USD

රුපියල් අච්චු ගහද්දි ඩොලර් සංචිත අඩුවෙන්නෙ කොහොමද?

අපට අපගේ විදෙස් සංචිත සහ රුපියල් ගැන සිහිපත්වනුයේ ආර්ථිකය අවසන් අඩියට කඩා වැටුණට පසුවය. මේ දිනවල විදේශ සංචිතවල තත්ත්ත්වය සම්බන්ධයෙන් බොහෝ තැන්වල කතාබහ වෙති. ආර්ථික විද්වත්හු ඒ ගැන විවිධ විවරණ දෙති. කොහොම වුණත් සංචිත පහළයන්නෙ ඇයි කියල සොයා බැලීමත් වැදගත්ය.

ඇතැමුන් සිතාසිටිනුයේ රජය ආනයන තහනම් කළද ආණ්ඩුව හොර රහසේ භාණ්ඩ ගෙන්වන බවය. එලෙස භාණ්ඩ ගෙන්වන්නේ නැතිනම් මේ ආකාරයෙන් රුපියල බාල්දු නොවන බව සාමාන්‍ය ජනතාවගේ අදහසයි. විදේශයක සිටින මා මිතුරෙක් මැතකදී විමසා සිටියේ “ඩොලර් නම් අතේ තියෙනව. ඒවා දැන්ම රුපියල් කරන්නද? නැත්නම් තව කාලයක් ගිහිල්ල රුපියල්වලට හරවන්නද යනුවෙනි.

ආනයන තහනම ඉවත් කළොත් රටේ මේ තියෙන ගැටලු තවත් උග්‍රවන බව තමයි තව පිරිසකගේ අදහස. ඒ වගේම රුපියල දිනෙන් දින කඩාවැටීම හමුවේ අපේ ආර්ථිකය කඩා වැටෙනවා නේද? තවත් පිරිසක්  ප්‍රශ්න කරති. යම් යම් පුද්ගලයන් තමන් සිටින, තමාට වැටෙහන තත්ත්වය අනුව පවතින අර්බුද විවිධාකාරයෙන් විග්‍රහ කරමින් සිටිති.

මෙහිදී අප පළමුව තේරුම් ගත යුත්තක් ඇත. එනම් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය යනු රටක ආර්ථිකය හොඳට දුවනවද නරකට දුවනවද යැයි පරීක්ෂා කර බලන මීටරය වැනි දෙයක් නොවන බවයි. එහි අරුත “ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම කිසිම ප්‍රශ්නයක් නැහැ, අපිට භය වෙන්න කිසිම හේතුවක් නෑ” යන්න නම් නොවේ. ‍විවිධ හේතු නිසා එක් එක් රටවල මුදල් ඒකක අවප්‍රමාණය විය හැකිය. උදාහරණයක් ලෙසින් ඇමරිකාව වැනි දියුණු රටක පොලිය වැඩි කිරීම/අඩු කිරීම වැනි දේ බලපා හැකිය. නමුත් මේ රුපියල වැටෙන්නෙ අපේ මූල්‍ය පද්ධතියෙ ඇති රුපියල් ප්‍රමාණය වැඩි කිරීම නිසාය. මුදල් අච්චු ගැසූ හැම මොහොතකම රුපියල කඩා වැටුණි.

2015 වසරේදී උද්ධමනය අඩුයි යැයි පවසමින් මුදල් අච්චු ගැසීය. එහි ප්‍රතිඵලය වූයේ 131 ට තිබූ රුපියල 151 දක්වා අවප්‍රමාණය වීමයි. 2018දිත් එම ක්‍රමයම අනුගමනය කෙරුණි. එහිදී රුපියල 181ට ඉහළ ගියේය. මේ මොහොතේ ඩොලරය රුපියල් 200 සීමාවේ තබාගෙන සිටිනුයේ කෘතිමවය. මීට පෙරද සල්ලි අච්චු ගැසීය. එවිට රුපියල කඩා වැටෙද්දි සංචිතවලින් ඩොලර් වෙළඳ පොළට මුදාහැර, ණය වී ලබාගත් ඩොලර් සංචිතවලට මුදා හැරියේය. ඒ මුදල් නැවත රුපියල අවප්‍රමාණය වීම නැවැත්වීමට යෙදවීය. සල්ලි අච්චු ගැහීම මේ මොහොතේ වඩා භයානක වනුයේ ණය ගෙවීමට ඇති සංචිත සල්ලි අච්චු ගැසීමෙදී එන්න එන්නම අඩු වන නිසාය. සල්ලි අච්චු ගැහුවාම කොහොමද සංචිත අඩුවන්නේ යන ප්‍රශ්නය දැන් ඔබට පැන නැගෙනු ඇත. ඊට පිළිතුර නම් ආනයන වැඩි වෙන නිසා. එසේ නම් මුදල් අච්චු ගැසීම සහ ආනයන අතර ඇති සම්බන්ධය කුමක්ද? අප අච්චු ගසන්නේ රුපියල්ය. එහෙත් භාණ්ඩ ගෙන්වීමේදී ගෙවන්නේ ඩෙලර්වලිනි. එය සිදුවනුයේ මෙලෙසිනි.

සල්ලි අච්චු ගැසූ විට බැංකුවලට ණයට දීමට මූල්‍ය පද්ධතිය තුළ ඕනෑ තරම් මුදල් ඇත. සල්ලි අච්චු ගැහුවෙ නැතිතම් බැංකුවලට ණයට දෙන්න ඇත්තේ තැන්පත්කරුවන්ගේ මුදල්ය. තැන්පත්කරුවන්ගෙන් මුදල් වැඩිපුර තැන්පත් කර ගැනීමට නම් වැඩි පොලියක් ගෙවිය යුතුය. ඉන් අදහස් වූයේ මිනිස්සු වියදම් නොකර මුදල් ඉතුරු කළ යුතුය. නමුත් එවිට ආර්ථික වර්ධනය සිදුවනුයේ සෙමිනි. මන්ද මුදල් ඉතුරු කරනවා යනු නව ඉදිකිරීම් අඩුය, යන්ත්‍රසූත්‍ර මිලදී ගැනීම් අඩුය. එමගින් ආර්ථිකය හිරවේ. එවිට බැංකුවලට ණයට දීමට ඇති මුදල් අඩුය. ඒත් දැන් සිදුකරනුයේ මහ බැංකුව සල්ලි අච්චු ගැසීමය. එවිට බැංකුවලට මහ බැංකුවෙන් මුදල් ඉක්මනින් ගෙන ආයෙත් සාමාන්‍ය මිනිස්සුන්ට ණයට දිය හැකි. එවිට වැඩිපුර ණය දෙනවා යනු ආර්ථික ගමන වේගවත් වීමකි. Credit හොඳට යනවා යැයි පවසන්නේ එයටය. නමුත් එහිදී ආනයන වැඩි වේ. කවුරුන් හෝ බැංකුවෙන් ණයක් ‍ගෙන බිල්ඩිම් ඉදිකළහොත් රුපියල්වලින් ගෙවීම් කළද ඒ සඳහා භාවිත වන යකඩ ගෙන්වන්නේ ආනයනය කරය. සිමෙන්ති ආනයනය කර, වීදුරු ආනයනය කර. බිල්ඩිම හදන කෙනා රුපියල්වලින් ගෙවීම් සිදුකළද අන්තිමේදී වැයවන්නේ ඩොලර්වලිනි. ආනයන කෙතරම් තහනම් කළද පළක් නොවන බව සහ එය රුපියල අවප්‍රමාණය වීමට බලපෑමක් නැතැයි මා නිරන්තරයෙන් පවසන්නේ එනිසාය. ඊට වඩා ගැළපෙන්නේ ආනයන තහනම ඉවත් කර, පද්ධතියේ ඇති රුපියල් ප්‍රමාණය අඩු කිරීම. එවිට ඉබේම ආනයන අඩු වේ. ආනයනවලට ඇති ඉල්ලුම අඩු වේ. ඩොලර් පද්ධතිය වැය නොවේ. එය ඉතිරි වේ. නිෂ්පාදනය වැඩි කිරීම සහ කාර්යක්ෂම බව තුළින් අපේ ආර්ථිකය වර්ධනය කළ හැකිය.

මුදල් වැඩිපුර අච්චු ගහපු ගමන් ආනයන වැඩි වෙනව කියල බොහෝ දෙනාට වැටහෙන්නේ නැත. ආනයන කෙතරම් තහනම් කළද ආනයනය කළ හැකි දේට මිනිසුන් යොමු වේ. උදාහරණයක් ලෙසින් ගතහොත් බැංකුවෙන් ණයක් ගෙන වාහනයක් මිලදී ගැනීමට සිටි පුද්ගලයෙක් දැන් වාහන ගෙන්වන්න බැරි නිසාත්, නිවාස ණය පොලිය අඩු නිසා ගෙයක් හැදීමට උත්සාහ කරයි. නැතිනම් පරණ වාහනයක් මිලදී ගනියි. එවිට පැරණි වාහනය විකුණූ පුද්ගලයා පරිගණකයක් මිලදී ගන්නා යැයි තීරණය කළහොත් ඒත් අන්තිමට වියදම යන්නෙ ඩොලර්වලින්මයි. එහෙම නම් අපේ රටේ සන්නාම සහිත භාණ්ඩ පරිභෝජනය කළාම ඩොලර් ඉතිරි වේ යැයි යමෙක් තර්ක කළ හැකිය. එහෙත් නවීන නිෂ්පාදන බිහිවනුයේ රටවල් ගණනාවක අමුද්‍රව්‍ය එකතු වීය. උදාහරණයකට ශ්‍රී ලාංකික සන්නාමයක් වන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ගනිමු. අපි විදෙස් සංචාරයන් යෑමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පමණක් භාවිත කළද, ඒ වෙනුවෙන් අපි ගෙවන්නා වූ මුදල් ලෝකෙ වටේටම සැරිසරයි. එකී ගුවන්යානයට ගහන තෙල් අපේ නොවේ. ගුවන්යානය නිර්මාණය කළ යකඩ අපේ නොවේ. මේ ආකාරයෙන් අපේ නොවන ගැන දිගු ලැයිස්තුවක් විය හැකිය. එනිසාය අපේ ආර්ථිකය අනෙකුත් ආර්ථික හා සම්බන් කිරීම වැදගත් වනුයේ. එවිට විදෙස් රටක අයෙක් මුදල් වියදම් කළද‍ ඉන් කොටසක් අපේ රටටද ගලා ඒ.

