සැබෑ ආර්ථික අර්බුදය යනු මේ නගන අඳෝනාව නොවේ

Port City Party එකේ tickets sold out. One Galle Face එකේ මිනිස්සු පොරකති. Super market වල මිනිස්සු පොරමින් බඩු ගනිති. ඉදින් මොන ආර්ථික අවපාතද? මිනිසුන් සන්තෝසයෙන්. මේ දිනවල බොහෝ දෙනා කියන කතාවකි මෙය.

මගේ ගම දෙණියාය වුවද බොහෝ කාලෙක සිට පදිංචිය මොරටුවේය. මටත් මේ දිනවල නිතරම කෑම වේල්, නත්තල් සාද සහ අලුත් අවුරුදු සාදවලට ඇරයුම්ය. කතාවට කියන්නේ මොරටුවේ මිනිස්සුන්ට නත්තල් ඉවර වෙන්නේ ජනවාරි මාසයේ මොරටුවේ පල්ලියේ මංගල්ලෙන් බවයි. මේ දිනවල ඇති බොහෝ සාදවල විදේශීය මත්පැන් බෝතල් වර්ග මෙන්ම කෑම බීමද ඇති පදම්ය. බැලූ බැල්මට කිසිම ප්‍රශ්නයක් නෑ කියන කතාවේද වරදක් නැත.

ඒ කතාවට හේතුව නම් බොහෝ දෙනෙකු ආර්ථික අර්බුදයක් යනු කුමක්දැයි නොදැන සිටීමයි. බොහෝ දෙනා කල්පනා කරනුයේ ආර්ථික අවපාතවලදි මිනිස්සු පාරවල් අයිනේ අඬ අඬ සිටින බවයි.

එය වැරැදි වැටහීමකි. ආර්ථික අර්බුදවලදි එවැනි දේ සිදුනොවේ. (ඇතැම් විට විය හැකි වුවද එය සමස්ත චිත්‍රය නොවේ) සිදුවනුයේ සාමාන්‍ය විදියට මිනිස්සු හිනාවෙති. සාමාන්‍ය විදියට අඬති. නමුත් වෙනස නම් මිනිස්සු වෙනදට වඩා දුක් විඳීමයි. අපි අවුරුදු 30-40 ක් තිස්සේ ඉන්නේ ඒ වගේ අවපාතයක. ඒ නිසා අද අපි එය එතරම් ගණන් නොගන්නෙමු. මෙසමයේ එය ටිකත් තදින් දැනේ.

මගේ පරම්පරාවෙ බොහෝ දෙනෙකු ලයිට් කැපීමේ අත්දැකීම විඳ ඇත. වතුර කපනවා දැක තිබේ. බෝම්බ පත්තු වෙනවා දැක ඇත. තෙල් පෝලිම්, බෙහෙත් නොමැතිව මිනිසුන් මියයෑම අත්දැක ඇත. බොහෝ දෙනෙක් එවැනි සිදුවීම්වල ගොදුරු බවට පත්ව තිබේ. එනිසා... එනම්, අපි ලෝකය දකිනුයේ ආර්ථික අවපාත සහිත පද්ධතියක නිසා අපිට මෙය සාමාන්‍ය දෙයක් මෙන් පෙනෙයි. අපි උත්සහ ගත යුත්තේ එකී පද්ධතියෙන් එළියට පැමිණීමටය.

ආර්ථික අවපාතවලදි සිදුවනුයේ මිනිස්සුන්ගේ ජීවිතයේ ගුණාත්මක බව අඩුවීමය. එය ක්‍රමයෙන් සිදුවනුයේ අපිට නොදැනුවත්වමය. එය අපේ ශරීර සෞඛ්‍ය පිරිහෙනවා වැනිය. වැඩිපුර මත් වතුර භාවිත කිරීමෙන්, තෙල් වර්ග ආහාරට ගැනීමෙන් ශරීරය පිරිහෙනුයේ ක්‍රමක්‍රමයෙනි.

නමුදු අපි උත්සාහ ගත යුත්තේ ඉන් එළියට පැමිණීමටය. අපි සංතෝසෙන්, මුළු ලෝකෙම අපි මෙන් සංතෝසෙන් සිතා ප්‍රතිපත්ති තීරණ ගනුයේ Central Planning එකේ කොටසක් ලෙසිනි. නැතිනම් මුළු ආර්ථිකයම වායු සමනය කළ කාමරයක සිට තීරණය කළ හැකි යැයි සිතනුයේ ඒ ක්‍රමයටය. එවිට රජයේ සිටින්නාවූ නිලධාරීන් තීරණය කරනුයේ ඇතැම් දේ අත්‍යවශ්‍ය භාණ්ඩ, සමහර ඒව අත්‍යවශය භාණ්ඩ නොවන ලෙසයි. වාහන ඕනද.. ඔය ඕන තරම් වාහන තියෙන්නේ... ඔච්චර කන්න ඕනද? සලාක ක්‍රමයට කෑම ගන්න බැරි මොකද? ඇයි කිරිපිටි බොන්නේ.. බොන්න දියර කිරි බොන්න බැරිද වැනි අදහස් මතුවන්නේ එවිටය.

