරට ලෝකයේ වඩාත්ම තරඟකාරී රටවල් ලැයිස්තුවේ හොඳම රටවල් 20 අතරට එකතු වුණා.

අනෙක් අතට, ලැට්වියාව සහ නවසීලන්තය තරඟකාරීත්වයේ වඩාත්ම පසුබෑමට ලක් වූ රටවල් අතරට එකතු වෙලා තියෙනවා. ලැටීවියාව ස්ථාන 11 සහ නවසීලන්තය ස්ථාන 10 කින් පහත වැටීලා තියෙනවා. ලැට්වියාව සහ බෝල්ටික් අසල්වැසියන් විශාල භූ දේශපාලනික පරිසරයක් සහ කලාපයේ අස්ථාවරත්වය නිසා අවපාතයක් ඇතිවීමේ අවදානමට මුහුණ දෙද්දි නවසීලන්තය බුද්ධි ගලනයක් සහ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාවක් නොමැතිකම කියන කාරණා එක්ක අසීරු සටනක් කරනවා.

ව්‍යාපාර තරඟකාරිත්වය ගැන සොයා බැලීමක්

ව්‍යාපාර තරඟකාරිත්වය කියන්නේ දළ දේශීය නිෂ්පාදිතයත් ඇතුළුව ආදායම, ජීවනෝපාය සහ සංතෘෂ්ටි දර්ශක අගයයන් වගේ රටේ කාර්ය සාධනය සඳහා වැඳගත් වෙන මිනුම්වලින් එකක්. අනෙකුත් මිනුම් වගේම, එක් ප්‍රමාණයකට ගැලපෙන ශ්‍රේණිගත කිරීමේ ක්‍රමයක් යෙදීමේදී රටවල් අතර තියෙන සූක්ෂ්මතා සහ විෂමතා සලකා බැලීම වැදගත් වෙනවා.

උදාහරණයක් විදිහට ගත්තොත් වඩාත්ම ජනාකීර්ණ රටවල් සාපේක්ෂව දුප්පත් විදිහට තමයි ශ්‍රේණිගත කරලා තියෙන්නේ. මිලියන 20ට වැඩි ජනගහනයක් සිටින රටවල් පමණක් සලකා බලන විට එක්සත් ජනපදය 2 ස්ථානයේත්, ඒක පුද්ගල දළ දේශීය ජාතික ආදායම ඩොලර් 20,000ට වඩා අඩු රටවල් අතර ඉන්න එකම තරඟකාරී රට බවට චීනයත් පත් වෙලා තියෙනවා. මේ ශ්‍රේණිගත කිරීම් සම්බන්ධයෙන් විවිධ අය විවිධ විවේචන එල්ල කරන්න පුළුවන් වුණත්, මෙවැනි බිඳවැටීම් ගැන අවධානයෙන් බලද්දි පුළුල් සමාජ විද්‍යාත්මක ප්‍රශ්න ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන් වගේම ප්‍රතිපත්ති සම්පාදකයින්ට සහයක මෙවලමක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට තුඩු දුන් හේතු, ප්‍රතිඵල සහ පිලියම්

රවී රත්නසභාපති විසිනි

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් මිනිසුන් මුහුණ පෑ ප්‍රධානතම ගැටළුව වූයේ බොහෝ පිරිසකගේ ආදායම් ස්ථාවර මට්ටමක පැවතීමත් මිල ගණන් දිගින් දිගටම ඉහළ යාමත් යන කරුණුය. මේ නිසා ලෝක බැංකුව වාර්තා කරන අන්දමට 2021 සිට දරිද්‍රතා මට්ටම 13% සිට 25% දක්වා ඉහළ ගොස් තිබේ. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ, උද්ධමනය ලෝකයටම බලපාන ගැටළුවක් වුවත්, 2022 වසරේදී ගෝලීය උද්ධමනය 10.1% වන විට ශ්‍රී ලංකාවේ උද්ධමනය 57.2% ක අගයයක් ගත් බවයි. ලෝක ආර්ථිකයේ ගැටළුවලින් ශ්‍රී ලංකා ආර්ථිකයට බලපෑමක් සිදු වුවත් මෙකී අඛණ්ඩ මිල ඉහළ යාම් පැහැදිලි කිරීම බාහිර සාධක සැලකීමෙන් පමණක් සිදු කළ හැකි නොවේ. දේශීය සැපයුම් ජාලවලට සිදු වූ අතපෙවීම් නිසා 2020/21 කාලය තුළදී මිල ගණන්වලට බලපෑමක් සිදු වුවත්, මිල ගණන් ඉහළ යාමට බලපාන ප්‍රධානතම හේතුව මෙය නොවේ. එසේ නම්, ඊට බලපාන සාධක මොනවාද?

මේ සඳහා බලපා ඇති අනෙකුත් කරුණු වන්නේ ආනයන සීමා, විදේශ විනිමය හිඟය සහ මුදල් අවප්‍රමාණය වීමයි. මේ සියලුම කරුණු ගෙවුම් ශේෂ හිඟයට සම්බන්ධ වන නිසා, මෙම ප්‍රහේලිකාව විසඳීමට නම් අප අවබෝධ කර ගත යුතු එක් අංශයක් වන්නේ ගෙවුම් ශේෂ හිඟයට හේතු සොයා බැලීමයි. එමෙන්ම අනෙක් වැඳගත් කාරණය වන්නේ සමාහාර ඉල්ලුමේ අඛණ්ඩ ඉහල යාම නිසා ඇති වන ඉල්ලුමෙන් ඇඳුණු උද්ධමනයයි. 

මුදල් අවප්‍රමාණය වීමේ ගැටළුවට බලපාන ප්‍රධානතම හේතු ලෙස සැලකිය හැකි මෙම කරුණු එකිනෙකට සම්බන්ධ වේ. මෙම ලිපියෙන් උත්සාහ කරන්නේ රජයට මහ බැංකුවේ අරමුදල් සැපයීම හේතුවෙන් උද්ධමනය සහ ගෙවුම් ශේෂ ගැටලුව යන දෙකටම බලපෑමක් ඇති වන්නේ කෙසේද යන්න සොයා බැලීමටයි. මුදල් අවප්‍රමාණය කිරීම බෙදා හැරීමේ ප්‍රතිවිපාක ද ඇති කරන අතර එහි වේදනාකාරී බලපෑම් දැන් අත්විඳිමින් සිටී.

ගෙවුම් ශේෂ 

වෙළඳ ප්‍රවාහයන් - ගෙවුම් ශේෂ සංඛ්‍යාලේඛනවල පෙනෙන ආනයන සහ අපනයන යනු හුදකලා අයිතම නොවේ. ඒවා ආර්ථිකය තුළ සමස්ත ඉල්ලුම සහ සැපයුමේ සමීකරණයකි. පුරවැසියන් සහ රජය විසින් ගනු ලබන පරිභෝජනය සහ ඉතුරුම් පිළිබඳ තීරණ වෙළඳ ප්‍රවාහයන්ට සෘජුවම බලපායි. තනි පුද්ගලයන් හෝ ව්‍යාපාර විසින් සිදු කරන වියදම් ඔවුන්ගේ ආදායම හෝ ඔවුන්ට ණයට ගත හැකි දේ අනුව සීමා වේ. ඔවුන් ණයට ගැනීමට තෝරා ගත්තේ නම්, ඔවුන් භාවිතා කරන අරමුදල් වන්නේ වෙනත් අයගේ ඉතුරුම් ය. ඉතිරි කරන්නන් සහ ණය ගැණුම්කරුවන් අතර මැදිහත් වීමක් මූල්‍ය අංශය විසින් සිදු කරන නමුත් ණයට ගත් දේ ඉතිරි කරන දේට සීමා වන බැවින් අසමතුලිතතාවයක් ඇති විය නොහැක.

විශාලත්වය අනුව සලකන විට රජයේ ක්‍රියාකලාපය සමස්ත ඉල්ලුම සහ ඉතුරුම් කෙරෙහි ප්‍රධාන බලපෑමක් ඇති කරයි. මෙය උත්තේජක වියදම් සඳහා තාර්කික වන නමුත් ඒ ඔස්සේ අසමතුලිතතාවයන් ඇති වීමේ හැකියාව පවතී. රජය එකතු කරන මුදලට වඩා අඩුවෙන් වියදම් කරන්නේ නම් එය ශුද්ධ ඉතිරි කිරීමක් වන අතර අසමතුලිතතාවයක් ඇති නොවේ. නමුූත් රජය විසින් එකතු කරනවාට වඩා වැඩි මුදලක් රජය විසින් වැය කරන්නේ නම් එය ශුද්ධ ඉතිරි කරන්නෙකු  නොව ණය ගැණුම්කරුවකු වේ. මෙලෙස ඉපයීම් ඉක්මවා සිදු වන වැය කිරීම් මහ බැංකුව විසින් මූල්‍යකරණය කරන්නේ නම් එය ගෙවුම් ශේෂයට සහ උද්ධමනයට බලපාන ආකාරයේ අසමතුලිතතාවයක් ඇති කරයි.

රාජ්‍ය මූල්‍ය: බදු, ණය සහ මුදල් මුද්‍රණය

සිය වියදම් පියවා ගැනීම සඳහා ආණ්ඩුව සතුව මාර්ග තුනක් පවතී. ඒවා නම්, බදු ආදායම, බැංකු පද්ධතිය හරහා ලබා දෙන ණය සහ මුදල් මුද්‍රණය කිරීම ඔස්සේ මහ බැංකුව ලබා දෙන ණය යන ක්‍රම තුනයි. රාජ්‍ය ආදායම රාජ්‍ය වියදම් ආවරණය කරන්නේ නම් රාජ්‍ය මූල්‍ය තිරසාර වේ. එහිදී රජයකට හිඟයක් ඇති වූ විට ණය ගැනීමෙන් හිඟය පියවා ගත හැකිය. මෙකී ණය ගැනීම වෙළඳපොල තුලින් සිදු වන තාක් කල් එය අසමතුලිතතාවයක් ඇති නොකරන නමුත් ගැටළුව වන්නේ එමඟින් වෙළඳපොලේ පොලී අනුපාත ලංසු තැබීමට නැඹුරු වීමයි. කෙසේ වෙතත් මහ බැංකුවෙන් ණය ගැනීම සිදු වන්නේ නම් එය ආකර්ශනීය විකල්පයක් සේ සැලකිය හැකි අතර පොලී අනුපාත මත පීඩනයක් ඇති නොකෙරේ. 

මුදල් මුද්‍රණය, උද්ධමනය සහ ගෙවුම් ශේෂය

වාණිජ බැංකු මෙන් නොව මහ බැංකුව තැන්පතු භාර නොගන්නා අතර වෙළෙඳපොළෙන් අරමුදල් රැස් කරන්නේ නැතත් කෙසේ හෝ රජයට මුදල් සැපයීමේ කාර්‍යය ඉටු කරයි. බැංකු පද්ධතියේ ගිණුම්කරණ ඇතුළත් කිරීම් හරහා මෙම සූක්ෂ්ම කාර්‍යය ඉටු කාරයි. මහ බැංකුව රජයේ සුරැකුම්පත් මිලදී ගැනීමේදී මුදල් මාරුවකින් මේවාට ගෙවීම වෙනුවට භාණ්ඩාගාරයේ ගිණුමට බැරකර මහ බැංකුව සතු රජයේ සුරැකුම්පත් හර කරමින් ගිණුම් ඇතුළත් කිරීමක් සිදු කරයි. මෙහිදී සිදු වන්නේ ආර්ථික ක්‍රියාකාරකමක් නොමැතිව ලද නව මුදල් නිර්මාණය කිරීමකි. අසමතුලිතතාවයේ මූලාශ්‍රය මෙය වන අතර අදාළ ප්‍රමාණය කුඩා නම්, එහි බලපෑම ඉතා නොසැලකිව යුතු අගයයක් ගන්නා නමුත් එය විශාල නම් ගැටළු වැළැක්විය නොහැකිය.

රජයේ වැටුප්, විශ්‍රාම වැටුප්, පොලී සහ විවිධ භාණ්ඩ හා සේවා සඳහා මුදල් රහිත අන්තර් බැංකු ගෙවීම් සිදුකිරීමට භාණ්ඩාගාරයේ ගිණුම භාවිත කෙරේ. එසේ වියදම් කරන මුදල් පසුව ජනතාව අතට පත් වීමෙන් පසුව එය තම වියදම් සඳහා භාවිතා කෙරේ. මෙහිදී නව මුදල් ආර්ථිකය තුළ සංසරණය වීමට පටන් ගන්නා නමුත් පවතින ගැටළුව වන්නේ භාණ්ඩ හා සේවා ප්‍රමාණයේ වෙනසක් සිදු නොවීමයි. 

එකම භාණ්ඩ හා සේවා ප්‍රමාණය වෙනුවෙන් වැඩි මුදලක් වැය වේ. මුද්‍රණය කරන ලද ප්‍රමාණයන් මත පදනම්ව, කාලයත් සමඟ මෙය මිල ඉහළ යාමට තුඩු දෙන නමුත් විවේචනාත්මකව මිලෙහි සිදුවන වෙනස්කම් ඒකාකාරී නොවේ. මෙමඟින් සැලකිව යුතු මට්ටමේ බෙදාහැරීමේ බලපෑම් ඇති කරන අතර  එය ගෙවුම් ශේෂයේ ගැටලුවක් ද ඇති කරයි.

මිනිසුන් නව මුදල් වියදම් කරන විට ඔවුන් මුදල් වියදම් කරන්නේ දේශීයව නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ සඳහා පමණක් නොවන අතර ඔවුන් ආනයනික භාණ්ඩ ද මිලදී ගනී. එපමණක් නොව බොහෝ දේශීය භාණ්ඩ තුළ ආනයනික යෙදවුම් භාවිතා වේ. එමනිසා මිනිසුන් විසින් අලුතින් නිර්මාණය කරන ලද මුදල් සම්පූර්ණයෙන්ම දේශීය භාණ්ඩ සඳහා පමණක් වැය කළත් එය ආනයනික යෙදවුම් සඳහා ඉල්ලුමක් ඇති කරයි. උදාහරණයක් ලෙස දේශීයව නිපදවන සහල් සඳහා ආනයනික පොහොර, පළිබෝධනාශක සහ වෙනත් යෙදවුම් භාවිතා කිරීම හේතුවෙන් දේශීය සහල් සඳහා ඇති ඉල්ලුම වැඩිවීම, ආනයනික යෙදවුම් සඳහා ඇති ඉල්ලුම වැඩි වීමට හේතු වේ. මේ අනුව මුදල් මුද්‍රණය මඟින් පමණක් උද්ධමනය ඇති නොවන අතර මිනිසුන් ආනයනික භාණ්ඩ පරිභෝජනය කරන විට සෘජුවම සහ දේශීය නිෂ්පාදකයින් විසින් ආනයනය කරන ලද යෙදවුම්  සිය නිෂ්පාදන කටයුතුවලට යොදා ගෙන තිබීම නිසා වක්‍රාකාරයෙනුත් මෙකී බලපෑම් ඇතිවේ. 

ආනයන සඳහා වන ඉල්ලුම වැඩි වීමට පටන් ගනී නම් සහ එම වැඩිවීම අඛණ්ඩව පවතී නම්, විදේශ විනිමය සඳහා පවතින ඉල්ලුම වැඩි වේ. මෙය මුදල් ඒකකය අවප්‍රමාණය වීම සඳහා පීඩනයක් ඇති කරයි. මෙහිදී මුදල් අවප්‍රමාණය වුවහොත්, එමඟින් විදේශ විනිමය වෙළෙඳපොළ නැවත සමතුලිතයක් කරා ළගා වේ. එනම් ආනයන මිල ඉහළ යන විට මිනිසුන් අඩුවෙන් පරිභෝජනය කරන අතර ආනයන සඳහා ඇති ඉල්ලුම අඩුවීමෙන් මුදල් මත ඇති වන පීඩනය අතුරුදහන් වේ.

