ගෙවුණු සැප්තැම්බර් 14 වෙනිදා ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනයේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව, ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශීය මුදල් (Long-Term Local-Currency; LTLFC) නිකුත් කරන්නන්ගේ පෙරනිමි ශ්‍රේණිගත කිරීම (Issuer Default Rating-IDR) 'C' සිට 'RD' (සීමා කළ පෙරනිමිය) දක්වා පහත දමනු ලැබුවා. හැබැයි සැප්තැම්බර් මාසේ 28 වෙනිදා ආයෙත් පාරක් ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශීය මුදල් (Long-Term Local-Currency; LTLFC) නිකුත් කරන්නන්ගේ පෙරනිමි ශ්‍රේණිගත කිරීම (Issuer Default Rating-IDR) 'RD' මට්ටමේ ඉඳලා 'CCC-' මට්ටම දක්වා ඉහල දාලා තියෙනවා. මේ කතාව තේරුම් ගන්න අමාරුයි වගේ නම් අපි බලමු සරලව ම මොකක්ද වෙලා තියෙන්නේ කියලා.
මොකක්ද මේ ෆිච් රේටින්ස් ආයතනය කියන්නේ?
රේටින්ග්ස් ආයතන නැත්නම් ශ්‍රේණිගත කිරීමේ ආයතන කියලා කියන්නේ කිසියම් රටක ණය ගෙවීමේ හැකියාව ගැන තක්සේරුවක් ඉදිරිපත් කරන ආයතනවලට. කෙනෙකුගේ ණය ගෙවීමේ හැකියාව තීරණය වෙන්නේ කලින් සිදු කරපු මූල්‍ය ගනුදෙනුවල ස්වභාවය අනුවයි. උදාහරණයක් විදිහට රුපියල් 1000 ආදායමක් තියෙන කෙනෙක් රුපියල් 1000ට වඩා වියදම් කරනවා නම් එයාට ණය ගන්න වෙනවා තමන්ගේ අනෙක් වියදම් පියවා ගන්න. ඒ වගේ කෙනෙක්ට ණය ගෙවා ගන්නත් බැරි වෙලා ආයෙ ආයෙත් ණය ගන්න වෙන්නත් පුළුවන්. ඉතිං ඔය වගේ කෙනෙක්ගේ ණය ගෙවීමේ හැකියාව සතුටුදායක නෑ කියලා කියන්න පුළුවන්. ඒ වගේ කෙනෙක්ට ණයක් දෙන්න කලින් කෙනෙක් දෙපාරක්වත් හිතනවා. අන්න ඒ වගේ රටක ණය ගෙවීමේ හැකියාව මනින්න තක්සේරු කරන්න තමයි මේ කියන ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන තියෙන්නේ. ෆිච් රේටින්ස් කියන්නේත් ඒ වගේ ආයතනයක්. මීට අමතරව මූඩීස් (Moody's Investors Services Inc) සහ (Standard & Poor's) වගේ තවත් ආයතන තියෙනවා.
ණය ශ්‍රේණිගත කිරීමකින් ශ්‍රී ලංකාව පහත වැටෙන වෙලාවේ ෆිච් රේටින්ග්ස් ආයතනය කියන්නේ ලංකාව ණය වෙළදපල තුල ෆේල් කියලා එහෙම වෙන්න හේතුව අපේ ණය වෙළදපල විතරක් නෙමේ සාමාන්‍ය වෙළදපලත් ෆේල්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මෑතකදි, ලංකාවට දෙවනි වාරිකය දෙනවාද කියලා තීරණය ගන්න කරපු සාකච්ඡාවකදීත්, ලංකාව කොයිතරම් ගැළපුම් ඇති කර ගෙන තිබුණත් ආර්ථිකය සංකෝචනය වෙලා 2023 දෙවනි කාර්තුවේදී දළ ජාතික නිෂ්පාදිතය 3.1% වගේ කුඩා අගයක තියෙන්නේ කියලා අවධාරණය කරලා තියෙනවා. ඒ කියන්නේ තාමත් ලංකාවේ ජාතික නිෂ්පාදිතය අඩු නිසා ඉපයුම් අඩුයි. ඒ නිසා ණය ගෙවීමේ හැකියාව අඩුයි. මේ නිසා තාමත් ලංකාව ඉන්නේ අසීරු තත්ත්වයක.
පහත වැටිලා තිබුණ ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශීය මුදල් නිකුත් කරන්නන්ගේ පෙරනිමි ශ්‍රේණිගත කිරීම ‘RD’ ඉඳලා 'CCC-' දක්වා ඉහල යන්න හේතු වුණේ මොකක්ද? ඒකට ප්‍රධානතම හේතුව තමයි 2023 ජූලි මාසයේදී දියත් කරපු ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රශස්ත කිරීමේ (domestic debt optimisation -DDO) සැලැස්මේ දේශීය මුදල් කොටස සම්පූර්ණ කිරීම. ඒකට ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් සහ නව භාණ්ඩාගාර බැඳුම්කර සහ බිල්පත් සඳහා තාවකාලික අත්තිකාරම් අයත් වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා IMF හි විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ඇති ඉලක්කවලට අනුකූලව මධ්‍ය කාලීනව ශ්‍රී ලංකාවේ දළ මූල්‍ය අවශ්‍යතා අඩුවීමත් කාලයත් යද්දි රටේ ණය ප්‍රමිතික වැඩිදියුණු කිරීමට ඒ මඟින් සහයකුත් ලැබෙනු ඇති කියලා ෆිච් ආයතනය බලාපොරොත්තු වෙනවා.
