මෙම ලිපිය පෙර පලවුනු “Sacrificing food security for self-sufficiency”හි පරිවර්තනයකි.
ධනනාත් ප්‍රනාන්දු විසිනි
ශ්‍රී ලංකාව “ස්වයංපෝෂිතභාවය” යන මිථ්‍යාව සැක්ෂාත් කර ගැනීමට කීප විටක් උත්සහ ගෙන ඇත. මෙයට ආසන්නම උදාහරණය වනුයේ, පාලකයන් හැර සෙසු ජනතාව සාගින්නේ තැබූ 70 දශකයේ මැද භාගයේ සිදු වූ දැවැන්ත වැඩපිළිවෙලයි. නමුත් නැවතත් “ස්වයංපෝෂිතභාවය” යන මිථ්‍යාව මත පදනම් වූ සමාජයක් පිළිබඳ කතිකාව නැවතත් ආරම්භ වී තිබේ. “ස්වයංපෝෂිතභාවය” යන යෙදුමේ විවිධ අර්ථයන් ඇත. ඉන් එකක් නම් ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පවා නොතිබූ, කිසිදු වෙළඳාමකින් නොකල යුගයකට යළිත් වරක් ගමන් කලයුතු යැයි සිතන්නන්ගේ සැතුවිලියි. මෙහිදී, කිසිවෙකුටත් තමන් වවාගන්නා දෙයින් යැපෙනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නොමැත. මේ හැරුණුකොට තවත් විකල්ප තර්කයන් පවතියි - එනම් ආහාර සුරක්‍ෂිතතාවය සහතික කිරීම සඳහා රටක් ස්වයංපෝෂිත වීම අවශ්‍ය යැයි ගෙනෙන තර්කය වේ; ආහාර වලින් ස්වයංපෝෂිත වන අතර ඉන්ධන, ගල් අඟුරු, ඖෂධ, අමුද්‍රව්‍ය සහ රජය විසින් නියම කර ඇති වෙනත් “අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය” ආනයනය කිරීම මෙයින් අදහස් කෙරේ. එමෙන්ම අපගේ වෙළඳ හිඟය සීමා ඉක්මවා ගොස් ඇතැයිද, එබැවින් අපගේ අපනයන ධාරිතාවයේ ප්‍රමාණයට අප ස්වයංපෝෂිත විය යුතු බව විශ්වාස කරන පිරිසක්ද වේ. සියලු තර්ක අතරින්, ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳ කාරණය වඩාත් ජනප්‍රිය වේ. එබැවින් ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳ දත්ත සහ නිර්වචන සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවට සැබවින්ම “ස්වයංපෝෂිත” විය හැකිද යන්න ඇගයීමට ලක් කරමු.
ආහාර සුරක්ෂිතතාවය යනු කුමක්ද?
බොහෝ දෙනා විශ්වාස කරන පරිදි “ආහාර සුරක්ෂිතතාවය” යනු අර්බුදයකදී පරිභෝජනයට ප්‍රමාණවත් තරම් ආහාර රට තුල තිබීමයි. අර්බුදයකට හොඳම උදාහරණයක් නම් අප මුහුණදී සිටින COVID-19 ව්‍යසනයයි. ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ තවත් පොදු මිත්‍යා මතයක් නම් මාස හයක් සඳහා ප්‍රමාණවත් ආහාර ප්‍රමාණයක් ගබඩා තුල තිබිය යුතු බව සහ පුරවැසියන්ට අවශ්‍ය කැලරි ප්‍රමාණය (calorie intake) රට තුළම නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව පැවතීමයි. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ ලෝක ආහාර සමුළුව විසින් ආහාර සුරක්ෂිතතාවය මෙසේ නිර්වචනය කර ඇත; “ක්‍රියාශීලී හා සෞඛ්‍යමත් ජීවිතයකට අවශ්‍ය ආහාර අවශ්‍යතාවයන් සහ ආහාර අභිරුචීන් (Food preferences) සපුරාලිය හැකි පරිදි ප්‍රමාණවත්, සුරක්ෂිත හා පෝෂ්‍යදායී ආහාර සඳහා සියලු ජනතාවට සෑම කල්හිම භෞතික හා ආර්ථික ප්‍රවේශය ඇති විට ආහාර සුරක්ෂිතතාවය පවතී.”