කෙසේ වෙතත්, රජය කෘත්‍රිම ලෙස විනිමය අනුපාතිකය පාලනය කිරීමට හෝ නියම කිරීමට උත්සාහ කරන්නේ නම්, ආනයන සඳහා ඇති ඉල්ලුම නොනැසී පවතින අතර විදේශ විනිමය හිඟයක් ඇති වීම ආරම්භ වීමෙන් ගෙවුම් ශේෂයේ ගැටලුවක් ඇති වේ.

සරලව ම ගතහොත් ප්‍රශ්නය වන්නේ මෙයයි. එය නිවැරදිව අවබෝධ කර ගැනීමට නම්, අපට ආර්ථිකයේ ස්වභාවය සහ ඒ තුළ මිල ගණන්වල කාර්‍යභාරය කුමක්ද යන්න අවබෝධ කර ගැනීමට සිදු වේ. 

ආර්ථිකය යනු කුමක්ද? 

ආර්ථිකයක් නිර්මාණය වී ඇත්තේ මුදල් සම්බන්ධ කරගෙන මිනිසුන් විසින් දිනපතා ඕනෑම තැනක සිට සිදු කරනු ලබන මිලියන ගණනක ගනුදෙනුවල එකතුවෙනි. පාරිභෝගිකයින් මිල දී ගන්නේ කුමක්ද යන්න මත පදනම් ව භාණ්ඩ හා සේවා නිෂ්පාදන කටයුතුවල නිරත වී සිටින ව්‍යාපාරිකයින්, නිෂ්පාදකයින්, ගොවීන්, වෙළඳුන් සහ හෝටල් හිමියන් සහ අනෙකුත් සියල්ලන් ගනු ලබන තීරණවලට බලපෑමක් ඇති වේ. ඔවුන් තම භාණ්ඩ හෝ සේවා විකිණිය හැකි මිල ගණන් සහ නිෂ්පාදනය සඳහා භාවිතා කරන ශ්‍රමය සහ යෙදවුම් ලබා ගැනීමේ පිරිවැය මත පදනම්ව ගොඩනැගිලි ඉදි කිරීම, යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම, කම්කරුවන් බඳවා ගැනීම, අලෙවිකරණ ව්‍යාපාර සංවර්ධනය කිරීම සිදු කරයි.

එය මිල ගණන් අනුව සම්බන්ධීකරණය කර, ඒකාබද්ධ කර ඇති අතිශය සියුම් සහ සංකීර්ණ සම්බන්ධතා ජාලයකින් සැදුම් ලත් විශාල සහ බහු-ස්ථර ඒකකයකි. එය ඉතා ගතික ස්වභාවයෙන් යුක්ත වන අතර මිනිසුන්ගේ හැසිරීම් සමඟ නිරන්තරයෙන් වෙනස් වන බැවින් පුරෝකථනය කිරීම හෝ පාලනය කිරීම ඉතා අපහසු වේ.

ශ්‍රී ලංකාව මේ අර්බුදයට පත් වූයේ කෙසේද?

2019 දෙසැම්බර් මාසයේ සිට 2022 මැද භාගය දක්වා රජය වියදම් වැඩි කළේය. උදාහරණයක් ලෙස නව රැකියා 100,000ක් පමණ නිර්මාණය කළ අතර බදු කප්පාදුවක් සිදු විය. එහිදී වියදම් වැඩිවීමත් ආදායම අඩුවීමත් සමඟ අයවැය හිඟය ශීඝ්‍රයෙන් වර්ධනය විය. එය මෙම වියදම්වලින් වැඩි ප්‍රමාණයක් සහ එහි දේශීය ණය ආපසු හැරවීමට පවා මහ බැංකුවේ ණය හරහා මුදල් යෙදවීය. තවද මහ බැංකුව අඩු මිලට ලංසු තබා රජයේ සුරැකුම්පත් මිලදී ගත් අතර පොලී අනුපාත වාර්තාගත අවම අගයකට පහත වැටීමත් සමඟ කෙටි කාලයක් සඳහා ආර්ථිකයේ වර්ධනයක් දක්නට ලැබිණි. ආර්ථිකයට දැවැන්ත කම්පනයක් ඇති කරමින් 2020 සිට 2022 දක්වා කාලය තුළ මූල්‍ය පදනම 49% කින් පුළුල් විය.

ආර්ථිකයට නව මුදල් පොම්ප කිරීම නිසා ඇති වන බෙදා හැරීමේ ප්‍රතිවිපාක 

මුදල් කම්පනය මිලෙහි ක්ෂණික හෝ ඒකාකාරී වෙනසක් ඇති නොකරන අතර ඒ වෙනුවට සිදු වන්නේ කම්පනය ආර්ථිකය හරහා පැතිරීමයි. එමඟින් සමහර මිල ගණන්වලට මූලික වශයෙන් බලපෑමක් ඇති වන අතර අනෙක් ඒවා පසුව හෝ  බලපෑමට ලක් නොවීම පැවතිය හැකිය. වියදම් රටා මත රඳා පවතින බැවින් පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් වේගයෙන් වෙනස් වන නමුත් නැවතත් සියල්ලටම එක හා සමානව බලපාන්නේ නැත. කෙසේ වෙතත් පාරිභෝගික භාණ්ඩ වලින් ඉල්ලුම ව්‍යුත්පන්න වන වාණිජ භාණ්ඩවල මිල වඩා සෙමින් ඉහළ යනු ඇත. වාණිජ භාණ්ඩ කාණ්ඩයේ පවතින නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ සංරචකවල මිල නිෂ්පාදන සාධක වන ඉඩම්, ප්‍රාග්ධනය වත්කම් සහ ශ්‍රමය යනාදියට වඩා වේගයෙන් ඉහළ යා හැකිය. වැටුප් සහ කුලී වැනි ස්ථාවර ගිවිසුම් මත ඕනෑම දෙයක මිල ඉතා සෙමින් වෙනස් වනු ඇත. නිෂ්පාදන සාධකවල මිල ගණන් වෙනස් වීම සඳහා නිෂ්පාදන ක්‍රියාවලීන්ම වෙනස් විය යුතු නමුත් මෙය වෙනස් වන්නේ දිගු කාලීනව පමණි.

ක්‍රමක්‍රමයෙන්, නව මුදල් ආර්ථිකය තුළ නිර්මාණය වන අතර, එමඟින් ඉල්ලුම සහ මිල ඉහළ යයි. මෙම ක්‍රියාවලියේදී (එනම් මිල ඉහළ යාමට පෙර) ආදායම සහ ධනය නව මුදල් ලැබෙන පිරිස අතර බෙදී යයි. මෙකී නව මුදල් (මිල ඉහළ යාමෙන් පසුව) තවත් කොටසකට හිමි වන නමුත් ස්ථාවර ආදායම් ලබන අයට එම මුදල් හිමි නොවේ.

මෙලෙස මුදල් වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස සාපේක්ෂ මිල වෙනස්වීම ක්‍රම දෙකකට සිදුවේ: එනම් උද්ධමන ක්‍රියාවලියේදී සිදුවන ප්‍රමාද ග්‍රාහකයන්ගේ සිට මුල් ග්‍රාහකයින් දක්වා නැවත බෙදාහැරීම සහ ඉහළ යාමේ ප්‍රතිඵලවලින් පසුවද අඛණ්ඩව පවතින ධනයේ සහ ආදායමේ ස්ථිර මාරුවීම් යනුවෙනි. මුදල් සැපයුම තමන් විසින්ම ක්‍රියාත්මක කර ඇති අතර අවසානයේ දී නව සමතුලිතතාවයක් මතුවන විට එය මැදිහත්වීමේ උද්ධමන ක්‍රියාවලියේදී සිදුවන වෙනස්කම් හේතුවෙන් ධනය, ආදායම සහ ඉල්ලුම වෙනස් වූ රටාවක් පිළිබිඹු කරයි. නිදසුනක් වශයෙන්, ස්ථාවර ආදායම් කණ්ඩායම්වලට සාපේක්ෂ ධනය සහ ආදායම ස්ථිරවම අහිමි වේ.

විකල්ප යථාර්ථය: 2020 සිට 2022 දක්වා වර්ධනයන්

2020 සිට 2022 දක්වා කාලය තුළ මුදල් මිලදී ගැනීමේ ක්‍රය ශක්තිය පහත වැටුණු අතර, රජය මිල පාලනයන් (ඉහළ යන මිල ගණන් නියම කිරීමට), විනිමය අනුපාත සහ ආනයන පාලනයන් (මුදල් හා විදේශ විනිමය හිඟය පියවීමට) සහ තවත් බොහෝ දේ හරහා මෙම ප්‍රශ්නයේ පැහැදිලි රෝග ලක්ෂණ වසන් කළේය.

කෙසේ වෙතත් මෙම පාලනයන් අවසානයේ සාර්ථක වූයේ නැත; ගැටලුව දිගටම පැවතුන නමුත් සීමා කිරීම් ඔස්සේ ආර්ථිකය යාන්තමින් ගැට ගසා ගත් අතර වඩාත් පැහැදිලි රෝග ලක්ෂණ වසන් කළේය. එහිදී නිල මිල සහ සැබෑ මිල අතර වෙනසක් මතු විය. මුදල් උත්පාදනයේ පරිමාව වර්ධනය වීමත් සමඟ මෙකී වෙනස පුළුල් වූ අතර ආර්ථිකය ස්ථාවර මිලක් ඇති නමුත් භාණ්ඩ හිඟයක් සහිත අසීරු තත්වයකට පිවිසියේය.

හිඟයන් සහ පෝලිම් සරලව පිළිබිඹු කළේ රුපියලේ සැබෑ සහ නාමික මිලදී ගැනීමේ බලය අතර ඇති වෙනසයි. ගෑස් සහ ඉන්ධන මිල නිල වශයෙන් නියම කර ඇති නමුත් එම මිලට ප්‍රමාණවත් වන තරමේ සැපයුමක් දක්නට නොලැබේ. විදුලිය සම්බන්ධයෙන් ද මෙම කාරණය අදාල වන අතර විදුලි කප්පාදුව මඟින් පෙන්නුම් කරන්නේ ද ඉල්ලුම සහ සැපයුම අතර පරතරයයි. බලශක්ති සැපයුම්කරු රජය වන නමුත් එය ආනයනික යෙදවුම් මත රඳා පැවතීම නිසා තවදුරටත් ප්‍රමාණවත් ප්‍රමාණයක් මිලදී ගැනීමට නොහැකි වූයේ පාරිභෝගිකයින්ගෙන් රැස් කර ගත් රුපියල් ප්‍රමාණවත් වුයේ අඩු ඩොලර් ප්‍රමාණයක් මිලදී ගැනීම සඳහා වන බැවිනි. විදේශ විනිමය සඳහා ද මෙම කාරණය මෙලෙසින් ම අදාළ වන අතර නිල අනුපාතය රු. 200 ක් නමුත් ප්‍රමාණවත් සංචිත කිසිවක් නොතිබිණි.

සංචිත අවසන් වෙමින් පැවතුනද, මිත්‍ර රටවල මුදල් හුවමාරු කිරීම් සහ ඇපදීම් මත තව ටික කලක් මෙම තත්ත්වය පිලිබඳ සාමාන්‍ය මට්ටමේ ප්‍රතිරූපයක් පවත්වා ගැනීමට හැකියාව පැවතුණි. කෙසේ වෙතත් ආනයනය කිරීම් තවදුරටත් අපහසු මට්ටමකට පැමිණි පසුව මෙහි යථාර්තය නිරාවරණය විය.

යථාර්තය අවබෝධ වීම: අසමතුලිතතාව පිලිබඳ විමසීම 

මෙම ගැටලුවේ කැපී පෙනෙන රෝග ලක්ෂණ බොහොමයක් රජය විසින් යටපත් කර තිබුණි. එසේ කරන ලද පාලනයන් සහ රෙගුලාසි මුදල් උත්පාදනය වැඩිවීමට ප්‍රතිචාර වශයෙන් කාලයත් සමඟ සිදුවන සාමාන්‍ය ගැලපීම් වලට බාධාවක් විය.

ගැටලුව විසඳීමෙන් අදහස් කළේ ගොඩනඟා ඇති විශාල අසමතුලිතතාවයන් ඉවත් කළ යුතු බවයි. මූලික වශයෙන් සිදුවී ඇත්තේ මුදල් ඒකකය අවප්‍රමාණය වීමත් සමඟ එහි සැබෑ මිලදී ගැනීමේ හැකියාව විශාල ලෙස අඩුවීමයි. මෙම කටුක යථාර්ථයට හැඩගැසීමේ පළමු පියවර වන්නේ විදේශ විනිමය වෙළෙඳපොළ තුළ එහි සැබෑ වටිනාකම පිළිබිඹු වීම සඳහා මුදල් අවප්‍රමාණය කිරීමයි. එවිට ආර්ථිකය තුළ පවතින සියලුම මිල ගණන් රුපියලේ යථාර්ථවාදී අගයට ගැලපීමට අවශ්‍ය වේ. ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ගැලපීම් ප්‍රමාණය විශාල බැවින් ඒවායේ බලපෑම දැවැන්ත, සැලකිවයුතු කම්පනයක් ඇති කිරීමට සමත් වේ. මිනිසුන් අත්විඳින සැබෑ වේදනාව මෙයයි.

ආර්ථිකය තුළ ඇති සියලුම ආර්ථික සබඳතා මිල ගණන් මගින් පාලනය වීමත් සම්බන්ධීකරණය කිරීමත් සිදුවේ. මිල ගණන් මුදල් වලින් ප්‍රකාශ වන අතර මුදලේ වටිනාකම ස්ථාවරව පවතින තාක් මිල මඟින් මෙම සංකීර්ණ අන්තර්ක්‍රියා මාලාව සම්බන්ධීකරණය කිරීම සිදුවේ.

රුපියලේ අගය හදිසියේ වෙනස් වීම, විශේෂයෙන්ම එම වෙනස විශාල වන විට, සියලු ආර්ථික සබඳතාවන් අවුල්ජාලයකට පත් කරයි. එමඟින් ආර්ථිකයේ පදනමම නැති වී යන අතර මේ වන විට සිදුවෙමින් පවතින රුපියලේ නව අගයට සමස්ථ ආර්ථිකයම හැඩ ගැසිය යුතු වේ.

යථාර්තය කරා  

2022 සිට ක්‍රියාත්මක කර ඇති ක්‍රියාමාර්ග සැලසුම් කර ඇත්තේ මූලික හේතු විසඳීම සඳහා ය. විදේශ විනිමය වෙළෙඳපොළ තුළ අසමතුලිතතාවයන් දෘශ්‍යමාන වන නමුත් හේතු සියල්ලක් රැඳී ඇත්තේ පොදු මූල්‍ය හා මුදල් ප්‍රතිපත්තියේ අනෙකුත් තැන්වලය. කෙටියෙන් කිවහොත්, රජයට තම අයවැය සමතුලිත කිරීම, මහ බැංකු ණය භාවිතය නතර කිරීම සහ වෙනත් අරමුදල් භාවිතා කිරීමට සිදුවේ. ඒ නිසා මහ බැංකුව වෙනුවට බදු වැඩිකර, වියදම් කපා හැර වෙළෙඳපොළෙන් ණය ගැනීම සිදු කළ යුතුය.

ගැටළුව විසඳන්නේ කෙසේද? 

ආරම්භක ලක්ෂ්‍යය වන්නේ යථාර්ථවාදී අගයක් වෙත මුදල් ප්රතිෂ්ඨාපනය කිරීමයි. උත්පාතයේ චක්‍රය හරහා නිර්මාණය කර ඇති සියලුම නව මුදල් සඳහා ගිණුම් තැබීමේ කටයුතු වෙනුවෙන් එහි වටිනාකම නැවත සකස් කිරීමට මුදල් අවප්‍රමාණය කිරීම අවශ්‍ය වේ.

එවිට රජයට මුදල් මුද්‍රණය කිරීම වෙනුවට වෙළෙඳපොළෙන් ණය ගැනීමට අවශ්‍ය වන අතර, භාණ්ඩාගාර බිල්පත්වල පොලී අනුපාත 2021දී 6% සිට  7% දක්වා 30% ක් පමණ වන අතර මට්ටමකට බදු ඉහළ දමා ඇත.

