ශ්‍රී ලංකාව

අපේ තරුණ තරුණියන් විරැකියාවෙන් පෙළෙන්නේ ඇයි?

ලෝක යෞවනයන්ගේ දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විස්තර කරන්නේ “වෙනසක් කිරීමට හැකි තරුණ තරුණියන්ගේ වාර්ෂික උත්සවය” කියා යි. ලොව පුරාම තරුණ තරුණියන් නවමු අදහස් සමඟ නව ස්වයං රැකියා අදහස් සමඟ ධනාත්මකව ඉදිරියට ම ඇදෙනු අපට දකින්නට ලැබේ. මේ ‘සහස්‍රයේ දරුවන්’ වනාහි, අලුත් ලෝකයක් වෙත මංපෙත් එළිපෙහෙළි කරමින් තමන්ගේ නවෝත්පාදන හැකියාවන් මිහිතලයට දායාද කරන සුරදූතයන් වැනියි.

නමුත්, අපේ රටේ දකින්නට ලැබෙන්නේ ඊට හාත්පසින් ම වෙනස් කථාවකුයි. අලුත් ලෝකයක් දායාද කරන සුර දූතයන් වෙනුවට අපට දකින්නට ලැබෙන්නේ දක්ෂතාවෙන් ඔප මට්ටම් වූ නමුත්, රැකියාවකින් තොර තරුණ සමාජයකුයි. වැඩිහිටි සමාජය මේ තරුණ පරපුර කුසීත, ගුණමකු, කම්කරු වෘත්තීන්ට අකමැති, සුවිසල් රැකියා නමැති ඉනිමඟට පය තබන්නට අකැමැති අය ලෙස හඳුන්වනවා. කලාපයේ ඉහළම සාක්ෂරතාවය ඇති රට වුවත්, දශක හතරක් පමණ පුරාවට විරැකියාවෙන් පෙළෙන තුරුණු සමාජයක් යනු, සැබැවින්ම සාකච්ඡාවට බඳුන් කළ යුතු මාතෘකාවකි. ගෞරවයෙන් නිරත විය හැකි රැකියා පෙළක් අපිට යෞවනය වෙනුවෙන් දායාද කළ හැක්කේ කෙසේ ද?

උගත්, විරැකියාවෙන් පෙළෙන යෞවනයන් ශ්‍රී ලංකාවේ අවිධිමත් ශ්‍රම බලකායෙන් 30%ක් නියෝජනය කරයි. මෙයට බොහෝ විට හේතු වන්නේ රැකියා සඳහා අවශ්‍ය සුදුසුකම්වල ඇති අඬු ලුහුඬුතාවන් වුව ද ඉහළ අධ්‍යාපනය ලැබූවන් පෞද්ගලික අංශයේ රැකියාවන්ට යොමු නොවීම හෝ ඒවායේ සුදුසුකම් ඉක්මවූ අය බවට පත් වීම ද හේතුවක් වග දක්නට තිබේ. කෙසේ නමුත්, ඉහළ ඉල්ලුමක් ඇති වෘත්තීන්ට පිවිසීමට අකමැත්ත පළ කරන යෞවනයන් ද ඒ අතර වෙයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛන (2017) අනුව, රැකියා වෙළඳපොළ පුරප්පාඩු අඩුවෙන් ම සපිරෙන රැකියාවන් මෙසේයි:

