අවුරුදු 12ක් තිස්සේ රු.බිලි.282 පාඩු ලබපු ශ්‍රී ලංකන් ගුවන් සේවය

ලංකාවේ ආර්ථිකය ඉතාමත් තීරණාත්මක මොහොතක ඉන්න කාලයක, තව එක වැදගත්  කරුණක් ගැන ඔයගොල්ලොන්ගේ අවධානය යොමු කරන්න ඕනේ කියලා හිතුණා. ඒ තමයි ශ්‍රී ලංකන්  ගුවන් සේවය. මගේ කලින් articles වල ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන සඳහන් කරලා තිබුනත්, වර්තමානයේ තියෙන කථිකාවතත් එක්ක ඒ ගැන විශ්ලේෂණයක් කරලා, මේ article එක කියවන ඔයගොල්ලොන්ට අපක්ෂපාති අදහසක් ලබා දෙන්න ඕනේ කියලා හිතුවා.

වර්තමානයේ ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන ගොඩක් දෙනෙක්ගේ අවධානය යොමු වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව වසින් රටේ ඉදිරි බාහිර ණය ගෙවීම් අත්හිටුවනවා  කියන කාලෙක, ශ්‍රී ලංකන් ගුවන් සේවය, ගුවන් යානා 21ක් අලුතින් lease කරන්න අවශ්‍ය procument කැදවිමත්  සමඟයි.  

ව්‍යාපාරයක් විතරක් නෙමෙයි ගෙදරක් උනත් දිගටම පවත්වාගෙන යන්න අදායම්, වියදම් හා ණය සම්බන්ධයෙන් අදහසක් ලබා ගන්න විශ්ලේෂණයක් කරලා බලනවා. ඉතින් දැන් අපි ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කරන්න ඕනේ.

අපි මුලින්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලාභ හා අලාභ දිහා බලමු. මුදල් අමාත්‍යංශයෙන් නිකුත් කරලා තියෙන දත්ත වලට අනුව 2021 ජුනි මාසය වෙනකොට මේ ආයතනය ලබලා තියෙන පාඩුව රු.බිලි. 25ක්. එක අවුරුද්දක් ආයතනයක් පාඩු ලැබුවා කියලා අපිට බැනේ ඉතින් හරියකට නිගමනයකට එන්න. ඒ නිසා අපි 2006 ඉදන් මේ දත්ත අරගෙන බලමු . 

මේ දක්වලා තියෙන ප්‍රස්ථාරයට අනුව 2009 පස්සේ ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභ ලබලම නැහැ. 2009 ඉදලා 2021 ජුලි මාසේ වෙනකම්ම දරපු මුළු පාඩුව රු.බිලි.282 වෙනවා. හැබැයි මෙතනදී විශේෂයෙන් දක්වන්න ඕනේ දෙයක් තමයි 2009 වෙනකන් Sri Lankan Air Lines වල 43.63% කොටස් අයිති වෙලා තිබ්බේ Emirates ගුවන් සමාගමටයි. 2009 පස්සේ ශ්‍රී ලංකාවේ රජය තමයි සම්පුර්ණයෙන් Sri Lankan Air Lines ක්‍රියාත්මක කලේ. එතකොට ඇත්තටම බැලුවොත් ශ්‍රී ලංකා රජය ගුවන් සේවය ලබා ගත්ත දවසේ ඉදන් ලාභ ලබලා නැහැ. දැන් Emirates සමාගම Sri Lankan Air Lines කරගෙන යද්දිත් පාඩු ලැබුවා, හැබැයි ඒගොල්ලෝ ලාභත් ලැබුවා. සමහර වාර්තා වලට අනුව Emirates සමාගම 2001 වර්ශයේදී කටුනායක ගුවන්තොටුපොළට එල්ල කල ප්‍රහාරයෙන් ලැබුනු රක්ෂණ වන්දිය නිසා, Emirates සමාගම යටතේ Sri Lankan ගුවන් සේවය ලාභ ලැබූ බව සඳහන් වෙනවා. රාජ්‍ය ව්‍යාපාරයක් පාඩු ලැබීම සහ පුද්ගලික ව්‍යාපාරයක් පාඩු ලැබීම අතර විශාල වෙනසක් තියෙනවා. පුද්ගලික ව්‍යාපාරයක් පාඩු ලැබුවම ඒ පාඩුව දරන්නේ ඒ ආයතනයයි, හැබැයි රජයේ ව්‍යාපාර පාඩු ලැබුවම ඒ බර පැටවෙන්නේ කවදාක්වත් ගුවන් යානයක ගමන් නොකරපු මහජනයා මතයි.

දැන් අපි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ණය සම්බන්ධයෙන් අදහසක් ගමු. පහත දක්වලා තියෙන ප්‍රස්ථාරයෙන් පෙන්වලා තියෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවය රජයේ ඇපකර මත ලබාගෙන ඇති ණය (Public Guaranteed Debt). මේ රජයේ ඇපකර මත ලබාගෙන ඇති ණය කියන එකෙන් අදහස් වෙන්නේ මොකක් හරි හේතුවක් මත ගුවන් සමාගමට ණය ගෙවා ගැනීමට නොහැකි වුනොත් රජයෙන් ඒ ණය පියවන්න ඇප වෙන බවයි. මහ බැංකු වාර්තාව අනුව 2021 වෙනකොට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රජයේ ඇපකර මත ලබාගෙන ඇති ණය ප්‍රමාණය රු.බිලි 60 ක්. ඒ කියන්නේ අවුරුද්දක් ඇතුලත (2020-2021) රජයේ ඇපකර මත ලබාගෙන ඇති ණය ආසන්න වශයෙන් රු.බිලි.17කින් ඉහළ ගිහින් තියෙනවා. ඒ වගේම අවුරුද්දෙන් අවුරුද්ද ණය වැඩි වෙලා තියෙන ආකාරයත් දකින්න පුළුවන්. 

ශ්‍රී ලංකන් ගුවන් සේවය රාජ්‍ය සතු ව්‍යාපාරයක්. ඒ කියන්නේ මේ ආයතනය නඩත්තු වෙන්නේ මහජනතාවගේ බදු මුදල් වලින්. එතකොට මේ ආයතනය ලබන හැම පාඩුවක්ම දරන්න වෙන්නේ මේ රටේ මිනිස්සුන්ටයි. අවුරුදු 12ක් තිස්සේ පාඩු ලැබුවත්, මේ ආයතනය ක්‍රියාත්මක වුණු නිසා මේ තුල සිදු වුනු හැම වියදමක්ම ඒ කියන්නේ වැටුප් වල වියදම් ඉදන් නඩත්තු වියදම් පවා දැරුවේ රජයේ භාණ්ඩාගාරයයි. සාරාංශයක් විදියට ගත්තොත් ශ්‍රී ලංකන් ගුවන් සේවය පුද්ගලික ව්‍යාපාරයක් වුනානම් මේ වෙනකොටත් වහලා.

දැන් මේ අලුතින් lease කරන්න හදන ගුවන් යානා 21 සම්බන්ධයෙන් ගත්තොත්, ලංකාවේ බෙහෙත් හිඟ, තෙල් හිඟ, ගෑස් හිඟ ඒ කියන්නේ මිනිසුන්ගේ මුලික අවශ්‍යතා සපුරා ගන්න බැරි කාලෙක පාඩු ලබන ආයතනයක් ඩොලර් වියදම් කරලා ගුවන් යානා ලබා ගැනීම හරිද කියලා එක පැත්තකින් හිතන්න වෙනවා. අනෙක් පැත්තෙන් ගත්තොත් මේ ගුවන් යානා lease නොකෙරුවොත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන් යානා නැති වෙනවා. එතනත් එතකොට තව පාඩු ලැබීමක්. 

අවුරුදු 12ක් තිස්සේ පාඩු ලබන ආයතනයකට ඩොලර් මිලියන ගණනක් ආයෝජනය කරනවාද නැද්ද යන්න තීරණය කිරීම ඔබට බාරයි. 

2022.05.05

තත්සරණි සිරිවර්ධන

ආර්ථිකය RESET කරන සප්තවිධ ප්‍රතිපත්තිය

ආර්ථිකය RESET කරන සප්තවිධ ප්‍රතිපත්තිය 

  1. දුප්පත් මිනිස්සුන්ට ආර්ථිකමය වශයෙන් ආවරණයක් ලැබෙන, වෙළඳපොළ මිල වෙනස්වීම අනුව වෙනස්වන, මූලික අවශ්‍යතා සඳ​හා සමාජයේ දුප්පත්කම වැඩිම පිරිසට සෘජුව බැංකුවට මුදල් යන ක‍්‍රමයක්

  2. පාඩු ලබන රාජ්‍ය ආයතන සහ රාජ්‍ය සේවය ප‍්‍රතිව්‍යූහගත ​කිරීම. රජයේ වි​යදම් අඩු කිරීම සහ කාර්යක්ෂමතාවය වැඩි කිරී​ම

  3. විනිමය අනුපාත සහ ශ‍්‍රී ලංකා ​මහ බැංකුව අනුගමනය කරන මූල්‍ය ප‍්‍රතිපත්ති පිළිබදව සහ ස්වාධීනත්වය පිළිබදව ප‍්‍රතිපත්තිමය ප‍්‍රතිසංස්කර​ණ කිරී​ම

  4. බදු ක‍්‍රමයේ ප‍්‍රතිසංකරණ සිදුකිරීම. පහසුවෙන් සහ කාර්යක්ෂම​ව එකතු කළ හැකි බදු වෙත වැඩි අවධානය යොමු කිරීම ස​හ බදු පදනම පු​ළුල් කිරී​ම. තීරු බදු ප‍්‍රධාන කාණ්ඩ 3ක් යටතට ගෙන එමින් සරල තීරු බදු ක‍්‍රමයක් හරහා වැඩි ආදායමක් රජය ලබා ගැනීම සහ දේශීය නිෂ්පාදන වල තරඟකාරීත්වය වැඩි කිරී​ම.

  5. විදේශ සහ ජාත්‍යන්තර වෙළදාම සමඟ එක්වීම​ට ස​හ ගෝලීය නිෂ්පාදන දාම සහ ජාල හරහා සම්බන්ධ වී​ම, විදේශ ආයෝජන මුල් කරගත් ආර්ථික ප‍්‍රතිව්‍යූහගත කිරීම.

  6. ව්‍යාපාර පහසුවෙන් කිරීමට අවශ්‍ය පරිසරය සැකසීම. ක්ෂුද්‍ර‍්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට ඇති මූල්‍ය, ප‍්‍රාග්ධන, බලපත‍්‍ර, ශ‍්‍රම සහ ඉඩම් වලට ඇති බාධාවන් සම්පූර්ණයෙන් ඉවත් කිරී​ම

  7. එම ප‍්‍රතිසංස්කරණ සමඟ ශ‍්‍රී ලංකාවේ ණය ප‍්‍රමාණය පිළිබදව සහ ණය ගෙවීමේ හැකියාව පිළිබදව අධ්‍යනයකින් පසු ණය ප‍්‍රතිව්‍යූහගත කිරීම වෙත අවධානය යොමු කිරී​ම

ලංකාවේ ණය ස්ථාවර නැහැ (Unsustainable) - IMF

IMF කියන්නේ අපේ රටේ හරි හරියට කථා වෙන මාතෘකාවක්. දේශපාලන වේදිකාවේ විතරක් නෙමෙයි දැන් වෙද්දී ඔයගොල්ලොන්ගේ ගෙදර කෑම කන මේසෙත් කථා කරන මාතෘකාවක් වෙලා. කලින් දවස් වල ගොඩක් දෙනෙක් කතා කරන්න අකමැති මාතෘකාවක් වෙලා තිබ්බත් දැන් ගොඩක් දෙනෙක් කතා කරන්නේ මේ ගැන. ඉතින් මම හිතුවා මේ IMF එකෙන් නිකුත් කරපු වාර්තාව සම්බන්ධයෙන් ඔයගොල්ලොන්වත් දැනුවත් කරන්න. 

ගිය සිකුරාදා (25) IMF එකෙන් Articel - IV කියලා වාර්තාවක් නිකුත් කරලා තිබුණා. මේ report එක වාර්ෂිකව IMF හි සාමාජික රටවල් වල ආර්ථිකය විශ්ලේෂණය කරමින් ඉදිරිපත් කරන වාර්තාවයි. ඒ රටේ තියෙන ආර්ථික තත්ත්වය ගැන ඇගයීමක් කරලා, වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වය ගැනත්, තියෙන ආර්ථික අර්බුද වලින් ගොඩ එන්න ආර්ථිකයට සිදු කරන්න ඕනේ ප්‍රතිපත්තිමය වෙනස්කම් ගැනත් මේ වාර්තාවේ සඳහන් වෙනවා. 

දැන් මේ වාර්තාවේ දක්වලා තියෙන විදියට අපිට දකින්න පුළුවන් වැදගත්ම කාරණය තමයි, ඔවුන්ගේ විශ්ලේෂණයන්ට අනුව, ශ්‍රී ලංකවේ ණය පවත්වාගෙන යා නොහැකි (unsustainble) තත්ත්වය යටතේ වර්ගීකරණය කරලා තියෙනවා. නැත්තම් ණය ගෙවාගෙන යාම අපහසු බව තමයි මේකෙන් කියලා තියන්නේ. මේකෙන් අදහස් වෙන්නේ, අපිට ඊළඟ වසර කිහිපය තුළ (2023-2026) ගෙවන්න තියෙන ණය ගෙවීම අපහසු බවයි. ඒ නිසා මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සලකා බලන්න සිදු වෙනවා. 

දැන් තියෙන තත්ත්වයත් එක්ක බලද්දී  IMF එකට ගියා කියලා අපිට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න බැහැ . එහෙනන් ඉතින් අපි IMF එකට ගියපු වාර ගණනත් එක්ක (16 වතාවක්) බලද්දී ඉතින් අපි අද මෙතන නෙමයි ඉන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ අපි IMF එකට යන එක නෙමයි. ප්‍රශ්නේ තියෙන්නේ අපි ඒ ලබාගන්න වැඩසටහන හරියට අපේ රටේ ක්‍රියාත්මක නොකරන එකයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නිකන් ලෙඩ ඇදට වැටුණු, අන්තිම පණ අදින ලෙඩෙක් වගෙයි. IMF එකට ගියාම වෙන්නේ අර හොස්පිටල් එකේ ඉන්න ඩොක්ටර් රෝග ලක්ෂණ බලලා ලෙඩ හොද වෙන්න බෙහෙත් දෙනවා වගේ දෙයක්. එතකොට IMF එකෙන් යෝජනා කරලා තියෙන මේ ප්‍රතිසංස්කරණ ටික දොස්තර ලබලා දීලා තියෙන බෙහෙත් වගේ. ඔලුව උස්සන්න ඇති. ඒ උනත් දීර්ඝකාලීනව දුවන්න මදි. මොකද බෙහෙත් ටික මගකදී නවත්තලා දාලා පරණ තාලෙට වැඩ කලොත් වෙන්නේ අපි කලින් ඉදපු තත්ත්වෙටම වැටෙනවා. ඒ වගේම තමයි අපේ රටත්. IMF එක යෝජනා කරන්න පුළුවන් නමුත් ඒවා ක්‍රියාත්මක කරන්න ඕනේ අපිමයි. ඒ යෝජනා අපිට හරියට යොදන්නත් පුළුවන්, බාගෙට යොදන්නත් පුළුවන්. 

අපි IMF එකට ගිය පමණින් අපේ ප්‍රශ්නේ ඉවර වෙන්නේ නැහැ. අපිට ඉක්මනින් සුව වෙන්න පොඩි රුකුලක් දෙන එක විතරයි සිද්ද වෙන්නේ. ඒ නිසා හිතන්න එපා දැන් ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලා. හැබයි අපි අපේ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීමට පටන් ගැනීම, මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න තියෙන නිවැරදි පියවරක්. මේ අර්බුදයෙන් ගොඩ එන්න අපි ආර්ථික ප්‍රතිසංස්කරණ තමයි කරන්න ඕන. එහෙම වුණොත් විතරයි අපිට මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න පුලළුවන්.

IMF එකෙන් Articel - IV වාර්තාවේ දක්වලා තියෙන විදියට අපිට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න යෝජනා කරලා තියෙන ප්‍රතිසංස්කරණ පහත දක්වලා තියෙනවා. 

  • අපේ බදු වලින් ලැබෙන ආදායම වැඩි කර ගැනීමටත්, අපේ බදු පදනම ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීම.

  • සහනදායි මිලකට ලබාදෙන බල ශක්ති සේවාත්, පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර යලි ප්‍රතිව්‍යුහගත කිරීම.

  •  ලංකාවේ ණය යලිත් නැවත ගෙවීමේදී තිරසාර ලෙස ගෙවීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීම.

  • මුල්‍ය ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීමටත් ඒ තුළින් ඉහළ යමින් පවතින උද්ධමනය (inflation) පාලනය කිරීම.

  • සමාජ ආරක්ෂණ ජාල ශක්තිමත් කිරීම හා එයින් ආවරණය කරන පදනම විශාල කිරීම.

  • ආර්ථික වර්ධනය සීඝ්‍ර කිරීම සදහා කාන්තා ශ්‍රම බලකා දායකත්වය ඉහළ නැංවීම, තරුණ විරැකියාව අඩු කිරීම, වෙළදාමේ ලිහිල්කරණය හා දුෂණය අවම කිරීම.

තත්සරණී සිරිවර්ධන 

(2021.04.01) 

හිඟන්නාගෙත් pocket එකට ගහන මුදල් අච්චු ගැහීම

මේ දවස්වල social media වල නිරන්තරයෙන් දකින්න පුළුවන් posts තමයි දවසකට මෙච්චර ප්‍රමාණයක් මහ බැංකුව විසින් මුදල් අච්චු ගහලා තියෙනවා කියලා. මෙහෙම මුද්‍රණය කරා කිව්වට කවුරුත් කතා කරන්නේ නැහැ ඇයි මෙච්චර සල්ලි ප්‍රමාණයක් මුද්‍රණය කරන්නේ කියලා. ඉතින් මේ ලිපියේ අරමුණ තමයි සල්ලි අච්චු ගැසීම හා ඒකෙන් අපේ pocket එකට වෙන බලපෑම තේරුම් කරන එක. 

අපි මුලින්ම බලන්න ඕනේ ඇයි ලංකාව මුදල් අච්චු ගහන්නේ කියලා. අපි ගෙදරක අදායම් වියදම් ගැන බලනවා වගේම, රටක් දුවද්දීත් ඒ රටේ අදායම් වියදම් ගැන බලන්න ඕනේ. මොකද රටකට අදායම් වලට වඩා වියදම් වැඩිනම් එතන අයවැය හිඟයක් පවතිනවා. ලංකාවේ අයවැය හිඟය දැන් අවුරුදු ගානකම ඉදන් තියෙන එකක්. 2020 අවුරුද්දේ අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදියට 11.1%, මේකේ රුපියල් වල වටිනාකම වෙන්නේ රු.ට්‍රිලි. 1.6ක්. එතකොට සාමාන්‍යයෙන් නම් ගෙදරක වියදම් වැඩි වෙලා අදායම අඩු වෙද්දී ආයේ පඩි හම්බ්වෙනකල් ඉතුරු සති ටික දුවා ගන්න එක්කෝ loan එකක් ගන්නවා එහෙම නැත්තම් කාගෙන් හරි ඉල්ල ගන්නවා. හැබැයි ලංකාවේ අයවැය හිඟය එන්නේ රු.මිලි වලින් නිසා හැමදාම loan ගගහා කරන්න අමාරුයි. එතකොට ලංකාව විතරක් නෙමෙයි බොහෝ රටවල් කරන්නේ ඒ අයවැය හිඟය පියවන්න මහ බැංකුවෙන් මුදල් අච්චු ගහනවා. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ප්‍රකාශ කරලා තියෙන විදියට රු.ට්‍රිලි. 1.4 ක් විතර 2021 වර්ෂයේදී මුදල් අච්චු ගහලා තියෙනවා කියලා. 

දැන් අපි බලන්න ඕනේ මුදල් අච්චු ගැහුවම එකෙන් උද්ධමනයට  වන බලපෑම මොකද්ද කියලා. සාමාන්‍යයෙන්  ආර්ථික විද්‍යාඥයින් දක්වන අදහසක් තමයි රටක් මුදල් අච්චු ගහන්න ඕනේ ඒ රටේ ආර්ථික වර්ධන වේගයට අනුකූලවයි. උද්ධමනය තුලින් සිද්ද වෙන්නේ භාණ්ඩ වල මිල ගනන් ඉහළ  යනවා. 2020 වර්ෂය සදහා ආර්ථික වර්ධන වේගය -3.6%. එතකොට දැන් පේනවා ඕයගොල්ලෝන්ට මෙහෙම මුදල් අච්චු ගැහුවම අපේ ආර්ථිකයේ මුදල් සැපයුම වැඩි වෙනවා, හැබැයි අපේ ආර්ථිකය විශාල වෙන්නේ නැහැ, (ඒ කියන්නේ අපේ නිෂ්පාදන ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ). එතකොට වෙන්නේ පොඩි භාණ්ඩ ප්‍රමාණයක් පිටි පස්සේ විශාල මුදල් ප්‍රමාණයක් හබා යනවා. එතොට වෙන්නේ මේ භාණ්ඩ වල මිල ගණන් ඉහළ යන එක තමයි. හැබැයි ඉතින් ප්‍රශ්නේ වෙන්නේ මේ මිල වැඩි වෙන හැම වාරයක් තිස්සෙම ඔයගොල්ලොන්ගේ පඩි වැඩි වෙන්නේ නැහැනේ, ඉතින් උද්ධමනය වැඩි වෙනවා කියන්නේ ඔයගොල්ලොන්ගේ පඩියෙන් මිලදී ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය අඩු වෙන එකයි. 

ගොඩක් අය හිතන් ඉන්නවා දැන් මේ අයවැය හිගය අඩු කරන්න imports අඩු කරාම හරි කියලා. අපි ඔතනින් තමයි වරද්ද ගන්නේ, මොකද අපි අපේ ආනයන අඩු කරපු ගමන් සිද්ද වෙන්නේ අපේ අපනයනත්(export) අඩු වෙන එකයි. මේක කවුරුත් පිළිගන්න කැමති දෙයක් නෙමෙයි. අපි කියන්නේ අපේ අපනයන අඩු වෙන්නේ, අපේ imports වල වැඩි හරියක්ම තියන්නේ අපි අපේ අපනයන වලට යොදා ගන්න දේවල්. 2020 මහ බැංකු වාර්තාව අනුව 56.6% අපි ආනයන(import) කරලා තියන්නේ අන්තර් භාණ්ඩ (උදා: තෙල්, රෙදි පිළි උපාංග, පොහොර etc). 

අනිත් කාරණාව තමයි අපේ මේ භාණ්ඩ වල මිල වැඩි වෙන්නේ අපේ විනිමය අනුපාතය ඉහළ යන නිසා කියන එක තමයි හැමෝගෙම අදහස. අපේ විනිමය අනුපාතය ඉහළ යන්නේ රජය විසින් අනුගමනය කරපු වැරදි ප්‍රතිපත්තියක් නිසා. ඔවුන් විදේශ විනිමය අනුපාතය  එක මට්ටමේ තියාගන්න එයට පාලන මිලක් නියම කලා, එතකොට තමයි අපි කිවුවේ රු.205 ඩොලර් නැති උනාට රු.260 ඩොලර් තියෙනවා කියලා. එතකොට මේ ප්‍රශ්නේ විසදන්න import අඩු කරලා හරි යන්නේ නැහැ. අපි අවුරුදු ගානක් ඉඳන්ම Imports අඩු කරපු එක තමයි කරේ. ඒක විසඳුමනම් ඉතිං ඇයි තාම මෙච්චර imports අඩු කරලත් අපිට විනිමය අර්බුදයක් ඇති වුණේ. ඒක නිකන් අපි අපේම ඇහැට ඇන ගන්නවා වගේ වැඩක්. අන්තිමට අපිට අපනයන වලින් එන ඩොලර් ප්‍රමාණයවත් රටට එන්නේ නැහැ.

වර්තමානයේ පාවිච්චි කරන නූතන මුල්‍ය නියාය, ඒ නියායෙන් කියන්නේ රටකට අය වැය පරතරය පියවීමට කොච්චර මුදල් අච්චු ගැහුවත් කමක් නැහැ කියලා. මේ නියාය ඇමරිකාව, ජපානය වගේ ස්ථාවර මුදල් එකක වලට වැඩ කලාට ලංකාව වගේ කුඩා ආර්ථිකයන් තියෙන රටවලට වැඩ කරන්නේ නැහැ. 

අන්තිමට ඉතින් මහ බැංකුව අච්චු ගහන මුදල් ප්‍රමාණය වැඩි  වෙන්න  ඔයාගෙයි මගෙයි pocket එකෙන් යන ගාන තමයි වැඩි වෙන්නේ. 

තත්සරණී සිරිවර්ධන 

(2021.03.22) 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රු.බිලි. 707 ණයයි. රු.බිලි. 61 පාඩු ලබනවා.

ලංකාවේ මේ තියෙන තෙල් ප්‍රශ්නය ගැන දැන් ගොඩක් දෙනෙක් කතා කරනවා. මොකද දැන් බලන බලන petrol shed එකක පෝලිම. සමහරක් තැන් වල පෙට්‍රල් ඇත්තෙත් නැහැ.දැන් මේ ඇතිවෙලා තියෙන තත්ත්වය තේරුම් ගන්න නම් අපේ රටේ පසුබිම මුලින්ම තේරුම් ගන්න ඕනේ. 

2020 වර්ෂයේදී ලංකාවට ආනයන කරපු වැඩිම (තනි) ආනයනය වුනේ තෙල් (gross fuel). මේක මුලු ආනයන වල ප්‍රතිශතයක් විදියට ගත්තෝත් 15.8% , මුලු වටිනාකම ඇ.ඩො.බිලි 2.5 වෙනවා. ලංකාවට තෙල් සැපයුම් කරන්නේ ආයතන දෙකක් තුලින් පමණයි. ඒ ලංකා ඉන්දියන් ඔයිල් සංස්ථාව (IOC) හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CEYPETCO). දැන් මේ ආයතන දෙක ගත්තම තෙල් මිල ගණන් වල පැහැදිලි වෙනසක් තියෙනවා. IOC එකේ පෙට්‍රල් ලීටරයක මිල රු.204 වෙනවා වගේම ඩීසල් ලීටරයක මිල රු.139 වෙනවා. ඛනිජ තෙල්  සංස්ථාව ගත්තම පෙට්‍රල් (92) ලීටරයක මිල රු.177  වගේම ඩීසල් ලීටරයක මිල රු.121 වෙනවා.  

මේ තෙල් අර්බුදය ඇතිවෙන්න ප්‍රධාන හේතු ගණනාවක් තිතියෙනවා. ඒවා අපිට එකින් එක විග්‍රහ කරලා දක්වන්න පුළුවන්. 

මුලින්ම තියෙන ප්‍රශ්නය තමයි ලංකා ඛනිජ තෙල්  සංස්ථාව තෙල් මිනිසුන්ට ලබා දෙන්නේ සහන මිලකට. අපි අපේ අසල්වාසීන් වෙන රටවල් (ඉන්දියාව, බංගලාදේශය,පකිස්ථානය හා නේපාලය) එක්ක තෙල් මිල ගණන් සන්සන්ධනය කරලා බැලුවම, අපිට පෙන්නේ මේ කලාපයේ අඩුම තෙල් මිලක් නියම කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ. මෙහෙම වෙන්න හේතුව තමයි මේ තෙල් මිල ලෝක වෙළදපොලේ තියෙන තෙල් මිල හා යාවෙන්නේ නැති එකයි. ඉතින් මෙහෙම ගෙන්නන මිලට වඩා අඩු මිලකට තෙල් විකුණනකොට පාඩු ලබන එක අහන්න දෙයක් ද? ලංකාවේ තෙල් මිල නියම කිරීමේ සුත්‍රයට අනුව අපි පෙට්‍රල් ලිටරයකින් රු.18.37 පාඩු ලබනවා වගේම ඩීසල් ලීටරයකින් රු.46.80 පාඩු ලබනවා. මේක සුළු පාඩුවක් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නමුත් අපි තෙල් ගෙන්නනේ මෙට්‍රික් ටොන් වලින්. එතකොට හිතා ගන්න පුළුවන් කොච්චර පාඩුවක්ද කියලා.  

ඉතින් මෙහෙම සහන මිලකට තෙල් ලබා දුන්නේ අද ඊයෙක නෙමෙයි. මේක දැන් අවුරදු ගානක ඉදන් වෙනවා. එතකොට මේ ඇතිවෙන පාඩු හැම එකක්ම දරාගන්න වෙන්නේ රජයට. 2021 ජුලි 31 වෙද්දී ලංකා ඛනිජ තෙල්  සංස්ථාව දරන පාඩුව රු.බිලි. 61 ක්.හැබැයි 2021ට ලංකා ඉන්දියන් ඔයිල් සංස්ථාව (IOC) එක ලබපු ලාභය රු.මිලි. 988. එතකොට මේ ලංකා ඛනිජ තෙල්  සංස්ථාව ලබන පාඩු හැම එකක්ම දරන්න වෙන්නේ රජයේ බැංකු වලට. මුදල් අමාත්‍යංශයට අනුව 2021 ජුලි 31 වෙද්දී ලංකා ඛනිජ තෙල්  සංස්ථාව රාජ්‍ය බැංකු වන මහජන බැංකුව, ලංකා බැංකුව ගෙවිය යුතු ණය ප්‍රාමණය රු.බිලි 707 ක්.

මේ තෙල් අරබුදයට තවත් හේතුවක් වෙලා තියෙන්නේ ලංකාවේ තෙල් වෙළදපොලේ තියෙන ද්වී අධිකාරිය. ඒ කියන්නේ මේ වෙළදපොලේ  ඉන්නේ ප්‍රධාන තරගකරුවන්   දෙන්නෙක් විතරයි. අපි හැමෝම දන්න විදියට මේවගේ වෙළදපොලක් තියෙනකොට සම්පුර්ණ ඒ වෙළදපොළ හසුර වන්නේ මේ ආයතන, ඒවගේම ඒගොල්ලෝන්ට තෙල් වල මිලටත් ලොකු බලපෑමක් කරන්න පුළුවන්. 

මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න නම් එක විදියකට මේ වෙළදපොළ විවෘත කරන්න ඕනේ. උදාහරණයක් විදියට සිංගප්පුරුවේ තෙල් වෙළදපොලේ තරගකරුවන්  පස්දෙනෙක් ඉන්නවා. ෂෙල් (shell), කැල්ටෙක්ස් (caltex), SPC මේ අතර වෙනවා. එහෙම උනොත් ගොඩක් තරගකරුවන්  වෙළදපොලේ ඉන්න නිසා මිලට වැඩි බලපෑමක් කරන්න මේ ආයතන වලට බැරි වෙනවා. ඒවගේම තමයි තෙල් හිඟයක් ඇති වෙන්නෙත් නැහැ. එතකොට ඔයගොල්ලොන්ට තෙල් ගහන්න පෝලිම් වල ඉන්න ඕනෙත් නැහැ. 

අපිට අපේ තෙල් වෙළදපොල විවෘත කරන්න බැරි නම්, අවමවශයෙන්  අපේ තෙල් මිල වෙළදපොළ මිලට හරියන්න හදන්න ඕනේ. ඒ කියන්නේ අපි මිල සුත්‍රයක් හදුන්වා දෙන්න ඕනේ. ලෝක මිල ඉහල යද්දි අපේ මිල ඉහල යන්නත්, ලෝකේ මිල පහල යද්දී අපේ මිල පහල යන්නත්. එතකොට ඛනිජ තෙල්  සංස්ථාව පාඩු ලබන්නෙත් නැහැ, මෙච්චර ණය වෙන්නෙත් නැහැ. 

ගොඩක් දෙනක් මේ තෙල් මිල ඉහල යන එකට විරුද්දයි. ලෝක බැංකුවෙන් දක්වලා තියෙන විදියට දිළිඳු නොවන ජනතාව තමයි ඉන්ධන සහ විදුලිය විශාලම ලෙස පාරිභෝජනය කරන්නේ. සමාජයේ ඉහළ ස්ථරයේ 30%ක් තමයි  ඉන්ධනවලින් 70%වක්ම  පරිභෝජනය කරන්නේ. ඉතින් එහෙම බලනකොට ඇයි අපේ රජය ණය වෙලා සල්ලි තියෙන මිනිස්සුන්ටම  සහන ලබදෙන්නේ. ඇත්තටම බලාගෙන යද්දී තෙල් වල සහනදායි මිලෙන් වාසි වැඩිහරියක් ලබලා තියෙන්නේ සල්ලි තියෙන මිනිස්සු. 

හැබැයි තවත් කෙනෙක්ට කියන්න පුළුවන් මේ තෙල් මිල ඉහළ යන එක පොදු ප්‍රවාහන අංශයට (දුම්රිය ගාස්තු, බස් ගාස්තු), වතුර බිල් වලට වගේම light බිල් එකටත් බලපානවා කියලා. ඔව් ඒක ඇත්ත. අපි කියන්නේ ඒ ආර්ථිකමය වශයෙන් පහත් ස්ථරයේ ඉන්න ජනතාවට cash transfer system එකකට මුදල් ලබා දෙන්න. එතකොට මේකෙන් වෙන්න ඇති නැති හැමෝටම සහනාදාර දෙනවට වඩා නැති කොටසට අවධානය යොමු කරලා ඔවුන්ට සහනාධාර දෙන එකයි.  

මේ දේවල් කරන්න ලේසි නැහැ. හැබැයි අපි මේ ඉන්න තත්ත්වය උඩ මේක තමයි අපිට වැඩි ප්‍රශ්න ඇති නොවී කරන්න පුලුවන් ලේසිම දේ. අපිට මේ අර්බුදයෙන් ගොඩඑන්න නම් දීර්ග කාලීන වෙනස්කම් කරන්නම වෙනවා. තමන්ගේ පුද්ගලික වාසිය නොතකා රටක් විදියට අපි ප්‍රශ්නයට විසදුම් හොයන්න ඕනේ . මොකද මේ ප්‍රශ්න වලට තවකලික විසදුම් වැඩක් වෙන්නේ නැහැ. මේච්චර කල් කලේම මේ ප්‍රශ්න වලින් ලිස්සලා යෑම විතරයි. එකේ ප්‍රතිපල අපි දැන් අත්විදිනවා. මේ නිසා මේ තෙල් ප්‍රශ්නෙත් විසදගන්න නම් සදහන් කරපු විසදුම් වලට අකමැත්තෙන් හරි යන්නම වෙනවා. 

තත්සරණී සිරිවර්ධන 

(2021.03.03) 

කාන්තාවන් රැකියාවේදී ලිංගික හිංසනයට මුහුණදීම රටේ ආර්ථිකයට බලපාන්නේ කොහොමද?

බොහෝ දෙනා වැඩිපුර කතා නොකලත්, ලංකාවේ ශ්‍රම දායකත්වයට බලපාන ප්‍රධාන මාතෘකාවක් ගැන ලියන්න මම හිතුවා. ශ්‍රමය කියල කියන්නේ ආර්ථිකයක වැදගත්ම කොටසක්. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායනේ ඉතිං මූලික නිෂ්පාදන සා​ධක කියල අපි අ.පො.ස සාමාන්‍ය පෙළටත් ඉගෙන ගන්නේ. ඉතින් කාන්තා ශ්‍රම දායකත්වය අඩු වෙන්න බලපාන සාධක අතර තවත් එක සාධකයක් තමයි කාන්තාවන් රැකියාවේදී මුහුණ දෙන ලිංගික හිංසනය. ගොඩක් දෙනා අවධානය යොමු නොකලත්, මේකෙන් රටක ආර්ථිකයට වෙන බලපෑම ඉතා විශාලයි. 

අපි අපේ ශ්‍රම බලකායේ දායකත්වය මනින්න යොදාගන්න සංගුනකයක් තමයි, ශ්‍රම බලකා දායකත්ව අනුපාතය. මේ සංගුනකයෙන් අපිට අදහසක් ගන්න පුළුවන් අපේ රටේ කීදෙනෙක් රැකියාවක නිරතවෙනවද, හා රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙනවද කියලා. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව 2021 වසරේ 2 වන කාර්තුව වෙනකොට අපේ මුළු ශ්‍රම බලකා දායකත්වය 49.8%ක්. හැබැයි ලංකාවේ කාන්තා ශ්‍රම බලකා දායකත්වය 30.9% වෙද්දී, පුරුෂයන්ගේ ශ්‍රම බලකා දායකත්වය 71.1% වෙනවා.  

 ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව  2019 වෙද්දී වැඩ කරන වයසේ ජනගහනයෙන් 43.6% පිරිමි වෙද්දී 53.7% කාන්තාවන් වෙනවා. මේ දත්ත වලින් අපිට පේන්නේ ලංකාවේ  වැඩිහරියක් වැඩකරන වයසේ කාන්තාවන් හිටියට, එගොල්ලොන්ගෙන් අපේ ආර්ථිකයට ලැබෙන දායකත්වය හරිම අඩුයි. 

අපි මුලින්ම බලන්න ඕනේ මේ ලිංගික හිංසනය කියන්නේ මොකක්ද කියලා.  ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයට අනුව, සේවා ස්ථානයේ ඉන්න බලධාරියෙකු විසින් භාවිතා කරන වචන හෝ ක්‍රියාවන් තුළින් සිදුවන ලිංගික හිරිහැර මෙයට ඇතුලත් වෙනවා. ලංකාවේ නීතිය යටතේ රැකියාවේදී වෙන ලිංගික අතවරයන් අපරාධී ක්‍රියාවක් ලෙස සැලකුවත්, ලංකාවේ කාන්තාවන් නිරන්තරයෙන් මේ සිදුවීම් වලට මුහුණ දෙනවා. මේ හා තියෙන සමාජ අපකීර්තිය නිසා  රැකියාවේදී වෙන ලිංගික අතවරයන් ගැන ගොඩක් දෙනෙක් කතා කරන්නේ නෑ.

දැන් ලංකාවේ තත්ත්වය ගත්තොත්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය 2011 වර්ෂයේදී සිදු කරලා තියෙන පරීක්ෂනයක් අනුව කාන්තා ඇගළුම් සේවිකාවන් 57% තම රැකියා ස්ථානයේදී ලිංගික හිරිහැර වලට ලක්වෙලා තියෙනවා. ඊට අමතරව කාර්මික අංශයේ රැකියාවේ නිරත වෙන කාන්තාවන් 62.3% යම් ආකාරයක ලිංගික හිරිහැරයකට මුහුණ දීලා තියෙනවා. 

තවත් ප්‍රධාන කාරණයක් වෙන්නේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය සිදු කරපු සමික්ෂනයට  දායකවූ කාන්තාවන්ගෙන් 60% ප්‍රකාශ කරලා තියෙන්නේ රැකියා ස්ථානයේ ලිංගික හිරිහැර වලට නොවනවා කියලා සහතික වෙනවා නම් ඔවුන් රැකියාවට යන්න කැමැත්තක් තියෙනවා කියලයි.

මහ බැංකු 2020 වාර්තාවට අනුව අපනයන වලින් ලංකාවට වැඩිම  ආදායමක්  ලැබෙන අංශ දෙකක් තමයි ඇගලුම් හා රෙදිපිළි කර්මාන්තය (12.4%) හා තේ කර්මාන්තය (44%). මේ අංශ දෙකේම වැඩිපුරම සේවය කරන්නේ කාන්තාවන්. ඔවුන් නිසා තමයි අපි මේ හැමෝම කතා කරන ඩොලර් හිගය පොඩ්ඩක් හරි කළමනාකරණය කරගන්න පිටුවහලක් ලබලා දෙන්නේ. ඉතින් අපිට රජයක් විදියට, පුරවැසියන් විදිහට  වගකීමක් තියෙනවා මේ අංශ වල වැඩ කරන්න කාන්තාවන්ට වැඩ කරන්න හොද පරිසරයක් හදලා දෙන්න.   

ඉතින් මේ දේ ඇගලුම් හා තේ කර්මාන්ත වලට විතරක් සීමා වෙලා නොකර, අපේ රටේ පුද්ගලික හා රජයේ ඕනෙම රැකියා ස්ථානයක කාන්තාවන්ට වැඩ කරන්න හිතකර පරිසරයක් හදන්න ඕනේ.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලට අනුව ලංකාවේ බොහෝ ආයතනවල ලිංගික හිරිහැර සම්බන්දයෙන් හා ලිංගික හිරිහැර අවම කිරීමට ඇති යාන්ත්‍රණය සම්බන්දයෙන් සේවකයන් දැනුවත් කිරීම අඩුයි. එතකොට එකේ ප්‍රතිඵලයක් විදියට ලිංගික හිරිහැරයකට මුහුණ දෙන කාන්තාවන්ට අසාධාරණ ලෙස දඩුවම් කරනවා කියලයි ඔවුන් දක්වන්නේ. 

මේ ලිංගික හිරිහැර නිසා  කාන්තාවන්ට නුසුදුසු වාතාවරණයක් තමන්ගේ රැකියා ස්ථානය තුළ ඇති කරනවා. ​මේකෙන් වෙන්නේ තව තවත් කාන්තාවන්ගේ ශ්‍රම බලකා දායකත්වය අඩුවෙන එක. මොකද මේ වගේ දෙයකට මුහුණ දීපුවාම කාන්තාවන්ගේ ගෙදර මිනිස්සු කියන්නේ වැඩට යන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න කියලයි. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදියට සේවා ස්ථානයෙන් මිනිසුන් ඉවත් වීම එන්න එන්න වැඩි වෙනවා. ඉතින් අනිත්මට වැඩ කරන්න මිනිස්සුත් නැ. එතකොට වෙන්නේ පිටරටින් සේවකයෝ ලංකාවට ගේන්න.

මේකට අමතරව සේවා දායකයෙක් විදියට ඒ රැකියා ස්ථානයේ නමත් පලුදු වෙනවා. මොකද මේ ගැන කටින් කට ගියාම මිනිස්සු කොච්චර vacancy තිබ්බත් apply කරන්නේ ​නෑ. ඉතින් මේකෙන් පාඩුව වෙන්නේ තමන්ගේ කර්මන්තටමයි. ඉතින් සේවා දායකයාට ලොකු වගකීමක් තියෙනවා සියලුම සේවකයන්ට වැඩ කරන්න සුදුසු පරිසරයක් ලබලා දෙන්න.  

මේ රැකියා ස්ථානයේ  ලිංගික හිරිහැර නිසා අපිට නැති වෙන්නේ අපේ රටේ ශ්‍රම බලකායමයි. විවිද හේතුන් නිසා ගෙදරට වෙලා ඉන්න කාන්තාවන්, අපේ ශ්‍රම බලකායේ භාවිතා නොකළ ශ්‍රමයයි. අපිට හරියට ඒ ශ්‍රමය භාවිතා කලොත්, අපේ රටේ නිෂ්පාදන දායකත්වය වැඩි කරගන්න පුලුවන්. ඒවගේම රටේ ආර්ථිකයේ ඵලදායිතාව වැඩි කර ගන්නත් පුළුවන්. 

තත්සරණී සිරිවර්ධන 

(2021.02.17) 

රජයේ ලොකුම ව්‍යාපාර 5 දවසකට ලබන පාඩුව රු.මිලි. 384.

ගියපාර ලියපු මගේ articel එකට කෙනෙක් comment කරලා තිබුණා අපි ​ඛනිජ තෙල් ස​හ විදුලි බලය මුදල් වලට ගන්නවා නම් කොහොමද මේ ආයතන පාඩු ලබන්නේ කියලා. ඒවගේම මෙච්චර ණය වෙලා තියෙන්නේ කොහොමද කියලත් අහල තිබු​ණා. ඉතින් මම හිතුවා මේකට පිළිතුරක් ලියන්න. 

ඇඩ්වොකාටා ආයතනයේ වර්ගීකරණයට අනුව ලංකාවේ රාජ්‍ය සතු ව්‍යපාර 527ක් තියෙනවා. හැබයි මහ භාණ්ඩාගාරයේ හදුනාගත් ක්‍රමෝපායි​ක රාජ්‍ය සතු ව්‍යපාර 52 ක් තියෙනවා. 2006 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා මේ ව්‍යාපර 52ක ලබපු මුලු පාඩුව රු. ට්‍රිලියන 1.2ක් වෙනවා.

2020 වෙනකොට ලංකාවේ ලොකුම රාජ්‍ය සතු ව්‍යාපාර 5 වුනු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව,ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, ස.තො.ස,ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය එක දවසකට ලබන පාඩුව රු.මිලි. 384ක් වෙනවා.

අපි දැන් බල​මු මේ ප්‍රධාන රාජ්‍ය සතු ව්‍යාපාර කොච්චර පාඩු ලබනවාද කියලා. 

  • ශ්‍රී ලන්කන් ගුවන් සමාගම 2009 වසරෙන් පස්සේ 2020 වෙනකන් කවමදාවත් ලබා ලබලා නැහැ. රු.බිලි. 47 ක පාඩුවක් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම 2020 දී ලබලා තියෙනවා. රජයේ ඇපකර මත ලබා ඇති ණය (ඒ කියන්නේ රාජ්‍ය සතු ව්‍යාපාර වලට මොකක් හරි ණයට ගන්න ඕනේ වුනාම රජය ඇප වෙලා ගත්ත ණය ) ප්‍රමාණය රු.බිලි. 43ක්. 

  • ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවුරුදු 2 කට පස්සේ 2020 තමයි ලාබ ලැබුවේ. 2018 හා 2019 අවුරදු වලදි ලබපු පාඩු රු.බිලි. 105ක් හා  රු.බිලි.10ක්. බැංකු සදහා නොපියවූ ණය (outstanding debt to banks) ප්‍රමාණය රු.බිලි 524ක්.

  • ලංකා විදුලිබල මණ්ඩලය 2020 අවුරුද්දේ ලබපු පාඩුව රු.බිලි. 62. ඔවුන් දරණ සම්පුර්ණ ණය ප්‍රමාණය රු.බිලි 96 වෙනවා.

දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මෙච්චර මේ රාජ්‍ය සතු ව්‍යපාර පාඩු ලබන්නේ ඇයි කියලා.

මේකට තියෙන එක ප්‍රධාන හේතුවක් තමයි මේ රාජ්‍ය සතු ව්‍යාපාර බහුතරයකට තියෙන්නේ ඒකාධිකාරී බලයක්. ඒ කියන්නේ ඒගොල්ලෝ මහජනතාවට ලබාදෙන සේවය වෙන කවුරුත් ලබාදෙන්නේ නැ. උ​දා: ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය. එතකොට මේ ආයතන වලට අරමුදල් සපයන්නේ රජයේ භාණ්ඩාගාරය තුලින්. එතකොට කොච්ච්ර පාඩු ලැබුවත් කවුරුත් මුකුත් කියන්නේ නෑ මොකද මේ සේවය ලබා දෙන්න වෙන කෙනෙක් නැති නිසා. ඇත්තටම පුද්ගලික අංශයේ ආයතනයකට ඒකාධිකාරයක් තිබුණනම් හොදට ලාභ ලබනවා. මොකද කිසිම තරගයක් නැති නිසා. ඒත් ඒකාධිකාරයක් තිබිලත් අපේ රාජ්‍ය ආයතන වලට ලාභ ලබන්න බෑ. එච්චරට අකාර්යක්ෂමයි. ලාභ ලබන බොහො රාජ්‍ය ආයතනත් ලාභ ලබන්නේ ඒකාධිකාර සහ බදු වලින් සහනයක් අරගෙනයි. 

තවත් එක් හේතුවක් තමයි මේ ආයතනවල වැඩ කරන සේවක පිරිස. මහ බැංකු වාර්තාවට අනුව 2020 වර්ෂයේ ලංකවේ රාජ්‍ය අංශයේ මුළු සේවක පිරිස මිලියන 1.5 වෙනවා. සමහරක් ආයතනවල ඕනෙවටත් වඩා සේවකයින් ඉන්නවා. ඉතින් පඩිනඩි ලබලා දෙන්න ගියාම ඉතින් ලොකු වියදමක්. 

තවත් ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ ගොඩක් සේවා, ඒ කියන්නේ විදුලිය, වතුර, තෙල් වගේ දේවල් මිනිසුන්ට රජය ලබලා දෙන්නේ සහන (subsidary) මිලකට. එතකොට ඒකෙන් එන පාඩුවත් දරාගන්න ඔනේ රජය. 

ඉතින් ඔන්න ඕකයි පිලිතුර. මෙච්චර පාඩු ලබලත් මෙච්චරකල් දුවන්නෙත් ඔන්න ඔය හේතු හින්දයි. ඉතින් මේකෙන් ගොඩ එන්න නම් අපිට මෙ රාජ්‍ය සතු ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කරන්න වෙනවා. මෙක හැමෝම පිලිගන්න මතය නොවුනත් අවුරුදු ගනන් පාඩු ලබන ව්‍යාපාර පෞද්ගලීකරණය කරන්න ඔනේ. 

මොකද මේවා තව පාඩු ලබන කොට එකේ බරත් වැටෙන්නේ මහජනතාවට තමයි.

තත්සරණී සිරිවර්ධන 

(2021.02.07) 





විදුලිය අදත් කපයි ද?

ලංකාවේ power cut එකක්  කියන්නේ අපිට නම් අලුත් දෙයක් නෙමෙයි. අඩුම තරමේ මාසෙකට එක පාරක් හරි power cut එකක් එනවාමයි. හැබැයි ගිය අවුරුද්දේ මැද ඉදලා මේ විදුලිය විසන්දි කරන එක ගැන ගොඩක් දෙනෙක් කතා වුනා. මේකට ප්‍රධානම හේතුවක් උනේ දෙසැම්බර් 3 වෙනිදා මුලු ලංකාවේම විදුලිය විසන්දි වීමත් එක්කයි. ඒක නම් සිදු වුනේ බියගම හුවමාරුවේ සිදු වුනු බිදවැටීමක් නිසයි.

2022 අවුරුද්ද පටන් ගත්තත් හරි අපේ රටේ විදුලිය විසන්දී වීම් එන්න එන්නම වැඩි වුනා. එතකොට ලංකා විදුලි බල මණ්ඩලයෙන් විදුලිය කපන කාල සටහනුත් නිකුත් කලා. අපි දැන් බලන්න ඕනේ ඇයි මේ කවදත් නැතුව මේච්චර power cut කරන්නේ කියලා.

එක ප්‍රධාන හේතුවක් තමයි ලංකවේ එන්න එන්න වර්ෂාපතනය අඩුවෙනවා. මහ බැංකුවට  අනුව නොවෙම්බර් මාසයේ හා දෙසැම්බර් මාසයේ, විදුලි බල නිෂ්පාදනයට,ජල විදුලි දායකත්වය 68.4% හා  62.6% වුනා. ජනවාරි මාසය වෙනකොට මේ දායකත්වය 33.6%ට අඩු වුනා. එතකොට මේ අඩු වෙච්ච් විදුලි බල නිෂ්පාදනය පුරවන්න වුනේ තාප බල විදුලියෙන්. එතකොට අපිට පේනවා  තාප විදුලි බල ජනනය, වැඩිවෙලා තියෙන විදිහ. දැනේ මේ තාප විදුලි බල ජනනය ප්‍රධාන වශෙයන්ම සිදු වෙන්නේ මේ ගල් අගුරු හා තෙල් යොදා ගෙනයි. 

දැන් මේ වර්තමාන විදුලි කප්පාදු කිරීමට බලපාලා තියෙන එක ප්‍රධාන හේතුවක් තමයි රටට, විදුලි බලය නිෂ්පාදනය කරන්න අවශ්‍ය තෙල් හා ගල් අගුරු ලංකාවට ආනයනය කරන්න අවශ්‍ය ඩොලර් නැහැ.

 මහ බැංකුවට අනුව අපේ සංචිත ඇ.ඩොලර් බිලියන 3.1 එකක් තියෙනවා. මේක භාවිතා කරලා තමයි , රටේ පවතින අවශ්‍යතාවන්ට අවශ්‍ය දේවල් ආනයනය කරනනේ. උදාහරණයක් විදියට බෙහෙත්, ආහාර, පොහොර වගේ දේව​ල්. ඊට අමරව මේකෙන් තමයි අවශ්‍ය අපි ණය ගෙවන්නෙත්. ඉතින් ඒ හැමදේටම වියදම් කරලා තමයි තෙල් හා ගල් අගුරු ගේන්නේ.. ඉතින් ඇත්තටම බලනකොට අපිට ඩොලර් ප්‍රමාණය මදි මේ හැමදේම කරගන්න. 

ඉතින් අපි හැමෝම දන්න විදියට අපේ රටට ඩොලර් ගලා ඒම ප්‍රධාන ලෙසම අඩුවෙන්න ප්‍රධානම හේතුවක් වුනේ covid-19 වසංගත තත්ත්වයයි. නමුත් ඩොලර් අඩු ප්‍රශ්ණය අද ඊයෙ ආපු ප්‍රශ්ණයක් නෙවෙයි. කාලාන්තරයක් තිස්සේ ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ කරපු නැති නි​සා ආපු ප්‍රශ්ණය​ක්. Covid -19  ප්‍රශ්නය තවත් වැඩි කරා.  Covid -19 එන්න කලින් ලංකාවට වැඩිපුරම විදේශ විනිමයක් ගලගෙන ආවේ Tourism, විදේශ ප්‍රේෂණ (remittences) සහ ඇගලුම් කර්මාන්ත තුලින්. මේ හැම අංශයකටම මේ වසංගත තත්ත්වය බලපෑවා. හැබැයි මීට අමතරව ආණ්ඩුව විසින් ගෙන ඇති වැරදි ආර්ථික ප්‍රතිපත්ති (ඩොලරයට පාලන මිලක් යෙදීම) මේ තත්ත්වය දරුණු කරන්න බලපාලා තියෙනවා. 

 මේ ප්‍රශ්න වලට අමතරව තව තියෙන ප්‍රධාන ගැටළුවක් තමයි, ලංකා විදුලි බල මණ්ඩලයට තියෙන ණය ප්‍රමාණය.  මුදල් අමාත්‍යංශයේ 2020 වාර්තාව අනුව ලංකා විදුලි බල මණ්ඩලය බැංකු වලින් ගත් ණය ප්‍රමාණය රු.බිලි. 96 විතර වෙනවා වගේම, ලංකා ඛනිජ තෙල්  නීතිගත සංස්ථාව සහ  ස්වාධීන විදුලි සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ණය ප්‍රමාණය රු.බිලි. 133 වෙනවා. එතකොට විදුලි බල මණ්ඩලය 2020 අවුරුද්දේ දුවලා තියෙන්නේ රු.බිලි.62 පාඩුවක් තියාගෙන. ඒ පාඩුව දළව​ශයෙන් මුලු අවුරුද්දෙම දුප්පත් මිනිස්සුන්ට සමෘධියට වියදම් කරනවා වගේ මුදලක්. 

විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල්  නීතිගත සංස්ථාවට ගෙවන්න තියෙන ණය ප්‍රමාණය ගෙව්වේ නැති නිසා තමයි ඛනිජ තෙල්  නීතිගත සංස්ථාව අවශ්‍ය තෙල් ටික දීලා නැත්තේ. අපි අදුරේ ඉදියත්,බැලු බැල්මට නම් කරපු වැඩේ සාධාරනයි කියලා හිතෙනවා. ඛනිජ තෙල්  නීතිගත සංස්ථාව රු.බිලි. 529 බැංකු වලට ණය ගෙවන්න ඕනේ. 

පහුගිය දවස් වල සපුගස්කන්ද හා කැළණිතිස්ස විදුලි බලාගාර, වහලා දැම්මා ක්‍රියාත්මක වෙන්න තෙල් නැතුව. ඒවගේම නොරොච්චෝලේ විදුලි බලාගාරයෙත් විවි​ධ බිද වැටී​ම් තිබුණා. හැබැයි ඔන්‍න‍ අද (27) ඉදලා තව දවස් 10 සදහා විදුලිය සම්පාදනය කරන්න අවශ්‍ය තෙල් ප්‍රමාණය ලංකා ඛනිජ තෙල්  නීතිගත සංස්ථාව ලබාදීලා කියලා වාර්තා වුනේ.

අපිට හැමදාම මෙහෙම දුවන්න පුලුවන්ද ? රාජ්‍ය ආයතන එකිනෙකාට ණයයි. දුවන්නේ loss පිට. රටක් නෙමෙයි සාමාන්‍ය ගෙදරක්වත් වැඩි කල් දුවන්න බෑ මේ විදියට. අපි රටක් විදියට බලන්න ඕනේ ඊලග දවස හරි මාසේ හරි දුවන්නේ කොහොමද කියලා නෙමෙයි. ස්ථිරසාර ලෙස මේ ප්‍රශ්නෙන් ගොඩ එන්නේ කොහොමද කියලා. 

අපි හැමදාම කියනවා වගේ රජයේ පාඩු ලබන ආයතන ප්‍රතිවුහගත කරන්න ඕනේ. රටේ තියෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ඕනේ. මේ හැම දේකටම තවකාලික විසදුම්  හොයන්නේ නැතුව ස්ථිරසාර විසදුම් වලට ගිහින් අපි මේකෙන් ගොඩ එන්න ඕනේ. මොකද මේ ප්‍රශ්න වලින් අන්තිමට බැට කන්නේ හරියට වෙලාවට බදු ගෙවන සාමාන්‍ය අපිමයි. 

තත්සරණී සිරිවර්ධන 

(2022.01.29)



ණය ප්‍රතිව්‍යූහගත කරන්නේ කොහොමද?

මේ දවස් වල විශාල කතාවක් යනව ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යූහගත කරන්න ඕන කියල. සමාන්‍ය භාෂාවෙන් කියනවනං මේ සීන් එක ලංකාවේ කවුරුත් වැඩි​ය දන්නේ නෑ. මොකද ලංකාව කවදාවත් ණය ප්‍රතිව්‍යූහග​ත කරල නැති නිසා. මේ වීරයා ලෙසින් ලියන්නේ ණය ප්‍රති ව්‍යූහගත කිරීම් පිළිබදව ලෝකයේ ප්‍රධානම උපදේශකයෙක් ලෙස කටයුතු කරපු ලී බුක්කෙයිට් (Lee C. Buchheit) කියපු දේවල් වලි​න්. ඒ වගේ​ම අ​පේ යාලුවෙක් ඉන්නවා ඉක්වදෝරයේ (​​Ecuador) මහා භාණ්ඩගාරයේ. ඔවුන් වතාවන් කීපයක්ම ණය ප්‍රතිව්‍යූගත කරා. ඔහුගෙන් දැන ගත්තු විස්තර වලින් තමයි මේ ටික ලියන්නේ.

මුලින්ම කියන්න ඕනෙ මේ අපි බැංකුවෙන් වාහනයක් ලීස් එකට අරගෙන ගෙවා ගන්න බැරිවෙලා රී ෆිනිනෑන්ස් (Refinance) කරන මට්ටමෙ​න් රටව​ල් ණය ප්‍රතිව්‍යූහගත කිරීම ගැ​න හිතන්න හොද නෑ. මේක හරිම සංකීර්ණ ක්‍රියාවලියක්.

ණය ප්‍රතිව්‍යූහගත කරන්න කලින් ඇයි අපිට මෙහෙම වුනේ කියල එක පාරක් ටොක්කක් ඇනල මතක් කරල දීලම යන්න ඕන.

