රවී රත්නසබාපති විසිනි
The Leaderහි පල වූ ලිපියකි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වී ඇති බව ආර්ථික විද්‍යාඥයෝ පවසති. එහෙත්, බොහෝ දෙනෙකු තවමත් ජීවත් වීමේ දැඩි අපහසුකම්වලින් පෙළෙන්නේ නම්, එකී ආර්ථික ස්ථාවරත්වයෙන් අදහස් කරන්නේ කුමක්ද?
ආර්ථික විද්‍යාඥයින් ස්ථාවරත්වය යන්නෙන් අදහස් කරන්නේ ආර්ථිකයේ අසමතුලිතතාවය විසඳා ඇති බවයි. මිල ඉහළ යාම, විදේශ විනිමය හිඟය සහ භාණ්ඩ හිඟවීම අසමතුලිතතාවයේ ලක්ෂණ ලෙස දැක්වේ. මෙම ගැටලු ඇත්ත වශයෙන්ම විසඳී ඇත. එහෙත්, සාමාන්‍ය මිනිසුන්ට එයින් සිදු වී තිබෙන සෙත කුමක්ද? එයින් අදහස් වන්නේ මිනිසුන් දිළිඳු වීමේ වේගය අඩු වී ඇති බව පමණි. අපි ප්‍රපාතයේ පහළට රූටා යමින් සිටියෙමු, තාවකාලිකව පමණක් එම කඩා වැටීම නැවතී ඇත. මෙය සාමාන්‍ය ජයග්‍රහණයක් නොවන බව ඇත්තය. එහෙත්, ජනතාව මීට වඩා හොඳ යහපත් තත්වයක් අපේක්ෂා කරති.
2020 දී මිනිසුන් විශේෂිත ජීවන ප්‍රමිතියක් භුක්ති වින්දහ. එහෙත්, වසර තුනකට පසුව ඔවුන් දුප්පත් වී සිටින අතර එසේ වූයේ මන්දැයි වටහා ගැනීම ඔවුන්ට දුෂ්කරය. ජීවන මට්ටම්වල මෙම තියුණු පහත වැටීමට හේතු වූයේ කුමක්ද? දූෂණය, දුර්වල පාලනය සහ දුර්වල රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති එයට හේතු වූ බවට චෝදනා එල්ල වේ. එහෙත්, එම ප්‍රතිපත්ති දශක ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක විය. ඒවායේ ප්‍රතිවිපාක මෙතරම් කාලයක් නොදුටුවේ ඇයි? ඒවා හදිසියේම මේ අන්දමින් ප්‍රකාශ වූයේ කෙසේද?
කාරණය නම් මේවා ගැටලුවට සම්බන්ධ වුවත් ඒවා අර්බුදයෙහි ක්ෂණික හේතු නොවන බවයි. අද පවතින දරිද්‍රතාවයේ හේතු තේරුම් ගැනීමට 2020-2023 අතර සිදු වූ වෙනස අප තේරුම් ගත යුතුය.
එකිනෙකට වෙනස් හේතු දෙකක් ඇත. එහෙත්, පැහැදිලිව තේරුම් ගැනීම සඳහා ඒවා වෙන වෙනම සලකා බැලිය යුතුය.
2019 දෙසැම්බර් සිට 2022 අගෝස්තු දක්වා කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විශාල මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර ඇත. රජයට ලබා දුන් ශුද්ධ මහ බැංකු ණය ප්‍රමාණය බිලියන 363 සිට බිලියන 3,162 දක්වා දස ගුණයකින් වර්ධනය විය. මුදල් සැපයුම වැඩිවීමේ අවසාන ප්‍රතිඵලය වන්නේ මුදල් ඒකකයෙහි වටිනාකම පහත වැටීමයි. මෙය විදේශ විනිමය වෙළෙඳපොළේ මිල ඉහළ යාම සහ රුපියල අවප්‍රමාණය වීම තුළින් පිළිබිඹු වේ.
