- දිල්මිණී හසින්තා අබේරත්න විසිනි
ලංකාවේ සෑහෙන කාලෙක ඉඳන් තියෙන ප්‍රශ්නයක් තමයි එන්න එන්න වැඩි වෙන ණය. හැබැයි මේ දවස්වල ණය කතාව ආපහු එළියට ඇවිත් තියෙනවා. මොකද අලුත් ජනාධිපති කෙනෙක් පත්වෙලා හුඟක් දේවල්වල වෙනසක් බලාපොරොත්තුවෙන් ඉදිද්දි ඇයි මේ ආයෙමත් ලංකාව ණය ගන්නේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් කවුරු බලයට ආවත් ලංකාවට සම්පූර්ණයෙන්ම ණය ගන්න එක නතර කරන්න අමාරුයි කියලා ඔයාලා දැන ගෙන හිටියද?
පහුගිය අවුරුදුවල ලංකාවේ විශාල ආර්ථික අර්බුදයක් ඇති වෙලා, මිනිස්සු දවස් ගණන් පෝලිම්වල බලාගෙන හිටියා. එහෙම වුණේ ලංකාවට ගත්ත ණය ගෙවා ගන්න බැරුව ගිහින්. අන්තිමට එදා වේලට ඕන කරන දේවල්වලටවත් ගෙවා ගන්න බැරුව භාණ්ඩාගාරය හිස් වෙලා ගියාට පස්සේ ලංකාව බංකොලොත් වුණා. ඒක අපි දන්න කතාව. ඒක දන්න නිසාම ආයෙමත් ඒ අතීතෙට යන්න අපි කවුරුත් බයයි. එහෙම තියෙද්දිත් ණය ගෙවා ගන්න බැරුව, ණය ප්‍රතිව්‍යුහගතකරණය කර කර ඉන්න වෙලාවක ඇයි ආයෙමත් ලංකාව ණයගන්නේ කියන එක කතා කරන්නම ඕන මාතෘකාවක්.
ණය ගන්නේ කොහොමද?
ඉතින් අපි හැමෝම දන්නවා ණය ගත්තහම අපිට පොලියක් ගෙවන්න වෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන්ම ගත්ත ගාණට වඩා වැඩි ප්‍රමාණයක් අපිට පොලියත් එක්ක ගෙවන්න වෙනවා. රටකට ණය ගන්න පුලුවන් ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. ඒ තමයි දේශීය ණය සහ විදේශිය ණය.
මේ දෙකෙන් දේශීය වශයෙන් ගන්න ණය තරමක් දුරට වාසිදායකයි. මොකද ඒවා ආපහු ගෙවන්න ඕන දේශීය මුදල් ඒකකයෙන්, රුපියල්වලින්මයි. ඒ වුණාට අපි විදේශීය රටවල්වලින්, විදේශීය ආයතන හෝ සංවිධානවලින් ගන්න ණය ගෙවන්න වෙන්නෙ විදේශීය මුදල් ඒකකවලින්. ඒවායේ පොලිය වුණත් එහෙමයි. ලංකාවේ ආර්ථික අර්බුදය වෙලාවේ රුපියල අවප්‍රමාණය වෙලා තිබුණේ. ඒ වගේ වෙලාවක විදේශීය ණය පියවීම රටකට විශාල බරක් වෙනවා.
සාමාන්‍යයෙන් දේශීය ණය ගන්නේ භාණ්ඩාගාර බිල්පත් හෝ භාණ්ඩාගාර බැඳුම්කර විදිහට. කෙටිකාලීනව නම් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර ණය ලබා ගන්නවා. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර ණය ලබා ගන්නේ දිගුකාලීනව පියවන්න හිතාගෙන. මේ දිනවල ණය ගන්නවා කියන්නේ මේ විදිහට දේශීය වශයෙන් භාණ්ඩාගාර බිල්පත් හෝ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර ණය ගන්න එකට.
ඇයි එහෙම ණය ගන්නේ?
සාමාන්‍යයෙන් අපි ණයක් ගන්නේ ගෙයක් හදන්න, වාහනයක් ගන්න වගේ දේකට. එතකොට ඒ ණය යෙදෙව්වේ මොකටද කියලා කෙනෙක්ට ඇස් දෙකෙන්ම බලා ගන්න පුළුවන්. ඒත් මේ දවස්වල මුකුත් එහෙම ණය අරන් කරන දෙයක් පේන්න නෑනේ. ඒකට හේතුව, ණය ගන්න වෙලා තියෙන්නේ කලින් ගත්ත ණයවල පොලිය ගෙවන්න.
