ඔන්න ඉතින් අපි කවුරුත් 2024 අයවැය ගැන බලාගෙන හිටියා. ලබන අවුරුද්දේ අපිට පඩි වැඩි වෙයිද? වෙනත් සහනයක් ලැබෙයි ද? බදුවලට මොකද වෙන්නේ? මේ ණය බරින් ගැලවෙන්න පුලුවන් වෙයිද? වගේ කාරණා හුගකට විසඳුම් ලැබෙයි කියලා. 2024 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා කිව්වා මේක සමජීවිකා අයවැයක් කියලා. බෞද්ධ දර්ශනයේ කියලා තියෙන ඔය කියන සමජීවිකාකියන්නේ අය වැය සමබර වෙන එකට. සරලව කිව්වොත් කාටවත් අත නොපා අපිට පුළුවන් විදිහට වියදම් කරන එක. අයවැය යෝජනාවලියේ අධ්‍යාපනය, කෘෂිකර්මය, සුභසාධන, ආයෝජන වගේ මාතෘකා ගණනාවක් ගැන කතා වුණා. ඒත් අද අපි කතා කරන්න යන්නේ ඒ අතරින් කාගෙත් අවධානයට ලක් වුණ කාරණා තුනක් ගැන. ඒ තමයි රාජ්‍ය සේවයේ පඩි වැඩි කිරීම, ණය ගැනීමේ සීමාව ට්‍රිලියන 3 ඉඳලා 7 දක්වා වැඩි කිරීම, වගේම රජයේ ආදායම වැඩි කර ගැනීම.
පඩි වැඩි වෙන්නේ කාටද? කොහොමද?
අයවැය කතාවෙදි කිව්වා රජයේ සේවකයන්ට 2024 අප්‍රේල් මාසේ ඉඳලා රුපියල් 10,000 පඩි වැඩි වීමක් වෙනවා. ජනවාරි - මාර්තු කාලයේ හිඟය ඔක්තෝබර් මාසයේ ඉඳලා වාරික විදිහට ගෙවනවා කියලා. පඩි වැඩි කිරීම කියන කාරණයේ දී බිලියන 133ක් මේ කියන පඩි වැඩි කිරීම් කරන්න විතරක් ඕන වෙනවා. මේ ගාණ හරියටම PAYE බද්දෙන් උපයා ගන්න ආදායමට සමානයි. පඩි වැඩි වෙන එක ගැන අපි අකමැති නෑ. ලංකාව මුහුණ දුන්න උද්ධමනයත් එක්ක මිනිස්සුන්ගේ මිලදී ගැනීමේ හැකියාව නොසෑහෙන්න අඩු වුණා. ඒ නිසා මිනිස්සු රෝල ගහන්නෙත් අමාරුවෙන්. එහෙමයි කියලා අපෙන්ම අරන් අපිටම ගෙවන පඩි වැඩි කිරීමකින් ඇත්තටම සහනයක් ලැබෙනවද කියන එක සැකයි. ඉතින් ඒ වගේ තත්ත්වයකදී රජයට තිබුණා මුළු රාජ්‍ය සේවයටම එකපාර පඩි වැඩිකිරීමකට නොයා රාජ්‍ය සේවය ප්‍රතිව්‍යූහගතකරණයක් කරලා මිලියන 1.3 වෙච්ච රාජ්‍ය සේවය රටට දරන්න පුළුවන් වගේම සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යන්න පුළුවන් ප්‍රමාණයකට අඩු කරලා ඉතුරු වෙන රාජ්‍ය සේවකයින්ට වැඩි පඩියක් ලබා දෙන්න.
ණය සීමා ඉහල දැම්මේ ඇයි?
