පර්යේෂණ විශ්ලේෂිකා ටිරනි කුලතුංග සහ අශාන්ති අබේසේකර විසිනි
මේ වෙද්දි ඉතා ඉක්මණට පිළියමක් දෙන්න ඕන වැඩි අවධානයක් ඉල්ලන මට්ටමක ශ්‍රී ලංකාවේ නිවාස මිල අර්බුදය දිනෙන් දින උග්‍ර වෙමින් තියෙනවා. ප්‍රශ්නය කොයිතරම් දුර ගිහින්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන් නිවාස ඉල්ලුම සහ නිවාස සැපයුම අතර තියෙන වෙනසින්. ඉල්ලුමට හරියන විදිහට සැපයුම පවත්වා ගන්න එක දුෂ්කර වෙලා. 2012 ජනගහන හා නිවාස සමීක්ෂණයෙන් ලබාගත්ත දත්තවලින් එක දෙයක් පැහැදිලි වෙනවා. ඒ තමයි නිවාස ඉල්ලුම 11.9% කින් වැඩිවෙලා. ඒ නිසා 2012 ඉඳලා 2022 වෙද්දි නිවාස ඉල්ලුම ඒකක 5,875,009 තරම් වැඩි වෙලා. අනික් අතට නිවාස සැපයුම වැඩි වෙලා තියෙන්නේ 9.5%න් විතරයි, ඒ නිවාස ඒකකවලින් 5,685,151 විතරයි. ඉල්ලුමයි සැපයුමයි අතරේ තියෙන 3.23% වගේ පරතරය එහෙමත් නැත්නම් ඒකක නිවාස ඒකක 189,858 වගේ පරතරය අපිට රතු කොඩියක් උස්සලා කියන කතාවක් තියෙනවා. ඒ කියන්නේ ඉක්මණටම මේ සම්බන්ධයෙන් ඵලදායී ප්‍රතිපත්තිමය මැදිහත්වීම් ඕන කියන එක.
දිස්ත්‍රික්ක මට්ටමින් මේ ගැටළුව ගැන හොයා බැලුවම පේනවා කොයිතරම් ප්‍රශ්නය දරුනුද කියලා. තීරනාත්මක නාගරික කේන්ද්‍රස්ථානයක් විදිහට කොළඹ, නිවාස ඉල්ලුමේ 10% ක වැඩිවීමක් පෙන්වලා තියෙනවා. ඒක 2022 දී ඒකක 635,385 තරම් වෙලා. කොහොම වුණත්, ඉල්ලුමත් එක්ක බලද්දි සැපයුම වැඩිවෙලා තියෙන්නේ 7.4% කින් විතරයි. මේ නිසා ආසන්න වශයෙන් ඒකක 26,978 ක සැලකිය යුතු හිඟයක් ඇති වුණා. මෙම හිඟය නිවාස මිල මත ඉහළ පීඩනයක් ඇති කරනවා විතරක් නෙවෙයි, එක් එක් සමාජ ආර්ථික ස්ථරවල ඉන්න පුරවැසියන්ට විවිධාකාරයෙන් බලපානවා නිවාසවල මිල දරන්න පුළුවන්ද බැරිද කියන එකට.
මේ අර්බුදයේ ප්‍රධානම තැන ගත්තොත් එතන තියෙන්නේ බහුවිධ අභියෝගයක්. නාගරීකරණය, ජනගහන වර්ධනය සහ විකාශනය වන සමාජ අවශ්‍යතා නිවාස සැපයුම වැඩි වෙනවාට වඩා වේගයෙන් ඉස්සරහට ගිහින් තියෙනවා. කාලාන්තරයක් තිස්සේ නිවාස සම්පාදනය සම්බන්ධ ප්‍රතිපත්තිවල අයිතිය තියෙන්නේ රජයට නිසා ත් මේ අංශයට පෞද්ගලික අංශයේ සහභාගීත්වය සීමිත නිසාත්, වගකීමේ වැඩි කොටසක් පැවරිලා තියෙන්නේ රජයට.ශක්තිමත් නියාමන රාමුවක් වගේම විධිමත් අනුමත කිරීමේ ක්‍රියාවලීන් නැති නිසා නිවාස ව්‍යාපෘති කඩිනම් ක්‍රියාත්මක කිරීමට තවදුරටත් බාධා ඇති වෙලා තියෙනවා. මේ කියන හැම හේතුවක්ම එකට එකතු වෙලා රටටම බලපාන විදිහේ සැලකිව යුතු නිවාස හිඟයකට පාර කපලා තියෙනවා.