එමඟින් වියදම් අඩු කළ හැකි නමුත් එයින් වැඩි කොටසක් වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහා වැය වන බැවින් එය වෙනත් මාර්ග සොයනු ඇත. ඉන්ධන සහ බලශක්තිය නියමිත මිලට වඩා අඩුවෙන් විකුණා ඇති අතර මුදල් අවප්‍රමාණය වූ විට විදුලිය, ඉන්ධන, ගෑස් සහ ජල මිල ඉහළ දමා ඇත. පිරිවැයට එම ආයතන තුළ සිදුවන නාස්තිය, දූෂණය සහ අකාර්යක්ෂමතාවය යන වියදම් ඇතුළත් වේ. මේ නිසා රජයට මෙකී ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය වන අතර එමඟින් පිරිවැය අඩු කර පාරිභෝගිකයින් වෙත ඉතිරිය ලබා දිය හැකිය. පොලී ගෙවීම අඩු කිරීමට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වන අතර රාජ්‍ය වියදම්වලට එකතු වන රාජ්‍ය ව්‍යවසායන්හි පාඩු අවම කළ යුතු බැවින් රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාව පැන නගී.

පසුගිය වසර පුරාවට මේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වීම නිසා හිඟය අඩු වීම, භාණ්ඩ හා සේවා වෙළෙඳ ශේෂය අතිරික්තයන් වාර්තා වීම, වර්තමානයේ මහ බැංකුව විදේශ සංචිත ලබා ගනිමින් සිටින බැවින් රුපියල ශක්තිමත් වීම නිසා උද්ධමනය පහල යාම ආරම්භ වී තිබේ.

ආර්ථික වර්ධනයේ වැඳගත්කම 

රාජ්‍ය මූල්‍ය ක්‍රමානුකූලව පවත්වා ගැනීමෙන් ස්ථාවර විනිමය අනුපාත, අඩු උද්ධමනය වැනි සාර්ව ආර්ථික ස්ථායීතාව ඇති කිරීම සහ ගෙවුම් ශේෂය යථා තත්ත්වයට පත් කිරීම සිදු වේ. මෙමඟින් අවපාතයේ වේගය අඩු කර ඇති බැවින් මිනිසුන් දුප්පත් වීම වේගවත් නොවේ. තත්ත්වය වඩාත් නරක අතට හැරීම මෙමඟින් නතර කර ඇති නමුත් මුදල්වල වටිනාකම පහත වැටීම නිසා බෙදා හැරීමේ ප්‍රතිවිපාක ආමන්ත්‍රණය කළ නොහැක.

නැතිවූ ධනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා තිරසාර ආර්ථික වර්ධනයක් ප්‍රතිෂ්ඨාපනය කිරීම අවශ්‍ය වන අතර එය කෘතිම උත්තේජනයක් මත පදනම් වූ තාවකාලික උත්පාතයක් නොවේ. 2004 සිට අනුප්‍රාප්තික රජයන් විසින් රාජ්‍ය වියදම් සහ ප්‍රාග්ධන වියදම් වැනි උත්තේජක හරහා වර්ධනය වැඩි කිරීමට උත්සාහ කර ඇති අතර එමඟින් දළ දේශීය නිෂ්පාදිතයේ කෙටි කාලීන දියුණුවක් ලබා ගැනීමට හැකි විය. නමුූත් මේ වන විට රජයට වැඩිපුර වියදම් කිරීමට හෝ ණය ගැනීමට නොහැකි බැවින් වත්මන් රාජ්‍ය මූල්‍ය තත්ත්වය යටතේ මෙය තවදුරටත් කළ හැක්කක් නොවේ.

තිරසාර වර්ධනයක් පදනම් විය යුත්තේ වැඩිදියුණු කළ ඵලදායිතාව මතය. ආර්ථිකයේ අඩු ඵලදායිතාවක් ඇති අංශවල සිට වැඩි ඵලදායිතාවයක් ඇති අංශවලට ගමන් කිරීම මෙහිදී සිදුවේ. සාපේක්ෂ මිල වෙනස්වීම් හේතුවෙන් සමහර ව්‍යාපාර තවදුරටත් සාර්ථක නොවනු ඇත. එමනිසා ඒවායේ ප්‍රමාණය අඩු කිරීමට හෝ වසා දැමීමට අවශ්‍ය විය හැකිය. මේ අතර නව පරිභෝජන රටාවන් මත නව අවස්ථාවන් නිර්මාණය වීමේ හැකියාවද පවතී.

එබැවින් නිෂ්පාදන ක්‍රියාවලීන් ද වෙනස් විය යුතුය. ආර්ථිකයේ ව්‍යුහය වෙනස් කිරීමට රජය පහසුකම් සැලසිය යුතුය. රැකියා උත්පාදනය සඳහා ආයෝජන අවශ්‍ය වන අතර රජයට අවසාන විසඳුම්කරු / සේවා යෝජකයා ලෙස ක්‍රියා කළ නොහැකි අතර මිනිසුන් බඳවා ගැනීම සහ ඔවුන්ට වැටුප් ගෙවීම සඳහා ණය ගැනීම හෝ මුද්‍රණය කිරීම දිගටම කරගෙන යා නොහැකිය. ආර්ථිකයේ සම්පත් අඩු ඵලදායිතාවයේ සිට ඉහළ ඵලදායිතා ක්‍රියාකාරකම් දක්වා ප්‍රතිනිර්මාණය කළ යුතු බැවින් සම්පත් ප්‍රතිනිර්මාණය කිරීමට බාධා වන නීති සහ රෙගුලාසි ප්‍රතිසංස්කරණය කළ යුතුය.

සමාගම්වලට පිටවීමට සහ ණය ආපසු අයකර ගැනීමට ඉඩ සැලසීම සඳහා බුන්වත්වීම සම්බන්ධව පවතින ක්‍රියා පටිපාටි විධිමත් කළ යුතුය. බැංකු අස්ථාවර කරන බොල් ණය රැල්ලක් ඇති වීම වැලැක්වීම සඳහා විචක්ෂණ නියාමනයක් ශක්තිමත් කළ යුතුය. මෙම ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ශක්‍ය නොවන නමුත් ප්‍රමාණය අඩු කිරීමට හෝ ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය සමාගම් සඳහා, කම්කරු රෙගුලාසි ප්‍රතිසංස්කරණය කිරීම් කළ යුතුය. නව රැකියා රෙගුලාසි සහ නව ආයෝජනවලට බාධා කරන බලපත්‍ර නිර්මාණය කිරීම සඳහා ඉඩම් හිමිකම සීමා කිරීම සහ කලින් කෘෂිකාර්මික ඉඩම්වල විවිධ භෝග හෝ ක්‍රියාකාරකම් සිදු කිරීමට ඉඩ දීම ඇතුළු අදාළ කටයුතු සමාලෝචනය කළ යුතුය.

ඉදිරියට ඇති අනතුර 

ප්‍රතිසංස්කරණ සමඟ ක්ෂණික සහන ජනතාව බලාපොරොත්තු වන්නට ඇති නමුත් අවාසනාවන්ත ලෙස ඉහළ බදු, ඉහළ බලශක්ති මිල ගණන්සහ මුදල් අවප්‍රමාණය වීම මහජන කෝපය අවුලුවාලමින් ජනතාව මත ඇති බර පරස්පර විරෝධී ලෙස වැඩි කළේය. අවාසනාවකට මේ මොහොතේ දී දුෂ්කර ප්‍රතිපත්ති මත හිඳ මිස දිගුකාලීනව ප්‍රතිලාභ ලබා ගත නොහැකිය. 

පැහැදිලිවම දේශපාලනඥයන් සහ මහජනතාව යන දෙපිරිසම අතර ප්‍රශ්නයේ මූලික කරුණු පිළිබඳ අවබෝධයක් නොපවතී. විවිධ දේශපාලන පක්ෂ මහජන කෝපය ප්‍රයෝජනයට ගැනීමට උත්සාහ කරන අතර කුමන්ත්‍රණ න්‍යායන් සංසරණය වේ. ජනතාවාදී ප්‍රතිපත්ති - සංකීර්ණ ගැටලු සඳහා සරල විසඳුම් - විවිධ පාර්ශවවලින් ඉදිරිපත් කෙරෙනමුත් අවාසනාවකට මේ සඳහා අපට ගත හැකි ඉක්මන් විසඳුමක් නොපවතී. රට නැවත වර්ධන මාවතකට ගෙන ඒම සඳහා ගමන් කළ යුත්තේ දිගුකාලීන, දුෂ්කර මාවතක ම පමණි.

මෙහි ඇති භයානක තත්ත්වය වන්නේ කෝපාවිෂ්ට ජනතාවක් ප්‍රතිසංස්කරණ අත්හැර විවිධ කෙටිකාලීන සම්ප්‍රදායික නොවන ප්‍රතිපත්ති අනුගමනය කරන පක්ෂවලට ඡන්දය ප්‍රකාශ කිරීමට පෙළඹීමේ සම්භාවිතාවයි. මෙය බරපතල වැරැද්දක් බවට පත් වන්නේ අද පවතින ගැටලු පවා  අසමතුලිත, අසම්මත සහ ස්වදේශික විකල්ප විසඳුම්වල ප්‍රතිඵලයක් වීමෙනි. මේ වන විට ආර්ථිකය සෙමෙන් ස්ථාවර වෙමින් පවතින නමුත් යථා තත්ත්වයට පත්වීම ආරක්ෂිත මට්ටමක පවතින බවට තහවුරු නොවේ. වැරදි පියවර කීපයකින් වුවත් යම් යම් දේවල් ඉතා ඉක්මනින් නරක අතට හැරීමට ඉඩ කඩ පවතී.

ශ්‍රී ලංකාවේ ප්‍රශ්න තමන් විසින්ම ඇති කර ගත් ඒවා වන අතර, ජනතාව අතීතයේ සිදු වූ වැරදි සඳහා වන්දි ගෙවමින් සිටී. තවමත් සිදු වන දේවල් අයහපත් මට්ටමක පැවතියා වුවත්, නිවැරදි ප්‍රතිසංස්කරණ සමඟ ආදායම් නැවත වර්ධනය කර ගැනීමේ හැකියාව පවතී.  මහජනතාව, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් බවට පත්වන්නන් අතීතයේ සිදු වූ වැරදිවලින් ඉගෙන ගත යුතු අතර තවදුරටත් ඉක්මන් විසඳුම් සඳහා පෙළඹවීමෙන් වැළකී සිටිය යුතුය.

සටහන: මුදල් ප්‍රතිපත්තියට අනුකූල නම් ගෙවුම් ශේෂ ගැටලු නොමැතිව ස්ථාවර විනිමය අනුපාතිකයක් පවත්වා ගැනීමට හැකි වේ, මුදල් අඛණ්ඩව මුද්‍රණය කරන්නේ නම් ස්ථාවර විනිමය අනුපාතයක් පවත්වා ගත නොහැක.

IPL හා මතීශ අපිට උගන්වන ආර්ථික පාඩම

IPL උන්මාදයෙන් ක්‍රිකට් ලෝකයම ආක්‍රමනය කරද්දී 16 වන අවසන් මහා සටනට අහමාබාද් හී නරේන්ද්‍ර මෝදි ක්‍රිඩාංගනය ඉතා උණුසුම් අන්දමින් සූදානම්ය, ලංකාවේ අපිටත් මේ අවසන් මහා තරගය වඩා ලගින්න දැනෙන්න පටන් අරං තියෙන්නේ අපේ රටේ  ක්‍රිකට් කෝඩුකාරයෙක් වෙච්ච මතීශ පතිරණ හා මහේශ් තීක්ශණ මේ අවසන් මහා තරගයට ක්‍රිඩාකිරීමයි, එත් අපි මේ කතා කරන්න යන්නේ ක්‍රිකට් ගැනවත් IPL ඉතිහාසය ගැනවත් මතීශ ගැනවත් නෙමෙයි . අපි මේ කතා කරන්නේ IPL හා මතීශ අපිට කියලා දෙන ආර්ථික පාඩම ගැන.

ඔබ පුදුම වෙන්න පුළුවන් මේ මැච් අස්සේ මොන ආර්ථිකයක්ද කියලා .නෑ මේ මැච්ම තමා ආර්ථිකය. බලන්න
IPL ව්‍යුහය දිහා ක්‍රීඩකයින් මිලදී ගන්න ඕනේ වෙන්දේසියකින් ඒ තුළ තරඟයක් තියනවා, කණ්ඩායම් අතර  තරඟය උනුසුම් වෙන්න උනුසුම් වෙන්න ක්‍රීඩකයින්ටත් හොදයි. ඒ වගේම ක්‍රීඩකයිනුත් නිකං ඉදලා බෑ තමන්ගේ වටිනාකම ඉහල දාගන්න හොදට perform කරන්න වෙනවා නැත්තං වෙන්දේසියෙන් විතරක් නෙමේ තරගාවලියෙන්ම පැත්තකට විසිවෙන එක තමා වෙන්නේ . ඒ වගේම මේ කණ්ඩායම්වල අයිතිය ලබාගැනීමටත් හොද තරගයක් තියනවා, ඒ වගේම කණ්ඩායම් ගොඩක් ක්‍රිඩාකරනවා කියන්නේ හොද තරගකාරී බවක් ඇතිවෙනවා කියන එකයි ,විදේශිය ක්‍රීඩකයින්ට හා දේශීය ක්‍රීඩකයින්ට තමන්නේ දක්ෂතාවය අනුව මේ තරඟාවලිය ඇතුලේ තැනක් හිමිවෙනවා . හොදම උදාහරණය මතීශ, ලංකාවේ ජාතික කණ්ඩායමේ තැනක් නැති මතීශ Chennai Super Kings කණ්ඩායමේ මෙවර නිත්‍ය හා ප්‍රධාන වේගපන්දු යවන්නා වෙලා තියනවා .මතීශ වගේ නැගී එන ක්‍රීඩකයෙක්ට හොද අවස්ථාවක් මෙම තරඟාවලිය තුළින් ලැබිලා තිබිම හා එම අවස්ථාවෙන් මතීශ උපරිම ප්‍රයෝජන ගැනීම අපිට දකින්න පුළුවන්. මේ සියල්ලටම හේතුවන්නේ හොඳ තරගකාරී වෙළදපලක් මේ තරඟාවලිය ඇතුළත ක්‍රියාත්මක වීමයි.
ඒවගේම මේකේ දැවැන්ත චිත්‍රය දිහා බැලුවොත් අතිවිශාල ප්‍රාග්ධනයක් මේ තරඟාවලිය ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. එය ඉන්දියාවේ ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය අතිශය වැදගත්. මේ තරඟාවලියෙන් සෘජු වගේම වක්‍ර රැකියා දහස් ගනනක් බිහිවෙලා තියනවා . IPL කියන්නේ දැන් ඉන්දියාවේ ආර්ථිකයට නැතුවම බැරි අංගයක් වෙලා ඉවරයි .
මෙම තරඟාවලියේ සාර්ථකත්වයේ රහස තමා ඔවුන් වෙළඳපල ක්‍රියාකාරීත්වය ඉඩ දීම ඒ වගේම එයට අනුගත වෙමින් වෙළදපල අවකාශය පුළුල් වීමට ඉඩ සලසා ඒ මගින් වඩා හොද හා විහිදුනු ආර්ථික ජාලයක් නිර්මාණය කරගැනීමයි.
තරගාවලියක් වශයෙන් අඛන්ඩව පවත්වපු IPL වෙළඳපල අවකාශයන් හොදින් තමන්ගේ වාසියට යොදාගන්නවා. ඔයාලට මතක ඇති 2008 මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය සමග ඇතිවෙච්ච ආරක්ශාව පිළබද ගැටළුව හා 2009 ඉදියානු මහමැතිවරණයත් IPL calendar එකත් එක්ක clash වීම වගේම මැතිවරණයටයි මැච් වලටයි දෙකට ආරක්ශාව දෙන්න බැරි නිසා සම්පූර්ණ තරගාවලියම දකුණු අප්‍රිකාවට ගෙන ගියා. ඔවුන් එහිත් ඉතා සාර්ථක තරගාවලයික් පවත්වනු ලැබුවා. ඒ වගේම කොවිඩ් වසංගත තත්ත්වය නිසා 2020 තරඟාවලිය පැත්වුණේ UAE වල එයත් ඉතා සාර්ථක තරඟාවලියක් ලෙස IPL ඉතිහාසයට එක් වුනා. මේ සේරම කරන්න පුළුවන් උනේ ගොලීය වෙළදපලක් ක්‍රියාත්මක වෙච්ච නිසා එහෙම ගෝලීය සම්බන්දතාවයන් තිබ්බේ නැත්තං කවදාවත් IPL එක ඉන්දියාවෙන් පිටට ගෙනියන්න බැරිවෙනවා . මේ ගෝලිය සම්බන්ධතාවය නිසාම මේ තරඟාවලිය ජාත්‍යාන්තර ගෝලීය තරඟාවලියක් බවට පරිවර්තනය වෙලා තියනවා කියනව එක පෙනෙන කාරණයක්. ඒවගේම ජාත්‍යන්තර අත්දැකීම් සහිත ක්‍රීඩයින්ට මේ තරඟාවලියට ඇතුලත් වීමට හැකිවෙලා තියෙන්නෙත් මේ ගෝලීය ජාලය නිසාමයි. එමගින් ආධුනික ක්‍රීඩකයින්ට වැඩි අත්දැකීම් ප්‍රමානයක් ලැබෙනවා වගේම ඉන්දියාවේ ක්‍රිකට් එක ඉතා වේගයෙන් වර්ධනය වෙන්න එය අනිවාර්යය හේතුවක් විදියට බලපාලා තියනවා.

