ලංකාව කියන්නේ අතීතයේදී කෘෂිකර්මය තමන්ගේ ප්‍රධාන ජීවනෝපාය කර ගත්ත රටක්. ඒ වගේම අනෙකුත් ආසියාතික රටවල් වගේ කෘෂි කර්මාන්තය මත යැපුණු, ඒ මත දිගු විශාල සංස්කෘතියක් එක්ක ගොඩනැගිච්ච රටක්. ලංකාවේ කෘෂිකර්මාන්තය ප්‍රධාන වශයෙන් පහතරට තෙත් කලාපීය කුඹුරු, හේන් ගොවිතැන සහ ගෙවතු වගාව කියන අංශ තුන යටතේ සිද්ධ වුණා. ලංකාවේ හිටපු පැරණි රජවරු කෘෂිකර්මාන්තයේ දියුණුව වෙනුවෙන් වාරිමාර්ග පද්ධතිය විධිමත් කරපු නිසා අදටත් ඒවායේ ප්‍රයෝජන තියෙනවා. මීට අමතරව ලංකාවේ කුළුබඩු, මුතු මැණික්, ඇත් දළ වගේ දේවල්වලට ලංකාව ලෝකයේ අනෙක් රටවල්වල ප්‍රසිද්ධියක් තිබුණා වගේම යම්තාක් දුරකට විදේශ රටවල් එක්ක වෙළඳාම් කළා. පසුකාලීනව ලංකාව යටත් විජිතයක් වුණාට පස්සේ ලංකාව ද්විත්ව ආර්ථිකයක් බවට පත් වුණා. ඒ කියන්නේ කෘෂිකර්මාන්තයට අමතරව ආර්ථිකයට වෙනත් රටවල් සමඟ කරන වෙළඳ කටයුතුවලට විශාල වශයෙන් විවෘත වුණා.. විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයන් ලංකාව යටත් කර ගත්තාට පස්සේ එයාලට අරමුණ වුණේ කුළු බඩු සහ තේ, කෝපි වගේ දේවල් වගා කිරීම මිසක් ආහාර භෝග වගා කිරීම නෙවෙයි.
ලෝකයේ ආර්ථික විකාශනය ගත්තොත් ඒක කෘෂිකාර්මික අංශයේ විප්ලවයත් සමඟ මහා පරිමාණ කෘෂිකාර්මික කටයුතු ආරම්භ වුණා. ඒත් එක්කම කෘෂි අංශයට අවශ්‍ය උපකාරක සේවාවල දියුණුවත් එක්ක කාර්මික සහ සේවා අංශ දියුණු වෙන්න පටන් ගත්තා. ඔය විදිහට තමයි ටිකෙන් ටික ලෝක ආර්ථිකය පවා කෘෂිකර්මාන්තයේ ඉඳලා කාර්මික සහ සේවා අංශවලට විතැන් වුණේ. මේ විදිහට ලංකාවත් ලෝකයේ අනිත් රටවල් වගේම කාලයත් එක්ක කෘෂිකර්මාන්තයට වඩා වෙනත් අංශවලට යොමු වුණා. 2022 වෙනකොට කෘෂිකර්මාන්තයෙන් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වය 7.5% වගේම ශ්‍රම බලකායෙන් 26.5% පමණයි කෘෂිකර්මාන්තයේ සේවා නියුක්ත වෙලා ඉන්නේ. ඒත් ලංකාවේ කෘෂිකර්මාන්තයේ සැබෑ ප්‍රශ්නය ලංකාවට විශේෂ හේතු නිසා ඇති වුණ එකක්.
ලංකාවේ ඉන්න කෘෂිකර්මාන්තයේ යෙදෙන පිරිස කවුද?
