රවී රත්නසාබපති

ජීවන වියදම ඉහළ යාම කෙරෙහි බදු කෙතරම් බලපාන්නේද?

මෙම ලිපිය පෙර පලවුනු "How import taxes drive up the cost of living" හි පරිවර්තනයකි.

රවී රත්නසාබපති විසිනි

ජීවන වියදම ගැන නැවතත් කතාබහක් ඇතිවෙලා. ජීවන වියදම ගැන කතාබහ ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. කෝවිඩ් තත්වය හමුවේ දීත් ජීවන වියදම ගැන කතාබහ පෙරදා ටත් වඩා ජනතාවට සමීප මාතෘකාවක් බවට පත් වෙලා.බොහෝ අය ජීවන වියදම ඉහළ යාම Covid-19 තත්ත්වය නිසා ඇතිවූ බවට සිතුවත් පහතින් දක්වා තිබෙන්නේ 2017 පළවූ පුවතක්

ඉන්දියාව සහ චීනය වැනි දැවැන්තයින්ට ආර්ථිකය විවෘත කිරීමට පෙර කර්මාන්තයේ නියැලී සිටින දේශීය සමාගම් ආරක්ෂා කිරීම සඳහා ‘තහනම් කරන ලද නිෂ්පාදන ලැයිස්තුවක්’ හඳුන්වා දීම සඳහා රජයට මැදිහත්වන ලෙස ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය (LCMA) ඉල්ලා සිටියි. - ඩේලි එෆ්ටී, 2017 සැප්තැම්බර් 25

ඉහත දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබෙන සංසිද්ධියකට උදාහරණයකි - එනම් දේශීය කර්මාන්තයක් විසින් තමන් විදේශීය තරඟකාරිත්වයෙන් ආරක්ෂා කරදීම අපේක්ෂා කරන අවස්ථාවකි. මෙම ආරක්ෂාව සාමාන්‍යයෙන් ලබාදෙන්නේ තීරුබදු පැනවීමෙනි. එනම් දේශීය නිෂ්පාදනයට අය නොකරන, නමුත් ඒ හා සමාන ආනයනික නිෂ්පාදනයන් මත පැනවෙන බද්දකි. ඉහත අවස්ථාවෙහිදී, නිදහස් වෙළඳ ගිවිසුමක් (FTA) අත්සන් කර තිබුනද, කර්මාන්තය විසින් දැනට භුක්ති විඳින තීරුබදු ආරක්ෂාව අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස LCMA විසින් රජයෙන් ඉල්ලා සිටී. (නිදහස් වෙළඳ ගිවිසුමක “තහනම් ලැයිස්තුවේ” ඇති අයිතමයක් නිදහස් වෙළඳ ගිවිසුමට යටත් නොවේ. ඒ අනුව වෙළඳ ගිවිසුම පැවතියද අදාල භාණ්ඩය ආනයනයේදී තීරුබදු අයකරයි). උදාහරණයක් ලෙස ආනයනික බිස්කට් සඳහා එහි මිලෙන් 107% ක් පමණ බදු අය කෙරෙන අතර බිස්කට් තහනම් ලැයිස්තුවේ තිබේ නම් නිදහස් වෙළඳ ගිවිසුම නොතකා මෙම බද්ද දිගටම පවතිනු ඇත.

තීරුබදු පැනවුවද, සාමාන්‍යයෙන් විදේශීය අපනයනකරුවන් විසින් සිය නිෂ්පාදිතය සඳහා අය කරන මිල අඩු නොකරති. එබැවින් ආනයනික නිෂ්පාදනයේ දේශීය මිලට තීරුබදු මිල ද අමතරව එකතු වේ.

මෙම ආනයනයන් සමඟ තරග කරන දේශීය නිෂ්පාදකයින් හට ආනයන බද්ද ගෙවීමට අවශ්‍ය නොවන බැවින් වඩා වාසියක් හිමිවේ. තීරුබදු පැනවූ පසු තරඟකාරී ආනයනික නිෂ්පාදන සඳහා පැවති මිලට වැඩි මිලක් දැන් නියමවන බැවිනි දේශීය නිෂ්පාදකයින්ට තමන්ගේම විකුණුම් මිල ඉහළ නැංවීමට මෙයින් අවස්ථාව ලැබේ.

