The Coordination Problem

බඩ පිරෙන්න කෑමට ගහන ආනයනික බදු

මෙම ලිපිය පෙර පලවුනු "A bellyful of taxes!" හි පරිවර්තනයකි.

දිල්ෂානි එන් රණවක විසිනි

නත්තල් සමය සහ අලුත් අවුරුදු සමය හෙමින් උදා වෙනවා. මේ අවුරුද්දේ කෝවිඩ් නිසා නත්තල් සහ අවුරුදු බොහෝ අයට අපහසුයි. හැබැයි ආහාර වල මිල අඩුවක් නැහැ. බොහෝ විට අප සිතන්නේ එම මිල ගණන් ඉහල යන්නේ උත්සව අවස්ථාවලදී ඉල්ලුම ඉහල ගොස් ඇති නිසා බවය. ඒ අතරම ශ්‍රී ලංකාවේ ආහාර සැබවින්ම මිල අධික බවද අපි පිළිගනිමු. නමුත් ආහාරවල මිල අධික වන්නේ මන්දැයි ඔබ කවදා හෝ ප්‍රශ්න කර තිබේද? අප සියල්ලන්ගේම මුලික අවශ්‍යතාවක් වන ආහාර පාන සඳහා ඔබ මෙතරම් අධික මුදලක් වියදම් කරන්නේ මන්දැයි යන්න ඔබ ඔබෙන් අසා තිබෙනවාද?

අප ආහාර සඳහා ඉතා විශාල ලෙස බදු ගෙවන බව ඔබ දැන සිටියාද? අප කරන සෑම මිලදී ගැනීමක් සමඟම අප ගෙවන වක්‍ර බදු පිලිබඳ අප කෙතරම් දැනුවත් ද?

පවුලක හතර දෙනෙකුගේ සමබර ආහාර වේලක් සඳහා අවශ්‍ය වන සිල්ලර භාණ්ඩ ලැයිස්තුවක් ගෙන බලමු. (මෙහි එන ප්‍රමාණයන් ආහාර හා කෘෂිකාර්මික සංවිධනය (FAO) මගින් නිර්දේශිත ඒවා වේ)

Balanced+Meal+tax+figures.png

සංඛ්‍යාලේඛන වලට අනුව, මිල දී ගන්නා කුඩා ප්‍රමාණයේ සිල්ලර භාණ්ඩ ලැයිස්තුවක් වෙනුවෙන්, අප රජයට රු. 150 කට වඩා බදු ගෙවන බව අපට පෙනී යයි. රු. 150ක් යනු ඔබට දිවා ආහාරයට ගත හැකි බත් පාර්සලයක මිලට සමානය.

රජය අපගෙන් බදු අය කරනු ලබන්නේ කරණා දෙකක් වෙනුවෙනි. එකක් නම්, බදු රජයේ ප්‍රධාන ආදායම් ප්‍රභවයක් වන අතර ශ්‍රී ලංකා රජයේ 80% පමණ ආදායම මෙම වක්‍ර බදු අය කිරීම තුලින් සම්පුර්ණ වේ. වක්‍ර බදු පැනවෙන්නේ භාණ්ඩ හා සේවා සඳහා වන අතර එමෙන්ම, සෘජු බදු පැනවෙන්නේ ආදායමය. දෙවැන්න බදු අය කිරීම මඟින් නිෂ්පාදකයින්, ආනයන මගින් ඇති කරන තරඟයෙන් ආරක්ෂා කල හැක.

පාරිභෝගික භාණ්ඩ සඳහා මෙවැනි අධික බදු අය කිරීම රජය විසින් සාධාරණිකරණය කරනු ලබන්නේ, එමගින් දේශීය නිෂ්පාදකයින් ආනායන වලින් ආරක්ෂා කිරීම හා ශක්තිමත් කිරීම් තර්කයක් ලෙස ගනිමිනි. ඒ අනුව ආනයන සඳහා තීරුබදු පැනවූ විට, ආනයනවල මිල ඉහළ යන අතර, දේශීය නිෂ්පාදකයින්ට වඩා ලාභදායී විකල්පයක් සමඟ තරඟ කිරීමට අවස්ථාව ලබා දෙයි. උදාහරණයක් ලෙස බෝංචි කිලෝ එකක් සඳහා රජය 101% බද්දක් පනවනු ලැබේ. එනම් ඔබ බෝංචි කිලෝ එකක් සඳහා එහි සැබෑ වටිනාකම මෙන් දෙගුණයක් ගෙවනු ලබයි.

මෙම ආනයනික තීරු බදු නිසා දේශීය නිෂ්පාදකයින්ට ආනයන කරන භාණ්ඩ වලට වඩා සාපේක්ෂව අඩු මුදලකට ඔවුන්ගේ නිෂ්පාදන දේශීය වෙළඳපොල තුල විකිනීමට හැකි වෙයි. මෙය බැලු බැල්මට දේශීය නිෂ්පාදකයින්ට වාසි ප්‍රතිපත්තියක් ලෙස පෙනුනද, සැබවින්ම දිගුකාලීනව මෙය යහපත් ප්‍රතිපත්තියක් නොවේ.

පාරිභෝගිකයාට පාඩු පිට පාඩු

දේශීය නිෂ්පාදකයින්ට, මිලෙන් අඩු ආනයන සමඟ තරඟ කිරීම පහසු වීමට රජය විසින් තීරු බදු පැනවූ විට, දේශීය නිෂ්පාදකයින්ට කාර්යක්ෂ්මව හා ඵලදායීව කටයුතු කිරීමට ඇති සියලුම වෙළඳපල දිරිගැන්වීම් ඉවත් වෙයි. මෙහිදී මිලෙන් අඩු ආනයනික භාණ්ඩ මත අධික තීරු බදු හේතුවෙන්, එම භාණ්ඩයේ මිල දේශීය නිෂ්පාදිත භාණ්ඩ වඩා ඉහල යයි.