මිල පාලනයක් පැනවීම මගින් ගැටලුවේ රෝග ලක්ෂණ වසන් කිරීමට එකල රජය උත්සාහ කළේය. රුපියල සඳහා විනිමය අනුපාතිකය රුපියල් 200 ලෙස කෘතිමව නියම කරන ලදී. එහි ප්‍රතිඵලය වූයේ විදේශ විනිමය හිඟය සහ භාණ්ඩ හිඟ වීමයි. දිගු පෝලිම් සහ විදුලි කප්පාදු සිදු වූයේ එහෙයිනි. මුදල් මුද්‍රණය දිගටම කරගෙන යන ලදී. අවසානයේ ආර්ථික ක්‍රියාකාරකම් නතර වන මට්ටමේ මින් පෙර නොවූ ආකාරයේ දැඩි ආනයන සහ මිල පාලනයන් පැනවීමට රජයට සිදු විය. මිනිසුන් පෝලිම්වල සිටගෙන හෝ අඳුරේ වාඩි වී සිටියහ. අමු ද්‍රව්‍ය නොමැතිකම, කාර්ය මණ්ඩලය හෝ නිෂ්පාදන ප්‍රවාහනය කිරීමට නොහැකි වීම සහ බලශක්තිය නොමැතිකම හේතුවෙන් කර්මාන්තශාලා සහ කාර්යාලවල වැඩ නතර විය.
මෙම ගැටලුව විසඳීම සඳහා ඇති එකම විකල්පය වූයේ පොලී අනුපාත ඉහළ නැංවීමට ඉඩ දීමයි. අධිකතර ඉල්ලුමට හේතු වන ණය වර්ධනය මන්දගාමී කිරීමයි. ඒ සඳහා සැලකිය යුතු පොලී අනුපාත වැඩිවීමකින් තොරව අර්ධ අවප්‍රමාණය කිරීමක් මුලින් උත්සාහ කළ නමුත් එය අසාර්ථක වූ අතර විදේශ විනිමය හිඟය දිගටම පැවතුණි. එහි හැරවුම් ලක්ෂ්‍යයක් සලකුණු වුණේ ගාස්තු සැලකිය යුතු ලෙස වැඩි කර, ඩොලරයට රුපියල් 360 මට්ටමේ නැවත ස්ථාවර කළ විට පමණි.
රුපියල කඩාවැටීමත් සමඟ සියලු භාණ්ඩ හා සේවාවන්ගේ මිල ඉහළ ගියේය. මුදල් ඒකකයේ අඩු වූ අගය හේතුවෙන් මිල පාලනයන් ඉවත් කිරීමට සිදු විය. එහිදී වඩාත්ම ආන්දෝලනාත්මක වූයේ ඉන්ධන, විදුලිය සහ ඉවුම් පිහුම් ගෑස් වැනි බලශක්ති මත මිල පාලනයන් ඉවත් කිරීමට සිදු වීමයි. භාණ්ඩ හා සේවා දෙකෙහිම මිල හදිසියේ ඉහළ යාමක් සිදු වූයේ එහෙයිනි.
අවාසනාවන්ත ලෙස මිල ඉහළ ගියද ජනතාවගේ ආදායම සහ ඉතුරුම් ඉහළ ගියේ නැත. මිනිසුන්ගේ ජීවන තත්ත්වය මනිනු ලබන්නේ ඔවුන්ගේ ආදායමෙන් නොව එම ආදායමෙන් ලබාගත හැකි දේ මගිනි. මුදලේ වටිනාකම පහත වැටෙන විට ජීවන තත්ත්වය ද පහත වැටේ.
මෙය ආපසු හැරවිය හැක්කේ කෙසේද? ඛේදවාචකය නම් මුදල් අවප්‍රමාණය වීමේ ප්‍රතිවිපාක ස්ථිර වීමයි. සම්පූර්ණ ආපසු හැරවීම සඳහා මුදල් තොගය 2019 දී තිබූ මට්ටමට නැවත හැකිලීම අවශ්‍ය වේ. මෙය දැනට පවතින ප්‍රමාණයට වඩා අධික ලෙස පොලී අනුපාත වැඩිවීමට හේතු වනු ඇත. මෙහි ප්‍රතිවිපාක වනු ඇත්තේ රට පුරා ව්‍යාපාර කඩාවැටීම සහ දැන් පවතින මට්ටමටත් වඩා දුක් වේදනා පටවන ආර්ථික හැකිලීමකි.
