අපිට මේ දවස්වල ඉන්දියාවේ සීඝ්‍ර දියුණුවක්, වර්ධනයක් පේනවා නේද? මතකද ළඟදි සඳ තරණය කළා? ඉතිං ඒ ඉන්දියාව ගැන නෙවෙයි අපේ කතාව, ඉන්දියාවට ටිකක් පහලින් ඉන්න ලංකාව ගැන. මේ වෙනකොට ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය, රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය වගේ මාතෘකා නිතර ඇහෙනවා. මේ හැම දේකින්ම බලාපොරොත්තු වෙන්නේ ලංකාව පත් වෙලා ඉන්න ආර්ථික අර්බුදයෙන් මිදිලා මිනිස්සුන්ගේ ජීවන මට්ටම් සහනදායී තත්ත්වයකට ගෙන ඒම. ලංකාවේ තියෙන එක තැන පල්වෙන ආර්ථිකයට හේතු ගොඩක් තියෙනවා. ඒ අතරින් අකාර්‍යක්ෂම රාජ්‍ය සේවය, රජය ව්‍යාපාර කටයුතුවලට මැදිහත් වීම වගේ කාරණාත් තියෙනවා. ඉතිං ලංකාව කියන්නේ හුදකලා වුණ කාන්තාරයක් නෙවෙයි. ලංකාව වටේ තියෙන රටවල් වුණත් ලංකාව පහු කර ගෙන ඉස්සරහට යන විදිහ පේන්න තියෙනවා. මතක ඇතිනේ අපිට බංගලිදේශයෙන් පවා ණය ගන්න සිද්ධ වුණා. ඉන්දියාවේ දැවැන්ත විදිහට ආර්ථික ක්‍රියාකාරී වීමත් එක්ක මුළු කලාපයේම ආර්ථිකයන්වල වර්ධනයක් පෙන්නුම් කරනවා. ඉතින් ඉන්දියාවට වඩා ලගින්ම ඉන්න, වඩා වැඩි සම්බන්ධකම් තියන රට විදියට ඇයි අපි ඒ වාසිය ලබා ගන්නේ නැත්තේ?
Khazanah වාසනා
Khazanah ආකෘතිය (Khazanah Nasional) ගැන අහන්න ලැබෙන්නේ මැලේසියාවෙන්. මැලේ වචනයක් වුණාට කසානා කියන වචනය අරාබි භාෂාවෙන් නිධානය කියන අදහස දෙන වචනයක්. ඉතිං Khazanah Nasional කියන එකේ අදහස ජාතික නිධානය කියන එක. කසානා ආකෘතිය පවත්වාගෙන යන අයගේ කාර්‍යභාරය වෙලා තියෙන්නේ ජාතික ධනය වර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම කියන දෙක. ඉතිං කසානා ආයතනයේ කාර්‍යභාරය සරලවම ඒකයි.
මොකක්ද මේ Khazanah ආකෘතිය කියන්නේ?
Khazanah කියන්නේ මැලේසියාවේ තියෙන ස්වෛරී ධන අරමුදලක්. මේ අරමුදල පිහිටුවලා තියෙන්නේ 1993 සැප්තැම්බර් 3 වෙනිදා මැලේසියාවේ සමාගම් පනත යටතේ සීමිත පොදු සමාගමක් විදිහට. මේ කසානා ආකෘතියට අනුව ආයතනයේ අයිතිය තියෙන්නේ රටේ මුදල් අමාත්‍යවරයාට. ඒ වුණත් එක කොටසක පමණක් අයිතිය ෆෙඩරල් ඉඩම් කොමසාරිස්වරයා සතුව තියෙනවා.
Khazanah ආයතනය පටන් ගත්ත තැන ඉඳන්ම වැඳගත් පාර්ශවකරුවන්ව රජයට සම්බන්ධ සමාගම්වල රඳවා තබා ගැනීමේ ඉඳලා රට වෙනුවෙන් ලාභදායී ආයෝජන මාර්ගවල මුදල් ආයෝජන කිරීමත් සිද්ධ වෙලා තියෙනවා. මේ වෙනකොට ගෝලීය වෙළඳපළවල්, වත්කම් මට්ටම්, අංශ සහ භූගෝලීය පරිසරයන් පුරා පැතිරුණු ගෝලීය ආයෝජකයෙක් විදිහට කටයුතු කරනවා. වෙනත් විදිහකට කියනවා නම් කසානා කියන්නේ රටකට මුදල් උපයන ක්‍රමයක්.
Khazanah ආයතනය පාලනය මොන වගේද?
