- දිල්මිණී අබේරත්න විසිනි
කොහුවල හන්දිය පහු කරගෙන කොළඹ පැත්තට එනකොට මට පේනවා කොහුවල ගුවන් පාලමේ උඩ කොටස හදපු දා ඉඳලා එතන තමන්ගේ නවාතැන කර ගත්ත මනුස්සයෙක්. බිත්ති හතරක් නැතත් එයාට මේ වෙලාවේ ඕන හිසට වහලක් විතරයි. ඒත් අපිට ඒ වගේ අපිට හිත නැවතෙන තැනක හිත ගිය තැන මාළිඟාව හදන්න බෑ. ඉස්සර නම් කොහොම හරි ලෝන් එකක් අරන් පොඩි ගෙයක් හදා ගන්න එක කවුරු කවුරුත් තමන්ට පුළුවන් විදිහට කළා. ඒත් ගෙයක් හදා ගන්න එක දැන් ලංකාවේ තියෙන හීන අතරේ තවත් එක හීනයක් වෙලා ඉවරයි.
ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තය දිහා බැලුවම පේන්න තියෙන්නේ හරියට බාගෙට හදපු ගොඩනැඟිල්ලක සැකිල්ලක්. කවදා වැඩ ඉවර වෙයිද? කවදාවත් බැරි වෙයිද? මේ කිසි දෙයකට උත්තර රටේ සාමාන්‍ය ආදායමක් ගන්න පවුලකට හිතන්න බැරි ගාණට ඇවිත්. මිනිස්සුන්ටම බදු බර පටවලා ගොඩ යන්න බලාගෙන ඉන්න අසාර්ථක ආර්ථිකයක් එක්ක සමාජයේ අසමානතාව එන්න එන්නම වැඩි වෙනවා. කාර්‍යක්ෂම නැති වෙළඳපළවල්, රජයේ අසීමිත මැදිහත් වීම් නිසා සංවර්ධිත රටක් බවට පත් වෙන එකත් මිරිඟුවක් පස්සේ යනවා වගේ. ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයටත් මේ කියන අකාර්‍යක්ෂමතා, අසමතුලිතතා වගේම ඒකාධිකාරී වෙළඳපළ තත්ත්ව නිසා මිනිස්සුන්ගේ සුබසාධනය එහෙම පිටින්ම නැති වෙලා යන එක සාමාන්‍ය දෙයක් වෙලා.
දේශීය ව්‍යාපාරිකයන්ට හොඳක් කරන්න කියලා හිතාගෙන රජය ආර්ථිකයට මැදිහත් වෙලා කරන ආනයන සීමා වගේ දේවල් නිසාත් දේශීය වෙළඳපළ, සැපයුම්කරුවෝ එක් කෙනෙක්ට දෙන්නෙක්ට සීමා වෙලා තියෙන නිසාත් මිනිස්සුන්ට තරඟකාරී මිලකට ඉදිකිරීම් ද්‍රව්‍ය මිලට ගන්න බෑ. වෙළඳපළේ තියෙන ගිනි ගණන්වලටම තමයි ගෙයක් හදන්න බඩු ගන්න වෙන්නේ. මේ නිසා වෙළඳපළේ අසමාන තරඟයක් ඇති වෙලා තියෙනවා වගේම ඒක සාධාරණ තරඟකාරිත්වයට බාධාවක් වෙලා ඉවරයි. අපි බලමු මේ ලිපියෙන් ඉදිකිරීම් ද්‍රව්‍ය අංශයට බලපාන ප්‍රධාන ගැටලු මොනවද කියලත් තිරසාර කර්මාන්ත වර්ධනයක් ඇති කරන්න සුදුසු පුළුල් ප්‍රතිසංස්කරණ මොනවද කියලත්.