මේ ප්‍රශ්නයේදී ශ්‍රී ලංකාවේ නිවාස භූ දර්ශනය ඇතුලේ, සංඛ්‍යාලේඛනවලින් මතුවන්නේ ව්‍යාකූල වුණ යථාර්ථයක්. පවුල් 6,094,115 න් කොටසක් ඉන්නේ අස්ථිර ජීවන තත්වයන් එක්ක සටනක. ඒ අතරින් 0.73% ප්‍රමාණයක් ජීවත් වෙන්නේ තල් අතු සෙවිලි කළ නිවාසවල, 4.56% තාවකාලික ඉදිකිරීම්වලත්, 6.35% ක් සම්පූර්ණයෙන් ඉදිකිරීම් කටයුතු අවසන් නොකළ නිවාසවලත් වාසය කරනවා. තවමත් කපරාරු නොකළ කුටුම්භවල ව්‍යාප්තිය 13.79% ක් වගේ අගයයක් ගනිද්දි නිවාස 7.25%කම තියෙන්නේ ගැල්වනයිස් කරපු තහඩු තියෙන වහලවල්. ඇත. භයානක තත්ත්වය තමයි 3.55% පිරිසකට හිසට සෙවණක්වත් ඉන්න ඉඩමක්වත් නෑ. ඒ වගේම තමයි 0.49% පිරිසක් රැකියා අවශ්‍යතා වලට පහසුවක් වෙන විදිහට ඒ ඒ රැකියාවලට අදාළ නිල නිවාසවලයි ඉන්නේ. 2.74%ක තවත් පිරිසක් ඉන්නවා නිවාස ඇත්තෙම නැති අය, හැබැයි මෙයාලට ඉඩම් කොටසක් තියෙනවා. 1.31%ක් කොටසකට වෙනත් ස්ථානයක ස්ථිර පදිංචි තැනක් තියෙනවා. ඒත් තාවකාලිකව ඉන්නේ කුලියට. මීට අමතරව, 8.39% කට නිසි ජල සැපයුමක් නෑ. 2.97%කට මාර්ග සඳහා ප්‍රමාණවත් ප්‍රවේශයක් නෑ . 3.19%කට හරිහමන් සනීපාරක්ෂක පහසුකම් නෑ වගේම 2.74%කට විදුලිය නෑ. ඒ අනුව පෙනී යන දෙයක් තමයි නියමාකාරයෙන් හා පහසුවෙන් ජීවත් වෙන්න අවශ්‍ය වෙන නිවාස සැලකුවාම ජනගහනයෙන් සැලකිය යුතු කොටසකට බොහෝමයක් අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා.
