-දිල්මිණී අබේරත්න විසිනි
සාමාන්‍යයෙන් අවුරුද්දක් ඉවර වෙද්දි රටක වැඳගත් සංධිස්ථානයක් වෙන්නේ ඒ රටේ අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම. එළඹෙන මුදල් වර්ෂයේ කරන්න ඉන්න දේවල් ගැන සඳහන් වෙන සුපුරුදු අයවැය මේ අවුරුද්දේ තාම ඉදිරිපත් කළේ නෑ. මොකද අයවැයක් ඉදිරිපත් කරන්න තරම් ප්‍රමාණවත් කාලයක් අලුතින් පත් වුණ ආණ්ඩුවට නැති නිසා. 2025 අවුරුද්ද වෙනුවෙන් අයවැයක් ඉදිරිපත් කරනකම් අතුරු සම්මත ගිණුමක් තමයි සම්මත කර ගන්නේ. පහුගිය දෙසැම්බර් 5 වෙනිදා ඉදිරිපත් කරපු අතුරු සම්මත ගිණුම අදාළ වෙන්නේ 2025 අවුරුද්දේ මුල් මාස 4ට විතරයි. ඊට පස්සේ විධිමත් අයවැයක් ඉදිරිපත් කරන්න ඕන. මෙවර ගෙනාපු අතුරු සම්මත ගිණුමේ සමස්ත අගය රුපියල් බිලියන 2600ක්. ඒ ගාණ හැදෙන්නේ කොහොමද කියලා පහත වගුවෙන් බලාගන්න පුළුවන්.
අතුරු සම්මත ගිණුම ගැන කෙටියෙන්
සරලවම අතුරු සම්මත ගිණුමක් අවශ්‍ය වෙන්නේ සම්මත වූ වාර්ෂික අයවැයක් නැති අවස්ථාවකදි. ඒ වගේම මේ ගිණුම ඉතා කෙටි කාලයක් වෙනුවෙන් තමයි පවත්වාගෙන යන්නේ. මේ කෙටිකාලීන අතුරු සම්මත ගිණුමෙන් කරන්නේ විධිමත් අයවැයක් සම්මත වෙලා නැති වෙලාවක, රජයේ සේවාවන් බිඳ වැටෙන්න නොදී අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව මහජනතාවට ලබා දෙන එක. දැනට රටේ ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති පවත්වා ගෙන යන්න මුදල් වෙන් කිරීමත් මේ මඟින් සිද්ධ වෙනවා.
අපේක්ෂිත ආදායම් ඇස්තමේන්තු, අදාල කාල පරිච්ජේදය සඳහා වන ණය ගැනීමේ සීමාව වගේම අත්තිකාරම් කටයුතු සඳහා වන උපරිම සීමාව කියන දේවල් අතුරු සම්මත ගිණුමක ඇතුලත් වෙන්න පුළුවන්. අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාම ඉතා ඉක්මණින් ඒක විවාදයට ගන්න එක තමයි සම්ප්‍රදාය. ඒත් විපක්ෂයෙන් ඡන්දයක් ඉල්ලුවොත්, වැඩි ඡන්දයෙන් ගිණුම සම්මත කර ගන්න ඕන.
වැඩිම වියදම කාටද?
අයවැයක් ගෙනාවත් හුඟ දෙනෙක් හොයලා බලන දෙයක් තමයි වැඩියෙන් සල්ලි වෙන් කරලා තියෙන්නේ මොන අංශයටද කියන එක. මේ පාර කියලත් වෙනසක් නෑ. හැමෝම හොයලා බලන්නේ ඒ ගැන. ඒ වගේම පහුගිය ආණ්ඩුවලින් සිද්ධ වුණා වගේම මේ ආණ්ඩුවෙනුත් ජනාධිපතිවරයාගේ වියදම අඩු කරලා නෑ කියන චෝදනාව එල්ල වෙලා තියෙනවා. මෙවර අතුරු සම්මත ගිණුමෙන් වැඩිපුර මුදල් වෙන් වුණ අමාත්‍යංශ මොනවද කියලා පහත වගුවෙන් බලා ගන්න පුළුවන්.
2025 වසර ලංකාවට වැඳගත්. මොකද අලුත් ආණ්ඩුවක් යටතේ ගෙනෙන පළමු අයවැය නිසා බොහෝ දෙනෙක් උනන්දුවෙන් ඒ ගැන බලාගෙන ඉන්නවා. 2022 වසරේ ඇති වුණ ප්‍රබල ආර්ථික අර්බුදයත් එක්ක මිනිසුන්ගේ ජීවන මට්ටම් සෑහෙන්න බිඳ වැටිලා, ජනතා විශ්වාසය පළුඳු වෙලා තියෙන්නේ. ඒ නිසා වෙනසක් වෙනුවෙන් අලුත් ඇරඹුමක් වෙනුවෙන් බලා ඉන්නා ජනතාවට ආර්ථිකයේ සුබවාදී ලකුණක් කියන්නේම වැඳගත් කාරණයක්. ආර්ථිකයේ උන්නතිය වෙනුවෙන් හාල් මිලට පොල් මිලට බලපෑම් කරන්න හැම වෙලාවෙම රජයට මැදිහත් වෙන්න බෑ. ආර්ථික ස්වාධීන ඒකකයක් විදිහට ක්‍රියාත්මක වීමෙන් විතරයි සාධාරණ බෙදා හැරීමක් සිද්ධ වෙන්නේ. වෙළඳපලේ තරඟකාරීත්වයට බාධා වන රජයේ මැදිහත් වීම් නිසා වෙළඳපළ සුබසාධනය කොයිතරම් දුරට ළඟා කර ගන්න පුළුවන්ද කියන එක සැකසහිතයි. ඒ නිසයි එළඹෙන අවුරුද්දේ ගෙන එන්නට නියමිත අයවැය සාධාරණ සහ ප්‍රායෝගික එකක් වීම ඉතාම වැඳගත් කොට සලකන්නේ.