Erandi de Silva

අපේ දේශසීමා අතර බදු පැනවීමෙන් ඇතිවන ප්‍රශ්ණය මොකක්ද?

මෙම ලිපිය පෙර පලවුනු "Trouble at our borders" හි පරිවර්තනයකි.

එරන්දි ද සිල්වා විසිනි

ශ්‍රී ලංකාව තුළ දීර්ඝ කාලයක සිට පැවත එන “දේශසීමා ගාස්තු” ක්‍රමය සාමාන්‍ය ජනතාවට නොතේරෙන හතර අතේ පැටලුනු නූල් බෝලයක් වගෙයි. දේශසීමා ගාස්තුවක් යනු අපගේ සියලු ආනයන වලට යටත් වන සාමාන්‍ය රේගු බද්ද මත අය කරනු ලබන තීරුබදු වර්ගයකි. මෙරට ආනයනයන්ගෙන් බොහොමයකට සාමාන්‍ය රේගු බද්ද පමණක් නොව වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බද්ද, “සෙස්-CESS” (අපනයන සංවර්ධන මණ්ඩල බද්ද) සහ VAT බදු (අගය එකතු කළ බද්ද) ද විඳදරා ගැනීමට සිදුවීම පුදුම සහගත ය.

අපගේ වර්තමාන තීරුබදු ක්‍රමයේ බලපෑම්

මෙම බදු පනවා ඇත්තේ රජයට ආදායම් ලබා ගැනීමේ අරමුණින් සහ ආරක්ෂක ගාස්තු වශයෙනුත්, විශේෂිත දේශීය ව්‍යාපාර ආරක්ෂා කිරීම සහ ආනයන අඩු කිරීම සඳහාත් ය. කෙසේ වෙතත්, තිත්ත ඇත්ත නම්, මේ හරහා දේශීය ජනතාවට ලබා ගත හැකි ආනයනික භාණ්ඩවලට ඇදහිය නොහැකි තරම් අධික මිලක් එක්වීමයි. ඉන් ජාත්‍යන්තර වෙළඳාමට ද වැටකඩුළු බැ‍ඳෙයි. රේගු තීරුබදු දැනටමත් 30% ක් වුවද, දේශසීමා ගාස්තු එක්වූ පසු, බොහෝ භාණ්ඩ සඳහා (ආහාරවල සිට පුද්ගලික භාණ්ඩ දක්වා) වන මුළු බද්ද 50% සිට 100% දක්වා ඉහළ යා හැකිය. මෙය අපට පරිභෝජනය කිරීමට අවශ්‍ය නිෂ්පාදන තෝරා ගැනීමේ හැකියාව දැඩි ලෙස සීමා කරන අතර බොහෝ දෙනෙක්ට අත්‍යාවශ්‍ය භාණ්ඩ පවා මිලදී ගැනීමට ඇති හැකියාව ද නැති කර දමයි.

තවත් මූලික කාරණයක් වන්නේ දේශසීමා ගාස්තු පුළුල් කිරීමේ ක්‍රියාවලියේදී සාමාන්‍ය ජනතාවට විනිවිදභාවයක් නොදැක්වීම යි. මෙම බදු වල සංකීර්ණත්වය සහ අපගේ භාණ්ඩවල පිරිවැය කෙරෙහි ඒවා දක්වන බලපෑම පිළිබඳව බොහෝ දෙනා නොදැන සිටියත්, වර්තමාන ක්‍රමය මඟින් තීරුබදු පිළිබඳව අවබෝධයක් ලබාගැනීම ද අතිශය වෙහෙසකර හා ව්‍යාකූල වී තිබේ. එනම්, කිසියම් භාණ්ඩයකට බදු පැනවෙන්නේ කෙසේදැයි අවබෝධ කරගැනීම ලේසි පහසු වැඩක් නොවේ! සරලව කීවොත් ලංකාවේ බදු පැනවෙන ආකාරය තේරැම් ගැනීම කරන්න අමාරු දේකට වඩා තේරුම් ගැනීමට නොහැකි දෙයක් බවට පත් කර තිබේ.. 