නිවාස ඉල්ලුම කියන්නේ වැඳගත් මාතෘකාවක්. ඒක ජනවිකාස ප්‍රවණතා, නිවාස මූල්‍ය ප්‍රවේශ්‍යතාව සහ පිරිවැය සහ බදු සහ සහනාධාර ඇතුළත් රජයේ ප්‍රතිපත්ති එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. දේපල අයිතිවාසිකම්වල අවිනිශ්චිත බව, විශේෂයෙන්ම අනාරක්ෂිත කාලසීමා කියන දේවල් නිවාසවල ආයෝජනවලට බාධා කරන්න පුළුවන් සාධාක. අනෙක් අතට, නිවාස සැපයුම ඉඩම් ලබා ගැනීමේ හැකියාව, ශක්තිමත් යටිතල පහසුකම්, ඉදිකිරීම් ද්‍රව්‍ය පිරිවැය සහ වෙළඳපල කාර්යක්ෂමතාව කියන සාධක මතත් රඳා පවතිනවා. පාරිභෝගිකයාගේ, නිෂ්පාදකයාගේ සහ රජයේ හැසිරීම්වල අන්තර් ක්‍රියාකාරිත්වය නිවාස අංශයේ ඉල්ලුමේ සහ සැපයුමේ සියුම් සමතුලිතතාවය පවත්වගෙන යනවා. රජයේ ප්‍රතිපත්ති, විශේෂයෙන්ම ඉඩම් පරිහරණය සහ ගොඩනැගිලි රෙගුලාසි පාලනය කිරීම, නිවාස ඉදිකිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු බලපෑමක් ඇති කරනවා. ඒකෙන් දරන්න පුළුවන් මිලකට නිවාස සැපයීම සම්බන්ධයෙන් බලපෑමක් කරනවා.
අපි කතා කරන නිවාස ලබා ගැනීමේ අර්බුදය මඟහරවා ගැනීමට නම් බහුවිධ ප්‍රවේශයක් අත්‍යවශ්‍ය වෙනවා. නිවාස ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය කිරීම රජය අවශ්‍යයෙන්ම කරන්න ඕන. ඒ වෙනුවෙන් කාලීන අවශ්‍යතා එක්ක පෙළගැස්මක් ඇති කිරීම සහ විකාශනය වන ප්‍රවණතාවලට අනුවර්තනය වෙන්න තියෙන හැකියාව පෝෂණය කරනවා. නාගරික සහ ග්‍රාමීය කියන අංශ දෙකේම දැරිය හැකි මිලකට නිවාස සංවර්ධනය කිරීම අවධාරණය කරන උපාය මාර්ගික ප්‍රතිසංස්කරණවලට ප්‍රමුඛත්වය දෙන්න ඕන. මේ කියන අරමුණ ඉෂ්ට කරගන්න රාජ්‍ය සහ පෞද්ගලික අංශ අතර සහයෝගීතාවය ඇති වෙන විදිහට පහසුකම් සැලසීම නිවාස පරතරය පියවීමේ ප්‍රධාන විසඳුමක් විදිහට සලකන්න පුළුවන්. යටිතල පහසුකම් සහ නියාමන පහසුකම් වැනි ආධාරක ක්‍රියාමාර්ග සමඟින් දැරිය හැකි මිලකට නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සහභාගී වීමට පුද්ගලික සංවර්ධකයින් දිරිමත් කිරීමෙන් සැලකිය යුතු ධනාත්මක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ වගේම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ (NHDA) කාර්යභාරය සහ ධාරිතාව ශක්තිමත් කිරීමත් ප්‍රධාන අංගයක්. ගුණාත්මක මානයන් ඇතුළත් විස්තීරණ නිවාස අවශ්‍යතා තක්සේරු කිරීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ලබා දෙන නිත්‍ය නායකත්වය මේකට ඇතුළත් වෙනවා. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඇතුලේ ප්‍රමාණවත් අරමුදල්, ස්වාධිපත්‍යය සහ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා නොසැලෙන කැපවීම සුරක්ෂිත කිරීම මෙම බහුවිධ උපාය මාර්ගයේ අනිවාර්ය අංග විදිහට සැලකෙනවා.
නිවාසක් වෙනුවෙන් දරන්න පුළුවන් මිල කියන එක ආර්ථික මිනුමක් විතරක් නොවේ. ඒක සමාජ යහපැවැත්ම ගැන අදහසක් දෙනවා. ආරක්ෂිත, දැරිය හැකි මිලකට තියෙන නිවසක් කියන්නේම කෙනෙක් තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්නා පදනමට. ඒක අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ සමස්ත ප්‍රජා සමෘද්ධිය කියන දේවල්වලට බලපානවා. නැඟී ගෙන එන නිවාස අර්බුදය විසඳීමට අපොහොසත් වීම මුළු සමාජයටම දිගු කාලීන කැළලක් ඉතිරි කිරීමේ අවදානමක් තියෙනවා.