මේ වෙනකොට ලංකාවේ වැඩියෙන් ඉන්නේ කුඩා පරිමාණ ගොවි මහතුන්. එයාලාට පාරම්පරිකව ලැබුණු ඉඩම් සහ අත්දැකීමෙන් ලැබුණු අවබෝධයක් තමයි තියෙන්නේ. මේ නිසා වෙනත් රටවල්වල වගේ මහා පරිමාණ ගොවි බිම්, නවීන තාක්ෂණය සහ කාර්‍යක්ෂමතාව කියන දේවල් ලංකාවේ දකින්න ලැබෙන්නේ අඩුවෙන්. කොහොම වුණත් රටේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් මේ ගොවි මහතුන් තමන්ගේ දායකත්වය ලබා දෙනවා.. හැබැයි එතනදි මේ ගොවි මහතුන් මුහුණ දෙන ප්‍රධාන ගැටළු කීපයක් තියෙනවා. උදාහරණයක් විදිහට බොහෝ ගොවිමහතුන්ට වාණිජමය කෘෂිකර්මයේ නිරත වීමට තරම් ප්‍රමාණවත් සම්පත්, වෙළඳපළ ප්‍රවේශය හෝ තාක්ෂණය ඇත්තේ නෑ. මේ නිසා යැපුම් කෘෂිකර්මාන්තයේ රැඳී ඉන්න ඔවුන්ට සිද්ධ වෙලා තියෙනවා. සමහර ගොවි මහතුන් ආයෝජනය කිරීමටත් මේ කර්මාන්තයේ රැඳී සිටීමටත් කැමැත්තක් තිබුනත්, ඉඩම් අයිතිය, ප්‍රාග්ධනය සපයා ගැනීම සහ කෘෂිකර්මාන්තයේ අස්වැන්න සම්බන්ධයෙන් තියෙන රජයේ දැඩි නීතිරීති සහ ප්‍රතිපත්ති නිසා තවදුරටත් කෘෂිකර්මාන්තයේ රැඳී හිඳිමින් මහා පරිමාණ කෘෂිකාර්මික කටයුතුවල නිරත වෙන්න ඔවුන් කැමැත්තක් දක්වන්නේ නෑ.
ලංකාවේ කෘෂිකර්මාන්තයේ ඵලදායිතාව ඉහළ නංවන්න කල යුත්තේ මොනවාද?
ලංකාවේ වගා කල හැකි ඉඩම් තියෙන්නේ අඩුවෙන්. ඒවායේ අයිතියත් ප්‍රශ්න සහගතයි. ඉඩම් අයිතිය ගත්තම ලංකාවේ ඉඩම්වලින් 82% අයිතිය රජය සතුයි. ඒ නිසාම ඉඩම් භාවිතය, ආයෝජන කටයුතු සීමා වෙලා තියෙනවා. ඒ නිසාම ඉඩම්වල සම්පූර්ණ කාර්‍යක්ෂමතාව සහ භාවිතය සිද්ධ වෙන්නේ නෑ. ඉඩම් ඇරුණම වගා කරන්න අවශ්‍ය ජලය සපයා ගැනීම, පොහොර සහ වෙලඳපල ප්‍රවේශය කියන හැම දෙයක් ම විශේෂයෙන් කුඩා පරිමාණ කෘෂිකාර්මිකයන් මුහුණ දෙන ප්‍රධාන ගැටළු. පසුගිය කාලේ අහන්න දකින්න ලැබුණ දේවල්වලින් කාටත් පැහැදිලි වුණා වාරිමාර්ග පරිපාලන ගැටළු, සම්බන්ධීකරණ සහ කලමණාකරණ ගැටළු. විශාල ඔළුගෙඩි ගානකින් පුරවපු අමාත්‍යංශ දෙපාර්තමෙන්තු අධිකාරි තිබුණට නියපොත්තෙන් කඩන්න තිබ්බ දේ පොරවෙන් කපන්න වෙනකම් බරපතල වුණ ප්‍රශ්න කෘෂිකර්මය වසාගෙන. විශේෂයෙන් ම රාජ්‍ය අංශය මේ කියන දේවල්වලට අසාර්ථක විදිහට හරි මැදිහත් වෙලා ඉන්න නිසා පෞද්ගලික අංශය කෘෂිකර්මාන්තයට විශාල වශයෙන් සම්බන්ධ වෙලා නෑ. නමුත් කෘෂි අංශයේ තියෙන ප්‍රශ්න ගොඩකට විසඳුම්, තාක්ෂණය, හැකියාව, ප්‍රාග්ධනය සහ සම්පත් තියෙන්නේ නම් පෞද්ගලික අංශය ඇතුලේ. විශේෂයෙන්ම විධිමත් මූල්‍ය පහසුකම් පහසුවෙන් ලබා ගන්න බැරි වෙද්දි අවිධිමත් ක්‍රමවලින්, ඉහළ පොලියට ණය අරගෙන ගොවිතැන් කරන්න සිද්ධ වෙන නිසා කෘෂිකර්මාන්තයේ නිරත වෙලා ඉන්න පිරිස් මුදල්මය වශයෙන් බාධාවන්ට මුහුණ දෙනවා. අවසානයේදී තමන්ට ලාභයක්වත්, ණය පියවා ගන්න තරම්වත් මුදලක් ගොවි මහතුන්ට ලැබෙන්නේ නෑ.