ශ්‍රී ලන්කන් සමාගමේ ගුවන්යානයක් පාවිච්චි කළා මෙන් මුළු ආර්ථිකයකම මිනිස්සු වැඩි වැඩියෙන් වියදම් කරද්දි ආනයන වැඩි වේ. එසේ නැති වුණොත් බඩුවල මිල අධික ලෙස ඉහළ යයි. අනෙක් පසින් සල්ලි අච්චු ගැසීමේදී බඩුවල ඉල්ලුම වැඩි වීම නිසා ඩොලර්වලට ඇති ඉල්ලුමද වැඩි වේ. එවිට රුපියල අවප්‍රමාණ වේ. එවැනි මෙහොතක මහ බැංකුව සංචිතවල ඇති ඩොලර් විකුණා ඩොලර් රැක ගැනීමට උත්සාහ ගනියි. ඉදින් සංචිත අඩු වේ.

සංචිත අඩු වෙද්දී මහ බැංකුව නැවත වෙළෙඳ පොළෙන් ඩොලර් මිලදී ගනී. ඒ සංචිත නැවත ගොඩනැගීම වෙනුවෙනි. එවිට නැවත වරක් ඩොලර් අඩු වේ. ආයෙත් රුපියල අවප්‍රාමාණය වේ. අපි මේ දවස්වල අපේ ණය ගෙවන්නෙ අපේ සංචිතවලිනි. ඊට හේතුව නම් ණය ශ්‍රේණිගත කිරීම් ආයතන අපේ ණය ශ්‍රේණිය පහත දමා ඇත. එනිසා වෙළෙඳ පොළෙන් නැවත ණය ගැනීම අසීරුය. මිත්‍ර රාජ්‍යයක් අපිට ඩොලර් දුන්නොත් හැරෙන්න ඩොලර් සංචිත ගොඩගැනීම පවතින තත්ත්වය තුළ ඉතා අසීරුය. චීනයෙන්, ඉන්දියාවෙන්, බංග්ලාදේශයෙන්  ස්වොප් ගිවිසුම් Swap agreement) මගින්  අපේ භාෂාවෙන් කියනවා නම් යාළුකමට අත මාරුවට දෙන මුදල්ය. ආනයන මෙතරම් තහනම් කළද, ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් වුණත් රුපියල අවප්‍රමාණය වෙන්නෙ ඇයි, අපේ සංචිත අඩු වෙන්නෙ ඇයි කියන ප්‍රශ්නය අපි අපෙන්ම අසාගත යුත්තකි. එලෙස ස්වයං ප්‍රශ්න නැගීමකින් පමණි මෙහි ඇති ගැටලුව වටහාගත හැකි වනුයේ.

අප මේ පිළිබඳ කෙතරම් පැහැදිලි කළ ද මේ දේ මහ බැංකු නිලධාරින් දන්නේ නැත්දැයි බොහෝ දෙනා අසති. ඒ ප්‍රශ්න නැගීම නිවැරදිය. ඒ අපි බෞද්ධ වුවද, ධර්මයේ ඇති කරුණු දැනගත්තද නිවන් දකින්නෙ නැත. ධර්මය දැනීමයි ධර්මය අනුගමනය කිරීම සහ ධර්මය ප්‍රගුණ කිරීම යනු එකිනෙකට පරස්පර කරුණු තුනකි. එලෙසින්ම මේ ආර්ථික ගැටලුවේදී කරුණු දැනගත් පමණින් ක්‍රියාත්මක නොවේ. එහෙත් මෙරට ජනයා බලා සිටිනුයේ නිවැරදි ප්‍රතිපත්ති භාවිත කර අපේ මුදල්වල වටිනාකම ඉතිරි කර දෙන දිනයක් උදාවන තුරුය.

2021 දෙසැම්බර් 17 වැනි දින අරුණ පුවත්පතේ පළ වූ ලිපිය

චීනෙන් ඇවිදින් අපගේ ණය ගෙවන්න... කල් ඇවිදින් ඒ සිහිනෙන් අවදිවන්න

ධනවත් මනසක් නැති අපට ධනයෙන් පොහොසත් විය නොහැක

මෙරට ආර්ථික අර්බුදය නැවත ලෝකය හමුවේ සනාථ විය. මෑතක් වෙන තෙක්ම විවිධ දේශපාලන කඳවුරු අපේ ආර්ථික අර්බුදය ඔවුන් කැමැති ලෙස නිර්වචනය කළා මිස සැබවින්ම එහි යථා ස්වභාවය පැහැදිලි කළේ නැත. ඇතැමුන් ප්‍රශ්න කළේ දළ දේශීය නිෂ්පාදිත අනුපාතයට ණය ප්‍රතිශතය (Debt to GDP ‘Ratio) වැඩි වුණාම මොකද වෙන්නේ? ජපානෙත් වැඩියිනෙ... මුදල් අච්චු ගැහුවම මොකද වෙන්නේ නූතන මුදල් න්‍යායත් එක්ක... ඒ නිසා මුදල් අච්චු ගැහුවට උද්ධමනය වැඩි වෙන්නේ නෑ, චීනය අපිට වැටෙන්න දෙන්නේ නෑ වැනි අදහස්ය.

අප විසින් නිර්මාණය කරගත් ආර්ථික අර්බුදවලින් අප ගලවා ගැනීමට අපට මිතුරු වෙනත් විදෙස් රාජ්‍යයන් අපට පිහිටුවේ යැයි සිතීම නොකළ යුත්තකි. හදිසි ස්වභාවික විපතකදී හෝ වෙනත් හදිසි තත්ත්වයකදී එලෙස උපකාර කළද, අපිම කාලක් තිස්සේ නිර්මාණය කරගත් අර්බුදවලින් ගොඩඒමට ඔවුනගේ පිහිට පැතීමද එකී රටවල්වල මිත්‍රත්වයටත් කරන අගෞරවයකි.

මේ තීරු ලිපියෙන් වතාවන් ගණනාවකදීම සඳහන් කළ පරිදි ශ්‍රී ලංකාවේ තිබෙන්නේ ණය පිළිබඳ සහ ඒ හා බැඳුණු ආර්ථික ප්‍රතිසංස්කරණ නොකිරීමේ ගැටලු මාලාවක් මිස වෙනෙකක් නොවේ. අපි අද ණය පිළිබඳව සාකච්ඡාව නැවත ආවර්ජනය කරන්නේ දැන් ආර්ථික අර්බුදය තීව්‍ර වනවාත් සමගම ණය අර්බුදය දෙස නැවත බැලීම වැදගත් නිසායි. ඇල්බර්ට් අයින්ස්ටයින්ට (Albert Einstein) අනුව "මේ ලෝකෙ 8 වැනි පුදුමය නම් වැල් පොලියයි (Compound Interest). වැල් පොලිය තේරුම් ගත් කෙනා හම්බ කරන අතර තේරුම් නොගත් කෙනා ගෙවන බව අයින්ටයින් පැවසීය. දැන් ලංකාව ඉන්නේ ගෙවන පැත්තේය.

චීනය ගැන දැනගන්න ජපානය පහුකරගෙන යන්න ඕන

1. ජපානයේ දළ දේශීය නිෂ්පාදිතයට අනුව ණය ප්‍රතිශතය (Debt to GDP Ratio) 240%කි. එසේ නම් ලංකාව 90% - 100% ක් වීම නිසා ඇතිවෙන ගැටලුව මොකකද?  එය මෙලෙස විග්‍රහ කර ගනිමු. ජපානයේ ණයවලින් විශාල ප්‍රමාණයක් ඇත්තේ ඔවුන්ගේ රටේ මුදල් ඒකක වන ජපන් යෙන්වලිනි (Japaneese yen). තවත් සරලව පවසනවා නම් ජපානයේ වැඩිපුර ණය ඇත්තේ දේශීය ණය ලෙසිනි. (ඒ රටේ මිනිස්සුන්ටම තමයි ණය) එනිසා ණය පියවීමට සඳහා ඕනෑම මොහොතක මුදල් අච්චු ගසා හෝ ණය ගෙවා ගැනීමේ හැකියාව ඔවුන්ට ඇත. ඒත් ලංකාවේ ණය විශාල වශයෙන් තිබෙන්නේ ඇමරිකානු ඩොලර්වලිනි (සහ වෙනත් මුදල් ඒකකවලින්). එකී මුදල් ඒකක අපිට අච්චු ගැසිය නොහැක.