දේශීය නිෂ්පාදකයා ඔහුගේ මිල ගණන් ඉහළ නංවයිද? ඔව්, නැතහොත් එහි කිසිදු ඵලයක් නොමැත. ආනයන සඳහා බදු අය නොකරන අවස්ථාවේ දී දේශීය නිෂ්පාදකයා විසින් පැනවූ මිලට සමානවම ආනයන සඳහා බදු අය කරන අවස්ථාවේදී ද දේශීය නිෂ්පාදකයා විසින් මිල නියම කරන්නේ නම් ආනයන වලින් තීරුබදු ආරක්ෂාවක් ලබා ගැනීමේ කිසිදු තේරුමක් නොමැත. තීරුබදු වල පරමාර්ථය වන්නේ දේශීය නිෂ්පාදකයාට තම නිෂ්පාදනය වැඩි මිලකට විකිණීමට හැකියාව ඇති කිරීමයි.එබැවින් තීරුබදු පැනවීමේ ප්‍රතිඵලයක් ලෙස දේශීය නිෂ්පාදකයාට වඩා හොඳ තත්වයක් උදා වේ.

පාරිභෝගිකයින්ට සිදුවන්නේ කුමක්ද?

තීරුබදු පැනවීමෙන් නිෂ්පාදනය භාවිත කරන දේශීය පාරිභෝගිකයා ද සමානව බලපෑමකට ලක්වේ. ආනයනික නිෂ්පාදන වලට මෙන්ම දේශීය නිෂ්පාදන සඳහා ද ඔවුන් වැඩි මිලක් ගෙවිය යුතුය.

වෙනත් වචන වලින් කිවහොත්, දේශීය කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා ඇත්ත වශයෙන්ම ඉහළ මිල ගණන් ගෙවීමට සිදුවන්නේ පාරිභෝගිකයාටය.

තීරුබදු පනවන රජය පිළිබඳ කුමක් කිව හැකිද?

රජය විසින් විදේශයන්ගෙන් ආනයනය කරන ප්‍රමාණයට බදු අය කරගන්නා අතර දේශීය නිෂ්පාදකයාගෙන් බදු අය නොකරයි. එබැවින් රජය විසින් ආනයනික නිෂ්පාදන වල මිළ ඉහල දැමීමෙන් ලැබෙන ප්‍රතිලාභය හිමිකර ගන්නේ දේශීය නිෂ්පාදකයාය. මෙසේ දේශීය නිෂ්පාදකයා විසින් උපයා ගන්නා අතිරික්තය හැඳින්වෙන්නේ “බදු කුලිය” (rent) ලෙසයි.

මෙසේ බැලූ කල මෙම තීරුබදු පැනවීම හේතුවෙන් දේශීය නිෂ්පාදකයා සහ රජය යන දෙපාර්ශවය ජයග්‍රාහකයන් බවට පත්වන අතර දේශීය පාරිභෝගිකයා පමණක් පරාජිතයෙකු බවට පත්වේ.

තීරුබදු හේතුවෙන් පාරිභෝගිකයාගෙන් වැඩි මිලක් අය කරගැනීමට සමත් වන දේශීය නිෂ්පාදකයා මෙම “බදු කුලිය” වාසියක් ලෙස අත්විඳියි. ආර්ථික විද්‍යාවේදී මෙම “බදු කුලිය (Rent)” හැඳින්වෙන්නේ උපයා නොගත් ත්‍යාගයක් ලෙසයි. නිෂ්පාදකයා හට ඉහල මිලක් නියම කළ හැකි වන්නේ විශිෂ්ඨ ගුණාත්මක භාවය හෝ ඉහළ මට්ටමේ සේවාවක් නිසා නොව රජය විසින් පනවන ලද බද්දක් හේතුවෙනි.