දේශීය ඉදිකිරීම් ද්‍රව්‍ය වෙළඳපොලේ උළු, සිමෙන්ති, ඇලුමිනියම් වගේ දේවල් සපයන තරඟකරුවෝ ඉන්නේ දෙන්නයි නැත්නම් කීප දෙනයි. ඒක ගෙයක් දොරක් හදන්න බලන් ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට හොඳ ආරංචියක් නම් නෙවෙයි. මොකද සැපයුම්කරුවෝ අඩු වෙන තරමට, ඒ සීමිත සැපයුම්කරුවන්ට පුළුවන් එයාලා සපයන භාණ්ඩයේ මිලට හරි ප්‍රමාණයට හරි ලොකු බලපෑමක් කරන්න. එයාලා කියන ගාණට අපිට බඩු ගන්න වෙනවා මොකද අපිට වෙන විකල්පයක් නැති නිසා.
සැපයුම්කරුවන්ට මේ වගේ ලොකු බලයක් ලැබෙන්න හේතුව තමයි ආර්ථිකයේ සමහර සැපයුම්කරුවෝ කාලයක් තිස්සේ වෙළඳපලේ ඉඳලා එයාලට ඒ අංශය ගැන හොඳ දැනුමක්, පරිණතබවක් වගේම විශේෂඥ හැකියාවක් ඇති වෙලා තියෙන එක. ඒත් අළුතෙන්ම ඒ වෙළඳපළට උළු, සිමෙන්ති, ඇලුමිනියම් සපයන්න එන සැපයුම්කරුවෙක්ට ඒ වගේ දැනුමක්වත්, දක්ෂතාවක්වත්, ඇති තරම් සල්ලිවත් නැති වෙන්න පුළුවන්. ඒ නිසා දැනටමත් වෙළඳපලේ ඉන්න සැපයුම්කරුවන්ට ලොකු බලයක් තියෙනවා. ඒත් අළුතෙන්ම වෙළඳපළට එන්න ඉන්න සැපයුම්කරුවන්ට අභියෝග ගොඩක් තියෙනවා.
මේ වෙනකොට ලංකාවේ සිමෙන්ති කර්මාන්තයේ බලය තියෙන්නේ තරඟකරුවන් තුන් දෙනෙක් ළඟ. ටයිල් කර්මාන්තයේ ඉන්නේ තරඟකරුවන් හතර දෙනයි. ඒකෙනුත් තුන් දෙනෙක්ම එකම ආයතනයකට අයිති අය. ඇලුමිනියම් කර්මාන්තය ගත්තම තරඟකරුවන් හතර දෙනයි. ඕනම වෙළඳපළක ඉන්න නිෂ්පාදකයින් ගාණ වැඩි වෙන්න වෙන්න තරඟකාරීත්වය වැඩියි. ඒ වගේම නිෂ්පාදකයින් ගාණ අඩු වෙන්න වෙන්න තරඟකාරීත්වය අඩුයි. තරඟකාරීත්වය අඩු වෙනවා කියන්නේ ඒ ඒ නිෂ්පාදකයාට තියෙන බලය වැඩියි කියන එක. එතනදි මිනිස්සුන්ට ඒ නිෂ්පාදකයා විකුණන්න කැමති ගාණට අඩු ගුණත්වයක් තියෙන භාණ්ඩ වුණත් මිලට ගන්න වෙනවා.
මේ විදිහට තරඟකාරීත්වය අඩු වෙලා සාමාන්‍ය මිනිස්සු සූරාකෑමට ලක් වෙන්න එක හේතුවක් වෙන්නේ දේශීය වෙළඳපළේ ඉන්න සැපයුම්කරුවෝ ගාණ අඩු වෙනකොට. ඒ වගේම විදේශීය රටවලින් ලංකාවට උළු, සිමෙන්ති, ඇලුමිනියම් ආනයන සීමා කළාමත් ලංකාවේ වෙළඳපලේ ඉන්නේ ලංකාවේ සැපයුම්කරුවෝ ටික දෙනා විතරයි. එතකොට විදේශීය රටවල්වලින් ලංකාවේ සැපයුම්කරුවෝ විකුණන ගාණට වඩා අඩු ගාණකට මිනිස්සුන්ට බඩු විකුණන්න කැමති වුණත් රජය මැදිහත් වෙලා ඒ පිටරටින් ගෙන්වන ආනයන සීමා කරලා හරි නතර කරලා තිබ්බාම ඒකෙනුත් සාමාන්‍ය මිනිස්සුන්ගේ තේරීමේ හැකියාව අඩු වෙලා, ලංකාවේ තියෙන වැඩි ගණන්වලට බඩු ගන්න වෙනවා. ඔන්න ඔය වගේ හේතු නිසා තමයි ලංකාවේ ගෙයක් ගන්න එක ඇමරිකාවේ නිව්යෝර්ක්වලින් හරි ජපානෙන් හරි ගෙයක් ගන්නවට, ගෙයක් හදනවාට වඩා අමාරු, දරා ගන්න බැරි ගාණක් යන වැඩක් වෙලා තියෙන්නේ.