ගිය අවුරුද්දේ ලංකාව රටක් විදිහට බංකොලොත් වුණා. ඒ කියන්නේ අපි ගත්ත ණය අපිට ආපහු ගෙවන්න පුලුවන්කමක් නෑ කියලා අපිට ලෝකෙටම කියන්න වුණා. දැන් කියලත් අපිට ගත්ත ණය ඔක්කොම ගෙවන්න පුලුවන්කමක් ඇති වෙලා නෑ. මේ නිසා දැන් කවුරුත් බලනවා ඇති ණය ගෙවන්න බැරිනම් ණය ලැබෙන්නෙත් නැතිනම් තවත් මොකටද ණය සීමාව වැඩිකලේ කියලා. අපි දන්නවා මේ වෙනකොට ශ්‍රී ලංකාවේ රජයේ වියදම ට්‍රිලියන 6.9 ක් වගේ ගානකට ලං වෙලා තියෙනවා. ඒ වගේ තත්ත්වයකදී ණය සීමාව ට්‍රිලියන 3 ඉඳලා ට්‍රිලියන 7 දක්වා වැඩි කිරීම බොහෝ දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. හැබැයි මේකට හේතුව විදිහට දක්වන්නෙ විදේශීය බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ දී අලුතින් බැඳුම්කර නිකුත් කරන්න සිද්ධ වෙන එක.
රජයේ ආදායම වැඩි කරන්න බදු ගහන්න ඕනද?
ඇත්තටම රජයකට බදුවලින් ආදායමක් උපයන්න පුලුවන්. ඒත් ඒ එකම ක්‍රමය නෙවේ. බදු නොවෙන ක්‍රමවලිනුත් ආදායම් ලබා ගන්න පුලුවන්. හරියට කෙනෙක්ට රස්සාවක් කරලා සල්ලි හොයන්න පුලුවන් සහ තමන්ගේම ව්‍යාපාරයක් කරලා සල්ලි හොයන්න පුලුවන් වගේ. කොහොම වුණත් ඉක්මණටම ආදායම් ලබා ගන්න පුලුවන් ජනප්‍රිය ක්‍රමය තමයි බදු ආදායම.
2023 ඇස්තමේන්තු කරපු විදිහට උපයන්න බලාපොරොත්තු රජයේ ආදායම ට්‍රිලියන 2.8 හැබැයි 2024 දී ඒ ගාණ ට්‍රිලියන 4.1 කියලා කියනවා. 2023-2024 අවුරුදු දෙක සංසන්දනය කරල බැලුවොත් පසුගිය අවුරුද්දට වඩා 50% පමණ වැඩිවීමක්. එකපාරටම කොහොමද අවුරුද්දක් ඇතුළත රජයේ ආදායම ඒ තරම් දුරට වැඩි කර ගන්නේ? සමහරවිට ඒ බදු ආදායමෙන් වෙන්න පුළුවන්. මේ වෙනකොට VAT බද්ද 3% කින් ඉහළ දාලා තියෙනවා. ඒ වගේම බදු ආදායම වැඩි කරගැනීම සම්බන්ධයෙන් කරුණු කාරණා අයවැය සංවාදයට ලක් වුණා. ඒ අනුව මම බැංකු ගිණුම් විවෘත කරනකොට, වාහනයක් ගන්නකොට, ගොඩනැගිල්ලක් හදනකොටම ඒ සම්බන්ධයෙන් බදු අංකයක් තියෙන එක අනිවාර්ය කාරණයක් විදිහට දක්වලා තියෙනවා. මේ වගේ දේවල්වලින් බලාපොරොත්තු වෙන්නේ බදු ආදායම වැඩි කර ගන්න කියලා හිතාගෙන බදුවලට අයිති වෙන බදු ගෙවන්නත් ප්‍රමාණය වැඩි කර ගැනීම. ඇඩ්වොකාටා ආයතනය විදිහට බදු ආදායම වැඩි කරගන්න අපි යෝජනා කරන පලවෙනිම දේ බදු ක්‍රමය සරල කරන එක. හිතෙන හිතෙන වෙලාවට හෙවිල්ලක් බැලිල්ලක් නැති ඔහේ බදු ගහලා මේ වැඩේ කරන්නත් බෑ. ඒකට මිනිස්සුන්ට තමන් ගෙවන බදුවලින් රජය මොනවා කරනවාද? අය කරන ගාණ සාධාරණද? දුප්පත් පෝසත් හැමෝම එකම විදිහට බදු බර දරනවාද කියන ඒවා හොයලා බලන්න ඕන වගේම සාධාරණ ක්‍රමයකට බදු අය කර ගන්න ඕන.