වඩාත් හොඳ ගුණාත්මක භාවයකින් යුත් නිෂ්පාදන ඉදිරිපත් කිරීමෙන් වැඩි මිලක් අය කිරීමට හැකි වූයේ නම් වෙළඳ‌පාලෙහි අඩු මිල ආනයනික නිෂ්පාදන පැවතියද දේශීය නිෂ්පාදකයා විසින් අධිමිලක් උපයා ගනු ඇත. මෙහි ඉතා වැදගත් වෙනසක් ඇත.

මිල අඩු නිෂ්පාදන වෙළඳපොලෙහි පවතින විටදී ඉහළ මිලක් ඇති භාණ්ඩ පාරිභෝගිකයා විසින් මිලදී ගන්නේ එසේ ගෙවන මිලට සරිලන වටිනාකමක් නිෂ්පාදනයේ පවතිනවා නම් පමනි. සිය නිෂ්පාදනය උසස් හා වැඩි මිලක් ගෙවා මිලදී ගැනීමට සුදුසු යැයි පාරිභෝගිකයාට ඒත්තු ගැන්වීමට නම් නිෂ්පාදකයා විසින් සාමාන්‍ය නිෂ්පාදන වලට වඩා අමතර විශේෂත්වයක් සිය නිෂ්පාදන වලට එක් කළ යුතු වේ.

නමුත් තීරුබදු වැඩි කළ විට, සිය නිෂ්පාදනයන් මඟින් පාරිභෝගිකයාට ලැබෙන වටිනාකම වැඩි නොකරම වැඩි මිලක් අය කිරීමට දේශීය නිෂ්පාදකයාට හැකි වේ. මෙම තත්වය මත පාරිභෝගිකයා හට මිල අඩු ආදේශකයන් තෝරා ගත හැකිව තිබුනද තීරුබදු හේතුවෙන් ආදේශක වල මිල ඉහල ගොස් ඇත. එහෙයින් පාරිභෝගිකයා හට වැඩි මිලක් ගෙවීමට අවශ්‍ය නොවූවද වෙනත් විකල්පයක් නොමැති බැවින් එසේ වැඩි මිලක් ගෙවීමට සිදුවේ. මේ හේතුවෙන් මෙම අවස්ථාවේදී නිෂ්පාදකයාට හිමිවන ඉහළ මිල උපයා නොගත් ඉහළ මිල/අධිමිල ලෙස හැඳින්වේ. මෙයින් අදහස් වන්නේ නිෂ්පාදනයෙන් පාරිභෝගිකයාට වැඩි වටිනාකමක් නොලැබුනද පාරිභෝගිකයා විසින් වැඩි මිලක් ගෙවනු ලබන බවයි.

මෙලෙස, නිෂ්පාදකයින් විසින් පාරිභෝගිකයාගෙන් අමතර ලාභ උපයා ගනියි. ඉහත සඳහන් කළ පරිදි, දේශීය කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා ගෙවීමට සිදුවී ඇත්තේ දේශීය පාරිභෝගිකයාටයි. (විදේශීය නිෂ්පාදකයන්ට නොවේ.) මෙහි අවසන් බලපෑම වනුයේ පාරිභෝගිකයාගෙන් නිෂ්පාදකයා වෙත මුදල් ගලා යාම වන අතර ඊට පහසුකම් සලසා ඇත්තේ තීරු බදු විසිනි. මෙය යහපත් ප්‍රතිපත්තියක්ද?

මෙම තත්වය කර්මාන්ත සුළු ගණනකට පමණක් සීමා වී නම් එය එතරම් බලපෑමක් ඇති නොකරනු ඇත. නමුත් ශ්‍රී ලංකාවේ මෙය විශාල කර්මාන්ත ගණනාවකටම පැතිරී තිබේ. එසේ බලපා ඇති ගෘහස්ථ භාණ්ඩ 30කට වඩා ප්‍රමාණයක් පහත ලැයිස්තුගත කර ඇත. මේ එවන් භාණ්ඩ විශාල සංඛ්‍යාවකින් තෝරාගත් අතළොස්සක් පමණි. ශ්‍රී ලංකාවේ ජීවන වියදම ඉහල යාමට හේතුව මෙයින් පැහැදිලි වේ. ආහාර (පළතුරු, මස්, පැස්ටා, ජෑම්) සහ ශෝධන උපකාරක (සබන්, ෂැම්පු, දන්තාලේපන) වල සිට ගෘහස්ථ නිෂ්පාදන දක්වා සියලුම භාණ්ඩ මත 62% සිට 101% දක්වා බදු අය කෙරේ.

