දිල්මිණී හසින්තා අබේරත්න විසිනි
පොඩි කාලේ අපි අහල තියෙන දෙයක් තමයි පොල් ගස කියන්නේ කප්රුක කියලා. එහෙම කියන්නේ පොල්ගස සිතූ පැතු හැමදේම ලබාදෙන හින්දා නෙමෙයි. ඒ පොල් ගහේ වැඩකට ගන්න බැරි කිසිම දෙයක් නැති නිසා. පොල් ගෙඩියේ ඉඳන් ගත්තහම පොල් කොහු, පොල් කෙඳි, පොල් පරාල, පොල් කොල වගේ මේ හැම දෙයක්ම වැඩකට ගන්න පුළුවන් දේවල්. පොල් ලංකාවේ ප්‍රධාන අපනයන භෝගයන් අතරත් තියෙනවා. ඒ වගේම තවමත් ලංකාව ලෝකයේ ප්‍රධාන පොල් අපනයනකරුවන් අතර ඉන්නවා. පොල් ගැන කතාව ආයෙමත් කරලියට ආවේ ලංකාවේ පොල් මිල එලොව පොල් පෙන්නන්න ගත්ත වෙලාවේ.
පොල් විතරක් නෙමෙයි කාලෙන් කාලෙට නොයෙක් භාණ්ඩවල හා සේවාවල මිල ඉහළ පහළ යෑම සිද්ධ වෙනවා. හුඟක් වෙලාවට ලංකාවේ තියෙන පුරුද්දක් තමයි භාණ්ඩ මිල ඉහළ ගියොත් ඒ වෙනුවෙන් අතරමැදියෙක් වෙළඳපළට මැදිහත් වෙලා භාණ්ඩයට පාලන මිලක් දානවා. ඒ කියන්නේ දැන් ලංකාවේ පොල් ගෙඩියක් අලෙවි වෙන්නේ රුපියල් 150කට නම් රජය කියනවා රුපියල් 130 තමයි පාලන මිල කියලා. එතනින් එහාට මිලක් නියම කරන්න වෙළඳපළ සාධකවලට බෑ කියලා. හැබැයි ඔය කියන පාලන මිල එච්චර සාර්ථක වෙන්නෙ නෑ. මොකද වෙළඳපළක සුමට ක්‍රියාකාරීත්වය වෙන්නේ නිදහසේ ඉල්ලුම සහ සැපයුම තීරණය වෙන වෙලාවකදි. ඒ නිසා පාලන මිලක් දාපු ගමන් වෙන්නේ වෙළඳපළේ භාණ්ඩ හිඟයක් ඇතිවෙන එක. ඉතින් අද අපි බලමු ලංකාවේ පොල් මිල ඉහළ යන්නේ ඇයි කියලා.
පොල් ගණන් යන්නේ ඇයි?
භාණ්ඩයක මිල ඉහළ යන්න හේතු කීපයක් තියෙනවා. ඒ අතරින් එකක් තමයි ඉල්ලුමට සරිලන විදිහට සැපයුමක් නැති එක. ඉතින් පොල්වල මිල ඉහළ යන්න බලපාලා තියෙන්නෙත් ඉල්ලුමට සරිලන විදිහට පොල් සැපයුමක් නැති එක. ලංකාවේ තියෙන්නෙ පොල් අධි ඉල්ලුමක්. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කියනවා ලංකාවේ දැනට තියෙන ඉල්ලුම බැලුවාම ලංකාවේ වාර්ෂික පොල් ඉල්ලුම බිලියන 4 වගේ වෙද්දි සැපයුම තියෙන්නේ බිලියන 2.8 - 3 අතර ප්‍රමාණයක් කියලා.