එයාකාරයෙන් ආර්ථිකයක් මතුපිට දේවලින් මැනීමට උත්සාහ කළොත් දැඩි අසීරුතාවට පත්වේ. මිනිසුන් උත්සව පැවැත්වීම, ඒවාට ජැන්ඩියට හැද පැලඳ සහභාගිවීම මෙන්ම රටේ සෑම තැනකම රූපලාවණ්‍යාගාර තිබීම වැනි දේ දෙස බලා රට දැන් තිබෙනුයේ ‘මාර සංවර්ධනයක‘ නේ යැයි තීන්දු කිරීම අප වැටෙනුයේ ලොකු අමාරුවකය.

අවාසනාවක මහත නම්, දැනට අපට දිස්වනුයේද ආර්ථික අර්බුදයට පිළිතුරු සොයනවා වෙනුවට එක් එක් දේශපාලන පක්ෂ වෛරය සහ ක්‍රෝධය පැතිරවීමයි. විරුද්ධ පාක්ෂිකයන් පවසනුයේ අප සිටියා නම් රට මෙතරම් අර්බුදයකට නොයන බවයි. ආණ්ඩු පක්ෂයෙන් පවසනුයේ විපක්ෂයේ කණ්ඩායම මේ වනවිට රට පාලනය කළේ නම් අද රටක් නැති බවයි. මේ දේශපාලන විගඩම අපට නම් නුහුරු දෙයක් නොවේ. ආණ්ඩුව හෝ විපක්ෂය රටේ ආර්ථිකය ගොඩනැගීම උදෙසා වූ නිවැරැදි වැඩපිළිවෙළක් ගැන සිතන්නේ නැත. එකිනෙකාට චෝදනා කරගනිමින් ඊළඟ වතාවේ බලය ලබාගැනීමට හෝ ලබාගත් බලය රඳවා ගැනීම උදෙසා ප්‍රකාශ නිකුත් කරමින් සිටී. මේ දේශපාලක කඹ ඇදිල්ලෙන් නම් කිසිදා රටක් වශයෙන් අපට ගොඩ යා නොහැක. මේ ප්‍රශ්නය උදෙසා අපිට ඇති එකම විසඳුම නම් ආර්ථික ප්‍රතිසංස්කරණ පමණි. අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙත ගියා හෝ නැතා ප්‍රශ්නය විසඳාගත යුත්තේ අපේ ආර්ථිකයට මොනවගේ වෙනස්කම් කළ යුතුද යන්න පිළිබඳ සිතමිනි.

මේ පුංචි දිවයින ධාන්‍යයෙන් පිරි රටක්. මේක මාර වාසනාවන්තයි, පුණ්‍ය භූමියක්, මෝල් ගහක් හිටෙව්වත් පැළ වෙනවා වගේ වැනි සිත නිවාගැනීමේ කතාවලින් නම් ගොඩඒමක් නැත. ශ්‍රී ලංකාව වාසනාවන්ත රටකි. එය රහසක් නොවේ. එහෙත් රට වාසනාවන්ත වී මෙතරම් අවාසනාවන්ත ආර්ථිකයක් හිමිවීම ගැන අප නැවත සිතිය යුතු නොවේද?

විදුලි බල මණ්ඩලයට ඩොලර් නැතිලු. දැන් ජනවාරි ඉඳන් ලයිට් කැපීමට යයි. ගුවන් සමාගම් ලංකාවට ඩොලර් නැත. එනිසා ඉන්ධන ලබාගැනීමේ අසීරුතාව නිසා ගුවන් ගමන් සීමා කිරීමට සිදුවේ. බෙහෙත් වර්ග ගෙන්වීම සීමාවි ඇත. පාරිභෝගිකයා රජුයි කියා (Consumer is the king) හිතන යුගයක භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට සලාක ක්‍රම සහ කූපන් හඳුන්වාදීමට යයි. මෙවැනි තව දිග ලයිස්තුවක් තිබෙද්දි අපි සිටිනුයේ ප්‍රශ්නයක නොවේ යැයි සිතීමට තරම් අප මුරණ්ඩු විය යුතු නැත.

ගෝලීය වසංගතයකින් ලොව තැති ගත් මොහොතක අපි තාමත් ජීවතුන් අතරය. එය කෙතරම් දෙයක්ද? ඉඳින් අපි ගැන විතරක් හිතන තැනින් නැවතී අනිත් මිනිස්සු විදින දුක ගැනත් හිතමුද? ඕනම වෙෙළදපොළ ක්‍රමයක ඇති වැදගත්ම සංකල්පයද එයයි. අප භාණ්ඩයක හෝ සේවාවක අතිරික්තයක් උපරිම ගුණාත්මකභාවයකින් අඩුම මිලට දෙනුයේ අනෙකා වැය කරන මුදලට වඩා වැඩි වටිනාකමක් ලබාදීමටය. අපේ වටේ ලෝකය කැරකෙනවා යන මානසිකත්වයෙන් අප මිදෙනුයේ එවිටය. "Give up the drop to become the ocean" (සාගරය වීමට බිංදුව අත්හරින්න) කියන තැනට අප යා යුත්තේය.