  1. මහන මැෂින් ක්‍රියාකරුවන්

  2. ආරක්ෂක නිලධාරීන්

  3. වාණිජ්‍ය හා විකුණුම් නියෝජිතයින්

  4. වෙනත් නිෂ්පාදන කම්කරුවන්

  5. කාර්යයාල, හෝටල් සහ වෙනත් ආයතනවල පිරිසිදු කරන්නන් සහ සහායකයින්

මෙම දත්ත දෙස බලන විට, අවුරුදු 16ක් පුරාවට හොඳ අධ්‍යාපනයක් ලබා ඉහළ දැනුමක් සහිතව මෙවන් රැකියාවකට කෙනෙක් පිවිසෙන්නට මැළිවීම පුදුමයක් නොවෙයි. ඔවුන් අපේක්ෂා කරන්නේ ඉහළ සමාජ පිළිගැනීමක් ඇති, ජීවිත කාලය පුරාවටම රැඳිය හැකි සහ බදු ගෙවන්නන්ගේ මුදල් වලින් මහළු විය දක්වාම නිදහසේ යැපිය හැකි රජයේ රැකියාවක් ලැබෙන ‍තුරු බලා සිටීමට යි. ජනපතිවරණයක් හා මැතිවරණයක් කිටිටු කාලයකදී රජය ද මෙය ඡන්ද ලබාගැනීමේ හොඳ මාවතක් සේ සලකා පසුගිය මාසයේ උපාධිධාරීන් 16,000කට රැකියා ලබා දිනි. නමුත් දැනටමත් අතිරික්තව පවතින, අඩු වර්ධන වේගයක් දක්වන සහ අඛණ්ඩව ඉහළ විශ්‍රාම වැටුප් භාරයක් ජනතාවගේ කරපිට පටවන මෙම රාජ්‍ය අංශය වෙත කරන තව තවත් පත්වීම් යනු, තිරසාර බවින් තොර, දැඩි අස්ථාවර බවක් ජාතියට උරුම කරන ක්‍රියාවලියකි.

හිඩස වැසීම

“ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්ත වලට අනුව පෞද්ගලික අංශයේ පුරප්පාඩු වලින් ඉහළ නිපුණතා සහිත රැකියාවල නිරත වන්නේ 7.2% ක් පමණි.”

යෞවන සේවා නියුක්තියෙහි බහුතරයක් පෞද්ගලික අංශය සතු වන අතර, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්ත වලට අනුව පෞද්ගලික අංශයේ පුරප්පාඩු වලින් ඉහළ නිපුණතා සහිත රැකියාවල නිරත වන්නේ 7.2% ක් පමණි. මන්දගාමී රැකියා උත්පාදනය ශ්‍රී ලංකා ආර්ථිකයේ කළු පැල්ලමක් බවට පත්ව ඇති අතර, අධික ලෙස රැකියා ආරක්ෂණ නීති සම්පාදනය සහ වෘත්තීය සමිතිවල විශෘල බලය සැලකිය යුතු ලෙස ශ්‍රම පිරිවැය ඉහළ නංවමින් රැකියා උත්පාදනය මන්දගාමී කරලීමට දායක වෙයි.

“මිලියන 1.5 ක් පමණ වූ ශ්‍රී ලාංකිකයන් විදෙස් රැකියා වෙත පිවිසෙති”

එහි ප්‍රතිඵලයක් වශයෙන්, මිලියන 1.5 ක් පමණ (ගෘහස්ථ ශ්‍රම බලකායෙන් දළ වශයෙන් පහෙන් එකක්) වූ ශ්‍රී ලාංකිකයන් රැකියා සඳහා විදෙස් රටවලට පිවිසෙති. සුදුසුකම් ලත් ශ්‍රමිකයන් 40% ඉක්මවා මෙම ගණයට අයත් වන අතර මින් පිළිබිඹු වන්නේ මෙරට ඇති අගනා අවස්ථාවන් ඔවුන්ට අහිමිව ගිය බවයි. දේශීය නිපුණතාවන්ට අවස්ථාවක් නොමැති මෙවන් ඉහළ, මධ්‍යම ආර්ථිකයක් වනාහි සැබැවින්ම දෑස් හැර බැලිය යුතු කාරණාවකි.