කළ යුත්තේ කුමක්ද? මුදල් අවප්‍රමාණය වීම සිදුවිය හැක්කේ මහ බැංකුව හරහා පමණි. එය නැවත කිසි දිනෙක සිදු නොවන පරිදි නීති මගින් වැළැක්විය යුතුය.
මහ බැංකුව පොලී අනුපාත අඩු මට්ටමක තබා ගැනීමට උත්සාහ කළ යුතු යැයි මිනිසුන් වැරදියට සිතන නමුත් මෙය කළ හැකි එකම ක්‍රමය වන්නේ (අ) රජය ණය ගැනීම් ප්‍රමාණය අඩු කිරීම (එහි විශාලත්වය අනුපාත මත සැලකිය යුතු ඉහළට පීඩනයක් ඇති කරයි) හෝ ( ආ) මහ බැංකුව විසින් මුදල් සැපයුම (මුදල් මුද්‍රණය) දිගින් දිගටම වැඩි කරන්නේ නම් (එමගින් පොළී අනුපාතික අඩු වේ) පමණි. කෙටි කාලීනව රජයේ වියදම් අඩු කිරීම අපහසු බැවින්, ණය ගැනීම දිගටම කරගෙන යාමට රජයට සිදුවේ. මෙයින් අදහස් කරන්නේ පොලී අනුපාත අඩු කිරීමට ඇති එකම මාර්ගය මුදල් මුද්‍රණය වන බවයි. එහෙත්, එය අවසානයේ සියල්ලන් දිළිඳු තත්වයට ඇද දමයි.
ආර්ථිකය උත්තේජනය කිරීම සඳහා මහ බැංකුව ක්‍රියාකාරී මූල්‍ය ප්‍රතිපත්තියක නිරත නොවිය යුතුය. එය රජයේ අයවැය හිඟය සඳහා මූල්‍යකරණය නොකළ යුතුය. මහ බැංකුවේ භූමිකාව වන්නේ බැංකු අංශයට ද්‍රවශීලතා සපයන්නා ලෙස කටයුතු කිරීමයි. එය බැංකු අතරමැදියෙකු බවට පත් නොවිය යුතුය. අන්තර් බැංකු වෙළඳපොළෙහි ද්‍රවශීලතාව ද සම්පූර්ණයෙන්ම තාවකාලික විය යුතුය. මහ බැංකු මැදිහත්වීම සිදු විය යුත්තේ සදාචාරාත්මක අවදානම් වැළැක්වීම සඳහා අමතර මැදිහත්වීමක් සහිතව වෙළඳපොළ අනුපාත මත පදනම්වය. මහ බැංකු මැදිහත් වීම් අන්තර් බැංකු වෙළඳපොළවල් සඳහා ආදේශකයක් බවට පත් නොවිය යුතු අතර එම නිසා ඒ දෙක අතර පිරිවැයේ සාපේක්ෂ මට්ටම ඉතා වැදගත් වේ.
රුපියලේ අගය දිගටම අල්ලාගෙන සිටින්නේ නම්, අහිමි වූ දේ නැවත ලබා ගැනීමට උත්සාහ කිරීමට මිනිසුන්ට එමගින් අවස්ථාව ලැබේ. මිනිසුන් සියල්ල නැවත ආරම්භ කළ යුතු අතර ඔවුන්ගේම උත්සාහයන් තුළින් ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනඟා ගැනීමට උත්සාහ කළ යුතුය.
දුප්පත්කම වැඩිවීමට දෙවැනි හේතුව බදු වැඩිකිරීමයි. දැනටමත් මුදල් අවප්‍රමාණය වීම නිසා දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ජනතාවට දැන් තවත් පහරක් එල්ල වී ඇත්තේ, විකුණුම් පදනම් කරගත් බදු මගින් භාණ්ඩ මිල ඉහළ දමා රජය ඔවුන්ගේ ආදායමෙන් තවත් වැඩි ප්‍රමාණයක් අත්පත් කරගැනීම හේතුවෙනි. ආණ්ඩුව තමන්ගේ මූල්‍ය ප්‍රශ්න විසඳා ගන්නේ ජනතාව වෙත වැඩි දුරටත් බර පැටවීමෙනි.
