අපට අපගේ විදෙස් සංචිත සහ රුපියල් ගැන සිහිපත්වනුයේ ආර්ථිකය අවසන් අඩියට කඩා වැටුණට පසුවය. මේ දිනවල විදේශ සංචිතවල තත්ත්ත්වය සම්බන්ධයෙන් බොහෝ තැන්වල කතාබහ වෙති. ආර්ථික විද්වත්හු ඒ ගැන විවිධ විවරණ දෙති. කොහොම වුණත් සංචිත පහළයන්නෙ ඇයි කියල සොයා බැලීමත් වැදගත්ය.
ඇතැමුන් සිතාසිටිනුයේ රජය ආනයන තහනම් කළද ආණ්ඩුව හොර රහසේ භාණ්ඩ ගෙන්වන බවය. එලෙස භාණ්ඩ ගෙන්වන්නේ නැතිනම් මේ ආකාරයෙන් රුපියල බාල්දු නොවන බව සාමාන්‍ය ජනතාවගේ අදහසයි. විදේශයක සිටින මා මිතුරෙක් මැතකදී විමසා සිටියේ “ඩොලර් නම් අතේ තියෙනව. ඒවා දැන්ම රුපියල් කරන්නද? නැත්නම් තව කාලයක් ගිහිල්ල රුපියල්වලට හරවන්නද යනුවෙනි.
ආනයන තහනම ඉවත් කළොත් රටේ මේ තියෙන ගැටලු තවත් උග්‍රවන බව තමයි තව පිරිසකගේ අදහස. ඒ වගේම රුපියල දිනෙන් දින කඩාවැටීම හමුවේ අපේ ආර්ථිකය කඩා වැටෙනවා නේද? තවත් පිරිසක් ප්‍රශ්න කරති. යම් යම් පුද්ගලයන් තමන් සිටින, තමාට වැටෙහන තත්ත්වය අනුව පවතින අර්බුද විවිධාකාරයෙන් විග්‍රහ කරමින් සිටිති.
මෙහිදී අප පළමුව තේරුම් ගත යුත්තක් ඇත. එනම් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය යනු රටක ආර්ථිකය හොඳට දුවනවද නරකට දුවනවද යැයි පරීක්ෂා කර බලන මීටරය වැනි දෙයක් නොවන බවයි. එහි අරුත “ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම කිසිම ප්‍රශ්නයක් නැහැ, අපිට භය වෙන්න කිසිම හේතුවක් නෑ” යන්න නම් නොවේ. විවිධ හේතු නිසා එක් එක් රටවල මුදල් ඒකක අවප්‍රමාණය විය හැකිය. උදාහරණයක් ලෙසින් ඇමරිකාව වැනි දියුණු රටක පොලිය වැඩි කිරීම/අඩු කිරීම වැනි දේ බලපා හැකිය. නමුත් මේ රුපියල වැටෙන්නෙ අපේ මූල්‍ය පද්ධතියෙ ඇති රුපියල් ප්‍රමාණය වැඩි කිරීම නිසාය. මුදල් අච්චු ගැසූ හැම මොහොතකම රුපියල කඩා වැටුණි.
2015 වසරේදී උද්ධමනය අඩුයි යැයි පවසමින් මුදල් අච්චු ගැසීය. එහි ප්‍රතිඵලය වූයේ 131 ට තිබූ රුපියල 151 දක්වා අවප්‍රමාණය වීමයි. 2018දිත් එම ක්‍රමයම අනුගමනය කෙරුණි. එහිදී රුපියල 181ට ඉහළ ගියේය. මේ මොහොතේ ඩොලරය රුපියල් 200 සීමාවේ තබාගෙන සිටිනුයේ කෘතිමවය. මීට පෙරද සල්ලි අච්චු ගැසීය. එවිට රුපියල කඩා වැටෙද්දි සංචිතවලින් ඩොලර් වෙළඳ පොළට මුදාහැර, ණය වී ලබාගත් ඩොලර් සංචිතවලට මුදා හැරියේය. ඒ මුදල් නැවත රුපියල අවප්‍රමාණය වීම නැවැත්වීමට යෙදවීය. සල්ලි අච්චු ගැහීම මේ මොහොතේ වඩා භයානක වනුයේ ණය ගෙවීමට ඇති සංචිත සල්ලි අච්චු ගැසීමෙදී එන්න එන්නම අඩු වන නිසාය. සල්ලි අච්චු ගැහුවාම කොහොමද සංචිත අඩුවන්නේ යන ප්‍රශ්නය දැන් ඔබට පැන නැගෙනු ඇත. ඊට පිළිතුර නම් ආනයන වැඩි වෙන නිසා. එසේ නම් මුදල් අච්චු ගැසීම සහ ආනයන අතර ඇති සම්බන්ධය කුමක්ද? අප අච්චු ගසන්නේ රුපියල්ය. එහෙත් භාණ්ඩ ගෙන්වීමේදී ගෙවන්නේ ඩෙලර්වලිනි. එය සිදුවනුයේ මෙලෙසිනි.