ෆිච් රේටින්ස් ආයතනයේ ශ්‍රේණිගත කිරීම්
මට්ටම් කීපයක් යටතේ ෆිච් රේටින්ස් ආයතනය, රටක ණය ගෙවීමේ හැකියාව තීරණය කරනවා. ඒ ඔස්සේ රටක ණය ගෙවීමේ හැකියාව වඩාත් ප්‍රශංසනීය මට්ටමක ඉඳලා ඉතාමත් දුර්වල මට්ටමක් දක්වා පෙළ ගස්වලා ඉදිරිපත් කරනවා.
නිකුත් කරන්නාගේ පෙරනිමි ශ්‍රේණිගත කිරීම් තක්සේරුව
AAA - ඉහළම ණය ගුණාත්මකභාවය
AA - ඉතා ඉහළ ණය ගුණාත්මකභාවය
A - ඉහළ ණය ගුණාත්මකභාවය
BBB - හොඳ ණය ගුණාත්මකභාවය
BB - සමපේක්ෂන
B - ඉහළ අනුමාන
CCC -සැලකිය යුතු ණය අවදානම
CC - ණය අවදානම ඉතා ඉහළ මට්ටමක පවතී
C - පෙරනිමියට ආසන්නයි
RD - සීමා කළ පෙරනිමිය
D- පෙරනිමිය
ණය ශ්‍රේණිගත කිරීමක් කියන්නේ මොකක්ද?
සරලව ම කිව්වොත් ණය ශ්‍රේණිගත කිරීමක් කියන්නේ අනාගත ණයගැතියෙකුගේ (පුද්ගලයෙක්, ව්‍යාපාරයක්, සමාගමක් හෝ රජයක්), ණය ආපසු ගෙවීමේ හැකියාව පුරෝකථනය කිරීම සහ ණයගැතියා ණය පැහැර හැරීමට ඉඩක් තියෙනවද නැද්ද කියන එක ගැන කරන ව්‍යංග පුරෝකථනය කිරීමක්. ඒ වගේ තීරණයකට හෝ අදහසකට එන්න ඔය කියන ණය ශ්‍රේණිගත කරන ආයතන අදාල අනාගත ණයගැතියා විසින්ම සපයනු ලබන තොරතුරු සහ ණය ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනයේ විශ්ලේෂකයින් විසින් ලබා ගන්නා ලද අනෙකුත් පොදු නොවන තොරතුරු මත පදනම් වෙලා විශ්ලේෂණය කරලා අදාල රටට / ආයතනයට තමන්ගේ මූල්‍ය වගකීම් ඉටු කරන්න පුළුවන්කමක් තියෙනවද නැද්ද කියලා කියනවා.
ඉතිං එහෙම රටක ප්‍රගතිය හෝ තත්ත්වය වගේ දෙයක් ලෝකෙට කියන එක කොහොමද වැඳගත් වෙන්නේ..? කවුරුහරි ණයක් ගෙවන්න බැරි තරමට ආවම අපි කියනවා බංකොලොත් වෙලා කියලා. හැබැයි රටක් සම්බන්ධයෙන් බංකොලොත් වීම කියන කාරණය ඉතා බැරෑරුම් තත්ත්වයක්. මොකද රටක් කියන්නේ එක ව්‍යාපාරයක්වත්, එක මනුස්සයෙක්වත් නෙවෙයි. රටක් බංකොලොත් වුණාම ඒකේ බලපෑම රටේ ඉන්න හැම දෙනාටම අඩු වැඩි වශයෙන් දැනෙනවා. පසුගිය අවුරුද්දේ ලංකාවට ණය ගෙවන්න බැරි රටක් කියලා ඔප්පු වුණාට පස්සේ ලංකාවේ අත්‍යාවශ්‍ය භාණ්ඩවත් ගෙන්න ගන්න බැරිව අස්ථාවර තත්ත්වයක් ඇති වුණා ඔබට මතක ඇති.
මිනිස්සු පෝලිම්වල, පාරේ රස්තියාදු වුණා මතක ඇති. එහෙම වෙලාවත් ගන්න බඩු මුට්ටු කඩවල්වල තිබුණේ නෑ. ඒ අස්සේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන මේ කතාව ලෝකෙට කිව්වා. ඉතිං අනෙකුත් රටවල් පවා අපි වගේ රටකට ණය දෙන්න බය වුණා. ඒකට හේතුව ලංකාව හිටියේ ණය ගෙවන්න පුළුවන් මට්ටමක නෙවෙයි. කවුරු ණය දුන්නත් ඒ සේරම පරණ ණය ගෙවන්නයි, අත්‍යවශ්‍යම දේවල් මිලට ගන්නයි වැය වුණා. සරලවම රට බංකොලොත් වුණා.