අප අවධානය යොමුවිය යුත්තේ දළ දේශීය නිෂ්පාදිතයට අනුව ණය ප්‍රතිශතය (Debt to GDP Ratio)  නොවේ. අවධානය යොමුකළ යුත්තේ අවුරුද්දකට අපට ගෙවීමට ඇති පොලිය අපේ ආදායම මෙන් කොපමණද යන්නය. ජපානයේ ආදායමෙන් ඔවුන් ගත් ණයවල පොලිය වශයෙන් වසරකට ගෙවීමට ඇත්තේ 1%කට ආසන්න ප්‍රමාණයකි. ශ්‍රී ලංකාවේ ණයවලට පොලිය ලෙසින් අප අපේ ආදායමෙන් 47%ක් ගෙවිය යුතු වේ. සරලවම පවසනවා නම් මෙරට පුරවැසියකුගේ ආදායම රු100 නම්, රු. 47ක් වැයවන්නේ වාහනේ ලීසිං වාරිකයේ පොලිය ගෙවීමටය (ණය මුදලින් රුපියලක්වත් අඩු වෙන්නෙ නැතිව). වාහනයේ ලීසිං වාරිකයේ පොලිය සහ ණය මුදලේ කොටසක් ගෙවීමට පමණක් රු. 106ක් අවශ්‍යය. (ආදායම රු.100ක් වුණාට) ජපාන පුරවැසියෙක් තම මෝටර් රථයේ ලීසිං වාරික‍යේ පොලිය ලෙසින් ගෙවිය යුතු වන්නේ ඔහුගේ ආදායමෙන් රු. 1ට ආසන්න ගණනකි. එනිසා ජපනා කාලයත් සමග ණය ගෙවීමේදී ඔවුන්ගෙන් ණය අඩු වේ. එනිසා අලුතෙන් ණයගත හැකිය. එහෙත් ලංකාවේ අප ණයවල පොලිය ගෙවනුයේද නැවත පොලියට ණය අරගෙනය. එවිට පොලිය අඩු නොවේ. ණය අඩු නොවේ. ජපානය සහ ලංකාවයි සංසන්දනය කළ නොහැක්කේ එබැවිනි. ලෝකයේ මුදල් ඒකක ස්ථාවර

ඇතැම් සංවර්ධිත රටවල දළ දේශීය නිෂ්පාදිතයට අනුව ණය ප්‍රතිශතය (Debt to GDP ratio) එක 100%ට වැඩිය. අනික් හේතුව නම් ජපාන රජයේ බදු ආදායම ඔවුන්ගේ සම්පූර්ණ නිෂ්පාදනයෙන් (GDP) 40%ට වැඩිය. ලංකාවේ බදු ආදායම අපේ නිෂ්පාදනයෙන් (GDP) 12%කට ආසන්නය.

ඉතින් ණය ගෙවා, රැකියා විරහිත වූ උපාධිධාරීන්ට රැකියා දී, පාඩු ලබන සියලු රාජ්‍ය ආයතනවලට පඩි ගෙවා, රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවා, සමෘද්ධිය ලබාදී, ඇමැතිතුමන්ලාට වාහන අරගත්තාට පසු ණය ගෙවීම සම්බන්ධ කරුණ අත්හැරියද ඉහත වියදම් සඳහා අපේ ආදායම මදිය. අනික් පැත්තෙන් පොලියයි ණයයි පමණක් ගෙවීමටද අපේ ආදායම මදිය. එවැනි තත්ත්වයකදී ජපානය සමග සංසන්දනය කර ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතයට ණය ගැන හිතලා මානසික ආතතිය යම් තරමකට හෝ අඩුකර හිත සනසාගත හැකිය. එහෙත් යථාර්ථය ඊට බොහෝ ඈතය.

දැන් නිර්මාණය වී ඇති තත්ත්වය නම්, අපිට ණය ගෙවාගත හැකිවේදැයි යන චකිතය නිසා ලෝක මූල්‍ය වෙළෙඳපොළෙන් (International Financial Markets) ණය ගනිද්දී අවදානම වැඩි නිසා, ලෝකයේ අනිත් රටවල්වලට වඩා වැඩි පොලියක් ගෙවීමට සිදුව තිබේ. අන්තර්ජාතික මූල්‍ය වෙළෙඳපොළ ණය ගෙවීමේ අවදානම අනුව වැඩිම අවදානම් පොලියක් (Risk Premium) ගෙවීමට ඇති රාජ්‍යයන් වන ආජන්ටිනාව සහ සැම්බියාව අතරට අපද එකතුවී ඇත.

පසුගිය වසරේ ලංකාවට ණය ලබා ගැනීම සඳහා දේශීය වශයෙන් නිකුත් කළ භාණ්ඩාගාර බිල්පත් (Treasury Bills) වලින් 90%කට බලාපොරොත්තු වුණු ඉල්ලුමක් නොලැබුණි (Under subscribe). එමෙන්ම ද්විතීක වෙළෙඳපොළෙහි ශ්‍රී ලංකාවේ (සමහර බැඳුම්කරවල: කල්පිරෙන වර්ෂය අනුව මිල වෙනස් වේ) ඩොලර් එකක ස්වෛරී බැඳුම්කර අලෙවි වන්නේ ඩොලර් සත 70ට වැනි ආසන්නම මුදලකටය. ඒ නිසාය මේ ණය අර්බුදය අප නැවත සිහි කැඳවිය යුත්තේ.

2. චීනය අපිව බේරා ගනීවිද?

මුදල් අමාත්‍යවරයාගේ ඉන්දියානු සංචාරයෙන් පසුව චීනය ශ්‍රී ලංකාව බේරා ගනීවි යැයි සිතූ බොහෝ දෙනා විමතියට පත්වී ඇති බවක් පෙනුණි. ඇතැමුන් සිතා සිටිනුයේ අන්තර්ජාතික මූල්‍ය වෙළෙඳපොළවල් යනු බටහිර රටවල් ඇතුළු මහා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් බව. මූල්‍ය වෙළෙඳපොළවල් යනු මුදල් ඇති ලෝකයේ ඕනම රටක කෙනෙක් හා ගනුදෙනු කළ හැකි වෙළෙඳපොළකි. එහි සෑම රටකම මිනිස්සු සහ ආයතන තිබේ. මීට වසරකට පමණ පෙර නිකුත්වුණ Morgan Stanley ආයතනයේ වාර්තාවක අනුවත් සනාථ ක‍ළේ අප චීනයට සමස්තයක් ලෙසින් ණය 10% ක් පමණ බවයි. (ද්විපාර්ශ්වික ණය + චීන රජයට අයිති සංවර්ධන බැංකුවලට + ඇතුළු සියලු ණය. නමුත් ඊට අමතරව සමහර ව්‍යාපෘති ණය සහ රජයට අයිති ව්‍යාපාර හරහා ලබා ගත් ණයත් තිබෙනවා)

දැන් ප්‍රශ්නය නම් චීනය සල්ලි දීලා අපේ ණය ගෙවයිද යන්නයි. මෙරට බොහෝ දෙනා කැමැති වනුයේද චීනය එසේ කරනවා නම්ය. පවතින තත්ත්වය අනුව එය ඉතාමත්ම පහසුය. ඒත් මා දකින ආකාරයට නම් චීනය එසේ කරන්නේ නැත. ඔවුන් අපේ ණය කපා හැරියොත් හෝ ප්‍රමාණය ඉක්මවා අපිට ආධාර කළහොත් අප මෙන්ම ඔවුන් සමග සමීපව ගනුදෙනු කරන අනෙකුත් ආසියාතික රටවල්, එමෙන්ම අප්‍රිකානු රටවල් ඒ ලෙසින්ම චීනයෙන් මුදල් ඉල්ලිය හැක. කලකට ඉහතදී හිටපු මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හමුවූ අවස්ථාවකදී මමද ඔය ප්‍රශ්නයම ඇසුවෙමි. එතුමා චීන ජනාධිපතිතුමාගෙන් එකී ඉල්ලීම සිදුකළ අවස්ථාවේදී ලබාදීපු පිළිතුර පෙරළා මට ලබා දුන්නා.

හම්බන්තොට වරායට ලබාදුන් ණය කපා ඉවත් කරන ලෙස සරත් අමුණුගම මහතා චීනයේ එක් තීරයක් එක් මාවතක් සමාරම්භක උළෙලට සමගාමීව පැවැති රැස්වීමකදී කළ ඉල්ලීමට චීන ජනාධිපතිතුමා සහ ඔහුගේ මුදල් අමාත්‍යවරයා පවසා තිබුණේ "එහෙම කළොත් අනෙක් හැම රටක්ම ණය කපා හරින්න කියලා ඉල්ලාවි" යන පිළිතුරයි.

අනිත් කාරණය නම් අපේ ස්වෛරී බැඳුම්කර (International Sovereign Bond - ISB) වලින් වැඩිපුරම අයිතිය තිබෙන්නේ ඇමරිකාව, ස්විට්සර්ලන්තය, එංගලන්තය සහ ජර්මනිය කියන රටවල්වල සමාගම්වලටය. ඉදින් චීනය ලංකාවට සල්ලි දී අපේ ණය අර්බුදයෙන් අපිව බේර ගන්නවා යනු වක්‍රාකාරයෙන් ඔවුන්ගේ මුදල් සෘජුවම ගමන් කරන්නේ ඔවුන්ගේ ප්‍රතිවාදීන්ගේ රටවලටයි. චීනය අපිට උදව් කරාවි. ඒත් අපේ ණය අර්බුදය සම්පූර්ණයෙන් විසඳා ගැනීමට ඔවුන් හිස් චෙක්පතක් ලබා නොදෙනු ඇත. ඒ වගේම චීනයේ උදව් ලබා ගැනීම වෙනුවෙන් භූදේශපාලනිකමය (Geo politics) වශයෙන් අපිට තවත් ප්‍රශ්න ඇතිවීමේ අවදානමද වැඩියි. මෙතන ඇත්තේ චීනය ගැන ප්‍රශ්නයකට වඩා ලංකාවෙ ණය ගැන ප්‍රශ්නයකි. අපේ මූල්‍ය පරිපාලනය අන්තිම පිරිහුණු ආකාරයෙන් සිදුකර චීනයට, ඇමරිකාවට, ජපානයට සහ ඉන්දියාවට දෙහි කැපුවාට මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැත.

