2025දී ලංකාව වැල් පාලමෙන් එතෙර වෙයිද?

- දිල්මිණී අබේරත්න විසිනි

වසංගත, අර්බුද, අරගල වගේ හැල හැප්පීම් ගොඩක් එක්ක ගෙවුණ කලබලකාරී වගේම තීරණාත්මක කාලයකට පස්සේ 2025 අවුරුද්ද ලබලා තියෙනවා. හෙළ ගැඹුරුයි, රෑ වැටුණු වලේ දවාලෙත් වැටෙයිද? පරිස්සමෙන් වැල් පාලමෙන් එතෙර වෙන්න ලංකාවට පුළුවන් වෙයිද? ඒ දේවල් හරියටම කියන්න තාම කල් වැඩියි තමයි. බිමටම සමතලා වුණ ආර්ථිකයක් ගොඩ ගන්න කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම අර්ථිකය වර්ධනය කර ගන්න නම්, ඒක නිදහස් හා තරඟකාරී කරගෙන ඉස්සරහට යන එකයි වැඳගත්. පුළුවන් තරම් වෙළඳපළ සාධකවලට නිදහසේ තරඟකාරීව ඒ වැඩේ කරගෙන යන්න ඉඩ දුන්නාම තමයි, ආර්ථිකයකට නිදහසේ හුස්ම ගන්න පුළුවන් වෙන්නේ. මෙතනදි රජය හැකිතාක් තමන්ගේ මැදිහත්වීම අඩු කරන්න ඕන. ඒත් රජයකටත් ආර්ථිකයකට දායක වෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඉතිං ඉදිරි අවුරුදු පහ හෝ දහය, ලංකාව වගේ ආර්ථික අර්බුදවලින් බැට කාපු  සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට ගොඩ යනවා නම් ඒක ලොවෙත් නැති විදිහේ ගොඩ යාමකට යන්න ඕන විදිහ සහ එතනදි රජයේ කාර්‍යභාරය මොකක්ද කියලා ලෝක බැංකුව මෑතකදි එළි දක්වපු Global Economic Prospects කියන වාර්තාවේ කතා  කරලා තියෙනවා. 

Image by Karl Egger from Pixabay

අපි මොකක්ද කරන්න ඕන?

Global Economic Prospects වාර්තාවේ කියන්නේ කාරණා තුනක් ගැන. ඒ නිසා මේ සටහන ඇතුලේ කෙටියෙන් සහ සරලව ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට ගොඩ යන්න පුළුවන් විදිහ ගැන අපි කතා කරනවා. වැඳගත්ම දේ තමයි ලංකාවත් ඇතුළුව සංවර්ධනය වෙමින් පවතින රටවල්වල රාජ්‍ය ආයෝජන ශක්තිමත් කරගන්න එක. ඒක කරන්න පුළුවන් කොහොමද? එහෙම කරන්න ඕන ඇයි? සහ ඒකේ ඇති වැඳගත්කම මොකක්ද? කියලා හොයලා බලමු. 

රාජ්‍ය ආයෝජන ශක්තිමත් කරගන්න එක වැඳගත් වෙන්නේ දුප්පත්කම පිටුදැකීම, ආර්ථික වර්ධනය, ස්ත්‍රී පුරුෂ සමානතාව, ගුණාත්මක අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා සැපයීම වගේ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගන්න. Global Economic Prospects වාර්තාවට අනුව නැඟී එන වෙළෙඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකවලට, සමහර ප්‍රතිපත්තිමය මැදිහත්වීම් මගින් අවුරුදු 5ක් තුළ රාජ්‍ය ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයෙන් 1%කින් ඉහළ නංවන්න පුළුවන්කමක් තියෙනවා. ඒකෙන් රටේ නිෂ්පාදනය 1.6%කින් ඉහළ දාන්න පුළුවන්. ඇහුව ගමන් මේක මැජික් එකක් වගේ පේනවා. 

ඒ මැජික් එක වෙනුවෙන් කරන්න ඕන ප්‍රතිපත්තිමය මැදිහත්වීම් මොනවාද? 

Image by Pexels from Pixabay

මෙතනදි තමයි මම කලින් කියපු කාරණා තුන අදාල වෙන්නේ. 