අපි මතීශ දිහාවට හැරුනොත් ඔහු ඉතා සුවිශේෂී ඔහුටම ආවේනික ඉරියව්වකින් පන්දු යවන ක්‍රීඩකයෙක්, තවමත් ඔහුට ලංකාවේ ජාතික කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් නොලැබීම කනගාටුවකට කරුණක්. නමුත් ඒ දොර වැහෙන කොට මතීශට ඉතා වටිනා විශාල ජාත්‍යන්තර මට්ටමේ දොරක් විවර වෙනවා IPL හරහා ,මේ කිරිකෝඩු ක්‍රීඩකයාට මෙය ඉතා විශාල අවස්ථාවක් හිතන්න එහෙම අවස්ථාවක් ඔහුට උදා නොවුනානම් තවමත් ඔහු අතිරේක ක්‍රීඩකයෙක් විදියට බංකුවක් උඩ ඉදගෙන මැච් දිහා බලං ඉන්න තිබ්බා නමුත් මෙම වෙළඳපල ක්‍රියාකාරීත්වය නිසා ඔහුගේ දක්ශතාවය ජාත්‍යන්තරකරනයට ලක්වෙලා ඉවරයි . ඔහුගේ දක්ශතාවයට තැනක් වගේම ලෝක මට්ටමේ ඉන්න හොදම ක්‍රීඩකයින් එක්ක උරෙන් උරගැටිලා ලබා ගන්න මිල කල නොහැකි අත්දැකීම් සමුදායක් ඔහුට මේ අවස්ථාවෙන් උදා වෙලා තියනවා. සමහර විට ඒක ජාතික කන්ඩායමේ ක්‍රීඩකයෙක්ටත් නොලැබෙන අවස්ථාවක් .
ඒ වගේම තමා අවස්ථාව ලැබුනා කියලා මතීශ නිකං හිටියේ නෑ ඔහු ඔහුගේ උපරිමය ප්‍රදර්ශණය කරමින් සිටිනවා. ඔහු ඔහුගේ වටිනාකම අතිවිශාල අන්දමට වැඩි කරගෙන තිබෙනවා. ශ්‍රීලංකා තේරීම් කමිටුවට පවා ඔහුව තොරාගන්න කියලා කියලා දැඩි පීඩනයක් ඔහුගේ හැකියාව තුලින් එල්ල කරමින් ඉන්නවා , මේ තමා සැබෑවටම ක්‍රියාත්මක වෙළඳපලක ස්වභාවය තරගකාරීත්වය තුලින් වඩා හොද නිශ්පාදනයක් හෝ සේවාවක් ඉදිරියට පැමිණීම තමා හොදින් ක්‍රියාත්මක වෙළඳපලක් තුලින් වෙන්නේ.
හැබැයි ඉතින් කෙනෙක්ට කියන්න පුළුවන් කෝ ඔකේ නිදහස, එහෙම හිතෙන හිතන ඒවා කරන්න බෑ නිදහස් වෙළදපලක් කියලා කිව්වට නීති තියනවා BCCI එක නීති දාලා තියනවා ICC එක බලං ඉන්නවා. ඔව් අනිවාර්යයෙන්ම වෙළඳපලක් කියන්නේ නිතී නැතුව ඔහේ දුවන පොඩිලමයින් සෙල්ලමට කරන සෙල්ලං පොළක් නෙමෙයි , හොදින් ක්‍රියාත්මක වන වෙළඳපලක් ඇතුලේ නීති තියනවා පාරිබෝගිකයව ආරක්ශාකරන, වෙළඳපල තරගකාරීත්වය ආරක්ශාකරන , නිශ්පාදකයව , විවසායකයව ආරක්ශාකරන නීති අනිවාර්යයෙන් ඒක ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ හැබැයි රජය ඇවිත් ඒ වෙළඳපල ඇතුලේ කජු විකුනන්නයි හාල් තුන පහ විකුනන්නයි යනවා කියන එක නෙමේයි.
හිතන්නකෝ BCCI එකයි ICC එකයි රජය කියලා එයාලා හොදම ක්‍රීඩිකයෝ අරං මිනිස්සුන්ගෙන් බදු ගහලා ඒ සල්ලිවලින් ටීම් එකක් හදලා IPL එකට දාලා නෑ තරග කරලා දිනන්න, එයාලා කරන්නේ නීති හදලා පිච් එක හදලා අවශ්‍ය යටිතල පහසුකම් හා වේදිකාව හදලා තරගකාරීත්වය වර්ධනය කරන ක්‍රියාවලිය හදලා පැත්තකට වෙලා ඒ දිහා විනිසුරු හා පාලන කෝනයෙන් විමසිල්ලෙන් බලං ඉන්න එක. ඕක ඇතුලේ වෙන වෙන අක්‍රමිකතා , තරගපාවාදීම් වගේම විනය පිළබදව එයාලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා දඩ ගහනවා, තහනම් කරනවා ,දඩුවම් දෙනවා හැබැයි ක්‍රීඩකායෝ තෝරන්න යන්නෙ නෑ  එයාලගේ පෝස්ටර් ගහපු කොල්ලොන්ව ටීම් එකට ගන්න කියන්නේ නෑ, ඥාති පුතාලට තැනක් දෙන්න කියන්න යන්නෑ, නැතත් ඒ වගේ සෙට් එකක් එකතු කරලා ටීම් එකක් හදලා කප් එක ගන්න බලන්නෑ . 

ඉතින් රජයක් කරන්න ඔනේ වෙළඳපල තරගය නිර්මාණය කරන එක හා එය පවත්වාගෙන යන එක. රජයක ප්‍රමුඛ කාර්ය භාර්ය වෙන්න ඔනේ  පාරිබෝගිකයත් නිශ්පාදකයත් වෙළඳපලත් ආරක්ශාකරගෙන ලෝකයත් එක්ක සම්බන්දිත විවෘත ස්වාදීන විනවිදබාවයෙන් යුක්ත වූ ක්‍රමවේදයක් හා නීති රාමුවක් හදන එක ඒ වගේම එම නීති හා ක්‍රමවේද යාවත්කාලීන පහසු හා සරල විය යුතුයි. එමගින් වෙළඳපල කාර්යක්ශමතාවය හා ඵලදායිතාවය වැඩි කරගන්න පුළුවන්. එහෙම වැඩි කරගත්තොක් විතරයි අපිට පුළුවන් වෙන්නේ මේ දුප්පත්භාවයෙන් මිදිලා සංවර්ධිත දියුනු රටක් සමාජක්‍රමයක් හදාගන්න.
ඉතින් මෙවර IPL කුසලානය කවුරු දින්නත් ඔවුන් කියලා දෙන පාඩම හරියට අවබෝද කරගෙන ඉදිරියෙදි රටක් වශයෙන් දිනන්න අපි සූදානම් වෙන්න ඔනේ. එයට අවශ්‍ය පිටිය සැකසීම ආර්ථික ප්‍රතිසංස්කරන හරහා  රජය අනිවාර්යයෙන් කලයුතුමයි. ඒ වගේම අපේ හෙල්මල්, පෑඩ් සහ ගාඩ් සෙට් එක වෙන සමාජ ආරක්ශන දැළ වඩා විශ්වසනීය විනිවිදබාවයෙන් යුතුව සාදාගන්න ඔනේ ඉදිරියෙදි එන අදිවේගී වේග පන්දු වලට මූණ දෙන්න නැත්තං ඉතා වේදනාකාරි අත්දැකීම් වලට මූණ දෙන්න සිද්ද වේවි. මේ ආර්ථික තරගය දිනන්න නම් ලංකාවේ වෙළදපල Boundary එකට එහා තියන ගෝලීය වෙළදපල් වලට දැවැන්ත හයේ පහරවල් ගහන්නම ඔනේ, එහෙම ගහන්න අපේ ක්‍රීඩකයින්ගේ ශක්තිය වැඩි කරන්න නම් ඔවුන්ට තියන නීති හා රෙගුලාසී බාදක ඉවත් කරලා සරලව පහසුවෙන් ව්‍යාපාරකිරීමට හැකි මානසිකත්වයක් ගොඩනගන්න ඔනේ. වැදගත්ම කාරනය තමා රජය විනිසුරුකමයි තරග සංවිධායක කමයි අමතක කරලා පිච් එක මැද්දට පැනලා තරගයේ වීරයා වෙන්න ඔනේ කියලා  කප් එක උස්සන් දුවන්න හදන්නේ නැතුව මේ ආර්ථික තරගේ දිනවන්න හොදම ක්‍රීඩකයින් වෙච්ච පෞද්ගලික අංශයට මේ ආර්ථික මැච් එක ගොඩදාගන්න උදව් කරන්න එක .අන්න එතකොට අපිට නිකම්ම මැච් එක විතරක් නෙමේ සමස්ථ තරගාවලියම ජයගන්න පුළුවන් .

ජනත් පෙරේරා 
28/5/2023

ටුටුන්කාමන්ගේ සාපය හා තෙල් සංස්ථාව

ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව ගැන මේ දවස්වල කතා නොකරන කෙනෙක් නැහැ . පාර්ලිමෙන්තුවෙන් ඉදං හන්දියේ ඥානක්කගේ කඩේට වෙනකං තෙල් සංස්ථාව ගැන තමයි කතාව. සමහරු සේවකයින්ට බයිනවා, සමහරු හොද කියනවා. තව අය ඇමතිට බයිනවා සමහරු හොද කියනවා . කොහොමහරි දෙපැත්තට දෝලනය වෙච්ච කතන්දරයක් තමා තිබ්බේ.

මේ විදියට තෙල් සංස්ථාව ගැන කථාකරන්න පටන්ගත්තේ ඇයි කියලා ඔයාලට මතක් කලොත්. ලංකාවේ කැබිනට් එක අලුත් සමාගම් 3න කට ලංකාවේ ඛණිජ තෙල් බෙදාහැරීම සම්බන්දයෙන් අවසර දීලා තිබ්බා. ඒකත් එක්ක මේ ගැන ලොකු කතා බහක් ඇති වුනා. ස්ට්‍රයික් එකකුත් පටන් අරං ඒ සේවකයොන්ටත් අනිවාර්යය නිවාඩු යන්න උනා කියලා ඔයගොල්ලෝන්ට මතක ඇති. ඔය අලකලංචි අස්සේ තෙල් බෙදා හැරීමටත් බාදා වෙලා ආපහු පෝලිම් ඇති වෙන්න පටන් ගත්තා මේක කියවන ඔයත් ඔය පෝලිමක හිටිය කෙනෙක් වෙන්න ඇති නේද.

මේ ලිපිය ඒක ගැන කියන්න ලියන එකක් නෙමෙයි මේක තෙල් සංස්ථාව කොපමණ ලාබයක් ලබනවද පාඩු සිද්ද කරගන්නවද කොච්චර ණයද කියන දේ ගැන පොඩි සොයා බැලීමක්. ඉතින් අපි විකුනං කන්න හදන්න යනෝ කියලා පෙර නිගමන වලට එන්නේ නැතුව ලිපිය අවසානය තෙක්ම කියවන්න. ඉස්සෙල්ලාම අපි ගමු තෙල් සංස්ථාවේ ලාබ පාඩු ගැන විස්තරේ පහත ප්‍රස්ථාරෙන් ඔයාලට පේනවා කොච්චර ලාබයක් හා පාඩුවක් වෙලාද කියලා.

මේ 2015 සිට 2022 අගෝස්තු මාසේ වෙනකම් විතරක් සිදුවෙච්ච ලාබ හා පාඩු. බලන්න පසුගිය අවුරුදු 7ක කාලය ඇතුලත සංස්ථාව ලබලා තියන මුළු ලාබය එකතු කෙලොත් රුපියල් බිලියන 61 වෙනවා ඒ කාලයට තුළ පාඩුව රුපියල් බිලියන 849ක් වෙනවා ඒ කියන්නේ 14 ගුණයකට ආසන්න පාඩුවක්. ඉතින් එක රාජ්‍ය ආයතනයක් මේ වගේ පාඩුවක් ලබනවනං සමස්ථ පාඩු ලබන රාජ්‍ය ආයතන සියල්ලම එකතු කාරම කොච්චර පාඩුවක් ලබනවා ඇතිද ? අපි බංකොලොත් වෙලා ඉතුරු වෙලා ඉන්න එකත් ඇති.හැබැයි ඉතින් මේ පාඩුව ලබන්න විවිධ කාරණා හේතුවෙනවා අකාර්යක්ශම පරිපාලනය , දේශපාලන මැදිහත්වීම්, රජයේ අනෙකුත් පාඩු ලබන රාජ්‍ය ආයතන වලට ණයට තෙල් සැපයීම, රුපියල බාල්දුවීම, ලොක ඛණිජ තෙල්මිල උච්චාවචනය.

තව සමහරු කියනවා අපිට ලාභෙට තෙල් දීල තමයිනේ අපේ තෙල් සංස්ථාව පාඩු වුනේ කියල. ඔබ දන්නවද ලංකාවේ තෙල් වලින් 70%ක් පාවිච්චි කරන්නේ සමාජයේ ඉන්න 30% වෙච්ච පොහොසත්ම පිරිස කියල. ඒ කියන්නේ ඔය කියන තෙල් ලාබෙට දීමෙන් වැඩිපුරම වාසිය ලබාගත්තේ ලංකාවේ ඉන්න ඇති හැකි 30% පමණ පිරිස කියලනේ. හැබැයි වැඩිපුරම ඒකේ පාඩුවට ගෙවන්න ඕන ලංකාවේ ඉන්න දුප්පත්ම මිනිස්සු. මේක සාධාරණද? දැන් එහෙම ලාබෙට තෙල් දුන්නයි කියලත් තෙල් මිල අඩු වුනාද? නෑ නේද?

ලෝක තෙල් මිල කියන කාරනය අත ඇරියත් අනිකුත් සියළුම සාදක වලට ඇගිල්ල දික්වෙන්නේ අපේම පැත්තටමයි. රටක් විදියට අපි ගත්තු වැරදි තීන්දු තීරණ නිසා අපි විහින්ම බංකොලොත් වෙලා ජාත්‍යන්තර හිගන්නෙක් බවට පත්වෙලා තියනවා කියන එක පැහැදිලිව පේන්න තියනවා. ලංකාවේ දුප්පත් මිනිස්සුන්ගේ අධ්‍යාපනයටයි සෞඛ්‍යයටයි අවුරුද්දට වියදම් කරන ප්‍රමාණයට වඩා වැඩි මුදලක් එක ආයතනයක මාස 8කට පාඩු ලබන එක සාධරණීකරනය කරන්න පුලුවන් මොන සමාජ සාධාරණ තර්කනය මතද?