අපි අඩු කාලෙකින් ගෙවන්න වැඩිපුරත් එක්​ක ​ණය වැඩි පොළියට අරගෙන ආදායමක් එන්නේ නැති ව්‍යාපෘති වල වැඩි වැඩියෙන් ආයෝජනය කරා. ඊට පස්සේ ණය වල පොළිය ගෙවන්නත් පොළියට සල්ලි ගත්තා. ඒක තමයි හේතුව. ඒ වගේම ණය නොවන විදේශ ආයෝජන සහිතව ව්‍යාපෘතියක් කරන්න යද්දි “බුදු අම්මෝ, (සමහරු අඩෝ කියලත් කියනවා) මෙන්න විකුණනවෝ. අත තියන්න එපා කියල වෘතීය සමිති වල මහත්වරුවන්ව ෆෝම් කරල ඒ ඒ කාල වලට විපක්ෂයේ ඉන්න මහත්වරු දේශපාලන වාසි ගත්තා.

ඉතින් ඒ නිසා ණය අරං තේරුමක් ​නැති ව්‍යාපෘති වල දාල දැන් වැලේ වැල් නැතුව ඉන්නේ. හැම දේශපාලන පක්ෂයම විපක්ෂයේ ඉදිද්දි කරේ ඕක තමයි. කොච්චර වැලේ වැල් ​නැද්ද කියනවා නම් අවුරුද්දට අපේ ආදායම රු.100යිනම් ණය වල පොළිය විතරක් ගෙවන්න යනවා රු. 70ත්-79ත් අතර. ලෝකේ ණය වල පොළිය වෙනුවෙන් ආදායමෙන් වැඩිම මුද​ලක් වියදම් කරන රටවල් අතර ඉහළින්ම ඉන්න රටක් තමයි ‘ධාන්‍ය ධනය නෙක මල් පළතුරු පිරි ජය භූමිය ලංකා’

අපේ ආදායම රු.100 වුණා​ට පොළියයි වාරිකයයි දෙකම ගෙවන්න ඕන රු.142ක්. සෞක්‍ය, අධ්‍යාපනය, රජයේ සේවකයන්ගේ වැටුප් වගේ වියදම් ගැන ගනන් කරන්නේ නැතුව.  ඒක තමයි ඔය එන හැම රජයක්ම කියන්නේ “අපි යද්දි මෙච්චරි ණය තිබ්බේ. දැන් බලන්න අලුතෙන් ​ණය අරං. ගොඩාක් ණ​ය අරං.” වගේ ක​තා කියන්නේ. ඉති​ං ගත්තු ණය වල පොළිය ගෙවන්නත් ණය ගනිද්දි ණය තවත් වැඩි වෙනවා. ඒකට තමයි ඔය ඉංග්‍රීසියෙන් කියන්නේ ස්නෝබෝල් (Snowballing) වෙනව කියල.

එන හැම රජයකටම තියන ප්‍රමාණයට වඩා ණය ගන්නම වෙනවා මේ ණය ගෙවන්න.  ඉතිං පොළිය ගෙවන්නත් ආයෙත් ණය ගත්තා. ගොඩක් ණය තියෙන්නේ ඩොලර් වලින්. ඒ නිසා බදු ආදායමෙන් විතරක් ගෙවන්නත් බෑ. විදේශ මුදල් වලින් ආදායම් ලැබෙන ආදායම් මාර්ග වෙන්න ඕන. එහෙම ඉති​ං විදේශ මුදල් වලින් රජයට ආදායම් ලැබෙන තරම් ලොකු දෙයක් නෑ. එතකොට ඔබ මගෙන් අහයි ඇයි සංචාරක කර්මාන්තය, විදේශ ප්‍රේෂණ අපිට ආදායම් නෙවෙයිද කියල. ඇත්තම කතාව නෑ කියන එක තම​යි. සංචාරක කර්මාන්තයේ අදායම් උපයන්නේ හෝටල් හිමියන්, Tour operators, ගයිඩ්ල (Tour Guides), ප්‍රවාහන කරන පිරිස වගේ අය. ඔවුන් උපයන ඩොලර් පුද්ගලික බැංකුවකට විකුණල ඒ පුද්ගලික බැංකුව ඒ ඩොලර් මහ බැංකුවට විකුණ​ල බියගම ෆැක්ටරියේ අච්චු ගහන කොල කෑලි (ශ්‍රී ලංකා රුපියල්) වලට ඒ ඩොලර් මාරු කර ගන්න කැමති වුනොත් විතර​යි ඒක මහ බැංකුවට ආදායමක් වෙන්නේ. ඒකත් ඉති​ං ආදායමක් කිව්වට මහ බැංකු​ව මහන්සි වෙලා හොයන ආදායමක් නෙවෙයි​නේ. අච්චු ගහන කන්තෝරුවක කවුරු හරි අච්චු ගහන සල්ලි අපිට දීල ඩොලර් ගන්න එක තමයි හැම රජයක්ම මහා පුරාජේරුවෙන් ඔන්න අපිට සංචාරක කර්මාන්තයෙන් මෙච්චර ඩොලර් හම්බ කරා කියල කියන්නේ.

ඒ ඩොලර් උපයන්​නේ ඔබ මම වගේ සාමාන්‍යෙන් මිනිස්සු. ප්‍රේෂණත් (Remittances) එහෙමමයි. ඔය ඩොලර්, රියාල්, ඩිනාර්, යූරෝ ඔක්කොම සල්ලි අයිති අපිට. රට ඉන්න මිනිස්සුන්ට. ඒත් බැංකුවට විකූණු​වම ඒව ඔවුන්ට අයිති වෙලා ඔවුන් අති​න් ගත්ත වගේ පොඩි talk එකක් දෙනවා. ඉතිං හැම රජයක්​ම ඩොලර් වලින් ණය අර ගත්ත​ට ඩොලර් වලින් ආදායම උපයන ව්‍යාපෘති තියෙන්නේ අතේ ඇගිලි ගානට තමයි. වරායවල්, ගුවන් තොටුපොළ වගේ ජාත්‍යන්තර සම්භන්ධතා තියන තැනකින් තමයි ​ඉතිං ඩොලර් වලින් උපයන්න පුලුවන්. ඒකනෙ ම​ං මේකෙ හැමදාම කියන්නේ ලෝකෙත් එක්ක යං කියල. කොහෙද කැමති වෙන්නේ නෑනෙ.

දැන් අපිට මේක ගෙවාගන්න අමාරු නිසා සමහරු අහනව අපි මේක නොගෙව ඉන්න බැරිද කියල. එහෙම කරොත් අන්තර්ජාතික ගණුදෙනු කරන බැංකු සහ අන්තර්ජාතික මූල්‍ය පද්ධතියෙන් අපේ මුදල් ගණුදෙනු අත් හිටුවනවා. කිසිම දෙයක් කර ගන්න බැරුව අපිව නික​ං අතරමං වෙලා යනවා. ඒක නිසා එකපාර​ට මුකුත් නොකියා නොගෙව ඉන්න බෑ. සරළවම අපේ හවුසින් ලෝන් එකේ හරි වාහනේ හරි වාරිකය දවසක් දෙකක් පරක්කු කරනව වගේ කිසිම දැනුම් දීමක් නොකර සල්ලි නොගෙව ඉන්න බෑ. හරි දිනයට ගෙවන්න ඕන.

නොගෙව ඉන්​න එක​ත් ප්‍රශ්ණක් නම් ගෙවන එකත් ප්‍රශ්​ණ වැලැ​ක් නි​සා දැන් අපි ​මේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම ගැන කතා කරනවා.

චීන විදේශ ඇමතිතුමා ආවම ජනාධිපතිතුමා චීන විදේශ ඇමතිතුමාන්ගෙන් ඉල්ලා සිටියා චීනයෙන් අපි ග​ත්​තු ණය ප්‍රතිව්‍යූහගත කරන්න කියල. ඉතිං චී​න විදේශ ඇමතිතුමා මුකුත් නොකිය ගියාට චීන කොමුනිස්ට් පක්ෂය විසින් මෙහෙයව​න Global Times වෙත ප්‍රකාශය​ක් ලබාදෙමි​න් Chinese Academy of International Trade and Economic Cooperation ආයතනයේ ආර්ථික පර්යේශ​ක Song Wei මහතා කිව්වා චීනය ණය ප්‍රතිව්‍යූහගත කරන්න සූදානම්, හැබැයි ලබා දීල තිබෙන සනනා​ධාර ණය (concessional loans) නැත්තං පොළී නැති දීර්ග කාලීන ණය විතරයි ප්‍රතිව්‍යූහගත කරන්න චීනය කැමති ඒ​ත් වාණිජ ණය (Commercial loans) ප්‍රතිව්‍යූහගත කරන්න බෑ කියල.

මේක තේරුම් ගන්න අපි ලංකාව විදේශ ණය අරං තියෙන්නේ කාගෙන්ද කියල මුලින්ම හොයා ගන්න ඕන. ඊට කලින් ණය ප්‍රතිව්‍යූහගත කිරීම ගැ​න මූලික සංකල්ප දෙකක් අපි අවබෝද කර ගන්න ඕන.

1. පළවෙනි එක තමයි 21 සියවසේ කවුරුත් සංචිත වලින් ණය ගෙවන්නේ නැති බව. එහෙම කරන්නේ අමාරුම වෙලාවක තමයි. ඒ වගේම සංචිත වලින් භාණ්ඩ ආනයනය කරන්නේත් නෑ. ආනයනය කරන්නේ භාණ්​ඩ අපනයනය කරල උපයන මුදල් වලින්.

ඒ නිසා බොහෝ රටව​ල් කරන්නේ එක බැදුම්කරයක් කල් පිරෙද්දි තවත් බැදුම්කරයක් ඒ වෙනුවෙ​න් නිකුත් කරල කලින් බැදුම්කර​ය පියවන එක. ස්වයිරී රාජ්‍ය​න් නාකි වෙන්නේ නෑ කියන පදනමේ ඉදල ඔය වැඩේ කරන්න පුලුවන්. අපි බැංකුවෙන් ණයක් ගන්න ගියොත් මුලින්ම වයස කීයද කියල අහල 55 පිරෙන්න කලින් වාරික කීයක් ගෙවන්න පුලුවන්ද කියල ගනං හැදුවට රටවල් වලට වයසක් නැති නිසා ඔය වැඩේ කරන්න පුලුවන්. හැබැයි ඒ වැඩේ කරන්න නං නිතර නිතර වෙළදපොළට ගිහිල්ලා බැදුම්කර නිකුත් කරන්න පුලුවන් වෙන්න ඕන. ස​රලව කියනවනං

ණය ගෙවීමේ හැකියාව = නැවත ණය ලබා ගැනීමත ඇති හැකියාව.

දැන් ලංකාවට නැත්තේ අන්න ඒ​ක. මොකද අපේ ක්‍රෙඩිට් රේටිං (credit rating) එක පහල දාල. වෙළදපොලෙන් ණයට ගන්න බෑ. එතකොට බැදුම් කර නැවත නිකුත් කරන්න බෑ. කරන්න පුලුවන්. එතකොට ඉතිං ගෙවන්න වෙන පොළිය සහ පාඩුව ගනං හැදුවම ඊට වඩා හොදයි අතිං ගෙවල හරක් ටිකක් බලා ගන්නවා. ඒ නිසා තමයි වෙන රටව​ල් වලින් සල්ලි අතමාරු කරගෙන ඒක සංචිත වලට දාල ඒකෙන් ගෙවන්නේ. අන්න ඒ රටවල් වලි අතමාරු ක්‍රමයට ණය ගන්න එකට තම​යි swap කියන්නේ.

2. දෙවැනි සංකල්පය තමයි ණය ප්‍රතිව්‍යූගත කරද්දි හැමෝම බලන්නේ මුලින්ම ප්‍රතිව්‍යූගත කිරීමෙන් ඉවත් වෙලා ඉන්න. මොකද ණය ප්‍රතිව්‍යූහගත කරනවා කියන්නේ ණය දීපු කෙනා ලොකු පාඩුවක් විදිනවා කියන එක. ඉතිං ඩොලර් මිලියන 500 - 1000 දීපු මිනිස්සු කැමති වෙයිද අතිං වියදං කරගෙන ඩොලර් මිලියන වලින් පාඩු ගන්න.  ලංකාවේ යචකයෙන්ක්ට රු.20ක් දුන්නත් අහනව 20ට තේකක්වත් බොන්න පුලුවන්ද කියල. මොකද ඔය ණය ප්‍රතිව්‍යූහගත කර​න වැඩේ මාස 9 ඉදල අවුරුදු 3-4ක් වුනත් ඇදෙන්න පුල්වන් මහා හිසරදයක්. හිසරදය ඉතිං ඕක කේවල් කරන්න යන අයට තමයි.

ඒක නිසා කවුරු​ත් කැමති නෑ ණය ප්‍රතිව්‍යූහගත කරන්න. ඒ වගේම ණය ප්‍රතිව්‍යූහගත කරන සාකච්චාවලදි මිනිස්සු එන්නේ නෑ කි​රි කෝපි බීල කෑම කාල සතුටු සාමිච්චියේ යෙදිල “ආජි තපර ලාලි ලා​යි - සබඳ අපි කදු නොවෙමු” කියල සිංදු කියන්න..

විශ්වාස කරල සල්ලි දීල දැන් අපි ඇවිල්ල ගෙවන්න බැහැ කියල නහයෙන් අඩ අඩ කිව්වම තවත් ඒ ගැන කතා කරන්න වෙලාවයි, සල්ලියි නාස්ති කරගෙන එන මිනිස්සු එන්නේ අන්තර්ජාතික මට්ටමේ ලෙවෙල් එකෙන් කේවල් කරන්න. Blood bath එකක් කියල තමයි පොශ් විදියට කියන්නේ. අපේ භාෂාවෙන් කියනවනං ගේම ඉල්ලන්න එන්​නේ.  මතකයිනේ ගෝල්ඩෙන් කී (Golden Key), එදිරිසිංහ (ETI) ටෘස්ට් ඉන්ව්ස්මෙන්ට් වගේ ඒවයින් ලංකාවේ මිනිස්සුන්​ගේ සල්ලි වල​ට පොලු තිබ්බම පැවතු​නු අපහසුව. අන්න ඒ වගේ තමයි.

ඉති​ං ඒක නිසා ණය ප්‍රතිව්‍යූගත කරන්නම වෙනවනං ගොඩක් දෙනෙක් කරන්නේ ඒක හැමෝම අතරේ බෙදෙන ක්‍රමයක් යෝජනා කිරීම. තනියම ණය ප්‍රතිව්‍යූහගත කරන්න කවුරුත් කැමති නෑ. ලෝකයේ දක්ෂතම ආයෝජකයන්ට සහ නීතිවේදීන් “අනේ අ​පේ ණය විතර​ක් ප්‍රතිව්‍යුහගත කරන්න. අනිත් අයට ඔහේ ඉන්න දෙන්න හිත රිද්දන්න එපා. ඇහරවන්න එපා නිදා ගන්න දෙන්​න" කියල කියන්​න තරම් මෝ​ඩ හේතුවක් නෑ. අන්න ඒක තමයි මූලික සිද්​ධාන්ත දෙක. චීනය අර කලිංම කියල තියෙන්නේත් ඒක තමයි. දැන් අපි බලන්න ඕන ඔය ණය ප්‍රතිව්‍යූහගත කරද්දි අපි කාටද ණය කියල සහ කා අතරද මේක බෙදිල යන්නේ කියල.

ලංකාව විදේශ ණය අරං තියනව ප්‍රධාන ආකාර 3කට

A. බහුපාර්ශ්වීය ණය

ඒ කියන්නේ ලෝක බැංකුව(World Bank), ආසියානු සංවර්ධන බැංකුව (ADB), අතර්ජාතික මූල්‍ය අරමුදල (IIMF) වගේ ආයතන. ඔවුන්ගෙ​න් අපි දැනට ඔවුන්ට ණයයි ආසන්න අවශයෙන් බිලියන $8.5ක්. හම්බන්තොට වරාය වගේ 8 ගුණයක්. අපේ සමස්ථ විදේශ ණය වලින් 28%ක් විතර. ඔවුන්ගේ ණය ප්‍රතිව්‍යූහගත කරන්නේ නෑ සාමාන්‍යෙන්. මොකද ඔවුන් ණය දෙන්නේ ඉතාම අඩු පොලියට විශාල කාලයකින් ගෙවන්න. එතකොට ඒ වගේ ණය ප්‍රතිව්‍යූහගත කරන්නේ නෑ. කරනවනං ඔවුන්ම තව ණයක් දීල ඒක දික් කරන එක තමයි කරන්නේ

B ද්වීපාර්ශවීය ණය

ඒ කියන්නේ එක එක රටවල් වලින් ඉල්ල ගත්තු ණය. ඉන්දියාවෙන්, චීනයෙන්, ජපානයෙන්, ප්‍රංශයෙන් ඉල්ල ගත්තු ණය. දැනට ආසන්න වශයෙන් අපි බිලියන $6.2 ක් විතර ණයයි. අපේ සමස්ත විදේශ ණය වලින් 18%ක් විතර.  දළ වශයෙන් ජපානය තම​යි අපේ ලොකුම ණය හිමියා. අපේ විදේශ ණය වලින් 10%ක්. චී​නයට 2%ක් විතර. (චීන එක්සිම් බැංකුවේ ණය වැටෙන්නේ වෙලදපොළ ණය විදියට. ​ඒ පිළිබදව වෙනම පහළ කතා කරනවා) ඉන්දියාවට 2.3%ක් විතර. 

මේ ද්වී පාර්ශ්වි​ක ණය ප්‍රතිව්‍යූහගත කරන එක ලේසි නෑ. ඒකට හේතුව ද්වීපාර්ශ්වික ණයක් ප්‍රතිව්‍යූගත කරද්දි පැරිස් සමුලුවේ (Paris Club) රටවල් වල ​ණය ප්‍රතිව්‍යූගත කරන්න ඕන පැරිස් සමුලුවේදි විතර​යි. අපිට ණය දීල තියන රටවල් වලින් ජපානය, ප්‍රංශය වගේ රටවල් පැරිස් සමුලුවේ සාමාජික රටව​ල්. චීනය සහ ඉන්දියාව පැරිස් සමුලුවේ රටවල් නෙවෙයි. සාමාන්‍යෙන් ණය ප්‍රතිව්‍යූගත කරද්දි ඔක්කොම රටවල් වලට එකම ප්‍රමාණයකින් සහ ඊට අනුරූප වෙන ව්දියට තමයි ප්‍රතිව්‍යූගත කරන්න ඕන. එක රටක් කවදාවත් කැමති වෙන්නේනේ නෑ ඔවුන්ගේ රටේ ණය විතරක් ප්‍රතිව්‍යූගත කරන්න.

මොකද කිසිම රටක් එක රටක සම්පූර්ණ ණය බර විතරක් දරා ගන්න ඔලුවෙ අමාරුවක් එහෙම නෑ. ජනාධිපතිතුමා චීනයෙන් ණය ප්‍රතිව්‍යූහගත කරන්න ඉල්ලා සිටියම චීනයේ  Academy of Regional and Global Governance of the Beijing Foreign Studies University හි Long Xingchun ප්‍රකාශ කරල තිබ්බේ චීනය එහෙම කරනවනං ඉන්දියාව, ඇමරිකාව සහ ජපානයත් ණය ප්‍රතිව්‍යූගත කරන්න ඕන කියල. ඒ කියන්නේ ඒක තමයි චීනයේ මතය.  එතකොට අපිට ජපානය ඇතුලු පැරිස් සමුලුවේ රටවල් එක්ක වෙනම සාකච්​චා කරල ඔවුන් කැමති වෙන ප්‍රතිව්‍යූගත කිරීම් ආකෘතියට ඉන්දියාව චීනය ඇතුලු පැරිස් සමුලුවට පිටින් ඉන්න රටවල් කැමති කරවා ගන්න අවශ්‍යයි. එහෙම නැත්තං මුලුන්ම පැරිස් සමුලුවට පිටින් ඉන්න රටවල් එක්ක සාකච්චා කරල ඔවුන් කැමති වෙන ණය ප්‍රතිව්‍යූගත කිරීමකට පැරිස් සමුලුවේ රටවල් කැමති කරවා ගන්න ඕන. ඔය සාකච්චා භූ දේශපාළන කාරනා එක්ක සෑහෙන සංකීර්ණයි.

C. අන්තර්ජාතික මූල්‍ය වෙළදපොළෙ, මූල්‍ය ආයතන වලින් ලබා ගත් ණය.

ලංකව වැඩිපුරම ණය අරං තියෙන්නේ මූල්‍ය වෙළදපොළෙන්. දළ වශයෙන් බිලියන 19ක්. හම්බන්තොට වරාය වගේ 19ක්. මුලු විදේශ ණය වලින් 57%ක් විතර. ඒ අතරින් චීන එක්සිම් බැංකුවෙන් (China exim Bank) ගත්තු ණය තියනවා 8%ක් විතර මුලු ණය වලින්. වැඩිපුරම තියෙන්නේ අන්තර්ජාතික ස්වෛරී බැදුම්කර(International Sovereign Bonds -ISB). 34%​ක්. මූල්‍ය වෙළදපොළේ ණය ප්‍රතිව්‍යූගත කිරීමත් ඉතාම සංකීර්නයි.

අපිට 2022 හෝ 2023 කල් පිරෙන බැදුම්කරයක් විතරක් පස්සේ ගෙවන්නං කියල ප්‍රතිව්‍යූගත කරන්න බෑ. කලින් මූලික සිද්ධාන්තවල කිව්වා වගේ හැමෝම බලන්නේ මුලින්ම ප්‍රතිව්‍යූහගත කිරීමෙන් ඉවත් වෙන්න. දෙවනියට බලන්නේ කරන්නම වෙනවනං හැමෝවම මේකට පටලවන්න. ඒ වගේම ඔය ස්වෛරී බැදුම්කර තිබෙන්නේ අන්තර්ජාතික නිව්‍යෝක් (New York) හෝ ලන්ඩන් (London) නීතිය යටතේ. මොකද මුලු ලෝකයම එම නීති ක්‍රමයත් එක්ක හු​රු පුරුදු නිසා. එතකොට උසාවි ගිහිල්ල වගේ විසදගන්නවා නං ඉතිං එංගලන්තේ හරි නිව්යෝක් හරි උසාවියේ තමයි විසදන්න වෙන්නේ. ලංකාවේ නිකුත්කරපු තව ඩොලර් බැදුම්කර වර්ගයක් තියනවා ශ්‍රී ලංකා ස්වෛරී  බැදුම්කර (Sri Lanka Development Bonds - SLDB’s)  කියල. අන්න එක නං ලංකාවේ නීතිය යටතේ නිකුත් කරල තිබෙන්නේ .

දැන් බලමු ණය ප්‍රතිව්‍යූහගත කරන්නේ කොහොමද කියල.

ණය වල ප්‍රතිව්‍යූහගත කරද්දි කරන්​න තියෙන්නේ කරුණු 4ක් විතරයි.

1. පළවෙ​නි එක තමයි මුලු ණය ප්‍රමාණයෙන් යම් ප්‍රමාණයක් අඩු කරන්න කැමති වෙනවා. උදාහරණයක් විදියට චීනය කියනවා අපි සම්පූර්ණ ණය දීල තියනවා බිලියන 3ක්. අපි බිලියන 2​ක් විතරක් ණය අරං තියනවා කියල හිතාගෙන ඉතුරු ගණ​ං හදල ඉතුරු බිලියන 2 විතරක් ගෙවන්න. ​එක බිලියනයක් අපි සාංගික දානයක් දුන්නා කියල හිතා ගන්නං වගේ කියල කියනවා. ඔන්න ඕකට තමයි කියන්නේ හෙයා කට් (Haircut) කියල

2. දෙවැනියට කරන්නේ පොළිය අඩු කරනවා. කලින් 5% පොළියට ගණං හැදුවේ දැන් අපි 2%කට පොළිය හදන්නං කියල කියනවා. (Coupon Clipping)

3. තුන්වැනියට තියෙන්නේ ගෙවන කාලය වෙනස් කරනවා. කලින් අවුරුදු 5න් ණය ගෙවන්නං කියල කිව්වේ. එහෙනං ඕගොල්ලො අවුරුදු 10කින් ගෙවන්න කියල කියනවා (Extension of maturity)

4. ඔය ඉහත කියපු කරුණු 3න ඕන විදියකට සංකළණය කරල එගක වෙන ක්‍රමයක් වෙන්න පුලුවන් (Mix and match of all of the above)

හැබයි මූලික අදහස තමයි හැමෝම එකම විදියට ණය වල බර දරාගන්න ඕන කියන එක.

ලංකාව වගේ රටකට අපේ රජය ගත්තු ණයට අමතරව අපේ රජයට අයිති ව්‍යාපාර (State owned enterprises) ගත්තු ණයත් තියනවා. උදහරණයක් විදියට ශ්‍රී ලංකා වරාය අධිකාරිය(Sri Lanka Ports Authority) , ඛණිජ තෙල් නීතිගත සංස්තාව(Ceylon Petroleum Corporation) , ශ්‍රී ලංකන් ගුවන් සමාගම (Sri Lankan Airlines) වගේ ඒවයේත් ණය හෙලිදරව් කරල ඒවත් ප්‍රතිව්‍යූහගත කිරීමට සිදු වෙනවා.

ඒ වගේම ණය ප්‍රතිව්‍යූහගත කරද්දි රටේ ණය වලින් කොතරම් ප්‍රමාණයක් ණය හිමියන් දරා ගන්න ඕනද කියල ස්වාධීනව ආර්ථික විශ්ලේෂණයක් කරන්න ඕන(Debt Sustainability Analysis). ඉතිං එහෙම එකක් කරන්න පුලුවන් ආයතයකට මේ ලෝකයේ දැනට තියෙන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල පමණයි (International Monetary Fund- IMF). ලංකාවටත් ඔය Debt Sustainability Analysis කරන්න පුලුවන්. ඒත් එතකොට ණය හිමියො ටික අපිව විශ්වාස කරන්නේ නෑ. ණය වලට පොල්ල තියන මිනිස්සු තවත් ණය ගැන කියන කතා පිළිගන්නේ කවුද?

ගොඩක් දෙනෙක් යෝජනා කරා අන්තර්ජාතික මූල්‍ය අරමුදලට යන්න කියල. ඒත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල විදේශ විණිමය දෙන්නේ රටේ ණය ස්තාවරනං විතරයි. මොකද නැත්තං අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සල්ලි ණය හිමියන්ට දෙනවට අන්තර්ජාතික මූල්‍ය අරමුදල කැමති නෑ. ඒක නිසා මේ වගේ තත්වයක් යටතේ අපි අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ගියපු ගමන් ඔවුන් බොහෝ වෙලාවට කියන්න ඉඩ තිබෙනවා මුලින්ම ණය ප්‍රතිව්‍යූගත කරගෙන එන්න කියල.

බොහෝ වෙළාවට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ආධාර හෝ වැඩසටහන​ක් යටතේ රටක් සිටින විට සියලු ණය ගෙවීම් සිදු කිරීමට යොදා ගන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන් කාලය ඉවර වුණාට පස්සෙයි. එහෙම කරන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ මුදල් ණය හිමියන්ට යන්න නොදෙන්නයි. (Debt reprofiling)

සාමාන්‍යෙන් ණය ප්‍රතිවූ​හගත කිරීමකදී අපි වෙළදගණුදෙනු කරන ණය හිමියන්ව (Trade creditors) පැත්තකින් තියනවා. නැත්තං ණය ප්‍රතිව්‍යූහගත කරන කාලයේදී අපිට අවශ්‍ය තෙල්, බෙහෙත් වගේ ආනයන කරන්න අමාරු වෙන නිසා.

අපි ණය ප්‍රතිව්‍යූහගත කරන්නේ අන්තර්ජාතික  ස්වෛරී බැදුම්කර හිමියන් සමගනම් බොහෝ විට බැදුම් කර හිමිය​න් එකතුවී කමිටුවක් පිහිටුවා ගනු ලබනවා. ඔවුන් ගේ නියෝජිතයන්, ඔවුන්ගේ නීති සහ මූල්‍ය උපදේශකයන් කේවල් කිරීම් වලට (Debt Negotiation) සහභාගී වෙනවා

සාමාන්‍යෙන් ණය ප්‍රතිව්‍යූහගත කරපු රටවල් සම්භන්ධයෙන් ආයෝජකයන්ගේ විශ්වාසය අඩු වීම සහ ආයෙමත් නිතර නිතර ණය ප්‍රතිව්‍යූහගත කිරීම් වලට යොමු වීමට සම්භාවිතාවක් ඇති බව තමයි පේන්න තියෙන්නේ.

ශ්‍රී ලංකාව කවදාවත් ණය ප්‍රතිව්‍යූහගත කරල නැති නිසා ආජන්ටිනාව (Argentina) සහ ඉක්වඩෝරය (Ecuador) කරපු තරම් ලේසි වෙන එකක් නැති බව තමයි මට හිතෙන්නේ. ඒ වගේම ඒ රටවල් වලට තෙල් ඇතුලු විශාල සම්පත් ප්‍රමාණයක් තිබෙනවා. නමුත් අපිට එහෙම නැති නිසා ලේසි වෙන එකක් නෑ.

ණය ප්‍රතිව්‍යූහගත කිරීම අමාරු වුණා කියල ඒකෙන් පැනල යන්නත් බැරි තත්වයකට තමයි අනික් පැත්තෙන් එන්නේ. මොකද කිසිම පක්ෂයක්  මේකෙන් ගොඩ එන විදිය ගැන හරි ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරලත් නෑ. අපි තව කාගෙන් හරි වැඩිපුර පොළියට අතමාරුවක් කරගෙන දවස ගෙවාගන්නවා වගෙ වැඩක් තමයි යන්නේ. එහෙම කරල යන්න පුලුවන් සීමාවක් තිබෙනවා.

සමහර වෙලාවට එළියෙ ඉදන් කියන තරම් ලේ​සි නෑ ආර්ථික ප්‍රතිසං​ස්කරණ කරන්න. මේ ටික ලිව්වේ මේක කියවල කවුරු හරි මහා විශාල ආර්ථික ප්‍රතිසංකරණයක් කරයි කියල බලාපොරොත්තුවෙ​න් නෙවෙයි. දෙයක් කරන්න පුලුවන් ඒ දේ ගැන දැන ගත්තොත්නෙ. නොදන්න දෙයක් කරන්න කොහොමත් බැරි නිසයි දැන ගන්න කැමති අයට කිව්වේ. 