Food+Items+total+tax.jpg

දේශීය කර්මාන්ත වලට සහය වීමට ශ්‍රී ලාංකික පාරිභෝගිකයා හට අධික ජීවන වියදමක් දැරීමට සිදුවී තිබේ. දීර්ඝ කාලීනව දේශීය නිෂ්පාදකයින්ට සහය වීමෙන් කර්මාන්ත පදනමක් ඇතිවී වර්ධනය වේගවත් වනු ඇතැයි මතයක් පවතියි.

ජපානය, කොරියාව සහ තායිවානය කර්මාන්ත ප්‍රතිපත්තිය (IP) පිළිපැදි රටවල් වේ. නමුත් මෙම ප්‍රතිපත්ති ඉදිරිපත් කළ පිරිස පවා පිළිගත් දෙයක් නම් එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා නිවැරදි කර්මාන්ත තෝරාගැනීමේදී ප්‍රවේශම් විය යුතු බවයි. ජපානයේ සහ කොරියාවේ ප්‍රධාන කර්මාන්තයන් වානේ, නැව් තැනීම, බර විද්‍යුත් යන්ත්‍රෝපකරණ, රසායන ද්‍රව්‍ය වූ අතර මෝටර් රථ ද පසුව ඒ අතරට එක් විය. තායිවානයෙහි බර හා රසායන ද්‍රව්‍ය කර්මාන්තයන්ට හා ඉලෙක්ට්‍රොනික උපාංග කර්මාන්තයන්ට යොමු වීමට පෙර ප්‍රධාන කර්මාන්ත ලෙස සැහැල්ලු නිෂ්පාදන පැවතින. (විදුලි උපාංග, රෙදිපිළි)

සබන්, ෂැම්පු, රෙදි සෝදන කුඩු, බිම ඔප දමන පොලිෂ්, පැස්ටා, චීස් සහ බිස්කට් වැනි ශෝධන උපකාරක, ගෘහස්ථ පිරිසිදුකාරක නිෂ්පාදන සහ ආහාර සඳහා මෙය අනුකරණය කිරීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය බව පෙනේ.

hhdsjhd.jpg


සාර්ථක වීමට නම්, කාර්මික ප්‍රතිපත්ති මඟින් ආර්ථිකයේ ව්‍යුහාත්මක පරිවර්තනයක් ඇති කළ යුතු අතර එමඟින් රැකියා අවස්ථා, විශේෂයෙන් වඩා ඵලදායී හා වඩා හොඳ රැකියා අවස්ථා උත්පාදනය වනු ඇත. නිවැරදි කර්මාන්තය තෝරාගැනීම වැදගත් වේ.

“රටේ තාක්‍ෂණික හැකියාවන් සහ ලෝක වෙළඳපොල තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ඉලක්කගත කර්මාන්ත තෝරාගනු ලබන්නේ කෙතරම් ප්‍රායෝගිකවද යන්න වැදගත් වේ” [1]

කර්මාන්ත ප්‍රතිපත්තිය යෝජනා කළ පිරිස විසින් කර්මාන්ත අංශයන් තෝරාගැනීම සඳහා ඉදිරිපත් කළ නිර්ණායකයන් කෘග්මන් [2] විසින් මෙලෙස සාරාංශගත කර සිටියි:

එක් සේවකයෙකු සඳහා ඉහළ අගය එකතු කිරීම. සැබෑ ආදායම ඉහළ යා හැක්කේ එක් සේවකයෙකුට වැඩි වටිනාකමක් එක් කරන සම්පත් ව්‍යාපාර වෙත ගලා එන්නේ නම් පමණි.