අපි කියනවා නේද ලාබ ලබනවා කියලා බලන්න මේ ප්‍රස්ථාරේ දිහා

මේ සංස්ථාව සතු වත්කම් ගණන සංස්ථාව මේ කාලයේදී උපරිම ලාබ ලබපු වර්ශය 2016 ලාබය බිලියන 54යි එම වසරේදීම සංස්ථාව සතු වත්කම් ප්‍රමාණය බිලියන 210 යි. අපි බිලියන 54ක් හොයාගන්න බිලියන 210ක් වත්කම් ප්‍රමාණයකින්. මොනතරම් භයානක විහිලුවක්ද වත්කමට සාපේක්ශ ලාබය 0.25ක් වගේ ප්‍රමාණයක්.

මේක හන්දියේ ඥානක්කගේ කඩේ උනානනං මෙලහකට කඩේ විතරක් නෙමෙ ඥානක්කවත් කොහොට හරි උගස් තියන්න වෙලා . හැබැයි මේකේ වන්දිය ගෙවන්න ඔනේ හැමදාම සල්ලි දිලා තෙල් ගහගත්තු අපිම තමා. අපි තෙලුත් සල්ලි දීලා ගහගෙන සංස්ථාවේ පාඩු පියවන්න බදුත් ගෙවනවා. මේ දවස් වල වෘතිකයින්ට හිසරදයක් වෙලා තියන උපයන විට බද්ද අරං බලන්න රජය ඒකෙන් ලබන ආදායම රු බිලයන 100 විතර තමා ඇස්තමෙන්තු කරලා තියෙන්නේ හැබැයි සංස්ථාව ඊට 6 ය ගුණයකට වඩා පාඩුයි.

මීටත් බරපතල කාරනය තමා මේ පාඩු අපේ බැංකු පද්දතියට දරන්න වෙන එක. මේ දවස් වල අපි දේශීය ණය ප්‍රතිව්‍යුහකරනය ගැන කතාකරනවා ඉතින් හිතන්න මෙහෙම පාඩු ලබන රාජ්‍ය ආයතන නඩත්තුවට ණය දෙන අප‌ෙ බැංකු පද්දතියට අත්වෙන ඉරනම. එතනත් තියෙන්නේ අපේ සල්ලි, ආපහු පාරක් මේ පාඩු අපේ සල්ලි වලින්ම තමා ගෙවෙන්නේ.

මේකනං ටුටුන්කාමන්ගේ සාපෙට වඩා බරපතලයි කියලා අපිට හිතෙන්නේ.

මේ විදයට රටේ බැංකු පද්දතියත් අරාජික කරලා සුරකින රාජ්‍ය ආරක්ශාව මොකක්ද කියලා අපේ කුඩා මොලේටනං වැටහෙන්නැ. මේකෙන් ආපහු පාරක් තැලෙන්නේ පොඩි මිනිස්සුමයි. වෙලාවකට හිතෙන්නේ මේවා රාජ්‍ය සම්පත්ද රාජ්‍ය කොඩිවිනිද කියලා ඒතරමටම රාජ්‍යයට හා මිනිසුන්ගේ ආර්ථිකයට හානිකර බලපෑමක් මේවා තුළින් වෙනවා. ඒක පිටට පෙන්නේ නැති උනාට අපි ලක්වෙලා තියන උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ පෙන්න පටන් අරං තියනවා ඒක එක අතකින් හොද දෙයක් දැන් මිනිස්සුන්ට තේරෙනවා තමන්ගේ බදු සල්ලි වලට වෙනදේ වත්.

අපි කන පාන් පෙත්තේ රුපියල් 30ක් දීලා බොන ප්ලේන්ටියේ ඉදං ගන්න බදු වලින් නඩත්තු වෙන මේ ආයතන අපිට හරි හමං සේවයක් කරනවද ? කියන ප්‍රශ්ණය අද ගොඩක් දෙනෙක්ට තියනවා.කාලෙන් කාලෙට චන්දෙන් චන්දෙට පත්වෙන ආණ්ඩු ඇමතිලා සභාපතිලට ඔනෙ ඔන විදියට ඔළුගෙඩි ගාන වැඩි කරලා මේ රාජ්‍ය ආයතන බොයිලර් කුකුලු ගොවිපලවල් කරලා ඉවරයි.ඒවායේ අකාර්යක්ශමතාවට ප්‍රධාන හේතුව ඒකයි .

මෙහෙම කියනවට රාජ්‍ය සේවකයෝ අපි ඒක්ක අමනාප වෙන ඒකකක් නෑ ඇත්තටම කාර්යක්ශම වැඩට දක්ශ අවංක රාජ්‍ය සේවකයට මේ පද්දතිය ඇතුලේ කිසිම තැනක් නම් නෑ. ඇමතිට හිතවත් සභාපතිට හිතවත් නැත්තං වෘතියසමිතියට හිතවත් කෙනාට තමා ගොඩක් දුරට මේ ආයතන වල තැන තියෙන්නේ. ඉතින් ආයතනයක් විදියට දිනෙන් දින අගාදයට යන එක අහන්න දෙයක් නෙමෙයි නේද. ඔය ආයතන පාලනය කරන පාලකයින්ට ආයතනය පිළිබද කිසිම හැගීමක් නැත්තේ ඒක ඒයාලගේ නෙමෙයි නිසා. හිතන්නකෝ අපි අපේ බිස්නස් ඒකක් ඔය විදියට හොරාකාලා හොරාකන්න දිලා බංක‌ොල‌ොත් වෙනකං කටබලියන් බලං ඉදීද ? නෑනේ හැබැයි මේ ආයතන පරවේනිගත අම්බලන් වගේ ඔහේ තියනවා කාටවත් කිසිම ගානක් නෑ මොකද මේවා නඩත්තු කරන්නේ ඒයාලගේ සල්ලි වලින් නෙමෙයි අපේ බදු සල්ලි වලින් නිසා.

මේවා කිව්වම ගොඩක් දෙනෙක් අපිට කියන්නේ ඔන්න විකුනං කන්න හදනවා කියලා . ඇත්තටම රජය ඔය ව්‍යාපාර කරද්දි තමයි විකුණං කෑම නියමෙටම වෙන්නේ. නිකං නෙවෙයි අපේ සාක්කුවෙන් බදුත් ඇදල අරං විකුණං කනවා. අපි මේවා පෙන්නා දෙන්නේ විකුනං කන්න නෙමේ නැත්තං මේවා ඇමතිගෙ මුහුදු මංකොල්ලකාර යාළුවොන්ට අරං දෙන්නත් නෙමේ අපි කියන්නේ මෙම ආයතන හැකි ඉක්මනට ප්‍රතිව්‍යුහගතකරණය කරලා මේවල පරිපාලන දුරුවලතා නැති කරලා බොයිලර් කුකුල් තියරිය නැති කරලා KPI අනුව සේවක කලමනාකරනය කරලා මේ ආයතන රටේ ආර්ථිකයට ශක්තියක් දෙන ගැම්මක් දෙන ආයතන බවට පත්කරන්න ඔන කියන එකයි. පෞද්ගලීකරනය කියන්නේ ඒක එක පුංචි කොටසක් විතරයි.

දැන් අපිට බලශක්ති වෙළදපල දෙස පුළුල් දැක්මකින් බලන්න ඔනකාලේ ඇවිත් ලොකයේ ඊගාව ආර්ථික ඇන්ජිම ඒහා වැටේ තියාගෙන අපිට හිගාකන්න වෙලා තියන ඒකනම් එ‌ෙතිහාසික ඛේදවාචකයක්. අපි අපේ බලශක්ති ශේත්‍රය යාවත්කාලීන කරන්න ඔනේ, ඉතින් ඒක රජයකට තනියෙන් නම් කොහොමත් කරන්න බෑ. හිතන්නකෝ තෙල් සංස්ථාව පටන් අරං අවුරුදු 60කට වැඩි තාම තෙල් නැවක් ගෙන්න ගන්න කොච්චර ගේමක් ගහන්න ඔනෙද කියලා. ඉතින් අපිට පුළුල් වැඩපිලිවලක් ඔනේ ප‌ෞද්ගලික අංශයට විවෘත වෙච්ච ඒසමග සම්බන්ද නිදහස් වෙළදපල ක්‍රියාවලියකින් විතරයි ඒ අභියෝගය ජයගන්න පුළුවන්. ඉතින් මේ එන සමාගම් 3නට අපිට චරිත සහතික නම් දෙන්න බෑ දෙන්නෙත් නෑ මොකද ඒ ක්‍රියාවලියේ විනිවිදභාවය පිළිබද අපි දන්නේ නැති නිසා.

නමුත් අපි පෙන්වා දෙන්නේ විනිවිදබාවයෙන් යුතු ස්වාදීන විද්‍යානුකූල වෙළඳපල ක්‍රමවේදයක් මගින් ලංකාවේ බලශක්ති වෙළඳපල විවෘතකල යුතුයි කියලයි. එයට නව නීති සම්පාදනය වෙන්න ඔනේ ඛනිජ තෙල් පමණක් නෙමේ සුනිත්‍ය බලශක්තිය හා පරමානුක බලශක්තිය ගැන පවා අපි අවදානයක් දෙන්න ඔනේ නැතුව තෙල් නැවක් ගේන්න ලොකේ වගේ අනේ කියක් හරි දෙන්නකෝ, කියක් හරි දීලා යන්නකෝ ගගා හිගා කකා දුවන එක නෙමෙයි.ඔය බොහෝ දෙනා කියන ඉන්දියාවේ සහ චීනයේත් පුද්ගලික අංශයට වගේම විදේශ සමාගම් වලටත් බලශක්ති ක්ශේත්‍රය සඳහා ඇතුලත් වෙන්න ඉඩ දීල තියෙන්නේ. ඒ රටවල් වලත් සම්පූර්ණ ඛණිජ තෙල් ව්‍යාපාරය කරන්නේ රජය පමණක් නෙවෙයි.

රටක් දියනු වෙන්න නම් ඒ රටේ ප‌ෞද්ගලික් අංශය නිදහස් වෙන්න ඔනේ වගේම රාජ්‍ය අංශය කාර්යක්ශම වෙන්න ඔනේමයි. රාජ්‍ය අංශය කාර්යක්ශම කරන්න නම් නව තාක්ශනය හා පරිපාලන ක්‍රමවේද හදුන්වලා දිලා බොයිලර් කුකුල් තියරියෙන් අයින් වෙලා KPI පදනම්ව කුඩා එහෙත් දියණු කාර්යක්ශම රාජ්‍ය සේවා පද්දතියක් හදාගන්න ඔනේ. අන්න එතකොට තමා ඇත්තටම අපිට ටුටුන්කාමන්ගේ ඈත්වෙන්න පුළුවන් වෙලා ජාතික සම්පත් පහලවෙන්නේ.

ජනත් පෙරේරා
18/4/2023

ළිං මැඩි සංකල්පය පසෙක ලා ජාත්‍යන්තරයට විවර වෙමු.

ළිං මැඩි සංකල්පය පසෙක ලා ජාත්‍යන්තරයට විවර වෙමු.

ළිං මැඩි සංකල්පය පසෙක ලා ජාත්‍යන්තරයට විවර වෙමු.

ඇත්තටම අපි අවුරුද්දට හරියට සමරනවද ?

සුර්‍යා මීන රාශියේ ඉදං මේශ රාශියට ගමන් කරන මේ කාලේ අනාදිමත් කාලයක ඉදං අපේ පැරැන්නෝ නව වසර උදාව හරිම සතුටෙන් අභිමානයේ සශ්‍රීකව සැමරුවා. වසන්තේ උදාවත් සමග ගමේ නගරයේ වෙනසක් නැතුව අලුත් අවුරුද්ද පිළිගන්න හැමෝම ලෑස්ති උනා , අතු මල් බර උනා ඵල බර උනා , අළුත් සහල් මංගල්ලේ හරි උජාරුවට සමරපු අපේ අය එළබෙන වසරටත් සෞභාග්‍ය උදා කරගැනීමේ උවමනාවෙන් අලුත් අවුරුද්දට ලහි ලහියේ ලක ලෑස්ති වෙන කාලේ තමා මේ බක්මහ කියන්නේ. බක් මහ එහෙම නැත්තං‍ භාග්‍යවන්ත මාසේ විදියට සලකන සිංහලයා මේ මාසේ තමන්ගේ එදිනෙදා ජිවිතය අලුත් කරගන්න ලැබෙන අවස්ථාවක් ලෙස සැලකුවා . ගේදොර අලුත් උනා කෑම බීම අලුත් උනා  සිතුවිල්ලේ ඉදං නැවුම් මාසිකත්වයක් මේ මාසේ පුරාවට අපි පවත්වා ගන්න උත්සහා කලා. ඉතින් මේ අලුත් අවුරුද්ද කියන්නේ අපේ සමාජයට නිකම්ම නිකං උත්සවයක් නෙමේ හින්දු හා සිංහල සංහිදියාව අගයන තරහා මරහා අමතක කරලා අලුතෙන් ආරම්භයක් ගන්න විවිධ සංස්කෘතික සම්මිශ්‍රනය වන මෞලි මංගල්ලයක් කිව්වොත් වඩා නිවැරදී.
ඉතින් මේ අලුත් අවුරුද්ද අපේ ආර්ථිකයට බලපාන්නේ කොහොමද ? ඇත්තටම අලුත් අවුරුද්ද කියන්නේ කාටත් නොදැනුනාට දැවැන්ත ආර්ථික ක්‍රියාකාරකමක් . සංස්කෘතික වශයෙන් වගේම ආර්ථික වශයෙන් අපිට ඉතා වැදගත් දේවල් ටිකක් අලුත් අවුරුද්දත් සමග අපට කියා දෙනවා. හැබැයි ඔය කියා දීපු පාඩම් අපි හරියට පාවිච්චි කරාද කියන එකනම් ගැටලුවක් තමා.


අලුත් අවුරුද්ද අලුත් දේට තැන දෙන්න අලුත් වෙන්න වෙනස් වෙන්න අපිට කියලා දෙනවා අපි අපේ ජීවිතය ප්‍රතිසංස්කරණය කරලා යාවත්කාලීන කරගන්නේ කොහොමද? අපේ ආර්ථිකය අලුත් කරගන්නේ කොහොමද? අපේ සංස්කෘතික ජීවිතය වෙනස් කරගන්න ඔනේද ? වගේ පුද්ගල බද්ද ප්‍රශ්න සමුදායක්ම අලුත් අවුරුද්ද අපෙන් අහනවා. අපි හරියට ඒ ප්‍රශ්න වලට උත්තර දෙනවනං අලුත් ජීවිතයක් ලගා කරගන්න පුළුවන්. නමුත් රටක් විදියට අපි අලුත් වෙලාද යාවත්කාලීන වෙලාද අපේ නීති, අපේ ආර්ථිකය , රාජ්‍ය සේවය , අපේ වෙළදපල අලුත් වෙලා ප්‍රතිසංස්කරණය වෙලා වෙනදට තිබ්බට වඩා සාදනී්‍ය හොද දියුණු තැනකට ඇවිල්ලද? ඇත්තටම අපේ අලුත් වීමේ ප්‍රවනතාව මන්දගාමීනේද ආර්ථිකමය, අධ්‍යාපනික හා සමාජීය අතින් බැලුවම අපි ලෝකෙට වඩා දශකයක් විතර පස්සෙන් නේද ඉන්නේ ලෝකේ අපිව දාලා දුවලා. තාම අපි ඉබි ගමින්.