ලංකාවේ ඉඩම් ගැටළුව
ශ්‍රී ලංකාවේ ඉඩම් පරිපාලනය කියන්නේ රට තුළ ඇති ඉඩම් සහ එම ඉඩම්වල ඇති සම්පත් කළමනාකරණය සහ ඒවා සම්බන්ධයෙන් අදාල වන නීති ක්‍රියාත්මක කිරීමයි. ලංකාවේ ඉඩම් අයිතිය සැලකීමේදී බොහෝමයක් ඉඩම් රජය සතු වීම නිසා පෞද්ගලික අංශයට ආයෝජන කටයුතුවලට යොදා ගත හැකි ඉඩම් ප්‍රමාණය සීමිතයි. රජය සතු ඉඩම් යටතේ, ඉඩම් බලපත්‍ර, රජයෙන් දිගුකාලීන බදු පදනම මත ලබා දෙන ඉඩම්, බද්දට දෙන ඉඩම් සහ ඉඩම් ප්‍රදාන තියෙනවා. ඒ ඒ ඉඩම් වර්ගයට අදාල වන විවිධාකාර සීමාවන් පනවලා තියෙනවා. මේ කියන සීමාවන් යටතට ඉඩම් සම්බන්ධ වෙළඳපළ සහ ආයෝජන කටයුතු, ඉඩම් පැවරීම, ඇපයට තබා ණය ගැනීම සහ වගා කරන භෝග වර්ගය වෙනස්කිරීම වැනි කරුණු ඇතුලත් වෙනවා. ඉඩම් විකිණීමේදීත්, පුද්ගලික ඉඩම් සඳහා කිසිදු සීමාවක් නැති වුණත්, ඉඩම් ප්‍රදාන, රජයෙන් දිගුකාලීන ව බද්දට දී ඇති ඉඩම් සහ ඉඩම් බලපත්‍ර සඳහා විවිධ සීමාවන්ට මුහුණ දීමට සිදු වෙනවා. ඉඩමක වගා කරන භෝග වර්ගය වෙනස් කිරීමේදී, ඒ ඉඩම කුඹුරු ඉඩමක් ලෙස වර්ග කරලා තියෙනවා නම්, ඒකේ හිමිකාරත්වය මොකක් වුණත්, භෝග වර්ගය වෙනස් කිරීම සම්බන්ධයෙන් සීමාවන් තියෙනවා. ඉඩම් බලපත්‍ර සහ ඉඩම දිගුකාලීන ව බදු දීම සම්බන්ධයෙන් ගත්තම ගිවිසුමේ සඳහන් කරලා තියෙන නිශ්චිත අරමුණ හෝ භෝගය සඳහා පමණක් එම ඉඩම භාවිතා කළ යුතු නිසා තවදුරටත් සීමාවන්ට යටත් වෙනවා.
ඒ වගේම ඉඩම් පරිපාලනය කියන කටයුත්තේදී ශ්‍රී ලංකා රජය සහ ඒ ආශ්‍රිත නියෝජිතායතන තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. ලංකාවේ මේ වෙනකොට දේපල ලියාපදිංචි කිරීමේ අකාර්යක්ෂමතාවයන් තියෙනවා. ඒකට හේතුව සම්පූර්ණ කළ යුතු ක්‍රියා පටිපාටි ගණන, බලපත්‍රයක් ලබා ගැනීමට ගතවන දින ගණන, ලියාපදිංචි වීමට යන වියදම සහ ඉඩම් පරිපාලනයේ ගුණාත්මකභාවය කියන අංශවල දුර්වලතා. මේවා වළක්වා ගන්න නම් රජයේ මැදිහත්වීමෙන් ඈත් කරලා නිෂ්පාදන සාධකවල නිදහස් අයිතිය පෞද්ගලික අංශයට ලබා දෙන්න ඕන.
