Cow Slaughter Ban

ගව ඝාතනයෙන් වළකිමුද? තහනම් කරමුද?

ගව ඝාතනය තහනම් කිරීම කඩිනම් කිරීමට රජයේ අවධානය යොමුවී ඇත. ඒ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම උදෙසාය. මෙකී තීරණය විවිධ කෝණ ඔස්සේ විග්‍රහ කළ හැක. එකක් නම් ආගමික සහ අපේ ඇදහීමේ කෝණයයි. මෙම ලිපියෙන් ආගම ඇසුරෙන් එය විග්‍රහ කිරීමට උත්සාහ නොගන්නේ මාම බෞද්ධයෙක් වුවද බුදු දහම පිළිබද ප්‍රවීණයෙක් නොවීම නිසාය. එනිසා මා දන්නා දේ ආර්ථික විද්‍යාවෙන් මේ ගැන පැහැදිලි කර ගනිමු. මෙය ඉතාම සද්භාවයෙන් යුතුව රජය ගෙන ආ තීරණයක් වුවත් රාජ්‍ය ප්‍රතිපත්ති තීරණවලදී අපගේ අරමුණ සත්භාවික වූ පමණින් ප්‍රතිඵල සත්භාවික වේවි යැයි අපේක්ෂා කළ නොහැකිය.

මට මෙහිදී සිහිපත් වනුයේ ඉන්දියාවේ කලකට පෙර සිදුවූ දෙයකි. එනම් ඉන්දියාවේ කලක් නාගයන් දෂ්ට කිරීමෙන් මිනිසුන් මිය යන නිසා නාගයන් අල්ලා දෙන අය වෙනුවෙන් සැලකිය යුතු මුදල් ත්‍යාගයක් පිරිනැමීමට එරට රජය විසින් තීරණය කරන ලදී. එය ජනතාවගේ ජීවිත බේරා ගැනීමට ගත් ඉතා වටිනා තීරණයක් බවයි එවක සියල්ලන්ගේම අදහසවූයේ.

මෙකී ක්‍රියාදාමය ආරම්භ කළ මුල් සමයේදී නාගයන් හේතුවෙන් මිය යන පිරිස අඩු වුවද, පසුව නැවතත් නාගයන් දෂ්ට කිරීමෙන් සිදුවන මරණ සංඛ්‍යාව වැඩි වන්නට විය. එමෙන්ම එන්න එන්නම නාග ගහනයද වැඩිවෙන පසුබිමක් නිර්මාණය වෙමින් තිබිණි. ඊට හේතුව වූයේ අල්ලා දෙන සෑම නාගයකුටම මුදල් ත්‍යාගයක් රජයෙන් ලබාදීම නිසා මිනිසුන් ගෙවල්වලම නාගයන් බෝ කිරීම පටන් ගෙන තිබීමයි. එය මුදල් ඉපැයීමේ මාර්ගයක් ලෙස භාවිත කර තිබිණි. එනිසා නාගයන් නිවාසවලදී නිකරුණේ මිදී යාම මෙන්ම නිවාසවල ඇති කිරීමේදී සිදුවන අනතුරු වැඩිවිය. කෙසේ වෙතත් මෙය බොහෝ දෙනකුගේ ඉතා පහසු ආදායම් මාර්ගයක් බවටත් පත්විය.  මිනිසුන් නාගයන් බෝ කිරීමෙන් මුදල් උපයන බව රජය තේරුම් ගැනීමෙන් පසුව එම මුදල් ත්‍යාග ලබා දෙන ක්‍රමවේදය රජය විසින් නවතා දමනු ලැබීය. එවිට තවදුරටත් නාගයන් ළග තබා ගැනීම ආර්ථිකමය වශයෙන් තේරුමක් නොමැති නිසා මිනිසුන් නාගයන්ව නිදහස් කළේය. එමගින් නාග ගහණය සීග්‍රයෙන් වැඩි වීමෙන් ප්‍රශ්නය තවත් උත්සන්න විය. ආර්ථික විද්‍යාව යනු අප සිතන පතන විදිය සහ එයට බලපෑම් ඇති කළ හැකි ක්‍රමයක් බව මේ ලිපිවලින් අප නිතරම පවසන්නේ එනිසාය. සද්භාවයෙන් ගත් තීරණයක් නිසා ප්‍රශ්නය තිබුණාටත් වඩා වැඩි විය හැකිය.

