වෙළඳපළේ වැට කඩොලු සහ ලංකාවේ නාගරික නිවාස සිහිනය

අශාන්ති අබයසේකර සහ යස්මින් රාජිගේ ලිපියක් ඇසුරින් කළ දිල්මිණී අබේරත්නගේ අනුවර්තනයකි.  


කොළඹ විතරක් නෙවෙයි ඒ ළඟපාත තියෙන අනිත් තැන්වලත් ගෙවල්වල ගණන් බැලුවම පේන්නේ ලංකාවේ වැඩි දෙනෙක්ට, ගෙයක් ගන්න එක, හදන එක හීනයක් වෙලා කියන එකයි. අපේ රටේ මිනිස්සුන්ගෙන් 70%කටම තමන්ගේ ජීවිත කාලය ඇතුලේදි වර්ග අඩි 500ක පොඩි ගෙයක්වත් හදාගන්නවත් සල්ලිවලට ගන්නවත් පුළුවන්කමක් නෑ කියලා Advocata ආයතනයෙන් කරපු අධ්‍යයනයකින් (රිසර්ච්) හෙළිදරව් වුණා. කොහොම වුණත්, ඉන්න හිටින්න තැනක් හදාගන්න එක මේ තරම් අමාරු වුණේ ඇයි කියලා අපි මේ ලිපියෙන් කියනවා. 

unsplash-image-mE9PgAS96O8.jpg

Advocata ආයතනය 'ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල දැරිය හැකි මිලකට නිවාස ලබා ගැනීම සඳහා ඉදිකිරීම් කර්මාන්තයේ තරඟකාරී නොවන පිළිවෙත්වල බලපෑම' කියලා ළඟදි දවසක රිසර්ච් එකක් කළා. ඒකෙදි දැන ගන්න ලැබුණා ඇයි ලංකාවේ ගෙවල් මෙච්චර ගණන් කියලා. එක හේතුවක් තමයි සීමාකාරී වෙළඳ ප්‍රතිපත්ති. ආනයන සීමා වගේ දේවල් වැටෙන්නේ ඔය ගණයට. ඊළඟ හේතුව, ගෙවල් හදද්දි නැතුවම බැරි ඉදිකිරීම් ද්‍රව්‍ය වෙළඳපලේ තියෙන තරඟකාරී නොවන භාවිතයන්. උදාහරණයක් විදිහට දේශීය නිෂ්පාදකයා දිරි ගන්වන්න කියලා අඩු මිලට ගෙන්වන්න පුළුවන් ආනයන සීමා කිරීම හරි ඒවාට බදු වැඩි කරන එක වගේ දේවල් ගන්න පුළුවන්.

unsplash-image-pypeCEaJeZY.jpg

මේ රිසර්ච් එකෙන් හොයලා බැලුවේ නාගරික ප්‍රදේශවල ගෙවල් හදද්දි අත්‍යවශ්‍ය යෙදවුම් වෙන ටයිල්, සිමෙන්ති සහ ඇලුමිනියම් වෙළෙඳපොළ ගැන. එතනදි දැන ගන්න ලැබුණේ ටයිල්, සිමෙන්ති සහ ඇලුමිනියම් කියන මේ කර්මාන්ත ඇතුලේ ඉන්නේ සැපයුම්කරුවෝ කීප දෙනෙක් විතරයි කියන එක. ඒ කියන්නේ ඒ ඉන්න සමාගම් කීපයට ලොකු බලයක් වෙළඳපලේ තියෙනවා. මොකද එයාලා ඇර වෙන විකල්පයක් මිනිස්සුන්ට නෑනේ. මේ විදිහට වෙළඳපලේ සීමිත සැපයුම්කරුවන් ප්‍රමාණයක් ඉන්නත් හේතුවක් එපැයි. 

unsplash-image-cUGNFbxxD1E.jpg

ඒකට හේතුව වෙලා තියෙන්නේ මේ වෙළඳපළට ඇතුළු වෙන්න හැමෝටම බෑ. ඒකට බාධා තියෙනවා. කෙටියෙන් කිව්වොත් වෙළඳපළට එන දොර වැහිලා. දැනටමත් වෙළඳපලේ ඉන්න සැපයුම්කරුවෝ දරලා තියෙන ප්‍රාග්ධන වියදම අලුතින්ම වෙළඳපළට එන්න ඉන්න අයට දරන්න අමාරුයි. ඒ වගේම කාලයත් එක්ක පරණ සැපයුම්කරුවන්ට වෙළඳපලේ පරිමාණානුකූල ඵල වාසි තියෙනවා. ඔය හැම දේමත් එක්ක ලංකාවේ වෙළඳපලේ ඉන්න දේශීය සැපයුම්කරුවන්ට වෙලඳ ආරක්ෂණයෙන් වාසි ලැබෙනවා. මොකද ආරක්ෂණය හින්දා ආනයන තීරු බදු පැනවෙනවා. ඒත් එක්කම පිටරටවලින් ගේන අමුද්‍රව්‍යවල මිල ගණන් වැඩිවෙලා ඒක දේශීය සැපයුම්කරුවන්ට වාසියි තමන්ගේ නිෂ්පාදනවල මිල ඊට වඩා අඩු නිසා. මේකෙන් දේශීය නිෂ්පාදකයන්ගේ බලය වැඩි වෙනවා. 