ඒ බදුත් හැර මේ බදුත් හැර වෙනත් ආදායමක් තියෙනවාද?
කලින් කිව්වා වගේ රජයට ආදායම වැඩි කරගන්න තියෙන එකම මාර්ගය බදු ආදායමක් නෙවෙයි. වඩා වැදගත් වෙන්නේ නිෂ්පාදනය වැඩි කර ගැනීම. ඒකට දුවලා ගිහින් රජය ෆැක්ටරි දාන එක නෙමේ කරන්න ඕනේ, ඒකට නිෂ්පාදනයට ගැලපෙන පරිසරයක් හැදෙන්න ඕනේ. රජය ඕනවට වැඩිය වෙළඳපලට මැදිහත් වෙලා ව්‍යවසායකයින්ගේ නිදහස සීමා කරන කොට අනවශ්‍ය නීතිරීති පනවානකොට, නිෂ්පාදන සාධකවල අයිතිය අහිමි වෙලා තියෙනකොට නැත්නම් ඒවායේ අයිතිය රජයට තියෙනකොට නිෂ්පාදකයන්ට වෙළඳපොළට ඇතුළුවීමට බාධා තියෙනකොට වෙළඳ පොළ බිඳ වැටෙනවා සහ නිෂ්පාදනය පහත වැටෙනවා. ඒකෙන් ආදායම අඩු වෙනවා. අපනයන ප්‍රමාණය අඩු වෙනවා.
ව්‍යාපාරයක් නිදහසේ කරගෙන යන්න නම් ආයෝජනයට සහ ඉතිරිකිරීම්වලට ගැළපෙන විදිහේ නීතිරීති වගේම ආයතනික පහසුකම් සපයා දීලා තියෙන්නට ඕනේ. හුඟක් ආයතනවලින් කරන්නේ මිනිස්සුන්ව රස්තියාදු කරන එක. ඔහොම වෙද්දි මිනිස්සු කැමති වෙන්නේ නැහැ තමන්ගේම කියලා ව්‍යාපාරයක් කරගෙන යන්න. මොකද ඒක ඒ තරමට අමාරුයි. 2024 අයවැයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායවලට රුපියල් බිලියන 30ක සහනදායී ණයක් ලබා දෙන්න යෝජනා කරලා තියෙනවා. ඒකට ආසියානු සංවර්ධන බැංකුවෙනුත් සහය දෙනවා. ණය ලබා දෙනවට අමතරව කුඩා හා මධ්‍ය පරිමාණ ආයතනවල ධාරිතාව වැඩි දියුණු කරන්න වැඩසටහන් ක්‍රියාත්මක කරන්නත් බලාපොරොත්තු වෙනවා.
හරි අපි ඒ කතාව පැත්තකින් තියලා ආයෙමත් අයවැය කතාවට එමු. අපිට ඔය කියන බදු ආදායමෙන් අපි බලාපොරොත්තු වෙන රජයේ ආදායම ළඟාකර ගන්න බැරිවුනොත් මොකද වෙන්නේ? එහෙම වුනොත් අයවැය පරතරය පියවගන්න ආයෙමත් වෙළඳ පොළින් ණය ගන්න වෙනවා ඒ කියන්නේ භාණ්ඩාගාර බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත් විදිහට. ඉස්සර නම් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරාට පස්සේ පොලී අනුපාතය පහතට ගිය අවස්ථාවලදී ශ්‍රී ලංකා මහ බැංකුවට මැදිහත්වන්න පුළුවන්කමක් තිබුණා. ඒත් මහ බැංකුවේ ස්වෛරීභාවය වැඩි කරලා තියෙන නිසා එහෙම මැදිහත්වීමේ දුෂ්කරතා තියෙනවා.