රජයේ වියදම්වල අධිකභාවය නිසා කෙටි කාලීනව සමහර බදු වැඩිවීම් වැළැක්විය නොහැකි විය. වැටුප්, විශ්‍රාම වැටුප් සහ පොලිය රජයේ අධික වියදම්වලට හේතුවයි. මේවා අඩු කළ යුතු නමුත් ඒ සඳහා කාලය ගතවේ. කෙසේ වෙතත්, වියදම් කපා හැරීමට කිසිදු උත්සාහයක් නොකර සිටීමට නිදහසට කරුණු දැක්වීමක් කළ නොහැක. නිදසුනක් ලෙස, විදුලිය සහ ඉන්ධනවල ඉහළ මිල ගණන්වලට ඉන්ධන මිලදී ගැනීමේදී සිදුවන දූෂණය ද අතිරික්ත වැටුප් ගෙවීම සහ අකාර්යක්ෂමතාව නිසා ඇතිවන අමතර වියදම් ද හේතු වේ.
දූෂණය හා නාස්තිය දිළිඳුකමේ ගැටලුවට අදාළ වන්නේ, එහි පිරිවැය වැඩි කළ බදු, ඉහළ මිල ගණන් සහ රජය විසින් සපයනු ලබන සේවාවන්හි දුර්වල ගුණාත්මකභාවය හරහා පුරවැසියන් වෙත පැවරෙන බැවිනි. ණය භාවිතා කරමින් සහ වඩා මධ්‍යස්ථ මුදල් මුද්‍රණය කිරීමේ මට්ටම හේතුවෙන් රජයට දශක ගණනාවක් තිස්සේ තම වියදම්වල සැබෑ බර ජනතාවගෙන් වසන් කිරීමට හැකි විය.
මුදල් මුද්‍රණය කිරීමෙන් ඇතිවන සාමාන්‍ය මිල ඉහළ යාමට මහජනතාව දොස් පවරන්නේ ‘අධික ලාභ ලබන’ බව කියන වෙළඳුන්ටය. ණය වැඩිවීමෙහි ක්ෂණික බලපෑමක් නැත. එහි ප්‍රතිවිපාක දැනෙනුයේ, ණය ආපසු ගෙවීමට සිදු වූ විටය. එහිදී ‘කෘර’ ණය දෙන්නන්ට දොස් පැවරීම දක්නට ලැබේ.
දූෂිත ජනප්‍රියවාදීන්ට ආවේගයන්ට වහල් වී ඡන්දය දුන් පුරවැසියන් දැන් නින්දෙන් අවදිව ඇත්තේ අතීත අශික්ෂිත ක්‍රියාවල මෝඩකම අවසානයේ පැහැදිලි වී ඇති බැවිනි.
ආණ්ඩුවේ ක්‍රියාකාරකම්වල සැබෑ බර වසන් කිරීමට රජයට ඇති හැකියාව නිසා දූෂණයේ සන්දර්භය තුළ පුරවැසියන් රජයේ සියලු ආර්ථික කටයුතු කෙරෙහි සමස්තයක් ලෙස අවධානයක් යොමු කළ යුතුය. පෞද්ගලික අංශය මත රාජ්‍ය ක්‍රියාකාරකම්වල සම්පූර්ණ බර අවසාන වශයෙන් තීරණය කරන්නේ බදු විසින් නොව රජයේ වියදම් විසින්ය. පුරවැසියන් විසින් ඇසිය යුතු තීරණාත්මක ප්‍රශ්නය වන්නේ රජයේ වියදම් ඇත්ත වශයෙන්ම පුරවැසියන්ගේ ජීවිත වැඩිදියුණු කරන්නේ කොපමණ දුරකටද යන්නයි.