එපමණක් ද නොව, මෙම ‘අන්තෝ ජටා - බහි ජටා’ ආකාරයේ පද්ධතිය කෙතරම් පැටලුම් සහගත ද යත්, දේශීය ආනයනකරුවන්ට තම ව්‍යාපාරයට අවශ්‍ය අමුද්‍රව්‍ය හෝ කර්මාන්තය ගොඩ නගා ගැනීමට අවශ්‍ය උපකරණ ගෙන ඒමේදී ද නොසිතූ විරූ පරිදි සුවිසල් බදු පැනවීම් සිදු වේ. ඉන් ඔවුන්ගේ වියදම් ඉහළ යන අතර, ආනයනික අමුද්‍රව්‍ය මත යැපෙන ව්‍යාපාරවලට දියුණු වීමට ඇති අවස්ථාව ද අහිමි වී යයි. ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් 2019 දී කරන ලද අධ්‍යයනයකින් මෙය අවධාරණය කර ඇති අතර, දේශීය අපනයනකරුවන්ට ආනයනික යෙදවුම් සඳහා තරඟකාරී මිල ගණන් නොලැබීම ප්‍රධාන අභියෝගයක්ව ඇති බව එය වාර්තා කරයි.

ආනයන මත යැපෙන්නේ නැති දේශීය නිෂ්පාදකයින්ට මේ හරහා විදේශීය තරඟය නැතිව යයි. එසේ වුවත්, ඔවුන්ගේ නිෂ්පාදන වැඩි දියුණු කිරීමට සහ ඒවායේ මිල අඩු කිරීමටවත් කිසිදු දිරිගැන්වීමක් නොමැත. ඔවුන්ට ආනයනික නිෂ්පාදන පරිද්දෙන්ම දේශීය නිෂ්පාදනවලත් මිල රිසිසේ ඉහළ දැමිය හැකිය. මින් සිදු වන්නේ අපේ නිෂ්පාදන ජාත්‍යන්තර වශයෙන් තරගකාරී මට්ටමකට නොයා, හුදෙක් අනවශ්‍ය ලෙස මිල ඉහළ යාම ම පමණි. එසේම තම අසාධාරණ ලාභය ආරක්ෂා කර දීමට රජය කටයුතු කරතැයි ඔවුන් බලාපොරොත්තු වෙයි. කෙටියෙන් කිවහොත් මේ පද්ධතිය ඵලදායී බවින් තොර එකකි. ඉන් සිදුවන්නේ ආනයනික භාණ්ඩ මිලදී ගත නොහැකි මට්ටමට පත්වීම සහ දේශීය ව්‍යාපාර රැසකට හිස එසවීමට ඇති හැකියාව අහෝසි කිරීමකි.

සුබදායී ප්‍රතිසංස්කරණ සඳහා මාර්ගෝපදේශ

රජයට ශ්‍රී ලංකා ජනතාවගේ ජීවිත සුපසන් කිරීමට ඇත්තටම අවශ්‍ය නම් කළ යුත්තේ, පාරිභෝගිකයාට තෝරා ගැනීමට ඇති භාණ්ඩ මාදිලි ප්‍රමාණය වැඩි කිරීමත්, දේශීය ව්‍යාපාර නගා සිටුවීමත් ය. මෙය විසඳීමට ගත හැකි හොඳම, සහ ඵලදායී පියවර වන්නේ නිදහස් වෙළඳාමක් ඇති කරලීමයි. වත්මන් සංකීර්ණ පද්ධතිය ඒකාකාර ගාස්තු අනුපාතයකින් ප්‍රතිස්ථාපනය කිරීම එහි පළමු පියවර වනු ඇත.

ඉහත විස්තර කර ඇති කරුණු සැලකිල්ලට ගත් විට, අපගේ වර්තමාන සංකීර්ණ දේශසීමා ගාස්තු ක්‍රමය රටේ ආර්ථික අවශ්‍යතාවන්ට හා අනාගත වර්ධනයට අහිතකර බව පැහැදිලිය. මෙය වෙනස් කළ යුතු කාලය දැන් පැමිණ තිබෙන අතර, යම් තරමකට රජය ද එම තීරණයට එළඹෙමින් සිටියි. ජාතික ප්‍රතිපත්ති රාමුව තුළ එහි සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුව යටතේ “දේශීය නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා අමුද්‍රව්‍ය සහ අතරමැදි භාණ්ඩ සඳහා වන ආනයන බදු අඩු කිරීම” යන්න ඇතුළත් තිබේ. සැබෑ ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තීරුබදු ප්‍රතිසංස්කරණ වඩාත් පුළුල් විය යුතු අතර මෙය එහි එක් අංගයක් සේ දැක්විය හැකිය.