ගව ඝාතන තහනමේත් එම අවදානම එලෙසම පවතී. ඉන්දියාවේදීත් ගවයන් ඝාතනය තහනම් කිරීම නිසා ගවයෝ ඉතා දුෂ්කර ලෙස කුසගින්නේ මියගියහ. ඊට හේතු වූයේ කිරිවලට හෝ මස්  වෙනුවෙන් වන චේතනාවකින් තොරව  ගවයෙක් නඩත්තු කිරීම, කෑම ලබාදීම වියදම් අධික කාර්යක් නිසාය. අපේ ජන වහරේ එන හතරරියන් හා දෙරියන් කවිපෙලේදී හරකාගේ ඉදිරිපස කොටස එක්කෙනෙක් භාර ගැනීමත් අනෙකා ගවයාගේ පිටුපස භාර ගැනීමෙනුත් තහවුරු කරන්නේ ගවයන් නඩත්තු කිරීම කොතරම් අපහසුද යන්නය.

ඉන්දියාවේදී බොහෝ කිරි හරකුන් ඔවුන්ගේ කිරි අස්වැන්න අඩු වීමත් සමග ඔවුන්ව නිකරුණේ කැලයට අත හැරීමෙනි. බොහෝ ගවයන් මියගියේ කුසගින්නේ ආහාරද නොමැතිවය. එමෙන්ම අතහරින ලද ගවයන් සහ හරකුන් මහා මාර්ගවලට  පැමිණීමෙන් වාහන තදබදයට විශාල බලපෑමක් ඇතිවිය. එපමණක් නොව හොරෙන් හරක් මැරීම විශාල ලෙස වැඩිවිය.  නිකරුණේ ගැවසෙන ගවයන් හොරකම් කරමින් මස් අලෙවිය සිදුවිය. එනිසා ගව මස් අනෙකුත් මස් වර්ගවලට කවලම් කිරීමත් සිදු විය හැකිය. මස්වලට විකිණීම, කුඹුරු කටයුතු වැනි දෑ වෙනුවට හැරුණු විට පිරිමි ගවයාගෙන් ආර්ථික වාසි අඩු නිසා පිරිමි ගවයන් උපතේදීම මැරීමේ හැකියාවත් වැඩි විය හැක. ජීව විද්‍යාත්මකව සාමාන්‍යයෙන් 50:50 ගැහැනු සතුන් සහ පිරිමි සතුන් ජනනය වීම ස්වභාවිකය. ඒ අනුව උපදින ගව ගහනයෙන් අඩකගේම ඉරණම තිඹිරි ගෙයේදීම ඉතා ඛේදනීය විය හැක.

දැනටත් ශ්‍රී ලංකාවේ රක්ෂිත වනාන්තරවල තිබෙන මූලිකම ප්‍රශ්නයක් වන්නේ රක්ෂිත වනාන්තරවල සිටින ශාක භක්ෂක සතුන්ට ප්‍රමාණවත් තරම් ආහාර නොමැති වීමය. එයට එක හේතුවක් වන්නේ රක්ෂිත වනාන්තරවල මායිම්වල සිටින කිරි හරකුන්ට අහාර ලබා ගැනීමට කැලයට යොමු කිරීමෙන් වනාන්තරයේ සිටින සතුන්ට ආහාර අඩු වීමය.