සල්ලි අච්චු ගැසූ විට බැංකුවලට ණයට දීමට මූල්‍ය පද්ධතිය තුළ ඕනෑ තරම් මුදල් ඇත. සල්ලි අච්චු ගැහුවෙ නැතිතම් බැංකුවලට ණයට දෙන්න ඇත්තේ තැන්පත්කරුවන්ගේ මුදල්ය. තැන්පත්කරුවන්ගෙන් මුදල් වැඩිපුර තැන්පත් කර ගැනීමට නම් වැඩි පොලියක් ගෙවිය යුතුය. ඉන් අදහස් වූයේ මිනිස්සු වියදම් නොකර මුදල් ඉතුරු කළ යුතුය. නමුත් එවිට ආර්ථික වර්ධනය සිදුවනුයේ සෙමිනි. මන්ද මුදල් ඉතුරු කරනවා යනු නව ඉදිකිරීම් අඩුය, යන්ත්‍රසූත්‍ර මිලදී ගැනීම් අඩුය. එමගින් ආර්ථිකය හිරවේ. එවිට බැංකුවලට ණයට දීමට ඇති මුදල් අඩුය. ඒත් දැන් සිදුකරනුයේ මහ බැංකුව සල්ලි අච්චු ගැසීමය. එවිට බැංකුවලට මහ බැංකුවෙන් මුදල් ඉක්මනින් ගෙන ආයෙත් සාමාන්‍ය මිනිස්සුන්ට ණයට දිය හැකි. එවිට වැඩිපුර ණය දෙනවා යනු ආර්ථික ගමන වේගවත් වීමකි. Credit හොඳට යනවා යැයි පවසන්නේ එයටය. නමුත් එහිදී ආනයන වැඩි වේ. කවුරුන් හෝ බැංකුවෙන් ණයක් ගෙන බිල්ඩිම් ඉදිකළහොත් රුපියල්වලින් ගෙවීම් කළද ඒ සඳහා භාවිත වන යකඩ ගෙන්වන්නේ ආනයනය කරය. සිමෙන්ති ආනයනය කර, වීදුරු ආනයනය කර. බිල්ඩිම හදන කෙනා රුපියල්වලින් ගෙවීම් සිදුකළද අන්තිමේදී වැයවන්නේ ඩොලර්වලිනි. ආනයන කෙතරම් තහනම් කළද පළක් නොවන බව සහ එය රුපියල අවප්‍රමාණය වීමට බලපෑමක් නැතැයි මා නිරන්තරයෙන් පවසන්නේ එනිසාය. ඊට වඩා ගැළපෙන්නේ ආනයන තහනම ඉවත් කර, පද්ධතියේ ඇති රුපියල් ප්‍රමාණය අඩු කිරීම. එවිට ඉබේම ආනයන අඩු වේ. ආනයනවලට ඇති ඉල්ලුම අඩු වේ. ඩොලර් පද්ධතිය වැය නොවේ. එය ඉතිරි වේ. නිෂ්පාදනය වැඩි කිරීම සහ කාර්යක්ෂම බව තුළින් අපේ ආර්ථිකය වර්ධනය කළ හැකිය.
මුදල් වැඩිපුර අච්චු ගහපු ගමන් ආනයන වැඩි වෙනව කියල බොහෝ දෙනාට වැටහෙන්නේ නැත. ආනයන කෙතරම් තහනම් කළද ආනයනය කළ හැකි දේට මිනිසුන් යොමු වේ. උදාහරණයක් ලෙසින් ගතහොත් බැංකුවෙන් ණයක් ගෙන වාහනයක් මිලදී ගැනීමට සිටි පුද්ගලයෙක් දැන් වාහන ගෙන්වන්න බැරි නිසාත්, නිවාස ණය පොලිය අඩු නිසා ගෙයක් හැදීමට උත්සාහ කරයි. නැතිනම් පරණ වාහනයක් මිලදී ගනියි. එවිට පැරණි වාහනය විකුණූ පුද්ගලයා පරිගණකයක් මිලදී ගන්නා යැයි තීරණය කළහොත් ඒත් අන්තිමට වියදම යන්නෙ ඩොලර්වලින්මයි. එහෙම නම් අපේ රටේ සන්නාම සහිත භාණ්ඩ පරිභෝජනය කළාම ඩොලර් ඉතිරි වේ යැයි යමෙක් තර්ක කළ හැකිය. එහෙත් නවීන නිෂ්පාදන බිහිවනුයේ රටවල් ගණනාවක අමුද්‍රව්‍ය එකතු වීය. උදාහරණයකට ශ්‍රී ලාංකික සන්නාමයක් වන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ගනිමු. අපි විදෙස් සංචාරයන් යෑමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පමණක් භාවිත කළද, ඒ වෙනුවෙන් අපි ගෙවන්නා වූ මුදල් ලෝකෙ වටේටම සැරිසරයි. එකී ගුවන්යානයට ගහන තෙල් අපේ නොවේ. ගුවන්යානය නිර්මාණය කළ යකඩ අපේ නොවේ. මේ ආකාරයෙන් අපේ නොවන ගැන දිගු ලැයිස්තුවක් විය හැකිය. එනිසාය අපේ ආර්ථිකය අනෙකුත් ආර්ථික හා සම්බන් කිරීම වැදගත් වනුයේ. එවිට විදෙස් රටක අයෙක් මුදල් වියදම් කළද ඉන් කොටසක් අපේ රටටද ගලා ඒ.