මේ නිසා දේශීය පාරිභෝගිකයන් වන අපි දෙයාකාරයකින් පාඩු විඳිමු. අපට දේශීයව නිෂ්පාදිත භාණ්ඩයක් මිල දී ගැනීමට අවශ්‍ය වූවත්; දේශීය නිෂ්පාදකයින්ට උසස් තත්ත්වයේ, ආකර්ශනිය භාණ්ඩයක් පාරිභෝගිකයාට ලබාදීමට කිසිඳු විශේෂ හේතුවක් නැත. එසේත් නැතිනම්, යම් අවස්ථාවක පාරිභෝගිකයා දේශීය නිෂ්පාදන පිළිබඳව සෑහීමකට පත් නොවී ආනයනික විකල්පයක් මිලට ගැනීමට අපේක්ෂා කරන්නේ නම්, එම භාණ්ඩ, දේශීය නිෂ්පාදකයන්ගේ යහපත වෙනුවෙන් පැනවූ තීරු බදු ගාස්තු අනුපාතයකට යටත් වන බැවින්, අපට වඩා වැඩි මිලක් ගෙවීමට සිදුවේ.

මෙම බදු මඟින් අනයනය කරන භාණ්ඩයේ අවසාන මිලත්, දේශීයව භාණ්ඩය නිෂ්පාදනය කිරීමේදී වැයවන පිරිවැයත් අතර විශාල වෙනසක් ඇති කරයි. දේශීය නිෂ්පාදකයින්ට මෙම වෙනස අති විශාල ලාභයක් බවට ලක්කර ගත හැක. නමුත් තමන් නිපදවන භාණ්ඩ වල තත්වය උසස් කිරීමට හෝ වඩා ආකර්ශනීය භාණ්ඩ නිපදවීමට කිසිම උනන්දුවක් ඔවුන්ට මෙමඟින් ඇති නොවේ.

අපි මෙය දිගටම ආරක්ෂණවාදයට ඉඩ දිය යුතුද?

දිරිගැන්වීම් නොමැතිකම නිසා අපේ නිෂ්පාදකයින් අකාර්යක්ෂම නිෂ්පාදන රටාවකට හුරුවී ඇත. මෙම අවස්ථාවේ දී රජය තවදුරටත් දේශීය නිශ්පාදකයින් ආරක්ෂා කල යුතු ද ? එසේ නම්, පාරිභෝගිකයින් සඳහා වන පිරිවැය නම් අපි මේ සඳහා කරන කැපකිරීම ගැන අප සැලකිලිමත්ද ?

ආරක්ෂණවාදය යනු රටේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව ඇත. 1977 ශ්‍රී ලංකා ආර්ථිකය විවෘත වූ දා සිටම දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම අරමුණු කරගත් විවිධ ව්‍යාපාර ක්‍රියාත්මක කරන ලදී. අප දකුණු ආසියානු කලාපයේ, තම ආර්ථිකය විවෘත කල පළමු රට වුවුද, වසර 40කට පසුවත් අප විවෘත ආර්ථිකයේ ඵල නෙලාගෙන නොමැත. ‌ෙබාහෝ දේ ගැන අප සිටින්නේ පසුගාමී තැනකය.

ආරක්ෂණවාදය විකල්පයක් ලෙස රජයට කළ හැකි දෙයක් වන්නේ වෙනත් රටවල් සමඟ තාක්ෂණික ආයෝජන ඇති කර ගැනීම සහ, එමඟින් රටේ අඩු ප්‍රථාලාභයන් ලබා දෙන, අඩු කාර්යක්ෂම, ආරක්ෂිත කර්මාන්ත, කාර්යක්ෂම සහ ලාභදායක කර ගැනීමට හැකි තාක්ෂණය අත්පත් කර ගැනීම වේ. රජය විසින් පනවන අධික බදු සහ නියාමනය ලිහිල් කිර, විදේශ ආයෝජන සඳහා ආර්ථිකය විවෘත කිරීම සහ ආයෝජකයින්ට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම තුලින් මෙය සිදු කල හැක.

දශක ගණනක් තිස්සේ අප සිදු කරන ආරක්ෂණවාදී පියවර දිගින් දිගටම අසාර්ථක වී ඇති බව දැන දැනම, අපගේ නිෂ්පාදකයින් විදේශ තරඟයෙන් ආරක්ෂා කරන ලෙස අපි තවමත් රජයෙන් ඉල්ලා සිටිමු ද?

සන්ඩේ මෝනිං බිස්නස් (The Sunday Morning Business) හි පලවන “The Coordination Problem” සතිපතා කොලම තුළින් ඇඩ්වකාටා හා සම්බන්ධ විද්වතුන් සහ පර්යේෂකයන්, ආර්ථික විද්‍යාව, රාජ්‍ය ප්‍රතිපත්තිය, ඒවා පාලනය කරන ආයතන සහ ඒවායෙන් අපගේ ජීවිත වලට හා සමාජයට ඇති කරන බලපෑම පිළිබඳව ගවේෂණය කිරීමේ උත්සාහයක නිරත වේ.

ද මෝනිං හි මුලින් පළ වන ලද්දකි.