unsplash-image-PF1daJne7lA.jpg

දේශීයව නිපදවන සිමෙන්තිවලට අමුද්‍රව්‍ය විදිහට ගන්නවා ක්ලින්කර්. 2014 ඉඳලා 2022 වෙනකම් කාලයේදී ක්ලින්කර්වලට 16% ත් 25%ත් අතර සමුච්චිත තීරුබදුවලට යටත් වෙලා තියෙනවා. මේ ගැන අපි සසඳලා බැලුවොත් පේනවා දේශීය නිෂ්පාදකයින්ට කෙලින්ම තරඟයක් දෙන්න පුළුවන් තොග සහ බෑග් සිමෙන්ති ආනයනකරුවන්ට ඔය කියන කාලය ඇතුලේ 8% සහ 14% අතර පරාසයක විහිදුන අතිරේක සෙස් පැරා තීරුබදුවලට දිගින් දිගටම මුහුණ දෙන්න වෙලා. මේ නිසා තොග සහ සිමෙන්ති බෑග් ආනයනකරුවන්ට පනවලා තියෙන සමුච්චිත තීරුබදු ක්ලින්කර් ආනයනකරුවන්ට වඩා සැලකිය යුතු තරම් ඉහළ ගොස් ඇති අතර, තොග සහ සිමෙන්ති ආනයනකරුවන් සඳහා පිළිවෙලින් 27.5% - 38.5% සහ 26% - 32.5% අතර පරාසයක තියෙනවා.  

රූපය 1: ආනයනය කරන ලද සිමෙන්ති ප්‍රමාණය, මිල ගණන් සහ තීරුබදු ව්‍යුහය ආදියේ වෙනස්වීම්

ටයිල් වෙළඳපොළේ තත්ත්වයත් මේ වගේම තමා. 2013 ඉඳලා 2022 වෙනකම් ආනයනය කරපු ටයිල්වලට 79% සහ 89.5% අතර මුළු තීරුබදු අනුපාතයකට යටත් වෙන්න වෙලා. මේ අතර ටයිල් නිෂ්පාදනය කරන අමුද්‍රව්‍ය වෙනුවෙන් තියෙන්නේ 8% ක වැට් බද්දක් විතරයි.  තීරුබදු අනුපාතවල තියෙන මේ වගේ වෙනස්කම් නිසා අසමාන ක්‍රීඩා පිටියක් නිර්මාණය වෙලා තියෙනවා. වෙන විදිහකින් කියනවා නම් දේශීය නිෂ්පාදකයින්ට මේ ක්‍රමය නිසා වාසියි. එයාලත් එක්ක තරඟ කරන ආනයනික සගයන්ට වඩා අසාධාරණ වාසියක් මේ නිසා එයාලට ලැබිලා තියෙනවා. 

unsplash-image-1sCXwVoqKAw.jpg

ඉහළ මට්ටමේ තීරුබදුවලට අමතරව, ආනයන සීමා කියන එකට ප්‍රමාණ සීමා කිරීමත් කරලා තියෙනවා. ලංකාවේ ආර්ථික අර්බුදය වෙලාවේ ඩොලර් හිඟයක් තිබ්බ නිසා රටින් පිටට සල්ලි යන එක වළක්ව ගන්නත් එක එක දේවල් කළා. ඔය අතරේ 2020 අප්‍රේල් මාසයේදී ආනයන සීමා ගොඩක් පැනෙව්වා. ඒ නිසා ආනයනය කරන සිමෙන්ති කොට්ටවල ප්‍රමාණය 65% කිනුත් ටයිල් 87% කින් අඩු වුණා. ඩොලර් හිඟයක් තියෙද්දි විදේශ විනිමය ඉතිරි කරගන්න උත්සාහයක් විදිහට තමා මේ සීමා කිරීම් ගොඩක් පනවලා තියෙන්නේ.  කොහොම වුණත් මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා තියෙන නොගැලපෙන විදිහ දැක්කම  වෙළඳපල ඇතුලේ වැඩි වැඩියෙන් දේශීය සැපයුම්කරුවන්ටවිශේෂ සැලකීමක් කරලා තියෙනවා. ඒ කියන්නේ අනිත් අයට නැති තරමේ අසමාන විදිහට ප්‍රතිලාභ ලබා දීලා තියෙනවා.