මේ වෙනකොට ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයට පිටරටින් ගෙන්වන සිමෙන්ති, ටයිල් සහ ඇලුමිනියම් වගේ ආනයනික ඉදිකිරීම් ද්‍රව්‍යවලට සෙස්/CESS (Cessation) සහ PAL (වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බද්ද) වගේ පැරා තීරු බදු පනවලා තියෙන නිසා ඒවායේ ගාණ ගොඩක් වැඩි වෙලා තියෙනවා.
උදාහරණයක් විදිහට ගත්තම දේශීයව නිෂ්පාදනය කරන සිමෙන්තිවලට ක්ලින්කර් කියන අමුද්‍රව්‍ය පාවිච්චි කරනවා. 2014 ඉඳලා 2021 වෙනකම් අවුරුදු 7 ඇතුලත ක්ලින්කර්වලට පනවලා තියෙන බදු 16% ඉඳලා 25% තරම් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම දේශීය නිෂ්පාදකයන්ට සෘජුවම තරඟයක් දෙන්න පුළුවන් තොග සහ සිමෙන්ති කොට්ට ආනයනකරුවන්ට. මේ ආනයනකරුවන්ට පනවලා තියෙන සෙස් බද්ද මේ වෙද්දි 8% සහ 14% අතර පරාසයක තියෙනවා. ආනයනවලට බදු පැනවුවාම දේශීය නිෂ්පාදනවලට වඩා ආනයනවල මිල වැඩියි. මෙහෙම තමයි දේශීය නිෂ්පාදකයින්ට අසාධාරණ වාසි ලබා දෙන්නේ. දැන් පේනවනේ ලංකාවේ නිෂ්පාදකයන්ට අසාධාරණ ක්‍රමවලින් වාසි දෙන්න යන එකෙන් විදේශීය නිෂ්පාදකයන්ගේ තරඟකාරීත්වය නැති වෙලා යනවා.
සිමෙන්ති විතරක් නෙවෙයි ටයිල් වෙලඳපලෙත් මේ වගේම සිද්ධියක් වුණා. ඒ 2013 ඉඳලා 2021 දක්වා ආනයනය කරපු ටයිල්වලට 79% ඉඳලා 89.5% අතර මුළු තීරුබදු අනුපාතයකට යටත් කරලා ආනයනකරුවන්ගේ නිෂ්පාදන මිලට ගන්න මිනිස්සුන්ට තියෙන හැකියාව අඩු කරලා දැම්මා. ඒත් දේශීය නිෂ්පාදකයන්ට වාසියක් වෙන්න ඕන නිසා දේශීයව ටයිල් නිෂ්පාදනය කරන්න ගෙන්වන අමුද්‍රව්‍යවලට පනවන බදු 8% ක වැට් බද්දකට විතරක් සීමා කළා. මේ විදිහට රජය ආර්ථිකයට මැදිහත් වෙලා වෙළඳපළේ ඉල්ලුමට හරියන සැපයුම ඇති වෙන එකට එක එක විදිහේ බලපෑම් කරපු නිසා අන්තිමට වැඩියෙන්ම අසාධාරණයට ලක් වෙලා ඉන්නේ ගෙයක් හදන්න හීන දකින මිනිස්සු, අලුත් ව්‍යාපාරයකට ගොඩනැඟිල්ලක් හදන්න බලන් ඉන්න මිනිස්සු.