සමස්ථ ලෝකයම එකම ආර්ථික දාමයක වැලක පුරුක් වගේ ගැට ගැහෙන කොට අපි ඒකෙන් ඈත් වෙලා . පෙර අපර දෙදිග මුහුදු කේන්ද්‍රයේ ස්ථානගත වෙලා ඉන්න අපි ලෝකයේ සැපයුම් දාමය තුල නෑ . ඒක මොනතරම් ඛේදජනක කතාවක්ද, අපි අපි ඇතුලෙම හිරවෙලා අපි දූපත් මානසිකත්වයකට වැටිලා ව්‍යාපාර වලට වෙළදපලට අනවශ්‍ය නීති දාගෙන ලෝකයෙන් ඈත්වෙලා වගේම පරවේනිගත යල්පැනපු ආර්ථික ක්‍රමයක් පවත්වාගනිමින් අතිවිශාල අකාර්‍යක්ෂම රාජ්‍ය සේවයක් පවත්වා ගෙන යනමින් ලෝකෙට බැන බැන ඉන්නවා අපිව දුප්පත්කලා කියලා. 

ඇත්තටම මේ දුප්පත් දූපත් මානසිකත්වයෙන් ගැලවීලා නවීන නැවුම් දියුණු රටක් සෑදීමට අපි අපේ ආර්ථික ප්‍රතිපත්ති වල දැවැන්ත ගැඹුරු ව්‍යුහාත්මක වෙනස් කම් කරන්නම ඔනේ අපේ තාක්ශණය හා වෙළදපල යාවත්කාලීන නිදහස් අවකාශයකට ගෙන යන්න ඔනේ නැතුව මේ සමරන අලුත් අවුරුද්දකින් කිසිම වැඩක් නෑ. අපේ පැරැන්නෝ හැමදාම විස්වාස කලේ අලුත් වීම “අලුත් අලුත් දෑ නොතකන ජාතිය ලොව නොනගී” කියපු අපි අද පරණ හනමිටි කරේ තියන් ලොකෙන් ඈත්වෙලා තිබීම හරිම කනගාටු දායක සිද්දියක්.

ඒ වගේම අපිට මේ අවුරුද්ද තව දෙයක් අපිට කියලා දෙනවා ,හරි දේ හරි වෙලාවට හරි තැනදී කරන්න කියන පුරුද්ද අපිට අලුත් අවුරුද්දෙන් කියලා දෙනවා අපි හැමෝම මුලු රටක් වශයෙන් එකතු වෙලා එකම වෙලාවට එකම දෙයක් කරනවා ඉතින් එහෙම එකතු වෙලා කරන්න පුළුවන් දේවල් වල වැදගත් කමත් අපිට මේකෙන් කාලාන්තරයක් තිස්සේ කිව්වත් තවමත් අපිට ඒවා දැනිලා නැති තරම්. අපි අපේ ආර්ථිකයට කරන්න ඕන ප්‍රතිසංස්කරණ හරි වෙලාවට හරි තැනේදී හරි විදියට කලෙත් නෑ ඒක අපි එකතු වෙලා කලෙත් නෑ අපිට එහෙම කරන්න ඔනෙ කියලා අදහසකුත් තිබ්බේ නැ අන්තිම එක එක වෙලාවට එක එක්කෙනාට ඔන ඔන ඒවා කරලා ආර්ථිකය කඩං වැටිලා රට බංකොලොත් භාවයට වැටුනා . බලන්න මේ චාරිත්‍ර වල වැදගත්කම ගැඹුර නමුත් අපි ඒක චාරිත්‍රයකට විතරක් නැකතකට විතරක් අවුරුදු දවසට විතරක් සීමා කරලා අපේ ජීවිතයේ වැදගත්ම පාඩමක් මග ඇරගත්ත ජාතියක් වෙලා ඉවරයි ඉතින් මේ අවුරුද්දෙවත් හරි ආර්ථික ප්‍රතිසංස්කරණ හරි විදියට හරි වෙලාවට හැමෝම එකතු වෙලා කරමු අපේ ආර්ථිකය ගිලගනිමන් ඉන්න පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාරට හැකි ඉක්මනින් ප්‍රතිව්‍යුහගතකරණය කරලා ඒවා රටටත් ආර්ථිකයටත් අපිටත් බරක් නොවෙන තැනට ‌ගේමු ඒ දේට හැමෝම සහභාගී වෙමු නැතුව රටක් විදියට අපිට හැමදාම ඉන්න වෙන්නේ නොනගතේ තමා.

තව දුරටත් මේ අලුත් අවුරුද්ද ආර්ථිකයට කොච්චර සම්බන්දද කියනවනං බලන්න වර්තමානය දිහා අලුත් අවුරද්දත් එක්ක කොච්චර වෙළදපල පිබිදීමක් එනවද නිශ්පාදනය කොපමණ වැඩි වෙනවද නමුත් මේ අවුරුද්ද දැඩි ආර්ථික අහේනියකට ලක්වෙච්ච අවුරුද්දක් නිසා වෙළදපල හැකිලිලා අපේ ක්‍රයශක්තිය අඩුවෙලා දැඩි උද්දමනකාරී වෙළදපලක් ඇතුලේ තමා අපිට අවුරුද්ද සමරන්න වෙලා තියෙන්නේ . මේක වෙළදපලේ තියන ප්‍රශ්නයක් නෙමේ අපේ අදුරදර්ශි ආර්ථික උපායමාර්ග නිසා අපිට උදාවෙච්ච දෙයක්. කොකිස් කන්න වගේ සල්ලි අච්චු ගැහැව්වම වෙළදපලේ මුදල් සංසරණය වැඩ වෙනවා නමුත් ඊට සාපේක්ශව නිශ්පාදනය නැති නිසා ඉල්ලුම ඉහල යනවා ඒ මදිවට පෝර හා කෘමි නාශක තහනම් ප්‍රතිපත්ති හා අනෙකුත් ආනයන තහනම් නිසා නිශ්පාදකයින්ට ඉල්ලුමට සාපේක්ශ සැපයුම දීගන්න බැරිවෙනවා වෙළදපල මිල ගණන් සිඝ්‍රලෙස අසාමාන්‍ය ලෙස ඉහල ගිහින් රටේ භාණ්ඩ හා සේවා මත උද්දමනය ඉහල යනවා ඉතින් බලන්න රජයක් හෝ ඕනෑම පාර්ශවයක් වෙළදපල නිදහස් ක්‍රියාකාරීත්වට අත තිබ්බම වෙනදේ සම්පූර්ණ පද්දතියම අවුල් වෙලා බිදවැටෙනවා. ඉතින් අවුරුද්දක් හරි හමන් විදියට සමරන්න නං අපි අනිවාර්යෙන් අපේ වෙළදපල හොදින් ක්‍රමවත්ව නිදහස්ව තියාගන්න ඔනේ.
ඒවගේම තමා අලුත් අවුරුද්දත් සමග බැදිච්ච වැඩ ඇල්ලීම ,ගනුදෙනු කිරිමේ හා ආහාර අනුභවය කියන කාරනය. අපේ පැරැන්නෝ බොහොම සරළව වගේම ලස්සනට අපිට ලොකු ආර්ථික විද්‍යා පාඩමක් කියා දෙනවා .
අපි ඉස්සෙල්ලාම හරි වෙලාවට හරියට වැඩ ඇල්ලීම කරන්න ඔනේ වැඩ ඇල්ලීමට අපේ සීයලා අප්පච්චිලා කුඹුරට ගියා එහෙම නැත්තම් කොරටුවට ගියා එදා අපේ ආර්ථිකය ගැට ගැහිලා තිබ්බෙ කෘෂිකර්මාන්තයත් එක්ක හැබැයි දැන් වෙන කොට කෘෂිකර්මාන්තයට විශාල විදියට බාධා ඇතිවෙලා තියනවා කෘෂි යෙදයුම් වලට විශාල මිල ඉහල යෑම් හා සමහර පෝශක වල හිගතාවයන් තියනවා තවත් ප්‍රධාන බාධාවක් තමා අපේ සැපයුම් දාමයේ අක්‍රමවත් වීම අස්වැන්නෙන් 30%-40% ප්‍රමානයක් අපතේ යනවා මේ හේතුවෙන් ගොවියට නිසි මිලක් ලැබෙන් නෑ වගේම පාරිබෝගිකයට සාදාරන මිලට භාන්ඩය ලැබෙන්නෙත් නෑ. ඒවගේම මේ ගොවි බිමි වල තිබෙන නීති රෙගුලාසි නිසා ගොවියන්ගේ නිදහස සීමා වෙලා තියනවා අඩුමතරමේ ඔවුන්ට ඔවුන්ගේ ඉඩමේ අයිතියවත් නෑ ඔවුන්ට කැමති බෝගයක් වගාකරන්නත් බෑ ඒ හැමදේටම රජය මැදිහත් වෙනවා. ඉතින් මේ හේතුවෙන් අපේ කෘෂි කර්මාන්තය එන්න එන්නම පටු වෙමින් තියනවා ඒ ආශිතව විවසායකයින් හා ගොවින් අඩුවෙමින් යනවා අනාගතේ දවසක කෘෂිකර්මාන්තය කියන්නේ පැරණි පොත්පත්වල චිත්‍රකාතාවක් වෙන්නත් බැරිකමක් නෑ.

අලුත් අවුරුද්දේ අපි කරන්න ඔනේ අපේ මේ කර්මාන්ත පද්දතිය යාවත්කාලීන කිරීමට අවශ්‍ය තාකශ්නය හදුන්වාදීමයි ඒකට අපේ මේ තියන නීති පද්දතිය වෙනස් විය යුතුමයි.කෘෂි කර්මාන්තය වේවා අපනයන බෝගකර්මානතය වේවා වෙනත් ඕනෑම කර්මාන්තයක ඒකාදීකාර කිසිම ලෙසක පවත්වා ගෙන යෑම හෝ පැවතීම සිදු නොවිය යුත්තක් ඉතින් අපිට මේ කර්මාන්ත හා නිශ්පාදන පද්දතිය වඩා දියුනු තැනකට පත් කිරීමට ව්‍යුහාත්මක වෙනස්කම් කල යුතුයි කෘෂි විවසායකයින්ට ඔවුන්ගේ ඉඩම් අයිතිය ලබා දෙමින් ආයෝජකයින්ට වඩා පහසු හිතවත් ව්‍යාපාර පරිසරයක් සකස් කරමින් අපනයකරුවාට ඇති බාධා ඉවත් කරමින් ව්‍යාපාර පහසුවෙන් කරගෙන යෑම සදහා සුදුසු පරිසරයක් නිර්මාණය කලයුතුයි නැතුව රජය පාඩු පිට පාඩු ලබ ලබ බදු සල්ලි ඒවලට පුච්ච පුච්ච ව්‍යාපාර කර කර ඉදලං වැඩක් නෑ ඉතින් මේ අවුරුද්දේ ගනුදෙනු සාර්ථක වෙන්නනම් අපේ වැඩ ඇල්ලම හරියටම කරන්න ඔනේ නැත්තං අපේ ආහාර අනුභවයට තියන කෑම වේල එන්න එන්න කුඩා වෙනවා.
ආහාර අනුභව නැකතනම් අපි කොයි කවුරුත් ආසාවෙන් බලාගෙන ඉන්න නැකතක්නේ. ඉතින් අපේ කෑම මෙසෙ ගත්තත් අපේ ආර්ථිකයට සෘජු ලෙස සම්බන්දයි. බලන්න අපේ කෑම මේසේ පුරාවට තියන කැවිලි පෙවිලි. කොකිස් ආවේ ලන්දේ යුගයේ පැණි වලලු ඉන්දියාවෙන් අපේ මේ සැරට හදන ලුනු මිරිසේ මිරිස් ලතින් ඇමරිකාව, කේක් බිස්කට් එංගලන්තෙට නෑකම් කියනවා කොයි  පැත්තෙන් කොහොම ආවත් අද අපේම දේවල් වෙලා අපි ලොකේ තියන හොද දේවල් අපේ විදියට අපේ කරගන්න හැටි මේ අවුරුද්දෙන් අපිට කියලා දෙනවා. ඒ වගේම බලන්න මේ කැවිලි පෙවිලි හදන්න මුළු ලෝකෙම එකතු වෙලා නැද්ද කියලා පාන් පිටි ඇමරිකාවෙන්, සිනි ඉන්දියාවෙන්, පැණි ගම්පහෙන් , ගෑස් සිංගප්පූරුවෙන් , හාල් අම්පාරෙන් ඉතින් බලන්න මේ කැවිලි පෙවිලි මේසේ මේ විදියට හදාගන්න මිනිස්සු කීදෙනෙක් එකතු වෙනවද මේ දේ කරන්න පුළුවන් වෙළදපලකට විතරයි. වෙළදපලක් තියනවනං ඒ වෙළදපල නිදහස්නම් මේ විදියට විචිත්‍රවත් රස කෑම මේසයක් විතරක් නෙමේ රටකුත් අපිට ලැබෙනවා. අපේ වෙළදපලට තියන බාධා අනවශ්‍ය නීති රෙගුලාසි ඉවත් කරලා සංකීර්ණ තීරුබදු නැති කරලා ,මිල පාලන වගේ මායාවන්ගේ ඈත්වෙලා ඉල්ලුම සැපයුම අනුව වෙළදපට නිදහසේ ප්‍රසාරනය වෙන්න දුන්න නම් ඉතින් හැමදාම අවුරුදු වගේ තමා.
ඉතින් මේ අවුරුද්දෙවත් අපිට වසර දහස් ගනනක් තිස්සේ කියලා දීපු ඒ ආර්ථික විද්‍යා පාඩමෙන් මේ පාරවත් හරියට වැඩක් ගමු නිසි ආර්ථික ප්‍රතිසංස්කරණ නිසි වෙලාවට නිසි තැනේදී කරලා යාවත්කාලීන දියුනු වෙළදපලක් නිදහස්ව බාධාවකින් තොරොව වැඩෙන්න දෙමු. දූප්පත් දූපත් මානසිකත්වයෙන් මිදිලා වීශ්වීය මිනිසෙක් විදියට ලෝකය දකින්න පටන් ගමු අන්න එකොට ලංකාවේ රාශි ටික හරියට කැරකිලා දුප්පත් රාශියේ ඉදං පෝසත් රාශිය හැකි ඉක්මනින් ගමන් කරන්න පුළුවන් වෙනවා.

ජනත් පෙරේරා
Janath Perera
18/4/2023

මිල පාලනයෙන් උඩ ගිය රන් කිකිළිගේ බිජු

"බිත්තර හරි ගනන්නේ" , මේ දවස්වල පාර තොටේ ටීවී එකේ දේශපාලන වේදිකාවේ හැම තැනකම නිමක් නැතිව කතාබහට ලක්වෙන ප්‍රධාන මාතෘකාවක් තමයි බිත්තර මිල. ඔයාලා අහල තියෙනවනෙ රත්තරන් බිත්තර දාන රන් කිකිළිගේ කතාවත්, මේ දවස් වල රත්තරන් බිත්තර දාන  රන් කිකිළිගේ බිත්තරවලටත් වඩා ලංකාවේ බිත්තර මිල අහස උසට වැඩි වෙලා.ආර්ථික අර්බුදයෙන් හෙම්බත් වෙලා  ඉන්න මිනිසුන්ට වේල් තුන පිරිමහ ගන්නවා කියන එකත් අභියෝගයක් වෙලා කියලා අපි දන්නවනේ.

ලංකාවේ ප්‍රධාන ආහාරය වන පෝෂදායි බත් වේලකට මස් කෑල්ලක් මාළු කෑල්ලක් එකතු කරගන්න බැරි දුප්පත් මිනිහාගේ එකම පිහිට  වූනෙත් රුපියල් 12  13 ට පැවති බිත්තරනේ…ඉතිං බිත්තරෙන්  ශරීරයට ප්‍රෝටීන් එකතු කර ගත්තත්  අද වෙනකොට එය මිලට ගන්නවා තියා ඒ දිහා ඇහැක් ඇර බලන්නවත් බැරි මට්ටමකට මිනිසුන් පත්වෙලා.