ණය ප්‍රතිව්‍යූහගත කරනවද නැද්​ද කියන තීරණය මොකක් වුනත් ඒක හැමෝටම බලපානවා. එහෙනං කොල්ලො අපි ​ගියා.

ඇයි මෙච්චර බඩු මිල වැඩි ?

ඇඩ්වොකාටා බත් කරි indicator එක 2021 දෙසැම්බර් මාසයේ මෙතෙක් සටහන් කරපු  වැඩිම අගය වාර්තා කළේ, සාමාජිකයින් හතරදෙනෙකුගේ නිවසක් සදහා, ආහාර ද්‍රව්‍ය වර්ග 10ක් සදහා යන වියදම සම්බන්ධවයි. නොවැම්බර් මාසයේදී බත් කරී indicator වාර්තා කල අගය රු.1387.65ක් වනවා වගේම, දෙසැම්බර් මාසයේදී මෙම අගය රු.1593.11 වුනා. මේක එක මාසෙකදී 15% ක වැඩි වීමක්.

මාසෙකින් මෙච්චර මිල වෙනස් වෙන්නෙ කොහොම ද? අපිට ඒ හේතු මේ විදියට විග්‍රහ කරන්න පුළුවන්. 

කොවිඩ් වසංගතය හා වැරදි ආර්ථික ප්‍රතිපත්ති (ඩොලරයට දමා ඇති පාලන මිල) වල හේතුවක් විදියට වර්තමානයේ අපේ රටේ ඩොලර් හිඟයක් තියෙනවා. මේ හේතුව නිසා අපේ ආනයනයන් සීමා වෙලා. එතකොට අපි ආනයන කරන තෙල්, ගෑස්, ළූණු, ඖෂද හා අනෙකුත්  ද්‍රව්‍යන්ගේ මිල ඉහළ යනවා විතරක් නෙවෙයි ඒ භාණ්ඩ වර්ගයන් වල හිඟයක්ද ඇති වෙලා තියෙනවා. ඒවගේම අපේ රටට ඇවිත් තියෙන භාණ්ඩ, වරායෙන් නිදහස් කරන්න අවශ්‍ය ඩොලර් නැති නිසා ඒ භාණ්ඩ ප්‍රමාණය වෙළදපොලට මුදා හරින්න බැරි වෙලා තියෙනවා. ඊට අමතරව භාණ්ඩ ආනයනය කරන පිරිසට ණයවර ලිපි නිකුත්කර ගැනීමටත් ඉතාම අපහසුයි.

ඩොලර් හිඟයට අමතරව වෙළදපොලට සපයන භාණ්ඩ වල අඩුවක් තියෙනවා. මේකට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ, කොවිඩ් 19 වසංගතයත් සමග සැපයුම් ජාල වල පවතින අවහිරතාවන්. බොහෝ රටවල දේශසීමා ඉක්මවා සංචරණය තහනම් කරලා තියෙන නිසා තමයි මේ ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේ. සමහරක් භාණ්ඩ මේ හේතුව නිසා අඩු වෙලා තියනවා වගේම අමතරව ආණ්ඩුව විසින් පනවපු ආනයන තහනම් නිසාත් මේ බඩු වල මිල ගණන් ඉහළ යාමට හා හිඟයක් ඇතිවීමට හේතු වෙලා තියෙනවා. ඒ වගේම ලෝක වෙළදපොලේ ප්‍රධාන අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ යාමක්ද පවතිනවා. කොවි​ඩ් වලින් පස්සේ නැව් ගාස්තු වැඩිවීමක් වගේම ලෝකයේ ඉල්ලුම ඉහළ යාම නිසා භාණ්ඩ වල මිලත් ඉහළ ගිහින්.

ඒ වගේම ප්‍රධානම වශයෙන් බලපාන ප්‍රශ්නයක් තමයි මහ බැංකුවෙන් සිදු කරණ මුල්‍ය පද්ධතියේ  ප්‍රසාරණයන් (සල්ලි අච්චු ගැසීම). ඒ කියන්නේ රජයෙන් සිදු කරන සමහරක් ව්‍යපෘති වලට අවශ්‍ය මුදල් සම්පාදනය කරන්න රජය මහ බැංකුවෙන් මුදල් අච්චු ගහනවා. මේ ක්‍රියාවෙන් ඇතිවෙන නරක ප්‍රතිවිපාක කිහිපයක් තියෙන​වා. මුලින්ම වෙන්නේ කෘතීම විදියට සපයන මුදල් නිසා විවිධ ඉදිකිරීම් ඇතුලු ආනයන අවශ්‍ය ව්‍යාපෘති වලට අමතර මුදල් යාමෙන් ආනයන සදහා තිබෙන ඉල්ලුම වැඩි වෙනවා. එතකොට මුලින්ම අපේ ඩොලර් වලට තිබෙන ඉල්ලුම වැඩි වෙලා විදේශ විනිමය අර්බුදයක් හෙවත් Balance of payment crisis එකකට මග පාදනවා. දෙවැනියට  මෙම ක්‍රියාව නිසා උද්ධමනය ඇතිවෙනවා. මේකෙන් බඩු මිල ඉහළ යනවා වගේම මිනිසුන්ට බඩු මිලදී ගැනීමට තියෙන හැකියාවත් අඩු වෙනවා. 

දැන් මේ තියෙන ගෑස් හිඟයත්, ගෑස් වල මිල ගණන් ඉහළ යාමත් සිදුවෙලා තියෙන්නේ හේතූන් ගණනාවක්  මතයි. එක හේතුවක් තමයි විදේශ විණිමයේ පවතින හිඟය හා ගෑස් වෙළදපොලේ පවතින කතිපයාධිකාරී තත්ත්වය. කතිපයාධිකාරී වෙළදපොලක් කියන්නේ ආයතන කිහිපයක් පමණ​ක් පවතින තත්ත්වයක්. මේ වගේ වෙළදපොලක ඒ ආයතන කිහිපයට විතරක් එකතු වෙ​ලා මිල තීරණය කරන්න පුළුවන්. මේ නිසා තමයි ගෑස් වෙළදපොලේ මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් උදා වුනේ.   

මේ හේතු වලට අමතරව ලෝකේ ආහාර වල හා භාණ්ඩ වල මිල ඉහළ යාම, ලංකාවේ භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යාම සදහා බලපානවා. උදාහරණයක් ලෙස ලෝකේ තෙල් මිල ඉහළ යනවා නම්, ලංකාවේ තෙල් මිලත් ඉහළ යනවා. ඊට අමතරව කොවිඩ්-19 වසංගත තත්වයත් එක්ක භාණ්ඩ ප්‍රවාහණය කිරීමේදී ආරක්ෂාව සදහා ගන්න පියවර හේතුවෙනුත්  මේ භාණ්ඩ වල මිල ඉහළ යනවා.

 මෙවැනි හේතුන් කිහිපයක් වර්තමානයේ භාණ්ඩ වල මිල ඉහළ යාම සදහා බලපාලා තියනවා වගේම, මෙය මෙවැනි දරුණු තත්ත්වයක් බවට පත් වෙන්න ප්‍රධාන වශයෙන් අපේ අදූරදර්ශී  ප්‍රතිපත්ති හා කොවිඩ්-19 වසංගතය බලපාලා තියෙනවා.

බත් කරි Indicator එකට පිවිසෙන්න: www.bci.advocata.org.

තත්සරණි සිරිවර්ධන

(2022.01.20)


හොඳටම සහනාධාර දෙන්නේ කොහොමද?

අපි අදහන හැම ආගමකම දානය ගැන කියල තියනවා. බුදු දහමේ දානය හෙවත් දන් දීම නිතරම අගය කරනවා. කතෝලික ආගමේ කියන්නේ එක අතකින් දෙන දෙයක් අනෙක් අතට නොදැනෙන්න දෙන්න කියල. මුස්ලිම් ආගමෙත් නැති බැරි අයට දීම ගැන සදහන් වෙනවා. මේ අතර වාරයේදි තමයි මුදල් අමාත්‍යතුමා මේ දින වල ඉහළ යන ජීවන වියදම සැළකිල්ලට අරගෙන රජයේ සේවකයන්ට රු. 5000ක දීමනවක්, සමෘධිලාභීන්ට රු. 1000 ක දීමනාවක්, ගොවියන්ට වී කිලෝවකට රු 25ක අමතර මිලක්, වතුකරයේ ජනතාවට මසකට රු.80 බැගින් පාන් පිටි කිලෝ 15ක් වැනි රුපියල් බිලියන 229ක් බර තිබෙන දානයකට සමාන දීමනා ගොන්නක් ඉදිරිපත් කලේ. 

උද්ධමනය 12%ක් වීමත්, ආහර වර්ග වල මිල (ආහාර උද්ධමනය) 22%ක් ඉහළ යාමත් නිසා ජනතාව බඩු මිල සම්භන්ධව යම් මැසිවිල්ලක් නැගූ බව අසත්‍යක් නොවේ. එම නිසා පවතින දේශපාලන සන්​දර්භ​ය තුල මෙවැනි තීරණ දේශපාලකයන් ගනු ලබනවා. අපි අද බලන්නේ මෙවැනි දීමනා ලබා දීමේදී ලබා දිය යුතු හොදම ක්‍රමවේදය සහ මෙමගින් ආර්ථිකයට සිදිවිය හැකි බලපෑම කුමක්ද යන්නයි. 

මුලින්ම කියන්න අවශ්‍යයි සල්ලි ​නිකං ලබා දීම එතරම් හොද දෙයක් නොවේ. අපි සාමාන්‍යෙන් දරුවන්​​ට පවා උගන්වන්නේ මහන්සි වෙලා යමක් උපයා ගන්නා ලෙස මිසක් නිකං ලබා ගන්නා ලෙස නොවෙයි. මොකද නිකං ලබා ගැනීමේ මානසිකත්වයෙන් ඕනම කෙනෙක්ට ඉදිරියට යන්න අමාරුයි. නමුත් එය සත්‍යක් වුණත් මහ පොළවේ යතාර්තයට මුහණ දෙන්න වෙනවා. අමාරුකම් තියන දුප්පත් මිනිස්සු සෑහෙන අපි වගේ දකුණු ආසියාතික කලාපය තුල ඉන්නවා. අපි අත පය හතර තියනවානම් කුලී වැඩක් කරල හරි යමක් හොයා ගන්න බැරිද වගේ ඇහුවට ඔවුන්ට මහන්සි වෙලා ඉදිරියට එන්න පුලුවන් ක්‍රමයකටයි සහනාදාර දෙන්න අවශ්‍ය. 

එම නිසා මේ සහන මල්ලෙන් රජයේ සේවකයන්ට රු.5000 ක පඩි වැඩි වීමක් දීම තරමක් තේරුම් ගැනීමට අපහසුයි. ඒ සදහා බොහෝ විට හේතුව විය හැක්කේ රජයේ සේවකයන්ට පඩි ගෙවන්නේත් ඉතාම අඩුවෙන්. ඉති​න් බඩු මිල ඉහළ යාම ඔවුන්ටත් ඉතා තදින් දැනෙනවා. නමුත් ඒ සදහා පිළියම ඔවුන්ගේ පඩි නිකරුණ් වැඩි කිරීමට වඩා රජයේ අනවශ්‍ය සේවකයන් ඉවත් කර එම ඉතිරිවන මුදල හරහා රාජ්‍ය සේවයේ කාර්යක්ෂමව පැවතිය යුතු අංශ සදහා පඩි වැඩි කිරීමයි. අපේ රාජ්‍ය අංශයේ වැඩිපුරම සිටින්නේ කම්කරු මහත්වරු​න්, රියදුරු මහ​ත්වරුන් සහ ලිපිකාර සහ කාර්යාල සහයක මහත්වරුනුයි. ඔවුන් වැඩක් නැතිවුණත් නිකරුණේ කාලය ගත කරමින් විශාල අතිකාල දීමනාවක් ලබා ගන්නවා. මට හමුවුනු සංස්තා සහ රජයේ ආයතන වල සභාපතිවරුන් නිතරම කියන දෙයක් තමයි “මම අතිකාල (Overtime) ​අත්සන් කරම මට වඩා වැඩි පඩියක් මගේ රියදුරාට/ කාර්යාල සහයකට අත්සන් කරනවා" කියන කාරණය. ඔය හේතුව නිසා සමහර අතිකාල ලබා ගත හැකි රැකියාවල සිටින රාජ්‍ය සේවකය විධයක ශ්‍රේණියට සමහර අවස්තාවලදී ලබා දෙන උසස්වීම් පවා ලබා ගැනීමට මැලිවන බව රහසක් නෙවෙයි. මෙය කුඩා රාජ්‍ය ආයතන වල පමණක් නොවෙයි ශ්‍රී ලංකා මහ බැංකුව වැනි ස්තානවලත් එලෙසමයි. ඉතින් කාර්යක්ෂමතාවයක් නොමැතිව ඉහළ යන බඩු මිල වෙනුවෙන් රු. 5000ක දීමනාවක් ලබදීමෙන් සිදුවන්නේ බඩු මිල තවත් ඉහළ යාමට ඇති හැකියාව ඉහළ යාමයි. 

එය වැලැකිවීමට නම් අප බදු මුදල් වැඩි කිරීම හෝ දැනට වෙන්කර ඇති ප්‍රාග්ධන වියදම් (පාසල් ගොඩ නැගීමට, රෝහල් ගොඩ නැගීමට) කපා හැරීමට සිදු වෙනවා. 

නමුත් මහ පොලවේ යතාර්තය තමයි රජයේ සේවකයන් හැරුණු විට ඇත්තටම රැකියාවක් කර ගැනීමට තරම් දක්ෂතාවයක් නැති පිරිස් සමාජයේ සිටිනවා. අපි ඔවුන්ට යම් සහනයක් ලබා දිය යුතුයි. විශේෂයෙන්ම ආර්ථිකය​ක ව්‍යූහාත්මක වෙනස්කම් කිරීමේදී එහි බලපෑම වැඩිපුරම දැනෙන්නේ දුප්පත් මිනිසුන්ට​යි. ඛණිජ තෙල් මිල ඉහළ යාම, ආහර ව​ල මිල ඉහළ යාම, මූලික අවදියේ​දී වලදී ආර්ථිකය සංකෝචනය ව​න නිසා රැකියා අහිමි වීම වැනි බොහෝ දේ මුලින්ම බලපාන්නේ දුප්පත් මිනිස්සුන්ටයි. එහෙමනම් අපි ඔවුන්ට සහනයක් ලබා දෙන්නේ කොහොමද? 

ඒ සදහා ආර්ථික විද්‍යාවේ තිබෙන ක්‍රමවේදය තමයි එම පිරිස් සදහා සෘජුවම ඔවුන්ගේ බැංකු ගිණුමට තෝරාගත් ස්තර අනුව කෙලින්ම මුදල් ලබා දීම. අපි තව ටිකක් මේක පැහැදිලි කර ගමු. 

දුප්පත් වීමේත් විවිධ ස්තර තිබෙනවා. ඛණිජ තෙල් මිල ඉහළ යාම අඩු ආදායම් ලාභී තෙල් වලින් බෝට්ටු භාවිතා කරන ධීවර මහතෙකුට බ​ලපාන ප්‍රමාණය වැඩියි සාමාන්‍යයෙ​න් වාහනයක් භාවිතා නොකරන අඩු ආදායම් ලාභී කම්කරුවෙකුට වඩා. අපි දැන් අනුගමනය කරන ක්‍රමය තමයි රජය සහනාධාරයක් ලබා දීමෙන් හැම තෙල් ලීටරයක්ම අඩු මිලකට ලබාදීම. නමුත් අපි දන්නා පරිදි වැඩිපුරම තෙල් භාවිතා කරන්නේ එම තෙල් මිල දරා ගත හැකි පිරිසයි. තෙල් ලීටරයකින් කිලෝමීටර් 4-ක් 5ක් පම​ණක් ඉන්ධන කාර්යක්ෂමතාවක් ඇ​ති අධි සුපෝකභෝගී වාහන වල ගමන් ගන්නා පිරිසට තමයි හැමෝගෙම තෙල් මිල අ​ඩු කිරීමෙන් වැඩිම වාසිය වෙන්නේ. කොළඹ ප්‍රධා​න පෙලේ පාස​ල් අසල බොහෝ පිරිස් වාහනයේ එන්ජිම ක්‍රියාත්මක කරවා වායුසමනය තුල කාලය ගත කිරීම දැක ගත හැකියි. සැමගේම ඉන්ධන මිල අඩු කිරීමෙන් සිදුවන්නේ එවැනි දේ සදහා ඉන්ධන භාවිතා කරන අයටත් දිරි දීමනාවක් ලබා දීම​යි. ඊලගට කල හැකි වන්නේ දුප්පත් අය තෝරා ගෙන ඔවුන්ට පමණක් ඉන්ධන අඩු මිලට ලබා දීමයි. නමුත් එය ක්‍රියාත්මක කිරීම පහසු නෑ. ඒ වගේම ඉන්ධන අනවශ්‍ය අය වැඩිපුර මිලදී ගෙන එය කලු කඩ වෙළදාමක් බවට පත් වීමෙන් නැවත රජය ලබාදෙන සහනාධර​ය නාස්ති වීමට ඉඩ තිබෙනවා. 

එහෙමනම් මේ සදහා තිබෙන හොදම ක්‍රම​ය කුමක්ද? අන්න ඒ ක්‍රමයට තමයි අපි කියන්නේ සෘජුව ඩිජිටල් ක්‍රමයට මුදල් ලබා දීම කියල. මෙතනදි අපි කරන්නේ හැමෝටම සහනා​ධාරයක් ලබා දෙනවා වෙනුවට දුප්පත් පිරිස​ට පමණක් වෙළදපොළේ මිල උච්චාවචනය වීම අනුව සෘජුවම මුදල් ලබා දීම. එහිදී තෙල් අවශ්‍ය නැති අයට එම මුදල් තෙල් වෙනුවව ඔවුන්ට කැමති අවශ්‍යතාවයක් වෙනුවෙන් භාවිතා කරන්න පුලුවන්. ඒ වගේම එය ඩිජිටල් ක්‍රමයකට කෙලින්ම ඔවුන්ගේ බැංකු ගිණුමට ලබාදීම තමයි සුදුසුම. එතකොට මුදල් වංචා කිරීමට තිබෙන අවස්තාව අඩුයි. ඒ වගේම දේශපාළ බලය නිසා මුහුණ බලා මුදල් ලබා දීම, මුදල් ලබා දීමට රැස්වීම් පැවැත්වීම වැනි දේවල් කරන්න අපහසුයි. ඒ වගේම විශා​ල මුදල​ක් ඉතුරු කර ගත හැකියි. දැනට සමෘධිය සදහා වෙන් කරන මුදලෙන් 25%ක්ම වැය වන්නේ පරිපාලන වියදම් සදහායි. 

ඒ වගේම සහනාදාරය ලබා දීමෙදී ඉන්ධන භාවිතය අනුව සහනාධරය විවිධ අගයන් වලින් ලබා දිය හැකියි. වැඩිම අවශ්‍යතාවයක් තිබෙන පිරිසට වැඩි මුදලකුත්, අඩු අවශ්‍යතාවයක් තිබෙන අයට අඩු මුදලකුත් සහනාධාර ලෙස ලබා දිය හැකියි. ඒ වගේම ලෝක වෙළදපොලේ කලින් කලට ඉන්ධන මිල වෙනස් වෙනවා. එවිට අපිට එම මිල උච්චාවචනයට අනුව ලබා දෙන සහනාධාරය ඉහළ පහළ යැවිය හැකියි. එමගින් රජයට විශාල මුදලක් ඉතුරු කර ගත හැකියි වගේම නිකම් මිලට ගන්නවාට වඩා සහනාදාර ලබා ගන්න අයටත් අදාල භාන්ඩ ගෞරවාන්විතව මිලදී ගැනීමට හැකියාව තිබෙනවා. එමගින් අඩු ආදායම් තිබෙන පිරිස් තව තව​ත් සහනාධා​ර මත යැපීමට පොළඹවනවාට වඩා ඔවුන්ට උත්සහයෙන් වැඩ කිරීමට යම් දිරි ගැන්වීමක් ලැබෙනවා. 

සහනා​ධාර ලබා දීමේදීත් වෙළදපොළේ මිල වැඩි වන භාණ්ඩ සදහා සහ ඒවා භාවිතා කරන පිරිසට පමණක් සහනා​ධාර ලබා දිය හැකියි. දැනට අපගේ විදුලි බිලට, ජල ​බිලට, ඉන්ධන ආදී සෑම දෙයකටම රජයෙන් විශාල සහනාධාර​යක් ලබා දෙනවා. නමුත් එය තවදුරත් කිරීමට උත්සහ කිරීමෙන් ඇතිවන අනි​ටු විපාක වලින් සිදුවන්නේ රජයේ ප්‍රසාදය නැතිවීමත්, ජනතාව තවත් අපහසු තත්වයට පත්වීමයි. 

 ඉන්දියව වනි අප තරම් නොදියුණු රටවල් සහ අ​ප්‍රිකාවේ රටවල් මෙම සෘජු තෝරාගත් පිරිසට පමණක් සහනාදාර ලබා දීමේ ක්‍රම වෙත යොමු වී තිබෙනවා. (Direct Cash Transfer) ඔවුන් සහනාධාර ලබා දෙන්නේ වෙළඳපොළේ මිල ඉහළ පහළ යන ආකරය අනුවයි. ඉන්දියාවේ ආදාර් නම් ඩි​ජිටල් කාඩ්පත හරහා මම ක්‍රමය ක්‍රියාත්මකයි. එහි තේරුම එම ක්‍රම වල ප්‍රශ්න කිසිවක් නොමැති බව නොවේ. නමුත් අප දැන් අනුගනය කරන පාන්පිටි ග්‍රෑම් 500 ලබාදීම, රජ​යේ සේවකයන් හැමෝටම රු.5000ක් ලබාදීම වැනි ක්‍රියාමාර්ග මගින් සිදුවන නාස්තිය අති විශාලයි.

වසර ගණනාවක් මුලුල්ලේ Universal Basic Income නැතහොත් සෑම පුරවැසියෙකුටම යම් නිශ්චිත මුදලක් ලබා දී රජය මගින් ලබා ​දී විවිධ සහනාදාර කපා හැරීම පිළිබදව සාකච්චාවක් ලෝකයේ පවතිනවා. කෙසේ වෙතත් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී නිසි පරිදි අරමුණු කරගත් ආර්ථික අපහසු කම් ඇති අය තෝරා ගැනීමෙන් යම් උදව්වක් දීම අත්‍යාවශයි. නමුත් අපට එය කල හැකි ධාරිතාවේ සහනයක් විය යුතු​යි. එලෙසම එය ක්‍රමවත්ව විය යුතුයි. අපට කල නොහැකි මට්ටමේ සහනා​ධාර මහ බැංකුවෙන් ණයට ගන්නා මුදල් වලින් ලබා දීම​ට උත්සහ කිරීමෙන් අපගේ මුදල් වල වටිනාකම තවත් අඩුවී ජනතාව තවත් අපහසුතාවයට පත්වීමට ඉඩ තිබෙනවා. එම නිසා අප සහනාදාර ලබදීමේදි සහනාදාරය මෙන්ම එයින් ඇතිවන අනෙක් ප්‍රතිපල සහ ක්‍රමවේදය ගැනත් සැළකිලිමත් විය යුතුයි. 

ඇත්තටම අපිට අපේ විදේශ ණය ගෙවා ගන්න පුළුවන් ද ?

2021 ජනවාරී 18 ලංකාවට ගෙවන්න තියෙන ණය වාරිකයත් සමග ණය ගැන ගොඩක් දෙනෙක් කතා කරනවා. වර්තමානයේ ලංකාවේ ඇතිවෙලා තියෙන ණය අර්බුදය, දශක ගනනාවක් තිස්සේ සැලැස්මක් නොමැතිව ණය ලබා ගැනීම් වල ප්‍රතිඵලයක් ලෙස දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් රටක් ණය ලබා ගන්නේ ප්‍රධාන ලෙස කාරණා 3 කට.

  1. අයවැය හිඟය පියවන්න 

  2. විශාල වශෙයන් සිදුකරන යටිතල ප්‍රවර්ධන වැඩසටහන් සදහා 

  3. නොසිතු ලෙස ඇතිවෙන ආර්ථික කම්පනයන් සදහා මුහුණ දීමට 

ශ්‍රී ලංකාව පමණක් නොවෙයි ලෝකයේ හැම රටක්ම පාහේ ණය අරගෙන තම ආර්ථික කටයුතු සිදු කරනවා. එතකොට ගොඩක් දෙනක් අහන ප්‍රශ්නය තමයි අනිත් රටවල් වලට ණය ලබා ගෙන ආර්ථිකය අරගෙන යන්න පුලුවන් නම් ඇයි අපිට එහෙම කරන්න බැරි කියලා. අපේ රටේ මේ ඇති වෙලා තියෙන ප්‍රශ්නයට ප්‍රධාන හේතුව තමයි අපි ගත්ත ණය හරි විදියට කලමනාකරණය කරන්නේ නැති එක. සමහරක් ණය අරගෙන තියෙන්නේ රාජ්‍ය අංශයේ ණය ගෙවන්න හා රාජ්‍ය අංශයේ වැටුප් ගෙවන්න, තවත් ණය අරගෙන තියෙනවා නැවත ප්‍රතිලාභයක් නොලැබෙන ගොඩනැගිලි හා ව්‍යාපෘති සදහා. ආර්ථික විද්‍යාවට අනුකුලව ගන්න ණය නිසි ලෙස ආයෝජනය කල යුතුයි. ඒ කියන්නේ අපි ඩොලර් වලින් ණයක් ලබා ගත්තා නම් අපි ඒ ණය ආයෝජනය කල යුත්තේ අපිට ඩොලර් වලින්ම ප්‍රතිලාභයක් ලැබෙන දෙයක් සදහායි. අපි ඒ ණය මුදල රුපියල් වලින් ප්‍රතිලාභ ලැබෙන දෙයක් සදහා යෙදුවොත් වෙන්නේ අපි මේ සල්ලි ඩොලර් වලට මාරු කරන්න ඕනේ. ඊට අමතරව අපි මේ ණය ආයෝජනය කල යුත්තේ ඒ ලැබෙන ප්‍රතිලාභයෙන් ගත්ත ණයයි  පොලියයි දෙකම ගෙවීමට පුළුවන් වෙන විදිහට. අපිට ප්‍රතිලාභයක්  නොලැබෙන ව්‍යපෘති සදහා මේ ගන්න ණය ආයෝජනය කිරීමෙන් සිද්ධ වෙන්නේ අන්තිමට ඒ ණයත් අපේ භාණ්ඩාගාරයෙන් ම ගෙවීමට සිදු වෙන එකයි, ඒ කියන්නේ වක්‍ර ලෙස රටේ ජනතාවගේ සල්ලි වලින්ම තමයි ඒ ණය ගෙවන්න සිද්ධ වෙන්නේ. . 

කලින් ඉදපු රජයන් මොන හේතුන් වලට හෝ ණය ලබා ගත්තා, අපි දැන් බලන්න ඕනේ අපිට ඇත්තටම කොච්චර විදේශ ණය ප්‍රමාණයක් ගෙවන්න තියෙනව ද කියලා. 

ඉහත පෙන්වා ඇති ප්‍රස්ථාරයට අනුව අපිට ගෙවන්න තියෙන ණය ප්‍රමාණය අවුරුද්දෙන් අවුරුද්ද වැඩිවෙනවා මිසක අඩුනම් වෙන්නේ නෑ. 2022 වර්ෂය සදහා ඒ.ජ. ඩොලර් බිලියන 4.5 මුදලක් ගෙවන්න තියෙනවා. දැන් තියෙන ප්‍රශ්නය තමයි අපිට මේ ණය ගෙවන්න ප්‍රමාණවත් ඩොලර් තියෙනවාද කියන එක. මහ බැංකුවට අනුව 2021 දෙසැම්බර් 22 වන විට විදේශ සංචිත තත්ත්වය එ.ජ.ඩොලර් බිලියන 3.1 වෙනවා. මේකෙන් පෙනීයන්නේ අපිට මේ අවුරුද්දේ තියෙන ණය ටික ගෙවා ගන්නත් තව රටකින් උදව් ගන්න වෙනවා කියන එකයි. එතකොට තව අවුරුදු 5 ක් මේ විදියට අපිට රටක් විදියට ඉස්සරහට යන්න පුලුවන් ද? මේ ප්‍රශ්නය තවත් දරුණු වෙනවා මේ කෝවිඩ්-19 වසංගතයත් එක්ක, හැබැයි මේ ප්‍රශ්නය කොවිඩ් වසංගතය එන්න කලින් ඉදන්ම උග්‍ර වෙමින් තිබ්බා. අපිට අපේ මේ තියෙන ණය ගෙවන්න තව තවත් ණය ගත්තොත් අපි තවත් අමාරුවේ වැටෙනවා. 

මේ සිදුවීම් සමඟ විවිධ පුද්ගලයින් අපි IMF එකට යන්න ඕනේ ද? නැද්ද? කියන එක ගැන විවිධ මත පල කලා. අපි IMF එකට ගියත් නැතත් වඩා වැදගත් වන්නේ රජයක් වශයෙන් මේ ණය ගෙවීමට අවශ්‍ය නියමාකාර ක්‍රමවේදයක් ඊලග අවරුදු 5 සදහා යෙදවිය යුතුයි. අපි රටක් ලෙස ප්‍රතික්‍රියාශීලි ප්‍රතිපත්ති (reactive policy) තුලින් ඇත් වී ක්‍රියාකාරී ප්‍රතිපත්ති (proactive policy) සදහා යොමු විය යුතුයි. මේ ණය අර්බුදයෙන් ගොඩ ඒමට නම් කෙටි කාලීන විකල්ප වලින් ඇත් වී, දුරදිග බලා කටයුතු කල යුතුමයි. 