වානේ සහ අර්ධ සන්නායක වැනි එකිනෙකට සම්බන්ධ කර්මාන්ත. එක් කර්මාන්තයක නිෂ්පාදනය කෙරෙන ඵලය වෙනත් කර්මාන්තයක යෙදවුම් ලෙස භාවිත කරමින් කාර්මිකකරණ චක්‍රයක් නිර්මාණය කළ හැකිය. ජපානයේ ලාභ, උසස් තත්ත්වයේ වානේ මගින් නැව්, මෝටර් රථ, රේල් පීලි, දුම්රිය එන්ජින්, බර විදුලි උපකරණ යන කර්මාන්ත වලට තරඟකාරී වාසියක් ලබා දුන්නේය.

ලෝක වෙළඳපොළවල වර්තමාන හෝ අනාගත තරගකාරීත්වය. කර්මාන්තයට මෙම පරීක්ෂණයට මුහුණ දිය හැකි නම්, සම්පත් කාර්යක්ෂමව වෙන් කර ඇතැයි අපට අනුමාන කළ හැකිය. එකිනෙකට සම්බන්ධ ප්‍රතිලාභ ගලායාම සඳහා තරඟකාරිත්වය ඉතා වැදගත් වේ.

මහා පරිමාණ නිෂ්පාදනය තුළින් වැඩි ආර්ථික වාසි ලබා ගැනීම සඳහා තෝරාගත් කර්මාන්ත අපනයන ඉලක්ක කර ගත යුතුව ඇත (නමුත් අපනයන පමණක්ම නොවේ). එසේම “රජය විසින් ප්‍රවර්ධනය කරන ලද ව්‍යවසාය වල ක්‍රියාකාරිත්වය විනිශ්චය කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින්ට පැහැදිලි නිර්ණායකයක්” [3] සපයන බැවින් ද තෝරාගත් කර්මාන්ත අපනයන ඉලක්ක කළ යුතු වේ. ලතින් ඇමරිකාවේ කාර්මික ප්‍රතිපත්තිය අසමත් වීමට ප්‍රධාන හේතුව නම් අපනයන ප්‍රවර්ධනය කිරීමට අපොහොසත් වීමයි. (Chang, 2009)

අපනයන අවධානය තරඟකාරිත්වය ද සහතික කරයි. මෙම ප්‍රතිපත්තියේ අරමුණ වන්නේ අකාර්යක්ෂමතාව ආරක්ෂා කිරීම නොව ඵලදායිතාව වැඩි දියුණු කිරීමයි.

එබැවින් කාර්යසාධන ඉලක්කයන් සපුරාලීමේ කොන්දේසි සහිතව කර්මාන්ත සඳහා සහය සැපයිය යුතුවේ.

“කාර්මික ප්‍රතිපත්තියේ (හෝ සාමාන්‍යයෙන් ඕනෑම ප්‍රතිපත්තියක) ප්‍රතිඵල ප්‍රබල ලෙස රඳා පවතින්නේ අපේක්ෂිත ප්‍රතිඵල රජයට කෙතරම් ඵලදායී ලෙස අධීක්ෂණය කළ හැකිද යන්න මත වේ. එමෙන්ම ලැබෙන ප්‍රතිඵල අනුව වෙන් කරන ප්‍රතිපාදන වෙනස් කිරීම සහ ආධාරක කොන්දේසි වෙනස් කිරීම මත ද අවසන් ප්‍රතිඵලය රඳා පවතියි” [4]

කර්මාන්තය සමඟ එක්ව කටයුතු කරමින් ඉලක්ක සකස් කිරීම සඳහා ජපානයේ සහ කොරියාවේ විචාරණ විධායක සභා (Deliberation Councils) පිහිටුවන ලදී. ඉලක්ක වල දැඩි බව සහතික කිරීම සඳහා ස්වාධීන තාක්ෂණික විශේෂඥයින්, ශාස්ත්‍රීය විද්වතුන් සහ වෙනත් අය ද සම්බන්ධ කර ගන්නා ලදි.

කාර්ය සාධනය අධීක්ෂණය කරමින් ඉලක්කයන් සංශෝධනය කෙරේ. ප්‍රතිපත්තියක් අකාර්යක්ෂම යැයි පෙනෙන විට එය සංශෝධනය කරනු ලබයි. කාර්මික ප්‍රතිපත්තිය යනු ජයග්‍රාහකයින් තෝරා ගැනීම පමණක් නොව පරාජිතයින් ඉවත් කිරීම ද වේ.