Khazanah ආයතනයේ සභාපතිවරයා විදිහට සේවය කරන්නේ මැලේසියාවේ අගමැතිවරයා. සභාපතිවරයාගේ සහයට සුදුසුකම් සහිත කණ්ඩායමක් ඉන්නවා. මේ කණ්ඩායම විවිධ විෂය ක්ෂේත්‍රයන්ට අදාලව විශේෂඥ දැනුමක් තියෙන අය. ආයතනයේ පරිපාලන කටයුතුවලට සහය දෙන උප කමිටු 3 තියෙනවා. ඒවා තමයි විධායක කමිටුව, නාමයෝජනා සහ වැටුප් කමිටුව, විගණන සහ අවදානම් කමිටුව. මේ කමිටුවල ඉන්න සාමාජික පිරිස ගණනින් අඩු වීමත් ආයතනයේ කාර්‍යක්ෂමතාව සහ විනිවිදභාවයට වැඳගත් ඉඟියක් සපයනවා. පලමු කමිටුවේ හතර දෙනෙක්, දෙවනි සහ තෙවනි කමිටුවල සාමාජිකයන් තුන්දෙනා බැගිනුත් ඉන්නවා. සියලුම දෙනා ඒ ඒ විෂයය ක්ෂේත්‍රය ගැන අවබෝධයක් තියෙන අය නිසා ආයතනයේ කටයුතු කාර්‍යක්ෂමව කරගෙන යන්න ඒක ලොකු පිටුවහලක් වෙනවා.
ආයතනයේ විනිවිදභාවය
විනිවිදභාවය ගැන කතා කරනකොට ලංකාවේ රාජ්‍ය ආයතන ව්‍යූහය ගැන දන්න කෙනෙක් දන්නවා කිසිම විනිවිදභාවයක් නෑ කියලා. IMF වාර්තාවේ පවා ඒ ගැන සදහන් කරලා තියනවා. ආයතන වල විනිවිදභාවය ඇති වෙන්න නං එම ආයතන කුඩා කාර්යක්ෂම වෙන්න ඔනේ. ඒකට සම්පත්වල කාර්‍යක්ෂම භාවිතයක් වෙන්නෙ ඕන. ඒ කියන්නේ භෞතික වගේම මානව සම්පත්, සේවකයන් පමණ ඉක්මවා ඉන්නවා නම් ඒකත් ආයතනයට පාඩුවක්. ආයතන මොන තරම් තිබුණත්, ඒවායේ දූෂණ වංචා තියෙනකම් අපේක්ෂා කරන වාසි ලාභ හෝ සුබසාධනය නම් ලැබෙන්නේ නෑ. ලංකාවේ මිනිස්සු හුඟක් වෙලාවට මැසිවිලි නඟන දෙයක් තමයි “රජය අපේ බදු සල්ලිවලින් කරන්නේ මොනවද? අපි දන්නේ කොහොමද අපේ සල්ලි පොදු භාණ්ඩ හරි සේවා හරි සපයන්න විතරයි පාවිච්චි කරන්නේ කියලා?”. මිනිස්සුන්ට රජය ගැන තියෙන විශ්වාසය හරිම පහල තැනක තියෙන්නේ කියලා ඒ වගේ කතාවලින් පේනවා.
ඉතිං Khazanah වගේ ලෝකය පුරා ප්‍රසිද්ධ ආයතනයක් තමන්ගේ විනිවිදභාවය පවත්වා ගන්නේ කොහොමද?
එක ක්‍රමයක් තමයි ව්‍යවස්ථානුකූලව සමාගමේ ආයෝජන සහ ප්‍රාග්ධනය සපයා ගන්නා ක්‍රම, අපේ ක්‍රියාකාරීත්වය සහ මෙහෙයුම් ජනතාවට හෙළිදරව් කිරීම. ස්වාධීන, බාහිර විගණකවරයෙකු සමාගමේ ගිණුම් කටයුතු සොයා බලනවා. කසානා වාර්තාව මඟින් ආයතනයේ මූල්‍ය දත්ත සහ විගණන කටයුතුවලට සම්බන්ධ ප්‍රකාශන ඉදිරිපත් කරනු ලබනවා. කසානා ආයතනය සම්බන්ධ තොරතුරු මාධ්‍ය ආයතන, සිවිල් සමාජය, වත්කම් කලමණාකරුවන්, හවුල්කරුවන්, පාර්ලිමේන්තු නියෝජිතයන් ආදී බාහිර අංශවලට ලබාදීම පදනම් කර ගත් වැඩසටහන් ද ක්‍රියාත්මක වේ.
Khazanah කාර්‍යභාරය
කොවිඩ්-19 උවදුර සහ අනෙකුත් හේතුමත කොටස් හිමියන්ට ඇති වී තිබූ පිඩනය සහ අනාරක්ෂිත බව නැති කිරීමට කසානා ආයතනයේ උපායශීලී අරමුදල Strategic Fund (SF) සමත් වුණා. අභියෝගාත්මක වටපිටාවක් තිබුණත් කසානා ආයතනයට පුළුවන්කම ලැබුණා Malaysia Aviation Group’s (MAGB) / මැලේසියාවේ ගුවන් සේවා සමූහය (MAGB) ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව කර ගන්න සමත් වුණා.