එම නිසා දැන් චීනයෙන් මෙන්ම ඉන්දියාවෙන්ද සහාය ලබා ගන්නා ආකාරයක් පෙනෙයි. පුද්ගලික ආයෝජන තරගකාරී ලෙස වීම වැදගත්ය. නමුත් අප මතක තබා ගත යුත්තේ අපි ආර්ථික ප්‍රතිසංස්කර්ණ කරන තුරු ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩා ආ නොහැකි බවය. ඇල්බට් අයින්ස්ටයින් කියපු දේ දැන් ඔබට යාන්තමට හරි වැටහේවි යැයි මා සිතමි.

2021 දෙසැම්බර් 10 වැනි දින අරුණ පුවත්පතේ පළ වූ ලිපිය

සල්ලි දීල ගත්තහම මනුස්සකම වැඩි වෙන්නේ කොහොමඳ?

ශ්‍රමයෙහි සහ වැටුපෙහි ඇති ආර්ථික විද්‍යාව

දිනක් ඉතාම නවීන මෝටර් රථයක් නවතා තිබෙන තැනක සිටි මැදි ආදායම් ලබන පුද්ගලයෙක් නවීන මෝටර් රථයක් දෙස බලමින් “බලන්න මේ වාහනය ගත්තු කෙනා කොච්චර ආත්මාර්ථකාමීද? මේ වාහනය ගත්තු සල්ලිවලින් සල්ලි නැති මිනිස්සු කී දෙනෙක්ට බෙදල දෙන්න තිබුණද? කෑම වේල් කීයක් නං දෙන්න තිබුණද’’ කියමින් සිටියේලු. සරල භාෂාවෙන් පවසනවා නම් හූ සිට ඇත්තේය හූල්ලමින්ය. ඒ අවස්ථාවේදී ඒ වාහනයේ සැබෑ අයිතිකරු එතැනට පැමිණියේය. ඉහත කී පුද්ගලයා රථයේ හිමිකරුගෙන් මෙසේ ඇසීය. “ඇයි ඔබතුමා මෙච්චර ආත්මාර්ථකාමී. මේ වගේ අති නවීන වාහනයක් ගන්න මුදලින් තව කී දෙනෙක්ට සල්ලි බෙදල දෙන්න තිබුණද? ඔබතුමාලට හිතක් පපුවක් නැද්ද?” යනුවෙනි. එලෙස ආවේගය් ඇසූ පැනයට රථය හිමිකරු ඉතා සැහැල්ලුවෙන් පිළිතුරු දුණි. ඒ  “ඉතිං මං මේ වාහනය සල්ලි දීල අරගෙන මම කරේ මගේ තිබ්බ සල්ලි ටික මිනිස්සුන්ට බෙදල දීපු එක තමයි” යනුවෙනි. මේ ප්‍රකාශයෙන් හූල්ලපු පුද්ගලයා පුදුම විය. ඔහු ආපසු මෙසේ ඇසීය. “එහෙම වෙන්නේ කොහොමද? මේ වාහනය අයිති ඔබතුමාට නං සල්ලි කොහොමද මිනිස්සුන්ට බෙදුනෙ?” යනුවෙනි.

රථයේ හිමිකරු ඊට දුන් පිළිතුරු මෙයයි. “මේ වාහනය හදල තියෙන්නේ ඉතාම දක්ෂ කාර්මික ශිල්පීන්. ඔවුන් ඉතාම දක්ෂයි. ඉතින් ගෙවපු සල්ලිවලින් කොටසක් මේක හදපු කාර්මික මහත්වරුන්ට යනවා. මේ වාහනේ තීන්ත ගාල තියෙන්නේ වාහන පින්තාරුකරුවන්. මගේ සල්ලිවලින් කොටසක් ඒ අයටත් බෙදෙනවා. මේ වාහනේට දාල තියෙන්නේ ඉස්තරම්ම වර්ගයේ ටයර්. ඒ ටයර් හදන්න මිනිස්සු රබර් ගස්වලින් කිරි කපනවා. මගේ සල්ලිවලින් කොටසක් ඒ මිනිස්සුන්ටත් යනවා. මේ වාහනයේ ආසනවල කවර හදල තිබෙන්නේ නවීන සම් වර්ගවලින්. ඉතින් ඒ සම් කර්මාන්තකරුවන්ටත් මගේ සල්ලිවලින් කොටසක් යනවා. ඒ වගේම මගේ සල්ලිවලින් කොටසක් මේ ආයතනය ලාභ විදියට උපයනවා. එයින් කොටසක් ඔවුන් ලභාංශ විදියට බෙදනවා. එතකොට ඔවුන්ටත් මගේ සල්ලි බෙදිල යනවා. ඒ ලාභයට ඔවුන් රජයට බද්දක් ගෙවනවා. ඒකෙන් රටේ දියුණුවටත් දායක වෙනවා. මේ වාහනය ගනිද්දි මං වෙනමත් බදු ගෙව්වා. ඒකත් රටේ අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වගේ වියදම් වෙනවා. ඇත්තටම මගේ සල්ලි හැමෝටම බෙදිල ගිහිල්ලා මට ඉතුරු වෙන්නේ මෙන්න මේ කාර් එක විතරයි.යන”

මේ කතාව සරල කතාවක් වුවද මේ තුළළ ඇති ආර්ථික විද්‍යාව බොහොම වැදගත් එකකි. මේ කතාව හරහා අපිට ආර්ථික විද්‍යාවට ඉගෙන ගන්න පාඩම් ගණනාවක් තිබේ. පළමුව අපි ඉගෙන ගන්න පාඩම නම් අප ඕනම අයෙක්ගේ භාණ්ඩයක් හෝ සේවාවක් හරි මිලදී ගන්නවා යනු අදාළ භාණ්ඩය හෝ සේවාව විකුණන අයට  කරන ගෞරවයකි. විකුණන අයට පමණක් නොවේ, මුළු නිෂ්පාදන ජාලයට සම්බන්ධ සියල්ලන්ට  කරන ගෞරවයකි. ‘පාරිභෝගිකයාට රජෙක් මෙන් සලකන්න‘ යන සංකල්පය පැමිණ ඇත්තේ ඒ හරහාය. භාණ්ඩය අලෙවි කරන්නා තමා පිලිබද  විශ්වාසය තබන පාරිභෝගිකයාට ගරු කරයි. එමෙන්ම පාරිභෝගිකයාද යමක් මිලදී ගන්නවා යනු එය නිෂ්පාදනය කළ පුද්ගලයාට, ශ්‍රමයට හැකියාවට සහ කැපවීමට ගරු කරනවා යන්නය.

ඒ නිසා ආර්ථික විද්‍යාවේදී ගනුදෙනුවක් අර්ථකථනය වනුයේ අපි එකිනෙකා වෙත දක්වන ගෞරවයක් වශයෙනි. නමුදු එකී අරුතෙන් අප එකිනෙකාට ගෞරව කිරීම පිණිස සෑම භාණ්ඩයක්ම මිලදී ගත යුතුයි යන අදහස ගම්‍ය නොවේ. අප මිලදී ගන්නේ අප වියදම් කරන මිලට වඩා වැඩි වාසියක් එම භාණ්ඩයෙන් අපිට ලැබේ නම් පමණකි. එනම් පාරිභෝගිකාට තෘප්තියක් ලැබේ නම් පමණි. එලෙසින්ම භාණ්ඩය අලෙවි කරන්නාද පාරිභෝගිකයා වෙත එම භාණ්ඩය යම් මුදලකට අලෙවි කරන්නේ ඔහුට නිෂ්පාදනය කළ මිලට වඩා වැඩි වටිනාකමක් පාරිභෝගිකයාගෙන් අය කර ගත හැකි නම් පමණකි.

අප රටේ බොහෝ දෙනෙක්ට නොතේරෙන සරල ආර්ථික විද්‍යාවේ එක පැතිකඩක් නම්, ඇතැම් මිනිසුන් භාණ්ඩ විකුණන්නේ සහ ඇයි ඇතැම් මිනිසුන් භාණ්ඩ මිලදී ගන්නේ ඇයි යන්නයි. එය අවබෝධ කර ගැනීමට තරම් වුවමනාවක්ද නැත.  එනිසාම ලංකාවේ බොහෝ දෙනා එකිනෙකා වෙළෙඳාම් කිරීම එතරම් සුබවාදීව දකින්නේ නැත. එනිසා පාරිභෝගිකයෝ නිරන්තරයෙන්ම ව්‍යාපාරිකයන්ව දකින්නේ අනවශ්‍ය ලාභ ලබන්න උත්සාහ කරන පිරිසක් ලෙසිනි. රජය ව්‍යාපාරිකයන්ව දකින්නේද එලෙසිනි. එය එසේ නොවිය යුතු යැයි හෝ සෑම ව්‍යාපරිකයෙක්ම ඉතාම අවංක බව අප නොපවසන්නෙමු. මක්නිසාද යත් පාරිභෝගිකයා ලෙස තමන් කැමැති දේ කැමැති කෙනෙක්ගෙන් මිලදී ගැනීමේ හැකියාව වැදගත් වන නිසාය. එවිට වංක ව්‍යාපාරිකයන්ගෙන් භාණ්ඩ මිලදී නොගෙන සිටීමේ අයිතිය පාරිභෝගිකයාට හිමිවේ. වක්‍රාකාරයෙන් අවංක මහන්සියට ගරු කිරීමටත්, වංකකමට ගරු නොකිරීමටත් අපට එදිනෙදා ජීවිතයේ හමුවන සෑම ගනුදෙනුවකදීම අවස්ථාව දක්නට ලැබෙන සුලබ තත්ත්වයකි.