“කාර්මික ප්‍රතිපත්තියේ සාර්ථකත්වය රඳා පවතින්නේ විවිධ ප්‍රතිපත්තිමය ක්‍රම (තීරුබදු, සහනාධාර, පිවිසුම් බාධක) හරහා බදු කුලී ලබන්නන් හික්මවීමට රජය කෙතරම් උනන්දු වන්නේද යන්න හා ඒ සඳහා රජයට ඇති හැකියාව මත ය. මෙහි අර්ථය කාර්මික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේදී නොවැළැක්විය හැකි වෙළඳ‌ෙපාල හික්මීම නොමැතිකම පාලනය කර එම හික්මවීම ඇති කිරීම සඳහා වන කාර්යභාරය රජය විසින් ඉටු කළ යුතු බවයි. ”[5].

කර්මාන්තයට දක්වන සහය සම්බන්ධයෙන් අපක්ෂපාතී තීරණ ගැනීමට සහ කාර්ය සාධනය මත පදනම්ව සහාය වෙනස් කිරීමට හෝ ඉවත් කර ගැනීමට දේශපාලන පීඩනයෙන් තොර නිලබල ක්‍රමයක් පැවතීම මේ සඳහා අවශ්‍ය වේ.

“පෞද්ගලික අංශයේ ප්‍රාණ ඇපකරුවන් බවට පත් නොවී රජය පෞද්ගලික අංශය සමඟ කෙතරම් සමීපව කටයුතු කරනවාද යන්න ඉතා වැදගත්ය.” [6]

සාර්ථක කාර්මික ප්‍රතිපත්තියක් යනු කර්මාන්තය සහ රාජ්‍යය අතර සංකීර්ණ හවුල්කාරිත්වයක් වන අතර එය පාලනය වන්නේ තරගකාරිත්වය සහ ඵලදායිතාවයේ මූලික මූලධර්ම මගින් බව පැහැදිලි වේ. අවාසනාව වන්නේ ශ්‍රී ලංකාවේ මෙය සිදුවන්නේ නැගෙනහිර ආසියාවේ මෙන් නොව ලතින් ඇමරිකාවේ සිදුවූ හා සමානව වීමය.

“නිර්මාණය කරන ලද කර්මාන්ත බොහෝ විට නොනැසී පැවතියේ ආරක්ෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් බැවින් ආනයන ආදේශන ප්‍රතිපත්ති සඳහා, විශේෂයෙන් ලතින් ඇමරිකාවේ දී නරක නාමයක් ලැබුනි. රටවල් අතරමැදි භාණ්ඩ ආරක්ෂා කරන විට එය විශේෂයෙන් පාඩු ඇති කරවන්නක් විය. මන්ද එයින් නිෂ්පාදන දාමයේ පහතින් පවතින භාණ්ඩ වල තරගකාරීත්වය අඩු කළ බැවිනි. මේ ආකාරයේ ආරක්ෂණවාදයන් හේතුවෙන් රටවල් බොහෝ විශාල පාඩු දරා ඇති අතර මෙම ආරක්ෂාව නඩත්තු කිරීම බොහෝ විට දූෂණයට ද සම්බන්ධ විය. ” [7]

මුල්ම ලිපිය Daily News පුවත්පතේ පළ කරන ලදි.

——————————-

[1] Chang, H. J, 2006. Industrial policy in East Asia – lessons for Europe. An industrial policy for Europe? From concepts to action EIB Papers, [Online]. Vol 2 No.6, 106-132. (Accessed 07 January 2019)

[2] Paul R. Krugman, 1983. Targeted Industrial Policies: Theory and Evidence. [Online] (Accessed 07 January 2019)

[3] Ibid

[4] M Khan, 2018. The Role of Industrial Policy: Lessons from Asia. [Online] (Accessed 07 January 2019)

[5] Ibid

[6] Ibid

[7] Joseph E. Stiglitz. Industrial Policy, Learning, and Development. [Online] (Accessed 07 January 2019)