-දිල්මිණී අබේරත්න විසිනි
එකෝමත් එක කාලෙක පුංචි දූපතක වෙන්නේ මොකක්ද කියලාවත් හිතා ගන්න බැරි මිනිස්සු ටිකක් රැයක් දවාලක් නැතුව පෝලිම්වල හිටියා. එයාලට කළු කඩකාරයෝ කියන කියන ගාණට පෙට්‍රල් - ඩීසල් ගන්න වුණා. සල්ලි තිබිලවත් ගන්න බඩු නැති නිසා තෙල් නැවක් අද එයි, හෙට එයි කියලා එයාලා මුහුද දිහාට ඇස් ලොකු කරගෙන බලන් හිටියා. කිසිම ණයක් ගෙවා ගන්නත් බැරුව, පිටරටින් බඩුවක් ගෙන්න ගන්නත් බැරුව බංකොලොත් වෙලා අන්තිමට ඒ මිනිස්සු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උදව් ඉල්ල ගත්තා.
මේ කවුරුත් දන්න දූපතක තනි වුණ අපේ කතාව ආර්ථික විද්‍යාත්මක විදිහට සංඛ්‍යා දත්තත් එක්ක පිළිවෙලට ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. කලින් අවුරුදුවල ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව කියලා කිව්වට මේ අවුරුද්දේ ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන ආයතනයක් විදිහට අළුත් පනතකින් එහෙම පස්සේ මුල්ම වතාවට ඉදිරිපත් කරන වාර්තාව ‘වාර්ෂික ආර්ථික විවරණය’ කියලා නම් කරලා තියෙනවා. මේ යටතේ අපි විශේෂයෙන් දැන ගන්න ඕන කරුණු කීපයක්ම මේ ලිපියෙන් ඉදිරිපත් කරනවා.
ආර්ථිකයේ නැඟිටීම
මේක අපි අහලා තියෙනවා වගේ දැවැන්ත නැඟිටීමක් නෙවේ. බිංදුවටම කඩා වැටුණට පස්සේ ටිකෙන් ටික ආයාසයෙන් නැගී ඒමක්. ඒ වගේ හරි ගොඩ එන්න පුළුවන් වෙලා තියෙන්නේ මහ බැංකුව ක්‍රියාත්මක කරපු තීරණාත්මක ප්‍රතිපත්ති ගැළපුම් සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ නිසා. උදාහරණයක් විදිහට උද්ධමනය වැඩි වෙලා, මුදල් සංසරණය වැඩි වෙලා තිබුණා. ඒත් ගන්න බඩු වෙළඳපළේ තිබ්බේ නෑ. මේ වෙලාවේ මහ බැංකුව පොලී අනුපාත ඉහල දැම්ම නිසා මිනිස්සු වැඩි පොලී ආදායමක් ලබන්න හිතාගෙන අතේ ගැවසුණු මුදල් බැංකුවේ තැන්පත් කළා. ඒ නිසා උද්ධමනය පාලනය වුණා. 2022දී 70.3% වගේ ඉතාමත් ඉහල මට්ටමක තිබුණ උද්ධමනය 2024 ජනවාරි වෙද්දි 6.50%ක තනි ඉලක්කමකට ගත්තේ එහෙමයි.
කොහොම වුණත් පොලී අනුපාතය ඕනවට වඩා දරන්න බැරි මට්ටමකට වැඩි වෙන එක ක්ෂුද්‍ර-කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර කරන අයට ඒ තරම් සුබ නෑ. මොකද එයාලගේ ව්‍යාපාර දියුණු කරන්න ණයක් එහෙම ගනිද්දි ගිනි පොලියක් ගෙවන්න වෙනවා කියන්නේම එයාලාට ව්‍යාපාර කරගෙන යන්න අමාරු වෙලා ව්‍යාපාර අතෑරලා දාන්න වෙනවා කියන එකයි. ඒ නිසා කොහොමටවත් උද්ධමනය වැඩි වෙන එක හොඳ දෙයක් නෙවෙයි. මොකද උද්ධමනය අඩු කරන්න කියලා අපිට ගන්න වෙන විසඳුම් නිසා තවත් ප්‍රශ්න වැලක්ම අපි පස්සේ පන්නනවා.