  1. මූල්‍ය අවකාශය පුළුල් කිරීම (Expansion of fiscal space)

  2. රාජ්‍ය ආයෝජනවල කාර්යක්ෂමතාව (Efficiency of public investment) 

  3. වැඩි දියුණු කළ ගෝලීය සහයෝගය (Enhanced global support)

 

1. රාජ්‍ය මූල්‍ය අවකාශය (Expansion of fiscal space)

Image by Steve Buissinne from Pixabay

මෙතනදි අදහස් කරන්නේ ඕනෑවට වඩා ණය ගොඩ ගන්නේ නැතිව ආර්ථිකයට හානියක් කර ගන්නේ නැතිව, සරලව කිව්වොත් කිසිම ප්‍රශ්නයක් නැතිව රජයකට කොච්චර මුදලක් වියදම් කරන්න පුළුවන්ද කියන එක. මේ කතාව අපි හිතනවට වඩා ගොඩක් වැඳගත් කතාවක්. මොකද මිනිස්සුන්ට අවශ්‍ය පාසල්, මාර්ග, සෞඛ්‍ය සේවා වගේ දේවල්වලට වියදම් කරන්න ප්‍රමාණවත් තරම් අරමුදල් තියෙනවද, නැද්ද කියලා මේකෙන් තීරණය වෙනවා. 

රටේ අයවැය තත්ත්වය ඒ තරම් හොඳ නැති, බොහෝමයක් නැඟී ගෙන එන වෙලඳපොලවල් සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් තමන්ගේ ආදායමෙන් විශාල මුදලක් වෙන් කරන්නේ ණය පොලී ගෙවන්න. ඒකට වියදම් කළාට පස්සේ වෙනත් වැඳගත් ව්‍යාපෘති පටන් ගන්නවත්, පටන් ගත්ත ව්‍යාපෘති ඉවර කරන්නවත් සල්ලි නෑ. ඒ විදිහට ණය ගෙවන්න හරි ණය පොලී ගෙවන්න හරි අයවැයෙන් දරන වියදම් වැඩි වෙනවා කියන්නෙම මිනිස්සුන්ගේ කුසලතා සහ අධ්‍යාපනය (මානව ප්‍රාග්ධනය) වැඩිදියුණු කරන්න තියෙන අරමුදල් අඩු වෙනවා කියන එක. 


රාජ්‍ය මූල්‍ය අවකාශය වෙනුවෙන් කරන්න පුලුවන් මොනවද?

• දේශීය වශයයෙන් ආදය‍ම් උපයා ගැනීම විධිමත් කිරීම: විශේෂයෙන්ම රජයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් විදිහට සැලකෙන බදු ආදායම වැඩි කර ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕන. (බදු ව්‍යුහය සරල කිරීම, බදු පරිපාලනය විධිමත් කිරීම සහ බදු ගෙවීම් සැකසීමට සහ අනුකූලතාව නිරීක්ෂණය කිරීමට නව තාක්ෂණයන් අනුගමනය කිරීම). බදු අනුපාත වැඩි කිරීමකින් තොරව බදු ආදායම වැඩි කරගන්න මේ ක්‍රමයෙන් පුළුවන්. 

උදා: කෙන්යාව සහ පිලිපීනය 

• අකාර්යක්ෂම සහනාධාර ලබා දීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම: හරියට විදිහට හොයලා බලන්නේ නැතිව ඕන කෙනාටයි නැතිකෙනාටයි දීලා තියෙන ගැන සහනාධාර ගැන ආයෙමත් හිතලා බලන්න ඕන. දුප්පතුන් ඉලක්ක කර නොගන්නා සහනාධාර අඩු කිරීමට හෝ ඉවත් කිරීමට පුළුවන්. ඒ මුදල් සෞඛ්‍ය, අධ්‍යාපනය සහ යටිතල පහසුකම් සඳහා වන ආයෝජනය කරන්න පුළුවන්. 

උදා: මෙක්සිකෝව වැනි රටවල ක්‍රියාත්මක ඉන්ධන සහනාධාර ප්‍රතිසංස්කරණ 

• ණය කළමනාකරණය වැඩිදියුණු කිරීම සහ විශ්වසනීය සහ පුරෝකථනය කළ හැකි මූල්‍ය රාමු ස්ථාපිත කිරීම: මේකට අදාල වෙනවා විස්තීර්ණ ණය කළමනාකරණ උපාය මාර්ගයක් සංවර්ධනය කිරීම, ණය විනිවිදභාවය වැඩිදියුණු කිරීම සහ ණය ගැනීම තිරසාර බව සහතික කිරීම සහ දිගුකාලීන සංවර්ධන ඉලක්ක සමඟ සමපාත වීම කියන දේවල්. 