ඉහළ තීරුබදු පනවලා තරඟකාරීත්වය සීමා කරනවාට අමතරව, පිටරටින් ලංකාවට ගෙන්වන නිෂ්පාදනවල ප්‍රමාණය අඩු කරන එකත් සිද්ධ වුණා. කොවිඩ් වසංගතය කාලේ ඇති වෙච්ච ඩොලර් හිඟයත් එක්ක 2020 අප්‍රේල් මාසයේදී හුඟක් ආනයන සීමා කළා. ඒත් එක්කම සිමෙන්ති කොට්ට සහ ටයිල් ආනයනය කරන ප්‍රමාණයත් අඩු වුණා. මේ විදිහට ආනයන සීමා කරන්නේ ඩොලර් ඉතුරු කර ගන්න. ඒ කොහොම වුණත් මේ වගේ ප්‍රතිපත්තිවලින් සිද්ධ වෙලා තියෙන්නේ වෙලඳපොලේ ඉන්න මහා පරිමාණ සැපයුම්කරුවන්ට අසමාන විදිහට ප්‍රතිලාභ ලබා දෙන එක.
තීරුබදු වැඩි කරලා ආනයනය කරන භාණ්ඩ ප්‍රමාණය සීමා කරපු නිසා මිනිස්සුන්ට සිද්ධ වෙනවා පිටරටින් ගෙන්වන දේවල්වලට වඩා දේශීය නිෂ්පාදන මිලට ගන්න. ඒ කියන්නේ මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නැති නිසා ගාණ වැඩි වුණත් ලංකාවේ නිෂ්පාදනය කරපු ඉදිකිරීම් ද්‍රව්‍ය මිලට ගන්න වෙනවා. දේශීය වෙළඳපලේ ඉදිකිරීම් ද්‍රව්‍ය සපයන කීප දෙනාට කියාපු ඉල්ලමක් තමයි හදලා දීලා තියෙන්නේ.
මේ විදිහට ඉදිකිරීම් ද්‍රව්‍ය වෙළඳපලේ දිගින් දිගටම මිල ගණන් වැඩි වෙලා. උදාහරණයක් විදිහට ටයිල් වෙළඳපොලේ, 2020 අප්‍රේල් මාසයයි 2022 අගෝස්තු මාසයයි බලද්දි අවුරුදු දෙකක් ඇතුලත මිල ගණන් 93% ඉඳලා 123% දක්වා වැඩි වෙලා. ඒ වගේම භාණ්ඩ ඇති තරමට සපයන්නේ නැති නිසා මිනිස්සුන්ට භාණ්ඩ ලබා ගන්න අවුරුද්දකට වඩා වැඩි කාලයක් බලා ඉන්නත් සිද්ධ වෙලා.
ඇත්තටම මිල වැඩි වෙන්න හේතු වුණේ ආණ්ඩුව / රජය වෙළඳපළට මැදිහත් වෙලා කරපු ආනයන සීමා සහ තීරු බදු පැනවීම් වගේ ප්‍රතිපත්ති. ඒ වගේ ප්‍රතිපත්ති නිසා දේශීය නිෂ්පාදකයින්ට හිතා ගන්න බැරි තරම් වාසි - ලාභ ලැබුණා. ඒ කොච්චරක්ද කියනවා නම් සමහර අවස්ථාවලදී ලාභය 90% හරි ඊටත් වැඩි ප්‍රමාණයකින් හරි වැඩි වෙලා තියෙනවා.
නියර මිටි තැනින් වතුර බැහැලා යනවා වගේ මේ අසාධාරණ තරඟකාරීත්වයෙන් බැට කන්නේ සාමාන්‍ය මිනිස්සු. ලාභ ලබන්නේ බලාධිකාරී ආයතන. හිසට වහලක් කියන්නේ මනුස්සයෙක්ගේ මූලිකම අවශ්‍යතාවක්. ඒත් ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයේ තරඟකාරීත්වයක්, නිදහස් ආර්ථික වටපිටාවක් නැති නිසා ගෙයක් හදන්න යන වියදම රටේ බහුතරයකට දරා ගන්න බෑ.