කෘෂිකර්මාන්තය කෘෂිව්‍යාපාර සහ කෘෂි ව්‍යවසාය
ඉතිං මේ වගේ අවදානමක් ඇතුවයි ගොවි මහතුන් ලංකාවේ කෘෂිකර්මාන්තයේ යෙදිලා ඉන්නේ. පාරම්පරිකව කරගෙන ආපු රැකියාව නිසා ගොවිතැනට හුරු වුණ අය ඇරුණාම, අළුතින් මේ අංශයට ආකර්ශනය වෙන පිරිස අඩුයි. විශේෂයෙන් තරුණ පිරිස් කෘෂිකර්මය දකින්නේ තමන්ට සුදුසු රැකියාවක් විදිහට නෙවෙයි. ඒකට හේතු වෙලා තියෙන්නේ කෘෂිකර්මය සම්බන්ධයෙන් තියෙන ඉපැරණි ක්‍රම. පැරණි ගොවීන්, තේ දළු නෙලන්නන් ගැන ආකර්ශනීය රූපයක් තරුණ පිරිස් අතර මැවෙන්නේ අඩුවෙන්. අත්දැකීමෙන් ලැබෙන අවබෝධය වැඳගත් වුණාට අද ලෝකයට ගැළපෙන විදිහට ලාභදායීව කෘෂිකර්මය කරගෙන යන්න නම් ඩිජිටල්කරණය, කෘෂිකර්මයට වැඳගත් වන කාලගුණික දත්ත ලබා ගැනීමේ සැටලයිට් තාක්ෂණය, නවීන තාක්ෂණික ක්‍රම මඟින් වැඩි දියුණු කළ බීජ, වෙනත් රටවල කෘෂිකාර්මික අංශයට යොදා ගන්නා තාක්ෂණික මෙවලම්, නවීන ආකල්ප කියන දේවල්වලට ඉඩක් දෙන්න වෙනවා. මේවා කරන්න බැරි අනවශ්‍ය රජයෙ මැදිහත්වීම් නිසා.
කෘෂිකාර්මික අස්වැන්න විදෙස් වෙළඳපළ ඉලක්ක කරලා කරන්න පවා බාධාවන් රජයේ අනවශ්‍ය මැදිහත්වීම නිසා වෙනවා. තාක්ෂණය කියන්නෙත් ලංකාව පැත්තෙන් ආනයනයක්. ආනයන තහනම් පැනවීම නිසා ඒවා ලංකාවට ගේන්නවත් පිටරට තාක්ෂනික ශිල්පීන්ට සහ ඉංජිනේරුවන්ට, ආයතනවලට ලංකාවට එන්නවත් විදිහක් නෑ. කෘෂිකාර්මික අංශයට ලබා දෙන්න අව්ශ්‍ය පහසුකම් ලබා දීලා නෑ වගේම ආනයන අපනයනවලට තියෙන බාධක, තීරු බදු වැඩි අපනයනය කටයුතු නිසා කෘෂිව්‍යවසාය තියෙන්නෙත් දුර්වල වෙලා.
ලංකාවේ සාම්ප්‍රදායික අපනයන භෝග විදිහට තියෙන්නේ තේ, පොල් සහ රබර්. ඊට අමතරව කුරුඳු ඇතුළු කුළුබඩු වගාවන් කෙරෙනවා. බොහෝමයක් අවස්ථාවල වෙන්නේ මේ වගාවන්ගෙන් ලැබෙන අස්වැන්න එහෙම්මම පිටරටට යවන එක. එතනදි අගය එකතු වීමක් වෙලා නෑ. නමුත් ලංකාවේ විදේශ විනිමය හිඟයට පවා විසඳුමක් ගේන්න නම් අපට සිද්ධ වෙනවා නවෝත්පාදන බිහි කරන්න.