තත්සරණි සිරිවර්ධන 

(2022.01.10)


සැබෑ ආර්ථික අර්බුදය යනු මේ නගන අඳෝනාව නොවේ

Port City Party එකේ tickets sold out. One Galle Face එකේ මිනිස්සු පොරකති. Super market වල මිනිස්සු පොරමින් බඩු ගනිති. ඉදින් මොන ආර්ථික අවපාතද? මිනිසුන් සන්තෝසයෙන්. මේ දිනවල බොහෝ දෙනා කියන කතාවකි මෙය.

මගේ ගම දෙණියාය වුවද බොහෝ කාලෙක සිට පදිංචිය මොරටුවේය. මටත් මේ දිනවල නිතරම කෑම වේල්, නත්තල් සාද සහ අලුත් අවුරුදු සාදවලට ඇරයුම්ය. කතාවට කියන්නේ මොරටුවේ මිනිස්සුන්ට නත්තල් ඉවර වෙන්නේ ජනවාරි මාසයේ මොරටුවේ පල්ලියේ මංගල්ලෙන් බවයි. මේ දිනවල ඇති බොහෝ සාදවල විදේශීය මත්පැන් බෝතල් වර්ග මෙන්ම කෑම බීමද ඇති පදම්ය. බැලූ බැල්මට කිසිම ප්‍රශ්නයක් නෑ කියන කතාවේද වරදක් නැත.

ඒ කතාවට හේතුව නම් බොහෝ දෙනෙකු ආර්ථික අර්බුදයක් යනු කුමක්දැයි නොදැන සිටීමයි. බොහෝ දෙනා කල්පනා කරනුයේ ආර්ථික අවපාතවලදි මිනිස්සු පාරවල් අයිනේ අඬ අඬ සිටින බවයි.

එය වැරැදි වැටහීමකි. ආර්ථික අර්බුදවලදි එවැනි දේ සිදුනොවේ. (ඇතැම් විට විය හැකි වුවද එය සමස්ත චිත්‍රය නොවේ) සිදුවනුයේ සාමාන්‍ය විදියට මිනිස්සු හිනාවෙති. සාමාන්‍ය විදියට අඬති. නමුත් වෙනස නම් මිනිස්සු වෙනදට වඩා දුක් විඳීමයි. අපි අවුරුදු 30-40 ක් තිස්සේ ඉන්නේ ඒ වගේ අවපාතයක. ඒ නිසා අද අපි එය එතරම් ගණන් නොගන්නෙමු. මෙසමයේ එය ටිකත් තදින් දැනේ.

මගේ පරම්පරාවෙ බොහෝ දෙනෙකු ලයිට් කැපීමේ අත්දැකීම විඳ ඇත. වතුර කපනවා දැක තිබේ. බෝම්බ පත්තු වෙනවා දැක ඇත. තෙල් පෝලිම්, බෙහෙත් නොමැතිව මිනිසුන් මියයෑම අත්දැක ඇත. බොහෝ දෙනෙක් එවැනි සිදුවීම්වල ගොදුරු බවට පත්ව තිබේ. එනිසා... එනම්, අපි ලෝකය දකිනුයේ ආර්ථික අවපාත සහිත පද්ධතියක නිසා අපිට මෙය සාමාන්‍ය දෙයක් මෙන් පෙනෙයි. අපි උත්සහ ගත යුත්තේ එකී පද්ධතියෙන් එළියට පැමිණීමටය.

ආර්ථික අවපාතවලදි සිදුවනුයේ මිනිස්සුන්ගේ ජීවිතයේ ගුණාත්මක බව අඩුවීමය. එය ක්‍රමයෙන් සිදුවනුයේ අපිට නොදැනුවත්වමය. එය අපේ ශරීර සෞඛ්‍ය පිරිහෙනවා වැනිය. වැඩිපුර මත් වතුර භාවිත කිරීමෙන්, තෙල් වර්ග ආහාරට ගැනීමෙන් ශරීරය පිරිහෙනුයේ ක්‍රමක්‍රමයෙනි.

නමුදු අපි උත්සාහ ගත යුත්තේ ඉන් එළියට පැමිණීමටය. අපි සංතෝසෙන්, මුළු ලෝකෙම අපි මෙන් සංතෝසෙන් සිතා ප්‍රතිපත්ති තීරණ ගනුයේ Central Planning එකේ කොටසක් ලෙසිනි. නැතිනම් මුළු ආර්ථිකයම වායු සමනය කළ කාමරයක සිට තීරණය කළ හැකි යැයි සිතනුයේ ඒ ක්‍රමයටය. එවිට රජයේ සිටින්නාවූ නිලධාරීන් තීරණය කරනුයේ ඇතැම් දේ අත්‍යවශ්‍ය භාණ්ඩ, සමහර ඒව අත්‍යවශය භාණ්ඩ නොවන ලෙසයි. වාහන ඕනද.. ඔය ඕන තරම් වාහන තියෙන්නේ... ඔච්චර කන්න ඕනද? සලාක ක්‍රමයට කෑම ගන්න බැරි මොකද? ඇයි කිරිපිටි බොන්නේ.. බොන්න දියර කිරි බොන්න බැරිද වැනි අදහස් මතුවන්නේ එවිටය.

එයාකාරයෙන් ආර්ථිකයක් මතුපිට දේවලින් මැනීමට උත්සාහ කළොත් දැඩි අසීරුතාවට පත්වේ. මිනිසුන් උත්සව පැවැත්වීම, ඒවාට ජැන්ඩියට හැද පැලඳ සහභාගිවීම මෙන්ම රටේ සෑම තැනකම රූපලාවණ්‍යාගාර තිබීම වැනි දේ දෙස බලා රට දැන් තිබෙනුයේ ‘මාර සංවර්ධනයක‘ නේ යැයි තීන්දු කිරීම අප වැටෙනුයේ ලොකු අමාරුවකය.

අවාසනාවක මහත නම්, දැනට අපට දිස්වනුයේද ආර්ථික අර්බුදයට පිළිතුරු සොයනවා වෙනුවට එක් එක් දේශපාලන පක්ෂ වෛරය සහ ක්‍රෝධය පැතිරවීමයි. විරුද්ධ පාක්ෂිකයන් පවසනුයේ අප සිටියා නම් රට මෙතරම් අර්බුදයකට නොයන බවයි. ආණ්ඩු පක්ෂයෙන් පවසනුයේ විපක්ෂයේ කණ්ඩායම මේ වනවිට රට පාලනය කළේ නම් අද රටක් නැති බවයි. මේ දේශපාලන විගඩම අපට නම් නුහුරු දෙයක් නොවේ. ආණ්ඩුව හෝ විපක්ෂය රටේ ආර්ථිකය ගොඩනැගීම උදෙසා වූ නිවැරැදි වැඩපිළිවෙළක් ගැන සිතන්නේ නැත. එකිනෙකාට චෝදනා කරගනිමින් ඊළඟ වතාවේ බලය ලබාගැනීමට හෝ ලබාගත් බලය රඳවා ගැනීම උදෙසා ප්‍රකාශ නිකුත් කරමින් සිටී. මේ දේශපාලක කඹ ඇදිල්ලෙන් නම් කිසිදා රටක් වශයෙන් අපට ගොඩ යා නොහැක. මේ ප්‍රශ්නය උදෙසා අපිට ඇති එකම විසඳුම නම් ආර්ථික ප්‍රතිසංස්කරණ පමණි. අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙත ගියා හෝ නැතා ප්‍රශ්නය විසඳාගත යුත්තේ අපේ ආර්ථිකයට මොනවගේ වෙනස්කම් කළ යුතුද යන්න පිළිබඳ සිතමිනි.

මේ පුංචි දිවයින ධාන්‍යයෙන් පිරි රටක්. මේක මාර වාසනාවන්තයි, පුණ්‍ය භූමියක්, මෝල් ගහක් හිටෙව්වත් පැළ වෙනවා වගේ වැනි සිත නිවාගැනීමේ කතාවලින් නම් ගොඩඒමක් නැත. ශ්‍රී ලංකාව වාසනාවන්ත රටකි. එය රහසක් නොවේ. එහෙත් රට වාසනාවන්ත වී මෙතරම් අවාසනාවන්ත ආර්ථිකයක් හිමිවීම ගැන අප නැවත සිතිය යුතු නොවේද?

විදුලි බල මණ්ඩලයට ඩොලර් නැතිලු. දැන් ජනවාරි ඉඳන් ලයිට් කැපීමට යයි. ගුවන් සමාගම් ලංකාවට ඩොලර් නැත. එනිසා ඉන්ධන ලබාගැනීමේ අසීරුතාව නිසා ගුවන් ගමන් සීමා කිරීමට සිදුවේ. බෙහෙත් වර්ග ගෙන්වීම සීමාවි ඇත. පාරිභෝගිකයා රජුයි කියා (Consumer is the king) හිතන යුගයක භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට සලාක ක්‍රම සහ කූපන් හඳුන්වාදීමට යයි. මෙවැනි තව දිග ලයිස්තුවක් තිබෙද්දි අපි සිටිනුයේ ප්‍රශ්නයක නොවේ යැයි සිතීමට තරම් අප මුරණ්ඩු විය යුතු නැත.

ගෝලීය වසංගතයකින් ලොව තැති ගත් මොහොතක අපි තාමත් ජීවතුන් අතරය. එය කෙතරම් දෙයක්ද? ඉඳින් අපි ගැන විතරක් හිතන තැනින් නැවතී අනිත් මිනිස්සු විදින දුක ගැනත් හිතමුද? ඕනම වෙෙළදපොළ ක්‍රමයක ඇති වැදගත්ම සංකල්පයද එයයි. අප භාණ්ඩයක හෝ සේවාවක අතිරික්තයක් උපරිම ගුණාත්මකභාවයකින් අඩුම මිලට දෙනුයේ අනෙකා වැය කරන මුදලට වඩා වැඩි වටිනාකමක් ලබාදීමටය. අපේ වටේ ලෝකය කැරකෙනවා යන මානසිකත්වයෙන් අප මිදෙනුයේ එවිටය. "Give up the drop to become the ocean" (සාගරය වීමට බිංදුව අත්හරින්න) කියන තැනට අප යා යුත්තේය.

බොහෝ දනන් මෙවැනි ආර්ථික අර්බුදයක් ගැන කතා කරද්දි සෘණාත්මකව නොසිතා, ධනාත්මකව හිතන්න නොහැක්කේ ඇයි දැයි අසති. ධනාත්මකවීම යනු යථාර්ථවාදී වීම මිස අර්බුදයක් නැතැයි සිතමින් මතුර මතුරා සිටීම නොවේ.

බුදුරදුන් ධනාත්මක වූයේ දුක ගැන සිතාය. දුක ඇති බව අවබෝධ කරගෙන. එයට මාර්ගය හොයාගෙනය. දුක කියල දෙයක් නැත යැයි සිතමින් ධනාත්මකව හිතන්නට ගත්තා නම් සිදුවනුයේ කුමක්දැයි අමුතුවෙන් පැවැසිය යුතු නොවේ.

මම මානුෂීය සංවිධාන කිහිපයක ස්වේච්ඡාවෙන් වැඩ කරන්නෙමි. ඒ සෑම දේකින්ම අධ්‍යාපනය ලබන දරුවන්ට, පිළිකා රෝගීන්ට, කුඩා හා ක්ෂුද්‍ර ව්‍යාපාරිකයන්ට, පාසල් දරුවන්ගේ පුස්තකාල පොත් ලබාදීම මෙන්ම විවිධ වැඩ සඳහා මසකට මිනිස්සු 2500කට කිට්ටු ප්‍රමාණයකට තවත් අයගේ උදව්වෙන් ශක්තියක් වී ඇත. ඒ දෙදහස් පන්සිය දෙනා ඇසුරේ ලේසියෙන්ම කථා දෙදහස් පන්සියයක් සොයාගත හැකිය. ඒත් මිනිසුන් දුක් විඳිනවා යනු මුහුණු එල්ලාසිටීම නොවේ. එමෙන්ම මිනිසුන් නත්තල් සාද පවත්වනවා යනු හෝ වෙනත් උත්සව පවත්වනවා යනු සියල්ල සම්පූර්ණව සතුටින් සිටිනවා යැයි පැවැසීමද නොවේ.

ඕනෑම ධනවත් සමාජයක දුප්පත් මිනිස්සු සිටිති. ඕනෑම දුප්පත් සමාජයකත් පොහොසත්තු සිටිති. මේ දෙපාර්ශ්වයෙන් එක් පාර්ශ්වයක් දෙස බලා සමස්තය පිළිබඳ සිතුවමක් මවා ගැනීම වෙනුවට මේ පද්ධතියම ඉදිරියට තල්ලු කර මිනිසුන්ගේ ජීවන මට්ටම් ඉහළ දැමීම කෙරෙහි අප අවධානය යොමුවිය යුත්තේ. දත්ත සහ තොරතුරු මත පදනම්වූ ආර්ථික විද්‍යාවක් අවශ්‍ය වනුයේ එයටය.

නැවතත් පවසමි... ආර්ථික අවපාතයක් යනු මිනිස්සු හැමදාම ඇඬීම නොවේ. මිනිස්සු තමන්ගේ අපෙක්ෂාවන් අඩුකර ගනිති. තමන්ට කළ හැකි උපරිම සීමාවේ දේ නොකර ඊට මෙහායින් සෑහීමකට පත් වෙති. උදාහරණයක් විදියට ලෙහෙසියෙන් ගෙයක් හැදීමට බලාපොරොත්තුවෙන් සිටි තරුණයෙක් සිමෙන්ති සහ යකඩ හිඟය නිසා පසුව ගෙයක් හැදීම කෙරෙහි උනන්දු වේ. ආර්ථික අර්බුද යනු ඒවාය. මිනිස්සු තම සිහින සීමාකර ගනිමි. සිනහවෙමින් දුක්විඳිති. එලෙස දුක් වෙන සහ දුක්විඳින වාර ගණන වැඩිවේ. තමන් දුක් විඳින බව නොදැන දුක් විඳි. දුකම කොයි තරම් සතුටක් දෝ කියා දුක් විඳිති. අවසානයේ ජීවිතයේ ගුණාත්මක බව ගිලිහේ.

ඒ බව නොදන නැවත ජීවනාපේක්ෂාවන් සීමා කරගෙන ආයෙත් දුක සැපක්යැයි සිතති. එසේ සිතා මේ ජීවිතය ‘මාර නියමයි’ කියා සිත සනසව ගනිමින් තමන්ට සැබෑවටම කළ යුතුව තිබූ දේ අහිමිකර ගනිමින්, සීමාකර ගනිමින් අවුරුදු 80ක් ගෙවා එය ජීවිතය යැයි පවසා අවසානයේ ස්වර්ගයේ හෝ දිව්‍ය ලෝකයේදී ඇහැරෙන්න බලාගෙන දිගු නින්දකට යති. ඇත්තම ආර්ථික අර්බුදය එයයි.

2021 දෙසැම්බර් 31 වැනි දින අරුණ පුවත්පතේ පළ වූ ලිපිය

රටට ආදරය කරන ආර්ථිකයක් හදන විදිහ

'ආදරය’ ආර්ථික විද්‍යාවත් එක්ක එකට යන වචනයක් නොවේ. එහෙත් අපි ආදරය කරන දේවල් නිසා අපේ ආර්ථිකය මෙන්ම රටේ ආර්ථිකයටද විශාල වෙනස්කම් විය හැකිය. එනිසා රටට ආදරය කරන ආර්ථිකයක් හැදිය හැක්කේ කෙලෙසින්දැයි සොයා බැලීම වර්තමානයේ වඩා වැදගත් වේ.

බැලූ බැල්මට මාතෘකාව සරලය. නමුත් මේ තේමාවේ පෙරලිකාරම වදන නම් “ආදරය" යි. බොහෝ දෑ හිතකාමීහු රටට ආදරේ යැයි පවසති. එහෙත් වදනින් පැවැසුවද සත්‍ය ලෙසම රටට ආදරය කරන්නේද? 

ශ්‍රී ලංකාවේ බොහෝ අය ආදරය යන වදනේ නිවැරදිම තේරුම නොදනිති. මාගේ අත්දැකීම නම් අප ආදරය යනුවෙන් වටහාගෙන සිටිනුයේ ආදරයට වඩා අපේ ප්‍රතිවාදියාට තිබෙන තරහ සහ වෛරයයි.. ආර්ථිකයේ මෙන්ම පුද්ගලික ජීවිතවලද මේ ප්‍රශ්නය මෙලෙසින්ම පවතී. 

පුද්ගලික ජීවිත පිළිබද අවධානය යොමුකළහොත් පෙම්වතා පෙම්වතිය සමග සියදිවි නසා ගැනීමේ සිට, අනියම් සම්බන්දතා නිසා බිරිදව ස්වාමියාව පමණක් නොව, ඉඩම් ආරවුල් නිසා සහෝදර සහෝදරයන්, දෙමව්පියන් පවා ඝාතනය වන අවස්ථා නිතර දෙවේලේ මාධ්‍ය වල වාර්තාවේ. මෙකී සෑම සිදුවීමකනින්ම තහවුරු වනුයේ අපි බොහෝ දෙනෙක් ආදරය කියා සිතා සිටින්නේ අප කැමති දේවල් එලෙසින්ම සිදුනොවද්දි එයින් පැනනගින ප්‍රතිරෝදයට ක්‍රෝධ කිරීම බවය. තමන් සැබවින්ම ආදරය කරනවා නම් වෙනත් අයෙක්ට පීඩාවක් කිරීම ඉතා අපහසුය. අපේ පීඩාව අප බොහෝ විට ඉවසන්නේ අපේ පීඩාවට වඩා අනෙකාගේ සතුට තුල අපේ ආදරය ගැබ් වී ඇති නිසාය. දෙමව්පියන් දරුවන් වෙනුවෙන් දුක් විදීම සැබෑ ආදරය වටහා ගැනීමට කාලෝචිත උපමාවකි. නමුත් මවක් කිසිදිනක තමාගේ දරුවාට ආදරය පෙන්වීමට අනෙක් දරුවන්ට ක්‍රෝධ කිරීමක් සිදු කරන්නේ නැත. හුණු වටයේ කතාවෙන් පැහැදිලි වන්නේත් එවැනි අදහසකි. 

මානව ප්‍රේමය, ආදරය එසේ වුවද, ආර්ථිකය සම්බන්ධයෙන් තත්ත්වයද මීට ටිකක් සමාන වන අතර ඇතැම් විට වෙනස්ය.

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් සිතන්නේ සමාජයේ එක් පිරිසක් දුප්පත් වන්නේ සමාජයේ තවත් පිරිසක් පොසත් වන නිසා බවයි. එනිසා දුප්පත්කමින් මිදීමට අප බොහෝ විට කරන්නේ පොහොසතුන්ට ක්‍රෝධ කිරීමය. එවැනි අදහස් එතරම්ම සාර්ථක අදහස් නොව් යන්න මගේ හැගීමයි. එය සමාජයේ සමහරුන් නිරෝගී වන්නේ සමජයේ තවත් සමහරුන් රෝගී වීම නිසා යයි සිතනවා වැනිය. 

නිරෝගී අය නිරෝගී වන්නේත් රෝගී අය රෝගී වන්නේත් ඒ සදහාම වන හේතු නිසා බව නිතර වටහා ගැනීමට අපහසු වේ. මේ පිළිබදව බුදු දහමේ හේතු ඵල දහමිනුත් පැහැදිලි කර තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුද පිළිබදවත් අප නිතරම වැරදි ලෙස සිතන්නේ මේ ගැන අපේ අවබෝදය අඩු බැවිනි. අප එය මේ අවකාශය තුළ බොහෝ පැහැදිලි කර ඇත. 

ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් රටට ආදරය කරනවා යනු රටට ආදරයට වඩා අනෙක් අයට ක්‍රෝධ කිරීමකි. රටේ පවතින ආර්ථික ප්‍රශ්න බොහෝ විට අපි අවසන් කරන්නේ එය අපේ ප්‍රශ්නයක් ලෙස දකිනවා වෙනුවට ඉන්දියාවේ, චීනයේ, ඇමරිකාවේ, ජපානයේ හෝ නැතිනම් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙසය. එය එසේ වීමට හේතුව විය හැක්කේ වසර ගණනාවක සිට ශ්‍රී ලංකාවේ පැවති යුධමය වාතවරණයයි. චෝල, පාණ්ඩ්‍ය ආක්‍රමණ වල සිට, පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ආක්‍රමණ මෙන්ම ඉන් අනතුරුව ඇතිවූ ජාති වාදී ගැටුම් මෙන්ම මෑතකදී සිදුවූ පාස්කු ප්‍රහාරය අප එකිනෙකා පිළිබදව සැකයෙන් සහ වෛරයෙන් බලන්නට මග පෑදූ බව රහසක් නොවේ. 

එම පසුබිමම අපේ ආර්ථික තත්ත්වයටත් එලෙසම බලපා ඇත. ශ්‍රී ලංකාව නිදහසෙන් පසු ආර්ථිකමය වශයෙන් සැබවින්ම දියුණු නොවූ තරම්ය. ලෝකයේ සිදුවන වෙනස්කම් සහ පරිණාමයෙන් යම් වාසියක් ලබා ගනිමින් ඒක පුද්ගල දළ දේශීය නිශ්පාදනය ඩොලර් 4000 මට්ටමට පැමිණියා විනා අපේම මහන්සියෙන් කර්මාන්ත දියුණ කර ගනිමින් දියුණු වූ කාලසීමාවක් නොමැති තරම්ය. එනිසා සැබවින්ම ශ්‍රී ලංකාව ගලා නොයන, එක තැන පල්වෙන වතුර පහරක් මෙනි. කාලයත් සමග පල් වීමේදී  හමන දුගද නිසා එම වතුර පහරේ සිටින ජීවීන් එය හැර යන්න උත්සහ කරනවා මෙන් එම වතුර පහර අසල සිටින සැවොම වතුර පහරෙන් ඈතට ඉවත්ව යයි. ශ්‍රී ලංකාව පැමිණ ඇත්තේ එම තත්ත්වයටයි. 

ශ්‍රී ලංකාවට ඉදිරියේදී ගෙවීමට තිබෙන ණය පිළිබදව විශාල සාක්ච්ඡවකට භාජනය වී තිබේ. අපි වසර ගණනාවක්ම රටට සැබවින්ම ආදරය කරන ආර්ථික ක්‍රමයක් වෙනුවට අනෙක් රටවල් වලට වෛර කරන ආර්ථික ක්‍රමයක් නිර්මාණය කරමින් කල් ගත කළෙමු. අපි අපේ රටට ආදරෙයි කියා අනෙක් රටවල් වලට සහ සමාජවල සිදු කළ වෛරයේ ගොදුරක් බවට අපි අද පත්ව ඇත. 

ලොව අනෙක් රටවල් වලට වෛර කිරීම අපේ රටට ආදර කිරීමක් ලෙස දුටු බැවින් අපි අලුත් දේවල් තැනීම වෙනුවට අපිම සියල්ල කර ගත හැකියි යන මිත්‍යාවට පත්වීමු. මෑතක් වන තුරුම ඉංග්‍රීසි භාෂාව වැනි ජාත්‍යන්තර භාෂා වැඩක් නැත වැනි සමාජ මතයක් අපි තබාගෙන සිටියෙමු.. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම වැනි සංකල්ප අපව ලෝකෙත් සමග එකතු වීම  අධෛර්යට පත් කිරීමට හේතු පාදක විණි. 

අද ලෝකයේ කිසිම සරල භාණ්ඩයක් එක රටක් තුල පමණක් නිෂ්පාදනය නොකරයි. අප ශ්‍රී ලාංකිකයි කියන සිලෝන් ටී (Ceylon Tea) නිෂ්පාදනය කිරීමට වෙනත් රටවල් වල  අමුද්‍රව්‍ය, තාක්ෂණය සහ නැව් කර්මාන්තය අපි භාවිතා කරන්නෙමු. වෙනත් ඕනෑම සරල භාණ්ඩයක තත්ත්වයද එයමයි. 

ලෝකයේ කිසිම භාණ්ඩයක් එක් රටක පමණක් නිෂ්පාදනය වුණු යුගය අවසන් වුණේ දශක කිහිපයකට පෙරය.  මේ යුගය සදහන් කරන්නේ ගෝලීය නිෂ්පාදන ජාල යුගය ලෙසිනි. (Global Production Network) ලෝකයේ නිෂ්පාදනය කරන සෑම භාණ්ඩයකම රටවල් ගණනාවක් කොටස්කරුවෝ වෙති.. එම කොටස්කරුවන් යනු විශාල ව්‍යාපාරිකයන් පමණක් නොවේ.  ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම ව්‍යාපාර විශාල ප්‍රමාණයක් මෙම සැපයුම් ජාල වල කොටස්කරුවෝ වෙති. එනිසා බොහෝ දුප්පත් මිනිසුන් අතරට මුදල් යාම සිදුවේ. එමගින් ඔවුන්ගේ ආදායම වැඩිවීම නිසා මෙය රටවල් පොහොසත් වීම සිදුවන ක්‍රියා පටිපාටියයි. නමුත් ශ්‍රී ලංකාව විවිධ රටවල් වලට වෛර කිරීම සහ ක්‍රෝධ කිරීම රටට ආදරය කිරීම ලෙස දුටු බැවින් ලෝකය පුරා දිවයන ව්‍යාපාර සහ නිෂ්පාදන දාම සහ ජාල සමග සම්භන්ධ නොවිණි. එහි ප්‍රතිඵලයක් ලෙස අපි එක තැන පල්වුනෙමු. 

ලෝකය වේගයෙන් ඉදිරියට ගියේය. ඇතැම් අංශවල ශ්‍රී ලංකාව ලෝකය පුරා දිවෙන නිෂ්පාදන ජාල සමග සම්බන්ද වී තිබේ. උදාහරණයක් ලෙස ලෝකයේ ප්‍රමුඛ පෙලේ වාහන සදහා සෙන්සර් (Censor), ගුවන් යානා සදහා රෝද, ප්‍රමුඛ පෙළේ ඇගලුම් සන්නාම සදහා ඇගලුම් වැනි දෑ සමග ගෝලීය වශයෙන් අපි සම්භන්ධ වී සිටින්නෙමු. නමුදු එය ඉතා සුලු වශයෙනි. මුලු රටක් දිළිදු බවින් ගොඩ ගැනීමට සහ අපට තිබෙන ආර්ථික අර්බුදවලින් ගොඩ ඒමට එය ප්‍රමාණවත් නොවේ. අපි මේ තරමින් හෝ බේරී සිටින්නේ අප ලෝකයත් සමග සම්භන්ධවී තිබෙන නිෂ්පාදන කර්මාන්තවල පිහිටෙනි. 

ලෝකයේ ඉදිරියට ගමන් කල චීනය, වියට්නාමය, සිංගප්පූරුව වැනි රටවල් ඉදිරියටම ගමන් කළේ ලෝකය සමග සම්භන්ධ වීමෙනි. ලෝක ප්‍රකට ඇපල් සමාගම ඇතුලු බොහෝ සමාගම් ඉහත රටවල් වලට ඔවුන්ගේ නිෂ්පාදන සහ සේවා රැගෙන ගියේ එම රටවල් ලෝකය සමග සම්භන්ධ වීමට දැක්වූ නම්‍යතාව නිසාය. 

ශ්‍රී ලංකාව වැනි කුඩා දිවයිනකට සශ්‍රීක වීමට නම් අප ලෝකය සමග ගෝලීය නිෂ්පාදන දාම සමග සම්භන්ධ වීම ඉතාම වැදගත් වේ. එසේ නොමැති වුවහොත් ශ්‍රී ලංකාව තවදුරටත් ප්‍රශ්න ගොන්නකට මුහුණ දීමේ අවධානයට ලක්වීම නිසැකය.. 

අප අදහන ආගමට ආදරෙයි නම් අප මුලින්ම අනෙක් ආගම් අදහන අයට ආදරය කළ යුතුය. අප අපේ දුවට පුතාට, නංගිට, මල්ලීට, මවට පියාට සැබවින්ම ආදරෙයි නම් අපි ලෝකයේ අනෙක් නංගිලා, මල්ලිලා, අම්මලා තාත්තලාට ආදරය කළ යුතුමය. මක්නිසාද අපිට ඔවුන්වත් අපි ලෙසම දැනිය යුතු බැවිනි. අපේ සමීපතමයන්ට ආදරය කිරීම යනු අනෙක් අයගේ සමීපතමයන්ට වෛර සහ ක්‍රෝධ කිරිම නොවේ. 

එමෙන්ම අපේ රටට ආදර කිරීම යනු අනෙක් රටවල් වලට වෛර කිරීම නොවේ. අපි අපේ ලෝකයත් සමග සම්භන්ධ වී අනෙක් රටවල් සමග සහ පුරවැසියන් සමග එකට වැඩ කිරීමයි. එය අපි අපේ රටට ආදරය කළ හැකි හොදම විදිහ වේ. . 

2021 දෙසැම්බර් 24 වැනි දින අරුණ පුවත්පතේ පළ වූ ලිපිය

රුපියල් අච්චු ගහද්දි ඩොලර් සංචිත අඩුවෙන්නෙ කොහොමද?

අපට අපගේ විදෙස් සංචිත සහ රුපියල් ගැන සිහිපත්වනුයේ ආර්ථිකය අවසන් අඩියට කඩා වැටුණට පසුවය. මේ දිනවල විදේශ සංචිතවල තත්ත්ත්වය සම්බන්ධයෙන් බොහෝ තැන්වල කතාබහ වෙති. ආර්ථික විද්වත්හු ඒ ගැන විවිධ විවරණ දෙති. කොහොම වුණත් සංචිත පහළයන්නෙ ඇයි කියල සොයා බැලීමත් වැදගත්ය.

ඇතැමුන් සිතාසිටිනුයේ රජය ආනයන තහනම් කළද ආණ්ඩුව හොර රහසේ භාණ්ඩ ගෙන්වන බවය. එලෙස භාණ්ඩ ගෙන්වන්නේ නැතිනම් මේ ආකාරයෙන් රුපියල බාල්දු නොවන බව සාමාන්‍ය ජනතාවගේ අදහසයි. විදේශයක සිටින මා මිතුරෙක් මැතකදී විමසා සිටියේ “ඩොලර් නම් අතේ තියෙනව. ඒවා දැන්ම රුපියල් කරන්නද? නැත්නම් තව කාලයක් ගිහිල්ල රුපියල්වලට හරවන්නද යනුවෙනි.