මේ විදිහට බලන් ගියාම අපිට පේනවා ආර්ථිකයට නිදහසේ ක්‍රියාත්මක වෙන්න නොදී රජය ඇවිත් මිල පාලන, ආනයන සීමා පනවන්න ගියාම වෙළඳපලේ ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. ඉතිං ඇත්තටම රජය ආර්ථිකය වෙනුවෙන් කරන්න ඕන මොනවද?
ඒ තමයි දැනට පනවලා තියෙන වෙළඳ බාධක අඩු කරන එක සහ තරඟකාරිත්වය වැඩි කරන එක. එහෙම කළාම වෙළඳපලේ ප්‍රශ්න ඉබේම විසඳිලා යනවා. මොකද තීරුබදු අඩු කරලා වෙළඳ සීමා අයින් කළාම වැඩි වැඩියෙන් භාණ්ඩ / අමුද්‍රව්‍ය ලංකාවට ගේන්න පුළුවන්. ඒත් එක්කම සැපයුම වැඩි වෙන නිසා වෙළඳපලේ තියෙන භාණ්ඩ හිඟය නැති වෙනවා. පිටරටින් තරඟකාරයෝ ලංකාවට එද්දි දේශීය නිෂ්පාදකයන්ට ඔහේ ගුණත්වයක් නැති භඩු ගිනි ගාණට විකුණලා මිනිස්සුන්ව සූරාකන්නත් අමාරුයි. වෙළඳපලේ සැපයුම හොඳට තියෙන නිසා මිනිස්සු තෝරලා බලලා අඩු ගාණට වැඩි ප්‍රයෝජනයක් ලැබෙන ගුණාත්මක දේවල් මිලට ගන්න නිසා සැපයුම්කරුවන්ට සිද්ධ වෙනවා තරඟකාරීව නිෂ්පාදන වෙළඳපළට ගේන්න.
ඒ වගේම තවත් වැඳගත් දෙයක් තමයි දැනට ශ්‍රී ලංකාවේ තරඟකාරී නීතිය විදිහට සැලකෙන්නේ 2003 පාරිභෝගික කටයුතු පනත (Consumer Affairs Act of 2003). ඒක ඵලදායී නීතියක් බවට පත් කරලා ඒකෙන් වැඩක් ගන්න නම් සැලකිය යුතු වෙනස්කම් ටිකක් කරන්න ඕන. පාරිභෝගික කටයුතු අධිකාරියේ ප්‍රධාන ප්‍රධාන අරමුණ වෙන්නේ තරඟකාරීත්වය ප්‍රවර්ධනය කිරීම වුණාට කාලයක් තිස්සේ ඒ වෙනුවෙන් අදාළ විමර්ශනයක් කිසිවක් කරලා නෑ මොකද අධිකාරියට ප්‍රමාණවත් මුදල් නැතිකම, ස්වාධීනතාවක් සහ විනිවිදභාවයක් නැතිකම නිසා. මේ නිසා ශ්‍රී ලංකාවේ පාරිභෝගික කටයුතු අධිකාරියට කාලීන ප්‍රතිසංස්කරණ කිරීමත් ඉක්මණින්ම කරන්න ඕන. ඒත් ආයතනික මට්ටමේ වෙනස්කම් කරන්න අපි හිතනවාට වඩා සෑහෙන කාලයක් වගේම දේශපාලන ක්‍රියාකාරී මැදිහත්වීමක් අවශ්‍ය වෙනවා. මේ නිසා අපිට ඉක්මණින්ම කරන්න පුළුවන් දේ තමයි වෙළඳ සීමා කිරීම් සහ තීරුබදු ඉවත් කිරීම මගින් රජය ආර්ථිකයට අනවශ්‍ය විදිහට මැදිහත් වෙන එක නවත්වලා ආර්ථික නිදහස වැඩිවෙන විදිහට වැඩ කරන එක. එහෙම නැතුව නම් හිසට සෙවණක් ලැබෙන එක කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක් වෙනවා.