ජනගහනය තුළ වයස්ගත යැපෙන්නන් ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන ශ්‍රී ලංකාව දැන් කළ යුත්තේ, ඉතා හොඳ රැකියා උත්පාදනයක් මඟින් තම ශ්‍රම බලකායෙහි උපරිම ප්‍රයෝජනය ලබමින් තිරසාර වර්ධන රටාවකට පිවිසීම යි. එයට හොඳ ක්‍රමයක් වශයෙන් සෘජු විදේශීය ආයෝජන සඳහා තරගකාරිත්වය සහ විවෘතභාවය වැඩි කිරීමට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ගොඩ නැගීම කළ හැකි බව පෙනේ. එමඟින් විදේශීය සමාගම් නව තාක්‍ෂණය හා වඩා හොඳ කළමනාකරණ භාවිතයයන් ශ්‍රී ලංකා වෙළඳපොළට විවෘත කිරීමෙන් වඩාත් ඵලදායී හා ඉහළ වැටුප් සහිත රැකියා උත්පාදනය වනු ඇත. වෙළඳ නිදහස මඟින් උගත් වෘත්තිකයන්ට ද කලාපීය සහ ගෝලීය සැපයුම් දාමයන් තුළ ඉහළ රැකියා අවස්ථාවන් දායාද වෙයි. නිවැරදි ප්‍රතිසංස්කරණයන් සමග විදේශ ආර්ථිකයන් හා සක්‍රීයව සම්බන්ධ වීමෙන් ශ්‍රී ලංකාවේ උසස් රැකියා උත්පාදනයට පුළුල් ද්වාරයන් රැසක් විවෘත වන බැවින් රැකියා විරහිත පුහුණු උපාධිධාරීන් රැසකට ජාතික ආර්ථිකයට ධනාත්මක දායකත්වයක් දිය හැකි වෘත්තීයයන් හි නියැලීමට අවස්ථාව උදා වෙයි.

එසේම, ලෝක ආර්ථිකය වැඩි වශයෙන් සේවා, පුද්ගලික පරිභෝජන සහ ඩිජිටල් අලෙවිකරණය වෙත යොමු වෙමින් පවතින සමයක, සාම්ප්‍රදායික රජයේ රැකියාවන් මත ම නොයැපී නවෝත්පාදන හා ස්වයං රැකියා අවස්ථාවන් වෙත යොමු වීමට තාරුණ්‍යයට මං පෙත් සැලසීම අත්‍යාවශ්‍ය කරුණකි. අප රටේ පර්යේෂණ හා සංවර්ධන ආයෝජනය රජයේ මුළු වියදමෙන් (2017) 0.07% ක් පමණක් වන අතර නව නිෂ්පාදන නිපදවීමේ සහ නව සොයාගැනීම් වලින්  ඉහළ ඵල නෙලාගැනීමට නම්, ඒ වෙනුවෙන් යොදන පෞද්ගලික හා මහජන අරමුදල් ප්‍රමාණය ද ඒ සමාන්තරව වැඩි කළ යුතුය. බුද්ධිමය දේපළ අයිතීන් වෙත වැඩි සහයෝගයක් ලබා දීම, වර්ධනය වන ව්‍යාපාරයන්ට මූල්‍ය සහයෝගයන් ලබාදීම සහ ඒවාට ඉහළට ඒමට අතදීම මඟින් ස්වයං ව්‍යවසායක තාරුණ්‍යයට මහඟු අත්වැලක් සැපයිය හැකිය.

ව්‍යවසායකත්වය (නව ව්‍යාපාර ඇරඹීම) සහ ආර්ථිකයට විවෘත වීම 

ශ්‍රී ලංකාව වඩාත් නව හා පුළුල් ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීම සඳහා ව්‍යවසායකත්වය මහත් පිටිවහලක් වේ. එමෙන්ම එය ඉන් නොනැවතී දේශීය හා ජාත්‍යන්තර වෙළඳපළ පුරා විවිධ කර්මාන්තයන් වල අතර තරඟකාරී බවක් හා උසස් තත්ත්වයේ රැකියා රැසක් නිර්මාණයට ද දායක වෙයි. නව නිපැයුම් නිෂ්පාදනය වෙත ආයෝජනය කිරීමෙන් ලෝක තාක්ෂණික දැවැන්තයන්ගේ අවධානය සහ ආයෝජනයන් පහසුවෙන් ළඟා කරගත හැකි බව ඊශ්‍රායලය සහ සිංගප්පූරුව වැනි කුඩා රටවල් හොඳින් පෙන්වා දී තිබේ. එම දෙරටෙහි ම තාක්ෂණයේ නිම් වළලු පුළුල් වන්නට හේතු සාධක වූයේ රජයේ සහ පෞද්ගලික අංශයේ සම-සහයෝගීත්වයෙන් ගොඩනැගූ ආර්ථික පරිසරය සහ විවිධාංගීකරණය වෙත නිදහසේ දෑත දිගු කිරීම යි. 