දිගින් දිගටම ණය ගත්තහම පොලී අනුපාතය වැඩි කරන්න සිද්ධ වෙනවා. මේ වගේ ප්‍රශ්න නැතිකරන්න නම් නිෂ්පාදනය වැඩි කරගන්න වෙනවා. ලංකාවෙ තියෙන කෘෂිකර්මය, කාර්මික සහ සේවා කියන අංශවල නිෂ්පාදනය වැඩි කරගන්න කටයුතු කරන්න ඕනේ. එහෙම වෙන්න නම් වෙලදපල තරගකාරීත්වයට ඉඩ දෙන්න ඕනේ. තරඟකාරීත්වය නිසා ඒකාධිකාරී ආයතනවලට අසාමාන්‍ය ලාභ ලබන්න තියෙන ඉඩ අඩු වෙලා පාරිභෝගික සහ නිෂ්පාදක සුභ සාධනය ඉහල යනවා. තරඟකාරීත්වයක් නැති නිදහසක් නැති ආර්ථිකවලදි වෙන්නේ පාරිභෝගිකයන් සූරා කෑම වගේම ඉපයුම් සුළු පිරිසක් අතරේ සංසරණය වීම. ඒක ආර්ථික වර්ධනයට හෝ සංවර්ධනයට දායක වෙන්නේ නැහැ.
කොහොම වුණත් මේ පාර අයවැයෙන් කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් වැදගත් යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අතර කෘෂි හා ධීවර අංශ දියුණු කිරීමට සහාය වීම සඳහා පලාත් කෘෂි සහ ධීවර නවීකරණ මණ්ඩල පිහිටුවීම, සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන, කෘෂිකර්ම නවීකරණ කේන්ද්‍රසේථාන විදිහට වැඩි දියුණු කිරීම, ඒ වෙනුවෙන් පෞද්ගලික අංශය, ගොවීන්, කෘෂි විශේෂඥයන්ගෙන් සමන්විත ඒකාබද්ධ වැඩසටහනක් 2023/24 මහ කන්නයේ සිට ක්‍රියාත්මක කිරීමට සූදානමක් තියෙනවා. මේ හැම කාර්යයක්ම වෙනුවෙන් රුපියල් මිලියන 2,500 වෙන් කරන්න යෝජනා කරලා තියෙනවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ වී නිෂ්පාදනය හෙක්ටාරයකට මෙට්‍රික් ටොන් 3.5 ඉඳලා 8 වෙනකම් වැඩි කර ගන්න එක. අපේ නම් අදහස රජය කරන්න්න ඕන නීති රීති වෙනස් කරල ව්‍යාපාර හොදින් යන පරිසරය සකස් කිරීම මිසක් මැද්දට පැනව වැඩේ තවත් අමාරු කරන එක නෙවෙයි. ඒ වගේම තෙත් කලාපීය මඩ ඉඩම්වල වී වගා ඵලදායීතාව අඩු වුණත් ඒවායේ වෙනත් භෝගයක් වගා කරන්න නීතියෙන් තහනම් නිසා ඒවා මුඩු ඉඩම් විදිහටයි තියෙන්නේ. මේ මුඩු ඉඩම්වල වෙනත් භෝගයක් වගා කරන්න නීතියෙන් තියෙන බාධක අයින් කරන්න කියලා අයවැයෙන් යෝජනා කරලා තියෙනවා. කාලයක් තිස්සේ ඉඩම් අයිතිය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න සමනය කරලා ගොවීන්ට ඉඩම්වල අයිතිය ලබා දෙන්න අවශ්‍ය ප්‍රතිපාදන සම්පාදනය කරන්න අයවැයෙන් යෝජනා වෙලා තියෙනවා. මේ කියන යෝජනා ක්‍රියාත්මක වෙනවා නම් කෘෂිකර්මාන්තය පැත්තෙන් ගත්තම ඉතාමත් වැදගත් වගේම ලාභ ඉපයීමේදී සහයක් වෙනවා. හැබැයි අපි දන්නේ නෑ මේ කියනා යෝජනා කලින් අයවැය වලදී වගේම නිකම්ම නිකන් යෝජනා විදිහටම පවතීද නැත්තං ක්‍රියාත්මක වෙයිද කියලා.