ආනයන තහනම ඉවත් කළොත් රටේ මේ තියෙන ගැටලු තවත් උග්‍රවන බව තමයි තව පිරිසකගේ අදහස. ඒ වගේම රුපියල දිනෙන් දින කඩාවැටීම හමුවේ අපේ ආර්ථිකය කඩා වැටෙනවා නේද? තවත් පිරිසක්  ප්‍රශ්න කරති. යම් යම් පුද්ගලයන් තමන් සිටින, තමාට වැටෙහන තත්ත්වය අනුව පවතින අර්බුද විවිධාකාරයෙන් විග්‍රහ කරමින් සිටිති.

මෙහිදී අප පළමුව තේරුම් ගත යුත්තක් ඇත. එනම් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය යනු රටක ආර්ථිකය හොඳට දුවනවද නරකට දුවනවද යැයි පරීක්ෂා කර බලන මීටරය වැනි දෙයක් නොවන බවයි. එහි අරුත “ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම කිසිම ප්‍රශ්නයක් නැහැ, අපිට භය වෙන්න කිසිම හේතුවක් නෑ” යන්න නම් නොවේ. ‍විවිධ හේතු නිසා එක් එක් රටවල මුදල් ඒකක අවප්‍රමාණය විය හැකිය. උදාහරණයක් ලෙසින් ඇමරිකාව වැනි දියුණු රටක පොලිය වැඩි කිරීම/අඩු කිරීම වැනි දේ බලපා හැකිය. නමුත් මේ රුපියල වැටෙන්නෙ අපේ මූල්‍ය පද්ධතියෙ ඇති රුපියල් ප්‍රමාණය වැඩි කිරීම නිසාය. මුදල් අච්චු ගැසූ හැම මොහොතකම රුපියල කඩා වැටුණි.

2015 වසරේදී උද්ධමනය අඩුයි යැයි පවසමින් මුදල් අච්චු ගැසීය. එහි ප්‍රතිඵලය වූයේ 131 ට තිබූ රුපියල 151 දක්වා අවප්‍රමාණය වීමයි. 2018දිත් එම ක්‍රමයම අනුගමනය කෙරුණි. එහිදී රුපියල 181ට ඉහළ ගියේය. මේ මොහොතේ ඩොලරය රුපියල් 200 සීමාවේ තබාගෙන සිටිනුයේ කෘතිමවය. මීට පෙරද සල්ලි අච්චු ගැසීය. එවිට රුපියල කඩා වැටෙද්දි සංචිතවලින් ඩොලර් වෙළඳ පොළට මුදාහැර, ණය වී ලබාගත් ඩොලර් සංචිතවලට මුදා හැරියේය. ඒ මුදල් නැවත රුපියල අවප්‍රමාණය වීම නැවැත්වීමට යෙදවීය. සල්ලි අච්චු ගැහීම මේ මොහොතේ වඩා භයානක වනුයේ ණය ගෙවීමට ඇති සංචිත සල්ලි අච්චු ගැසීමෙදී එන්න එන්නම අඩු වන නිසාය. සල්ලි අච්චු ගැහුවාම කොහොමද සංචිත අඩුවන්නේ යන ප්‍රශ්නය දැන් ඔබට පැන නැගෙනු ඇත. ඊට පිළිතුර නම් ආනයන වැඩි වෙන නිසා. එසේ නම් මුදල් අච්චු ගැසීම සහ ආනයන අතර ඇති සම්බන්ධය කුමක්ද? අප අච්චු ගසන්නේ රුපියල්ය. එහෙත් භාණ්ඩ ගෙන්වීමේදී ගෙවන්නේ ඩෙලර්වලිනි. එය සිදුවනුයේ මෙලෙසිනි.

සල්ලි අච්චු ගැසූ විට බැංකුවලට ණයට දීමට මූල්‍ය පද්ධතිය තුළ ඕනෑ තරම් මුදල් ඇත. සල්ලි අච්චු ගැහුවෙ නැතිතම් බැංකුවලට ණයට දෙන්න ඇත්තේ තැන්පත්කරුවන්ගේ මුදල්ය. තැන්පත්කරුවන්ගෙන් මුදල් වැඩිපුර තැන්පත් කර ගැනීමට නම් වැඩි පොලියක් ගෙවිය යුතුය. ඉන් අදහස් වූයේ මිනිස්සු වියදම් නොකර මුදල් ඉතුරු කළ යුතුය. නමුත් එවිට ආර්ථික වර්ධනය සිදුවනුයේ සෙමිනි. මන්ද මුදල් ඉතුරු කරනවා යනු නව ඉදිකිරීම් අඩුය, යන්ත්‍රසූත්‍ර මිලදී ගැනීම් අඩුය. එමගින් ආර්ථිකය හිරවේ. එවිට බැංකුවලට ණයට දීමට ඇති මුදල් අඩුය. ඒත් දැන් සිදුකරනුයේ මහ බැංකුව සල්ලි අච්චු ගැසීමය. එවිට බැංකුවලට මහ බැංකුවෙන් මුදල් ඉක්මනින් ගෙන ආයෙත් සාමාන්‍ය මිනිස්සුන්ට ණයට දිය හැකි. එවිට වැඩිපුර ණය දෙනවා යනු ආර්ථික ගමන වේගවත් වීමකි. Credit හොඳට යනවා යැයි පවසන්නේ එයටය. නමුත් එහිදී ආනයන වැඩි වේ. කවුරුන් හෝ බැංකුවෙන් ණයක් ‍ගෙන බිල්ඩිම් ඉදිකළහොත් රුපියල්වලින් ගෙවීම් කළද ඒ සඳහා භාවිත වන යකඩ ගෙන්වන්නේ ආනයනය කරය. සිමෙන්ති ආනයනය කර, වීදුරු ආනයනය කර. බිල්ඩිම හදන කෙනා රුපියල්වලින් ගෙවීම් සිදුකළද අන්තිමේදී වැයවන්නේ ඩොලර්වලිනි. ආනයන කෙතරම් තහනම් කළද පළක් නොවන බව සහ එය රුපියල අවප්‍රමාණය වීමට බලපෑමක් නැතැයි මා නිරන්තරයෙන් පවසන්නේ එනිසාය. ඊට වඩා ගැළපෙන්නේ ආනයන තහනම ඉවත් කර, පද්ධතියේ ඇති රුපියල් ප්‍රමාණය අඩු කිරීම. එවිට ඉබේම ආනයන අඩු වේ. ආනයනවලට ඇති ඉල්ලුම අඩු වේ. ඩොලර් පද්ධතිය වැය නොවේ. එය ඉතිරි වේ. නිෂ්පාදනය වැඩි කිරීම සහ කාර්යක්ෂම බව තුළින් අපේ ආර්ථිකය වර්ධනය කළ හැකිය.

මුදල් වැඩිපුර අච්චු ගහපු ගමන් ආනයන වැඩි වෙනව කියල බොහෝ දෙනාට වැටහෙන්නේ නැත. ආනයන කෙතරම් තහනම් කළද ආනයනය කළ හැකි දේට මිනිසුන් යොමු වේ. උදාහරණයක් ලෙසින් ගතහොත් බැංකුවෙන් ණයක් ගෙන වාහනයක් මිලදී ගැනීමට සිටි පුද්ගලයෙක් දැන් වාහන ගෙන්වන්න බැරි නිසාත්, නිවාස ණය පොලිය අඩු නිසා ගෙයක් හැදීමට උත්සාහ කරයි. නැතිනම් පරණ වාහනයක් මිලදී ගනියි. එවිට පැරණි වාහනය විකුණූ පුද්ගලයා පරිගණකයක් මිලදී ගන්නා යැයි තීරණය කළහොත් ඒත් අන්තිමට වියදම යන්නෙ ඩොලර්වලින්මයි. එහෙම නම් අපේ රටේ සන්නාම සහිත භාණ්ඩ පරිභෝජනය කළාම ඩොලර් ඉතිරි වේ යැයි යමෙක් තර්ක කළ හැකිය. එහෙත් නවීන නිෂ්පාදන බිහිවනුයේ රටවල් ගණනාවක අමුද්‍රව්‍ය එකතු වීය. උදාහරණයකට ශ්‍රී ලාංකික සන්නාමයක් වන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ගනිමු. අපි විදෙස් සංචාරයන් යෑමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පමණක් භාවිත කළද, ඒ වෙනුවෙන් අපි ගෙවන්නා වූ මුදල් ලෝකෙ වටේටම සැරිසරයි. එකී ගුවන්යානයට ගහන තෙල් අපේ නොවේ. ගුවන්යානය නිර්මාණය කළ යකඩ අපේ නොවේ. මේ ආකාරයෙන් අපේ නොවන ගැන දිගු ලැයිස්තුවක් විය හැකිය. එනිසාය අපේ ආර්ථිකය අනෙකුත් ආර්ථික හා සම්බන් කිරීම වැදගත් වනුයේ. එවිට විදෙස් රටක අයෙක් මුදල් වියදම් කළද‍ ඉන් කොටසක් අපේ රටටද ගලා ඒ.

ශ්‍රී ලන්කන් සමාගමේ ගුවන්යානයක් පාවිච්චි කළා මෙන් මුළු ආර්ථිකයකම මිනිස්සු වැඩි වැඩියෙන් වියදම් කරද්දි ආනයන වැඩි වේ. එසේ නැති වුණොත් බඩුවල මිල අධික ලෙස ඉහළ යයි. අනෙක් පසින් සල්ලි අච්චු ගැසීමේදී බඩුවල ඉල්ලුම වැඩි වීම නිසා ඩොලර්වලට ඇති ඉල්ලුමද වැඩි වේ. එවිට රුපියල අවප්‍රමාණ වේ. එවැනි මෙහොතක මහ බැංකුව සංචිතවල ඇති ඩොලර් විකුණා ඩොලර් රැක ගැනීමට උත්සාහ ගනියි. ඉදින් සංචිත අඩු වේ.

සංචිත අඩු වෙද්දී මහ බැංකුව නැවත වෙළෙඳ පොළෙන් ඩොලර් මිලදී ගනී. ඒ සංචිත නැවත ගොඩනැගීම වෙනුවෙනි. එවිට නැවත වරක් ඩොලර් අඩු වේ. ආයෙත් රුපියල අවප්‍රාමාණය වේ. අපි මේ දවස්වල අපේ ණය ගෙවන්නෙ අපේ සංචිතවලිනි. ඊට හේතුව නම් ණය ශ්‍රේණිගත කිරීම් ආයතන අපේ ණය ශ්‍රේණිය පහත දමා ඇත. එනිසා වෙළෙඳ පොළෙන් නැවත ණය ගැනීම අසීරුය. මිත්‍ර රාජ්‍යයක් අපිට ඩොලර් දුන්නොත් හැරෙන්න ඩොලර් සංචිත ගොඩගැනීම පවතින තත්ත්වය තුළ ඉතා අසීරුය. චීනයෙන්, ඉන්දියාවෙන්, බංග්ලාදේශයෙන්  ස්වොප් ගිවිසුම් Swap agreement) මගින්  අපේ භාෂාවෙන් කියනවා නම් යාළුකමට අත මාරුවට දෙන මුදල්ය. ආනයන මෙතරම් තහනම් කළද, ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් වුණත් රුපියල අවප්‍රමාණය වෙන්නෙ ඇයි, අපේ සංචිත අඩු වෙන්නෙ ඇයි කියන ප්‍රශ්නය අපි අපෙන්ම අසාගත යුත්තකි. එලෙස ස්වයං ප්‍රශ්න නැගීමකින් පමණි මෙහි ඇති ගැටලුව වටහාගත හැකි වනුයේ.

අප මේ පිළිබඳ කෙතරම් පැහැදිලි කළ ද මේ දේ මහ බැංකු නිලධාරින් දන්නේ නැත්දැයි බොහෝ දෙනා අසති. ඒ ප්‍රශ්න නැගීම නිවැරදිය. ඒ අපි බෞද්ධ වුවද, ධර්මයේ ඇති කරුණු දැනගත්තද නිවන් දකින්නෙ නැත. ධර්මය දැනීමයි ධර්මය අනුගමනය කිරීම සහ ධර්මය ප්‍රගුණ කිරීම යනු එකිනෙකට පරස්පර කරුණු තුනකි. එලෙසින්ම මේ ආර්ථික ගැටලුවේදී කරුණු දැනගත් පමණින් ක්‍රියාත්මක නොවේ. එහෙත් මෙරට ජනයා බලා සිටිනුයේ නිවැරදි ප්‍රතිපත්ති භාවිත කර අපේ මුදල්වල වටිනාකම ඉතිරි කර දෙන දිනයක් උදාවන තුරුය.

2021 දෙසැම්බර් 17 වැනි දින අරුණ පුවත්පතේ පළ වූ ලිපිය

චීනෙන් ඇවිදින් අපගේ ණය ගෙවන්න... කල් ඇවිදින් ඒ සිහිනෙන් අවදිවන්න

ධනවත් මනසක් නැති අපට ධනයෙන් පොහොසත් විය නොහැක

මෙරට ආර්ථික අර්බුදය නැවත ලෝකය හමුවේ සනාථ විය. මෑතක් වෙන තෙක්ම විවිධ දේශපාලන කඳවුරු අපේ ආර්ථික අර්බුදය ඔවුන් කැමැති ලෙස නිර්වචනය කළා මිස සැබවින්ම එහි යථා ස්වභාවය පැහැදිලි කළේ නැත. ඇතැමුන් ප්‍රශ්න කළේ දළ දේශීය නිෂ්පාදිත අනුපාතයට ණය ප්‍රතිශතය (Debt to GDP ‘Ratio) වැඩි වුණාම මොකද වෙන්නේ? ජපානෙත් වැඩියිනෙ... මුදල් අච්චු ගැහුවම මොකද වෙන්නේ නූතන මුදල් න්‍යායත් එක්ක... ඒ නිසා මුදල් අච්චු ගැහුවට උද්ධමනය වැඩි වෙන්නේ නෑ, චීනය අපිට වැටෙන්න දෙන්නේ නෑ වැනි අදහස්ය.

අප විසින් නිර්මාණය කරගත් ආර්ථික අර්බුදවලින් අප ගලවා ගැනීමට අපට මිතුරු වෙනත් විදෙස් රාජ්‍යයන් අපට පිහිටුවේ යැයි සිතීම නොකළ යුත්තකි. හදිසි ස්වභාවික විපතකදී හෝ වෙනත් හදිසි තත්ත්වයකදී එලෙස උපකාර කළද, අපිම කාලක් තිස්සේ නිර්මාණය කරගත් අර්බුදවලින් ගොඩඒමට ඔවුනගේ පිහිට පැතීමද එකී රටවල්වල මිත්‍රත්වයටත් කරන අගෞරවයකි.

මේ තීරු ලිපියෙන් වතාවන් ගණනාවකදීම සඳහන් කළ පරිදි ශ්‍රී ලංකාවේ තිබෙන්නේ ණය පිළිබඳ සහ ඒ හා බැඳුණු ආර්ථික ප්‍රතිසංස්කරණ නොකිරීමේ ගැටලු මාලාවක් මිස වෙනෙකක් නොවේ. අපි අද ණය පිළිබඳව සාකච්ඡාව නැවත ආවර්ජනය කරන්නේ දැන් ආර්ථික අර්බුදය තීව්‍ර වනවාත් සමගම ණය අර්බුදය දෙස නැවත බැලීම වැදගත් නිසායි. ඇල්බර්ට් අයින්ස්ටයින්ට (Albert Einstein) අනුව "මේ ලෝකෙ 8 වැනි පුදුමය නම් වැල් පොලියයි (Compound Interest). වැල් පොලිය තේරුම් ගත් කෙනා හම්බ කරන අතර තේරුම් නොගත් කෙනා ගෙවන බව අයින්ටයින් පැවසීය. දැන් ලංකාව ඉන්නේ ගෙවන පැත්තේය.

චීනය ගැන දැනගන්න ජපානය පහුකරගෙන යන්න ඕන

1. ජපානයේ දළ දේශීය නිෂ්පාදිතයට අනුව ණය ප්‍රතිශතය (Debt to GDP Ratio) 240%කි. එසේ නම් ලංකාව 90% - 100% ක් වීම නිසා ඇතිවෙන ගැටලුව මොකකද?  එය මෙලෙස විග්‍රහ කර ගනිමු. ජපානයේ ණයවලින් විශාල ප්‍රමාණයක් ඇත්තේ ඔවුන්ගේ රටේ මුදල් ඒකක වන ජපන් යෙන්වලිනි (Japaneese yen). තවත් සරලව පවසනවා නම් ජපානයේ වැඩිපුර ණය ඇත්තේ දේශීය ණය ලෙසිනි. (ඒ රටේ මිනිස්සුන්ටම තමයි ණය) එනිසා ණය පියවීමට සඳහා ඕනෑම මොහොතක මුදල් අච්චු ගසා හෝ ණය ගෙවා ගැනීමේ හැකියාව ඔවුන්ට ඇත. ඒත් ලංකාවේ ණය විශාල වශයෙන් තිබෙන්නේ ඇමරිකානු ඩොලර්වලිනි (සහ වෙනත් මුදල් ඒකකවලින්). එකී මුදල් ඒකක අපිට අච්චු ගැසිය නොහැක.

අප අවධානය යොමුවිය යුත්තේ දළ දේශීය නිෂ්පාදිතයට අනුව ණය ප්‍රතිශතය (Debt to GDP Ratio)  නොවේ. අවධානය යොමුකළ යුත්තේ අවුරුද්දකට අපට ගෙවීමට ඇති පොලිය අපේ ආදායම මෙන් කොපමණද යන්නය. ජපානයේ ආදායමෙන් ඔවුන් ගත් ණයවල පොලිය වශයෙන් වසරකට ගෙවීමට ඇත්තේ 1%කට ආසන්න ප්‍රමාණයකි. ශ්‍රී ලංකාවේ ණයවලට පොලිය ලෙසින් අප අපේ ආදායමෙන් 47%ක් ගෙවිය යුතු වේ. සරලවම පවසනවා නම් මෙරට පුරවැසියකුගේ ආදායම රු100 නම්, රු. 47ක් වැයවන්නේ වාහනේ ලීසිං වාරිකයේ පොලිය ගෙවීමටය (ණය මුදලින් රුපියලක්වත් අඩු වෙන්නෙ නැතිව). වාහනයේ ලීසිං වාරිකයේ පොලිය සහ ණය මුදලේ කොටසක් ගෙවීමට පමණක් රු. 106ක් අවශ්‍යය. (ආදායම රු.100ක් වුණාට) ජපාන පුරවැසියෙක් තම මෝටර් රථයේ ලීසිං වාරික‍යේ පොලිය ලෙසින් ගෙවිය යුතු වන්නේ ඔහුගේ ආදායමෙන් රු. 1ට ආසන්න ගණනකි. එනිසා ජපනා කාලයත් සමග ණය ගෙවීමේදී ඔවුන්ගෙන් ණය අඩු වේ. එනිසා අලුතෙන් ණයගත හැකිය. එහෙත් ලංකාවේ අප ණයවල පොලිය ගෙවනුයේද නැවත පොලියට ණය අරගෙනය. එවිට පොලිය අඩු නොවේ. ණය අඩු නොවේ. ජපානය සහ ලංකාවයි සංසන්දනය කළ නොහැක්කේ එබැවිනි. ලෝකයේ මුදල් ඒකක ස්ථාවර

ඇතැම් සංවර්ධිත රටවල දළ දේශීය නිෂ්පාදිතයට අනුව ණය ප්‍රතිශතය (Debt to GDP ratio) එක 100%ට වැඩිය. අනික් හේතුව නම් ජපාන රජයේ බදු ආදායම ඔවුන්ගේ සම්පූර්ණ නිෂ්පාදනයෙන් (GDP) 40%ට වැඩිය. ලංකාවේ බදු ආදායම අපේ නිෂ්පාදනයෙන් (GDP) 12%කට ආසන්නය.

ඉතින් ණය ගෙවා, රැකියා විරහිත වූ උපාධිධාරීන්ට රැකියා දී, පාඩු ලබන සියලු රාජ්‍ය ආයතනවලට පඩි ගෙවා, රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවා, සමෘද්ධිය ලබාදී, ඇමැතිතුමන්ලාට වාහන අරගත්තාට පසු ණය ගෙවීම සම්බන්ධ කරුණ අත්හැරියද ඉහත වියදම් සඳහා අපේ ආදායම මදිය. අනික් පැත්තෙන් පොලියයි ණයයි පමණක් ගෙවීමටද අපේ ආදායම මදිය. එවැනි තත්ත්වයකදී ජපානය සමග සංසන්දනය කර ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතයට ණය ගැන හිතලා මානසික ආතතිය යම් තරමකට හෝ අඩුකර හිත සනසාගත හැකිය. එහෙත් යථාර්ථය ඊට බොහෝ ඈතය.

දැන් නිර්මාණය වී ඇති තත්ත්වය නම්, අපිට ණය ගෙවාගත හැකිවේදැයි යන චකිතය නිසා ලෝක මූල්‍ය වෙළෙඳපොළෙන් (International Financial Markets) ණය ගනිද්දී අවදානම වැඩි නිසා, ලෝකයේ අනිත් රටවල්වලට වඩා වැඩි පොලියක් ගෙවීමට සිදුව තිබේ. අන්තර්ජාතික මූල්‍ය වෙළෙඳපොළ ණය ගෙවීමේ අවදානම අනුව වැඩිම අවදානම් පොලියක් (Risk Premium) ගෙවීමට ඇති රාජ්‍යයන් වන ආජන්ටිනාව සහ සැම්බියාව අතරට අපද එකතුවී ඇත.

පසුගිය වසරේ ලංකාවට ණය ලබා ගැනීම සඳහා දේශීය වශයෙන් නිකුත් කළ භාණ්ඩාගාර බිල්පත් (Treasury Bills) වලින් 90%කට බලාපොරොත්තු වුණු ඉල්ලුමක් නොලැබුණි (Under subscribe). එමෙන්ම ද්විතීක වෙළෙඳපොළෙහි ශ්‍රී ලංකාවේ (සමහර බැඳුම්කරවල: කල්පිරෙන වර්ෂය අනුව මිල වෙනස් වේ) ඩොලර් එකක ස්වෛරී බැඳුම්කර අලෙවි වන්නේ ඩොලර් සත 70ට වැනි ආසන්නම මුදලකටය. ඒ නිසාය මේ ණය අර්බුදය අප නැවත සිහි කැඳවිය යුත්තේ.

2. චීනය අපිව බේරා ගනීවිද?

මුදල් අමාත්‍යවරයාගේ ඉන්දියානු සංචාරයෙන් පසුව චීනය ශ්‍රී ලංකාව බේරා ගනීවි යැයි සිතූ බොහෝ දෙනා විමතියට පත්වී ඇති බවක් පෙනුණි. ඇතැමුන් සිතා සිටිනුයේ අන්තර්ජාතික මූල්‍ය වෙළෙඳපොළවල් යනු බටහිර රටවල් ඇතුළු මහා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් බව. මූල්‍ය වෙළෙඳපොළවල් යනු මුදල් ඇති ලෝකයේ ඕනම රටක කෙනෙක් හා ගනුදෙනු කළ හැකි වෙළෙඳපොළකි. එහි සෑම රටකම මිනිස්සු සහ ආයතන තිබේ. මීට වසරකට පමණ පෙර නිකුත්වුණ Morgan Stanley ආයතනයේ වාර්තාවක අනුවත් සනාථ ක‍ළේ අප චීනයට සමස්තයක් ලෙසින් ණය 10% ක් පමණ බවයි. (ද්විපාර්ශ්වික ණය + චීන රජයට අයිති සංවර්ධන බැංකුවලට + ඇතුළු සියලු ණය. නමුත් ඊට අමතරව සමහර ව්‍යාපෘති ණය සහ රජයට අයිති ව්‍යාපාර හරහා ලබා ගත් ණයත් තිබෙනවා)

දැන් ප්‍රශ්නය නම් චීනය සල්ලි දීලා අපේ ණය ගෙවයිද යන්නයි. මෙරට බොහෝ දෙනා කැමැති වනුයේද චීනය එසේ කරනවා නම්ය. පවතින තත්ත්වය අනුව එය ඉතාමත්ම පහසුය. ඒත් මා දකින ආකාරයට නම් චීනය එසේ කරන්නේ නැත. ඔවුන් අපේ ණය කපා හැරියොත් හෝ ප්‍රමාණය ඉක්මවා අපිට ආධාර කළහොත් අප මෙන්ම ඔවුන් සමග සමීපව ගනුදෙනු කරන අනෙකුත් ආසියාතික රටවල්, එමෙන්ම අප්‍රිකානු රටවල් ඒ ලෙසින්ම චීනයෙන් මුදල් ඉල්ලිය හැක. කලකට ඉහතදී හිටපු මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හමුවූ අවස්ථාවකදී මමද ඔය ප්‍රශ්නයම ඇසුවෙමි. එතුමා චීන ජනාධිපතිතුමාගෙන් එකී ඉල්ලීම සිදුකළ අවස්ථාවේදී ලබාදීපු පිළිතුර පෙරළා මට ලබා දුන්නා.

හම්බන්තොට වරායට ලබාදුන් ණය කපා ඉවත් කරන ලෙස සරත් අමුණුගම මහතා චීනයේ එක් තීරයක් එක් මාවතක් සමාරම්භක උළෙලට සමගාමීව පැවැති රැස්වීමකදී කළ ඉල්ලීමට චීන ජනාධිපතිතුමා සහ ඔහුගේ මුදල් අමාත්‍යවරයා පවසා තිබුණේ "එහෙම කළොත් අනෙක් හැම රටක්ම ණය කපා හරින්න කියලා ඉල්ලාවි" යන පිළිතුරයි.

අනිත් කාරණය නම් අපේ ස්වෛරී බැඳුම්කර (International Sovereign Bond - ISB) වලින් වැඩිපුරම අයිතිය තිබෙන්නේ ඇමරිකාව, ස්විට්සර්ලන්තය, එංගලන්තය සහ ජර්මනිය කියන රටවල්වල සමාගම්වලටය. ඉදින් චීනය ලංකාවට සල්ලි දී අපේ ණය අර්බුදයෙන් අපිව බේර ගන්නවා යනු වක්‍රාකාරයෙන් ඔවුන්ගේ මුදල් සෘජුවම ගමන් කරන්නේ ඔවුන්ගේ ප්‍රතිවාදීන්ගේ රටවලටයි. චීනය අපිට උදව් කරාවි. ඒත් අපේ ණය අර්බුදය සම්පූර්ණයෙන් විසඳා ගැනීමට ඔවුන් හිස් චෙක්පතක් ලබා නොදෙනු ඇත. ඒ වගේම චීනයේ උදව් ලබා ගැනීම වෙනුවෙන් භූදේශපාලනිකමය (Geo politics) වශයෙන් අපිට තවත් ප්‍රශ්න ඇතිවීමේ අවදානමද වැඩියි. මෙතන ඇත්තේ චීනය ගැන ප්‍රශ්නයකට වඩා ලංකාවෙ ණය ගැන ප්‍රශ්නයකි. අපේ මූල්‍ය පරිපාලනය අන්තිම පිරිහුණු ආකාරයෙන් සිදුකර චීනයට, ඇමරිකාවට, ජපානයට සහ ඉන්දියාවට දෙහි කැපුවාට මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැත.

එම නිසා දැන් චීනයෙන් මෙන්ම ඉන්දියාවෙන්ද සහාය ලබා ගන්නා ආකාරයක් පෙනෙයි. පුද්ගලික ආයෝජන තරගකාරී ලෙස වීම වැදගත්ය. නමුත් අප මතක තබා ගත යුත්තේ අපි ආර්ථික ප්‍රතිසංස්කර්ණ කරන තුරු ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩා ආ නොහැකි බවය. ඇල්බට් අයින්ස්ටයින් කියපු දේ දැන් ඔබට යාන්තමට හරි වැටහේවි යැයි මා සිතමි.

2021 දෙසැම්බර් 10 වැනි දින අරුණ පුවත්පතේ පළ වූ ලිපිය

සල්ලි දීල ගත්තහම මනුස්සකම වැඩි වෙන්නේ කොහොමඳ?

ශ්‍රමයෙහි සහ වැටුපෙහි ඇති ආර්ථික විද්‍යාව

දිනක් ඉතාම නවීන මෝටර් රථයක් නවතා තිබෙන තැනක සිටි මැදි ආදායම් ලබන පුද්ගලයෙක් නවීන මෝටර් රථයක් දෙස බලමින් “බලන්න මේ වාහනය ගත්තු කෙනා කොච්චර ආත්මාර්ථකාමීද? මේ වාහනය ගත්තු සල්ලිවලින් සල්ලි නැති මිනිස්සු කී දෙනෙක්ට බෙදල දෙන්න තිබුණද? කෑම වේල් කීයක් නං දෙන්න තිබුණද’’ කියමින් සිටියේලු. සරල භාෂාවෙන් පවසනවා නම් හූ සිට ඇත්තේය හූල්ලමින්ය. ඒ අවස්ථාවේදී ඒ වාහනයේ සැබෑ අයිතිකරු එතැනට පැමිණියේය. ඉහත කී පුද්ගලයා රථයේ හිමිකරුගෙන් මෙසේ ඇසීය. “ඇයි ඔබතුමා මෙච්චර ආත්මාර්ථකාමී. මේ වගේ අති නවීන වාහනයක් ගන්න මුදලින් තව කී දෙනෙක්ට සල්ලි බෙදල දෙන්න තිබුණද? ඔබතුමාලට හිතක් පපුවක් නැද්ද?” යනුවෙනි. එලෙස ආවේගය් ඇසූ පැනයට රථය හිමිකරු ඉතා සැහැල්ලුවෙන් පිළිතුරු දුණි. ඒ  “ඉතිං මං මේ වාහනය සල්ලි දීල අරගෙන මම කරේ මගේ තිබ්බ සල්ලි ටික මිනිස්සුන්ට බෙදල දීපු එක තමයි” යනුවෙනි. මේ ප්‍රකාශයෙන් හූල්ලපු පුද්ගලයා පුදුම විය. ඔහු ආපසු මෙසේ ඇසීය. “එහෙම වෙන්නේ කොහොමද? මේ වාහනය අයිති ඔබතුමාට නං සල්ලි කොහොමද මිනිස්සුන්ට බෙදුනෙ?” යනුවෙනි.