ලොකුවට තීරුබදු දාලා ආනයන නවත්වන්නයි ආනයනය කරන ප්‍රමාණය අඩු කරන්නයි හදන නිසා ඉදිකිරීම් ද්‍රව්‍ය වෙළඳපලේ සැපයුම ගොඩක් අඩුයි. මේකේ බලපෑම නිෂ්පාදකයින්ට සහ ආනයනකරුවන්ට විතරක් නෙවෙයි පාරිභෝගිකයින්ටත් තියෙනවා. පාරිභෝගිකයන්ට වෙළඳපලේ හොඳ තේරීමක් කරන්න තරම් ප්‍රමාණවත් සැපයුමක් නෑ. තියෙන දේ ගන්නවා ඇර එයාලට වෙන විකල්පයක් නෑ. ඒ නිසා වැඩි ගාණට තියෙන බඩු ගන්න වෙනවා. වෙළඳපලේ තරඟකාරී මිලක් නෑ. 

ඉදිකිරීම් ද්‍රව්‍ය නිෂ්පාදකයින්ටයි ආනයනකරුවන්ටයි එහි ඇඟවුම් වලට අමතරව, ආනයන සීමා කිරීම් නිසා තීරුබදු ඉහලයි. ඒකෙන් පාරිභෝගිකයින්ට මිලදී ගන්න තියෙන්නේ සීමිත ඉදිකිරීම් ද්‍රව්‍ය ප්‍රමාණයක්. ඒ නිසයි අපි කලිනුත් කිව්වේ එයාලගේ තේරීම සීමා වෙලා කියලා.  උදාහරණයක් විදිහට ටයිල් වෙළඳපොලේ තියෙන අධික තීරුබදු සහ ආනයන සීමා කිරීම් නිසා 2020 අප්‍රේල් මාසයත් එක්ක බලද්දි 2022 අගෝස්තු මාසය වෙද්දි මිල ගණන් වැඩි වෙලා තියෙනවා 93% ඉඳලා 123% තරම්. ඒ විතරක් නෙවෙයි පාරිභෝගිකයින්ට භාණ්ඩ ලබා ගන්න අවුරුද්දකට වඩා වැඩි කාලයක් බලා ඉන්නත් සිද්ධ වෙලා තියෙනවා. 

මේ හැම දෙයක්ම ගෙයක් ගන්නවා කියන එකට ගෙවල්වල මිල ගණන්වලට බලපාන්නේ කොහොමද? ආරක්ෂණවාදී වෙළඳ ප්‍රතිපත්ති නිසා ගෙයක් හදන්න ඕන වෙන ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල ඉහළ යාම වගේම දේශීය වෙළඳපොලේ තරඟකාරිත්වයක් නැතිකමත් එක්ක, ගෙයක් හදන්න යන වියදමත් අවුරුදු ගාණක් තිස්සේ වැඩි වෙලා ඇවිත් දැන් මිනිස්සුන්ට දරන්නම බැරි තැනකට ඇවිත්. 

unsplash-image-zi1GRsLym3s.jpg

ගෙයක් කියලා කියන්නේ මිනිස්සුන්ට නැතිවම බැරි දෙයක්. මූලිකම අවශ්‍යතාවක්. ඒ වගේ දෙයක් මිනිස්සුන්ට හීනයක් වෙනවා කියන්නේ බරපතල දෙයක්. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේ ප්‍රශ්නය අපි හිතනවාට වඩා බරපතලයි. හිසට සෙවණක් තියෙන ජනතාවක් හදන්න නම් පුළුවන් තරම් ඉක්මනට තීරුබදු සම්පූර්ණයෙන්ම අයින් කරන එකයි ඉදිකිරීම් ද්‍රව්‍යවල තරඟකාරිත්වය වැඩි කරන එකයි කරන්නම ඕන. කොහොම වුණත් ලංකාවේ මූල්‍ය අවකාශය සීමා සහිත වීම නිසා තීරුබදු අඩු කිරීම සහ වෙළඳ සීමාවන් ඉවත් කිරීම කියන දේවල් කරන්න ඕන ටිකෙන් ටික මිසක් එක රැයින් නෙවෙයි. එතකොට ක්‍රමානුකූලව මේ අංශයේ භාණ්ඩ ආනයනය වැඩි වීම වෙනවා, ඒකෙන් සැපයුම වැඩි වෙන නිසා මිල පහල වැටෙනවා. ඒත් එක්කම අන්තිමට ගෙයක් හදන්න යන පිරිවැය අඩු වෙන නිසා කෙනෙක්ට ගෙයක් ගන්න එක දරන්න පුළුවන් මිලකට එනවා.