පොල් සැපයුම ප්‍රමාණවත් නොවෙන්නෙත් තවත් හේතු ගණනාවක් නිසා. ලංකාවේ පොල්වලට දේශීය වගේම විදේශීය වෙළඳපලක් තියෙනවා ඒකේ අදහස තමයි අපි වගේම වෙන රටවල්වල අයගේ පරිභෝජනයටත් අපි පොල් අපනයනය කරනවා. හැබැයි ලංකාවේ වැඩිම පොල් පරිභෝජනයක් තියෙන්නේ දේශීය වෙළඳපලේ. ඒ කියන්නේ මුළු නිෂ්පාදනයෙන් 2/3ක්ම යන්නේ දේශීය පාරිභෝගිකයන්ට.
පොල් ඕන කාටද?
දේශීයව පොල් පරිභෝජනය කරන්නේ විශේෂයෙන්ම ආහාරවලට. ලංකාවේ පොල් සහ ආහාර සංස්කෘතිය අතර තියෙන්නේ ඉතාම තද බැඳීමක්. පොල් කිරි, පොල්තෙල්, පොල් සම්බෝල, පොල් ටොෆි, විනාකිරි, පොල් පැණි, පොල් රා ඇතුළු කියලා නිම කරන්න බැරි තරම් දේවල් පොල් ගසෙන් ප්‍රයෝජන විදිහට ගන්නවා. ඒ ඇරුණම කොසු, ඉඳල්, බුරුසු, පරාල, පොල් කටු හැඳි, පාපිසි, විසිතුරු භාණ්ඩ වගේ දේවල් හදන්නත් පොල් ගස පාවිච්චි වෙනවා.
2021දි පොල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරලා ලංකාව ඩොලර් මිලියන 836.1 උපයගෙන තියෙනවා. ලංකාවෙන් පිටරටට යවන පොල් සමස්ත නිෂ්පාදනයෙන් ප්‍රතිශතයක් විදිහට ගත්තම 1/3ක්. ඒවා ඩෙසිකේටඩ් පොල්, පොල් තෙල්, පිටි, පොල් කිරි, විනාකිරි, පොල් වතුර සහ පොල් ගෙඩි විදිහටත් පිටරට යවනවා.
යුරෝපා සංගමයේ රටවල්වලට කරන ඩෙසිකේටඩ් පොල් සැපයුමෙන් 8% ශ්‍රී ලංකාවෙන් තමයි යවන්නේ. ලෝකයේ නැවුම් පොල් සහ වියළි පොල් සැපයුමෙන් 5% ශ්‍රී ලංකාවෙන් සැපයෙනවා. පොල් සංවර්ධන අධිකාරියේ 2019 වාර්තාවක කියලා තියෙනවා 2018 ලෝක ශ්‍රේණිගත කිරීම අනුව පොල් කොහු සහ කොහු ආශ්‍රිත නිෂ්පාදනවලින් දෙවනි තැනත්, ඩෙසිකේටඩ් පොල් නිෂ්පාදනය අතින් තුන්වන තැනටත් පත් වෙලා කියලා. හුඟක් වෙලාවට විදෙස් රටවල්වලට පොල් යවන ලංකාවේ ආයතන ඉක්මණින් වෙළඳපලෙන් වැඩි ප්‍රමාණයක් පොල් ගන්න නිසා, පොල් අඩු කාලෙකදි ඒක දේශීය වෙළඳපලේ ඉන්න පාරිභෝගිකයන්ට තදින් දැනෙන්න ගන්නවා. ඒකත් එක හේතුවක් වෙනවා පොල් මිල තවත් වැඩි වෙන්න.
පොල් මිල වැඩි වෙන හේතු
සැපයුමට බලපාන එක හේතුවක් වෙන්නේ ඉල්ලුම. ඒක ඇරුණාම පොල් සැපයුමට දේශගුණය, භූමිය, ප්‍රතිපාදන, වගා අධීක්ෂණය, වගා හානි වගේ දේවලුත් බලපානවා. සමකයට ආසන්න රටවල්වල සාරවත්ව හැදෙන පොල්වලට මුහුදුබඩ ප්‍රදේශවල තියෙන පස හිතකරයි. ලංකාවේ පොල් ත්‍රිකෝණය (කුරුණෑගල, පුත්තලම, ගම්පහ) කියන්නේ ඒ වගේ වැඩිපුර පොල් වගාව තියෙන ප්‍රදේශ. ඒ ඇරුණාම කුඩා පොල් ත්‍රිකෝණ දකුණු කළුතර සහ තංගල්ල ආශ්‍රිතවත්, යාපනය, මන්නාරම සහ මුලතිව් ආශ්‍රිතවත් දකින්න ලැබෙනවා.