ගව ඝාතනය තහනමත් සමගම සිදුවිය හැක්කේ එම ගවයන් සහ වස්සන් කිරි සහ ආර්ථික වාසි ලබාගත් කාලයෙන් පසුව නිකරුණේ කැලයට අතහැරීම නිසා වනාන්තරවල ගව ගහනය වැඩි වීමෙන් ශාක භක්ෂක සතුන්ට විශාල බලපෑමක ඇති වීමයි. ඒ වගේම මූල්‍යමය අතින් ගත් කල ශ්‍රී ලංකාවේ දියර කිරි කර්මාන්තයටත් මෙමගින් විශාල බලපෑමක් විය හැකියි. දැනට පවතින දත්ත අනුව ශ්‍රී ලංකාවේ දියර කිරි ඉල්ලුම කිරි ලීටර් මිලියන 700ක් පමණ ‍වේ. නමුත් අපට දේශීයව නිෂ්පාදනය කළ හැක්කේ කිරි ලීටර් මිලියන 374 පමණි. මෙරට කිරි ගවයන් 329ත් 490ත් පමණ ප්‍රමාණයක් සිටිති. මෙරට කිරි ගවයෙක් දිනකට ලබාදෙන්නේ කිරි ලීටර් 4ත් 5ත් අතර ප්‍රමාණයකි. ලෝකයේ කිරි ගවයකුගෙන් දිනකට ලබා ගන්නා ප්‍රමාණයේ සාමාන්‍ය අගය ලීටර් 28ක් පමණ වේ. දියුණු රටවල මෙකී අගය කිරි ලීටර් 40 දක්වා වැඩි වේ.

අපේ කිරි ගවයන්ගේ කිරි ඵලදාව අවම වීමට ප්‍රධාන හේතුව ඔවුන්ව නිසි පරිදි නඩත්තු නොකිරීමය. කිරි හරකුන්ට ගැළපෙන තණකොළ වර්ග, බෙහෙත් වර්ග සහ සතුන්ව රෝගවලින් ආරක්ෂා කිරීම ඉතාම වැදගත්ය. එමෙන්ම කිරි හරකුන්ව අඩු උෂ්ණත්වවල තබා දහඩිය දැමීම අවම කිරීමෙන් ඔවුන්ගේ කිරි ඵලදාව වැඩි කර ගත කරගත හැකිය. දැනට පවතින ක්‍රමය අනුව කිරි ගොවියා කිරි අස්වැන්න ලබාදෙන උපරිම කාලය ගතවූ පසු ගවයා විකිණීමෙන් පසුවය ගවයාගේ ලාභය ලබා ලැබෙනුයේ. ඒ අනුව ගව ඝාතනය තහනම් වීමත් සමග බොහෝ ගොවියන් දියර කිරි නිෂ්පාදනයෙන් ඉවත් විය හැකිය. එමගින් අපගේ කිරි පිටි ආනයන වියදම තවත් ඉහළ යා හැකිය.

මේ නිසා හරක් මස් වෙනුවෙන් තිබූ ඉල්ලුම කුකුළු මස් සහ අනෙකුත් මස් වර්ගවලට යොමු වීම නිසා එම සතුන්ගේ සමස්ත මරණ ප්‍රමාණය වැඩි වේ. ඉල්ලුම වැඩිවීමෙන් කුකුළු මස් සහ බිත්තර මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ හැකියාවක් ඇත. මෙම නිවේදයත් සමග ඉදිරියේදී ගවයන් විකිණීම අපහසු විය හැකි නිසා මේ දිනවල ශීඝ්‍ර ලෙස ගව ඝාතන ඉහළ යාමේ හැකියාවක්ද පවතී.

2016 අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්තවලට අනුව අපගේ සමස්ත භාණ්ඩ අපනයනයෙන් 1%ක් සම් භාණ්ඩය. දැන් එය 0.6% දක්වා අඩු වී ඇත. එම දත්තවලට අනුව දිවයින පුරා කුඩා හා මධ්‍ය පරිමාණ සම් භාණ්ඩකරුවන් 1000කට අධික පිරිසක් ඇමරිකානු ඩොලර් මිලියන 550කට අධික මුදලක් අපනයන ආදායම ලෙස රැගෙන එනු ලබති.