රථයේ හිමිකරු ඊට දුන් පිළිතුරු මෙයයි. “මේ වාහනය හදල තියෙන්නේ ඉතාම දක්ෂ කාර්මික ශිල්පීන්. ඔවුන් ඉතාම දක්ෂයි. ඉතින් ගෙවපු සල්ලිවලින් කොටසක් මේක හදපු කාර්මික මහත්වරුන්ට යනවා. මේ වාහනේ තීන්ත ගාල තියෙන්නේ වාහන පින්තාරුකරුවන්. මගේ සල්ලිවලින් කොටසක් ඒ අයටත් බෙදෙනවා. මේ වාහනේට දාල තියෙන්නේ ඉස්තරම්ම වර්ගයේ ටයර්. ඒ ටයර් හදන්න මිනිස්සු රබර් ගස්වලින් කිරි කපනවා. මගේ සල්ලිවලින් කොටසක් ඒ මිනිස්සුන්ටත් යනවා. මේ වාහනයේ ආසනවල කවර හදල තිබෙන්නේ නවීන සම් වර්ගවලින්. ඉතින් ඒ සම් කර්මාන්තකරුවන්ටත් මගේ සල්ලිවලින් කොටසක් යනවා. ඒ වගේම මගේ සල්ලිවලින් කොටසක් මේ ආයතනය ලාභ විදියට උපයනවා. එයින් කොටසක් ඔවුන් ලභාංශ විදියට බෙදනවා. එතකොට ඔවුන්ටත් මගේ සල්ලි බෙදිල යනවා. ඒ ලාභයට ඔවුන් රජයට බද්දක් ගෙවනවා. ඒකෙන් රටේ දියුණුවටත් දායක වෙනවා. මේ වාහනය ගනිද්දි මං වෙනමත් බදු ගෙව්වා. ඒකත් රටේ අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වගේ වියදම් වෙනවා. ඇත්තටම මගේ සල්ලි හැමෝටම බෙදිල ගිහිල්ලා මට ඉතුරු වෙන්නේ මෙන්න මේ කාර් එක විතරයි.යන”

මේ කතාව සරල කතාවක් වුවද මේ තුළළ ඇති ආර්ථික විද්‍යාව බොහොම වැදගත් එකකි. මේ කතාව හරහා අපිට ආර්ථික විද්‍යාවට ඉගෙන ගන්න පාඩම් ගණනාවක් තිබේ. පළමුව අපි ඉගෙන ගන්න පාඩම නම් අප ඕනම අයෙක්ගේ භාණ්ඩයක් හෝ සේවාවක් හරි මිලදී ගන්නවා යනු අදාළ භාණ්ඩය හෝ සේවාව විකුණන අයට  කරන ගෞරවයකි. විකුණන අයට පමණක් නොවේ, මුළු නිෂ්පාදන ජාලයට සම්බන්ධ සියල්ලන්ට  කරන ගෞරවයකි. ‘පාරිභෝගිකයාට රජෙක් මෙන් සලකන්න‘ යන සංකල්පය පැමිණ ඇත්තේ ඒ හරහාය. භාණ්ඩය අලෙවි කරන්නා තමා පිලිබද  විශ්වාසය තබන පාරිභෝගිකයාට ගරු කරයි. එමෙන්ම පාරිභෝගිකයාද යමක් මිලදී ගන්නවා යනු එය නිෂ්පාදනය කළ පුද්ගලයාට, ශ්‍රමයට හැකියාවට සහ කැපවීමට ගරු කරනවා යන්නය.

ඒ නිසා ආර්ථික විද්‍යාවේදී ගනුදෙනුවක් අර්ථකථනය වනුයේ අපි එකිනෙකා වෙත දක්වන ගෞරවයක් වශයෙනි. නමුදු එකී අරුතෙන් අප එකිනෙකාට ගෞරව කිරීම පිණිස සෑම භාණ්ඩයක්ම මිලදී ගත යුතුයි යන අදහස ගම්‍ය නොවේ. අප මිලදී ගන්නේ අප වියදම් කරන මිලට වඩා වැඩි වාසියක් එම භාණ්ඩයෙන් අපිට ලැබේ නම් පමණකි. එනම් පාරිභෝගිකාට තෘප්තියක් ලැබේ නම් පමණි. එලෙසින්ම භාණ්ඩය අලෙවි කරන්නාද පාරිභෝගිකයා වෙත එම භාණ්ඩය යම් මුදලකට අලෙවි කරන්නේ ඔහුට නිෂ්පාදනය කළ මිලට වඩා වැඩි වටිනාකමක් පාරිභෝගිකයාගෙන් අය කර ගත හැකි නම් පමණකි.

අප රටේ බොහෝ දෙනෙක්ට නොතේරෙන සරල ආර්ථික විද්‍යාවේ එක පැතිකඩක් නම්, ඇතැම් මිනිසුන් භාණ්ඩ විකුණන්නේ සහ ඇයි ඇතැම් මිනිසුන් භාණ්ඩ මිලදී ගන්නේ ඇයි යන්නයි. එය අවබෝධ කර ගැනීමට තරම් වුවමනාවක්ද නැත.  එනිසාම ලංකාවේ බොහෝ දෙනා එකිනෙකා වෙළෙඳාම් කිරීම එතරම් සුබවාදීව දකින්නේ නැත. එනිසා පාරිභෝගිකයෝ නිරන්තරයෙන්ම ව්‍යාපාරිකයන්ව දකින්නේ අනවශ්‍ය ලාභ ලබන්න උත්සාහ කරන පිරිසක් ලෙසිනි. රජය ව්‍යාපාරිකයන්ව දකින්නේද එලෙසිනි. එය එසේ නොවිය යුතු යැයි හෝ සෑම ව්‍යාපරිකයෙක්ම ඉතාම අවංක බව අප නොපවසන්නෙමු. මක්නිසාද යත් පාරිභෝගිකයා ලෙස තමන් කැමැති දේ කැමැති කෙනෙක්ගෙන් මිලදී ගැනීමේ හැකියාව වැදගත් වන නිසාය. එවිට වංක ව්‍යාපාරිකයන්ගෙන් භාණ්ඩ මිලදී නොගෙන සිටීමේ අයිතිය පාරිභෝගිකයාට හිමිවේ. වක්‍රාකාරයෙන් අවංක මහන්සියට ගරු කිරීමටත්, වංකකමට ගරු නොකිරීමටත් අපට එදිනෙදා ජීවිතයේ හමුවන සෑම ගනුදෙනුවකදීම අවස්ථාව දක්නට ලැබෙන සුලබ තත්ත්වයකි.

තමන්ගේ ශ්‍රමයට සරිලන ලාභයක්, වැටුපක් ලබා ගැනීම ඕනෑම සාර්ථක පුද්ගලයෙක්ගේ අඩිතාලම වන්නේ ඒ නිසයි. දැන් අපි ඒ සමීකරණයම අපේ රට වෙත යොදා බලමු. ශ්‍රී ලංකාවේ රජය සිදුකරන ගනුදෙනුවලින් බොහොමයක් වටිනාකමට සරිලන ගෙවීම් සිදුවන ගනුදෙනු නොවේ. රජයේ රැකියාවන් ගතහොත් මිලියන 1.6ක සේවක මණ්ඩලයෙන් කොපමණ ප්‍රමාණයක් ඔවුන්ගේ වැටුප ලබා ගැනීමේදී සිදුවන ගනුදෙනුවට සාධාරණයක් ඉටු කරන ලෙස සේවය කරනවාද? සාමාන්‍ය වෙළෙඳපොළේ අපේ ගනුදෙනු මෙන් අපිට ඔවුන් සුදුසු නොමැති නම් වෙනත් කෙනෙක්ගෙන් එම කාර්යය කර ගැනීමටත් හැකියාවක් නැත. එම නිසා බොහෝ අවස්ථාවල රාජ්‍ය යාන්ත්‍රණය තුළ වැටුප් ලබා ගැනීමේදී සිදුවන්නේ වටිනාකම මත පදනම් වූ ගනුදෙනු නොවේ. මෙරට රාජ්‍ය සේවය ගැන විවේචන එල්ලවන්නේ එනිසාය.

වටිනාකමක් එකතු නොකරන බහුතර පිරිස නිසා වටිනාකමක් ලබා දෙන පිරිසටත් ඉහළ වැටුපක් ලබා ගැනීම ඉතා අපහසු වී ඇත. එහි අරුත නම් රජයක් අනවශ්‍ය බව නොවේ. රජය අවශ්‍ය වන්නේ ඉතාම අත්‍යවශ්‍ය කරුණුවලට පමණක් බවයි. එමෙන්ම ගනුදෙනුවලදී සිදුවන්නේ අපගේ ශ්‍රමයට සහ දැනුමට කෙරෙන ගෞරවයක් බව බොහෝ දෙනෙක් නොදන්නා බැවින් සැම විටම රජයෙන් සෑම දෙයක්ම නොමිලේ ඉල්ලා සිටීමත් දැකිය හැකිය.

ගැබිනි මවකට පෝෂණ මල්ලක් ලැබීම, ඉපදුණු රෝහලේ නොමිලේ බෙහෙත් සැපයීම, දරුවාට පාසලක් ලබාදීම, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දීම, නැවත රැකියාවක් ලබා දීම, රැකියාවට වැටුපක් ලබාදීම, රැකියාවෙන් පසුව විශ්‍රාම වැටුපක් ලබාදීම සහ මරණයෙන් පසු භුමදානය දක්වාම ගනුදෙනු පිළිබඳ අවබෝධයක් නොමැති බොහෝ දෙනා රජයෙන්ම නොමිලේම බලාපොරොත්තු වීමෙන් සිදුවන්නේ අපේ රට තවත් පසු පසට යාමක්ම පමණි.

අයෙක් සාධාරණව ඉපැයූ දෙය යනු තමන්ගේ ශ්‍රමයට, දක්ෂතාවට ලැබුණු ගෞරවය මුදල් බවට පත්වීමයි. අප මහන්සියට ලැබුණු මුදල් බවට පත්වුණු ගෞරවය එවැනිම ගෞරවාන්විත ලෙස තමන්ගේ මහන්සිය යොදවන කෙනෙක් වෙත මුදල් ලෙස ලබා දීම අපේ වියදම් කිරීමයි. මුළු ලෝකයම ගනුදෙනුවලින් අද බැඳී පවතින්නේ මේ සරල න්‍යාය මතයි.

රටක් ලෙස අපට ඉදිරියට පැමිණෙන්නට නොහැකි වී තිබෙන්නේ එම සරල මූලධර්මය තවමත් තේරුම් ගැනීමට නොහැකි වී තිබෙන නිසා බව මගේ හැඟීමයි.

අප තවමත් කරන්නේ හරියට නවීන වාහන මිලදීගත් පුද්ගලයායේ වාහනය අසලට පැමිණ ඒ වෙත හූල්ලමින් “බලන්න මේ සල්ලිවලින් කොච්චර දේවල් කරන්න පුළුවන්ද?” කියමින් අනෙක් මිනිසුන්ට ඊර්ෂ්‍යා කිරීමයි. අනෙකා ධනය උපයන අනෙකා කෙරේ ඊර්ෂ්‍යාවෙන් බැලීමය. ධනය යනු උත්පාදනය කළ යුත්තක් සහ එය අපගේ මහන්සියේ ප්‍රතිඵලයක් බව අවබෝධ කර ගැනීමයි අප කළ යුතු වන්නේ. සෑම දෙයම නොමිලයේ ලැබෙන තෙක් බලා සිට අපගේ රටත් විස්මයජනක දියසෙන් කුමාරයකු පහළ වීමෙන් ගොඩ එමුයි සිතා වෙනස් නොවී සිටියහොත් අපේ රටද සැමදා එක තැනය. එසේ වුවොත් තව පරම්පරා ගණනක් යන තෙක් අප දියුණුවෙමින් පවතින රටකි.

2021 දෙසැම්බර් 03 වැනි දින අරුණ පුවත්පතේ පළ වූ ලිපිය

බිල් ගේට්ස්ට අනුව ලංකාව දුප්පත් වෙන්න හේතුව

ධනවත් මනසක් නැති අපට ධනයෙන් පොහොසත් විය නොහැක

මෑතකදී මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ නිර්මාතෘ [කලක් මුළු ලෝකයේම ධනවත්ම මිනිසාව සිටි] බිල් ගේට්ස් ඔහුගේ දියණිය පිළිබඳව කළ ප්‍රකාශයක් අන්තර්ජාලයෙන් බොහෝ ජනප්‍රිය විය. එහි සඳහන් වුණු . “මගේ දියණිය කවදාවත් දුප්පත් මනුස්සයෙක් සමග විවාහ වෙන්නේ නෑ" නමැති ශීර්ෂ පාඨයයි. එයට අදාළ පුවත කියවීමේදී දුප්පත්කම සහ ධනවත් බව පිළිබඳව බිල් ගේට්ස් පළ කළ ගැඹුරු අදහසක් එහි විය. වර්තමානයේ බොහෝ දෙනා පවසන “ශ්‍රී ලංකාව දුප්පත් රටක්, සංවර්ධනය වෙමින් පවතින හෝ සංවර්ධනය නොවන රටක්, අපිට කවදාවත් ධනවත් රටක් වෙන්න බෑ” යන්නට බිල් ගේට්ස් දක්වා තිබූ අදහස්වලින් ගත හැකි දේ බොහෝ තිබිණි.

බිල් ගෙට්ස් පවසා තිබුණේ “ධනවත් බව කියන්නේ බැංකුවේ විශාල මුදලක් තිබීම නොවෙයි. ධනවත් බව කියන්නේ නැවත නැවත ධනය ඉපැයීමට තිබෙන හැකියාවටයි.” එය උදාහරණයකින් ඉතා නිරවුල්ව ඔහු පැහැදිලි කර තිබිණි.

“හිතන්න ඩොලර් මිලියන 100ක ලොතරැයියක් දිනන මනුස්සයෙක් ගැන. ඔහු ධනවත් පුද්ගලයෙක් නෙවෙයි. ඔහු සල්ලි ගොඩාක් තියන දුප්පත් මිනිසෙක්. එම නිසා ලෝකයේ ලොතරැයි දිනන මිනිසුන්ගෙන් 90%ක් ඔවුන්ගේ ලොතරැයි ජයග්‍රහණයෙන් වසර 5කට පසු නැවතත් ඔවුන් කලින් සිටි තත්ත්වටයම පත්වනවා. මොකද ඔවුන්ට ධනය නැවත නැවත නිර්මාණය කිරීමට හෝ නැවත ධනය උත්පාදනය කිරීමට හැකියාවක් නැත” මේ බිල් ගේට්ස් පවසා තිබූ තවත් අදහසකි. ශ්‍රී ලංකාවේ පුවත්පත්වලත් නිතරම පළවන “ලොතරැයි ජයග්‍රහණය කළ කෝටිපතියා නැවතත් මහ පාරට" වැනි පුවත් සිරස්තලද “කොටුව දුම්රිය පොළේ යාචකයාට දෙමහල් නිවසක් සහ වාහන 3ක් ඇති බව හෙළි වෙයි" වැනි පුවත් අප දකින්නේ එම පුද්ගලයන් සැබවින්ම ධනය උත්පාදනය කිරීමට නොදන්නා බැවිනි. ඔවුන් දන්නේ තිබෙන මුදල් වියදම් කිරීම මිස ධනය උත්පාදන කිරීමට නොවේ. එම නිසා ඔවුන් සැබවින්ම දුප්පත්ය.

බිල් ගේට්ස් පවසා තිබුණේ ලොතරැයි ජයක් ලැබූ පුද්ගලයෙකු මෙන් එකවර ඩොලර් මිලියන 100ක් තරම් මුදලක් නැතිවුවද ධනය නිර්මාණය කළ හැකි සාමාන්‍ය පුද්ගලයෙක් එතරම් මුදලක් අතේ නැති වුණත් ඊට වඩා ධනවත් බවයි. මුදල් නැති වුණත් ධනය ඉපැයීමට විභවයක් ඇති මාර්ගයේ සෙමින් ගමන් ගන්නා ව්‍යවසායකයන් කොතරම් ධනවත් දැයි ඔහු ප්‍රශ්න කර තිබුණි.. ඒ සඳහා ඔහු ගෙන ආ උදාහරණය අපූරුය.

දිනක් බැංකුවක ඉතා අඩු වැටුපකට සේවය කළ ආරක්ෂක නිලධාරියෙකුට බැංකුවට පැමිණි පාරිභෝගිකයකු අතපසුවීමෙන් දමා ගොස් තිබූ විශාල මුදල් බෑගයක් හමු විය. ඔහු එම මුදල් බෑගය බැංකුවේ කළමනාකරු වෙත නැවත භාරදී එය අදාළ ගනුදෙනුකරුවාට නැවත ලබාදීමට කටයුතු කළේය. එවිට සහෝදර සේවකයන් සහ පවුලේ සාමාජිකයෝ ඔහුට පවසා තිබුණේ “ඔබ කළේ කොතරම් මෝඩ වැඩක්ද, ඒ සල්ලිවලින් ඔබ කරන රැකියාවෙන් ලැබෙන මුදල වගේ විශාල ගුණයක් නිකංම උපයා ගන්න තිබුණා නොවේද කියායි". නමුත් මේ සේවකයාගේ අවංකබව නිසා ඊළඟ වසරේදී ඔහුට එම බැංකුවේම පිළිගැනීමේ නිලධාරී තනතුරක් පිරිනැමිණි. දින වසර ගෙවී යාමත් සමග ඔහුට බැංකුවේ ගනූදෙනුකරුවන් කිහිපදෙනෙක්ම කළමනාකරණය කිරීමට අවස්ථාව ලබා දී තිබුණේ ඔහුගේ කාර්යශූරබව නිසාය. වසර 10ක් පමණ යන විට ඔහුට බැංකු කළමනාකාර තනතුර දක්වා සහ ප්‍රාදේශීය කළමනාකාර තනතුර දක්වා උසස්වීම් ලබාදුණි. ඔහුට ලැබුණු වැටුප එදා ඔහු බැංකුවේ මුදල් පාර්සලයක් දමා ගිය පාරිභෝගිකයාගේ මුදල් බෑගයේ වටිනාකමට වඩා වැඩි අගයක් විය. මේ උදාහරණය දෙමින් බිල් ගේට්ස් ප්‍රකාශ කර තිබුණේ “ මිත්‍රවරුණි, ධනවත්බව කියන්නේ හික්මුණු, මෝරපු ධනය උපයන්න පුළුවන් මනසට මිසක් සල්ලිවලට නෙවේ. මගේ දුව දුප්පත් මනුස්සයෙක් සමග විවාහ වෙන්නේ නෑ කියා මා අදහස් කළේ අන්න ඒ ගැනයි කියමින් ඔහු පවසා තිබිණි. කිසි දිනක සොරකමින් සහ වංචාවෙන් මිනිසෙකුට සහ රටකට ධනවත් විය නොහැක්කේ සොරකම් කරන කෙනෙක් ධනය උත්පාදනය කරන්න නොදන්න නිසාය.

ශ්‍රී ලංකාවටත් බිල් ගේට්ස්ගේ මේ පණිවිඩයෙන් ඉගෙන ගත හැකි විශාල පාඩම් ගණනාවකි. ශ්‍රී ලංකාවට කොතරම් ස්වාභාවික වරායවන්, තෙල් නිධි, පොස්ෆේට් නිධි, ඛණිජ සම්පත්, සාගර සම්පත් වගේ අනේක විධ දේ තිබුණද, ඒවායින් ධනය උත්පාදනය කිරීමට හැකි වනතාක් කල් ශ්‍රී ලංකාව ධනවත් නොවේ. මෙය ශ්‍රී ලංකාවට පමණක් පොදු තත්වයක් නොවේ. වෙනිසියුලාව ලෝකයේ පස් වැනි බොරතෙල් සැපයුම්කරු වුවත් ඔවුන්ගේ රටත්, ඔවුන්ගේ ජනතාවත් සෑම අතින්ම දුප්පත්ය. ඇෆ්ගනිස්තානයත් එලෙසමය. විශාල භූමි ප්‍රමාණයක් සහ ඛනිජ ප්‍රමාණයක් තිබුණද ඔවුන් ඉතා දුප්පත් රටකි. නේපාලයත් විදුලිය අතින් එලෙසමය. ලෝකයේ විශාලතම කඳු පන්ති සහ දිය ඇලි තිබුණද, අඩු මිලට ජල විදුලිය නිපදවීමට විශාල හැකියාවක් තිබුණද නේපාලයේ නිතරම විදුලි බලය ඇන හිටී. එමෙන්ම ඔවුන්ට අවශ්‍ය විදුලිය නිපදවා ගැනීමට හැකියාවක් නැත.

එම නිසා මුදල් තිබූ පමණින් ධනවත් නොවනවා සේම රටකට සම්පත් තිබූ පමණින් රටක් කිසි දිනක සංවර්ධනය නොවේ. අනෙක් අතින් සිංගප්පූරුව වැනි රටවල් කිසිම සම්පතක් නොමැති වුණත් ඔවුන් ලෝකයේ ධනවත්ම රටවල් අතරට පැමිණ තිබෙන්නේ ඔවුන්ට ධනය උත්පාදනය කිරීමට ඇති හැකියාව නිසාය. සරලවම පවසනවා නම් නූතන ලෝකයේ ධනවත් වීමට අවශ්‍ය වන්නේ සම්පත් නොවේ. ධනය උත්පාදනය කිරීමට සහ ප්‍රතිඋත්පාදනය කිරීමට ඇති හැකියාවය.

ශ්‍රී ලංකාවේ බුබුළු නැගෙමින් එන ආර්ථික අර්බුදය පසුපස සැබවින්ම තිබෙන්නේත් අපට ධනය උත්පාදනය කිරීමට නොහැකිවීමත්, ධනය උත්පාදනය කිරීමට අවශ්‍ය හික්මුණු මනසක් අපට නොමැතිවීමය.

ශ්‍රී ලංකාවේ රජය සතු ඩොලර් බිලියන ගණනින් සිදුවන ව්‍යාපාර මෙහෙයවන්නේ අඩුම තරමේ සිල්ලර කඩයක ඇති ව්‍යාපාර අත්දැකීමක්වත් ලබා නොමැති රාජ්‍ය නිලධාරීහු වෙති. රාජ්‍ය නිලධාරී ඇත්දැකීම් සහ ව්‍යාපාර අත්දැකීම් කියන්නේ සම්පූර්ණයෙන්ම කරුණු දෙකකි. ශ්‍රී ලංකාවේ බොහෝ රාජ්‍ය ආයතන මෙහෙයවන්නේ නිලධාරීන් සහ දේශපාලන පත්කිරීම් දරන නිලධාරීහුය. ඔවුන්ට ධනය උත්පාදනය කළ හැකි හික්මුණු මනසක් පිහිටා නැත. ඒමෙන්ම ධනය ඉපැයිය හැකි මනසක් නිර්මාණය වන්නේ තමන්ට ඇති ධනය අවදානමට ලක්කර තීරණ ගන්නා ව්‍යාපාරිකයකුට පමණි. ප්‍රශ්නය තමාගේ නොවන තාක් කල් පිළිතුර දාර්ශනිකයි පවසන්නා සේ ධනය තමාගේ නොවත තාක් කල් ඒවා පරිපාලනය කරන කිසිම නිලධාරියෙකුට එම ආයතනවලින් ධනය උපදවන හැඟීමක් ජනනය නොවීමත් ස්වාභාවිකය. ශ්‍රී ලංකාවේ විශාල ලෙසෙම පාඩු ලබන ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වැනි සමාගම් උදාහරණ කිහිපයක් පමණි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ කලක් වරලත් ගණකාධිකාරීවරුන් ගණනාවක් සිටියද ඔවුන්ගේ වාර්ෂික ගිණුම් වාර්තාවත් නිකුත් කර නොතිබිණි. රජයේ ලාභ ලබන ආයතන ලාභ ලබන්නේත් ඒවායේ ඇති දක්ෂබව නිසා නොවේ. ඒවා ඒකාධිකාරී හෝ එසේත් නොමැතිනම් තරගකාරීත්වයෙන් එම වෙළඳපොළ ආයතන මුදවා තිබෙන නිසා පමණය. එසේත් නොමැතිනම් රජයෙන් විශාල සැලකිලි ඔවුන්ට ලැබෙන නිසාය.

නිදසුනක් ලෙස ලොතරැයි මණ්ඩලය ලාභ ලබන්නේ ජනතාවට රජයෙන් නිකුත් කරන ලොතරැයි හැර වෙනත් ලොතරැයි නිකුත්කරන්නෙක් නොමැති නිසාය. රාජ්‍ය බැංකු ලාභ ලබන්නේ බොහෝ රජයේ සේවකයන්ගේ, රජයේ විශාල ගිණුම් සහ බැංකු කටයුතු රාජ්‍ය බැංකු හරහා සිදුවන බැවිනි. සේවාව අතින් අප රාජ්‍ය බැංකුවක් හා පුද්ගලික බැංකුවක් ගතහොත් වෙනස අපට දැක ගත හැක. රජයට අයිති කිරි නිෂ්පාදන සමාගම් ලාභ ලබන්නේ වෙනත් කිරි වර්ග සඳහා විශාල ආනයනික බද්දක් අය කර ඔවුන්ව තරගකාරීත්වයෙන් මුදවා තබා තිබෙන නිසාය. එනිසා රජයේ බොහෝ ආයතන පාඩු ලබනවා මෙන්ම ලාභ ලබන ආයතන ලාභ ලබන්නේත් ඔවුන්ගේ විශේෂ දක්ෂතාවයක් නිසා නොවේ, ඒ තරගකාරීත්වය මග හැරීමෙන් පමණි.

සමහර ක්ෂේත්‍ර සඳහා රජයේ යම් මැදිහත් වීමක් තිබිය යුතු බවත් අප අවබෝධ කරගත යුතුය. නීතියේ ස්වාධිපත්‍ය සහ දිළිඳු ජනතාවට යම් සහනයක් ලබාදීම රජය භාර ගත යුතුය. නමුත් රජයට එම කර්තව්‍යයන් පසුපසට දමන්නට සිදුවී තිබෙන්නේ රජය නියැළී සිටින අනෙකුත් ව්‍යාපාර ධනය උත්පාදනය වෙනුවට තිබෙන ධනයත් ගිල ගැනීමය. ශ්‍රීලන්කන් ගුවන් සමාගම වසරකදී ලබන පාඩුව රජය එම වසරට සමෘධිලාභීන් වෙනුවෙන් වෙන්කරන මුළු මුදලට වඩා වැඩිය. එම නිසා දැන් උද්ගතවී ඇති තත්වය නම් රජයට දුප්පත් ජනතාව බලා ගැනීමටවත් නොහැකි තත්වයක් උදාවීමය.

එමෙන් රජයේ (පැවති සහ පවතින) තීරණ ගන්නා පිරිසට ධනය උත්පාදනය කළ හැකි, හික්මුණු මෝරපු මනසක් ඇති බවක් පෙනෙන්නට නැත. ඔවුන් බොහෝ විට ඔවුන්ට ගමට යාමට වාහන බලපත්‍රයක්, නිල නිවාස සහ ඔවුන්ට ධනය උත්පාදන මනසක් නොමැති නිසා තැබෑරුම් බලපත්‍රයක් හෝ දේශපාලන සම්බන්ධතා මත ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීම වැනි ඉතාම ලඝු කරුණක් හැරුණු විට සාධනීය ආර්ථික ප්‍රතිසංස්කරණ කරන බවක් පෙනෙන්නට නොවේ. සරලවම ඔවුන් දකින්නේ මුදල් බෑගයම හොරකම් කළහොත් දියුණු විය හැකිය යන කෙටි දුර පමණයි.

ධනවත් මනසක් නොමැති නිසා මුදල් ඇති අයට, වෙනත් ආගම්, ජාති, කුල හා වෙනත් රටවල ජාතීන්ට වෛරය පතුරවන සංස්කෘතියක් මිස අන්අයගේ දියණුව දැක සතුටු විය හැකි මනසක් අපිට නැත. එම නිසා බොහෝ විට සිදුවන්නේ අපට ඇති ධනය අපෙන් නැති වීමත්, අප දිගින් දිගටම අපට නොදැනුවත්වම අප සැවොම එකට දුප්පත් වීමත් පමණි. වෙනසකට ඇත්තේ බොහෝ දෙනා දුප්පත් බවේත් ධනවත් බවේත් වෙනස නොදැන එකම දිනය වසර 80ක් 90ක් ජීවත් වෙමින් එයට “සාර්ථක ජීවිතයක්” කියා ප්‍රීති වීමයි.

2021 නොවැම්බර් 08 අරුණ පුවත්පතේ පළ වූ ලිපිය

ඩොලර් ගැටලුවට‌ කෙටි පිළිතුරු නැත

ඩොල‌‍ර් හිගය දැන් හැමෝටද දැනෙන ගැටලුවකි.  එහි බලපෑම සාමාන්‍ය ජනයාද පෙළන තත්ත්වයට අදවනවිට පත්ව තිබේ.කෙසේ වුවද මෙය විවිධ පාර්ශ්වයන් ඔවුන්ගේ කෝණයන්ගෙන් විග්‍රහ කරනු දැකිය හැකිය. බෝහෝ දෙනෙක් ඩොලර් ප්‍රශ්නය දකිනුයේ ණය ගෙවීමට තරම් ඩොලර් නැති වීමේම ප්‍රශ්නයක් ලෙසිනි. එය ප්‍රශ්නයේ මතුපිට පමණි.