ශ්‍රී ලන්කන් සමාගමේ ගුවන්යානයක් පාවිච්චි කළා මෙන් මුළු ආර්ථිකයකම මිනිස්සු වැඩි වැඩියෙන් වියදම් කරද්දි ආනයන වැඩි වේ. එසේ නැති වුණොත් බඩුවල මිල අධික ලෙස ඉහළ යයි. අනෙක් පසින් සල්ලි අච්චු ගැසීමේදී බඩුවල ඉල්ලුම වැඩි වීම නිසා ඩොලර්වලට ඇති ඉල්ලුමද වැඩි වේ. එවිට රුපියල අවප්‍රමාණ වේ. එවැනි මෙහොතක මහ බැංකුව සංචිතවල ඇති ඩොලර් විකුණා ඩොලර් රැක ගැනීමට උත්සාහ ගනියි. ඉදින් සංචිත අඩු වේ.
සංචිත අඩු වෙද්දී මහ බැංකුව නැවත වෙළෙඳ පොළෙන් ඩොලර් මිලදී ගනී. ඒ සංචිත නැවත ගොඩනැගීම වෙනුවෙනි. එවිට නැවත වරක් ඩොලර් අඩු වේ. ආයෙත් රුපියල අවප්‍රාමාණය වේ. අපි මේ දවස්වල අපේ ණය ගෙවන්නෙ අපේ සංචිතවලිනි. ඊට හේතුව නම් ණය ශ්‍රේණිගත කිරීම් ආයතන අපේ ණය ශ්‍රේණිය පහත දමා ඇත. එනිසා වෙළෙඳ පොළෙන් නැවත ණය ගැනීම අසීරුය. මිත්‍ර රාජ්‍යයක් අපිට ඩොලර් දුන්නොත් හැරෙන්න ඩොලර් සංචිත ගොඩගැනීම පවතින තත්ත්වය තුළ ඉතා අසීරුය. චීනයෙන්, ඉන්දියාවෙන්, බංග්ලාදේශයෙන් ස්වොප් ගිවිසුම් Swap agreement) මගින් අපේ භාෂාවෙන් කියනවා නම් යාළුකමට අත මාරුවට දෙන මුදල්ය. ආනයන මෙතරම් තහනම් කළද, ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් වුණත් රුපියල අවප්‍රමාණය වෙන්නෙ ඇයි, අපේ සංචිත අඩු වෙන්නෙ ඇයි කියන ප්‍රශ්නය අපි අපෙන්ම අසාගත යුත්තකි. එලෙස ස්වයං ප්‍රශ්න නැගීමකින් පමණි මෙහි ඇති ගැටලුව වටහාගත හැකි වනුයේ.
අප මේ පිළිබඳ කෙතරම් පැහැදිලි කළ ද මේ දේ මහ බැංකු නිලධාරින් දන්නේ නැත්දැයි බොහෝ දෙනා අසති. ඒ ප්‍රශ්න නැගීම නිවැරදිය. ඒ අපි බෞද්ධ වුවද, ධර්මයේ ඇති කරුණු දැනගත්තද නිවන් දකින්නෙ නැත. ධර්මය දැනීමයි ධර්මය අනුගමනය කිරීම සහ ධර්මය ප්‍රගුණ කිරීම යනු එකිනෙකට පරස්පර කරුණු තුනකි. එලෙසින්ම මේ ආර්ථික ගැටලුවේදී කරුණු දැනගත් පමණින් ක්‍රියාත්මක නොවේ. එහෙත් මෙරට ජනයා බලා සිටිනුයේ නිවැරදි ප්‍රතිපත්ති භාවිත කර අපේ මුදල්වල වටිනාකම ඉතිරි කර දෙන දිනයක් උදාවන තුරුය.
2021 දෙසැම්බර් 17 වැනි දින අරුණ පුවත්පතේ පළ වූ ලිපිය