ලංකාවේ අලුත් ම තත්ත්වය මොකක්ද?
ලංකාව බංකොලොත් වුණාට පස්සේ කීප වතාවක් ම ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහලට වැටිලා තියෙනවා. ඉතා මෑතකදි වුණ පහත වැටීම විදිහට ගෙවුණු සැප්තැම්බර් 14 වෙනිදා ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනයේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව, ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශීය මුදල් (Long-Term Local-Currency; LTLFC) නිකුත් කරන්නන්ගේ පෙරනිමි ශ්‍රේණිගත කිරීම (Issuer Default Rating-IDR) 'C' සිට 'RD' (සීමා කළ පෙරනිමිය) දක්වා පහත දැමීම හඳුන්වන්න පුළුවන්. කොහොම වුණත්, ෆිච් රේටින්ග්ස් ආයතනය කියන්නේ මේ කියන ණය පහත හෙලීමෙන් ශ්‍රී ලංකා බැංකු ශ්‍රේණිගත කිරීම්වලට බලපෑමක් වෙන්නේ නෑ කියලයි. මේ සිද්ධියෙන් හරියටම සති දෙකකට පස්සේ සැප්තැම්බර් 28 වෙනිදා ෆිච් ආයතනය ආපහු සැරයක් ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වලින් ඉහලට ගෙනාවා.
ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වලින් පහත වැටුණ වෙලාවේ නිවේදනයක් නිකුත් කරමින් ෆිච් ආයතනය කියා සිටියේ “රජයේ දේශීය-මුදල් බැඳීම් ප්‍රතිව්‍යුහගත කිරීමේ පළමු අදියර සම්පූර්ණ කිරීම බැංකු පද්ධතිය කෙරෙහි තැන්පත්කරුවන්ගේ විශ්වාසය නැතිවීමට හේතු වී එය බැංකු නොවන මූල්‍ය ආයතන ද (Non-Bank Financial Institutions; NBFIs) ඇතුළුව මූල්‍ය ක්ෂේත්‍රය තුළ පුලුල් ලෙස පැහැර හැරීමකට තුඩු දෙනු ඇතැයි අපි විශ්වාස නොකරමු.” ලෙසයි.. එබැවින්, ස්වෛරීත්වයට සාපේක්ෂව ඔවුන්ගේ මූල්‍ය අරමුදල් සහ ද්‍රවශීලතා පැතිකඩයන්වල ගුණත්වය සැලකිල්ලට ගනිමින් බැංකු විසින් ඔවුන්ගේ දේශීය මුදල් බැඳීම් අඛණ්ඩව ඉටු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු යනුවෙන් ඔවුන් තවදුරටත් සඳහන් කළා.
හොඳ ණය ශ්‍රේණිගත කිරීමක් වෙනුවෙන් ලංකාවට කරන්න දෙයක් තියෙනවාද?
ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහල යන්න හේතුව ලංකා ආර්ථිකයේ දුර්වලකම. සරලව ම කිව්වොත් ආර්ථිකය ෆේල් වීම, මුදල් උපයන ක්‍රමවල තියෙන ප්‍රමාණවත් නොවන බව. ආර්ථිකයක් සාර්ථක වෙන්නේ නිදහසේ ආර්ථික කටයුතු කරගෙන යන්න පුළුවන් පරිසරයක් තියෙනවා නම් විතරයි. ලාභ ලැබෙන ව්‍යාපාරවලට රජය මැදිහත් වෙලා තමන් කැමති කැමති විදිහේ තීරණ ගන්නවා නම්, ප්‍රතිපත්ති වෙනස් කරනවා නම්, සීමා මායිම් පනවනවා නම්, නීති රෙගුලාසිවලින් බාධා කරනවා නම් කිසිම ව්‍යාපාරිකයෙක් කැමති නෑ ඒ වගේ තාඩන පීඩන මැද්දේ අමාරුවෙන් හුස්ම ගන්න.
හැම වෙලේම වෙලදපල නිදහස් නැති නිසා තමා රටකට මේ තත්ත්වවලට මූණ දෙන්න වෙන්නේ. රජයේ කලමනාකරණ දුර්වලතා, ලාභ නොලබන විශාල රාජ්‍ය අංශයක් පවත්වාගෙන යෑම ඒ නිසා දුෂණ, වංචා වැඩිවෙලා වියදම වැඩිවීම නිසා රජයට සිද්ධ වෙනවා ණයට ගන්න සහ ණය ගන්න. ණයට ගන්නවා කියන්නේ ම ණයයි පොලියයි දෙකම ඩොලර්වලින් ගෙවන්න වෙනවා. ඊට පස්සේ ආයෙ ආයෙත් අපි මේ විෂම චක්‍රයට වැටෙනවා. අන්න ඒ නිසා ලංකාවේ ණය ප්‍රශ්නයට කෙටි කාලීන වගේම දිගු කාලීන වශයෙනුත් නිදහස් වෙළඳපළක් කරා යාම කියන විකල්පයට එන්න වෙනවා.
දිල්මිණී හසින්තා අබේරත්න