අඩු ආදායම්ලාභී නිවාස ගැන අවධානය යොමු කරන ඒකාබද්ධ, දිගුකාලීන නිවාස ප්‍රතිපත්තියක් නැතිකමම දැරිය හැකි නිවාස සීමිත ප්‍රමාණයක් විතරක් ඉදිකරන්න හේතු වෙලා තියෙනවා. 2012දී ලෝක බැංකුව කියලා තියෙනවා විශේෂයෙන්ම පසුගිය දශක දෙක තුළ ලංකාවේ රජය නිවාස ව්‍යාපෘති සම්බන්ධයෙන් වැඩියෙන්ම කරලා තියෙන්නේ දරන්න පුළුවන් මට්ටමකට නිවාස ගැටළු සෘජුව විසඳනවට වඩා ඉඩම් සංවර්ධනය වෙනුවෙන් මුඩුක්කු ඉවත් කරන එක. ඒ වගේම 1993දී ලෝක බැංකුව කියලා තියෙනවා නිවාස ප්‍රතිපත්ති ගැටළු විසඳීම ඉතාම වැදගත් මොකද දැරිය හැකි මිලකට නිවාස සපයන්න නම් ඉඩම්, ගොඩනැගිලි ද්‍රව්‍ය සහ ඉදිකිරීම් කර්මාන්තයේ වෙළඳපල අසාර්ථකත්වයන්ට පිළියම් සොයන එක වැඳගත් වෙනවා.
නිවාස සම්බන්ධයෙන් තියෙන ව්‍යාපාරික පරිසරය වැඩිදියුණු කරන්න නම් රජය තනි නිවාස සපයන්නා විදිහට ඉන්නේ නැතුව තරඟකාරී වෙළඳපොළකට සහය දෙන ව්‍යවස්ථාදායක, පරිපාලන සහ ප්‍රතිපත්ති රාමුවක් නිර්මාණය කරන්න වැඩ කටයුතු කරන්න ඕන. ඉදිකිරීම් සඳහා සෘජු රජයේ මැදිහත්වීමත්, රජය විසින්ම නියාමන භූමිකාවන් ඉටු කිරීමත් නිසා මේ දෙක අතර ගැටුම්, පරස්පරතා ඇති වෙන්න පුළුවන්. ඒ වෙනුවට, ප්‍රතිපත්ති මගින් පුද්ගලික ආයතන දැරිය හැකි මිලකට නිවාස ඉදිකිරීමේ නිරත වීමට දිරිමත් කරන්න ඕන. ආනයන තීරුබදු, පැරා තීරුබදු වගේ ආරක්ෂණවාදී පියවර ඉවත් කරන්න සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්තවල තියෙන ගැටළු විසඳීමත් මේකට ඇතුළත්.
ආයතනිකව ඇති වෙන අසාර්ථකත්වයන් විසඳීම ඉතා වැදගත්. එක් එක් කාර්යයන් එකම වෙලාවක කරන්න වෙන එක නිසා ඇති වෙන ගැටළු තියෙන බහුවිධ නියෝජිතායතන, ප්‍රමාණවත් සහ දැරිය හැකි මිලකට නිවාස සැපයීම සඳහා වන ප්‍රතිපත්ති සංවර්ධනයට සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බාධා ඇති කරනවා. මෙම ආයතන විධිමත් කිරීම, සම්බන්ධීකරණය සහතික කිරීම සහ ශක්තිමත් නියාමන රාමුවක් ස්ථාපිත කිරීම අවශ්‍යයයි. ඉඩම් ලබා ගැනීමේ ගැටළු සහ හිමිකම් ගැටළු වගේ නියාමන ගැටළු තමයි ප්‍රධානම බාධක වෙලා තියෙන්නේ. නිවාස ව්‍යාපෘති සඳහා රජය සතු ඉඩම් නිදහස් කිරීම, ඔප්පු ලබාදීමේ ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීම සහ ඉඩම් ලේඛන ඩිජිටල්කරණය කිරීම මඟින් සංවර්ධනයට පහසුකම් සැලසීමට සහ හිමිකාරිත්වය පැහැදිලි කිරීමත් මඟින් මූල්‍යනය/මුදල් සපයා ගැනීම සඳහා වඩා හොඳ ප්‍රවේශයක් ලබා ගැනීමට හැකි වෙනවා.