IMF වැඩසටහන රජයේ අයවැය හිඟය සහ ණය අඩු කිරීම අරමුණු කර ගෙන ඇති නමුත්, රජයේ වියදම් කපා හැරීම සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් නොදක්වා බදු වැඩි කිරීම ඔවුන් අනුගමනය කරන ප්‍රවේශයයි. රාජ්‍ය වියදම්වල ගුණාත්මකභාවය හෝ ස්වභාවය කුමක් වුවත්, එහි මට්ටම සම්බන්ධයෙන් අවිවාදයෙන් පිළිගැනීමක් ඇති බව පෙනේ.
බදු සදාචාරය හෙවත් බදු ගෙවීමට පුරවැසියන්ගේ කැමැත්ත ඔවුන් රජය කෙරෙහි ඇති විශ්වාසය සහ ඔවුන් ලබන සේවාවන්හි ගුණාත්මකභාවය මත රඳා පවතී. නූතන ලෝකයේ රාජ්‍යයන් බදු එකතු කිරීමේ අයිතිය උපයා ගත යුතුය. එසේ කිරීමට නම් එහි පුරවැසියන්ට සාධාරණව සැලකිය යුතුය. එය පුරවැසියන්ට මනා ලෙස ප්‍රතිචාර දැක්විය යුතු අතර ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කිරීම සහ සේවා වැඩිදියුණු කිරීම පුරවැසියන්ට පෙනිය යුතුය. 2022 වසරේ පැවති උද්ඝෝෂණවලින් දක්නට ලැබුණේ එයයි.
පොදු භාණ්ඩවල මූලිකම දේ හෙවත් පෞද්ගලික වෙළඳපොළවල් මගින් සැපයිය නොහැකි නීතියේ ආධිපත්‍යය සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාකාරී පද්ධතියක් සැපයීමේදී රජය අසමත් වී තිබේ. සෞඛ්‍ය හා අධ්‍යාපන අංශවල ඇතැම් ප්‍රයෝජනවත් සේවා රජය සපයන මුත්, ඒවායේ ද ගුණාත්මකභාවය අඩුය. පෞද්ගලික උපකාරක පන්ති, පෞද්ගලික පාසල් සහ පෞද්ගලික සෞඛ්‍ය සේවා සඳහා ජනතාවට වියදම් කිරීමට සිදු වීම මෙයට සාක්ෂියකි. දූෂණය ඉහවහා ගොස් ඇත. උදාහරණයක් ලෙස, කෝප් වාර්තා පෙන්වා දෙන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ප්‍රමිතියෙන් තොර ඖෂධ, අසාර්ථක මෘදුකාංග ආදිය නැවත නැවතත් ලබාගෙන ඇති අතර, කෝප් කමිටුව විසින් නිර්දේශ කර ඇති පරිදි දැඩි නීති අනුගමනය කිරීමට අපොහොසත් වී ඇති බවයි.
රැකියා පොරොන්දු ඡන්ද දිනීමේ මාර්ගයකි. මැතිවරණ ජයග්‍රහණය කර, හෙංචයියන්ට රැකියා ද ලබා දී, ඒ සඳහා වූ බිල ජනතාව වෙත ඉදිරිපත් කර ඇත්තේ දැන්ය. බදුවලින් විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක වන්නේ දූෂිත දේශපාලනඥයන් තෝරා පත් කර ගැනීමට හැකි අනුග්‍රාහක ක්‍රමයක් පවත්වාගෙන යාම සඳහාය.
මෙම ඛේදවාචකයේ දුෂ්ටයන් ජනතාව පැහැදිලිව හඳුනාගත යුතුය. මහ බැංකුවේ ක්‍රියාකලාපය සහ රජයේ අයථා වියදම් මෙම තත්වයට හේතුවයි. මහජන කෝපය යුක්ති සහගත නමුත් ගැටලුවේ මූලාශ්‍ර වන මහ බැංකුව සහ රජයේ වියදම් නිවැරදිව හඳුනා නොගන්නේ නම්, ජනතාව නැවතත් රැවටීමට ඉඩ ඇත.