දේශීය නිෂ්පාදකයන්ට රැකවරණය සලසන ‘ආරක්ෂණවාදයේ’ සිට ‘ලිහිල් වෙළඳ ක්‍රමයක්’ වෙත පිය මං කරමින් සිටින චිලී රාජ්‍යය දේශසීමා ගාස්තු අඩු කිරීම තුළින් දැවැන්ත සංවර්ධනයක් අත්විඳ තිබේ. දේශසීමා ගාස්තු ක්‍රමය සරල කිරීම සඳහා වූ මෙම ප්‍රතිසංස්කරණ මඟින් දේශීය සම්පත් ඵලදායීව බෙදීයෑමෙන් ඇතැම් කර්මාන්ත සහ දේශීය නිෂ්පාදකයන්ට විශේෂ කොට සැලකීම වැළකිණි. එමඟින් වෙළඳපළ වඩාත් තරගකාරී ලෙස පරිණාමය වූ අතර දේශීය ව්‍යාපාරවලට අවශ්‍ය ආනයනික භාණ්ඩ / අමුද්‍රව්‍ය ලබා ගැනීම පහසු විය. මෙය අපනයන අංශයේ වර්ධනය වේගවත් කිරීමට උපකාරී වූ අතර 1990 සිට 2003 දක්වා මුළු අපනයන පරිමාව 8.1% ක වාර්ෂික අනුපාතයකින් ඉහළ ගියේ ය. මුල් කාලීන ගාස්තු අනුපාතය සාපේක්ෂව ඉහළ මට්ටමක පැවතිය ද, ඒකීය අනුපාතයක් ක්‍රියාත්මක කිරීම ධනාත්මක ප්‍රතිඵල සමග නිදහස් වෙළඳ ආර්ථිකය දිරි ගැන්වීය. ඒකීය ගාස්තු අනුපාතය 2003 වර්ෂය දක්වා කාලයත් සමඟ ක්‍රමයෙන් අඩු වූ අතර, දැන් චිලී රාජ්‍යය 6% ක් තරම් අඩු ඒකීය ගාස්තු අනුපාතයක් සහ ඊට සම්බන්ධ රටවල් සඳහා වන තීරුබදු මුළුමනින්ම ඉවත් කරන නිදහස් වෙළඳ ගිවිසුම් (FTA) යටතේ කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ තත්වය ඊට සමාන නොවූවත්, ගාස්තු ක්‍රමය සරල කිරීම තුළින් එය අවබෝධ කරගැනීමේ පහසුව, විනිවිදභාවය වැඩිවීම, වෙළඳාමට පැනවෙන බාධක අවම වීම යනාදිය හරහා ආර්ථික වර්ධනයට නිදහස හිමි වනු ඇත. එය මේ ගමනෙහි අන්තය නොවූවත්, රජයට එම ගාස්තු සාපේක්ෂව ඉහළ මට්ටමක පවත්වා ගැනීමට අවශ්‍ය නම්, දේශසීමා ගාස්තු ක්‍රමය ඉවත් කර, සියලු දේශීය කර්මාන්ත සඳහා එකම මට්ටමේ ආරක්ෂාවක් ඇතුළත් තනි, ඒකීය අනුපාතයක් පැනවිය හැකිය.

අවම වශයෙන්, එම පද්ධතිය සරල කිරීමෙන් සහ නිෂ්පාදන තීරුබදුවල අපැහැදිලිතාවන් ඉවත් කිරීමෙන් වඩාත් හොඳ ආනයන වෙළඳාමකට දොරටු විවෘත වෙයි. චිලී රාජ්‍යයේ සිදු කරන ලද මෙම ප්‍රතිසංස්කරණ මෙන් අපේ රටේ දේශීය සමාගම් සඳහා ද ආනයනික යෙදවුම් සඳහා ප්‍රවේශය පුළුල් කිරීමෙන් දේශීය ව්‍යාපාර සහ අපනයන අංශය වැඩිදියුණු කළ හැකි වනු ඇත. කෙසේවෙතත්, දිගු කාලීනව බදු අනුපාතය තවදුරටත් ඇදහිය නොහැකි තරම් ඉහළ මට්ටමක පවතී නම්, ඒකීය ගාස්තු ක්‍රමයක් බිහි නොවනු ඇත. එවිට ශ්‍රී ලංකාවට සමස්ත තීරුබදු අනුපාතය ක්‍රමයෙන් අඩු කිරීමටත්, වඩාත් පැහැදිලිව වටහා ගත හැකි තීරුබදු පද්ධතියක ප්‍රතිලාභ ලබමින් වෙළඳ කටයුතු පහසු කිරීම සඳහා නව උපාය මාර්ගවල නිරත වීමටත් සිදුවනු ඇත.

රජය නිවැරදි ක්‍රියාමාර්ග ගන්නේ නම්, මෙය වඩාත් ක්‍රියාකාරී හා ඵලදායී තීරුබදු ක්‍රමයක් සඳහා වූ ස්වර්ණමය මාවතක ආරම්භය විය හැකිය. නමුත් ගැටළුව නම්, “ඒ වෙනුවෙන් කැප කිරීමක් කරන්නට අප සූදානම් ද?” යන්නයි.

මුල් වරට පළ කරන ලද්දේ: The Morning