බොහෝ දනන් මෙවැනි ආර්ථික අර්බුදයක් ගැන කතා කරද්දි සෘණාත්මකව නොසිතා, ධනාත්මකව හිතන්න නොහැක්කේ ඇයි දැයි අසති. ධනාත්මකවීම යනු යථාර්ථවාදී වීම මිස අර්බුදයක් නැතැයි සිතමින් මතුර මතුරා සිටීම නොවේ.

බුදුරදුන් ධනාත්මක වූයේ දුක ගැන සිතාය. දුක ඇති බව අවබෝධ කරගෙන. එයට මාර්ගය හොයාගෙනය. දුක කියල දෙයක් නැත යැයි සිතමින් ධනාත්මකව හිතන්නට ගත්තා නම් සිදුවනුයේ කුමක්දැයි අමුතුවෙන් පැවැසිය යුතු නොවේ.

මම මානුෂීය සංවිධාන කිහිපයක ස්වේච්ඡාවෙන් වැඩ කරන්නෙමි. ඒ සෑම දේකින්ම අධ්‍යාපනය ලබන දරුවන්ට, පිළිකා රෝගීන්ට, කුඩා හා ක්ෂුද්‍ර ව්‍යාපාරිකයන්ට, පාසල් දරුවන්ගේ පුස්තකාල පොත් ලබාදීම මෙන්ම විවිධ වැඩ සඳහා මසකට මිනිස්සු 2500කට කිට්ටු ප්‍රමාණයකට තවත් අයගේ උදව්වෙන් ශක්තියක් වී ඇත. ඒ දෙදහස් පන්සිය දෙනා ඇසුරේ ලේසියෙන්ම කථා දෙදහස් පන්සියයක් සොයාගත හැකිය. ඒත් මිනිසුන් දුක් විඳිනවා යනු මුහුණු එල්ලාසිටීම නොවේ. එමෙන්ම මිනිසුන් නත්තල් සාද පවත්වනවා යනු හෝ වෙනත් උත්සව පවත්වනවා යනු සියල්ල සම්පූර්ණව සතුටින් සිටිනවා යැයි පැවැසීමද නොවේ.

ඕනෑම ධනවත් සමාජයක දුප්පත් මිනිස්සු සිටිති. ඕනෑම දුප්පත් සමාජයකත් පොහොසත්තු සිටිති. මේ දෙපාර්ශ්වයෙන් එක් පාර්ශ්වයක් දෙස බලා සමස්තය පිළිබඳ සිතුවමක් මවා ගැනීම වෙනුවට මේ පද්ධතියම ඉදිරියට තල්ලු කර මිනිසුන්ගේ ජීවන මට්ටම් ඉහළ දැමීම කෙරෙහි අප අවධානය යොමුවිය යුත්තේ. දත්ත සහ තොරතුරු මත පදනම්වූ ආර්ථික විද්‍යාවක් අවශ්‍ය වනුයේ එයටය.

නැවතත් පවසමි... ආර්ථික අවපාතයක් යනු මිනිස්සු හැමදාම ඇඬීම නොවේ. මිනිස්සු තමන්ගේ අපෙක්ෂාවන් අඩුකර ගනිති. තමන්ට කළ හැකි උපරිම සීමාවේ දේ නොකර ඊට මෙහායින් සෑහීමකට පත් වෙති. උදාහරණයක් විදියට ලෙහෙසියෙන් ගෙයක් හැදීමට බලාපොරොත්තුවෙන් සිටි තරුණයෙක් සිමෙන්ති සහ යකඩ හිඟය නිසා පසුව ගෙයක් හැදීම කෙරෙහි උනන්දු වේ. ආර්ථික අර්බුද යනු ඒවාය. මිනිස්සු තම සිහින සීමාකර ගනිමි. සිනහවෙමින් දුක්විඳිති. එලෙස දුක් වෙන සහ දුක්විඳින වාර ගණන වැඩිවේ. තමන් දුක් විඳින බව නොදැන දුක් විඳි. දුකම කොයි තරම් සතුටක් දෝ කියා දුක් විඳිති. අවසානයේ ජීවිතයේ ගුණාත්මක බව ගිලිහේ.

ඒ බව නොදන නැවත ජීවනාපේක්ෂාවන් සීමා කරගෙන ආයෙත් දුක සැපක්යැයි සිතති. එසේ සිතා මේ ජීවිතය ‘මාර නියමයි’ කියා සිත සනසව ගනිමින් තමන්ට සැබෑවටම කළ යුතුව තිබූ දේ අහිමිකර ගනිමින්, සීමාකර ගනිමින් අවුරුදු 80ක් ගෙවා එය ජීවිතය යැයි පවසා අවසානයේ ස්වර්ගයේ හෝ දිව්‍ය ලෝකයේදී ඇහැරෙන්න බලාගෙන දිගු නින්දකට යති. ඇත්තම ආර්ථික අර්බුදය එයයි.

2021 දෙසැම්බර් 31 වැනි දින අරුණ පුවත්පතේ පළ වූ ලිපිය