කෙනෙක්ට පුළුවන් නම් කුරුඳු නිකම්ම පිටරටට නොයවා කුරුඳුවලින් කරපු වෙනත් නිෂ්පාදන පිටරටට යවන්න, එතනදි උපයා ගන්න පුළුවන් විදේශ විනිමය ප්‍රමාණය සාපේක්ෂව වැඩියි. මේ වගේ කෘෂිකර්මය කරන්නන් වාලේ නොකර කෘෂිකර්මයට සම්බන්ධ කෘෂි ව්‍යාපාර බිහි කරන්න පුළුවන් කෘෂි ව්‍යවසායකයන් බිහි වුණොත් තරුණ පිරිස් පවා මේ අංශයට ආකර්ශනය වෙනවා. නමුත් තාක්ෂණයට ඉඩ දීමට තියෙන මැළිකම වගේ කාරණා කෘෂිකර්මය සංවර්ධනය කිරීමට බාධාවක් වෙනවා.
ලංකාවේ කෘෂිකර්මාන්තය දියුණු කරගන්න පුළුවන්ද?
ලංකාව කියන්නේ කෘෂිකර්මය අතීතයේ ඉඳලා කරගෙන ආව රටක්. පරිසරය, පස, ජල පහසුව වගේ දේවල්වලින් ලංකාවට පහසුකම් තියෙනවා. සමහර කාලවල ජලය සපයා ගැනීමේ ගැටළු ආවත්, ඒ දේවල්වලට හේතුව දිගු කාලීන දැක්මක් නැතිකම මිසක්, අරාබි රටවල්වල වගේ වගා කරන්න බැරි තරම් කාන්තාරීකරණය වුණ ඉඩම් තිබීම නෙවෙයි. ඒ නිසා ලංකාවට තියෙන්නේ විසඳගන්න පුලුවන් මට්ටමේ ප්‍රශ්න.
හැබැයි ව්‍යාපාර කරගෙන යාම, දේපල අයිතිය වගේ පරිපාලන, නීතිමය අංශවලින් බැලුවාම ලංකාව ඉන්නේ ඉතා දුර්වල තැනක. ගෝලීය තරඟකාරීත්ව දර්ශකයට අනුව 2019 දී 57.11 අගයක් සහිතව ශ්‍රී ලංකාව 84 වන ස්ථානයේත් ඉන්නවා. ව්‍යාපාර කිරීමේ පහසුව දර්ශකයට අනුව 2020 දී 61.8ක් අගයක් සහිතව ශ්‍රී ලංකාව 99 වැනි ස්ථානය පසු වෙනවා. ෆ්‍රේසර් ආයතනයේ ආර්ථික නිදහස පිලිබඳ තක්සේරුවලට අනුව 2020 දී ශ්‍රී ලංකාව 89 වැනි ස්ථානය පසු වෙනවා. ඒ යටතේ ගත්තොත් නීති පද්ධතිය සහ දේපල හිමිකම් දර්ශකයට අනුව 91 වැනි ස්ථානය සහ ව්‍යාපාරවල නීති පැනවීම සම්බන්ධයෙන් 73 වැනි ස්ථානය පසු වෙනවා.
ඉතිං සාරාංශයක් විදිහට ගත්තොත්, ලංකාවට ස්වභාවිකව ලැබෙන්න ඕන දේවල් ලැබිලා තියෙනවා. හැබැයි මිනිස්සුන්ගේ මහන්සියෙන් ගොඩ නඟාගන්න දේවල්වලයි පසුබෑමක් තියෙන්නේ. විශේෂයෙන්ම රජය තෙවන පාර්ශවයක් විදිහට වෙළඳපළට මැදිහත් වෙලා තීරු බදු, උපරිම - අවම මිල සහ අනෙකුත් නීති පැනවීම නිසා රටේ වෙළඳපළ හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ. නිදහස් වෙළඳාමට, තීරණ ගැනීමට, දේපල අයිතියට සහ ව්‍යවසායකත්වයට, තරඟකාරීත්වයට ඉඩ දීමෙන් තමයි ලංකාවට සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය දියුණු කරලා කෘෂිව්‍යවසායයන් බිහි කරන්නත් ඒ ඔස්සේ ආර්ථිකයට ශක්තියක් වෙන්නත් පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මේ එළඹ ඇත්තේ ප්‍රතිසංස්කරණ සඳහා සුදුසු ම කාලයයි.
දිල්මිණී හසින්තා අබේරත්න