උදා: ජැමෙයිකාව වඩා හොඳ ණය කළමනාකරණයක් සහ විශ්වසනීය මූල්‍ය රාමුවක් හරහා පසුගිය දශක කිහිපය තුළ සිය මූල්‍ය අවකාශය පුළුල් කිරීම


2. රාජ්‍ය ආයෝජනවල කාර්යක්ෂමතාව (Efficiency of public investment)
 

Image by Steve Buissinne from Pixabay

අපි කවුරුත් දන්නවා ලංකාවේ තියෙන සමහර රාජ්‍ය ආයෝජනවලින් බැලූ බැල්මට කිසිම ආර්ථික ප්‍රතිලාභයක් නෑ කියලා පේන. එහෙම නැත්නම් පාඩු ලබන, සම්පත් නාස්තියක් කියලා පේන. ඒ  නිසා රාජ්‍ය වියදම් කාර්යක්ෂමතාවය කියන්නේ රාජ්‍ය මූල්‍ය සම්පත් කොච්චර හොඳින් වියදම් කරනවාද කියන එක. අපි වියදම් කරන දේවල්වලට සාපේක්ෂව ආදායමක්/ප්‍රතිලාභයක් නැත්නම් එතන අකාර්‍යක්ෂමතාවක් තියෙනවා. ලංකාවේ ඒ වගේ ව්‍යාපෘති ඕන තරම් තියෙනවා. කරන්නම් වාලේ කළාට ලංකාවට ඒ වියදම් කරපු ගාණට වටින කිසිම දෙයක් නොලැබෙන ව්‍යාපෘති රට පුරා තියෙනවා. ඒ වියදම් ලංකාවේ ඇති වුණ ආර්ථික අර්බුදය‍ට පවා හේතු වුණා. අපි වුණත් පඩියෙන් ඕන නැති කිසි වටිනාකමක්, ප්‍රයෝජනයක් නැති දේවල්වලට වියදම් කරන වෙලාවල් තියෙනවා. ඒවායෙන් බලපෑමක් වෙන්නේ පුද්ගලිකවම අපිට. වැඳගත් දේකට  වියදම් කරන්න තිබ්බ සල්ලි තමයි නාස්ති වෙන්නේ. හැබැයි රටක් තේරුමක් නැති ප්‍රයෝජනයක් නැති දේවල්වලට වියදම් කරනවා කියන්නේ ඊට වඩා බරපතල දෙයක්. ඒකේ පාඩුව රටේ හැමෝටමයි, විශේෂයෙන්ම දුප්පත් සහ ආර්ථික සහ සමාජීය වශයෙන් පීඩාවට පත් වුණ හැමෝටමයි. නියාමන බාධක සහ දූෂණය වගේ ආයතනික දුර්වලතා නිසාත් හුඟක් වෙලාවට ගුණාත්මක බවින් අඩු ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. 


රාජ්‍ය ආයෝජනවල කාර්යක්ෂමතාව වෙනුවෙන් කරන්න පුලුවන් මොනවද?

• විනිවිද පෙනෙන ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කිරීම : කොන්ත්‍රාත් දෙද්දි නෑයන්ට, හිතවතුන්ට නෙවේ හරි කෙනාට දෙන එක ඩිජිටල් නවෝත්පාදන මගින් වියදම් කාර්යක්ෂමතාව, විනිවිදභාවය, වගවීම සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීම ගැන හිතලා බලන්න පුළුවන්.


• ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ක්‍රමානුකූලව අධීක්ෂණය කිරීම සහ ඇගයීම : රාජ්‍ය ආයෝජන ව්‍යාපෘති ක්‍රමානුකූලව අධීක්ෂණය කිරීම සහ ඇගයීම මඟින් පිරිවැය ඉක්මවා යාම වගේම ප්‍රමාදයන් ඇති වෙන්න බලපාන හේතු හඳුනා ගන්න උපකාර වෙනවා. එතකොට කාලෝචිත නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ගවලට ඉඩ ලැබෙනවා වගේම අනාගත ව්‍යාපෘති වැඩිදියුණු කරන්න ඕන කොහොමද කියලා පැහැදිලි වෙනවා.

• පුද්ගලික අංශය සම්බන්ධ කර ගැනීම : ක්‍රියාත්මක කිරීමේදී සාපේක්ෂව සංකීර්ණතාවන් ඇති වෙන්න පුළුවන් වුණත්, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයකදි පුද්ගලික අංශයේ සම්පත් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. පෞද්ගලික අංශය සතු තාක්‍ෂණය නිසා විදුලි සංදේශ සහ සෙලියුලර් ජාල සම්බන්ධයෙන් වගේම සෘජු ප්‍රතිපාදනවලින් ඉවත් වෙන්නත් දැන් රජයන්ට හැකියාව තියෙනවා.

Image by Tung Nguyen from Pixabay

• ජාත්‍යන්තර සංවිධාන සමඟ හවුල් වීම : නැඟී එන රටවල්වලට සහ අඩු ආදායම්ලාභී රටවල්වලට ජාත්‍යන්තර සංවිධාන විසින් සකස් කරන ලද රාමු භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් ලෝක බැංකුවේ රාජ්‍ය ආයෝජන කළමනාකරණ රාමුව මඟින් රටවල්වලට තමන්ගේ රාජ්‍ය ආයෝජන භාවිතයන්වල ශක්තීන් සහ දුර්වලතා තක්සේරු කරන්න උපකාර කරනවා.


