දිල්මිණී අබේරත්න විසිනි
නොවැම්බර් මාසේ තිස් වෙනිදා වෙනකොට බදු ගෙවන්නන් අතර වැඩිපුරම කතා වුණ දේ තමයි 2023/2024 වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා ගොනු කිරිම කියන එක. බදු ගෙවන්නන්ට ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් මේ කියන වාර්තාව සම්පූර්ණ කරන්න පුළුවන්. හැබැයි මීට කලින් වතාවකත් වැඩි පරිශීලකයන් ගණනක් වෙබ් අඩවියට සම්බන්ධ වෙන්න උත්සහ කරපු අවස්ථාවලදී වෙබ් අඩවියේ බිඳ වැටීම් සිද්ධ වුණා. ඒ නිසා මෙවරත් ඒ වගේම තත්ත්වයක් ඇති වෙලා තියෙනවා.
සැප්තැම්බර් මස අග සිට හෝ ඔක්තෝබර් පළමු වන දා සිට ම ආදායම් බදු වාර්තා ගොනු කිරීමේ හැකියාව තිබිලා.
බදු වාර්තාව ඉදිරිපත් නොකලොත්, ඒ වෙනුවෙන් දඩයක් ගෙවන්න සිද්ධ වෙනවා කියන පණිවුඩයත් එක්ක, බොහෝ පිරිසක් (එකම වෙලාවේ වෙබ් අඩවියට ප්‍රවේශ වෙද්දි වෙබ් අඩවිය ප්‍රතිචාර දැක්වීම අඩු වෙලා. ඒ වගේම සමහරුන්ට අදාළ කාලය ඇතුලත බදු වාර්තාව ඉදිරිපත් කරන්නත් බැරි වෙලා තියෙනවා.
නොවැම්බර් 30 /අවසන් දිනයේ වෙබ් අඩවියට ප්‍රවේශ වූ පිරිස 16,000කට වැඩියි
බදු වාර්තා ගොනු කරන්න බැරි වුණා නම් මොකද කරන්නේ?
ඊළඟ වැඳගත්ම ප්රශ්නය තමයි මේක. බදු වාර්තා ගොනු කරන්න බැරි වුණ අය වෙනුවෙන් කාලය දීර්ඝ කරන්නේ නෑ කියලයි දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව බීබීසි සිංහල සේවයට කියලා තියෙන්නේ. ඒ වුණත් ඉක්මණින් බදු වාර්තා ගොනු කරන තරමට සහනයක් ලබා ගන්න පුළුවන් කියලත් සඳහන් කරලා තියෙනවා.
'හැකි ඉක්මනින් වාර්තා ලබා දෙන්න'
බදු වාර්තා ගොනු නොකලොත් වෙන්නේ මොකක්ද?
බදු ගෙවන අය බදු වාර්තා ගොනු කිරීම අනිවාර්යයෙන් කළ යුතු වෙනවා. ලබා දී ඇති කාලය තුළ කෙනෙක්ට ආදායම් බදු වාර්තා ඉදිරිපත් කරන්න බැරි වුනොත්, වාර්තාවේ සඳහන් ආදායම් බද්දෙන් 5%ක් සහ ප්‍රමාද වන සෑම මාසයක් වෙනුවෙන් ම එම බද්දෙන් 1%ක් දඩ මුදලක් විදිහට ගෙවන්න ඕන.
එහෙම නැත්නම් රුපියල් 50,000/= සහ ප්‍රමාද වන සෑම මාසයක් වෙනුවෙන්ම රුපියල් 10,000/= මුදලක දඩයක් ගෙවන්න ඕන.
TIN අංකයක් තියෙන හැමෝම බදු වාර්තා දෙන්න ඕනද?
බදු වාර්තා නියමිත කාලයට නොදුන්නොත් දඩයක් ගෙවන්න වෙනවා. ඒ කතාව ඇහුව ගමන් හුඟක් අය බය වෙනවා. මොකද ඉතිං බදු ගෙවීම ක්රමානුකූල කරන්න කියලා හැමෝටම TIN අංකයක් ගන්න කියලා කිව්වා. හැබැයි TIN අංකයක් තිබුණ පලියට හැමෝම බදු ගෙවන්නේ නෑ. මොකද බද්දෙන් නිදහස් ආදායම් මට්ටමකුත් තියෙන නිසා.
ලංකාවේ ආදායම් බදු ගෙවන්නේ මාසෙකට රුපියල් 100,000කට වැඩි / අවුරුද්දකට ලක්ෂ 12කට වැඩි ආදායමක් තියෙන අය හරි විතරයි.
මේ වගේ ආදායම් බදු නොගෙවන කෙනෙක්ට ආදායම් බදු වාර්තාවක් නිකුත් වෙලා තියෙන්න පුළුවන්ද?
ඔව්, එහෙම වෙලා තියෙනවා නම් ඒ කෙනා තමන්ට ආදායම් බදු ගෙවන්න අවශ්‍යතාවක් නෑ කියලා (Nil Return) වාර්තාවක් ගොනු කරන්න වෙනවා.
එහෙම නොකලොත් එයාව සැලකෙන්නේ වාර්තා ගොනු නොකරන ලද බදු ගෙවන්නෙක් හැටියට.
2024 ජනවාරි පළවෙනිදා හරි ඊට පස්සේ හරි වයස අවුරුදු 18 ලබන සියලු දෙනා ආදායම් බදු දෙපාර්තමේන්තුවේ බදු ලිපිගොනු විවෘත කළ යුතු බව පෙර පැවති රජය ගැසට් නිවේදනයකින් දැනුම් දීලා තියෙනවා. ඒකෙන් කියවන්නේ නෑ වයස 18ට වැඩි හැමෝම බදු ගෙවන්න ඕන කියලා. නමුත් ඉදිරියේ දී රජයත් සමග කරන සියලුම රාජකාරී ගනුදෙනුවලදී මේ කියන බදු අංකය ඉතාම වැදගත් අනන්‍යතාවය ඔප්පු කිරීමක් කියලා සඳහන් වෙනවා.