එහිදී ඩොලර් නැතිවෙන්නේ ඇයි ද යන්න බොහෝ දෙනාට මගහැරේ. කෙසේ වුවද ඒ ප්‍රශ්නයට කෙටි පිළිතුරක් නැත. පිළිතුර ඉතාම දීර්ඝය. දිගු පිළිතුරු තියන වැඩවලට අපේ දේශපාලකයෝ කැමැති නැත. ඒ එම තීරණ දේශපාලනිකව වේදනාකාරී වන නිසා මෙන්ම ඒවා ජනප්‍රිය නොවන බැවිනි. එකී තීරණවලින් ජන්දයක් දිනිය නොහැකි නිසා ප්‍රශ්නය තාවකාලිකව යට ගහයි.

ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් විවිධ මත ඇති බව ඉහතදී සඳහන් කළෙමු. එහිදී සංචාරක කර්මාන්තය අඩාළ වූ නිසා මේ ප්‍රශ්නය ඇති වී ඇති බව එක මතයක් වන අතර කොවිඩ් නිසා මේ ප්‍රශ්නය ඇති වී ඇති බව තවත් මතයකි.

අර්බුදයේ ගැඹුර ගැන අවබෝධය තේරුම් ගැනීමට නම් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා දරන උත්සහයෙන් ඉඟියක් ලබා ගත හැකිය. එතුමා මෑතකදී සිදුකළ මැදපෙරදිග සංචාරය හරහා ඕමානයෙන් අපට අවශ්‍ය ඛනිජ තෙල් ලබා ගැනීමට ඩොලර් මිලියන 3.5ක් සහ කටාර් රාජ්‍ය සහ ඉන්දියාවෙන් එවැනිම කෙටිකාලීන ණය ලබා ගැනීමට විශාල උත්සාහයක අපි නිරත වී සිටින්නෙමු. එම රටවල් ණය ලබාදීමේදී බොහෝ විට අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට ගමන් කළහොත් පමණක් ණය ලබාදීමට වැඩි ඉඩක් ඇත. එක් එක් රටකට ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය වෙන වෙනම අධ්‍යනය කිරීම අපහසු නිසා එලෙස අධ්‍යනය කිරීමට ජාත්‍යන්තරය පිළිගත් ආයතනය වන අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග ගමන් කිරීමය ලොව අනුගමනය කරන ක්‍රමවේදය. එලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට සහභාගී වී සිටින රටක් සමග ගනුදෙනු කිරීමෙන් ඔවුන්ගේ ණය නැවත පියවා ගැනීම පිළිබඳ අවදානම අඩු කර ගත හැක. මෑතකදී ශ්‍රී ලංකාවට ණය පහසුකමක් ලබා දුන් බංග්ලාදේශය එයට කදිම නිදසුනකි. ඔවුන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් මුදල් ලබා ගෙන එයින් කොටසක් අප වෙත ණය ලෙස ලබාදුනි. ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් ශ්‍රේණිගත කිරීම පහත දමා ඇති නිසා ලංකාව වැනි රටකට ද්වීපාර්ශ්වික ණය ලබා දීමෙන් එම රටවලද දේශපාලන අර්බුද පැන නැගිය හැකිය.

ඒ අතරවාරයේදී පවතින ඩොලර් ප්‍රමාණය ආරක්ෂා කර ගැනීමට විශාල ආනයන ප්‍රමාණයක් තහනම් කර ඇති අතරම බොහෝ ක්‍රෙඩිඩ් කාඩ්පත්වලින් සහ ඩෙබිට් කාඩ්පත්වලින් ඩොලර්වලින් සිදු කරන ගනුදෙනු වෙත තහංචි පනවා තිබේ. එමෙන්ම අපගේ ඩොලරයක් වෙත මහ බැංකුව ස්ථාවර මිලක් නියම කර ඇත. මහ බැංකුව ගෙන ඇති එම තීරණය පාරිභෝගික අධිකාරිය කිරිපිටි සඳහා පාලන මිලක් පැනවීම හා සමානය. පාරිභෝගික අධිකාරිය පැනවූ පාලන මිලත් සමග වෙළෙඳපොළේ විශාල ලෙස කිරිපිටි හිඟයක් ඇතිවිය. එයට හේතුව ඕනෑම වෙළෙඳපොළක් ක්‍රියාත්මක වීමට නම් වෙළෙඳපොළට භාණ්ඩ සපයන පිරිසක් මෙන්ම භාණ්ඩ මිලදී ගන්නා පිරිසක්ද සිටිය යුතු වීමයි.

භාණ්ඩ වෙළෙඳපොළට සපයන පිරිස භාණ්ඩ සැපයීම සිදු කරන්නේ ඔවුන්ට වාසියක් ලැබෙන මුදලකට භාණ්ඩ විකිණිය හැකි නම් පමණි. එලෙසම භාණ්ඩ මිලදී ගන්නා පිරිස භාණ්ඩ මිලදී ගන්නේද ඔවුන් වියදම් කරන මුදලට වඩා වැඩි වටිනාකමක් එම භාණ්ඩය ඔවුන්ගේ පරිභෝජනයට දායක වන්නේ නම් පමණය.

ඒ අනුව එම තත්ත්වය ඩොලර්වලටද පොදුය. ඩොලර් නෝට්ටු යනු වෙළෙඳපොළේ පවතින තව එක භාණ්ඩයක් හා සමානය. එම ඩොලර් නමැති භාණ්ඩය වෙළෙඳපොළට සපයන්නේ අපේ අපනයනකරුවන්, අපේ විදේශ ශ්‍රමිකයන් විසින් ලංකාවට එවන මුදල් හෙවත් ප්‍රේෂණ, අපේ සංචාරකයන් ලබාදෙන මුදල්, අපට ඩොලර්වලින් ලැබෙන විදේශ ආයෝජන සහ අපගේ වත්කම් විකිණීමෙන් හෝ ඒවා හවුල් ව්‍යාපෘති ලෙස හෝ ව්‍යාපාර ලෙස සිදු කිරීමෙන් ලැබෙන ආදායමයි. අපගේ ඩොලර් මිලදී ගන්නේ අපේ ආනයනකරුවන්, ශ්‍රී ලංකාවෙන් විදේශ සංචාර සඳහා පිටව යන සිසුන්, ශ්‍රී ලාංකික සංචාරකයන්ය. එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවත් ඩොලර් විශාල ලෙස මිලදී ගන්නේ අපට අවශ්‍ය ණය ගෙවීමට සහ සංචිත ගොඩ නැගීමටය.

දැන් ඇතිව තිබෙන තත්ත්වයේ එක පැතිකඩක් නම් අපගේ අපනයන අඩු නිසා වෙළෙඳපොළට ඩොලර් රැගෙන එන පිරිස අඩුවෙන් ඩොලර් රැගෙන ඒමය. නමුත් එය එසේ වන්නේ අප ඩොලරය ගෙවන්නේ එහි නියම වටිනාකම නොවන නිසාය. එය මහ බැංකුව තීරණය කර ඇත්තේ රු.203 මට්ටමට වුවත් සාමාන්‍ය (අවිධිමත්) වෙළෙඳපොළේ ඩොලරයක මිල රු. 235 සහ ඊටත් වඩා වැඩි අගයකට ඉහළ ගොස් තිබේ. එහි තේරුම නම් සැපයුම්කරුවන් වෙළෙඳපොළට ඩොලර් ගෙන එන්න කැමැත්ත තිබෙන්නේත්, ගැනුම්කරුවන් ඩොලරයක වටිනාකම ලෙස දකින්නේත් එම මුදලවීමය. ගැනුම්කරුවන් ඩොලරයක් 203කට ගැනීමට අනිවාර්යයෙන්ම කැමැතියි. නමුත් එතරම් අඩු මිලකට කිසිවෙක් ඩොලර් සැපයීමට කැමැත්තක් නැත. එනිසා නිරායාසයෙන්ම වෙළෙඳපොළේ ඩොලර් හිඟයක් ඇතිව තිබේ. එම නිසා තිබෙන ඩොලර් අර පිරිමැස්මෙන් භාවිත කිරීමට බැංකුවලට ඩොලර් වියදම් වන ගනුදෙනු සහ ඩොලර් විකිණීම සීමා කිරීමට සිදුව තිබේ.

එහි බලපෑම අපට අත්‍යවශ්‍ය භාණ්ඩ වන ඛනිජ තෙල් සහ බෙහෙත් වර්ග වැනි දෑ ගෙන ඒමේදී අපහසුතා ඇතිවීමයි. එහි වක්‍රාකාර තේරුම නම් අපගේ ජීවන මට්ටමේ ගුණාත්මකභාවය අඩු වීමයි. ජීවන මට්ටමේ ගුණාත්මකභාවය අඩු වෙනවා යනු අප කලින් පහසුවෙන් කළ දේ ඉදිරියේදී එතරම් පහසුවෙන් කිරීමට නොහැකි වීමය.

ඩොලරය ස්ථාවර අගයක පවත්වා ගන්නටනම් මහ බැංකුවට අසීමිතව වෙළෙඳපොළට ඩොලර් සැපයීමේ හැකියාවක් තිබිය යුතුයි. එසේ කිරීමට නම් අසීමිතව ඩොලර් ණයට ගැනීමේ හැකියාවක් තිබිය යුතුය. මක්නිසාද අපට ඩොලර් මුද්‍රණය කළ නොහැක. මේ කාරණා දෙකෙහිම අප අසමත්වූ විට ඩොලර් හිඟයක් කිරි පිටි සහ සහල් මෙන් ඇතිවීම ස්වභාවිකය.

එහි අනෙක් පස නම් අපට ලැබෙන විදේශ මුදල් ප්‍රේෂණත් (Foreign remittances) දැන් ක්‍රමයෙන් අඩු වෙමින් යාමය. එනම් පිටරටවල සිටින ශ්‍රී ලාංකිකයන් එවන මුදල් ප්‍රමාණය අඩු වීමයි. පසුගිය අයවැයෙන් විදේශ ප්‍රේෂණ සඳහා වැඩිපුර මිලක් ලබාදෙන බව කියවුණත් බැංකු නොවන අවිධිමත් වෙළෙඳපොළේ එම රුපියල් කිහිපයක වටිනාකමට වඩා විශාල අගයකට මුදල් හුවමාරු කිරීමට හැකියාව ඇත. එනිසා අපගේ ප්‍රේෂණ ක්‍රමයෙන් අප බලාපොරොත්තු වූවාටත් වඩා වේගයෙන් අඩු වෙමින් පවතී. එමෙන්ම ඔවුන් මුදල් එවීම වෙනුවට ශ්‍රී ලංකාවේ සිට ආනයනය කිරීම තහනම් කර ඇති භාණ්ඩ ආනයනය කිරීමට ඉඩ තිබේ.

නමුත් මහ බැංකුව ඩොලරය ස්ථාවර අගයක පවත්වා ගැනීමට උත්සාහ කිරීම අප අවබෝධකරගත යුතු වේ. ඊට එක මූලික හේතුවක් විය හැක්කේ අපගේ ණය සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අගය ස්ථාවරව පවත්වා ගැනීමයි. (Debt to GDP Ratio) ඩොලර්වලින් ලබා ගත් ණය රුපියල් බවට පරිවර්තනය කිරීමේදී වැඩි විනිමය අනුපාතිකයකින් පරිවර්තනය කළ විට ණය ප්‍රමාණයේ රුපියල් අගය ඉහළ යාම නිසා දැනට පවතින දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය 104% ලෙස පවතින අගය තවත් ඉහළ යා හැකිය. එමගින් අපගේ ණය ශ්‍රේණියට මෙන්ම දේශපාලනික මට්ටමින් විශාල අවාසි ගණනාවක් ඇති විය හැකිය. නමුත් ණය ගෙවීමේදී අප ඩොලර්වලින් ලබා ගත් ණය ඩොලර්වලින්ම ගෙවීමට සිදු වන නිසා විනිමය අනුපාතිකය කෘත්‍රිමව අඩුවෙන් තබා ගැනීමෙන් පලක් නැත.

මෙහි බොහෝ දෙනෙක් මග හරින කොටසනම් මුදල් අච්චු ගැසීමේදී නිරායාසයෙන් ඩොලර් අඩුවීමයි. මෙතරම් ආනයන තහනම් කර තිබියදීත් වසර තුනක් තුළ වාර්තා ගත වූ වැඩිම ආනයන සැප්තැම්බර් මාසයෙන් වාර්තා විය. එයට ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ මිල ඉහළ යාම එක හේතුවක් විය හැකි වුවත් ආනයන තහනම් කර තිබීමෙන් එම අගය ඉහළ යන්නේ මුදල් අච්චු ගැසීම නිසා බව මෙම තීරු ලිපියෙන් අප නිතරම අවධාරණය කළෙමු. මුදල් අච්චු ගැසීමෙන් එම මුදල් නැවත අපට අත්‍යවශ්‍ය ආනයන වලට නැවත නැවත වියදම් වීමෙන් සහ කළුකඩ ක්‍රමයට වියදම් වීම නිසා ආනයන ඉහළ යාමට මුදල් ධාරිතාව ඉක්මවා මුද්‍රණය කිරීම ප්‍රධානම හේතුවකි.

එනිසා මේ ලිපිය ආරම්භයේ පැවැසූ පරිදි ඩොලර් අර්බුදයට කෙටිකාලීන විසඳුම් නැත. රුපියල අවප්‍රමාණය වීමෙන් අපගේ ඉහළ යන බඩු මිල සමග අපි කලින් භාවිත කළ දේ භාවිත නොකර සිටීමත්, කලින් පහසුවෙන් කළ දේවල් දැන් පහසුවෙන් කිරීම කැප කිරීමත් අපගේ ජීවන තත්ත්වය අප විසින්ම අඩු කර ගැනීමත් හැරෙන්න මේ ඩොලර් අර්බුදයෙන් ගොඩ ඒමට අපට කෙටි පාරක් නැත. අපිට පෙනෙන සහ පෙන්වන සියලුම පාරවල් කෙටි මාර්ග සේ පෙනුණද ඒවා ඉතාම කෙටි බව බොහෝ දෙනා පැවසුවත් එය කෙටි නොවන බව නිදහසෙන් පසු වසර 70දීම අප ඇත් දැක ඇත්තෙමු. අප කනගාටු විය යුත්තේ වසර 70ක් යනතුරුත් අපට තවම නිවැරදි මාර්ගය අවබෝධ කර ගැනීමට නොහැකි වීම ගැනය.

2021 ඔක්තෝම්බර් 29 දින අරුණ පුවත්පතේ පලවූ ලිපිය

ගව ඝාතනයෙන් වළකිමුද? තහනම් කරමුද?

ගව ඝාතනය තහනම් කිරීම කඩිනම් කිරීමට රජයේ අවධානය යොමුවී ඇත. ඒ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම උදෙසාය. මෙකී තීරණය විවිධ කෝණ ඔස්සේ විග්‍රහ කළ හැක. එකක් නම් ආගමික සහ අපේ ඇදහීමේ කෝණයයි. මෙම ලිපියෙන් ආගම ඇසුරෙන් එය විග්‍රහ කිරීමට උත්සාහ නොගන්නේ මාම බෞද්ධයෙක් වුවද බුදු දහම පිළිබද ප්‍රවීණයෙක් නොවීම නිසාය. එනිසා මා දන්නා දේ ආර්ථික විද්‍යාවෙන් මේ ගැන පැහැදිලි කර ගනිමු. මෙය ඉතාම සද්භාවයෙන් යුතුව රජය ගෙන ආ තීරණයක් වුවත් රාජ්‍ය ප්‍රතිපත්ති තීරණවලදී අපගේ අරමුණ සත්භාවික වූ පමණින් ප්‍රතිඵල සත්භාවික වේවි යැයි අපේක්ෂා කළ නොහැකිය.

මට මෙහිදී සිහිපත් වනුයේ ඉන්දියාවේ කලකට පෙර සිදුවූ දෙයකි. එනම් ඉන්දියාවේ කලක් නාගයන් දෂ්ට කිරීමෙන් මිනිසුන් මිය යන නිසා නාගයන් අල්ලා දෙන අය වෙනුවෙන් සැලකිය යුතු මුදල් ත්‍යාගයක් පිරිනැමීමට එරට රජය විසින් තීරණය කරන ලදී. එය ජනතාවගේ ජීවිත බේරා ගැනීමට ගත් ඉතා වටිනා තීරණයක් බවයි එවක සියල්ලන්ගේම අදහසවූයේ.

මෙකී ක්‍රියාදාමය ආරම්භ කළ මුල් සමයේදී නාගයන් හේතුවෙන් මිය යන පිරිස අඩු වුවද, පසුව නැවතත් නාගයන් දෂ්ට කිරීමෙන් සිදුවන මරණ සංඛ්‍යාව වැඩි වන්නට විය. එමෙන්ම එන්න එන්නම නාග ගහනයද වැඩිවෙන පසුබිමක් නිර්මාණය වෙමින් තිබිණි. ඊට හේතුව වූයේ අල්ලා දෙන සෑම නාගයකුටම මුදල් ත්‍යාගයක් රජයෙන් ලබාදීම නිසා මිනිසුන් ගෙවල්වලම නාගයන් බෝ කිරීම පටන් ගෙන තිබීමයි. එය මුදල් ඉපැයීමේ මාර්ගයක් ලෙස භාවිත කර තිබිණි. එනිසා නාගයන් නිවාසවලදී නිකරුණේ මිදී යාම මෙන්ම නිවාසවල ඇති කිරීමේදී සිදුවන අනතුරු වැඩිවිය. කෙසේ වෙතත් මෙය බොහෝ දෙනකුගේ ඉතා පහසු ආදායම් මාර්ගයක් බවටත් පත්විය.  මිනිසුන් නාගයන් බෝ කිරීමෙන් මුදල් උපයන බව රජය තේරුම් ගැනීමෙන් පසුව එම මුදල් ත්‍යාග ලබා දෙන ක්‍රමවේදය රජය විසින් නවතා දමනු ලැබීය. එවිට තවදුරටත් නාගයන් ළග තබා ගැනීම ආර්ථිකමය වශයෙන් තේරුමක් නොමැති නිසා මිනිසුන් නාගයන්ව නිදහස් කළේය. එමගින් නාග ගහණය සීග්‍රයෙන් වැඩි වීමෙන් ප්‍රශ්නය තවත් උත්සන්න විය. ආර්ථික විද්‍යාව යනු අප සිතන පතන විදිය සහ එයට බලපෑම් ඇති කළ හැකි ක්‍රමයක් බව මේ ලිපිවලින් අප නිතරම පවසන්නේ එනිසාය. සද්භාවයෙන් ගත් තීරණයක් නිසා ප්‍රශ්නය තිබුණාටත් වඩා වැඩි විය හැකිය.

ගව ඝාතන තහනමේත් එම අවදානම එලෙසම පවතී. ඉන්දියාවේදීත් ගවයන් ඝාතනය තහනම් කිරීම නිසා ගවයෝ ඉතා දුෂ්කර ලෙස කුසගින්නේ මියගියහ. ඊට හේතු වූයේ කිරිවලට හෝ මස්  වෙනුවෙන් වන චේතනාවකින් තොරව  ගවයෙක් නඩත්තු කිරීම, කෑම ලබාදීම වියදම් අධික කාර්යක් නිසාය. අපේ ජන වහරේ එන හතරරියන් හා දෙරියන් කවිපෙලේදී හරකාගේ ඉදිරිපස කොටස එක්කෙනෙක් භාර ගැනීමත් අනෙකා ගවයාගේ පිටුපස භාර ගැනීමෙනුත් තහවුරු කරන්නේ ගවයන් නඩත්තු කිරීම කොතරම් අපහසුද යන්නය.

ඉන්දියාවේදී බොහෝ කිරි හරකුන් ඔවුන්ගේ කිරි අස්වැන්න අඩු වීමත් සමග ඔවුන්ව නිකරුණේ කැලයට අත හැරීමෙනි. බොහෝ ගවයන් මියගියේ කුසගින්නේ ආහාරද නොමැතිවය. එමෙන්ම අතහරින ලද ගවයන් සහ හරකුන් මහා මාර්ගවලට  පැමිණීමෙන් වාහන තදබදයට විශාල බලපෑමක් ඇතිවිය. එපමණක් නොව හොරෙන් හරක් මැරීම විශාල ලෙස වැඩිවිය.  නිකරුණේ ගැවසෙන ගවයන් හොරකම් කරමින් මස් අලෙවිය සිදුවිය. එනිසා ගව මස් අනෙකුත් මස් වර්ගවලට කවලම් කිරීමත් සිදු විය හැකිය. මස්වලට විකිණීම, කුඹුරු කටයුතු වැනි දෑ වෙනුවට හැරුණු විට පිරිමි ගවයාගෙන් ආර්ථික වාසි අඩු නිසා පිරිමි ගවයන් උපතේදීම මැරීමේ හැකියාවත් වැඩි විය හැක. ජීව විද්‍යාත්මකව සාමාන්‍යයෙන් 50:50 ගැහැනු සතුන් සහ පිරිමි සතුන් ජනනය වීම ස්වභාවිකය. ඒ අනුව උපදින ගව ගහනයෙන් අඩකගේම ඉරණම තිඹිරි ගෙයේදීම ඉතා ඛේදනීය විය හැක.

දැනටත් ශ්‍රී ලංකාවේ රක්ෂිත වනාන්තරවල තිබෙන මූලිකම ප්‍රශ්නයක් වන්නේ රක්ෂිත වනාන්තරවල සිටින ශාක භක්ෂක සතුන්ට ප්‍රමාණවත් තරම් ආහාර නොමැති වීමය. එයට එක හේතුවක් වන්නේ රක්ෂිත වනාන්තරවල මායිම්වල සිටින කිරි හරකුන්ට අහාර ලබා ගැනීමට කැලයට යොමු කිරීමෙන් වනාන්තරයේ සිටින සතුන්ට ආහාර අඩු වීමය.

ගව ඝාතනය තහනමත් සමගම සිදුවිය හැක්කේ එම ගවයන් සහ වස්සන් කිරි සහ ආර්ථික වාසි ලබාගත් කාලයෙන් පසුව නිකරුණේ කැලයට අතහැරීම නිසා වනාන්තරවල ගව ගහනය වැඩි වීමෙන් ශාක භක්ෂක සතුන්ට විශාල බලපෑමක ඇති වීමයි. ඒ වගේම මූල්‍යමය අතින් ගත් කල ශ්‍රී ලංකාවේ දියර කිරි කර්මාන්තයටත් මෙමගින් විශාල බලපෑමක් විය හැකියි. දැනට පවතින දත්ත අනුව ශ්‍රී ලංකාවේ දියර කිරි ඉල්ලුම කිරි ලීටර් මිලියන 700ක් පමණ ‍වේ. නමුත් අපට දේශීයව නිෂ්පාදනය කළ හැක්කේ කිරි ලීටර් මිලියන 374 පමණි. මෙරට කිරි ගවයන් 329ත් 490ත් පමණ ප්‍රමාණයක් සිටිති. මෙරට කිරි ගවයෙක් දිනකට ලබාදෙන්නේ කිරි ලීටර් 4ත් 5ත් අතර ප්‍රමාණයකි. ලෝකයේ කිරි ගවයකුගෙන් දිනකට ලබා ගන්නා ප්‍රමාණයේ සාමාන්‍ය අගය ලීටර් 28ක් පමණ වේ. දියුණු රටවල මෙකී අගය කිරි ලීටර් 40 දක්වා වැඩි වේ.

අපේ කිරි ගවයන්ගේ කිරි ඵලදාව අවම වීමට ප්‍රධාන හේතුව ඔවුන්ව නිසි පරිදි නඩත්තු නොකිරීමය. කිරි හරකුන්ට ගැළපෙන තණකොළ වර්ග, බෙහෙත් වර්ග සහ සතුන්ව රෝගවලින් ආරක්ෂා කිරීම ඉතාම වැදගත්ය. එමෙන්ම කිරි හරකුන්ව අඩු උෂ්ණත්වවල තබා දහඩිය දැමීම අවම කිරීමෙන් ඔවුන්ගේ කිරි ඵලදාව වැඩි කර ගත කරගත හැකිය. දැනට පවතින ක්‍රමය අනුව කිරි ගොවියා කිරි අස්වැන්න ලබාදෙන උපරිම කාලය ගතවූ පසු ගවයා විකිණීමෙන් පසුවය ගවයාගේ ලාභය ලබා ලැබෙනුයේ. ඒ අනුව ගව ඝාතනය තහනම් වීමත් සමග බොහෝ ගොවියන් දියර කිරි නිෂ්පාදනයෙන් ඉවත් විය හැකිය. එමගින් අපගේ කිරි පිටි ආනයන වියදම තවත් ඉහළ යා හැකිය.

මේ නිසා හරක් මස් වෙනුවෙන් තිබූ ඉල්ලුම කුකුළු මස් සහ අනෙකුත් මස් වර්ගවලට යොමු වීම නිසා එම සතුන්ගේ සමස්ත මරණ ප්‍රමාණය වැඩි වේ. ඉල්ලුම වැඩිවීමෙන් කුකුළු මස් සහ බිත්තර මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ හැකියාවක් ඇත. මෙම නිවේදයත් සමග ඉදිරියේදී ගවයන් විකිණීම අපහසු විය හැකි නිසා මේ දිනවල ශීඝ්‍ර ලෙස ගව ඝාතන ඉහළ යාමේ හැකියාවක්ද පවතී.

2016 අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්තවලට අනුව අපගේ සමස්ත භාණ්ඩ අපනයනයෙන් 1%ක් සම් භාණ්ඩය. දැන් එය 0.6% දක්වා අඩු වී ඇත. එම දත්තවලට අනුව දිවයින පුරා කුඩා හා මධ්‍ය පරිමාණ සම් භාණ්ඩකරුවන් 1000කට අධික පිරිසක් ඇමරිකානු ඩොලර් මිලියන 550කට අධික මුදලක් අපනයන ආදායම ලෙස රැගෙන එනු ලබති.

මෙම තීරණයත් සමගඔවුන්ගේ ආදායම මෙන්ම විදේශ විනිමයත් මෙමගින් අවදානමට ලක් වීමට හැකියාවක් තිබේ. බොහෝ දෙනෙක්ට ගැටලුව තිබෙන්නේ ආර්ථිකමය වශයෙන් මෙය තෝරා ගැනීමට වඩා මෙම තීරණය ආගමික වශයෙන් තෝරා ගන්නේ කෙසේද යන්නය. විශේෂයෙන්ම හින්දු සහ බෞද්ධ දර්ශනයට අනුකූලව මේ දෙස බලන්නේ කෙසේද යන්නය.

අප මේ උත්සාහ ගනුයේ සිදුවන ආර්ථික පාඩුව නිසා සත්ත්ව හිංසාව සහ ප්‍රාණ ඝාතය සාධාරණීකරණය කිරීම නම් නොවේ. බුදු දහමට අනුව මෙම තත්ත්වය, එනම් මහජන ප්‍රතිපත්ති සම්පාදනය තේරුම් ගැනීමට දේවදත්ත තෙරුන් බුදුරජාණන් වහසේගෙන් කළ ඉල්ලීම්වලට උන්වහන්සේ ලබාදුන් පිළිතුර සමග සැසඳිය යුතුය.

1. සියලු භික්ෂුන් වහන්සේලා පාංශකූල සිවුරු දැරිය යුතුය.

2. සියලු භික්ෂුන් වහන්සේලා සියලු කල්හී රුක් මුල වැඩ සිට බණ භාවනා කළ යුතුය. 3. සියලු භික්ෂුන් වහන්සේලා සියලු කල්හී ශුන්‍යාගාරවල වැඩ වාසය කළ යුතුය.

4. භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතයෙන් සියලු කල්හි යැපිය යුතුය.

5. සියලු භික්ෂූන් වහන්සේලා සියලු කල්හි නිර්මාංශ විය යුතුය

යනුවෙන් සියලුම භික්ෂුන්ට නීති පැනවිය යුතු බව දේවදත්ත තෙරුන් යෝජනා කළේය. බැලූ බැල්මට එම ප්‍රතිපත්ති වරදක් නැත. ඉතාම හොඳ ඒවාය. එහිදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ කැමැති කෙනෙක් සිටිනවා නම් ඒවා අනුගමනය කළ හැකි බවත් ඒවා විනය නීති බවට පත් කිරීමට අවශ්‍යතාවක් නොමැති බවත්ය.

එහි අර්ථය ප්‍රාණඝාතය හෝ මාංශ අනුභවය බුදු දහම අනුමත කළ බව නොවේ. එහි තේරුම බුදු දහමට අනුව ඔබ ඔබගේ ජීවිතය සකස් කර ගන්නවා වෙනුවට අන් අයගේ ජීවිත සකස් කර ගන්න උත්සාහ කිරීමෙන් ඵලක් නොවන බවය. රජයන්වලට අපගේ ජීවිත සකස් කිරීමට හැකියාවක් නොමැති බව අප තේරුම් ගත යුතුයි.

අප ආගමත් ආර්ථිකයත් පටලවාගත් විට අපට ඒ දෙකම ගිලිහීම ස්වභාවිකය. ප්‍රාණඝාතයට සහ සත්ත්ව හිංසාවෙන් මිදීම අප තනිවම කළ යුතු දෙයක් මිස එය බාහිර බලපෑමෙන් කළ හැක්කක් නොවේ. බුදු දහම නිතරම තම තමන්ට තම තමන්ගේ අභ්‍යන්තරය නුවණින් සහ ප්‍රඥාවෙන් විමසන, ස්වඋත්සයයෙන් නැගී සිටිමින් තමන් මුලින් සසරින් එතෙර වීමට කියාදුන් දහමක් මිස රාජ්‍ය තීරණ හරහා ජනතාවට නිවන් අවබෝධ කරවන දහමක් නොවේ. එමගින් ප්‍රශ්නය තිබුණාටත් වඩා විශාල විය හැකියි. බොහෝ විට අපගේ හරකුන් කලින්ටත් වඩා කලින් දැන් නිවන් දැකීමේ අවදානමක් ඇත.

2021 ඔක්තෝම්බර් 22 දින අරුණ පුවත්පතේ පලවූ ලිපිය