දරිද්‍රතාවයේ වේගය අඩු වී ඇත. එයින් මහජනතාව තෘප්තිමත් වන්නේ නැත. එම මට්ටමේ ජයග්‍රහණ පවා බිඳෙනසුලු බව ඔවුන් තේරුම් ගන්නවාද? කඩිනම් සහ වේදනා රහිත විසඳුම් පොරොන්දු වීමට දේශපාලකයෝ උනන්දු වෙති. මැතිවරණ චක්‍රය පුරා "සටන් පාඨයෙන් මරණයට" තමන් යොමු කරනු ඇති බව ඡන්දදායකයින් අවබෝධ කරගත යුතුය. සාධාරණ සමාජයක්, දූෂණය අවසන් කිරීම, දීප්තිමත් අනාගතයක් ආදී සටන් පාඨ ඔවුන්ට ඇසෙනු ඇත.
බලාපොරොත්තු සුන් වූ මිනිසුන් තත්වය වඩාත් නරක අතට හැරීම වළක්වනු ඇතැයි උපකල්පනය කරමින් ඕනෑම විකල්පයක් අල්ලා ගත හැකිය. එහෙත්, ඔවුන් බරපතල වැරදි කරගනිති. ප්‍රශ්නය නොතේරෙන දේශපාලකයන් විසින් තවත් වටයකින් අර්බුදය අවුලුවාලිය හැකිය. වත්මන් ප්‍රවේශය විවේචනය කිරීම අවශ්‍ය නමුත් යථාර්ථවාදී විකල්ප ඉදිරිපත් කරන දේශපාලඥයින් කවුරුන්දැයි ජනතාව සොයා බැලිය යුතුය. ඡන්දදායකයින් විකල්ප ඇගයීමට ලක් කළ යුත්තේ කෙසේද?
තවත් අර්බුදයක් වළක්වා ගැනීම සඳහා මුදල් ස්ථාවරත්වය සහ මූල්‍ය විචක්ෂණභාවය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. ගැඹුරු අවබෝධයක් සහිත දේශපාලඥයන් මේ දෙකටම කැපවිය යුතුයි. අභිලාෂකාමී ප්‍රකාශන රාජ්‍ය මූල්‍ය සීමාව තුළ ප්‍රායෝගික වැඩසටහන් බවට පරිවර්තනය කරගත හැකිදැයි ඔවුන් සිතිය යුතුය. බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය වන ප්‍රවේශ සාකච්ඡා, විපක්ෂ දේශපාලනඥයන් සහ සිවිල් සේවකයන් අතර පූර්ව මැතිවරණ සාකච්ඡා ආදිය හරහා විපක්ෂය රාජ්‍ය පාලනයට සූදානම් කිරීමට හැකි වේ. ඔවුන් ප්‍රතිපත්ති ප්‍රමුඛතා සහ බෙදා හැරීමේ යාන්ත්‍රණයන් පිළිබඳව තීරණය කළ යුතුය. විෂය පථය හොඳින් අධ්‍යයනය කර ඇති විරුද්ධ පක්ෂ රාජ්‍ය මූල්‍යවල සීමාවන් පිළිබඳව හුරුපුරුදු බව පෙන්වනු ඇත.
සමහරු බිලියන ගණන් සොරකම් කළ වත්කම් ගැන කතා කරන අතර එයින් ඇඟවෙන්නේ අවශ්‍ය වන්නේ මෙය අයකර ගැනීම පමණක් බවත්, එපමණින් සියල්ල හොඳින් සිදුවන බවත්ය. සොරාගත් වත්කම් අයකර ගැනීමේ නීතිමය ක්‍රියාමාර්ගවල සංකීර්ණත්වය ඔවුන් පරීක්‍ෂා කර තිබේද? සොරකම් කළ වත්කම් අයකර ගැනීමේ ජාත්‍යන්තර අත්දැකීම් ඉතා දුර්වලය. ලෝක බැංකුව සහ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC) අතර හවුල්කාරිත්වයක් වන සොරකම් කළ වත්කම් ප්‍රතිසාධන (StAR) මුලපිරීම වසර 15 කට වැඩි කාලයක් මුළුල්ලේ ඩොලර් බිලියන 1.9 ක් පමණක් අය කර ගෙන ඇත. වඩාත්ම සාර්ථක වන්නේ පිලිපීනයේ වාර්තාවයි. එහිද වසර 21ක කාලයක් පුරා ඩොලර් බිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් ආපසු අයකර ගෙන තිබේ. මෙය ඉතා විශාල මුදලක් නමුත් මෙය විසඳුමක් ලෙස හුවා දක්වන අයට රාජ්‍ය වියදමේ විශාල ප්‍රමාණය තේරෙනවාද?