3. වැඩි දියුණු කළ ගෝලීය සහාය (Enhanced global support)

සමහර  නැඟී එන රටවල්වලට සහ අඩු ආදායම්ලාභී රටවල්වලට මහා පරිමාණ රාජ්‍ය ආයෝජන ව්‍යාපෘතිවලට මුදල් යොදවන්න වගේම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න ජාත්‍යන්තර ප්‍රජාවෙන් අමතර මූල්‍ය සහ තාක්ෂණික සහාය අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ වගේම ඒ ආයෝජනවලින් ලැබෙන ප්‍රතිලාභ ඉතා ඉහළ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මුළු ලෝකයටම බාහිරතා ඇති කරන දේශගුණය ආශ්‍රිත යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ජාත්‍යන්තර ප්‍රජාව පියවර ගන්න ඕන. 


ලංකාවේ අනාගතය

2024 ආර්ථික නිදහස ගැන ෆ්‍රේසර් ආයතනයේ සමීක්ෂණවලට අනුව අංක එකේ ඉන්නේ මුඩුක්කු රටක් විදිහට තිබිලා මෑත කාලයේ සංවර්ධිත රටක තත්ත්වයට ආව, සිංගප්පූරුව. ඊට පස්සේ ස්විස්ටර්ලන්තය සහ අයර්ලන්තය වගේ රටවල්. ශ්‍රී ලංකාව මේ ලිස්ට් එකේ ඉන්නේ 149 වෙනියට. කොහොමත් ලංකාවට මුදල් උපයන්න පුළුවන් විදිහේ ආයෝජකයන්ට සහ ව්‍යාපාරවලට වැඩක් කර ගන්න ගියාම තියෙන සීමා සහිත ඉඩ සහ රාජ්‍ය ආයතනවලින් ලබා ගන්න තියෙන සේවාවන්වල යාවත්කාලීන බවක්, කාර්‍යක්ෂම බවක් නැති එක නිසා තරඟකාරී ආයතනවලට ආර්ථිකයට දායක වෙන්න තියෙන ඉඩ සීමා වෙලා තියෙනවා. ප්‍රතිපත්තිවල අස්ථාවරත්වය, නියාමන බාධක, හැමදේකටම රජය අත පෙවීම, කාලීනව නම්‍යශීලී නොවන ශ්‍රමය සම්බන්ධ වන රෙගුලාසි කියන මේ හැම දෙයක්ම ලංකාවේ ආර්ථිකයට වර්ධනය වෙන්න නොදී කකුලෙන් අඳිනවා.  


වැල් පාලමෙන් ගොඩට

ලංකාවේ ආර්ථිකය, දේශපාලනය සහ සමාජය ගෙවුණු අවුරුදු පහක වගේ කාලයක් ඇතුලේ විශාල වෙනස්කමකට මුහුණ දුන්නා. දේශපාලනික වශයෙන් ජනප්‍රසාදය නොලබන බැරෑරුම් ආර්ථික තීරණ අරන් අසීරු ප්‍රතිසංස්කරණ රැසක් කරන්න වුණා. හැබැයි ලංකාව තාමත් වැටුණු වලෙන් සම්පූර්ණයෙන් ගොඩ ඇවිත් නෑ. තාමත් උද්ධමනයෙන් ඇති කරපු ගිනිදැල්වල ගිනි පුළිඟු අළු යට හැංඟිලා තියෙනවා. ඒවා නිවලම දාලා ආර්ථිකයට වර්ධනය වෙන්න පුළුවන් පරිසරයක් හදන එක සම්බන්ධයෙන් ඉදිරි වසර පහ තීරණාත්මකයි. එතනදි රජය ආර්ථිකයට මැදිහත් වීම අඩු කරලා, ගැනුම්කරුවන් සහ සැපයුම්කරුවන් කියන වෙළඳපළ සාධකවලට නිදහසේ තරඟකාරීව ක්‍රියාත්මක වෙන්න දෙන්න ඕන. නැත්නම් හැමදාමත් පාලන මිල, පෝලිම්, කළු කඩ නවත්වන්න වෙන්නේ නෑ. හැබැයි රජයකට ආර්ථිකයක් වෙනුවෙන් කරන්න දෙයක් නෑම කියන්නත් බෑ. ඒකයි මේ සටහන පුරාවට රජයට ඒ වෙනුවෙන් කරන්න පුළුවන් මැජික් එක ගැන කතා කළේ. 

මේ වගේම තවත් සටහනකින් හමුවෙන තුරු රැඳී ඉන්න අපේ අදහස් එක්ක. 

ඔබත් බදු වාර්තා ගොනු කළාද?  / එලොව පොල් පෙන්වන මෙලොව පොල්