Khazanahආයතනයේ ආයෝජන කටයුතු
මැලේසියාවේ ආයෝජන කටයුතු සම්බන්ධයෙන් කසානා ආයතනයේ වැඳගත්කම කරුණු 4 ඔස්සේ පෙන්වන්න පුළුවන්. ඒ අතර රටේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කරන සහ නව වර්ධන අවස්ථා විවෘත කරන උත්ප්‍රේරක අංශවල ආයෝජනය කිරීම, මැලේසියාවේ ප්‍රාග්ධන වෙලඳපොලවල ක්‍රියාකාරී සහභාගිවන්නෙකු වීමෙන් ආර්ථික වර්ධනය වේගවත් කිරීම, ප්‍රාග්ධනය, තාක්‍ෂණය සහ දැනුම මැලේසියාවට ගලා ඒමට පහසුකම් සැලසීමට අවස්ථාව සොයා ගනිමින් කළඹ අයෝජන වර්ධනය කිරීමට ගෝලීය වශයෙන් ආයෝජනය කිරීම සහ මැලේසියානුවන්ගේ ප්‍රයෝජනය සඳහා ජවසම්පන්න ප්‍රජාවන් ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කිරීම.
Khazanah ලංකාවට වැඳගත් වෙන්නේ කොහොමද?
මේ කියන කාරණා ලංකාවට වැඳගත් වෙන්නේ ඇයි කියලා ඔයාලා හිතනවා ඇති. ලංකාව කියන්නේ දශක ගණනක් තිස්සේ අයවැය හිඟයයන් සහ කාලාන්තරයක් තිස්සේ ගොඩ ගැහුණු ණය බරින් මිරිකිලා ඉන්න රටක්. පසුගිය අවුරුද්දේ බංකොලොත් රටක් විදිහට අන්ත අසරණ තත්ත්වයකට පත් වුණාට පස්සේ ලංකාවට සිද්ධ වුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගන්න. ඒ වෙලාවේ ලංකාවේ ආර්ථිකයට ප්‍රතිසංස්කරණ කරන්න ඕන කියලා ඒ ආයතනය අපිට කිව්වා. ඒ අතර තියෙන එක කාරණයක් තමයි පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ රාජ්‍ය ව්‍යවසාය ලාභ ලබන තැනට පත් කිරීම.
ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය
මේ වෙනකොට ලංකාවේ රාජ්‍ය ව්‍යවසායවල තත්ත්වය ගත්තොත් 2009 ඉඳලා 2014 දක්වා කාලයේදී රාජ්‍ය ව්‍යවසාය ප්‍රමාණය 107 ඉඳලා 245 දක්වා වැඩිවෙලා තියෙනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ පුද්ගලික අංශය සතුව තිබුණ ආයතන පවා දේශපාලනික න්‍යාය පත්‍රවලට අනුව ජනසතු කරන්න පෙළඹුණ එක. දැනට ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය 245 තියෙනවා. 2009 - 2014 කාලයේ වුණු ආයතනවල ගණන ඉහල යාම නිසා සේවක පිරිසත් 140,500 ඉඳලා 261,683 වගේ දෙගුණයකට වඩා වැඩිවෙලා තියෙනවා. රාජ්‍ය භාණ්ඩාගාරය කියන විදිහට ඒවායින් 55 පමණ ආර්ථිකමය වශයෙන් වගේම උපායමාර්ගික වශයෙන් වැඳගත් ආයතන. 2005 ඉඳලා 2016 දක්වා ගෙවුණු අවුරුදු 11 කාලය ඇතුලේ විතරක්, මේ කියන ආයතන 55 පාඩුව විතරක් රුපියල් බිලියන 636ක් කියලා ඇස්තමේන්තු කරලා තියෙනවා.
මේ නිසා පේනවනේ ලංකාවේ රජය ව්‍යාපාරවලට මැදිහත් වීම නිසා දූෂණය, නාස්තිය, අකාර්යක්ෂමතාව වගේ දේවල් ඇතිවෙලා නිදහස් වෙළඳාම විකෘති වෙලා. ව්‍යාපාරවලට නිදහසේ තීරණ ගන්න බැරි නිසා, ආර්ථික සුභසාධනයත් බිඳ වැටිලා. ඉතිං ඒ වගේ තත්ත්වයන් ඕනෑම රටක තියෙන්න පුළුවන්, අනාගතයේ ඇති වෙන්නත් පුළුවන්. ඒත් වැඳගත් වෙන්නේ ඒවාට පිලියම් සොයා ගැනීම, ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කිරීම. මැලේසියාව ඒ සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ගයක් තමයි කසානා කියලා කියන්නේ. ලංකාවටත් තමන් වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්න නම් තමන්ගේම වැරදිවලින් ඉගෙන ගෙන තමන්ටම හරියන ක්‍රමයක් හොයා ගන්න සුදුසුම කාලය තමයි මේ කියලා අපි හිතනවා.
දිල්මිණී හසින්තා අබේරත්න