2022 දී රාජ්‍ය වැටුප් සඳහා වසරකට රුපියල් බිලියන 956.2ක් වැය වේ. මෙය දිනකට රුපියල් බිලියන 2.62ක මුදලකි. සහනාධාර සඳහා වසරකට තවත් බිලියන 1,020ක් හෙවත් දිනකට රුපියල් බිලියන 2.23ක් වැය වේ. පොලී ඇතුළුව මුළු පුනරාවර්තන වියදම් දිනකට රුපියල් බිලියන 9.64 ක් වේ.
වසර පහළොවක් පුරා StAR යටතේ අයකර ගන්නා ලද ධනයේ එකතුවෙන් ආවරණය වන්නේ ශ්‍රී ලංකාවේ මාස හතකට මඳක් වැඩි රාජ්‍ය අංශයේ වැටුප් පමණි. එය සම්පූර්ණ පුනරාවර්තන වියදම් වෙනුවෙන් නම් සෑහෙන්නේ මාස දෙකක් සඳහා පමණි. කෙසේ හෝ එවැනි අවිනිශ්චිත ආදායම් ප්‍රවාහයක් මත යථාර්ථවාදී අයවැයක් ගොඩනගා ගත හැකිද? ධනවතුන්ට මේ සියල්ල ගෙවිය හැකිද? දිනකට රුපියල් බිලියන 9.6 බැගින් වියදම් පවත්වාගෙන යාමට රජයට බිලියනපතියන් සහ කෝටිපතියන් කී දෙනෙක් සොයා ගැනීමට අවශ්‍යද?
රජයේ වියදම් හේතුවෙන් රාජ්‍ය වියදම් මට්ටමට පමණක් නොව එහි සංයුතියට ද බලපාන අන්දමේ දූෂණයකට අවස්ථා නිර්මාණය කළ හැකිය. අල්ලස් එකතු කිරීමට හැකි ව්‍යාපෘතිවලට රාජ්‍ය අංශයේ අනුග්‍රහය ලැබේ.
රාජ්‍ය අංශයේ අයථා වියදම් විශාල වශයෙන් අඩු කළා නම් බදු බර අඩු කළ හැකි වේ. රාජ්‍ය අංශයේ මිලියන 1.5ක සේවකයන් සහ විශ්‍රාමිකයින් 672,000ක් සඳහා වැටුප් සහ විශ්‍රාම වැටුප් 2022දී පුනරාවර්තන වියදම්වලින් 36%ක් විය.(ණය සඳහා පොළිය 44%ක් විය). මෙය ගෙවිය යුතු අඛණ්ඩ වියදමකි. පුරවැසියන්ට එම වියදම සාධාරණීකරණය කළ හැකි මට්ටමේ වටිනා මහජන සේවාවන් ලැබෙනවාද?
1994 දී රාජ්‍ය සේවා නියුක්තිකයන් සංඛ්‍යාව 812,472 ක් වූ නමුත් දැන් මිලියන 1.5 ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. එහෙත්, මිනිසුන්ට ලැබුණු සේවාවන්හි ගුණාත්මක භාවයේ සමානුපාතික වැඩි වීමක් සිදු වී තිබේද?
ඡන්දදායකයන් මේ ගැන ඉතා හොඳින් සිතා බැලිය යුතුය. ස්ථාවරත්වය මගින් බොහෝ දේ අදහස් නොවිය හැකිය. එහෙත්, මූල්‍ය විචක්ෂණභාවය හෝ මූල්‍ය ස්ථාවරත්වය නැතිව ගියහොත් රට නැවත අර්බුදයකට තල්ලු කරනු ඇත.