තමන්ගේ ශ්‍රමයට සරිලන ලාභයක්, වැටුපක් ලබා ගැනීම ඕනෑම සාර්ථක පුද්ගලයෙක්ගේ අඩිතාලම වන්නේ ඒ නිසයි. දැන් අපි ඒ සමීකරණයම අපේ රට වෙත යොදා බලමු. ශ්‍රී ලංකාවේ රජය සිදුකරන ගනුදෙනුවලින් බොහොමයක් වටිනාකමට සරිලන ගෙවීම් සිදුවන ගනුදෙනු නොවේ. රජයේ රැකියාවන් ගතහොත් මිලියන 1.6ක සේවක මණ්ඩලයෙන් කොපමණ ප්‍රමාණයක් ඔවුන්ගේ වැටුප ලබා ගැනීමේදී සිදුවන ගනුදෙනුවට සාධාරණයක් ඉටු කරන ලෙස සේවය කරනවාද? සාමාන්‍ය වෙළෙඳපොළේ අපේ ගනුදෙනු මෙන් අපිට ඔවුන් සුදුසු නොමැති නම් වෙනත් කෙනෙක්ගෙන් එම කාර්යය කර ගැනීමටත් හැකියාවක් නැත. එම නිසා බොහෝ අවස්ථාවල රාජ්‍ය යාන්ත්‍රණය තුළ වැටුප් ලබා ගැනීමේදී සිදුවන්නේ වටිනාකම මත පදනම් වූ ගනුදෙනු නොවේ. මෙරට රාජ්‍ය සේවය ගැන විවේචන එල්ලවන්නේ එනිසාය.

වටිනාකමක් එකතු නොකරන බහුතර පිරිස නිසා වටිනාකමක් ලබා දෙන පිරිසටත් ඉහළ වැටුපක් ලබා ගැනීම ඉතා අපහසු වී ඇත. එහි අරුත නම් රජයක් අනවශ්‍ය බව නොවේ. රජය අවශ්‍ය වන්නේ ඉතාම අත්‍යවශ්‍ය කරුණුවලට පමණක් බවයි. එමෙන්ම ගනුදෙනුවලදී සිදුවන්නේ අපගේ ශ්‍රමයට සහ දැනුමට කෙරෙන ගෞරවයක් බව බොහෝ දෙනෙක් නොදන්නා බැවින් සැම විටම රජයෙන් සෑම දෙයක්ම නොමිලේ ඉල්ලා සිටීමත් දැකිය හැකිය.

ගැබිනි මවකට පෝෂණ මල්ලක් ලැබීම, ඉපදුණු රෝහලේ නොමිලේ බෙහෙත් සැපයීම, දරුවාට පාසලක් ලබාදීම, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දීම, නැවත රැකියාවක් ලබා දීම, රැකියාවට වැටුපක් ලබාදීම, රැකියාවෙන් පසුව විශ්‍රාම වැටුපක් ලබාදීම සහ මරණයෙන් පසු භුමදානය දක්වාම ගනුදෙනු පිළිබඳ අවබෝධයක් නොමැති බොහෝ දෙනා රජයෙන්ම නොමිලේම බලාපොරොත්තු වීමෙන් සිදුවන්නේ අපේ රට තවත් පසු පසට යාමක්ම පමණි.

අයෙක් සාධාරණව ඉපැයූ දෙය යනු තමන්ගේ ශ්‍රමයට, දක්ෂතාවට ලැබුණු ගෞරවය මුදල් බවට පත්වීමයි. අප මහන්සියට ලැබුණු මුදල් බවට පත්වුණු ගෞරවය එවැනිම ගෞරවාන්විත ලෙස තමන්ගේ මහන්සිය යොදවන කෙනෙක් වෙත මුදල් ලෙස ලබා දීම අපේ වියදම් කිරීමයි. මුළු ලෝකයම ගනුදෙනුවලින් අද බැඳී පවතින්නේ මේ සරල න්‍යාය මතයි.

රටක් ලෙස අපට ඉදිරියට පැමිණෙන්නට නොහැකි වී තිබෙන්නේ එම සරල මූලධර්මය තවමත් තේරුම් ගැනීමට නොහැකි වී තිබෙන නිසා බව මගේ හැඟීමයි.

අප තවමත් කරන්නේ හරියට නවීන වාහන මිලදීගත් පුද්ගලයායේ වාහනය අසලට පැමිණ ඒ වෙත හූල්ලමින් “බලන්න මේ සල්ලිවලින් කොච්චර දේවල් කරන්න පුළුවන්ද?” කියමින් අනෙක් මිනිසුන්ට ඊර්ෂ්‍යා කිරීමයි. අනෙකා ධනය උපයන අනෙකා කෙරේ ඊර්ෂ්‍යාවෙන් බැලීමය. ධනය යනු උත්පාදනය කළ යුත්තක් සහ එය අපගේ මහන්සියේ ප්‍රතිඵලයක් බව අවබෝධ කර ගැනීමයි අප කළ යුතු වන්නේ. සෑම දෙයම නොමිලයේ ලැබෙන තෙක් බලා සිට අපගේ රටත් විස්මයජනක දියසෙන් කුමාරයකු පහළ වීමෙන් ගොඩ එමුයි සිතා වෙනස් නොවී සිටියහොත් අපේ රටද සැමදා එක තැනය. එසේ වුවොත් තව පරම්පරා ගණනක් යන තෙක් අප දියුණුවෙමින් පවතින රටකි.

2021 දෙසැම්බර් 03 වැනි දින අරුණ පුවත්පතේ පළ වූ ලිපිය

බිල් ගේට්ස්ට අනුව ලංකාව දුප්පත් වෙන්න හේතුව

ධනවත් මනසක් නැති අපට ධනයෙන් පොහොසත් විය නොහැක

මෑතකදී මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ නිර්මාතෘ [කලක් මුළු ලෝකයේම ධනවත්ම මිනිසාව සිටි] බිල් ගේට්ස් ඔහුගේ දියණිය පිළිබඳව කළ ප්‍රකාශයක් අන්තර්ජාලයෙන් බොහෝ ජනප්‍රිය විය. එහි සඳහන් වුණු . “මගේ දියණිය කවදාවත් දුප්පත් මනුස්සයෙක් සමග විවාහ වෙන්නේ නෑ" නමැති ශීර්ෂ පාඨයයි. එයට අදාළ පුවත කියවීමේදී දුප්පත්කම සහ ධනවත් බව පිළිබඳව බිල් ගේට්ස් පළ කළ ගැඹුරු අදහසක් එහි විය. වර්තමානයේ බොහෝ දෙනා පවසන “ශ්‍රී ලංකාව දුප්පත් රටක්, සංවර්ධනය වෙමින් පවතින හෝ සංවර්ධනය නොවන රටක්, අපිට කවදාවත් ධනවත් රටක් වෙන්න බෑ” යන්නට බිල් ගේට්ස් දක්වා තිබූ අදහස්වලින් ගත හැකි දේ බොහෝ තිබිණි.

බිල් ගෙට්ස් පවසා තිබුණේ “ධනවත් බව කියන්නේ බැංකුවේ විශාල මුදලක් තිබීම නොවෙයි. ධනවත් බව කියන්නේ නැවත නැවත ධනය ඉපැයීමට තිබෙන හැකියාවටයි.” එය උදාහරණයකින් ඉතා නිරවුල්ව ඔහු පැහැදිලි කර තිබිණි.

“හිතන්න ඩොලර් මිලියන 100ක ලොතරැයියක් දිනන මනුස්සයෙක් ගැන. ඔහු ධනවත් පුද්ගලයෙක් නෙවෙයි. ඔහු සල්ලි ගොඩාක් තියන දුප්පත් මිනිසෙක්. එම නිසා ලෝකයේ ලොතරැයි දිනන මිනිසුන්ගෙන් 90%ක් ඔවුන්ගේ ලොතරැයි ජයග්‍රහණයෙන් වසර 5කට පසු නැවතත් ඔවුන් කලින් සිටි තත්ත්වටයම පත්වනවා. මොකද ඔවුන්ට ධනය නැවත නැවත නිර්මාණය කිරීමට හෝ නැවත ධනය උත්පාදනය කිරීමට හැකියාවක් නැත” මේ බිල් ගේට්ස් පවසා තිබූ තවත් අදහසකි. ශ්‍රී ලංකාවේ පුවත්පත්වලත් නිතරම පළවන “ලොතරැයි ජයග්‍රහණය කළ කෝටිපතියා නැවතත් මහ පාරට" වැනි පුවත් සිරස්තලද “කොටුව දුම්රිය පොළේ යාචකයාට දෙමහල් නිවසක් සහ වාහන 3ක් ඇති බව හෙළි වෙයි" වැනි පුවත් අප දකින්නේ එම පුද්ගලයන් සැබවින්ම ධනය උත්පාදනය කිරීමට නොදන්නා බැවිනි. ඔවුන් දන්නේ තිබෙන මුදල් වියදම් කිරීම මිස ධනය උත්පාදන කිරීමට නොවේ. එම නිසා ඔවුන් සැබවින්ම දුප්පත්ය.