බහුතරයගේ විශ්වාසය කුමක් වුවද, ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීමට නම්, යම් රටක් සිය ආහාර අවශ්‍යතාවය රට තුළම නිෂ්පාදනය කරගත යුතු නොවේ. ඇත්තටම අවශ්‍ය වන්නේ ආහාර නිසි පරිමාණයෙන් හා අපේක්ෂිත ගුණාත්මකභාවයෙන් යුතුව පිරිමැසුම්දායී ලෙස නිෂ්පාදනය කිරීමයි. එසේ නොමැතිනම් අප අපේ වටිනා මෙන්ම සීමා සහිත වන සම්පත් අපතේ යවනු ඇත. උදාහරණයක් ලෙස, වර්ග කි.මී. 65,610 ක් වන ශ්‍රී ලංකාවට සාපේක්ෂව වර්ග කි.මී. 725.7 ක් පමණක් ඇති සිංගප්පූරුව දෙස බලමු. වාණිජමය කෘෂිකර්මාන්තය නොමැතිව වුවද දෙවන වසරටත් සිංගප්පූරුව ගෝලීය ආහාර සුරක්ෂිතතා දර්ශකයේ ඉහලින්ම සිටීමට සමත් වී ඇත. මීට හේතුව වී ඇත්තේ සිංගප්පූරුව ගෝලීය ආහාර සැපයුම් දාමයට පූර්ණ වශයෙන් ඒකාබද්ධ වී, සිය පුරවැසියන්ට බාහිර ව්‍යසනයකදී යැපීමට ප්‍රමාණවත් තරම් ගබඩා පහසුකම් දියුණු කර තිබීමයි. FAO විසින් නිර්වචනය කර ඇති පරිදි සුරක්ෂිත මෙන්ම ප්‍රමාණවත් ලෙස සහ පාරිභෝගිකයාගේ අභිරුචිය අනුව සිංගප්පූරු වැසියන්ට ආහාර පරිභෝජනය කළ හැකි බැවින්, මෙය සැබවින්ම විශිෂ්ට තත්වයක් වේ. ඒ හා සැසඳීමේදී ශ්‍රී ලංකාව එම දර්ශකයේම 66 වන තැනට පත්ව තිබේ. ශ්‍රී ලාංකික පුරවැසියන් හට සෑම කල්හිම භෞතික හා ආර්ථික වශයෙන් ආහාර ලැබීමට අවස්ථාව ඇති බවට අප තහවුරු කරගන්නේ කෙසේද? FAO හි නිර්වචනයට අනුව, මෙම COVID-19 වසංගතයෙන් පැහැදිලි වන්නේ අප සතුව ආහාර තිබුනද මෙම ආහාර සඳහා රටෙහි ජනතාවට භෞතික සහ ආර්ථික ප්‍රවේශය නොමැතිකම හේතුවෙන්, රටක් වශයෙන් අපගේ ආහාර සුරක්ෂිතතාවය බිඳ වැටී ඇති බවයි. ජනතාවගේ දෛනික වැටුප් ලැබීමට බාධා වීම හේතුවෙන් ආහාර සඳහා ආර්ථිකමය හා භෞතිකමය ප්‍රවේශය අහිමිවීම, බෙදාහැරීමේ ගැටළු හා ආහාර අභිරුචීන් නොමැතිකම මීට හේතු විය. බණ්ඩාරනායක රජය විසින් අනුගමනය කරන ලද අසාර්ථක සමාජවාදී අත්හදා බැලීම තුලින්ද ඉහත කී කිසිවක් ළඟා කර ගැනීමට අසමත් විය. ආහාර ප්‍රමාණවත් නොවූ අතර තෝරා ගැනීම සිහිනයක් පමණක් විය. එමෙන්ම තිබුණු ආහාර වල ගුණාත්මකභාවයක් ද නොතිබුනි. පුරවැසියෙකු නියම කරන ලද සලාකයට වඩා වැඩි ආහාර ප්‍රමාණයක් සමඟ හසු වීම සාහසික අපරාධයක් සේ සළකන ලද අතර ඔහු හෝ ඇය වහාම සිරගත කරනු ලැබීය. පිටි වල ගුල්ලන් සිටි අතර සහ සහල් වල ගල් බොහෝ ප්‍රමාණයක් විය. ඇඳුම් වලින් භූමිතෙල් වල සුවඳ හැමූ අතර, මෙම ඇඳුම් ඇඳ දර ලිප් භාවිත කිරීමේදී ඉතාම ප්‍රවේසම් විය යුතු විය. ඉතා පහළ ගුණාත්මකභාවයකින් යුත් පාන් සඳහා ලෝකයේ වූ දිගම පෝලිම් වල අපට ඉන්නට සිදුවූ අතර එහිදීද, ඔබගේ පවුලේ ප්‍රමාණය කුමක් වුවද ලබාගත හැකි වූයේ එක් පාන් රාත්තලක් පමණි. නගරබද ප්‍රජාවගේ (එනම් බහුතරය ආහාර මිළදී ගැනීම සඳහා මුදල් තිබූ පිරිස) ආහාර සුරක්ෂිතතාවය බිඳ වැටුනේ ආහාර වෙත භෞතික ප්‍රවේශය සහ ආහාර අභිරුචීන් නොමැතිවීම හේතුවෙන් වූ අතර ගම්බද සහ වතු ප්‍රජාවගේ ආහාර සුරක්ෂිතතාවය බිඳවැටුනේ ආදායම නොමැතිකමින් මෙන්ම ආහාර අභිරුචීන් නොමැතිවීමද හේතුවෙනි. ඔවුන්ට සිදුවූයේ ඔවුන්ගේ ගෙවතු වල වැවුනු හෝ ඔවුනට කැලෑවෙන් සොයාගත හැකි වූ කිසිවක් ආහාරයට ගැනීමටය. එබැවින් ස්වයංපෝෂිත වීමට උත්සාහ ගැනීමෙන් පමණක් ආහාර සුරක්ෂිත තාවය ළඟා කර ගත නොහැකි අතර, ඒ සඳහා ප්‍රවේශය, මිළදී ගැනීමේ හැකියාව, ආරක්ෂාව, අභිරුචීන් සහ පෝෂණ වටිනාකම වැනි සාධක ගණනාවක් බලපාන බව පැහැදිලි වේ. FAO ට අනුව, දෛනික සාමාන්‍ය ඒක පුද්ගල ආහාර අවශ්‍යතාවය කිලෝ කැලරි 1,680 ක් වන අතර ශ්‍රී ලංකාවේ සාමාන්‍යය අගය මෙම සීමාවට වඩා කිලෝ කැලරි 500 ක් පමණ වැඩිවේ. කෙසේ නමුත් සංගණන සහ සංඛ්‍යා ලේඛන දත්තයන් අනුව, ශ්‍රී ලාංකික දුගී ප්‍රජාවගේ ආහාර පරිභෝජනය ලෝක සම්මත මට්ටමට වඩා පහළ පවතියි. එසේ හෙයින්, අප දීර්ඝකාලීනව ආහාර සුරක්ෂිතතාවය ලබා ගැනීමට නම් ජනතාවට සුරක්ෂිත මෙන්ම පෝෂ්‍යදායී ආහාර මිළදී ගැනීමට හැකි බව තහවුරු කරගත යුතු අතර ආහාර සඳහා ප්‍රවේශය පවත්වා ගනිමින්, ස්වයංපෝෂිත වීමේ මිත්‍යාවෙන් මිදී, තෝරාගැනීම සඳහා ජනතාවගේ අභිරුචීන්ට අවස්ථාව ලැබෙන බව තහවුරු කරගත යුතුය. මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා, ගෝලීය ආහාර සැපයුම් දාමයන්ට සුරක්ෂිත ප්‍රවේශයක් නිර්මාණය කිරීම තුලින් අපගේ ජනතාවට සමබර ආහාර වේලක් ලබා ගැනීම සඳහා අවශ්‍ය විවිධ වූ ආහාර වර්ග ලබා ගත හැකි වනු ඇත. මේ අනුව යමෙකුට නැගෙන මීළඟ ප්‍රශ්නය නම් අප මෙයින් අදහස් කරන්නේ අප අපගේ සියලු ආහාර ආනයනය කල යුතුද යන්න සහ එසේ අවශ්‍ය සියල්ල ආනයනය කිරීමට තරම් විදේශ විනිමය ප්‍රමාණයක් අප සතුව තිබේද යන්නයි.