ඒ වගේම යටිතල පහසුකම් සහ උපකාරක සේවා සැපයීමත් ඉතා වැදගත්. ජලය, සනීපාරක්ෂාව සහ පොදු ප්‍රවාහනය වැනි පොදු සේවාවන් සඳහා රජයේ ආයෝජනය කලාම ඒ මඟින් නිවාස සංවර්ධනය සඳහා අනිකුත් ප්‍රදේශ විවෘත කරන්න පුළුවන්. ප්‍රමිතිගත නිවාස ඒකක සහ පෙර සැකසුම හරහා ඉදිකිරීම් කර්මාන්තයේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වැඩිදියුණු කිරීම නිසා ඉදිකිරීම් පිරිවැය සැලකිය යුතු ලෙස අඩු වෙනවා.
ණය ගැනීමේ පිරිවැය අඩු කිරීමත් අඩු ආදායම්ලාභී කුටුම්භවලට මූල්‍ය විකල්ප වැඩිදියුණු කිරීමත් කියන්නේ අභියෝගයක්. උකස් ඇපකර, අඩු වියදම් තොග අරමුදල් වෙත ප්‍රවේශ වීමට බැංකු දිරිමත් කිරීම සහ ඉඩම් හිමිකම් සහ ණය ගැනුම්කරුගේ අවදානම සම්බන්ධ ගැටළු විසඳීම මගින් දැරිය හැකි මූල්‍යකරණය සඳහා ප්‍රවේශය වැඩි දියුණු කරන්න පුළුවන්. මීට අමතරව, ඌන සංවර්ධිත වර්ධක නිවාස මූල්‍ය වෙළඳපොළ කෙරෙහි අවධානය යොමු කිරීමෙන් අඩු ආදායම්ලාභී කුටුම්භවලට සුවිශේෂී වෙන අවශ්‍යතා සපුරාලන්න පුළුවන්.
ඵලදායී සැලසුම් කිරීම් වෙනුවෙන් දත්ත ලබා ගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීම ඉතාම වැඳගත් සහ අත්‍යවශ්‍ය කාරණයක්. මෑත කාලීන නිවාස දත්ත එකතු කිරීම, විශ්ලේෂණය කිරීම සහ බෙදා හැරීම කියන දේවල්වලට මධ්‍යගත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම දිගුකාලීන සැලසුම් කිරීමට වගේම මේ අංශයේ සහ ආර්ථික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා තීරණාත්මක කාර්‍යයක් ඉටු කරනවා. ඒ වෙනුවෙන් නිතරම සමීක්ෂණ සහ සංගණන පැවැත්වීම ශ්‍රී ලංකාවේ නිවාස අංශයේ තත්ත්වය පිළිබඳ යාවත්කාලීන අවබෝධයක් ලබා දෙන්න වැඳගත් වෙනවා.
අවසාන වශයෙන්, මේ කියන අභියෝග හැම එකකටම උත්තර හොයන්න නම් විස්තීරණ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ, වෙළඳපල වැඩිදියුණු කිරීම් සහ දත්ත රැස්කිරීමේ සහ විශ්ලේෂණ යාන්ත්‍රණයන්හි වැඩිදියුණු කිරීම් ඇතුළත් පරිපූර්ණ සහ මනා සම්බන්ධීකරණ ප්‍රවේශයක් අවශ්‍ය වෙනවා.
පරිවර්තනය: දිල්මිණී හසින්තා අබේරත්න