බිල් ගේට්ස් පවසා තිබුණේ ලොතරැයි ජයක් ලැබූ පුද්ගලයෙකු මෙන් එකවර ඩොලර් මිලියන 100ක් තරම් මුදලක් නැතිවුවද ධනය නිර්මාණය කළ හැකි සාමාන්‍ය පුද්ගලයෙක් එතරම් මුදලක් අතේ නැති වුණත් ඊට වඩා ධනවත් බවයි. මුදල් නැති වුණත් ධනය ඉපැයීමට විභවයක් ඇති මාර්ගයේ සෙමින් ගමන් ගන්නා ව්‍යවසායකයන් කොතරම් ධනවත් දැයි ඔහු ප්‍රශ්න කර තිබුණි.. ඒ සඳහා ඔහු ගෙන ආ උදාහරණය අපූරුය.

දිනක් බැංකුවක ඉතා අඩු වැටුපකට සේවය කළ ආරක්ෂක නිලධාරියෙකුට බැංකුවට පැමිණි පාරිභෝගිකයකු අතපසුවීමෙන් දමා ගොස් තිබූ විශාල මුදල් බෑගයක් හමු විය. ඔහු එම මුදල් බෑගය බැංකුවේ කළමනාකරු වෙත නැවත භාරදී එය අදාළ ගනුදෙනුකරුවාට නැවත ලබාදීමට කටයුතු කළේය. එවිට සහෝදර සේවකයන් සහ පවුලේ සාමාජිකයෝ ඔහුට පවසා තිබුණේ “ඔබ කළේ කොතරම් මෝඩ වැඩක්ද, ඒ සල්ලිවලින් ඔබ කරන රැකියාවෙන් ලැබෙන මුදල වගේ විශාල ගුණයක් නිකංම උපයා ගන්න තිබුණා නොවේද කියායි". නමුත් මේ සේවකයාගේ අවංකබව නිසා ඊළඟ වසරේදී ඔහුට එම බැංකුවේම පිළිගැනීමේ නිලධාරී තනතුරක් පිරිනැමිණි. දින වසර ගෙවී යාමත් සමග ඔහුට බැංකුවේ ගනූදෙනුකරුවන් කිහිපදෙනෙක්ම කළමනාකරණය කිරීමට අවස්ථාව ලබා දී තිබුණේ ඔහුගේ කාර්යශූරබව නිසාය. වසර 10ක් පමණ යන විට ඔහුට බැංකු කළමනාකාර තනතුර දක්වා සහ ප්‍රාදේශීය කළමනාකාර තනතුර දක්වා උසස්වීම් ලබාදුණි. ඔහුට ලැබුණු වැටුප එදා ඔහු බැංකුවේ මුදල් පාර්සලයක් දමා ගිය පාරිභෝගිකයාගේ මුදල් බෑගයේ වටිනාකමට වඩා වැඩි අගයක් විය. මේ උදාහරණය දෙමින් බිල් ගේට්ස් ප්‍රකාශ කර තිබුණේ “ මිත්‍රවරුණි, ධනවත්බව කියන්නේ හික්මුණු, මෝරපු ධනය උපයන්න පුළුවන් මනසට මිසක් සල්ලිවලට නෙවේ. මගේ දුව දුප්පත් මනුස්සයෙක් සමග විවාහ වෙන්නේ නෑ කියා මා අදහස් කළේ අන්න ඒ ගැනයි කියමින් ඔහු පවසා තිබිණි. කිසි දිනක සොරකමින් සහ වංචාවෙන් මිනිසෙකුට සහ රටකට ධනවත් විය නොහැක්කේ සොරකම් කරන කෙනෙක් ධනය උත්පාදනය කරන්න නොදන්න නිසාය.

ශ්‍රී ලංකාවටත් බිල් ගේට්ස්ගේ මේ පණිවිඩයෙන් ඉගෙන ගත හැකි විශාල පාඩම් ගණනාවකි. ශ්‍රී ලංකාවට කොතරම් ස්වාභාවික වරායවන්, තෙල් නිධි, පොස්ෆේට් නිධි, ඛණිජ සම්පත්, සාගර සම්පත් වගේ අනේක විධ දේ තිබුණද, ඒවායින් ධනය උත්පාදනය කිරීමට හැකි වනතාක් කල් ශ්‍රී ලංකාව ධනවත් නොවේ. මෙය ශ්‍රී ලංකාවට පමණක් පොදු තත්වයක් නොවේ. වෙනිසියුලාව ලෝකයේ පස් වැනි බොරතෙල් සැපයුම්කරු වුවත් ඔවුන්ගේ රටත්, ඔවුන්ගේ ජනතාවත් සෑම අතින්ම දුප්පත්ය. ඇෆ්ගනිස්තානයත් එලෙසමය. විශාල භූමි ප්‍රමාණයක් සහ ඛනිජ ප්‍රමාණයක් තිබුණද ඔවුන් ඉතා දුප්පත් රටකි. නේපාලයත් විදුලිය අතින් එලෙසමය. ලෝකයේ විශාලතම කඳු පන්ති සහ දිය ඇලි තිබුණද, අඩු මිලට ජල විදුලිය නිපදවීමට විශාල හැකියාවක් තිබුණද නේපාලයේ නිතරම විදුලි බලය ඇන හිටී. එමෙන්ම ඔවුන්ට අවශ්‍ය විදුලිය නිපදවා ගැනීමට හැකියාවක් නැත.

එම නිසා මුදල් තිබූ පමණින් ධනවත් නොවනවා සේම රටකට සම්පත් තිබූ පමණින් රටක් කිසි දිනක සංවර්ධනය නොවේ. අනෙක් අතින් සිංගප්පූරුව වැනි රටවල් කිසිම සම්පතක් නොමැති වුණත් ඔවුන් ලෝකයේ ධනවත්ම රටවල් අතරට පැමිණ තිබෙන්නේ ඔවුන්ට ධනය උත්පාදනය කිරීමට ඇති හැකියාව නිසාය. සරලවම පවසනවා නම් නූතන ලෝකයේ ධනවත් වීමට අවශ්‍ය වන්නේ සම්පත් නොවේ. ධනය උත්පාදනය කිරීමට සහ ප්‍රතිඋත්පාදනය කිරීමට ඇති හැකියාවය.

ශ්‍රී ලංකාවේ බුබුළු නැගෙමින් එන ආර්ථික අර්බුදය පසුපස සැබවින්ම තිබෙන්නේත් අපට ධනය උත්පාදනය කිරීමට නොහැකිවීමත්, ධනය උත්පාදනය කිරීමට අවශ්‍ය හික්මුණු මනසක් අපට නොමැතිවීමය.

ශ්‍රී ලංකාවේ රජය සතු ඩොලර් බිලියන ගණනින් සිදුවන ව්‍යාපාර මෙහෙයවන්නේ අඩුම තරමේ සිල්ලර කඩයක ඇති ව්‍යාපාර අත්දැකීමක්වත් ලබා නොමැති රාජ්‍ය නිලධාරීහු වෙති. රාජ්‍ය නිලධාරී ඇත්දැකීම් සහ ව්‍යාපාර අත්දැකීම් කියන්නේ සම්පූර්ණයෙන්ම කරුණු දෙකකි. ශ්‍රී ලංකාවේ බොහෝ රාජ්‍ය ආයතන මෙහෙයවන්නේ නිලධාරීන් සහ දේශපාලන පත්කිරීම් දරන නිලධාරීහුය. ඔවුන්ට ධනය උත්පාදනය කළ හැකි හික්මුණු මනසක් පිහිටා නැත. ඒමෙන්ම ධනය ඉපැයිය හැකි මනසක් නිර්මාණය වන්නේ තමන්ට ඇති ධනය අවදානමට ලක්කර තීරණ ගන්නා ව්‍යාපාරිකයකුට පමණි. ප්‍රශ්නය තමාගේ නොවන තාක් කල් පිළිතුර දාර්ශනිකයි පවසන්නා සේ ධනය තමාගේ නොවත තාක් කල් ඒවා පරිපාලනය කරන කිසිම නිලධාරියෙකුට එම ආයතනවලින් ධනය උපදවන හැඟීමක් ජනනය නොවීමත් ස්වාභාවිකය. ශ්‍රී ලංකාවේ විශාල ලෙසෙම පාඩු ලබන ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වැනි සමාගම් උදාහරණ කිහිපයක් පමණි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ කලක් වරලත් ගණකාධිකාරීවරුන් ගණනාවක් සිටියද ඔවුන්ගේ වාර්ෂික ගිණුම් වාර්තාවත් නිකුත් කර නොතිබිණි. රජයේ ලාභ ලබන ආයතන ලාභ ලබන්නේත් ඒවායේ ඇති දක්ෂබව නිසා නොවේ. ඒවා ඒකාධිකාරී හෝ එසේත් නොමැතිනම් තරගකාරීත්වයෙන් එම වෙළඳපොළ ආයතන මුදවා තිබෙන නිසා පමණය. එසේත් නොමැතිනම් රජයෙන් විශාල සැලකිලි ඔවුන්ට ලැබෙන නිසාය.

නිදසුනක් ලෙස ලොතරැයි මණ්ඩලය ලාභ ලබන්නේ ජනතාවට රජයෙන් නිකුත් කරන ලොතරැයි හැර වෙනත් ලොතරැයි නිකුත්කරන්නෙක් නොමැති නිසාය. රාජ්‍ය බැංකු ලාභ ලබන්නේ බොහෝ රජයේ සේවකයන්ගේ, රජයේ විශාල ගිණුම් සහ බැංකු කටයුතු රාජ්‍ය බැංකු හරහා සිදුවන බැවිනි. සේවාව අතින් අප රාජ්‍ය බැංකුවක් හා පුද්ගලික බැංකුවක් ගතහොත් වෙනස අපට දැක ගත හැක. රජයට අයිති කිරි නිෂ්පාදන සමාගම් ලාභ ලබන්නේ වෙනත් කිරි වර්ග සඳහා විශාල ආනයනික බද්දක් අය කර ඔවුන්ව තරගකාරීත්වයෙන් මුදවා තබා තිබෙන නිසාය. එනිසා රජයේ බොහෝ ආයතන පාඩු ලබනවා මෙන්ම ලාභ ලබන ආයතන ලාභ ලබන්නේත් ඔවුන්ගේ විශේෂ දක්ෂතාවයක් නිසා නොවේ, ඒ තරගකාරීත්වය මග හැරීමෙන් පමණි.