ආර්ථික අර්බුදයේ ගිනි දැල් තදටම ඇවිලෙන වෙලාවේ ඩොලර් එක රුපියල් 200 මට්ටමේ රඳවගෙන හිටියේ. ඒ කියන්නේ නිදහසේ වෙළඳපලේ ඩොලර් ඉල්ලුමට, සැපයුමට තීරණය වෙන්න දුන්නේ නෑ. මේ නිසා විදේශ රටවල ඉඳලා ලංකාවට ඩොලර් එවන ශ්‍රමිකයෝ අධෛර්‍යමත් වුණා. ඒ කියන්නේ එයාලා පිළිගත් මාර්ගවලින් ලංකාවට සල්ලි එවන්නේ නැතිව වෙන වෙන හවාලා, උන්ඩියාල් වගේ අවිධිමත් විදිවලට මාරු වුණා.
රුපියල ශක්තිමත් වීම
ආර්ථිකය කඩා වැටෙනවාත් එක්කම රුපියල බාල්දු වුණා. භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යන්න ගත්තට ඒවා ලේසියෙන් පහත වැටුණේ නෑ. හැම දෙයක්ම ගිනි ගණන්. මේ තත්ත්වය කොවිඩ්-19 වසංගතය නිසා ලංකාවට ලැබෙන සංචාරක ආදායම අඩු වීම, විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ අඩු වීම වගේ දේවල් එක්ක හරියට කබලෙන් ලිපට වැටෙන මට්ටමටම ආවා.
ඒත් කාලයත් ආර්ථිකය යාන්තම් හුස්ම ගන්න පටන් ගත්තා.ඒත් සම්පූර්ණයෙන්ම හොඳ වුණා නෙවෙයි. මේ තත්ත්වය යටතේ රජය ආනයන සීමා කරලා රටින් පිටට යන ඩොලර් ප්‍රමාණය අඩු කළා. ඒත් එක්කම අපිට ජාත්‍යන්තර ආයතනවලින් ලැබුණු මූල්‍ය පහසුකම් නිසා රටේ මුදල් සංචිතය වැඩි වුණා වගේම රටේ වෙළඳපළ විශ්වාසයත් ඇති වුණ නිසා රුපියල ටිකෙන් ටික ශක්තිමත් වුණා.
මහ බැංකුව ස්වාධීන වීම
අවසාන ණය දෙන්නා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිවූ එකඟතාව අනුව මහ බැංකුව ස්වාධීන ආයතනයක් කිරීමට තීරණය වුණා. ආර්ථික අර්බුදයට තදින්ම බලපෑ රුපියල එකම අගයයක බලහත්කාරයෙන් රඳවා ගෙන සිටීම වගේ අදූරදර්ශී ක්‍රියාමාර්ග නිසා මේ විදිහට මහ බැංකුවේ ස්වාධීනතාව වැඩි කිරීමටත් පාර්ලිමේන්තුවට සහ ජනතාවට එහි ඇති වගවීම වැඩි කිරීමටත් අවධානය යොමු වුණා.
මේ අලුත් මහ බැංකු පනත බලාත්මක කිරීමත් එක්ක අනිත් මූල්‍ය ආයතනවල අධීක්ෂණ කටයුතු සහ ගැටළු නිරාකරණ ආයතනය විදිහට මහ බැංකුවේ කාර්‍යභාරය ශක්තිමත් වුණා. ඒ විතරක් නෙවෙයි බැංකු සහ බැංකු නොවන මූල්‍ය අංශයේ සුරක්ෂිතතාව සහ දිගු කාලීන පැවැත්ම සහතික කෙරෙන ප්‍රතිපත්තිත් ක්‍රියාත්මක වුණා.
හෙට මොකද වෙන්නේ?