කාලයත් එක්ක පොල් ඉඩම් වෙනත් වාණිජ කටයුතුවලට යොදා ගැනීම නිසා ප්‍රමාණවත් පොල් සැපයුමක් පවත්වා ගන්න එකට බාධා වෙනවා. ඒ වගේම ලෝකයේ සාමාන්‍ය පොල් ගසක ඵලදාව ගෙඩි 100 වුණත් ලංකාවේ ඒ ගණන ගෙඩි 60 වගේ ප්‍රමාණයක්. ලංකාවේ සමස්ත පොල් නිෂ්පාදනයෙන් 75% ඉන්නේ කුඩා පරිමාණ පොල් වතු හෝ පොල් වගාකරුවෝ. එයාලා අතර විධිමත්ව, හොඳ අවබෝධයෙන් මේ වගාව කරන අය වගේම එහෙම නැති අයත් ඉන්නවා. ඒ නිසා ඵලදාව වැඩි කර ගන්න ක්‍රම, පොහොර යෙදීම, අධීක්ෂණය, හානි වළක්වා ගැනීම කියන දේවල්වලින් තවදුරටත් ලංකාවට කරන්න දේවල් ගොඩක් තියෙනවා.
පොල්වල අනාගතය
පොල් ඉල්ලුම වැඩි වෙලා සැපයුම අඩු වෙලාවක අපි හිතන්න ඕන තව දෙයක් තමයි නාස්තිය අඩු කරලා වැඩි කාර්‍යක්ෂමතාවකින් පොල් පරිභෝජනය කරන්නේ කොහොමද කියන එක. ගමේ ගෙවල්වල පොල් ගස් කීපයක් තියෙන්නෙ පුළුවන් වුණාට හුඟක් නාගරික අයට එහෙම නෑ. ඒ නිසා ලංකාවේ ආහාර රටාවත් එක්ක එයාලා මේ ප්‍රශ්නෙට ගොඩක් මුහුණ දෙනවා.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කියලා තියෙනවා පොල් වගාවේ වාසි ලබා ගන්න නම් පොල් වගාව ව්‍යාප්ත කිරීම, වැඩි ඵලදාවක් ලබා දෙන ප්‍රභේද හඳුන්වා දීම, පොල් වතුර සඳහා වෙළඳපළ ඉල්ලුම ප්‍රවර්ධනය කිරීම, වගාව සඳහා අවශ්‍ය වන පහසුකම් රට පුරා ඇති කිරීම කියන දේවල් ගැන හිතන්න ඕන කියලා. ලංකාව දැනටමත් පොල් අපනයනය කරන රටක් නිසා එය වඩා වර්ධනය කර ගන්න එක ලංකාවේ ආර්ථිකයටත් වාසිදායක වෙනවා. විශේෂයෙන්ම වෙනත් අපනයන ආදායම් උපයන ඇඟලුම් වගේ කර්මාන්තවලට සාපේක්ෂව පොල් වගාව වෙනුවෙන් පිටරටින් ආනයනය කරන්න ඕන යෙදවුම් තියෙන්නේ අඩුවෙන්. ඒ නිසා පොල් වගාව නවීන තාක්ෂණය, දැනුම සහ පැහැදිලි සැලැස්මක් ඇති ව කිරීමෙන් අනාගතයේදී අනවශ්‍ය ආකාරයේ සැපයුම් බිඳ වැටීම්, හිඟයන්, මිල ඉහල යාම් වළක්වා ගන්න පුළුවන් වෙයි.