සමහර ක්ෂේත්‍ර සඳහා රජයේ යම් මැදිහත් වීමක් තිබිය යුතු බවත් අප අවබෝධ කරගත යුතුය. නීතියේ ස්වාධිපත්‍ය සහ දිළිඳු ජනතාවට යම් සහනයක් ලබාදීම රජය භාර ගත යුතුය. නමුත් රජයට එම කර්තව්‍යයන් පසුපසට දමන්නට සිදුවී තිබෙන්නේ රජය නියැළී සිටින අනෙකුත් ව්‍යාපාර ධනය උත්පාදනය වෙනුවට තිබෙන ධනයත් ගිල ගැනීමය. ශ්‍රීලන්කන් ගුවන් සමාගම වසරකදී ලබන පාඩුව රජය එම වසරට සමෘධිලාභීන් වෙනුවෙන් වෙන්කරන මුළු මුදලට වඩා වැඩිය. එම නිසා දැන් උද්ගතවී ඇති තත්වය නම් රජයට දුප්පත් ජනතාව බලා ගැනීමටවත් නොහැකි තත්වයක් උදාවීමය.

එමෙන් රජයේ (පැවති සහ පවතින) තීරණ ගන්නා පිරිසට ධනය උත්පාදනය කළ හැකි, හික්මුණු මෝරපු මනසක් ඇති බවක් පෙනෙන්නට නැත. ඔවුන් බොහෝ විට ඔවුන්ට ගමට යාමට වාහන බලපත්‍රයක්, නිල නිවාස සහ ඔවුන්ට ධනය උත්පාදන මනසක් නොමැති නිසා තැබෑරුම් බලපත්‍රයක් හෝ දේශපාලන සම්බන්ධතා මත ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීම වැනි ඉතාම ලඝු කරුණක් හැරුණු විට සාධනීය ආර්ථික ප්‍රතිසංස්කරණ කරන බවක් පෙනෙන්නට නොවේ. සරලවම ඔවුන් දකින්නේ මුදල් බෑගයම හොරකම් කළහොත් දියුණු විය හැකිය යන කෙටි දුර පමණයි.

ධනවත් මනසක් නොමැති නිසා මුදල් ඇති අයට, වෙනත් ආගම්, ජාති, කුල හා වෙනත් රටවල ජාතීන්ට වෛරය පතුරවන සංස්කෘතියක් මිස අන්අයගේ දියණුව දැක සතුටු විය හැකි මනසක් අපිට නැත. එම නිසා බොහෝ විට සිදුවන්නේ අපට ඇති ධනය අපෙන් නැති වීමත්, අප දිගින් දිගටම අපට නොදැනුවත්වම අප සැවොම එකට දුප්පත් වීමත් පමණි. වෙනසකට ඇත්තේ බොහෝ දෙනා දුප්පත් බවේත් ධනවත් බවේත් වෙනස නොදැන එකම දිනය වසර 80ක් 90ක් ජීවත් වෙමින් එයට “සාර්ථක ජීවිතයක්” කියා ප්‍රීති වීමයි.

2021 නොවැම්බර් 08 අරුණ පුවත්පතේ පළ වූ ලිපිය

ඩොලර් ගැටලුවට‌ කෙටි පිළිතුරු නැත

ඩොල‌‍ර් හිගය දැන් හැමෝටද දැනෙන ගැටලුවකි.  එහි බලපෑම සාමාන්‍ය ජනයාද පෙළන තත්ත්වයට අදවනවිට පත්ව තිබේ.කෙසේ වුවද මෙය විවිධ පාර්ශ්වයන් ඔවුන්ගේ කෝණයන්ගෙන් විග්‍රහ කරනු දැකිය හැකිය. බෝහෝ දෙනෙක් ඩොලර් ප්‍රශ්නය දකිනුයේ ණය ගෙවීමට තරම් ඩොලර් නැති වීමේම ප්‍රශ්නයක් ලෙසිනි. එය ප්‍රශ්නයේ මතුපිට පමණි.

එහිදී ඩොලර් නැතිවෙන්නේ ඇයි ද යන්න බොහෝ දෙනාට මගහැරේ. කෙසේ වුවද ඒ ප්‍රශ්නයට කෙටි පිළිතුරක් නැත. පිළිතුර ඉතාම දීර්ඝය. දිගු පිළිතුරු තියන වැඩවලට අපේ දේශපාලකයෝ කැමැති නැත. ඒ එම තීරණ දේශපාලනිකව වේදනාකාරී වන නිසා මෙන්ම ඒවා ජනප්‍රිය නොවන බැවිනි. එකී තීරණවලින් ජන්දයක් දිනිය නොහැකි නිසා ප්‍රශ්නය තාවකාලිකව යට ගහයි.

ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් විවිධ මත ඇති බව ඉහතදී සඳහන් කළෙමු. එහිදී සංචාරක කර්මාන්තය අඩාළ වූ නිසා මේ ප්‍රශ්නය ඇති වී ඇති බව එක මතයක් වන අතර කොවිඩ් නිසා මේ ප්‍රශ්නය ඇති වී ඇති බව තවත් මතයකි.

අර්බුදයේ ගැඹුර ගැන අවබෝධය තේරුම් ගැනීමට නම් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා දරන උත්සහයෙන් ඉඟියක් ලබා ගත හැකිය. එතුමා මෑතකදී සිදුකළ මැදපෙරදිග සංචාරය හරහා ඕමානයෙන් අපට අවශ්‍ය ඛනිජ තෙල් ලබා ගැනීමට ඩොලර් මිලියන 3.5ක් සහ කටාර් රාජ්‍ය සහ ඉන්දියාවෙන් එවැනිම කෙටිකාලීන ණය ලබා ගැනීමට විශාල උත්සාහයක අපි නිරත වී සිටින්නෙමු. එම රටවල් ණය ලබාදීමේදී බොහෝ විට අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට ගමන් කළහොත් පමණක් ණය ලබාදීමට වැඩි ඉඩක් ඇත. එක් එක් රටකට ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය වෙන වෙනම අධ්‍යනය කිරීම අපහසු නිසා එලෙස අධ්‍යනය කිරීමට ජාත්‍යන්තරය පිළිගත් ආයතනය වන අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග ගමන් කිරීමය ලොව අනුගමනය කරන ක්‍රමවේදය. එලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට සහභාගී වී සිටින රටක් සමග ගනුදෙනු කිරීමෙන් ඔවුන්ගේ ණය නැවත පියවා ගැනීම පිළිබඳ අවදානම අඩු කර ගත හැක. මෑතකදී ශ්‍රී ලංකාවට ණය පහසුකමක් ලබා දුන් බංග්ලාදේශය එයට කදිම නිදසුනකි. ඔවුන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් මුදල් ලබා ගෙන එයින් කොටසක් අප වෙත ණය ලෙස ලබාදුනි. ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් ශ්‍රේණිගත කිරීම පහත දමා ඇති නිසා ලංකාව වැනි රටකට ද්වීපාර්ශ්වික ණය ලබා දීමෙන් එම රටවලද දේශපාලන අර්බුද පැන නැගිය හැකිය.

ඒ අතරවාරයේදී පවතින ඩොලර් ප්‍රමාණය ආරක්ෂා කර ගැනීමට විශාල ආනයන ප්‍රමාණයක් තහනම් කර ඇති අතරම බොහෝ ක්‍රෙඩිඩ් කාඩ්පත්වලින් සහ ඩෙබිට් කාඩ්පත්වලින් ඩොලර්වලින් සිදු කරන ගනුදෙනු වෙත තහංචි පනවා තිබේ. එමෙන්ම අපගේ ඩොලරයක් වෙත මහ බැංකුව ස්ථාවර මිලක් නියම කර ඇත. මහ බැංකුව ගෙන ඇති එම තීරණය පාරිභෝගික අධිකාරිය කිරිපිටි සඳහා පාලන මිලක් පැනවීම හා සමානය. පාරිභෝගික අධිකාරිය පැනවූ පාලන මිලත් සමග වෙළෙඳපොළේ විශාල ලෙස කිරිපිටි හිඟයක් ඇතිවිය. එයට හේතුව ඕනෑම වෙළෙඳපොළක් ක්‍රියාත්මක වීමට නම් වෙළෙඳපොළට භාණ්ඩ සපයන පිරිසක් මෙන්ම භාණ්ඩ මිලදී ගන්නා පිරිසක්ද සිටිය යුතු වීමයි.

භාණ්ඩ වෙළෙඳපොළට සපයන පිරිස භාණ්ඩ සැපයීම සිදු කරන්නේ ඔවුන්ට වාසියක් ලැබෙන මුදලකට භාණ්ඩ විකිණිය හැකි නම් පමණි. එලෙසම භාණ්ඩ මිලදී ගන්නා පිරිස භාණ්ඩ මිලදී ගන්නේද ඔවුන් වියදම් කරන මුදලට වඩා වැඩි වටිනාකමක් එම භාණ්ඩය ඔවුන්ගේ පරිභෝජනයට දායක වන්නේ නම් පමණය.