කඩේට ගිහින්  බිත්තරයක් අතට අරන් එය නැවතත් බිමින් තියලා එන මිනිස්සුත්,ඉස්සර පඩි අරන් තම දරුවන්ට බිත්තර 10ක් විතර  අරන් ගෙදරට යන මිනිස්සුත්  මේ දවස්වල බිත්තර එක දෙක අරගෙනයන අවස්ථා  ඕනෑතරම්  කඩපිල් වලට ගියාහම බලාගන්න  පුලුවන්. ඒකට හේතුව ඉතිං වෙන මුකුත් නෙවෙයි. අද කඩේක බිත්තරයක් රුපියල් 60-65  අතර තමා විකිණෙන්නේ...ඉතිං බලන්නකෝ අද ඉස්පිරිතාලෙ ලෙඩෙක්ට බිත්තරයක් දී ගන්න බැරි මට්ටමකට බිත්තර අහේනියක් ඇති වෙලා.බේකරි කර්මාන්තය,කේක් කර්මාන්තය ආදී සුළු පරිමාණ ව්‍යාපාර මේ හේතුවෙන් නැත්තටම නැතිවී යන තත්ත්වයකට පත්වෙලා.

ඇත්තටම මේ වගේ තත්ත්වයක්  ලංකාව තුළ ඇති වෙන්න ලොකුම හේතුව තමයි මිල පාලන හේතුව. ඉතිං මේ පිළිබඳ 2018 දී ඇඩ්වොකාටා  ආයතනය   "ශ්‍රී ලංකා දේශපාලන රඟහලේ මිල පාලනය,Price controls in sri lankan political Theatre" පර්‍යේක්ෂණ වාර්තාවෙන් පෙන්නලා දීලා තියෙන්නේ,"මිල පාලනය කියන්නේ හුදෙක් දේශපාලන කටයුත්තක් විතරයි කියලා එමගින් භාණ්ඩ වල මිල අඩුකිරීමක් කිසි දවසක සිදුවෙලත් නෑ සිදුවෙන්නෙත්  නෑ කියලා…

ඉතිං මොකද්ද මේ මිල පාලනය කියන්නේ…අම්බෝ රජය බඩුවලට මිලක් දාල දැන් වෙළෙන්දොන්ට ඕන ඕන විදියට නටන්න බෑ… හරී ෂෝක් අප්පා…ආණ්ඩුව හරී හොදාදායි… ඔහොමනේ ඔයාලා හිතන්නේ…ඇත්තටම මිල පාලනය කියන්නේ ආර්ථික විද්‍යාවට අනුව සරලවම කිව්වොත්,"වෙළෙඳපොළ මිල යාන්ත්‍රණය යටතේ තීරණය කරන සමතුලිත මිල පාරිභෝගිකයාට අසාධාරණයක් යැයි රජයට දැනුනූ  විට ඔවුන්ට සාධාරණයක් ඉටු කිරීම හේතුවෙන් රජය විසින් නියම කරනු ලබන මිලයි."ඇත්තටම ඔයාලා හිතන්නේ මේ ක්‍රියාව රජය මහජනයාගේ යහපතට සිදුකරනවා කියලා ද? නැහැ. එහෙම හිතන්නත් එපා. ඒනිසා සිදුවන්නේ තව තවත් බඩුවල මිල ඉහළ යාමක්. මතක? රජය විසින් කැසට් වගේ  ගහන විවිධාකාර ගැසට් මඟින්  පසුගිය කාලයේ දී (සහල්, සීනි, පොල් තෙල්, ගෑස්, සිමෙන්ති) මිල පාලනයක් සිදු කලා. ඔයාලට මතක ඇතිනේ..ඒවිතරක්  නෙවෙයි, ඔයාලට මතක ඇති පොල් ගෙඩියේ වට ප්‍රමාණය අනුව පොල් ගෙඩියටත් උපරිම මිලක් නියම කළා…2019 වසරේ කොවිඩ් කාලයෙත් මෙවැනි මිල පාලනයක් දැම්මා මතක ඇති ඔයාලට.  

බිත්තරයක් රුපියල් 10 ට දුන්නා, ටින් මාලු එකක් රුපියල් 100ට දුන්නා.ඉතිං මෙවැනි මෝඩ තීන්දු තීරණ නිසා රජය පැන වූ සහන මිල අවුරුද්දක් යන්නත් කලින් හතර පස් ගුණයෙන් වැඩි වුණා. අද වෙනකොට බිත්තරයක් කටේ තියාගන්න තියා අතට ගන්න බැරි තැනටම මිල පාලනය පටිසන් දීලා කියලා බිත්තරේ 60ට 65ට කද්දි ඔයාලට දැනෙනවා ඇති.

ඡන්ද ගන්න මිනිසුන්  අන්දවලා හොද හිත දීනා ගන්න දේශපාලකයෝ කරන කූට පැලැස්තර අතීසාරයට අමුඩ ගැසීමක් විදියටත් සලකන්න පුලුවන්. මේ දේමයි බිත්තර කර්මාන්තයට සිදු වුණෙත්. රජයට ඕන ඕන විදිහට භාණ්ඩවල මිල තීරණය කරන්න බැහැ. ඒ නිසා සිදුවන්නේ සාමාන්‍ය මිලට වඩා කළු කඩ මිලක් දක්වා භාණ්ඩ මිල ඉහළ යාමක්.ඉතිං මේ කාරණයෙන් තේරුම් යන්නේ අපි ජීවත්වෙන විවෘත ආර්ථිකය තුළ භාණ්ඩවල මිල තීරණය වෙන්නේ සාපේක්ෂව ඉල්ලුම හා සැපයුම මත බවයි. එබැවින් වෙළඳපොළට රජය අනිසි ලෙස මැදිහත් වීම වැළැක්විය යුතුයි. එය ආර්ථික විද්‍යාවට අනුව හොඳ දෙයක් නම් නොවෙයි. 

ඉතින්  බිත්තරවලට වුනෙත්  පාරිභෝගික කටයුතු අධිකාරිය  පැන වූ මිල පාලනය නිසා බිත්තර මිල වේගයෙන් ඉහළ යාමක්..ඔයාලට මතක ඇති අගෝස්තු මාසයේ බිත්තරේට පාලන මිලක් දැම්මා රුපියල්  42ට විකුණන්න ඕන කියලා…එම පාලන මිල දැම්මත් එක්කම වෙළඳපොලේ ඇති බිත්තර අතුරුදහන් වුණා. එය බිත්තර හා කුකුල් මස් කර්මාන්තයට විශාල අභියෝගයක් වුණා. අභිජනනය කළ කුකුළු ෆාම් විදුලිය නොමැති කම පදනම් කරගෙන වසා දැම්මා,බිත්තර දමන කිකිළියන්ට කෑමට අවශ්‍ය සෝයා ආශ්‍රිත ආහාර නොමැති වීමෙන් මසට විකිණුවා, කුඩා පරිමාණ කුකුළු නිෂ්පාදකයින් රුපියල් 42ට පැන වූ පාලන මිලට බිත්තර විකිණීමෙන් පාඩු පිට පාඩු ලැබීමට ඇති හැකියාව නිසා ඔවුන්ට තම කුකුළු කර්මාන්ත කරගෙන යාමට නොහැකිවුණා.මේ ඔස්සේ පැහැදිලිවන්නේ රජය විසින් දුරදිග නොබලා සිදුකරන මෝඩ වැඩ තමයි.

ඒ නිසා බිත්තර සැපයුම දිනකට බිත්තර මිලියන 7 සිට  මිලියන 4 දක්වා පහතට වැටුණා. අර කලින් කියූ කළු කඩ මිල ඉහළ ගොස් අද දරුවකුට දෙන්න බිත්තරයක් මිලට ගන්න බැරි තත්ත්වයකට පත්වෙලා තියෙනවා.ඉතින් ඒ නිසා රජය බිත්තර ආනයනය කිරීමට තීරණය කරලා  තියෙනවා.ඒකට හේතුව තමයි, රටකින් බිත්තර ගෙනල්ලා රුපියල් 25-30 විකීණීමට හැකියාවක් තියෙන නිසා අපේ රටේ බිත්තර නිෂ්පාදනයට වඩා ආනයනික බිත්තර වෙළෙඳපොළට බෙදා හැරීමේ වාසි දායක තත්ත්වයක් තියෙනවා.ඊට හේතුව ඉන්දියාව, පකිස්තානය වැනි රටවල් කුකුළු කර්මාන්තය සිදු කරන්නේ සුළු පරිමාණයෙන් නෙවෙයි.ඔවුන් මහා පරිමාණයෙන්  කර්මාන්තය සිදුකරගෙන යාම නිසාත් කර්මාන්තයේ කාර්‍යක්ෂමතාවය වැඩි නිසාත් විශාල වශයෙන් බිත්තර නිපදවා ගත හැකි වෙලා තියෙනවා.ඉතින් හිතන්නකො අපේ රටේ කර්මාන්තයේ කාර්යක්ෂමතාවයට කෙතරම් විහිලු සහගතද කියලා.

ඒ නිසා නිෂ්පාදන කාර්යය කාර්යක්ෂමව සිදු කළ හැකි ක්‍රමවේදයක් ගොඩ නැගිය යුතු වෙනවා.වෙළඳපල එකිනෙකට සම්බන්ධ වී ඇති නිසා ගෝලීය වෙළදාම තුළ තරඟකාරීව හැසිරීමට වෙළදුන්ට මං මාවත් විවර කළ දිය යුතු වෙනවා. එමගින්  උඩ ගිය බිත්තර මිල නැවත යතා තත්ත්වයට පත් කර ගැනීමට හැකි වෙනවා වගේම ආර්ථික අර්බුදය යම්තාක් දුරට ප්‍රගතිශීලී මාවතකට රැගෙන යාමට අපිට හැකියාවක් ලැබෙනවා.


දුෂාණි එදිරිසිංහ

2023.01.13

ත්‍රෛලෝක විජය පත්‍ර ඩොලර් වලින් පවන් සලයිද ?

කාලෙන් කාලෙට සතියෙන් සතියට අළුත් අළුත් මාතෘකා වේදිකාවට එනවා. ඉතින් කාලයක් තිස්සේ ලංකාවෙ තැන් තැන් වල කතා කරපු දෙයක් තමා දැන් දියවන්නාව පැත්තෙන් ඇහෙන්නෙ.

ඒ තමයි ගංජා ගැන කෙරෙන සාකච්ජාව. ගංජා නොහොත් කංසා එහෙම නැත්තං මරුජුවානා නැත්තං ඉතින් ත්‍රෛයිලෝක වියජ පත්‍ර. නම් නං හැට හුටාමාරක්ම තියනවා ඔය මොන නමකින් කතා කලත් ඕකෙන් අපේ ආර්ථිකය ගොඩ දාගන්න පුළුවන් වෙයිද ?

එහෙම හිතන එකත් අර කොහෙවත් ඉන්න දියසෙන් කෙනෙක් ඇවිත් රට ගොඩදාලා අපිව තුසිතෙ එක්කං යයි වගේ සීන් එකක්ද කියලා සමහරුන්ට හිතෙයි. ඇත්තටම ඔය කියන තරම් ගංජා වලින් අපිට ඩොලර් පැටව් ගස්ස ගන්න පුළුවන් නම් ඇමරිකාව තිරුඟු වගාකරන එක නවත්තලා ජාතික පුෂ්පය ගංජා මල කරලා පේටන් එකත් මේ වෙද්දී අරං.

subject එක ගැන දන්නෙ නැති කට්ට්ය මවන ෆැන්ටසි කතාව තමා ගංජා economyයක් හදලා අපි දියුණු වෙමු කියන කථාව. ඕක ඔය කියන තරම් ලේසි වැඩක් නෙමෙයි. ගංජා ලොකේ වැඩි ප්‍රවනතාවයිකින් භාවිතා කරන්නේ මත්ද්‍රව්‍යක් ලෙස ජාන විකෘති කරලා හදන කැනබි variant වල THC අගය වැඩියි ඒ් කියන්නේ මත්වෙන ප්‍රතිශතය වැඩී තවත් සරලව කිව්වොත් තනකොළ ගලවං යන්න වදිනවා කියන එක.

ඒ වගේ variant හදන්නේ රසායානාගාර ආශ්‍රිතවයි.දැඩි පාලිත තත්වයන් යටෙත් විශාල ආයෝජනයක් කරලා කරන්න ඕන වැඩක්,කැනඩාව හා ඔස්ට්‍රේලියාව වගේ රටවල විශාල වශයෙන් ඒ වගේවගේ රසායනාගාර ගංජා නිශ්පාදනය කරනු ලබනවා. ඕක ගැන දන්න කට්ටිය දන්නවා කුඹින්ගෙන් දැලඹුවෝ මියෝ තව තව කෘමින් ගෙන් බේරගන්න නං ළමයි බලාගන්නවා වගේ පැළ බලාගන්න ඕනේ කියලා.

අනිත් වැඩිපුර යොදාගන්න කාණ්ඩය තමා ඖෂධ ලෙස යොදා ගන්න ගංජා කාණ්ඩය. මෙහි මත්කාරක අඩු ප්‍රතිශතයක් තමා තියෙන්නේ. පිලිකා රෝගින්ට, මානසික ආතතිය ඇති රෝගින්ට යුරෝපයේ වෛද්‍ය නිර්දේශතව ලබාගන්න පුළුවන් ආයුරුවේදය හා සිංහල හෙළ වෙදකමේදි ඉතා බහුලව ගංජා භාවිතා වෙනවා. වස්ති, මදන මෝදක, අරිශ්ඨ ගුලි ,කලල්ක, ඉසකුඩිච්චි, දුම්හට්ටි හා කැද වලටද යොදාගනු ලබන ගංජා ප්‍රධානම ඖෂදයක් ලෙස භාවිතා කරනු ලබනවා

Martket product විදියට ගත්තම බෙහෙත් හා මත්ද්‍රව්‍ය වලට අමතරව සබන්, අයිස්ක්‍රීම්, සුවද විලවුන්, හදුම්කුරු, බිස්කට්,රූපලාවන්ය හා චොක්ලට් ව‌ගේ එකි මෙකි නොකි බඩු ගොඩක් ගංජා ආශ්‍රිතව හදනවා ඒවගේම ලොකයේ වෙළඳපළ පංගුව විදියට ඩොලර් බිලියන 13.2 ක් 2021 වසෙර්දි සදහන් වෙනවා.

අතීතයේ අපිත් ගංජා කුළුබඩුවක් විදියට පාවිච්චි කරපු විදිය රොබටර් නොක්ස්ගෙ එදා හෙළදිවෙන් හොයාගන්න පුළුවන්.නිකං පරණ මනුස්සයෙක් ගෙන් ඇහැව්ව් කියයි මස් බුරුල් වෙන්න හොද්දට කොළයක් දෙකක් දානවා කියලා. ඉතින් ගංජා කියන්නේ අවිවාදයෙන්ම multi use කරන්න පුළුවන් පට්ට material

ඒ්වගේම ගංජා කියන්නේ අපේ සමාජෙට නුහුරු නුපුරුදු දෙයක් නෙමයි. එත් ඔය හේන් වගා කරලා ගංජා තෙල් බෝතල් කරලා රට යවලා ආර්ථිකේ ගොඩදාන කතා නං ඉතින් ෆැන්ටසි තමා.

අවුරුදු 150ක් විතර පරණ Ceylon Tea එක Brand කරගන්න බැරුව market එක කෙල කරගත්තු අපි ගංජා වලින් ලෝකය ජයගනි කියලා හිතන්න නං එපා. ඒ්ක ඒහෙන් පිටින්ම තඩි මුලාවක්.