අඩු කෘෂිකාර්මික ඵලදායීතාවය
පෙර සඳහන් ප්‍රශ්න දෙකටම පිළිතුරු සැපයීමට නම් අපගේ කෘෂිකර්මාන්තයේ (අංශයේ) ඵලදායිතාවය අඩු මන්දැයි සොයා බැලිය යුතුය. බොහෝ විට අපට පවසන්නේ, අපගේ ගොවීන් වෙත තාක්ෂණය ළඟා නොවීම මේට හේතුව ලෙසය. එහෙත් ගොවීන් වෙත තාක්ෂණය ළඟා නොවන්නේ මන්ද යන්න පිළිබඳ අප සිතා තිබේද? ශ්‍රී ලංකාවේ භූමි හෙක්ටයාර මිලියන 6.5 න් හෙක්ටයාර මිලියන 5.4 ක් රජය සතු වේ. ප්‍රතිශතයක් ලෙස ගත් කළ ශ්‍රී ලංකාවේ පෞද්ගලික ඉඩම් පවතින්නේ සමස්ථ භූමි ප්‍රමාණයෙන් 18%ක් පමණි. වැඩි අස්වැන්නක් ලබාදෙන වී වගාකිරීමට අවශ්‍ය නම් ගොවීන් විසින් රජයෙන් බලපත්‍රයක් ලබාගත යුතුවේ. බොහෝ ගොවීන්ට තමා වගා කරන ඉඩම් සඳහා ඔප්පු ලබා දී නොමැති බැවින් බැංකු ණය ලබාගැනීම දුෂ්කර වී ඇත. කුඹුරු ඉඩම්වල කිසිදු ඉදිකිරීමක් ද සිදු කළ නොහැක. පවතින නියාමන තන්ත්‍රය යටතේ කිසිදු ආයෝජකයෙකු හරිතාගාර සහිත ගොවිපළක් හෝ අධි තාක්ෂණික ගොවිපළක් සඳහා ආයෝජනය කිරීමට නොපෙළඹේ. මීට අමතරව, බොහෝ කුඹුරු ඉඩම් කොටස් කර ඇති බැවින් විශාල පරිමාණයේ කෘෂි ව්‍යාපාර ඇති කිරීමට හැකි අවස්ථාව සීමා සහිත වේ. මේ හේතුවෙන් නිෂ්පාදන පිරිවැය ඉහළ මට්ටමක පවතියි. මෙයින් අදහස් වන්නේ, අප අපගේ ගෙවතු වල වගා කරමින් ස්වංපෝෂිත වීමට නැවත උත්සාහ කළද, අපට වගා කිරීමට, නිවාස තැනීමට සහ අනෙකුත් සියලුම කර්මාන්ත කටයුතු පවත්වාගෙන යාමට ඇත්තේ සමස්ථ භූමි ප්‍රමාණයෙන් පහෙන් එකක කොටසක් පමණක් බවයි. එමෙන්ම මෙයින් අදහස් වන තවත් දෙයක් නම් අපගේ ශ්‍රම බලකායෙන් 25% ක් පමණ කෘෂිකර්මාන්තයේ නියැලුණද අපගේ දළ දේශීය නිෂ්පාදනයට ඉන් ලැබෙන දායකත්වය 7-8% පමණක් වන බැවින්, අපගේ ඉඩම් බොහෝමයක් ඵලදායී ලෙස භාවිතා නොවන බවයි.
ආහාර ආනයනය සහ වෙළඳ හිඟය
අප සතුව කෙතෙක් උත්සහ ගත්තද, අපට අවශ්‍ය සියල්ල අපටම නිෂ්පාදනය කර ගත නොහැකි වේ. උදාහරණ ලෙස ඉන්ධන සහ යන්ත්‍රෝපකරණ දැක්විය හැකිය. අපගේ වෙළඳ හිඟය අවම කර ගැනීමට හැකි ඒකම ක්‍රමය වන්නේ අපගේ අපනයන සංවර්ධනය කිරීමයි. අපනයන හා ආනයන එකම කාසියේ දෙපැත්ත වේ. අපට නිෂ්පාදනය කරගත නොහැකි හෝ නිෂ්පාදනය කිරීමෙන් තරඟකාරී වාසියක් අත් කරගත නොහැකි නිෂ්පාදන අප ආනයනය කරමු. අපට තරඟකාරී වාසියක් ලබා ගත හැකි වෙළඳ ද්‍රව්‍ය සහ සේවාවන් අප අපනයනය කරමු. පහත සඳහන් වන්නේ FAO වෙතින් උපුටාගන්නා ලද්දක් වන අතර එහි සාරාංශය වන්නේ ආහාර සුරක්ෂිතතාවය ළඟා කරගත හැක්කේ ගෝලීය සහයෝගීත්වයෙන් පමණක් වන බවයි. “ගෝලීය ආහාර වෙළඳාම දිගටම පවත්වා ගත යුතුවේ. මිනිසුන් විසින් ආහාරයට ගන්නා කැලරි පහකින් සෑම එකක්ම අවම වශයෙන් එක් අන්තර්ජාතික සීමාවක් වත් පසු කර ඇති අතර මෙම තත්වය මීට වසර 40කට පෙර පැවති අගයෙන් 50%ක වැඩිවීමකි.” එමනිසා, අපනයන වර්ධනය කිරීමට අපගේ ඇති නොහැකියාව සහ ඒ සඳහා වූ අපගේ සාම්ප්‍රදායික උදාසීන වූ ප්‍රවේශය නිසා අපේ ජනතාවගේ සැබෑ හා අර්ථවත් ආහාර සුරක්ෂිතතාවය කැප නොකල යුතුය.
ප්‍රකාශිත අදහස් කතුවරයාගේ අදහස් වේ. ඔවුන් ඇඩ්වකාටා ආයතනයේ හෝ ආයතනයට අනුබද්ධිත කිසිවෙකුගේ අදහස් අත්‍යාවශ්‍යයෙන්ම පිළිබිඹු නොකරනු ඇත.
ද මෝනිං හි මුලින් පළ වන ලද්දකි The Morning