ලංකාවේ ගෙවුම් ශේෂයේ හිඟයක් තියෙන්නේ අද ඊයේ ඉඳන් නෙවේ. ඒ කියන්නේ කාලාන්තරයක් තිස්සේම ලංකාවේ ආදායමට වඩා වියදම වැඩියි. මේ වියදම පියවගන්න පහසුවෙන්ම කරන්න පුළුවන් දේ තමයි ණය ගන්න එක. ඉතිං හැම අවුරුද්දකම වගේ ලංකාවේ වියදම් පියවා ගන්න බැරි වෙනකොට ණය අරගෙන තියෙනවා. මේ විදිහට දිගින් දිගටම ගන්න ණයයි ඒවායේ පොලියයි එකතු වෙලා අපිට හැමදාමත් රටක් විදිහට තවත් ණය අරන් ඒවා පියවන්න වෙලා තියෙනවා. ඔන්න ඔය කතාව තමයි හැම ආණ්ඩුවක් යටතේම ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ. ඒකයි අලුත් ජනාධිපතිවරයෙක් පත් වෙලා ඉතාමත් කෙටි කාලයක් යටතේ වුණත් ආයෙ ආයෙම ණය ගන්න වෙලා තියෙන්නේ.
එහෙනම් ආයෙත් සල්ලි අච්චු ගහනවද?
අපොයි නෑ, ඒක දැන් ඉස්සර වගේ ලේසි නෑ. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ එහෙම හිතෙන හිතෙන වෙලාවට සල්ලි අච්චු ගහන්න බෑ. ඒක අපි අතීතයෙන් ඉගෙන ගත්ත පාඩමක්. කලින් වතාවේ අසාමාන්‍ය විදිහට මුදල් අච්චු ගහපු නිසා ලංකාවේ උද්දමනය දරන්න බැරි මට්ටමකට ඉහළ ගියා. ඒ නිසා මේ වෙලාවේ කරන්නේ දේශීය වශයෙන් භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරලා ණය ලබා ගන්න එක විතරයි.
එතකොට මොකක්ද මේ ණය ප්‍රතිව්‍යුහගත කළා කියන්නේ?
ණය ප්‍රතිව්‍යුහගත කළා තමයි. ඒ විදේශීය ණය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකතු වෙලා ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න විදේශීය ණය හිමියන් එක්ක සෑහෙන සාකච්ඡා වට ගාණක් ගිහින් දැන් ඒ වැඩේ අවසාන අදියරට ඇවිත් තියෙන්නේ. ඒත් ඒ ප්‍රතිව්‍යුහගත කළේ විදේශීය ණය විතරයි. ඒ නිසා විදේශීය ණය ගෙවීම මේ වෙද්දි අත්හිටුවලා තමයි තියෙන්නේ. ඒත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් වුණේ නැති නිසා ඒ ගෙවීම් දිගටම කරන්න ඕන.
ණය ගන්න ණය ගෙවන මේ සංසාර චක්‍රයෙන් ගොඩ එන්න විදිහක් නැද්ද?
ඒක මේ දැන් ආර්ථිකය තියෙන විදිහටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙම කළොත් වෙන්නේ හිල් කලයෙන් වතුර අඳිනවා වගේ වැඩක්. මුලින්ම කරන්න ඕන ආර්ථිකයෙන් නාස්ති වෙලා අපතේ යන සල්ලි ටික ඉතුරු කර ගන්න විදිහක් බලන එක. ඒකට තමයි ආර්ථිකයකට ප්‍රතිසංස්කරණ ඕන වෙන්නේ. මිනිස්සුන්ගේ සල්ලි ගිලගන්න අකාර්‍යක්ෂම ආයතන, හැම අවුරුද්දෙම පාඩු ලබලා අපේ බදු සල්ලිවලින් දුවන ආයතන, අකාර්‍යක්ෂම සේවකයන්, නිලධාරීවාදය, ප්‍රසම්පාදන ක්‍රියාවලියේ වංචා වගේ හැමදෙයක්ම වෙනස් වෙන්න ඕන. ඒ වෙනසත් එක්ක අපිට පුළුවන් වෙයි රටක් විදිහට ආර්ථිකය හරි පාරට ගන්න වගේම ණය ගන්න එක පාලනය කරලා ණය බර අඩු කර ගන්න.