මෙම තීරණයත් සමගඔවුන්ගේ ආදායම මෙන්ම විදේශ විනිමයත් මෙමගින් අවදානමට ලක් වීමට හැකියාවක් තිබේ. බොහෝ දෙනෙක්ට ගැටලුව තිබෙන්නේ ආර්ථිකමය වශයෙන් මෙය තෝරා ගැනීමට වඩා මෙම තීරණය ආගමික වශයෙන් තෝරා ගන්නේ කෙසේද යන්නය. විශේෂයෙන්ම හින්දු සහ බෞද්ධ දර්ශනයට අනුකූලව මේ දෙස බලන්නේ කෙසේද යන්නය.

අප මේ උත්සාහ ගනුයේ සිදුවන ආර්ථික පාඩුව නිසා සත්ත්ව හිංසාව සහ ප්‍රාණ ඝාතය සාධාරණීකරණය කිරීම නම් නොවේ. බුදු දහමට අනුව මෙම තත්ත්වය, එනම් මහජන ප්‍රතිපත්ති සම්පාදනය තේරුම් ගැනීමට දේවදත්ත තෙරුන් බුදුරජාණන් වහසේගෙන් කළ ඉල්ලීම්වලට උන්වහන්සේ ලබාදුන් පිළිතුර සමග සැසඳිය යුතුය.

1. සියලු භික්ෂුන් වහන්සේලා පාංශකූල සිවුරු දැරිය යුතුය.

2. සියලු භික්ෂුන් වහන්සේලා සියලු කල්හී රුක් මුල වැඩ සිට බණ භාවනා කළ යුතුය. 3. සියලු භික්ෂුන් වහන්සේලා සියලු කල්හී ශුන්‍යාගාරවල වැඩ වාසය කළ යුතුය.

4. භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතයෙන් සියලු කල්හි යැපිය යුතුය.

5. සියලු භික්ෂූන් වහන්සේලා සියලු කල්හි නිර්මාංශ විය යුතුය

යනුවෙන් සියලුම භික්ෂුන්ට නීති පැනවිය යුතු බව දේවදත්ත තෙරුන් යෝජනා කළේය. බැලූ බැල්මට එම ප්‍රතිපත්ති වරදක් නැත. ඉතාම හොඳ ඒවාය. එහිදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ කැමැති කෙනෙක් සිටිනවා නම් ඒවා අනුගමනය කළ හැකි බවත් ඒවා විනය නීති බවට පත් කිරීමට අවශ්‍යතාවක් නොමැති බවත්ය.

එහි අර්ථය ප්‍රාණඝාතය හෝ මාංශ අනුභවය බුදු දහම අනුමත කළ බව නොවේ. එහි තේරුම බුදු දහමට අනුව ඔබ ඔබගේ ජීවිතය සකස් කර ගන්නවා වෙනුවට අන් අයගේ ජීවිත සකස් කර ගන්න උත්සාහ කිරීමෙන් ඵලක් නොවන බවය. රජයන්වලට අපගේ ජීවිත සකස් කිරීමට හැකියාවක් නොමැති බව අප තේරුම් ගත යුතුයි.

අප ආගමත් ආර්ථිකයත් පටලවාගත් විට අපට ඒ දෙකම ගිලිහීම ස්වභාවිකය. ප්‍රාණඝාතයට සහ සත්ත්ව හිංසාවෙන් මිදීම අප තනිවම කළ යුතු දෙයක් මිස එය බාහිර බලපෑමෙන් කළ හැක්කක් නොවේ. බුදු දහම නිතරම තම තමන්ට තම තමන්ගේ අභ්‍යන්තරය නුවණින් සහ ප්‍රඥාවෙන් විමසන, ස්වඋත්සයයෙන් නැගී සිටිමින් තමන් මුලින් සසරින් එතෙර වීමට කියාදුන් දහමක් මිස රාජ්‍ය තීරණ හරහා ජනතාවට නිවන් අවබෝධ කරවන දහමක් නොවේ. එමගින් ප්‍රශ්නය තිබුණාටත් වඩා විශාල විය හැකියි. බොහෝ විට අපගේ හරකුන් කලින්ටත් වඩා කලින් දැන් නිවන් දැකීමේ අවදානමක් ඇත.

2021 ඔක්තෝම්බර් 22 දින අරුණ පුවත්පතේ පලවූ ලිපිය