ඉස්සෙල්ලාම අපිට නිසි අධ්‍යන හා පර්යේෂණය අවශ්‍යයි ප්‍රාමානික වෘතිකයින්ට මේ වැඩේ බාර දෙන්න ඔනෙ. ඒවගේම නීති සම්පාදනය විය යුතුයි මොකද මේක දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. ගංජා තෙල් දාලා ටොපි, ලොසිංජර, කිරිටොපි පාසල් ළමුන් අතට බොහෝම ඉක්මනින් පත්වෙන්න පුළුවන්. සකල සිරිං පිරි සිරි ලංකාවේ ඒ් වගේ වැඩ නං හෙනම වේගෙන් සිද්ද වෙනවා කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැනේ. ඒක නිසා නිසි ක්‍රමවේදයක් හා දිගුකාලින සැලැස්මක් යටතේ ක්‍රියාත්මක වෙන්න ඔනේ නැත්තං කූඥ්ඥෙ ගෙලෝපු රිලවට වෙච්ච දේ තමා අපිටත් වෙන්නෙ කියලා හොදට මතක තියා ගන්න ඔනේ.

අනිත් අතට ගත්තත් ලොකයෙ ගංජා වෙළදපල ඉතා විශාල එකක් නෙමේ. ඒ වගේම එයට අති විශාල පාරිබෝගිකයින් සංඛාවකුත් නෑ පාන් පිටි, සිනි, ආයුධ ,මෝටර් රථ ,ඉලෙක්ට්‍රොනික් වෙළදපළපළ පංගුව එක්ක සදන්නවත් බැ. උදාහරණයක් ගත්තොත් සිනි ප්‍රධාන අමුදව්‍ය කරගත්තු කොකා කෝලා වල market cap එක ඩොලර් බිලියන 235.77 ක අගයක් ගන්නවා.ගංජා වලට ඒ තැනට යන්න සෑහෙන ගේමක් දෙන්න වෙනවා කියලා ඔයාලට තේරෙනවනේ.ඉතින් අපි බලන්න ඔනේ හොද ශක්‍යතා අධ්‍යනයක් කරලා ගංජා economy එක අපිට ගැලපෙනවද කියලා. එහෙම නැතුව කඩි මුඩියේ ගංජා වලින් ඩොලර් ගේමු කියලා ගංජා නීති ගත කරලා පිස්සු කෙලියොත් ඒකත් හරියට හරිත කෘෂි කර්මෙට වෙච්ච නස්පැතියම තමා උරුම වෙන්නේ. එක හරියට ගොනත් ඇනලා ගහෙන් වැටිලා ඉද්දි දුවං ගිහිං තඩි වලකට පැන්න සීන් එකක් වගේ වෙනවා

එක එක් කෙනාට ජනප්‍රියවෙන්න මාතෘකා හදාගන්න එක පැත්තකින් තියලා ශාස්ත්‍රීය අධ්‍යනයක් මගින් නව නිර්මාණ හා නවෝත්පාදන අතිවිශාල ප්‍රමානයක් ගංජා ආශ්‍රිතව සිදුකරන්න පුළුවන්. එහෙම නැතුව අදුරෙ අතපත ගාන වැඩ නොකර නිසි ක්‍රමවේදයක් යටතේ ගංජා නෙමේ ඔනෑම බෝග වගාවකින් ජාත්‍යන්තර වෙළඳපලෙන් විශාල පංගුවක් අයිතිකරගන්න අපිට පුළුවන්. මේ කතාව ලත් තැනම ලොප් නොකර නිසියාකාර ක්‍රම හා වැඩපිලිවෙලක් යටතේ ගෙනගියොත් අපිට ඩොලර් ගේන එක simple case එකක්.

ජනත් පෙරේරා
Janath Perera

19/10/22

මඩ සෝදාගත් කල ගොවියා රජ වෙයිද ?

අපි දන්න කාලේ ඉදං අපිට මතක කාලෙ ඉදං ගොවියොන්ගෙන් ඇහුනේ දුක්ගැනවිලි විතරමයි
විශේෂයෙන් පහුගිය දවස් ටිකේ ඒ ප්‍රශ්න තවත් උග්‍ර උනා කුඹුරට වැඩිය පාරවල් වල හිටිය ගොවියො ටික ටික ගොවිතැනෙන් ඈත් වී ගෙන ගියා.

එයාලා නිතර කියන දේයක් තමා එයාලගේ අස්වැන්නට නිසි මිලක් ලැබෙන්නෑ ,කූඹුරට තාක්ශනේ ලැබෙන්නෙ නෑ, තෙල් පෝර කෘමිනාශක නෑ , කිසිම ලාබයක් නෑ , වගා හානී වගේ එකි මෙකි නොකි නා නා විද ප්‍රශ්න කප්පරක්.

මේ විදියට අපේ බත් පත සපයන ගොවියා මොකද හැමදාම දුකෙන් දුප්පත්වෙලා ඉන්නේ ඒක පට්ට අවුලක්නේ,
මේක ගොවියගේ ප්‍රශ්නයක්ද රටේ අවුලක්ද නැත්තං බත් කන අපේ අවුලක්ද ?
ඔය ප්‍රශ්නෙට උත්තර හොයන්න අපි කාලෙන් කාලෙට එක එක ආණ්ඩු පත් කරගත්තා ගොවියෝ රජ කරවලා අපිටත් හොද ආතල් එකේ ඉන්න,
ඒයාලා බලය ඉල්ලුවේ නොමිලේ පෝර දෙනවා , ගොවි ණය කපනවා , වගා ඉඩම් අයිතිය දෙනවා, වැඩි මිලක් වී වලට දෙනවා වගේ හෙන සුරංගනා කථා කියලා අපිත් ඉතින් ඉවක් බවක් නැතුව අපිම කපලා මහලා ඇදගත්තා, ඊට පස්සේ බලයට එන මිනිස්සුන්ට ඒවා අමතකයි හැබයි බැදගත්ත බෙරේ යංතං හරි ගහන්න එපැයි නැත්තං ඊගාව චන්දෙට ඒයාලා ගෙදර, ඒ නිසා ඒ හැම ආණ්ඩුම කලේ තව තව ණය පිට ණය අරං සහනාදාර දි දී දුප්පත්කම maintain කරපු එක.

වගාබිමට අවශ්‍ය නව තාක්ශණය, වැඩි අස්වැන්නක් සහිත බීජ , ගොවිමහතුන්ට අවශ්‍ය නව කෘෂි අධ්‍යාපන, වගා භූමියේ අයිතිය වගේ දෙවල් පැත්තකට දාලා අපි කලේ නොමිලේ නොමිලේ කිය කිය පෝර ටොන් ගනං බෙදපු එකයි කිසිම පූර්ණ කාලීන සැලසුමක් ක්‍රමවේදයක් නැතුව ගේන කාබනික වගා සංග්‍රාමය, පෝර කෘමි නාශක තහනම වගේ දුරදිග නොබලා ගත්ත තීරන වලට පට්ටට වියදං කරපු ඒකයි විතරයි,
අන්තිමට ඒකෙන් උනේ ගොවියා විතරක් නෙමේ බත් කන අපිත් කබලෙන් ලිපට වැටිලා ලිප ගිනිගත්ත එකයි.

අද ලංකාවේ උද්දමනය 70% පැනලා ලෝක බැංකු වාර්ථාවලට අනුව ආහාර උද්දමනය අතරින් ලංකාව ලෝකෙන්ම 3න්වෙනි තැන මේක කොහෙන් ගිහින් නතර වෙයිද කියලා සකරයගේ පුතා වෙච්ච වෛමවත් දන්නේ නැතුව ඇති.

කෘශි කර්මාන්තෙ තියා පොදු වැසිකිලියක් වත් හරියට කරන් යන්න දිගුකාලින සැලසුම් ලංකාවේ නෑ හදපු ඒවත් හමස් මලුවල ඔබලා එන එන ඇමතිට ඔන සභාපතිට ඔන දේවල් කරනවා, ඒදා ඉදන්ම කිසිදු නිස්චිත ක්‍රමවේදයක් නොදිබිච්ච අපේ රටේ තරුණ තරුණියෝ System Change ඉල්ලුවම සමහරු උඩ බිම බලන්නේ ඒක නිසා, Change කරන්නත් System ඒකක් තියෙන්න ඒපැයි.
ඉතින් එදිනෙදා ටුවර්ස් වගෙ පෙළපාලියක් යනකොට උද්ගෝෂනයක් ඒනකොට වැඩ වර්ජන ඒහෙම දකින කොට පට් ගාලා පාලකයෝ කලේ

“ආ මෙහෙ එන්න මෙහෙ එන්න ආ මේක ගන්න බොරුවටනේ කලබල වෙන්නෙ කියලා”

වගා ණය, වන්දි, සහනාදාර, පඩි වැඩිකිරීම් කරලා අපේම බදු සල්ලි එයාලගේ වගේ අපිටම බෙදුවා බෙදපු බෙදිල්ලේ තරම කියන්නේ දැන් රට බංකොලොත් ලෝකෙන් ගත්ත ණය ගෙවාගන්නේ බැරුව ඒහෙට මෙහෙට ඇඹරි ඇඹරි IMF ඒක පස්සෙන් ලෝකබැංකුව පස්සෙනුයි යන්න වෙලා.

දැන් අර ඉස්සර හරක්ට පුන්නක්කු බෙදන්නා වගේ බෙදන්න සල්ලිත් නෑ ණය ගන්න විදියකුත් නෑ අනික කෘෂිකර්මාන්තය ගැන ගත්ත මෝඩ තීරන නිසා වැඩේ තවත් අල වෙලා උග්‍ර ආහාර අර්බුදයකට මූණදෙන්න වෙලා මහ බැංකුවට අනුව අගෝස්තු මාසේ ආහාර මත උද්දමනය 84% පසු කරලා වාර්තා දත්ත දිහා බල බල ඉන්න දෙයක් නෑ නේ කඩේට ගියාම අපිට තාරුකා පාත්වෙන ගානට බඩුමිල නැගලා කියලා හොදටම පේනවනේ.

ආපහු පරණ ප්‍රශ්ණ ටිකම ඇවිත් ගොවි ණය, පෝර නෑ ,කෘෂි රසායන අධික මිලයි ,බඩුමිල , ප්‍රවාහනය අධික මිලයි,තෙල් නෑ , වී මිල අඩුයි වගේ පරණ තැටියම ආපහු ඇහෙනවා හැබැයි මේපාර ගිය පාරවල් වල වගේ

“මා වැනි දිලින්දා වර වර ලගට කැන්දා දුක් සැප කිමන්දා අසන නිරිදෝ “

ලොවෙත් නැති වෙලා ලොවි ගහෙත් නැතිවෙලා තියෙන්නේ, නිරින්දෝ තෙල් හොය හොය ණය හොය හොය ආධාර හොය හොයා ලෝක වටේ දුවනවා හුරේ තියං ,
නිසි කළමණාකරනයක් ක්‍රමවේදයක් නැති වෙච්ච නිසා කොරෝනා කියන මහා රූස්ස ගහනේ වැටිච්ච අපිට උද්දමනය කියන ගොනා බිමදාගෙන ඇනගෙන ඇනගෙන යනවා අපිට කරන්න කිසිම දෙයක් නෑ.

ගොවියට ඉතින් දැන් වෙන්නේ මඩෙන් ගොට එන්න එයාගේ ලමයින් නං කවදාවත් කුඹුරක් දිහා ඇහැක් ඇරලා බලන එකක් නම් නෑ.මේකෙන් වෙන්නේ අපේ වී නිෂ්පාදනය ඇතුළු ආහාර නිෂ්පාදනය අඩාල වෙන එක, දැනටත් හාල් මිල දරන්න බැරි ගණන් වලට ඉහල ගිහිං ඉවරයි කළුකඩ ඇති වෙලා මොල් මාෆියාවක් ගැන කතාකරනවා ,පෞද්ගලික ව්‍යාපාරිකයව පතුරු ගහනවා හූරං කනවා කියලා ඒ තත්වෙට පරිසරේ හදපු අය සුදු රෙද්දෙන් මූණ වහං තාමත් පරණ සෙල්ලම් ටික ඒ විදයටම කරනවා ඒයාලට මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න පුංචිම හරි උවමනාවක් තියනවා කියලනං පෙන්නෙ නෑ.

තමන්ගේ ප්‍රධාන ආහාරය නිස්චිත මිලකට ප්‍රමාණවත්ව සපය ගන්න බැරි රටක ආර්ථිකයක් ගැන කතාකරලා වැඩක් නෑ ,ගොවියා රජ කරවන්න කලින් කකුල් දෙකෙන් ස්වයංව නැගිට්ටවන්න ක්‍රමයක් හදාගන්න ඔනේ
හැමදාම පිනට කන ජාතියක ඉරනම අති භයානකයි, ඒ ෆිල්ම් එකේ ට්‍රේල එක තමා අපි මේ දකින්නේ අපිට පිනට කන්න පුරුදු කරපු අය බුරුතු පිටින් ලමා ලපටිත් අරං යන්න යාවි එයාලගෙ රටවලට අන්තිම අපිට ඉතුරුවෙන්නේ හපකරලා දාපු රොඩ්ඩක් විතරයි.

හැමදාම උනේ කුඹුර මඩටම යට වෙච්ච එකයි ඒ මඩෙන් ගොවියට ගොඩවෙන්න බැරිවෙච්ච එකයි ව්තරයි ,කුඹුර වෙළඳපොළත් එක්ක සම්බන්ද වෙන්න ඕන. එහෙම වුණාම ඔය ඔක්කොම වැඩ කරනවා. මෙතන තියන ලොකුම ප්‍රශ්ණය ඇවිල්ලා කුඹුර දළු දාලා නිල්ල ගහන වෙළදපොළක් වෙන්නෙ නැතිකම. ඒක නිකංම නිකං සහනාධාර දෙන මුඩ් බිමක් වගේ. ගොවි බිම් වල අයිතිය ගොවින්ට දෙන්න ඔනේ නැත්තං කවදාවත් මේ ප්‍රශ්න වලට විසදුමක් නම් ලැබෙන්නෑ ගොවිතැන් කරන්න දිරිමත් කරනවා වෙනුවට අපි හැමදාම කලේ බාදක දාපු එක ඒ බාදක නැති කරලා නීතිමය අයිතිය ගොවියට ලබා දෙන්න ඔනේ. අන්න එතකොට කුඹුර ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා එතෙකාට තමා වෙළදපලට සම්බන්දවෙලා පද්දතියක් විදියට දුවන්න පටන්ගන්නෙ.

ඒ වගේම සෑම වසරකට අපි වෙළදපලට නිශ්පාදනය කරන බෝගවලට නිසි සැලැස්මකට ක්‍රමෙව්දයක් යටතේ තොග කල්තියාගන්නෙ කොහාමද ආරක්ශිත තොග කොච්චරක් ඔනෙද ප්‍රවාහනයේදි ගබඩා කිරිමේදි සිදුවෙන හානිය අවමකරගන්න නවීන ක්‍රම මොනවද, ප්‍රවාහන විදම් අඩු කරන්න ජාලගත ක්‍රමයක් හදන්න ඔනේ ඒකෙන් භාණ්ඩ මිල අඩුවෙන් තියාගන්න පුළුවන් ඒතකොට තමා වෙළද පල ප්‍රසාරනය වෙන්නේ වැඩි ඉල්ලුමක් ඇති වෙන්නේ ඒ වගේම වැඩි ආදායමකුත් එන්නෙ.

අද ලෝකය ඩිජිටල් වෙලා එත් අපේ දත්ත තියෙන්නෙ අමාත්‍යංශවල පුස්කාපු අල්මාරි අස්සෙ ඒ අල්මාරි අස්සේ තියන දත්ත එලියට අරං ඩිජිටල් දත්ත ගබඩාවක් නිර්මානය කරලා දත්ත මත පදනම් කරගත් තීන්දු තීරන ගන්න ක්‍රමවේදයක් හා ඒවා යාවත්කාලීන කරන විදියකුත් අපි හදාගන්න ඔනේ, අපිට ඉදිරියට යන්න නම් දිගුකාලින වැඩපිලිවලක් හා ප්‍රායෝගික ක්‍රමයක් අත්‍යාවශයි නැත්තං රජකරවන්නවත් ගොවියො ගෙන්න වෙන්නෙ චීනෙන් හරි ඉන්දියාවෙන් හරි තමයි.

ජනත් පෙරේරා
Janath Perera

2022.10.16