මීට අමතරව ආයෝජකයන් ලංකාවට ගෙන්වා ගැනීමට නම් ලංකාවේ තියෙන්නේ ගැලපෙන ආකාරයට සංශෝධනය විය යුතුයි. ඒ වගේම අපි ලෝකය වෙළදපළක් විදිහට දැකලා අපේ කලාපයේ ඉන්න අනිත් තරගකරුවන් එකෙන් අනිත් රටවල් කොහොමද තමන්ගේ රටවල්වල සංචාරක ව්‍යාපාරය දියුණු කරගෙන තියෙන්නේ ඒකෙන් අපිට වඩා වැඩි අදායමක් ලබාගෙන තියෙන්නේ කියන දේවල් හොයල බලල ලංකාවෙ තියෙන ස්වභාවික සම්පත්වලින් ප්‍රයෝජනයක් ගන්න ඕන. 2024 අයවැයෙන් හිඟුරක්ගොඩ ගුවන්තොටුපලක් ඉදි කරන්න රුපියල් බිලියන 2 වෙන් කරලා තියෙනවා. ණය උගුලක හිරවෙලා බංකොලොත් වෙලා ඉඳලා යාන්තම් ගොඩ එන රටක් විදිහට ලංකාවේ මේ වගේ දේකට මේ වෙලාවේ වියදම් කරන එක ගැලපෙනවද සැකයි. මීට කලිනුත් ලංකාව මත්තල ගුවන් තොටුපලක් හැදුවා. හැබැයි ඒකෙනුත් ලංකාව හිතපු තරම් ලාභයකුත් නෑ. ප්‍රයෝජනයක් ගන්න ක්‍රමයක් හදලත් නෑ. මේ වෙලාවේ කරන්න ඕන රජයේ වියදම් පුළුවන් තරම් අඩු කරලා ආදායම් වැඩි කර ගන්න එක. ඒ නිසා හදිස්සියේම කරන්න ඕන නැති වියදම් පහු වුණාට කමක් නෑ. මොළේ පාවිච්චි කරලා අපි මේ වෙලාවේ වියදම් කරන්න ඕන අපිට ඉක්මණටම ආදායමක් ලැබෙන දේකට. හබැයි ඉතින් මේ රජයේ ආදායම වැඩි කරන්න බදු ආදායම් විතරක් මදි. එහෙම කළොත් වෙන්නේ ජනතාව දිගින් දිගට ම පීඩාවට පත්වෙන එක. මොකද ලංකාවෙ බහුතරයක් තියෙන්නෙ වක්‍ර බදු. සෘජු බදු වලට යටත් වෙන පිරිසක් අඩුයි. ඒ නිසා භාණ්ඩ මිල වැඩි වෙන්න වෙන්න උද්ධමනය වැඩි වෙන එක අපිට පාලනය කරන්න අමාරු වෙනවා කාලයෙන් කාලයට උද්ධමනය වැඩි වෙලා මිනිසුන් ජීවන මට්ටම පහළ ගිහින්. මිලදී ගැනීමේ පහළ ගිහිල්ලා ඉතාමත් අසීරු තත්වයකට පත් වෙලා. ඒකෙන් වෙන්නේ බහුතරයක් ජනතාවගේ මුලික අවශ්‍යතා පවා සපුරාගන්න නොහැකි වෙනවා. සුබසාධන ආර්ථික කටයුතු කරගෙන යනකොට මුල්‍යමය හෝ ද්‍රව්‍යමය ආධාර අවශ්‍යම පිරිස්වලට වෙන් කරලා දෙන්න පුළුවන් නම් සුභ සාධන කටයුතු වුණත් සාර්ථක වෙනවා. එහෙම නැත්නම් ඒ කරන ව්‍යාපෘතිවල ප්‍රතිඵල ඒ තරම් සාර්ථක නෑ. තමන්ගේ මහන්සියෙන් නිෂ්පාදන ආර්ථිකයට දායක වෙන්න පුළුවන් පිරිස දිරිගන්වන්න අවශ්‍ය වටපිටාව ඕනෑම රටක ආර්ථික වර්ධනයට සංවර්ධනයට හේතු වෙනවා. ඉතින් අපි මේ පාර බලාගෙන ඉන්නවා 2024 අයවැය රටට කොහොමද ඔබට කොහොමද කියලා.
-දිල්මිණී හසින්තා අබේරත්න