ඒ අනුව එම තත්ත්වය ඩොලර්වලටද පොදුය. ඩොලර් නෝට්ටු යනු වෙළෙඳපොළේ පවතින තව එක භාණ්ඩයක් හා සමානය. එම ඩොලර් නමැති භාණ්ඩය වෙළෙඳපොළට සපයන්නේ අපේ අපනයනකරුවන්, අපේ විදේශ ශ්‍රමිකයන් විසින් ලංකාවට එවන මුදල් හෙවත් ප්‍රේෂණ, අපේ සංචාරකයන් ලබාදෙන මුදල්, අපට ඩොලර්වලින් ලැබෙන විදේශ ආයෝජන සහ අපගේ වත්කම් විකිණීමෙන් හෝ ඒවා හවුල් ව්‍යාපෘති ලෙස හෝ ව්‍යාපාර ලෙස සිදු කිරීමෙන් ලැබෙන ආදායමයි. අපගේ ඩොලර් මිලදී ගන්නේ අපේ ආනයනකරුවන්, ශ්‍රී ලංකාවෙන් විදේශ සංචාර සඳහා පිටව යන සිසුන්, ශ්‍රී ලාංකික සංචාරකයන්ය. එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවත් ඩොලර් විශාල ලෙස මිලදී ගන්නේ අපට අවශ්‍ය ණය ගෙවීමට සහ සංචිත ගොඩ නැගීමටය.

දැන් ඇතිව තිබෙන තත්ත්වයේ එක පැතිකඩක් නම් අපගේ අපනයන අඩු නිසා වෙළෙඳපොළට ඩොලර් රැගෙන එන පිරිස අඩුවෙන් ඩොලර් රැගෙන ඒමය. නමුත් එය එසේ වන්නේ අප ඩොලරය ගෙවන්නේ එහි නියම වටිනාකම නොවන නිසාය. එය මහ බැංකුව තීරණය කර ඇත්තේ රු.203 මට්ටමට වුවත් සාමාන්‍ය (අවිධිමත්) වෙළෙඳපොළේ ඩොලරයක මිල රු. 235 සහ ඊටත් වඩා වැඩි අගයකට ඉහළ ගොස් තිබේ. එහි තේරුම නම් සැපයුම්කරුවන් වෙළෙඳපොළට ඩොලර් ගෙන එන්න කැමැත්ත තිබෙන්නේත්, ගැනුම්කරුවන් ඩොලරයක වටිනාකම ලෙස දකින්නේත් එම මුදලවීමය. ගැනුම්කරුවන් ඩොලරයක් 203කට ගැනීමට අනිවාර්යයෙන්ම කැමැතියි. නමුත් එතරම් අඩු මිලකට කිසිවෙක් ඩොලර් සැපයීමට කැමැත්තක් නැත. එනිසා නිරායාසයෙන්ම වෙළෙඳපොළේ ඩොලර් හිඟයක් ඇතිව තිබේ. එම නිසා තිබෙන ඩොලර් අර පිරිමැස්මෙන් භාවිත කිරීමට බැංකුවලට ඩොලර් වියදම් වන ගනුදෙනු සහ ඩොලර් විකිණීම සීමා කිරීමට සිදුව තිබේ.

එහි බලපෑම අපට අත්‍යවශ්‍ය භාණ්ඩ වන ඛනිජ තෙල් සහ බෙහෙත් වර්ග වැනි දෑ ගෙන ඒමේදී අපහසුතා ඇතිවීමයි. එහි වක්‍රාකාර තේරුම නම් අපගේ ජීවන මට්ටමේ ගුණාත්මකභාවය අඩු වීමයි. ජීවන මට්ටමේ ගුණාත්මකභාවය අඩු වෙනවා යනු අප කලින් පහසුවෙන් කළ දේ ඉදිරියේදී එතරම් පහසුවෙන් කිරීමට නොහැකි වීමය.

ඩොලරය ස්ථාවර අගයක පවත්වා ගන්නටනම් මහ බැංකුවට අසීමිතව වෙළෙඳපොළට ඩොලර් සැපයීමේ හැකියාවක් තිබිය යුතුයි. එසේ කිරීමට නම් අසීමිතව ඩොලර් ණයට ගැනීමේ හැකියාවක් තිබිය යුතුය. මක්නිසාද අපට ඩොලර් මුද්‍රණය කළ නොහැක. මේ කාරණා දෙකෙහිම අප අසමත්වූ විට ඩොලර් හිඟයක් කිරි පිටි සහ සහල් මෙන් ඇතිවීම ස්වභාවිකය.

එහි අනෙක් පස නම් අපට ලැබෙන විදේශ මුදල් ප්‍රේෂණත් (Foreign remittances) දැන් ක්‍රමයෙන් අඩු වෙමින් යාමය. එනම් පිටරටවල සිටින ශ්‍රී ලාංකිකයන් එවන මුදල් ප්‍රමාණය අඩු වීමයි. පසුගිය අයවැයෙන් විදේශ ප්‍රේෂණ සඳහා වැඩිපුර මිලක් ලබාදෙන බව කියවුණත් බැංකු නොවන අවිධිමත් වෙළෙඳපොළේ එම රුපියල් කිහිපයක වටිනාකමට වඩා විශාල අගයකට මුදල් හුවමාරු කිරීමට හැකියාව ඇත. එනිසා අපගේ ප්‍රේෂණ ක්‍රමයෙන් අප බලාපොරොත්තු වූවාටත් වඩා වේගයෙන් අඩු වෙමින් පවතී. එමෙන්ම ඔවුන් මුදල් එවීම වෙනුවට ශ්‍රී ලංකාවේ සිට ආනයනය කිරීම තහනම් කර ඇති භාණ්ඩ ආනයනය කිරීමට ඉඩ තිබේ.

නමුත් මහ බැංකුව ඩොලරය ස්ථාවර අගයක පවත්වා ගැනීමට උත්සාහ කිරීම අප අවබෝධකරගත යුතු වේ. ඊට එක මූලික හේතුවක් විය හැක්කේ අපගේ ණය සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අගය ස්ථාවරව පවත්වා ගැනීමයි. (Debt to GDP Ratio) ඩොලර්වලින් ලබා ගත් ණය රුපියල් බවට පරිවර්තනය කිරීමේදී වැඩි විනිමය අනුපාතිකයකින් පරිවර්තනය කළ විට ණය ප්‍රමාණයේ රුපියල් අගය ඉහළ යාම නිසා දැනට පවතින දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය 104% ලෙස පවතින අගය තවත් ඉහළ යා හැකිය. එමගින් අපගේ ණය ශ්‍රේණියට මෙන්ම දේශපාලනික මට්ටමින් විශාල අවාසි ගණනාවක් ඇති විය හැකිය. නමුත් ණය ගෙවීමේදී අප ඩොලර්වලින් ලබා ගත් ණය ඩොලර්වලින්ම ගෙවීමට සිදු වන නිසා විනිමය අනුපාතිකය කෘත්‍රිමව අඩුවෙන් තබා ගැනීමෙන් පලක් නැත.

මෙහි බොහෝ දෙනෙක් මග හරින කොටසනම් මුදල් අච්චු ගැසීමේදී නිරායාසයෙන් ඩොලර් අඩුවීමයි. මෙතරම් ආනයන තහනම් කර තිබියදීත් වසර තුනක් තුළ වාර්තා ගත වූ වැඩිම ආනයන සැප්තැම්බර් මාසයෙන් වාර්තා විය. එයට ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ මිල ඉහළ යාම එක හේතුවක් විය හැකි වුවත් ආනයන තහනම් කර තිබීමෙන් එම අගය ඉහළ යන්නේ මුදල් අච්චු ගැසීම නිසා බව මෙම තීරු ලිපියෙන් අප නිතරම අවධාරණය කළෙමු. මුදල් අච්චු ගැසීමෙන් එම මුදල් නැවත අපට අත්‍යවශ්‍ය ආනයන වලට නැවත නැවත වියදම් වීමෙන් සහ කළුකඩ ක්‍රමයට වියදම් වීම නිසා ආනයන ඉහළ යාමට මුදල් ධාරිතාව ඉක්මවා මුද්‍රණය කිරීම ප්‍රධානම හේතුවකි.

එනිසා මේ ලිපිය ආරම්භයේ පැවැසූ පරිදි ඩොලර් අර්බුදයට කෙටිකාලීන විසඳුම් නැත. රුපියල අවප්‍රමාණය වීමෙන් අපගේ ඉහළ යන බඩු මිල සමග අපි කලින් භාවිත කළ දේ භාවිත නොකර සිටීමත්, කලින් පහසුවෙන් කළ දේවල් දැන් පහසුවෙන් කිරීම කැප කිරීමත් අපගේ ජීවන තත්ත්වය අප විසින්ම අඩු කර ගැනීමත් හැරෙන්න මේ ඩොලර් අර්බුදයෙන් ගොඩ ඒමට අපට කෙටි පාරක් නැත. අපිට පෙනෙන සහ පෙන්වන සියලුම පාරවල් කෙටි මාර්ග සේ පෙනුණද ඒවා ඉතාම කෙටි බව බොහෝ දෙනා පැවසුවත් එය කෙටි නොවන බව නිදහසෙන් පසු වසර 70දීම අප ඇත් දැක ඇත්තෙමු. අප කනගාටු විය යුත්තේ වසර 70ක් යනතුරුත් අපට තවම නිවැරදි මාර්ගය අවබෝධ කර ගැනීමට නොහැකි වීම ගැනය.

2021 ඔක්තෝම්බර් 29 දින අරුණ පුවත්පතේ පලවූ ලිපිය