හෙට මොකද වෙන්නේ කියන එකට අපිට එක එක විදිහේ උත්තර තියෙන්න පුළුවන්. ඒත් මහ බැංකුවේ 2023 ආර්ථික විවරණය කියන විදිහට ලංකාව අරගත්ත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමත් එක්ක අපිට ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙලා තියෙන ප්‍රතිසංස්කරණ ඉස්සරහටත් බොරු නොකර හරියට කරගෙන යනවා නම් 2023 අග හරියේ අපිට දකින්න ලැබෙන ආර්ථිකයේ ප්‍රගතිය ඉස්සරහටත් දකින්න ලැබෙයි කියලා සඳහන් වෙනවා. මේ වගේම කතාවක් ආසියානු සංවර්ධන බැංකුව ලංකාව සම්බන්ධයෙන් කියලා තියෙනවා. ඒ අනුව 2024දි ලංකාව 1.5% ආර්ථික වර්ධනයකුත් 2025දී 2.5%ක ආර්ථික වර්ධනයකුත් ලබයි කියලා පුරෝකතනය කරලා තියෙනවා.
ඇඩ්වොකාටා අපේ අදහස
ලෙඩක් හොඳ වෙන්න නම් තිත්ත බෙහෙත් බොන්න වෙනවා. ඒත් අපි පුරුදු වෙලා ඉන්නේ බාගෙට බෙහෙත් බොන්න. ඔන්න ඔය නිසා තමයි අපිට 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උදව් ලැබිලත් 17 වෙනි වතාවටත් උදව් ඉල්ලන්න වුණේ. අනිත් එක මේ කියන 17 වෙනි වතාව හරිම විශේෂයි. මොකද කලින් 16 වතාවේ ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උදව් ඉල්ල ගත්තේ කොන්ද ටිකක් කෙලින් තියාගෙන. ඒත් මේ පාර අපි උදව් ඉල්ලුවේ හතර ගාතෙන්. ඒ තරමට ම බංකොලොත් වෙලා. ඉතිං ඉස්සර වගේ ලේසියෙන් හොඳ වෙන්න අමාරුයි. කියපු ප්‍රතිසංස්කරණ හරියටම කරන්න වෙනවා.
මේ කියන ප්‍රතිසංස්කරණ ගැන කෙටියෙන් කියනවා නම් මහ බැංකුවේ ස්වාධීනතාව ඇති කිරීම, බදු අනුපාත වැඩි කිරීමෙන් නෙවෙයි - බදු කලමණාකරණය හරියට කිරීම මගින් බදු ආදායම වැඩි කර ගැනීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම, පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම, දූෂණය-වංචාව-නාස්තිය පිටු දැකීම, කාර්‍යක්ෂමතාව වැඩි කිරීම වගේම සමාජයේ පීඩාවට පත් වෙලා ඉන්න ජන කොටස් රැක ගැනීම කියන දේවල් හරියටම කරන්න ඕන. මේ දේවල්වලින් අපිට පැනලා යන්න බෑ. මොකද එහෙම කළාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රශ්නයක් නොවුණට අපිට දිගටම ඉන්න වෙන්නේ අර්බුදයකම විතරයි. මේ වෙද්දි ඉදිරිපත් වෙලා තියෙන හැම සංඛ්‍යා දත්තයකින් පේන්න තියෙන්නේ ආර්ථිකය යම් දුරකට ස්ථාවර වෙලා කියන එකයි. ඒක ගෝලීය වශයෙන් පවා පිළිගෙන තියෙනවා කියන එක ආසියානු සංවර්ධන බැංකුව ළඟදි ඉදිරිපත් කරපු වාර්තාවකින් පවා සනාථ වුණා. ඒත් මේ කියන ස්ථාවරත්වය කොච්චර කල් තියෙයිද කියන එක සැකයි. ආර්ථිකය දිගින් දිගටම ස්ථාවර කර ගන්න නම් අපිට ප්‍රතිසංස්කරණවලට යන්නම වෙනවා. ඒ ප්‍රතිසංස්කරණවලින් වෙළඳපළ ආර්ථිකයකට යන එක වැඩිම ප්‍රමුඛතාවක් ලැබිය යුතු ප්‍රතිසංස්කරණයක් කියන එකත් අපි මතක තියා ගන්න ඕන.