ශ්‍රී ලංකාව සිය තරුණ ශ්‍රමයෙහි උපරිම ඵල නෙලා ගන්නට අපේක්ෂා කරන්නේ නම්, ප්‍රථමයෙන් ශ්‍රම බලකායේ ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු වේ. එහි ලා සාම්ප්‍රදායයෙන් ඔබ්බට ගිය වෘත්තීය මාර්ගයන් ප්‍රවර්ධනය කිරීම සහ රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශය අතර වැඩි සබඳතාවක් ගොඩ නගාලීම අත්‍යවශ්‍ය වේ. ඒ හා විදේශීය සහභාගීත්වයට ඇති වත්මන් බාධකයන් ද ඉවත් කළ යුතු වේ. චින්තනයේ විවිධත්වය සහ නව අදහස් සන්නිවේදනය වූකලී නවෝත්පාදනයේ ප්‍රධාන ගාමක බලවේගය බවට සනාථව පවතින අතර, ජනතාවට හිතකර ප්‍රතිපත්ති, සහ ආයෝජන රෙගුලාසි ඉවත් කිරීම තුළින් ඒවා ප්‍රවර්ධනය කළ හැක. නවමු ශ්‍රී ලාංකික ආර්ථිකයක් සඳහා පදනම සැකසීමට නම්, ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට විදේශ ප්‍රාග්ධනයට ප්‍රවේශ වීමට සහ ගෝලීය ස්වයං ව්‍යවසාය පුරෝගාමීන්ගෙන් උගෙනීමට ඉඩහසර සැලසිය යුතුය.

සංක්‍රමණික ප්‍රතිපත්ති සහ ශ්‍රම ප්‍රවාහයන් විවෘත කිරීමෙන් ශ්‍රී ලංකාවට දේශීය කුසලතාවන් පිටතට ගලා යන්නට නොදීම මඟින් පුද්ගලික අංශයේ දැනට ඇති අඩු-නිපුණතාමය පුරප්පාඩු සපුරාලන්නට හැකිවනු ඇත. ඉන්දියාව, නේපාලය සමඟ ගොඩනඟාගත් විවෘත දේශ සීමා ප්‍රතිපත්ති මඟින් දැන් අඩ සියවසකටත් වඩා කාලයක් තුරාවට ඔවුන් සාර්ථකත්වයේ ඵල නෙලා ගන්නා අතර දෙපාර්ශවයට ම වාසි සහගත විධිවිධානයන් ගොඩනගා ගෙන තිබේ. ගෝලීයකරණයට එරෙහි වීම වනාහි ඵලදායීතාව මන්දගාමී කරවන, ශ්‍රී ලාංකික ශ්‍රම බලකායට ගෞරවණීය රැකියා අහිමි කරවන අසාර්ථක ක්‍රමවේදයකි. පණ අදින ආර්ථිකය වෙත තවත් බාධක පනවා එහි ගෙල සිරකරන්නේ නැතිව යෞවනය සතු බලය සහ ශක්තිය ඵලදායී වර්ධන ආර්ථිකයක් උදෙසා සකස් කරගැනීම කාලීන අවශ්‍යතාවයක්ව තිබේ.

ඉතින්, මේ ජාත්‍යන්තර යෞවන දිනයේදී අපි තරුණ තරුණියන් වෙනුවෙන් නැගී සිටිමු. අපේ සාම්ප්‍රදායික ඉහළ අපේක්ෂාවන්ට යටවී බලා හිඳනවා වෙනුවට අපි නිසි උපායමාර්ගයයන් යොදමින් ඉන් ගොඩ එන්නට උත්සාහ කරමු. යෞවනයන් යනු දේශීය ආර්ථිකයේ දීප්තිමත් අනාගතය බව දැන දැනත්, ඉතින් අපි ඔවුන් වෙනුවෙන් කිසිවක් නොකර සිටින්නේ කෙසේ ද?


නිශ්තා චාධා විසිනි.

View this article in English here.